වෙබ් ලිපිනය:

Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Tuesday, March 30, 2021

උඩ කරනම් ගහන රාළහාමිත් වින්දිතයෙක්!


රථවාහන පොලීසියේ රාළහාමිගේ උඩ කරනම් වීඩියෝව ගොඩක් අය දකින්න ඇති. රාළහාමිගේ වැඩ තහනම් වෙලා වගේ කතාවකුත් දැක්කා. පහර කෑ පුද්ගලයා ජෝජ් ෆ්ලොයිඩ් තරම් අවාසනාවන්ත වුනේ නැහැ. හැබැයි ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල හිර කරපු පොලිස් නිලධාරියා විසින් කළේ පොලිස් අත්පොතේ තිබුණු, තමන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වූ දෙයක්. හෙළ බොජුන් ඉස්සරහ රාළහාමි ගහන උඩ කරනම්නම් පොලිස් පොතේ තියෙනවා වෙන්න බැහැ. රාළහාමි ක්‍රියාවෙන් වගේම කතාවෙනුත් හරිම සංවරයි! පහර කෑ මනුස්සයා අපේ රජය තියෙද්දීත් වරදක් කළ නිසා රාළහාමිට කේන්ති ගියාද දන්නේ නැහැ. කරපු වැරැද්ද මොකක් වුනත් රාළහාමිගේ හෙළ බොජුන් සත්කාරයනම් මාරයි!

ලංකාවේ පොලිස් නිලධාරීන්ට උඩ කරනම් බිම කරනම් ගහන එකේ ඉඳලා පන්දාහේ කොළ ගිලින එක දක්වා ගොඩක් රාජකාරී කරන්න තිබෙනවා. ඔය අතරේ සමහර වෙලාවට පොලිස් රාජකාරිත් කරනවා. නිවාඩු වෙලාවට බෙලි කපලා බෑග් වල පැක් කරන එක වගේ වැඩත් කරනවා.

ලංකාවේ පොලිස් සේවය මධ්‍යගත එකක්. ඒ නිසා පස්සර බස් අනතුර සිදු වූ තැන වගේ තැන් වල සේවයේ යොදවන්න පොලිස් නිලධාරීන් නැතත් ප්‍රභූ ආරක්ෂාවට ඕනෑ තරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදී සිටිනවාද කියන එක හොඳ ප්‍රශ්නයක්.

පොලිස් සේවය විමධ්‍යගත වී තිබුණානම් බොහෝ විට පස්සර ප්‍රශ්නය වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම කියන්නේ පළාත් සභා වලට පොලිස් බලතල දීම වැනි ජාතිවාදී අරමුණකින් කරන විමධ්‍යගත කිරීමක් ගැන නෙමෙයි. මහජන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ප්‍රාදේශීය සභා මට්ටමටම යනවානම් වඩාත් හොඳයි. දැන්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා ආදී සියල්ලම දේශපාලනඥයින් පුහුණු කරන ඇකඩමි විතරයිනේ.

පොලීසිය පහළම මට්ටමකින් පාලනය වන ඒකකයක් වූ විට අදාළ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න පොලීසියට සිදු වෙනවා. මධ්‍යගත පොලීසියකට සේවය කරන නිලධාරීන්ට වෙන්නේ ලොක්කෝ කියන විදිහට උඩ කරනම් බිම කරනම් ගහන්නයි. සමහර වෙලාවට නැන්ද මාමලා බලන්න තෑගි බෝග අරගෙන යන්නත් වෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් පඩි ගත්තත් ගොඩක් පොලිස් රාළහාමිලාට සේවය කරන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. විශේෂයෙන්ම රථවාහන පොලීසියේ නිලධාරීන්ට. මේ අය තමන්ට දෙන ටාගට් කවර් කළ යුතුයි. මාසේ අන්තිමට ටාගට් කවර් කරලා නැත්නම් උඩ කරනම් රාළහාමිගේ ලොක්කා උඩ කරණම් රාළහාමිට කතා කරන්නෙත් ඔය වීඩියෝ එකේ ඇහෙන වචන වලින්ම තමයි.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ඉන්නේ නොපෙනෙන තැනක හැංගිලා. එහෙම කරන්නේ වරදක් කරන්න පොළඹවා දඩ කොළයක් දෙන්නයි. අරමුණ දඩය මිසක් වරද සිදු වීම වැළැක්වීම නෙමෙයි. ඇමරිකාවේනම් ඔය වැඩේ වෙන්නේ අනෙක් පැත්තට. පොලිස් නිලධාරියෙක් බොහෝ විට පෙනෙන්නම ඉන්නවා. නිලධාරියාව දැක්කට පස්සේ ගොඩක් අය ක්ෂණිකව වේගය අඩු කරනවා. ඉලක්කය වන්නේ අනතුරු වැළැක්වීම මිසක් දඩ ගහන එක නෙමෙයි. දඩ ගහන්නේ අනතුරු අඩු කරගන්න.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන්ට ටාගට් දෙන්නේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කරලා දෙන්න මිසක් අනතුරු අඩු කරන්න නෙමෙයි. දඩ කොළ ලියලා ටාගට් කවර් කරන්නනම් වැරදි අඩු කරලා හරියන්නේ නැහැ. වැරදි දිගටම සිදු වෙන්න ඕනෑ. සුරාබදු නිලධාරීන් වගේ අය ගත්තත් ඔහොමයි. හොර මත්පැන් මත්ද්‍රව්‍ය නැති වුනොත් ටාගට් කවර් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩ කරන අයත් එක්ක සහජීවනයක් පවත්වා ගන්න වෙනවා. නැත්නම් කොහොමද මාසෙ අන්තිමට ටාගට් කවර් කරන්නේ?

රථවාහන පොලිස් නිලධාරීන් රියැදුරන්ට වේගයෙන් යන්න ඉඩ සලසමින් හැංගිලා ඉඳිද්දී ලයිට් ගහලා වාහන වල වේගය පාලනය කරන්නේ පාරේ අනෙක් පැත්තෙන් එන වාහන වල රියැදුරන්. අනෙක් පැත්තෙන් වෙන්නේ අඳුරන වාහනයක් වෙන්න අවශ්‍ය නැහැ. මේවා ලංකාවේ වාහන එළැවීමේ ආචාර ධර්ම. ඇමරිකාවේනම් රියැදුරෙක් පාරේ පිස්සු කෙළින කොට අනෙක් රියැදුරන් විසින් කරන්නේ පොලීසියට දැනුම් දෙන එකයි. 

ලංකාවේ හා ඇමරිකාවේ සාමූහිකත්වයේ වෙනස ඕකයි. ලංකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ව ආරක්ෂා කරන්න. ඇමරිකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කරන්න. 

එක පැත්තකින් මේ වෙනසට හේතු වී තිබෙන්නේ ලංකාවේ නීතිය හා සාමාන්‍ය මිනිස්සු අතර තිබෙන දුරස්ථ භාවයයි. නීතිය උන්ගේ. පොලීසියත් උන්ගේ. පොලීසිය ප්‍රාදේශීය පොලීසියක් වුනානම් එය අපේ පොලීසියක් මිසක් උන්ගේ පොලීසියක් වෙන්නේ නැහැ. නීතිය මිනිස්සුන්ගේ තේරීමක් වුනානම් එය අපේ නීතියක් මිසක් උන්ගේ නීතියක් වෙන්නේ නැහැ. වැරැද්ද එංගලන්තයට පටවන්න පුළුවන් වුනත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේත් එංගලන්තයටම බැණ බැණ ඉන්න එකේනම් අවුලක් තියෙනවා.

උඩ කරනම් රාළහාමි විශාල පීඩනයකින් ඉන්න බව පැහැදිලියි. මාසේ අන්තිම වෙද්දී රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ආතතිය වැඩි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ආණ්ඩුව පිස්සුවෙන් වගේ සල්ලි හොයන මේ දවස් වල පොලිස් නිලධාරීන්ගේ ටාගට් සමහර විට වැඩි කරලා ඇති. ඔය මහ පාර මැද්දේ හෙළ බොජුන් සත්කාර භුක්ති විඳින මනුස්සයා වගේම උඩ කරනම් ගහන රථවාහන පොලීසියේ රාළහාමිත් වින්දිතයෙක්!

Monday, November 9, 2020

ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!


පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ හා ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක් එක වර පැවැත්වෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව මෙතෙක් අපරාධ වරදක් වූ හෙරොයින්, කොකේන් ඇතුළු දරුණු ගණයේ ලා සැලකෙන මත්ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් වාණිජ නොවන අරමුණකින්, තමන්ගේ පාවිච්චිය සඳහා ළඟ තබා ගැනීම තව දුරටත් අපරාධ වරදක් වන්නේ නැහැ. ඔරිගන් ඡන්දදායකයින්ගෙන් 59.51%ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙය මෙවැනි යෝජනාවක් ඇමරිකාවේ සම්මත වූ පළමු අවස්ථාවයි. පෘතුගාලයේනම් කලක සිටම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නෙමෙයි.

මේ යෝජනාවේ අරමුණ මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානි අඩු කිරීමයි. යෝජනාව සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත වන්නේ නැතත්, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් සේ දකිනවා වෙනුවට ඇබ්බැහි වූවන් පිළිබඳව මානුෂික මුහුණුවරකින් බලා මත්ද්‍රව්‍ය භාවිතය යනු ප්‍රතිකාර කළ යුතු රෝගයක් සේ දකිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කෙරෙනවා. එය නොකරන්නේනම් ඩොලර් 100කට නොවැඩි සුළු දඩ මුදලක් පමණක් අය කළ හැකියි.

මෙතෙක් ඔරිගන් ප්‍රාන්තය තුළද ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අසු වූ විට සිර දඬුවම් දෙනු ලැබුවා. එහෙත්, සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන පරිදි භාවිතා කරන්නන් සිරගත කිරීමෙන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවතින්නේ නැහැ. සිරෙන් නිදහස් වන ඔවුන් නැවත නැවතත් සිරගත වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

වරක් අපරාධ වරදකට වරදකරුවෙකුට වූ අයෙකුට රැකියාවක් ලබා ගැනීම, කුලියට නිවසක් ගැනීම ආදී බොහෝ දේ අසීරු වෙනවා. ඒ නිසා, නැවතත් පරණ වලේම වැටී සිරගත වෙනු හැර ගොඩ යන්න අවස්ථාවන් අඩුයි. එයින් වෙන්නේ මහජන මුදල් නාස්තියක්.

"කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීම" ලංකාවේ අයෙකු අසා නැති දෙයක් නෙමෙයි. ඔය විදිහට ඇතුළට යන අය ගියේ ඇත්තට වුනත්, බොරුවට වුනත්, ආපහු එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයා නෙමෙයි. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටින අය බොහෝ විට වරදකරුවන් වුවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නම් ලේසියකට අහුවෙන්නේ නැහැ.

අලුත් නීතිය සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන අසුවන අයව මහජන මුදලින් පුනරුත්ථාපනය කෙරෙනවා. යෝජනාව අනුව, මීට පෙර ගංජා භාවිතය නීතිගත කිරීමෙන් පසු ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙමින් පවතින බදු හා ගාස්තු වලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කෙරෙනවා.

ඔරිගන් වැසියන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නීති ලිහිල් කර ගනිද්දී තවත් ප්‍රාන්ත ගණනාවක ගංජා භාවිතය නීතිගත කර ගැනීම වෙනුවෙන් වූ ජනමතවිචාරණ ජයග්‍රහණය කර තිබෙනවා.


Friday, June 5, 2020

පොලීසිය කා වෙනුවෙන්ද?


ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය එය කළු හා සුදු වාර්ගිකයින් අතර ගැටුමක් ලෙස දකිනවා. මොන විදිහෙන් හරි ගැටුමක් තිබෙන බව පැහැදිලි කරුණක්නේ. ගැටුම කුමක්ද කියන එක තීරණය වන්නේ එක එක පුද්ගලයා එය අර්ථ විවරණය කරන ආකාරය අනුවයි.

විශේෂයෙන්ම ඇමරිකාවේ හා ලංකාවේ සමාජයීය වෙනස්කම් ගැන අවබෝධයක් නැති අය මෙය දකින්නේ තමන් දන්නා ලංකාවේ තත්ත්වයන් මත පරාරෝපණය කරමින්. කළු හා සුදු වාර්ගිකයින් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් වගේ එකක්. පොලීසිය හා ජනතාව අතර ගැටුමක් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ ලංකාවේ පොලීසිය. කවුරු වුනත් තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකය දකින එක අමුතු දෙයක් නෙමෙයි.

දැන ගන්නට කැමති අයට දැන ගන්න ඇමරිකාවේ පොලිස් නිලධාරියෙක් කියන්නේ කවුද කියලා ටිකක් පැහැදිලි කරන්නම්.

අපි ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙතම නැවත එමු. ඔහුගේ ගෙල මත දණහිස තබාගෙන සිටි ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.  කළුතර පොලීසිය හරි මැදවච්චිය පොලීසිය හරි ශ්‍රී ලංකා පොලීසියේ කොටස් වෙනවා වගේ මේ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව "ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුවේ" කොටසක් නෙමෙයි. ඇමරිකන් පොලීසිය කියා එකක් නැහැ.

ඇමරිකාවේ නීතිය හා සාමය රැකීම ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුත්තක් නෙමෙයි. බොහෝ විට එය සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමටත් වඩා පහළ මට්ටකමදී. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව. එය පිහිටුවාගෙන තිබෙන්නේත්, බදු ගෙවා නඩත්තු කරන්නේත් මිනියාපොලිස් නගරයේ වැසියන් විසින්.

මිනියාපොලිස් නගරය 430,000ක පමණ ජනගහණයක් සිටින වර්ග සැතපුම් 54ක පමණ භුමි ප්‍රදේශයක පැතිරුණු මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි නගරයක්. ජනගහණය අනුව ඇමරිකාවේ නගර අතරින් 46 වන තැනටයි වැටෙන්නේ. 1950දී 98.4%ක්ම සුදු ජාතිකයින් සිටි නගරයක් වුවත් 2010 වන විට සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය 63.8% දක්වා අඩු වී තිබෙනවා. නගර වැසියන්ගෙන් 18.6%ක් කළු ජාතිකයින්. වෙනත් විවිධ ජනවර්ග වලට අයත් පිරිස්ද විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.

මිනියාපොලිස් නගරයට නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඡන්දයෙන් පත්ව සිටින නගරාධිපතිවරයා ජේකබ් ෆ්‍රේ. ඇමරිකන් යුදෙවුවෙක්. ඔහු නියෝජනය කරන්නේ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයයි. ඩිමොක්‍රටික් පක්ෂය හා වාමාංශික පක්ෂයක් වූ මිනසෝටා ගොවි කම්කරු පක්ෂය සන්ධානගතව හැදුණු පක්ෂයක්. මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාව කියා කියන්න පුළුවන්. 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ නගරාධිපතිවරයෙක් විසින්. එයින් වසර හතක් නගරාධිපති ලෙස කටයුතු කර තිබෙන්නේ කළු ජාතික කාන්තාවක්.  පසුගිය වසර 75ක කාලය ඇතුළත වෙනත් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු විසින් නගරය පාලනය කර තිබෙන්නේ වසර 9ක කාලයක් පමණයි.

ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි. වොලී බැස්ටියන්ට "මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා" කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්. එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි. පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.

ඇමරිකාවේ පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතනයක් නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන. තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.

තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අවශ්‍ය වූ දෙයක්. ඒ  නිසා මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක්.

කුඩා ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ තිබෙනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් පොලීසියක් අවශ්‍ය වූ අයයි.

සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකාවේ නැහැ.

පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 58,866ක් වාර්තා වී තිබෙන අතර අවස්ථා 18,005කදී ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා. වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා. 2019දී මිය ගිය ගණන 147ක්. 2020දී මේ දක්වා 96ක්.

අප කතාව පටන්ගත් මිනියාපොලිස් නගරයේ අඩු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තු පහක් තිබෙනවා. පළමුවැන්න හෙනපින් කවුන්ටි ෂෙරීෆ් කාර්යාලයයි. ඇමරිකාවේ කවුන්ටියක් කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වගේ එකක්. ෂෙරීෆ් කාර්යාලයට අනුයුක්තව නිලධාරීන් 800ක් පමණ ඉන්නවා. මෙහි ප්‍රධානියා වන ෂෙරිෆ් වරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්.

