වෙබ් ලිපිනය:

Showing posts with label ජීව විද්‍යාව. Show all posts
Showing posts with label ජීව විද්‍යාව. Show all posts

Thursday, May 7, 2020

නෙගටිව් පොසිටිව් මාරු වීම


ගාණක් හදද්දී ධන සෘණ මාරු කරගත්තොත් සෑහෙන අවුලක් වෙනවා. විදුලිය එක්ක වැඩ කරද්දී  වුනත් ඔය ප්‍රශ්නය තියෙනවා. තවත් නොයෙක් හේතු නිසා වයර් මාරු වීම් වෙලා විවිධ අවුල් ඇති වෙනවා. මේ දවස් වල අහන්න ලැබෙන සමහර දේවල් වලට අපෙත් වයර් මාරු වෙනවා.

මේ වෙද්දී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 823ක්. හෙට වෙද්දී ඔය ගණන 850ක්වත් වෙන්න පුළුවන්. තව දාහතක් හොයා ගත්තොත් 850ක් වෙනවනේ. හැබැයි සමහර විට හෙට වෙද්දී ගණන 800ක් වෙන්න වුනත් බැරි නැහැ. දැනට පොසිටිව් වෙලා ඉන්න 23ක් නෙගටිව් කියලා හෙට වෙද්දී හොයා ගත්තොත් ගාණ 800 වෙනවනේ.

ලෝකේ අනෙක් රටවල පීසීආර් පරීක්ෂණ කරලා කොරෝනා ආසාදිත අය හා ආසාදිත නැති අය ලෙස ගොඩවල් දෙකකට වෙන් කරනවා. ලංකාවේනම් ඌණ ආසාදිත කියලා තුන් වන කොටසකුත් ඉන්නවා. චතුර්කෝටික කතාවක් වගේ. වෛරසය ආසාදනය වී ඇත්තේද නැති නැත්තේද නැති අයද? මැරිච්ච අය අතරේත් සම්පූර්ණයෙන් මැරිච්ච නැති අය ඉන්නවද?

පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කොරෝනා වෛරසය හඳුනාගැනීමයි. තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන අය කියවන අය අතර ඉන්න නිසා මේ වෛරසය කුමක්ද කියලා මුලින්ම බලමු.

වෛරස් වර්ග කාණ්ඩ හතකට වර්ග කෙරෙනවා. ඒ අතරින් කොරෝනා වෛරසය කියා පොදුජන වහරේ හැඳින්වෙන SARS-COV2 වෛරසය අයත් වන්නේ "පොසිටිව්-සෙන්ස් සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරස්" කැටගරියටයි. වාසගමේ කෑලි තුනෙන් මේ වයිරස් කාණ්ඩයේ ලක්ෂණ තුනක් විස්තර කෙරෙනවා.

මුලින්ම අපි ආර්එන්ඒ කියන කොටස ගනිමු. මේ වෛරසය හැදී තිබෙන ජානමය ද්‍රව්‍යය ආර්එන්ඒ. අපි හැදිලා තියෙන්නේ වගේම වෙනත් ඇතැම් වයිරස්ද හැදී තිබෙන්නේ ඩීඑන්ඒ වලින්. ආර්එන්ඒ අනුවක හා ඩීඑන්ඒ අනුවක මූලික වෙනස්කම් කිහිපයක් තිබෙනවා. මේ එක් එක් අණුවක් හැදී තිබෙන්නේ මූලික රසායන හතරක් කිසියම් රටාවකට වැලක් සේ සම්බන්ධ වීමෙන්.

ඇඩිනින් adenine (A)
සයිටොසින් cytosine (C)
ගුඇනින්  guanine (G)
තයිමීන් thymine (T) හෝ යුරසිල් uracil (U)

මේ රසායන වරහන් තුළ ඇති ඉංග්‍රීසි අකුරු වලින් කෙටියෙන් හඳුන්වනවා. ආර්එන්ඒ අණුවක් හා ඩීඑන්ඒ අණුවක් වෙනස් වන ප්‍රධාන කාරණයක් වන්නේ ඩීඑන්ඒ අණුවක තිබෙන තයිමීන් වෙනුවට ආර්එන්ඒ අණුවක යුරසිල් තිබීමයි. අදාළ වර්ග හතර වැලක් සේ සම්බන්ධව තිබෙනවා.

නිකමට හිතාගන්න වෙසක් එකට දමන පාට හතරක බල්බ් තිබෙන බල්බ් වැලක් කියා. ඩීඑන්ඒ අණුවක තිබෙන පාට තුනක්ම ආර්එන්ඒ අණුවකත් තිබෙනවා. හතරවන පාට පමණක් වෙනස්. මේ බල්බ් සම්බන්ධ වී තිබෙන්නේ සීනි හා පොස්පේට් රසායන වලින් හැදුණු වයර් එකකටයි. වයර් එකේ ප්ලග් බේස් එකට ගහන පැත්තක් තියෙනවා කියා හිතන්න. ඒ වගේ මේ දාමයේත් අන්ත දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ 5' අන්තය හා 3' අන්තය ලෙසයි. මේ අනුව, බල්බ් වැලේ රටාව 5' 3' දිශාවට හෝ 3' 5' දිශාවට කියවන්න පුළුවන්.

අපි හිතමු 5' 3' දිශාවට රටාව මේ වගේ කියා.

A C G A T A G C C T

මේ රටාව 3' 5' දිශාවට කියෙවුවොත් රටාව මේ වගේ.

T C C G A T A G C A

සාමාන්‍යයෙන් DNA හෝ RNA අණුවක් ගොඩනැගෙන්නේ 5' අන්තයේ සිට පටන් අරගෙනයි. ඒ කියන්නේ 5' 3' දිශාවට. මිනිස් ජෙනෝමයක මේ වගේ "බල්බ්" බිලියන තුනකටත් වඩා තිබෙනවා. අපේ ජානමය සැකැස්ම ලියැවී තියෙන්නේ ඒ "බල්බ්" වල වර්ණ රටාවේ. SARS-CoV-2 බල්බ් වැල අපේ ජෙනෝමයට සාපේක්ෂව ඉතා කෙටියි. එහි තිබෙන්නේ බල්බ් තිස් දහසක පමණ ප්‍රමාණයක්.

දැන් අපි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් කියන කොටසට එමු. මේ විදිහට හඳුන්වන්නේ ඩබල්-ස්ට්‍රැන්ඩඩ් වෛරස්ද තිබෙන නිසයි. එය ඉහත කී ආකාරයේ බල්බ් වැල් දෙකක එකතුවක්. අපේ DNA එක හැදී තිබෙන්නේත් මේ වගේ බල්බ් වැල් දෙකකින්. එක වැලක තිබෙන හැම බල්බ් එකක්ම අනෙක් වැලේ බල්බ් එකක් එක්ක සම්බන්ධ වී තිබෙනවා. මේ විදිහට වැල් දෙකේ බල්බ් සම්බන්ධ වන රටාවක් තිබෙනවා.

- A හැම විටම T (හෝ U) සමඟ සම්බන්ධ වෙනවා.
- C හැම විටම G සමඟ සම්බන්ධ වෙනවා.

අපි මුලින් ගත් රටාව සමඟ සම්බන්ධ වන අනෙක් බල්බ් වැල දෙස බලමු.

A C G A T A G C C T
T G C T A T C G G A

උඩින් තිබෙන්නේ මුල් රටාව. දෙවනුව තිබෙන්නේ ඒ සමඟ සම්බන්ධ වන රටාව. ඔබට පෙනෙනවා ඇති මේ රටා දෙකෙන් එකක් දන්නවානම් අනිත් එක පහසුවෙන් හදාගන්න පුළුවන් බව. එකක් කිසියම් මූර්තියක් කියා හිතුවොත් අනිත් එක අච්චුව වගේ. අච්චුවෙන් මූර්තියේ පිටපත් ඕනෑ තරම් හදාගන්න පුළුවන්. ඒ වගේම මූර්තියෙන් ඕනෑ තරම් අච්චු හදාගන්නත් පුළුවන්.

මේ වැල් දෙකේ තවත් විශේෂත්වයක් වන්නේ ඒ දෙක හැම විටම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පිහිටන පරිදි සම්බන්ධ වීමයි. පළමු රටාව යන්නේ 5' 3' දිශාවටනම් දෙවන රටාව යන්නේ 3' 5' දිශාවටයි.

SARS-COV2 වැනි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක මේ වගේ කොටස් දෙකක් නැහැ. කොටස් දෙකක් තිබෙන විට පිටපත් වීමේදී සිදුවන දෝෂ පහසුවෙන් පරීක්ෂා කර නිවැරදි කරගත හැකියි. තනි වැලකින් හැදුනු වෛරසයකට එය කිරීම අසීරු නිසා පිටපත් හැදීමේදී වැරදි වැඩිපුර සිදු වෙනවා.

සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක එකට සම්බන්ධ වූ වැල් දෙකක් නැති නිසා තිබෙන එක 5' 3' දිශානුගත (පොසිටිව් සෙන්ස්) එකක් හෝ 3' 5' දිශානුගත එකක් (නෙගටිව් සෙන්ස්) විය හැකියි. SARS-COV2 වෛරසය පොසිටිව් සෙන්ස් එකක්.

මේ වගේ සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරසයක් "බෝ වෙන්නේ" මිනිස් (හෝ වෙනත් සත්ත්ව) සෛල වල තිබෙන ජීව ද්‍රව්‍ය අරගෙනයි. පොසිටිව් සෙන්ස් වෛරසයක් මුලින්ම එහි නෙගටිව්-සෙන්ස් අච්චු රාශියක් හදනවා. ඉන් පසු මේ එක් එක් අච්චුව පොසිටිව් සෙන්ස් වෛරස් හදන්න පටන් ගන්නවා. ඔය වැඩේ වැල වගේ වෙනවා.

පීසීආර් පරීක්ෂණයකින් කරන්නේත් මීට සමාන දෙයක් කෘතීම ලෙස කර මුල් සාම්පලයේ තිබෙන ආර්එන්ඒ අණු වලින් තවත් අනු විශාල ප්‍රමාණයක් හදන එකයි. එය කරන්නේ වෛරසය තිබෙන්නට ඉඩ ඇති ජීව ද්‍රව්‍ය සාම්පලයක් පෝෂක මාධ්‍යයක දමා නිශ්චිත කාලාන්තර වල උෂ්ණත්වය වෙනස් කිරීම මඟින්, උදාහරණයක් විදිහට මිනිත්තු 20ක් සෙන්ටිග්‍රේඩ් අංශක 50 උෂ්ණත්වයේ තබා, මිනිත්තු 3ක් සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය අංශක 95 දක්වා ඉහළ දමා ඉන්පසුව මිනිත්තුවක් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා සිසිල් කිරීම එක් චක්‍රයක් කියමු. මේ තාප චක්‍රය අවසන් වන විට එක් RNA අනුවකින් පිටපත් ගණනක් (අපි කියමු 50ක් කියා) හැදිලා. දෙවන චක්‍රය අවසන් වන විට එකකින් පිටපත් 50x50 = 2500ක් හැදිලා. ඔය විදිහට හැම තාප චක්‍රයක් අවසානයේදීම වෛරසය ඝාතීය ලෙස වර්ධනය වෙනවා.

ආපහු අපි අර පරණ බල්බ් කතාවට යමු. දැන් මේ බල්බ් වැලෙන් අච්චුවක් හදන එක අපි අතින් කරනවානම් අපිට එහි රටාව දෙස බලා A නම් T, G නම් C ආදී ලෙස ගැලපෙන බල්බ් තෝර තෝර එකින් එක අමුණන්න වෙනවනේ. අපි කියමු ඊළඟට අවශ්‍ය වෙන බල්බ් පිළිවෙළ මෙහෙමයි කියලා.

