වී ගොවිතැනින් අපි නැවතත් ධනවාදයට එමු. ඇමරිකාවේ කුඹුරු අක්කරයක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ යනවා. ඉන්දියාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල එයින් 40%කට වඩා වැඩි නැහැ. ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල වුවත් ඇමරිකාවේ වියදමෙන් 60%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ, ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා අඩු මිලකට වී සපයන්න පුළුවන්. එහෙම තියෙද්දී, ඇමරිකාවේ වී ගොවියා ඉන්දියාවේ වී එක්ක තරඟ කරන්නේ කොහොමද?
මේ ප්‍රශ්නයම ලංකාව හා ඉන්දියාව හා අදාළව ඇහුවොත් පිළිතුරු තරමක් පැහැදිලියි. ලංකාවේ සහල් හිඟයක් ඇති වුනු විටක හැර බොහෝ විට ආණ්ඩුව විසින් සහල් ආනයනය වළක්වනවා. ආනයනය කරන සහල් වලට බදු පනවනවා. පොහොර වලට සහනාධාර දෙනවා. වතුර නොමිලේ දෙනවා. රජය මැදිහත්ව සහතික මිලකට වී මිල දී ගන්නවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවනේ.
ඇමරිකාවේ ඔය දේවල් බොහොමයක්ම කෙරෙන්නේ නැහැ. ඇමරිකාවට සහල් ආනයනය කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ රට වලට GSP සහන පවා ලැබෙනවා. පොහොර සහනාධාර නැහැ. වතුර නොමිලේ ලැබෙන්නේ නැහැ. මිල පහත වැටීමෙන් සිදු විය හැකි අවදානම නැති කර ගන්න ගොවීන් විසින් රක්ෂණයක් ලබා ගත යුතුයි. එම රක්ෂණ වාරිකයේ වියදමෙන් කොටසක් පමණක් රජය විසින් සුබසාධනය කරනවා.
ඇමරිකාවේ ගොවිපොළක වැඩ කරන මධ්‍යස්ථ කම්කරුවෙකුගේ දෛනික වැටුප ඩොලර් 99.84ක් වෙනවා. ලංකාවේ වියලි කලාපයේ මේ ගණන රුපියල් 1,381ක්ද, තෙත් කලාපයේ 1,166ක්ද වෙනවා. ඒ කියන්නේ ඩොලර් 6-7ක් පමණ.
ඉන්දියාවේනම් ප්‍රාන්තය හා ස්ත්‍රීපුරුෂ භාවය අනුව බොහෝ විට ඉන්දියානු රුපියල් 200-300 අතර. ඒ කියන්නේ ඩොලර් 3-4 පමණ. ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමය දළ වශයෙන් ඉන්දියාවේ මෙන් 30 ගුණයක් හා ලංකාවේ මෙන් 15 ගුණයක් පමණ මිල අධිකයි.
මේ අවාසිදායක තත්ත්වයන් සියල්ල හමුවේ ඇමරිකාවේ වී ගොවියා ලාබ ලබන්නේ
වී ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩි නිසයි. ඉන්දියාවේ හෝ ලංකාවේ වී ගොවියෙකු අක්කරයකින් ලබා ගන්නා වී ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් පමණ ඇමරිකාවේ වී ගොවියෙකු ලබා ගන්නවා.
මේක මම මේ දැන් හොයා ගත් දෙයක් හෝ ගොඩක් අය නොදන්නා රහසක් නෙමෙයිනේ. පහළින් තියෙන්නේ කිහිප දෙනෙකු විසින් පසුගිය ලිපි වලට දැමූ ප්‍රතිචාර.
"නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව."- විපුල අබේසිංහ
"මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂමතාවය ගොඩක් බලපානවා."- Mahesh
"ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙත් නෑ.නමුත් වාරිජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් එය හේතු වෙනවා."-ඇණයා Nut Man
"ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?"-ඇණයා Nut Man
ඉහත ප්‍රතිචාර වල වී ගොවිතැන හා අදාළ ගැටළු වගේම විසඳුම් යෝජනාද තිබෙනවා. ඇමරිකාව වගේ රටක මෙහි සඳහන් ඉඩම් කට්ටි විශාල වීම, යාන්ත්‍රීකරණය, වාරි ජල කළමනාකරණය, වී වගාව සඳහා සුදුසු ඉඩම් යොදා ගැනීම ආදිය හරහා කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි? ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මේ දේවල් තේරෙන කිසිවෙකු නැති වෙන්න විදිහක් නැහැනේ.
