වෙබ් ලිපිනය:

Showing posts with label සිංහල භාෂාව. Show all posts
Showing posts with label සිංහල භාෂාව. Show all posts

Saturday, February 12, 2022

පානදුරා වාදය


පානදුර නගර නාමයේ සම්භවය ගැන අදහසක් ඉදිරිපත් කරන නලින් ද සිල්වා විසින් එම නගර නාමය පාණ්තුරෙයි යන දෙමළ නමෙහි විකාශනයක්යැයි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ එක්කම පානදුරට දකුණෙන් පිහිටි "නල්ලූරුවට හා පාණදුරේට එක් කලෙක දෙමළ කතා කරන ජනයා පැමිණ ඇති බවත් ඔවුන් එහි බහුතරයක් වී ඇති බවත්" ඔහු කියනවා.

මේ වගේ ප්‍රකාශ වලින් නලින් ද සිල්වාගේ ජාතිකවාදය හා වෙනත් ඇතැම් අයගේ ජාතිකවාද අතර වෙනස පැහැදිලිව ලකුණු කෙරෙනවා. නලින් ද සිල්වාගේ ජාතිකවාදය සංස්කෘතිය මත පදනම් වූවක් මිසක් ජාන මත පදනම් වූවක් නෙමෙයි. ඒ නිසා, ඔහුට මේ වගේ අදහස් සංස්කරණය කර බයක් නැතිව එළියට දමන්න පුළුවන්කම තිබෙනවා. ඔහු කියන විදිහට මෙය ඔහු දන්නා තරමින් පොතක පතක තියෙන හෝ ඔහු විසින් අසා ඇතිි දෙයක් නොවෙයි. 

කාලයක සිටම ටැමිල්නෙට් වෙබ් අඩවියේ ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් කෙරුණා. දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇතත්, මේ වෙබ් අඩවිය යුද්ධය නිමා වීමට පෙර අප දිනපතාම වාගේ පිවිසුණු වෙබ් අඩවියක්. යුද්ධයේ ශ්‍රී ලංකා රජය විසින් නොපෙන්වූ පැත්ත ගැන අදහසක් ගැනීමට මෙය හොඳ මූලාශ්‍රයක්ව තිබුණා.

නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය ඔහුගේ අදහස් ප්‍රචලිත වීමට සමගාමීව ජනප්‍රිය වූ මෑතකාලීන දෘෂ්ඨිවාදයක්. උතුරේ සිවිල් යුද්ධය ආරම්භ වන කාලය දක්වාම දෙමළාට එරෙහි සිංහල ජාතිවාදය හෝ ජාතිකවාදය තුළ ආර්යවාදයට සැලකිය යුතු ඉඩක් වෙන් වී තිබුණා. මෙය අඩු වැඩි වශයෙන් ජාන මත පදනම් වූ අදහසක්. ඒ වගේම, මහා වංශයේ කරුණු එලෙසම ගැනීම මත පදනම් වූ මතවාදයක්.

උතුරේ සිවිල් යුද්ධයට සමගාමීව දෙමළ ජාතිවාදීන් හෝ ජාතිකවාදීන් විසින් මතවාදී මෙහෙයුමක්ද කළා. ඒ මතවාදී මෙහෙයුම ඇතුළේ සිංහල ආර්යවාදයට පැහැදිලි අභියෝගයක් කිරීමට ඔවුන් සමත් වුනා. ඔවුන්ට සැලකිය යුතු තරමකින් සංගත විකල්ප ඉතිහාස කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වුනා. ඒ අනුව, විජය පැමිණීමට පෙර ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ ද්‍රවිඩ සම්භවයක් තිබුණු, අනාර්ය භාෂාවක් කතා කළ, ශිව දෙවියන් ඇදහූ ජනතාවක්. යක්ෂ ගෝත්‍රිකයින් හා රාවණ ආදීන් මේ කණ්ඩායමේ අයයි. සිංහලයින් පැවත එන්නේ වසර දෙදහස් පන්සීයකට පෙර ලංකාවට පැමිණෙන ආර්ය සංක්‍රමණිකයින්ගෙන්. ඔවුන් ලංකාවේ මුල් පදිංචිකරුවන් නෙමෙයි. වත්මන් දෙමළා යනු මේ ආර්ය ආක්‍රමණය හමුවේ රටේ අනෙක් ප්‍රදේශ අහිමි වෙද්දී දිගින් දිගටම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිය සම්ප්‍රදායික නිජ භූමි ආරක්ෂා කරගෙන සිටින පිරිසයි. ඔවුන්ට දැන් සටන් කරන්න සිදු වී තිබෙන්නේ ආක්‍රමණික සිංහල හමුදාව මේ කොටසත් අල්ලා ගන්න හදන නිසයි.

ඉහත ප්‍රවාදයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආර්යවාදයට ශක්තිමත් පදනමක් තිබුණේ නැහැ. මොකද මේ ප්‍රවාදය තුළ ආර්යවාදීන් කියූ දේ ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුනේ නැහැ. ආර්යවාදය සිංහල සමාජයෙන් ක්‍රමයෙන් අතුරුදහන් වී යක්ඛ පුතුන්, හෙළයන් හා රාවණාවාදීන් ආදී කණ්ඩායම් බිහිවන්නේ මේ පසුබිම තුළයි. 

ටැමිල්නෙට් වෙබ් අඩවියහි ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් තුළ වූ දේශපාලන ව්‍යාපෘතිය වූයේ ඉහත මතවාදය තහවුරු කෙරෙන සාක්ෂි සැපයීමයි. සිංහල සමාජය තුළ ආර්යවාදය වියැකී ගොස් ඒ වෙනුවට නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය හා පූර්ව-ඓතිහාසික කතිකාව ඉස්මතු වෙද්දී ඉහත දේශපාලන ව්‍යාපෘතිය තේරුමක් නැති දෙයක් බවට පත් වුනා. කෙසේ වුවත්, මේ ව්‍යාපෘතිය තුළ කරුණු ඉදිරිපත් කිරීමේදී එය කළ කවුරු හෝ පිරිස කිසියම් සංයමයකින් යුතුව, ශාස්ත්‍රාලීය ප්‍රවේශයකින් ඒ වැඩේ කළා. ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙකු ලෙස මම මේ පැහැදිලි කිරීම් කියෙවුවේ ඉතා උනන්දුවෙන්.

පානදුර නගර නාමයේ සම්භවය ගැන නලින් ද සිල්වා දැන් ඉදිරිපත් කරන අදහස (දුර හා තුරෙයි අතර සම්බන්ධය) ටැමිල්නෙට් අඩවියෙහි කලින්ම ඉදිරිපත් කර තිබුණා. 

