"මගෙ පුතා. නැති උනේ සීනි අඩුවෙලා වැටිල ඉඳල යාළු. වැඩකට ගියා උදේ පාන්දර 6.30ට විතර. යද්දි සීනි අඩුවෙලා වැටිල . දාහක් ඇස් දැකල ලඟට ගිහින් බලල නැහැ බීපු කෙනෙක් වැටිල කියල. උදේ 7 ඉඳල දවල් 2.45 වෙනකල් තද අවුවෙ ඉඳල. එක මනුස්සයයි ලඟට ගිහින් බලල තියෙන්නෙ ඒත් 2.45ට. ඒ කෙනා මට කිව්වම ඉක්මනින් ඉස්පිරිතාලෙ ගෙනිච්ච. ඒත් කෝමා වෙලා. අවුවට පිච්චිලා දියපට්ට දාල හැමතැනම. දවස් 21ක් අයි.සී.යූ. හිටිය. මං මේක කිව්වෙ ඔයාලට මගෙ යාළුවනේ කවදාවත් කෙනෙක් පාරක වැටිල හිටියොත් අහක බලන්න එපා බීපු කෙනෙක් උනත්. කවුරුහරි අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. මං දන්න හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමක්. මගෙ ගමේ ඉඳල නැහැ කරුණාවන්ත අය. ඒකයි අද මගෙ දරුවට මෙහෙම දෙයක් උනේ. දරුවෙක් ගිනි අවුවෙ පිච්චි පිච්චි මැරෙනකල් බලන් ඉන්න පුළුවන් සමාජයක් නේද දැන් තියෙන්නෙ....."
ඊයේ වත්පොතේ වේගයෙන් හුවමාරු වුනු පෝස්ට් එකක්. පෝස්ට් එකත් එක්කම දැකිය හැකි ඡායාරූපයේ හා මරණ දැන්වීමේ ඉන්නේ වයස අවුරුදු 26ක ප්‍රසන්න පෙනුමැති තරුණයෙක්. ඉතා කණගාටුදායක පුවතක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙය වලක්වා ගත හැකිව තිබුණු මරණයක්.
මේ තරුණයා දියවැඩියා රෝගියෙකුව සිට ඇති බව පැහැදිලියි. ඔහු හෝ පවුලේ අය ඒ ගැන දැන සිටියාද යන්න පැහැදිලි නැහැ.
ලෝක බැංකු දත්ත අනුව ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 10.7%ක් දියවැඩියා රෝගීන්. මීට අමතරව හඳුනා නොගත් දියවැඩියා රෝගීන්ද යම් ප්‍රතිශතයක් සිටිනවා විය යුතුයි. අප අතර සැරිසරන සෑම වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගියෙකුව සිටියදී සමාජයක් ලෙස ඒ තත්ත්වයට සංවේදී වීමත්, දියවැඩියා නිවාරණය ගැන සිතීම තරමටම වැදගත්.
මිනිස් සිරුරේ සීනි මට්ටම නියාමනය කිරීමේ කාර්යය සිදුවන්නේ ඉන්සියුලින් නිකුත් කිරීම හරහායි. සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය නිසි පරිදි සිදු නොවීම නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණය නිසි සේ නියාමනය නොවීම පොදුවේ දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
පළමු මාදිලියේ දියවැඩියා රෝගීන් සේ හැඳින්වෙන්නේ උපතින්ම ඉන්සියුලින් නිපදවීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න ඇති අයයි. එහෙත්, දියවැඩියා රෝගීන් වැඩි දෙනෙකුට තිබෙන්නේ දෙවන මාදිලියේ දියවැඩියාවයි. ඔවුන් සිරුරේ ඉන්සියුලින් නිපදවීම විවිධ හේතූන් මත පසුකාලීනව දුර්වල වූ අයයි. මේ හේතු අතර ආහාර පුරුදු ඇතුළු ජීවන විලාසිතා මෙන්ම ජානමය සාධකද තිබෙනවා.
දියවැඩියාව නිසා හෘදයාබාධ, ආඝාත, ඇස් පෙනීමේ දුර්වලතා, දන්තාබාධ, වකුගඩු රෝග වැනි වෙනත් රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමද ඉහළ යනවා. එහෙත්, ජීවන විලාසිතා වෙනස් කිරීම හා ඖෂධ මඟින් මේ අවදානම් පාලනය කළ හැකියි.
දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය නොවූ රුධිරයේ සීනි නියාමනය පිළිබඳ අඩුපාඩු පූර්ව දියවැඩියා තත්ත්වය සේ හඳුනා ගැනෙනවා. ජීවන විලාසිතා වෙනස් කිරීම මඟින් මේ තත්ත්වය ආපසු හැරවීමට 50%ක පමණ හැකියාවක් තිබෙනවා. මෙය කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් මගින් මුල් අදියරේදී මේ තත්ත්වය හඳුනා ගැනීම මගිනුයි. ඒ නිසා, නිරෝගී අයෙකු වුවත් වසරකට වරක් දියවැඩියා පරීක්ෂාවක් කර ගැනීම හොඳ අදහසක්.
දියවැඩියා තත්ත්වය ඇති වූ පසු මුලින් සඳහන් කළ සිද්ධියේ තරුණයාට මෙන් රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් සිහි විසංඥ වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් සීනි වැඩිවීම ගැන මෙන්ම සීනි අඩුවීම ගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්. ඒ එක්කම අප අතර සිටින අයෙකු මෙසේ සීනි අඩුව විසංඥ වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බවත් අප අමතක කළ යුතු නැහැ.
අද අප්‍රේල් 7 ලෝක සෞඛ්‍ය දිනයයි.
(Image: https://newsd.in/world-health-day-2019-who-focuses-on-universal-health-coverage-this-year/)