වෙබ් ලිපිනය:

Friday, September 9, 2022

එකඟතාවයෙන් පසු...


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. 

- ඩොලරයක මිලට කුමක් වෙයිද?

- වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද? 

එක් ඇමතිවරයෙක් විසින් කියා තිබුණේ ඩොලරයක මිල අඩු වෙලා රුපියල් 300 වගේ මට්ටමකට එන්න පුළුවන් කියලා. හදපු IMF වැඩසටහන තුළ එවැන්නක් සිදු වනවාද කියා මම හරියටම දන්නේ නැහැ. මගේ අදහස අනුවනම් ඩොලරයක මිල නැවත රුපියල් 300 මට්ටමට ගත හැකි සාර්ව ආර්ථික සැලසුමක් හදන එක කළ නොහැකි තරම් අසීරු වැඩක්. 

දැන් ඩොලරයක මිල තිබෙන තැනින් පටන් ගත්තොත්, රුපියල් 360 කියා කියන්නේ ඩොලරයක නියම මිල නොවන බව කාට වුනත් පැහැදිලි ඇති. ආනයන සීමා ආදිය ඉවත් කරලා, විණිමය අනුපාතය පා කළොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. එහෙම නොවෙන්නනම් රටට විශාල ඩොලර් ප්‍රවාහයක් ගලා ආ යුතුයි. IMF සල්ලි ලැබුණත්, ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. 

එකඟ වී තිබෙන වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ යුතුයි. සාමාන්‍යයෙන් IMF එක ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ කියන්නේ, විණිමය අනුපාතය පා කරනවාට අමතරව ආනයන පාලනද ඉවත් කරන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න යද්දී නැවත උද්ධමනය ඉහළ යයිද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්.

මම දිගින් දිගටම කියා ඇති පරිදි උද්ධමනය ඉහළ යන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා මිසක් ඩොලරයක මිල ඉහළ යාම නිසා නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඩොලරයක මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. 

මේ කතාව එදිනෙදා නිරීක්ෂණ එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඩොලරයක මිලට වගේම අනෙක් භාණ්ඩ හා සේවා වල මිල ගණන් වලටත් අදාළයි. 

මුදල් සැපයුම වැඩි වන විට සියලුම භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම මිල ඉහළ යන පරිදි පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මත මිල ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකට. 

ඉල්ලුම වැඩි වී, උද්ධමන පීඩනය වැඩි වෙද්දී, එයට අනුරූපව මිල ඉහළ යාමට බාධාවක් සිදු නොවුනොත් පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය බොහෝ දුරට පිළිබිඹු වෙනවා. නමුත්, ඒ විදිහට මිල ඉහළ යන්න නොදී මිල පාලනය කළොත් මිල දර්ශකයකින් නියම උද්ධමනය නිරූපණය වෙන්නේ නැහැ. 

උදාහරණයක් විදිහට 2014 සිට රටේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ ගිහින් ගොඩක් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගිහින් තිබුණත්, එයට අනුරූපව විදුලි බිල් ඉහළ ගිහින් නැහැ. රටේ හැම භාණ්ඩයකම වගේ මිල ඉහළ යද්දී ලංවිම වගේ ආයතනයක සේවකයින්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගෙන යාම සඳහා වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. විදුලිය නිපදවන ඉන්ධන වැනි අමුද්‍රව්‍ය වල මිලත් ඉහළ යනවා. විදුලිය සැපයීමේ කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක් නොවුනානම් මේ විදිහට වියදම් ඉහළ යද්දී මිලත් ඉහළ යනවා. පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය පේනවා.

මිල පාලනය කරගෙන හිටියහම ඔය විදිහට නියම උද්ධමනය පේන්නේ නැහැ. පේන්නේ අඩු උද්ධමනයක්. කොයි වෙලාවේ හරි මිල සංශෝධනය කළාම කාලයක් තිස්සේ හැදී තිබුණු, එහෙත් පාරිභෝගික මිල දර්ශකය තුළ නිරූපණය නොවූ උද්ධමනය පේන්න ගන්නවා. ඇත්තටම එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වීමක් නෙමෙයි. ඒ වන විටත් හැදී තිබුණු උද්ධමනය පේන්න පටන් ගැනීමක්. 

ඩොලරයක මිල පාලනය කළ විට වෙන්නෙත් හරියටම ඔය වැඩේ. උද්ධමනය අඩුවෙන් පේනවා. නමුත්, පෙනුණේ නැතත්, ඇත්තටම උද්ධමනය ඉහළ යනවා. ඩොලරය පා කළාට පස්සේ කාලයක් දර්ශක තුළ දැකිය නොහැකි වූ උද්ධමනය පේන්න ගන්නවා. නමුත් එය ඇත්තටම උද්ධමනය වැඩිවීමක් නෙමෙයි. 

මිල පාලනය මගින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. මිල පාලනය ඉවත් කළ විට ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ජීවන වියදම ඉහළ යාමටම නෙමෙයි. ජීවන වියදම ඉහළ යාම පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පරිභෝජන රටාව මත. එහෙත්, උද්ධමනය කියා කියන්නේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් නෙමෙයි. එය රටේ මුදල් ඒකකයට සම්බන්ධ දෙයක්. ලංකාවේනම් රුපියලට සම්බන්ධ දෙයක්. රුපියල් අතේ තිබෙන හා ණයට ගත් හැම දෙනෙකුටම උද්ධමනය බලපාන්නේ එක විදිහට. නමුත්, ජීවන වියදම ඒ වගේ එක විදිහට බලපාන්නේ නැහැ.

පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ තෝරාගත් ජන කණ්ඩායමකගේ ජීවන වියදමෙහි සාමාන්‍ය වෙනස්වීම මිසක් උද්ධමනය නෙමෙයි. නමුත්, වඩා හොඳ මිනුමක් නැති නිසා උද්ධමනය මැනීමේ සම්මතය විදිහටත් ලෝකයේ හැම රටක්ම වගේ පාරිභෝගික මිල දර්ශක යොදා ගන්නවා. ඔය සම්මතය උද්ධමනය ලෙස බොහෝ විට හඳුන්වනවා. දර්ශකයක අඩංගු භාණ්ඩ හා සේවා වල මිල නිදහසේ තීරණය වෙනවානම් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත්, මිල නියාමනය වන විට තත්ත්වය වෙනස්. 

ජීවන වියදම වැඩි වීම කෙටිකාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ජීවන වියදම වැඩිවීම ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. ඒ නිසාම, සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී උත්සාහ කරන්නේ උද්ධමනය පාලනය කරන්න මිසක් ජීවන වියදම පාලනය කරන්න නෙමෙයි. 

සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී ජීවන වියදම ගැන ලොකුවට වද නොවී උද්ධමනය පාලනය කරන්න මහන්සි වෙන්නේ අඩු වශයෙන් හේතු තුනක් නිසා. පළමුව, උද්ධමනය පාලනය වෙන්නේ නැහැ කියා කියන්නේ දිගින් දිගටම ජීවන වියදම වැඩි වෙනවා කියන එක. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම මගින් වක්‍ර ලෙස ජීවන වියදම වැඩි වීම තිරසාර ලෙස පාලනය කෙරෙනවා. දෙවනුව, කරන්න අවශ්‍ය වුනත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් කෙටිකාලීනව ජීවන වියදම පාලනය කරන්න බැහැ. තෙවනුව, ජීවන වියදම වැඩි වීමට හේතුව උද්ධමනය නොවේනම්, කිසිවක් නොකළත් ප්‍රශ්නය කෙටි කලකින් ඉබේටම විසඳෙනවා. 

මිල පාලනය ජීවන වියදම ඉහළ යාමට කෙටිකාලීන විසඳුමක් වුනත් දිගුකාලීනව වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. ලංවිම උදාහරණය ගත්තොත්, විදුලි බිල වැඩි නොකිරීම නිසා ජීවන වියදම වැඩි වීම තාවකාලිකව පාලනය වෙනවා. නමුත්, ලංවිම පාඩුව පියවන්න මුදල් සැපයුම වැඩි කරද්දී අනෙක් හැම බඩුවකම මිල ඉහළ යනවා. අවසාන වශයෙන් විදුලි බිලත් වැඩි කරන්න වෙනවා. 

රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ තුළ සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන, විදුලිය ආදියේ මිල පිරිවැය හා ගැලපෙන පරිදි වැඩි කිරීමටයි. ඒ වගේම ඩොලරය පා කිරීමද සැලසුමේ කොටසක්. මේ දේවල් වලින් උද්ධමනය ඉහළ යන්නේ නැතත් ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය ඉහළ යයිද කියන එක තීරණය වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීම අනුව. මුදල් සැපයුම වැඩි වුනේ නැත්නම්, මේ වගේ සමහර දේවල් වල මිල ඉහළ යද්දී මිනිස්සුන්ට අනෙක් දේවල් සීමා කරන්න වෙනවා. එතකොට ඒ දේවල් වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. ඒ නිසා, සමස්තයක් ලෙස ජීවන වියදම වැඩි වීමක් ලොකුවට නොවෙන්න පුළුවන්. 

උද්ධමනය අඩු කිරීම IMF වැඩසටහනක ප්‍රධාන ඉලක්කයක්. ඩොලරයක මිල පා කිරීම වගේ දෙයක් කරන්නේ ඒ අරමුණ වෙනුවෙන් මිසක් ඒ අරමුණ අත හැරලා නෙමෙයි. ඒ නිසා, වැඩ සටහන ඇතුළේ ඩොලරය පා කිරීම සිදු වනු ඇත්තේ උද්ධමනය පාලනය වන බවට වග බලා ගනිමිනුයි. 

ඔය දේවල් වෙද්දී ඩොලර් එකක් කීයට යයිද? 

දැනට තිබෙන අවිනිශ්චිතතා එක්ක IMF සල්ලි ලැබෙන්න තවත් මාස හයක් පමණවත් යා හැකියි. ඊටත් වඩා කාලයක් යන්නත් පුළුවන්. අඩු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඉවරයක් වෙනකම් ඩොලරය පා කරන එක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වුනත්, ඩොලරය පා කරන්න කලින් විදේශ වෙළඳාම නැවතත් ටිකෙන් ටික විවෘත කරන්න වෙනවා. එය කරන්න වෙන්නේ රටට ඩොලර් එන විදිහ අනුවයි. විණිමය අනුපාතය පාකෙරෙනු ඇත්තේ ඩොලර් ඉල්ලුම හා සැපයුම බොහෝ දුරට සමතුලිත වුනාට පසුවයි.

එතෙක්, අඩු වශයෙන් මාස හයක් පමණ, සිදුවනු ඇත්තේ දැන් සිදුවන දෙයයි. ඒ කියන්නේ රටට එන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. ජූනි හා ජූලි මාස තුළ මේ වැඩේ වෙලා තියෙනවා. බැංකු පද්ධතියේ විදේශ ණය අඩු වී නැතත්, වැඩි වෙලත් නැහැ. බොහෝ විට අගෝස්තු මාසයේ තත්ත්වයත් මෙයම විය යුතුයි. 

සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ඉදිරි මාස වලදී අපේක්ෂිත පරිදි ඉදිරියට ගියොත් රටට යම් ඩොලර් ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒ ඩොලර් නිසා විදේශ විණිමය පීඩනය ටිකක් අඩු වෙයි. හැබැයි ඩොලරයක මිල පහළ යාමට පීඩනයක් එන්නනම් ඉඩක් නැහැ. 

සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වල ලොකුවට ණය ගෙවන්න නැහැ. ඒ නිසා, ඒ මාස දෙක අවුලක් නැතිව ලැබෙන ඩොලර් වලින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි. නමුත්, ඉන්පසු මාස නවය තුළ ඩොලර් බිලියන හතරහමාරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා, රටට වැඩියෙන් ඩොලර් ඇවිත්, ආනයන සීමා හරහා ඒ ඩොලර් ඉතිරි කරගත්තත්, ඩොලර් ටික ණය ගෙවන්න යොදා ගන්න වෙනවා. ඩොලර් රටේ ඉතිරි නොවන නිසා රුපියල ශක්තිමත් වෙන්න ඉඩක් නැහැ. 

Wednesday, September 7, 2022

IMF වැඩසටහන


කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන.  IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන.

ඉතා කෙටියෙන් කිවුවොත් IMF වැඩසටහනක් කියා කියන්නේ ඉදිරි වසර දහයක පමණ කාලය සඳහා හදන සාර්ව ආර්ථික සැලසුමක්. එයින් මුල් වසර හතරක පමණ කාලයට වැඩි අවධානයක් ලැබෙනවා.