"The component Dura has many shades of meanings in Sinhala, which are discussed in another column. But in the context of the place name Pāna-dura, it is very likely that Dura means a seaport and is a variation of Tura/ Tara in Sinhala and Tuṟai in Tamil."

කෙසේ වුවත්, එහි පානදුර නම හැදෙන්නේ පාණ්තුරෙයි යන්නෙන් බවක් ඔවුන් කීවේ නැහැ. "පාන" යන්නට ඔවුන් සැපයූ නිරුක්තිය වූයේ "පාෂාණ" යන්නයි. දෙමළ නිරුක්තියක් අමාරුවෙන් හෝ හොයා ගන්න පුළුවන් වුනානම් ඔවුන් එය නොකර ඉන්නේ නැහැ. 

"Pāṇa, meaning stone in Sinhala, corresponds to Pāṣāṇa meaning the same in Sanskrit."

මට මතක ඇති කාලයේ පානදුර පැත්තට සම්බන්ධයක් තිබුණු මගේ ඥාතීන් විසින්ද මේ නගර නාමය වැහැරුවේ "පානදුරේ/ පාණදුරේ" ලෙසයි. ඉහත දුම්රිය ස්ථාන නාම පුවරුවෙහි සඳහන්ව ඇත්තේත් එලෙසයි. දෙමළෙන් මෙය ලියා තිබෙන්නේ "පාණත්තුරෛ" ලෙස. එහි "තුරෛ" කොටස ලියා තිබෙන්නේ කාඞ්කේසන්තුරෛ (කන්කසන්තුරේ) යන්නෙහි අවසන් කොටස දෙමළ බසින් ලියන ආකාරයටමයි. කෙසේ වුවත්, "දුර" හෝ "දුරේ" යන කොටස් දෙමළ "තුරෛ" අර්ථයෙන් සිංහල භාෂාව තුළම ව්‍යවහාර වුනා වෙන්නත් පුළුවන්. 

මෙයට තවත් උදාහරණයක් ලෙස තවත් වෙරළබඩ නගරයක් වූ "කැකුණදුර" දැක්විය හැකියි. "පාණදුර" "කැකුණදුර" ආදී තැන් වල මූර්ධජ "ණ" කාරයෙන් පරව එන "තුර" දුර වී "මාතර" "කළුතර" "බෙන්තර" වැනි වෙනත් තැන් වල එය "තර" වෙනවාද? "ගන්දර" "මෝදර" වැනි තැන් වල "දර" වෙන්නෙත් මෙයමද? එහෙම නැත්නම් "දොර" යන්න "දර" වෙනවද? "දුර" වෙන්නෙත් "දොර" වෙන්න වුනත් බැරිද?

"නල්ලුරුව" නමෙහි ද්‍රවිඩ ස්වරූපය වඩා පැහැදිලිව පෙනෙනවා. එහෙත්, "නල්ලුරුව" නම හැදෙන්නේ "නල්ලූර්" නම හැදෙන විදිහටම නොවෙන්න පුළුවන්.  "නල්ලූර්" යන්නෙහි සම්භවය "නල්ල ඌර්" යන්නයි. ඌර් කියන්නේ ගම. නල්ල ඌර්, හොඳ ගම. හැබැයි "නල්ලුරුව" කියන එක විසන්ධි වෙන්නේ "නල්ල + උරුව" කියලයි. "උරු" කියන වචනයේ දෙමළ හා මලයාලම් තේරුම "ඔරුව" කියන එකයි. මලයාලම් බසින් "උරුවු" කියාත් කියනවා. මෙහි නල්ලුරුව හැදුනේ නල්ල උරුවු කියන මලයාලම් වචන වලින් වෙන්න පුළුවන්. 

"උරු", "ඌරු" හෝ "උරුවු" හෝ ලෙස හඳුන්වන නාවික යාත්‍රා කේරළයේ සියවස් ගණනක් තිස්සේ හදනවා. මෙය පරම්පරාවෙන් පැවත එන ශිල්පයක්. කේරළයට මේ ශිල්පය ලැබෙන්නේ අරාබි වෙළඳුන් කේරළයේ පැලපදියම් වීමට සමගාමීවයි. ඒ අරාබි වෙළඳ කණ්ඩායම් ලංකාවටත් පැමිණි බව සහතිකයි. "ඔරු" යන වචනය සිංහලට බිඳී එන්නේ මේ "උරු" යන වචනයෙන් විය හැකියි. 

"උරු" "ඌරු" ආදී වචන සිංහලයින් හෝ සංක්‍රමණික වෙන්ඩ-සිංහලයින් විසින් සමාන අර්ථයකින් එළෙසමද භාවිතා කර තිබෙනවා. දැන් ඔරුගොඩවත්ත සේ හැඳින්වෙන ප්‍රදේශය කලකට පෙර හැඳින්වුණේ ඌරුගොඩවත්ත ලෙසයි. පානදුරා වාදයෙන් පසුව මොහොට්ටිවත්තේ ජනානන්ද හිමි පස් වන වාදය පැවැත්වුවේ ඌරුගොඩවත්තේ මිසක් ඔරුගොඩවත්තේ නෙමෙයි. කොහොම වුනත් මේ නම් දෙකේම තියෙන්නේ එකම තේරුම. ඌරුගොඩවත්තට "ඌරු" හෙවත් "ඔරු" වල මිස ඌරන්ගේ සම්බන්ධයක් නැහැ. ඌරුබොක්ක වගේ තැන් වලටත් මේ කතාව අදාළයි කියා මම හිතනවා.


Wednesday, June 9, 2021

නටත් අයෙක් සුරා මතින්!


වත්පොතේ පළ කිරීමකට දමා තිබුණු ප්‍රතිචාරයක රසික විසින් ඉකොනොමැට්ටා ටැග් කර තිබුණා. මේ පළ කිරීම සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයක් පිළිබඳවයි. ව්‍යාකරණ ප්‍රශ්නයක් කියා කිවුවත් පොදුවේ සිංහල භාෂාවේ ආකෘතිය හා භාවිතය ගැනත්, ලංකාවේ අධ්‍යාපනය ගැනත් අවධානය යොමු කරමින් සිදු වූ කතාබහක් කියා කියන්න පුළුවන්.

ඉකොනොමැට්ටා සාමාන්‍යයෙන් දන්නේම නැති දේවල් ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. පාඨකයින් විවිධ ප්‍රශ්න අහද්දී ඒ බව කෙළින්ම කියපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉකොනොමැට්ටා මොනවත්ම නොදන්නා විෂයයන් ඕනෑ තරම් තිබෙනවා.

