Showing posts with label සමාජ මාධ්‍ය. Show all posts
Showing posts with label සමාජ මාධ්‍ය. Show all posts
Wednesday, July 17, 2019
ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?
අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.
මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.
ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.
ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.
"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."
ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.
(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)
Labels:
පෞද්ගලිකත්වය,
රුසියාව,
සමාජ මාධ්‍ය
Saturday, September 15, 2018
බුක් චැලේන්ජ්
මේ දවස් වල ෆේස්බුක් එකේ බුක් චැලේන්ජ් කියල එකක් තියෙනවනේ. අද මගේ දිගුකාලීන මිතුරියක් මේ වැඩේට මාවත් නම් කරලා තිබුණා. බැලූ බැල්මටම බොහොම අහිංසක කටයුත්තක් වගේ පෙනුණත් මේ කටයුත්ත ඇතුළේ නොදැනීම වාගේ සිදුවන්නේ ලංකාවේ විශාල පිරිසක් අපහසුතාවයට පත් කරන පිරමිඩ් ආකෘතියේ වැඩක්. එයින් කිසිවකු මුදල් උපයනවාද නැද්ද යන්න වැදගත් කරුණක් නෙමෙයි. මගේ මිතුරියට මා කාරුණිකව දැනුම් දුන්නේ මේ කටයුත්තට දායක වෙන්න මා සූදානම් නැති බවයි.
මොකක්ද මේ බුක් චැලේන්ජ් එක? මේකෙදී කරන්න තියෙන්නේ තමන් කියවා තිබෙන පොතක කවරය දිනපතා දින හතක් එක දිගට වත්පොතේ පළකරන අතරම තවත් කාව හරි අයෙක්ව දිනපතාම මේ වැඩේට එකතු කර ගන්න එකයි. මේ විදිහට එකතු කරගන්න සියලුම අයත් මේ වැඩේ කළොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?
වැඩේ පටන් ගන්නා පළමු දවසේ අලුතෙන් එක් කෙනෙක් එකතු වෙනවා. දෙවන දවසේ දෙන්නයි. ඇයි අලුත් අයව නම් කරන්න දෙන්නෙක්ම ඉන්නවනේ. තුන්වන දවසේ මේ හතර දෙනා තවත් හතර දෙනෙක්ව නම් කරනවා. එතකොට අටයි. ඔයාකාරයට ගිහින් සතියක් ඉවර වෙන දවසේ 128 දෙනෙක් වැඩේට එකතු වෙලා.
අටවෙනි දවස වෙද්දී වැඩේ පටන්ගත් කෙනා මේ කටයුත්තෙන් ඉවත් වෙලා. ඒ නිසා, අලුත් අය නම් කරන්න ඉන්නේ 128 - 1 = 127 දෙනෙක් පමණයි. ඒ වගේම, නවවන දවස වෙද්දී දෙන්නෙක් ඉවත් වෙලා. මේ විදිහට දවස් හතකින් පසුව ඉවත් වීමත් සලකා පළමු සතියෙන් පසුව දිනපතා වැඩේට මේ විදිහට දායක වී සිටින ප්‍රමාණය අපට මේ විදිහට ලියන්න පුළුවන්.
N = 2^T - 2^(T-7)
මෙහි T කියන්නේ ආරම්භයේ සිට ගත වී තිබෙන දින ගණන. සති තුනක් යද්දී ගණන මිලියන 2 පැනලා. ලංකාවේ ෆේස්බුක් ගිණුම් තියෙන්නේ මිලියන 1.2ක් පමණයි. මාසයක් (දවස් 31ක්) යද්දී ගාණ ලෝකයේම තිබෙන ෆේස්බුක් ගිණුම් ගණන වන බිලියන 2.3ට කිට්ටු කරලා. කොහොමද සෙල්ලම?
මේ වැඩේට සම්බන්ධ වන සෑම දෙනෙක්ම පොත් කවර හතක රූප උඩුගත කළ යුතුයි. ඔය වැඩේට සෑහෙන ඩේටා ප්‍රමාණයක් අවශ්‍යයි. ඉන් පසුව, ඒ අයගේ යාලු මිත්‍රයින් ෆේස් බුක් යද්දී ඔය රූප ලෝඩ් වෙන්න ඕනෑ. ලංකාවේ කෙනෙක්ට ඉන්ටනෙට් ඩේටා කියන්නේ බොහොම වටින, දුර්ලභ හා මිල අධික දෙයක්. ඔය වගේ රැළි හැදුණා කියා ලංකාවේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සතු ධාරිතාව ඉහළ යන්නේ නැහැ. තියෙන ධාරිතාව බෙදී යාම විතරයි වෙන්නේ.