ඇත්තටම ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි කියා ඇහුවොත් එය අසාධාරණ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාවට ලංකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනෙක් දායක වෙලත් තියෙනවා. නමුත්, අවසාන වශයෙන් ඇමරිකාවේ වී ගොවිතැන ලංකාවේ හා ඉන්දියාවේ වී ගොවිතැනට වඩා ගොඩක් කාර්යක්ෂමයි. එහෙම වුනේ කොහොමද?
මේ කතාවට ධනවාදය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. ඇමරිකාවේ ආණ්ඩු වී ගොවීන්ගේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් දීලා නැහැ. වී වගාව කාර්යක්ෂම කරලත් නැහැ. කුඩා ඉඩම් කට්ටි ලොකු කරලත් නැහැ. සහතික මිල රක්ෂණයේ වාරික මුදලින් කොටසක් හැර වෙනත් සුබසාධනය කිරීම් කරලත් නැහැ. වී වවන්න තැන් වෙන් කරලා දීලත් නැහැ. වී වවන ඉඩම් වෙනත් වැඩකට යොදා ගැනීම වලක්වලත් නැහැ. කෙටියෙන්ම කිවුවොත් ලංකාවේ හැටියට ආණ්ඩුව විසින් කිසිම දෙයක් කරල නැහැ.
ඇමරිකාවේ වී ගොවීන්ගේ ලාබ වල රහස ඔය විදිහට ආණ්ඩුව විසින් කිසිම දෙයක් නොකර වෙළඳපොළට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට ධනවාදය ක්‍රියාත්මක වී තිබෙනවා. කිසිකෙනෙක් ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා නැහැ. කවුරුත් වැඩ කරලා තියෙන්නේ තම තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ අරමුණෙන්. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම වී තිබෙනවා.
අකාර්යක්ෂමතාවය හමුවේ ධනවාදය කුරිරුයි. සානුකම්පික නැහැ. ධනවාදයට අකාර්යක්ෂමතාවය හමු වූ විට හැකි ඉක්මණින් අකාර්යක්ෂමතාවය විනාශ කර දමනවා. ආයේ බල බලා ඉඳීමක් නැහැ. හැබැයි ධනවාදය ලාබ හොයන්නන්ට උදවු කරනවා. වෙනත් සමහර රටවල ආණ්ඩු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් වගේ ලාබ හොයන අයගේ පස්සේ පන්නමින් ඔවුන් සමාජ සතුරන් සේ සලකා විනාශ කර දමන්නේ නැහැ.
ලාබ හා කාර්යක්ෂමතාවය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. ලාබ හෙවීමේ තරඟය තුළ අකාර්යක්ෂමතාවය ටිකෙන් ටික මිය යනවා. ලාබ ලැබීම පහත් කොට සලකන සමාජ වලදී කාර්යක්ෂමතාවය පෑල දොරෙන් පැන යනවා. ධනවාදය අකාර්යක්ෂමතාවයට මානුෂික ලෙස සලකන්නේ නැහැ.
ආර්ථික වාසි සොයා මිනිස්සු රටකින් රටකට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රන් ඉල්ලම් මතු වූ කාලයේ චීන ජාතිකයින් හතළිස් දහසක් පමණ ඉසුරු සොයා ඇමරිකාවට පැමිණ තිබෙනවා. මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ. ඒ නිසා, ඒ මිනිස්සුන්ට තමන් චීනයේදී ආහාරයට ගත් බත් ඇමරිකාවේදීත් ඕනෑ වුනා. ඒ එක්ක එක පාරටම ඇමරිකාවේ හාල් වලට සැලකිය යුතු ඉල්ලුමක් ඇති වුනා.
නොසන්සිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ව්‍යවසායකයෙකුට ලාබ ලබන්න අවස්ථාවක්. ධනවාදය ලාබ හොයන ව්‍යවසායකයින්ට අකුල් හෙළන්නේ නැහැ. ඔය වගේ ඉල්ලුමක් සපුරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් චීනයෙන් හෝ වී වවන වෙනත් රටකින් සහල් ආනයනය කරන එක. දෙවන එක ඇමරිකාවේ වී වවන එක. දෙකෙන් වඩා කාර්යක්ෂම කොයි එකද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ලාබ මතයි. ඇමරිකාවේ වී වවන එක නරක විකල්පයක් නොවූ නිසා පසුගිය සියවසේ මුල හරියේදී ඒ වැඩේ පටන් ගත්තා. තවමත් තිබෙන කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය ආශ්‍රිත වී කලාපය එහි ප්‍රතිඵලයක්.
