වෙබ් ලිපිනය:

Showing posts with label මුදල් සැපයුම. Show all posts
Showing posts with label මුදල් සැපයුම. Show all posts

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

Wednesday, April 6, 2022

සල්ලි පන්නන්නේ කටුනායකින්ද?


දිගට ඇදෙන අරගලය තුළ අරගලකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක වෙනම ලිපියකින් කතා කළ යුතු පුළුල් කරුණක්. අරගලය තවමත් ඉදිරියට ඇදෙනවා. එය මෙතෙක් අල නොවීමට ප්‍රධාන හේතුව සාපේක්ෂ සාමකාමීත්වයයි. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තෙන්ම. මුලින්ම ප්‍රචණ්ඩකාරී වන පාර්ශ්වයේ අවාසියට අවසානය තීන්දු වන බව දෙපාර්ශ්වය විසින්ම නිවැරදිව අවබෝධ කර ගෙන ඉන්නවා. 

මෙහිදී ආණ්ඩුව සතු මර්දනය මුදා හැරීමේ හැකියාව දෙපැත්තකින් සීමා වී තිබෙනවා. එක පැත්තකින් ලෝකය, විශේෂයෙන්ම බටහිර රටවල්, ආණ්ඩුව දෙස බලා ඉන්නවා. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පරණ වාර්තා නරක ලෙස බලපා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාලන යාන්ත්‍රණයක් නැතිව යන රැල්ලේ වේගයට මර්දනය ඉක්මන් කිරීම කියන්නේ ආණ්ඩුව විසින් වචනාර්ථයෙන්ම සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්.

අරගලය තුළ දේශපාලන නායකත්වයක් නැත්තේම නැහැ. එය සියුම් ලෙස ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. ජීවිත හා දේපොළ හානි සිදුවන තැනකට අරගලය පීලි පැන්නොත් ඒ වහාම ජනමතය මෙන්ම අරගලකරුවන්ද දෙපිල බෙදී ආණ්ඩුවට අරගලය පාලනය කිරීම සඳහා අවකාශයක් විවෘත වෙනවා. 

මේ අරගලයේ වූ සාධනීයම දෙය එයට දේශපාලන නායකත්වයක් නොතිබීමයි. එමෙන්ම, අවසාන වශයෙන් සිදු විය හැකි නරකම දෙය එයට දේශපාලන නායකත්වයක් ලැබීමයි. අවශ්‍ය වන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම් සඳහා දේශපාලන නියෝජනයක් මිසක් ඔවුන්ව ඉස්සරහට දමා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි. එහෙත්, ස්වාධීන ජනමතය කණ්ඩායමකගේ සැලසුම්සහගත මතයට යටපත් වීමේ අවදානම හැම විටම තිබෙන දෙයක්. 

අරගලකරුවන්ගේ ඉල්ලීම් පරිණාමය වන කිසියම් රටාවක් තිබෙනවා. මේ වන විට "අපේ සල්ලි අපිට දීලා යන්න" කියන එක ප්‍රමුඛ සටන් පාඨයක් වෙලා. ඇතැම් අය සල්ලි බෑග් වල දාගෙන රටින් පනින්න හදන අය අල්ල ගන්න කටුනායක පාරේ රැකවල් දාගෙන ඉන්නවා. ඒ ගොඩක් අය එය කරන්නේ අවංකව හා කැපවීමෙන්. හැබැයි සල්ලි පන්නන්න අවශ්‍ය අය සල්ලි රටින් පන්නන්නේ මේ දවස් වල විකාශනය වන "පාර වසා ඇත" ටෙලිනාට්‍යයේ ක්‍රමයට නෙමෙයි!

මෙයටම සම්බන්ධ තවත් කරුණක් ලෙස ඇතැම් අය උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න එපා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙක අතර සම්බන්ධය මම පැහැදිලි කරන්නම්.

පසුගිය දෙවසර තුළ විශාල වශයෙන් සල්ලි අච්චු ගැසූ බව මේ වෙද්දී කවුරුත් දන්නා කරුණක්. 2020 වසර ආරම්භ වන විට රටේ සාමාන්‍ය ජනතාව අතේ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 494,208ක්. 2021 අවසාන වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 784,441ක්. දෙවසරක් තුළ රුපියල් මිලියන 290,233ක වැඩිවීමක්. 