 A T C G

දැන් අපි වැලට අමුණන්න බල්බ් හොයා හොයා ඉන්න කොට හරියටම ඔය පිළිවෙලටම සම්බන්ධ වූ බල්බ් හතරක කෑල්ලක් හම්බ වුනොත් ඒ කෑල්ල අරගෙන අමුණනවා මිසක් එකින් එක වෙන වෙනම අමුණන්නේ නැහැනේ. වෛරස් පිටපත් හැදෙන කොටත් ඔය වැඩේම වෙනවා. ගැලපෙන කෑල්ලක් තිබුණොත් පටස් ගාලා කෑල්ල පිටින්ම ගන්නවා.

පීසීආර් පරීක්ෂණයේදී කරන්නේ ඔය වගේ කෑලි හදලා මිශ්‍රණයට එකතු කරන එකයි. හදන්න ඕනෑ මොන වගේ කෑල්ලක්ද කියන එක මුලින්ම තීරණය කරන්න ඕනෑ. අපි හිතමු මේ වගේ රටාවක්.

 A T C G A T C G C G  A T

පළමුව මේ රටාව තියෙන්නේ SARS-CoV-2 වෛරසයේ පමණක් විය යුතුයි. අනෙක් වෛරස් වල එම රටාව නැති විය යුතුයි. දෙවනුව හැම SARS-CoV-2 වෛරසයකම වගේ මේ රටාව තියෙන්නත් ඕනෑ. එක්‌ එක්‌ SARS-CoV-2 වෛරසයේ රටාව 100%ක්ම සමාන නැති බව මම කලින් ලිපි වල විස්තර කරල තියෙනවනේ. දැන් වෛරසයේ පිටපතක් අලුතින් හැදෙන හැම වෙලාවකම වගේ මේ එකතු කරපු කෑල්ලක් භාවිතයට ගැනෙනවා. මේවට කියන්නේ ප්‍රයිමර්ස් කියලා.

මිශ්‍රණයට පොසිටිව් ප්‍රයිමර්ස් හා නෙගටිව් ප්‍රයිමර්ස් දෙවර්ගයම එකතු කරනවා. එක වර්ගයක් අවශ්‍ය වෙන්නේ වෛරසයෙන් අච්චු හදන විට. අච්චු වලින් වෛරස් හදන කොට අනිත් වර්ගය අවශ්‍ය වෙනවා.

දැන් මම තවත් කරුණක් කියන්නම් බල්බ් වැල හදාගන්න රටාවක් හොයන කොට ඒක හම්බ වුනත් ඒ හම්බ වුන කෑල්ලේ අග අවශ්‍ය නොවන පාටක එක බල්බ් එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? කෑල්ලම නොගෙන තනි තනි බල්බ් අමුණනවද නැත්නම් අර බල්බ් එක අයින් කරලා කෑල්ල ගන්නවද? තනි තනි බල්බ් අමුණන එක තේරුමක් නැහැනේ. අන්තිම බල්බ් එක අයින් කරන එක වඩා කාර්යක්ෂමයි. අර මම කියපු ප්‍රයිමර් වලත් මේ වගේ අමතර කොටසක් තිබෙනවා. ප්‍රයිමර් එක සම්බන්ධ වෙන කොට ඒ කෑල්ල කැඩිලා මිශ්‍රණයට එකතු වෙනවා. අපි මේ කෑල්ලට කියමු රිපෝටර් ප්‍රෝබ් එක කියලා.

දැන් අපි සැක සහිත ආසාදිතයෙකුගේ නාසයෙන් හෝ උගුරෙන් ගන්න ජීවද්‍රව්‍ය සාම්පලයක් පීසීආර් පරීක්ෂණ උපකරණයකට දමලා තාප චක්‍ර ක්‍රියාත්මක කරන වාරයක් පාසා සාම්පලයේ තිබුණු හැම වයිරසයකින්ම පිටපත් ගණනක් හැදෙනවා. මේ විදිහට මුල් සාම්පලයේ තුබුණු ආර්එන්ඒ අණු ටික ඝාතීය ලෙස වර්ධනය වෙනවා. පිටපතක් හැදෙන හැම වෙලාවකම රිපෝටර් ප්‍රෝබ් එකක් මිශ්‍රණයට එකතු වෙනවා. මේ විදිහට එකතුවන රිපෝටර් ප්‍රෝබ් ප්‍රමාණය එක සීමාවක් පැන්න ගමන් සංඥාවක් නිකුත් කරනවා. එය සිදු වන විට වයිරසයේ පිටපත් ඉතා විශාල ගණනක් හැදිලා.

රෝගියාගෙන් ගත්ත මුල් සාම්පලයේ RNA පිටපත් විශාල ප්‍රමාණයක් තිබුණානම් තාප චක්‍ර 20ක් පමණ යන කොට සංඥාව එනවා. පිටපත් ගණන අඩුයිනම් සංඥාව එන්නේ චක්‍ර 30ක් වගේ ගණනක් ගියහම. රෝගියාගේ වෛරල් ලෝඩ් එක වැඩි වූ තරමට අඩු චක්‍ර ගාණකින් සංඥාව ලැබෙනවා. පීසීආර් පරීක්ෂණයක් කරන කෙනෙකුට ප්‍රතිඵලය සේ ලැබෙන්නේ මේ චක්‍ර ගණනයි. එය C(t) අගය ලෙස හැඳින්වෙනවා. චක්‍ර 40ක් වැනි නිශ්චිත ප්‍රමාණයකට පසුව සංඥාව ආවේ නැත්නම් ආසාදනය වී නැති බව නිගමනය කරනවා.

පීසීආර් පරීක්ෂණ හදා තියෙන්නේ මුලින් ලබා ගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයේ අඩු වශයෙන් RNA පිටපත් කිසියම් අවම ගණනක් (100ක් කියමු) තිබෙනවානම් චක්‍ර 40 යනකොට සංඥාව ලැබෙන ආකාරයටයි. බොහෝ විට ආසාදිතයෙකුගේ ජීව ද්‍රව්‍ය සාම්පලයක RNA පිටපත් ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත්, වෛරසය ආසාදනය වූ මුල් දවස් වලත්, ආසාදනය පාලනය වීමෙන් පසුවත් ජීවද්‍රව්‍ය සාම්පල වල RNA පිටපත් අවශ්‍ය අවම ප්‍රමාණය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා, පරීක්ෂණ ප්‍රතිඵලය සෘණ වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පීසීආර් පරීක්ෂණයකින් වරක් හෝ කෙනෙක් පොසිටිව් ලෙස හඳුනාගත්තානම් එයින් අදහස් වෙන්නේ අදාළ පුද්ගලයා ඇත්තටම පොසිටිව් කියන එකයි. දෙවන වර පරීක්ෂා කරන විට සිරුරේ වෛරසය පාලනය වී තියෙන්න පුළුවන්. නමුත්, නෙගටිව් කියන එකෙන් හරියටම නෙගටිව් බව ස්ථිරව කියන්න බැහැ. නැවත පරීක්ෂා කරන විට වෛරසය වර්ධනය වී පොසිටිව් වෙන්න පුළුවන්. මෙය පීසීආර් පරීක්ෂණ සම්බන්ධව පිළිගත් කරුණක්.

එහෙම තියෙද්දී වරක් කෝවිඩ්-19 ආසාදනය වූ අයෙක් සේ හඳුනාගත් අයෙක් පසුව එසේ නොවූ අයෙකු සේ නම් කිරීම ගැටළු සහගත කරුණක්. ඇතැම් විට ඌණ ආසාදිත කියන එකෙන් අදහස් කෙරෙන්නේ පොසිටිව් සංඥාව ආවේ අන්තිම හරියේදී කියන එක වෙන්න ඇති. ඒ කියන්නේ වෛරල් ලෝඩ් එක අඩුයි. එයට හේතුව සුව වෙන්න ආසන්නව සිටීම වෙන්න පුළුවන්. එවිට දෙවන වර නෙගටිව් වෙන්න පුළුවන්. හැබැයි එවැනි කෙනෙක්ගේ පළමු පරීක්ෂණය වැරදි බව නිගමනය කරන්න බැහැ.

ඇත්තටම ආසාදනය නොවූ කෙනෙක් වැරදියට පොසිට්ව් සේ හඳුනා ගැනෙන්න ඉඩ තිබෙන තවත් ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය පරීක්ෂාව කරන කෙනා විසින් අත් වැරැද්දකින් සාම්පල් මිශ්‍ර කර ගැනීම. දෙවන ක්‍රමය යොදාගත් පරීක්ෂණ කට්ටල දෝෂ සහගත වීම. ඔය දෙකෙන් කොයි එක වුනත් එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 පරීක්ෂා කරන ක්‍රමවේදයේ වෙනත් රටවල නැති විශේෂ අවුලක් තිබෙන බවයි. නමුත්, ඔය දෙකම සිදු වී නැත්නම්, එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 හැදී සුව වී ඇති බවයි. එය එසේ නොවන බව තහවුරු කළ හැක්කේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිදේහ පරීක්ෂාවක් කිරීමෙන් පමණයි. දෙවන කෝවිඩ්-19 පරීක්ෂණයක් කර එවැනි නිගමනයකට එන්න බැහැ.

Saturday, January 25, 2020

ආදම්, ඒව සහ වෙනත් අය


පිරිමියෙකු කුසේ දරුවෙකු පිළිසිඳ ගැනීම බොහෝ දෙනෙකුට සුවිශේෂී පුවතක්. ලංකාවේ වගේම ඇමරිකාව ඇතුළු බටහිර රට වලත් එහෙමයි. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය සම්මතය අනුව දරුවකු පිළිසිඳ ගත හැක්කේ ගැහැණියකගේ කුසේ පමණක් නිසා.

අප බොහෝ විට කෙනෙක්ව පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස පහසුවෙන් වෙන් කර හඳුනා ගන්නවා. ඒ වගේම, පුරුෂයෙකුගෙන් හා ගැහැණියකගෙන් අපේක්ෂා කරන, එකිනෙකට වෙනස් වූ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. මේ ලක්ෂණ වලට ජීව විද්‍යාත්මක කරුණු, සිරුරේ බාහිර පෙනීම, ඇඳුම් පැළඳුම් ආදිය, සමාජ හැසිරීම, ලිංගික හැසිරීම්, නීතිමය කරුණු ආදී බොහෝ දේ ඇතුළත්.

බොහෝ දෙනෙකු හා අදාළව ලොකු ගැටළුවක් ඇති නොවුනත්, යමෙක් පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස ලේබල් කිරීම ඒ තරම්ම සරල කරුණක් නෙමෙයි. ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙනවා.

1. ජානමය වෙනස්කම් 

ගැහැණුන් හා පිරිමින් ජාන වලින්ම වෙනස්. ගැහැණියකට එකිනෙකට සමාන x වර්ණදේහ දෙකක් තිබෙනවා. පිරිමියෙකුට තිබෙන්නේ එකිනෙකට වෙනස්, එක් x වර්ණදේහයක් හා y වර්ණදේහයක්. ගැහැණියක හා පිරිමියෙකු අතර සංසර්ගයෙන් බිහිවන දරුවෙකුට මවගෙන් හා පියාගෙන් එක් වර්ණදේහය බැගින් ලැබෙනවා. මවට තිබෙන්නේ x වර්ණදේහ දෙකක් නිසා දරුවෙකුට මවගෙන් හැමවිටම උරුම වෙන්නේ x වර්ණදේහයක්. එහෙත්, පියාගෙන් x වර්ණදේහයක් හෝ y වර්ණදේහයක් ලැබෙන්න පුළුවන්. පියාගෙන් ලැබුණේ x වර්ණදේහයනම් දරුවා ගැහැණු දරුවෙකු වෙනවා. පියාගෙන් ලැබුණේ y  වර්ණදේහයනම් දරුවා පිරිමි දරුවෙකු වෙනවා. 

