වෙබ් ලිපිනය:

Wednesday, October 9, 2019

බර ඔබේ උර මතයි!


මැතිවරණ කොමිසම විසින් කියා තිබෙන ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන "අසාමාන්‍ය ලෙස" වැඩි වීම නිසා මැතිවරණ වියදම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා. කොහොම වුනත්, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීත් පිළිවෙලින් අපේක්ෂකයින් 22ක් හා 19ක් ඉදිරිපත් වූ නිසා මැතිවරණ කොමිසම විසින් මුලින් වියදම ඇස්තමේන්තු කිරීමේදී අඩු වශයෙන් අපේක්ෂකයින් 20-25 අතර ප්‍රමාණයක්වත් තරඟ කරනු ඇතැයි නොහිතන්න හේතුවක් නැහැ. ඒ නිසා, අනපේක්ෂිත වැඩි වීම අපේක්ෂකයින් 10-15 අතර ප්‍රමාණයකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. වියදම රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන්නේ මේ ආකාරයට අනපේක්ෂිත ලෙස වැඩි වූ අපේක්ෂකයින් 10-15 නිසයි. ඒ කියන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා රුපියල් මිලියන 70-100 අතර ප්‍රමාණයකින් ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් තිබෙනවා කියන එකයි.

අපේක්ෂකයින් ප්‍රමාණය ඉහළ යන කොට මේ ආකාරයට වියදම ඉහළ යන්නේ කොහොමද?

අපේක්ෂකයින් ගණන වැඩි වන තරමට ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 2කුත් අඟල් 2ක් (සෙන්ටි මීටර 66ක්) දිග එකක්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වන තරමට මුද්‍රණ වියදම්ද ඉහළ යනවා. එහෙත්, ඉහළ යන මුද්‍රණ වියදම් කියන්නේ මැතිවරණයේ සමස්ත වියදම ඉහළ යන එක් ආකාරයක් පමණයි. වියදම විශාල ලෙස වැඩි වන්නේ මුද්‍රණ වියදම් ඉහළ යාම නිසාම නෙමෙයි.

ඡන්ද පත්‍රිකාව විශාල වන විට ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අඩු වෙනවා. බොහෝ විට එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද දමන්නේ එක් පෙට්ටියකට හෝ ගැහැණු හා පිරිමි ලෙස පෙට්ටි දෙකකට වුවත්, මෙවර එසේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, මෙවර අමතර ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අමතර ඡන්ද පෙට්ටි සකස් කිරීම හෝ අළුතින් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ඡන්ද පෙට්ටි ගණන වැඩි වන විට ඡන්ද පොළකට අවශ්‍ය නිලධාරීන් ගණනත් වැඩි වෙනවා. එවිට වියදමත් ඉහළ යනවා.

ඡන්ද මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් දෙදෙනෙකුට ඉඩ දෙනවා. අපේක්ෂකයින් 35ක් කියා කියන්නේ නියෝජිතයින් 70ක්. ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළේ අපේක්ෂකයන්ගේ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීම ඉතා අසීරු කටයුත්තක්. මේ සඳහා ලොකු ඉඩක් අවශ්‍යයි. ඒ වගේම 70 දෙනෙකුගේ අනන්‍යතා පරීක්ෂා කිරීම ආදිය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ ආකාරයට උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන නියෝජිතයින් හවස් වන තුරුම එක දිගට එහි රැඳී ඉන්නේ නැහැ. බොහෝ දෙනෙක් කෑම, තේ ආදිය සඳහා පිටත යන්නේ තමන් වෙනුවට ආදේශකයින් අසුන් ගන්වලා. එහෙම ඡන්දපොළ නියෝජිතයින් මාරු වන සෑම විටෙකම ඔවුන්ගේ අනන්‍යතා පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම, මෙවැනි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ගැවසෙන විට ඔවුන්ව නිරීක්ෂණය කිරීමට හා පාලනය කර ගැනීමට නිලධාරීන් වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, අමතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක්ද අවශ්‍ය වෙනවා.

දැනට තෝරාගෙන තිබෙන ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දපොළ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීමට ඉඩකඩ මදි විය හැකියි. මැතිවරණ කොමිසමට එවැනි තැන් වෙනුවට වඩා ඉඩකඩ තිබෙන විකල්ප ස්ථාන හඳුනා ගන්න වෙනවා. මේ තත්ත්වය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලටත් බලපානවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් 5 දෙනෙකුටම අවසර ලැබෙනවා. මේ අනුව මෙවර නියෝජිතයින් 175 දෙනෙකුට පහසුකම් සැලසිය යුතුයි. ඔය තරම් පිරිසකට එකවර ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. මෙවැනි පිරිසකට ඉඩ ලබා දෙන්න පුළුවන් තරම් ඉඩකඩ නැති ගණන් කිරීමේ මධස්ථාන වෙනුවට විකල්ප ස්ථාන හොයා ගන්න වෙයි.

