වෙබ් ලිපිනය:

Showing posts with label ජවිපෙ. Show all posts
Showing posts with label ජවිපෙ. Show all posts

Monday, January 10, 2022

දැනුම් කළමනාකරණයේ දේශපාලනය


පිරමිඩ් ක්‍රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ "ගණිත විනෝදය" ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්‍රකාශකයෝ වුනු, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් මුද්‍රණය කර අඩු මිලකට විකිණූ පොතක්.

කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක්. එහෙත් මේ වගේ "අහිංසක" සේ පෙනෙන පොතක් හරහා වුවත්, කොයි තරම් මොළ ශෝධනයක් කර තිබෙනවාද කියන එක තේරෙන්නේ දැනුයි. මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි.

මේ ආකාරයෙන් විධිමත් අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, පොත්පත් ආදිය හරහා කුඩා කාලයේදීම කරන මොළ ශෝධනයන් එක්ක ලංකාවේ දරුවෙක් වැඩිහිටියෙක් වෙන්නේම වෙළඳපොළ විරෝධී, සමාජවාදියෙක් ලෙසයි. ධනවාදය යකෙක්, රකුසෙක් සේ දකින අයෙක් ලෙසයි. ඇමරිකන් හා බටහිර විරෝධියෙක් ලෙසයි. ලංකාවේ දිගටම ජීවත් වුනානම් පෞද්ගලිකව මට වුනත් මේ උගුලෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි ඒ එක්කම මතු වෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට විකල්පය වන්නේ කුඩා කාලයේ සිටම වෙළඳපොළ හිතවාදී, ධනවාදී අදහස් වලින් ඔළු පුරවන එකද? එක විදිහක මොළ ශෝධනයක් නරක වෙන්නත්, වෙනත් විදිහක මොළ ශෝධනයක් හොඳ වෙන්නත් පුළුවන්ද?

ලංකාවේ ඉතා සුළු පිරිසක් සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක ඉන්නවා. ලංකාවේ කියා කිවුවේ ලංකාව කේන්ද්‍ර කරගත් කියන අදහසින් මිසක් ලංකාවේ පදිංචිව සිටින කියන අදහසින් නෙමෙයි. ඒ වගේම සුළු පිරිසක් කියා කිවුවේ අවතක්සේරු කිරීමක්, බාල කිරීමක් ලෙසත් නෙමෙයි. ඕනෑම නැවුම් අදහසක් ආරම්භයේදී තනි පුද්ගලයෙක්ගේ අදහසක්. ඉන් පසුව, සුළු පිරිසකගේ අදහසක්.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. එසේ කළොත්, වැටෙන්නේ මොන වගේ තැනකටද? ගල් යුගයට ආපහු ගියත් මූලික මට්ටමේ හෝ දැනුමක් කියා දෙයක් තිබෙනවා. මට අනුව, පුද්ගලයෙක් කියා කියන්නේම ඒ පුද්ගලයා විසින් සංස්කරණය කර ගෙන ගොඩ ගසා ගන්නා දැනුම. දැනුම එකතු කර ගැනීමක් නැත්නම් පුද්ගලයෙක්ද නැහැ.

දැනුම ප්‍රතික්ෂේප කිරීම කියන අදහස බිහි වන්නේ දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහසේ දිගුවක් ලෙසයි. දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහස ලංකාව තුළ ජනප්‍රිය කරන්නේ නලින් ද සිල්වා විසින්. එහෙත් ඔහු සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහුගේ මතවාදය තුළ, මට තේරෙන විදිහට, දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප වෙන්නේත් නැහැ. ඔහු ලංකාව තුළ "බටහිර දැනුම් ආධිපත්‍යයට" එරෙහිව සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. ලෝකය තුළ විවිධ දැනුම් පද්ධති වල "ප්‍රාදේශීය ආධිපත්‍යයන්" තිබීම වෙනුවෙන් (මගේ වචන වලින්) පෙනී සිටිමින් එක් දැනුම් පද්ධතියක් විසින් අනෙකුත් දැනුම් පද්ධති ගිල ගෙන ඒකාධිකාරයක් හදා ගැනීමට එරෙහි වෙනවා.

මට අනුව නලින් ද සිල්වා විසින් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන හොඳම ප්‍රවාදය නිවන පිළිබඳ ඔහුගේ අර්ථදැක්වීමයි. එය ථෙරවාද ත්‍රිපිටකය හා ගැලපේද යන්න මම ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම තුළ සියළුම දැනුම් ප්‍රතික්ෂේප කිරීමක් තිබෙනවා. හැබැයි එයින් පසුවත්, අනුපාදිශේෂ නිර්වාණය දක්වාම, එසේ ප්‍රතික්ෂේප කළ දැනුම ප්‍රයෝජනයට ගැනීමක් සිදු වෙනවා. පුද්ගලයෙකු නැති බව තේරුම් ගෙන ජීවත් වන "පුද්ගලයෙක්" ඉන්නවා. මනසක් නැති බව තේරුම් ගත් "මනසක්" තිබෙනවා. 

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෞකික වූ කිසිවක් ඉතිරි විය නොහැකියි. දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන තාක්, හැම මොහොතකම දැනුම එකතු කරන පුද්ගලයෙක්ද ඉන්නවා. මොහොතින් මොහොත වෙනස් වන පුද්ගලයා යනු මොහොතින් මොහොත සංස්කරණය කර ගන්නා දැනුමයි. දැනුම සංස්කරණය කර ගැනීමට එකතු කර ගැනීම මෙන්ම අත හැර දැමීමද ඇතුළත්. එහෙත් දැනුමේ සංරචක මිස සමස්තයක් ලෙස දැනුම අතහැර දැමීමක් සිදු වන්නේ නැහැ.

මරණය සේ අප හඳුනා ගන්නා දෙයින් පසුව දැනුම එක්රැස් කර තබාගත් අසුරණයක් ඒ දැනුමද සමඟ විනාශ වී යනවා. එය භෞතික සීමාවක්. මේ භෞතික සීමාව විසින් දැනුම එක් රැස් විය හැකි සීමාවක් සලකුණු වෙනවා. එහෙත්, දැනුම මෙවැනි අසුරණයකින් පිටතට සම්ප්‍රේෂණය කිරීම මගින් ඉහත ස්වභාවික සීමාව අතික්‍රමණය කළ හැකියි. එසේ එක් තැනක එක් රැස් කර තිබෙන දැනුමකින් අසුරණය පුරවා ගැනීම ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරනවාට වඩා කාර්යක්ෂමයි. මේ ක්‍රියාවලිය තුළ ස්වභාවිකවම දැනුම් ආධිපත්‍යයන් ඇති වෙනවා. හැම විටම වාගේ වැඩිහිටි පුද්ගලයෙකුව බිහි කරන්නේ කවර හෝ දැනුම් ආධිපත්‍යයක් විසින්.

නලින් ද සිල්වාගේ මතවාද බිහි වන්නේ සමාජවාදී අවකාශයක මාක්ස්වාදයට හා සමාජවාදයට එරෙහි විවේචනයක් ලෙසයි. මාක්ස්වාදය තුළ දැකිය හැක්කේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමක්. දැනුම් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහස මතු වන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහසේ දිගුවක් ලෙසයි.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම විකාර අදහසක් වුවත්, දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හෝ  ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම නරක අදහස් දෙකක් නෙමෙයි. ප්‍රශ්න මතු වන්නේ එයින් පසුවයි. මේ ප්‍රතික්ෂේප කිරීම් කළ යුත්තේ ඇයි? මේ ප්‍රතික්ෂේප කිරීම් කළ හැක්කේ කොහොමද? 

දේශපාලනිකව ගත්තොත්, කොන්දේසි විරහිතව නොවූවත්, මා පෙනී සිටින්නේ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජය වෙනුවෙනුයි. ඔය තුනටම බරපතල විවේචන තිබෙනවා. ඒ විවේචන ගැන මා නොදන්නවා නොවෙයි. ඒ වගේම ඒ විවේචන නොසලකා හරිනවාත් නෙමෙයි. ඒ විවේචන සියල්ල එලෙසම තිබියදී වුවද මගේ හේතු සහගත තෝරා ගැනීම ඉහත පැකේජයයි. එහෙත්, මේ කිසිවක් වෙනුවෙන් අනුරාගයක් මට නැහැ. හේතු ඇත්නම් ඔය තුනෙන් ඕනෑම එකක් අත හැර දමන්න මම පැකිලෙන්නේ නැහැ. 