සුලබව දැකිය හැකි තත්ත්වයන් මේවා වුවත්, xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ග වල අයත් ඉඳහිට බිහි වෙනවා. මෙවැනි තත්ත්වයන් සැලකෙන්නේ ජාන විකෘති ලෙසයි. ඇතැම් ජාන විකෘති තත්ත්වයන් නිසා බාහිර පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙත් ඇතැම් විකෘති නිසා බාහිර වෙනස්කම් හා/හෝ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

xxy - ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයේදී පුද්ගලයෙකුට අමතර x වර්ණදේහයක් ලැබෙනවා. සාමාන්‍ය පිරිමියෙකුට හා ගැහැණියකට තිබෙන්නේ වර්ණදේහ 46ක් පමණක් වුවත්, මේ අයට වර්ණදේහ 47ක් තිබෙනවා. මෙය වඩාත්ම සුලබ ජාන විකෘති තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. 500-1000කට පමණ එක් අයෙක්ට xxy වර්ණදේහ පිහිටනවා. y වර්ණදේහය නිසා පිරිමියෙකු වුවත් x වර්ණදේහ දෙකක්ම තිබෙන නිසා ඇතැම් කාන්තා ලක්ෂණ මතු වීමේ ඉඩක් තිබෙනවා.

මීට වඩා දුලබ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණ තත්ත්වයන්ද තිබෙනවා. 50000කට එක් අයෙක් xxxy ලෙස වර්ණදේහ 48ක් සහිතවත්, 85000කට එක් අයෙක්  xxxxy ලෙස වර්ණදේහ 49ක් සහිතවත් උපදිනවා.

xyy - මෙහිදී 1000කගෙන් එක් අයෙකුට පමණ අමතර y වර්ණදේහයක් ලැබෙනවා. බොහෝ විට මෙවැනි අය සාමාන්‍ය නිරෝගී පිරිමින් වුවත් කථාකිරීමේ දුර්වලතා ආදී ඇතැම් රෝග තත්ත්වයන් ඇති වීමේ ඉහළ ඉඩක් තිබෙනවා. මෙවැනි අය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් යූටියුබ් හරහා උගන්වන ආකාරයේ බෙල්ල කැපුවත් කඳට කෙළින් හිට ගත හැකි "සුපර් මේල්ලා"නම් නෙවෙයි.

xxx - මෙයත් 1000කගෙන් එක් අයෙකුට පමණ ඇතිවන තත්ත්වයක්. ඉතා කලාතුරකින් xxxx හා xxxxx තත්ත්වයන් ඇති අයද ඉපදෙනවා.

x0 - ටර්නර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය 2500කින් අයෙකුට ඇති වෙනවා. මෙවැන්නෙකුට තිබෙන්නේ එක් x වර්ණදේහයක් පමණයි. ඒ නිසා මුළු වර්ණදේහ ගණන 45ක් පමණයි.

xxyy - මේ තත්ත්වය 25000කින් අයෙකුට පමණ ඇති විය හැකියි. මීට අමතරව xxxyy තත්ත්වය ඇති ඉතා සුළු පිරිසක්ද වාර්තා වී තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි ජානමය ලෙස බැලූ විට සාමාන්‍ය පිරිමි හෝ සාමාන්‍ය ගැහැණු නොවන වෙනත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. 

2. ශාරීරික ලක්ෂණ 

සාමාන්‍යයෙන් පිරිමියෙක් කියන්නේ සිරුරෙන් පිටත ලිංගික අවයවයක් ඇති, මුහුණේ රැවුල වැවෙන, පපුව පැතලි අයෙක්. සාමාන්‍ය ගැහැණියකගේ මුහුනේ රැවුල වැවෙන්නේ නැහැ. ලිංගික අවයව තිබෙන්නේ සිරුර ඇතුළට වෙන්නයි. ඔවුන්ගේ පියයුරු ඉදිරියට නෙරා එනවා. එහෙත්, මෙය හැම විටම මෙසේ විය යුතු නැහැ. ජාන වෙනස්කම් නිසා ගැහැණු ලක්ෂණ සහිත පිරිමි හා පිරිමි ලක්ෂණ සහිත ගැහැණු ඉපදෙනවා. සිරුරේ හෝමෝන වෙනස්කම් නිසාත් මෙය වෙනවා. ටෙස්ටටරෝන් හෝමෝනය බාහිරින් ගැනීමෙන් කෙනෙකුට පිරිමි ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ වගේම, ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් ගැහැණු ලක්ෂණ ඉස්මතු කර ගත හැකියි. මේ නිසා, කෙනෙකුගේ ශාරීරික ලක්ෂණ හැම විටම ජාන සැකැස්ම සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ.

3. තමන්ට දැනෙන ලිංගිකත්වය 

කෙනෙකුට දැනෙන තමන්ගේ ලිංගිකත්වය ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම සමඟ නොගැලපෙන්න පුළුවන්. ගැහැණු පෙනුම තිබෙන ගැහැණියකට උපන් දා සිටම තමන් පිරිමියෙක් සේ දැනෙන්න පුළුවන්. ඒ වගේම, පිරිමි පෙනුම තිබෙන පිරිමියෙකුට තමන් ගැහැණියක සේද දැනෙන්න පුළුවන්. මේ ආකාරයට "අනුන්ගේ සිරුරක" සිර වී සිටින්නට වීම විශාල වදයක්. හෝමෝන ප්‍රතිකාර හා/හෝ ශල්‍යකර්ම වලින් ලිංග වෙනස්කම් කර ගන්න යොමු වන්නේ එවැනි අයයි.

4. පිටතට පෙන්වන ලිංගිකත්වය 

ඇතැම් ගැහැණු පිරිමි ලෙස අඳින්න පළඳින්න හා හැසිරෙන්න කැමතියි. ඇතැම් පිරිමි ගැහැණු ලෙස හැසිරෙන්න හා අඳින්න පළඳින්න කැමතියි. මෙවැනි අය ඇතැම් විට ශාරීරිකව සාමාන්‍ය ගැහැණු පිරිමි වෙන්න පුළුවන්. ඒ වගේම මේ බාහිර ප්‍රකාශනය ඉහත සඳහන් කළ ඔවුන්ට දැනෙන ලිංගිකත්වයම නොවෙන්නත් පුළුවන්.

5. ලිංගික ආකර්ෂණය 

විවිධ අයට විවිධ ආකාරයෙන් ලිංගික ආකර්ශන ඇති විය හැකියි.
- විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වීම වඩාත්ම සුලබ තත්ත්වයයි.
- සම ලිංගිකයන්ට ආකර්ෂණය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ආකර්ශනය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට, සම ලිංගිකයන්ට මෙන්ම මේ දෙකටම නැති අයටද ආකර්ශනය වීම 
- කිසිදු ලිංගික ආකර්ශනයක් නැති වීම 

යමෙකුගේ ලිංගික ආකර්ෂණය, බාහිර පෙනීම, ජාන සැකැස්ම ආදිය අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතු නැහැ.

6. චිත්තවේගීය ආකර්ශනය 

චිත්තවේගීය ආකර්ශනය හා ලිංගික ආකර්ෂණය කරුණු දෙකක්. උදාහරණයක් විදිහට විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ලිංගිකව ආකර්ශනය වන කෙනෙක් චිත්තවේගීය ලෙස ආකර්ශනය වෙන්නේ විරුද්ධ ලිංගිකයෙකුට පමණක් විය හැකියි.

7. නීතිමය අර්ථ දැක්වීම 

මෙය තීරණය වන්නේ රටේ නීතිය අනුවයි. බොහෝ විට කෙනෙකුට නීතිය අනුව ගැහැණු හා පිරිමි යන දෙගොඩෙන් එකකට වැටෙන්න වෙනවා. 

මෙසේ විස්තර කළ පරිදි ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙන නිසා එක් මානයකදී පිරිමියෙක් ලෙස සැලකෙන අයෙක් වෙනත් මානයකදී ගැහැණියක් විය හැකියි. ඇතැම් අයට මේ ද්විමය බෙදීම ගැලපෙන්නේ නැහැ.

ලංකාවේ වත්මන් නීති රාමුව තුළ පුද්ගලයෙක් උපතින්ම ගැහැණියක හෝ පිරිමියෙකු වෙනවා. ඇතැම් මාන වලදී මේ විදිහට උපතින් ලැබෙන ලිංගිකත්වය ඇතුළේ නොසිටින අයට අපහාසාත්මක අර්ථයෙන් පොදුවේ "පොන්නයා" කියන වචනය භාවිතා කෙරෙනු දැකිය හැකියි. 

පිරිමි හා ගැහැණු නොවන අනෙකුත් අය එකම පොදු කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතර එකිනෙකට වෙනස් කණ්ඩායම් විශාල ගණනක් සිටිනවා.

ලංකාවේ උපතක් ලියාපදිංචි කරන විට "පිරිමියාද ගැහැණියද යන වග" සඳහන් කරන්න සිදු වී තිබෙන්නේ යුරෝපීය බලපෑම නිසා. ආබ්‍රහමික ආගම් අනුව දෙවියන් විසින් පිරිමියෙකු හා ගැහැණියක මවනවාට අමතරව වෙනත් වර්ග වල මිනිසුන්ව මවන්නේ නැහැ. ඒ නිසා, ආදම් වැනි පිරිමි හා ඒව වැනි ගැහැණු හැර වෙනත් ලිංගික අනන්‍යතා තිබෙන අය සිටීම ගැටළුවක් මතු කරනවා.

ත්‍රිපිටක සාහිත්‍යයේද ඇතුළුව ඉන්දියානු කලාපයේ දැකිය හැක්කේ චතුර්කෝටික බෙදීමක්. ඒ පුරුෂ, ස්ත්‍රී, නපුංසක හා උභතෝබ්‍යඤ්ජනක ලෙස. නපුංසක වචනය හැදී තිබෙන්නේ පුරුෂ හෝ ස්ත්‍රී නොවන තේරුමෙන්. ඉහත වර්ග කිරීම් අනුව, ගැහැණු හා පිරිමි නොවන අය වැටෙන්නේ මේ ගොඩටයි. උභතෝබ්‍යඤ්ජනක ලෙස හඳුන්වා තිබෙන්නේ ගැහැණු හා පිරිමි ලිංගික අවයව දෙවර්ගයම තිබෙන අයයි. මෙවැනි මිනිසුන් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්න නැහැ. අවශ්‍යනම් දරුවන් බිහි කරන පිරිමින්ව උභතෝබ්‍යඤ්ජනකයින් ලෙස හඳුන්වන්න පුළුවන්.

Thursday, January 23, 2020

දස මස කුස දැරූ පිය වරුණ


මාතර රෝහලේදී පිරිමියෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වී තිබෙනවා. විකාර සහගත කතාවක් වගේ පෙනුණත් පිරිමින්ට දරුවන් ලැබෙන්න පුළුවන්. එවැනි සිදුවීම් මීට පෙරත් වාර්තා වී තිබෙනවා. මෙහි ගැටළුවක් තිබෙනවානම් තිබෙන්නේ පිරිමියෙකු ලෙස අප විසින් අර්ථ දක්වා ගන්නා සංකල්පයේ. එක් අර්ථදැක්වීමක් අනුව පිරිමියෙකු වන අයෙකු වෙනත් අර්ථදැක්වීමක් අනුව ගැහැණියක විය හැකියි. සංක්‍රාන්ති ලිංගිකයන්ට බොහෝ විට මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකානුවෙකු වූ තෝමස් බේඩී විසින් 2008දී ගැහැණු දරුවෙකු වදා දරුවකු වැදූ පළමු පිරිමියා ලෙස ප්‍රසිද්ධ වුනා. ඔහු උපතින් ගැහැණියක වූ බව කීම නිවැරදි නොවන්නේ පුද්ගලයෙකු ගැහැණියක හෝ පිරිමියෙකු ලෙස ලේබල් කිරීම සරල කරුණක් නොවන නිසා.

තෝමස් ඉපදුණේ ඉතා පියකරු ගැහැණු සිරුරක් උරුම කර ගනිමිනුයි. තෝමස්ගේ උපතේදී දෙමවුපියන් විසින් තැබූ නම ට්‍රේසි. ට්‍රේසි රූප රාජිණී තරඟ වලට පවා ඉදිරිපත් වෙනවා. එහෙත්, උපතේ පටන්ම ට්‍රේසිගේ සිතුම් පැතුම් වල ඔහු සිටියේ පිරිමියෙක් ලෙසයි.