මෙහි ලිපි ලෙස පළ කරන බොහොමයක්ම මොනවා හෝ දන්න දෙයක් තිබෙන මාතෘකා. බොහෝ විට ලිපියක තිබෙන්නේ මාතෘකාව යටතේ ලිවිය හැකි දේවල් වලින් සුළු කොටසක් පමණයි. ලැබෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය පරිදි තවත් දේවල් ලියනවා. සමහර අය මෙය දකින්නේ ඉකොනොමැට්ටාගේ මතය කෙසේ හෝ තහවුරු කිරීමක් ලෙසයි. 

"කෙසේ හෝ" කතාව කොහොම වුනත්, තහවුරු කරන්න බැරි දේවල් මේ වගේ විවෘත බ්ලොග් එකක නිතිපතා පළ කරන එක නිවැරදි දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, බොහෝ දේවල් දෙවරක් හිතා නොලියා ඉන්න අවස්ථා තිබෙනවා. සමහර විට ලියා පළ නොකරන වෙලාවල් තිබෙනවා. එහෙත් ලිපියක් ලියා පළ කළොත්, එසේ ලියන දේ වෙනුවෙන් ඉකොනොමැට්ටා පෙනී සිටිනවා.   

ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඉකොනොමැට්ටා සිංහල භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ ලංකාවේ සිංහලෙන් ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් අවම වශයෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නා තරමට පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ මට්ටම දක්වා පමණයි.

රසික පෙර කී වත්පොත් පළ කිරීමට ඉකොනොමැට්ටාව ටැග් කර තිබුණෙත්, මේ ලිපිය ලියන්නේත් ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබෙන නිසා නෙමෙයි. ඉතා පැහැදිලිවම එය එසේ නොවෙයි. මෙහි රසික විසින් දැක තිබෙන සම්බන්ධය එම පළ කිරීමේ සාකච්ඡාවට බඳුන් වන කතානායකයා ආර්ථිකය හා අදාළව කටයුතු කරන ආයතනයක සේවය කරන ඉංජිනේරු උපාධිධාරියෙකු වීමයි. සේවය කරන්නේ ඉංජිනේරුවෙකු ලෙසමද නැද්ද කියන එක පැහැදිලිව සඳහන්ව නැහැ.

ප්‍රස්තුත පළ කිරීමේ අදාළ කොටස පහත තිබෙනවා.

"පසුගිය ලක්ෂපතියේ කුතුහලය දනවන දෙයක් සිදුවිය. ඒ උපාධිධාරී ඉංජිනේරුවකු වන,   මහ බැංකුවේ විධායක නිලධාරියෙකු මුල් ප්‍රශ්න කිහිපයේදීම සරල සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයකට උත්තර දීමට නොහැකි වී තරඟයෙන් ඉවත් වන්නට සිදු වීමයි. ඔහු අවුරුදු 12ක් පමණ පාසලේ සිංහලෙන් ඉගෙනගෙන මෙවැනි සරල සිංහල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට බැරි වීම ඇත්තෙන් ම පුදුම සහගතය. 

ඇතැමුන් කෑගසද්දී කෙනෙක් නිශ්ශබ්දව ........... වැනි වාක්‍යයක්, ඔහුට සම්පූර්ණ කරන්නට නොහැකි විය, ඒ සියයට පනහේ උපකාරක අවස්ථාවකුත් ලබාගෙනය. ප්‍රශ්න විචාරක ඔහු මේ වැරැද්දට නොයවා සිටින්නට හැකි පමණ වෙහෙසක් දරනවාද දුටුවෙමි. ඔහු සිතුවේ මෙය ඒක වචන ලෙසින් අවසන් විය යුතු බවය.

තමන්ගේ භාෂාවේ සරල වාක්‍ය ක් ලියාගන්නට මෙතරම් ඉගෙන ගත් කෙනෙකුට බැරි වෙන්නෙ ඇයි, ඒ ඔහුගේ වැරැද්දක් නිසා පමණක්ම විය නොහැක. එක්කෝ අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් වැරැද්දක් තිබිය යුතුය, එසේ නැත්නම් අපේ භාෂාව බොහෝ පැටලුම් සහගත විය යුතුය."

පළමුව කිව යුත්තේ මේ ප්‍රශ්නය ඒ තරම්ම සරල ප්‍රශ්නයක් නොවන බවයි. ප්‍රශ්නය ඒ තරම්ම සරලනම් එය මෙවැනි වැඩ සටහනක ප්‍රශ්නයක් වීමේ ඉඩක් නැහැ. මෙවැනි ප්‍රශ්නයක් ප්‍රශ්න මාලාවට ඇතුළත් වන්නේම එයට වැරදි පිළිතුරක් ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන නිසා.

ඇත්තටම කියනවානම් සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන කියා දෙයක් ඇති බව මට කලකට පසු මතක් වුනේත් මේ වත්පොත් පළ කිරීම දැකීමෙන් පසුවයි. යම් හෙයකින් මේ තරඟයට සූදානමක් නැතිව මා ඉදිරිපත් වී මගෙන් මේ ප්‍රශ්නය අසනු ලැබුවේනම් මා විසින් එක වරම පිළිතුර ලෙස ඒක වචන ආඛ්‍යාතයක් නොසපයන්නේ, මේ ප්‍රශ්නය මෙවැනි තරඟයක ප්‍රශ්නයක් වන්නේ ඇයි කියා හිතීම ඔස්සේ මිස නිත්‍ය බහුවචන ගැන සිහිපත් වීම නිසා නොවිය හැකියි. 

සිංහල ව්‍යාකරණ ඉගැන්වීමේදී අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදිය නිත්‍ය බහුවචන ලෙස හැඳින්වෙන වෙනම කැටගරියකට දමන්නේම මේ වචන හා අදාළ ව්‍යාකරණ රීතිය ව්‍යතිරේඛයක් වන නිසයි. එම ව්‍යතිරේඛය නොදන්නා හෝ මතකයේ නැති අයෙකු සාමාන්‍ය රීතිය අනුව යමින් මේ වචන ඒක වචන සේ සැලකීම ඉතාම තර්කානුකූල දෙයක් මිසක් බරපතල ගණයේ වැරැද්දක් කියා කියන්න බැහැ.