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජයෙන් වඩාත්ම අර්බුදයට ගොස් තිබෙන්නේ විද්‍යාව කියා කියන්න පුළුවන්. විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට යනවාද කියන එක කෙනෙකුට පහසුවෙන් ප්‍රශ්න කළ හැකි දෙයක්. මා පෞද්ගලිකව එසේ විශ්වාස කරනවා. එහෙත්, එය හුදෙක් විශ්වාසයක් පමණයි. එහෙත්, එම විශ්වාසයට පදනමක් තිබෙනවා. ඒ මගේ අනුභූතික නිරීක්ෂණ. 

මගේ අනුභූතික නිරීක්ෂණ හා වෙනත් අයෙකුගේ අනුභූතික නිරීක්ෂණ සමාන විය යුතු නැහැ. ඒ නිසාම, වෙනත් අය විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට නොව පසුපසට යනවා කියා හිතනවානම් මට ඒ අදහසට අභියෝග කළ හැකි පදනමක් නැහැ. බටහිර විද්‍යාවට එරෙහි ඇතැම් අය වෙනත් විකල්ප දැනුම් වෙනුවෙන් පෙනී සිටිනවා. මා මෙවැනි විකල්ප දැනුම් අහේතුකව ප්‍රතික්ෂේප කරන්නේ නැතත්, සාමාන්‍ය මූලධර්මයක් ලෙස අහේතුකව පිළිගන්නේද නැහැ. බටහිර විද්‍යාවේ ක්‍රමවේදය මගේ තේරීම වන්නේ එම ක්‍රමවේදය තුළ වෙනත් විකල්ප ක්‍රමවේද හා දැනුම් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමේ පුළුල් හැකියාවක් තිබෙන නිසයි. අනෙක් විකල්ප දැනුම් කිසිවකට මේ හැකියාව මෙපමණකට නැහැ. 

ලෝකය ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන අදහස කෙනෙකු ප්‍රතික්ෂේප නොකරන්නේනම්, එම ප්‍රගතිය සිදු වන්නේ විද්‍යාවේ දියුණුව සමඟ කියන කරුණද පැහැදිලිව පෙනෙන දෙයක්. ධනවාදය වගේම මාක්ස්වාදී සමාජවාදයද විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාක්ස්වාදය ඉදිරියට ගියේම විද්‍යාවේ කොටසක් ලෙසයි. විද්‍යාව යනු සත්‍යයය යන අදහස අභියෝගයට ලක් වන තුරු මාක්ස්වාදය ප්‍රශ්න කෙරුණේ විද්‍යාවට සාපේක්ෂවයි. විද්‍යාවට ප්‍රමුඛතාවය ලැබුණු ලෝකයක ආගම් මිථ්‍යාවන් සේ ප්‍රතික්ෂේප කෙරුණා. 

කවර සීමාවන් තිබුණත්, අද පවා, විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන අය විසින් වුවද විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේ කරනවානම් කරන්නේ සියළු දැනුම් ප්‍රතික්ෂේප කරන අතළොස්සක් පමණයි. මේ හේතුව නිසා ලෝකයේ සියළු රාජ්‍යයන් අඩු වැඩි වශයෙන් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදියෙකුට කෙසේවත් විද්‍යාව අත හරින්න බැහැ. මාක්ස්වාදී රාජ්‍යයන් බොහෝ විට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා වගේම බොහෝ අවස්ථා වලදී ආගම් වලට එරෙහිවද සෘජුව පෙනී සිටිනවා. ඒ නිසා, සමාජවාදී ඒකාධිපතිත්වයක් තුළ බොහෝ විට විද්‍යාවේ ආධිපත්‍යයද නඩත්තු වෙනවා. විකල්ප දැනුම් විනාශ වීමක් හෝ විද්‍යාව තුළට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා.

ධනවාදය තුළ යෝජනා කෙරෙන ප්‍රගතිය සඳහාද විද්‍යාව නැතුවම බැහැ. ඒ නිසා, ධනවාදී රාජ්‍යයකටද විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටින්න සිදු වෙනවා. එහෙත් එය සිදු වන්නේ ප්‍රගතිය සඳහා විද්‍යාව ඉවහල් වීම හේතුවෙනුයි. එය එසේ වන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන යාන්ත්‍රනය ප්‍රජාතන්ත්‍රවාදයයි. රටේ බොහෝ දෙනෙකු විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කරන සන්දර්භයක, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිය නොහැකියි. එසේ නොවීම තුළින් ගම්‍ය වන්නේ ධනවාදී රටවල බොහෝ දෙනෙකු විද්‍යාව ප්‍රගතිය සඳහා ඉවහල් වන බව පිළිගන්නා බවයි.

මෙයින් වෙනස්ව බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ නැහැ. එහෙත්, ප්‍රජාත්නත්‍රවාදය තුළම, කිසියම් රටක බහුතර කැමැත්ත අනුව, රාජ්‍යයක් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින තත්ත්වයක් ඇති විය හැකියි. විද්‍යාව එකම හෝ පරම සත්‍යය සේ නොපෙනෙන සන්දර්භයක එවැනි අවකාශයක් ඉතිරිව තිබීමේ කිසිදු වරදක් නැහැ. 

අප පුද්ගලයින් සේ ගොඩ නැගීමම දැනුම එකතු කර ගැනීමක් නිසා අප හැදෙන වැඩෙන දැනුම් ආධිපත්‍යයෙන් ස්වායත්තව අපට ගොඩ නැගිය නොහැකියි. දැනුම් එකතු කර නොගත්තොත් අප පුද්ගලයන් සේ පවතින්නේම නැහැ. දැනුම් තිබෙන තුරු, නොවැලැක්විය හැකි ලෙස, දැනුම් ආධිපත්‍යයන්ද තිබෙනවා. දැනුම් ආධිපත්‍යයක් තුළ ගොඩ නැගෙන පුද්ගලයෙක්ට ඒ දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න හෝ සවිඥානිකව ඒ තුළම රැදී සිටින්න තමන් සමඟම යම් අරගලයක් කරන්න සිදු වෙනවා. මේ සඳහා යම් පෙළඹවීමක් හෝ ඇති වන්නේ තමන් රැඳී සිටින දැනුම් ආධිපත්‍යය තුළම එම දැනුම් ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන යම් පිරිසක්ද සිටීනම් පමණයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්නේ මෙවැනි කැරළිකරුවන්ගේ හඬටද ඉඩක් ලැබෙන තැනක්.

පරම වූ දැනුමක් පිළිබඳ සහතිකයක් නැති සන්දර්භයක, රජය විසින් කිසියම් දැනුම් ආධිපත්‍යයක් නඩත්තු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ එම දැනුම් ආධිපත්‍යය පහසුවෙන් බිඳ දැමිය හැකි කවර හෝ යාන්ත්‍රණයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම්, ප්‍රගතියේ දිශාව මග හැරී ආපසු ගමන් කරන අවස්ථාවක, ඒ බව පහසුවෙන් දැනගන්න නොලැබෙන නිසා, බොහෝ දුර ආපසු යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකාධිපතිත්වයන්ගේ තිබෙන ප්‍රශ්නය මෙයයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් මාක්ස්වාදීන් විසින්ද අගය කරන අදහසක්. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ, අතරමැදි සමාජවාදී රාජ්‍යයක් යෝජනා කරන්නේම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින්. එහෙත්, සමාජවාදීන් විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයම නෙමෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදු වන්නේ අලුත්, වෙනස් අදහස් වලට මතු වන්නට හා සමාජය පුරා පැතිරෙන්නට ඉඩ දීමයි. ඒ හරහා, හොඳම අදහස බහුතර අදහස බවට පත් වනු දැකීමයි. මෙයින් වෙනස්ව, මාක්ස්වාදය විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ඉලක්කය වන්නේ ඔවුන් දකින "හොඳම" අදහස බහුතර අදහස බවට පත් වන තුරු දැනුම් ආධිපත්‍යය හරහා මොළ ශෝධනය කිරීමයි. අධ්‍යාපනයේ හා මාධ්‍ය වල රාජ්‍ය ඒකාධිකාරය මාක්ස්වාදීන්ට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි.

