වෙබ් ලිපිනය:

Showing posts with label පොලීසිය. Show all posts
Showing posts with label පොලීසිය. Show all posts

Tuesday, March 30, 2021

උඩ කරනම් ගහන රාළහාමිත් වින්දිතයෙක්!


රථවාහන පොලීසියේ රාළහාමිගේ උඩ කරනම් වීඩියෝව ගොඩක් අය දකින්න ඇති. රාළහාමිගේ වැඩ තහනම් වෙලා වගේ කතාවකුත් දැක්කා. පහර කෑ පුද්ගලයා ජෝජ් ෆ්ලොයිඩ් තරම් අවාසනාවන්ත වුනේ නැහැ. හැබැයි ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල හිර කරපු පොලිස් නිලධාරියා විසින් කළේ පොලිස් අත්පොතේ තිබුණු, තමන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වූ දෙයක්. හෙළ බොජුන් ඉස්සරහ රාළහාමි ගහන උඩ කරනම්නම් පොලිස් පොතේ තියෙනවා වෙන්න බැහැ. රාළහාමි ක්‍රියාවෙන් වගේම කතාවෙනුත් හරිම සංවරයි! පහර කෑ මනුස්සයා අපේ රජය තියෙද්දීත් වරදක් කළ නිසා රාළහාමිට කේන්ති ගියාද දන්නේ නැහැ. කරපු වැරැද්ද මොකක් වුනත් රාළහාමිගේ හෙළ බොජුන් සත්කාරයනම් මාරයි!

ලංකාවේ පොලිස් නිලධාරීන්ට උඩ කරනම් බිම කරනම් ගහන එකේ ඉඳලා පන්දාහේ කොළ ගිලින එක දක්වා ගොඩක් රාජකාරී කරන්න තිබෙනවා. ඔය අතරේ සමහර වෙලාවට පොලිස් රාජකාරිත් කරනවා. නිවාඩු වෙලාවට බෙලි කපලා බෑග් වල පැක් කරන එක වගේ වැඩත් කරනවා.

ලංකාවේ පොලිස් සේවය මධ්‍යගත එකක්. ඒ නිසා පස්සර බස් අනතුර සිදු වූ තැන වගේ තැන් වල සේවයේ යොදවන්න පොලිස් නිලධාරීන් නැතත් ප්‍රභූ ආරක්ෂාවට ඕනෑ තරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදී සිටිනවාද කියන එක හොඳ ප්‍රශ්නයක්.

පොලිස් සේවය විමධ්‍යගත වී තිබුණානම් බොහෝ විට පස්සර ප්‍රශ්නය වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම කියන්නේ පළාත් සභා වලට පොලිස් බලතල දීම වැනි ජාතිවාදී අරමුණකින් කරන විමධ්‍යගත කිරීමක් ගැන නෙමෙයි. මහජන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ප්‍රාදේශීය සභා මට්ටමටම යනවානම් වඩාත් හොඳයි. දැන්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා ආදී සියල්ලම දේශපාලනඥයින් පුහුණු කරන ඇකඩමි විතරයිනේ.

පොලීසිය පහළම මට්ටමකින් පාලනය වන ඒකකයක් වූ විට අදාළ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න පොලීසියට සිදු වෙනවා. මධ්‍යගත පොලීසියකට සේවය කරන නිලධාරීන්ට වෙන්නේ ලොක්කෝ කියන විදිහට උඩ කරනම් බිම කරනම් ගහන්නයි. සමහර වෙලාවට නැන්ද මාමලා බලන්න තෑගි බෝග අරගෙන යන්නත් වෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් පඩි ගත්තත් ගොඩක් පොලිස් රාළහාමිලාට සේවය කරන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. විශේෂයෙන්ම රථවාහන පොලීසියේ නිලධාරීන්ට. මේ අය තමන්ට දෙන ටාගට් කවර් කළ යුතුයි. මාසේ අන්තිමට ටාගට් කවර් කරලා නැත්නම් උඩ කරනම් රාළහාමිගේ ලොක්කා උඩ කරණම් රාළහාමිට කතා කරන්නෙත් ඔය වීඩියෝ එකේ ඇහෙන වචන වලින්ම තමයි.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ඉන්නේ නොපෙනෙන තැනක හැංගිලා. එහෙම කරන්නේ වරදක් කරන්න පොළඹවා දඩ කොළයක් දෙන්නයි. අරමුණ දඩය මිසක් වරද සිදු වීම වැළැක්වීම නෙමෙයි. ඇමරිකාවේනම් ඔය වැඩේ වෙන්නේ අනෙක් පැත්තට. පොලිස් නිලධාරියෙක් බොහෝ විට පෙනෙන්නම ඉන්නවා. නිලධාරියාව දැක්කට පස්සේ ගොඩක් අය ක්ෂණිකව වේගය අඩු කරනවා. ඉලක්කය වන්නේ අනතුරු වැළැක්වීම මිසක් දඩ ගහන එක නෙමෙයි. දඩ ගහන්නේ අනතුරු අඩු කරගන්න.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන්ට ටාගට් දෙන්නේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කරලා දෙන්න මිසක් අනතුරු අඩු කරන්න නෙමෙයි. දඩ කොළ ලියලා ටාගට් කවර් කරන්නනම් වැරදි අඩු කරලා හරියන්නේ නැහැ. වැරදි දිගටම සිදු වෙන්න ඕනෑ. සුරාබදු නිලධාරීන් වගේ අය ගත්තත් ඔහොමයි. හොර මත්පැන් මත්ද්‍රව්‍ය නැති වුනොත් ටාගට් කවර් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩ කරන අයත් එක්ක සහජීවනයක් පවත්වා ගන්න වෙනවා. නැත්නම් කොහොමද මාසෙ අන්තිමට ටාගට් කවර් කරන්නේ?

රථවාහන පොලිස් නිලධාරීන් රියැදුරන්ට වේගයෙන් යන්න ඉඩ සලසමින් හැංගිලා ඉඳිද්දී ලයිට් ගහලා වාහන වල වේගය පාලනය කරන්නේ පාරේ අනෙක් පැත්තෙන් එන වාහන වල රියැදුරන්. අනෙක් පැත්තෙන් වෙන්නේ අඳුරන වාහනයක් වෙන්න අවශ්‍ය නැහැ. මේවා ලංකාවේ වාහන එළැවීමේ ආචාර ධර්ම. ඇමරිකාවේනම් රියැදුරෙක් පාරේ පිස්සු කෙළින කොට අනෙක් රියැදුරන් විසින් කරන්නේ පොලීසියට දැනුම් දෙන එකයි. 

ලංකාවේ හා ඇමරිකාවේ සාමූහිකත්වයේ වෙනස ඕකයි. ලංකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ව ආරක්ෂා කරන්න. ඇමරිකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කරන්න. 

එක පැත්තකින් මේ වෙනසට හේතු වී තිබෙන්නේ ලංකාවේ නීතිය හා සාමාන්‍ය මිනිස්සු අතර තිබෙන දුරස්ථ භාවයයි. නීතිය උන්ගේ. පොලීසියත් උන්ගේ. පොලීසිය ප්‍රාදේශීය පොලීසියක් වුනානම් එය අපේ පොලීසියක් මිසක් උන්ගේ පොලීසියක් වෙන්නේ නැහැ. නීතිය මිනිස්සුන්ගේ තේරීමක් වුනානම් එය අපේ නීතියක් මිසක් උන්ගේ නීතියක් වෙන්නේ නැහැ. වැරැද්ද එංගලන්තයට පටවන්න පුළුවන් වුනත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේත් එංගලන්තයටම බැණ බැණ ඉන්න එකේනම් අවුලක් තියෙනවා.

උඩ කරනම් රාළහාමි විශාල පීඩනයකින් ඉන්න බව පැහැදිලියි. මාසේ අන්තිම වෙද්දී රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ආතතිය වැඩි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ආණ්ඩුව පිස්සුවෙන් වගේ සල්ලි හොයන මේ දවස් වල පොලිස් නිලධාරීන්ගේ ටාගට් සමහර විට වැඩි කරලා ඇති. ඔය මහ පාර මැද්දේ හෙළ බොජුන් සත්කාර භුක්ති විඳින මනුස්සයා වගේම උඩ කරනම් ගහන රථවාහන පොලීසියේ රාළහාමිත් වින්දිතයෙක්!

Tuesday, June 9, 2020

ජෝජ් ෆ්ලොයිඩ් හා ගොනා කෝවිලේ රාජා


තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා" නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා (ජූනි 7) මිය ගොස් තිබෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඔහු "පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරුවෙක්". රාජා විමලධර්ම මිය ගොස් ඇත්තේ පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී සිදු වූවේයැයි පොලීසිය විසින් කියන වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන්.

පොලීසියට සැකකරුවෙකුව මරා දමන්න කිසිදු අයිතියක් නැහැ. පොලීසිය විසින් කළ යුත්තේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි. සැකකරු වරදකරුවෙකු බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇත්නම් දඬුවම් දීම අධිකරණයේ කටයුත්තක්. නීති පොතේ තිබුණත් ලංකාවේ රජය විසින් මරණ දඬුවම ලබා නොදෙන නිසා වරද කුමක් වුවත් මේ දඬුවම අනිවාර්යයෙන්ම මරණ දඬුවමට වඩා අඩු එකක්.

ලංකාවේ නීතිය හා සාමය රැකීමේ ක්‍රියාවලිය තුළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. පොලීසියට සැකකරුවෙකු මරා දැමිය නොහැකි නිසා පොලීසිය බලය අපහරණය කළේ නැත්නම් මෙය සලකන්න වෙන්නේ ආත්මාරක්ෂාව තකා කළ දෙයක් හෝ අත්වැරදීමක් ලෙසයි. ලංකාවේ පොලිස් නිලධාරීන්  විසින් අත් අඩංගුවට ගැනීමට යාමේදී මේ විදිහට වරින් වර මිනිස්සු මැරෙනවා. වසරකට මැරෙන ප්‍රමාණය මම හරියටම දන්නේ නැහැ.

ඇමරිකාවේ පොලිස් නිලධාරීන්  විසින් අත් අඩංගුවට ගැනීමට යාමේදී වසරකට මිනිසුන් දහසක් පමණ මැරෙනවා. ජෝජ් ෆ්ලොයිඩ් එසේ මිය ගිය එක් පුද්ගලයෙක්. එය අදාළ පොලිස් නිලධාරියා විසින් සීමාව ඉක්මවා යමින් කළ බලය අපහරණය කිරීමක් බව මේ වන විට පැහැදිලි වී තිබෙනවා. ඒ වීඩියෝ සාක්ෂි තිබෙන නිසා. එහෙත්, පොලීසිය කියන කතාව පමණක් බැලුවොත් එවැන්නක් පෙනෙන්නේ නැහැ.

රාජා විමලධර්ම මිය ගිය ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ කර නැහැ. ඒ නිසා, ජෝජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී මෙන් රාජා විමලධර්ම සිද්ධියේදීද පොලීසිය විසින් බලය අපහරණය කළාද කියා අපට දැන ගන්න විදිහක් නැහැ. ඇත්ත වුනත් බොරු වුනත් පොලීසිය කියන කතාව පිළිගන්න වෙනවා. රාජා විමලධර්මගේ මරණය සිදු වූ ආකාරය ගැන කිසිවකු විරෝධය පළ කර ඇති බවක් පෙනෙන්න නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව ඇමරිකාවේ විශාල විරෝධයක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම විසුරුවා හැර තිබෙනවා. නැවත අළුතෙන් පොලීසියක් පිහිටුවන බවක් කියැවී නැහැ.