මම මේ කතා කරන්නේ මුදල් සැපයුම ගැන නෙමෙයි. මුදල් සැපයුමට අයත් වන්නේ කාසි හා නෝට්ටු පමණක් නොවන බව කලින් ලිපි වල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මේ කතා කරන්නේ කෙළින්ම මුදල් නෝට්ටු ගැන. මුළුමනින්ම වගේ රුපියල් 5000 නෝට්ටු ගැන. කාසි හා පොඩි නෝට්ටු ප්‍රමාණයේ විශාල වෙනසක් වී නැහැ. 

ඒ වගේම මේ ගණන් වලට බැංකු වල තිබෙන සල්ලි හෝ රජය සතු සල්ලි ඇතුළත් නැහැ. මේ කියන්නේ ගෙවල් වල සහ මුදලින් ගනුදෙනු කරන බැංකු නොවන ව්‍යාපාරික ආයතන වල තිබෙන මුදල් නෝට්ටු ප්‍රමාණය ගැන. පසුගිය මාස තුන තුළ ඔය ප්‍රමාණය තවත් වැඩි වෙලා ඇති. 

දෙවසරක වැඩිවීම රුපියල් බිලියන 300ක් කියා ගනිමු. ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5ක් වගේනේ. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක ගෙදරක මේ වන විට 2020 මුලදී තිබුණාට වඩා රුපියල් 60,000ක් තියෙන්න ඕනෑ. බැංකු වල නෙමෙයි. අතේ. ලංකාවේ ගෙවල් කීයකට මේ කතාව වලංගුද? 

මුදල් නෝට්ටු වලින්ම තමන්ගේ වත්කම් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් නෝට්ටු වලින්ම තියා ගන්නේ ඉපැයූ විදිහක් පෙන්නන්න බැරි වත්කම්. කාලයකට පෙර කෝටි තිස් ගණනක මුදල් නෝට්ටු දමා මැසූ මෙට්ටයක් ගැන කතාවක් අහපු අය ඇතිනේ. 

දැන් අපි උන්ඩියල් වලට එමු. පෙනෙන විදිහට මේ වෙද්දී උන්ඩියල් කරුවෝ ඩොලරයට රුපියල් 450 දක්වා විශාල මුදල් ගෙවනවා. බැංකු වලද ඩොලරයක මිල වේගයෙන් ඉහළ යනවා තමයි. අද වන විට ඩොලරයක් රුපියල් 320 දක්වා ඉහළ ගිහින්. එහෙත් උන්ඩියල් මිල ඊට වඩා ගොඩක් වැඩියි.

උන්ඩියල් වෙළඳපොළ කියා කියන්නෙත් නිදහස් වෙළඳපොළක්. සාමාන්‍යයෙන් උන්ඩියල් හරහා ආවත් ඒ මුදල් රටට එනවා. නිල සංඛ්‍යාලේඛණ වල නැති එක විතරයි වෙනස. නමුත්, මේ වෙලාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එහෙම නැත්නම් උන්ඩියල් මිල සහ බැංකු වල මිල අතර මේ තරම් විශාල පරතරයක් හැදෙන්නේ නැහැ. 

උන්ඩියල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උදාහරණයක් ලෙස මම ඇමරිකාවේ උන්ඩියල් කරුවෙකුට ඩොලර් 100ක් දෙනවා. ලංකාවේ ඔහුගේ නියෝජිතයෙක් ඩොලරයට රුපියල් 400 බැගින් ගණන් හදා අපේ ගෙදරට රුපියල් 40,000ක් දෙනවා. ඕකනේ වෙන්නේ. 

දැන් ඔය වැඩේ දිගටම වෙද්දී දිගින් දිගටම රුපියල් වලින් ගෙවන්න ලංකාවේ නියෝජිතයාට සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන් හරි ලැබෙන්න ඕනෑනේ. සාමාන්‍ය තත්ත්වය යටතේනම් වෙන්නේ ඔහු අනෙක් පැත්තට රුපියල් 410 බැගින් අර ඩොලර් ටික විකුණන එක. එවිට ඔහුට රුපියල් 41,000ක් අතට ලැබෙනවා. ඔහුගේ නියෝජිතයා අනෙක් පැත්තෙන් ඩොලර් ටික අවශ්‍ය තැනට යවනවා. ඩොලර් 100 ලංකාවට ආවේ නැතත් ඇවිත් ආපහු ගියා වගේම වැඩක් තමයි වෙන්නේ. බැංකු ක්‍රමය ඇතුළේ වෙන්නෙත් ඕකම තමයි. වෙනස සමතුලිත මිල පොඩ්ඩක් උඩින් තියෙන එක පමණයි. 