දැන් චීනය ප්‍රජාතන්ත්‍රවාදය සේ සලකන්නේත්, ජවිපෙ වැනි පක්ෂ විසින් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදය සේ සැලකුවේත්, පෙසපෙ ඉතා පැහැදිලිව හා සෘජුව පෙනී සිටින්නේත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්. මෙහිදී "නිවැරදි දෙය" යම් වූ දෙයක් තිබෙනවා. එය දන්නේ පක්ෂයයි. නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමේ මිනුම් දණ්ඩ මාක්ස්වාදී න්‍යායයි. පක්ෂය තුළ සිටින සියලු දෙනාටම (අඩු වශයෙන් සෛද්ධාන්තිකව) අධ්‍යාපනය හරහා මේ නිවැරදි දෙය පිළිබඳව දැන ගන්න ලැබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය හරහා පාක්ෂිකයන් නම් වූ පිරිසක් ගොඩනැගෙනවා.

සමාජවාදී පක්ෂයක පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව බිම් මට්ටමේ සාමාජිකයෙකුට එහි නායකත්වය කරා යන්න පුළුවන්. ඒ අතින් සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට සමානයි. (ලංකාවේ දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයනම් වැඩවසම් ක්‍රමයට වඩා ලොකු වෙනසක් නැති ක්‍රමයක්! මැතිවරණ කියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් සුළු කොටසක් පමණයි.) හැබැයි මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂයක හෝ වෙනත් ආයතනික ව්‍යුහයක පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා එන්නේ ඔහුගේ අදහස්ද සමඟයි. බොහෝ විට පුද්ගලයා එතැනම සිටියදී අදහස් නායකත්වය කරා එනවා. ඒ නිසා, නායකත්වයේ සිටින පුද්ගලයා කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නායකත්වයේ මුහුණ එකම වුනත් අදහස් වෙනස් වෙලා.

මෙයින් වෙනස්ව, සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා ආවත් ඔහු හෝ ඇය විසින් අලුත් අදහස් නායකත්වය කරා අරගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට, න්‍යාය සමඟ හොඳින්ම ගැලපෙන අදහස් තිබෙන පුද්ගලයා නායකත්වය කරා එන එකයි වෙන්නේ. නායකත්වයේ මුහුණ වෙනස් වුනත් අදහස් වෙනස් වෙලා නැහැ. (චීනය පවා මෑත කාලයේදී මේ ආකෘතියෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකියි.)

සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ සාමාජිකයින් විසින් අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්. (ජවිපෙට අනෙක් මාක්ස්වාදීන් විසින් කළ බරපතල විවේචනයක් වුනේ ඔවුන්ගේ මේ අධ්‍යාපනය පංති පහකට සීමා වූ බවයි.) මෙහිදී පක්ෂ සාමාජිකයින් සියලු දෙනාම එකම ආකාරයට සිතන පිරිසක් බවට පත් කෙරෙනවා. නායකත්වය කරා යාම වැනි කරුණු වලදී ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙත්, පක්ෂයෙන් පිට සිටින, වෙනත් අදහස් දරන අයෙකුට ඒ සමාන අවස්ථාව එලෙසම ලැබෙන්නේ නැහැ. සමාජවාදී රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම කියා කියන්නේ පක්ෂයෙන් පිටත සිටින සියලු දෙනාටද, රාජ්‍ය බලයේ උදවුවෙන්, අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දීමයි. සියල්ලන්ටම එම අධ්‍යාපනය ලැබුණු පසු සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම ගැටලුවක් වන්නේ නැහැ. කියන්නේ එකම දෙයනම් කියන කට කාගෙ වුනත් වෙනස කුමක්ද?

මාක්ස්වාදය මත පදනම්ව, සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක් මැතිවරණ දේශපාලනයට පැමිණි විට ඔවුන්ට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න සිදුවනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට බහුතර සහයෝගය අවශ්‍යයි. එහෙත්, පක්ෂ සාමාජිකයින් ප්‍රමාණය රටේ කුඩා සුළුතරයක්. පක්ෂයට පිටතින් සිටින අය පක්ෂ සාමාජිකයින් විසින් ලබා තිබෙන "අධ්‍යාපනය" ලබා නැහැ. (ඔවුන් ප්‍රමාණවත් තරමට මොළ ශෝධනය වී නැහැ.) ඔවුන් හිතන්නේ පක්ෂයේ රාමුව ඇතුළේ සිට නෙමෙයි. රාජ්‍ය බලය නැතිව පක්ෂයෙන් පිටත සිටින අයට අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දෙන එක කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඔවුන්ගේ සහයෝගය ගන්නනම් පක්ෂයට ඔවුන්ට ගැලපෙන සේ වෙනස් වෙන්නම සිදු වෙනවා. 

වටෙන් ගොඩෙන් නැතුව කෙළින්ම කතා කළොත් ජවිපෙ කියන්නෙත් සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක්. මැතිවරණ දේශපාලනයට පැමිණීමෙන් පසුවද බොහෝ කාලයක් ඔවුන් මේ අරමුණ අත හැර තිබුණේ නැහැ. ඒ වගේම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැම විටම දැක්කේ මා ඉහත විස්තර කළ මාක්ස්වාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මිසක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඔවුන්ට තිබුණේ මාක්ස්වාදී සමාජවාදය මත පදනම් වූ ප්‍රතිපත්ති.

එක්තරා අවස්ථාවකදී, මැතිවරණ දේශපාලනය තුළ, විශාල ජයග්‍රහණයක් ලබන්නට ජවිපෙ සමත් වුනා (චන්ද්‍රිකා සමඟ සභාගය). එහෙත්, එයට හේතුව වූයේ ලංකාවේ මිනිස්සු හදිසියේම ජවිපෙ ප්‍රතිපත්ති පිළිගැනීම නෙමෙයි. ඔවුන්ට ප්‍රධාන පක්ෂ දෙකම එපා වීමයි. 

මේ අවස්ථාවේ වුවද ජවිපෙ කටයුතු කළේ සාමාන්‍ය මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් ලෙසයි. ඔවුන්ව තෝරාගත් මිනිස්සුන්ට අවශ්‍ය පරිදි ජවිපෙ වෙනස් වුනේ නැහැ. ඒ නිසා, මැතිවරණ දේශපාලනය තුළ ඉදිරියට පැමිණීමට තිබුණු අවස්ථාව ජවිපෙට අහිමි වී ගියා. කෙසේ වුවද, මේ අවස්ථාවේදී මහජන නියෝජිතයින් සේ පත් වුනු ඇතැම් පුද්ගලයින් මේ උභතෝකෝටිකය තේරුම් ගත්තා. පක්ෂය වෙනස් කර ගන්න බැරි නිසා විමල් වීරවංශ වැනි ඇතැම් අය පක්ෂය අත හැර රැල්ල හමන පැත්තට පාවෙලා ගියා. තවත් අය මේ විදිහටම රැල්ල එක්ක පාවී ගොස් පක්ෂය දිය වීමේ අවදානම හමුවේ ජවිපෙ ටිකක් වෙනස් වුනා. ඒ වෙනස් වීම මුල් ස්ථාවරයට නොගැලපුණු නිසා පක්ෂයේ සිටි මූලධර්මවාදීන් ටික පෙසප ලෙස ඉවත් වී ගියා. ජවිපෙ රුවල් බිඳුණු ඔරුවක් වගේ දෙපැත්තට වැනෙන්න ගත්තා. මැතිවරණ කිට්ටු වෙද්දී ජනමතය පැත්තට නැමුනා. අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵල හමුවේ ආපහු න්‍යාය පැත්තට නැමුනා.

ඔහොම දෙපැත්තට වැනි වැනී හිටපු ජවිපෙ දැන් නැවතත් ජනමතය ගැන හිතන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනස වෙන්නේ හරිනි ජවිපෙ සමඟ සම්බන්ධ වීමෙන් පසුවයි. පසුගිය කාලය පුරාම ජවිපෙ පක්ෂයට පිටින් සිටි විවිධ උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් පක්ෂය සමඟ සම්බන්ධ කර ගත්තත් ඒ කාටවත් ජවිපෙන් වෙනස් වූ ස්වාධීන දේශපාලන අනන්‍යතාවයක් තිබුණේ නැහැ. හරිනිට ඒ අනන්‍යතාවය වගේම අවශ්‍ය පෞරුෂයද තිබෙනවා. මම පෞද්ගලිකව හරිනිව ජවිපෙ මතවාදය සමඟ අනන්‍ය කර දකින්නේ නැහැ. ඇගෙන් නියෝජනය වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. අඩු වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා වෙනස් වීම මේ වෙලාවේ ජවිපෙ හමුවේ තිබෙන තෝරා ගැනීමක්.