කලින් ලියා ඇති පරිදි මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ ක්‍රියාත්මක එක් ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්. එය "ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුවක" කොටසක් නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේ නගරයේ වැසියන්ට එවැන්නක් අවශ්‍ය වූ නිසා. ඒ වෙනුවෙන් පිරිවැය දරන්නට ඔවුන් සූදානම්ව සිටි නිසා. දැන් ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවක් එපා කියන නිසා එය විසුරුවා හැර තිබෙනවා. එහි සේවය කළ නිලධාරීන්ට දැන් රැකියා නැහැ.

මිනියාපොලිස් නගරයේ වැසියන්ට පොලීසියක් අවශ්‍ය වී තිබුණේ ජෝජ් ෆ්ලොයිඩ් වැනි මිනිස්සු නගරයේ ඉන්න නිසා. දැන් රැකියා අහිමිව සිටින මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් හඳුන්වා ඇති පරිදි ජෝජ් ෆ්ලොයිඩ් "භයානක අපරාධකරුවෙක්".

අධිකරණ වාර්තා අනුව ජෝජ් ෆ්ලොයිඩ් හොරකම්, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ආයුධ පෙන්නා මංකොල්ලකෑම, බලහත්කාරයෙන් ගෙවල් වලට ඇතුළු වීම ඇතුළු වැරදි සඳහා අවම වශයෙන් පස් වරක් සිර දඬුවම් ලැබූ අයෙක්. තනිව සිටි කාන්තාවකගේ නිවසට ඇතුළු වී ඇගේ බඩට පිස්තෝලයක් තබා ඇගේ ජංගම දුරකථනය හා කණකර පැහැර ගත් පුද්ගලයෙක්. මේ කිසිවක් සැක කරන දේවල් නෙමෙයි. අධිකරණයේ ඔප්පු වූ හෝ ජෝජ් ෆ්ලොයිඩ් විසින්ම අධිකරණය හමුවේ පිළිගෙන තිබෙන දේවල්.

මිනිසුන්ට පොලීසියක් අවශ්‍ය වන්නේ මහ්මුද් අබුමයියාලේගේ කඩේ වැඩ කළ බාලවයස්කාර දරුවා මෙන් බොහෝ දෙනෙකුට ජෝජ් ෆ්ලොයිඩ් වැනි අපරාධකරුවන්ගෙන් තනිව බේරෙන්න අමාරු නිසයි. පොලීසිය නඩත්තු කිරීම වෙනුවෙන් ඔවුන් මිලක් ගෙවන්නේ ඒ නිසයි.

එහෙත්, මේ කිසිවක් ජෝජ් ෆ්ලොයිඩ්ව පොලිස් අත් අඩංගුවේදී මිය ගිය ආකාරය සාධාරණීකරණය කරන්නේ නැහැ. සැකකරුවෙකු වීම හෝ පෙර වැරදි තිබීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු අතින් සිදු වන මරණයක් සාධාරණීකරණය කළ නොහැකියි. මිනියාපොලිස් නගරයේ වැසියන් පොලිසියට එරෙහිව විරෝධතා දක්වා තිබෙන්නේත්, නගරාධිපතිවරයා විසින් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම විසුරුවා හැර තිබෙන්නේත් ඒ නිසයි. නගරයේ අපරාධ වැඩි වී නගර වැසියන් නැවතත් පොලිස් දෙපාර්තමේන්තුවක් ඉල්ලා සිටියහොත් එයත් සිදු වෙයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒ වගේ එකක්.

සමහර විට ජෝජ් ෆ්ලොයිඩ්ට වගේම රාජා විමලධර්මටත් පෙර වැරදි ඇති. ඔහු කී වරක් සිරගත වී තිබෙන කෙනෙක්ද කියා මම දන්නේ නැහැ. සැකකරුවෙක් පමණක්ද කියා දන්නෙත් නැහැ. ඒ මොකක් වුනත් ඔහුට දඬුවම් හිමි විය යුත්තේ නිසි ක්‍රමවේදයකට අනුවයි. පොලීසියට සැකකරුවෙකු වෙඩි තබා මරා දමන්න බැහැ. පොලීසිය කියන විදිහට සිදු වුනේ නොවැලැක්විය හැකි දෙයක් හෝ අත්වැරදීමක් වෙන්න පුළුවන්.

රාජා විමලධර්මගේ මරණය ලංකාවේ කාටවත් ප්‍රශ්නයක් වී නැහැ. නමුත්, ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන විරෝධය පළ කරමින් පෙරටුගාමී පක්ෂය විසින් උද්ඝෝෂණයක් පවත්වලා. එහි ප්‍රශ්නයක් නැහැ. උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ මොන වගේ අවස්ථා වලදීද කියා තීරණය කරන එක එම පක්ෂයේ සාමාජිකයින්ගේ අයිතියක්.

කොහොම වුනත් ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන විරෝධය පළ කළ ඇමරිකානුවන්ට මෙන් මිනියාපොලිස් නගරාධිපතිගේ හා පොලිස් ප්‍රධානියාගේ රාජ්‍ය ත්‍රස්තවාදය ගැන පුළුල් අවබෝධයක් සහිතව පාරට බැහැපු පෙරටුගාමී පක්ෂයට උද්ඝෝෂණය දිගටම කරගෙන යන්න ඉඩ ලැබී නැහැ. පොලීසිය කට්ටිය කුදලාගෙන ගිහින්. පහුගිය දවස් වල ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වී හිටපු, උද්ඝෝෂකයින් අතර සිට හොරකම් කළ අය පොලීසියෙන් වලක්වන විට පවා ඒ ගැන කණගාටු වුනු, ලංකාවේ ගොඩක් අයට ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි.

ඇමරිකාව හරිම වාසනාවන්ත රටක් කියා කියන්නේ ඒකයි. ඇමරිකාවේ මොකක් හරි වැරැද්දක් වෙන කොට වැරැද්ද හදන්න ඇමරිකානුවන් මැදිහත් වෙනවා. එයට අවස්ථාවත් ලැබෙනවා. වැරැද්දත් හැදෙනවා. ඒ වගේම, ඇමරිකාවේ මොකක් හරි වැරැද්දක් වෙන කොට වැරැද්ද හදන්න ලංකාවේ අයත් උදවු කරනවා. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලෝකයම පෙනී සිටිනවා. කොයි තරම් වාසනාවන්ත රටක්ද?

ලංකාවේ වෙන දේවල් ගැන කතා කරන්න ලංකාවේ මිනිස්සුත් නෑ. වෙන රටවල ඉන්න අය මැදිහත් වෙනවට කැමතිත් නැහැ. ඔහොම යං.

Friday, June 5, 2020

පොලීසිය කා වෙනුවෙන්ද?


ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය එය කළු හා සුදු වාර්ගිකයින් අතර ගැටුමක් ලෙස දකිනවා. මොන විදිහෙන් හරි ගැටුමක් තිබෙන බව පැහැදිලි කරුණක්නේ. ගැටුම කුමක්ද කියන එක තීරණය වන්නේ එක එක පුද්ගලයා එය අර්ථ විවරණය කරන ආකාරය අනුවයි.

විශේෂයෙන්ම ඇමරිකාවේ හා ලංකාවේ සමාජයීය වෙනස්කම් ගැන අවබෝධයක් නැති අය මෙය දකින්නේ තමන් දන්නා ලංකාවේ තත්ත්වයන් මත පරාරෝපණය කරමින්. කළු හා සුදු වාර්ගිකයින් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් වගේ එකක්. පොලීසිය හා ජනතාව අතර ගැටුමක් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ ලංකාවේ පොලීසිය. කවුරු වුනත් තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකය දකින එක අමුතු දෙයක් නෙමෙයි.

දැන ගන්නට කැමති අයට දැන ගන්න ඇමරිකාවේ පොලිස් නිලධාරියෙක් කියන්නේ කවුද කියලා ටිකක් පැහැදිලි කරන්නම්.

අපි ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙතම නැවත එමු. ඔහුගේ ගෙල මත දණහිස තබාගෙන සිටි ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.  කළුතර පොලීසිය හරි මැදවච්චිය පොලීසිය හරි ශ්‍රී ලංකා පොලීසියේ කොටස් වෙනවා වගේ මේ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව "ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුවේ" කොටසක් නෙමෙයි. ඇමරිකන් පොලීසිය කියා එකක් නැහැ.

ඇමරිකාවේ නීතිය හා සාමය රැකීම ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුත්තක් නෙමෙයි. බොහෝ විට එය සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමටත් වඩා පහළ මට්ටකමදී. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව. එය පිහිටුවාගෙන තිබෙන්නේත්, බදු ගෙවා නඩත්තු කරන්නේත් මිනියාපොලිස් නගරයේ වැසියන් විසින්.

මිනියාපොලිස් නගරය 430,000ක පමණ ජනගහණයක් සිටින වර්ග සැතපුම් 54ක පමණ භුමි ප්‍රදේශයක පැතිරුණු මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි නගරයක්. ජනගහණය අනුව ඇමරිකාවේ නගර අතරින් 46 වන තැනටයි වැටෙන්නේ. 1950දී 98.4%ක්ම සුදු ජාතිකයින් සිටි නගරයක් වුවත් 2010 වන විට සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය 63.8% දක්වා අඩු වී තිබෙනවා. නගර වැසියන්ගෙන් 18.6%ක් කළු ජාතිකයින්. වෙනත් විවිධ ජනවර්ග වලට අයත් පිරිස්ද විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.

මිනියාපොලිස් නගරයට නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඡන්දයෙන් පත්ව සිටින නගරාධිපතිවරයා ජේකබ් ෆ්‍රේ. ඇමරිකන් යුදෙවුවෙක්. ඔහු නියෝජනය කරන්නේ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයයි. ඩිමොක්‍රටික් පක්ෂය හා වාමාංශික පක්ෂයක් වූ මිනසෝටා ගොවි කම්කරු පක්ෂය සන්ධානගතව හැදුණු පක්ෂයක්. මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාව කියා කියන්න පුළුවන්. 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ නගරාධිපතිවරයෙක් විසින්. එයින් වසර හතක් නගරාධිපති ලෙස කටයුතු කර තිබෙන්නේ කළු ජාතික කාන්තාවක්.  පසුගිය වසර 75ක කාලය ඇතුළත වෙනත් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු විසින් නගරය පාලනය කර තිබෙන්නේ වසර 9ක කාලයක් පමණයි.

ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි. වොලී බැස්ටියන්ට "මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා" කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්. එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි. පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.

ඇමරිකාවේ පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතනයක් නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන. තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.

තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අවශ්‍ය වූ දෙයක්. ඒ  නිසා මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක්.

කුඩා ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ තිබෙනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් පොලීසියක් අවශ්‍ය වූ අයයි.

සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකාවේ නැහැ.

පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 58,866ක් වාර්තා වී තිබෙන අතර අවස්ථා 18,005කදී ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා. වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා. 2019දී මිය ගිය ගණන 147ක්. 2020දී මේ දක්වා 96ක්.

අප කතාව පටන්ගත් මිනියාපොලිස් නගරයේ අඩු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තු පහක් තිබෙනවා. පළමුවැන්න හෙනපින් කවුන්ටි ෂෙරීෆ් කාර්යාලයයි. ඇමරිකාවේ කවුන්ටියක් කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වගේ එකක්. ෂෙරීෆ් කාර්යාලයට අනුයුක්තව නිලධාරීන් 800ක් පමණ ඉන්නවා. මෙහි ප්‍රධානියා වන ෂෙරිෆ් වරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්.