මිනසෝටා සරසවියට අයිති තවත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. එය පාලනය වන්නේ සරසවිය පාලනය කරන බලධාරීන් විසින්. මිනියාපොලිස් ගුවන් තොටුපොළ වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් පොදු ප්‍රවාහන (දුම්රිය) පද්ධතියේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් නගරයේ පොදු උද්‍යාන වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත් වෙනම තිබෙනවා. මිනියාපොලිස් නගර සභාවට අයත් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මීට අමතරවයි.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා යටතේ. පොලීසිය නඩත්තු වෙන්නේ නගරයේ වැසියන්ගේ බදු මුදලින්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ බදු මුදල් වැය කරන්නේ බදු ගෙවන අයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි. නගරාධිපතිවරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්. පොලීසියේ ප්‍රධානියාව පත් කරන්නේ නගරාධිපතිවරයා විසින්. මිනියාපොලිස් පොලීසියේ ප්‍රධානියා වගකිව යුත්තේ මිනියාපොලිස් නගරාධිපතිවරයාටයි. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ වෙනත් පොලිස් දෙපාර්තමේන්තු අතර සම්බන්ධයක් නැහැ.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා කළු ජාතිකයෙක්. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන බවට මූලිකවම වග බලා ගත යුත්තේ ඔහු විසින්. ඔහු එසේ නොකරන්නේනම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුත්තේ නගරාධිපතිවරයා විසින්. නගරාධිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අසතුටුනම් ඔහුව ඉවත් කළ යුත්තේ නගරයේ වැසියන් විසින්.

ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වන තුරුම කළු ඇමරිකානුවෙකු වන පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී නැහැ. පොලිස් ප්‍රධානියාව නගරාධිපතිවරයාට ප්‍රශ්නයක් වී නැහැ. නගරාධිපතිවරයාව හෝ 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ දේශපාලනය නගර වැසියන්ට ප්‍රශ්නයක් වී නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඒ වෙලාවේ සිදු වුනු හුදෙකලා සිද්ධියක්ද, එසේ නැත්නම් ආයතනගත වී තිබෙන ප්‍රශ්නයක කොටසක්ද කියන එක විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටයි.

(Image: https://www.fox9.com/news/councilmembers-vow-to-dismantle-minneapolis-police-department-emergency-meeting-set)


Thursday, June 4, 2020

වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...


සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක් දිග් ගැස්සී සරසවිය වසා දමා තිබුණු නිසා. අවුරුද්දට ගෙදර ආවම ආපහු යන දවසක් ගැන ඉලක්කයක් තියෙනවා. මේ කියන අවුරුද්දේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. සරසවිය අරිනකම් බලා ඉන්න ඕනෑ.

මම ජනේලය ළඟට වෙලා ඔහේ බලා හිටියා. සරසවිය ඇරලද කියලා පේන නිසා නෙමෙයි. වෙන කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසා.

මොකක් හෝ හේතුවක් නිසා පාරේ වාහන තදබදයක්. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට වාහන තදබදයක් හැදෙන්නේ වාහන අනතුරක් නිසා. අපේ ගේ ඉස්සරහින් යන පාර ප්‍රධාන පාරක් වුනත් නගරයකින් තරමක් ඈත්ව පිහිටි කොටසක් නිසා බොහෝ විට වාහන එක ගැම්මට වේගයෙන් යනවා. එය එහෙම නොවනවානම් අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක්.

මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. ප්‍රධාන පාරේ සිට ඔය බොරළු පාර යා කරන හරස් පාරවල් ගණනාවක් තැනින් තැන තියෙනවා.

මහ පාරේ වාහන තදබදය නිසා වාහන ඔය කියපු සමාන්තර පාරට දමලා. අපේ ගෙදරට ටිකක් කලින් තිබෙන හරස් පාරෙන් ඒ පාරට දමලා ගෙදරට එහායින් තිබෙන ඊළඟ හරස් පාරෙන් නැවත ප්‍රධාන පාරට ගන්නවා.

ඔහොම බලා ඉඳිද්දී අපේ ගේ පැත්තට කණ්ඩායමක් එනවා. ගමේ තරුණයින් පිරිසක්. මම මේ අයත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. අපි මේ ගෙදර පදිංචියට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. අපි කියා කිවුවත් ගෙදර අය. මම වැඩිපුර හිටියේ සරසවි නේවාසිකාගාරයේ. ඉඳහිට ගෙදර එන දවසක අහල පහළ මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාව දන්නවා.

"මහත්තයා පොලීසියට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද?"

තරුණ කණ්ඩායමත් එක්ක විදේශික කාන්තාවක්.

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

තරුණ පිරිස අර විදේශික කාන්තාව දෙසට මුහුණ හැරෙවුවා. මම ඒ ප්‍රශ්නයම නැවත ඇගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා.

"මගේ ජංගම දුරකතනයේ සිග්නල් නැහැ. පොලීසියට කෝල් එකක් ගන්න ඕනෑ."

ඒ දවස් වල ලංකාවේ ගොඩක් තැන්වල සිග්නල් නැහැ. අපේ ගෙවල් පැත්තේ සිග්නල් නැති බව අමුත්තක් නෙමෙයි.

"මේ නෝනගේ වාහනේ පාරෙන් පැත්තකට ගිහින්. පොලීසියට කතා කරන්න ඕනෑ කියනවා."

එක තරුණයෙක් පිළිතුරු දුන්නා. අර සාමාන්‍යයෙන් වාහන නොදමන පාරට ඇය ඇගේ වාහනයත් අනිත් වාහන පස්සෙන් දමලා. වාහනය අළුත්, සුඛෝපභෝගී වාහනයක්. පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති. ඔය වගේ පාරක වාහනයක් එළවන එක බටහිර රටක ජීවත් වන අයෙකුට පුරුදු දෙයක් නෙමෙයි. අවුලක් කර ගෙන තියෙන එකේ පුදුමයක් නැහැ.

ඔය වගේ වෙලාවක ගමේ තරුණ කැල පටස් ගාලා උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ලංකාවේ වෙන ගොඩක් ගම් වල වගේම තමයි. වාසියක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

"කරුණේ මුදලාලිගේ ට්‍රැක්ටරේ ගෙනාවනම් වාහනේ අදින්න තිබුණා. කොහෙද කිවුවට අහන්නේ නැහැනේ. මහත්තවත් කියල බලන්න. අපි කියන දේ තේරෙන්නෙ නැතුව ඇති."

විදේශික කාන්තාව මගේ සහ තරුණයින්ගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට සැකයෙන් බලනවා.

"මම සල්ලි දෙන්නම්!"

කීයක් හරි කඩා ගන්න බලාගෙන දුරකතන ඇමතුමක් අරන් දෙන්න අදිමදි කරනවා කියල හිතන්න ඇති.

"එන්න."

මම ඇයට දුරකථනය තිබෙන තැනට පැමිණෙන ලෙස ආරාධනා කළා.

"පොලීසියේ අංකය කුමක්ද?"

ඇය මගෙන් ඇහුවේ 999 වැනි ඉලක්කම් තුනේ අංක කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුවයි. ඒ දවස් වල ලංකාවේ ඔය ඉලක්කම් තුනේ හදිසි ඇමතුම් අංක තිබුණේ නැහැ. මම දුරකථන නාමාවලිය පෙරළලා අපේ පොලීසියේ අංකය ඇයට පෙන්නුවා.

පොලීසියට ඇමතුමක් ගන්න කිහිප වරක් උත්සාහ කළත් කවුරුවත් දුරකථනය උස්සන්නේ නැහැ. මේ වෙලාවේ ඕනෑනම් පොලීසියේ නිකම් නමට වගේ එක නිලධාරියෙක් ඇති. අවුරුදු දවස් වල කන්තෝරු වල තත්ත්වය කවුරුත් දන්නවනේ. නමට ඩියුටි හිටියත් එක්කෙනෙක් තියලා අනිත් අය ගෙදර ගිහින් ඇති.

වැඩේ හරියන්නේ නැති බව ඇයට තේරුණා. එහෙත් අපේ ගමේ තරුණයන්ගේ ඉංග්‍රීසි එක්ක ඔට්ටු වී හොඳටම තෙහෙට්ටු වී සිටි ඇයට අඩු වශයෙන් මගේ ඉංග්‍රීසි වලින් කිසියම් හෝ පහසුවක් දැනෙන්න ඇති.

"මට පොලීසියට කියලා ඇදගෙන යන ට්‍රක් රථයක් (tow truck) ගෙන්න ගන්න ඕනෑ"

අපේ පොලීසිය සතුව ටෝ ට්‍රක් නැති බවත්, මේ වගේ දෙයකට පොලීසිය එන්නේ නැති බවත්, අද වගේ දවසක ඔය වගේ දේකට තියා අත්‍යාවශ්‍යම දෙයකටවත් එවන්න අමතර නිලධාරීන් පොලීසියේ නැති බවත් මම අමාරුවෙන් ඇයට පහදා දුන්නා.

ගමේ තරුණයින්ව සම්බන්ධීකරණය කරලා ට්‍රැක්ටරයක් හොයා ගෙන ඇගේ වාහනය නැවත පාරට අරන් දුන්නා. වැඩේට දුරකථන ඇමතුම් කිහිපයක් ගන්නත් සිදු වුනා.  අවුරුද්ද දවසේ ඔය වගේ දෙයක් කරන එකත් ටිකක් කෝස් එකක්. ට්‍රැක්ටරේ වගේම එළවන්න මනුස්සයෙක් හොයා ගන්නත් ඕනෑ. ඒ මනුස්සයාට ට්‍රැක්ටරේ දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනෑ.

වැඩේ ගොඩ දාගත්තාට පස්සේ ඇයට ගොඩක් සතුටුයි. ට්‍රැක්ට්‍රරයට අසාධාරණ ගානක් ගත්තේ නැහැ. ඇයට වැඩේට සතුටුයි. වැඩේ කෙරුණට පස්සේ තරුණයින් පිරිස පිරිවරා නැවත අපේ ගෙදර ඇවිත් මට කීයක් හෝ මුදලක් දික් කළා. දුරකථන ඇමතුම් වල වියදමට හරියන්න කියලා දුන්නත් ඊට වඩා ගොඩක් වැඩි මුදලක්. මම මුදල් ප්‍රතික්ෂේප කළා. ගමේ තරුණයින්ට කීයක් හෝ දෙන්න කියා ඉල්ලීමක් කළහම ඇය මගෙන් අසා ගාණක් දුන්නා. කට්ටියට හවසට සෙට් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්.

වාහනේ තිබුණේ අපේ ගෙදරින් ටිකක් ඈත. මට කීයක් හෝ මුදලක් දෙන්න හිතාගෙන ආපු ඇගේ අතේ ඒ වෙලාවේ මුදල් හැර වෙනත් දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කැප් තොප්පිය ගලවලා මට දීලා ගියා. "LA" අකුරු දෙක ගහපු කැප් තොප්පියක්. ඔය තොප්පිය කාලයක් මා ළඟ තිබුණා.

ඔය සිද්ධිය වෙන කොට මම කවදාවත් ලංකාවෙන් පිට වෙනත් රටකට ගිහින් තිබුණේ නැහැ. පොතකින් පතකින් හෝ චිත්‍රපටියකින් දැනගෙන සිටි දෙයක් මිසක් වෙන රටවල් වල කටයුතු සිදුවෙන පිළිවෙළ ගැන අවබෝධයක් තිබුණේත් නැහැ. විදේශික කාන්තාවගේ හැසිරීම අනුව පෙනුනේ ඔය වගේ අවස්ථාවක ඇගේ රටේනම් මුලින්ම කරන්නේ පොලීසියට කතා කර උදවු ඉල්ලා ගන්න එක බවයි.

මේ කාලය වෙන කොට ජවිපෙ දෙවන කැරැල්ල ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. කැරැල්ල කාලයේ ජවිපෙ කටයුතු කරපු ආකාරය ගැන වගේම පොලීසිය හා හමුදා එකතු වෙලා කැරැල්ල මර්දනය කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොතිබුණු කෙනෙක් වුවත් ඕනෑම වෙලාවක රාජ්‍ය මර්දනයේ ගොදුරක් විය හැකිව තිබුණා. කොටින්ම ඔය කාලය වෙද්දීත් පොලිස්කාරයෙක් කියන්නේ දකින්න ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයි. හදිසියකදී උදවුවක් ඉල්ල ගන්න එක කොහොම වුනත් අහම්බෙන් පොලිස් කාරයෙක් මුණ ගැහුණු වෙලාවක වුනත් අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි.

කාලයකට පස්සේ මම ඇමරිකාවේ පදිංචියට ආවා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු ප්‍රවාහන පහසුකම් ඇත්තේම නැති තරම්. නිවුයෝර්ක් වගේ නගර වල තත්ත්වය වෙනස්. මේ කියන කාලයේ මම හිටියේ පොඩි ගමක.

අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්.

පදිංචියට ඇවිත් ටික දවසකින් මූලික අවශ්‍යතාවයක් වන කාර් එකක් ගත්තා. අලුත් එකක් නෙමෙයි. ලංකාවේදීනම් හිතන්නවත් බැරි පොඩි ගාණකට.

ඊළඟ කාර්යය වුනේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම. ඒ වැඩෙත් කොහොම හරි කර ගත්තා. ඊට පස්සේ ළඟ පාත කඩේකට වගේ යන්න අවශ්‍ය වූ විට වෙන කාගේ හෝ උදවු ඉල්ලන්න අවශ්‍ය වුනේ නැහැ.

කාර් එක අරගෙන ටික දවසකින් ගමෙන් පිටත ආසන්න නගරයකට යන පළමු ගමන. කිලෝමීටර 130ක වගේ දුරක්. අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරපු පළමු දවස. අපි ලංකාවෙන් එන කාලයේ ලංකාවේ අධිවේගී මාර්ග තිබුණේ නැහැ. වෙන රටකදී අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරලා තිබුණෙත් නැහැ.

මේ වෙද්දී බිරිඳගේ මවත් අපේ ගෙදර ඇවිත් හිටියා. අප හිටියේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන්.

ගමේ පාරවල් වල වාහනය ධාවනය කළේ වැඩිම වුනොත් පැයට කිලෝමීටර හැත්තෑවක අසූවක වේගයෙන්. කිලෝමීටර වලින් කිවුවත් ඇමරිකාවේ දුර මනින්නේ හැතැම්ම වලින්. ඒ දවස් වෙද්දීත් ඔලුවේ තිබුණේ ලංකාවේදී කාලයක් තිස්සේ පුරුදු වී සිටි කිලෝමීටර් නිසාත්, පාරවල් හොඳ නිසාත් වේගය ඒ තරම් ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේදී පැයට කිලෝමීටර සීය පන්නන්න පුළුවන් තැන් තිබුණේ ඉතා අඩුවෙන් නිසා එය ලොකු වේගයක් වගේ හිතට දැනුනත් කිලෝමීටර සීය හැතැම්ම හැටපහක් වෙද්දී කිලෝ මීටර හැතැම්ම වෙනස අමතක වෙනවා.

ගමන ගිහින් අවුලක් නැතුව ආපහු ආවා. අවුල වුනේ ගමනේ අන්තිම හරියේදී. පැයට කිලෝමීටර සීයක වගේ වේගයකින් ඇවිත් ගමට ඇතුළු වන පාරට වාහනය හරවන්න ඕනෑ. ගමෙන් එළියට ගිය පළමු අවස්ථාව නිසා හරවන තැන ගැන අදහසක් නැහැ. ජීපීඑස් එක කියනකම් ඔහේ එන්නයි තියෙන්නේ.

ජීපීඑස් එක වාහනය පාරෙන් එළියට ගන්න දැනුම් දුන්නා. වාහනයේ වේගය අඩු කළත් රෑම්ප් එකේ වංගුව ගන්න අවශ්‍ය තරමට වේගය අඩු වුනේ නැහැ. පළමු දවස නිසා වංගුවේ වක්‍රතාවයේ තරම ගැන අදහසක් තිබුණේම නැහැ. වාහනය පාරෙන් එළියට පැන්නා. එළියට කියා කිවුවත් බොහොම පොඩ්ඩක්.

පාර දෙපැත්තේ ගල් කැට (gravel) දමලා. වාහනේ නැවතුනේ ඒ නිසා. වාහනයේ වැඩි කොටසක් තවමත් පාරේ වුනත් ඉස්සරහ රෝද පාරෙන් එළියේ.