සමාජවාදී පක්ෂයක් විදිහට ජවිපෙ/ජාජබ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම, උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන්ද පෙනී සිටිනවා. තවත් විදිහකින් කිවුවොත් ජවිපෙ/ජාජබ පෙනී සිටින්නේ රජය මුල් වී (බටහිර) විද්‍යාවේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදීත් ජවිපෙ/ජාජබට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න වෙනවා. ඒ, මේ පැකේජ් එක ගනිද්දී එහි කොටසක් ලෙස එන නූතන ආර්ථික විද්‍යාව අත හරින්න බැරි වීමයි. නූතන ආර්ථික විද්‍යාව හා මාක්ස්වාදය එකට පැකේජ් කරන්න බැහැ. සුනිල් හඳුන්නෙත්ති වැනි අයට ධනවාදය ගැන කතා නොකර වෙළඳපොළ ගැන කතා කරන්න සිදු වී තියෙන්නේ මෙවැනි පසුබිමක. 

මම මේ ටික ලියන්නේ සමච්චලයට නෙමෙයි. මෙය මම දකින හොඳ හැරවුමක්. හැබැයි ඒ එක්කම ජවිපෙ සාමාජිකයින් මෙන්ම නායකයින් බොහෝ දෙනෙකුට තවමත් සම්ප්‍රදායික ජවිපෙ මානසිකත්වයෙන් මිදෙන්න හැකි වී නැහැ. ජවිපෙ විසින් මුලින්ම කළ යුත්තේ තමන්ගේ සාමාජිකයින්ව යාවත්කාලීන කර ගැනීමයි. ජවිපෙ/ජාජබ විසින්ම හඳුනා ගන්නා පරිදි ඉදිරි මැතිවරණයකදී මුඛ්‍ය නිර්ණායකය වන්නේ රටේ ආර්ථිකය නිසා මෙය සෑහෙන බරක් තැබිය යුතු කරුණක්.

ධනවාදය වුවත් රජය මුල් වී ආධිපත්‍යවාදී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. රජය විසින් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන්න යන දෙයක් ධනවාදය වෙන්නෙත් නැහැ. හැබැයි රාජ්‍යමූලික සමාජවාදී ක්‍රමයක් ඇතුළේම වුනත්, වෙළඳපොළට ඉඩක් දීම එසේ නොදෙනවාට වඩා ගොඩක් සාර්ථක ක්‍රමයක්. චීනය කරන්නේ ඒකයි. 

ජවිපෙ/ජාජබට ප්‍රතිමුඛ වී සිටින චම්පිකගේ 43 බලකාය විසින්ද ජවිපෙ මෙන්ම උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේ කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ බටහිර විද්‍යාව වෙනුවෙන්. උගතුන් සේ සැලකෙන්නේ විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයයි. නූතන ආර්ථික විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමේදී ජවිපෙ/ජාජබට මුහුණ දෙන්න වන ගැටළුවට මුහුණ දෙන්න නොවීම 43 බලකායට තිබෙන සාපේක්ෂ වාසියක්. 

නලින් ද සිල්වාගේ මතවාද අනුව යමින් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වූ පිරිස් සිටියේ මේ ආණ්ඩුව සමඟයි. ඔවුන් ඇතැම් විට බටහිර විද්‍යා ආධිපත්‍ය විරෝධය බටහිර විද්‍යා විරෝධයක් දක්වා දිගු කළ අවස්ථා තිබුණා. මේ වෙද්දී මේ බලවේග ආණ්ඩුව සමඟ විරසක වී ඇති බවක් පේනවා. ඇත්තටම මේ ආණ්ඩුව බලයට ගෙනාවේම එක් සංවිධානයක් තුළ ගොනු නොවී විසිරී සිටි මේ මතවාදය සමඟ සිටි පිරිසකගේ උදවුවෙන්. මේ මැතිවරණ සන්දර්භය තුළ මේ පිරිස යම් අවස්ථාවක කවුරු හෝ වටා එකතු වෙයි. මේ කණ්ඩායමට තිබුණු හා තිබෙන ලොකුම අඩුපාඩුව ආර්ථිකය කළමනාකරණය සම්බන්ධව කිසිදු විකල්ප මතවාදයක් නැති වීමයි. 

නලින් ද සිල්වාට ආර්ථිකය සම්බන්ධව විකල්ප මතවාදයක් හදා ගන්න නොහැකි වී තියෙන්නේ ඔහු ආර්ථික විද්‍යාව නොදැන සිටීම නිසාම නෙමෙයි. විධිමත් ලෙස හදාරා නැති වෙනත් විෂයයන් ගැනද ඔහුට විකල්ප අදහස් තිබෙනවා. ඔහුගේ ප්‍රශ්නය ඔහු මාක්ස්වාදය පිළිබඳ කොයි තරම් දරුණු විවේචකයෙකු වුවත් ආර්ථිකය තේරුම් ගැනීමේදී මාක්ස්වාදයේ රාමුව තුළම හිර වී සිටීමයි. දැනුමේ ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදයත් මාක්ස්වාදී රාමුවේම තිබෙන ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවාදයේම දිගුවක්. ඔහු දැනුමේ ආධිපත්‍යය දකින්නේ මාක්ස්වාදීන් ප්‍රාග්ධනයේ ආධිපත්‍යය දකින රාමුවේම සිටයි. ඒ නිසා, මේ ආධිපත්‍යයට එරෙහි විය හැකි ප්‍රායෝගික ක්‍රමයක් ගැන සිතන එක ඔහුට අසීරු වී තිබෙනවා.

දැනුම් කළමනාකරණය ලංකාවේ සන්දර්භයේදී විශාල දේශපාලනික වැදගත්කමක් තිබෙන කරුණක්. ලිපිය පටන් ගත්තේ පිරමිඩ් ක්‍රම ගැන ලියන්න හිතාගෙනයි. එය වෙන ලිපියකට තියමු.

Sunday, March 3, 2019

"මානුෂික සබඳතා" චුට්ටක් වැඩි වුනොත්...


මාස දෙකකට කලින් මා මත්පැන් ගැන කතා කරමින් ලියූ ලිපි කිහිපයක ජවිපෙ නායකයෙකු වන ලාල්කාන්ත ගැනද සඳහනක් කළා. එසේ කළේ, කතා කරන මාතෘකාවට ප්‍රවේශයක් ලෙස පමණයි. "ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ" කියා මා ඒ ලිපියේ ලිවුවා.

මා හිතන විදිහට ජවිපෙ හිතවතෙකු විය හැකි අපේ පාඨකයෙක් මෙයින් නිගමනය කර තිබුණේ මා ලාල්කාන්ත සමඟ අරෝවක් ඇති කර ගෙන ඇති බවකුයි. මට ඔහු සමග එවැනි කිසිදු පෞද්ගලික අරෝවක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

ඔහු දමා තිබුණු ප්‍රතිචාරය පහත එලෙසම පළ කර තිබෙනවා.

"ඉකොනෝ ලාල්කාන්ත සහෝදරයා ගැන අරෝවක් ඇතිකරගත්තේ ලාල්කාන්තගේ පහත ප්‍රකාශය නිසා නේද?

'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
'

'තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූප'

ඉකොනෝට ඉහත මුල් ප්‍රකාශයෙන් රිදිලා තියෙන අන්දම මේ ටිකේම හැම පොස්ට් එකටම ලාල්කාන්ත ගැන මොකක් හරි කියන එකෙන් පේනවා. 

ඉකොනෝ වගේ සමාජශීලි නැති, හැම දේම මුදලින් මනිනා අයට නම් මිනිස් සබදතා තේරෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට අපි අකමැති දේවලුත් කරන්න වෙනවා මේ අවකාශය තුලදී. ඉකොනෝට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඔබට එහෙම ජිවිතයක් නැහැ. ඔබ කිසි ජිවිතයක් නැති මනුස්සයෙක්. මම මේක කලිනුත් මේ බ්ලොග් එකේ කොතැනක හරි කිව්වා."

