වෙබ් ලිපිනය:

Showing posts with label පරාක්‍රමබාහු. Show all posts
Showing posts with label පරාක්‍රමබාහු. Show all posts

Saturday, May 9, 2020

පැරකුම් යුගයකට නැවත යා යුතුද?


"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා..."

කියවන අය අතර ඔය පද ටික හිතේ නැති කෙනෙක් නැතුව ඇති නේද? ඔය සින්දුවේ කියන ආකාරයට පැරකුම් යුගයකට නැවත යාමේ අරමුණ හෝ ඉලක්කය ගැන අපට වරින් වර අහන්න ලැබෙනවා. පැරකුම් යුගයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා.

මේ කියන පැරකුම් යුගය ක්‍රිස්තු වර්ෂ 1153–1186 අතර කාලයයි. ලංකාවට පෘතුගීසීන් ආවේ ක්‍රිස්තු වර්ෂ 1505දී. ඒ කියන්නේ පැරකුම් යුගයේ අවසානය හා පෘතුගීසි ආගමනය අතර කාලය වසර 319ක් පමණයි. පෘතුගීසි ආගමනයේ සිට මේ වන විට තවත් වසර 515ක් ගෙවිලා. මම මෙයින් කියන්න අදහස් කළේ පැරකුම් යුගය කියන එක ලංකාවේ ඉතිහාසය එක්ක බැලුවහම සාපේක්ෂව නූතන යුගයක් කියන එකයි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉතිහාසය මීට වඩා ගොඩක් කෙටි වුවත් ලංකාවේ ඉතිහාසය පැරකුම් යුගයෙන් ගොඩක් එහාට යනවා. මහින්දාගමනය සිදු වූ තැන් සිට පැරකුම් යුගය දක්වා කාලය පැරකුම් යුගයේ සිට අද දක්වා කාලයට වඩා දිගු කාලයක්.

පැරකුම් යුගයේදී ලෝකයේ අනෙක් හැම රටකම මිනිස්සු කොළ අතු ඇඳගෙන හිටියේ නැහැ. ඒ කාලය වන විට ලෝකයේ විවිධ රටවල් යම් මට්ටමක දියුණුවක් අත් කරගෙන හිටියා. ඉතාලියේ බොලොඤ්ඤ සරසවිය ආරම්භ කර තිබෙන්නේ පැරකුම් යුගයට වසර 65කට පෙර ක්‍රිස්තු වර්ෂ 1088දී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කරල තියෙන්නේ පැරකුම් යුගයට වසර 57කට පෙර ක්‍රිස්තු වර්ෂ 1096දී. පැරකුම් යුගය වන කොට වැනීසිය මහා පරිමාණයෙන් නැවු තනමින් හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙමින් සෑහෙන තරමේ ආර්ථික සමෘද්ධියක් අත් පත් කර ගෙන.

මේවා ලිවුවා කියලා ජාතික අභිමානය අඩු කරගන්න අවශ්‍ය නැහැ. පැරකුම් යුගය ලංකා ඉතිහාසයේ ඉතා සමෘද්ධිමත් යුගයක්. වැනීසිය මට්ටමේ නොහිටියත් ඒ කාලයේ ලංකාව ආනයන, අපනයන හා ප්‍රති-අපනයන කර විශාල වශයෙන් ආදායම් ඉපැයූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්. ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි අරමණ ආක්‍රමණය සිදු වුනෙත් මේ කාලයේ. මේ ගැන කලින් ලියූ ලිපි මාලාවක් පහත තිබෙනවා.

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...





අපට කතා කරන්න අවශ්‍ය වී ගොවිතැන ගැනනේ. රෝදය අළුතින් හොයා ගන්න කාලය මිඩංගු නොකර මම මේ ගැන භූෂණ කල්හාරගේ සිංහලේ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ලිපියක කොටස් උපුටා දක්වන්නම්. ඔහු ඉතිහාසය ගැන සෑහෙන දැනුමක් තිබෙන, විශ්වාසනීය මූලාශ්‍ර හෝ වෙනත් තාර්කික පදනමක් සහිතව කරුණු ඉදිරිපත් කරන කෙනෙක් නිසා ඔහු ලියා ඇති දේ ගැන නැවත හොයා බලන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

"මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත." 

"...පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ."

"මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ... මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. ... කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ."

මුළු ලිපියම පහත සබැඳියෙන් කියවිය හැකියි.


දැන් අපි වැදගත්ම කරුණට එමු. පැරකුම් යුගයේ ලංකාව සහල් (බොහෝ විට වී) අපනයනය කළා වෙන්න පුළුවන්. නමුත්, එසේ අපනයනය කළ සහල් ප්‍රමාණය රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වෙන්න බැහැ. අරමණ ආක්‍රමණය ගැන මා ලියා ඇති ලිපි පෙළේ තිබෙන කරුණු අනුව සමහර විට එක සහල් නැවක් පිටරට යවා ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් කළා වෙන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙන් මුළු පෙරදිගටම සහල් යවපු බව පිළිගන්න සාධක නැහැ.

හැබැයි ඔය කියන පැරකුම් යුගයේ වගේම වරින් වර වෙනත් කාල වකවානු වලදීත් ලංකාවේ සහල් අතිරික්තයක් තිබුණා කියන එක පිළිගන්න පුළුවන්. වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය යොදවන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන අතිරික්තයක් තිබුණානම් පමණයි. වී හෝ සහල් අපනයනය කරන්න හෝ ගබඩා කරන්න පුළුවන් වෙනවා කියන්නේ රටේ සියලු දෙනාටම ආහාරයට ගන්න අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා රටේ නිපදවුනා කියන එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. 

සමහර විට පිරිසක් සතුව විශාල අතිරික්තයක් තිබුණත් ඉතිරි පිරිස බඩගින්නේ හිටියා වෙන්න බැරිද? අපි එහෙම වුනේ නෑ කියලා හිතමු.