IMF වැඩසටහනක හිටියත් නැතත් ඕනෑම රටක් මේ වගේ සැලසුම් හදනවා. හැම වසරකම ඒ සැලසුම් යාවත්කාලීන කරනවා. IMF වැඩසටහනක් මෙවැනි සාමාන්‍ය වැඩ සටහනකින් වෙනස් වෙන්නේ කරුණු දෙකක් නිසා. පළමුවැන්න මේ කාලය තුළ IMF එකෙන් ණය මුදලක් ලැබීම. දෙවැන්න අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සමඟ IMF එක එකඟ වීම. ඔය කරුණු දෙක හැරුණු විට මෙතැන තියෙන්නේ රටක් කොහොමටත් කරන දෙයක්.

සාර්ව ආර්ථික සැලසුමක් කියා කියන්නේ කුමක්ද?

කිසියම් රටක ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් ගණනාවක් තියෙනවනේ. උදාහරණ විදිහට දළ ජාතික නිෂ්පාදිතය, විරැකියා අනුපාතය, උද්ධමනය, විණිමය අනුපාතය, ආනයන, අපනයන, ශ්‍රමික ප්‍රේෂණ වගේ ජංගම ගිණුමට එන යන විදේශ විණිමය ප්‍රවාහ, ඒ විදිහටම ප්‍රාග්ධන ගිණුමට යන එන විදේශ විණිමය ප්‍රවාහ, මුදල් සැපයුම, පොලී අනුපාතික, දේශීය ඉතිරි කිරීම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම්, දේශීය හා විදේශීය රාජ්‍ය ණය, පෞද්ගලික අංශයේ ණය ආදිය. ලැයිස්තුව තව දිගයි. 

පෙර වසරක ඔය වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් හැසිරුණු ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හදන එක සාපේක්ෂව ගොඩක්ම අමාරු වැඩක් නෙමෙයි. නමුත්, මේ විචල්‍යයන් අනාගතයේ හැසිරෙනු ඇති ආකාරය පුරෝකථනය කරන එක ඉතාම අසීරු වැඩක්. සාර්ව-ආර්ථික සැලසුමක පළමු පියවර ඉදිරි වසර ගණනාවක් සඳහා හැකි තරම් නිවැරදි පුරෝකථනයක් හදන එක.

මේ විදිහට හදන පුරෝකථනයන් හරියටම හරි කියලා කාටවත් සහතික වෙන්න බැහැ. නමුත්, වැරදියි කියලා නිගමනය කරන එක ඊට වඩා පහසුයි. මොකද මේ එක් එක් විචල්‍යය අතර තිබිය යුතු සංකීර්ණ සම්බන්ධතා ඒ විදිහට පේන්න නැත්නම් පුරෝකථන වැරදි බව ඉතාම පැහැදිලියි. 

- මුදල් සැපයුම වැඩි කළාම ඉදිරි වසර වලදී උද්ධමනය ඉහළ යනවා

- පොලී අනුපාතික වැඩි කළාම ආර්ථික වර්ධනය අඩු වෙනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම විරැකියා අනුපාතය ඉහළ යනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම රාජ්‍ය ආදායම් අඩු වෙනවා 

- උද්ධමනය වැඩි වෙද්දී (යම් මට්ටමක් දක්වා) රාජ්‍ය ආදායම් වැඩි වෙනවා 

- විණිමය අනුපාතය වෙනස් වෙද්දී ආනයන අපනයන වෙනස් වෙනවා 

ඔය වගේ සාමාන්‍යයෙන් "විය යුතු" දේවල් ගණනාවක් තිබෙනවා. මූලික පුරෝකථන නිවැරදිනම් එම පුරෝකථන වලින් මේ විය යුතු දේවල් නිරූපණය වෙන්න ඕනෑ. සාර්ව ආර්ථික වැඩ සටහනක් හදන එකේ පළමු පියවර දැනට තිබෙන තත්ත්වයන් මත පදනම්ව නිවැරදි කෙසේ වුවත් වැරදි පැහැදිලිව පේන්න නැති අනාගත පුරෝකථනයක් හදා ගන්න එකයි. සාර්ව ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල තිබෙන සංකීර්ණ ස්වභාවය නිසා මෙය ලේසි වැඩක් නෙමෙයි. IMF වැඩ සටහනක් හදද්දී IMF එකේ නිලධාරීන් විසින්ද මෙවැනි මූලික පුරෝකථන (baseline predictions) පරීක්ෂා කරලා වැරදි පෙනෙන්න ඇත්නම් නිවැරදි කරනවා.

ඊට පස්සේ දෙවන පියවර. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තිබෙන දේවල් සැලසුම් සහගත ලෙස වෙනස් කරන එක. හැබැයි මේ විදිහට වෙනස් කරන්න පුළුවන් විචල්‍ය තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. 

රජයට පුළුවන් රාජ්‍ය ආදායම් (බදු) හා රාජ්‍ය වියදම් වෙනස් කරන්න. ඒ වගේම අයවැය හිඟයක් ඇති විට ණය ගන්නේ කාගෙන්ද කියන එක තීරණය කරන්න. මේවා වැටෙන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යටතට. අනෙක් පැත්තෙන් මහ බැංකුවට පුළුවන් මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරන්න. ඒ කියන්නේ පොලී අනුපාතික, මුදල් සැපයුම, විණිමය අනුපාතය වගේ දේවල් පාලනය කරන්න. 

ඔය වගේ වෙනසක් කළ ගමන් ඉදිරි කාලය හා අදාළ අනෙක් හැම විචල්‍යයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වූ අනාගත තත්ත්වය පවතින තත්ත්වය සේ සලකලා ලබන වසර තුළ ගන්න අදහස් කරන මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනත් දැන්ම නිගමනයයකට එන්න පුළුවන්. ඔය ක්‍රමයට ඉදිරි වසර ගණනාවක කාලය තුළ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය සැලසුම් කරන්න පුළුවන්.

පවතින තත්ත්වයන් යටතේ අනාගත පුරෝකථන සියල්ල හරියටම හරි වුනත් විචල්‍යයන්ගේ ඇත්ත හැසිරීම ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ, මේ විචල්‍යයන්ගේ හැසිරීම තීරණය කරන්නේ රජය හා මහ බැංකුව විසින් පමණක් නොවන නිසා. රටේ අනෙකුත් අය කරන හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් මේ විචල්‍යයන්ට බලපෑමක් කරනවා. රටෙන් පිට සිදුවන දේවල් ඊට වඩා බලපෑම් කරනවා. රට ඇතුළේ හා රටින් පිට සිදුවන ස්වභාවික වෙනස්කම් වලිනුත් බලපෑම් සිදු වෙනවා. ඒ වගේ දේවල් රජයට හෝ මහ බැංකුවට වෙනස් කරන්න බැහැ. කළ හැක්කේ ඒ වගේ හේතු නිසා සාර්ව ආර්ථික විචල්‍යයන් සැලසුමෙන් පිට යද්දී මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින්ම එම බලපෑම් නිශේධනය කරමින් කලින් සැලසුම් කළ ගතික සමතුලිතතාවය පවත්වාගෙන යාම පමණයි.

මේ දෙක ගත්තත්, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති තරම්ම නම්‍යශීලී නැහැ. මුදල් ප්‍රතිපත්ති දිනපතා වුනත් සුළුවෙන් හෝ වෙනස් කරන්න පුළුවන්. නමුත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති අඩු වශයෙන් වසරක කාලයක් සඳහා සැලසුම් කෙරෙනවා. ඒ නිසා, සාර්ව ආර්ථික සැලසුමක් සකස් කරද්දී මුදල් හා විණිමය ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළාට පසුවයි. පවතින අනෙකුත් තත්ත්වයන් එසේම පවතිනු ඇතැයි යන පදනම මත මුලින්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ඊට පස්සේ එම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිද පවතින තත්ත්වය ලෙස සලකා මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරනවා.

සැලසුම හැදුවට පස්සේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පොඩ්ඩක් සැලසුමෙන් පිට පැන්නොත් හරි අනෙකුත් තත්ත්වයන් පොඩ්ඩක් වෙනස් වුනොත් හරි මුදල් ප්‍රතිපත්තිය සීරුමාරු කරලා නැවත සැලසුම ඇතුළට එන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් වුනොත් මේ වැඩේ කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් රටකට IMF එකේ උදවු ගන්න වෙන්නේ මහ බැංකුවට පමණක් තනියම ගොඩ දාන්න බැරි තරමට රටේ ආර්ථිකය අස්ථාවර වුනහමයි. එහෙම වෙන්න පුළුවන් හේතු දෙකක් තිබෙනවා. එකක් අනපේක්ෂිත ස්වභාවික හෝ බාහිර කම්පනයක් ආ විට. වසංගතයක්, ස්වභාවික ආපදාවක්, ජාත්‍යන්තරව සිදු වන තෙල් මිල වැඩි වීම වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ කම්පනයක බලපෑම ස්වභාවයෙන්ම තාවකාලිකයි. ඒ නිසා, IMF එකෙන් මේ වගේ හදිසි අවස්ථාවක දෙන ණයක් ඉතා පහසුවෙන්ම පසුව ආපසු ගෙවන්න පුළුවන්. 

දෙවන හේතුව රටේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පිටපොට පැනීම. පොඩි වෙනසක් මහ බැංකුවට කළමනාකරණය කරගත හැකි වුවත් ලොකු වෙනසක් කළමනාකරණය කරගන්න බැහැ. ඒ වගේම, බොහෝ විට මේ වගේ පිටපොට පැනීම් අහම්බයන් නෙමෙයි. සැලසුම්සහගත ලෙස රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කර නොගත්තොත් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය අවුල් කරගන්නවා වගේම මහ බැංකුව විසින් මුදල් හා විණිමය ප්‍රතිපත්ති අවුල් කරගෙන වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය දෙවැන්න වෙන්නේ පළමුවැන්න වුනාට පස්සේ. ඒ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය වගේම මුදල් හා විණිමය ප්‍රතිපත්තිත් නිවැරදි කර ගන්න වෙනවා. එහෙම නැතුව ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ඒ විතරකුත් මදි. ඒ ප්‍රතිපත්ති වසර ගණනාවක් එක දිගට පවත්වාගෙන නොගියොත් ආර්ථිකය නැවත හරි පාරට වැටෙන්නේ නැහැ. 

ඔය වගේ වෙලාවක IMF එක විසින් ණයක් දෙන විට තත්ත්වය ස්වභාවික හෝ බාහිර කම්පනයක් නිසා ආර්ථිකය අස්ථාවර වීමකදී තත්ත්වයට වඩා වෙනස්. ණය දුන්නා කියලා ආර්ථිකය ඉබේටම ස්ථාවර වෙන්නේ නැහැ. රටේ බලධාරීන් විසින් සක්‍රිය ලෙස මැදිහත් වී ආර්ථිකය ස්ථාවර කර ගත යුතුයි. එහෙම නැත්නම් දුන්න ණය ආපසු ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා, මේ පළමුව මේ වැඩේ කරන විදිහ IMF එකට පෙන්වන්න ඕනෑ. ඒ වැඩ පිළිවෙළ එක්ක IMF එක එකඟ වෙන්න ඕනෑ. ඉන් පසුව, ඒ වැඩ පිළිවෙළ වෙනස් නොකර ක්‍රියාත්මක කරන බවට IMF එකත් එක්ක ගිවිසුම්ගත වෙන්න ඕනෑ.

සාමාන්‍ය තත්ත්වය ඕක. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගත් විට වසර තුන හතරකින් ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන්. ඒ විදිහට ආර්ථිකය ස්ථාවර වන තුරු ඇදගන්න තමයි IMF ණය දෙන්නේ. 

හැබැයි දැන් ලංකාවේ තත්ත්වය මේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගෙන IMF ණය ගත්තත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒක කරන්නනම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. 

මේ වෙද්දී වසර හතරක කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වැඩ පිළිවෙළක් හදා තියෙනවා. එයට IMF එකේ නිලධාරී මට්ටමේ අනුමැතියද ලැබී තිබෙනවා. වැඩසටහන ගැන ඊට වඩා වැඩි විස්තර කිසිවක් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. මෙවැනි වැඩ සටහනක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. ඒ කියන්නේ ණය වලින් කොපමණක් කපා හරිනවාද, ඉතිරි කොටස ගෙවන්නේ කවදාද වැනි දේවල් "පවතින තත්ත්වය" ලෙස සලකලා පමණයි.