මිනසෝටා සරසවියට අයිති තවත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. එය පාලනය වන්නේ සරසවිය පාලනය කරන බලධාරීන් විසින්. මිනියාපොලිස් ගුවන් තොටුපොළ වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් පොදු ප්‍රවාහන (දුම්රිය) පද්ධතියේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් නගරයේ පොදු උද්‍යාන වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත් වෙනම තිබෙනවා. මිනියාපොලිස් නගර සභාවට අයත් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මීට අමතරවයි.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා යටතේ. පොලීසිය නඩත්තු වෙන්නේ නගරයේ වැසියන්ගේ බදු මුදලින්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ බදු මුදල් වැය කරන්නේ බදු ගෙවන අයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි. නගරාධිපතිවරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්. පොලීසියේ ප්‍රධානියාව පත් කරන්නේ නගරාධිපතිවරයා විසින්. මිනියාපොලිස් පොලීසියේ ප්‍රධානියා වගකිව යුත්තේ මිනියාපොලිස් නගරාධිපතිවරයාටයි. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ වෙනත් පොලිස් දෙපාර්තමේන්තු අතර සම්බන්ධයක් නැහැ.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා කළු ජාතිකයෙක්. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන බවට මූලිකවම වග බලා ගත යුත්තේ ඔහු විසින්. ඔහු එසේ නොකරන්නේනම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුත්තේ නගරාධිපතිවරයා විසින්. නගරාධිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අසතුටුනම් ඔහුව ඉවත් කළ යුත්තේ නගරයේ වැසියන් විසින්.

ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වන තුරුම කළු ඇමරිකානුවෙකු වන පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී නැහැ. පොලිස් ප්‍රධානියාව නගරාධිපතිවරයාට ප්‍රශ්නයක් වී නැහැ. නගරාධිපතිවරයාව හෝ 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ දේශපාලනය නගර වැසියන්ට ප්‍රශ්නයක් වී නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඒ වෙලාවේ සිදු වුනු හුදෙකලා සිද්ධියක්ද, එසේ නැත්නම් ආයතනගත වී තිබෙන ප්‍රශ්නයක කොටසක්ද කියන එක විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටයි.

(Image: https://www.fox9.com/news/councilmembers-vow-to-dismantle-minneapolis-police-department-emergency-meeting-set)


Thursday, June 4, 2020

වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...


සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක් දිග් ගැස්සී සරසවිය වසා දමා තිබුණු නිසා. අවුරුද්දට ගෙදර ආවම ආපහු යන දවසක් ගැන ඉලක්කයක් තියෙනවා. මේ කියන අවුරුද්දේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. සරසවිය අරිනකම් බලා ඉන්න ඕනෑ.

මම ජනේලය ළඟට වෙලා ඔහේ බලා හිටියා. සරසවිය ඇරලද කියලා පේන නිසා නෙමෙයි. වෙන කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසා.

මොකක් හෝ හේතුවක් නිසා පාරේ වාහන තදබදයක්. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට වාහන තදබදයක් හැදෙන්නේ වාහන අනතුරක් නිසා. අපේ ගේ ඉස්සරහින් යන පාර ප්‍රධාන පාරක් වුනත් නගරයකින් තරමක් ඈත්ව පිහිටි කොටසක් නිසා බොහෝ විට වාහන එක ගැම්මට වේගයෙන් යනවා. එය එහෙම නොවනවානම් අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක්.

මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. ප්‍රධාන පාරේ සිට ඔය බොරළු පාර යා කරන හරස් පාරවල් ගණනාවක් තැනින් තැන තියෙනවා.

මහ පාරේ වාහන තදබදය නිසා වාහන ඔය කියපු සමාන්තර පාරට දමලා. අපේ ගෙදරට ටිකක් කලින් තිබෙන හරස් පාරෙන් ඒ පාරට දමලා ගෙදරට එහායින් තිබෙන ඊළඟ හරස් පාරෙන් නැවත ප්‍රධාන පාරට ගන්නවා.

ඔහොම බලා ඉඳිද්දී අපේ ගේ පැත්තට කණ්ඩායමක් එනවා. ගමේ තරුණයින් පිරිසක්. මම මේ අයත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. අපි මේ ගෙදර පදිංචියට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. අපි කියා කිවුවත් ගෙදර අය. මම වැඩිපුර හිටියේ සරසවි නේවාසිකාගාරයේ. ඉඳහිට ගෙදර එන දවසක අහල පහළ මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාව දන්නවා.

"මහත්තයා පොලීසියට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද?"

තරුණ කණ්ඩායමත් එක්ක විදේශික කාන්තාවක්.

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

තරුණ පිරිස අර විදේශික කාන්තාව දෙසට මුහුණ හැරෙවුවා. මම ඒ ප්‍රශ්නයම නැවත ඇගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා.

"මගේ ජංගම දුරකතනයේ සිග්නල් නැහැ. පොලීසියට කෝල් එකක් ගන්න ඕනෑ."

ඒ දවස් වල ලංකාවේ ගොඩක් තැන්වල සිග්නල් නැහැ. අපේ ගෙවල් පැත්තේ සිග්නල් නැති බව අමුත්තක් නෙමෙයි.

"මේ නෝනගේ වාහනේ පාරෙන් පැත්තකට ගිහින්. පොලීසියට කතා කරන්න ඕනෑ කියනවා."

එක තරුණයෙක් පිළිතුරු දුන්නා. අර සාමාන්‍යයෙන් වාහන නොදමන පාරට ඇය ඇගේ වාහනයත් අනිත් වාහන පස්සෙන් දමලා. වාහනය අළුත්, සුඛෝපභෝගී වාහනයක්. පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති. ඔය වගේ පාරක වාහනයක් එළවන එක බටහිර රටක ජීවත් වන අයෙකුට පුරුදු දෙයක් නෙමෙයි. අවුලක් කර ගෙන තියෙන එකේ පුදුමයක් නැහැ.

ඔය වගේ වෙලාවක ගමේ තරුණ කැල පටස් ගාලා උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ලංකාවේ වෙන ගොඩක් ගම් වල වගේම තමයි. වාසියක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

"කරුණේ මුදලාලිගේ ට්‍රැක්ටරේ ගෙනාවනම් වාහනේ අදින්න තිබුණා. කොහෙද කිවුවට අහන්නේ නැහැනේ. මහත්තවත් කියල බලන්න. අපි කියන දේ තේරෙන්නෙ නැතුව ඇති."

විදේශික කාන්තාව මගේ සහ තරුණයින්ගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට සැකයෙන් බලනවා.

"මම සල්ලි දෙන්නම්!"

කීයක් හරි කඩා ගන්න බලාගෙන දුරකතන ඇමතුමක් අරන් දෙන්න අදිමදි කරනවා කියල හිතන්න ඇති.

"එන්න."

මම ඇයට දුරකථනය තිබෙන තැනට පැමිණෙන ලෙස ආරාධනා කළා.

"පොලීසියේ අංකය කුමක්ද?"

ඇය මගෙන් ඇහුවේ 999 වැනි ඉලක්කම් තුනේ අංක කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුවයි. ඒ දවස් වල ලංකාවේ ඔය ඉලක්කම් තුනේ හදිසි ඇමතුම් අංක තිබුණේ නැහැ. මම දුරකථන නාමාවලිය පෙරළලා අපේ පොලීසියේ අංකය ඇයට පෙන්නුවා.

පොලීසියට ඇමතුමක් ගන්න කිහිප වරක් උත්සාහ කළත් කවුරුවත් දුරකථනය උස්සන්නේ නැහැ. මේ වෙලාවේ ඕනෑනම් පොලීසියේ නිකම් නමට වගේ එක නිලධාරියෙක් ඇති. අවුරුදු දවස් වල කන්තෝරු වල තත්ත්වය කවුරුත් දන්නවනේ. නමට ඩියුටි හිටියත් එක්කෙනෙක් තියලා අනිත් අය ගෙදර ගිහින් ඇති.

වැඩේ හරියන්නේ නැති බව ඇයට තේරුණා. එහෙත් අපේ ගමේ තරුණයන්ගේ ඉංග්‍රීසි එක්ක ඔට්ටු වී හොඳටම තෙහෙට්ටු වී සිටි ඇයට අඩු වශයෙන් මගේ ඉංග්‍රීසි වලින් කිසියම් හෝ පහසුවක් දැනෙන්න ඇති.

"මට පොලීසියට කියලා ඇදගෙන යන ට්‍රක් රථයක් (tow truck) ගෙන්න ගන්න ඕනෑ"

අපේ පොලීසිය සතුව ටෝ ට්‍රක් නැති බවත්, මේ වගේ දෙයකට පොලීසිය එන්නේ නැති බවත්, අද වගේ දවසක ඔය වගේ දේකට තියා අත්‍යාවශ්‍යම දෙයකටවත් එවන්න අමතර නිලධාරීන් පොලීසියේ නැති බවත් මම අමාරුවෙන් ඇයට පහදා දුන්නා.

ගමේ තරුණයින්ව සම්බන්ධීකරණය කරලා ට්‍රැක්ටරයක් හොයා ගෙන ඇගේ වාහනය නැවත පාරට අරන් දුන්නා. වැඩේට දුරකථන ඇමතුම් කිහිපයක් ගන්නත් සිදු වුනා.  අවුරුද්ද දවසේ ඔය වගේ දෙයක් කරන එකත් ටිකක් කෝස් එකක්. ට්‍රැක්ටරේ වගේම එළවන්න මනුස්සයෙක් හොයා ගන්නත් ඕනෑ. ඒ මනුස්සයාට ට්‍රැක්ටරේ දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනෑ.

වැඩේ ගොඩ දාගත්තාට පස්සේ ඇයට ගොඩක් සතුටුයි. ට්‍රැක්ට්‍රරයට අසාධාරණ ගානක් ගත්තේ නැහැ. ඇයට වැඩේට සතුටුයි. වැඩේ කෙරුණට පස්සේ තරුණයින් පිරිස පිරිවරා නැවත අපේ ගෙදර ඇවිත් මට කීයක් හෝ මුදලක් දික් කළා. දුරකථන ඇමතුම් වල වියදමට හරියන්න කියලා දුන්නත් ඊට වඩා ගොඩක් වැඩි මුදලක්. මම මුදල් ප්‍රතික්ෂේප කළා. ගමේ තරුණයින්ට කීයක් හෝ දෙන්න කියා ඉල්ලීමක් කළහම ඇය මගෙන් අසා ගාණක් දුන්නා. කට්ටියට හවසට සෙට් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්.

වාහනේ තිබුණේ අපේ ගෙදරින් ටිකක් ඈත. මට කීයක් හෝ මුදලක් දෙන්න හිතාගෙන ආපු ඇගේ අතේ ඒ වෙලාවේ මුදල් හැර වෙනත් දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කැප් තොප්පිය ගලවලා මට දීලා ගියා. "LA" අකුරු දෙක ගහපු කැප් තොප්පියක්. ඔය තොප්පිය කාලයක් මා ළඟ තිබුණා.

ඔය සිද්ධිය වෙන කොට මම කවදාවත් ලංකාවෙන් පිට වෙනත් රටකට ගිහින් තිබුණේ නැහැ. පොතකින් පතකින් හෝ චිත්‍රපටියකින් දැනගෙන සිටි දෙයක් මිසක් වෙන රටවල් වල කටයුතු සිදුවෙන පිළිවෙළ ගැන අවබෝධයක් තිබුණේත් නැහැ. විදේශික කාන්තාවගේ හැසිරීම අනුව පෙනුනේ ඔය වගේ අවස්ථාවක ඇගේ රටේනම් මුලින්ම කරන්නේ පොලීසියට කතා කර උදවු ඉල්ලා ගන්න එක බවයි.

මේ කාලය වෙන කොට ජවිපෙ දෙවන කැරැල්ල ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. කැරැල්ල කාලයේ ජවිපෙ කටයුතු කරපු ආකාරය ගැන වගේම පොලීසිය හා හමුදා එකතු වෙලා කැරැල්ල මර්දනය කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොතිබුණු කෙනෙක් වුවත් ඕනෑම වෙලාවක රාජ්‍ය මර්දනයේ ගොදුරක් විය හැකිව තිබුණා. කොටින්ම ඔය කාලය වෙද්දීත් පොලිස්කාරයෙක් කියන්නේ දකින්න ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයි. හදිසියකදී උදවුවක් ඉල්ල ගන්න එක කොහොම වුනත් අහම්බෙන් පොලිස් කාරයෙක් මුණ ගැහුණු වෙලාවක වුනත් අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි.