අනෙක් අතට වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය ඉතිරි වුනා කියා කියන්නේ ඒ අයට කන්න දෙන්න ආහාර හදන්න ඉතිරි පිරිසට හැකි වුනා කියන එකයි. ඇතැම් විට කුඹුරු වැඩ නැති දවස් වල මේ වගේ වෙන වැඩ කළා වෙන්නත් පුළුවන්.

දැන් අපි අපේ ඇස්තමේන්තු වලට එමු.

අපි හිතමු රටේ නිපදවන සහල් රටේ සියලුම දෙනා පරිභෝජනය කිරීමෙන් පසුව යම් ප්‍රමාණයක් ඉතිරි වී ඒ ප්‍රමාණයෙන් කොටසක් අපනයනය කළා කියලා. තවත් කොටසක් ගබඩා කර ගත්තා කියමු. අපනයනය කරපු ප්‍රමාණය පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 5%ක් ලෙසත්, ගබඩා කර ගත් ප්‍රමාණය 45%ක් ලෙසත් සලකමු. ඒ කියන්නේ පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 50%ක් අතිරික්තය. වෙනත් විදිහකට කිවුවොත් නිපදවපු ප්‍රමාණයෙන් තුනෙන් එකක් අතිරික්තය.

ඊළඟ ප්‍රශ්නය රටේ ජනගහණයෙන් කොපමණ පිරිසක් මේ වී ප්‍රමාණය නිපදවන්න දායක වුනාද කියන එකයි. පැරණි ලංකාවේ ජීවත් වූ අයගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැනේ යෙදුනු බව අප දන්නා නිසා එසේ නොයෙදුණු ප්‍රතිශතය ඇස්තමේන්තු කරන එක වඩා පහසුයි.

කුඩා දරුවන් හා මහල්ලන් - 30%
රජවරුන්, ප්‍රාදේශීය ප්‍රභූවරුන් හා බෞද්ධ භික්ෂූන් - 1%
ගොවිතැන් නොකරන පහත් කුල වල අය - 10%
ගර්භණී/ කුඩා ළමුන්ට කිරි දෙන කාන්තාවන් - 4%
වැව්, අමුණු හදන්න හා රාජ්‍ය සේවයට ගිය අය - 5%
එකතුව - 50%

ඒ කියන්නේ රටේ ජනගහණයෙන් 50%ක්වත් වී ගොවිතැනේ යෙදෙනවා. ඒ පිරිස රටේ මුළු ජනගහණයට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙන් 150%ක් හදනවා. මේ අනුව, එක් අයෙකු තවත් දෙදෙනෙකුට බත සපයනවා.

දැන් අපි ඇමරිකාවට ආවොත් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 330ක් වන ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා. ඇමරිකාවේ ප්‍රධාන ආහාරය බත් නොවන නිසා මේ සංසන්දනයේ වැරැද්දක් තියෙනවනේ. ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් වුනත්, ඇමරිකාවේ එය කිලෝග්‍රෑම් 10ක් පමණයි. ඒ නිසා, ඇමරිකානුවන් ලංකාවේ තරමටම බත් කනවානම් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 33ක් පමණ ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා කියන එකයි නිවැරදි. එතකොට ඇමරිකාවේ එක වී ගොවියෙක් තව කී දෙනෙකුට බත සපයනවද? 

ඇමරිකාවේ එක වී ගොවියෙක් ලංකාවේ හයදාහකට කන්න ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් නිපදවනවා. කලින් ඇස්තමේන්තුව අනුව පැරකුම් යුගයේ වී ගොවියෙක් නිපදවලා තියෙන්නේ තව දෙන්නෙක්ට කන්න ප්‍රමාණවත් සහල් ප්‍රමාණය පමණයි. ඔය රජ කාලේ වී අමුණු ගණන් අස්වද්දපු යෝදයෝ ගැන කියනවනේ. එහෙම අය ඉන්න ඇති. හැබැයි අද ඇමරිකාවේ වී ගොවියෙක් කන්න දෙන තරම් පිරිසකට ඒ වගේ යෝදයෙක් වුනත් බත සැපයුවා කියා කියන්න බැහැ.

පැරකුම් යුගයේ එක ගොවියෙක් වී වවන කොට තව දෙන්නෙක් වැව් අමුණු හදන්න, ගෙවල් වල ළමයි බලාගන්න, අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න, ආයුධ හදන්න, නැවු හදන්න, රටවල් ආක්‍රමණය කරන්න වගේ වෙනත් වැඩ සඳහා ඉතුරු වුනා. අද ඇමරිකාවේ එක වී ගොවියෙක් වී වවන කොට වෙනත් ආහාර හදන්න, නැවු හදන්න, ගුවන් යානා හදන්න, කෝවිඩ් එන්නත් හදන්න, අඟහරු යානා හදන්න, බ්ලොග් ලියන්න, ඉරානයට බෝම්බ දමන්න, කුමන්ත්‍රණ කරන්න, ලංකාවේ ඉඩම් ටික අල්ල ගන්න ගිවිසුම් හදන්න වගේ වැඩ වලට තව හය දාහක් ඉතුරුයි.

ඒ ඇමරිකාවනේ. පැරකුම් යුගය එක්ක අද ලංකාව සංසන්දනය වෙන්නේ කොහොමද? අතරින් පතර හාල් ආනයනය කළත් බොහෝ දුරට ලංකාවට අවශ්‍ය හාල් ප්‍රමාණය රට ඇතුළේ හදා ගන්නවනේ. අපි කියමු රටේ සහල් අවශ්‍යතාවයෙන් 80%ක් රට ඇතුළේ හදා ගන්නවා කියලා. මේ හාල් ටික හදා ගන්න කී දෙනෙක් ඕනෑද? 2019 අවසන් කාර්තුවේදී කෘෂිකර්ම, වන හා ධීවර අංශයේ රැකියා වල නිරත වූ පිරිස 2,215,128ක්. ලංකාවේ ජනගහණය ඔය වගේ දහගුණයක් පමණ වෙනවනේ. ඒ කියන්නේ ජනගහණයෙන් 10%ක්. අපි කියමු ඔය 10%න් 80%ක්ම කළේ වී වවන එක කියලා. එතකොට 8%ක්.

