වෙබ් ලිපිනය:

Monday, May 16, 2022

අලුත් විණිමය ප්‍රතිපත්තිය කුමක්ද?


කිහිප දෙනෙක් විසින්ම ලංකාවේ දැන් ක්‍රියාත්මක වන විණිමය ප්‍රතිපත්තිය ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටියා. මම පොදුවේ විණිමය ප්‍රතිපත්ති ප්‍රවර්ග ගැන විස්තරයක් කරන්නම්. මෙය කලිනුත් විස්තර කර තිබෙන නිසා ඇතැම් කොටසක් කෙළින්ම පැරණි ලිපියකින් උපුටා ගන්නවා.

1. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (clean float)

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) යටතේ විණිමය අනුපාතය (ඩොලරයක මිල) තනිකරම තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. බටහිර රටවල තිබෙන්නේ මෙවැනි ක්‍රමයක්. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ කිසිදු විටෙක රටේ ඩොලර් හිඟයක් හෝ ඩොලර් අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ. නිල සංචිත විශාල ලෙස එකතු වීමක් වෙන්නෙත් නැහැ. එසේ සංචිත නොතිබීම ඒ හේතුව නිසාම රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එහෙත්, මෙවැනි ක්‍රමයක් යටතේ ලංකාව වැනි කුඩා හා පටු ආර්ථිකයක් ඇති රටක විණිමය අනුපාතය කෙටි කාලාන්තර තුළ රටට ඔරොත්තු නොදෙන සේ විචලනය විය හැකියි.

2. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (dirty float)

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදීද (dirty float) විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වුවත්, මහ බැංකුව විසින් විටෙක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම හා තවත් විටෙක එම සංචිත විකුණා වෙළඳපොළට ඩොලර් මුදා හැරීම හරහා වෙළඳපොළ සැපයුම පාලනය කරනවා. ඒ හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව වෙනස් කර වක්‍ර ලෙස ඩොලරයක මිල පාලනය කරනවා. 2001 වසරේ සිට නිල වශයෙන් ලංකාවේ තිබුණේ මේ ක්‍රමයයි. මැදිහත් වීම් කරන්නේ විචලනයන් පාලනය කිරීමට පමණක්නම්, මිල පාලනයක් කෙරෙන්නේ නැත්නම්, යම් නිශ්චිත සංචිත ප්‍රමාණයක් නඩත්තු කරමින් මේ ක්‍රමය පවත්වා ගෙන යා හැකියි. ආසන්න වශයෙන් වෙළඳපොළෙන් මිල දී ගන්නා හා විකුණන ඩොලර් ප්‍රමාණ සමානයි. ඒ නිසා, කෙටි කාලයකදී සංචිත අඩු වැඩි වුවත් දිගුකාලීනව සංචිත ලොකුවට වෙනස් වෙන්නේ නැහැ.

3. ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Fixed exchange rate system)

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි කිසියම් වෙනත් විදේශ මුදලකට (උදාහරණයක් ලෙස ඇමරිකන් ඩොලරයට) සාපේක්ෂව "තිබිය යුතු" විණිමය අනුපාතය තීරණය කරනවා. මෙය හරියටම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන විණිමය අනුපාතය වීම සිදු නොවිය හැකි තරමේ අහම්බයක් පමණක් නිසා, මෙහි ප්‍රතිඵලය ලෙස රට තුළ ඩොලර් අතිරික්තයක් හෝ හිඟයක් ඇති වෙනවා. ඩොලර් අතිරික්තයක් ඇති වූ විට එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීමටත්, ඩොලර් හිඟයක් ඇති වූ විට සංචිත විකිණීමටත් සිදු වෙනවා. 1977 දක්වා ලංකාවේ තිබුණේ මෙවැනි ක්‍රමයක්. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මේ ක්‍රමයේදී මිල දී ගැනීම් හා විකිණීම් සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම වෙළඳපොළ මිලට වඩා පහළින් මිල පවත්වා ගත්තොත් සංචිත දිගින් දිගටම විකිණීම නිසා සංචිත අවසන් විය හැකියි. එවිට, ආනයන පාලනය වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. එසේ නැත්නම් "තිබිය යුතු" විණිමය අනුපාතය වෙනස් කරන්න සිදු වෙනවා. ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා ගැනීමට උත්සාහ කිරීමේදී සංචිත හිඳී ගියේ මේ ක්‍රමය තුළයි. 

4. ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Crawling Peg)

සිංහල වචනය මගේ වචනයක්. වෙනත් නිවැරදි සිංහල වචනයක් තිබිය හැකියි. මෙහිදීද ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි විණිමය අනුපාතය තීරණය කර දැනුම් දෙන නමුත් එය ස්ථිරව එකම මට්ටමේ තියන්නේ නැහැ. කාලයත් සමඟ විණිමය අනුපාතය වෙනස් විය යුතු ආකාරයද කලින්ම තීරණය කර දැනුම් දෙනවා. උදාහරණයක් ලෙස ඩොලරයක මිල දිනපතා හරියටම රුපියල බැගින් ඉහළ යවන බව කලින් දැනුම් දෙන්න පුළුවන්. බොහෝ විට රටක් මේ ක්‍රමය තෝරා ගන්නේ ගෙවුම් ශේෂ අර්බුදයකින් ගොඩයාමේ සැලසුමක කොටසක් ලෙසයි. රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටි ඩොලරයේ මිල නිදහස් කරන අවස්ථාවේදී මගේ නිර්දේශය වූයේ මේ ක්‍රමයයි.

5. ලංකාවේ අලුත්ම ක්‍රමය (Trading band)

මෙය පාවෙන විණිමය අනුපාත ක්‍රමය පවත්වා ගන්නා අතරම මිල යම් ආකාරයකින් නියාමනය කිරීමක්. මෙහිදී ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යාමට ඉඩ ඇතත්, ඒ නිශ්චිත සීමාවක් තුළ පමණයි. ඊට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ඩොලර් ගනුදෙනු කළ නොහැකියි. මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයක හා ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක සම්මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි. මෙහිදී ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මහ බැංකුව විසින් අභිමතය පරිදි ඩොලරයක මිල තීරණය කරන්නේ නැහැ. එහෙත්, උපරිම හා අවම මිලක් නියම කරනවා. වෙළඳපොළ මිල මේ උපරිම මිල හා අවම මිල අතර මිලක්නම් මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයකින් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එහෙත් දිනපතාම ඩොලරයක මිල මහ බැංකුව විසින් දැනුම් දෙන උපරිම (හෝ අවම) සීමාව දක්වා ගොස් නවතිනවානම් එය තවදුරටත් පාවෙන විණිමය අනුපාතයක් සේ සලකන්න බැහැ. එහිදී මෙය ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකට සෑහෙන තරමකින් සමාන වෙනවා. ඒ එවිට දෛනිකව මිල තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදි මිස වෙළදපොළ විසින් නොවන නිසා. 

ලංකාවේ දැන් පවතින තත්ත්වය තුළ මේ ක්‍රමය පරීක්ෂාවට ලක් කිරීම හොඳ තීරණයක් කියා මම හිතනවා. මා පෙර නිර්දේශ කළ ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට සාපේක්ෂව මේ ක්‍රමය වෙළඳපොළ මත වඩා පදනම් වූ ක්‍රමයක්. පහුගිය කාලයේ ඇතැම් දින වල ඩොලරයක මිල රුපියල් 10කින් පමණ ඉහළ ගියේ තනිකරම වාගේ සමපේක්ෂණය මතයි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත 2001 වසරට සාපේක්ෂව බැලුවොත් අප්‍රේල් අවසානයේදී ඩොලරයක මිල රුපියල් 282.50ක් පමණ විය යුතුයි. දැන් වෙළඳපොළ මිල ඊට වඩා ගොඩක් වැඩියි. මම කාලයක් තිස්සේ දිගින් දිගටම කිවුවේ අපනයනකරුවන්ට හා ශ්‍රමික ප්‍රේෂණ එවන අයට ලැබිය යුතු නියම මිල නොලැබෙන බවයි. එහෙත් දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. 

පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය තුළ විශාල ඩොලර් හිඟයක් ඇති වී තිබීමද මෙසේ ඩොලරයක මිල ඉහළ යාමට හේතුවක්. එම හිඟය නිසා බැංකු වලට වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් වලින් කොටසක් තමන්ගේ හිඟය පියවා ගැනීම සඳහා  යොදාගත යුතුව තිබෙනවා. වෙළඳපොලෙන් ඩොලර් එකතු කරගෙන මේ හිඟය පියවා ගැනීමෙන් පසුව ඩොලරයක මිල අඩු වීමේ ඉඩක් තිබෙනවා. ඒ වගේම, රජය කෙසේ හෝ ඩොලර් ප්‍රමාණයක් හොයා ගත්තොත් එයින්ද ඩොලරයක මිල අඩු විය හැකියි. මෙවැන්නක් ක්ෂණිකව සිදුවෙනු ඇතැයි මා සිතන්නේ නැතත් මිල නියාමනය කර තිබීම නිසා දෛනිකව ඕනෑවට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම හදිසියේ මිල කඩා වැටීමේ ඉඩකඩද වැලකී තිබෙනවා. 

මේ ක්‍රමයට වෙළඳපොළ හැඩ ගැසෙන්නේ කොහොමද කියන එක ඉදිරි සතියේදී බලාගත හැකි වෙයි. එක්කෝ රුපියල් 360 මට්ටම ආසන්නව මිල ස්ථාවර වෙයි. එසේ නැත්නම් දෛනිකව රුපියල් 2කින් පමණ බැගින් මිල ඉහළ යයි. කලින් මෙන් දවසකට රුපියල් 5-10කින් මිල ඉහළ යාමනම් සිදුවන එකක් නැහැ. 

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...