ඔහොම දේවල් ලංකාවේදී ඕනෑ තරම් වෙලා තියෙන නිසා කිසිම අවුලක් දැනුනේ නැහැ. රිවස් කරලා ආපහු පාරට දාගෙන යන එකනේ තියෙන්නේ.

හැබැයි හිතපු විදිහටම වැඩේ වුනේ නැහැ. රෝද එක තැන කැරකෙනවා. පොඩි තල්ලුවක් ලැබුණානම් වාහනේ පාරට එනවා. ලෑල්ලක් වගේ දැම්මනම් ඒත් හරි.

ඔය තරම් දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. පාරේ ගිය තව වාහන දෙකක් නවත්වා ඒ වාහන වල සිටි අය උදවුවට ආවා. පාරේ මේ හරියේ වාහන මහ ගොඩක් යන්නේ නැහැ. ගෙවල් හෝ කඩ තියෙන හරියකුත් නෙමෙයි. දැකපු අය තමයි තමන්ගේ වාහන නවත්තලා උදවුවට එන්නේ. ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් බොහෝ ඇමරිකානුවන් උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

"මොකද වුනේ? මොනවා හරි උදවුවක් අවශ්‍යද?"

"නෑ. ප්‍රශ්නයක් නැහැ. වාහනේ පොඩ්ඩක් පාරෙන් එළියට ගියා විතරයි"

වාහනේ පාරෙන් එළියට ගියාම ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? අර ඇමරිකානුවා හිතන්න ඇති. කොයි තරම් බඩගිණි වෙලාවක වුනත් හදිසියේ ගෙදරකට ගියාම කෑමට ආරාධනා කළොත් "දැන් කන්න බෑ. කාලා ආවේ." කියල කියන්නනේ කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. ඔහොම කිවුවට අනිවාර්යයෙන්ම කෑම හම්බුවෙන බව දන්නවා. හැබැයි ඒ ලංකාවේ. ලංකාවෙත් ඒ දවස් වල.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?" ඇමරිකානුවා අහනවා.

"මූට පිස්සුද මන්දා...ටෝ ට්‍රක් එකක් ගෙනත් ගොඩ ගන්න වාහනේ අනිත් පැත්ත ගහල නෑනේ. ඔහොම දේවල්ද අපිට ලංකාවෙදි වෙලා තියෙන්නේ.." මම හිතනවා.

හිතුවේ ඔහොම වුනත් උත්තර දුන්නේ මෙහෙමයි.

"නෑ. ටෝ ට්‍රක් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. ඉස්සරහින් පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්නම් වාහනේ පස්සට එයි."

උදවුවට ඇවිත් හිටපු ඇමරිකානුවන් කිහිප දෙනා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා. මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට ඒ තරම් පුරුදු නැහැ වගේ. හැබැයි වැඩේට ඉදිරිපත් වුනා.

වාහනයකට තල්ලුවක් දාන එකෙත් පොඩි කලාවක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට ඔය කලාව පුරුදු නැහැ. රෝද තවත් එක තැන කැරකුණා විතරයි.

"අපි ඇතුලෙ කට්ටියව බස්සලා ට්‍රයි කරලා බලමු."

ඔය වෙලාවෙම ඔතැනින් ගිය පොලිස් මුර සංචාරක රථයක් නවත්වා පොලිස් නිලධාරියෙක් බැහැලා ආවා. මම හිතන්නේ අහම්බයක්. මේ හරියේ පොලිස් මුර සංචාරක රථ නිතරම යන්නේ නැහැ.

"කාට හරි තුවාලද?"

"නෑ. පොඩ්ඩක් වාහනේ පාරෙන් එළියට පැන්නා විතරයි."

එළියේ උෂ්ණත්වය අඩුයි. ඒ නිසා, බිරිඳ, දරුවා හා බිරිඳගේ මව මේ වන තුරුත් හිටියේ වාහනය ඇතුළේ. පොලිස් නිලධාරියා ඔවුන්ට ඔහුගේ මෝටර් රථයට ගිහින් ඉන්න කියා ආරාධනා කර එහි එන්ජිම හා හීටරය ක්‍රියාත්මකව තැබුවා. එය ලොකු සහනයක් වුනා. ඉන් පසු ඔහු නැවත ආවා.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?"

"නෑ."

"නොම්මරයක් ළඟ තියෙනවද?"

"නෑ"

ඒ දවස් වල අන්තර්ජාල සම්බන්ධතා තිබෙන ස්මාර්ට් ෆෝන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

"මම ටෝ ට්‍රක් එකක් කෝල් කරලා දෙන්නද?"

දැන් වැඩේ කොහොමටත් ගොඩින් බේරගන්න බැරි බව පැහැදිලියි. ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න එක හැර වෙන විකල්පයක් නැහැ.

"හා"

පොලිස් නිලධාරියා අවශ්‍ය දුරකථන ඇමතුම ගත්තා.

"අපි දැන් ඉන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් අපි යනවා."

උදවුවට වාහන නවත්තපු ඇමරිකානුවන් පිටත්ව ගියා. ටික වෙලාවක් යද්දී ටෝ ට්‍රක් එක ආවා. ඉතා පහසුවෙන් වාහනයේ ඉදිරිපස ඔසොවා පාරෙන් තියලා දුන්නා. බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සේ බිලකුත් දුන්නා.

ඔය අතරවාරයේ පොලිස් නිලධාරියා විසින් මගේ රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලිද පරීක්ෂා කළා.

"ටෝ ට්‍රක් එක යන්න කලින් වාහනය ධාවනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න." පොලිස් නිලධාරියා මතක් කළා.

එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ටෝ ට්‍රක් යන්න ගියා. බිරිඳ හා මව දරුවාද සමඟ ඇවිත් වාහනයේ වාඩි වුනා. ඉතුරු වෙලා තිබුණේ කරපු හැම දෙයකටම පොලිස් නිලධාරියාට ස්තුති කරන එක පමණයි. මම ඒ සඳහා ඔහුගේ මෝටර් රථය දෙසට ගියා.

"පොඩ්ඩක් ඉන්න."

ඔහු මොකක්ද කොළයක් අතේ තිබ්බා.

"පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම නිසා මට ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිගෙන දඩය ගෙවනවානම් එය මේ ආකාර වලින් කළ හැකියි. ඔබ වරද පිළි නොගන්නවානම් මේ දේවල් කරන්න පුළුවන්." ඔහු විස්තර කළා.

"ඔබට මොනවා හරි දෙයක් පැහැදිලි කර ගන්න අවශ්‍යද?"

"නැහැ"

නැහැ නොකියා වෙන මොනවා කියන්නද?

"මේ මගේ බිස්නස් කාඩ් එක. පවුලේ අයත් එක්ක පරිස්සමෙන් යන්න."

ඔය තමයි මට ඇමරිකාවේදී ලැබුණු පළමු දඩ කොළය.

කොයි තරම් පරිස්සමෙන් එළෙවුවත් ඕනෑම වාහනයක් පාරෙන් එළියට පනින්න පුළුවන්. පොලිස් වාහනයක් වුනත්!

Tuesday, June 2, 2020

ජෝජ් ෆ්ලොයිඩ් හා ආරුමුගම් තොණ්ඩමන්


බටහිර දේශාංශ 79 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ජෝජ් ෆ්ලොයිඩ් හා නැගෙනහිර දේශාංශ 80 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ආරුමුගම් තොණ්ඩමන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එහෙම සම්බන්ධයක් තියෙනවද?

මේ දෙන්නා කවදාවත්ම එකිනෙකා හමු වෙලා නැතුව ඇති. සම්බන්ධයක් ගැන කතා කරන්න දෙන්නෙක් හමු වී තියෙන්න අවශ්‍යම නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ් පසුගිය 25 වෙනිදා රෑ මිය ගියා. ලංකාවටනම් මැයි 26 වෙනිදා උදේ. ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේත් එදාමයි. ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක්. ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක්. මේ දෙදෙනාගේම මරණ නීතියේ සමානාත්මතාවය ගැන කතිකාවකට මුල පුරා තිබෙනවා.

මේ වගේ සමානකම් පෙන්නන්න පුළුවන් වුනත් මේ සමානකම් අතර වෙනස්කම්ද කැපී පෙනෙනවා.

ජෝජ් ෆ්ලොයිඩ් මිය ගියේ පොලිස් අත් අඩංගුවේදී. මරණ පරීක්ෂක වාර්තාව අනුව එය මිනීමැරුමක්. එහෙත්, ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේ ස්වභාවික හේතුවකින් රෝහලකදී.

ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත්, ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත් එකම පදනමකින් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් සුළු ජාතිකයෙක් වෙන්නේ ඔහුගේ හමේ පැහැය කළු නිසා. ඇමරිකාවේ මහ ජාතිය හමේ පැහැය සුදු අයයි. මේ කණ්ඩායම් දෙකට අයත් අය බොහෝ විට දුටු පමණින්ම වෙනස් ලෙස හඳුනාගන්න පුළුවන්. කණ්ඩායම් දෙකේම ඉන්නේ එකම කාලයකදී ලෝකයේ විවිධ රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ අය හෝ ඒ අයගෙන් පැවත එන්නන්. උපතින් ලැබෙන දෙයක් වන හමේ පැහැය වෙනස් කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක් නිසා කළු ඇමරිකානුවෙකුගේ දරුවෙකුට සුදු ඇමරිකානුවෙක් වෙන්න ස්වභාවික ජීව විද්‍යාත්මක බාධකයක් තිබෙනවා.

ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේ මෙවැනි පදනමකින් නෙමෙයි. සංස්කෘතික සංකේත නොවන්නට ඔහුව රටේ මහ ජාතිය වන සිංහලයෙකුගෙන් වෙනස් කොට හඳුනාගන්න බැහැ. ඔහු අයත්වන ඉන්දියානු දෙමළ කණ්ඩායම ලංකාවේ ජාති හෝ ජනවර්ග ලෙස හැඳින්වෙන ප්‍රධාන කණ්ඩායම් අතරින් ලංකාවට වඩාත්ම මෑතකදී සංක්‍රමණය වූ කණ්ඩායමයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ සීයා ඉන්දියාවේ ඉපදුණු අයෙක්. ඔහු ලංකාවට සංක්‍රමණය වී වසර සියයකටත් අඩුයි. ලංකාවේ ඉපදුණු ආරුමුගම් තොණ්ඩමන් විසින් නියෝජනය කරන ලංකාවේ ඉන්දියානු දෙමළ කුලකය ලංකාවේ මහ ජාතිය වන සිංහලයින්ගෙන් වෙනස් වන්නේ සංස්කෘතික කරුණු මතයි. පෞද්ගලිකව ආරුමුගම් තොණ්ඩමන් ජීවත් වූ  සංස්කෘතිය ඔහු විසින් නියෝජනය කළ ඉන්දියානු දෙමළ සංස්කෘතියම නොවෙන්නත් පුළුවන්.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව රට පුරා විරෝධතා පැන නැගී තිබෙනවා. උද්ඝෝෂකයින්ගේ මතය නීතිය ඉදිරියේ සුළුතර කළු ජාතිකයින්ට සමාන සැලකිලි නොලැබෙන බවයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් උළෙල පැවැත්වුණු ආකාරය පිළිබඳවද, මේ ආකාරයෙන්ම නොවූවත්, බොහෝ දෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. එහෙත්, එය සුළුතර කණ්ඩායමකට වැඩි සැලකිල්ලක් ලැබීම පිළිබඳව වන විරෝධයක්.

මෙසේ නීතිය ඉදිරියේ වැඩි සැලකිලි ලැබුවේ ලංකාවේ ජීවත්වන ඉන්දියානු දෙමළ සුළුතර කණ්ඩායම කියා කියන්න බැහැ. එම කණ්ඩායමේ වීම නිසා ලංකාවේදී පුද්ගලයෙකුට වැඩි සැලකිලි ලැබෙන්නේ නැහැ. මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් වැඩි සැලකිලි ලැබුවේ රටේ දේශපාලන බලය හිමි සුළුතර කණ්ඩායමේ අයෙකු ලෙසයි. එම සුළුතර කණ්ඩායම නීතිය ඉදිරියේ බලවත්ව සිටින්නේ වෙනත් විශාල පිරිසක් තමන් සතු බලය ස්වේච්ඡාවෙන් ඔවුන් වෙත ප්‍රදානය කර නිහඬව සිටින නිසයි.

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය කියන කරුණු තුන ඇතුළත් පැකේජය බටහිර රටවල ආර්ථික-දේශපාලන ව්‍යුහය හැඩගස්වන මූලධර්ම තුනක්. මේ මූලධර්ම බොහෝවිට අනුපූරක වුවත්, ආදේශක වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ධනවාදී විසඳුම හා ප්‍රජාතන්ත්‍රවාදී විසදුම හැම විටම එකක්ම නෙමෙයි. නීතිය හා නීතියේ ආධිපත්‍යය කියන්නේ මේ දෙකෙන්ම බැහැර වෙනම කරුණක්.

ධනවාදය තුළ නිදහස් ගනුදෙනු කිරීමේ අයිතිය පිළිගැනෙනවා. මේ අයිතිය තියෙන්නේ කාටද? එය ධනවාදයෙන් බාහිරව තීරණය වන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැම පුද්ගලයෙකුගේම අදහස් වලට ඉඩක් ලැබෙනවා. එහෙත්, මේ පුද්ගලයා කවුද කියන එක තීරණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙනත් මානයකයි.

එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දේපොළක් සේ සැලකුණු, වහලුන් හා වහල් හිමියන් ලොව පුරාම සිටි කාලයක් තිබුණා. ඒ කාලයේදී එක් වහල් හිමියෙකු විසින් තමන්ට අයිති වහලෙකුව වෙනත් අයෙකුට විකිණිය හැකි වීම සමාජ සම්මතයක්. එවැනි තත්ත්වයක් දිගටම පැවතිය යුතුද නැද්ද කියන එක තීරණය වන්නේ එක්කෝ ඒ වන විට ජීවත් වන නිදහස් මිනිසුන්ගේ අදහස් වෙනස් වීම මත. එසේ නැත්නම් වහලුන් ලෙස ජීවත් වන මිනිසුන්ගෙන් එන ප්‍රතිරෝධය මත. නිදහස් වෙළඳාමේ යෙදීමේ අයිතිය ඇති නිදහස් මිනිසෙකු හා වෙළඳ භාණ්ඩයක් වන වහලෙකු වෙන් කරමින් ඉරක් අඳින එක ධනවාදයට පිටින් සිදුවෙන දෙයක්.

සියලු මිනිසුන් සමානයි කියන අදහස සම්මතයක් වෙන්න ආබ්‍රහමික ආගම් වලින් විශාල බලපෑමක් කෙරුණා. මුල්ම මිනිසා හා ගැහැණිය මැවුවේ දෙවියන් වහන්සේ විසින්නම්, අනිත් හැමෝම ඒ අයගෙන් පැවත එන්නන්නම්, මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්න මූලධාර්මික හේතුවක් නැහැ.

වත්මන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වගේම ධනවාදයත් ගොඩ නැගී තිබෙන්නේ සියලු මිනිසුන් සමානයි කියන මූලධර්මය මත පදනම්වයි. සමාජවාදය තුළ මේ මූලධර්මය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් සියලු මිනිසුන් සමාන නිසා සියලු මිනිසුන්ගේ ශ්‍රමය සමානයි කියන තැන දක්වාම යනවා. ඒ අනුව, සම්පත් සමාන ලෙස බෙදී යාම සාධාරණීකරණය කෙරෙනවා.

ධනවාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය, හැකියාවන් හා රුචිකත්වයන් සමාන සේ නොසැලකෙන නිසා සම්පත් සමානව බෙදී යා යුතුයැයි සැලකෙන්නේ නැහැ. ඒ වෙනුවට ධනවාදයේ මූලධර්මය වෙන්නේ සම්පත් වල අයිතිය එම සම්පත් නිපදවීමට දායක වන අයට හිමි විය යුතු බවයි.

ධනවාදය තුළත් සියළු මිනිසුන් සමාන බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා. ඒ නිසා, සම්පත් සමානව බෙදී යාම අවශ්‍ය නොවූවත්, ඕනෑම කෙනෙකුට සම්පත් අත්පත් කර ගැනීමට සමාන අවස්ථා ලැබිය යුතු බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා.