නමුත් ලංකාවේ කිසියම් පිරිසකට විශාල කළු සල්ලි ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ඩොලර් කර රටින් පන්නන්න අවශ්‍ය වූ විට ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

දැන් මේ කොණේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. අනෙක් කොණෙන් ඩොලර් ලැබෙනවානම් ඒ වෙනුවෙන් ගෙවන්න රුපියල් නෝට්ටු ඕනෑ තරම් මේ කොණේ තිබෙනවා. ඒ නිසා, උන්ඩියල්කරුවන්ට ඩොලර් අනෙක් අතට ලංකාවේ කාට හරි විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම ඩොලරයක්ම නොවටිනා ගානක්‌ දීලා හරි ගන්න බලාගෙන මේ කොණේ පිරිසක් ඉන්නවා. 

ඩොලරයක උන්ඩියල් මිල රුපියල් 450-500 දක්වා ගිහින්නම් එයින් පෙනෙන්නේ යම් පිරිසක් තමන්ගේ රුපියල් ඩොලර් කර හැකි ඉක්මණින් රටින් පන්නා ගැනීමට පිස්සුවෙන් මෙන් දඟලන බවයි. තව දවසක් දෙකක් යද්දී මෙවැනි අයෙක් ඩොලරයකට රුපියල් දාහක් දෙදාහක් වුනත් ගෙවන්න සූදානම් වෙන්න පුළුවන්. මොකද රුපියල් වලින් තිබෙන කළු සල්ලි නැති වීමේ අවදානම හමුවේ කීයක් දී හෝ මිල දී ගන්න ඩොලර් එක වටින නිසා.

මේ වැඩේ මෙවැනි ගෙවුම් ශේෂ අර්බුද ඇති වුනු වෙනත් රටවලත් වුනු දෙයක්. අන්තිමට IMF එකෙන් ලැබුණු සල්ලි පවා ඔය ක්‍රමයට රටින් එළියට ගිය අවස්ථා තිබෙනවා. නිදහස් ගනුදෙනු කියන්නේ නරක දෙයක් නෙමෙයි. එහෙත් සදාචාරාත්මක ගනුදෙනු කියා ජාතියකුත් තියෙනවා. මගේ ඇස් පනාපිට අල්ලපු වත්තට පැන හොරකම් කරන බඩුවක් අඩුවට ලැබුනා කියලා එය ගන්න එක හරිද? 

මෙතැන ප්‍රශ්නය හොර ගනුදෙනු වුනත් නිදහස් ගනුදෙනු නිසා මේවා පාලනය කරන්න අමාරු වීමයි. සමහර විට පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් මේ වැඩේට උදවුවක් වෙන්න පුළුවන්. කවුරු හරි රුපියල් 450ක් ගෙවා ඩොලර් ගන්නවානම් ඒ ගන්නේ මොකටද? ඒ වෙනුවෙන් රුපියල් හොයාගත්තේ මොන විදිහටද? මේවා නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ ජනතා ක්‍රියාකාරිකයන්ගේ වපසරියට අයිති දේවල්.

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

Saturday, September 18, 2021

ආර්ථිකය 12.3%කින් වර්ධනය වේ!

 



වසරේ දෙවන කාර්තුව තුළ, පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ලංකාවේ ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය සිදුව තිබෙන්නේ කෘෂිකාර්මික අංශය 8.1%කින්ද, කාර්මික අංශය 22.1%කින්ද, සේවා අංශය 7.5%කින්ද වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 16.2%කින් හැකිලුනා. ඒ එම කාලය තුළ රටා වසා තැබීම හේතුවෙන්. එහෙත්, මේ වසරේ දෙවන කාර්තුව තුළ රට විවෘතව තිබුණු නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතුණා. පෙර වසරේ කඩා වැටීමෙන් මුළුමනින්ම ගොඩ ඇවිත් නැතත්, ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙන්නේ ඒ නිසා. 