මේක සාමාන්‍ය IMF වැඩ සටහනකදී මුහුණ දෙන්න සිදු නොවෙන සංකීර්ණ තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය හරියටම තීරණය වෙන්නේ ණයහිමියන් එක්ක කතා කරලා එකඟතාවයකට ආවට පස්සේ. නමුත්, ණයහිමියන් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න කලින් ඔවුන්ට පෙන්වීම සඳහා ස්ථායීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ස්ථායීකරණ වැඩපිළිවෙළක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. සාකච්ඡාවෙන් පසුව ඇතිවන එකඟතාවය ඒ උපකල්පන වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හදපු, එකඟ වුනු IMF වැඩසටහන බොහෝ විට නැවත සංශෝධනය කරන්න වෙනවා කියන එකයි.

මීට පෙර අවස්ථා වල IMF වැඩසටහන් කලින් ප්‍රසිද්ධ කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට එවැන්නක් සිදු වී නැතුව ඇති. රටටම බලපාන මේ වගේ දෙයක් පාරදෘශ්‍ය ලෙස කරන එක හොඳයි කියා තර්ක කරන්නත් පුළුවන්. නමුත්, වෙනදා කෙසේ වෙතත් මේ පාරනම් මේ වැඩසටහන ප්‍රසිද්ධ කරන එක කොහොමටවත්ම කරන්න බැහැ. ඒ ඇයි? 

අපි හිතමු වැඩ සටහන හදලා තියෙන්නේ 20%ක ණය කපා හැරීමක් කළ හැකියි කියලා උපකල්පනය කරලා කියලා. ඕක කරන්නනම් ණයහිමියන්ගෙන් ඊට වැඩි ණය කපා හැරීමක් (30%ක් කියමු) ඉල්ලන්න වෙනවා. අන්තිමට 20%කට කැමති කරගන්න පුළුවන් වෙන්නේ 30%කින්වත් පටන් ගත්තොත් පමණයි. දැන් අපි හිතමු 20%ක ණය කපා හැරීමක් භාර ගන්න ලංකාව සූදානම් කියන එක ප්‍රසිද්ධ වුනා කියලා. ඊට පස්සේ ණයකාරයෝ 20%ට කැමති වෙයිද? මේක උදාහරණයක් පමණයි. ඔය සංඛ්‍යා පස්සේ පන්නන්න එපා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය IMF වැඩසටහනේම කොටසක් කියන එක කාට වුනත් පැහැදිලියිනේ. කෙටියෙන් කිවුවොත්, මේ අයවැයෙන් කරන්නේ ණය වෙලා සහන දෙන එක. බදු ආදායම් ටිකක් වැඩි කරගෙන වුනත් වියදම් ඊටත් වඩා වැඩි වෙනවා. කියන විදිහට බැංකු අංශයෙන් ණය ගන්න සූදානමක් නැහැ. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හා බැංකු නොවන ව්‍යාපාරිකයන්ට විශාල ලෙස භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

ස්ථායීකරන වැඩපිළිවෙළ අනුව දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවට රාවයක් පැතිරී තිබෙනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. කතාව ඇත්තනම් එයින් කියැවෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එකේත් අවදානමක් තියෙනවා කියන එකයි. කතාව ඇත්ත වුනත් බොරු වුනත් මේ කතාව නිසා දැනටමත් විශාල බලපෑමක් වී තිබෙන බව පේනවා.

අද වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 75ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 10.27ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එය හොඳ ලකුණක් නෙමෙයි.

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, September 4, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (තෙවන කොටස)


ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.

වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන. 

පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.  

රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා. 

හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්. 

ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.

අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.

රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා. 

ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා. 

ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.

දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා. 

මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.

එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි. 

පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්. 

ලංවිම - 12,711 GWh 

පෞද්ගලික අංශය - 4,004 GWh 

එකතුව - 16,716 GWh 

මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.

කොට්ඨාශය 1 - 4,129 GWh 

කොට්ඨාශය 2 - 4,766 GWh 

කොට්ඨාශය 3 - 2,675 GWh 

කොට්ඨාශය 4 - 2,010 GWh 

ලෙකෝ - 1,633 GWh 

එකතුව - 15,214 GWh 

හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.

විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්. 

කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89  

කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85

කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17

කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68

ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04

මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ. 

ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය. 

ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි. 

ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි. 

හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි. 

අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ. 

කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.

මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 

සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන. 

ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා. 

ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු. 

Saturday, September 3, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)


වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන විදිහට නියාමනය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්.

වෙළඳපොළ කාර්යක්ෂමයි කියන එක මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ. කියවන ගොඩක් අය මේ බව දන්නා, පිළිගන්නා අය. හැබැයි මෙය දන්නා අය වෙළඳපොළ කාර්යක්ෂම වෙන්නේ කොහොමද කියන එකත් අමතක කළ යුතු නැහැ. 

වෙළඳපොළ කාර්යක්ෂමතාවය සඳහා ගනුදෙනු නිදහස්ව සිදු විය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ එක් පාර්ශ්වයකටවත් පාඩුවට ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාඩු බව පේනවානම් ගනුදෙනුව නොකර ඉන්න පුළුවන්. නමුත්, තොරතුරු අසමමිතියක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

සල්ලි දීලා ගම්මිරිස් ගනිද්දී ලැබෙන්නේ පැපොල් ඇටනම්, මිරිස් කුඩු ගනිද්දී ලැබෙන්නේ ගඩොල් කුඩුනම්, එතැන අවුලක් තියෙනවනේ. විකුණන කෙනාට පාඩුවක් නැහැ. නමුත්, ගන්න කෙනා මිල ගෙවන්නේ ගන්න බඩුව ගැන හරි අවබෝධයක් නැතිව. ඒ කියන්නේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර තොරතුරු සමමිතියක් නැහැ. 

ගමනක් යන්න බස් එකට නගිද්දීත් මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් එකට නැගලා ටිකට් එක ගත්තට පස්සේ ලැබෙන සේවය මගියා බලාපොරොත්තු වූ සේවය නොවෙන්න පුළුවන්. දුරකථන සේවා වගේ දේවල් ගනිද්දීත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ තත්ත්වයක් නියාමනය මගින් වලක්වන්න පුළුවන්. ඊට පස්සෙත් මගියා මිල ගෙවනවා. නමුත්, තමන්ට ලැබෙන සේවය ගැන හරි අවබෝධයක් ඇතිව. මේ වගේ අවස්ථාවකදී නියාමකයා විසින් කරන්නේ විකිණිය හැකි භාණ්ඩය කුමක්ද කියලා අර්ථ දක්වන එක. 

ලංකාවේ පෞද්ගලික බස් වලට අවසර ලැබුණු කාලය මට මතකයි. නමුත්, ඒ අවසරය ලැබෙද්දී නියාමනය මොන විදිහට සිදු වුනාද කියලා මම සොයා බලලා නැහැ. නියාමනය පිළිවෙලක් වෙන්න යම් කාලයක් යන්න ඇති. 

මම පාසැල් යද්දී ලංගම බස් එකේ සත විස්සක් ගෙවා ගිය දුර යන්න පෞද්ගලික බස් එකක සත විසිපහක් ගෙවන්න වුනා. සමහර විට ඔය මිල තීරණය වුනේ වෙළඳපොළ තුළම වෙන්න පුළුවන්. ඇතැම් විට පෞද්ගලික බස්රථ වලටත් උපරිම මිලක් තිබුණත් වැඩි මිලක් අය කරන්න ඉඩ සලසා තිබුණා වෙන්න පුළුවන්. මමනම් සතපහ වැඩියෙන් දීලා වුනත් පෞද්ගලික බස් එකක ගියේ ගොඩක් කැමැත්තෙන්. ඉරිච්ච සීට් වෙනුවට පුසුඹ ගහන අලුත් සීට්. තව ඔය වගේ දේවල්. 

පෞද්ගලික බස් ආවාට පස්සේ ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුණා. මෙය මටනම් හොඳටම මතකයි. තවත් අයත් මේ ගැන ලියලා තියෙනවා. පාරකට අලුතෙන් ලංගම බස් එකක් වැටෙන්න සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් මැදිහත් විය යුතු වුනා. ගොඩක් වෙලාවට බස් එකේ ගමනාන්තය වුනේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ ග්‍රාමීය බලවතෙකුගේ ගෙදර කිට්ටුව තැනක්. සමහර වෙලාවට කාල සටහන් හැදුනෙත් ඔය වගේ කෙනෙකුගේ අවශ්‍යතාවය මත. ලාබය වැදගත් සාධකයක් වුනේ නැහැ. නමුත්, එහි වාසිය හැම දෙනෙකුටම සමසේ බෙදී ගියේ නැහැ. ඒ දවස් වල නොතේරුණත්, දැන් තේරෙන විදිහට, ටික දෙනෙකු විසින් මේ වගේ වාසියක් ලැබුවේ තවත් බොහෝ දෙනෙකුගේ වියදමින්. 

පෞද්ගලික බස් වැටුනේ ලාබ තිබුණු පාරවල් වලට. ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුනෙත් මේ හේතුව නිසා. බස් කිවුවට ගොඩක් වෙලාවට පොඩි වෑන්. 

සාමාන්‍යයෙන් ලාබ තියෙන පාරක් කියා කියන්නේ වැඩියෙන් සෙනඟ ඉන්න පාරක්. ඒ වගේ තැන් වලට බස් වැටෙනවා කියා කියන්නේ වැඩි දෙනෙකුගේ ශුභ සිද්ධිය සැලසෙන පරිදි වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා කියන එකයි. හැබැයි මේ ක්‍රමයේදී  සෙනඟ අඩු පාරකට බස් එකක් නොවැටෙන්න පුළුවන්. සෙනඟ ඉන්න පාරකට වුනත් සෙනඟ අඩු වෙලාවකදී බස් එකක් නැති වෙන්න පුළුවන්. 

නියාමනයක් නොතිබුනානම් වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය බොහෝ දුරට විසඳනවා. නමුත්, රජය විසින් පෞද්ගලික බස් ධාවනයට අවසර දෙන්නේ "මගී සුබසිද්ධිය වෙනුවෙන්" මිල පාලනය කරලා. බස් සේවා සපයන්නෙකුට ඊට වඩා මිලක් අය කරන්න බැහැ. අනුමත උපරිම මිලට බස් එකක් දුවවලා වියදම ආවරණය කර ගන්නනම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය නැත්නම් කවුරුවත් බස් එකක් දමන්නේ නැහැ.

මිල පාලනයක් නොතිබුණානම් රෑට දැන් තියෙනවට වඩා බස් වැටෙනවා. හැබැයි බස් ගාස්තුව දවල් ගාණට වඩා වැඩි වෙනවා. සෙනඟ අඩු පාරවල් වලටත් බස් වැටෙනවා. ඒකේ වුනත් යම් සීමාවක් තියෙනවා තමයි. බස් ගාස්තුව දෙගුණයක් කළත් වියදම ආවරණය කර ගන්න යම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවනේ. 

ලංකාවට පෞද්ගලික බස් නැවත හඳුන්වා දී කර්මාන්තය නියාමනය කරද්දී පෞද්ගලීකරණය කරන භාණ්ඩය නිවැරදිව හඳුනා ගන්නේ නැහැ. වැඩේ වරද්ද ගන්නා තැන ඕකයි. නියාමකයා බැලිය යුතුව තිබුණේ පාරිභෝගිකයාගේ පැත්තෙන්. ඒ කියන්නේ මගියාගේ පැත්තෙන්. මොකද මේ වෙළඳපොළේ තොරතුරු අසමමිතියේ අවාසිය තියෙන්නේ මගියාටයි. වෙන ගොඩක් රටවල නියාමකයා බලන්නේ මගියාගේ පැත්තෙන්. 

මගියාට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය. එතකොට මගියාගේ පැත්තෙන් බැලුවහම ඔහුට හෝ ඇයට මිල දී ගැනීමට අවශ්‍ය දෙය (සේවාව) තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන සිට තවත් අවශ්‍ය තැනකට තමන්ව ප්‍රවාහනය කරන එක. ඒ සේවාවේ යම් ගුණාත්මක භාවයකුත් තිබිය යුතුයි. මේ වෙනුවෙන් මිලක් ගෙවන්න මගියා සූදානම්. 