හැබැයි ඔය සියලු මිනිසුන් සමානයි කියන එක විශ්වාසයක් හෝ සම්මතයක් පමණයි. ඒ නිසා, ඒ සම්මතය තුළ ගොඩ නැගුනු සමාජ ආකෘති, සමාජවාදය වේවා, ධනවාදය වේවා, පවතින්න අදාළ සමාජයේ විශාල පිරිසක් මේ සම්මතය පිළිගත යුතුයි. එසේ නැත්නම් සමාජ ආකෘතියකට පැවැත්මක් නැහැ.

සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීම හා සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කිරීම කරුණු දෙකක්. සමාජවාදී වගේම බටහිර ධනවාදී රටවල් ගණනකම සියලු මිනිසුන් සමානයි කියන සම්මතයට පොදු පිළිගැනීමක් තිබුණත් මේ රටවල් වල මිනිස්සු වැඩි පිරිසක් සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගන්වන්න මිසක් එවැනි විශ්වාසයක් තහවුරු කරවන්න ආගම් වලට හැකි වුනේ නැහැ. සමාජවාදයට හැකි වුනෙත් නැහැ. බටහිර ධනවාදයට හැකි වෙලත් නැහැ.

මේ අදහස ආබ්‍රහමික ආගම් වලින් ආ අදහසක් කියා මම කිවුවනේ. හැබැයි බොහෝ විට ආගම් හරහා ඔය වගේ සම්මතයක් ප්‍රචලිත වෙන්නෙත් එයින් සිදු කෙරෙන කිසියම් කාර්ය භාරයක් ඇත්නම් පමණයි. සමාජවාදී රටවල් බොහෝ විට මැවුම්වාදය හා සම්ප්‍රදායික ආගම් ප්‍රතික්ෂේප කළා. ඒ ඉඩ පිරවූයේ පරිණාමවාදය විසින්. හැබැයි මෙහිදී පරිණාමවාදය යොදා ගත්තේත් සියලු මිනිසුන් සමානයි කියන මූලික විශ්වාසය තහවුරු කිරීමේ උපකරණයක් විදිහටයි. එය එහෙම නොවෙයි කියා තහවුරු කරන්න අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේටත් පරිණාමවාදය වගේම ආබ්‍රහමික ආගමුත් යොදා ගන්න පුළුවන්.

මෙතැනදී ආගමික හෝ විද්‍යාත්මක මූලයක් තිබීමට වඩා වැදගත් වුනේ සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීමේ වාසි බොහෝ දෙනෙකුට තිබීමයි. එහිදී මෙය ආර්ථික විද්‍යාවේ විෂය පථයට සම්බන්ධ වෙනවා.

නීතිය කියන දෙය අවශ්‍ය වන්නේම එවැන්නක් නැත්නම් කිසියම් සමාජයක සියලු දෙනාම පවතින සමාජ ආකෘතිය සමඟ ගැලපෙන පරිදි කටයුතු නොකරන නිසා. මෙහිදී මම නීතිය කියන යෙදුමට සමාජ සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ආදියත් ඇතුළත් කරනවා. නීතියෙන් කරන්නේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්තට යටපත් කරන එකයි. ඒ නිසා නීතියක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බොහෝ දෙනෙකුගේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්ත සමඟ ගැලපෙනවානම් පමණයි. සුළු පිරිසකගේ කැමැත්ත පොදු කැමැත්ත සමඟ නොගැලපෙනවානම් එක්කෝ ඒ අයට අකැමැත්තෙන් පොදු කැමැත්තට ඉඩ දෙන්න වෙනවා. නැත්නම් දඬුවම් විඳින්න වෙනවා. මේක මිනිස් සමාජයකට වගේම සත්ත්ව ගහණයකට වුවත් පොදු කරුණක්.

බස් එකකට නගින අවස්ථාවක් ගැන හිතන්න. හැමෝම බස් එකට නගින්න පොරකනවානම් මට පැත්තකට වෙලා ඉන්න බැහැ. එහෙම හිටියොත් මළාට සීට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම හිටගෙන. ඒ නිසා, අනිත් හැමෝම පොරකනවානම් මටත් පොරකන්න වෙනවා. නැත්නම් පාඩුව විඳ දරාගන්න වෙනවා.

කට්ටියම පෝලිමේ බස් එකට නැග්ගොත් මුලින් නගින අයට සීට් ලැබෙනවා. පස්සේ නගින අයට නැති වෙනවා. එක දවසක සීට් එකක් නැති වුනත්, හැමදාම නැති වෙන්නේ නැහැ. අතරින් පතර දවසක සීට් එකක් ලැබෙනවා. පොරකාලා නැග්ගා කියලත් ඔය ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. කොහොම හරි පොර කාලා කලින් නැග්ගොත් සීට් එකක් ලැබෙනවා. නැත්නම් නැහැ.

අන්තිමට වෙනස සීට් එකක් ලැබෙනවාද නැද්ද කියන එක නෙමෙයි. පෝලිමේ ගියත්, පොර කෑවත් බස් එකේ සීට් ගණන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, පොර කාලා තුවාල කර ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. හැබැයි ඒ හැමෝම පෝලිමේ ඉන්නවානම් පමණයි. අනෙක් අය බස් එකට නගින්න පොරකනවානම් එක් කෙනෙක් පැත්තකට වෙලා ඉන්න එක ඉල්ලං කෑමක් වෙනවා.

පාරේ වාහන එළවන එකත් ඔය වගේ. හැමෝම එකම වේගයකට වාහන එළවනවානම් නිතර නිතර වාහන ඉස්සර කරන්න අවශ්‍ය නැහැ. නිතර නිතර තිරිංග තද කරන්න අවශ්‍යත් නැහැ. කාටත් ඉක්මණින් ගමනාන්තයට යන්න පුළුවන්. නමුත්, හැමෝම එහෙන් මෙහෙන් රිංගලා යන්න හදනවානම් එහෙම නොකරන කෙනාට ගමන යන්න වෙන්නේ සෑහෙන්න පරක්කු වෙලා. හැමෝම ඔය වැඩේ කරන්න ගියාම වෙන්නේ හැමෝගෙම ගමන පරක්කු වෙන එකයි.

මිනිස්සු තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන්ට වඩාත්ම වාසිදායක වන ආකාරයටයි. සමහර වෙලාවට මේ තනි ප්‍රතිචාර නිසි පරිදි සම්බන්ධීකරණය කරගත් විට හැමෝටම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. නීති, සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ඇති වෙන්නේ ඒ වගේ තත්ත්වයන් යටතේදීයි.

ඉතා සුළු පිරිසක් විසින් නීතියක් හෝ සම්මතයක් කැඩුවා කියලා සම්මතය බිඳ වැටෙන්නේ නැහැ. නමුත්, මේ ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් සම්මතය පවත්වා ගන්න බැහැ. එය බිඳ වැටෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම කියා කියන්නේ විශාල පිරිසකට වාසිදායක සම්මතයක් ඉතා සුළු පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් බිඳ වැටෙන එක වලක්වා ගන්න දරන උත්සාහයක්.

ඇමරිකාවේදී පුද්ගලයෙකුට නොදන්නා පුද්ගලයෙක් සමඟ කරන ගනුදෙනුවකදී අනෙක් පුද්ගලයා පිළිබඳ කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඔහු හෝ ඇය මා කැමති මිලට භාණ්ඩයක් ගන්න එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ පිළිබඳව මට සහතිකයක් නැහැ. එහෙත්, ඔහු හෝ ඇය මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් නැහැ. හමුවන හැම නොදන්නා පුද්ගලයෙකු විසින්ම වාගේ මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් ඇත්නම් භාණ්ඩය විකුණනවා වෙනුවට මට කරන්න වෙන්නේ භාණ්ඩය රැක ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්නයි.

මට හමුවෙන අහඹු පුද්ගලයෙක් බොහෝ විට මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්නේ නැති වුවත් යම් අයෙකු විසින් කලාතුරකින් එසේ කළ හැකියි. බදු මුදල් වැය කරමින් පොලිස් නිලධාරීන් නඩත්තු කරන්නේ ඒ අවදානම අඩු කර ගන්නයි. පොලිස් නිලධාරියා කියා කියන්නේ පිළිගත් සම්මතය කඩන අයට දඬුවම් කර සම්මතය කැඩීම  අධෛර්යමත් කරන යාන්ත්‍රණයේ කොටසක්. ඒ සඳහා පොලිස් නිලධාරියාට බලය ලැබෙන්නේ විශාල පිරිසක් විසින් සම්මතය පිළිගැනීම තුළයි.

දෙදෙනෙකු අතර සිදුවන අන්තර් ක්‍රියාවකදී ඒ දෙදෙනා විසින්ම ගන්නේ තමන්ට වාසිදායක ස්ථාවරයයි. මෙහිදී ප්‍රශ්නයට මැදිහත්වන තෙවැන්නෙකු විසින් ඒ දෙදෙනාම සමාන සේ සැලකිය යුතු වෙනවා. සම්මතය තුළ තෙවැන්නාට භූමිකාවක් තිබෙන්නේම එසේ සියල්ලන්ට සමාන සේ සලකන බවට වන විශ්වාසය මතයි. එහෙත්, පොලිස් නිලධාරීන් කියන්නේ සියලු  මිනිසුන් සමාන සේ සැලකිය යුතු බවට වන සම්මතය පිළිගත් අය මිස සියලු  මිනිසුන් සමාන බව විශ්වාස කරන අය නෙමෙයි. තනි පුද්ගලයින් සේ ගත් විට පොලිස් නිලධාරීන්ට අනෙක් පුද්ගලයින් පිළිබඳ පූර්ව නිගමන තිබෙනවා. ඒවා යටපත් වෙන්නේත් සම්මතය තුළයි. මේ සම්මතයට නීති, චර්යා ධර්ම, සම්මත ආදිය ඇතුළත්.

පොදු සමාජයේ අහඹු පුද්ගලයෙකු ඉඳ හිට පොදු සමාජයේ සම්මත බිඳින විට අප පොලීසිය කැඳවනවා. එහෙත්, පොලිස් නිලධාරීන් අතරද ඉඳ හිට සම්මත බිඳින අයෙකු හමු වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයින් අධෛර්යමත් කෙරෙන යාන්ත්‍රණයක් නැත්නම් සමස්තයක් ලෙස පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. වඩා පුළුල්ව කිවුවොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩු පාඩු හැදුණේ නැත්නම් නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.

නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හදන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළමයි. අඩුපාඩු සංස්ථාගත නොවන තාක් කල් එය සාර්ථකයි. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සංස්ථාගත වූ විට බාහිර සමාජයේ මැදිහත්වීමක් නැතිව අඩුපාඩු හැදෙන්නේ නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය අහම්බයක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියාගේ අරමුණ වුනේ ඔහුව මරා දැමීම කියා හිතන්න බැහැ. එහෙත්, මරණයට හේතු වූ ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වෙනත් පොලිස් නිලධාරියෙක් අතින් වෙනත් තැනකදී සිදු වෙන්න පුළුවන්. බාහිර සමාජයේ දැඩි ප්‍රතිරෝධය නිසා වෙනත් අයෙකු වෙනත් තැනකදී කරන්නට ඉඩ ඇති මෙවැනි කටයුත්තක් අධෛර්යය කෙරෙනවා. මා ප්‍රතිරෝධය දැක්වීම කියා කියන්නේ පෞද්ගලික හා පොදු දේපොළ විනාශ කිරීම, පැහැර ගැනීම හෝ හොරකම් කිරීම නෙමෙයි. ඒ වගේ වැඩ වලින් වෙන්නේ විරෝධය අයාලේ යාම පමණයි.

ඇමරිකාව තුළ සියලු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය කියන සම්මතයට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා, සියයට සියයක්ම නැතත් නීතිය සෑහෙන තරම් සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන විට නීති පද්ධතිය තුළම වැරැද්ද හැදෙනවා. එයත් නොවන විට දැන් සිදු වන ආකාරයෙන් ප්‍රශ්නය නීති පද්ධතියෙන් එළියට පිටාර යනවා. හැබැයි මේ වගේ විරෝධතා ඇති වන්නේත් මිනිස්සු සමස්තයක් ලෙස පවතින සමාජ ආකෘතියට කැමති නිසයි. විරෝධතාවයේ අරමුණ පවතින ආකෘතියේ වැරදි නිවැරදි කර එය කඩා වැටෙන එක වලක්වා ගැනීම මිසක් එහි පදනම දුර්වල කරන එක නෙමෙයි.

නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියන එක ලංකාව බටහිර රටවලින් ගත් අදහසක් මිස රට ඇතුළෙන් ඓන්ද්‍රීය ලෙස මතු මතු වූ අදහසක් නෙමෙයි. යුරෝපීයයන් එන්න කලින් එහෙම සංකල්පයක් ලංකාවේ තිබුණේ නැහැ. යුරෝපීයයන්ගේ කාලයේදී සංකල්පය ආවත් කවදාවත් නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වුනේ නැහැ. නිදහසින් පසුවත් එහෙම වුනේ නැහැ. මෙය ලංකාව හා අදාළව ළඟා කර ගත යුතු ඉලක්කයක් පමණයි.

ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන නැති බව ගොඩක් අය දන්නවා. ඒ බව නැවත තහවුරු කරන සිද්ධියක් වීම විශේෂ සිදුවීමක් නෙමෙයි. එවැනි දේ නිතර සිදු වෙනවා. ඒ නිසා, තොණ්ඩමන්ගේ අවමගුල ආශ්‍රිතව වෙනත් අයට නැති වරප්‍රසාද හිමිවීම ලංකාවේ මිනිස්සුන්ව කම්පනයට පත් කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය නිසා ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානවන සමාජ ආකෘතියක් ගොඩ නගා ගැනීම පිළිබඳ විශ්වාසයට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.

කොරෝනා නිසා මාස දෙක හමාරක් තිස්සේ ගෙදරටම වී සිටින නමුත් මෙතෙක් කල් අපට ඇඳිරි නීතියක් තිබුණේ නැහැ. දැන් ඒකත් තිබෙනවා. කොරෝනා වෛරසය කළු සුදු භේද සැලකුවත් නැතත් වෛරසය නිසා මිය ගිය අය අතරත්, වෛරසය හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග නිසා රැකියා අහිමි වූ අය අතරත් කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය ජනගහණයේ ඔවුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩියි. වසරකට පොලිස් අත් අඩංගුවේදී මිය යන දහසකට අධික ඇමරිකානුවන් අතර තත්ත්වයත් එසේමයි. කළු ජාතිකයින්ගේ ජීවිත වලට ලැබෙන්නේ අඩු වටිනාකමක් බව බොහෝ දෙනෙකු විසින් සිතනවා.

මේ වෙලාවේ ඇමරිකාවේ නීතිය හා සාමය රකින පොලිස් නිලධාරීන් ගිරයට හසු වූ පුවක් වගේ. විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් සාමකාමී ලෙස විරෝධතා දැක්වූවත් ඔවුන් අතරින් මතු වන කුඩා පිරිස් හිටිවනම සමාජ විරෝධී කටයුතු කෙරෙහිත් යොමු වෙනවා. ඔවුන්ගෙන් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම පොලීසියේ වගකීමක් වී තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ චුදිතයින් වී සිටින්නේ පොලීසිය නිසා ඔවුන්ට එම චෝදනාව ඔප්පු කෙරෙන දේවල් කරන්නත් බැහැ. ඒ නිසා, පොලීසිය හැකි පමණින් විරෝධතාකරුවන් හා සහයෝගයෙන් කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විශේෂ ඉලක්කයක් හෝ අරමුණක් නැතිව මේ වන විට අටවන දිනටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

Tuesday, February 4, 2020

පාඩු හා වංචා


සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කොරෝනා බිය පැතිරෙන්න කලින් රුපියල් පහළොවකට විකුණපු මුහුණු වැස්මක් රුපියල් පණහකට විකුණන ෆාමසියක් ගැන හිතන්න. රුපියල් පනහක ගෙවා තමන්ගේ කැමැත්තෙන් මුහුණු වැස්මක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ඇයට එහි වටිනාකම අඩුම වශයෙන් රුපියල් පණහක්වත් වන නිසායි. ඉතා පැහැදිලිවම මෙහිදී ෆාමසියට ලාබයක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙන බව නෙමෙයි.

මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට පාඩුවක් නොවන නමුත් පාරිභෝගිකයාගේ ලාබය අඩු වීමක් වෙනවා. කෙනෙකුට අවශ්‍යනම් විකල්ප තත්ත්වයක් යටතේ පාරිභෝගිකයාට ලැබෙන්න තිබුණු වැඩි ලාබය සමඟ සසඳා ඇයට සිදු වුනු සාපේක්ෂ පාඩුව ඇස්තමේන්තු කළ හැකියි. එහෙම කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම ගණුදෙනුවේ එක් පාර්ශ්වයකට නිදහස් ගනුදෙනුවකින් ලැබිය හැකි ලාබය ඉක්මවන කිසියම් අවම ලාබයක් ලබන්න නීතිමය අයිතියක් තිබෙන අවස්ථා වලදී.

මිල පාලනයේදී වෙන්නේ ඔය වගේ වැඩක්. මිල පාලනය හරහා එක පාර්ශ්වයකට ලැබිය හැකි අවම ලාබය නීතියෙන් තහවුරු කරනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට ලැබිය හැකි උපරිම ලාබය සීමා කිරීමක්ද වෙනවා.

සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැති වුනත් එසේ සිදු වන විශේෂ අවස්ථා තිබෙනවා. එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට වංචාවක් කිරීම එවැනි අවස්ථාවක්. සුලබවම සිදු වන වංචාවක් වන්නේ භාණ්ඩය හෝ සේවාව විකුණන පාර්ශ්වය විසින් එහි සැබෑ ස්වභාවය වංචනික ලෙස සඟවා මිල දී ගන්නා පුද්ගලයාගෙන් වැඩි මුදලක්  ගැනීමයි.

මේ ආකාරයේ වංචා වලට තේරෙන සිංහලෙන් නංගී පෙන්වා අක්කා දීම් කියා කියන්න පුළුවන්. නංගිව පෙන්වන්නේම වංචනික අදහසින්. පාරිභෝගිකයා මිල ගෙවන්නේ නංගිගේ වටිනාකම වෙනුවෙන්. එහෙත් ලැබෙන්නේ අක්කාවයි. දුරකථන, රක්ෂණ වැනි සේවා සපයන ආයතන බොහෝ වෙලාවට මේ වැඩේ කරනවා. මෙවැනි අවස්ථාවන් ගැන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු දැන සිටි විචාරක ජීවත්ව සිටියදී කිහිප වරක්ම කණස්සල්ලෙන් හා කේන්තියෙන් යුතුව ලියා තිබුණු බව මතකයි.

ගනුදෙනුවකදී එක් පාර්ශ්වයකට මේ ආකාරයේ වංචාවක් කර ලාබයක් ලබන්න ඉඩ සැලසෙන්නේ ගනුදෙනුවට අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව දෙපාර්ශ්වය සතු තොරතුරු අතර ඇති අසමමිතිය නිසායි. උදාහරණයක් විදිහට පාවිච්චි කළ මෝටර් රථයක් විකුණන අවස්ථාවක් ගැන හිතන්න. මෝටර් රථය කාලයක් පාවිච්චි කර එය විකුණන පුද්ගලයා එහි තිබෙන අට අනූවක් රෝග ගැන දැන සිටියත්, ඒ ලෙඩ ගැන වාහනය විකුණද්දී ගැනුම්කරුට දැනුම් දී ලැබෙන අර්පණය පහත දමා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම රෝගියෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු රෝගයේ ස්වභාවය පිළිබඳව දැන ගන්නා සියලු දේ රෝගියා දන්නේ නැහැ. මේ අවස්ථා තොරතුරු අසමමිතිය පිළිබඳ උදාහරණ වුවත්, ඒ හේතුව නිසා වංචා සිදු වීමේ ඉඩක් ඇති වෙනවා මිස හැම විටම වංචා සිදු වෙන්නේ නැහැ.

වංචාවක් කියන එකෙන් අදහස් වෙන්නේ ලාබයක් ලබා ගැනීමේ අදහසින් වෙනත් පාර්ශ්වයක් රැවටිල්ලකට ලක් කිරීමයි. එහිදී රැවටිල්ලට ලක් වන පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. නමුත්, ගනුදෙනුවකදී රැවටිල්ලක් සිදු වන හැම අවස්ථාවකම වංචාවක් සිදු වූ ලෙස සැලකෙන්නේ නැහැ. ඒ, ගනුදෙනුවකදී විචක්ෂණශීලී වී, නොරැවටී සිටීම  පුද්ගලයෙකුගේ වගකීමක් නිසා. ගනුදෙනුව සිදු කරද්දී මෝඩයෙකු සේ හැසිරී රැවටුණු බව පස්සේ කියලා වැඩක් නැහැ.

ඒ වගේම, නිදහස් ගනුදෙනුවකදී එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් නොවන බව මා කීවත්, අවදානමක් තිබෙන ගනුදෙනු හා අදාළව මෙය අවදානම හා ගැලපීමෙන් පසුව පාඩුවක් නොවන බව ලෙස වෙනස් විය යුතුයි. කෙනෙක් දැන දැනම අවදානමක් ගෙන ගනුදෙනුවක නිරත වූ විට පාඩුවක් සිදු වීමේ පැහැදිලි ඉඩක් තිබෙනවා. එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් සේ සැලකිය නොහැකියි.

මේ වගේ සංකීර්ණ කරුණු ගණනාවක් සලකා බැලිය යුතු නිසා සාමාන්‍යයෙන් ගනුදෙනුවකදී එක් පාර්ශ්වයක් විසින් වංචාවක් කළාද කියන එක තීරණය කිරීම අසීරු  නීතිමය කාර්යයක්. එහිදී, එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් රවටා තිබිය යුතු අතර ඒ හේතුව නිසා පළමු පාර්ශ්වයට ලාබයකුත් දෙවන පාර්ශ්වයට අලාබයකුත් සිදු වී තිබිය යුතුයි. එහෙත්, මේ ලාබය හා අලාබය බොහෝ විට සමාන වෙන්නේ නැහැ. ඇතැම් විට කෙනෙක් වංචනික ලෙස ලබන ලාබය නිසා අනෙක් පාර්ශ්වයට සිදු වන ලාබය සාපේක්ෂව අඩු එකක් වෙන්න පුළුවන්. එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්.


මේ ලිපිය සමඟ පලවන්නේ උදය ආහාරය සඳහා ගන්නා සීරියල් පැකට්ටුවක ඡායාරූප දෙකක්. පැකට්ටුවේ මුහුණත දෙස ඈත සිට බැලූ විට "100% OATS" ලෙසත්. තරමක් කිට්ටු වූ විට "100% WHOLE GRAIN OATS" ලෙසත් පෙනෙනවා. කුඩාවට වැල් අකුරෙන් ලියා තිබෙන "Made with" යන කොටස පෙනෙන්නේ ඉතා සැලකිල්ලෙන් බැලුවොත් පමණයි. "Made with" යන්න අතහැර කියවූ විට ඔළුවට යන්නේ වෙනස් තේරුමක්.

ඒ වගේම, මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ දෙස බැලුවොත් සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් 0% ලෙස සඳහන්ව තිබෙන බව පෙනෙනවා. 0% කියන්නේ කිසියම් දෙයක් අඩංගු නොවන බව නෙමෙයි. එම සංඝටක තිබෙන්නේ 0.5%කට වඩා අඩුවෙන් බවයි. 0.49% යන්නෙහි දශම ඉවත් කර රවුම් කළ විට 0% වෙනවා. එය දශමස්ථානයකට රවුම් කළොත් 0.5% වෙන නිසා 0.0% ලෙස සඳහන් කරන්න බැහැ. ඒ වගේම, මේ ගණනය සිදු කර තිබෙන්නේ දිනකට සීරියල් ග්රෑම් 36කට වඩා ආහාරයට නොගන්නා බව සලකමිනුයි. පැකට්ටුවේ එමෙන් 15 ගුණයක් සීරියල් තිබෙනවා.

මෙහි රැවටීමක් තිබෙනවා. එය හිතා මතා කරන දෙයක්. රැවටෙන කෙනෙකුට පාඩුවකුත් වෙනවා. ඒ වගේම එයින් සීරියල් නිෂ්පාදකයාට වාසියකුත් වෙනවා. නමුත්, මෙය වංචාවක් සේ සැලකෙන්නේ නැහැ. පැකට්ටුවේ මුද්‍රණය කර ඇති කරුණු කියවීම හා අවබෝධ කර ගැනීම පාරිභෝගිකයාගේ වැඩක්. නිෂ්පාදකයා විසින් බොරු කියා නැහැ. එක විදිහකින් මෙහි සිදු වන්නේ "පිට නෑ" කියමින් කමිස විකුණන ආකාරයේ වැඩක්.  "පිට නෑ" කියන වෙළෙන්දාත් බොරු කියා නැහැ. මේ වගේ රැවටීමක් වංචාවක්ද කියන එක රටේ පවතින නීතිය අනුව තීරණය වන දෙයක්.

ඩොලර් 120,000කට විකිනුණු කෙසෙල් ගෙඩියක් ගැන අපි පසුගිය දෙසැම්බර් මාසයේදී කතා කළානේ. මේ කෙසෙල් ගෙඩිය මෙතරම් මිලකට විකිණුනේ එය සීමිත සැපයුමක් ඇති කලා කෘතියක් වූ නිසයි. අදාළ මිල ගෙවා කෙසෙල් ගෙඩිය මිල දී ගන්නා අයෙකුට එම කලා කෘතියේ පිටපත් තුනකට වඩා නිකුත් නොකරන බවට සහතිකයක්ද ලැබෙනවා. සැපයුම මීට වඩා වැඩි වුනානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. යම් හෙයකින් මුල් පිටපත් තුන අලෙවි කිරීමෙන් පසුව අදාල කලාකරුවා විසින් තවත් පිටපත් නිකුත් කළොත්, මුල් පිටපත් වල වටිනාකම විශාල ලෙස පහත වැටෙනවා. එවැන්නක් නංගිව පෙන්නා අක්කා දීමක් මෙන්ම වංචාවක්ද වෙනවා.

බැඳුම්කර වෙන්දේසියකදී මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා බැඳුම්කර නිකුත් කළ විට වෙන්නේත් මේ වගේ දෙයක්. එසේ කළ වහාම මුල් බැඳුම්කර ප්‍රමාණය පමණක් නිකුත් කරනු ඇතැයි හිතාගෙන ලන්සු තැබූ ගැණුම්කරුවන්ට පාඩුවක් වෙනවා. නමුත්, වෙන්දේසියේ කොන්දේසි වල මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා වැඩියෙන්  බැඳුම්කර නිකුත් කරන්නට ඉඩ තිබෙන බව සඳහන් කර තිබෙනවානම්, ඒ ගැන සැලකිලිමත් වී අවදානමට සරිලන සේ ලන්සු තැබීම ගැනුම්කරුවන්ගේ වැඩක් බවට පත් වෙනවා. එසේ නොකර යමෙක් පාඩු ලැබූ පමණින් එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් වෙන්නේ නැහැ.

කොහොම වුනත් "පිට නෑ" වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී සාමාන්‍ය සිහි බුද්ධිය තිබෙන අයෙකු "පිට නෑ" කියන එක තේරුම් ගන්නේ කොහොමද කියා සොයා බලා වංචාවක් සිදුවී ඇති බව හෝ නැති බව තීරණය කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා.

Thursday, January 23, 2020

දස මස කුස දැරූ පිය වරුණ


මාතර රෝහලේදී පිරිමියෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වී තිබෙනවා. විකාර සහගත කතාවක් වගේ පෙනුණත් පිරිමින්ට දරුවන් ලැබෙන්න පුළුවන්. එවැනි සිදුවීම් මීට පෙරත් වාර්තා වී තිබෙනවා. මෙහි ගැටළුවක් තිබෙනවානම් තිබෙන්නේ පිරිමියෙකු ලෙස අප විසින් අර්ථ දක්වා ගන්නා සංකල්පයේ. එක් අර්ථදැක්වීමක් අනුව පිරිමියෙකු වන අයෙකු වෙනත් අර්ථදැක්වීමක් අනුව ගැහැණියක විය හැකියි. සංක්‍රාන්ති ලිංගිකයන්ට බොහෝ විට මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකානුවෙකු වූ තෝමස් බේඩී විසින් 2008දී ගැහැණු දරුවෙකු වදා දරුවකු වැදූ පළමු පිරිමියා ලෙස ප්‍රසිද්ධ වුනා. ඔහු උපතින් ගැහැණියක වූ බව කීම නිවැරදි නොවන්නේ පුද්ගලයෙකු ගැහැණියක හෝ පිරිමියෙකු ලෙස ලේබල් කිරීම සරල කරුණක් නොවන නිසා.

තෝමස් ඉපදුණේ ඉතා පියකරු ගැහැණු සිරුරක් උරුම කර ගනිමිනුයි. තෝමස්ගේ උපතේදී දෙමවුපියන් විසින් තැබූ නම ට්‍රේසි. ට්‍රේසි රූප රාජිණී තරඟ වලට පවා ඉදිරිපත් වෙනවා. එහෙත්, උපතේ පටන්ම ට්‍රේසිගේ සිතුම් පැතුම් වල ඔහු සිටියේ පිරිමියෙක් ලෙසයි.

පසුව ලිංගය මාරු කර ගැනීමේ ශල්‍ය කර්මයකට මුහුණ දෙන ට්‍රේසි හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් නීත්‍යානුකූලව මෙන්ම පෙනුමෙන්ද පිරිමියෙක් බවට පත් වී තෝමස් වෙනවා. ඒ 2002 වසරේදී. එහෙත් මේ ශල්‍ය කර්මයේදී ට්‍රේසි විසින් වෙනස් කර ගන්නේ සිරුරේ උඩ කොටස පමණයි. පිරිමි ලිංගික අවයව බද්ධ කර ගැනීමක් හෝ ගර්භාෂය ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. හවායි නීතිය අනුව, උප්පැන්න සහතිකයේ ලිංගය වෙනස් කර ගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය නැහැ.

මෙයින් වසරකට පසුව තෝමස් නැන්සි සමඟ නීත්‍යානුකූල ලෙස විවාහ වෙනවා. මෙය නීත්‍යානුකූලව සමලිංගික විවාහයක් හෝ එකට ජීවත් වීමක් නෙමෙයි. ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සාමාන්‍ය විවාහයක්.

විවාහයෙන් පසුව බේඩී යුවලට දරුවන් අවශ්‍ය වුවත්, ඒ වන විට නැන්සි විසින් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටින නිසා ඇයට ගර්භණී වීමේ හැකියාවක් නැහැ. මෙවැනි යුවලකට කරන්න වෙන්නේ වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගැනීමයි. එහෙත්, තෝමස් විසින් මෙහිදී තීරණය කරන්නේ මේ වැඩේට තමන්ගේම ගර්භාෂය යොදා ගැනීමටයි. ඔවුන් වෛද්‍යවරුන් නව දෙනෙකු වෙතම ගියත් පෙනුමෙන් මෙන්ම නීතිය අනුවද පිරිමියෙකු වන තෝමස්ගේ ගර්භාෂයේ සංසේචිත කළලයක් තැන්පත් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ.

මෙහිදී තෝමස් විසින් තමන් නිතිපතා ලබා ගන්නා ටෙස්ටටෝරෝන් හෝමෝනය ලබා ගැනීම නවත්වනවා. මාස නවයකට පසුව ඔහුට නැවත මාස් ශුද්ධිය හැදෙනවා. ඉන් පසුව, ඔවුන් අන්තර්ජාලය හරහා නම නොදන්නා අයෙකුගේ සංරක්ෂණය කළ ශුක්‍රාණු ලබා ගන්නවා. නැන්සි විසින් සිරින්ජයක් යොදා ගෙන එම ශුක්‍රාණු තෝමස්ගේ යෝනියට ඇතුළු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තෝමස් ගර්භණී වෙනවා.

මෙසේ පළමු වරට ගර්භණී වන තෝමස්ගේ කුසෙහි දරු කළල තුනක්ම වර්ධනය වුවත් ඒ ගර්භාෂයෙන් පිටතයි. ඒ නිසා, එම කළල ඉවත් කරන්න සිදු වෙනවා. එහෙත්, දෙවන වර වැඩේ හරියටම හරියනවා. තෝමස් විසින් 2008 ජූනි 29 වනදා පසුව සූසන් ලෙස නම් කෙරෙන ගැහැණු දරුවෙකු බිහි කරනවා. දරු උපත සිදු වන්නේ සාමාන්‍ය ආකාරයටයි.