ඇමරිකාව වගේ ධනවාදී රටක වී වවන ගොවියෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. පළමු එක රට ඇතුළේ වෙළඳ තරඟයට මුහුණ දීම. දෙවැන්න ආනයනික සහල් සමඟ තරඟ කරන එක.
ලෝකයේ හාල් නිෂ්පාදනය බොහෝ දුරට සිදු වෙන්නේත්, වැඩිපුරම හාල් පරිභෝජනය කරන්නේත් ආසියා කලාපයේ. හාල් කර්මාන්තය හා අදාළව සැලකු විට චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි දැවැන්තයින් හමුවේ ඇමරිකාව හාල් කෑල්ලක්. හාල් කිලෝවක මිල තීරණය කරන්නේ ඒ දැවැන්තයින් විසිනුයි. ඇමරිකාවට මිලට බලපෑමක් කරන්න බැහැ.
වී ගොවිතැන ශ්‍රමමූලික කර්මාන්තයක්. ලංකාව ගත්තොත් වියලි කලාපයේ අක්කරයක වී වවන්න මිනිස් දින 17ක් අවශ්‍යයි. තෙත් කලාපයේ තවත් වැඩියි. ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස් ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබ බව කලිනුත් කිවුවනේ. එහෙමනම් ඇමරිකාව තරඟයට මුහුණ දෙන්නේ කොහොමද?
එක විසඳුමක් වන්නේ ආරක්ෂණවාදය. සහල් ආනයනය තහනම් කළානම් ඇමරිකාවේ වී ගොවීන්ට ඇමරිකාව ඇතුළේ වැඩි මිලකට හාල් විකුණන්න පුළුවන්. හැබැයි ජීවිතේට ජාත්‍යන්තරේට යන්න බැහැ. ඒ වගේම, කොයි වෙලාවක හරි ආනයන තහනම ඉවත් කළ වහාම ඇමරිකාවේ දේශීය වී ගොවියා හාන්සි. හරියට ජේආර් රට විවෘත කරපු ගමන් සමගි පෙරමුණු නිෂ්පාදකයෝ වාෂ්ප වෙලා ගියා වගේ.
ඇමරිකාවේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් මේ වගේ බියගුළු එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න රට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි කොච්චර කල් කියලා ඔහොම ඉන්නද? කවදා හරි රට ඇරපු ගමන් බඩු. මැරෙන එකා මැරෙන්න ඇරලා කරන වැඩ ඒ විදිහටම කරගෙන ගියානම් දුර්වල අය මැරිල ගිහින් ඉතුරු වෙන්නේ වෛරස් එකකටවත් බය නැති මිනිස්සු.
වෛරස් සම්බන්ධව ඇමරිකාව ඒ වගේ ප්‍රතිපත්තියක නැහැ. නමුත්, වී ගොවීන් ඇතුළු නිෂ්පාදකයින් සම්බන්ධව ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඔය වගේ එකක්. පලයන් ගිහිං සටන් කරපන්. පුළුවන්නම් චීනයේ, ඉන්දියාවේ වී ගොවීන් එක්ක සටන් කරලා දිනපන්. බැරිනම් මැරියන්.
ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.
ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා. හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි. මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.
ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි. ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.
ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය ඇමරිකාවේ මිනිස් ශ්‍රමයට වඩා ලාබයි. ඒ නිසා, මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය යොදාගත් විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හැබැයි ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය වුවත් ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් ශ්‍රමය තරම් ලාබ නැහැ. ඒ නිසා, මේ වැඩේ කළා කියලත් ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක් එක්ක තරඟ කරන්න බැහැ. ඒ වැඩේට අස්වැන්න වැඩි කරගන්නම වෙනවා.
අස්වැන්න වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ පොහොර හා රසායන වැඩියෙන් යොදන එකයි. ඇමරිකානු ගොවියා එය කරනවා. හැබැයි එයින් ආදායම වගේම වියදමත් ඉහළ යනවා.
ඇමරිකාවේ කෘෂිකර්මය හා අදාළ මූලික පර්යේෂණ බොහොමයක්ම කෙරෙන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවයි. බොහෝ විට ගොවීන් විසින් මෙවැනි පර්යේෂණ සඳහා මුදල් ප්‍රදාන සිදු කරනවා. මිල ගෙවිය යුත්තේ වාසිය ලබන පුද්ගලයා කියන එක ඇමරිකානු ක්‍රමයයි.