නමුත් නියාමකයා මේ මගී අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා වෙළඳපොළක් හදන්නේ නැහැ. ඒ වෙනුවට, කිසියම් පාරකට බස් එකක් දැමීමේ අයිතිය විකුණනවා. වෙළඳ භාණ්ඩය වෙන්නේ ඒක. මේක වෙන්නේ බස් අයිතිකරුවන්ගේ පැත්තෙන් බලලා.

මෙහෙම වෙන එක අහම්බයක් නෙමෙයි. ආරම්භයේදී මගී ප්‍රවාහන බලපත්‍ර වෙන්දේසියේ විකිනුණේ නැහැ. ඒවා තමන්ට අවශ්‍ය අයට ලබා දෙන එකයි වුනේ. බාර් පර්මිට් වගේම තමයි. මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට රූට් පර්මිට් ලැබුණා. රූට් පර්මිට් ලබා ගත හැකි වූ සමහර අය ලොකු ගණන් වලට පර්මිට් එක වෙන අයට විකිණුවා. 

මේ විදිහට පර්මිට් එකක් ලබා ගන්න බස් අයිතිකරුවෙකුට ඊට පස්සේ තියෙන්නේ පුළුවන් තරම් සල්ලි හොයන එක. එකම සීමාව බස් ටිකට් එකේ මිල. බස් එකට පොල් පටවනවා වගේ සෙනඟ පටවන්න පුළුවන්. අනෙක් බස් එක්ක තරඟ කරලා සෙනග ගන්න රේස් යන්න පුළුවන්. සෙනඟ අඩු වෙලාවට කොටන්න පුළුවන්. ඔය ඔක්කොම වුණේ නියාමන ආකෘතිය අවුල් නිසා. 

විකුණන භාණ්ඩය වෙනස් විදිහකට අර්ථ දක්වා ගත්තානම් මිල නියාමනය දැන් විදිහටම තියෙද්දී වුනත් සේවයේ ගුණාත්මක භාවය වැඩි කර ගන්න තිබුණා. උදාහරණයක් විදිහට රූට් එක විකුණන්නේ නැතිව මගී අවශ්‍යතාවය අනුව මුලින්ම කාල සටහනක් හදලා ගමන් වාර වෙන්දේසි කළානම් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. 

අපි 101 රූට් එක ගනිමු. මේවා සෙනග ඉන්න රූට්. බස් අංකයට නිශ්චිත කාල සටහනක් හදලා වැඩේ පටන් ගන්න පුළුවන්. මොරටුවෙන් පටන් ගන්න බස් එකක් කොටුව දක්වා නිශ්චිත තැන් වලින් පිටත් විය යුතු නිශ්චිත වෙලාවක් කාල සටහනේ තිබෙනවා. හරියටම ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අදාළ තැන සිටිය යුතුයි. මේ තැන් කියා කියමු. 

මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව

ඊළඟට දවසේ එක් එක් පැය තුළ මොරටුවෙන් බස් රථයක් පිටත් වන වෙලාවල් තීරණය කරන්න පුළුවන්. උදේ 7-8 අතර බස් දෙකක් අතර පරතරය අඩුයි. රෑ දහයේ සිට පාන්දර පහ දක්වා ගමන් පරතරය වැඩියි. ඔය විදිහට. ඊට පස්සේ රූට් එක වෙන්ද්සි නොකර ඔය ගමන් වාර වෙන්දේසි කරන්න පුළුවන්. 

මේ වගේ වෙන්දේසියක් විවෘත ක්‍රමයට කරන්න පුළුවන්. උදේ 7 බස් වාරයෙන් පටන් ගත්තා කියමු. කලින් ඇප මුදලක් තබා වෙන්දේසියට එන බස් හිමියන්ට ලන්සු ඉදිරිපත් කළ හැකියි. අවශ්‍යනම් නැවත නැවත ලන්සු ඉදිරිපත් කළ හැකියි. වැඩිම ලංසුව ඉදිරිපත් කළ බස් හිමියාට ගමන් වාරය හිමිවෙනවා. ඉන් පසුව, වසරක කාලයක් අදාළ සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි. 

දැන් වෙන්දේසියෙන් මේ ගමන් වාරයේ අයිතිය ලබා ගන්නා බස් හිමියාට එම ගමන් වාරය සඳහා වසරක කාලයකට ඒකාධිකාරයක් හිමි වෙනවා. ඒකාධිකාරයක් හිමි වුනත් ඒකාධිකාරයක තිබෙන ලාබ නැහැ. වෙන්දේසියේදී එකඟ වූ මිල ගෙවුවට පස්සේ ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. ඒ ලාබය ලබා ගැනීම සඳහා එකඟ වූ කාල සටහනට බස් රථය ධාවනය කරන්න වෙනවා. කලිනුත් බැහැ. පසුවත් බැහැ. බස් එකට ගන්න වෙන්නේ ඒ වෙලාවට බස් නැවතුමේ ඉන්න සෙනඟ පමණයි. 

කාල සටහන අනුව උදේ හතෙන් පසු ඊළඟ බස් වාරය පටන් ගන්නේ 7:05ට කියමු. දැන් මුල් බස් හිමියා මේ සඳහා ලංසුවක් තියන්නේ නැහැ. බස් එකකට වැඩියෙන් තියෙනවානම් පමණක් ලංසුවක් තියයි. නැත්නම් ගමන් වාරය වෙනත් බස් හිමියෙකුට යයි. ඔය විදිහට 101 රූට් එකේ "ලාබ තියෙන" ගමන් වාර සියල්ලම වෙන්දේසි කරගෙන යන්න පුළුවන්. නමුත්, රෑ දහය වගේ වෙලාවක් එද්දී ලන්සු කිසිවක් නැති වෙන්න පුළුවන්.

ලන්සු කිසිවක් නැති ගමන් වාරයකදී නියමකයාට ලංසු තියන්න පුළුවන්. ගමන් වාරය තුළ සේවා සපයන බස් හිමියාට නියාමකයා විසින් යම් මුදලක් ගෙවනවා. ඔය මුදල වැඩි කරගෙන යද්දී කවුරු හෝ බස් හිමියෙක් වැඩේට කැමති වෙනවා. අඩුම මිලට සේවය සපයන බස් හිමියාට අවස්ථාව ලැබෙනවා.

මේ වගේ ක්‍රමයකට "විකුණන දෙය" අර්ථ දැක්වීමෙන් බස් හිමියන් අතර මහපාරේ තරඟය නැති කළ හැකියි. නමුත්, ඔවුන් අතර තරඟය නිසා ලැබෙන වාසි සියල්ලමත් ලැබිලා. හැබැයි වෙන්දේසිය ඉවර වන විටම ඒ තරඟය ඉවරයි. ඊට පස්සේ සෙනඟ ඉන්න වෙලාවක බස් එක ධාවනය කළත්, සෙනඟ නැති වෙලාවක ධාවනය කළත් ලැබෙන ලාබයේ වෙනසක් නැහැ. 

මේ ක්‍රමයේදී මගීන්ට සැපයිය යුතු සේවාව නියාමකයා විසින් තීරණය කරලා ඒ සේවාව ඒ විදිහටම සැපයීමේ අවස්ථාව තමයි තරඟකාරී ලෙස වෙන්දේසි කරන්නේ. දැන් වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් ඇත්තටම වෙන්නේ පාරක බස් සේවා සැපයීම නියාමනය කිරීමේ අයිතිය බස් හිමියන්ට විකුණන එක වගේ වැඩක්. 

මේ ක්‍රමයේත් අවුල් නැතුවා නෙමෙයි. නියාමකයා විසින් හදන කාල සටහන ප්‍රශස්තම කාල සටහන නොවෙන්න පුළුවන්. නමුත්, මගී දත්ත එකතු කරලා කාල සටහන සීරුමාරු කර ගන්න එක වැඩි කලක් නොයා කර ගන්න පුළුවන් දෙයක්. මගී දත්ත එකතු නොකළත් වෙන්දේසියේ මිල ගණන් වලින්ම ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. අවශ්‍යනම් ඒ අනුව, මිල ගණන් සංශෝධනය කරන්නත් පුළුවන්. 

උදාහරණයක් විදිහට රෑට සිදු වෙන පාඩුව අවම කර ගන්න රාත්‍රී ගමන් වාර වල බස් ගාස්තුව වැඩි කරන්න පුළුවන්. කාර්යාල වෙලාවල් වල තදබදය අඩු කර ගැනීම සඳහා ඒ ගමන් වාර වල ගාස්තුව වැඩි කරන්න පුළුවන්. නැත්නම් දැන් වගේම දිගටම එකම මිලක් අය කරන්නත් පුළුවන්.

මේ ක්‍රමයට දවල්ට බස් වල යන මගීන්ගේ වියදමෙන් රෑට බස් වල යන මගීන්ව සුබසාධනය කළ හැකියි. ඒ හැර, වෙනත් කිසිවෙකුට බරක් පටවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔය කණ්ඩායම් දෙකම එකම පිරිසක් නිසා මෙහි ලොකු වැරැද්දක් නැහැ. දවල්ට බස් එකක යද්දී පොඩ්ඩක් වැඩියෙන් ගෙවන මිල හදිසියේ දවසක රෑ ගමනක් යද්දී බස් එකක් තිබෙන බවට වන රක්ෂණයේ මිලයි.

දැන් මේ කතා කළේ 101 වගේ සෙනඟ ඉන්න රූට් එකක් ගැන. සෙනග නැති, ලාබ නැති, රූට් එකක් පිළිබඳ තත්ත්වය කුමක්ද?

මේ වගේ රූට් එකකට ඔය ක්‍රමයටම සුබසාධනය කර බස් දමන්න පුළුවන් වුනත්, ඒ වියදම ඒ රූට් එකෙන්ම එකතු කර ගන්න බැහැ. වියදම එකතු කර ගන්න වෙන්නේ ලාබ තියෙන වෙන රූට් එකකින්. ගෝනමඩිත්තට බස් එකක් දමන එකේ පාඩුව මොරටුව මගීන්ගෙන් අය කර ගන්න එක සාධාරණද?

මේක දේශපාලනික ප්‍රශ්නයක්. අපිට දෙපැත්තකට තර්ක කරන්න පුළුවන්. තනි මගියෙක්ගේ පැත්තෙන් බැලුවොත්, මොරටුවේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් එනවානම්, ඒ මිලම ගෙවා ගෝනමඩිත්තේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් තිබීමේ වරප්‍රසාදය මගියෙකුට නොතිබිය යුතුද? මේ වගේ තර්කයකට යම් පදනමක් තිබෙනවා. මොකද තනි මගියෙක් ගත්තහම අදාළ ප්‍රදේශයේ වැඩිපුර සෙනග ඉන්නවද නැද්ද කියන එක බාහිර කරුණක්. තමන් ඉන්න පැත්තේ සෙනග නැත්තේ මගියාගේ වැරැද්දකින් නෙමෙයි.

මේ තර්කය නිවැරදි වෙන්නේ තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක් නොවන අහම්බයක්නම්. පාසැල් සිසුන් වැනි අය හා අදාළව මේ තර්කය හරි. නමුත්, තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක්නම් මේ තර්කය අදාළ නැහැ.

කොළඹ රැකියාවක් කරන කෙනෙක් බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලකුත්, බස් අඩු පැත්තක බෝඩිමකට අඩු මිලකුත් ගෙවන්නේ ඇයි? බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලක් ගෙවන්නේ බස් වැඩියෙන් තියෙන එක වෙනුවෙනුත් ගාණක් එකතු කරලා. ඔහොම තියෙද්දී ඔහුගෙන් සල්ලි අය කරලා ඒ වියදමෙන් බස් අඩු පැත්තට බස් එකක් දැම්මහම ඔහුට හෝ ඇයට වෙන්නේ අසාධාරණයක්. ඒ වගේම, බස් වැඩි පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදාගත් කෙනෙකුටත් මෙවැනිම අසාධාරණයක් වෙනවා.

කොහොම වුනත්, ලංකාවේ ඉඩම්, නිවාස වෙළඳපොළ සක්‍රිය නැති නිසා මුල් තර්කයට යම් වලංගු භාවයක් තිබෙනවා. අවසාන වශයෙන් සෙනග අඩු පැත්තේ මගීන් සෙනග වැඩි පැත්තේ අයගේ වියදමෙන් සුබසාධනය විය යුතුයිද, ඒ කොපමණකටද කියන එක දේශපාලනික ලෙස තීරණය විය යුතු දෙයක්. ඒ තීරණය අනුව වෙනස්ම පිරිසකගේ වියදමෙන් මේ මගීන්ව සුබසාධනය විය යුතුයි කියන තීරණය වුනත් එන්න පුළුවන්.