තෝමස් විසින් දරුවන් වැදීම එතැනින් නතර වෙන්නේ නැහැ. මේ වන විට ඔහු තවත් දරුවන් දෙදෙනෙකු වදා තිබෙනවා. ඒ වගේම, තෝමස් කියන්නේ මේ වන විට දරුවන් වදා තිබෙන පළමු පිරිමියා නෙමෙයි. ඇමරිකාවේ මෙන්ම එක්සත් රාජධානිය හා ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකම තවත් පිරිමි මේ වෙද්දී දරුවන් වදා තිබෙනවා. දරුවකු වදන පිරිමියෙකු හැඳින්විය යුත්තේ දරුවාගේ මව ලෙසද නැත්නම් පියා ලෙසද යන්න තවමත් විවාදයට ලක් වන නීතිමය කරුණක්.


(Image courtesy: Daily Mirror Online)

Thursday, December 26, 2019

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (දෙවන කොටස)


භාෂණයේ නිදහස අනෙකාගේ නහය කොණෙන් අවසන් විය යුතු වුවත්, අනෙකාගේ නහය ඇඟිලි කොණටම ලං වූ විට මේ සම්මුතිය එළෙසම පවත්වා ගැනීම හිතන තරම්ම පහසු නැහැ. එවැනි අවස්ථාවක සම්මුතිය කඩ කිරීමේ වන්දිය මරණය විය හැකියි. තමන්ගේ හා අනුන්ගේ නිදහස උදෙසා ජීවිත වන්දිය වුවත් ගෙවන්න පසුබට නොවන මිනිස්සුත් ඉන්නවා. එවැනි වන්දියක් ගෙවූ මිනිසෙකුගේ උපන් දිනය ලොව පුරා සැමරෙන අද දිනයේ (මෙය ලියන දෙසැම්බර් 25), ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කෙරුණු පසුබිම පිළිබඳව ඉස්රාල් අහමඩ් විසින් ලියා පළ කර ඇති බ්ලොග් ලිපියේ ඉතිරි කොටසට දැන් අපි යමු. ලිපියේ මේ කොටසින් පැහැදිලි වන පරිදි ලේඛකයාගේ ඇඟිල්ල මරණ දඬුවමට පාත්‍ර වී සිටින ජුනයිඩ් හෆීස් වෙත මෙන්ම ඔහුගේ අංශ ප්‍රධානියා වූ ආචාර්ය ශිරින් සුබයිර් වෙතද යොමු වෙනවා. ලිපිය කියවිය යුත්තේ මෙය ලියා තිබෙන්නේ ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කිරීම සාධාරණීකරනය කරමින් බව මතක තබා ගෙනයි.

2013 මාර්තු 16 වන දින, ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම විසින් ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ විද්‍යුත් තැපැල් ගිණුම නැවත විවෘත කළ විට පෙනී යන්නේ, ජුනයිඩ් හෆීස් විසින් මුල්තාන් සිට ලාහෝරයට යන අතරතුරදී ඔහුගේ විද්‍යුත් තැපැල් ගිණුමේ වූ ඔහුගේ අධ්‍යයන කටයුතු හා අදාළ නොවන සියලු විද්‍යුත් ලිපි මකා දමා ඇති බවයි. ඊට අමතරව, ජුනයිඩ් වෙත පිටපතක් එවමින් එක්සත් ජනපද කොන්සියුලර් ජනරාල් වෙත බෂීර් අසීස් විසින් යවා ඇති විද්‍යුත් තැපැල් ලිපියත්, ඔහුගේ ඇමරිකන් ශිෂ්‍යත්වය හා අදාළ විද්‍යුත් ලිපිත් ඔහු විසින් මකා නොදමා ඉතිරි කර තිබුණේය.

කෙසේ වුවත්, ඔහුගේ ෆේස්බුක් ගිණුම සහ කණ්ඩායම්  ගිණුම තවත් පැය ගණනක් සෝදිසි කිරීමෙන් පසුව, 2013 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ පළ කර තිබුණු අපහාසාත්මක පෝස්ට් 35 ක් පමණ සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වේ.

(විමර්ශනය තවදුරටත් ඉදිරියට ගිය අතර ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිසුන්ගෙන් ලිඛිත පැමිණිලි කිහිපයක්ම ලැබී තිබියදී ආචාර්ය ශිරිස් මේ කාරණය පරිපාලනයේ අවධානයට යොමු නොකළ බව අනාවරණය විය. ඈ විසින් මෙම කාරණය විසඳා ඇති බව පවසමින්  උපකුලපතිවරයා නොමඟ යවා ඇත.)

විශ්ව විද්‍යාල පරිපාලනය සහ උපකුලපති විසින් ජූලි මාසයේදී ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන්  සමන්විත කරුණු සෙවීමේ කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව විසින් 2013 පෙබරවාරි 25 වන දින අයිඑම්එස් ශාලාවේදී පැවති උත්සවයකදී ජුනයිඩ් හෆීස් විසින් සර්ව බලධාරී දෙවියන් වහන්සේව සමච්චලයට ලක් කර ඇති බව ප්‍රථම වරට වාර්තා කළේය.

එදින, උත්සවයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු විසින් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් පහත කරුණු ඉදිරිපත් කළේය.

“මම එදින උත්සවයට සහභාගී වුනා. අප සියලු දෙනා විසින්ම ප්‍රසන්න උත්සව අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයක් ආරම්භ කරන්නේ සර්වබලධාරී දෙවියන්ව සිහි කිරීමෙන් පසුවයි. එහෙත්, හදිසියේම වේදිකාවට පැමිණි ජුනයිඩ් හෆීස් විසින් උත්සවය ආරම්භ කළේ වෙනත් අයුරකිනුයි."

"In the name of Allah who is always absent without any leave, who's omnipotent absence is always taken as his omnipotent presence"

"සැමවිටම නිවාඩු නොගෙන නොපැමිණ සිටින හා කිසි තැනක නොසිටීමම සෑම තැනකම සිටීම සේ සැලකෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන්"

"මේ විකාර සහගත ප්‍රකාශය නිසා සහභාගී වූ අය මහත් විමතියට පත් වුනා. එහෙත්, පසුව පිරිස සන්සුන් වුනා. උත්සව සභාවේ කටයුතු දිගටම කරගෙන ගියා."

මේ සිද්ධිය පිළිබඳව අංශාධිපති ශිරින් කිසිවිටෙකත් ජුනයිඩ්ගෙන් ප්‍රශ්න කර නැත.

ජුනයිඩ් සමඟ දර්ශනවේදී උපාධිය හදාරන සෙසු සිසුන්ගේ ප්‍රකාශයන් ද පටිගත කරන ලද අතර, විවේචනාත්මක න්‍යාය විෂය උගන්වන මුවාවෙන් ආචාර්ය ශිරින් විසින් ඇගේ පන්තියේදී අසභ්‍ය චිත්‍රපට පෙන්වා ඇති බවත් පසුව එම චිත්‍රපට හා අදාළව පැවරුම් ලබා දී ඇති බවත් එම ප්‍රකාශයන්ගෙන් අනාවරණය විය. එසේම, මෙම චිත්‍රපට නිවසේදී නැරඹීමට අපහසු ඒවා වූ බැවින්, සිසුන් විසින් බොහෝ විට ගූගල් හරහා බාගත කර ගත හැකි චිත්‍රපට වල තොරතුරු සොයාගෙන පැවරුම් සම්පූර්ණ කර තිබේ. එම සිසුන් විසින් ඉන්දියානු චිත්‍රපටයක් වන "The Dirty Picture" ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කර ඇතත් ආචාර්ය  ශිරින් විසින් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කරන මෙන් දන්වා තිබේ.

දර්ශනවේදය හදාරන සිසුන් විසින් වාර්තා කර ඇති පරිදි ශිරින් සුබයිර් විසින් බොහෝ අවස්ථා වලදී පන්තියේදී විචාරය කළ යුතු කෘතිය තෝරා ගැනීමට ජුනයිඩ්ට අවස්ථාව ලබා දී තිබේ. විවේචනාත්මක විචාරයක් ලිවීම සඳහා වරක් ඔහු විසින් තෝරා ගෙන තිබෙන කවියක අවසන් පද දෙක මෙවැන්නකි.

"God is dead
God is dead"

“දෙවියන් මිය ගොස් ඇත
දෙවියන් මිය ගොස් ඇත"

මෙම කවිය අඩංගු පත්‍රිකාව මෙන්ම ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සමහර තොරතුරු ද කමිටුව විසින් ලබාගෙන ඇති අතර ඒවා උසාවියේ ඇති ලිපිගොනුවෙහි ඇමිණුමකි.

ශිරින් සුබයිර්ගේ පංතියේ සිසුන් සහ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ සිසුන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් කමිටුවට පවසා ඇත්තේ ශිරින් යනු ආගමට වෛර කරන්නියක් බව ආගම පිළිබඳ ඇගේ අදහස් වලින් පැහැදිලි වන බවයි.

මෙම සියලු චෝදනා මත පදනම්ව කමිටුව විසින් ශිරින්ගෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටියද ඇය දිගින් දිගටම නිදහසට කරුණු ඉදිරිපත් කළ අතර පසුව ප්‍රශ්න කිහිපයකට පමණක් පිළිතුරු සැපයුවාය.

කමිටුව සිය වාර්තාවෙන් නිගමනය කළේ ශිරින්ට ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කළ හැකි සාක්ෂි නොමැති නමුත් ඇගේ පරිපාලනය යටතේ මෙම ඛේදජනක සිදුවීම සිදුවී ඇති බව හා ජුනයිඩ් හෆීස්ව නොවැලැක්වීමෙන් සහ ඔහුට පූර්ණ ආරක්ෂාව සැපයීමෙන් ඇය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කර ඇති බවයි.

කමිටුව පත් කිරීමට පෙර ශිරින් විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබාගෙන ජර්මනියට ගොස් ඇති අතර මේ වන තෙක් නැවත විශ්ව විද්‍යාලයට පැමිණ නැත.

ජුනයිඩ් හෆීස් විසින් ආරම්භක අවස්ථාවේදී පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කළද පසුව තම පාපොච්චාරණය ඉල්ලා අස්කර ගෙන නඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කළේය.

තමා 2013 මාර්තු 15 වන දින සිට ස්ථීර කථිකාචාර්යවරයකු ලෙස පත් කිරීමට නියමිතව තිබුණු බවත් මෙය ඇතැම් කථිකාචාර්යවරුන් විසින් එයට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බවත් ජුනයිඩ් කියා සිටියේය. එහෙත්, විශ්ව විද්‍යාල වාර්තා පරීක්ෂා කර බැලූ විට පෙනී යන පරිදි මෙය පදනම් විරහිත ප්‍රකාශයක් වූ අතර විශ්ව විද්‍යාලය විසින් ඒ වන විට එවැනි පුරප්පාඩුවක් පිරවීම ගැන සලකා බලමින් නොසිටියේය. ජුනයිඩ් මේ වන විටද දර්ශනවේදී උපාධිය හදාරමින් සිටි සිසුවෙකු වූ  අතර ඔහුගේ උපාධිය සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ 2014 වසර අවසානයේදී බැවින්  ඒ වන තුරු ඔහුට කිසිදු ආකාරයකින් ස්ථිර කථිකාචාර්යවරයකු වීමට හැකියාවක් තිබුණේ නැත. එමෙන්ම, ජුනයිඩ් හෆීස්ට ඔහුගේ ප්‍රකාශය තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි විය.

ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් ස්ථාවරයක් ගනිමින් මාස කිහිපයකට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම හැක් කර ඇති බව ප්‍රකාශ කර සිටියේය. 1400ක් පමණ වන ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවෙහි පංතියේ මිතුරන්, වෙනත් පෞද්ගලික මිතුරන් සහ සිසුන් සිටියදී, දිනපතාම පෝස්ට් වලට ඔවුන්ගෙන් ලයික් හා කමෙන්ට්ස් වැටෙද්දී මේ පිළිබඳව ඒ කිසිවෙකු ඔබට නොකීවේ ඇයි කියාත්, ඔබේ ෆේස්බුක් ගිණුම ඔබගේ ජංගම දුරකථනයට හා විද්‍යුත් තැපෑලට සම්බන්ධ වී තිබියදී මේ ගැන මාස ගණනක් යන තුරු දැනගත හැකි නොවූයේ ඇයි කියාත් විමසු විට චුදිතයාට උසාවියට ​​පිළිගත හැකි නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි විය.

ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් තෙවන ස්ථාවරයක් ගනිමින් හැක් කර ඇති ෆේස්බුක් ගිණුම ඔහුගේ වුවත් ඊමේල් ගිණුම තමන්ගේ නොවන බව පැවසුවේය. ඊමේල් ගිණුම ඔබේ නොවේ නම් ඔබේ ඊමේල් සහ ෆේස්බුක් පරිශීලක නාමයන් සමාන වන්නේ කෙසේද කියාත් ඔබගේ අනෙක් ජංගම දුරකථන අංකය මෙම විද්‍යුත් තැපැල් ගිණුම හා සම්බන්ධ වන්නේ කෙසේද කියාත් ඇසූ විට ඔහුට එය පැහැදිලි කළ නොහැකි විය. එමෙන්ම, එම විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් කිහිප දෙනෙකු සමඟ ඊමේල් පණිවුඩ හුවමාරු කර ගෙන ඇති බවත්, එක්සත් ජනපද ශිෂ්‍යත්වය හා අදාළ ලිපි එම ලිපිනයට ලැබී ඇති බවත් පෙන්වා දුන් විට චුදිතයාට කට උත්තර නැති විය.

සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකු පමණ ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිය ප්‍රකාශ ගොනු කළ අතර විත්තිකරුට ඔහුගේ ප්‍රකාශය වෙනුවෙන් කිසිදු සාක්ෂිකරුවෙකු හෝ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි විය. ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සියලු තොරතුරු පාකිස්තාන වෝහාරික පර්යේෂණාගාරයට යැවීමෙන් පසු එහි වාර්තාව ද ජුනයිඩ්ට එරෙහිව ඉදිරිපත් විය. ජුනයිඩ් හෆීස්ට එරෙහිව විශ්ව විද්‍යාල කමිටුවේ වාර්තාව ද එළියට ආවේය.

මේ කරුණු අනුව පෙනී යන්නේ  ජුනයිඩ් හෆීස් මේ සියළු දේ කර තිබෙන්නේ සරණාගතයෙකු ලෙස එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණින් බවයි. ජුනයිඩ් හෆීස්ගේ හිටපු ගුරුවරයෙකු සහ ශිරින් සුබයිර්ගේ ස්වාමිපුරුෂයා වන මොයින් හයිඩර් නොහොත් ජාවාලා මුඛි ද විදේශීය පුරවැසිභාවය සහ දේශපාලන රැකවරණ ලබා ගත් අයෙකි.

අනෙක් අතට, ජුනයිඩ් හෆීස්ගේ නඩුව අධිකරණය වෙත යාමෙන් පසුව ඔහු විසි වතාවකට වඩා උසාවියේ පෙනී සිටි නමුත් කිසිදු අවාසනාවන්ත සිදුවීමක් සිදු වූයේ නැත. නමුත් හදිසියේම වසරකට පසුව පැමිණිල්ලට එරෙහිව නඩු පැවරීමට උත්සාහ කරමින් සිටියදී ජුනයිඩ්ගේ නීතිඥයා වූ රෂීඩ් රෙහ්මාන්ව ඝාතනය කරනු ලැබුවේය. එයින් පසුවද සුළු ආරක්ෂාවක් යටතේ ජුනයිඩ්ව විසි වරකට වඩා මුල්තාන් වෙත ගෙන එන ලද අතර කිසිවෙකු ඔහුට පහර දුන්නේ නැත.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජුනයිඩ් හෆීස් නඩුවේ සියලු වියදම් හා නීතිඥ ගාස්තු ගෙවන බැවින් ජුනයිඩ්ගේ පියා මාධ්‍යයට කියා ඇති නඩුවේ අධික පිරිවැය කතාව විශ්වසනීයත්වයක් නොමැති කතාවකි.

