වෙබ් ලිපිනය:

Showing posts with label අලි. Show all posts
Showing posts with label අලි. Show all posts

Monday, April 27, 2020

චීනෙට ගිය අලි පැටවු

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳව පසුගිය වසරේදී මා ලිපියක් ලිවුවා. ලංකාවේ රාජ්‍ය නායකයින් විසින් වරින් වර ලෝකයේ විවිධ රට වලට තෑගි කළ අලි පැටවුන් ගණනාවක් පිළිබඳ තොරතුරු එම ලිපියේ තිබෙනවා. මේ විදිහට ලෝකය පුරා විසිරුණු ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳ බොහෝ තොරතුරු අමාරුවෙන් වුවත් එක තැනකට එකතු කරන්න පුළුවන් වුනත්, චීනයට ගිය අලි පැටවු පිළිබද තොරතුරු හොයා ගැනීම එතරම් පහසු වුනේ නැහැ.


එම ලිපියේ මා සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයට අලි පැටියෙක් තෑගි කළා. මිගාරනම් වූ මේ අලි පැටවාව චීනයට තෑගි කළේ ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට පනස් වසරක් පිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ චීන සංචාරය අතරතුරයි. 2007 පෙබරවාරි 26 වනදා මහින්ද රාජපක්ෂ විසින් මිගාරව නිල වශයෙන් භාර දෙන විට මිගාර වයස අවුරුදු පහක අලි පැටවෙක්. නිල වශයෙන් භාර දුන්නේ එදින වුවත් මිගාර බෙයිජිං සත්තු වත්තට ගෙනැවිත් තියෙන්නේ ඊට දින 11කට පෙරයි.



ඊට පෙර 1979 අගෝස්තු මාසයේ 12-14 අතර රණසිංහ ප්‍රේමදාස විසින් සිදු කළ චීන සංචාරයේදී ගැහැණු අලි පැටවෙකු  තියාන්ජින් සත්තු වත්තට තෑගි කර තිබෙනවා. මේ අලි පැටික්කියගේ නම සොයා ගන්නට නැහැ.



ඊටත් පෙර 1972 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනයකගේ චීන සංචාරයක් අතරතුර මිතුරා නමැති පිරිමි අලි පැටවෙකු පීකිං සත්ත්වෝද්‍යානයට තැගි කර තිබෙනවා. ඒ දවස්වල චීන අගනුවර හැඳින්වුණේ පීකිං ලෙසයි. 1972 ජූනි 27 දින සිදුව ඇති මේ තෑගි කිරීමේ අවස්ථාවේ රූප රාමු මෑතකදී අන්තර්ජාලයට උඩුගත කර තිබෙනවා. (12 :15 සිට බලන්න)


Sunday, April 26, 2020

අම්බිකා නික්ම ගිහින්!


කෙනෙක් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන මොනවා හරි දේවල් ටිකක් තියෙන නිසයි. එහෙත්, එසේ රටකින් රටකට සංක්‍රමණය වීමේදී අහිමි වන දේවල් ටිකකුත් තියෙනවා. කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ මේ දෙගොඩ කිරා බැලූ පසු සමස්තයක් ලෙස වාසියක් තිබෙන නිසයි.

හැබැයි මේ කතාව අදාළ වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් සංක්‍රමණය වන අයටයි. වෙනත් අයෙකුගේ මන දොල සපුරන්න රටකින් රටකට සංක්‍රමණය වෙන්න සිදු වන කෙනෙක්ට මේ කතාව ඒ විදිහටම වලංගු නැහැ. ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය වෙන්න සිදුව ඇති අලි ඇතුන් වැටෙන්නේ මේ ගොඩටයි.

වයස අවුරුදු අටක පමණ අලි පැටික්කියකව සිටියදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැලෑවකින් අල්ලා ගනු ලැබ වසර පහක් කොට ඇදීමේ රාජකාරියේ යෙදී ඇති අම්බිකා ඇමරිකාවට පැමිණ තියෙන්නේ 1961 වසරේදී. ඈ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි හත් දෙනෙකුගෙන් යුත් ආසියානු අලි කණ්ඩායමේ සිටි වයස්ගතම සාමාජිකාවයි. අම්බිකාගේ සැත්තෑ එක් වසක දිවිසැරිය පසුගිය මාර්තු 27 වනදායින් නිමා වී තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ඉතිරිව සිටින ආසියානු අලි පංතියේ සිවු දෙනෙකුම එකම වසරකදී ශ්‍රී ලංකාවේ උපන් අයයි. ඒ ශාන්ති, කමලා, ස්වර්ණා හා බොසී යන සිවු දෙනායි. ඉතිරි දෙදෙනා ඉන්දියාවෙන් හා තායිලන්තයෙන් පැමිණි අයයි. පසුගිය ජූනි මාසයේදී මා අවසන් වරට මේ අයව පියවි ඇසින් දැක ගත්තා. අන්තර්ජාලය හරහානම් ඕනෑම වෙලාවක ඔවුන්ව සජීවීව නැරඹිය හැකියි.

අම්බිකාගේ සෞඛ්‍ය තත්ත්වය කාලයක් තිස්සේම පිරිහෙමිනුයි තිබුණේ. කළ හැකි සියළු ප්‍රතිකාර කිරීමෙන් පසුව සුව වීමේ ඉඩක් පෙනෙන්නට නොතිබුණු බැවින් හා අම්බිකාගේ වයස ගැන සලකමින් පසුගිය මාර්තු 27 වනදා ඇයට සුවදායක මරණයක් ලබා දීමට ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි ආසියානු අලි අතරින් අම්බිකාගේ ළඟම යෙහෙළියන්ව සිටියේ ශාන්ති හා බොසී දෙදෙනායි. අම්බිකා මරණයට පත් වීමෙන් පසුව ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් අලින් කරන පරිදි, මිනිත්තු 15-20ක පමණ කාලයක් දේහය වටා පැදකුණු කරමින් හා සිය හොඬයෙන් අම්බිකාගේ කණ, මුඛය හා හොඬ අග ස්පර්ශ කරමින් ඔවුන් දෙදෙනා සිය වැඩිමහල් මිතුරියට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අම්බිකා ගැනත්, මෙහි සඳහන් ඇගේ යෙහෙළියන් ගැනත් පෙර ලියූ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

අම්බිකාගේ විලාපය


Thursday, August 8, 2019

අලි දමනය හා නවක වදය


අලියෙක්ගේ රූපයක් එක්ක රට පුරා ගහපු පෝස්ටරයක් පහුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කරලා තිබුණා. ඒ එක්කම වගේ රජයේ සරසවි වල නවක වදය ගැන කතාබහත් ආපහු ඇදිලා ආවා. ඔය දෙක අතර බැලූ බැල්මටම පේන සම්බන්ධයක් නැහැ. වඩා විමසිල්ලෙන් බැලුවත් එහෙම සම්බන්ධයක් පෙනෙන්න නැහැ.