මට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණ මේ දේශපාලනික තීරණය නෙමෙයි. අවසාන වශයෙන් ගෝනමඩිත්තට මිනිත්තු පහකට වරක් බස් එකක් දමන්න තීරණය වුනා කියා කියමු. දැන් ඔය වැඩේට ලංගම වැනි ආයතනයක් පාඩුවට නඩත්තු කළ යුතුද?

ඔය විදිහේ සුබසාධනයක් කරන්න අවශ්‍ය වුවත්, වෙළඳපොළ මූලධර්ම ඇතුළේම ඉඳගෙන ඔය වැඩේ වඩා කාර්යක්ෂම ලෙස කළ හැකියි. අර ගමන් වාර ටික වෙන්දේසි කරලා අඩුම ලංසු ඉදිරිපත් කරන බස් හිමියන්ට අවස්ථාව ලබා දෙන එකයි කරන්න තියෙන්නේ. ඔය වැඩේට පාඩු ලබමින් ලංගමක් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. 

අනෙක් අතට ඔය කියපු විදිහේ තරඟයක් ඇතුළේ ලංගමට පවතින්න පුළුවන්නම් ලංගම තිබුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි සුබසාධනය විය යුත්තේ මගීන්ව මිසක් ලංගම නෙමෙයි. ලංගම අනිවාර්යයෙන්ම ලාබ ලැබිය යුතුයි.

නැවත සෙනඟ අඩු රූට් එකකට ආවොත් ඔය වගේ පැත්තකට බස් එකක් දැමිය යුත්තේ ඇයි? අදාළ ප්‍රදේශයේ මිනිස්සුන්ට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය මිසක් ගමට බස් එකක් තිබීමේ අවශ්‍යතාවය නෙමෙයි. ඒ වැඩේ කෙරෙනවානම් බස් එකක්ම අවශ්‍ය නැහැ. 

කවදාවත්ම බස් එකක් පිරෙන්න සෙනඟ නැති පාරකට ලොකු බස් එකක් අවශ්‍ය නැහැ. වැඩේ කෙරෙන පොඩි වාහනයක් තිබුණහම හොඳටම ඇති. රාත්‍රී කාලයේ සෙනඟ නැති හිස් බස් ධාවනය කරවන එකත් තේරුමක් නැති වැඩක්. හොට්ලයින් එකකට සම්බන්ධ කරලා මොනවා හෝ පොඩි වාහන ටිකක් තැනින් තැන අංගන වල නවත්වා තබන එක ඊට වඩා ලාබයි. කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනට සලසන සේවාවම ඊට වඩා අඩු වියදමකින් සලසන එක. සුබසාධනය කිරීම එක් දෙයක්. එය අකාර්යක්ෂම ලෙස කිරීම තවත් දෙයක්. 

සුබසාධනය කිරීමම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත්, එය වඩා කාර්යක්ෂම ලෙස කිරීමෙන් මේ අකාර්යක්ෂමතාවය අඩු කර ගන්න පුළුවන්.

Friday, September 2, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)


"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ.

අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට ම පාඩු ලබන වැඩක්. ඔවුන් හිතන විදියට ලංගම සේරම නවත්තල දාල ප්‍රවාහනය පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි හිතමු එහෙම දුන්න කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඊට පස්සෙ මේ රටේ බස් දුවන්නෙ ලාභ ලබන රූට්වල විතරයි. කොළඹට කිලෝමීටර් 15කට මෙහා තියෙන ගෝනමඩිත්ත කියන ගමට දවසකට බස් හයකට වඩා දුවන්නෙ නෑ. උදේට දෙකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඔච්චරයි. ඇයි, ඊට වඩා දුවන එක පාඩුයි. ලංගම නැත්නම් දවල්ට ගමනක් ගිහිල්ල හමාරයි.

අන්න ඒ ගැප් එක පුරවන්න තමයි රාජ්‍ය ව්‍යවසාය මැදිහත් වෙන්න ඕන. ඒ නිසා ම තමයි ලංගම වගේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවට හෝ ඉතා සුළු ලාභයක් ලැබුවට කමක් නෑ කියල මම කියන්නෙ.

හැබැයි පත්තරවල මේක යන්නෙ වෙන විදියකට. පත්තර ඇතුළු මාධ්‍ය වාර්තා කරන්නෙ "ලංගම ගිය වසරේ අච්චරක් පාඩු ලැබුවා / මෙච්චරක් ලාභ ලැබුවා" කියලයි. ඔය මාධ්‍ය ම කවදාවත් කියනව ද "යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන මෙච්‍චරක් පාඩු ලැබුවා" කියල? නෑ. ඇයි? අපි හැමෝ ම දන්නව රජය හමුදාවක් නඩත්තු කරන්නෙ ලාභ ලබන අරමුණින් නෙමෙයි කියල.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනයට එනකොට අපට මේක අමතක වෙනව. ඒකයි ප්‍රශ්නෙ."

ඉහතින් තියෙන්නේ අපේ වියුණුවේ දමා තිබුණු ප්‍රතිචාරයක කොටසක්. කොහේ හෝ තැනකින් කොපි කරගෙන අලවපු එකක් වෙන්නත් පුළුවන්. අපි ඉහත උපුටනයේ අගින් සාකච්ඡාව පටන් ගනිමු. 

ලෝකයේ බොහෝ රටවල රජයයන් විසින් හමුදා නඩත්තු කරනවා. ඇත්තටම මේ වැඩේ කරන්නේ ලාබයක් බලාගෙන තමයි. හමුදාව නඩත්තු කරන එකේ ලාබයක් නැත්නම් හමුදා විසුරුවා හරින්න පුළුවන්නේ. රජයක් විසින් සලසන වෙනත් සේවයක් ගත්තත් එය කරන්නේ කුමක් හෝ ලාබයක් බලාගෙන. වෙනසකට තියෙන්නේ පෞද්ගලික සමාගමක මෙන් මේ සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැති එක පමණයි. 

ගණන් හැදුවත් නැතත් රජයක් විසින් සලසන සේවාවන් වල පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒ පිරිවැය දරන අයට ලැබෙන්න ඕනෑ. රජයක් ලාබ ලැබිය යුතුයි කියන එකෙන් අදහස් කළ හැක්කේ එයයි. රජයකින් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා රජය නඩත්තු කිරීමේ පිරිවැය වැඩිනම් රජයක් තිබීමෙන් ඒ රටේ ජනතාවට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ.

වත්මන් ලෝකය දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ස්වාධීන රටවල් විදිහට. ඒ හැම රටකම රජයක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ රජයක් කියා කියන්නේ හැම රටකම වගේ බහුතර මිනිසුන්ගේ තේරීම කියන එකයි. එහෙමනම්, රජයක් නඩත්තු කිරීමේ පිරිවැයට වඩා දෙයක් රජයක් පැවතීම නිසා මිනිස්සුන්ට ලැබෙනවා විය යුතුයි. අඩු වශයෙන් බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා විය යුතුයි. 

ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යයෙන් රජය විසින් කරන, පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ටිකක් තියෙනවා. ආරක්ෂක හමුදා නඩත්තු කිරීම, නීතිය හා සාමය රැකීම, නියාමනය වගේ දේවල් වැටෙන්නේ ඔය ගොඩට. ඒ වගේ දේවල් සම්බන්ධව රජයට ඒකාධිකාරයක් තියෙනවා.

කිසියම් ආයතනයකට ඒකාධිකාරයක් තියෙනවා කියන්නේ මිල තීරණය කිරීමේ හා එමගින් ලාබ තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එකයි. තරඟකාරී වෙළඳපොළක මෙන් ස්වභාවික ලෙස ලාබ නියාමනය වීමේ යාන්ත්‍රණයක් ඒකාධිකාරයක් තුළ නැහැ. එහෙමනම්, ඒ වගේ ආයතනයක් ලාබ ලබනවද කියලා හොයන එකේ ලොකු තේරුමක් නැහැ. ඒකාධිකාරයකට පහසුවෙන්ම ලාබ ලැබිය හැකියි.

හැබැයි ඒකාධිකාරයක් තිබූ පමණින් ස්වභාවික ලෙසම ලාබ ලැබෙන්නේ නැහැ. පහසුවෙන් ලාබ ලැබීමේ හැකියාවක් තිබෙනවා කියන එකෙන්ම ලාබ ලබන බව අදහස් වෙන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අකාර්යක්ෂමතාවය නිසා (දූෂණ, හොරකම්, නාස්තිය, අදක්ෂතාව ඇතුළුව) ඒකාධිකාරී ව්‍යාපාරයක් පාඩු ලබන්න පුළුවන්. එසේ නොවන බවට වග බලා ගන්න එක කොටස් හිමියන්ගේ වැඩක්. රජය කියන ඒකාධිකාරය සැලකුවොත් මේ කොටස්හිමියෝ කියන්නේ රටේ මහජනතාව. තමන්ට අයිති සමාගම පාලනය කරන කළමනාකරුවෝ අකාර්යක්ෂමද කියලා හොයලා බලන එක ඒ අයගේ වැඩක්. හරියට හොයා බැලුවේ නැත්නම් පාඩුව වෙන්නේ කොටස් හිමියන්ට.

සාමාන්‍යයෙන් ලෝකයේ හැම රටකම වගේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ සිදුවෙන දේවල් හැරුණු විට වෙනත් දේවල්ද ඇතැම් රටවල රජයයන් විසින් කරනවා. සමහර රටවල මේ වගේ වෙනත් දේවල් වලටත් රාජ්‍ය ඒකාධිකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් රජයක් විසින් සලසන සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැහැ. මම මේ කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ගැන නෙමෙයි. කෙළින්ම රජය විසින් සලසන සේවාවන් ගැන. ලංකාවේ සන්දර්භය ගත්තොත් ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් ගැන. ඉන්ධන, විදුලිබලය, ප්‍රවාහනය වගේ දේවල් මේ ගොඩට වැටෙන්නේ නැහැ. 

රජය විසින් සලසන සේවාවන් වන ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැත්තේ එවැන්නක් කළ නොහැකි නිසා. ලාබ ගණන් හදන්න ආදායමක් තිබිය යුතුයි. මේ සේවාවන් වෙළඳපොළක විකුණන්නේ නැති නිසා ලැබෙන ආදායමක් පැහැදිලිව පේන්න නැහැ. ආදායම් පේන්න නැතත්, මේ සේවා සපයන්න වියදම් යනවා. ඒ වියදම් පහසුවෙන්ම ගණන් බැලිය හැකියි. 

පේන්න තිබුණත් නැතත් ආදායමක් නැත්නම් වියදම් කරන්න බැහැ. ඒ නිසා, රජයක් විසින් කරන වියදම් එන විදිහකුත් තියෙන්න ඕනෑ. රජයක් විසින් සිදු කරන වියදම් පියවා ගන්නේ අය කරන බදු වලින්. 

යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන කීයක් ලාබ ලැබුවාද වගේ ප්‍රශ්නයකට තේරුමක් නැත්තේ මේ සන්දර්භය ඇතුළේ. හමුදාවට බඳවා ගන්නා ප්‍රමාණය තීරණය කරන්න රජයට පුළුවන්. ගෙවන වැටුප් තීරණය කරන්නත් පුළුවන්. බදු අය කරලා යන වියදම පියවා ගන්නත් පුළුවන්. යුද්ධ හමුදාවේ ලාබ පාඩු ගණන් හදනවානම් හදන්න වෙන්නේ රජය විසින් යුද්ධ හමුදාවේ වියදම් වෙනුවෙන් වෙන් කළ බදු මුදල යුද්ධ හමුදාවේ ආදායමක් ලෙස සලකලා. ඒ අනුව, යුද්ධ හමුදාව ලාබ ලබා තිබුණත්, පාඩු ලබා තිබුණත් එයින් කළමනාකරණයේ කාර්යක්ෂමතාව හෝ අකාර්යක්ෂමතාව පිළිබිඹු වන්නේ නැහැ. ඒ නිසා, ලාබ පාඩු ගණන් බලන එකේ තේරුමක් නැහැ. රජය විසින් සපයන වෙනත් සේවාවක් ගත්තත් එහෙමයි.

රජයක් විසින් සපයන සියලුම සේවාවන් වල පිරිවැය ආවරණය කරගත හැකි තරමේ බදු ආදායමක් රජයට ලැබෙනවානම්, රටේ ජනතාව කැමැත්තෙන්ම ඒ බදු මුදල ගෙවනවානම් එයින් අදහස් වෙන්නේ රජය පාඩු නොලබන බවයි. රජයේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සාධාරණය ඉටු කරන බවයි.