අවසාන වශයෙන් ඇමරිකානු වී ගොවියා මුහුණ දෙන ධනවාදී තරඟය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ තරඟයක්. වෙළඳපොළේ රැඳී ඉන්නනම් මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගත යුතුයි. නමුත්, සහල් මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති නිසා ආදායම් වැඩි කර ගත හැක්කේ අස්වනු ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් පමණයි. අනෙක් අතට මිනිස් ශ්‍රමය, යාන්ත්‍රික ශ්‍රමය, ඉඩම් කුලිය, පොහොර, රසායන ආදියේ මිල තීරණය කෙරෙන්නේත් බාහිර සාධක නිසා ඇමරිකානු වී ගොවියාට වියදම් අඩු කර ගැනීම සඳහා මේ සියළු සාධක ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කරන්න වෙනවා.
ඔය බරපතල කටයුත්ත හැමෝටම කරන්න බැහැ. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියා කිවුවට ඒ පරණ කතා දැන් හරියන්නේ නැහැ. නොදැන ගොවිතැන් කරන ඇමරිකානු වී ගොවියා තරඟයෙන් පරදිනවා. ඇමරිකානු ධනවාදය අකාර්යක්ෂමතාවයට සානුකම්පික නැහැ. තරඟයෙන් පරදින ගොවියෙකුට කරන්න වෙන්නේ තමන්ගේ ඉඩම වඩා දක්ෂ පුද්ගලයෙකුට බදු දී පැත්තකට වෙන එකයි. නොදැන ගොවිතැන් කර පරදිනවාට වඩා ඒ වැඩේ ලාබයි.
වඩා දක්ෂ ලෙස වී ගොවිතැන් කළ හැකි මිනිස්සු ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඉන්නවා. පහළ කොපි කර තිබෙන ප්‍රතිචාරයේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන.
"ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))"- කල්‍යාණ මිත්‍ර
මේ විදිහට ලංකාවේ කුඹුරක් බදු ගන්න කෙනෙක්ට අක්කරයකට (අතින්) යන වියදම කුඹුර අයිතිකාරයා කුඹුර කළානම් යන වියදම වගේ දෙතුන් ගුණයක්. ඒ වුනත්, ඒ මනුස්සයා ලාබ ගන්නවා. නමුත්, කුඹුර අයිතිකාරයාට ලාබ ගන්න බැහැ. හැම වැඩේම හැම කෙනාටම එක වගේ හොඳින් කරන්න බැහැ කියන එකට මේ උදාහරණයම ප්‍රමාණවත්. ධනවාදය විසින් කරන්නේ එහෙම වැඩක් කාර්යක්ෂමව කළ හැකි අයට ඒ වැඩේ කරන්න අවස්ථාව සලසන එකයි. ධනවාදය අමානුෂිකයි කියා කියන මිනිස්සු, දේශපාලන පක්ෂ හා ආණ්ඩු විසින් කරන්නේ අකාර්යක්ෂමතාවයට උල්පන්දම් දෙන එකයි.
ධනවාදය යටතේ අවසාන වශයෙන් ඉඩම් සුළු පිරිසක් අතේ එකතු වෙනවා. එය කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක්. පැරණි සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල් සමූහ ගොවිපොළවල් වගේ සංකල්ප හරහා ඔය වැඩේ වෙනත් ආකාරයකට කරන්න උත්සාහ කළා. ලංකාවේ ගම් වල තිබුණු පැරණි අත්තම් ක්‍රමය වුවත් කුඹුරු කට්ටි කුඩා වීමේ අවාසි අඩු කර ගැනෙන ක්‍රමයක්. එහෙත්, මේ වෙද්දී ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි.
ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ඉඩම් හිමි වැවිලිකරුවෝ කියා පිරිසක් හිටියා. ඒ අය ඕපපාතිකව පහළ වුනු අය නෙමෙයි. ඉඩම් හිමි වැවිලිකරුවන් වුනේ ඒ වැඩේට දක්ෂතාවයක් තිබුණු අය. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් අක්කර පණහේ නීතිය දමලා කළේ අකාර්යක්ෂමතාවයට සානුකම්පික වීමයි. ලංකාවේ නිදහස් වෙළදපොළ බාධාවක් නැතුව ක්‍රියාත්මක වුවහොත් කාලයක් යද්දී ඔය කුඹුරු ඉඩම් බදු ගන්නා පිරිස් අතරින් කුඹුරු හිමි ධනපති පන්තියක් හැදෙයි.
ඇමරිකාවේ මේ වැඩේ දිගින් දිගටම සිදු වෙද්දී වී ගොවිතැන් කරන ඉඩම් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව කරන ටික දෙනෙක් අතට එකතු වී තිබෙනවා. මෙසේ වන විට වී ගොවිපොළක ප්‍රමාණය එන්න එන්නම විශාල වෙනවා. එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍ය වන මිනිස් ශ්‍රමය අඩු වෙනවා. ඒ වගේම අවශ්‍ය මිනිස් ශ්‍රමයේ ස්වභාවයත් වෙනස් වෙනවා. නුපුහුණු ශ්‍රමය තව දුරටත් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ යන්ත්‍ර ක්‍රියා කරවිය හැකි පුහුණු ශ්‍රමයක්.