දැන් මේ 8% රටේ 80%කට බත සපයනවා. ඒ කියන්නේ එක වී ගොවියෙක් තව 9 දෙනෙකුට කන්න දෙනවා. ඇමරිකාවේ හයදාහ කිට්ටුවකවත් නැහැ තමයි. හැබැයි පැරකුම් යුගයට වඩා තුන් ගුණයක් පමණ කාර්යක්ෂමයි.

මේ ගණන් හැදිල්ලට මම සංඛ්‍යා ගත්තේ මට හිතෙන හැටියටයි. ඒ නිසා, මූලාශ්‍ර මොනවාද කියලා අහන්න එපා. මේ ගණන් හරියටම හරි කියා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විශාල මිනුම් වරදක් මේ ඇස්තමේන්තු වල තියෙනවා. මොකද පරාක්‍රමබාහු යුගයේ මේ සංඛ්‍යාලේඛණ තියෙන සෙල්ලිපි නැහැනේ. හැබැයි මේ සංඛ්‍යාලේඛණ සැලකිය යුතු ලෙස වෙනස් වුනත් මම මේ කියන කතාව වෙනස් වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව පැරකුම් යුගයේ ඉඳලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලයි තියෙන්නේ.

අපේ ඉතිහාසය ගැන අපි දැන ගන්න ඕනෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න එකත් හොඳයි. හැබැයි එහෙම කියලා ආපහු හැරිලා අතීතයට යන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්නනම් ඉන්න තැනට වඩා කාර්යක්ෂම තැනක් දිහා බලාගෙනයි ඉදිරියට යා යුත්තේ.

Monday, August 1, 2016

අරමණ යුදවිරුවන් ඇගයීම



පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලක් රජයේ ආදායම් වැඩි වන්නට ඇතැයි සිතිය හැකි වුවත් ඒ වැඩි වූ ආදායම වැය කළ යුද වියදමට තරම් වීද යන්න එතරම් පැහැදිලි නැත. වත්මන් නිදසුන් අනුව බැලූ විට බොහෝ විට පෙනෙන දෙයනම් බාහිර යුද මෙහෙයුම් වල මෙවැනි ශුද්ධ මූල්‍යමය වාසියක් නොමැති බවයි. කෙසේ වුවද, ප්‍රබල රාජ්‍යයන්හි නායකයින් මෙවැනි බාහිර යුද මෙහෙයුම් වලට නිරන්තරයෙන් යොමු වීමෙන් පෙනෙන්නේ එහි කවර හෝ වාසියක් තිබිය යුතු බවයි.

මහ පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට යොමු වන්නේ ගජබාහු හා මානාභරණ ඇතුළු රජුන් සමඟ යුද වැද ලංකාව එක් සේසත් කර රට තුළ සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින පසුබිමකය. අරමණ ආක්‍රමණයෙන් අනතුරුව මහ පැරකුම් අණ අනුව ක්‍රියා කරන ලංකා හමුදා දකුණු ඉන්දියාවේ යුද්ධයකටද මැදිහත් වී එහි කොටසකද සිය ආධිපත්‍යය කෙටි කලක් පතුරුවයි.

මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි. යුද ජයග්‍රහණ වලින් උත්කර්ෂයට පත් වන රටේ ජනතාව නොපැකිළ රජයට බදු ගෙවීමටත්, රාජ්‍ය විරෝධී කැරලි වලට එක් නොවීමටත් පෙළඹෙති.

රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය. අරමණ ජයෙන් පසුව පැරකුම්බාවන්ගේ රජයද මෙවැනි විජයග්‍රහණ සැමරුම් පවත්වන්නට ඇත. යුද ජයග්‍රහණයේ නියමුවන්ට රාජ්‍ය සම්මාන සමඟ ගම්වර ආදියද ලබා දෙන්නට ඇත.

මාවනැල්ල නගරයට සැතපුම් තුනක් පමණ ආසන්නව පිහිටි දෙවනගලින් හමුවන දෙවනගල සෙල්ලිපියෙන් අරමණ ආක්‍රමණයේ නියමුවකු වූ කීර්ති නගරගිරි හෙවත් කිත් නුවරගල් වෙත සිදු කළ මෙවැනි ගම්වර ප්‍රදානයක් ගැන තොරතුරු හමු වේ. මහ පැරකුම්බාවන්ගේ තේජස වනන සෙල්ලිපියේ මුල් කොටසින් පසු අදාළ කොටස මෙසේය.

"...සිංහ පරාක්‍රම ඇති පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ තමන් මුතුන් විජයරජපා ස්වර්ගස්ථභූත තැනැ සිටැ දෙසාලිස් හවුරුද්දක් නැසී තුබූ ලොසසුන් ඇති කරවමි යන සිතින් ගජබාහු මානාභරණ යන දෙදෙනා සමඟ යුධ කොට ලංකාජීපයෙහි එකච්චත්ර කොට පුලස්ති පුරවරෙහි රජ ශ්‍රී වළන්දන සමාහි දොළොස්වනු පොසොනැ පුර දසවකැ අරමණධිපති භුවනාදිත්තනම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නොකරම්හයි කී හෙයින් නැවු දහස් ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහරැ පස් මසක් ර... ...... ... ගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතයන් එවූ හෙයින් කිත් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා තෙක් සිටින පරිද්දෙන් මෙ ගලැ කොටා දුන් මලබටුව හා ... ... ... ... කිත්සෙන්පවුයෙන් බිජුවට දොළොසමුනු දෙ පෑළක් ඇතුළුවැ දෙයාලක් පමුණු කොට දුන්නේයි."

පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට හමුදා යොදවන විට එහි පාලකයා වූයේ (භුවනාදිත්ත) අලවුන්සිතු රජුය. ඔහු බුරුමය පාලනය කළ ප්‍රබල රජෙකු වුවත් මේ කාලය වන විට ඔහු ඉතා වයස්ගතව මෙන්ම ඔහුගේ පුතුන් නිසා අභ්‍යන්තර ආරවුල් වලට මැදිවද හුන්නේය. පරණවිතානයන්ගේ ලිපියකට අනුව, අලවුන්සිතු රජු සිය පාලනයේ මුල් කාලයේදී ලංකාවට පැමිණ කාල නම් වූ සිය තානාපතියෙකු ලංකාවේ නවත්වා ගොස් තිබේ. කෙසේවුවද, මහාවංශයේ සඳහන් පරිදි ලංකා හමුදාවන් විසින් භුවනාදිත්ත අලවුන්සිතු මරා දමනු ලැබීම විශ්වසනීය නොවන කරුණකි. බුරුම මූලාශ්‍ර අනුව, ඔහු මේ සිදුවීමෙන් පසුවද ජීවත් වී වෙනත් අයුරකින් මිය ගොස් තිබේ. අරමණ රජු මරා දැමීමද, දහයක හෝ පහළොවක නැවු කණ්ඩායමක් නොකියා 'නැවු දහස් ගණනකට පිරිස් නඟා' යැවූ බව කීම වැනිම අතිශයෝක්තියක් විය හැකිය. සැබෑවටම මරා දමනු ලැබුවේ කුසුම්තොට පාලනය කළ ප්‍රදේශාධිපතියෙකු වන්නට පුළුවන.

විජයග්‍රහණ සැමරුමකදී එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙවැනි අතිශයෝක්තීන්ද අවශ්‍ය වේ. ඒ කාලයේදී අඬබෙර ආදිය මඟින් යම් තරමකට මෙවැනි මාධ්‍ය මවාපෑම්ද සිදු කරන්නට ඇත. ඒ අනුව, අරමණ රජු මරා දැමූ පුවත මෙන්ම මේ යුද මෙහෙයුම සඳහා නැවු දහස් ගණනක් යෙදවුණු බවද ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙක්ද විශ්වාස කරන්නට ඇත. එසේ විශ්වාස කළ නිසා ලොකු පැකිලීමකින් තොරව රජයේ බදු මුදල් හා නොමිලේ ලබා දෙන ශ්‍රමය ආදිය ලබා දෙන්නටද ඇත.


කෙසේවුවද, මේ අතිශයෝක්තීන් විය හැකි කරුණු නොසලකා හැරියද අරමණ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ විශාලම යුද මෙහෙයුමකි.


(Image: mazinglanka.com)

Sunday, July 31, 2016

මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !


පැරකුම්බා සමයේ ලංකා හමුදාවන් විසින් සිදු කළ අරමණ ආක්‍රමණය ගැන ලියන්නට පොරොන්දු වී තෙසතියකට ආසන්න කාලයක් ගත වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් මතක් කර දුන්නේය. මේ කාලය ඉකොනොමැට්ටා විසින් ගත කරන තරමක අස්ථාවර කාලයක් නිසා වියුණුව පෙර කළ වේගයෙන්ම යාවත්කාලීන කිරීම අපහසු කරුණක්ව පවතී. තෝරා ගැනීම් හිඟ වූ විට මෙන්ම තෝරා ගැනීම් වැඩි වූ විටද ඇති වන්නේ අස්ථාවරත්වයකි.

ලංකා රාජ්‍යයේ ජාත්‍යන්තර වෙළඳ ආධිපත්‍යයට අරමණ පාලකයෙකුගෙන් එල්ල වූ බාධාවක් කරණ කොට ගෙන එම රට ආක්‍රමණය කිරීමට මහ පැරකුම්බාවන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නේ රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු නොවේ. පැරකුම්බාවන්ගේ හිතෛෂියෙකු වන ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ අවශේෂ මහ ඇමැත්තෙකි. ඇතැම් විට මේ මහ ඇමැත්තා ද්‍රවිඩ සම්භවයක් ඇත්තෙකු විය හැකිය.

අරමණ ආක්‍රමණය උදෙසා රට තුළ සැලකිය යුතු පිරිස් බලයක් ඇති මහ ඇමැතියෙකු (ප්‍රාදේශීය නායකයෙකු) නාවික බලය ඇතුළු අවි බලයෙන් ශක්තිමත් කරවීම දැඩි ආයාසයකින් රට එක්සේසත් කරගෙන සිටි මහ පැරකුම්බාවන් විසින් නොකළ යුතු දෙයක් ලෙස සිතුවා විය හැකිය. මෙය තේරුම් ගන්නා, රට තුළ තමාගේම වූ ලොකු පිරිස් බලයක් නැති, එහෙත් රජුගේ  විශ්වාසය දිනාගෙන සිටින, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ දෙවන පෙල ඇමැත්තා අරමණ ආක්‍රමණයේ වගකීම කරට ගන්නේ මෙවැනි පසුබිමකය.

"එකල්හි ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක් බඳනා ලද ඇඳිලි ඇත්තේ තෙමේම එහි යනු කැමැත්තේ රජහට මෙබස් මෙසේ කීය. මේ ක්‍රියාවෙහි ප්‍රධාන වූ මහා ඇමතියන් නොයොදන සේක්වා. නුඹ වහන්සේලාගේ උපදේශ මාර්ගයෙන් අවක්‍රමණය නොකරන්නා වූ ප්‍රතිලබ්ධ නියෝග ඇති හුදකලා වූ මට දුරතික්‍රමනය අනුශාසනා ඇත්තා වූ ම ස්වාමිහුගේ අනුශාසනාව නොසිස් ආකාර කරනු පිණිස කිසි කලෙකත් බරෙක් නැතැයි කීය."