මෙවැනි වර්ධනයක් ලැබීමෙන් පසුවත්, තවමත් ආර්ථිකයේ ප්‍රමාණය 2017 දෙවන කාර්තුවේදී වූ තරමට වඩා අඩුයි. තෙවන හා සිවුවන කාර්තු තුළ රට වසා දැමීම නිසා ආර්ථිකයේ පසුබෑමක් නැවතත් ඇති වනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

තවත් විශේෂ කරුණක් වන්නේ උද්ධමනය පිළිබඳ වඩා පුළුල් නිර්ණායකයක් වන දදේනි අවධමනකය අනුව, සමස්තයක් ලෙස 7.4%කින් මිල මට්ටම් ඉහළ ගොස් තිබීමයි. කෘෂිකාර්මික අංශයේ මෙම ඉහළ යෑම 11.5%ක්. අදාළ කාලය තුළ M1 මුදල් සැපයුම 29.1% කින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මෙය අනපේක්ෂිත දෙයක් නෙමෙයි. මුදල් සැපයුම සීමා කර ඉදිරි කාලය තුළ උද්ධමනය පාලනය කර ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. 

Tuesday, September 14, 2021

ගෙදර යන ගමන් ලියූ අවසන් ලිපිය


ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස්වන අධිපති සේ කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අද සිය ධුරයෙන් ඉවත් වෙනවා. ඔහු කියන විදිහට තමන්ට සිදු වූ සිත් රිදීම් මේ තීරණයට හේතු වී තිබෙනවා. ඒ මොනවාද කියා කියා නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ ප්‍රකාශය අනුව මහ බැංකු අධිපති සේ ඔහු කටයුතු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් බහුතරයක් විසින් නොපිළිගන්නා, සුළුතර ආර්ථික විද්‍යාඥයින් පිරිසක් විසින් පමණක් පිළිගන්නා ආර්ථික විද්‍යාවකට අනුවයි. මහ බැංකුවේ සිටින ආර්ථික විද්‍යාඥයින් බහුතරයක්ද ඔහුගේ ආර්ථික විද්‍යාව පිළිගෙන නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ අධිපති ධුර කාලය තුළ අපට පෙනෙන්නට තිබුණේ ඉවක් බවක් නැතිව සංචිත විකුණමින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම, රජය වෙනුවෙන් මහ බැංකුව ලෝකයට ණය වීම, ආනයන පාලනය ආදී දේවලුයි. ඔහු ඒ දේවල් කළේ ඔහු විශ්වාස කළ ආර්ථික විද්‍යාව අනුව වෙන්න ඇති. 

අවසාන වශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් ධුරයෙන් ඉවත් වන්නේ ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුවක් බංකොළොත් කිරීමෙන් පසුවයි. තමන්ගේ මාස විස්සක කෙටි ධුර කාලය තුළ මහ බැංකුව සතු විදේශ වත්කම් එහි විදේශ බැරකම් පියවීමටවත් ප්‍රමාණවත් නොමැති තැනකට මහ බැංකුව තල්ලු කිරීමට මේ අධිපතිවරයා සමත්ව තිබෙනවා. මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුගේ සිත් තැවුල් පහව යනු ඇතත් රටේ මිනිස්සුන්ට සිත් තැවුල් දැනෙන්න පටන් ගනු ඇත්තේ ඔහු අනුගමනය කළ සුළුතර ආර්ථික විද්‍යා න්‍යායයන්ගේ ප්‍රතිඵල තැපෑලෙන් එන කොටයි. 

මහාචාර්ය ලක්ෂ්මන් අධිපති ධුරය අත හැරීමට මසකට පමණ පෙර සිට වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ පාවෙන්න පටන් ගත්තා. එහෙත්, පසුගිය සතියේ හිටිවනම වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ මිලටම පහත වැටුණා. සිදු වුනේ කුමක්ද කියා මේ වෙද්දී අනාවරණය වී තිබෙනවා.