මේ වන විට බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ලාල්කාන්තව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සම්බන්ධව විමසීමේදී ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් පානය කිරීමේ තහනමක් නැති බවත්, එසේ වුවත් පක්ෂ නායකයින් මත්පැන් නොබීමේ සම්ප්‍රදායක් ඇති බවත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැති බවත්, එවැන්නක් සිදුව ඇත්නම් ඔහුට අවවාද කිරීමට බලාපොරොත්තු වන බවත් ටිල්වින් සිල්වා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් තහනම් කළ යුතුද, සම්ප්‍රදායක් ලෙස ජවිපෙ නායකයින් මත්පැන් පානයෙන් වැලකී සිටිය යුතුද, එසේ මත්පැන් පානය කරන ජවිපෙ නායකයින් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුද වැනි කරුණු ජවිපෙ සාමාජිකයින් විසින් තීරණය කළ යුතු එම පක්ෂයේ අභ්‍යන්තර තීරණ. මත්පැන් සම්බන්ධව දැඩි හෝ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම එම පක්ෂයේ අයිතියක්.

කොහොම වුනත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැතැයි ටිල්වින් සිල්වා කරන ප්‍රකාශයනම් නිවැරදි වෙන්න බැහැ. දෙමසකට පමණ පෙර ඇනෝ කෙනෙක් විසින් උපුටා දක්වා තිබෙන ඉහත පුවත්පත් සාකච්ඡාවේදී තමන් මත්පැන් පානයෙන් වැලකී සිටින සම්ප්‍රදායක නැති බව ලාල්කාන්ත විසින් සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. ලාල්කාන්තට අනුව පක්ෂයේ මත්පැන් නොබොන සංස්කෘතියේ පදනම බොහෝ සාමාජිකයින්ට ආර්ථික අමාරුකම් තිබීමයි. ඔහු එයින් අදහස් කරන්නේ ආර්ථික අමාරුකම් නොවේනම් මත්පැන් බීමේ වෙනත් සදාචාරත්මක වරදක් නැති බව විය යුතුයි. තමන් හිඟන්නෙක් නොවන බව වැනි දෙයකුත් ඔහු වෙනත් තැනක කියා තිබුණා.

බොහෝ සමාජවාදීන් හා සමාජවාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ජවිපෙ යනු ආරම්භයේ සිටම කිසියම් මත්පැන් විරෝධයක් තිබුණු පක්ෂයක්. ලංකාවේ මත්පැන් විරෝධයට ආගමික හා සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඔවුන් විසින් පසුගාමී සේ සැලකූ ලංකාවේ ආගමික හා සංස්කෘතික පුරුදු වල කොටසක් ලෙස මත්පැන් විරෝධය දුටු නිසා වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ ග්‍රාමීය පසුබිමක් තුළ ව්‍යාප්ත වූ ජවිපෙට මේ කරුණේදී පැරණි වාමාංශික පක්ෂ වලින් වෙනස් වීමේ අවශ්‍යතාවයක් ඇති වීම තේරුම් ගත හැකියි.

ජවිපෙ විසින් සමාජවාදයට දේශප්‍රේමය එකතු කළ 1988/89 කාලය ඔවුන්ගේ මත්පැන් විරෝධය කැපී පෙනුණු කාලයක්. ඒ කාලයේ ගම් වල සිටි නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයින් හා බෙදාහරින්නන් බොහෝ දෙනෙකුට ජවිපෙ/දේජව්‍යා තර්ජන හමුවේ සිය ව්‍යාපාර නවත්වා දමන්න සිදුවුණා. මේ අතින් රජයේ පොලීසි වලට අත් කරගත නොහැකි වූ ප්‍රගතියක් ඔවුන් විසින් අත්පත් කරගත්තා.

පොලීසියට අහු වූ විට අල්ලස් දී බේරී හෝ උසාවියේදී සුළු දඩයක් ගෙවා ආපසු පැමිණීමෙන් පසුව නැවත පුරුදු රස්සාව කරගෙන යන්න බාධාවක් නොතිබුණත් සහෝදරවරුන්ගෙන් ඒ විදිහට බේරෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දිගින් දිගටම මත්පැන් විකිණීමේ වන්දිය මරණය විය හැකිව තිබුණා. මෙවැනි තැනකින් මත්පැන් පානය කරන්න යාම පවා දැඩි දඬුවම් ලැබිය හැකි කටයුත්තක් වුණා. ඇතැම් ගම් වලදී නිතිපතා මත්පැන් පානය කරන අය නැවත එසේ කර අසුවුවහොත් කට කපන බවට සහෝදරවරුන් විසින් තර්ජනය කර තිබුණා. පාර අයිනට වී කසිප්පු බූලියක් හිස මත තබාගෙන හා මත්පැන් විකිණීමෙන් තමන් වරදක් කළ බවත්, නැවත එම වරද නොකරන බවත් සඳහන් බෝඩ් එකක් බෙල්ලේ එල්ලාගෙන සිටි අය ඒ දවස්වල දකින්න ලැබුණා. මේ විදිහට ගම් වල සුළු හොරකම් කළ අය හා කසිප්පු පෙරීම හා විකිණීම කළ අය එම කටයුතු වලින් වැළැක්වීම දෙවන කැරැල්ලේ මුල් කාලයේදී ජවිපෙට කිසියම් ජනප්‍රසාදයක් ලබාගැනීමට ඉවහල් වුනා.

මේ වන විට ජවිපෙ විසින් මත්පැන් පානය මානුෂික සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් කියා හිතන තැන දක්වා විපරිණාමය වී තිබෙනවා. උඩ සඳහන් කළ ඇනෝ වගේ අය හිතනවා ඇත්තේ මත්පැන් නොබොන කෙනෙක් කියන්නේ සමාජශීලී නොවන, මිනිස් සබඳතා නොතේරෙන, ජීවිතයක් නැති මනුස්සයෙක් කියලයි.

මා මත්පැනින් වැලකී සිටින කෙනෙක් නෙමෙයි. නමුත්, මත්පැන් බීම හා සමාජශීලී වීම කියන්නේ හැමවිටම එකටම යා යුතු කරුණු දෙකක් කියා මම විශ්වාස කරන්නේ නැහැ. සමාජශීලී නැති බේබද්දන් වගේම මත්පැන් නොබොන ඉතා සමාජශීලී අයත් ඉන්නවා.

පසුගිය කාලය තුළ දැකිය හැකි වූ ජවිපෙ මත්පැන් ප්‍රතිපත්තියේ විකාශනය ජවිපෙ විකාශනයේම පිළිබිඹුවක්. මේ වන විට ජවිපෙ කියන්නේ අර්ධ නාගරික පක්ෂයක්. එම පක්ෂයට මුලින් ආකර්ශනය වූ සිංහල, බෞද්ධ, ග්‍රාමීය මධ්‍යම කොටස් වල ජීවන තත්ත්වය පසුගිය දශක තුනක පමණ කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ එක්කම මේ කණ්ඩායමේ ආකල්ප වලත් විශාල වෙනසක් ඇති වී තිබෙනවා. ජවිපෙ තුළින් පිළිබිබු වන්නේ එම වෙනසයි.

අදාළ රිය අනතුර සිදු වූ වෙලාවේ ලාල්කාන්ත මත්පැන් පානය කර සිටියාද, එය අදාළ රිය අනතුරට හේතු වූවාද වැනි කරුණු අධිකරණය විසින් තීරණය කළ යුතු දේවල්. ඒ හා අදාළව නිගමන වලට එළැඹෙන්න මා හදිස්සි වන්නේ නැහැ. කොහොම වුනත්, මත්පැන් පානය කර රිය එළැවීම තවමත් දුලබ දෙයක් නෙමෙයි.

මත්පැන් පානය කර වාහන එළවා අසු වූ විට නියම කළ හැකි දඩ මුදල වසර එකහමාරකට පමණ පෙර රුපියල් 2,000ක සිට රුපියල් 25,000 දක්වා විශාල ලෙස වැඩි කළා. මෙයින් අපේක්ෂා කළේ බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීමයි. රථවාහන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් ඉහළ යාමට සාපේක්ෂව රථවාහන අනතුරු පහළ යන බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන කරුණක්.