පස් මසක් පුරා අරමණ ආක්‍රමණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන්නේ ඉන් පසුවය. පැරකුම්බා රජුගේ ජාත්‍යන්තර වෙළඳ හා නාවික කටයුතු භාරව ද්‍රවිඩ, කේරළ ඇතුළු විදේශ සම්භවයක් ඇති පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් සේවය කළේයැයි සිතිය හැකිය. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් පුද්ගලයාද එවැන්නෙකු විය හැකිය. අරමණ විජයග්‍රහණයෙන් පසු යුද විරුවකු බවට පත් වන අනෙක් ප්‍රධාන චරිතය කීර්ති නගරගිරි නමැත්තාය. මොහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීමට ඉඩ තිබේ.

කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්‍රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.

ඔවුහු දිගට හරහට අරමණ වැසියන් මරා දමති. ඇතැමුන් යුද සිරකරුවන් ලෙස අල්ලා ගනිති. අරමණ වැසියන්ගේ නිවාස හා වගා බිම් ගිණි තබා විනාශ කරති. ගම් බිම් වනසමින් විශාල භීෂණයක් මුදා හරිති. ආක්‍රමණික පාර්ශ්වයකට මේවා කවදත් වීර ක්‍රියාවන්ය. දෙමළ අධිකාරීන් විසින් සෘජුව මෙහෙයවූ හමුදා අනු ඛණ්ඩයක් විසින් මේ අයුරින් පප්පළා තොට වනසද්දී, කීර්ති නගරගිරිගේ අණ යටතේ වූ හමුදා අනු ඛණ්ඩය කුසුම්තොට වනසයි.

"එකල්හි නැව් පසෙක නැන්ගවූ මහ බල ඇති යෝදයෝ අරමණ දේශයෙහි කුසුම්තොට ගොඩ බැස්සාහ. කීර්ති නගරගිරි ප්‍රධාන කොට ඇත්තා වූ ප්‍රබල වූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන් බහා පළඳන ලද ඒ කවදත් හා ආයුධ ඇතිව අරමණ වැසි නොයෙක් දහස් ගණන් ඒ බලයෙන් බිහිසුණු යුදෙහිදී මරමින් මතැතුන් සෙයින් හාත්පස නෙරළු ආදී නොයෙක් වෘක්ෂයන් සිඳිමින් ගම්හි ගිණි ලමින් රාජ්‍යයෙන් භාගයක් විනාශ කළහ. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරින් විසින් අධිෂ්ඨිත නෞකා තොමෝද එම රට පප්පළා නම් තොට බටුවා, එසේම දෙමළ අධිකාරීන් ප්‍රධාන කොට ඇති ජනයෝ වෛරීන් විධ්වංසනය කරන්නා වූ ඝෝර වූ බිහිසුණු යුද කෙරෙමින් ජනලද වැසි බොහෝ වූ ඒ (අරමණ) ජනයන් ජීවග්‍රහණයෙන් අල්වමින් එකල්හි අරමණ නම් ඒ රට අත්‍යත්ථයෙන් ඇලලූහ."

මහා වංශයේ සඳහන් පරිදි, මෙසේ නගර කිහිපයක භීෂණය පතුරුවන ලංකා හමුදාවන් පසුව ආරවුලට මුල් වූ නගරයට ඇතුළුව එහි පාලකයාව මරා දමයි. ඉන්පසුව, අරමණ දේශය හෝ එහි කොටසක් ලංකා රාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගනී.

විදේශ හමුදාවකගේ ආක්‍රමණය හේතුවෙන් බොහෝ පීඩාවට පත් වන අරමණ වැසියෝ දෙරට සංඝ සංස්ථා අතර ඇති සමීප සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනිමින් සාම සාකච්ඡා වලට එළඹෙති. ත්‍රෛනිකායික සඟුන්ගේ මැදිහත්වීමෙන් පැරකුම්බා රජු සිය හමුදා ආපසු ගෙන්වා ගැනීමට කැමති වන අතර (පැරකුම්බා සමයේ පැවති නිකායත්‍රය කුමක්දැයි පැහැදිලි නැත), ලංකාවට වඩාත් වාසිදායක පරිදි වෙළඳ ගිවිසුමක් නැවත අත්සන් කෙරේ. ඒ අනුව, ඉන්පසුව අවුරුදු පතා ලංකාවට බොහෝ ඇතුන් පැමිණේ.

රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාමෙන් සාමාන්‍යයෙන් දෙරටටම සිදුවන්නේ වාසියකි. එහෙත්, බොහෝ විට මේ එක් එක් රටට ලැබෙන වාසි සමාන නැත. ප්‍රායෝගිකව, ඒ වාසි දෙරට අතර බෙදෙන ආකාරය වෙළඳ ගිවිසුම් මඟින් තීරණය වේ. වෙළඳ ගිවිසුම් වල කොන්දේසි තීරණය වන්නේ එක් එක් රට සතු හෙට්ටු කිරීමේ හැකියාව මතය. වඩා ප්‍රබල ආර්ථික, දේශපාලනික හෝ යුද ශක්තියක් ඇති රටකට බොහෝ විට වැඩි හෙට්ටු කිරීමේ හැකියාවක් තිබේ. අරමණය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එහි අළුත් පාලකයින් සමඟ මහ පැරකුම්බාවන් විසින් අත්සන් කළ වෙළඳ ගිවිසුම පෙර පැවති ගිවිසුමටත් වඩා ලංකාවට වාසිදායක වූ බව නිසැකය.


(Image: www.crossed-flag-pins.com)

Monday, July 11, 2016

මියන්මාර් පාලනය පෙරළීමට ලංකාවෙන් මෙහෙයුමක්!