කාලයකට පස්සේ මම ඇමරිකාවේ පදිංචියට ආවා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු ප්‍රවාහන පහසුකම් ඇත්තේම නැති තරම්. නිවුයෝර්ක් වගේ නගර වල තත්ත්වය වෙනස්. මේ කියන කාලයේ මම හිටියේ පොඩි ගමක.

අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්.

පදිංචියට ඇවිත් ටික දවසකින් මූලික අවශ්‍යතාවයක් වන කාර් එකක් ගත්තා. අලුත් එකක් නෙමෙයි. ලංකාවේදීනම් හිතන්නවත් බැරි පොඩි ගාණකට.

ඊළඟ කාර්යය වුනේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම. ඒ වැඩෙත් කොහොම හරි කර ගත්තා. ඊට පස්සේ ළඟ පාත කඩේකට වගේ යන්න අවශ්‍ය වූ විට වෙන කාගේ හෝ උදවු ඉල්ලන්න අවශ්‍ය වුනේ නැහැ.

කාර් එක අරගෙන ටික දවසකින් ගමෙන් පිටත ආසන්න නගරයකට යන පළමු ගමන. කිලෝමීටර 130ක වගේ දුරක්. අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරපු පළමු දවස. අපි ලංකාවෙන් එන කාලයේ ලංකාවේ අධිවේගී මාර්ග තිබුණේ නැහැ. වෙන රටකදී අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරලා තිබුණෙත් නැහැ.

මේ වෙද්දී බිරිඳගේ මවත් අපේ ගෙදර ඇවිත් හිටියා. අප හිටියේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන්.

ගමේ පාරවල් වල වාහනය ධාවනය කළේ වැඩිම වුනොත් පැයට කිලෝමීටර හැත්තෑවක අසූවක වේගයෙන්. කිලෝමීටර වලින් කිවුවත් ඇමරිකාවේ දුර මනින්නේ හැතැම්ම වලින්. ඒ දවස් වෙද්දීත් ඔලුවේ තිබුණේ ලංකාවේදී කාලයක් තිස්සේ පුරුදු වී සිටි කිලෝමීටර් නිසාත්, පාරවල් හොඳ නිසාත් වේගය ඒ තරම් ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේදී පැයට කිලෝමීටර සීය පන්නන්න පුළුවන් තැන් තිබුණේ ඉතා අඩුවෙන් නිසා එය ලොකු වේගයක් වගේ හිතට දැනුනත් කිලෝමීටර සීය හැතැම්ම හැටපහක් වෙද්දී කිලෝ මීටර හැතැම්ම වෙනස අමතක වෙනවා.

ගමන ගිහින් අවුලක් නැතුව ආපහු ආවා. අවුල වුනේ ගමනේ අන්තිම හරියේදී. පැයට කිලෝමීටර සීයක වගේ වේගයකින් ඇවිත් ගමට ඇතුළු වන පාරට වාහනය හරවන්න ඕනෑ. ගමෙන් එළියට ගිය පළමු අවස්ථාව නිසා හරවන තැන ගැන අදහසක් නැහැ. ජීපීඑස් එක කියනකම් ඔහේ එන්නයි තියෙන්නේ.

ජීපීඑස් එක වාහනය පාරෙන් එළියට ගන්න දැනුම් දුන්නා. වාහනයේ වේගය අඩු කළත් රෑම්ප් එකේ වංගුව ගන්න අවශ්‍ය තරමට වේගය අඩු වුනේ නැහැ. පළමු දවස නිසා වංගුවේ වක්‍රතාවයේ තරම ගැන අදහසක් තිබුණේම නැහැ. වාහනය පාරෙන් එළියට පැන්නා. එළියට කියා කිවුවත් බොහොම පොඩ්ඩක්.

පාර දෙපැත්තේ ගල් කැට (gravel) දමලා. වාහනේ නැවතුනේ ඒ නිසා. වාහනයේ වැඩි කොටසක් තවමත් පාරේ වුනත් ඉස්සරහ රෝද පාරෙන් එළියේ.

ඔහොම දේවල් ලංකාවේදී ඕනෑ තරම් වෙලා තියෙන නිසා කිසිම අවුලක් දැනුනේ නැහැ. රිවස් කරලා ආපහු පාරට දාගෙන යන එකනේ තියෙන්නේ.

හැබැයි හිතපු විදිහටම වැඩේ වුනේ නැහැ. රෝද එක තැන කැරකෙනවා. පොඩි තල්ලුවක් ලැබුණානම් වාහනේ පාරට එනවා. ලෑල්ලක් වගේ දැම්මනම් ඒත් හරි.

ඔය තරම් දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. පාරේ ගිය තව වාහන දෙකක් නවත්වා ඒ වාහන වල සිටි අය උදවුවට ආවා. පාරේ මේ හරියේ වාහන මහ ගොඩක් යන්නේ නැහැ. ගෙවල් හෝ කඩ තියෙන හරියකුත් නෙමෙයි. දැකපු අය තමයි තමන්ගේ වාහන නවත්තලා උදවුවට එන්නේ. ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් බොහෝ ඇමරිකානුවන් උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

"මොකද වුනේ? මොනවා හරි උදවුවක් අවශ්‍යද?"

"නෑ. ප්‍රශ්නයක් නැහැ. වාහනේ පොඩ්ඩක් පාරෙන් එළියට ගියා විතරයි"

වාහනේ පාරෙන් එළියට ගියාම ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? අර ඇමරිකානුවා හිතන්න ඇති. කොයි තරම් බඩගිණි වෙලාවක වුනත් හදිසියේ ගෙදරකට ගියාම කෑමට ආරාධනා කළොත් "දැන් කන්න බෑ. කාලා ආවේ." කියල කියන්නනේ කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. ඔහොම කිවුවට අනිවාර්යයෙන්ම කෑම හම්බුවෙන බව දන්නවා. හැබැයි ඒ ලංකාවේ. ලංකාවෙත් ඒ දවස් වල.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?" ඇමරිකානුවා අහනවා.

"මූට පිස්සුද මන්දා...ටෝ ට්‍රක් එකක් ගෙනත් ගොඩ ගන්න වාහනේ අනිත් පැත්ත ගහල නෑනේ. ඔහොම දේවල්ද අපිට ලංකාවෙදි වෙලා තියෙන්නේ.." මම හිතනවා.

හිතුවේ ඔහොම වුනත් උත්තර දුන්නේ මෙහෙමයි.

"නෑ. ටෝ ට්‍රක් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. ඉස්සරහින් පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්නම් වාහනේ පස්සට එයි."

උදවුවට ඇවිත් හිටපු ඇමරිකානුවන් කිහිප දෙනා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා. මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට ඒ තරම් පුරුදු නැහැ වගේ. හැබැයි වැඩේට ඉදිරිපත් වුනා.

වාහනයකට තල්ලුවක් දාන එකෙත් පොඩි කලාවක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට ඔය කලාව පුරුදු නැහැ. රෝද තවත් එක තැන කැරකුණා විතරයි.

"අපි ඇතුලෙ කට්ටියව බස්සලා ට්‍රයි කරලා බලමු."

ඔය වෙලාවෙම ඔතැනින් ගිය පොලිස් මුර සංචාරක රථයක් නවත්වා පොලිස් නිලධාරියෙක් බැහැලා ආවා. මම හිතන්නේ අහම්බයක්. මේ හරියේ පොලිස් මුර සංචාරක රථ නිතරම යන්නේ නැහැ.

"කාට හරි තුවාලද?"

"නෑ. පොඩ්ඩක් වාහනේ පාරෙන් එළියට පැන්නා විතරයි."

එළියේ උෂ්ණත්වය අඩුයි. ඒ නිසා, බිරිඳ, දරුවා හා බිරිඳගේ මව මේ වන තුරුත් හිටියේ වාහනය ඇතුළේ. පොලිස් නිලධාරියා ඔවුන්ට ඔහුගේ මෝටර් රථයට ගිහින් ඉන්න කියා ආරාධනා කර එහි එන්ජිම හා හීටරය ක්‍රියාත්මකව තැබුවා. එය ලොකු සහනයක් වුනා. ඉන් පසු ඔහු නැවත ආවා.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?"

"නෑ."

"නොම්මරයක් ළඟ තියෙනවද?"

"නෑ"

ඒ දවස් වල අන්තර්ජාල සම්බන්ධතා තිබෙන ස්මාර්ට් ෆෝන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

"මම ටෝ ට්‍රක් එකක් කෝල් කරලා දෙන්නද?"

දැන් වැඩේ කොහොමටත් ගොඩින් බේරගන්න බැරි බව පැහැදිලියි. ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න එක හැර වෙන විකල්පයක් නැහැ.

"හා"

පොලිස් නිලධාරියා අවශ්‍ය දුරකථන ඇමතුම ගත්තා.

"අපි දැන් ඉන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් අපි යනවා."

උදවුවට වාහන නවත්තපු ඇමරිකානුවන් පිටත්ව ගියා. ටික වෙලාවක් යද්දී ටෝ ට්‍රක් එක ආවා. ඉතා පහසුවෙන් වාහනයේ ඉදිරිපස ඔසොවා පාරෙන් තියලා දුන්නා. බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සේ බිලකුත් දුන්නා.

ඔය අතරවාරයේ පොලිස් නිලධාරියා විසින් මගේ රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලිද පරීක්ෂා කළා.

"ටෝ ට්‍රක් එක යන්න කලින් වාහනය ධාවනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න." පොලිස් නිලධාරියා මතක් කළා.

එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ටෝ ට්‍රක් යන්න ගියා. බිරිඳ හා මව දරුවාද සමඟ ඇවිත් වාහනයේ වාඩි වුනා. ඉතුරු වෙලා තිබුණේ කරපු හැම දෙයකටම පොලිස් නිලධාරියාට ස්තුති කරන එක පමණයි. මම ඒ සඳහා ඔහුගේ මෝටර් රථය දෙසට ගියා.

"පොඩ්ඩක් ඉන්න."

ඔහු මොකක්ද කොළයක් අතේ තිබ්බා.

"පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම නිසා මට ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිගෙන දඩය ගෙවනවානම් එය මේ ආකාර වලින් කළ හැකියි. ඔබ වරද පිළි නොගන්නවානම් මේ දේවල් කරන්න පුළුවන්." ඔහු විස්තර කළා.

"ඔබට මොනවා හරි දෙයක් පැහැදිලි කර ගන්න අවශ්‍යද?"

"නැහැ"

නැහැ නොකියා වෙන මොනවා කියන්නද?

"මේ මගේ බිස්නස් කාඩ් එක. පවුලේ අයත් එක්ක පරිස්සමෙන් යන්න."

ඔය තමයි මට ඇමරිකාවේදී ලැබුණු පළමු දඩ කොළය.

කොයි තරම් පරිස්සමෙන් එළෙවුවත් ඕනෑම වාහනයක් පාරෙන් එළියට පනින්න පුළුවන්. පොලිස් වාහනයක් වුනත්!

Saturday, March 30, 2019

පොලීසියට රතු එළියක්!


පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

දඩ කොළය සමඟ උසාවියට...

ලංකාවේදීත් එසේ පොලිස් නිලධාරියෙකුගේ දඩ කොළයකට අභියෝග කර ඇති අවස්ථාවක් ගැන අද දැනගන්නට ලැබුණා. මෙය සිදුව තිබෙන්නේ වසර හයකට පෙරයි. (මෙවැනි අවස්ථා තවත් ඕනෑ තරම් ඇති!)