පසුව ලිංගය මාරු කර ගැනීමේ ශල්‍ය කර්මයකට මුහුණ දෙන ට්‍රේසි හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් නීත්‍යානුකූලව මෙන්ම පෙනුමෙන්ද පිරිමියෙක් බවට පත් වී තෝමස් වෙනවා. ඒ 2002 වසරේදී. එහෙත් මේ ශල්‍ය කර්මයේදී ට්‍රේසි විසින් වෙනස් කර ගන්නේ සිරුරේ උඩ කොටස පමණයි. පිරිමි ලිංගික අවයව බද්ධ කර ගැනීමක් හෝ ගර්භාෂය ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. හවායි නීතිය අනුව, උප්පැන්න සහතිකයේ ලිංගය වෙනස් කර ගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය නැහැ.

මෙයින් වසරකට පසුව තෝමස් නැන්සි සමඟ නීත්‍යානුකූල ලෙස විවාහ වෙනවා. මෙය නීත්‍යානුකූලව සමලිංගික විවාහයක් හෝ එකට ජීවත් වීමක් නෙමෙයි. ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සාමාන්‍ය විවාහයක්.

විවාහයෙන් පසුව බේඩී යුවලට දරුවන් අවශ්‍ය වුවත්, ඒ වන විට නැන්සි විසින් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටින නිසා ඇයට ගර්භණී වීමේ හැකියාවක් නැහැ. මෙවැනි යුවලකට කරන්න වෙන්නේ වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගැනීමයි. එහෙත්, තෝමස් විසින් මෙහිදී තීරණය කරන්නේ මේ වැඩේට තමන්ගේම ගර්භාෂය යොදා ගැනීමටයි. ඔවුන් වෛද්‍යවරුන් නව දෙනෙකු වෙතම ගියත් පෙනුමෙන් මෙන්ම නීතිය අනුවද පිරිමියෙකු වන තෝමස්ගේ ගර්භාෂයේ සංසේචිත කළලයක් තැන්පත් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ.

මෙහිදී තෝමස් විසින් තමන් නිතිපතා ලබා ගන්නා ටෙස්ටටෝරෝන් හෝමෝනය ලබා ගැනීම නවත්වනවා. මාස නවයකට පසුව ඔහුට නැවත මාස් ශුද්ධිය හැදෙනවා. ඉන් පසුව, ඔවුන් අන්තර්ජාලය හරහා නම නොදන්නා අයෙකුගේ සංරක්ෂණය කළ ශුක්‍රාණු ලබා ගන්නවා. නැන්සි විසින් සිරින්ජයක් යොදා ගෙන එම ශුක්‍රාණු තෝමස්ගේ යෝනියට ඇතුළු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තෝමස් ගර්භණී වෙනවා.

මෙසේ පළමු වරට ගර්භණී වන තෝමස්ගේ කුසෙහි දරු කළල තුනක්ම වර්ධනය වුවත් ඒ ගර්භාෂයෙන් පිටතයි. ඒ නිසා, එම කළල ඉවත් කරන්න සිදු වෙනවා. එහෙත්, දෙවන වර වැඩේ හරියටම හරියනවා. තෝමස් විසින් 2008 ජූනි 29 වනදා පසුව සූසන් ලෙස නම් කෙරෙන ගැහැණු දරුවෙකු බිහි කරනවා. දරු උපත සිදු වන්නේ සාමාන්‍ය ආකාරයටයි.

තෝමස් විසින් දරුවන් වැදීම එතැනින් නතර වෙන්නේ නැහැ. මේ වන විට ඔහු තවත් දරුවන් දෙදෙනෙකු වදා තිබෙනවා. ඒ වගේම, තෝමස් කියන්නේ මේ වන විට දරුවන් වදා තිබෙන පළමු පිරිමියා නෙමෙයි. ඇමරිකාවේ මෙන්ම එක්සත් රාජධානිය හා ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකම තවත් පිරිමි මේ වෙද්දී දරුවන් වදා තිබෙනවා. දරුවකු වදන පිරිමියෙකු හැඳින්විය යුත්තේ දරුවාගේ මව ලෙසද නැත්නම් පියා ලෙසද යන්න තවමත් විවාදයට ලක් වන නීතිමය කරුණක්.


(Image courtesy: Daily Mirror Online)

Tuesday, January 21, 2020

කැලේ මාරු වන විට පුල්ලිත් මාරු වේ!

කළු කොටි ගැන නැවතත් වාර්තා වී තිබෙනවා. දශකයකට පමණ පෙරනම් කළු කොටි කියන නම ඇහෙන විට මතක් වුනේ එම නමින් හැඳින්වුණු එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන හමුදාවයි. එහෙත්, මේ වාර්තාව උතුරේ කළු කොටි ගැන නෙමෙයි. කලකට පසු නැවත ලංකාවෙන් වාර්තා වී ඇති කළු පැහැ හම සහිත ශ්‍රී ලාංකික කොටි පවුලක් ගැනයි.

කොටි වර්ග ලෝකය පුරාම විසිරී සිටියත් ලංකාවේ සිටින කොටින් ලංකාවටම ආවේණිකයි. සත්ත්ව වර්ගීකරණය අනුව පැන්තෙරා ගණයට අයත් පැන්තෙරා පාර්ඩස් විශේෂයට අයත් උප විශේෂ නවයක් අතරින් එක් උප විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා "පැන්තෙරා පාර්ඩස් කොටියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇටවූ කැමරා උගුල් හරහා ඡායාරූපගත කරගෙන තිබෙන කළු කොටි පවුලද මේ ශ්‍රී ලාංකික කොටි පවුලේම සාමාජිකයින් මිස වෙනස් හෝ අලුත් සත්ත්ව විශේෂයක් නෙමෙයි. ඔවුන්ට හම කළු පැහැ ගන්වන ජාන සැකසුමක් තිබෙනවා පමණයි.

අප අසා තිබෙන පරණ කියමනක් වන්නේ කැලේ මාරු වන විට කොටියාගේ පුල්ලි මාරු නොවන බවයි. සාමාන්‍යයෙන් කොටින් ලෙස හඳුන්වන්නේ හමේ පුල්ලි සහිත සතුන්. හමේ ඉරි සහිත සතුන් ව්‍යාඝ්‍රයන් ලෙස හඳුන්වනවා. ජගුවරයින්ගේ හමේද පුල්ලි තිබුණත් කොටින්ගේ හා ජගුවරයින්ගේ පුල්ලි පැහැදිලිව හඳුනාගත හැකි තරම් වෙනස්. ජගුවරයින්ගේ පුල්ලි වල මැද තිත් තිබෙනවා. කොටින්ගේ පුල්ලි වල එවැනි තිත් නැහැ. කොටි, සිංහයින්, ජගුවරයින්, ව්‍යාඝ්‍රයින් හා හිම කොටි යන සත්ත්ව විශේෂ පහම අයත් වන්නේ පැන්තෙරා ගණයටයි.

පැන්තෙරා ගණයට අයත් බොහෝ සතුන්ට පුල්ලි සහිත හමක් තිබුණත් මේ සතුන් අතර කළු පැහැ සම ඇති සතුන්ද සිටිනවා.  මේ විදිහට ජාන විකෘති සිදු වී කළු පැහැ සතුන් බිහිවීම කැලේ මාරු වන විට කොටින්ගේ පුල්ලි මාරු වීමක් කියා කියන්නත් පුළුවන්. අඳුරු තෙත් කලාපීය වනාන්තර වල වාසය කරන කොටි අතර මේ කළු පැහැ ජාන විකෘතිය වඩා සුලභයි.

දහනවවන සියවසේ මැද භාගයේදී (1846-1850) ලංකාවේ යටත් විජිත මහ ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් එමර්සන් ටෙනන්ට් විසින් වාර්තා කර ඇති පරිදි කළු කොටි දුලබ වුවත් ඒ කාලයේදී රටේ විවිධ ප්‍රදේශ වලින් හමු වී තිබෙනවා. ලංකාවේ කළු කොටි අඩ සියවසකට පෙර තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටයකටද තේමා වුනා. එහෙත්, මෑතකදී ලංකාවෙන් කළු කොටි පණ පිටින් හමු වී නැහැ. අවසන් වරට 2009දී හමු වී තිබෙන්නේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කළු කොටියෙක්. එම කළු කොටියාගේ සම සංරක්ෂණය කර හැදූ අනුරුවක්  ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

කොටියෙකුගේ හම කළු පැහැ වෙන්නේ නිලීන ජානයක් හේතුවෙන්. නිලීන ජානයකට අදාළ ලක්ෂණ මතු වන්නේ මවගෙන් හා පියාගෙන් එම ලක්ෂණ රැගෙන යන ජාන දෙකක්ම ලැබුණොත් පමණයි. කළු කොටියෙකුගේ ජාන දෙකේම මේ ලක්ෂණය තිබෙන නිසා කළු කොටි ජෝඩුවකට ලැබෙන සියළුම පැටවුන්ටද කළු හමක් උරුම වෙනවා.

කළු කොටියෙකු සහ සාමාන්‍ය කොටියෙකු අතර සංසර්ගයෙන් බිහිවන පැටවුන්ට අනිවාර්යයයෙන්ම එක් කළු ජානයක් හිමි වුවත්, එවැනි පැටියෙකු කළු කොටියෙකු වන්නේ සාමාන්‍ය කොටියාගෙන්ද කළු ජානයක් උරුම වුවහොත් පමණයි. කළු ජානයක් හා සාමාන්‍ය ජානයක් හිමි සාමාන්‍ය කොටින් දෙදෙනෙකුගේ පැටවෙකුද කළු කොටියෙකු විය හැකියි. ඒ නිසා, කළු කොටින් සම්පූර්ණයෙන්ම වඳ වී ගියත් නැවත සාමාන්‍ය කොටින්ට දාව කළු කොටි බිහි විය හැකියි. කෙසේ වුවත්, කළු කොටි ඇති වන ජානය වඳ වී ගියොත් නැවත කළු කොටි බිහි වීමේ ඉඩකඩද ඇහිරෙනවා.

Monday, March 4, 2019

බැලුම පාට වෙයිද?


ඔය ඉඳ හිටලා දවසක අපි යාළුවෝ එක්ක මානුෂික සබඳතා පවත්වලා ආපහු නිවසට එනකොට පොලීසියෙන් නවත්වලා බැලුමක් පුම්බලා දෙන්න කියා ඉල්ලා හිටින්න ඉඩක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක හදිසියේවත් බැලුම කොළ පාට වුනොත් සිද්ද වෙන අවුල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා කාල් මාක්ස් කියල තියෙන නිසා මාක් කරගෙන හරියටම කාලක් ගැහුවා කියලා පොලිස් නිලධාරියාගෙන් බේරෙන්න බැහැනේ. ඒ නිසා, ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තිබෙන ඉඩප්‍රස්තා අවම කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි.

රථවාහන ආඥාපණතේ 151 වගන්තිය අනුව, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය කිරීම නීතිමය වරදක්. මේ වරද වරදක් වීම සඳහා රිය අනතුරක් සිදුවීම හෝ වාහනය නිසි සේ ධාවනය නොකිරීම වැනි දෙයක් සිදුවිය යුතු නැහැ.

කිසියම් රියැදුරෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සැකයක් ඇති වුවහොත් පොලිස් නිලධාරියාට අදාල රියදුරා මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා "බැලුම් පුම්බන" ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටිය හැකියි. එසේ නැත්නම් අදාළ රියැදුරාව රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කළ හැකියි. රියැදුරා විසින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් පණත අනුව එසේ මත්පැන් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මතම රියැදුරා මත්පැන් පානය කර ඇති බව උපකල්පනය කළ හැකියි.

මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය නොකළ හැකි බව කීම අවිනිශ්චිත ප්‍රකාශයක්. මේ විදිහට වාහනයක් ධාවනය කළ නොහැක්කේ මත්පැන් පානය කර කොපමණ කාලයක් ඇතුළතද?