එහෙත් එපමණකින් රජයට "ලාබ" වැඩි කරගත නොහැකි බවක් කියැවෙන්නේ නැහැ. රජයකට වුවත් පෞද්ගලික ආයතනයකට මෙන්ම දිගින් දිගටම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකියි. එසේ සිදු වේනම්, එක්කෝ බදු ආදායම් (හා රජයේ වියදම්) නොවෙනස්ව තිබියදී ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ යා යුතුයි. එසේ නැත්නම්, ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා යන වියදම ක්‍රමක්‍රමයෙන් පහළ යා යුතුයි.

ආරක්ෂාව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් බැලුවේ නැතත් සමස්තයක් ලෙස රජය කියන ආයතනයේ ලාබ පාඩු ගණන් බැලීමක් කෙරෙනවා. රජයක අයවැය කියන්නේ ඒකට. අයවැය හිඟයක් තියෙනවා කියා කියන්නේ රජය පාඩු ලබනවා කියන එකයි. රජය ලාබ ලබනවානම් අයවැය අතිරික්තයක් තිබිය යුතුයි. 

ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා කියා කියන්නේ ආයතනය පවත්වා ගෙන යාම සඳහා ප්‍රාග්ධනය එළියෙන් පොම්ප කළ යුතුයි කියන එකයි. එක්කෝ ණය ගන්න වෙනවා. නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දාන්න වෙනවා. 

මේ කතාව රජයකටත් එක සේ වලංගුයි. රජයක් දිගින් දිගට පාඩු ලබනවානම් ණය ගන්න වෙනවා. ඒ විදිහට ගන්න ණය ආපසු ගෙවීමේ වගකීම තියෙන්නේ කොටස්හිමියන්ට. එහෙම නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දමන්න වෙනවා. ණය ගත්තොත් ඒ සල්ලි ආපසු ගෙවන්නත් කවදා හෝ කොටස්හිමියන්ටම සල්ලි දමන්න වෙනවා. බදු වැඩි කරනවා කියා කියන්නේ රජය කියන සමාගමේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සල්ලි දාන්න කියන එක. 

රජය විසින් සල්ලි දමා රජයේම කොටසක් නොවන (රජයට අයිති හෝ අයිති නැති) ආයතනයක් සුබසාධනය කළ හැකියි. මෙහිදී වෙන්නේ රජයේ ආදායම් (බදු) වලින් කොටසක් රජයෙන් පිටතට ගලා යාමක්. නමුත්, රජය කියන ආයතනය සුබසාධනය යටතේ පවත්වා ගෙන යන්න බැහැ. ඒ සල්ලි කොහෙන් හෝ එකතු විය යුතුයි. 

රජයක් විසින් සලසන නිශ්චිත සේවාවක ලාබ පාඩු ගණන් බලන්න අසීරු වුවත්, රජයට අයිති ව්‍යවසායයක ලාබ පාඩු පහසුවෙන් ගණන් බලන්න පුළුවන්. අවශ්‍යනම් රජයකට එවැනි ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරමින් පාඩුවටම පවත්වාගෙන යන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් වුනත් කරන ආකෘතියක් තිබෙනවා. එහිදී වෙන්නේ රජය විසින් අදාළ ආයතනයට ලබා දෙන බදු මුදල් ප්‍රමාණය කලින්ම දෙන එක. එම මුදල අදාළ ආයතනයේ ආදායම් වලට එකතු වෙනවා. ඒ කොටස ඉවත් කළොත් ආයතනය පාඩු ලබනවා පුළුවන්. නමුත්, ලබා දුන් බදු මුදල ආදායමක් සේ සැලකීමෙන් පසුව අදාළ ආයතනය විසින් තරඟකාරී ආයතනයක් තරමටම ලාබ ලබා තිබිය යුතුයි.

කෙටියෙන් කිවුවොත් රජය විසින් රජයට අයිති හෝ අයිති නැති ආයතන සුබසාධනය කරමින් නඩත්තු කළ යුතුයි කියා කාට හෝ යෝජනා කළ හැකියි. හැබැයි ඒ එක්කම එසේ සුබසාධනය කිරීම සඳහා සල්ලි හොයා ගත යුතු ක්‍රමයක්ද යෝජනා කරන්න වෙනවා. 

Thursday, September 1, 2022

විස්තීර්ණ ණය පහසුකම


ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. 

විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවලට ණය ලබා දෙන ක්‍රම ගණනාවක් තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ ඒ අතරින් එක් ක්‍රමයක්. මේ ක්‍රමයට ණය ලබා දෙන්නේ කිසියම් සාමාජික රටක් ඉතා ඉක්මණින් හෝ පහසුවෙන් විසඳා ගත නොහැකි දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති විටයි. 

විස්තීර්ණ ණය පහසුකමක් සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් තුළත්, අවශ්‍යතාවය පරිදි තවත් වසරකින් කාලය දිගු කර වසර 4ක කාලයක් තුළත් ලබා දෙනවා. මේ අනුව, අදාළ ණය පහසුකම වසර 4ක කාලයක් තුළ ලංකාවට කොටස් වශයෙන් ලබා දීමට නියමිතයි. 

විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමේ ප්‍රධානම වාසිය ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලැබීමයි. පළමු වාරිකය වසර හතර හමාරකට පසුව ගෙවිය යුතු අතර එතැන් සිට මාස හයකට වරක් සමාන වාරික 12කින් ණය මුදල හා පොලිය ගෙවා අවසන් කළ යුතුයි. මේ අනුව, ණය ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලැබෙනවා.

ලංකාව මේ වන විට 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. ඒ අතරින් ණය පහසුකම් තුනක්ම ලබා ගෙන තිබෙන්නේ මෙම ක්‍රමය යටතේයි. අවසන් විස්තීර්ණ ණය පහසුකම ලබා ගෙන තිබෙන්නේ 2016 ජූනි - 2019 ජූනි අතර කාලය තුළයි. මෙම ණය මුදල තවමත් ගෙවා අවසන්ව නැහැ. 

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ කුමක්ද?

කිසියම් රටක් විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් හොඳටම උග්‍ර වූ විටයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඒ තරමටම උග්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල බරපතල වැරදි නිසා. ඒ වැරදි හදා නොගත්තොත් එවැනි රටකට ගන්නා ණය ආපසු ගෙවන්න බැහැ. 

විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින රටක් තමන්ගේ පෙර වැරදි හදාගෙන ණය ආපසු ගෙවිය හැකි මට්ටමට ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද කියා මූල්‍ය අරමුදලට පෙන්වා දිය යුතුයි. අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වී තමන් ලබා දෙන ණය මුදල ආපසු ලබා ගත හැකි තත්ත්වයක් ඇති වන බව අරමුදලේ නිලධාරීන්ට ඒත්තු යා යුතුයි. එසේ ඒත්තු යාමෙන් අනතුරුව අරමුදලේ නිලධාරීන් සාමාජික රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ එකඟ වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ එවැන්නක්. 

නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසු ණය ලැබෙනවාද?

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ ණය ලබා ගැනීමේ මූලික පියවරයි. ඉන් පසු, අදාළ වැඩපිළිවෙළ අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ වැඩේට විශාල කාලයක් යන්නේ නැහැ. ඒ වගේම, නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසුව සාමාන්‍යයෙන් වැඩපිළිවෙළ වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට වැඩේ හරි.

නමුත්, ලංකාව මේ වන විටත් ණය පැහැර හැර තිබෙන රටක්. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට යෝජිත ණය ආපසු අය කර ගත හැකි වන්නේ රටේ අනෙක් ණයකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළකට එකඟ වුනොත් පමණයි. ඒ නිසා, මෙවර තත්ත්වය ටිකක් වෙනස්. එළඹ ඇති නිලධාරී මට්ටමේ එකඟතාව ඉදිරියට යනු ඇත්තේ රටේ ණයකරුවන් අදාළ වැඩපිළිවෙළ තුළ යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ එකඟ වන්නේනම් පමණයි.

කොහොම වුනත්, මේ පියවර ඉතා වැදගත් පියවරක්. මෙවැනි එකඟතාවයක් නැතිව ණයකරුවන් සමඟ කතා කළ හැකි පදනමක් නැහැ. දැන් ඒ සඳහා පදනමක් තිබෙනවා.

ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කොච්චර කල් යයිද?

මේ ගැන හරියටම කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස අඩුම වශයෙන් 2023 මාර්තු පමණ වන තුරු ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්න බැරි වෙයි කියන එකයි. ඊටත් වඩා මාස හයක් පමණ කල් යන්නත් පුළුවන්.

ලංකාවට දෙන ණය මුදල තීරණය කරලා තියෙන්නේ කොහොමද?

ලෝක ආර්ථිකය තුළ එක් එක් සාමාජික රටේ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවලට කෝටාවක් තිබෙනවා. ලංකාවේ කෝටා එක SDR මිලියන 578.8ක්. SDR කියා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය. අරමුදල ණය දෙන්නේ SDR වලින්. SDR එකක් ඇමරිකන් ඩොලර් 1.30ක් පමණ වෙනවා (2022 සැප්තැම්බර් 1 විණිමය අනුපාතය අනුව). 

කිසියම් මොහොතක සාමාජික රටකට අරමුදලෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය අදාළ රටේ කෝටා එකෙන් 435%ක්. ඒ කියන්නේ ලංකාවට SDR මිලියන 2,517.8ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. නමුත්, ලංකාව අවසන් වරට ගත් විස්තීර්ණ ණය පහසුකම තවමත් ගෙවා අවසන් නැහැ. එසේ ලබා ගත් ණය මුදල SDR මිලියන 715.23ක්. 

පොලී පැත්තකින් තිබ්බොත්, මේ මුදල වාරික 12කින් ගෙවන්නනම් SDR මිලියන 59.6 බැගින් ගෙවාගෙන යන්න වෙනවා. 2020 දෙසැම්බර් ගෙවන්න පටන් ගත්තා කියලා හිතුවොත්, මේ අවුරුද්ද අවසන් වෙද්දී වාරික පහක් ගෙවලා. තව හතක් ගෙවන්න තියෙනවා. 

ආසන්න වශයෙන් SDR බිලියන 2.2ක් කියා කියන්නේ ඉහත උපරිම මුදලින් දැනටත් අරන් ගෙවන්න තිබෙන ණය ටික අඩු කළ පසු ඉතිරි කොටස. මෙම මුදල ඩොලර් වලින් බිලියන 2.9ක් පමණ වෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු ගමන් ඔය සල්ලි ලැබෙයිද?

විස්තීර්ණ ණය පහසුකමක් ලැබෙන්නේ කොටස් වශයෙන්. ඔය මුළු මුදලම එකවර ලැබෙන්නේ නැහැ. වසරකට ලබාගත හැකි උපරිම මුදල කෝටාවෙන් 145%ක් පමණයි. ඒ කියන්නේ SDR මිලියන 840ක් පමණ. ඩොලර් බිලියන 1.1ක් පමණ. පළමු වසර තුළදී ඊට වඩා මුදලක් ලැබෙන්නේ නැහැ.

ලැබෙන සල්ලි ආණ්ඩුව වියදම් කරලා නාස්ති කරයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ණය දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ මහ බැංකුවට. ඒ නිසා, රජයට මේ මුදල් වියදම් කරන්න බැහැ. එහෙත්, මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහලා රජයට ණය දෙන්න. ඊට පස්සේ ඒ ණයට ගන්න රුපියල්ම නැවත මහ බැංකුවට දීලා ඩොලර් මිල දී ගන්න පුළුවන්. එහෙම කළොත් වෙන්නේ අරමුදලේ සල්ලි රජය ගත්තා වගේ වැඩක්. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන වැඩ සටහනකදී සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස පාලනය කෙරෙනවා.

ණය ලැබෙන්න කල් යන එකේත් වාසියක් තිබෙනවා. ණය නොලැබී යාමේ අවදානම හමුවේ රජයට ණය ලැබෙන තුරු කාලයේත් දැඩි මූල්‍ය පාලනයක් කරන්නම වෙනවා. නැත්නම් අරමුදලට ණය නොදී ඉන්න පුළුවන්. 

මහ බැංකුව මේ ණය ආපසු ගෙවන්නේ කොහොමද?

ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ, මේ ණය ගත්තා කියලා ඩොලර් උපයන එකේ වැදගත්කම අමතක කරන්න බැහැ. මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙන්නේ කවුරු හරි රටට ගේන ඩොලර් වලින් කොටසක්.