මෙසේ පොලීසියට අභියෝග කර තිබෙන්නේ තලංගම කොස්වත්තේ රවීන්ද්‍ර ලසන්ත පතිනායක නම් අයෙක්. අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ (SC. FR. No. 367/10) දළ සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. මේ නඩු තීන්දුවේ සාරාංශයක්  සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබුණේ නීතිඥ මාධව ලොකුසූරිය විසිනුයි. ඔහුට ස්තුති කරමින් ඔහුගේ පරිවර්තනය සුළු සංශෝධන සහිතව පහත පළ කෙරෙනවා.

රතු එළිය නොසලකා ධාවනය කිරීම නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව පොලිස්පති ඇතුළු තවත් අය

අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

නඩු අංකය :- මූලික අයිතිවාසිකම් (FR 367/10)

විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල

තීන්දුව ප්‍රකාශිත දිනය :- 03-05-2013

තීන්දුව කෙටියෙන්

මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර ලසන්ත පතිනායක යන අය වර්ෂ 2010 මැයි 22 දින පෙරවරු 10:15ට පමණ WP-PA 5709 දරන සිය මෝටර් රථය කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා ධාවනය කරමින් සිටියේය. හෝර්ටන් පෙදෙස හතර මං හන්දියේදී රතු සංඥාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු සිය වාහනය එහි නතර කළේය. එසේ සිය වාහනය නැවැත්වූ වහාම අදාළ මංසන්ධියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් දර්ශන (PC 38832) විසින් වාහනය දිගටම ඉදිරියට ධාවනය කරන සේ ලබාදුන් හස්ත සංඥාව අනුව රතු එළිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය ඉදිරියට ධාවනය කළේය. කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවස්ථාවක රථවාහන ආලෝක සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කෙසේ නමුත් රතු එළිය නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම ඉදිරියේ වූ පොලිස් රථවාහන අංශයට අයත් සුදු පැහැති මෝටර් රථයක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පෙත්සම්කරුගේ වාහනය නවත්වා රතු එළිය නොතකා රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත්තේය. එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433) සහ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් (30032) යන අයයි.

පෙත්සම්කරු මංසන්ධියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය. එකී නිලධාරීන් දෙදෙනා විසින්  පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගැනීමෙන් පසුව  වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට පමණක් වලංගු තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කළේය. උසාවි දිනය 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද, අදාල අධිකරණය පිළිබඳව දැනුම් දීමක් කර නොතිබුණේය. අදාළ දඩකොළය පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුට අණ කළේය.

පසු දින දඩ කොළය ලබා ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගිය පෙත්සම්කරු අදාළ දඩය නොගෙවා තමන්ට සිදුවූ අසාධාරණය හා අදාළ පහත කරුණු පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. එනම්,

1. පොලිස් නිලධාරියාගේ සංඥා මත වාහනය ඉදිරියට ධාවනය කිරීම,

2. තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 ක කාලයකට ලබා දිය යුතු වුවත්, දින 11 කට පමණක් ලබා දීම,

3. දින 11 ඉක්ම යාමෙන් පසුව අධිකරණ දිනය තෙක් සිය රථය ධාවනය කිරීමට නොහැකි වීම,

4. ඉහත 2 සහ 3 හේතු මත තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම.

කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය.ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය. නමුත්, සාධාරණය ඉටු නොවීය. මේ අනුව, අධිකරණය වෙත ගොස් සහනයක් ඉල්ලා සිටීමට පෙත්සම්කරු තීරණය කළේය.

ඉන්පසුව, පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී. නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ඉහත කී නඩුව පවතින අතරතුර, පෙත්සම්කරු විසින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත කරුණු සලකා බැලීය.

1. තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135(4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම,

2. මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) අනුව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති නීතිය ඉදිරියේ සම රැකවරණය යන මූලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000ක වන්දි මුදලක් වගඋත්තරකරුට ගෙවන ලෙසටත් එකී මුදල් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත්, ඊට අමතරව රුපියල් 10,000ක නඩු ගාස්තුවක්ද ගෙවිය යුතු බවත් එකී සියලු මුදල් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

Friday, January 19, 2018

දඩ කොළය සමඟ උසාවියට...


මේ අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙනි. මේ මා චුදිතයෙකු ලෙස උසාවියකයට ගිය පළමු අවස්ථාවයි. ඇමරිකාවේදී තබා ලංකාවේදීවත් මීට පෙර චුදිතයෙකු ලෙස උසාවියකට ගොස් නැත.

උසාවි යන්නට වුනේ රථවාහන වරදකට චෝදනා ලැබුවෙකු වශයෙනි. මේ මා එසේ රථවාහන වරදකට චෝදනා ලැබූ පළමු අවස්ථාව නොවේ. එහෙත්, පෙර එසේ චෝදනා ලැබූ අවස්ථා වලදී වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමූ බැවින් උසාවි යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

ඒ පසුගිය ඔක්තෝබර් මාසයේ මුල් සතියයි. හරියටම කියනවානම් පස්වන බ්‍රහස්පතින්දාය. මේ සතිය ඉතාම කාර්ය බහුල සතියක් විය. විශේෂයෙන්ම මේ කියන බ්‍රහස්පතින්දා දිනය ඉතාම කාර්ය බහුල දවසක් විය. උදේ සිටම වරින් වර පුද්ගලයින් ගණනාවක් සමඟ එකිනෙකට වෙනස් ඔලුව කුරුවල් වන දේවල් සාකච්ඡා කරමින් ගත වුනු මේ දිනය අවසන් වන විට මා සිටියේ පුදුම වෙහෙසකිනි.

හවස හයහමාරට පමණ නිවෙස බලා ආපසු යාම සඳහා මා කාර්යාලයෙන් පිට වුනෙමි. පස්වන මහලේ පිහිටි මගේ කාර්යාලයේ සිට පාරෙන් අනෙත් පස ගොඩනැගිල්ලේ ගරාජයේ සිවුවන මහලේ නවත්වා ඇති මෝටර් රථයට යන්නට බිම් මහලට ගොස් පාර පනින්නට අවශ්‍ය නැත. මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇති අහස් උමගකින් අනෙක් පැත්තට යා හැකිය.

මෝටර් රථය වෙත ළඟා වුනු මම එය ගරාජයෙන් පිටතට ගෙන පාරට දැම්මෙමි. පාරේ මේ කොටස අපේ ආයතනයට අයත් නොවූවත් ආයතන භූමිය ඇතුළේම ඇති කොටසකි. මේ වන විට බොහෝ දෙනෙක් වැඩ අවසන් කර ගෙවල් වලට ගොස් අවසන් නිසා පාරේ වෙනත් වාහන හෝ මිනිසුන් වැඩිපුර දකින්නට නොහැකි වූ බව මතකය. තෙවසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ගමන් කරන මේ මාර්ගයේ මා වාහනය එළවාගෙන ආවේ පුරුද්දෙන් මිස සවිඥානකව නොවේ.

මගේ ඔලුවේ තිබුණේ ගෙදර ගිය වහාම දරුවෙකුව විෂය බාහිර කටයුත්තක් සඳහා රැගෙන යා යුතු බව හා හෙට දිනයේත් කරන්නට වැඩ ගොඩක් ඇති බව පමණි. වාහනය එළවමින් මම මනසින් මේ වැඩ කටයුතු සැලසුම් කරමින් සිටියෙමි. සාමාන්‍යයෙන් මා මෙහි ලියන ලිපි මනසින් සැලසුම් කෙරෙන්නේද මෙසේ වාහනය එළවන අතරතුරදීය.

ගරාජයෙන් වාහනය එළියට ගැනීමෙන් පසු ළඟ ළඟම ට්‍රැෆික් ලයිට් කිහිපයක් පසු කළ යුතුය. ඒ නිසා එතරම් වේගයෙන් වාහනය ධාවනය කළ නොහැකිය.

වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. පසුපසින් එන පොලිස් මෝටර් රථයක් නිවෙන දැල්වෙන විදුලි සංඥා වලින් වාහනය පැත්තකට ගෙන නවත්වනන්නට සංඥා කරයි.

සාමාන්‍යයෙන් නොකරන දෙයක් නොවුවත්, මේ වෙලාවේ නියමිත වේගය ඉක්මවා රථය ධාවනය නොකළ බව ස්ථිරය. එසේනම් වාහනය නවත්වන්නට සංඥා කරන්නේ ඇයි? ඇමරිකාවේදී සාමාන්‍යයෙන් කිසියම් වරදක් කළොත් මිස හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට හෝ ලයිසන් ඉන්ෂුවරන්ස් පරීක්ෂා කිරීමට නිකරුණේ වාහනය නවත්වන්නේ නැත.

ඇතැම් විට පොලිස් වාහනයට හදිසි වැඩකට යන්නට මාර්ගයේ ඉඩ ලබා ගැනීම සඳහා අනෙක් වාහන පැත්තකට ගන්නට කියා මෙසේ සංඥා කරයි. ඒ නිසා, කෝකටත් කියා මම පැත්තකට කර වාහනය නැවැත්වූයෙමි.

පොලිස් මෝටර් රථයද නැවැත්වීය. එසේනම් මා කිසියම් වරදක් කර තිබේ. ඇතැම් විට තිරිංග හෝ සංඥා විදුලි බුබුලක් දැවී ගොස් විය හැකිය. මෙවැනි අවස්ථා වලද පොලීසිය වාහනය නවත්වයි. විදුලි බුබුල දැවී ගොස් ඇති බව දැන නොසිටි බව කියූ විට අවවාදයක් පමණක් ලබා ගැලවී යා හැකි අතර දඩ කොළයක් ලැබෙන්නේ මේ ගැනම මීට පෙරද පොලිස් නිලධාරියෙකු විසින් අවවාදයක් දී ඇති බව සටහන් වී ඇත්නම් පමණි.

වාහනය නැවැත්වූ මම විදුලි පහන් නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි බැලීමට එළියට බැස්සෙමි. මෙය අවිඥානකව මෙන් සිදු වූ දෙයකි. පොලිස් නිලධාරියෙකු විසින් වාහනය නැවැත්වූ විට වාහනයෙන් නොබැස වීදුරුව පාත් කර දෙඅත් සුක්කානම මත තබාගෙන සිටිය යුතුය. ඒ වාහනයේ ගිණිඅවි තිබිය හැකි නිසා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. මා කළ අයුරින් එළියට පැමිණි විට පොලිස් නිලධාරියාට සැක හිතුණොත් ඔහුගේ ගිණි අවිය මා වෙත එල්ල විය හැකිය. ඒ වෙලාවේ මෙය මට අමතක විය. මේ සියල්ල මට මතක් වුනේ වාහනයට වී සිටින ලෙස පොලිස් නිලධාරියා කෑ ගැසූ විටය.

පොලිස් නිලධාරියා වාහනය වෙත පැමිණ පළමුව මගේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය ඉල්ලා සිටියේය. ඉන් පසු, ඔහුගේ අතේ ඇති විද්‍යුත් උපකරණයෙන් ඒවායේ බාර්කෝඩ් ස්කෑන් කර දත්ත ඇතුළත් කර ගෙන ඒවා ආපසු දුන්නේය. මෙතෙක් මා පුන පුනා බලා සිටි චෝදනාව ඉදිරිපත් කළේ ඉන් පසුවය.

"රෙඩ් ලයිට් තියෙද්දී ආව නේද?"

එහෙම දෙයක් කළ බවක් මට මතක නැත.

"කොතනද?"

"xxx ස්ට්‍රීට් එකට හැරෙන හන්දියේදී..."

මේ වන විටත් මා සිටියේ මේ කියන තැනට යාර පණහක් පමණ දුරිනි.

"එහෙම කළ බවක් මට මතක නැහැ. මම සාමාන්‍යයෙන් කවදාවත් එහෙම කරන්නේ නැහැ."