දෙවනුව කිව යුත්තේ සාමාන්‍ය පෙළ මට්ටමට පෙර උගත්, ඉන් පසු භාවිතයට නොගත්, විෂයයක හැම කරුණක්ම දිගටම මතකයේ තිබීම පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ යුතු දෙයක් නොවන බවයි. පෞද්ගලිකව මා ඉතා කුඩා කළ සිටම ගණිතය විෂයයට මෙන්ම සිංහල විෂයයටද විශාල කැමැත්තක් දැක්වූ සහ විභාග ආදියේදී ඉහළ ලකුණු ගත් අයෙක්. පසුව ඉංජිනේරු උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබන අය අතර මුල් කාලයේදී සිංහල විෂය හොඳින් හැදෑරූ සහ එම විෂයයට දක්ෂතා දැක්වූ අය සිටියත් එය හැම විටම එසේම වන්නේ නැහැ. ඇතැම් අය ගණිත විෂයයට බොහෝ දක්ෂ වුවත් සිංහල වැනි විෂයයකට එවැනි දක්ෂතාවයක් හෝ කැමැත්තක් නොදක්වන අයයි. විෂය නිර්දේශයේ හැම දෙයක්ම නොහදාරන අයෙකුට සාමාන්‍ය පෙළ විභාගයේදී කිසියම් විෂයයකට සම්මානයක් නොව විශිෂ්ඨ සාමාර්ථයක් වුවද ලබා ගන්නට බැරි කමක් නැහැ. ඒ වගේම, සාමාන්‍ය පෙළින් පසුව ගණිතය නොහැදෑරූ, වෙනත් විෂයයක් හදාරා විධායක රැකියාවක් කරන කෙනෙකුගෙන් "සරල" ගණිත ප්‍රශ්නයක් ඇසුවොත් වැරැද්දක් කරන්න මීට වඩා ඉඩක් තිබෙන බව වත්පොතේ සංසරණය වන ඇතැම් "ගණිත ගැටළු" සහ ඒවා බෙදා ගන්නා අයගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කළහොත් පැහැදිලි වෙයි. 

සිංහල භාෂාව කියන්නේ තවත් එක් විෂයයක් නොවන බවත් සිංහලයෙකුගේ මවු භාෂාව බවත් මෙහිදී කෙනෙකුට කියන්න පුළුවන්. ඉංග්‍රීසි වැනි වෙනත් භාෂාවක් මවු භාෂාව වූ අයෙකු හා අදාළව මේ කතාවේ ඇත්තක් තිබුණත් මවු බස සිංහල වූ අයෙකු සම්බන්ධව මේ කතාව එලෙසම යෙදිය නොහැකියි. 

ඉංග්‍රීසි භාෂාව මවු බස වූ අයෙකු පාසලේදී ඉගෙන ගන්නේ තමන් කොහොමටත් කතා කරන භාෂාවේ තිබෙන, එදිනෙදා භාවිතා වන වන ව්‍යාකරණ ගැනයි. එහෙත්, මවුබස සිංහල වූ අයෙක් පාසලේදි සිංහල භාෂාවේ ව්‍යාකරණ ලෙස ඉගෙන ගන්නේ වෙනස්ම භාෂාවක්. ඒ භාෂාව ඉංග්‍රීසි හෝ දෙමළ වගේම අලුත් භාෂාවක්. භාෂාව ඉගෙන ගැනීම කියන්නේ තමන් කතා කරන භාෂාවේ රීති හඳුනා ගැනීමෙන් ඔබ්බට ගිය කලින් නොදැන සිටි දේවල් අලුතින් ඉගෙන ගැනීමක්. අනාගතයේ කරන රැකියාවක් සඳහා මේ ව්‍යාකරණ අවශ්‍ය නොවන පසුබිමකදී සිසුවෙක් විසින් කරන්නේ විභාග ඉලක්ක කර, විභාග සඳහා අවශ්‍ය කොටස් හැදෑරීමට පමණක් ප්‍රමුඛතාවය දෙන එකයි. ලක්ෂපති තරඟයකට යන වෙලාවක හැර මේ වැඩෙන් කාටවත් පසුව පාඩුවක් වෙන්නේ නැහැ. මෙය සිංහල භාෂාව හා අදාළ සුවිශේෂී තත්ත්වයක්.

ලංකාවේ සිට ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙකුටත් මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඇමරිකාවේ සිසුවෙක් ආර්ථික විද්‍යාව හදාරද්දී කරන්නේ තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන මූලධර්ම තේරුම් ගැනීම. එහෙත්, සමාජවාදී රටක ජිවත් වන ලංකාවේ සිසුන්ට ආර්ථික විද්‍යාවේ න්‍යාය හා තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන ආකාරය අතර සම්බන්ධය පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ බල්ලෝ මරා හෝ සල්ලි හොයන අයයි. ලංකාවේ මිනිස්සු බල්ලෝ මරා හෝ සල්ලි හොයන්න පෙළඹී තියෙන්නේ ලංකාවේ සමාජවාදය නිසාම බව තේරුම් ගන්නනම් වඩා ධනවාදී රටකට ගිහින් සංසන්දනයක් කර බලන්නම වෙනවා. ලංකාවේ සිටින තුරු මෙය තේරුම් ගන්න අමාරුයි.

උසස් පෙළ ගණිත අංශය තෝරා ගන්නා අයෙකුට උසස් පෙළ පන්ති වලදී සිංහල ව්‍යාකරණ අවශ්‍ය වෙන්නේ නැතුවා වගේම විෂය හැදෑරීමේදී ලිඛිත සිංහල අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙන්. ඉන් පසුව ඉංජිනේරු උපාධිය හදාරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. රැකියාව තුළ කටයුතු කරන්න සිදු වෙන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්. සරසවියේදී හා රැකියාව තුළ සාමාන්‍ය කතාබහ කෙරෙන්නේ සිංහලෙන් වුවත්, ලේඛණය කිරීම් සිදු වන්නේ ඉංග්‍රීසියෙන්. කාලයක් මේ විදිහට ඉංග්‍රීසියෙන් ලියද්දී යම් තරමකින් ඉංග්‍රීසියෙන් හිතන්නත් පුරුදු වීමක් වෙනවා.

ඉහත සිංහල නිත්‍ය බහුවචන සමඟ ඉංග්‍රීසි භාෂාවේ “someone”, "somebody", “everyone”, “everybody”, "no one", "nobody" යන යෙදුම් සැසඳිය හැකියි. සිංහල භාෂාවෙන් මුළුමනින්ම වෙනස්ව ඉංග්‍රීසි භාෂාවේ මේ සියලුම යෙදුම් සියල්ල "නිත්‍ය ඒකවචන". පාසැලේ සාමාන්‍ය පෙළ මට්ටමින් පසුව සිංහල ඉගෙන නොගන්නා ඉංජිනේරු උපාධිධාරියෙකුට ඉන් පසු සිංහල ව්‍යාකරණ ගැඹුරට දැන සිටීමේ අවශ්‍යතාවයක් මතු නොවන තරම්. සිංහලෙන් ලියන්න අවශ්‍ය වන්නේ වුවත් ඉතා අඩුවෙන්. බොහෝ විට කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. 