පෝස්ටරේ පැත්තකින් තියමුකෝ. ලංකාවේ අලි මිනිස් ගැටුම හා ලංකාවේ රජයේ සරසවි වල නවක වදය අතර කුමක් හෝ සමානත්වයක් තියෙනවද?

ඔය දෙකම හිටපු ගමන් නැගලා යන මාතෘකා. හැබැයි නැගල යනවා වගේම බැහැලත් යනවා. එක්කෝ නවක වදය හේතුවෙන් අගතියට පත් සිසුවෙකු හෝ සිසුවියක ගැන ප්‍රසිද්ධ වුනාම, එහෙමත් නැත්නම් කුමක් හෝ කටයුත්තකට සරසවි ප්‍රජාවෙන් ලොකු විරෝධයක් මතු වෙන වෙලාවට නවක වදය ගැන කතාබහ නැගලා යනවා. ඊට පස්සේ කතාව කාලෙකට අමතක වෙනවා. ඔය විදිහටම අලියෙක් ගහලා මිනිහෙක් මැරුණහම, එහෙමත් නැත්නම් මිනිස්සු එකතු වෙලා අලියෙක් මරල දැම්මහම අලි මිනිස් ගැටුම ගැන කතාබහ නැගලා යනවා. බැහැලත් යනවා. හිතලා බැලුවොත් අර පෝස්ටරේ පිටිපස්සේ තියෙන කතාවත් ටිකක් ඔය වගේ එකක්!

කොයි තරම් කතා කළත්, විවිධ විසඳුම් යෝජනා වී තිබුණත් රජයේ සරසවි වල නවක වද ප්‍රශ්නය වගේම අලි මිනිස් ගැටුමත් තවම ඒ විදිහටම තියෙනවා. සරසවි නවක වදය තිබෙන්නේ ලංකාවේ රජයේ සරසවි වල පමණක් නෙමෙයි. නමුත්, ලංකාවේ රජයේ සරසවි වල තරම් දරුණු නවක වදයක් වෙනත් කිසිදු රටක පවතිනවා කියා මා හිතන්නේ නැහැ. මෙය යම් තරමකට ලංකාවටම සුවිශේෂී ප්‍රශ්නයක්.

අලි මිනිස් ගැටුම සරසවි නවක වදය තරමට ලංකාවටම ආවේණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල් විසිනුත් මේ ප්‍රශ්නයට විවිධාකාරයේ විසඳුම් ලබා දෙන්න උත්සාහ දරා තිබෙනවා.

අලි වැළැක්වීම සඳහා මී මැසි වැටක් යොදා ගැනීම අප්‍රිකානු රටවල් ගණනාවකදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන ක්‍රමයක්. මෙහිදී කරන්නේ මීටර දහයක පමණ පරතරයක් ඇතිව ලණුවක් හෝ කම්බියක් මඟින් එකිනෙකට සම්බන්ධ කර මී මැසි ජනපද සහිත හෝ රහිත මී මැසි පෙට්ටි එල්ලීමයි. අලියෙක් මේ ලණුවේ හෝ කම්බියේ වැදුණු වහාම මී මැසි පෙට්ටි සියල්ලම හෙල්ලී මී මැස්සන් එළියට ඇවිත් අනින්න පටන් ගන්නවා. මේ අත්දැකීමට මුහුණ දෙන අලියෙක් ආයේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බොරු මී මැසි පෙට්ටි වලටත් බය වෙනවා.

මී මැසි වැට ක්‍රමය මේ වෙද්දී ලංකාවේත් අත් හදා බැලෙමින් තිබෙනවා. මෙවැනි වැටක් නිසි පරිදි හදා ගන්නා ආකාරය පිළිබඳ අත් පොතක් (ඉංග්‍රීසි බසින්) මෙහි තිබෙනවා.

අලි පාලනයට මීට පෙර යොදාගත් විදුලි වැට ක්‍රමයට සාපේක්ෂව මී මැසි වැට ක්‍රමයේ වාසි ගණනාවක් තිබෙනවා. විදුලි වැට වෙනුවෙන් වියදමක් දරන්න අවශ්‍ය වෙද්දී මී මැසි වැටකින් අමතර ආදායමක්ද ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික බෝග හොඳින් පරාගනය වීම නිසා අස්වනු වැඩි වීමේ වාසියත් තිබෙනවා. අලින්ට ලී කොට දමා විදුලි වැට පහත් කර වැට පනින්න හැකි වුවත් මී මැසි වැටත් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. මෙය පාරිසරික ප්‍රශ්නයකට පාරිසරික විසඳුමක්.

සරසවි වල නවක වද ප්‍රශ්නයටත් බොහෝ විට යෝජනා වී තිබෙන්නේ විදුලි වැට විසඳුම්. නමුත්, වැටට කොට ගෙනත් තියලා අලි වැට පනිනවා. අවශ්‍ය වන්නේ විදුලි වැටක් වෙනුවට මී මැසි වැටක්.

(Image: http://www.readthehook.com/88743/elephant-can-they-avoid-bees-all-costs)

Monday, January 7, 2019

විකල්ප දැනුමෙන් අලි එළවිය හැකිද?


විකල්ප දැනුමක උදවුවෙන් අලියෙක් එළවන්න හදපු කෙනෙක්ට අන්තිමේදී ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. ඔහු අලියාව  එළවන්න යන විදිහෙන් පෙනෙන්නේ තමන් සතු වූ විකල්ප දැනුම ගැන ඔහුට කොපමණ විශ්වාසයක් තියෙන්න ඇද්ද කියන එකයි. නමුත්, අලි එළවන එක හිතන තරම් පහසු නැති බව කලින් තේරුම් නොගැනීම නිසා ඔහුට ගෙවන්න වී තිබෙන මිල ඉතාම විශාලයි. කණගාටුදායක සිදුවීමක්!