මා කිවුවේ බොරු නොවේ. රතු සංඥාව වැටී තියෙද්දී දිගටම පැමිණි බවක් මට ඇත්තටම මතක නැත. කිසිදිනක හිතාමතා එසේ පැමිණද නැත. කෙසේවුවත්, බර කල්පනාවක සිටි නිසා රතු සංඥාව අවධානයට ලක් නොවී එසේ පැමිණියා වන්නට ඇති ඉඩ බැහැර කළ නොහැකිය.

මෙවැනි වැරදීම් මට සිදු නොවනවා නොවේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රතු සංඥාව වැටී තියෙද්දී වාහනය දකුණට හැරවිය හැකිය. එහෙත්, ඊට පෙර වාහනය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. මෙසේ මගේ ඉදිරියෙන් නවත්වා ඇති වාහනයක් දකුණට හැරවූ විට ඇතැම් විට ඔළුවට යන්නේ ඉදිරියේ වූ වාහනය ධාවනය කළේ කොළ පත්තු වූ බැවින් බවයි. එවැනි ඇතැම් අවස්ථා වල වාහනය ඉදිරියට ගැනීමෙන් පසු කොළ පත්තුවෙන තුරු තවදුරටත් නවත්වා ගෙන සිටිය යුතු බව අමතක වෙන්නට ඉඩක් තිබේ.

"රෙඩ් ලයිට් එකේ වාහනය නැවැත්තුව බව මතකද?"

මම කල්පනා කළෙමි. රතු සංඥාව වැටී තිබුණු බවක්වත්, වාහනය නැවැත්වූ බවක්වත් මට මතක නැත. ඇත්තටම වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැත.

"ඔබ වාහනය රෙඩ් ලයිට් එකේ නවත්වලා කොළ වැටෙන්න පෙර ඉදිරියට ධාවනය කළා!"

"මම කවදාවත් එහෙම දෙයක් හිතාමතා කර නැහැ. ඇත්තටම එහි වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැහැ. මේක මම හැමදාම වාහනය එළවන සාමාන්‍ය පාර. මේ හරියෙදී වාහනය එළවෙන්නේ මොළය ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට අවිඥානිකව වගේ. කොහොම වුවත් ඔබ කියන වැරැද්ද මගේ අතින් වුණේ කොහොමද කියන එක මට හිතා ගන්නවත් බැහැ."

මම ඔහුට කිවුවේ සම්පූර්ණ ඇත්තයි.

"මට ඉදිරියෙන් රෙඩ් ලයිට් එකේ වෙනත් වාහනයක් නවත්වල තිබුණද?"

"ඒක මම දන්නෙ නැහැ"

සාමාන්‍යයෙන් ඇමරිකාවේ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරියට අදාළ නොවන මෙවැනි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත.

"රතු ලයිට් එකේ ධාවනය කරමින් ඔබ කළේ අවදානම් සහගත වැඩක්. ඒ නිසා ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිනොගන්නවානම් දින 90ක් ඇතුළත ඒ බව දැනුම් දිය යුතුයි. වරද පිළිගන්නවානම්, සති දෙකක් ඇතුළත මෙහි විස්තර ඇතුළු කිරීමෙන් පසුව අන්තර්ජාලය හරහා දඩය ගෙවිය හැකියි. එසේ නැත්නම් දුරකථනයෙන් හෝ තැපැල් මාර්ගයෙන් දඩය ගෙවන්නත් පුළුවන්!"

ඇමරිකාවේදී දඩ කොළයක් ලැබුණු පසු පොලිස් නිලධාරියා සමඟ වාද කර පලක් නැත. එක්කෝ වරද පිළිගෙන දඩය ගෙවිය යුතුය. නැත්නම් උසාවි යා යුතුය.

පෙර කී පරිදි, මේ මට රථවාහන වරදකට දඩකොළයක් ලැබුණු පළමු අවස්ථාව නොවේ. තෙවන අවස්ථාවයි. ඊට අමතරව අඩු වශයෙන් තවත් දෙවරක්වත් අවවාද ලැබී තිබේ. එහෙත්, ඒ සියල්ල වෙනත් ප්‍රාන්ත වලදීය. මේ අවවාද රථවාහන කාර්යාංශයේ දත්ත වලට එකතු නොවෙතත් පොලිස් දත්ත වලට යයි.

අවසන් වරට දඩ කොළයක් ලැබුණේ වසර දෙකහමාරකට පමණ පෙරය. ඒ ප්‍රාන්ත කිහිපයක් පසුකරමින් කැනඩාව දක්වා දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දීය. විනාඩි දෙක තුනක් කලින් යන්නටනම් පිස්සුවෙන් වාගේ වාහනය එළවීමේ කිසිම තේරුමක් නැතත්, දවසකට සැතපුම් පන්සීයක් හයසීයක් පමණ යන්නට ඉලක්කයක් ඇති විට තරමක් වේගයෙන් යාමේ සැලකිය යුතු වාසියක් තිබේ. ඒ නිසා, විශේෂයෙන්ම මෙවැනි දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දී උපරිම සීමාවට වඩා තරමක් වැඩියෙන් වාහනය ධාවනය කරන්නට මා පැකිළෙන්නේ නැත. උපරිම සීමාවට වඩා සැතපුම් පහක් හයක් වැඩියෙන් ධාවනය කළා කියා බොහෝ විට පොලීසියෙන් නවත්වා දඩ කොළයක් දෙන්නේ නැත. එහෙත්, එසේ කරන අවස්ථාද නැතුවා නොවේ.

මේ කියූ පෙර අවස්ථාවේදී වාහනය ධාවනය කරමින් සිටියදී ප්‍රාන්ත සීමාවක් පසු වූ අතර ඒ සමඟම උපරිම වේග සීමාව සැතපුම් දහයකින් අඩු විය. මේ බව අවධානයට ලක් වුවත්, පැය දෙකතුනක් වැඩි වේගයකින් රථය ධාවනය කිරීමෙන් පසුව එක වරම වේගය අඩු කරන්නට ටිකක් කම්මැලි හිතේ. මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් මගේ පුරුද්ද තිරිංග නොයොදා ඇක්සලරේටරය පාලනය කිරීමෙන් හෙමිහිට වේගය අඩු කිරීමයි.

කොහොම වුනත්, ප්‍රාන්ත සීමාව පසු කර වැඩි දුරක් යන්නට හෝ වේගය අඩු කරන්නට පෙරම පොලිස් මෝටර් රථයක විදුලි ආලෝක සංඥා දැල්වුනේය. එවිට, පරක්කු වැඩිය. සිදුවිය යුතු පරිදිම, දඩ කොළයක් ලැබුණේය.

ඉහත අවස්ථාවේ වරද පිළිගෙන දඩ මුදල ගෙවනු හැර වෙනත් විකල්පයක් තිබුනේම නැත. පළමුව, මේ වරද මා කළ වරදකි. එය ස්ථිරය. දෙවනුව, වරද පිළිනොගෙන නිවසෙන් සැතපුම් සියගණනක් ඈත පිහිටි වෙනත් ප්‍රාන්තයක උසාවියකට නියම කරන දිනක යාම ප්‍රායෝගිකව කළ නොහැකි, එමෙන්ම කාලය හා මුදල් වැය වන කටයුත්තකි. තෙවනුව, එසේ ගියද බොහෝ විට පොලිස් නිලධාරියා සතුව වරද ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙනවා විය යුතුය. ඒ නිසා, වරද පිළිගෙන දඩමුදල ගෙවා දැම්මෙමි.

අපේ ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මෙවැනි රථවාහන වරදකට වරදකරු වූ විට දඩ මුදලට අමතරව තවත් වැඩිපුර මුදලක් ගෙවා හෝ නොගෙවා මේ වරද රථවාහන කාර්යාංශයෙන් හා රක්ෂණ සමාගමෙන් සැඟවිය හැකිය. එවිට රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වෙන්නේ හෝ රක්ෂණ වාරිකය ඉහළ යන්නේ නැත. මේ අවස්ථාව ලැබෙන්නේ නිශ්චිත අවුරුදු ගණනක් තුළ වෙනත් රථවාහන වරදකට වැරදිකරු වී නැති අයට පමණි. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කිරීම එක්තරා ආකාරයකින් ආණ්ඩුව විසින්ම නීත්‍යානුකූල ලෙස පගාව ගැසීමකි.

මීට පෙර, වෙනත් ප්‍රාන්තයකදී මගේ පළමු රථවාහන වැරදි දඩය ගෙවන විට මම ඩොලර් පණහක් වැඩිපුර ගෙවා ඉහත විකල්පයෙන් ප්‍රයෝජන ගත්තෙමි. ඒ ප්‍රාන්තයේ නීතියෙන් මේ අවස්ථාව ලැබෙන්නේ වසර හතකට එක් වරක් පමණි. එමෙන්ම, ඉන්පසුව ගෙවෙන වසරක කාලය තුළ දෙවැනි වරටත් වරදක් සිදුවුවහොත් ඩොලර් 50 ගෙවා තිබුණත්, පෙර වරද හා අලුත් වරද යන දෙකම රථවාහන කාර්යාංශයට වාර්තා කෙරේ. එවිට එය පොදු තොරතුරක් බවට පත්වන නිසා රක්ෂණ වාරික සැලකිය යුතු ලෙස ඉහළ යයි.

එහෙත්, දෙවන අවස්ථාවේදී අදාළ උසාවියේ නිලධාරීන් විමසු විට දැනුම් දුන්නේ එම ප්‍රාන්තයේ එවැනි නීතියක් නොමැති බවයි. ඒ නිසා, ඉහත දඩය ගෙවා වරද පිළිගැනීමෙන් පසු රක්ෂණ වාරිකය සුළු වශයෙන් ඉහළ ගිය අතර රථවාහන කාර්යාංශයේ රියදුරු වාර්තාවේ පොයින්ට්ස් දෙකක් සටහන් විය. තෙවන දඩකොළය ලැබෙන විටත් මේ පොයින්ට්ස් දෙක රියදුරු වාර්තාවෙන් ඉවත්ව තිබුණේ නැත.

අලුත් දඩකොළය ලැබීමෙන් පසු වාහනය එළවාගෙන ගෙදරට එද්දී මේ සියලු දේ මතක් වුණත් ඒ වන විට පරක්කු වැඩිය. හරියටම මතක නැතත්, මගේ අතින් මේ  කියන වරද සිද්ධ වූවා වන්නට විශාල ඉඩක් තිබේ. ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ගාණක් කඩා ගන්නට හෝ තරහක් පිරිමහගන්නට දඩ කොළ ලියන්නේ නැත. මා විසින් රථවාහන වරදක් නොකළේනම් මා පෞද්ගලිකව නොහඳුනන මේ පොලිස් නිලධාරියාට නිකරුණේ දඩ කොළයක් ලියන්නට හේතුවක් නැත.

මෙයින් අදහස් වන්නේ ඇමරිකාවේ පොලිස් නිලධාරීන් යනු කිසිදු වරදක් නොකරන සර්ව සාධාරණ පුද්ගලයින් බව නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු වන පොලිස් නිලධාරියෙකු විසින් කිසියම් අයෙකුට නඟන චෝදනාවක් ඔහුගේ දැනුමට හා සංස්කෘතියට සාපේක්ෂ පූර්ව නිගමන වලින් වියුක්ත නැත. ඒ නිසා, කිසියම් පොලිස් නිලධාරියෙකු අතින් එක සමාන වරදක් කරන දෙදෙනෙකු අතරින් එක් අයෙකුට දඩ කොළයක් ලැබෙන්නට වැඩි සම්භාවිතාවක් තිබිය හැකි වුවත්, එවැනි නිලධාරියෙකුගේ නිගමනයට අනුව වරදක් නොකළ අයෙකුට දඩ කොළයක් දෙන්නට විශාල සම්භාවිතාවක් නැත.