කෙනෙකුගේ මවුබස ලේසියකට අමතක විය නොහැකි වුවත්, සිංහල ව්‍යාකරණ ලෙස පාසලේ ඉගෙන ගන්නේ සිංහලයකු කතා කරන භාෂාවේ ව්‍යාකරණ නෙමෙයි. ඒ නිසා, එම ව්‍යාකරණ දිගටම මතක තියෙන්නේ දිගින් දිගටම ලිඛිත සිංහල භාෂාවෙන් ලියන අයෙකුට පමණයි. එවැනි අවශ්‍යතාවයක් තිබෙන රැකියා කරන අය ලංකාවේ ඉන්නේ ඉතා අඩුවෙන්. එයින් වෙනස්ව, ප්‍රස්තුත උපාධිධාරියා සේවය කරන ආයතනය වැනි ආයතනයක සේවය කරද්දී දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න සිදු වෙනවා. භාෂාවක් දිගින් දිගටම භාවිතා කරද්දී හිතන ආකාරයටත් යම් බලපෑමක් වෙනවා. "කෙනෙක්" සිංහලෙන් නිත්‍ය බහු වචනයක් වුවත්, ඉංග්‍රීසියෙන් "someone” ඒක වචනයක්.

මේ බලපෑම පෞද්ගලිකව මටත් තිබෙනවා. "කෙනෙක්" යන්න ඇසෙද්දී මට තනි පුද්ගලයෙක් මිසක් පිරිසක් මනසේ චිත්‍රනය වන්නේ නැහැ. ඒ නිසා, කෙනෙක් සමඟ ගැලපෙන සේ සිතෙන්නේ ඒක වචන ආඛ්‍යාතයක්. "කෙනෙක්" යන්න ඇසෙද්දී මෙය කියවන කී දෙනෙකුට පිරිසක් සිහියට එනවාද?

අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන සමඟ කියැවෙන තවත් වචනයක් වන්නේ "සියල්ලෝ" යන්නයි. මේ වචනය ඇසෙන විටනම් මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ පිරිසක්. ඒ නිසා, "සියල්ලෝ සතුටින් විසිර ගියහ" කියන එකේ කිසිම අවුලක් දැනෙන්නේ නැහැ. මේ වචනයට ගැලපෙන ඉංග්‍රීසි වචන ලෙස “everyone” හෝ  “everybody” සැලකිය හැකියි. “everyone” යන්න මතක් වෙද්දී කවදාවත් මගේ සිහියට තනි පුද්ගලයෙක් එන්නේ නැහැ. මේ වචනයෙන් මගේ මනසේ චිත්‍රනය වන්නේ පිරිසක්. ඒ අනුව,  “everyone” හෝ  “everybody” යන උක්තයකට වඩා ගැලපෙන්නේ බහුවචන ආඛ්‍යාතයක් වුවත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණය අනුව මෙහිදී යෙදිය යුත්තේ ඒක වචන ආඛ්‍යාතයක්.

ඉංග්‍රීසි භාෂාවේදී “everyone” ඒක වචනයක් සේ සැලකෙන්නේ ඇයි? මෙම වචනයේ නිරුක්තිය තුළ “someone”, "somebody", “everybody”, "no one", "nobody" ආදී මෙම කුලකයේ අනෙකුත් වචන වල මෙන්ම "one" යන්න හෝ "body" යන්න දැකිය හැකියි. මෙහිදී අප අදහස් කරන්නේ එක් අයෙක් හෝ එක් ශරීරයක්. “everyone” හෝ “everybody” යන යෙදුම් වලින් අදහස් වන්නේ පිරිසක් අතර සිටින එක් එක් තනි පුද්ගලයා- every one නැත්නම් every body. “someone” හෝ "somebody" කියද්දී එම පිරිස අතර සිටින ඕනෑම තනි පුද්ගලයෙක්. ඉංග්‍රීසි භාෂාවේ යෙදුම තුළ පිරිසක් පෙනෙන්නට හිටියත් ඔබ එම පිරිස දකින්නේ එකිනෙකාගෙන් වෙනස් ඒකීය පුද්ගලයින් විදිහටයි.

සිංහලෙන් අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී ලෙස ගනිද්දී සිදුවන්නේත් මෙවැනිම දෙයක් වුවත් එය සිදු වන්නේ වෙනස්, ප්‍රතිවිරුද්ධ ආකාරයකටයි. "අයෙක්" කියද්දී අවධානය යොමු වන්නේ තනි පුද්ගලයෙකු දෙස නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායම දෙසයි. අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී මොන විදිහකින් බැලුවත් සියල්ලෝ කියද්දී වගේම ඔබ දකින්නේ පිරිසක්. ඔබට තනි පුද්ග්ගලයෙක් පෙනෙන්න හිටියත් ඔබ දකින්නේ එම පුද්ගලයා නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායමක්. සිංහල සමාජයේදී ඉතා පහසුවෙන් තනි පුද්ගලයෙක් "බයියෙක්" "ටොයියෙක්" "දේශප්‍රේමියෙක්" "දේශද්‍රෝහියෙක්" වෙන්නේ මේ දැක්ම නිසා වෙන්න පුළුවන්. 

භාෂාවක් හැදෙන්නේ කිසියම් සංස්කෘතියක් තුළයි. සංස්කෘතිය වෙනස් වෙද්දී භාෂාවත් වෙනස් වෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් වෙනවා. මිනිස්සු හිතන පතන විදිහ කතා කරන භාෂාව අනුව වෙනස් වෙනවා. භාෂාව වෙනස් වෙද්දී මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනවා. මෙහි තියෙන්නේ චක්‍රීය සම්බන්ධයක්.

අද මෙය කියවන මවුබස සිංහල වූ කී දෙනෙකුට අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් වැනි වචනයක් ඇහෙද්දී තනි පුද්ගලයෙක් මතක් වෙනවද? කී දෙනෙකුට තනි පුද්ගලයෙකුගෙන් නියෝජනය වන කණ්ඩායමක් මතක් වෙනවද?