වැඩිහිටි පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තනිව හෝ කණ්ඩායමක් සමඟ මත්පැන් පානය කිරීම ඔවුන්ගේ පෞද්ගලික නිදහසේ කොටසක්.

"අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද?"

තෙවන පාර්ශ්වයන්ට හානියක් නොකරමින් කණ්ඩායමක් එක්ව මත්පැන් පානය කිරීමේ සමාජයීය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, එසේ කරන අයෙකුගේ කට කපා දඬුවම් නොකර ඒ පෞද්ගලික නිදහසට ඉඩ දීම මානුෂිකයි. නමුත්, තෙවන පාර්ශ්වයකට හානියක් වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අයෙකුගේ මත්පැන් පානය තවත් අයෙකුගේ ජීවත්වීමේ නිදහසට බාධා කළ යුතු නැහැ. අයෙකුගේ මත්පැන් පානයේ මිල වෙනත් අයෙකු විසින් ගෙවිය යුතුද නැහැ.

බීමත් රියදුරන් විසින් සිදුකරන රිය අනතුරු කියන්නේ මත්පැන් පානය හේතුවෙන් තෙවන පාර්ශයන්ට හානි සිදු කරන එක් ආකාරයක් පමණයි. මත්පැන් පානයෙන් පසු ගැටුම් වලට පැටලීම, සද්ද බද්ද වැඩිවීම ආදී වෙනත් බොහෝ ආකාර වලින් තෙවන පාර්ශ්වයන්ට හානි සිදුවිය හැකියි. මත්පැන් පානය හේතුවෙන් සිදුවන රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට පොදු අරමුදල් වැය වීම මේ ගොඩට දැමීමනම් තරමක් ප්‍රශ්නකාරීයි. මත්පැන් හා දුම් පානය කරන්නන් විසින් බදු සේ ගෙවන මුදල ලංකාවේ රජයේ සෞඛ්‍ය වියදම් මුළුමනින්ම වාගේ ආවරණය කිරීම එයට හේතුවයි.

මත්පැන් පානය කරන්නන් බොහෝ විට වැඩේ පටන් ගන්නේ මානුෂීය සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් ලෙස මිස තෙවන පාර්ශ්වයන්ට හානි කිරීමේ අරමුණක් ඇතිව නෙමෙයි. නමුත්, සමහර වෙලාවට දන්නෙම නැතුව මානුෂික සම්බන්ධතාව ටිකක් වැඩි වෙනවා. තමන්ගේ රිය පැදවීමේ හැකියාව මත්පැන් නිසා දුර්වල වී තිබෙන බව ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය අසරණ ජීවිතයක් වෙන්න පුළුවන්. සිහිකල්පනාව යථා තත්ත්වයට පැමිණෙන විට ආපසු හැරවිය නොහැකි සේ වැරැද්ද සිදුවී අවසන්.

ජවිපෙ මුල් වී සිදු කළ රාජ්‍ය විරෝධී කැරළි දෙකකදී විශාල ජීවිත හා දේපොළ විනාශයක් සිදුවුනා. රටේ ආර්ථිකය වසර ගණනාවකින් ආපස්සට ගියා. එයට හේතු වුනේ මාක්ස්වාදයෙන් මත්වීම තුළ සිදු වූ දේශපාලන අධිනිශ්චයයි. ඒ හානි දැන් ආපසු හරවන්න බැහැ. බීමත් අයෙකුට තමන් ඉන්නේ හොඳ සිහි කල්පනාවෙන් නොවන බව තේරෙන්නේ නැහැ. ආගමික, දේශපාලනික හෝ වෙනත් මතවාදයකින් මත් වූ විටත් එය එසේමයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ අහුරමින්, රාජ්‍ය යාන්ත්‍රනය විශාල කරමින්, ආදායම ඉක්මවා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම නිසා සිදුවන හානිත් ආපසු හරවන්න අමාරුයි.

(Image: https://www.whiskytempel.de/shop/glenallachie-9y-karl-marx-200th-anniversary-ruby-port-cask-finish-limited-to-200-960.html)

Thursday, January 31, 2019

ගින්දර සීතල වුනේ කොහොමද?


පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර හෙවත් කවුරුත් දන්නා විදිහට රෝහණ විජේවීරගේ ජීවිතය අලලා හැදූ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය මේ දිනවල ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. මෙය ඇමරිකාවේ ප්‍රදර්ශනය කළේ ලංකාවේ ප්‍රදර්ශනය කරන්නටත් පෙර වුවත්, ඒ මා ජීවත් වන පැත්තේ නොවන නිසා මට තවමත් මේ චිත්‍රපටය නරඹන්නට ඉඩක් ලැබී නැහැ. එවැනි ඉඩක් ලැබෙන දවසක් ගැන අදහසක්ද නැහැ. ඒ නිසා, චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කිරීමේ හැකියාවක් මට නැහැ. කොහොම වුනත් මේ චිත්‍රපටය මේ වෙලාවේ මේ විදිහට හැදෙන පසුබිම ගැන කතා කිරීමට එය නරඹා නොතිබීම බාධාවක් නෙමෙයි.

මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ දින කිහිපයකට පෙරයි. ඒ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විදුර සමඟ කර තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට සවන් දීමෙන් පසුව. ලිපියට මාතෘකාව ලෙස මුලින්ම යෙදුවේ "සීතලෙන් උපන් ගින්දර" යන්නයි. ලිපිය පළ කරන්නටද පෙර ඒ මාතෘකාව යටතේම හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියා පළ කර තිබුණු ලිපියක් දක්නට ලැබුණා. එය චිත්‍රපටය පිළිබඳ විචාරයක්. හෙන්රි වර්ණකුලසූරිය යනු චිත්‍රපටයක් විචාරය කරන්නට අවශ්‍ය සුදුසුකම් මෙන්ම විජේවීරගේ දේශපාලනය පිළිබඳ අත්දැකීම්ද ඇති අයෙක්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නැහැ.

හෙන්රි මෙන්ම අජිත් පැරකුම්, මධ්‍යස්ථ මතධාරියා වැනි බ්ලොග්කරුවන් ඇතුළු තවත් අය ගින්නෙන් උපන් සීතල විඳ තමන් ලද  අත්දැකීම් බෙදාහදාගෙන තිබුණා. දේශපාලනිකව පුළුල් පරාසයක විසිර සිටින බොහෝ අය පොදුවේ එකඟ වන කරුණු කිහිපයක් පෙනෙන්නට තිබෙනවා. පළමු කරුණ, චිත්‍රපටයක් ලෙස මෙය හොඳ එකක් කියන එක. අද Cult බ්ලොගයේ දුටු විග්‍රහයනම් මීට වඩා වෙනස් එකක්. දෙවන කරුණ, මෙහි විජේවීරගේ දේශපාලනයට අඩු අවධානයක් යොමු කර ඔහුගේ පවුල් ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව. මා හිතන පරිදි දෙවැන්න නිර්මාණකරු විසින් හිතාමතාම කර ඇති දෙයක්. කෙසේ වුවත්, මේ චිත්‍රපටය මිනීමරුවෙක් වන විජේවීරගේ චරිතය සුදු කරන්නට හැදූවක් බව කියන අයගේ සිට විජේවීර නම් වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ කාර්ය භාරය අවතක්සේරු කරමින් ඔහුව පූස් පැටියෙක් කරන නිර්මාණයක් බව කියන අය දක්වා තවත් විවිධ අය සිටිනවා.

විජේවීර චරිතය ලංකාවේ දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය හැකි චරිතයක් නොවෙයි. ඒ අතරම, අප අමතක නොකළ  යුත්තේ ඉතිහාසය කියන්නේ නිශ්චිත දෙයක් හෝ අතීතයේ යම් දිනක සැබෑවටම සිදු වූ දෙයක් නොවන බවයි. ඉතිහාසය යනු වර්තමානයේ අප දන්නා හා අප විශ්වාස කරන තොරතුරු මත පදනම්ව අතීතය ලෙස අප එකිනෙකා විසින් වර්තමානයේදී මවා ගන්නා දේවල් පමණයි. ඒ නිසා, අප එකිනෙකා ඉතිහාසය ලෙස හඳුනා ගන්නේ එකම දෙයක් නොවයි. මෙය විජේවීර චරිතයට හා ඔහුගේ දේශපාලනයටද අදාළයි.