ලංකාවේ ඉතිහාස කතාව ගලා යද්දී අලින්ගේ කතාවකුත් පසුබිමෙන් ගලා ගෙන යනවා. කුරුඳු අපනයනය ප්‍රචලිත වන තුරුම ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු. විශාල අලි ඇතුන් ගහණයක් හිටපු ලංකාවේ අලි ඇල්ලීම හා හීලෑ කිරීම සැලකිය යුතු පිරිසකගේ රැකියාව වී තිබෙනවා. මේ මිනිස්සු ජීවත් වන්නට ඇත්තේ කොයි වෙලාවක අලියෙක් ගහයිද කියන අවදානම දරාගෙනයි. ඊට අමතරව හේන් කුඹුරු කරපු බහුතර මිනිස්සුන්ට වගේම ගෙවල් වලට වී හිටපු මිනිස්සුන්ට පවා අලින්ගෙන් වෙන උවදුරු ගැන කල්පනාවෙන් ඉන්න සිදු වී තිබෙනවා.

අලි බැලීම, මුතු කිමිදීම හා අතුරේ යාම ඉතාම අවදානම් රැකියා ලෙස සැළකී තිබෙනවා. මුල් දෙක ලංකාවේ පැරණිම අපනයන කර්මාන්ත. තුන්වැන්න පසුකාලීනව නැගලා ගිය කර්මාන්තයකට සම්බන්ධයි. මේ වෘත්තීන් තුනෙන්ම අවදානමට සරිලන වාසි ලැබෙන්න ඇති. ඒ වාසි ලැබුණේ අවදානම් ගත් අයටම නොවෙන්න පුළුවන්. කොට අදින අලි හා පෙරහැරේ යන අලි වෙනම ඉන්නවනේ. අලි මේච්චල් කරන්න යන අයට තමන් ගන්න අවදානම ගැන හරි අවබෝධයක් තිබෙනවාද යන්න නොපැහැදිලියි.

දැවැන්ත සතෙක් වන අලියෙක් එක්ක මිනිහෙක්ට බාහු බලයෙන් සටන් කරලා දිනන්න බැහැ. ඒ වැඩේට කිසියම් ආකාරයක තාක්ෂණයක් උපයෝගී කරගන්න වෙනවා. වෙඩි බෙහෙත් යුගයට කලින් අලි එළවන්න උදවු කරන්න ඇත්තේ ගින්දර හා ශබ්ද කිරීම් වැනි මූලික උපක්‍රමයි. ඒ උපක්‍රම ඒ තරම්ම සාර්ථක නොවූ නිසා විකල්ප උපක්‍රම ගැන හොයන්න උනන්දුවක් ඇති වෙන්න ඇති. මොන උපක්‍රම යොදා අලි මෙල්ල කරගත්තත් පොඩි වැරදීමකින් අලියා ඉස්සර වෙන්න පුළුවන්. කරන්දෙණියේ පෙරහැරකදී අලියෙකු ඇත්ගොව්වාව පාගා මරා දමා දැන් සති දෙකයි. බුත්තල - කතරගම පාරේදී අලි මන්තර වල හාස්කම් පෙන්නන්න ගිය අයෙක්ව අලියෙක් විසින් පාගා මරා දමන්නේ ඉන් සතියකට පසුවයි. ඊටත් කලින් අලියෙක් ඇත්ගොව්වාව මරා දමනු පහත වීඩියෝවේ දැකිය හැකියි. (සංවේදී අය නොබලා ඉන්න)


අලි මන්තර කියන ඒවා ලංකාවේ කාලයක් තිස්සෙම අලි එලවන්න යොදාගෙන තිබෙනවා. මේ මන්තර ඇත්තටම වැඩ කළාද නැද්ද කියන එක කොහොම වුනත්, වැඩ කරන බව දැඩි සේ විශ්වාස කළ මිනිස්සු දිගින් දිගටම ජීවත් වී තිබෙනවා. එසේ නැත්නම් ඒවා පවතින්න විදිහක් නැහැ.

සුද්දෝ ආවට පස්සේ ලංකාවේ අලින් විශාල ගණනකට වෙඩි තබා මරා දමපු බව ප්‍රචලිත කරුණක්. නමුත්, මේ වෙඩි තැබීම් දිහා අද කෝණයෙන් බලන එක නිවැරදි නැහැ. සුද්දෝ එන කාලය වන කොටත් ලංකාවේ අලි කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට විශාල තර්ජනයක්. බොහෝ අවස්ථා වල අලින්ට වෙඩි තබා තියෙන්නේ මහජන යහපත ගැන හිතලා. ඒ ගැන ඒ කාලේ ගොඩක් මිනිස්සු කැමැත්තෙන් සිට ඇති බව පැහැදිලියි.

අලි එළවන්න වෙඩි බේත් යොදා ගත හැකි බව දැන් ප්‍රධාන ධාරාවේ දැනුමක්. අලි මන්තරත් කාලයක් ඒ විදිහට ප්‍රධාන ධාරාවේ දැනුමක් වී තියෙන්න ඇති. දැනුම කියන එක පදනම් වෙන්නෙත් මිනිස්සුන්ගේ විශ්වාස මතයි. දිවයින පත්තරේට අනුව පසුගිය සතියේ මිය ගිය පුද්ගලයා විසින් "මීට පෙර දුටුවන් මවිත කරමින් බුත්තල - කතරගම මාර්ගයේදී වන අලි රංචු පිටින් පලවා හැර" තිබෙනවා. මේ පුද්ගලයා අලියා වෙත යන ආකාරයෙන් ඔහුට අලි මන්තරේ බලය ගැන කිසිදු අවිශ්වාසයක් නැති බව පේනවා. ඔහු මේ වැඩේ කරන්නේ පළමු වරට නොවන නිසා වෙන්න ඇති.



අලි ඇත්තු ඉදිරියට බය නැතිව ගිය සුද්දෝ ගැන වාර්තා තිබෙනවා. ඔවුන් ඒ විදිහට අලින්ට කිට්ටු වෙන්නේ තමන්ගේ රයිපලේ ගැන තිබෙන විශ්වාසය මතයි. එවැනි විශ්වාසයක් තිබුණු, අලි විශාල ගණනක් වෙඩි තබා මරා දැමූ පුද්ගලයින්ව පවා අලින් විසින් මරා දමා තිබෙනවා.