(Image: http://disssinhala.blogspot.com/)

Friday, January 15, 2021

අඹ ගසක් හා මේ අඹ ගස


මම මුලින්ම ශ්‍රමය වෙනුවෙන් මුදල් උපයන්න පටන් ගත්තේ හතරවන ශ්‍රේණියේ සිටියදී. ඒ කියන්නේ වයස අවුරුදු නවයක කාලයේදී. මෙය අර්ධකාලීන රැකියාවන් කර මුදල් සෙවීමක් කියා කියන්න පුළුවන්. වෙනත් අය වෙනුවෙන් කඩේ ගොස් ඒ වෙනුවෙන් කිසියම් මුදලක් ලබා ගැනීම සැලකුවොත්නම් මේ කාලය තවත් අවුරුදු දෙකක් පසුපසට ගෙන යන්න වෙනවා. කඩේ යාම කියා කිවුවේ එම වචනයෙන් කියැවෙන ප්‍රධාන දෙය මිසක් අද අර්ථයෙන් වෙනත් අයට විවිධ ආකාරයෙන් කඩේ යාම් නෙමෙයි. මේ විදිහට අවුරුදු හතක කාලයේදී සිට කඩේ යාම වෙනුවෙන් යම් මුදලක් ලබා ගැනීමත් ශ්‍රමය වෙනුවෙන් මුදල් ඉපැයීමක් කියා කිව හැකි වුවත්, මා මුලින්ම සඳහන් කළේ දවසකට පැය ගණනක් එක දිගට ඊට වඩා තරමක් "වෘත්තීය" වූ යම් කටයුත්තක යෙදී මුදල් ඉපැයීම ගැනයි.

පරිගණක භාවිතයක් නොතිබුණු ඔය කාලයේ ගණක යන්ත්‍ර (කැල්කියුලේටර) භාවිතාවද එතරම් ප්‍රචලිතව තිබුණේ නැහැ. සමහර විට ලංකාවේ ගණක යන්ත්‍ර භාවිතය වුවත් ටිකෙන් ටික ප්‍රචලිත වෙන්න ඇත්තේ හැත්තෑ හතෙන් පසුව වෙන්න ඇති. මේ වයසේදී මට පොඩි පහේ ගණනක් නිවැරදිව මනසින් හදන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් විදිහට ඉලක්කම් තුන හතරක ගණනක් ඉලක්කම් දෙකක ගණනකින් වැඩි කරමින් එකතුව හොයන එක වගේ පොඩි දෙයක්. සමහර විට මූලික මට්ටමේ ගණක යන්ත්‍රයක් තිබුණත් එයට වඩා ඉක්මණින් හා නිවැරදිව මනසින් පිළිතුර හොයා ගන්න පුළුවන්. ගණක යන්ත්‍රයට වරදින්නේ නැතත් ගණක යන්ත්‍රය භාවිතා කරන පුද්ගලයාට වරදින එක දුලබ දෙයක් නෙමෙයි. 

ඔය විදිහට මනසින් ගණන් හැදීමේ හැකියාව උපතින්ම ලැබුණු එකක් නෙමෙයි. ප්‍රගුණ කළ එකක්. එය පෙර භවයකින් හෝ අදෘශ්‍යමාන බලවේගයක උදවුවෙන් ලැබුණු දෙයක් කියා මම කවදාවත්ම විශ්වාස කළේ නැහැ. හැබැයි අඥේයවාදී ලෙස හිතා බැලුවොත් එවැනි සම්බන්ධයක් නොතිබුණු බව සහතික කර කියන්න පුළුවන්කමකුත් නැහැ. කොහොම හරි මේ හැකියාව අඩු වයසකදී අර්ධකාලීන රැකියාවක් කර යම් මුදලක් හොයා ගන්න උපකාරී වුනා. ඊටත් වඩා වැදගත් කරුණනම් ඔය හැකියාව එම අර්ධකාලීන රැකියාව තුළ දිගින් දිගටම භාවිතා කරද්දී අදාළ කුසලතාවය තව තවත් වර්ධනය වුනා. 

ඔය ආකාරයෙන්ම මම පෞද්ගලිකව මුහුණ දුන් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක් විදිහට දිගින් දිගටම ප්‍රයෝජනයට ගැනීම නිසා මගේ මතක තබා ගැනීමේ කුසලතාවයත් කුඩා කාලයේදී හොඳින් වර්ධනය වුනා. ඔය හැකියාවන් දෙකම පාසැලේ අධ්‍යයන කටයුතු කරද්දී උපකාරී වුනා. මා මුහුණ දුන් බොහෝ විභාග වලට දවසකට හෝ දෙකකට පෙර සූදානම් වීමෙන් පසුව හොඳ ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ, කලින් කාලයක් තිස්සේ හදාරා තිබුණු විෂයයක් විභාගයට පෙර දවසක් දෙකක් පුනරීක්ෂණය කළා කියන එක නෙමෙයි. සමහර වෙලාවට විෂයට අත ගැහුවේම විභාගයට දවසකට හෝ දෙකකට කලින්. 

ලංකාවේ ගොඩක් අය වගේම මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ විධිමත් අධ්‍යාපනයේ අරමුණ කිසියම් විභාගයක් සමත් වී අදාළ සහතිකය හෝ සුදුසුකම ලබා ගැනීම බවයි. ඒ නිසා, මට අවශ්‍ය නොවූ දේවල් හැදෑරීම සඳහා කාලය නාස්ති කරමින් එම දැනුම කාලයක් තිස්සේ ගබඩා කරගෙන තියා ගැනීමේ අරමුණක් මට තිබුණේ නැහැ. මම කළේ ධාරිත්‍රකයක් විද්‍යුත් ශක්තිය ගබඩා කරගෙන නැවත මුදා හරිනවා වගේ විභාගයට පෙර දිනයේ අවශ්‍ය දේවල් ගබඩා කරගෙන විභාගයෙන් පසුව විසර්ජනය කර දැමීමයි. අත්වැඩ, සරඹ, නැටුම්, සංගීතය වැනි කුසලතා මත පදනම් වූ විෂයයන් හැර අනෙක් විෂයයන්හිදී මේ උපක්‍රමය බොහෝ විට සාර්ථක වුනා.