දැන් සල්ලි ලැබෙන්නේ නැත්නම්, ඔය නිලධාරී මට්ටමේ එකඟතාවය නිසා මහ ලොකු වෙනසක් වෙයිද?

මේ එකඟතාවය මත පදනම්ව ඇතැම් විට වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් යම් ණය මුදලක් ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම රටට කෙටිකාලීන ප්‍රාග්ධනය ගලා ඒමේ ඉඩකඩ ඉහළ යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අනුව තරමක් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මහා ලොකු වෙනසක් හදිසියේ වෙන එකක්නම් නැහැ.

නිලධාරී මට්ටමේ එකඟතාව මොන වගේ එකක්ද?

මෙහි ඇති විස්තර ප්‍රසිද්ධ කරනු ඇතැයි මම හිතන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු එය නොකළ හැක්කක්. නමුත් මූලික කරුණු ප්‍රසිද්ධ කර තිබෙනවා.

- බදු ඉහළ නංවා ගැනීම හරහා 2024 වන විට ප්‍රාථමික අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් දක්වා වැඩි කර ගැනීම.

- පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන, විදුලි ගාස්තු සංශෝධනය කිරීම 

- සමාජ සංරක්ෂණ වියදම් හා ආවරණය පුළුල් කිරීම 

- සල්ලි අච්චු ගැසීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම 

- විණිමය අනුපාතය පාවෙන්නට හරිමින් සංචිත වැඩි කරගැනීම 

- මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම 

- අරමුදලේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යතාව ඉහළ නංවා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරීම 

Tuesday, August 30, 2022

අතුරු අයවැය


අතුරු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. කතා කළ යුතු ගොඩක් දේ ඒ තුළ තිබුණත්, අයවැයක වැදගත්ම දෙය අය හා වැයයි. ඒ නිසා, එතැනින් පටන් ගනිමු. 

2022 අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 2,094යි.

2022 අපේක්ෂිත වියදම - රුපියල් බිලියන 4,427යි 

2020 අපේක්ෂිත අයවැය හිඟය - රුපියල් බිලියන 2,333යි.

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු කියා කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් පමණයි. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු කියන්නේ බොරුවට වැඩියෙන් පෙන්වන ගණනක්. මෙවර එය එසේ නොවන බවට කිසිසේත්ම සහතික විය නොහැකි වුවත්, මේ ඇස්තමේන්තු පෙර අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව තරමක් යථාර්ථවාදී බව පෙනෙනවා. 

වසර මුල ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අනුව 2022 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,223ක්. බදු වැඩි කිරීමෙන් පසුවත් අලුත් ඇස්තමේන්තුව ඊට වඩා අඩු එකක්. ඉලක්කය රුපියල් බිලියන 2,223ක් වුනත්, පළමු මාස පහ ඇතුළත එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 813ක් පමණයි. ඇස්තමේන්තුවේ ඉලක්කයට යන්නනම් අවසන් මාස හත තුළ තවත් රුපියල් බිලියන 1,410ක් එකතු කර ගත යුතුයි. එවැනි මුදලක් එකතු වීමේ ඉඩක් කොහොමවත්ම තිබුණේ නැහැ.

සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉතිරි මාස හත ඇතුළත රුපියල් බිලියන 1,281ක් එකතු විය යුතුයි. පළමු මාස පහේ අනුපාතය අනුව බැලුවොත් එකතු වෙන්නේ රුපියල් බිලියන 1,138ක් පමණයි. ඒ ගණන තවත් රුපියල් බිලියන 143කින් වැඩි කර ගන්න එක අසීරු වුවත් ප්‍රායෝගික ඉලක්කයක්. 

මුල් ඇස්තමේන්තුව අනුව වියදම රුපියල් බිලියන 3,851ක්. පළමු මාස පහේ වියදම රුපියල් බිලියන 1,449ක්. ඒ අනුපාතය අනුව බැලුවොත්නම් වියදම රුපියල් බිලියන 3,478කට සීමා විය යුතුව තිබුණා. වර්තන වියදම් අඩු වී නොතිබුණත් ආයෝජන වියදම් විශාල ලෙස සීමා කර තිබීම මේ වෙනසට හේතුවයි. 

සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ වියදම රුපියල් බිලියන 4,427 දක්වා ඉහළ යනවා. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව සහනාධාර ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,021 දක්වා විශාල ලෙස වැඩි කර තිබීමයි. පොලී වියදම්ද ඉහළ ගොස් තිබෙන අතර ආයෝජන වියදම් ඇස්තමේන්තුවත් කලින් ඇස්තමේන්තුවට වඩා වැඩියි. 

ඉදිරිපත් කර තිබෙන සැලසුම අනුවනම් මුළු අයවැය හිඟයම පියවා ගන්න යන්නේ බැංකු අංශයෙන් ණය නොගෙන. බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ආපසු ගෙවීමටද නියමිතයි. 

ඇස්තමේන්තු එසේ වුවත්, අයවැය කතාවේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"කෙසේ වෙතත්, දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යනයේ (Net Foreign Financing) හිඟකම අනුව, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා අයවැය සඳහා විදේශ මූල්‍යනය විවෘත වන තෙක්, මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි."

රුපියල් බිලියන 2,333ක් වන වසරේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට අමතරව වසර තුළ රුපියල් බිලියන 1,510ක ණය වාරික ප්‍රමාණයක් ආපසු ගෙවීමටද තිබෙනවා. මේ අනුව වසර තුළ සොයා ගත යුතු මුළු මුදල රුපියල් බිලියන 3,844ක්. 

බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි. උද්ධමනය අඩු වෙන තුරු පොලී අනුපාතික අඩු නොවෙන එක හොඳයි.

අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ගලවලා වෙනම ආයතනයක් හදන එකත් හොඳ යෝජනාවක්. හැබැයි මේ එක දෙයක්වත් සිදුවෙනකම් විශ්වාස නැහැ. 

අගෝස්තු උද්ධමනය 64.3% මට්ටමේ රැඳී තිබෙනවා. එය හොඳ ලකුණක්. බොහෝ විට සැප්තැම්බර් මාසයෙන් පසුව උද්ධමනය අඩුවෙන්න පටන් ගන්න ඉඩ තිබෙනවා. දැන් තත්ත්වය අනුව උද්ධමනය 70% නොඉක්මවන්න පුළුවන්.

නිල නොවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් පිළිබඳ නිවේදනය ඉතා ඉක්මණින් නිකුත් වීමට නියමිතයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යාධාරයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද තිබෙනවා. එය එසේනම් නරකම තත්ත්වය මේ වෙද්දී පහුවෙලා. 

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (දෙවන කොටස)

ලංවිම අවසන් වරට ලාබ ලැබුවේ 2015 වසරේදී. එම ලාබය වුවද ගිණුම්කරණ ලාබයක් මිස ආර්ථික ලාබයක් නෙමෙයි. 2016 සිට 2021 දක්වාම ලංවිම දිගින් දිගටම පාඩු ලබනවා. මෙයට හේතුව ලෙස ලබා දිය හැකි කෙටි පිළිතුර විකිණුම් මිල වෙනස් නොවුනත් නිෂ්පාදන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

ලංවිම නිෂ්පාදන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කොයි තරම් වහිනවාද කියන එකයි. වහින අවුරුදු වල ලංවිම නිෂ්පාදන වියදම් පහළ යනවා. පායන අවුරුදු වල වියදම ඉහළ යනවා. මේ විචලනයන්ට හේතුව ලංවිම කාර්යක්ෂමතාවය අඩු වැඩි වීම නෙමෙයි. 

ලංවිම සේවක වැටුප් පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු ඇත්තද නැද්ද කියා මම දන්නේ නැහැ. ඒ තොරතුරු ඇත්ත වුවත්, එය මම ප්‍රශ්නයක් ලෙස දකින්නේත් නැහැ. ආයතනයක සේවක වැටුප් ඉහළ මට්ටමක තිබීම නරක දෙයක් නෙමෙයි. වැදගත් වන්නේ සේවක වැටුප් සේවකයින්ගේ ඵලදායීතාවය හා ගැලපෙනවාද යන්නයි. 

කෙසේ වුවත්, පසුගිය දශකය තුළ ලංවිම සේවක වැය බර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක්. 2011දී රුපියල් බිලියන 12ක් පමණ වූ ලංවිම වැටුප් බර 2020 වන විට රුපියල් බිලියන 38 ඉක්මවා තිබෙනවා. නිල නොවන වාර්තා අනුව කියැවෙන්නේ මේ වන විට මෙම වියදම රුපියල් බිලියන 51ක් පමණ වී ඇති බවයි.  

කිසියම් කර්මාන්තයක ඒකාධිකාරයක් ඇති විට එම කර්මාන්තයේ නිරත සේවකයින්ට තරඟකාරී වැටුප් ලබා ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා. වැටුප් වලින් සතුටු නොවන අයෙකුට ආයතනයෙන් අස් වී ගොස් රැකියාව කළ හැකි ඊට සමාන තැනක් බොහෝ විට නැහැ. මෙයට විකල්පයක් ලෙස එවැනි කර්මාන්තයක සේවකයින් සංවිධානය වී ඔවුන්ගේ පැත්තෙන්ද ඒකාධිකාරයක් හදා ගන්නවා. එවිට සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයටම ආයතනයටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉන්න සේවකයින් ඉවත් කර සමාන කුසලතා ඇති සේවකයින් බඳවා ගත හැකි වෙළඳපොළක් රටේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ ආයතනයක සේවක වැටුප් හා සේවක ඵලදායීතාවය ගලපන යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසාම, සේවක වැටුප් කොපමණ වුවත් ඒ වැටුප් අඩුද වැඩිද කියා සරල ලෙස නිගමනය කිරීමේ හැකියාවක්ද නැහැ. සංසන්දනාත්මක නිර්ණායක සොයා ගන්න වෙන්නේ කවර හෝ උපකල්පන මත පමණයි.  

පහත වගුවේ තිබෙන්නේ ලංවිමට කිලෝවොට් පැයක විදුලිය නිපදවා හෝ මිල දී ගෙන, සිල්ලරට හෝ තොග මිලට විකිණීම සඳහා වැය වී ඇති පිරිවැයයි. "අනෙකුත් වියදම්" වලට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ පිරිවැයයි. 

ආයතනයක සේවකයෙකු වැඩි වැටුප් ඉල්ලා හෙට්ටු කිරීම වරදක් නොවන්නාක් මෙන්ම කළ යුතු දෙයක්. සේවකයින් එක්ව කණ්ඩායමක් ලෙස මෙය කිරීමේද වරදක් නැහැ. එහිදී එසේ ඉල්ලන වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න අදාළ ආයතනයේ පාලකයින් විසින් තීරණය කළ යුතු දෙයක්. 

ලංවිම සේවකයින් ඇතැම් විට ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද පිළිබඳව තෘප්තිමත් ඇති. සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. විශේෂ කුසලතා අවශ්‍ය වෘත්තීය රැකියා කරන අය සම්බන්ධව කෙසේ වෙතත් පහළ හා මධ්‍යම මට්ටමේ රැකියා කරන අයගේ වැටුප් "වෙළඳපොළ වැටුප්" සමඟ සසඳන එක ගොඩක් අමාරු නැහැ. සුවිශේෂී කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය රැකියා සම්බන්ධවනම් මේ වැඩේ අමාරුයි.

ලංවිම පාරිභෝගිකයින් ඔවුන් ගෙවන මිලට ලැබෙන දේ ගැන තෘප්තිමත්ද? මේ ප්‍රශ්නයටත් පහසු පිළිතුරක් නැහැ. එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් ඉතාම පැහැදිලියි. ලංවිම "කොටස් හිමියන්ට" කෙසේවත් තෘප්තිමත් විය නොහැකියි. ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පමණ ප්‍රතිලාභ නොලැබෙන බව ඉතාම පැහැදිලියි. බොහෝ විට මොනම ප්‍රතිලාභයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එසේනම් ලංවිම පාරිභෝගිකයින්ට, ලංවිම සේවකයින්ට හෝ එම කණ්ඩායම් දෙකටම යම් "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබිය යුතුයි. එය එසේ නොවී, ලංවිම සේවකයින්ගෙන් යම් පිරිසකට, එසේත් නැත්නම් ලංවිම සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතන වලට එම "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබෙනවා වෙන්නත් පුළුවන්. 