අද වන විට විජේවීරගේ උරුමයට අයිතිවාසිකම් කියන ප්‍රධාන පාර්ශ්ව අඩු වශයෙන් තුනක් සිටිනවා. පළමුව, ඔහුගේ බිරිඳ හා දරුවෝ. දෙවනුව, ජවිපෙ. තෙවනුව, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය. මේ පාර්ශ්ව තුන අතරින් සාමාන්‍ය ජනතාව වැඩිපුරම විජේවීර උරුමය සමඟ සම්බන්ධ කර දකින්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ගින්නෙන් උපන් සීතල යනු වාර්තා චිත්‍රපටයක් නොවෙයි. එය වාර්තා චිත්‍රපටයක් වුවද අවසාන වශයෙන් වාර්තා විය හැකිව තිබුණේ විජේවීර සේ නිර්මාණකරු විසින් හඳුනාගත් හෝ නිර්මාණකරුට විජේවීර සේ පෙන්වන්නට අවශ්‍ය වූ චරිතය මිස සැබෑ විජේවීර චරිතයම නොවිය හැකිව තිබුණා. සැබෑ චරිතයක් පාදක කරගත් කලා නිර්මාණයකදී කොහොමටත් වෙන්නේ ඒ ටිකයි.

විජේවීර වැනි දේශපාලනික චරිතයක් ඒ අයුරින් චිත්‍රපටයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම කෙතරම් අභියෝගාත්මක කරුණක්ද යන්න කිව යුතු නැහැ. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය ඇසින් දුටු අය නැතත් රෝහණ විජේවීරව ලඟින් ඇසුරු කළ අය තවමත් ජීවතුන් අතර සිටිනවා. විජේවීරගේ උරුමය ඉදිරියට රැගෙන යන ප්‍රධාන පාර්ශ්ව දෙක සේ සැලකිය හැකි ජවිපෙට හා විජේවීර කුටුම්භයට සතුටු විය හැකි මට්ටමකින් විජේවීර චරිතය ගොඩ නගන්නට නිර්මාණකරු සමත්ව ඇති බව පෙනනවා. පෙරටුගාමී පක්ෂය මෙය කෙළෙස දකිනවාදැයි මා දන්නේ නැහැ.

අද ජවිපෙ කියන්නේ විජේවීර විසින් හදපු ජවිපෙම නෙමෙයි. එහි ඇති වරදක් නැහැ. ජවිපෙ වගේම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාප හා ශ්‍රීලනිපත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා. වැරැද්ද දේශපාලන පක්ෂයක් ඒ විදිහට පරිණාමය නොවනවානම් මිස පරිණාමය වීම නොවෙයි.

ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අරමුණින්ම ගොඩ නගනු ලැබූ ජවිපෙ අද වන විට මැතිවරණ හරහා බලයට පත් වෙන්න බලාගෙන සිටින පක්ෂයක්. විජේවීර ජීවත්ව සිටින කාලයේදීම ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වෙමින් මැතිවරණ වලට ඉදිරිපත් වුණා. එසේ කළේ විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ අරමුණ අත නොහැර තාවකාලික උපක්‍රමයක් ලෙසද එසේ නැත්නම් අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ නිසාද කියන එක පැහැදිලි නැහැ.

විජේවීර මරණයට පත් වුණේ දෙවන වරටත් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න දැරූ උත්සාහය අසාර්ථක වීම තුළයි. දෙවන වර ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වීමට ජේආර් ජයවර්ධන විසින් එම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ කටයුතු කිරීම අවහිර කිරීම සෑහෙන තරමකට හේතු වුණා. කොහොම වුනත් විජේවීර විසින් ජවිපෙ හැදුවේම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය එළිපිටම ප්‍රතික්ෂේප කරන පක්ෂයක් විදිහටයි.

අද ජවිපෙ විවෘතව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. නමුත්, එදා මෙන්ම අදත් ජවිපෙ පෙනී සිටින්නේ නිදහස් වෙළඳපොළට විරුද්ධව, මාක්ස්-ලෙනින්වාදය අනුව යමින්, ටික දෙනෙකු විසින් රටේ අනෙක් අය පරිභෝජනය කළ යුතු දේ තෝරා දෙන ආර්ථික ක්‍රමයක් වෙනුවෙනුයි.

ජවිපෙ කියන්නේ ලංකාවේ පළමු හෝ වඩාත්ම ශක්තිමත්ව පැවතුණු මාක්ස්වාදී පක්ෂය නෙමෙයි. මතක තිබෙන ආකාරයට ජවිපෙ විසින් කිසිදු මැතිවරණයකදී තනිව තරඟ කර 10% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නැහැ. 2001 මැතිවරණයේදී ඔවුන් විසින් ලබාගත් 9.1% ඡන්ද ප්‍රතිශතය ජාතික මැතිවරණයකදී ඔවුන් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය කියා මා හිතනවා.

මෙයට සාපේක්ෂව ලංකා සමසමාජ පක්ෂය 1952 මහ මැතිවරණයේදී 13.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එම ප්‍රතිශතය 1956 වෙද්දී 10.4% දක්වාත්, 1970 වෙද්දී 8.7% දක්වාත් අඩු වුණා. මේ විදිහටම ලංකාවේ අනෙක් මාක්ස්වාදී පක්ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද පදනමත් ක්‍රමයෙන් දිය වී යද්දී, ලසසප හා කොප වෙත ආකර්ශනය විය හැකිව තිබුණු තරුණ ඡන්ද වලින් කොටසක් තමන් වෙත ආකර්ශනය කරගන්න ජවිපෙ සමත් වුනා.

කෙසේ වුවත්, 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ලබාගත්තේත් 4.2%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. විජේවීර ජීවත්ව සිටියදී කවදාවත් ඔහුට ලසසප වැනි පැරණි වාමාංශික පක්ෂයකට වූ තරමේ ජනසහයෝගයක් ජවිපෙ වෙත ලබාගන්න පුළුවන් වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විජේවීර ජීවත්ව සිටියදීට වඩා විජේවීරගේ මරණයෙන් පසුව ජවිපෙ භූමිකාව ප්‍රබලයි. නමුත්, ජවිපෙ තවමත් 1950 දශකයේදී ලසසප සිටි තැනටවත් පැමිණ නැහැ.

පළමු කැරැල්ල ආරම්භ කරද්දී ජවිපෙට ජනසහයෝගයක් නොවූ තරම්. එවැනි පක්ෂයක් ගැන රටේ මිනිස්සු දැනගෙන හෝ හිටියේ නැහැ. නමුත්, එසේ වූ පමණින්ම 71 කැරැල්ල (ජවිපෙ පැත්තෙන් බැලූ විට) තනිකරම මෝඩ වැඩක් කියා කියන්න බැහැ. ලෝකයේ ඇතැම් රටවල එවැනි කැරළි ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා. ජවිපෙට යම් හෙයකින් 1971දී රටේ පාලන බලය අල්ල ගන්න හැකි වුනානම් ඒ බලය පවත්වාගැනීමත් කළ හැකිව තිබුණා. එසේ වූවානම් ජවිපෙට ජනසහයෝගය තිබෙනවාද නැද්ද යන්න වැදගත් කරුණක් වන්නේ නැහැ. කොහොම වුනත්, ප්‍රමාණවත් ජනසහයෝගයක් නැති වීම හා සමගි පෙරමුණේ ජනප්‍රියත්වය ගිලිහී නොතිබීම පළමු කැරැල්ල බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. බොහෝ තැන් වලදී සාමාන්‍ය ජනතාව "චේ ගුවේරා කාරයින්" ගැන ආරක්ෂක අංශ වලට ඔත්තු දුන්නා.