සාමාන්‍ය පෙළ විභාගය මට මුල සිටම ලොකු අභියෝගයක් ලෙස පෙනුණේ නැහැ. මා උපකාරක පන්ති කිසිවකට ගියේ නැතුවාක් මෙන්ම ඇත්තටම කියනවානම් විෂයයන් වැඩි ප්‍රමාණයක් හා අදාළව පාසැලේ ගුරුවරුන්ගෙන්ද ඉගෙනගත් දෙයක් නැහැ. ඔවුන් බොහෝ විට කළේ පෙළ පොත් වල තිබෙන දෙයින් තෝරාගත් කොටසක් නැවත වමාරන එකයි. ඒ වමාරන දේ අභ්‍යාස පොතක පිටපත් කරගෙන නැවත කියවනවාට වඩා මුල් පෙළ පොතම කියවන එක වඩා කාර්යක්ෂම බව පහළ පන්ති වල සිටියදීම මට තේරී තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ලකුණු තීරණය කරන්නේ විෂය භාර ගුරුවරයා හෝ ගුරුවරිය නොවූ නිසා ඔවුන්ව බයිපාස් කර යාමේ වාසියක් මිස කිසිම පාඩුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් වාර විභාග වලදී ලකුණු දෙන්නේ ඔවුන් නිසා ඔවුන්ව අමනාප කර නොගෙන සිටින්නටද සිදු වුනා. ඒ වගේම, විභාග වලට වැඩක් තිබුණත් නැතත්, ඇතැම් ගුරුවරුන්ගෙන් පෙළ පොත් වල නැති මා කැමති ආකාරයේ දැනුම්ද ලැබුණා. මට සාපේක්ෂව හොඳ ගුරුවරු වුනේ ඒ අයයි. මේ සමහර ගුරුවරු පොදු සම්මතය අනුව හරියට උගන්නන්නේ නැති ගුරුවරු විදිහට සැලකුණු අය.

සාමාන්‍ය පෙළ විභාගයේ අනෙකුත් සියලුම විෂයයන් මට අභියෝගයක් නොවූවත් විශාල අභියෝගයක් වූ එක් විෂයයක් තිබුණා. ඒ ඉංග්‍රීසි භාෂා විෂයයයි. මොන තරම් උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂා විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක මට්ටමට යාම පහසුවෙන් කළ හැකි දෙයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. පෙළ පොත කියවා ඒ මට්ටමෙන් එහාට යන්න පුළුවන්කමක් නොතිබුණා වගේම, ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරියගෙන් ඊට වඩා ඉහළට යන්න උදවුවක් ලැබුණේත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ඉංග්‍රීසි භාෂා විෂය කියන්නේ මා සාමාන්‍ය පෙළ දක්වා උගත් විෂයයන් අතරින් මට බැරිම විෂයයයි. සම්මත පෙළ පොත් නොතිබුණු නිසා සාමාන්‍ය පෙළ විෂයයන්ට සාපේක්ෂව උසස්පෙළ විෂයයන්නම් හිතුවාට වඩා අමාරු වුනා. ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුම වැඩි කරගැනීම සඳහා මම අනවරත උත්සාහයක නිරත වුනා. තවමත් නිරත වෙනවා.

මෙහෙම හිටපු මට රජයේ පූර්ණකාලීන ඉංග්‍රීසි උපගුරු පත් වීමක් ලැබුණා. මෙය වයස අවුරුදු නවයක වයසේ සිට අර්ධකාලීන රැකියා කරමින් සිටි මා නිරත වූ පළමු පූර්ණකාලීන රැකියාව නොවූවත්, ඒ වන විටත් මා වයසින් මෙන්ම ශරීර ප්‍රමාණයෙන්ද එතරම් පරිණතව සිටියේ නැහැ. සේවයට වාර්තා කිරීම සඳහා පාසැලට ගිය පළමු දින මුල් ගුරුතුමිය, අනෙක් ගුරුවරු හා සිසුන් ඇතුළු හැම දෙනෙක්ම හිතුවේ මා පාසැලට අලුතෙන් ඇතුළු වීමට පැමිණි සිසුවෙකු බවයි. මට වඩා දෙතුන් වසරකින් පමණක් බාල වූ ඇතැම් සිසුන් පෙනුමෙන් මට වඩා මුහුකුරා ගොස් සිටියා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයක් තිස්සේ දැඩි උත්සාහයක් දරමින් සිටි මට ඉංග්‍රීසි භාෂාව හෝ ඉගැන්වීම පිළිබඳ කිසිදු පුහුණුවක් නොලබා ඉංග්‍රීසි උගන්වන්න සිදු වුනා. මා කළේ කණෙක් අන්ධයෙක්ට ඉගැන්වීමක් මිස අන්ධයෙක් කණෙක්ට ඉගැන්වීමක් නොවූ නිසා මගෙන් උගත් සිසුන් ගැන මට කණගාටුවක් නැහැ. අදටත් මා විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස උගන්වන විෂයයන් පිළිබඳව මා දන්නා දේට වඩා නොදන්නා දේ ඉතා විශාලයි. ඒ දේවල් මා තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. 

ඇමරිකාවට එන විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී ඉංග්‍රීසි ඉගැන්වූ කාලයේ තිබුණු දැනුමට වඩා ගොඩක් වැඩි වුනත් එම දැනුමත් ඉතා සීමිත දැනුමක්. දැන් කියලාත් මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඒ දැනුම ඇමරිකාවට ප්‍රමාණවත්. හැබැයි මම ලංකාවේ හිටියානම් බොහෝ විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවට ප්‍රමාණවත් වෙන එකක් නැහැ. ඇමරිකාවේදී ඉංග්‍රීසි වරදින එක ලංකාවේදී තරම් ප්‍රශ්නයක් නෙමෙයි.

ඉංග්‍රීසි භාෂාව භාවිතයේදී මට අල්ලා ගන්න ගොඩක්ම අමාරු වූ දෙයක් වුනේ "the" භාවිතයයි. "the" දැමිය යුත්තේ හෝ නොදැමිය යුත්තේ මොන තැන් වලද? දැන් ඉංග්‍රීසියෙන් ලියද්දී පුරුද්ද නිසා බොහෝ විට හරියන නමුත් තවමත් මෙය වරදින එක දුලබ දෙයක් නෙමෙයි. සිංහලෙන් "table" හා "the table" අතර වෙනසක් නැහැ. ඒ නිසා, සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන කෙනෙකුට කාලයක් පුහුණු නොවී හරියට "the" යොදන එක අභියෝගයක්. ඉංග්‍රීසි නොවන වෙනත් ඇතැම් භාෂා මවු භාෂාව වූ අයට මේ ප්‍රශ්නය නැහැ. මවු භාෂාව සිංහල වූ අයට මෙය ප්‍රශ්නයක්. ලංකාවේ ඉපදුනත් ඉංග්‍රීසියෙන් හිතන අයට මෙය ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. සමහර විට මා තරම් අදක්ෂ නැති වෙනත් අයටත් මෙය අල්ලා ගැනීම මට මෙන් ප්‍රශ්නයක් වී නැතුව ඇති.