දැන් ඔය වගේ රැල්ලක් දිගටම ගියොත් අන්තිම ප්‍රතිඵලය වන්නේ මොකක්ද? හදිසියකට අධ්‍යයන කටයුත්තකට අන්තර්ජාලයට යන පාසැල් සිසුවෙක්ට එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක්ව චැනල් කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඒ වැඩේ කර ගැනීම වඩා වඩා අපහසු වීම පමණයි.
පොත් ගැන කතා කිරීම සුන්දර හා ප්‍රයෝජනවත් වැඩක්. අවුල තියෙන්නේ පොත් ගැන කතා කිරීමේ නෙමෙයි. මෙය සිදුවන පිරමිඩ් ආකෘතියේ.
Labels:
ගණිතය,
සමාජ චර්යා,
සමාජ මාධ්‍ය
Friday, March 9, 2018
කටුනායක සිට පැය එකහමාරක්...
පසුගිය කාලයේ තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන තාක්ෂණයේ සිදුවී ඇති වේගවත් දියුණුව නිසා ලෝකය බොහෝ සේ කුඩා වී ඇති බව නිතර කියැවෙන දෙයකි. මේ දියුණුවේ උදවුවෙන් ලෝක ගෝලයේ ලංකාවෙන් හරියටම අනිත් පැත්තේ සිටින මා වැනි අයෙකුට ලංකාවේ හිත මිතුරන් සමඟ මෙන්ම සමාජය සමඟද නිරන්තරව සම්බන්ධව සිටීම ඉතා පහසු කටයුත්තක් වී තිබේ. බොහෝ කරුණු හා අදාළව කොළඹින් බැහැරව ජීවත් වන මගේ මුල් පවුලේ සාමාජිකයින්ට මා සිටින්නේ කොළඹද නැත්නම් ඇමරිකාවේද යන්න එතරම් ලොකුවට බල නොපායි.
ඇමරිකාවේ හෝ වෙනත් රටක සිට ගිණිකූරක් ගසා ලංකාවේ පිදුරු ගොඩක් දැල්විය හැකි තරමට තොරතුරු තාක්ෂනය දියුණුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ප්‍රවාහන තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව ඒ තරමටම වේගවත් නැති නිසා ලංකාව හා ඇමරිකාව අතර භෞතික දුර ඇඟටම දැනෙන වෙලාවල්ද තිබේ.
ඇමරිකාවේ මගේ නිවසේ සිට ලංකාවේ මගේ නිවසට යන එක එපාවන තරමටම වෙහෙසකර කටයුත්තකි. බොහෝ විට මේ ගමනට පැය තිස්පහකට හෝ හතළිහකට ආසන්න වෙලාවක් ගත වේ. හදිසි අවස්ථාවකදී මේ සීමාකාරී සාධකය විසින් නැවත මතක් කර දෙන්නේ ලෝකය තවමත් එතරම්ම කුඩා නැති බවයි. ගුවන් යානයකින් තවත් එකකට මාරු වීමට ඇති කාලය හැකි අවමය දක්වා අඩු කර ගත්තද ඉහත ගමනට පැය තිහක්වත් ගත වේ. මේ කාලය මීට වඩා අඩු කර ගත හැක්කේ නිවුයෝර්ක්, වොෂින්ටන් ඩීසී වැනි ප්‍රධාන නගරයක් ආසන්නයේ ජීවත් වන අයෙකුට පමණි.
අවම වශයෙන් ගුවන් යානා තුනකට මාරු වෙමින් දිනක් හෝ දෙකක් නිදිවරා කටුනායකට ගොඩ බැසීමෙන් පසු ඇවැසි වන්නේ හැකි ඉක්මණින් ගමනාන්තයට ලඟා වන්නටය. ගමනේ මේ අවසන් අදියර වෙනුවෙන් මා බොහෝ විට තෝරාගන්නේ ගුවන් තොටුපොළ කුලීරථ සේවාවයි. මේ සේවා සැපයුම්කරුවන් අප වෙනුවෙන් දින දෙකක් හෝ තුනක් රස්තියාදු වන නිසා, අපේ රස්තියාදුව අඩු කරගැනීමේ වටිනාකම ඔවුන්ට ගෙවා රස්තියාදු කාලයෙන් යම් කොටසක් අඩු කර ගන්නට පුළුවන.