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා තිබෙනවා. මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකු කරමින් මෙපමණ සංචිත විකිණීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී තිබෙන්නේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

සංචිත විකිණීමෙන්ද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීමෙන් පසුව මහ බැංකු අධිපතිවරයා විසින් ගෙදර යන ගමන් හෝ ගෙදර යන්නට පෙර අවසන් කටයුත්තක් ලෙස සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස අවවාද කර තිබෙනවා. එසේ නොකළහොත් පාවිච්චි කළ හැකි මහ බැංකුව සතු ආයුධ ගැනද මේ ලිපියේ සඳහන්ව ඇතත් මහ බැංකුව විසින් මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්නේ තමන්ගේ ආයුධ ගබඩාවේ ආයුධ සියල්ල අවසන් වීමෙන් පසුව වෙන කළ හැකි දෙයක් නොමැති වූ විට බව රහසක් නෙමෙයි.

මහ බැංකු අධිපතිගේ "නියෝගය" අනුව වානිජ බැංකු විසින් ඩොලරයක විකිණුම් මිල රුපියල් 203 මට්ටමේ පවත්වා ගත යුතුයි. එහෙත්, මේ මිලට විකුණන්නනම් ඊට අඩුවෙන් ඩොලර් මිල දී ගත යුතු නිසා අවසන් ප්‍රතිඵලය වාණිජ බැංකු වල විණිමය අනුපාතයද නමට පමණක් විණිමය අනුපාතයක් වීමයි.

අලුතෙන් ධුරය භාර ගන්නා අධිපතිවරයාද කලින් ධුර කාලයේදී කළාක් මෙන් විණිමය අනුපාතය තිබෙන මට්ටමේම තියා ගන්නට ගැසිය හැකි හැම දහං ගැටයක්ම ගහන බව ස්ථිරයි.

Sunday, September 12, 2021

කලින් වැඩිවුනේ බඩුමිලද ඩොලරයද?


සල්ලි අච්චු ගැසීම සීමා නොකරන තුරු විණිමය අනුපාතය පාලනය කර බඩු මිල අඩු කළ නොහැකි බව මම කලින් ලිපියේ පැහැදිලි කළා. විණිමය අනුපාතය පාලනය කර ආනයනික බඩු වල මිල අඩු කළ හැකි වුවත්, ඒ අඩුවටත් හරියන්න දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, විණිමය අනුපාතය පාලනය කළ පමණින් උද්ධමනය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ.

මෙය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් නැති අයෙකුගේ තර්ක බුද්ධියට එකවර ගෝචර වන දෙයක් නෙමෙයි. එවැනි පුහුණුවක් නැති අයෙකුට හිතෙන්නේ ඩොලරය ඉහළ යන විට බඩුමිල ඉහළ යන බව හා ඒ නිසාම ඩොලරයේ මිල පාලනය කර උද්ධමනය පාලනය කළ හැකි බවයි.

සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ දෙයක් නොතේරුණා කියා ලොකු ප්‍රශ්නයකුත් නැහැ. තේරුණත්, නොතේරුණත් රටක විණිමය අනුපාතය සාමාන්‍ය අයෙකුට පාලනය කළ නොහැකියි. එය කළ හැක්කේ මහ බැංකුවේ බල අධිකාරයටයි. සාමාන්‍යයෙන් රටක මහ බැංකුව පාලනය කරන කෙනෙකුට මේ වගේ දේවල් අමුතුවෙන් කියා දිය යුතු නැහැ. එවැනි තනතුරකට පත් වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් ඇති අයෙක්. සම්මත ආර්ථික විද්‍යා න්‍යාය ගැන දැනුමක් වගේම විශ්වාසයක්ද ඇති අයෙක්.