ථෙරවාද බෞද්ධ රටවල් වූ ලංකාව හා මියන්මාරය අතර කවදත් තිබුණේ සමීප සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයකි. මහ පැරකුම්බා සමයේදී ලංකාව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරය තිරසාර කර ගනිමින් සිටියදී, මියන්මාර පාර්ශ්වයෙන් පැනවූ සෘජු හා වක්‍ර වෙළඳ සම්බාධක හේතුවෙන් මේ සම්බන්ධය පළුදු වී ලංකා හමුදාවන් විසින් මියන්මාරය ආක්‍රමණය කිරීමට පෙළඹීම දක්වා තත්ත්වය ඔඩු දුවයි. මහා වංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදය අනුව, මහ පැරකුම් සමයට පෙර දෙරට අතර පැවති සබඳතාව මෙවැන්නකි.

"සම්‍යග්දෘෂ්ඨි සමඟි මිනිසුන්ගේ නිවස බැවින් ලංකා රාමඤඤ දේශයන්ගේ භේදයෙක් හැම කල්හි නොවීය. ලක්දිව අධිපති වූ රජ දරුවෝද රාමඤඤ දේශ ඊශ්වරයෝද යන මේ දෙපක්ෂයෙහි ඇත්තෝ සාදෘශ්‍යයෙන් හැම කල්හිම පරාම සෞගතයහ. එහෙයින්, දේශ දෙක්හිම පූර්වික සියලු රජදරුවෝ දැඩි සේ හටගත් විස්වස් ඇත්තේ සිතින් යුක්තවම හිතයෝය. මාහැඟි නොයෙක් පඬුරු උනුන් වෙත පමුණුවමින් බොහෝ කලක් නොකඩවා සමඟි බැව් පැවැත්වූහ."

මේ සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව මෙසේ පැවතෙද්දී කලක් තිස්සේම සිදුවුණු එක් චාරිත්‍රයක් ලෙස මියන්මාරයට ලංකාවෙන් පැමිණෙන සෑම නැවකටම අරමණ රජයෙන් ලැබෙන තුටු පඬුරක් ලෙස ඇතෙකු බැගින් ලැබුණේය. පෙර ලිපියෙන් විස්තර කළ වෙළඳ සම්බාධක හා මිල වැඩි කිරීමට අමතරව අරමණ රජු විසින් මේ චාරිත්‍රය බිඳිමින් ඇත් පඬුර නවත්වයි. ඒ අතරම, ලංකාවෙන් එහි යැවෙන අපනයන භාර ගන්නා නමුත් එහි මිල ලෙස ලබා දීමට පොරොන්දු වූ භාණ්ඩ ලබා දීම මඟ හරිමින් ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කරයි.  ලංකා වෙළඳ නියෝජිතයෝ සිර ගත කරනු ලබති.


"ගෙන යන පඬුර පිණිස නැවක් පාසා එකෙක් එකෙක් බැගින් දෙනු ලබන්නා වූ පුරාණ ඇත් පඬුර මුලිනිදිරි. තමන් උදෙසා එලවන ලද රන්මුවා ලියුම් දක්නේත්, ... සියලු වස්තු උදුරාගෙන ලංකේශ්වරයාගේ දූතයින්  කඳුරට බලකොටුවක ලැවීය. ... දිය ඇදීම් පිණිසද සිර ගෙට ලද යෙදුවේයි."

" නැවත එක් කලෙක ඇතුන් විකිණ ගන්නා පිණිස ලංකේශ්වරයා විසින් මෙහෙයන ලද පඬුරු හා බඩුත් දූතයන් අතින් හැරගෙන 'ඇතුන් තුදුසක්  තොපට දෙමු. රිදී මිල හෝ දෙමු.' යයි මෙසේ කියා උන්ට කිසිවක් නොදෙන්නේ හුදෙක් බොරුම කීය. ඉක්බිති ලංකාධිපතීහු විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක්ද බලාත්කාරයෙන් උදුරා ගත."


මේ අනුව, ලංකාව මුහුණ දුන් ප්‍රශ්නය ලංකාව හා මියන්මාරය අතර ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. පැරකුම්බා රජයේ සමස්ත අපනයන  වෙළඳපොළ ව්‍යාපෘතියටම එල්ල වූ තර්ජනයකි.


මේ  ආකාරයෙන් දිගින් දිගටම කෙණෙහිලිකම් සිදු වෙද්දී මහ පැරකුම්බාවන්ගේ ඉවසීමේ සීමාව පනී. ඔහු සිය ඇමතියන් රැස් කරවා "අරිමර්දන රජහු අල්වා ගැනීම හෝ මැරීම හෝ වහාම කටයුතුය"යි නියෝග කරයි. "එකල්හි, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක්" මේ කටයුත්ත සඳහා වහාම ඉදිරිපත් වේ. පසුව, අරමණ ආක්‍රමණයේ  ප්‍රධාන නියමුවන් වන්නේ  ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ මේ මහ ඇමති වරයා සහ කීර්ති නගරගිරි නම් වූ සෙනෙවියෙකි.

ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී විසින් රජුගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වහාම ඉදිරිපත් වීම ගැන සතුටු වන පැරකුම්බාවෝ අවශ්‍ය පෙර සූදානම් කටයුතු වහා අරඹයි.

"පසුව මහා යසස් ඇති ඒ රජ තෙමේ 'නොයෙක් සියගණන් නැව් වහා සම්පාදනය කටයුත්තාහ'යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන් ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ හාත්පස මුහුදුබට දේශයේ එක් කර්මාන්ත ශාලාවක් බඳු වූහ. පසුව පස්මසකින් ඒ සියළු නැව්කම් නිමවා දළුවක් නම් තොට යුහුව රැස් කරවී. ඒ රජ තෙමේ අවුරුද්දකට පොහෝනා සහල් ආදී මාර්ගෝපකරණද සන්නාහ ආයුධ ආදී නොයෙක් යුද්ධෝපකරණද, ... අයෝමය සන්නාහද, ගෝණ සමින් කළ සන්නාහද, .." ඇතුළු කළමනා ප්‍රසම්පාදනය කරයි. මෙසේ එකතු කරන සම්පත් අතර විෂ පෙවූ හී වල විෂ නසන ඔසුද, විස මුසු ජලයේ විෂ නසන ඔසුද තිබේ. මේ අනුව පෙනෙන්නේ යුද්ධ වලදී සතුරන් නැසීම පිණිස විෂ යොදා ගැනීම ඒ කාලයේදී සාමාන්‍ය දෙයක් බවයි.