මගේ පියාගේ පියා මිය ගිය වසරට ආසන්න කාලයකදී මගේ මවගේ සොහොයුරෙකු විසින් වරක් පැවසූ පරිදි ඒ කාලයේදී රුසියාවේ සිට පැය අටකින් කටුනායකට එන්නට හැකි වුවත්, කටුනායක සිට ඌව පළාතේ පිහිටි ඔහුගේ නිවසට යන්නට ඊට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. හැත්තෑ හතෙන් පසු වසරක් වුවත්, ඒ වන විටද ඌව පළාතේ ප්‍රත්‍යන්ත නගරයකට වඩා කොළඹ සෝවියට් දේශයට සමීපව තිබුණා වන්නට ඇත.
පසුගිය දශකයක හෝ ඊට තරමක් වැඩි කාලයේ ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදුවූ දියුණුව නිසා දැන් කටුනායක සිට ලංකාවේ පිහිටි අපේ මුල් නිවසට යන්නට පැය එකහමාරක් ප්‍රමාණවත්ය. මේ ගමන සඳහා ලබාගන්නා ගුවන් තොටුපොළ කුලීරථ සේවා පැකේජයට අවසන් වරට ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ සිදුවී ඇති වෙනස්කම් ගැන මෙන්ම කාලීන සිදුවීම් ගැනද සිදුකෙරෙන යාවත්කාලීන කිරීම්ද ඇතුළත් වන අතර බොහෝ විට පුළුල් දේශපාලන විග්‍රහයකටද නොමිලේ සවන් දෙන්නට ඉඩ ලැබේ. මෙවැනි කුලී රථ රියැදුරන්ට වඩා හොඳ දේශපාලන විශ්ලේෂකයෝ ලංකාවේ සිටිත්නම් ඒ ත්‍රිරෝද රථ රියදුරන් අතර පමණක් විය හැකිය.
කෙසේවුවත්, මෙවර පැකේජයට අයත් වූ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ දේශපාලන විග්‍රහයකින් නොවේ.
"මහත්තය ඔය xxx පැත්තෙත් හරියට මුස්ලිම් අය ඉන්නව නේද?"
"හ්ම්!"
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වල හූමිටි තබනු හැර වැඩි කතා වලට යාම මගේ පුරුද්ද නොවේ. ඇසෙන දේ මගේ අදහස් සමඟ නොගැලපුනත් වාද කරන්නට යනවාට වඩා නිහඬව සිටීම තෝරාගන්නේ එවැනි වාද කිරීමකින් අවසාන වශයෙන් ලැබෙන දෙයක් නැති බැවිනි.
ගුවන් තොටුපොළ කුලී රථ රියදුරෙකු බොහෝවිට මේ ආකාරයේ කතාවක් අරඹන්නේ තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අදහස් නිසාම නොවේ. සිය පාරිභෝගිකයා සතුටු කර සන්තෝෂමක් ලබාගැනීමේ අරමුණෙනි. ඒ වෙනුවෙන් එවැන්නෙකු විසින් බොහෝ විට පළ කරන්නේ සිය පාරිභෝගිකයා අසන්නට සතුටු වනු ඇතැයි ඔහු සිතන අදහසකි.
ලංකාවේදී මේ ආකාරයේ සේවා සපයන්නෙකුට අත දිගහැර සන්තෝෂම් මුදලක් දීමට මා බොහෝ විට පැකිලෙන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ සේවා සපයන්නන්ට අවම වශයෙන් 15%ක සන්තෝෂමක් දීමට ඇමරිකාවේදී පුරුදුව සිටීමයි. දෙවන හේතුව දේශපාලනිකය. ලංකාවේ ශ්‍රම බලකාය තුළ සිටින්නන් අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝදයක් නොවී කිසියම් ස්වයං රැකියාවක් කිරීම සුළුවෙන් හෝ දිරිමත් කරන්නට මා කැමතිය.
කෙසේවුවත්, ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නෝ යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වියුක්ත වූ කොටසක් නොවෙති. මේ සේවාව සැපයීමේ අවස්ථාව ලැබෙන්නේම විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශයෙනි. ඒ නිසා, බොහෝ විට ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන් අතර පවතින ආණ්ඩුවට පක්ෂපාතී වූවන් වැඩිපුර දකින්නට පුළුවන.