අලි මන්තර ගැන පෞද්ගලිකව මගේ කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා, මොන අලි මන්තරයක් ලැබුණත් මමනම් ඒකේ බලය අත්හදා බලන්න අලියෙක්ට කිට්ටු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හෝ අලි මන්තර වලින් අලි මෙල්ල කළ හැකි බව කියනවානම් එය පට්ටපල් බොරුවක් කියා කියන්න මට පුළුවන්කමක් නැහැ. කාලයක් අලි මන්තර වලින් අලි එළවා පෙන්වා ආදායම් ඉපැයූ අයෙක්ට අන්තිමේදී අලි ප්‍රහාරයකින් මිය යන්න සිදුවීම නිසා අලි මන්තර බොරු බව ඔප්පු වෙන්නෙත් නැහැ. හැමදාම වෙඩි තබා අලි මරපු කෙනෙක්ට එක දවසක වෙලාවට කොකා ගස්සාගන්න බැරි වෙන්න පුළුවන්.

මත්පැන්, දුම්වැටි, සීනි නිසා අකාලයේ මැරෙන අයගේ උදවුවට බදු ගහන්න ආණ්ඩුව ඉන්නවා. සාමාන්‍යයෙන් ආණ්ඩු කියන්නේ මේ වගේ බදු ගහන්නේ සමාජ යහපත තකා කියලයි. මත්පැන් බොන අයෙක් මත්පැන් නිසා මැරෙන්න තිබෙන සම්භාවිතාව කොපමණද? එතකොට දුම්වැටි, සීනි නිසා ඒ දේවල් පරිභෝජනය කරන කී දෙනෙක් මැරෙනවද? අලි බලන කෙනෙක් අලියෙක්ගේ පහර දීමකින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඊට වඩා අඩුද? ඒ අවදානම අඩුකරගත හැකි ක්‍රියාමාර්ග නැද්ද? අලි බැලිල්ල නියාමනය කළා කියා ආණ්ඩුවට දැනෙන තරමේ ආදායමක් ලැබෙන්නේනම් නැහැ.

Friday, August 31, 2018

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව

ජනාධිපති ජේආර් ජයවර්ධන ඇමරිකන් ජනාධිපති රේගන්ව හම්බු වෙන්න ගිහින් අලි පැටියෙක් තෑගි කරපු කතාව ගැන අපි කලින් කතා කළානේ. ඔය සිද්ධිය වුනේ 1984 ජූනි 18 වෙනිදා. ඊට සතියකට දෙකකට කලින්, ජූනි 4-10 අතර දවස් වල රේගන් එංගලන්ත සංචාරයක නිරත වුනා. මේ ගමනේ අරමුණ වුණේ G7 රටවල් වල ආර්ථික සමුළුවට සහභාගී වීමයි. රොනල්ඩ් රේගන් ඔය සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරේදී නැන්සි රේගන් ලන්ඩන් සත්ත්වෝද්‍යානය බලන්න ගියා.


(Image: https://abc7chicago.com)

ලන්ඩන් සත්වෝද්‍යානයේ හිටපු සත්තු අතරින් නැන්සි රේගන්ගේ හිත ගොඩක් ඇදිල ගියේ කුඩා අලි පැටික්කියෙක් වූ ඩිල්බර්ටා වෙතටයි. ඩිල්බර්ටා ලංකාවේ අලියන් සාමාන්‍යයෙන් කරන විදිහට (කරන්න පුරුදු කරලා තියෙන විදිහට) හොඬවැල උස්සලා නැන්සි රේගන්ට ආචාර කලා.

මේ ඩිල්බර්ටාත් ඉපදිලා තියෙන්නේ පින්නවලදී. ලංකාවේදී ගීතා ලෙස හැඳින්වුණු ඇය ඩිල්බර්ටා වෙලා තියෙන්නේ එංගලන්තයට ආවට පස්සෙයි. 1980 ඔක්තෝබර් මාසයේදී ඉපදී තිබෙන ඇය එංගලන්තයට පැමිණ තිබෙන්නේ 1982 ජූනි 30 වෙනිදා. මේ සිද්ධිය වෙන කොට ඇයට වයස අවුරුදු හතරයි.

ඩිල්බර්ටා දැනට ජීවතුන් අතර නැහැ. ඒත් ඩිල්බර්ටා වගේ ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට යවනු ලැබූ අලි සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අලි විශාල ප්‍රමාණයකගෙන් සමන්විත ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාවක් මේ වන විට ලෝකය පුරා විසිරී සිටිනවා.

ලංකාවේ ඉපදුණු කමලා, ස්වර්ණා හා බණ්ඩාර කැනඩාවේ කැල්ගරි සත්ත්වෝද්‍යානයට එන්නේ 1976 අවුරුද්දේ මැයි 25 වෙනිදා. ඒ වන විට බණ්ඩාරට වයස අවුරුද්දයි. ස්වර්ණාට හා කමලාට මාස නවයක් විතර. මේ තුන්දෙනාගෙන් බණ්ඩාර 1991 නොවැම්බර් 25 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විට බණ්ඩාරගේ වයස අවුරුදු දාසයයි.

බණ්ඩාර එක්ක කැනඩාවට පැමිණි ස්වර්ණා හා කමලා තවමත් ජීවත් වෙනවා. ඒ දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි පිහිටි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. දැනට වයස අවුරුදු 43ක් වන මේ දෙන්නා කැනඩාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ 2014 මැයි 22 වෙනිදා. බණ්ඩාර අඩු වයසකින් මිය ගියත් ඊට පෙර කමලා එක්ක එකතු වෙලා දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ දරුවෝ තවත් දරුවන් ගණනාවක් හැදුවා. දැන් ලෝකය පුරා විසිරිලා ඉන්න බණ්ඩාරගේ හා කමලාගේ දරුවන් හා මුණුපුරන් ගැන පසුව ලියන්නම්.

මේ වන විට ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත්වන වයස අවුරුදු 42ක් වූ ශාන්ති ඇමරිකාවට පැමිණියේත් බණ්ඩාර, කමලා හා ස්වර්ණා කැනඩාවට පැමිණි 1976 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈ ඇමරිකාවට පැමිණෙන විට ඇගේ වයසත් අවුරුද්දකට අඩුයි. ශාන්තිටත් දරුවන් දෙදෙනෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා. එක් දරුවෙක්ගේ පියා බණ්ඩාරගේ හා කමලාගේ පුතෙක්.