අපේ ප්‍රාන්තය තුළදී සුළු රථවාහන වරදකට දඩ කොළයක් ලැබුණු විට ප්‍රතිචාර දැක්විය හැකි විකල්ප ක්‍රම කිහිපයකි. පළමු විකල්පය වන්නේ වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමීමයි. එවිට මේ තොරතුර රථවාහන කාර්යංශයට වාර්තා කෙරෙන නිසා රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වන අතර, රක්ෂණ වාරිකයද ඉහළ යයි. දෙවන විකල්පය වන්නේ වරද පිළි නොගන්නා නමුත් තීන්දුව පිළිගනිමින් දඩ මුදල ගෙවා දමා තීන්දුවට එරෙහිව උසාවි යාමට ඇති අයිතිය අත හැරීමයි. එවිට ලැබෙන ප්‍රතිඵලයද පළමු ප්‍රතිඵලයට වඩා වෙනස් නැත. තෙවන විකල්පය වන්නේ වරද පිළිනොගෙන පැමිණිලිකරුට, එනම් ප්‍රාන්ත රජයට, අභියෝග කරමින් උසාවි යාමයි.

මෙවැනි රථවාහන වරදක් ප්‍රාන්තයට එරෙහි නීතිමය වරදක් ලෙස සැලකෙන බැවින් වරද ඔප්පු කිරීමේ වගකීම ප්‍රාන්තය සතුය. මෙහිදී ප්‍රාන්තය නියෝජනය කරන්නේ අදාළ පොලිස් නිලධාරියාය. ඔහු හෝ ඇය වෙනුවට වෙනත් පොලිස් නිලධාරියෙකු උසාවි එන අවස්ථාද තිබෙන්නට පුළුවන. උසාවි යාමෙන් පසුවද වරදකරු වුවහොත් මුල් දඩමුදලට අමතරව නඩු ගාස්තුද ගෙවන්නට සිදු විය හැකිය. පොලිස් මෝටර්රථ වල සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් කැමරා තිබෙන අතර බොහෝ විට මෙවැනි අවස්ථාවක සිදු වූ දෙය ගැන විද්‍යුත් සාක්ෂි පොලිස් නිලධාරියා සතුව ඇති නිසා පොලිස් නිලධාරියෙකුගේ තීන්දුවකට අභියෝග කිරීම අවදානම් සහගත කටයුත්තකි.

දඩ කොළය ලැබෙන විට මගේ වාහනයේ සිටියේ මා පමණක් නිසා මට කිසිදු සාක්ෂිකරුවෙකුගේ උදවුවක් නැත. පොලිස් නිලධාරියාටද සාක්ෂිකරුවන් නැතත්, සාමාන්‍යයෙන් උසාවියේ පූර්ව නිගමනය වන්නේ පොලිස් නිලධාරියාගේ සාක්ෂි වඩා විශ්වාසදායක බවයි. ඒ පූර්ව නිගමනය බිඳ හෙළන්නටනම්, පොලිස් නිලධාරියාට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කළ හැකි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් නොතිබුණු බව ඔප්පු කරන්නට සිදු වේ. මේ කටයුත්තේ ඇති අමාරුවත්, කියන දවසක අනෙක් වැඩ අතපසු කර උසාවි ගොස් පැය ගණනක් රස්තියාදු වන්නට වීමේ අපහසුතාවයත් සැලකූ විට අන්තර්ජාලය හරහා  දඩමුදල ගෙවා දැමීම හොඳම විකල්පය බව පෙනී ගියේය.

දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකි පරිදි දත්ත ඇතුළු කරන්නට දෙසතියක් දක්වා කාලයක් ගත විය හැකිය. එහෙත්, දෙසතියකට ආසන්න වුවත් දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයේ දකින්නට නැත. මගේ වාසනාවට පොලිස් නිලධාරියාට මේ කටයුත්ත අමතක වූවාවත්ද?

මීට පෙර වෙනත් ප්‍රාන්තයකදී දඩකොලයක් ලැබුණු අවස්ථාවේදීද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට දඩකොලයේ වූ උපදෙස් පරිදි අදාළ උසාවියට දුරකථන ඇමතුමක් දීමෙන් පසු සොයාගත හැකි වුණේ උසාවියේ ලිපිකරු විසින් දඩකොලයේ තොරතුරු අන්තර්ජාලයට ඇතුළත් කිරීමේදී මගේ වාසගමෙහි අකුරක් වරද්දා ඇති බවයි. ඇමරිකාවට නුහුරු හා ඉතා දිගු ලංකාවේ නම් වල අකුරු වැරැද්දීම මෙහිදී කලාතුරකින් සිදුවන දෙයක් නොවේ. මෙවරද සිදු වී ඇත්තේ මේ දෙයම විය හැකිය.

කෙසේ වුවද, අපේ ප්‍රාන්තයේ අදාළ වෙබ් අඩවියෙන් දඩ කොළයේ අනු අංකය ඇතුළු කිරීමෙන්ද විස්තර පරීක්ෂා කළ හැකිය. ඒ නිසා මම ඒ සඳහා දඩ කොළය අතට ගත්තෙමි. මේ කටයුතු සිදුවන්නේ දඩ කොළය ලැබී සතියකට පමණ පසුවය.

වැරැද්ද අහු විය. වාසගම වරද්දා තිබෙන්නේ උසාවියේ ලිපිකරු විසින් නොවේ. දඩ කොළය ලියූ පොලිස් නිලධාරියා විසින්මය. එය ඔහුගේ නොසැලකිල්ලයි. ලාංකිකයින්ගේ නම් ඉතා දිගුවීම හෝ ඇමරිකානුවන්ට නුහුරු වීම රථවාහන පොලිස් නිලධාරියෙකුට ඉදිරිපත් කළ හැකි නිදහසට කරුණක් විය නොහැකිය. රියදුරු බලපත්‍රයේ ඇති නම ඇතුළු තොරතුරු දඩ කොළයේ නිසි ලෙස සටහන් කිරීම ඔහුගේ රාජකාරියේ කොටසකි. ඔහුට එය නිවැරදිව කළ නොහැකිනම් එය රාජකාරිය කිරීමට ඔහුට ඇති යෝග්‍යතාවයේ අඩුවකි.

මේ වැරැද්ද අල්ලා ගැනීමෙන් පසු, දඩ කොළය තවදුරටත් පරීක්ෂා කරන විට තවත් වැරැද්දක් අහු විය. එහි මගේ ජාතිය ඉදිරිපිට පොලිස් නිලධාරියා විසින් "W" අකුරක් ලකුණු කර තිබේ. ආසියානු (Asian) යන්න W ලෙස කෙටිකරන්නට විදිහක් නැත. මේ පොලිස් නිලධාරියා විසින් W අකුර සටහන් කර ඇත්තේ සුදු (White) යන්න හැඟෙන්නටය. මේ වෙලාවේ මට මතක් වුණේ මීට පෙර ලැබුණු දඩකොලයේද මේ අයුරින්ම ජාතිය W ලෙස සටහන්ව තිබූ බවයි.

ඉඳහිට වුවත් සුද්දන් තරමටම වාගේ සුදු හමක් තිබෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තෝ සිටිති. එහෙත්, මා එවැනි අයෙකු නොවේ. මගේ හම සුදුහමක් නොවන බව සිහි බුද්ධිය තිබෙන ඕනෑම කෙනෙකුට තේරේ. වාසගම වැරදීම පොලිස් නිලධාරියාගේ නොසැලකිල්ල නිසා සිදු වූවක් බව පෙනෙතත් මේ දෙවන වරද එවැන්නක් නොව චේතනාන්විතවම කර ඇති වරදකි.

සුදු ජාතිකයින් නොවන්නන්ට ජාතිවාදී පදනමකින් වැඩිපුර චෝදනා ගොනු කරන බව ඇමරිකාවේ පොලිස් නිලධාරීන්ට කෙරෙන චෝදනාවකි. රථවාහන දඩ කොළ වලින් චුදිතයින්ගේ ජාතිය පිළිබඳ දත්ත එකතු කරන්නට එක් හේතුවක් වන්නේ එම දත්ත පරීක්ෂා කර එවැනි වෙනස් ලෙස සැලකීමක් සිදුවන්නේදැයි පරීක්ෂා කළ හැකි වීමයි. ඇමරිකාවේදී ජාතිය යනු ශරීරයේ භෞතික ස්වරූපය හා සම්බන්ධ දෙයක් නිසා මෙය චුදිතයෙකු හඳුනා ගැනීමටද ඉවහල් වන්නකි. සුළු රථවාහන වැරදි කරන සුදු ජාතිකයින් නොවන අයගේ ජාතිය සුදු ලෙස සටහන් කිරීම මඟින් මේ පොලිස් නිලධාරියා මෙන්ම එවැනි වෙනත් පොලිස් නිලධාරීන් විසින්ද උත්සාහ කරන්නේ වෙනස් ලෙස සැලකීම පිළිබඳ චෝදනා වලින් ගැලවෙන්නටය. කොහොම වුණත්, අපේ බදු මුදලින් යැපෙන මේ පොලිස් නිලධාරියා මේ වෙලාවේ කර ඇත්තේ ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කිරීමකි. එවැන්නෙකු පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකි.

අද අපේ ජීවිත බොහෝ දුරට තීරණය කරන්නේ දත්ත මඟිනි. මේ වියුණුවේ ලිපි තුළ වුවත් බොහෝ විට මා කරන්නේ දත්ත මත පදනම්ව නිගමන වලට පැමිණීමයි. සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන්නේද එයයි. ඇත්තටම පදනමක් නැති හිතළු මත නිගමන වලට පැමිණෙනවාට වඩා දත්ත මත පදනම් වීම සාර්ථකය.

කෙසේ වුවත්, දත්ත කියන්නේ පරම සත්‍යයන් නොවේ. අපට හමුවන දත්ත වල බොහෝ වැරදි තිබේ. මේ වැරදි අහඹු වැරදිනම් එවැනි දත්ත මත පදනම්ව කරන නිගමන එතරම්ම වරදින්නේ නැත. එහෙත්, වැරදි සිදු වන්නේ නිශ්චිත රටාවකටනම් එම දත්ත මත පදනම්ව කරන නිගමන වලට සිදුවන්නේ විශාල බලපෑමකි. මේ පොලිස් නිලධාරියා වැනි පොලිස් නිලධාරීන් සුදු නොවන ඇමරිකානුවන්ගේ ජාතිය සුදු ලෙස සටහන් කළත් එය අනිත් පැත්තට කරන්නේ නැත. මගේ අදහස මෙය සුදු පොලිස් නිලධාරීන් විසින් හිතාමතාම කරන දෙයක් බවයි. අලුත් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රස්සාව පරිස්සම් කර ගැනීමට උදවුවන මෙවැනි "ට්‍රික්ස්" උගන්වනවා විය හැකිය.

දඩ කොළය ලියූ පොලිස් නිලධාරියාට සිය රාජකාරිය කරන්නට සුදුසු වන තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් හා/හෝ අවංක කමක් නොතිබුණු බව දැන් මට තර්ක කළ හැකිය. ඒ අනුව, වරද පිළි නොගන්නා බව දන්වමින් නඩු විභාගයක් ලබා දෙන මෙන් මම ඉල්ලා සිටියෙමි.

පළමුව, දඩ කොළයේ සඳහන් පුද්ගලයා මා නොවේ. එහි වාසගම පමණක් නොව ජාතියද මගේ එම තොරතුරු සමඟ නොසැසඳේ. ඒ නිසා, නම නිවැරදි කරන තුරු අඩු වශයෙන් උසාවියේදී මුලින්ම දෙන දිවුරුම හෝ මට දිය නොහැකිය.