එමෙන්ම සාහිත්‍යයට ඇති කැමැත්ත නිසා ජුනයිඩ් හෆීස් කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වූ බව මෙම නඩුව හා සම්බන්ධ සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වන නමුත් සත්‍යය වන්නේ ඔහුට වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වීමට සිදු වුනේ විනය උල්ලංඝනය කිරීම නිසා බවයි. ඔහුව කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර පසුව ඔහුට එංගලන්තයේ සාහිත්‍යය හැදෑරීමට අවස්ථාව ලැබුණේය.

අධික ගාස්තු අය කරන ජුනයිඩ්ගේ නීතිඥයින් විසින් හා විවිධ වාසි ලබන රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම නඩුවේ ඉතිහාසය හා කරුණු වෙනස් කරමින්, නඩුව හා සම්බන්ධ ව්‍යාජ කථා නිර්මාණය කරමින් නඩුවේ සත්‍ය කරුණු විකෘති කිරීමට උත්සාහ කරන අතර එම ව්‍යාජ කථා රට තුළ හා ජාත්‍යන්තරව ප්‍රචාරය කරමින් මෙම නඩු විභාගයට බලපෑම් කළෝය. හෆීස් නඩුව විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත වීමේ වගකීම ගත යුත්තේ ජුනයිඩ්ගේ නීතිඥයින් විසින්ය. ඔවුන් එක් සාක්ෂිකරුවෙකුව (තොරතුරු තාක්‍ෂණ විශේෂඥයාව) වසර තුනහමාරක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කළෝය. මෙවැනි දීරිඝ ප්‍රශ්න කිරීමක් සිදු වුනේ ඉතිහාසයේ පළමු වරටය.

රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කාදියානි පංතිය (අහමදියා මුස්ලිම්වරුන් හැඳින්වෙන නමකි) කෙතරම් බලපෑම් කළේද යත්, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ජුනයිඩ් හෆීස්ව නිදහස් කරන මෙන් 2019 ජූලි මාසයේදී පාකිස්තානයෙන් සෘජු ලෙසම ඉල්ලා සිටියේය. ඉම්රාන් ඛාන්ගේ එක්සත් ජනපද සංචාරයේදීද, ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන්ගෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් සෘජුවම ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද ආධාර ලබා දීම සඳහා ජුනයිඩ් හෆීස්ව නිදහස් කිරීම කොන්දේසියක් ලෙස ඉදිරිපත් කෙරුණේය.

පකිස්ථානයයේ ආගමික අපහාස නීති දිගින් දිගටම උපුටා දක්වමින් විවේචනය කරන කාදියානි වරුන් (අහමදියා මුස්ලිම්වරුන්), එක්සත් ජනපදය හා බටහිර මාධ්‍ය විසින් ජුනයිඩ් හෆීස්ව වීරයෙකු ලෙස උලුප්පන්නේ ඔහු මුස්ලිම් වරුන්ට සහ ඉස්ලාම් ආගමට පහර දුන් නිසාය.

2019 නොවැම්බර් මාසයේ දී, කාදියානි ආටීෆ් මියන් ඇතුළු බටහිර හා කාදියානි විද්වතුන් 20 කට වැඩි පිරිසක් විසින්ද ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තාන අගවිනිසුරු අසීෆ් සයීඩ් කොසා වෙත ලිපියක් ලියා තිබේ.


Dawn පුවත්පත (පකිස්ථානයේ වැඩියෙන්ම කියවන සහ පැරණිම ඉංග්‍රීසි පුවත්පතකි) සහ අනෙකුත් පුවත්පත් ජුනයිඩ් හෆීස් සහ නඩුව පිළිබඳව අසත්‍ය ලිපි අඛණ්ඩව පළ කරමින් සිටී. නඩුවේ සත්‍ය කරුණු පිළිබඳව කිහිප වතාවක්ම මෙම පුවත්පත් සම්බන්ධ කර ගනිමින් කරුණු කාරණා ලබා දුන් නමුත් කිසි දිනෙක මේ පුවත්පත් සත්‍යයට ඉඩක් ලබා දුන්නේ නැත.

මෙම නඩුවේ සත්‍ය කරුණු විකෘති කරමින් සාමාන්‍ය ජනතාවද නොමඟ යවා ඇති අතර එය ඊනියා අහිංසක ජුනයිඩ් හෆීස්ට එරෙහි සමහර ආගමික සිසුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස නිරන්තරයෙන් හැඳින්වේ.

මෙම නඩුව කිසියම් විශේෂිත කණ්ඩායමක හෝ පන්තියක නොව සමස්ත ජාතියේම නඩුවකි. එබැවින්, මෙම නඩුවේදී බටහිර මාධ්‍ය, එක්සත් ජනපද රජය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් අධිකරණය සහ රජය වෙත බලපෑම් කිරීම අපි තරයේ හෙළා දකිමු.

නඩුව සම්පූර්ණයෙන් විමර්ශනය කර සාක්ෂි සමාලෝචනය කිරීමෙන් හා දෙපාර්ශ්වයේම අවසාන තර්ක වලට දින තුනක් සහ රාත්‍රියක් සවන් දීමෙන් පසුව, ජුනයිඩ් හෆීස්ට අවසානයේදී 295 ඒ යටතේ වසර දහයක සිර දඬුවමක් සහ සහ රුපියල් ලක්ෂයක දඩයක්ද, 295 බී යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සහ 295 සී යටතේ රුපියල් ලක්ෂ 5 ක දඩයක් සහ මරණ දඬුවමද නියම විය. 

මේ තීන්දුව ලබා දී තිබෙන්නේ මීට පෙර වරදකරුවන් බව ඔප්පු නොවීම නිසා අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති විනිසුරුවරුන් විසින්ය.

ජුනයිඩ් හෆීස්ගේ සිද්ධිය පාකිස්තාන ඉතිහාසයේ මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව වන අතර මේ සිද්ධියේදී ලේ වැගිරීම් කිසිවක් සිදු වුනේ නැත. ජුනයිඩ් හෆීස් විසින් සිදු කළ වරද පිළිබඳව කිසිදු සැකයක් නොමැති අතර ඒ බව තහවුරු කිරීම පිණිස සාක්ෂිකරුවන් හා සාක්ෂි ඕනෑ තරම් තිබේ.

“අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට පීඩා කරන අය වෙත අල්ලාහ්ගේ ශාපය මෙලොවදීද පරලොවදීද නියත වශයෙන්ම පැමිණෙනු ඇත. අල්ලාහ් ඔවුන් වෙනුවෙන් නින්දිත දඬුවම් සූදානම් කර තිබේ.”
- අල් අහ්සාබ්, 57 

(ලිවීම හා පර්යේෂණ: මුල්තාන් වක්ලා සමිතිය)

(සටහන: මෙම ලිපියේ විස්තර කර ඇති සිදුවීම් හා අදාළ ඕනෑම ලේඛනයක සහතික කළ පිටපතක් රුපියල් සිය ගණනක් ගෙවා උසාවියෙන් මිල දී ගත හැකිය.)

මේ බ්ලොග් සටහන පළ කර ඇති ලේඛකයාගේ බොහෝ අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත්, ලිපියේ ඇති කරුණු සෑහෙන තරමකින් නිවැරදි බව සිතිය හැකියි. ලේඛකයා උගත් තරුණයෙක්. ඔහු අන්තවාදියෙක් ලෙස සලකන්න බැහැ. මේ ලිපියෙන් නියෝජනය වන්නේ පකිස්ථානයේ බොහෝ දෙනෙක් මේ සිදු වීම ගැන හිතන ආකාරය වෙන්න පුළුවන්.

මධ්‍යස්ථ අදහස් කියන ඒවාත් සාපේක්ෂයි. පකිස්ථානය වැනි රටක හා බටහිර රටවල මධ්‍යස්ථ මතධාරීන් සේ සැලකෙන අයගේ අදහස් අතර පරතරය ඉතා පුළුල් එකක්. කිසියම් අදහසක් මධ්‍යස්ථ හෝ අන්තවාදී වන්නේ තවත් පුද්ගලයෙකුට සාපේක්ෂවයි. ප්‍රජනන සෞඛ්‍යය වැනි සරල දෙයක් ගැන කතා කිරීම පවා ඇතැම් විටෙක අනෙකාගේ නහයේ සීමාවේ වැදෙන්නක් වෙන්න පුළුවන්. මෙය පහසුවෙන් විසඳුම් සෙවිය හැකි ගැටලුවක් නෙමෙයි.

(Image: https://coolsandiegosights.com/2015/01/30/our-silences-and-precious-freedom-of-speech/)

Wednesday, December 25, 2019

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (පළමු කොටස)


භාෂණයේ නිදහස තිබෙන්නේ අනෙකාගේ නහයේ නොවැදෙන සීමාව දක්වා කියන එක ප්‍රසිද්ධ කියමනක්. මේ ගැන දන්නා අයට වුවත් බොහෝ විට අනෙකාගේ නහය තිබෙන තැන හොයා ගැනීම පහසු නැහැ. තමන් ජීවත් වන රට අනුව අනෙකාගේ නහය තිබෙන තැන වෙනස් වෙනවා. ඇතැම් විට අනෙකාගේ නහය තිබෙන්නේ අත දිග අරින්නවත් බැරි තරම් කිට්ටුවෙන් වෙන්න පුළුවන්.

අනෙකාගේ නහය ඕනෑවට වඩා කිට්ටුවෙන් තිබෙන තැනක ජීවත් වෙන්න සිදු වූ විට එක්කෝ තමන්ගේ අත් අකුලාගෙන, දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලා ගෙන ජීවත් වෙන්න වෙනවා. එය අමාරුනම් අත දිග හැරිය හැකි තරම් දුරින් අනෙකාගේ නහය තිබෙන වෙනත් තැනකට සංක්‍රමණය වෙන්න සිදු වෙනවා. නමුත්, ඒ දෙවන අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක කෙනෙක්ට අත පය අකුලාගෙන දිගටම ජීවත් වීම අසීරු වී අත දිග හරින්න හිතෙන වෙලාවක් එන්න පුළුවන්. ඒ විදිහට දිග ඇරෙන අත් කාගේ හෝ නහයක වැදෙන්න පුළුවන්. සමහර විට සැලකිල්ලෙන් නොහිටියොත් කෙනෙක් නහය දිගු කර අතේ වද්ද ගන්න වුනත් පුළුවන්. ඒ වගේ වෙලාවකට ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්.

ජුනයිඩ් හෆීස් සිද්ධිය බටහිර ලෝකයට පෙනෙන ආකාරයේ පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සරල සිද්ධියක් නෙමෙයි. පකිස්ථානය ඇතුළේ ජීවත් වන බොහෝ දෙනෙක් මේ සිද්ධිය වෙනත් ආකාරයකට දකිනවා. ඒ අනෙක් පාර්ශ්වයට අපි සවන් දුන්නොත්, පකිස්ථානයේ නීතිය අනුව වරදක් කර තිබෙන ජුනයිඩ් හෆීස්ට සාධාරණ නඩු විභාගයකින් පසුව රටේ නීතිය අනුව ලැබිය යුතු දඬුවම නියම වී තිබෙනවා.

රටක නීති පැනවීම, පනවා ඇති නීති අර්ථ දැක්වීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, දඩුවම් නියම කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදී සියල්ල තීරණය වන්නේ ඒ රටේ මිනිසුන් බොහෝ දෙනෙකු හිතන පතන ආකාරය මතයි. බොහෝ වෙලාවට රටක සුළුතරයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් බහුතරය හිතන ආකාරයට අනුගත වෙන්න වෙනවා. එය සුළුතරයට කොයි තරම් පීඩාකාරීද කියන එක තීරණය වන්නේ බහුතරය කොයි තරම් දුරකට අනෙකාගේ මතයට සංවේදීද කියන කරුණ මතයි. සරසවියක උගන්වන දේශකයෙකු විසින් තමන්ගේ විෂය කරුණු ඉගැන්වීමේදී වුවත් මේ කරුණ නොසලකා හැරීමේ ඉඩක් නැහැ. ඇතැම් විට උගන්වන විෂය කරුණක් වුවත් අනෙකාගේ නාසයේ අග වැදෙන්න පුළුවන්.

ජුනයිඩ් හෆීස් තීන්දුව සම්බන්ධව බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන පකිස්ථානය මත කිසියම් පීඩනයක් යොදනවා. බොහෝ පකිස්ථානුවන් මෙය දකින්නේ බටහිර රටවල් විසින් තමන්ගේ රටට, ආගමික විශ්වාස වලට හා ස්වාධීන නීති පද්ධතියට බලපෑම් කිරීමක් ලෙසයි. බටහිර කුමන්ත්‍රණ කතා ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයි.

ඇතැම් අයට අනුව ජුනයිඩ් හෆීස් මේ හැම දෙයක්ම කර තිබෙන්නේ බටහිර රටකට සරණාගතයෙකු සේ ඇතුළු වෙන්නයි. මේ වගේ දේවල් සමාන්තර විශ්ව වලත් සිදු වන නිසා බටහිර මාධ්‍ය වාර්තා වල දැකිය නොහැකි කතාවේ අනිත් පැත්තටත් අප සංවේදී විය යුතුයි. පහත කොටස් උපුටා ගන්නේ ජනප්‍රිය ෆේස්බුක් ක්‍රියාකාරිකයෙකු හා කරච්චි නගරයේ ජීවත් වන තරුණ විදුලි ඉංජිනේරුවෙකු වන ඉස්රාර් අහමඩ් තනෝලිගේ බ්ලොග් ලිපියකින්. මෙය කියවිය යුත්තේ ලිපිය ලියා තිබෙන්නේ ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කිරීම සාධාරණීකරනය කරමින් බව මතක තබා ගෙනයි.

ජුනයිඩ් හෆීස් නඩුවේ සත්‍ය කරුණු…

සර්වබලධාරි දෙවියන් වහන්සේට, ශුද්ධ වූ අල් කුර්ආනයට හා සර්වබලධාරි දෙවියන් වහන්සේගේ දූතයාණන් වන මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට අපහාස කිරීම.

සටහන:

මෙහි ඇත්තේ අධිකරණ වාර්තා, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, නඩු වාර්තා ආදිය මත පදනම් වූ සටහනක් මිස ආවේග මත හෝ වැරදි තොරතුරු මත පදනම් වූ ලිපියක් නොවේ. ලියකියවිලි, ප්‍රකාශ, සාක්ෂි, විමර්ශන වාර්තාව, විශ්ව විද්‍යාල කමිටු විමර්ශන වාර්තාව, පොලිස් වාර්තාව ආදිය විශ්වවිද්‍යාල නිල ලේඛණ වල සහතික කළ පිටපත් වලින් ලබාගෙන ඇත. මෙය මෙම සිද්ධිය පිළිබඳ පළමු සම්පූර්ණ සවිස්තර වාර්තාවයි.

2013 මාර්තු 13 වන දින ඇමරිකානු පුරවැසියෙකු වන බෂාරි අසීස් විසින් ලාහෝර්හි ඇමරිකානු කොන්සල් ජනරාල් වන ජේසන් රීෆ් මහතා වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් පණිවුඩය යවනු ලැබේ.

Hello, Mr. Reiff,

I don’t know if you are still there or not, but I hope some responsible person will get my email. In Pakistan one of our family friend is accused of “Blasphemy”. He is on run to save his life. I just wonder if you folks can help him? And what is the procedure to get help from our embassy. Thank God I am a US citizen and living in USA, but he is Pakistani and in Pakistan.

Thank you!


රීෆ් මහත්තයා,

ඔබ තවමත් මේ ධුරයේ ඉන්නවාද නැද්ද කියා මම දන්නේ නැහැ. නමුත්, කවුරු හෝ වගකිවයුතු පුද්ගලයෙකුට මගේ විද්‍යුත් ලිපිය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පාකිස්තානයේ අපේ පවුලේ මිතුරෙකුට “ආගමික අපහාස” චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු තම ජීවිතය බේරා ගැනීම සඳහා පලා යමින් සිටිනවා. මම මෙය ලියන්නේ ඔබට ඔහු වෙනුවෙන් යම් පිහිටක් විය හැකිදැයි බලන්නයි. අපේ තානාපති කාර්යාලයෙන් උදව් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? දෙවියන්ගේ පිහිටෙන් මම ඇමරිකාවේ ජීවත් වන එක්සත් ජනපද පුරවැසියෙක්. නමුත්, මගේ මිතුරා පකිස්ථානයේ ජීවත් වන පකිස්ථානුවෙක්.

ඔබට ස්තුතියි!

මෙය පටන් ගැන්ම හෝ අවසානය නොවේ.