කිසියම් අයෙක් මත්පැන් පානය කර සිටීද යන්න නිගමනය කිරීමේ නිර්ණායකයක් ලෙස බොහෝ රටවලදී කරන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පරීක්ෂා කර බැලීමයි. බොහෝ බටහිර රටවල යමෙක් මත්පැන් ගෙන වාහනයක් ධාවනය කිරීමේ වරදට වරදකරු කළ හැක්කේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.08% මට්ටම ඉක්මවා ඇත්නම් පමණයි. මේ සීමාව මීට වඩා අඩු හා වැඩි රටවල් හා ප්‍රදේශත් ඕනෑ තරම් තිබෙනවා.

රථවාහන ආඥාපණතේ ප්‍රතිපාදන අනුව අදාළ විෂය භාර ඇමතිවරයාට රියැදුරෙක් මත්පැන් පානය කර තිබේද යන්න නිශ්චිතව නිගමනය කරන ආකාරය සඳහන් කරමින් නියාමන කොන්දේසි සකස් කළ හැකියි. මේ ආකාරයේ නියාමන කොන්දේසි අදාළ විෂය භාර ඇමතිවරයා විසින් 1979 ජූලි 13 දින ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් පානය කර රිය ධාවනය කිරීමට යමෙක් වරදකරු වෙන්නේ රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 0.08කට එහෙමත් නැත්නම් මිලිග්‍රෑම් 80කට වඩා වැඩිනම් පමණයි. මේ ගැසට් නිවේදනය ඉන්පසුව යාවත්කාලීන කර ඇති බවක් මා දන්නේ නැහැ. ඒ නිසා, එය තවමත් වලංගුයැයි මා හිතනවා.

ඉහත ගැසට් නිවේදනය හා රථවාහන ආඥාපණත එක්ව ගත් විට මත්පැන් පානය කර රිය ධාවනය කළ බවට යමෙකුට චෝදනා කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් හෝ ප්‍රශ්වාස වාත පරීක්ෂාවක් වැනි නිශ්චිත පරීක්ෂාවක් කිරීමෙන් පසුව පමණයි. වෛද්‍යවරයෙකු විසින් එවැනි පරීක්ෂාවක් සිදු නොකර යමෙක් මත්පැන් පානය කර ඇති බව නිගමනය කර ඇති විටක චුදිතයාට වෛද්‍යවරයාගේ එම නිගමනය අභියෝග කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ වෛද්‍ය මතය හා පහළ අධිකරණය ලබාදුන් තීන්දු අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇති අවස්ථාත් තිබෙනවා. කෙසේ වුවත්, මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් එයට අභියෝග කරන්න යන්නේ නැහැ.

රථවාහන පොලිස් නිලධාරියකු අතේ ප්‍රශ්වාස වාත පරීක්ෂණ උපකරණයක් ඇති විට මත්පැන් පානය කර සිටින රියැදුරෙකුට ගැලවෙන එක පහසු නැහැ. බැලුම පුම්බපු ගමන් බඩු මාට්ටු. දැන් ලංකාවේ ගොඩක් රථවාහන පොලිස් නිලධාරීන් අතේ බැලුම් තිබෙනවා. ඒ නිසා, තමන්ගේ රුධිරයේ මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80කට වඩා වැඩියි කියා සැකයක් තිබේනම් සුක්කානමට අත නොතැබිය යුතුයි. එසේ නොකිරීමෙන් නීතියෙන් ගැලවෙන්න වගේම තමන්ගේ හා අනුන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඉන්නත් පුළුවන්.

ඔහොම කිවුවට අපි මානුෂික සබඳතා පවත්වලා අවසන් කරලා රෑ දෙගොඩ ජාමේ ගෙදර යන්න කලින් බැලුම් පුම්බලා බලන්නේ නෑනේ. එහෙමනම්, ඒ වගේ වෙලාවක දළ වශයෙන් තමන්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇස්තමේන්තු කර ගත හැකි ක්‍රමයක් තියෙනවද?

වැඩේ ගොඩක්ම අමාරු නැහැ. මුලින්ම තමන් ඇල්කොහොල් මිලිලීටර් කීයක් බිව්වද කියන එක ගණන් හදා ගන්න ඕනෑ.

අපි හිතමු 8.8%ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තියෙන මිලි ලීටර 625ක බියර් බෝතලයක් බිව්වා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල් මිලි ලීටර 55ක් පමණ රුධිරයට එකතු වෙලා. 33.3%ක සාන්ද්‍රණයක් තිබෙන අරක්කු බෝතලයක් (මිලි ලීටර 750ක්) හතර දෙනෙක් එක්ක බිව්වොත් ඇල්කොහොල් මිලි ලීටර 62.5ක් රුධිරයට එකතු වෙලා.

මේ විදිහට රුධිරයට එකතු වන ඇල්කොහොල් නිසා රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය කොයි තරම් ඉහළ යනවද කියන එක ශරීරයේ බර හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව තීරණය වෙන දෙයක්. එකම ඇල්කොහොල් ප්‍රමාණය බොන බර වැඩි කෙනෙක්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යන්නේ බර අඩු කෙනෙකුට වඩා අඩුවෙන්. සමාන බර තිබෙන පිරිමියෙකුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් ගැහැණියකගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවා.

රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් මිලිග්‍රෑම් ප්‍රමාණය හොයා ගන්න බීපු ඇල්කොහොල් මිලි ලීටර ගණන කිසියම් අනුපාතයකින් ගුණ කළ යුතුයි. බර කිලෝ ග්‍රෑම් 76ක් පමණ වන පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 94ක් පමණ දක්වා ඉහළ යනවා. 8.8% සැර බියර් බෝතලයක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 82.5ක් පමණ දක්වා ඉහළ යනවා. සමාන බර ගැහැණියකගේ සිරුරේ මේ සාන්ද්‍රණය 10%කින් පමණ වැඩියි.

සිරුරේ බර අඩු වැඩි වෙද්දී ඉහත අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 60ක් බර පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා ඉහළ යනවා. අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත ආකාරයෙන් සොයාගන්න පුළුවන්.

ඇල්කොහොල් සාන්ද්‍රණය (මිලි ලීටර 100කට මිලි ග්‍රෑම්) = පානය කළ ඇල්කොහොල් ප්‍රමාණය (මිලි ලීටර) * 115/ සිරුරේ බර (කිලෝග්‍රෑම්).

මේ පිරිමියෙක් හා අදාළව. ගැහැණියක් හා අදාළවනම් 115 වෙනුවට 126 යොදාගෙන ගණන හදාගන්න පුළුවන්.

දැන් ඔය විදිහට ගණන හදාගත්තට පස්සේ 80 කිට්ටුවට ඇවිත්නම් ඒ කියන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට අහුවෙන්න ඉඩ තිබෙනවා කියන එකයි. ඒ වෙලාවට, සුක්කානමට අත තැබිය යුත්තේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම අඩුවෙන්න කාලයක් දීමෙන් පසුවයි. ඒ සඳහා කොයි තරම් වෙලාවක් යනවද?

ගැහැණු පිරිමි හෝ මහත කෙට්ටු වෙනසක් නැතුව රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන නිශ්චිත වේගයක් තියෙනවා. කෑම කෑවට, දෙහි බිව්වට, තේ කෝපි බිව්වට, නෑවට, ව්‍යායාම කළාට ඒ වේගය වෙනස් කරගන්න බැහැ. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 15 කින් අඩු වෙන්න පැයක් පමණ යනවා. බීපු අරක්කු ප්‍රමාණයේ හා සිරුරේ බර අනුව (කිලෝ 60ක පිරිමියෙකුට) සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා නැගලනම් සාන්ද්‍රණය 80 මට්ටමට බස්සගන්න පැය 3කට කිට්ටුව යනවා. නමුත්, ඒ ප්‍රමාණයම බීපු කිලෝ 76ක පිරිමියෙකුට පැයෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

මෙහෙම කිවුවට මේ ගාණ හදාගන්න එකත් ටිකත් බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ තේරෙනවා ඇති නේද? එහෙම තේරෙනවනම් ඒත් හොඳම වැඩේ සුක්කානමට අත නොතියා ඉන්න එක. නැත්නම් ලාල්කාන්ත සහෝදරයාට වුණා වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.

(Image: https://www.chem.wisc.edu/deptfiles/genchem/demonstrations/Gen_Chem_Pages/04chemrxnpage/breathalyzer_test.htm)

Friday, October 26, 2018

රාජපක්ෂ පරම්පරාව


කලින් ලිපියේ ලිවුවා වගේ දරු උපතක් ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව සමාන නැහැ. පිරිමි දරු උපතකට තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

පිරිමි ස්වභාවයෙන්ම ගැහැණුන්ට වඩා කළහකාරීයි. අවදානම් ගන්නවත් වැඩියි. ඒ නිසා, වයස්ගත වෙලා හෝ ලෙඩ රෝගයකින් මැරෙන්න කලින් කිසියම් අනතුරකින් පිරිමියෙක් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ගැහැණු හා පිරිමි එක සමාන ප්‍රමාණ වලින් ඉපදුනොත් වැඩි පිරිමි ප්‍රමාණයක් අඩු වයසෙන් මිය යාම නිසා දරුවන් බිහි කරන වයසට එද්දී ගැහැණු ජනගහණය වඩා වැඩි වෙනවා. උපතේදී පිරිමි දරු උපත් ගණන වැඩි වෙලා තිබීම මෙය සමතුලිත කිරීම සඳහා වන ස්වභාව ධර්මයේ උපක්‍රමයයි.

සමස්ත ජනගහණය දිහා බැලුවහම දකින්න පුළුවන් ඉහත කී වෙනස්කමට අමතරව තනි පුද්ගලයෙක් ගත්තහම ඔහුට ගැහැණු හෝ පිරිමි දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ඔහුට කියා කිවුවේ හිතාමතාමයි. මේ කරුණේදී වැදගත් වන්නේ දරුවෙකු බිහි කරන්න දායක වන පිරිමියා.

එක්සත් රාජධානියේ, නිවු කාසල් සරසවියේ පර්යේෂකයෙකු වූ කොරී ජෙලාට්ලි විසින් වාර්තා හොයා ගත හැකි යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පවුල් 927ක පුද්ගලයින් 556,387 දෙනෙකුගේ දරු උපත් රටාවන් පරීක්ෂා කර පෙන්වා දුන්නේ දරුවෙකු ගැහැණු හෝ පිරිමි වීම කිසියම් දුරකට පියාගේ පරම්පරාව අනුව තීරණය වන බවයි. මවගේ පැත්තෙන්නම් එවැනි සම්බන්ධයක් පෙනී ගොස් නැහැ. මෙය සිදුවෙන්න ඉඩ තිබෙන ආකාරය පිළිබඳ ඔහුගේ යෝජිත ආකෘතිය අදාළ පර්යේෂණ පත්‍රිකාවේ තිබෙනවා.

මේ අනුව, අයියලා මල්ලිලා ගොඩක් ඉන්න පවුලක පිරිමියෙකුට පිරිමි දරුවන් ලැබෙන්න ඉඩ වැඩියි. අක්කලා නංගිලා ගොඩක් මැද්දේ ඉපදෙන පිරිමියෙකුට ගැහැණු දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ අනුව, බැලුවහම දේවානම්පිතිස්සගේ පරම්පරාව ගැන මහා වංශයේ තිබෙන තොරතුරු වැරදියි කියා කියන්න බැහැ.


මේ හා අදාළ මෑතකාලීන උදාහරණ වුවත් හොයාගන්න එතරම්ම අමාරු නැහැ. මහින්ද රාජපක්ෂට ඉන්නේ පුත්තුම තුන් දෙනෙක්. ගැහැණු දරුවන් නැහැ. උඩ පරම්පරාව දිහා බැලුවත් පිරිමි වැඩියි. චමල්, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි සහෝදර සමාගමේ ඉන්න පිරිමි හය දෙනෙකුගේ පවුලේ ගැහැණු ඉන්නේ තුන් දෙනෙක් පමණයි. ඊට පෙර පරම්පරාවෙත් හතරෙන් තුනක්ම පිරිමි. මේ විදිහට රාජපක්ෂ වරුන්ට වැඩිපුර පිරිමි දරුවන් ලැබෙන එක අහම්බයක් නොවෙන්න පුළුවන්.