අපේ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයක නම යටතේ මුලින්ම ලොකු කැපිටල් අකුරින් මුද්‍රණය කර ඇත්තේ වාසගමයි. රථවාහන පොලිස් නිලධාරියෙකු මෙය හොඳින්ම දැන සිටිය යුතුය. එය නිසි පරිදි දඩ කොළයට පිටපත් කළ නොහැකිනම් එය පොලිස් නිලධාරියාගේ (නො)සැලකිල්ල හෝ (අ)යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකි. තමන්ගේ රැකියාව හා අදාළ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට තරම් ශාරීරික හා/හෝ මානසික යෝග්‍යතාවයක් නැති පොලිස් නිලධාරියෙකුගේ නිගමන නිවැරදි නොවන්නට ඉඩ තිබේ.

දෙවනුව, පොලිස් නිලධාරියා විසින් මගේ ජාතිය වැරදියට සටහන් කර තිබේ. ඒ පහත හේතුවක් නිසා විය හැකිය.

1. ඔහුට වර්ණ හඳුනා ගැනීමේ අපහසුවක්, එනම් ශාරීරික දුර්වලතාවයක් තිබුණාදැයි මා දන්නේ නැත. එසේනම්, සංඥා විදුලි එළියේ රතු පැහැය ලෙස ඔහු දැක්කේ කොළ පැහැයදැයි මා දන්නේ නැත. මා වාහනය ඇතුළේ සිටියානම් ඔහුට මගේ හමේ පැහැය පහසුවෙන් හඳුනාගත නොහැකි වීම පිළිගත හැකි වුවත්, මේ අවස්ථාවේදී මා වාහනයෙන් එළියට පැමිණීම නිසා මගේ වාසියට තවත් තර්කයක් එකතු කළ හැකිය. පොලිස් නිලධාරියාගේ ශාරීරික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

2. ඔහුට ඒ අවස්ථාවේ කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණාද කියා මම දන්නේ නැත. පුද්ගලයෙකුගේ හමේ පැහැය නිවැරදිව නිර්ණය කළ හැකි තරම් යහපත් මානසික තත්ත්වයක නොසිටි පොලිස් නිලධාරියෙකුට වාහනය ඉදිරියට ධාවනය කරන මොහොතේ සංඥා පුවරුවේ දැල්වී තිබුණේ කවර පාටක එළියක්ද යන්න නිගමනය කිරීමේදීද වරදින්නට පුළුවන. පොලිස් නිලධාරියාගේ මානසික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

3. මේ පොලිස් නිලධාරියා යහපත් මානසික හා ශාරීරික යෝග්‍යතාවයකින් සිටියානම්, ඔහු ප්‍රාන්ත රජයට දැන හෝ නොදැන වැරදි තොරතුරු වාර්තා කිරීමට ඉඩක් ඇති අයෙක් විය හැකිය. එසේනම්, ඔහුගේ නිගමන අපක්ෂපාත හා අවංක නිගමන ලෙස සැලකිය නොහැකිය. මගේ බදු මුදලින් යැපෙන පොලිස් නිලධාරියෙකු ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කරයිනම් එය ඉතා බරපතල තත්ත්වයකි.

පොලිස් නිලධාරීන් විසින් මේ අයුරින් වැරදි දත්ත වාර්තා කිරීම ඉතා බරපතල තත්ත්වයක් බව වෘත්තියෙන් මෙවැනි දත්ත විශ්ලේෂණය කර නිගමන ඉදිරිපත් කරන්නෙකු වන මට ඉඳුරාම කිව හැකිය. දැන් මේ දත්ත විශ්ලේෂණය කරන අයෙකුට පෙනෙන්නේ සුදු ජාතිකයින් රථවාහන වැරදි කරන්නට වැඩියෙන් ඉඩ ඇති බවත්, ආසියානුවන් වැරදි කරන්නට අඩුවෙන් ඉඩ ඇති බවත්ය. ඒ අනුව තීරණ ගන්නා රක්ෂණ සමාගම් සුදු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා ඉහළ දමා ආසියානු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා පහළ දමයි. මේ නිසා රක්ෂණ සමාගම් වල ලාභ අඩු වේ. රටේ ආර්ථිකයට නරක බලපෑමක් සිදු වේ. ඉඳහිට පොලිස් නිලධාරියෙකු අතින් සිදුවන අහඹු වැරදීමක් නිසා එසේ වන්නට ඉඩක් නැතත්, බොහෝ පොලිස් නිලධාරීන් විසින් පුරුද්දක් වශයෙන් මෙය කරන්නේනම් එයින් විශාල අයහපත් බලපෑමක් සිදු විය හැකිය.

දැන් මට අපේ ප්‍රාන්ත නීතිය අනුව දඩ මුදලක් ගෙවන්නට නියම වී ඇත්තේ රතු එළියේ වාහනය ධාවනය කිරීමේ වරදටය. එහෙත්, ඒ හේතුවෙන් කිසිවෙකුට හානියක් වූයේ නැත. එය නීතියෙන් වරදක් ලෙස සැලකෙන්නේ එසේ කිරීමෙන් අනතුරක් සිදුවී ජීවිත හා දේපොළ හානි සිදුවන්නට ඉඩක් ඇති බැවිනි. එසේනම්, පොලිස් නිලධාරියා විසින් නොසැලකිල්ල මත හෝ ශාරීරික හෝ මානසික යෝග්‍යතාවයක් නැති කම මත හෝ හිතාමතාම ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමද විශාල පිරිසකට අයපතක් වීමට තුඩු දෙන දෙයකි. එසේ ක්‍රියා කරන පොලිස් නිලධාරියෙකු විසින් වාර්තා කරන තොරතුරු මත මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

විනිසුරු වෙත ඉදිරිපත් කළ හැකි තර්ක සියල්ල ගොඩ නඟා ගැනීමෙන් පසු මම වරදට අදාළ ප්‍රාන්ත නීති, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකසා ඇති මාර්ගෝපදේශ, අදාළ ස්ථානයේ සිතියම් ආදියද සොයාගෙන ගොනු කර ගත්තෙමි.

නඩු විභාගය පැවතුණේ අවුරුද්දේ ආරම්භයේදීමය. රැකියාව හා අදාළ කටයුතු කල් දමන්නට අවශ්‍ය නොවන දිනයක් වීම නිසා හිතට වද දුන් තවත් ප්‍රශ්නයක් විසඳුනේය.

පැය තුන හතරක් රස්තියාදු විය. කොහොම වුණත් ගත් අවදානමෙන් පාඩුවක් වුණේ නැත. ගෙවිය යුතුව තිබුණු දඩ මුදල ඉතිරි වුණා පමණක් නොව රියදුරු වාර්තාවට එකතු විය හැකිව තිබුණු පොයින්ස් හතරක්ද එකතු වීම වලක්වා ගත හැකි විය. ඒ නිසා ඇමරිකාවේදී පමණක් නොව ජීවිත කාලයටම ලැබූ පළමු උසාවි අත්දැකීම කෙළවර වුණේ නරක විදිහට නොවේ.

Thursday, July 20, 2017

පොලීසිය තවමත් හිටපු තැනමද?


සයිටම් විරෝධය අනවශ්‍ය දුරකට දිග්ගැසෙමින් පවතින බව මගේ පෞද්ගලික අදහසයි. රජය පැත්තෙන් සෑහෙන තරම් නම්‍යශීලී වී සිටියදීද සයිටම් විරෝධීන් සුළුවෙන් හෝ නම්‍යශීලී වන්නට සූදානම් නැත. එහෙත්, ඒ මා මෙය දකින ආකාරයයි. සියළු දෙනාම මා සිතන අයුරින් සිතිය යුතු නැත. සයිටම් යනු විශාල ප්‍රශ්නයක් ලෙස සිතන සැලකිය යුතු පිරිසක් සිටින අතර සයිටම් විරෝධය නොතකා හැරිය යුතු තරම් සිල්ලර එකක් නොවේ.

අවංකවම සයිටම් යනු විශාල පෞද්ගලික හෝ පොදු ප්‍රශ්නයක් සේ දකින අයට පමණක් නොව කිසියම් දේශපාලන අරමුණක් ඇතිව මේ විරෝධය හා බද්ධ වී සිටින අයට පවා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් තිබේ. අනුමත කළ නොහැක්කේ මෙවැනි විරෝධතා පොදු දේපොළ විනාශ කරන මට්ටමකට යාම පමණි.

පොලීසිය විසින් සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට දරන උත්සාහයක් සිසුන් එක්ව ව්‍යවර්ථ කරන අවස්ථාවක වීඩියෝ දර්ශන මේ වන විට වත්පොතේ වේගයෙන් පැතිරෙමින් තිබේ. ඉතා පැහැදිලිවම, මේ උත්සාහය සමාන කළ හැක්කේ අත් අඩංගුවට ගැනීමකට වඩා පැහැර ගැනීමකටය. සිසුවා අත් අඩංගුවට ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටින අතර ඇතැම් අය රැවුල් වවා සිටිති. මේ අය පොලිස් බුද්ධි අංශ වලට සම්බන්ධ නිලධාරීන් විය හැකිය.

හරියටම දන්නේ නැතත්, මෙසේ අත් අඩංගුවට ගැනීමට සැරසෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු දේපොළ හානි කිරීම සම්බන්ධව චෝදනා ලබා ඇති සිසුවෙකු විය හැකිය. එවැනි සිදුවීම් අධෛර්යමත් කිරීම සඳහා සිද්ධියට සම්බන්ධ වූ සිසුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුය. එහෙත්, මේ සිදුවීම දේශපාලනික කරුණක් අරභයා පැවති විරෝධතා සටනකදී සිදුවූ දෙයක් බවද අමතක නොකළ යුතුය.

මේ වරද හා අදාළව සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට පෙර වරෙන්තුවක් පෙන්වීම අවශ්‍ය කරුණක් නොවිය හැකිය. එමෙන්ම, ඇතැම් වරදකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මෙවැනි උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවනවාද විය හැකිය. එහෙත්, මේ අවස්ථාවේදී නිල ඇඳුම් රහිතව පැමිණ විරෝධතා සටනකදී පොදු දේපොළ හානි කිරීමට චෝදනා ලබා සිටින සිසුවෙකු (මා හිතන පරිදි) අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පොලීසිය විසින් අනවශ්‍ය දුරක් යාමකි.

පොදු දේපොළ හානි කිරීම වරදක් වුවත්, විරෝධතා සටනකදී වරක් එසේ කළ අයෙකු නිදැල්ලේ සිටීම මිනීමරුවෙකු හෝ ස්ත්‍රී දූෂකයෙකු නිදැල්ලේ සිටීම තරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එවැනි චෝදනාවක් ලබා සිටින අයෙකු නිල ඇඳුම් රහිතව පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට තමන් එවැනි අත් අඩංගුවට ගැනීමක් නොකළ බව කියන්නට හැකියාව තිබේ. එවැනි සිදුවීම් ලංකාවට නුහුරු දේ නොවේ. යම් හෙයකින් මේ අවස්ථාවේ එසේ සිදු නොවුනද, පොලීසිය විසින් කරන එවැනි එක් අත් අඩංගුවට ගැනීමක් වෙනත් අයටද සිසුන් පැහැර ගැනීමට ඉඩකඩ සලසයි. එය හොඳ තත්ත්වයක් නොවේ. පොලීසිය විසින් මේ ආකාරයේ අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමෙන් විය හැකි සමස්ත හානිය චෝදනා ලබා සිටින සිසුවා නිදැල්ලේ සිටීමෙන් සිදුවන හානියට වඩා බොහෝ වැඩිය.

අනෙක් අතර මෙවැනි සිදුවීම් වලින් වෙන්නේ සයිටම් විරෝධී සටනට ඉන්ධන හෙලනු ලැබීම හා විරෝධතාකරුවන්ට විරෝධය දැක්වීමට තවත් කරුණු හදා දීමකි. සයිටම් විරෝධය දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය අය අතර වෙනස් දේශපාලනික අරමුණු ඇති විවිධ කණ්ඩායම් සිටින්නට පුළුවන.

https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1038730942934020/

(Image: http://www.salem-news.com/articles/february262012/white-vans.php)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...