වෙබ් ලිපිනය:

Saturday, May 7, 2022

පල්ල ගෑවෙන මල්ල හාරන එල්ලයක් නැති සෙල්ලමක්?


මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙන විදිහට රටේ තිබෙන ද්‍රවශීල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන පණහකටත් අඩුයි. මට තේරෙන විදිහටනම් IMF එකෙන් සල්ලි ගන්න එකත් ටිකක් දුරස්ථ ඉලක්කයක් වගේ. මහ බැංකුවට IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හැබැයි එක අවස්ථාවක රජය පැත්තට බෝලය පාස් වෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. 

ඉතා පැහැදිලිවම, දේශපාලන ස්ථාවරත්වය IMF එකෙන් ණයක් ගනිද්දී ප්‍රශ්නයක් වෙනවා. දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳුනත්, IMF එක විසින් යෝජනා කරන වැඩ පිළිවෙලකට දේශපාලන සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි ලෙසම මතු වෙනවා. ඔය ප්‍රශ්න දෙකම මතු වෙන්නේ IMF එක විසින් ආර්ථිකය ගොඩ දැමිය හැකි විසඳුමක් යෝජනා කළාට පස්සේ. හැබැයි මට තිබෙන බැරෑරුම් ප්‍රශ්නය මේ තියෙන තැන ඉඳලා IMF එකට වුනත් ආර්ථිකය ගොඩ දැමිය හැකිද කියන එක. වැඩේ ඒ තරමටම ඇනිලයි තියෙන්නේ.

ආණ්ඩුවනම් ඉන්නේ කරකවලා අත ඇරලා වගේ. පහුගිය අවුරුදු දෙක ඇතුළත ආණ්ඩුව විසින් කළේ එදා වේල විසඳුම් හොයන එක. දැන්නම් එදා වේල විසඳුම්වත් නැහැ. රුවල් කැඩිච්ච ඔරුවක් වගේ ආර්ථිකය ඔහේ පාවෙන්න ඇරලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. එක පැත්තකින් බැලුවහම එහෙම ඉන්න එකත් හොඳයි. 

මේ ප්‍රශ්නයට කිසිදු විපක්ෂ කණ්ඩායමක් සතුවත් පැහැදිලි විසඳුමක් නැහැ. අරගලකරුවන් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. සමහර අය හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් ණය ගෙවලා පරණ පුරුදු ජීවිතයට පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක් නැති තැනකට වැටුනට පස්සේ හිත හදාගන්න ඔය වගේ සිහින දකින එක නරකම නැතත් මේ සිහින වලට සිහින ලෝකයෙන් ඔබ්බට යන්න පුළුවන්කමක් නැහැ.

රට මේ තැනට වැටෙන්න දූෂණ, වංචා හේතු වී තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඒ දූෂණ, වංචා වලට එරෙහිව හඬ අවදි කිරීමත් අවශ්‍යම දෙයක්. හැබැයි හොරකම් කරපු සල්ලි හොයාගෙන ගොඩ යන්න බලා සිටීමනම් දියසෙන් ඇවිත් රට ගොඩදාන තුරු බලා හිටියා වගේම වැඩක්. 

මට පේන විදිහට සිදු වෙන්න වැඩිපුරම ඉඩ තියෙන දෙය වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ප්‍රශ්නය විසඳන එක. වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ වෙළඳපොළ මූලධර්ම අනුව මිසක් කිසිදු තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය විදිහට නෙමෙයි. ඒ නිසා, වෙළඳපොළ විසඳුම බොහෝ දෙනෙකුට සතුටු විය හැකි විසඳුමක් නොවෙන්න පුළුවන්. එහෙමයි කියලා ඩොලර් මිලියන පණහක්වත් අතේ නැති මහ බැංකුවකට හෝ පොලී ගෙවන්න තරමටවත් ආදායමක් උපයන්නේ නැති රජයකට වඩා හොඳ විදිහට වෙළඳපොළ විසඳුම වෙනස් කර ගත හැකි වීමේ ශක්‍යතාවයක් මේ වෙද්දී පෙනෙන්න නැහැ. 

ඩොලර් ප්‍රවාහ කිසිවක් IMF වැනි මූලාශ්‍රයකින් ක්ෂණිකව රටට ගලා නොඑන තත්ත්වයක් යටතේ වුවත් ඩොලරයේ මිල යම් මට්ටමකට ගියාට පස්සේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙලා ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. ඒ මට්ටම ගැන මට අනාවැකි කියන්න බැහැ. මහ බැංකු අධිපතිවරයාගේම වචන වලින් කිවුවොත් කාටවත්ම ඒ මට්ටම ගැන හරියටම කියන්න බැහැ. හැබැයි යම් මට්ටමකදී මේ වැඩේ අනිවාර්යයෙන්ම වෙනවා.