ඔයාකාරයට ඉඩකඩ ඇති තැන් හොයා ගත්තත්, ගණන් කිරීමේ කටයුත්තට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා. ඒ වගේම වැඩි නිලධාරීන් පිරිසක්ද අවශ්‍ය වෙනවා. එයට සමාන්තරව ඔවුන්ට කෑම බීම, වැසිකිලි, ප්‍රවාහන පහසුකම් වැනි සුබසාධන සේවා සැපයීම සඳහා යන වියදම් වගේම ඒ වැඩ වලට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, ජෙනරේටර් සඳහා වියදම් ආදී අනෙකුත් වියදම්ද වැඩි වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඉහත කී පරිදි රුපියල් බිලියනයකින් වියදම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කරන්න ඇත්තේ මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුවයි.

මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව එක් අමතර අපේක්ෂකයෙකු නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන 70-100කින් පමණ ඉහළ යන පේනවා. නමුත්, අපේක්ෂකයෙකු විසින් ඇප සේ තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000ක් හෝ 75,000ක් පමණයි. ඉතිරි වියදම් පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ උර මතයි. මැතිවරණයේ මුළු වියදම ඡන්දදායකයන් සියල්ලන්ම විසින් සම සමව දරා ගන්නවා කියාත්,  ඒ ආකාරයට වියදමට දායක වෙන්නේ තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා නිසා කියාත් හිතුවොත්, කිසියම් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයින් තරඟයට එකතු වීම හේතුවෙන් වෙනත් අයට අනවශ්‍ය බරක් වැටෙන්නේ නැහැ කියා නිගමනය කරන්න පුළුවන්.

මේ අවම ඡන්ද ප්‍රමාණය කොපමණද? එක් ඡන්දදායකයෙකු තරඟයෙන් ඉවත් වුවහොත් මැතිවරණයේ වියදම පහළ යන්නේ රුපියල් මිලියන 70-100කින්. එනම්, මුළු වියදමෙන් 1.5%-2%ක් පමණ අඩු වෙනවා. ඒ නිසා, කිසියම් අපේක්ෂකයෙකු විසින් අඩු වශයෙන් මුළු ඡන්ද වලින් 2%ක් පමණවත් ලබා ගන්නවානම් එවැන්නෙකු ඡන්දයට ඉදිරිපත් වීමේ වියදම ඔහුගේ හෝ ඇයගේ ඡන්දදායකයින් විසින් පියවා ඇතැයි නිගමනය කරන්න පුළුවන්. එසේ නැත්නම්, අදාළ අපේක්ෂකයා තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය වියදම ගෙවන්න වෙන්නේ ඒ අපේක්ෂකයාගේ දේශපාලනය සමඟ එකඟ නොවන, ඔහුට හෝ ඇයට අකැමැති වෙනත් ඡන්දදායකයින්ටයි.

ලංකාවේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණ දෙකට ස්වාධීන අපේක්ෂයින් ඉදිරිපත් වුනේ නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හය දෙනෙකුගෙන් හතර දෙනෙකු හා දෙවන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තිදෙනාම 2% ඉක්මවා ඡන්ද ලබාගත්තා. එහෙත්, ඉන් පසුව, 1999 ජවිපෙ අපේක්ෂකයා හැර වෙනත් කිසිදු තෙවන අපේක්ෂකයෙකු 1% ඉක්මවා ඡන්ද ලබා නැහැ. මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂයින්ගෙන් සිවු දෙනෙකු හැර ඉතිරි අය 1% මට්ටම නොඉක්මවන බව පැහැදිලියි. ඔවුන් නිසා ඉහළ යන වියදම වැටෙන්නේ ඔවුන්ට කැමැත්තක් නොදක්වන ඡන්දදායකයින්ගේ උර මතයි.

ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තරඟයට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ට තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ මතවාද වලට ඉල්ලුමක් නැති නිසයි. ඉල්ලුමක් නැති මතවාදයක් කවුරු හෝ විසින් ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ වියදමෙන් හෝ තමන්ගේ මතවාදයට කැමති අයගේ වියදමෙන්!

7 comments:

  1. There is a cost for a democracy, but this cost is getting bigger and bigger with 226 in Parliament freeloading all expenses of their life and general public is paying for it.

    Even on presidential election, deposit should increase to much higher value so that some of these comedians stay away from this important event.