දෙවන කැරැල්ල අවස්ථාවේදී ජවිපෙ ඉහත කරුණු දෙකම ගැන අවධානය යොමු කර තිබෙන බව පෙනෙනවා. ඒ වන විට අවුරුදු 11ක් බලයේ රැඳී සිට තිබුණු ජේආර්ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම අඩු වෙලා තිබුණා. එහි වාසිය ගන්නා අතරම ජනසහයෝගය ලබා ගැනීමේ අරමුණින් ජවිපෙ සාමාන්‍ය ජනතාව භීෂණයට පත් කළා. ඒ හරහා ජවිපෙට එරෙහි විය හැකි හා ආරක්ෂක හමුදා වලට ඔත්තු දීමට ඉඩ තිබුණු අයගේ කටවල් වැහුවා. මේ උපක්‍රමය යම් තරමකින් සාර්ථක වුනා කියා කියන්න පුළුවන්. ජවිපෙ සේ සැක කර ජවිපෙ නොවන තරුණයින් පවා මරා දමන තැනට ආණ්ඩුව තල්ලු වුනේ ආරක්ෂක හමුදා වලට ජවිපෙ සාමාජිකයින් පිළිබඳ සැබෑ තොරතුරු හොයා ගැනීම අමාරු වූ නිසයි. ආණ්ඩුව එසේ කරද්දී තමන් වෙත ලැබෙන ජනසහයෝගය වැඩිවනු ඇතැයි ජවිපෙ නායකත්වය හිතන්න ඇති.

ජවිපෙ වෙත වැඩිම ජනසහයෝගයක් ලැබුණු කාලය ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ විමල් වීරවංශ ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයයි. ඒ කාලය වෙද්දී මාක්ස්වාදීන්ම නොවූ වෙනත් කොටස් පක්ෂය වෙත ආකර්ෂණය කරගන්න ජවිපෙ සමත් වුණා. නමුත්, මේ කාලය වෙද්දීත් ජවිපෙ දාගෙන හිටි ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූණ බොරුවක් බව බොහෝ දෙනෙක්ට පැහැදිලි වුනේ පෙසපෙ කණ්ඩායම කැඩී යාමෙන් පසුවයි.

ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයේ සිටි තැනට ජවිපෙ ඉන්පසුව හෝ ඉන් පෙර විජේවීරගේ කාලයේදී කිසිවිටෙකත් ලඟා වී නැහැ. ඒ කාලයේදී පවා 1950 දශකයේදී ලසසපය සිටි තැනට ලඟා වී නැහැ. ලංකාවේ ඡන්දදායකයින් අතර සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබෙන ඉල්ලුම 1950 කාලයේදී 20% පමණ මට්ටමේ තිබී ඇතත් දැන් එය වැඩිම වුනොත් 5%කට වඩා වැඩි නැහැ. ඒ නිසා, සමාජවාදී පක්ෂයකට සමාජවාදය ඉස්සරහට දමා මැතිවරණ ජයග්‍රහණයක් ලබන්න තිබෙන හැකියාව කැරැල්ලකින් රාජ්‍ය බලය පැහැර ගන්න තිබෙන ඉඩකඩටත් වඩා අඩුයි.

විමල් වීරවංශ වැනි අය මුල් වී ජවිපෙ ඉදිරි සීමාව (frontier) පුළුල් කළේ ජාතිකවාදය උදවු කරගනිමිනුයි. ඒ වන විට චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපය හෝ එජාපය යන පක්ෂ දෙකෙන් එකකවත් ජාතිකවාදී නැඹුරුවක් නොතිබීම එයට උදවුවක් වුණා. නමුත්, දැන් මහින්ද ඉඳිද්දී ඒක කරන්න බැහැ. ජවිපෙට ඉස්සරහට යන්නනම් සමාජවාදය හැර වෙන මොනවා හෝ ආකර්ශනීය දේවල් ටිකක් අවශ්‍යයි. ජවිපෙට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්න වී තිබෙන්නේ ඒ අනුවයි.

කොහොම වුනත්, මේ කාර්යයේදී ජවිපෙ කරන්නේ බොරුවක් කියා කියන්න බැහැ. මම හිතන විදිහට පෙසප කණ්ඩායම ඉවත් වීමත් එක්ක කරපු බොරුව නැවතුණා. විජේවීර පක්ෂය හැදුවේ නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කරමින් වුවත් නැවත එතැනට වැටෙන්න අමාරු තරමට විජේවීර ක්‍රමයෙන් ජවිපෙ ඈත් වෙලා ඉවරයි.

නමුත්, ජවිපෙට විජේවීරව අහක දාන්නත් බැහැ. මොකද නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකමත් පෙනී සිටිනවා. ඊට අමතරව ඒ පක්ෂ දෙක නිදහස් වෙළඳපොළක් වෙනුවෙනුත් පෙනී සිටිනවා. වෙනස්කම් තිබෙන්නේ ප්‍රායෝගික භාවිතාවේ.

ජවිපෙට තමන් අනෙක් පක්ෂ දෙකෙන් වෙනස් බව පෙන්වන්න සහ විජේවීර ප්‍රතිපත්ති වලින් දුරස් වී නැතිබව පෙන්වන්න යම් තරමකට හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. නමුත් එහෙම කරලා 5% සීමාවට එන්නත් අමාරුයි. ඒ නිසා, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩියෙන් පෙනී සිටින්නත් වෙනවා.

මැතිවරණ තරඟය ඇතුළේ ඉස්සරහට එන්න නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. එසේ කරද්දී පක්ෂයෙන් ගිලිහෙන කොටස මේ වන විටත් පෙසප එක්ක ඉවත් වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ අවුලක් නැහැ. නමුත්, විජේවීර ලකුණ අත ඇරියොත් ඉන්න අයගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. අල්ලපු අත්ත නවා ගන්න ගිහින් පය ගහපු අත්තෙන් බිමට වැටෙන්න බැහැ. ඒ නිසා සමාජවාදය හරි තියාගන්න ඕනෑ.

විජේවීරගේ ඇත්ත ප්‍රතිරූපය ඉස්සරහට දමලා ජවිපෙ දැන් හිරවෙලා ඉන්න තැනින් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වැඩේට ඕනෑ කරන්නේ දැනට ජවිපෙ ඇතුලේ ඉන්න අයට වගේම මැතිවරණයක් දිනීම සඳහා ඇතුළට ගන්න අවශ්‍ය කණ්ඩායමටත් එක සේ පිළිගත හැකි ටිකක් වෙනස් විජේවීර කෙනෙක්. සමාජවාදී වුවත්, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, මළ ගෙදරකදී ඕමියකට සෙට් වෙන්න ඉඩ තිබෙන, යහපත් පවුල් ජීවිතයක් ගත කරන, ගින්දර වගේ වැඩ තිබුණත් ඇතුළෙන් සීතල මනුස්සයෙක්. ඒ මනුස්සයා ඇත්ත විජේවීරද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටිය ජවිපෙ කොන්ත්‍රාත්තුවක් කියා මම කියන්නේ නැහැ. එය ස්වාධීන නිර්මාණයක් වෙන්න ඇති. හැබැයි ඔහු වෙළෙඳපොළ ගැන නොහිතා මේ චිත්‍රපටිය හැදුවා කියන්න බැහැ. චිත්‍රපටියේ ඉන්නේ මේ වෙලාවේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන කළ කිරී සිටින, ජවිපෙ සාමාජිකයින් නොවන අය ඉල්ලන රෝහණ විජේවීර. ඒ රෝහණ විජේවීර එක්ක පෙසපෙ එක්ක නොගිහින් ඉතුරු වෙලා ඉන්න ජවිපෙ සාමාජිකයින්ටත් අවුලක් නැහැ.

කොහොම වුනත්, විජේවීරගේ ගින්දර හීතල කරලා මාකට් කරන එක හිතන තරම්ම පහසු නැහැ. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණු දෙක ගැන වගේම පෞද්ගලික දේපොළ අයිතිය කියන එක ගැනත් ලංකාවේ ගොඩක් අය සංවේදීයි. හොඳම උදාහරණය විදිහට විජේවීර කුටුම්භයම පෙන්වන්න පුළුවන්.

විජේවීරගේ බිරිඳ සෘජුවම තමන්ගේ සැමියාගේ, දරුවන්ගේ තාත්තාගේ, උරුමය ඉල්ලා සිටිනවා. ජවිපෙට කෙසේ වුවත් ඇයට හා විජේවීරගේ දරුවන්ට රෝහණ විජේවීර පොදු දේපොළක් නෙමෙයි. උවිඳුටත් ජවිපෙ එක්ක ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. ඇත්තටම මේ ප්‍රශ්න ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නම නෙමෙයි. ජවිපෙ තවමත් පෙනී සිටින සමාජවාදයේ ප්‍රශ්න. ඒ නිසා, චිත්‍රපටය හරහා හැදෙන විජේවීරගේ අලුත් ප්‍රතිරූපය එක්ක වුනත් ජවිපෙට මහා දුරක් යන්න අමාරුයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...