ශාන්ති ඇමරිකාවට පැමිණෙන්න මාසයකට පෙර, 1976 නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි ලින්කන් සත්ත්වෝද්‍යානයට පැමිණි බොසී දැන් ඉන්නේත් ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. ඇමරිකාවට ලංකාවේ සිට පැමිණි පෙර කී අලි පැටවුන්ගේ සමකාලීනයෙකු වන බොසීටත් දැන් අවුරුදු 43ක්. ඇයටත් දරුවෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා.

උතුරු ඇමරිකාවට පෙර කී අලි පැටවුන් පස් දෙනා පැමිණි 1976 අවුරුද්දේදී යුරෝපයටත් ලංකාවෙන් අලි පැටවුන් පැමිණිලා තිබෙනවා. ඒ අවුරුද්දේ මාර්තු 24 වෙනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් සත්ත්වෝද්‍යානයට පැමිණි සීලා-හිමාලි එහි පැමිණෙන විට ඇගේ වයස මාස අටයි. දරුවන් හය දෙනෙකු වැදූ සීලා-හිමාලිට මුණුපුරු මිණිපිරියන් විශාල පිරිසක් ඉන්නවා.

ඔය කාලයේදීම පිලිපීනයේ මැනිලා සත්ත්වෝද්‍යානයට ලබා දුන් මාලිටත් දැන් වයස අවුරුදු 44යි. දරුවන්නම් නැහැ.

කලින් කී අලි පැටවුන් සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් පිටරට පටවනු ලැබූ පළමු අලි කණ්ඩායම නෙමෙයි. අනුෂාව සහ කෝමලීව ලංකාවේ සිට සිංගප්පූරු සත්ත්වෝද්‍යානයට එවල තියෙන්නේ 1973 වසරේදී. ඒ වන විට අනුෂාට වයස අවුරුදු 28ක්. කෝමලීටනම් අවුරුදු 3ක් වුණා පමණයි. අනුෂා 1999 සැප්තැම්බර් 27 වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 54ක්. දැන් වයස අවුරුදු 48ක් වන කෝමලී මේ වන විට සිංගප්පූරුවේ සිටින ජ්‍යෙෂ්ඨතම කෙණෙරයි.

යුරෝපයේදී හෝ උතුරු ඇමරිකාවේදී මෙන් මේ කෙණෙරන්ගෙන් පැටවුන් ලබා ගන්න සිංගප්පූරුව සමත් වී නැති නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් කිසිවෙකු නැහැ. ඒ වුනත්, අනුෂා හා කෝමලී ලංකාවේ අලි සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රචලිත කර තිබෙනවා. සිංගප්පූරු සත්ත්වෝද්‍යානයේ දැනට සිටින විවිධ රටවලින් පැමිණි අලින්ගේ සම්බන්ධීකරණ භාෂාව ලංකාවේ අලි භාෂාවයි.

මීටත් කලකට පෙර බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් ජපානයට අවුරුදු තුනක අලි පැටියෙක් ලබා දී තිබෙනවා. හිරෝහිතෝ අධිරාජයාගේ මල්ලී වූ මිකාසා කුමරුට 1957දී තෑගි කෙරුණු, අගමැති පුතු ලෙසින්ම අනුර සේ නම් කර තිබෙන මේ අලි පැටවා දැන් වයස අවුරුදු 65ක අලියෙක්. ජපානයේ තමා සත්ත්ත්වෝද්‍යානයේ ජීවත් වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝසල හා අනුලානම් වූ තවත් අලි පැටවුන් දෙදෙනෙකු ජපානයේ හිගශියමා සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා. 2007 ජූලි 28 වෙනිදා මේ අලි පැටවුන් ලබා දී තිබෙන්නේ රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු සමඟ හුවමාරුවක් ලෙසිනුයි. කෝසල ඉපදිලා තියෙන්නේ 2004 මැයි 10 වෙනිදා පින්නවලදී. ඔහුට දැන් වයස 14ක්. ඊට වසර තුනකට පෙර ඉපදුනු අනුලාට දැන් වයස 17ක්. මේ දෙන්නට දැන් ජපානයේදී උපන් සුරතල් දියණියකුත් ඉන්නවා.

ඉන්පසුව නැවතත් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර හැටක් පිරීම නිමිත්තෙන් 2012 නොවැම්බර් 30 වෙනදා ජපානයේ තමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙන්නෙක් ලබා දී තිබෙනවා. ඒ, 2004 ඔක්තෝබර් 29 දා පින්නවලදී උපන් අමරා සහ 2007 අගෝස්තු 25 එහිදීම උපන් විදුර කියන අලි පැටවු දෙන්නා. දැන් මේ දෙන්නට වයස පිළිවෙලින් අවුරුදු 16ක් හා 11ක්.

ඊටත් පස්සේ 2013 සැප්තැම්බර් මාසයේදී ජපානයේ තොකුයමා සත්වෝද්‍යානයට නාමලී හා මිලින්ද නම් වූ තවත් අලි පැටවු දෙන්නෙක් ලබා දී තිබෙනවා. මේ දෙන්නට දැන් පිළිවෙලින් අවුරුදු 12ක් හා 10ක් වෙනවා. මෙයට අමතරව චිබා සත්ත්වෝද්‍යානයේ සිටින සුරතලා නම් වූ අලියාත් ලංකාවෙන් එහි ගිය අලියෙක් වෙන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුව කාලෙදීම 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයටත් අලි පැටියෙක් දීල තියෙනවා. 2001 ජූනි මාසේදී පින්නවලදී ඉපදිලා තිබෙන, දැනට බීජිං සත්ත්වෝද්‍යානයේ ඉන්න, මිගාර කියන මේ අලි පැටියට දැන් වයස අවුරුදු 17ක්.

දැනට ස්විට්සර්ලන්තයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයේ ජීවත් වන තමරා සහ ජනිතා ලංකාවේ සිට එහි පැමිණ තිබෙන්නේ 2012 ඔක්තෝබර් 7 වෙනිදා. වැඩිමල් ජනිතාට වයස 14යි. තමරාට 13යි. මොවුන් එහි ගිහින් වැඩි දවසක් යන්න කලින් මියන්මාරයෙන් පැමිණ සිටි අන්කෝර් තමරාට වහ වැටෙද්දී වියට්නාමයේ සිට ආ මීකොන්ගේ කැමැත්ත ලැබෙන්නේ ජනිතටයි. මේ දෙන්නටම දැන් අවුරුදු දෙක පහු කළ පුත්තු ඉන්නවා.