ඉහත කී රියදුරාද බොහෝ විට එජාප පාක්ෂිකයෙකු වන්නට ඉඩ තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පෙන්නුම් කළ පරිදි, පවතින ආණ්ඩුවට පක්ෂව අදහස් පළ කිරීම මේ වෙලාවේදී සිය පාරිභෝගිකයින් සතුටු කළ හැකි දෙයක් නොවන බව ඔහු නිගමනය කළා විය හැකිය. අනෙක් අතට, තමන්ගේ බඩ රස්සාව ලබාගන්නට උදවු කළ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නටද ඔහුට හිත නුදුන්නා වන්නට ඇත. දේශපාලනය වෙනුවට පාරිභෝගිකයින් සතුටු කළ හැකි වෙනත් මාතෘකාවක් තෝරා ගන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවිනි.
"මුස්ලිම් අය ටවුමකට එනවා කියන්නෙ ඉතිං පුදුම වදයක් තමයි. නැද්ද මහත්තයා? පොඩ්ඩක් ඉඩ දුන්නොත් නවතින්නෙ මුළු ටවුමම අල්ලලා..."
එනපොට දැන් පැහැදිලිය. නිහඬව නොසිට, ඔලුව දමන්නට පෙරම මුට්ටියට පොලු පහරක් ගහන්නට මට හිතුණේය.
"අපිටනම් එහෙම විශේෂ කරදරයක් නැහැ. අනිත් එක ඔය xxx ටවුමට මුස්ලිම් අය අද ඊයේ ආව නෙමෙයි. අපි පොඩි කාලෙ ඔය ටවුමෙ වැඩිපුර තිබුණෙ දෙමළ මුස්ලිම් කඩ. සිංහල කඩ තිබුණේ කීපයයි. ඒත් හැත්තෑ ගණන් වල ඉඳන් අවුරුදු දෙකෙන් දෙකට වගේ සිදුවුණු ජාතිවාදී කෝලාහල නිසා දෙමළ කඩ එකින් එක අඩු වෙලා ගියා. ගොඩක් දෙමළ කඩ පිච්චුවේ අසූ තුනටත් කලින්. සමහර ඒවා මිනිස්සුත් ඇතුළෙ ඉඳිද්දී..."
"දෙමළ කඩ වැහුනට පස්සේ ටවුමේ වැඩිපුරම තිබුණේ මුස්ලිම් කඩ. පහුගිය කාලෙ වුණේ ඔය මුස්ලිම් විරෝධය පිට දාල සිංහල මුදලාලිලා දෙන්නෙක් ටවුමෙ කඩ ටික අල්ලගන්න එකයි. දැන්නම් ටවුමම වගෙ අයිති ඒ දෙමස්සිනාලටයි..."
"මුස්ලිම් අය අතරේ අන්තවාදී සුළු පිරිසක් ඉන්නවා. ඒ හැර, හැම මුස්ලිම් මිනිහම නරක නැහැ."
මගේ සංවාද පාර්ශ්වකරුවාට ඔලුව දමාගන්නට නැවතත් ඉඩක් පෑදුණේය.
"ඒක තමයි, අන්තවාදී පිරිසක් ඉන්නවා. ඒ අය තමයි මේවා කරන්නේ..."
"දැන් බලන්නකෝ අම්පාරේ හෝටලේක සිංහල අයට දිගටම වඳ පෙති දීල අහුවෙලානේ. දැන් අපිනම් ඉඳහිට දෙමළ මුස්ලිම් මිනිහෙක්ට මොනව හරි කළත් එහෙම ජාතියක්ම නැති කරන්න හදන්නෙ නෑනේ. බලන්ඩකො කොයි තරම් නරකද කියල. සිංහල වුනා කියල එහෙම කරන එක කොයි තරම් නරකද?"
"ඕකනම් හැබැයි බොරු කතාවක්. එහෙම කෑම වලට පෙත්තක් කලවම් කරල මිනිහෙක්ව වඳ කරන්න බැහැ. මිනිස්සු ගොඩක් අය ඔය වගෙ කතාවක් ඇහුවම ඕනෑවට වඩා කලබල වෙනවනෙ..."