(Image: http://archives.dailynews.lk/2010/06/07/fea23.asp)

Wednesday, October 24, 2018

සාධාරණ කාසි


ලංකා ඉතිහාසයේ මුල හරියේ හමුවන රජ වරුන්ට පුත්තු වැඩිපුර ඉඳලා තිබෙන බව මහා වංශය අනුව පේනවනේ. ඒ වගේම, අන්තිම හරියේ රජකරපු "රජවරුන්ටත්" ඉන්නේ පුත්තුමනේ. එහෙම වෙන්න පුලුවන්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාට හරි ලැබෙන දරුවෙක් ගැහැණු හෝ පිරිමි වීම අහඹු දෙයක් කියලයි. හරියට කාසියක් උඩ දැම්මහම සිරස හා අගය ලැබීම වගේ.

කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව 50%ක් නැත්නම් 0.5ක් කියලා ඉගෙන ගත්ත අය ඕනෑ තරම් මෙය කියවන අය අතර ඇති. ඒ පදනම මත බැලුවොත් කාසියක් එක දිගට උඩ දමන විට එක දිගටම සිරස නැත්නම් අගය වැටෙනවානම් ටිකක් අවුල් වගේනේ.

කවුරු හරි කාසියක් උඩ දමලා මේ කතාව හරිද කියලා පරික්ෂා කරල තියෙනවද?

කාසියක් එක පාරක් උඩ දමලා මේ කතාව හරිද වැරදිද කියන එක තහවුරු කරගන්න බෑනේ. එක්කෝ අගය නැත්නම් සිරස වැටෙයි. කතාව හරිද බලන්න වාර ගණනක් කාසිය උඩ දාන්න ඕනෑ.

අපි හිතමු ඔය කියන සම්භාවිතාව 0.5මයි කියලා. එවිට කාසිය දෙපාරක් උඩ දැම්මොත් දෙපාරම සිරස වැටෙන්න 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. අගය දෙපාරක් වැටෙන්නත් 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. සිරස හා අගය සමාන වාර ගණනක් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.5ක් පමණයි.

එක දිගට කාසිය දහ පාරක් උඩ දැම්මොත් සිරස හා අගය වාර පහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? එය 0.2461ක් පමණ වෙනවා.

කාසිය උඩ දමන වාර ගණන වැඩි වෙද්දී සිරස හා අගය වැටෙන වාර ගණන සමාන වෙන්න තිබෙන සමභාවිතාව ටිකෙන් ටික අඩු වෙනවා. සිය වාරයක් උඩ දැම්මොත් සිරස හා අගය පණහ පණහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.0786ක් පමණයි.

කොහොම වුණත් මේ විදිහට කාසිය උඩ දමන වාර ගණන වැඩි වන තරමට සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස 50%ට ටිකෙන් ටික කිට්ටු වෙනවා. ඕකට කියන්නේ විශාල සංඛ්‍යා වල නීතිය කියලා.

නමුත්, මේක වෙන්නේ එක වාරයක් කාසිය උඩ දැම්මහම සිරස හෝ අගය වැටෙන සම්භාවිතාව 0.5ක්නම් පමණයි. ඒ වගේ ප්‍රතිඵලයක් ලබා දෙන කාසියකට සාධාරණ කාසියක් කියා කියනවා.

ඔය සාධාරණ කාසියක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ඇත්ත කාසි කිසිවකට සාධාරණ කාසි කියන්න බැහැ. ඒවා හදලා තියෙන්නේ හරියටම සමමිතිකව නෙමෙයි. ඒ නිසා, කවුරු හරි සැබෑ ලෝකයේ කාසියක් අරගෙන විශාල වාර ගණනක්, අපි හිතමු වාර මිලියනයක් විතර, ඕක උඩ දැම්මොත් සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස කිට්ටු වෙන්න ඉඩ තිබෙන්නේ 0.5ට ආසන්න වුවත් 0.5ම නොවන සංඛ්‍යාවකටයි.

වාර කිහිපයක් සිරස හෝ අගය දෙකෙන් එකක්වත් නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තිබෙනවා. රුපියල් පහේ කාසියක් වගේ ඝනකම කාසියක්නම් මේ ඉඩකඩ තවත් වැඩියි.

අපි හිතමු කාසිය ඔය කියන විදිහේ සෛධාන්තික සාධාරණ කාසියක්ම කියලා. එහෙම වුනත්, උඩ දාන පුද්ගලයා මත ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හොඳට නිරීක්ෂණය කරල බලන්න කිසියම් පුද්ගලයෙක් කාසිය උඩ දාන්න පෙර එය තියා ගන්නේ කොහොමද කියලා. එක් එක් පුද්ගලයාට අනන්‍ය රටාවක් දකින්න බැරි වෙන එකක් නැහැ. සමහර අය සිරස උඩට තියාගෙන කාසිය උඩ දමයි. තවත් අය එහි අනිත් පැත්ත කරයි. මේ වගේ දේවල් වෙන්නේ නිරායාසයෙන්මයි.

කොහොම වුනත් ඔය කියපු වෙනස්කම් නිසා කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව මහා ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රිකට් තරඟයක් අරඹන අවස්ථාවක් වගේ වෙලාවකදී ප්‍රායෝගිකව මේ සම්භාවිතාව 0.5ක් කියා ගන්න එකේ ලොකු අවුලක් නැහැ.

දැනට කර තිබෙන පර්යේෂණ අධ්‍යයන අනුව, දරුවෙකු පිළිසිඳගන්නා අවස්ථාවේදී ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව 0.5 හෝ එයට ඉතාමත්ම කිට්ටු අගයක්. නමුත්, මේ විදිහට සිදුවන පිළිසිඳ ගැනීම් සියල්ලම සජීවී දරු උපත් විදිහට අවසන් වෙන්නේ නැහැනේ.

කළලයක් වැඩෙන මාස නවයක පමණ කාලය තුළ ස්වභාවිකවම ගබ්සා වන කළල වලින් වැඩි ප්‍රමාණයක් ගැහැණු කළල. සමහර විට ගැහැණියක් බිහි කිරීමේදී ස්වභාව ධර්මය වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එහෙම වෙන්න හේතු තියෙනවා. දුර්වල කළල වැඩි ප්‍රමාණයක් ස්වභාවිකව ගබ්සා වූ තරමට එසේ ගබ්සා නොවී ඉතිරි වන්නේ වඩා නිරෝගී කළල. ගැහැණියක් පිරිමියෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයත් හේතුවක් වෙනවා ඇති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා වැදගත් වෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැණියක් වැඩි කල් ජීවත් වීමයි. පිරිමියෙකුට වර්ගයා බෝ කිරීමේ තමන්ගේ යුතුකම කරන්න මහා ලොකු කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු විස්සක් ජීවත් වන පිරිමියෙකුට වුවත් දරුවන් සිය ගණනක් බිහි කරන්න බැරි කමක් නැහැ. නමුත්, ගැහැණියකට ඒ ආකාරයට කෙටි කාලයක් තුළ දරුවන් විශාල පිරිසක් බිහි කිරීමේ හැකියාවක් නැහැ.

ස්වභාවික තත්ත්වයන් යටතේදී සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 105ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකු ඉපදෙන්න තිබෙන සම්භාවිතාව 51%කට ටිකක් වැඩියි. ගැහැණු දරුවෙක් ඉපදීමේ සම්භාවිතාව 49%කට ටිකක් අඩුයි.

මේ කිවුවේ ස්වභාවික තත්ත්වයන් යටතේ. දැන් තිබෙන්නේ ස්වභාවික තත්ත්වයන්ම නෙමෙයිනේ. ලෝකයේ ගොඩක් රටවල නීත්‍යානුකූලවත්, ලංකාව වගේ රටවල් වල නීතියට පිටින් අවිධිමත් විදිහටත් සැලසුම් සහගතව ගබ්සා කිරීම් සිදු වෙනවනේ. ඒ වගේම කළලයට සති ගණනක් වෙද්දී ගැහැණු පිරිමි බව හොයාගන්න එකත් දැන් සරල දෙයක්නේ. මේ කරුණු දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් රටවල සජීවී පිරිමි දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඔය කලින් කියපු ගණනටත් වැඩියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 111ක් පමණ සිදු වෙනවා. චීනයේ මේ අනුපාතය 115ක්. ඉන්දියාව හා චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටවල් දෙක නිසා ලෝකයම ගත්තහම සජීවී පිරිමි දරු උපත් අනුපාතය පැහැදිලිව පෙනෙන තරමට ස්වභාවික අනුපාතයට වඩා වැඩියි. ලංකාවේ අනුපාතයනම් ස්වභාවික අනුපාතයට කිට්ටුයි. ලංකාවේත් ගබ්සා කිරීම් විශාල සේ සිදු වුණත් ගැහැණු පිරිමි බව අනුව වෙනසක් ලොකුවට වෙනවා කියා මම හිතන්නේ නැහැ.

කොහොම වුනත්, උපදින දරුවෙකුගේ ගැහැණු පිරිමි බව කියන්නේ සාධාරණ කාසියක් උඩ දැමීමක් නෙමෙයි. ඒ නිසා, පුතෙක් බලාපොරොත්තු වන කෙනෙක්ගේ කැමැත්ත ඉටුවෙන්න තිබෙන ඉඩ 50%ට වඩා තරමක් වැඩියි.

රජවරුන්ගේ පුත්තු ගැන පැහැදිලි කරන්නනම් මේ ප්‍රවාදය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතා කරන එක තවත් දවසකට තියමු.

ඊට කලින් කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පොඩි ගණිත ගැටලුවක් පහත තියෙනවා. මෙය විසඳීමේදී ඉහත කියැවූ විස්තර අමතක කරලා දරුවෙක් ගැහැණු හෝ පිරිමි වෙන්න තිබෙන සම්භාවිතාව සමාන සේ සලකන්න.

අමලා සහ කමලා යන දෙන්නටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. අමලාගේ වැඩිමල් දරුවා පුතෙක්. කමලාගේ (අඩු වශයෙන්) එක් දරුවෙක් පුතෙක්.

(1) අමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(2) කමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(Image: http://www.cityofphysics.com/blog/2015/12/08/flipping-coins-and-gender-quotas/)

පඬුවස්දෙව්ගේ දරුවෝ


මහා වංශයට අනුව සිංහල අනන්‍යතාවය පටන් ගන්නේ විජයගෙන්. ඔය කතාවත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් නැහැ. තමන්ව  සිංහලයෙක් ලෙස හඳුන්වාගත් පළමු පුද්ගලයා විජය වෙන්න පුළුවන්. එය ජාතික අනන්‍යතාවයක්ද නැද්ද කියන එක වෙනම කරුණක්. ගොඩක් වෙලාවට එයින් අදහස් වෙන්න ඇත්තේ ඔහුගේ පරම්පරාව.

ඔය ආකාරයට තමන්ගේ පරම්පරාවේ අනන්‍යතාවයෙන් තමන්ව හඳුන්වා ගත්තු මිනිස්සු ඉතිහාසයේ ඕනෑ තරම් ඉන්න ඇති. නමුත්, මහා වංශ ඉතිහාසයේ විජයට ලැබී තිබෙන තැන ඒ වෙනත් අයට ලැබිලා නැහැ.

මහා වංශය ලියා තිබෙන්නේ (දළ වශයෙන්) විජයගේ කාලයෙන් සියවස් අටකට පමණ පසුව වුනත්, මහා වංශය ලියන්න පදනම් කරගෙන තියෙන කතා ඊට වඩා පැරණියි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉඳලා මේ ඉතිහාස කතා දිගින් දිගටම යාවත්කාලීන කරමින් කටින් කට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ විදිහට ගෙනත් තියෙන්නේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය. මේ කතා වල රජවරුන්ට තැනක් ලැබෙන්නේ බුද්ධ ශාසනයේ ඉතිහාසයට ඔවුන් සම්බන්ධ වන තරමටයි.