මීට අමතරව 1977දී ලංකාවේ සිට පැමිණි දේවී ඇමරිකාවේ සැන් දියාගෝ සත්වෝද්‍යානයේ ජීවත් වෙනවා. ඇය එහි පැමිණ තිබෙන්නේ මාස නවයක කාලයේදී. දේවී මෙන්ම ඉපදී මාස කිහිපයකින් 1968දී එහි පැමිණි සුමති අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත් වී දෙවසරකට පෙර මිය ගියා.

පසුගිය ආණ්ඩුව කාලයේදී කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයටත් සුගලා හා ගජබා නම් වූ අලි පැටවු දෙන්නෙක් ලබා දීල තියෙනවා. සුගලා තවමත් ජීවත් වුනත් ගජබා මේ වන විට ජීවතුන් අතර නැහැ. පසුගිය 7 වෙනිදා මද කිපී සිටි වයස 14ක් වූ ගජබා අවාසනාවන්ත ලෙස මිය ගිහින්. කෙසේ වුවත් ගජබා මිය ගියේ පියෙකු වීමෙන් පසුවයි. 2016 ජූනි මාසයේදී උපන් ගජබාගේ හා සුගලාගේ දරුවාව නම් කෙරුණේ කොරිලංකා ලෙසයි.

පකිස්ථානයේ ලාහෝර් සෆාරි උද්‍යානයටත් ලංකාවෙන් අලි පැටවු දෙන්නෙක් ලබා දෙන්න නියමිත බව මාස දෙකකට පෙර වාර්තා වී තිබුණා. මේ වන විට යවල වෙන්නත් පුළුවන්.

ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකටම ලංකාවේ සිට වෙනත් රටකට යන්නට සිදුවන අලින්ටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුනම් සංක්‍රමණය වන්නේ තමන්ගේ තීරණයේ තිබෙන හොඳ නරක කිරා මැන බැලීමෙන් පසුව කැමැත්තෙනුයි. නමුත් අලින්ගේ සංක්‍රමණ තීරණය ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවන්නක් නෙමෙයි.

Wednesday, August 22, 2018

අම්බිකාගේ විලාපය


ජේආර් උන්නැහේ රේගන් මහත්තයව බැහැදකින්න යද්දී තුටු පඬුරක් විදිහට මාස දහ අටක අලි පැටික්කියක් කිහිල්ලේ ගහගෙන ගිය කතාවත්, ඇමරිකාවට ගිහිං වැඩි දොහක් යන්න කලින් මේ අලි පැටික්කිගේ ජීවිතේ ඉතාම අවාසනාවන්ත විදිහට කෙළවර වුනු ආකාරයත් කලින් ලිපියේ ලිවුවනේ.

මේ කටයුත්තෙදී ජේආර් කළේ වැරැද්දක්ද? නැත්නම් මෝඩකමක්ද? අලි පැටික්කිව බාර ගැනීම ඇමරිකාව කරපු වැරැද්දක්ද? එහෙම නැත්නම් ඇමරිකාවට සිදු වෙච්ච අත්වැරදීමක්ද?

මේ වගේ ප්‍රශ්න මතු වෙන එක අමුත්තක් නොවුනත් මේ දේවල් ගැන එක පාරටම අවසන් නිගමන වලට බහින එක ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි.

අලි පැටික්කිව රේගන්ට පිරිනමන්නේ ජේආර් විසින් වුවත් මේ වගේ දෙයක් සිදුවෙන්නේ ජේආර්ගේ හෝ රේගන්ගේ තනි තීරණේට නෙමෙයි. ඔය වගේ තීරණයක් ගන්න නිලධාරීන් විශාල පිරිසක් මැදිහත් වෙනවා.

ජයතු කියන්නේ ලංකාවේ සිට අඩු වයසකදී උතුරු ඇමරිකාවට පටවපු පළමුවෙනි අලි පැටික්කි නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩු කාලේ ඔයාකාරයට ඇමරිකා එක්සත් ජනපදයට හා කැනඩාවට අලි පැටවු හා පැටික්කියෝ හතර පස් දෙනෙක්ම පටවලා තියෙනවා. ඒ අයට වුනේ මොකද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු.

ජයතු අලි පැටවාව ජනාධිපති ජේආර් විසින් ජනාධිපති රේගන්ට නිල වශයෙන් භාර දීම සිදු වුනේ 1984 ජුනි 18 වෙනිදා 11.30ට පමණ ධවල මන්දිරයේ දකුණු තණ තිල්ලේදීයි[1]. ඇය ඇමරිකාවට පැමිණ තිබෙන්නේ ඊට සතියකට පෙර 1984 ජුනි 11 දිනයි. ඇමරිකාවට පැමිණ දින 78කට පසුව, එනම් 1984 අගෝස්තු 29දා හවස 4.45ට පමණ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේදී ඈ අවාසනාවන්ත ලෙස මිය යනවා.

ජයතු අලි පැටික්කිය ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරට පැමිණෙන විට එහි තවත් ආසියානු අලි දෙන්නෙක් සිටියා. දෙන්නාම කෙණෙරන්. (මේ කෙණෙර කියන වචනය පහේ ශිෂ්‍යත්වයට උගන්වන ගුරුවරුන් විසින් මෑතකාලීනව නැවත අරුත් ගන්වනු ලැබූ වචනයක් වෙන්න පුළුවන්). පළමුවැන්නිය 1961 අප්‍රේල් 14 වෙනිදා ඉන්දියානු දරුවන්ගෙන් ඇමරිකානු දරුවන්ට තෑග්ගක් සේ ලැබුණු අම්බිකා. දෙවැන්නිය ජයතු වගේම අඩු වයසෙන් 1976 දෙසැම්බර් 30දා ලංකාවේ සිට එහි පැමිණි ශාන්ති.