ටික වෙලාවක් යන තුරු පැවතුණේ නිහඬතාවයක් පමණි. වේයන්ගොඩ හා නිට්ටඹුව නගර පසු විය. තවත් සෑහෙන දුරක් යා යුතුය. රියදුරාට නිදිමත හැදීමේ අවදානමද ඇති නිසා මේ නිහඬතාවය එතරම් හොඳ නැත.
"කොහෙද පදිංචිය කටුනායක කිට්ටුවමද?"
රියදුරා නැවතත් දොඩමළු විය. ඔහුගේ පදිංචිය ගැන පමණක් නොව දරුවන් ගැනද මට දැනගන්නට ලැබුණේය.
"මොන ඉස්කෝලෙටද යන්නෙ?"
"xxx එකට. අපි ආගමේනෙ මහත්තය. ඒ නිසා පල්ලියෙ ඉස්කෝලෙට යවනව."
අවසාන වශයෙන් මේ රියදුරාද එක්තරා ආකාරයක සුළුතරයකට අයත් වූවෙකි. එක් සුළුතරයකට එරෙහිව ඇතිවන විරෝධයක් ඉතා පහසුවෙන් වෙනත් සුළුතරයකට එරෙහිවද ක්‍රියාත්මක විය හැකි බව ඔහු නොදන්නවාදැයි මා දන්නේ නැත. අඩු වශයෙන් ඔහුගේ මුස්ලිම් විරෝධය සැබෑ විරෝධයක්ද එසේ නැත්නම් සිය පාරිභෝගිකයින් සතුටු කරන්නට කරන දෙයක්ද යන්නවත් මට නිශ්චිතව පැවසිය නොහැකිය. එය දෙවැන්න වුවත් ඔහු එසේ කළේ ඔහුගේ පාරිභෝගිකයින් අතර මුස්ලිම් විරෝධයට ඉහළ ඉල්ලුමක් තිබුණු බැවිනි.
ජාතිවාදයට ඉල්ලුමක් පවතින පසුබිමක සැපයුම පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඉහත කී ආකාරයේ කුලී රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් වැනි අයට ඇතැම් විට සමාජ ජාලා වලටත් වඩා කාර්යක්ෂමව අදහස් සම්ප්‍රේෂණය කළ හැකිය.
මේ පැය එකහමාරේ ගමන තුළ මට තේරුම් ගියේ එක ගිණිකූරකින් ලංකාවේ සමාජය මුළුමනින්ම දවා අළු කළ හැකි වියලි පිදුරු ගොඩක් රට ඇතුළේ කාලයක් තිස්සේ එකතු වී ඇති බවයි. දින දෙකක් ලංකාවේ ගත කර, රටින් පිටවී ඇමරිකාවට ගොඩ බසිද්දී දැන ගන්නට ලැබුණේ ඒ පිදුරු ගොඩට කොහෙන් හෝ ගිණි පුලිඟුවක් වැටී ඇති බවයි.
ජාතිවාදය පැත්තකින් තිබ්බත් සියළු රටවැසියන්ගේ ජීවිත හා දේපොළ අයිතිය සුරැකීම රජයක මූලික කාර්යයකි. රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අහුමුල්ලකටම අත පොවන, රටේ තරමට සාපේක්ෂව විශාල ආරක්ෂක බලඇණියක් නඩත්තු කරන දැවැන්ත රජයකට එහි වගකීමෙන් කෙසේවත් ගැලවෙන්නට නුපුළුවන. වියලි පිදුරු කන්දක් ගොඩ ගැසී ඇති තැනක වරින් වර ගිණි දළු මතු වීම නොවැලැක්විය හැකි වුවත් එවැනි ගිණි දළු හාත්පස පැතිරී මුළු මහත් සමාජයම දවා අළු කරන්නට පෙර වහා නිවා දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

පුද්ගල අයිතිවාසිකම්,
ප්‍රවාහනය,
මානව හිමිකම්,
සමාජ මාධ්‍ය,
සේවා ආර්ථිකය
Monday, October 9, 2017
බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය
ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.
වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.
වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.
කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.
ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.
ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.
ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.
ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.
ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.
ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.
මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.
ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.
ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.
ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.
වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.
ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.
කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය", "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.
ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට යොමු කරන්නට මෙවලමක් වීම පමණි.
සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.
ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?
නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.
ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.
මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.
ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.
අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.
සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.
Labels:
ආකල්ප,
උපත් පාලනය,
ලිංගික අධ්‍යාපනය,
සංගීතය,
සමාජ මාධ්‍ය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...