මහාවංශ ප්‍රවාදය අනුව ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය පටන් ගන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයෙන්. කතාවේ ඊට පෙර කොටස තිබෙන්නේ මගධය ඇතුළු වත්මන් ඉන්දියානු අර්ධද්වීපයට අයත් තැන් වල. ඒ කොටසත් එකතු කළොත් කතාව අඛණ්ඩව යාවත්කාලීන වෙන්න පටන් ගන්නේ බුද්ධ කාලයෙන්. නමුත්, මහින්දාගමනය තෙක් මේ විදිහට යාවත්කාලීන වී තිබෙන්නේ මගධයේ ඉතිහාසය මිසක් ලංකාවේ ඉතිහාසය නෙමෙයි.

මහින්දාගමනයට පෙර ලංකාවේ බෞද්ධයින් සිටි බව කාට හෝ මතක් කරන්න පුළුවන්. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත්, ඒ බෞද්ධයින්ගේ යම් සම්ප්‍රදායයන් තිබුණානම් ඒවා එක්කෝ නැති වෙලා ගිහින්. එහෙම නැත්නම් අශෝක බුද්ධාගම ඇතුළේ දිය වෙලා ගිහින්. දැන් තිබෙන සම්ප්‍රදාය මගධයේ පරිණාමය වෙලා ලංකාවට ඇවිත් තිබෙන්නේ මහින්දාගමනයත් එක්කයි.

දේවානම්පියතිස්ස කියන්නේ මහා වංශයට මුල් වූ පූර්ව ඉතිහාස කතා අනාගතයට සම්ප්‍රේෂණය කරපු බෞද්ධ භික්ෂූන්ට මුහුණට මුහුණ හමු වූ චරිතයක්. නමුත්, විජය කියන්නේ ඒ විදිහට ඔවුන්ට හමු වූ අයෙක් නොවෙයි. මහා වංශයට විජය වැදගත් පුද්ගලයෙක් වෙන්නේ දේවානම්පියතිස්සගේ පරම්පරාවේ ලංකාව ඇතුළේ හඳුනාගත හැකි පළමුවැන්නා විජය නිසයි.

කොහොම වුනත්, දේවානම්පියතිස්ස කියන්නේ විජයගෙන් කෙළින්ම පැවත එය අයෙක් නෙමෙයි. විජයගේ දරුවන්ට ලංකාවේ සිහසුනට උරුමයක් ලැබෙන්නේ නැහැ. දේවානම්පියතිස්ස පැවත එන්නේ පඬුවස්දෙව්ගෙන්.

දේවානම්පියතිස්සගේ පියා මුටසීව. මුටසීවගේ පියා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගේ මව චිත්‍රා. චිත්‍රාගේ පියා පඬුවස්දෙව්. පඬුවස්දෙව්ගේ පියා විජයගේ සොහොයුරා.

විජය වගේම පඬුවස්දෙව් කියන්නෙත් පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙක්. නමුත්, පඬුවස්දෙව් ලංකාවට එන්නේ විජය පැමිණියා වගේ අහම්බයකින් නෙමෙයි. ඔහුට ලංකාවට එන්න පසුබිම හදන්නේ විජය. ඒ නිසා, දේවානම්පියතිස්ස කියා පුද්ගලයෙක් ලංකාවේ බිහිවෙන්න අඩිතාලම වැටෙන්නේ විජය නිසා. බුද්ධාගම ලංකාවේ ස්ථාපිත වෙන්න අඩිතාලම වැටෙන්නේ දේවානම්පියතිස්ස නිසා.

දේවානම්පියතිස්සගේ පියා මුටසීවනේ. මහා වංශයට අනුව මුටසීවට දරුවන් දොළොස් දෙනෙක්. පුත්තු දහයක් හා දුවලා දෙන්නෙක්. මහා වංශයේ එකොළොස් වන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ රජහට උනුන් හිතෛෂී වූ පුතුන් දස දෙනෙක් වූහ. කුලයට සුදුසු කීකරු වූ දූන් දෙදෙනෙකුද වූ ය. දේවානම් පියතිස්ස (දෙවෙන පෑතිස්ස) යයි ප්‍රසිද්ධ වූ දෙවෙනි පුත්‍ර තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වී."

මුටසීවගේ සීයා පණ්ඩුවාසදේවත් දරුවෝ එකොළහක් හදලා තියෙනවා. පුත්තු දහයක් හා දුවෙක්. මහා වංශයේ නවවන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ මෙහෙසිතොමෝ පුතුන් දසදෙනෙකු හා එක් දුවකුදු වැදුවා. සියල්ලන් දෙටුපිත් අභය නම  කණිට්ඨිකා තොම චිත්‍රා නම."

මේ විස්තර අනුව පෙනෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ පඬුවස්දෙව්ගේ පරම්පරාව ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බවයි.

තවත් කරුණක් සමහර විට ඔබ නිරීක්ෂණය කරන්න ඇති. ඒ තමයි මේ පරම්පරාවේ පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැණු දරුවන් ඉපදිලා තිබෙන්නේ අඩුවෙන් බව. එහෙම වුනේ කොහොමද?

මේ ගැන ඉදිරි ලිපියකින් කතාකරමු.

Sunday, November 5, 2017

කාගෙත් ලේ රතු පාටද?


කාගෙත් ලේ රතු පාට බව නිතර ඇහෙන කියමනකි. එහෙම කියන අය අතරේ "අපිනම් කැපුවත් කොළ!" කියා කියන අයත් "අපේනම් ලේත් නිල් පාටයි!" කියන අයත් නැත්තේම නැත. කියන කොට එහෙම කිවුවත් කපා බැලුවොත් එහෙම කියන කාගෙත් වාගේ ලේ රතු පාටය.

පන්සල් වල දකින්නට ඇති මුගලන් හාමුදුරුවන්ගේ පිළිමත්, දේවාල වල ඇති විෂ්ණු දෙවියන්ගේ පිළිමත් පාට කර තිබෙන්නේ නිල් පාටිනි. කුඩා කල ලංකාවේ ජීවත් වූ මට මේ මුගලන් පිළිම හා විෂ්ණු පිළිම නිතර දැකීම නිසාම එහි අමුත්තක් නොතිබුණත්, මගේ දරුවන්ට කුඩා කල එවැනි පිළිම දකින්නට ලැබී නොතිබුණේය.

මගේ වැඩිමල් දරුවාගේ වයස වසර හතක් පමණ වූ කාලයේ ලංකාවට ගිය අවස්ථාවක මම දරුවන් හා මගේ සොයුරාද සමඟ මා කලක් ලඟින් ඇසුරු කළ විහාරස්ථානයකට ගියේ වයස්ගතව සිටින විහාරාධිපති හිමියන් හමු වී සතුටු සාමීචියක යෙදෙන්නටය. මා මේ කටයුත්තෙහි යෙදෙන අතර මගේ දරුවෝ මගේ සොයුරාද සමඟ විහාර ගේ බලන්නට ගියෝය.

පණ්ඩිත හාමුදුරුවන් (අප කුඩා කාලයේ මේ හාමුදුරුවන්ව ඇමතූ පරිදි) හා මා කතාබහේ යෙදී සිටියදී දරුවන් සමඟ මගේ සොයුරාද එතැනට ආවේය.

"කොහොමද විහාර ගේ බැලුවද?"

හාමුදුරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් මගේ දරුවෝ විමසූහ. මේ හාමුදුරුවන්ට ප්‍රාචීන භාෂාත්‍රයෙහි පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේද හසළ දැනුමක් තිබේ. මා කුඩා කාලයේ මේ හිමියන්ගෙන් පාලි හා සකු බස් මෙන්ම ඉංග්‍රීසි බසද උගෙන තිබේ.

කෙසේ වුවත්, ඇමරිකානු උච්ඡාරණයට හුරුවී සිටින මගේ දරුවන්ට ඉංග්‍රීසි බසෙහි කෙතරම් හසළ වුවත්, ලංකාවේ සාමාන්‍ය උච්ඡාරණයෙන් කතා කරන අයෙකු කියන දෙය තේරුම් ගැනීම අපහසුය. එය ඔවුන්ට වෙනත් බසක් මෙනි. එහෙත්, ඔවුන්ට ඊට වඩා පහසුවෙන් සිංහල තේරුම් ගත හැකිය. ඒ ඔවුන් සිංහල කතා කරනු අසා ඇතත් ලංකාවේ උච්ඡාරණයෙන් ඉංග්‍රීසි කතා කරනු එතරම් අසා නැති බැවිනි.

"මොනව හරි ප්‍රශ්නයක් තියෙනවනම් හාමුදුරුවන්ගෙන් අහන්න!"

අවුල තේරුම්ගත් මගේ සොයුරා වැඩිමල් දරුවාගෙන් සිංහලෙන්ම ඉල්ලා සිටියේය.

"හාමුදුරුවනේ මුගලන් හාමුදුරුවෝ නිල් පාට ඇයි?"

දරුවා ක්ෂණිකව සිංහලෙන්ම ප්‍රශ්නය ඇසූ ආකාරයෙන් පෙනී ගියේ මගේ සොයුරාගෙන් මුලින් ඇසූ ප්‍රශ්නයක් ඔහු හාමුදුරුවන් පිට පටවා ඇති බවයි. මට එක වරම කිසියම් අපහසුතාවයක් ඇති වුණේ දරුවා නුසුදුසු ප්‍රශ්නයක් ඇසුවේදැයි යන සැකය නිසාය.



මා කුඩා කාලයේදී සාමාන්‍යයෙන් හිමිනමකගෙන් මේ ආකාරයේ ප්‍රශ්න අසා නැත. එහෙත්, කවුරු හෝ වැඩිහිටියෙකුගෙන් කුඩා කල හරියටම මේ ප්‍රශ්නයම අසා තිබේ.

"මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ හොරුන්ගෙන් හොඳටම ගුටි කාලනේ. ගුටි කාලම ඇඟ නිල් වුණා. පිළිම නිල් පාටින් හදන්නෙ ඒකයි!"

කුඩා කාලයේ මට එසේ කී කවුරු හෝ වැඩිහිටියා ඇත්තටම එසේ හිතා හිටියා වන්නට හෝ මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස එවේලේ කටට ආ පිළිතුරක් දුන්නා විය හැකිය.

කෙසේ වුවත්, පණ්ඩිත හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ එය නොවේ. ඔහු පිළිතුර දුන්නේ මගේ සොයුරාගේ මුහුණ බලාගෙන මිස දරුවන්ගේ මුහුණ බලාගෙනද නොවේ. මගේ දරුවෙකු පිට දමා ඇසුවේ සොයුරාගේ ප්‍රශ්නයක් බව හාමුදුරුවෝ තේරුම් ගත්තා විය හැකිය.

"ඔය කළු පාට කියන එක තමයි මිනිස්සු නිල් පාට කියල කියනව ඇත්තෙ නේද? නැත්නම් නිල් පාට මිනිස්සු කොහෙද ඉන්නෙ?"

ඇතැම් විට මගේ සොයුරා වඩා "ආගමික" පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වූවා විය හැකිය.

නිල් පාට මිනිස්සු අප දැක නැත. එහෙත්, නිල් පාටයැයි කිව හැකි තරමටම කළු පැහැ අයනම් මා දැක තිබේ. කෙසේ වුවත්, කිසිවෙකු කවරදාකවත් කළු හංසයින් නිරීක්ෂණය කර නැති වූ පමණින් කළු හංසයින් නැති බව තහවුරු වන්නේ නැත.