අරමණ දේශය ගැනීමට යන කණ්ඩායමේ යුද සෙබළුන්ට අමතරව තවත් ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිති. ඒ, "තියුණු  බුද්ධි ඇති වෙදුන්" හා "සප්පායකාර ස්ත්‍රීන්"ය. මේ සප්පායකාර ස්ත්‍රීන්ගේ කාර්ය භාරය වූයේ යුද භටයින්ගේ ඉවීම් පිහීම්, සාත්තු සේවා, පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමද එසේ නැත්නම් නිවෙස් වලින් බැහැරව කලක් ගත කරන ඔවුන්ගේ සියළු අවශ්‍යතා සැපිරීමද යන්න පැහැදිලි නැත.

මෙසේ සියළු කටයුතු සම්පූර්ණ කෙරුණු පසු අරමණ දේශය බලා ගමන් ඇරැඹු නැව් පන්තිය "ඉතා වේගයෙන් යන්නේ ගමන් ගත් දිවයිනක් සේ පෙනිණ."


අරමණ ආක්‍රමණයට ආසන්න හේතුව වූයේ එහි පාලකයාගේ හැසිරීමයි. කෙසේ වුවද, ආර්ථික ශක්තියෙන් ඉදිරියට එන රටවල පාලකයින්ට "සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි." යැයි සිතීම සාමාන්‍ය දෙයකි. එදා මෙදාතුර, ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බොහෝ රටවල පාලකයෝ තමන්ගේ රටින්  පිටත වෙනත් රටවල්ද  තමන්ගේ අභිලාෂ වලට ගැලපෙන  පරිදි පැවතෙනු දකින්නට කැමැත්තෝය. එමෙන්ම, යුද්ධාභිලාෂ  කිසියම් රජයක රාජ්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛ අංගයක් වූ කළ, පැත්තක සිටින පාර්ශ්ව වලටද පීඩා විඳින්නට සිදුවේ.

අරමණ මෙහෙයුමේ පළමු ගොදුර වන්නේ අරමණ වැසියන් නොවේ. අතරමඟ පැත්තක සිටින, ලංකාවට කිසිදු කෙණෙහිලි කමක් කර නැති, කාකද්වීපයේ වැසියෝය.

"එක් නැවෙක නැංගා වූ ඉතා සමර්ථ බොහෝ භටයෝ කාක දිවයිනට ගොඩ බැස්සෝ එහි යුද කොට ඒ දිවයින් වැසි නොයෙක් ජනයින් ජීවග්රහයෙන් අල්ලාගෙන එයින් ගෙනවුත් ලංකාධිකාරීන්ට දැක්වූහු."

කෙසේ වුවද, පසුව ලංකා හමුදාවෝ සිය අවසන් ඉලක්කය වන අරමණ දේශයේ කුසුම්තොටට ගොඩ බසිති. ඉන් පසු සිදු වූ දේ  ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: wwp.greenwichmeantime.com)

Thursday, July 7, 2016

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...


පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.

රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ මෙසේ ලියැවී තිබේ.

"එකල්හි පැරකුම්බා රජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී."

"මෙකල්හි මම වහාම ලංකාව එක්සේසත් කොට සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි."


මේ දේශපාලනික අරමුණ වියදම් අධික කටයුත්තකි. පැරකුම්බාවෝ ඒ වියදම් අධික කටයුත්තට අත ගසති.

"මෙසේ සිතා සාමන්තයන් හා මාණඩලීකයන්ට සේනාවද, යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙස් දෙමින් ක්ෂත්‍රිය තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළ සෙනඟට අධිපති වූ මලය රට නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවී. තඹ රටද, ගිරිබා පටද, මොණර වැවද, මීපල් නම් රටද, බුත්ගමු නම් රටද අළ වන නම් රටද, බෝගම්බරනම් රටද, කටුපේකට නම් රටද පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් වශයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යෝධයින් හා කොටුද, සන්නාහයන් ද, කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් ඇවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී."

යුද උපකරණ වලට මෙන්ම දේශීය හා විදේශීය සෙබළුන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කිරීමටද පැරකුම්බා රජය මුදල් වැය කරයි.

"මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යෝධයන් කොට යුද්ධෝපකරණ ද දින. අන්‍ය දේශවාසී වූ කේරළාදී කෘතහස්ත යෝධයන් සම්බන්ධී වූ බොහෝ දහස් ගණන් ද සෑදී."

මෙසේ යුද වියදම් වැඩි වෙද්දී, පරිපාලනයද පුළුල් වී පැරකුම්බාවන්ගේ රජය ප්‍රසාරණය වෙයි. සිය පරිපාලන නිලධාරීන්ගේ විදෙස් භාෂා දැනුම ඇතුළු මානව ප්‍රාග්ධනය එකතු කිරීම ගැනද ගැනද පැරකුම්බාවෝ සැලකිලිමත් වෙති.

"ඇත් අස් කඩු ශිල්පයෙහිද අන්‍ය දේශ  භාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොවුරු මුණුබුරන් එකල අධිපති තෙමේ සිය මැදුරෙහි වැඩුවේය." මෙසේ සිය පරිපාලන නිලධාරීන් පුහුණු කරන අතරම ඔවුන් යටතේ සේවය කිරීම සඳහා තවත් දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනෙති.