අම්බිකා ඉන්දියාවේ සිට ඇමරිකාවට එන කොට අවුරුදු දහතුනක අලි නෑම්බියක්. නමුත්, ශාන්තිව ඇමරිකාවට එවන විට ඇයට අවුරුද්දක්වත් නැහැ. ජයතු තරම් අවාසනාවන්ත නොවුනත් ඇතැම් විට ශාන්ති කුඩා කාලයේදීත් කිරි පොවන්න අමාරු වෙන්න ඇති. එහෙම නැත්නම් කිරි බොන අලි පැටියෙක්ව භාර ගන්න ඇමරිකාව පසුව අදිමදි කරන්න හේතුවක් නෑනේ. එහෙම නැත්නම් ශාන්ති ආ කාලයේම උතුරු ඇමරිකාවේ වෙනත් සත්ත්ව උද්‍යාන දෙකකට එවනු ලැබූ අනෙක් කිරි බොන අලි පැටවුන් හතර දෙනාගෙන් එකෙකු හෝ කිහිප දෙනෙකු මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වෙන්නත් පුළුවන්.

අම්බිකාගේ තරුණ කාලයේදී මිනිස් රැකවරණය යටතේ සිටින කෙණෙරන් ගැබ්බර වීම සාමාන්‍ය දෙයක් වී තිබුණේ නැහැ. ඇගේ දරුමල්ලන් කිසිවකු ගැන වාර්තා දකින්නට නැත්තේ ඒ නිසා විය යුතුයි. නමුත්, ශාන්තිටනම් පසුව අලි පැටවුන් දෙන්නෙක්ම ලැබෙනවා.

කොහොම වුණත්, ජයතු ඇමරිකාවට රැගෙන එන කාලය වෙන කොටත් ශාන්ති අවුරුදු අටක අලි පැටික්කියක් මිස අලි නෑම්බියක් නෙමෙයි. හැබැයි ඉන්දියාවෙන් ආ අම්බිකාටනම් ඒ වන විට වයස අවුරුදු තිස් හයක් වෙලා. නිදැල්ලේ හිටියනම් බොහෝ විට අලි පැටවු කීප දෙනෙකුගේ අම්ම කෙනෙක්.

කතාවක් තියෙනවනේ ඇතින්නකට පැටියෙක් ලැබුනහම රැහේ අනෙක් ඇතින්නන්ටත් කිරි උනනවා කියල. ඉන්දියාවෙන් ආපු අම්බිකා ජයතුගේ රැහේම නොවුණත් මේ හුරතල් අලි පැටියා කිරි නැතුව කෑගහන කොට අම්බිකා වගේ දරුවෝ නොලබපු කෙණෙරකට වුනත් කිරි එරෙන්න බැරිද? ජයතු පැටියා කෑ ගහනකොට අම්බිකාට මොන වගේ දේවල් හිතෙන්න ඇද්ද?

අලි ඇත්තුන්ට හිතන්න පුළුවන්ද කියලා කාට හරි අහන්න පුළුවන්. හිතන්න පුළුවන් වුනත් ඒ හිතන දේවල් මට දැනගන්න විදිහක් නැහැ. අලියෙක් තියා මේක කියවන ඔබ හිතන දේවල්වත් මට දැනගන්න බැහැ. නමුත්, අම්බිකා හිතන දේවල් මේ වගේ වෙන්න පුළුවන් කියා මට පරිකල්පනය කරන්න පුළුවන්. අම්බිකා හිතන දේවල් කියා මම පරිකල්පනය කරන දේවල් මට ලියන්නත් පුළුවන්.

අම්බිකා හිතුවේ මේ වගේ වෙන්න බැරිද?


අම්බිකාගේ විලාපය 

මේ ඈත දීපංකර රටේ 
උඹට මට නුපුරුදු වනේ 
උඹට මවු වෙන්නට ඉඩක් නෑ 
බරට කිරි පිරිලා තනේ 

එකෙක් ගැබ්බර වූ තැනේ 
අපි හැවොම කිරි මවුවරු වුනේ 
උඹේ ඇඬුමට කිරි ඉනූවත් 
කෙල්ලෙ මමනම් පිට රැහේ 

උඹේ හුරතල් දුටු තැනේ 
රජ මැතිවරුන් හැම තුටු වුනේ 
ඒත් කෙල්ලේ ඒකමයි අද 
උඹට මේ හැටි කොඩිවිනේ 

පාට සළුපිළි අබරණින් නෙක  
අලංකාරෙට සරසලා 
රජෙක් රජෙකුට පඬුරු විලසට
උඹව ගෙනැවිත් පුද කළා 

මේ හීත හිම වැටෙනා රටේ අද
උඹව කරලා හුදෙකලා 
උඹේ රජු සහ රජ බිසෝ දැන් 
මූදු හතකින් ගොඩ වෙලා 

හාමතේ උඹ හාමතේ උඹ
අඬනවා කිරි ඉල්ලලා 
උඹ වගෙම උඹ වගෙම කෙල්ලේ
මමත් අද අසරණ වෙලා

අලි පැටවු විතරක් නෙමෙයි කෙලි පැටවුන්වත් ඔයාකාරයට ප්‍රාදේශීය රජවරුන් විසින් මහ රජවරුන්ට ගෙනත් භාර දුන් කතා අහල ඇතිනේ. ඒ නිසා අවශ්‍යනම් අම්බිකාගේ විලාපය ගැන වඩා පුළුල් විදිහට වුනත් හිතන්න බැරි කමක් නැහැ.

(Image: https://news.softpedia.com/news/Picture-of-the-Day-Baby-Elephant-Face-Plants-in-Mud-398366.shtml)

1. Ronald Reagan: "Remarks on Accepting a Gift From the People of Sri Lanka ," June 18, 1984. Online by Gerhard Peters and John T. Woolley, The American Presidency Project. http://www.presidency.ucsb.edu/ws/?pid=40056.

Friday, August 17, 2018

ජේආර් සමඟ ඇමරිකා ගොස් හාමතේ මියගිය ඈ...


සමගි පෙරමුණු ආණ්ඩුව පරාජය කර හයෙන් පහක බලයක් ලබාගත් ජේආර් ජයවර්ධන ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවකට මුල පිරුවා. අඩුපාඩු තිබුණත් ජේආර්ට ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම පිළිබඳව දැක්මක් තිබුණා. නිදහසින් පසු ලංකාවේ ආර්ථික ව්‍යුහයේ එක දිගටම තිබුණු හා තවමත් තිබෙන මූලික ප්‍රශ්නයක් වන රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසි අයුරින් හඳුනාගත් එකම රාජ්‍ය නායකයා ජේආර් ජයවර්ධනයි. මේ කරුණේදී රනිල් වික්‍රමසිංහ ඉන්නෙත් ජේආර්ට වඩා ගොඩක් පස්සෙන්.