ඩොලර් එක ඉහළ ගියා කියලා ක්ෂණිකව අපනයන ආදායම් ඉහළ යන්නේ නැහැ. පවතින තත්ත්වය යටතේ සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නත් නැහැ. ප්‍රේෂණනම් බැංකු ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් රටට එයි. සමාජජාලා වල රැළි හදලා ප්‍රේෂණ වැඩි කරන්න බැරුවාක් මෙන්ම අඩු කරන්නත් බැහැ. එහෙම බලපෑම් නිසා සිදුවන අඩුවැඩි වීම් දැනෙන්නේවත් නැති තරමේ සිල්ලර වෙනස්කම්. නමුත් ප්‍රේෂණ වල මිල සංවේදීතාවයේ බලපෑම ඊට වඩා ලොකු, දැනෙන බලපෑමක්. ප්‍රමාණාත්මකව එතරම් විශාල නොවුනත්, ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව කොටස් වෙළඳපොළටත් නැවත විදේශ ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම වුනේ එහි අනෙක් පැත්ත. 

වෙළඳපොළ සමතුලිත විය හැකි ප්‍රධානම ආකාරය ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් එම ඉල්ලුම අඩු වීමයි.  රටට එන ඩොලර් ප්‍රමාණය දැනෙන තරමකින් වැඩි නොවන නිසා වෙළඳපොළ සමතුලිත වන්නේ රටින් යන ඩොලර් ප්‍රමාණය ඒ මට්ටමට පහළ ගිය පසුවයි. එය වෙන්නනම් පැට්‍රෝල්, ගෑස් ආදිය තව කොපමණ ඉහළ යා යුතුද කියන එක තීරණය වන්නේ රටේ මිනිස්සු අතේ වියදම් කළ හැකි මුදල් (රුපියල්) කොපමණ තියෙනවද කියන එක මතයි. 

මේ වැඩේ වුනාට පස්සේ කලින් ගෑස් වලින් උයපු ඇතැම් අයට දිගටම දර වලින් උයන්න වෙයි. කලින් ත්‍රීවීල් එකේ හන්දියට ගිය අයට පයින් යන්න වෙයි. ඌබර්, පික්මී ගත්ත අයට බස් වල යන්න වෙයි. ඉඳහිට සිංගප්පූරු සාප්පු සවාරියක් ගිය අයට, දඹදිව වන්දනා ගමනක් ගිය අයට ඒ ගමන් සිහිනයක් වෙයි. දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න බලාගෙන සල්ලි එකතු කරපු දෙමවුපියන්ට වෙන විකල්පයක් ගැන හිතන්න වෙයි. වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ ඔය ගොඩක් දේවල් වල මිල දරාගත නොහැකි මට්ටමකට වැඩි වුනාට පසුවයි.

රජය ණය ප්‍රතිව්‍යුහගත කරලා, IMF එකෙන් ණය අරගෙන, ඩොලර් ප්‍රශ්නය "විසඳන්න" කලින් බොහෝ විට වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යන වේගය හා ඉහත කටයුතු සිදුවීමේ ප්‍රගතිය දිහා සංසන්දනාත්මකව බැළුවහම මට දැනට කළ හැකි නිගමනය ඒකයි.  ඉතා පහසුවෙන් ඩොලරයක මිල රුපියල් 400 ඉක්මවයි. මෙය දෙසතියක් තුළ සිදු විය හැකියි. රුපියල් 450ට පමණ යන එකත් පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. මොකද ඉතා ඉක්මණින් කාගෙන්වත් ණය ලැබෙන්නෙත් නැත්නම්, මහ බැංකුවේ සංචිතත් පල්ලටම හිඳිලානම්, මිල යාන්ත්‍රනය විසින් ප්‍රශ්නය විසඳන්න පෙර වෙළඳපොළට මැදිහත් වීමක් කරන්න මහ බැංකුවට හෝ රජයට ශක්තියක් නැහැ.