මෙසේ රජයේ යුද හා පරිපාලන වියදම් පුළුල් වෙද්දී පැරකුම්බා රජයේ අයවැය හිඟය ඉහළ ගොස් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන් ගනී. කෙසේවුවද, පැරකුම්බා රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන බදු වැඩි කිරීම වෙනුවට වෙනත් විකල්පයක් ගැන සිතයි.

"පිය රජහුගේ භාණ්ඩාගාරාධිකාරින්ගෙන් ධන ප්‍රමාණ දැන මා විසින් මෙපමණ ධනයෙන් ලංකා තොමෝ එක්සත් කරන්ට නොහැක්කීයයි නිශ්චය කොට ජන සමූහයා නොපෙළ මෙසේ ධනය රැස් කළේයි."



සිය පරිපාලනය විධිමත් කරමින් පැරකුම්බාවෝ පළමුව මුදල් හා ආරක්ෂක ඇමති වරුන්ද ඉන්පසුව වෙනත් ඇමති වරුන්ද පත් කරති. මේ අතර සිය ආර්ථික උපාය මාර්ගය අනුව විදෙස් වෙළඳාම පුළුල් කර රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණෙන් "අන්තරංග" නම් ධුරයක් ඇති කර එම ධුරයට ඇමති වරයෙකු පත් කරයි. රටේ ආර්ථික වැදගත් කමක් ඇති ප්‍රදේශ මේ ඇමතිවරයාගේ සෘජු පාලනයට යටත් කෙරේ.

"මුහුදු තෙර රටින්ද, රුවන් ආකාර රටින්ද, මහ මලය රටින් ද, ඉන් අවශේෂ රටින්දැයි ඒ මිහිපල් තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරංග ධුරයයැයි නම් කොට ඇමතියෙක් කෙරෙහි තැබී. හේ තෙමේ බොහෝ රුවන් නැව් වලින් යවා වෙළඳාම් කරවා ධන රාශියද වැඩී."


පැරකුම්බාවන්ගේ මේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක වෙයි. ලංකාව පෙර අපරදිග වෙළඳාම සිදුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වේ. නොයෙක් රටවලින් ආනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ වෙනත් රටවලට ප්‍රති අපනයනය කෙරේ.

ලංකාවේ අලි ඇතුන් වෙළඳාම මේ වන විට සියවස් ගණනක් පැරණි වෙළඳාමකි. රට තුළ අලි ඇතුන්ගේ හිඟයක් නැත. එහෙත්, වල් අලියෙකු අල්ලා හීලෑ කර වෙළඳ භාණ්ඩයක් ලෙස සකස් කිරීමට කාලයක් ගත වෙයි. එහි ආවස්ථික පිරිවැයද සැලකිය යුතු මට්ටමක පවතී. අරමණ දේශයේ (මියන්මාරයේ) හීලෑ අලි අඩු මිලකට විකිණේ. ඒ නිසා, අරමණ රටින් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. අරමණ දේශය සමඟ ඇති දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සම්බන්ධතා නිසා මේ කටයුත්ත වඩාත් පහසුය. කෙසේවුවද, ප්‍රවාහන වියදම් වෙන් කිරීමෙන් පසු ලාභයක් ලැබීමටනම් මියන්මාරයෙන් මේ අලි ඇතුන් අඩු මිලකට ලබා ගැනීමට හැකි විය යුතුය.

ලංකාව විසින් මියන්මාරයෙන් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම කලක් සාර්ථක ලෙස සිදුවේ. එහෙත්, කල් ගතවෙද්දී ලංකාවේ ස්ථානගත කර සිටි සිය චර පුරුෂයකු ලබාදෙන තොරතුරු අනුව සිය අලි ඇතුන් කුණු කොල්ලයට විකිණෙන බවත්, ඔවුන් ප්‍රති අපනයනය කිරීමෙන් ලංකාව විශාල ලාභයක් ලබන බවත් මියන්මාර රජ තුමා දැනගනී. ඒ අනුව, ඔහු ලංකාවට වෙළඳ සම්බාධක පනවයි. ඉන් පසුව සිදු වූ දේ මහාවංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදයේ විස්තර වේ.



"...ඒ රජ තෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයානන්ගේ දූතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ "ඇත්තු නොවිකිණිය යුත්තාහ ය" සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙකු වනාහී පූර්වයෙහි රිදී සියයට හෝ වැලි දහසට හෝ එහි පූර්වයෙහි විකුණනු ලබන්නෝ  "සහශ්‍රද්වයට හෝ සහශ්‍රත්‍රයට හෝ වික්ක යුත්තාහ" යි මෙසේ දුෂ්ට අදහස් ඇත්තා වූ හේ තෙමේ ගණන් සීමා තැබ්බ වී."

අරමණ රජු විසින් ක්ෂණිකව මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදු කළ විට නිදහස් වෙළඳාමෙහි වාසිය ලබමින් සිටි ලංකාව ලොකු අමාරුවක වැටෙන බව කිව යුතු නැත. ආර්ථික ශක්තිය ඇති රජයක එම ආර්ථික ශක්තිය දුර්වල කෙරෙන බාහිර ක්‍රියාවක් සිදු වූ විට එවැනි රජයක් යුදමය ක්‍රියාමාර්ග වෙත එළැඹීම අද මෙන්ම එදාත් සිදු වූ දෙයකි. ඒ අනුව, මහ පැරකුම්බාවෝද අරමණ දේශය ආක්‍රමණය කිරීමට තීරණය කරති.

ලංකා ඉතිහාසයේ, ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි පැරකුම්බාවන්ගේ මේ අරමණ ආක්‍රමණය ගැන ඊළඟ කොටසින් කතා කරමු.



උපුටා ගැනීම් සියල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත මහාවංශ සිංහල පිටපතෙනි.


(Image: www.delcampe.net)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...