ජේආර් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් ලෙසයි. ඇමරිකාවට ජේආර්ගේ ලැදිකමක් තිබී ඇති බව පිළිබඳව සැකයක් නැතත්, එය ඔහු පෙන්වූ තරමටම තිබුණා නොවෙන්නත් පුළුවන්. ඊට වඩා සිදුවී තිබෙන බව පෙනෙන්නේ තමන් ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් බවට ප්‍රතිරූපයක් හදාගන්න ජේආර් විසින්ම කාලයක් තිස්සේ කටයුතු කර තිබීමයි. ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්ති ඇමරිකාවට වඩා කිට්ටු සිංගප්පූරුවටයි.

ජේආර් විසින් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ නිසා ලංකාවේ ආර්ථික වර්ධනය තරමක් වේගවත් වුනත්, උතුරේ කැරළි පටන් ගැනීමෙන් පසුව තත්ත්වය හිතූ තරම් හොඳ වුණේ නැහැ. මේ ප්‍රශ්නයේ ඉතිහාසය ඈතට දිවෙන්නක් වුවත්, ලංකාවේ ආර්ථිකයට හා ජන ජීවිතයට සිවිල් යුද්ධයේ බලපෑම දැනෙන්න පටන් ගත් අවුරුද්ද සේ සැලකිය හැක්කේ 1983 අවුරුද්දයි.

මේ විදිහට උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වී වසරකට පමණ පසු ජේආර් ඇමරිකාවේ සංචාරයක යෙදුණා. එවකට ඇමරිකානු ජනාධිපති වුණේ රොනල්ඩ් රේගන්. සංචාරයේ පසුබිම ඇතුළු දේශපාලනික කරුණු ගැන කතා කරන එක අපි දැනට පැත්තකින් තියමු.

ජේආර් ඇමරිකාවට ගියේ රේගන්ට දෙන්න තෑග්ගකුත් අරගෙනයි. ඒ කිරි බොන වයසේ හිටපු මාස 18ක සුරතල් අලි පැටික්කියක්. බර රාත්තල් 285ක් පමණයි. ජයතු ලෙස නම් කර තිබුණු මේ අලි පැටික්කී වලක වැටිලා ඉඳිද්දී බේරාගෙන තිබුණු අනාථ අලි සිඟිත්තියක්. ජේආර් මේ අලි පැටික්කිව කිහිල්ලෙ ගහගෙන ඇමරිකා යන කාටුන් එකක් ඒ දවස් වල ඇත්තේ හෝ වෙනත් පත්තරේක නැත්නම් සඟරාවක තිබුණා වගෙත් මතකයක් තියෙනවා.

රටකින් රටකට තෑග්ගක් දෙනකොට යන ගමන් ලක්සලෙන් මොකක් හරි අරන් ඔතාගෙන යනවා වගේ ලේසියට ඔය වැඩේ කරන්න බැහැ. ඊට කලින් අනුගමනය කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටීන් තියෙනවා. මේ අතරින් වැදගත්ම මූලික කරුණක් වෙන්නේ තෑග්ග භාරගන්න අදාළ රට කැමති වීමයි.

මේ අලි පැටික්කිව භාර ගන්න ඇමරිකාව මුලින්ම කැමති වෙලා නැහැ. එයට හේතුව මේ තරම් පොඩි වයසක අලි පැටික්කියක් ඇමරිකාව වගේ නුපුරුදු දේශගුණයක් තියෙන රටකට ගෙනත් හදාගන්න පුළුවන් වෙයිද කියන සැකය. ඒ නිසා, ඇමරිකාව පැත්තෙන් මුලින් කියල තියෙන්නේ තෑග්ග ලෙස ටිකක් ලොකු, කිරි වරපු අලි පැටියෙක් දෙන්න පුළුවන්නම් වඩා හොඳ බවයි.

අලි පැටියෙක් කිරි වරන්න අවුරුදු තුනක්වත් යනවා. ඒ වෙන කොට පැටියා සෑහෙන්න වැඩිලා නිසා ඒ වයසේ පැටියෙක් ඇමරිකාවට ගෙනියන්නනම් වෙනම ගුවන් යානයක් අවශ්‍ය වෙනවා. ඒ තරම් වියදමක් ලංකාවේ භාණ්ඩාගාරයට දරා ගන්න අපහසු බව ඇමරිකාවට දන්වමින් කොහොම හරි අන්තිමට ජේආර් මේ පැටියාව භාර ගන්න ඇමරිකාව කැමති කරගෙන තියෙනවා. ඒ අනුව, සාමාන්‍ය ජම්බෝ ජෙට් යානයකට පැටවූ තොටිල්ලක මේ අලි පැටික්කී ජේආර් එක්ක ඇමරිකාවට එනවා. ඉන්පසුව, ජේආර්ගේ වගේම රේගන්ගේත් දේශපාලන පක්ෂ වල සංකේතයක් වන මේ අලි පැටික්කිව ජේආර් විසින් රොනල්ඩ් රේගන්ට තෑගි කරනවා.

කොහොම වුණත්, කෙටි කලකට හෝ ජේආර්ගේ වගේම රේගන්ගේත් ආදරය ලබන ජයතු නම් වූ මේ අලි සිඟිත්තිය ඇමරිකාවට පැමිණීමෙන් පසුව ජීවත් වෙන්නේ දින 78ක් පමණයි. මුලින්ම, ලංකාවෙන් ගෙන ආ ළදරු කිරිපිටි ආහාරයට ගනිමින් රාත්තල් 130ක් පමණ බර වැඩි කරගන්නා ඇය එසේ ගෙනා කිරිපිටි ඉවර වී වෙනත් වර්ගයක් ලබාදෙන්නට පටන් ගැනීමත් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරද්දී බටයකින් ආහාර ලබා දුන්නත් ඇගේ බඩවැල් ආසාදනය වී පාචන තත්ත්වයක් ඇති වෙන අතර ආහාර අවශෝෂණය කරගැනීම ක්‍රමයෙන් අඩු වී ඇගේ බර විශාල ලෙස පහත වැටෙනවා. අවසානයේදී මේ අලි සිඟිත්තිය උපන් බිමෙන් බොහෝ ඈත රටකදී ඉතා අඩු වයසකින් ජීවිතය හැර යනවා.


(Image: https://de.wikipedia.org/wiki/Datei:Jayewardene_presents_elephant_to_Reagan.jpg)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...