ඇමරිකාවේ බොහෝ ගොවීන්ට ගුවන් යානා තිබෙනවා. ලොකු ඒවා නෙමෙයි. ඇට ඉහින්න, වල්නාශක ආදිය ඉහින්න යොදාගන්නා කුඩා ගුවන් යානා. මේ ගුවන් යානා එළවන්න පුහුණුවක් අවශ්‍යයි. අනෙක් සංකීර්ණ උපකරණ ක්‍රියා කරවන්නත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ශ්‍රමය මූලික ශ්‍රමයට වඩා මිල අධිකයි. ලංකාවේ වී ගොවීන් ගුවන් යානා උපයෝගී කරගෙන ගොවිපොළේ වැඩ කරන්න තව කොයි තරම් කාලයක් යයිද? ගොවියන් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන් සිටින තුරු ඔය වැඩේ කවදාවත් වෙන එකක් නැහැ. ඒ අයට අවශ්‍ය අකාර්යක්ෂමතාවය දිරි ගන්වමින් ගොවියා හැමදාම වත්මන් ගොවියා ලෙසම සිටිනවා දකින්නයි.
ඇමරිකාවේ වී ගොවිපොළක සාමාන්‍ය ප්‍රමාණය අක්කර 500ක්. හැබැයි බොහෝ දුරට මේ අක්කර පන්සීයේම වැඩ ටික කර ගන්නේ ගොවි පවුලේම සාමාජිකයින් විසින්. කුලී ශ්‍රමය ඉතාම අඩුයි. අක්කරයකට අවශ්‍ය ශ්‍රමය පැය හතරක් නිසා එක් අයෙක් දවසකට පැය 8ක් හා සතියකට දවස් 5ක් බැගින් සති 50ක් වැඩ කරන ශ්‍රමය පමණයිනේ අවශ්‍ය වෙන්නේ. පවුලේ අයම එකතු වී වැඩ ටික තනියම කරගන්න නිසා මේ අය ගොවීන්ම තමයි. ආයේ වෙන කාගෙවත් "ශ්‍රමය සූරා කන" ස්වාමියෝ නෙමෙයි.
ඒ වගේම මේ අයගෙන් තුනෙන් එකක් පමණ උපාධිධාරීන්. මෙවැනි ගොවි පවුල් වල දරුවන් කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙනගන්න උනන්දු බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඒ අය "කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑ" කියා අධ්‍යාපනයේ වැදගත්කම අවතක්සේරු කරන පසුගාමී අය නෙමෙයි. ඇමරිකාවේ වී වගාවේ යෙදෙන ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින්
437,000ක් 4,370,000ක් පමණ වෙනවා.
ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි. ශතවර්ෂ ගාණක පළපුරුද්ද, සම්ප්‍රදායික දැනුම, පැරණි රජවරු හදපු තවමත් ප්‍රයෝජනයට ගන්න වැව් අමුණු විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය වෙනුවෙන් වෙන්වූ රජයේ ආයතන ගණනාවක්, ගොවියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්, පොහොර සහනාධාර, සහතික මිල, කුඹුරු ඉඩම් රැක ගැනීමේ හා අඳ ගොවියන් රැක ගැනීමේ නීති, පුරන් කුඹුරු අස්වද්දන හමුදා, නොමිලේ ලබා දෙන කෘෂිකර්ම උපාධි ආදී මෙකී නොකී හැම දෙයක්ම එක්ක ලංකාවේ මුළු ජනගහණයෙන් අඩු වශයෙන් දහයෙන් එකක් පමණ දායක වී අවුරුද්දකට නිපදවන සහල් ප්‍රමාණය වගේ
දෙගුණයකට වඩා හදන්නේ ඇමරිකාවේ
පන්දහසක පමණ ගොවියන් පිරිසක් විසිනුයි. ගොවීන් පැත්තකින් තිබ්බත්, ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් ප්‍රමාණය පමණක්
දසදහසකට වැඩියි.
ඇමරිකාවේ වෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තත් ඔය වගේම කතාවක් තියෙනවා. අප ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ දේවල් ඇස් දෙකට පේන්න තිබෙන නිසා මිසක් හිතළු මත පදනම් වූ මනෝ ලෝක වල සිට නෙමෙයි.