2013 පෙබරවාරි 22 දින උදෑසන බහඋද්දීන් සකරියා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ශිරීන් සුබයිර්ගේ කාර්යාලයට පැමිණෙන සිසුන් පිරිසක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දර්ශනවේදී උපාධිය හදාරන සිසුවෙකු හා සරසවියේ තාවකාලික දේශකයෙකු වන ජුනයිඩ් හෆීස්ට එරෙහිව පැමිණිලි කිහිපයක් සහිත ලියවිල්ලක් භාර දෙයි. ඔවුන්ගේ පැමිණිලි වලට අනුව ජුනයිඩ් හෆීස් දේශන අතරතුර ආගම හා අදාළ කරුණු ගැනද කතා කරයි. එසේම ඔහුගේ නමින් ඇති ෆේස්බුක් පිටුවේත්, ඔහු විසින් හදා තිබෙන ෆේස්බුක් පිටු වලත් මුස්ලිම් ආගම ගැන හා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගැන අදහස් පළ කරයි. සිසුන් ඉල්ලා සිටින්නේ ඔහුගේ මේ ක්‍රියාකාරකම් නැවැත්විය යුතු බවයි.

ඇය ලිපිය භාරගෙන නැවත කතා කරන තුරු සිසුන්ට කාර්යාලයෙන් පිටත ටික වේලාවක් රැඳී සිටින මෙන් ඉල්ලා සිටී. පැය භාගයකට පමණ පසු ආචාර්ය ශිරීන් සුබයිර් සිසු සිසුවියන් නැවත කාර්යාලයට කැඳවා ඔවුන්ට කෝපාවිෂ්ට ස්වරයකින් බැණ වැදී අදාළ පැමිණිල්ල ඔවුන් ඉදිරිපිටදීම ඉරා දමා එය කාමරයේ ඇති කුණු බක්කියට විසි කරයි. නැවත එවැනි පැමිණිල්ලක් රැගෙන පැමිණියහොත් කිසිදු උපාධියක් ලබා නොදී ඔවුන්ව සරසවියෙන් ඉවත් කරන බවට සිසුන්ට අනතුරු අඟවයි. සිසුහු ආපසු හැරී යති.

එයින් දින කිහිපයකට පසුව සිසුන් කිහිප දෙනෙකු විසින් ජුනයිඩ් හෆීස්ට එරෙහිව උපකුලපතිවරයාට සමාන පෙත්සමක් ඉදිරිපත් කරමින්, 2013 පෙබරවාරි 25 වන දින සරසවියේ අයි.ජී.එස් ශාලාවේ පැවති ජුනයිඩ් හෆීස් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී දෙවියන්ගේ මහිමයට අපහාස වන කරුණු ඉදිරිපත් කෙරුණු බවත්, සර්ව බලධාරී දෙවියන්ව සමච්චලයට ලක් කෙරුණු බවටත් චෝදනා කළෝය.

සිසුන්ව හරවා යැවුණු අතර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුනේය. උපකුලපතිවරයා විසින් අංශාධිපති ශිරීන් අමතා කරුණු විමසූ විට ඈ විසින් මෙවැනි අපහාස කිරීමක් සිදු නොවූ බව පැවසීම එයට හේතුවයි.

2013 මාර්තු 7 වන දින ජුනයිඩ් හෆීස්ගේ "So called liberals of Pakistan" නම් වූ ෆේස්බුක් පිටුවේ ප්‍රශ්න තුනකින් සමන්විත පෝස්ටුවක් පළ වී තිබුණු අතර, ඒවායින් නබි (සල්) තුමාණන්ගේ මහිමයට හා ඔහුගෙන් පැවත එන්නන්ට ප්‍රසිද්ධියේ අපහාස කර තිබුණේය.

(ඉස්ලාම් ආගමික ඉතිහාසය හදාරා නැති අයෙකුට මේ ප්‍රශ්න නිසා අපහාසයක් සිදු වීමට ඉඩ ඇති ආකාරය තේරුම් ගැනීමට අපහසු නිසා එම කොටස මෙහි උපුටා දක්වා නැත.)

සිසු කණ්ඩායම විසින් ජුනයිඩ් හෆීස්ගෙන් එම පෝස්ටුව ඉවත් කරන මෙන් ඉල්ලා සිටියද ජුනයිඩ් හෆීස් එම පෝස්ටුව මකා නොදමයි. මෙම පෝස්ටුව පිළිබඳව සිසුන් දැඩි කෝපයට පත්වන අතර පසුව කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ යෝජනාව පරිදි මේ සිසුහු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු හමු වෙති. මහාචාර්යවරයා මුලින්ම සිසුන්ව ප්‍රතික්ෂේප කරමින් අංශාධිපතිවරිය හමු වී ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් සේ දන්වා සිටී. අංශාධිපතිවරිය ඔවුන්ට ඇහුම්කන් දීමට අකමැති බවත්, නැවත මේ ගැන කතා කරන්නට ගියහොත් ඔවුන්ව විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින බව දැනුම් දී ඇති බවත් එවිට සිසුහු පවසති.

මෙය ඇසූ මහාචාර්යවරයා ආචාර්ය ශිරීන් සමඟ කතා කර ජුනයිඩ් හෆීස්වද සිසුන්වද විශ්ව විද්‍යාලයේ පිහිටි ඔහුගේ නිවසට කැඳවයි. ජුනයිඩ් හෆීස් විසින් අදාළ ෆේස්බුක් සටහන ගැන මහාචාර්යවරයාට පවසන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උදෙසා ඔහු මෙම ෆේස්බුක් පිටුව ආරම්භ කර ඇති බැවින් ඔහුට එහි පළ වී ඇති කිසිදු පෝස්ටුවක් මකා දැමිය නොහැකි බවයි. ඉන් පසු සිසුන් සහ ජුනයිඩ් හෆීස් පිටත්ව යති.

මෙම පළ කිරීම් මකා නොදැමෙන අතර දින දෙකකට පසුව තත්ත්වය වඩා දරුණු වේ. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයට අපහාස කරමින් තවත් පෝස්ට් තුනක් පළ වේ. එයින් එකක මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමයට පසුව සාමාන්‍යයෙන් යෙදෙන "peace be upon him" යන්න වෙනුවට ලියා තිබෙන්නේ "piss be upon him" යන්නයි. තවත් පෝස්ටු දෙකක "Muhammad the Rapist" හා "Muhammad the sex maniac" ලෙස සඳහන් වේ. මේවා කිසිදු මුස්ලිම් වරයෙකුට දරා ගත නොහැකි විස්තර කිරීමට පවා අපහසු අපහාසයන්ය.

මෙම කථාව නේවාසිකාගාර පුරා සහ විශ්ව විද්‍යාලය පුරා පැතිරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ දෙපාර්තමේන්තු වල සිසුහු පංති වර්ජනය කිරීමට එකඟ වෙති.

ජුනයිඩ් හෆීස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හා එසේ නොකළහොත් පංති වර්ජනය කරන බව දැනුම් දෙමින් 2013 මාර්තු 12 වන දින සිසුහු උපකුලපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරති. ජුනයිඩ් හෆීස් මාර්තු 12 වන දින රාත්‍රියේ ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන නේවාසිකාගාරයෙන් ඉවත් වී ආචාර්ය ශිරින්ගේ නිවසට යයි.

2013 මාර්තු 13 වන දින උදෑසන ඉංග්‍රීසි හා යූජීඑස් (Undergraduate Studies in Social Sciences) දෙපාර්තමේන්තු ඉදිරිපිට විරෝධතා ආරම්භ වූ අතර එහිදී එම දෙපාර්තමේන්තු දෙකේ සිසුන් පහළොස් දෙනෙකු පමණ යූබීඑල් (United Bank Limited) මං සන්ධිය යාබද මාර්ගය අවහිර කළෝය. මේ සමඟ, වෙනත් දෙපාර්තමේන්තු වල සිසුන් විශාල සංඛ්‍යාවක්ද විරෝධතාවයට සම්බන්ධ වූහ.

ටික වේලාවකට පසු විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව භාරව සිටින නේවාසික නිලධාරියා (Resident Officer - RO) ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු පිරිවරා සිසුන් වෙත පැමිණේ. ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිසුහු විරෝධය පළ කරති. මඳ වේලාවකට පසු පොලීසිය සහ දිස්ත්‍රික් බලධාරීහු එම ස්ථානයට පැමිණෙති.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පදික වේදිකාවේ සිටි සිසු සිසුවියන් අමතා අපහාස සිද්ධියට සම්බන්ධ ඕනෑම තරාතිරමක සැකකරුවෙකු කෆීර් වරයෙකු සේ සලකා ක්‍රියා කරන බවට සහතික වෙති. ඇතැම්  සිසුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනෙන අතර, දේශන වලට සහභාගී වී දිගටම අධ්‍යයන කටයුතු කරගෙන යන ලෙස සෙසු සිසුන්ගෙන් පොලිසිය හා පරිපාලනය විසින් ඉල්ලා සිටී. ඉන්පසු සිසුන්ව විසුරුවා හරිනු ලැබේ. අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් හා විශ්ව විද්‍යාල නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් පත් කෙරේ.

පොලිස් නිලධාරීන් ජුනයිඩ් හෆීස්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ ජුනයිඩ් නේවාසිකව සිටි නේවාසිකාගාරයට යන අතර එහිදී දැනගැනීමට ලැබෙන්නේ දිනකට පෙර ජුනයිඩ් හෆීස් තම අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩද රැගෙන නේවාසිකාගාරයෙන් පිටව ගොස් ඇති බවයි. නේවාසිකාගාරයේ නැවතී සිටින ඇතැම් කනිෂ්ඨ දේශකයින් නිර්නාමිකව පොලිසියට පවසා ඇත්තේ ජුනයිඩ් හෆීස් පෙර දින රාත්‍රියේ ආචාර්ය ශිරින් සුබයිර්ගේ නිවසට ගොස් ඇති බවයි. පොලීසිය මේ බව උපකුලපතිවරයාට දැනුම් දුන් පසු උපකුලපතිවරයා වහාම ශිරින් සුබයිර්ව තම කාර්යාලයට කැඳවන අතර එහිදී ඇය පවසන්නේ ජුනයිඩ් දැනටමත් ඩේවූ බස් රථයකින් (Daewoo Express) මුල්තාන් සිට ලාහෝර් බලා පිටත්ව ගොස් ඇති බවත් ඇගේ නිවසේ නැති බවත් ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නායකත්වයෙන් යුත් පස් දෙනෙකුගේ කණ්ඩායමක් ජුනයිඩ් අත්අඩංගුවට ගැනීමට සඳහා වහා පිටත් විය. ඔවුහු වේගයෙන් රථය ධාවනය කරමින් ජුනයිඩ් හෆීස් ගමන් ගත් බස් රථය පසු කර ගොස් ජාවෙඩ් හෆීස්ට විනාඩි 15 කට පමණ පෙර ලාහෝර්හි කල්මා මං සන්ධිය අසල ඩේවූ බස් පර්යන්තය වෙත ළඟා වූහ.

ලාහෝර් ඩේවූ බස් පර්යන්තයේ නවතා තිබූ ඩේවූ බස් අංක LES/3873හි ආසන අංක 32හි සිටි ජුනයිඩ්ව එදින සවස් වරුවේදී පරීක්ෂණ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොන්සියුලර් නිලධාරියෙකු සමඟ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ දුරකථනයෙන් කතා කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ජුනයිඩ් සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්, සිම් කාඩ්පත් දෙකක් සමඟ ජංගම දුරකථනයක්, පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දොළහක්, අන්තර්ජාලයට පිවිසීමට යොදාගන්නා උපාංගයක්, ඇමරිකානු ජැක්සන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත හා  ඇඳුම් ආදිය පොලීසිය භාරයට ගැනේ.

එදින රාත්‍රියේදීම ඔහුව අදාළ භාණ්ඩද සමඟ ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරේ. ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම විසින් සාමාන්‍ය ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ජුනයිඩ්ව ප්‍රශ්න කෙරේ.

පළමු ප්‍රශ්නය: ඔබේ නම සහ ලිපිනය මට කියන්න පුළුවන්ද?

පිළිතුර: ඔව්. මගේ නම ජුනයිඩ් හෆීස් ව්ලැඩ් නසීර් අහමඩ්. ජාතිය රාජ්පුත්. මාතන්කෝට් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බහඋද්දීන් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි දර්ශනවේදී උපාධිය හදාරන ශිෂ්‍යයෙකු වන අතර මෙම දෙපාර්තමේන්තුවේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද සේවය කරනවා. මගේ ඉංග්‍රීසි ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකා එක්සත්  එක්සත් ජනපදයට ගොස් ශිෂ්‍යත්වය අවසන් වූ පසු නැවත මවු රටට පැමිණියා.

2 වන ප්‍රශ්නය: ඔබේ ලැප්ටොප් පරිගණකය අප ඉදිරිපිට සක්‍රිය කළ හැකිද?

පිළිතුර: ඔව්. (ලැප්ටොප් පරිගණකය සක්‍රිය කර ෆේස්බුක් පිටුව විවෘත කරයි.)

3 වන ප්‍රශ්නය: ඔබේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කළ හැකිද?

පිළිතුර: ඔව්. පරිශීලක නාමය: xxx  මුරපදය: xxx

(පරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු තාක්ෂණ නිලධාරියා ජුනයිඩ්ගේ ෆේස්බුක් ගිණුම වෙත පිවිස ඒ හරහා එහි සම්බන්ධිත "So called liberals of Pakistan" පිටුවට පිවිසේ.)

4 වන ප්‍රශ්නය: මෙම ගිණුම ඔබේද?  ඔබ මෙම ෆේස්බුක් පිටුව පරිපාලනය කරනවාද?

පිළිතුර: ඔව්, මෙම ගිණුම මගේ.  මම මීට මාස කිහිපයකට පෙර මෙම පිටුව නිර්මාණය කළා. මම එහි එකම පරිපාලකයා.

5 වන ප්‍රශ්නය: මෙම පිටුවේ සාමාජිකයෙකු වීමට හෝ ඔබගේ අවසරයකින් තොරව කිසිවෙකුට එහි යමක් පළ කිරීමට හැකිද?

පිළිතුර: නොහැකියි. මගේ අවසරයකින් තොරව කිසිවෙකුට සාමාජිකයෙකු විය නොහැකියි. මගේ අවසරයකින් තොරව කිසිවෙකුට කිසිවක් පළ කළ නොහැකියි.

6 වන ප්‍රශ්නය: මෙම පිටුවෙහි සහ ඔබගේ ගිණුමේ පළ වී ඇති පෝස්ට් වලින් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ, සර්වබලධාරි දෙවියන්ගේ සහ ඇදහිලිවන්තයන්ගේ මහිමයට අපහාසයක් වී ඇති බව ඔබ දන්නවාද?

පිළිතුර: ඔව්, මම ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.

7 වන ප්‍රශ්නය: ඔබ මෙම ලිපි මකා නොදැමුවේ ඇයි?

පිළිතුර: ඇත්ත වශයෙන්ම, මම මෙම සංසදය නිර්මාණය කළේම නිදහස් අදහස් ප්‍රකාශනය සඳහායි. ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමට හෝ අදහස් දැක්වීමට හා ඕනෑම මතයක් දැරීමට නිදහසක් තිබිය යුතු බව මම විශ්වාස කරනවා.

8 වන ප්‍රශ්නය: මෙම පිටුවේ නබි (සල්) තුමාණන්ගේ මහිමය ගැන විවෘතව අදහස් පළ කෙරෙන බව ඔබ දන්නවාද?

පිළිතුර: ඔව්, එය මගේ දැනුමෙන් සිදු වන්නක්.

මෙසේ ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු තාක්ෂණ විශේෂඥයා විසින් ජුනයිඩ් හෆීස්ගේ පරිශීලක නාමය හා මුරපදය ලබා ගෙන ඔහුගේ ෆේස්බුක් ගිණුම හා "So called liberals of Pakistan" ෆේස්බුක් පිටුව වෙත ප්‍රවේශ වීමෙන් අනතුරුව ඒවායේ අඩංගු අපහාසාත්මක පළ කිරීම්ද සමඟ සමස්ත ක්‍රියාවලියම සජීවීව පටිගත කර සංයුක්ත තැටි දෙකක තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම ෆේස්බුක් ගිණුම් අක්‍රිය කෙරේ.

පසු දින, විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

(මතු සම්බන්ධයි)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...