ඩොලරයක මිල ඔය මට්ටමට ගියාම, එයට අනුරූපව ආනයනික භාණ්ඩ වල මිලත් ඉහළ යන්න ඇරියොත්, ඩොලර් වෙළඳපොළ සමතුලිත විය යුතුයි. ඒ වැඩේට ඩොලරයක මිල දිගින් දිගටම ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඩොලරයේ මිල ඉහළ යාමට අනුරූපව, ඉන්ධන ආදියේ මිල ඉහළ යාම වැලක්වුවොත් ආනයන ඉල්ලුම අවශ්‍ය පමණ අඩු නොවන නිසා ඩොලර් එක තව තවත් ඉහළ යයි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට සහන දීලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ආනයන පරිභෝජනය පවත්වා ගෙන යන්න උදවු කළොත්, ඒත් වෙන්නේ ඩොලරයක මිල තව තවත් ඉහළ යනවා කියන එකයි. සංක්ෂිප්තව කිවුවොත්, වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නය විසඳනවා කියන්නේ රටේ බොහෝ දෙනෙකුට කලින් මෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා කියන එකයි. මොන විදිහකින් හරි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළටම නොවැටී පවත්වා ගෙන යන්න රජය හෝ මහ බැංකුව විසින් උදවු කරන්න යනවා කියන්නේ ප්‍රශ්නය විසඳෙන එක තවත් කල් යනවා කියන එකයි.

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 400-450 අතර මට්ටමකට යද්දී එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා කියලා. හැබැයි මෙතෙක් ගත් ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තව දුරටත් එලෙසම තිබෙනවා. රජයේ විදේශ ණය පැත්තකින්ම තිබ්බත්, මහ බැංකුවේ හා වාණිජ බැංකු වල ණය පියවන්නම වෙනවා. දළ වශයෙන් ගත්තොත් මේ ණය පසුගිය කාලයේ ආනයනය කර පරිභෝජනය කළ ආනයන වෙනුවෙන් ගෙවිය යුතු මුදල්. වෙනත් විදිහකින් කිවුවොත් පහුගිය අවුරුදු දෙකේ ගත්ත කෙටිකාලීන එදාවේල ණය ටික. මම හිතන්නේ ඔය ණය ටිකත් බිලියන හතර හමාරකට කිට්ටුයි. 

රටේ එදිනෙදා භාණ්ඩ හා සේවා ආනයන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ඩොලර් ටික හොයා ගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්න ඩොලර් එක රුපියල් 400-450 මට්ටමකට යාම ප්‍රමාණවත් විය හැකි වුවත්, ඔය එදා වේල ණය ටික පියවන්න අවශ්‍ය ඩොලර් වෙළඳපොළෙන් හොයා ගන්න එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙත් එක දැනට අමතක කර තිබෙන රජයේ ණයත් අවසාන වශයෙන් ගෙවන්න වෙනවා. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ණය ගෙවන කාලය දිගු වෙනවා කියන එක පමණයි. ඔය වැඩේ කරන්න පුළුවන් වෙන්නේ IMF ණය ලැබීමෙන් පසුව පමණයි. එතෙක් කල් දැනට තිබෙන එදා වේල ණය ටික එදා වේල ක්‍රමයටම රෝල් කරන්න වෙනවා. එහෙම රෝලක් ගහන්නේ නැතිව ඩොලරයේ මිල මොන විදිහකින්වත් ස්ථාවර කරන්න බැහැ. 

ඔය හැම දෙයක්ම දැනට අපිට යථාර්ථවාදී ලෙස අපේක්ෂා කළ හැකි හොඳම විදිහට වෙනවා කියලා හිතමු. ඒ කියන්නේ මේ වසර අවසන් වෙන්න කලින් IMF එකෙන් ණය ලැබෙනවා. එතකල් රෝලක් ගහගන්න ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි ණය ලැබෙනවා. රෝලක් ගහගන්න කිවුවේ තව තව ආනයන කරන්න නෙමෙයි. බැංකු පද්ධතියේ හදිසි ණය ගෙවන එක කල් දා ගන්න. එහෙම කළත් IMF එකෙන් බොහෝ විට ලැබෙනු ඇත්තේ ඩොලර් බිලියන තුනක පමණ මුදලක්. ලෝක බැංකුව වගේ තවත් තැන් වලින් ටික ටික එකතු කරලා ඔය ප්‍රමාණය ඩොලර් බිලියන හතර හමාරක් කර ගත්තා කියමු. ඒ ටිකෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. හැබැයි රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය වගේම IMF ණය ගෙවීමේ ප්‍රශ්නයත් තව දුරටත් ඉතිරි වෙනවා.

රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය හා IMF ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය අපි දැනට පැත්තකින් තියමු. වසර අවසන් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අහවර වෙලා, IMF එකේ ණයත් ලැබෙනවා කියා කියන්නේ ඔය ප්‍රශ්න දෙකට විසඳුම් මොන විදිහෙන් ලැබිලා කියන එකනේ. තිබෙන ණය ගෙවන්න වැඩි කාලයක් ලබා ගැනීම හා ඒ අනුව පහළ යන ණය වාරික ගෙවන්න අලුතෙන් වෙළඳපොළෙන් ණය ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඔය විසඳුමේ කොටසක් විය යුතුයි. එහෙම නැතුව ඔය තරම් කෙටි කාලයකින් ණය ගෙවන්න අවශ්‍ය තරමට ඩොලර් උපයා ඉතුරු කර ගන්න බැහැ.