    ReplyDelete
  2. එතකොට මහත්තයා මේ පල්හෑලි ලියන බ්ලොග් එකට ප්‍රවර්ධනය ලබා දෙන්නේ කවුද? ගුගල් දැන්වීම් දෙන ජනතාවද? සිංහල කියවන ගුගල් දැන්වීම් ලබා දෙන අයද? මහත්තයට පුළුවන් තමන්ගේ වියදමෙන් සර්වර් පහසුකම්, ඩොමේන් අරං එහෙනං මේ මතවාදය ගෙනියන්න. මොකද මහත්තයා මේ වගේ නොමිලේ භාවිතා කරන බ්ලොගර් පහසුකමටත් කවුරුහරි මිලක් ගෙවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්, ඇනෝ! මේ බ්ලොග් එක ගූගල් සමාගම විසින් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඔවුන් පහසුකම් සපයනවා පමණයි. ඇත්තටම කියනවානම් මමවත් මේ බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්නේ නැහැ. එය කරන්නේ මෙය කියවන ඔබ වැනි අයයි. ඒ වෙනුවෙන් පළමුව ඔබට ස්තුතිය!

      දෙවනුව, ඔබ වැනි අය මෙහි ලියන පල් හෑලි කියවනවා. එසේ කරන්නේ ඒ පල් හෑලි කියවීමෙන් ඔබට කිසියම් සතුටක්, විනෝදයක්, දැනුමක් හෝ වෙනත් කවර ආකාරයක හෝ තෘප්තියක් ලැබෙන නිසයි. නමුත්, ඔබ ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්නේ නැහැ. පත්තරේක තිබෙන පල් හෑලි කියවා තෘප්තියක් ලබන විටකනම් ඔබ ඒ වෙනුවෙන් මුදලක් ගෙවනවා. ඔබට එවැනි තෘප්තියක් ලබන්න හැකි වී තිබෙන්නේ මා මේ පල් හෑලි ලියන්න කාලය යොදවන නිසා සහ ගූගල් සමාගම විසින් පහසුකම් සපයන නිසා. නමුත්, මා මෙහි පල් හෑලි ලියන්නේත්, ගූගල් සමාගම පහසුකම් සපයන්නේත් කාගෙවත් බල කිරීමක් නිසා හෝ නොකර බැරි කමකට නෙමෙයි. එයින් කිසියම් මුදල් වාසියක් හෝ තෘප්තියක් ලැබෙන නිසයි. ඒ නිසා මේ වැඩෙන් ඔබටත්, මටත්, ගූගල් සමාගමටත් සැලසෙන්නේ යහපතක්.

      නමුත්, මැතිවරණයකට තමන්ට අවශ්‍ය නොවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන සීයකින් ඉහළ ගිය විට එයට දායක වෙන්න අවශ්‍ය නැති අයට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජය විසින් ඒ මිල කොහොමටත් අය කර ගන්නවා. වෙනස ඒකයි. මෙය හරියට ආණ්ඩුව විසින් බදු මුදල් වැය කර මේ බ්ලොග් එකේ තියෙන පල් හෑලි ප්‍රවර්ධනය කරනු පිණිස පත්තර වල හා රූපවාහිණියේ දැන්වීම් දමනවා වගේ වැඩක්.

      මේ බ්ලොග් එකේ දැන්වීම් නැහැ. දැන්වීම් තිබුණානම් මටත් අතට ගානක් එනවා. යම් හෙයකින් එසේ දැන්වීම් දමා තිබුණත් මේ තර්කය වෙනස් වෙන්නේ නැහැ. මොකද දැන්වීම් දමන අය වගේම බලන අයත් එසේ කරන්නේ තමන්ගේ කැමැත්තෙන්. කාගෙවත් බල කිරීමකට නෙමෙයි.

      Delete
    2. "නමුත්, ඔබ ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්නේ නැහැ. "

      එතකොට ඩේටාවලට ගෙවන මුදල?

      Delete
    3. මම අදහස් කළේ මෙවැනි සේවාවන් සපයන අයට පාරිභෝගිකයින් විසින් මුදලක් ගෙවන්නේ නැහැ කියන එකයි. බ්ලොග් එකක් කියවන කෙනෙකුට අන්තර්ජාලයට පිවිසීමේ ගාස්තු, විදුලි බිල් වැනි වියදම් දරා ගන්න වෙනවා වගේම මේ වගේ පල් හෑලි කියවන්න ගත කරන කාලයේ ආවස්ථික පිරිවැයද විඳ දරා ගන්න වෙනවා. එය ඔවුන් කැමැත්තෙන් කරන දෙයක්. එසේ කරන්නේ එයින් ඔවුන්ට ඊට වඩා වැඩි යමක් ලැබෙන නිසයි. එහෙම වැඩි යමක් නොලැබෙනවානම් නොකියවා ඉන්න කාගෙන්වත් බාධාවක් නැහැනේ.

      Delete
  3. https://www.youtube.com/watch?v=WlBo513pkyQ

    ReplyDelete
  4. රහයි, බරයි..... කමෙන්ට්ස් වුණත්!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...