සියවස් දෙකකට පමණ පෙර ප්‍රංශයේ සිට ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකු වූ මාර්ටින් ෆියුගේට් එළිසබෙත් ස්මිත් සමඟ විවාහ වී කෙන්ටකිහි ට්‍රබල්සම් ක්‍රීක් පෙදෙසේ පදිංචි විය. ඔවුන් නොදැන හිටියත් මේ දෙදෙනාගේම සිරුරේ ඉතා දුලබ නිලීන ජාන ප්‍රභේදයක් තිබුණේය. මේ ජානය ඉතාම දුලබ නිසා එය දරන දෙදෙනෙකු විවාහ වීම ගිණිය නොහැකි තරම් දුලබ සිදුවීමක් වුවත් අහම්බෙන් එය සිදුවිය.

මේ විවාහයේ ප්‍රතිඵලය වූයේ තරමක් අමුතු එකකි. මේ දෙදෙනාට ලැබුණු දරුවන් හත් දෙනෙකුගෙන් සිවු දෙනෙකුම නිල් පැහැ අයයි!



මෙසේ සිරුර නිල් පැහැ ගන්වන ජානය යමෙකුට දෙමවුපියන්ගෙන් අයෙකුගෙන් උරුම වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ සිරුර නිල් පැහැ ගන්නේ නැතත්, මවුපිය දෙදෙනාගෙන්ම මේ ජානය උරුම වූ විට සිරුර නිල් පැහැ ගනී. මාර්ටින්ගේ මෙන්ම එලිසබෙත්ගේද සිරුරු වල මේ නිලීන ජානය බැගින් තිබුණත්, ඔවුන්ගේ සිරුරු වල සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු වල තිබෙන සක්‍රිය ජානය බැගින්ද තිබුණු නිසා ඔවුන්ගේ සිරුරු නිල් පැහැ වූයේ නැත. මාර්ටින් හා එලිසබෙත් වැනි කිසියම් ජානයක නිලීන ප්‍රභේදයෙන් (r) හා සක්‍රිය ප්‍රභේදයෙන් (R) එක බැගින් ඇති මවුපිය යුවලකගේ දරුවන්ට ජාන උරුම විය හැකි ආකාර හතරක් තිබේ.

(1) දෙදෙනාගෙන්ම සක්‍රිය ජාන උරුම වීම (RR)
(2) පියාගෙන් සක්‍රිය ජානය හා මවගෙන් නිලීන ජානය උරුම වීම (Rr)
(3) මවගෙන් සක්‍රිය ජානය හා පියාගෙන් නිලීන ජානය උරුම වීම (rR)
(4) දෙදෙනාගෙන්ම නිලීන ජාන උරුම වීම (rr)

ඉහත අවස්ථා හතරෙන් පළමු අවස්ථා තුනේදීම බාහිර වශයෙන් දැකිය හැක්කේ සක්‍රිය ජානයේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා, දරුවන් නිල් පැහැ වන්නේ නැත. එහෙත්, සිවුවන අවස්ථාවේදී දරුවන්ට සක්‍රිය ජාන කිසිවක් නැති නිසා නිලීන ජානයේ ලක්ෂණ මතු වී දරුවෝ නිල් පැහැ ගැන්වෙති.

මාර්ටින් හා එලිසබෙත් දෙදෙනාම සිටියේ (2) හෝ (3) අවස්ථාවකය. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුගේ සිරුරු නිල් පැහැ නොවූවත්, ඔවුන් දෙදෙනාම සිරුරු නිල් පැහැ ගන්වන නිලීන ජානය ඉදිරි පරම්පරා වලට උරුම කළ හැකි වාහකයන්ව සිටියහ. එහෙත්, හමේ බාහිර පෙනුමෙන් ඔවුන්ට සමාන බොහෝ දෙනෙකුට තිබෙන්නේ ඉහත (1) අවස්ථාවෙන් විස්තර කරන සක්‍රිය ජාන කට්ටලයයි.

මාර්ටින් හා එලිසබෙත් මෙන් (2) හෝ (3) අවස්ථාවක සිටින අයෙකුට සාමාන්‍යයෙන් විවාහ වන්නට සිදුවන්නේ (1) අවස්ථාවේ සිටින අයෙකු සමඟය. ඒ, ඉතිරි අවස්ථා තුනේ සිටින අය ඉතා දුර්ලභ බැවිනි. එවැනි අයෙකුට උපදින දරුවන්ට අඩුම වශයෙන් එක් සක්‍රිය ජානයක් හෝ ලැබෙන නිසා ඔවුන්ගේ සිරුරු වල නිලීන ජානයේ ලක්ෂණ මතු වීමට ඉඩක් නැතත්, නිලීන ජානය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය කරන වාහකයින් එම දරුවන් අතරින් බිහි විය හැකිය.

මාර්ටින් හා එලිසබෙත්ගෙන් බිහි වුනු දෙවන පරම්පරාවේ ෆියුගේට් වරුන් අහඹු ලෙස කා සමඟ හෝ විවාහ වූයේනම්, මේ විවාහ සහකරුවන් බොහෝ විට සක්‍රිය ජාන යුගලයක් තිබුණු RR පුද්ගලයින් විය හැකිව තිබුණු නිසා නිල් පැහැ පුද්ගලයින් නැවත බිහි නොවිය හැකිව තිබුණේය. එහෙත්, ප්‍රවාහන පහසුකම් හා සන්නිවේදන පහසුකම් අද මෙන් පුළුල්ව නොපැවති ඒ කාලයේ ඇමරිකාවේ ගම්බද පෙදෙසක් වූ ට්‍රබල්සම් ක්‍රීක්හි පදිංචිකරුවන් විසින් විවාහය සඳහා බොහෝ විට තෝරාගත්තේ අහල පහළම අයෙකි. මෙසේ අහල පහළ සිටි බොහෝ දෙනෙක් එලිසබෙත්ගේ ඥාතීන් වූ අතර ඒ අය අතර නිල් පැහැ ගන්වන ජානය දැරූ වාහකයෝ තවත් සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ නිල් පැහැ ෆියුගේට් වරුන් පරම්පරා කිහිපයක්ම බිහිවීමයි.

සිරුරු නිල් පැහැ වුවත් නිල් පැහැ ෆියුගේට්වරුන්ට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නොතිබුණු අතර ඔවුහු සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ වූහ. අහල පහළ අයට ඔවුන්ගේ නිල් පැහැය ප්‍රශ්නයක් වුනේද නැත. කොහොමටත් අහල පහළ සිටි බොහෝ දෙනෙක් ඔවුන්ගේම ඥාතීන්ය. දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ නිල් පැහැ ෆියුගේට්වරුන් ගැන බාහිර ලෝකය එතරම් දැන සිටියේද නැත.

පසුව සොයාගත් පරිදි ෆියුගේට් වරුන්ගේ නිල් පැහැයට හේතු වුණේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැ වීමයි. රුධිරය රතු පැහැ වීමට හේතුව එහි ඇති හිමොග්ලොබීන්ය. හිමොග්ලොබීන් වලට යකඩ අණු හරහා ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ විය හැකිය. රතු පැහැය ලැබෙන්නේ එවිටය. එහෙත්, එක් හිමොග්ලොබීන් ප්‍රභේදයක් වන මෙට්-හිමොග්ලොබීන් වලට මේ අයුරින් ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ වීමේ හැකියාවක් නැත.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබීන් අතර මෙට්-හිමොග්ලොබීන් 1-2% ප්‍රමාණයක් තිබේ. මේ ප්‍රතිශතය ඉහළ යන විට එන්සයිමයක් මඟින් මෙට්-හිමොග්ලොබීන් නැවත සාමාන්‍ය හිමොග්ලොබීන් බවට හරවයි. එහෙත්, මේ එන්සයිමය නිපදවීමට උදවුවන සක්‍රිය ජානය අඩු වශයෙන් දෙමවුපියන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන්වත් නොලැබුණු විට ඉහත පරිවර්තනය නිසි පරිදි සිදු නොවීම නිසා මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යාමෙන් ඔවුන්ගේ රුධිරය නිල්-දුඹුරු පැහැයක් ගනී. ඒ හේතුවෙන් ඔවුන්ගේ හමද නිල් පැහැ වේ.

දැන් මෙට්-හිමොග්ලොබිනීමියා ලෙස හැඳින්වෙන සිරුරේ මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය ඉහළ යාම ජානමය නොවන වෙනත් හේතු මතද ඇති විය හැකි තත්ත්වයක් වන අතර ඒ හේතුවෙන් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මෙට්-හිමොග්ලොබිනීමියාව ජාන වලින් උරුම කරගත් නිල් පැහැ ෆියුගේට් වරුන්ට මේ තත්ත්වය නිසා වෙනත් ශාරීරික රෝගී තත්ත්වයන් ඇති නොවුනත්, ඔවුන්ගේ පසු පරම්පරා වල ඇතැම් අයට මෙය මානසික ප්‍රශ්නයක් විය.

ක්‍රිස්තු වර්ෂ 1960 වසරේදී කෙන්ටකි සරසවියේ සේවයට ගිය රුධිරවේදියෙකු වූ මැඩිසන් කැවීන්ට ට්‍රබල්සම් ක්‍රීක්හි නිල් පැහැ මිනිසුන් ගැන අසන්නට ලැබුණේය. මේ ගැන වැඩිදුර තොරතුරු සොයමින් සිටි ඔහුගේ චිකිත්සාගාරයට එක් දිනක් හදිසියේම නිල් පැහැ පිරිමියෙකු හා කාන්තාවක පැමිණියෝය. ඒ සොයුරු සොයුරියන් වූ පැට්‍රික් රිචී හා රේචල් රිචීය. පළමුව, ඔවුන්ගේ හදවත් හා පෙනහළු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ ඔහුට ඒවායේ වැරැද්දක් නොපෙණුනේය. පසුව, ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළ මැඩිසන් කැවීන්ට ඔවුන්ගේ සිරුරු වල නිල් පැහැයට හේතුවන රුධිරයේ අධික මෙට්-හිමොග්ලොබින් සාන්ද්‍රනයත්, එයට හේතුවන එන්සයිම හීනතාවයත් සොයාගත හැකි විය.

විසෙන් විස නසන්නාක් මෙන් නිල් පැහැ ෆියුගේට්ලාගේ නිල් පැහැය නැති කරන්නට උදවු වුණේද තවත් නිලකි. ඒ මෙතිලීන් බ්ලූය. මෙතිලීන් බ්ලූ සිරුරට එන්නත් කිරීමෙන් පසුව පැට්‍රික් හා රේචර් සොයුරු සොයුරියෝ ක්ෂණිකවම රෝස පැහැති වූහ. එහෙත්, සිරුරෙන් මෙතිලීන් බ්ලූ ඉවත් කරන නිසා ඔවුන්ට දිනපතාම මෙතිලින් බ්ලූ පෙති වශයෙන් ගන්නට විය. මෙතිලීන් බ්ලූ ගන්නා විට ඔවුන්ගේ මුත්‍රාද නිල් පැහැයට හැරුණු අතර ඇතැම් නිල් පැහැ ෆියුගේට්ලා මෙය විස්තර කර ඇත්තේ බෙහෙත් වලින් සිය සිරුරේ නිල් පැහැය දිය කර හැරීමක් වශයෙනි.

නිල් පැහැ ෆියුගේට්ලා ආවාහ විවාහ හරහා මිශ්‍ර වීම නිසා නිලීන ජාන දෙකක් එකතු වීමේ ඉඩකඩ අඩු වී ගිය අතර දැන් නිල් පැහැ ෆියුගේට්ලා ඇමරිකාවේ දකින්නට නැත. එහෙත්, මේ නිලීන ජානය රැගෙන යන වාහකයින් සිටින නිසා එවැනි දෙදෙනෙකු එකතු වූ විටක නැවතත් නිල් පැහැ දරුවෙකු බිහි වන්නට ඉඩ තිබේ.

Monday, October 2, 2017

දුලබ මිනිස්කම


උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?

බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.

ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.

අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.

ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.

දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.

මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.

පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ  ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.

තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.

මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.

ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.

එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.


කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.

උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.

ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.

වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.

කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.

ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.

ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.

ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.

පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි  අවධානය යොමු කරන්නේ නැත.)

මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.

මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.

මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.

මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.

එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.

මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.

ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.

දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.

ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.

(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...