සුබවාදීම තත්ත්වයක් යටතේ වුවත් එදිනෙදා වියදම් වලට අවශ්‍ය ඩොලර් ටික රටට එන ඩොලර් ටිකෙන් පියවිය හැකි තරමට ආනයන ඉල්ලුම අඩු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන තරමට ආනයන මිල ඉහළින් තිබිය යුතුයි. ඒ කියන්නේ, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායමෙන් කලින් තිබුණු පරිභෝජන මට්ටම පවත්වා ගන්න නොහැකි විය යුතුයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින් විසින් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය අරගල කරන්න ඉඩ තිබෙනවා. නමුත්, ප්‍රශ්නය විසඳෙන යාන්ත්‍රනය තිබෙන්නේම රජයේ සේවකයින්ට ජීවත් වෙන එක අමාරු වීම තුළයි. දැනට රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණයි. 2019 මට්ටමට බදු වැඩි කළා කියලත් ඔය ආදායම ඕනෑනම් රුපියල් ට්‍රිලියන 2ක් කර ගන්න පුළුවන් වෙයි. රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.5කට වඩා වැඩියි. ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හැරියත්, පොලී වියදම් ඉහළ යන නිසා ඔය වියදම ඔය මට්ටමේම වගේ තියෙයි. ඒ කියන්නේ තව රුපියල් ට්‍රිලියන 1.5ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා කියන එකයි. 

බැංකු අංශයෙන් ණය නොගෙන රුපියල් ට්‍රිලියන 1.5ක පමණ අයවැය හිඟයක් පියවන්න බැහැ. ඔය හිඟයෙන්  රුපියල් ට්‍රිලියනයක්වත් ගන්න වෙන්නේ බැංකු අංශයෙන්. ඒ කියන්නේ කොයි තරම් පාලනය කළත් මුදල් සැපයුම තව දුරටත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක් බවයි. මුදල් සැපයුම තව දුරටත් ඉහළ යනවා කියා කියන්නේ ඩොලරය ඉහළ යද්දී හා ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී වුවත්, එම ආනයන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ කියන එකයි. එහෙම වුනොත්, උද්ධමනය හා ඩොලරයක මිල ස්ථාවර නොවී තව තවත් ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වෙළඳපොළ විසින් ඩොලර් ප්‍රශ්නය විසඳනවා වගේම රාජ්‍ය අයවැය ප්‍රශ්නයත් විසඳනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බදු වැඩි නොකළත්, මිල ඉහළ යද්දී බදු ආදායම් ඉහළ යනවා. ඊට සමාන්තරව ඇතැම් රාජ්‍ය වියදම් වැඩි වුනත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සැලසුම්සහගතව බදු ආදායම් වැඩි කර නොගත්තොත්, ඔය වැඩේ සිදු වෙලා අයවැය හිඟය ස්වභාවිකවම පියවෙන තුරු මිල ගණන් ඉහළ යයි. ඒ කියන්නේ උද්ධමනය යම් කාලයක් ඉහළ මට්ටමක තියෙයි. හැබැයි පවතින අයවැය පරතරය අනුව ප්‍රායෝගිකව මේ වැඩේ වෙන්න කළින් රාජ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගන්නවා. 

මේ සියල්ල කළමනාකරණය කර ගැනීම දේශපාලනික කරුණක්. එය තමන්ට කළ නොහැකි බව ආණ්ඩුව වගේම විපක්ෂයේ පක්ෂද අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් ඒ කවුරුවත් මේක කෙළින්ම කියන්නේ නැහැ. එහෙම කියන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. ඒක හරියට ලෙඩේට හොඳම ප්‍රතිකාරය බෙහෙතක් නොගෙන සුවවන තුරු හෝ මැරෙන තුරු බලා ඉන්න එක කියලා දොස්තර කෙනෙක් කියනවා වගේ වැඩක්. දොස්තරට පැවැත්මක් තියෙන්නේ තමන්ට ලෙඩේ හොඳ කළ හැකි බව පෙන්විය හැකි වන තුරු පමණයි. තමන් සතුව විසඳුමක් තියෙනවා කියලා කවුරු හරි කියනවානම් ඉදිරි දෙවසර තුළ රාජ්ය අයවැය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඇස්තමේන්තු සමඟ පැහැදිලි කරන්න කියලා කියන්න. 

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...