Showing posts with label නැටුම්. Show all posts
Showing posts with label නැටුම්. Show all posts
Monday, August 14, 2017
දහයෙ කොළේ කතන්දරේ
අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.
ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.
රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.
රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.
වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.
දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)
මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.
නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.
ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.
මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.
ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.
මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.
නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය.
පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.
නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.
බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...