මේ විදිහට පාඩු විඳින කොටස්හිමියන් කවුද? නෛතික ලෙස බැලුවොත් මහා භාණ්ඩාගාරයයි. එහෙත්, මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මහජන මුදල්. බොහෝ විට "උද්ධමන බදු" ලෙස අය කරන මුදල්. 

වත්මන් රාජ්‍ය ඒකාධිකාරය එලෙස තිබියදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා, මේ ඒකාධිකාරය නැති විය යුතුයි. ඒ සඳහා හොඳ මූලාරම්භක පිළියමක් වන්නේ දැනට තිරස් ලෙස ඒකාබද්ධ වී (vertically integrated) ඇති මෙම කර්මාන්තයේ සංරචක විභේදනය කිරීමයි. සරල ලෙස කිවුවොත්, විදුලිය නිෂ්පාදනය කිරීම (ජනනය කිරීම), ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) හා විකිණීම වෙන වෙනම ආයතන වලට පැවරීමයි. මෙය අලුත් අදහසක් නෙමෙයි. එසේ කිරීමෙන් මේ කර්මාන්තය තුළ යම් තරඟකාරිත්වයක් ඇති කළ හැකියි. 

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


Friday, August 26, 2022

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?



පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (meme) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. 

පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත් තිබෙනවා. 

"රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ (තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය."

කරුණු විකෘති කර වාර්තා කර නැත්නම්, මේක ඉතාම වැදගත් අධ්‍යයනයක්. දත්ත සංචිතයකින් ඔය වගේ සංඛ්‍යාලේඛණ ටිකක් ඇදලා ගන්න එකනම් සරල වැඩක්. අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම අපි ප්‍රතිචාරයක් දමන්නේත් ඔය වගේ දත්ත දිහා බලලා. ඒ වැඩේට විනාඩි කිහිපයකට වඩා යන්නේ නැහැ. ලොකු පුහුණුවක් අවශ්‍යත් නැහැ. නමුත්, පැන්සල්, පෑන්, මකන, තීන්ත, රිබන්, ඔලුව පීරන පනා, කොහු, ඉදල්, වතුර බෝතල්, සපත්තු, කුඩ, හිස් වැසුම්, සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය, සුවඳ විලවුන්, ක්‍රීම්වර්ග වගේ දේවල් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය දේවල් කියලා හොයා ගන්න එක ඊට වඩා ගොඩක් අමාරු, සංකීර්ණ වැඩක්. 

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මැදි වී ඉන්න වෙලාවක රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් විසින් මෙවැනි වටිනා අධ්‍යයනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් විශාල කාලයක් හා මුදලක් වැය කළා විය යුතුයි. මම හිතන්නේ මේ වැඩේ කරන්න ඇත්තේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් අයත් වන නියැදියක් තෝරා ගෙන කරපු සමීක්ෂණයකින් විය යුතුයි. ලැයිස්තුවේ තියෙන දේවල් අනවශ්‍ය දේවල් බව ඒ ගොඩක් අය කියන්න ඇති. එහෙම නැත්නම් ඔය වගේ නිගමනයකට එන්න අමාරුයිනේ. අවාසනාවට අදාළ අධ්‍යයනය මගින් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව සොයාගත් ක්‍රමවේදය ගැන ලංකාදීප වාර්තාවේ නැහැ. ඒ ගැන දැනගන්න පර්යේෂණ පත්‍රිකාව කොහේ හෝ පළ වෙනකම් ඉන්න වෙනවා. 

අදාළ පර්යේෂණ වාර්තාව මට කියවන්න නොලැබුනත් ආණ්ඩුවට සම්බන්ධ කවුරු හෝ කෙනෙක් හෝ පිරිසක් විසින් කියවා තිබෙන බව පේනවා. එහෙම නැත්නම් එවැනි වෙනත් අධ්‍යයනයක් කරලා හෝ පරිශීලනය කරලා තිබෙනවා. ඒ අනුව, තවත් ආනයනික භාණ්ඩ 300ක් රටට ආනයනය කරන එක තහනම් කරලා. අදාළ පර්යේෂණ මගින් කරපු සොයාගැනීම් නිවැරදිනම් එහෙම කරපු එකේ වරදක් නැහැ.

හැබැයි දෙවන ප්‍රචාරක පුවරුවේ තියෙන්නේනම් වෙන කතාවක්. ඒ අනුව, "රජයට අත්‍යාවශ්‍ය නොවන මිනිසුන්ට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ 300ක්" තහනම් කරලා. ඒ කියන්නේ, පේරාදෙණියෙන් කරපු අධ්‍යයනය වැරදිද?

ඔය ලැයිස්තුව මමත් දැක්කා. මුල සිට අගටම කියෙවුවේනම් නැහැ. ඔය ලැයිස්තුවේ තිබෙන ගොඩක් දේවල් මටනම් පෞද්ගලිකව අත්‍යාවශ්‍යම දේවල්. එක උදාහරණයක් ටූත් ෆ්ලොස්. සාමාන්‍යයෙන් මම ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම වගේ ඇති වෙන්න ටූත් ෆ්ලොස් අරගෙන එනවා. ඒ වගේ තවත් දේවල් ගණනාවක් තිබෙනවා. නමුත් මේ ගොඩක් දේවල් ශ්‍රී ලාංකිකයින් බහුතරයකට අනවශ්‍ය දේවල් වෙන්න ඇති. ඕනෑම සංකීර්ණ ගණනක් මනෝමයෙන් හදන්න පුළුවන්නම්  කැල්කියුලේටර මොකටද?

කොහොම වුනත්, අර පේරාදෙණියේ අධ්‍යයනයෙන් හොයා ගත් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය තොරොම්බල් බඩු ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය බඩුනම් 2020දී ආනයනය කරපු බඩු තවමත් නොවිකිණී තිබිය යුතුයි. "රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත්" කියා කිවුවට එහෙම එකක් ගැන 2020දී ලොකු කතාබහක් තිබුණේ නැහැනේ. ආණ්ඩුව, මහ බැංකුව ඇතුළු ගොඩක් පාර්ශ්ව විසින් කිවුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලයි. ඒ නිසා, ඔය අනවශ්‍ය බඩු ගෙන්වීම ගැන ආනයනකරුවන්ට චෝදනා කරන්න බැහැ. 

කියන කතාව ඇත්තනම් ඔය බඩු ගෙන්වපු ආනයනකරුවෝ ලොකු අමාරුවක වැටෙන්න ඇති. අනවශ්‍ය බඩු ගෙන්වලා විකුණන්නේ කොහොමද? විකුණුනේ නැති නිසා ඔය ගෙන්වපු බඩු තවමත් රට ඇතුළේ ඇති. ඒ නිසා, තව තවත් ඔය බඩුම ගෙන්වන එකේ කිසිම තේරුමක් නැහැ. අනෙක් අතට ඔය අනවශ්‍ය බඩු ගේන එක තහනම් කළා කියලා කිසිම බලපෑමක් වෙන එකකුත් නැහැ. ගෙනාපු බඩුත් විකුණාගන්න බැරිනම් කොහොමටත් කවුරුවත් ඔය දේවල් දැනටම වුනත් ගේන්නේ නැතුව ඇති. කවුරු වුනත් ව්‍යාපාරයක් කරන්නේ ලාබයක් ගන්නනේ. 

පේරාදෙණියේ පර්යේෂකයින් විසින් සමීක්ෂණයක් කර හෝ වෙන ක්‍රමයකින් හොයාගෙන තිබුණත්, අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් හදන එක ඉතාම අසීරු, සංකීර්ණ වැඩක්. මොකද එක් අයෙකුට අනවශ්‍ය දෙයක් තවත් අයෙකුට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකෙම අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. මම එක පාරක් ලංකාවට එද්දී බැටරි වලින් ක්‍රියා කරන විදුලි දත් බුරුසු ටිකක් ගෙනත් අසල්වැසියන්ට හා ඥාතීන්ට බෙදා දුන්නා. මොනවා හෝ පොඩි දෙයක් බලාපොරොත්තුවෙන් එන එය ඉන්නවනේ. පස්සෙයි දන්නේ ඒ එක් අයෙකුගේ කටේ එක දතක්වත් නැති බව!

කොයි තරම් හොඳ සැලසුම්කරුවෙකුට වුනත් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් කියලා පාරිභෝගික භාණ්ඩ වර්ග කරන්න අමාරුයි. නමුත්, වෙළඳපොළ විසින් මේ වැඩේ ඉතාම සාර්ථක ලෙස කරනවා. විශේෂයෙන්ම උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන වෙලාවක ඕනෑම කෙනෙකුට තමන්ගේ අතේ තිබෙන සල්ලි වලින් කලින් මිල දී ගත් හැම දෙයක්ම මිල දී ගන්න බැරි වෙනවා. ඒ නිසා, ඕනෑම කෙනෙක් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් පමණක් මිල දී ගන්න පෙළඹෙනවා. හැබැයි ඒ අත්‍යාවශ්‍ය දේවල් එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි.

මේ විදිහට ගොඩක් අය තමන්ගේ මිල දී ගැනීම් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් වලට සීමා කරද්දී, අනවශ්‍ය කෙසේ වුවත්, අඩුවෙන් අවශ්‍ය දේවල් විකිණෙන එක අඩු වෙනවා. අනවශ්‍ය දේවල්නම් ඉතිං කොහොමටත් විකිණෙන්න විදිහක් නැහැනේ.  

මේ වගේ වෙලාවක ලංකාවේ මිනිස්සු කොහොමටත් තමන්ට අඩුවෙන් අවශ්‍ය දේවල් මිල දී ගැනීම සීමා කරන නිසා එවැනි දේවල් ආනයනය කිරීම තහනම් නොකළත් ආනයන ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. ඒ වගේම, තමන්ට අවශ්‍යම දේවල් වලට පමණක් පරිභෝජනය සීමා කරන්න කියලා කවුරුත් නොකිවුවත් ඒ වැඩේ නිකම්ම වෙනවා. හැබැයි කිසිම දෙයක් සඳහා ඉල්ලුම නැත්තටම නැති නොවෙන්න පුළුවන්. මොකද රටේ විශාල පිරිසකට එතරම් අවශ්‍ය නොවන දෙයක් සුළු පිරිසකට අත්‍යාවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ වගේ දෙයක් ආනයනය තහනම් කරනවා කියන්නේ බහුතරයේ රුචිකත්වය මත පදනම්ව සුළුතරයකට වෙනස් ලෙස සැලකීමක්. 

කොහොම වුනත්, මේ වන විට රජයේ වගේම මහ බැංකුවේත් ප්‍රතිපත්තිය වී තිබෙන්නේ තීරණ ගන්නා අයගේ රුචිකත්වය මත හෝ වෙනත් ක්‍රමයකට රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් වෙන් කර අනවශ්‍ය සේ හඳුනා ගන්නා දේවල් ආනයනය වැළැක්වීමයි. ඊට හේතුව, වෙළඳපොළට ප්‍රශ්නය විසඳන්නට ඉඩ දීම දේශපාලනික ලෙස ශක්‍ය නොවීමයි.

විණිමය අනුපාතය පාලනය කරමින් වුවත්, ඉතිරි ප්‍රශ්න විසඳන එක වෙළඳපොළට ඉඩ දුන්නොත් ඔය හැම දෙයක්ම සමතුලිත වෙනවා. හැබැයි එහිදී සමාජයේ පහළ ස්ථර මත වැඩි බරක් පැටවෙන එක නොවැලැක්විය හැකියි. ඒ හේතුව මත මේ වෙලාවේ ආණ්ඩුව විසින් සමාජවාදී ක්‍රමය තෝරාගෙන තිබෙනවා. 

වෙළඳපොළට ඉඩ දෙනවානම් කීයට ගියත්, මිල ඉහළ යාම භාර ගන්න වෙනවා. එයට කැමති නැත්නම් තෝරා ගන්න වෙන්නේ සමාජවාදී ක්‍රමයයි. ඒ ක්‍රමය තුළ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් වෙන් කර හඳුනා ගන්නේ රජයයි. ක්‍රමය භාර ගන්නවානම් රජයේ තේරීම කට වහගෙන භාර ගන්න වෙනවා. රජයේ තේරීම බහුතර තේරීම නොවන විටක මිනිස්සුන්ගේ කට වහන්න අමාරුයි. නමුත්, රජය විසින් නියෝජනය කරන්නේ බහුතර රුචිකත්වයනම්, වෙනස් රුචිකත්වයන් ඇති සුළුතර කොටස් වලට ලොකු හානියක් වෙන එක නොවැලැක්විය හැකියි. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...