කොහොම වුනත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීමට උත්සාහ දැරූ වකවානු අපට දැකිය හැකි වුනා. ඒ හැම විටම, වසර කිහිපයකට පසුව විණිමය අනුපාතයේ එක වර සිදු වන කඩා වැටීමකට මුහුණ දීමටද සිදු වුනා. එහෙම වුනා කියලා වැඩේ නැවතුනේත් නැහැ. කඩා වැටුණු තැන සිට නැවතත් පරණ සෙල්ලමම කෙරුණා. මේ වැඩේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන කඩා වැටී, චීන හා ඉන්දියානු ආනයනික භාණ්ඩ රටට ගලා ආවා. චීනය හෝ ඉන්දියාව කවර ආකාරයකින් හෝ ලංකාවේ විණිමය ප්‍රතිපත්තිය පාලනය කරනවාද කියා සැක හිතෙන තරමටම මේ වැඩේ දුරදිග ගියා. ලංකාව අමාරුවෙන් උපයන ඩොලර් වලින් ඉන්දියානු හා චීන නිෂ්පාදකයෝ ගොඩ ගියා. මේ වැඩේ තවමත් සිදු වෙනවා.

පහත වගුවේ තිබෙන්නේ පසුගිය වසර විස්සක කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල, පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය අගය හා දදේනි අවධමනකයේ වාර්ෂික සාමාන්‍ය අගය වෙනස් වූ ආකාරයයි.

මහ බැංකුව විසින් 2004-2006 අතර රුපියල් 100 මට්ටමේත් 2007-2011 අතර රුපියල් 110 මට්ටමේත් ඉන් පසුව 2002-2014 අතර රුපියල් 130 මට්ටමේත් ඩොලරයක මිල පවත්වා ගැනීමට උත්සාහ කළා. එහෙත්, මේ එක අවස්ථාවකදීවත් දිගටම ඩොලරයේ මිල එකම මට්ටමක ස්ථිරව තබා ගත නොහැකි වුනා. එසේ කළ උත්සාහයන් හැම විටම අවසන් වුනේ ඩොලරයේ ක්ෂණික කඩා වැටීමකින්. 

මෙසේ ඩොලරයේ මිල ස්ථිරව තබා ගත් කාල වකවානු වල බඩු මිල වැඩි වුනේ නැද්ද? 2007-2011 කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් නොවුණු තරම්. සාමාන්‍යයෙන් සිදුවන මිල ඉහළ යාම වෙනුවට මේ කාලය තුළ ඩොලරයක මිල -0.05%කින් පහළ ගියා. එහෙත්, ඒ කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 37.2%කින්ද, දදේනි අවධමන දර්ශකය 38.9%කින්ද ඉහළ ගියා. මෙයින් පැහැදිලි වන්නේ උද්ධමනයට හේතු වන්නේ සල්ලි අච්චු ගැසීම මිස විණිමය අනුපාතය නොවන බවයි.

සමස්තයක් ලෙස 2004-2014 දස වසරක කාලය තුළම ඩොලරයේ මිල ඉහළ ගියේ 29.0%කින් පමණයි. එයින්ද 15.4%ක ඉහළ යාමක් සිදු වුනේ 2011-2012 අතර සිදු වූ ක්ෂණික කඩා වැටීමක් ලෙසයි. මෙම දස වසර තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 145.6%කින්ද, දදේනි අවධමන දර්ශකය 133.0%කින්ද ඉහළ ගියා. විණිමය අනුපාතයෙහි 15.4%ක ඉහළ යාමක් සිදු වූ 2011-2012 අතර පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 10.8%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 7.5%කින් පමණයි. මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගියේ විණිමය අනුපාතය එක තැනම වගේ තබාගෙන සිටියදීයි.

මෙයින් වෙනස්ව 2014-2020 අතර ඩොලරයේ මිල 42.1%කින් ඉහළ ගියත්, ඒ හේතුව නිසා බඩු මිල එපමණකින් ඉහළ ගියේ නැහැ. එම කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 24.9%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 26.9%කින් පමණයි. ඩොලරයේ මිල ඉහළ යද්දී බඩු මිල එතරම් ඉහළ නොයනවා කියා කියන්නේ ඩොලර් උපයන අයට වාසිදායක තත්ත්වයක්. එහෙත් ඩොලර් උපයන්නේ නැති, ඩොලර් මිල දී ගෙන වැය කරන අය මෙවැනි තත්ත්වයකට කැමති නැහැ.

උද්ධමනය වැඩි වෙන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා නෙමෙයි. එහෙත් ඩොලරයේ මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනය වැඩි වන්නේ සල්ලි අච්චු ගැසීම නිසා. මෙහි කිකිළිද බිත්තරයද වැනි ගැටළුවක් නැහැ.

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...