මෙහි තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ සරල ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මෙය ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් "table" කියා කියන්නේ සිංහලෙන් "මේසය" කියන එක නෙමෙයි. මම මේ කියන්නේ උඩැක්කියක හැඩයක් තිබෙන ආසනයක් කෙනෙක් පුටුවක් සේ හඳුනා නොගන්නේයැයි නලින් ද සිල්වා මගේ ලෝකයේ කියපු දෙය නෙමෙයි. මම මගේ ලෝකය කියවා අවුරුදු තිස් ගණනක් වන නිසාත්, පොත දැන් මා ළඟ නැති නිසාත්, නලින් ද සිල්වා මෙය කිවුවේ මගේ ලෝකයේ කියන එක වැරදි වෙන්න පුළුවන්. ඒක ඒ තරම් වැදගත් කරුණක් නෙමෙයි.

ඉංග්‍රීසියෙන් "table" කියා කියන විට එයින් අදහස් වෙන්නේ වියුක්ත සංකල්පයක්. එහෙත්, සිංහලෙන් "මේසය" කියන එක සංයුක්ත අදහසක්. "මේසය" කියා කියන විට සිංහල බස මවුබස වූ අප බොහෝ විට එය තේරුම් ගන්නේ කිසියම් නිශ්චිත මේසයක් ලෙසයි. වෙනත් අයෙකුගේ හිතේ මැවෙන්නේ හෝ නොමැවෙන්නේ මොනවාද කියන එක මට දැනගන්න විදිහක් නැහැ. මට කරන්න පුළුවන් එය මගේ හිතේ මවා ගන්න පමණයි. මම හිතන විදිහට "මේසය" කියා කියන විට බොහෝ විට සිංහලයෙක්ගේ හිතේ මැවෙන්නේ නිශ්චිත මේසයක්. මේ නිශ්චිත මේසය ඉංග්‍රීසියෙන් "table" කියා හඳුන්වන්න බැහැ. එය "the table" විය යුතුයි.

මම මේ ඉදිරිපත් කරන අදහස සමහර විට මීට කලින් නලින් ද සිල්වා විසින් හෝ වෙනත් අයෙක් විසින් ඉදිරිපත් කර තිබෙන අදහසක් වෙන්න පුළුවන්. පහුගිය කාලයේ සිංහලෙන් ලියැවී තිබෙන බොහෝ දේ මා කියවා නැහැ. හැබැයි මේ ගැන වෙනත් කිසිවෙකු කතා කර තිබෙනු මම දැක නැහැ. වෙනත් කිසිවෙකු එවැන්නක් කියා තිබෙන බවක් කිසිවෙකු විසින් නොපෙන්වුවහොත් මෙය සලකන්න වෙන්නේ ඉකොනොමැට්ටාගේ අලුත් අදහසක් විදිහටයි. කැමති කෙනෙක්ට රෝයල්ටි ගෙවා හෝ නොගෙවා අදහස ප්‍රයෝජනයට ගත හැකියි. අප මීට පෙර ලියූ බොහෝ දේද වෙනත් අය මූලාශ්‍රය ගැන සඳහනක් පවා නැතිව භාවිතා කර තිබෙන නමුත් අප රෝයල්ටි ඉල්ලා නඩු දමා නැහැ. නැත්නම් මෝඩ අදහසක් බව පෙන්වා දිය හැකියි. කොහොමටත් අපි ලියන දේවල් හරියන්නේ ඉතාම කලාතුරකින්. ඒ හරියන්නෙත් බටහිර මැදිහත්වීමක් වුනොත් විතරයි. 

ඉංග්‍රීසියෙන් හිතන කෙනෙකුට සංයුක්ත අදහසක් හිතට එන්නේ "the table" ලෙස හැඳින්වුවොත් පමණයි. "table" ලෙස හැඳින්වුවොත් එන්නේ වියුක්ත අදහසක්. "table" කියා කියන්නේ ලෝකයේ කොහේවත් තිබෙන මේසයක් නෙමෙයි. එයින් අදහස් වන්නේ ලෝකයේ තිබෙන මේස ලෙස හඳුනාගන්නා සියලුම දේවල් වලට තිබෙන පොදු ගුණ සමුදායක්. මේ අදහස පහසුවෙන් සිංහලෙන් විස්තර කරන්න බැහැ. මේ අඩුපාඩුව නිවැරදිව හඳුනා නොගත්තොත් සිංහලයෙක්ට කවදාවත් ඉංග්‍රීසියෙන් "table" කියන අදහස ග්‍රහණය කර ගන්න බැහැ.

අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ වෙනත් විෂයයක් ඉගෙන ගන්න විදිහටයි. එහෙම නැති අයත් ඇති. මේසයට ඉංග්‍රීසියෙන් කියන්නේ "table" කියා අපි පොඩි කාලයේදීම ඉගෙන ගන්නවා. ටී-ඒ-බී-එල්-ඒ ටේබල් කියලා කටපාඩම් කරනවා. ඕක ටාබ්ලේ නොවී ටේබල් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතු වුනත්, ඒ ප්‍රශ්නයට විසඳුමක් කාගෙන්වත් නොලැබෙන හින්දා ඒක ඉංග්‍රීසි භාෂාවේ වැරැද්දක් කියලා හිත හදා ගන්නවා. එහෙම වැරදි නැති සිංහල භාෂාව ගැන ආඩම්බරයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඉතිං "table"නම් මේසයම තමයි. ඕක ඉස්සරහින් සමහර වෙලාවට සුද්දා "the" දාන්නේ ඇයි කියන එක අපට හිතා ගන්න බැහැ.

ඉංග්‍රීසියෙන් "table", "chair", "tree", "man" වගේ යෙදුම් යොදන්නේ වියුක්ත සංකල්ප විස්තර කරන්න. මේ වචන වල තේරුම සිංහලෙන් මේසය, පුටුව, ගහ, මිනිහා කියන එකම නෙමෙයි. ගහ කියා කියූ විට සිංහලයෙක් හිතා ගන්නේ නිශ්චිත ගහක් ගැන මිසක් සියලුම ගස් වල පොදු ගුණාංග වල එකතුවක් ගැන නෙමෙයි. ඉංග්‍රීසියෙන් "tree" කියා කියන්නේ මේ පොදු ගුණාංග ටිකට. ඒ පොදු ගුණාංග ටික චිත්තරූපයක් විදිහට හිතින් මවා ගන්න බැහැ. අපට පුළුවන්කම තියෙන්නේ ඔය පොදු ගුණාංග තිබෙන සියලුම සාමාජිකයින් අතරින් එක් සාමාජිකයෙක්ව හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව චිත්තරූප විදිහට හිතෙන් මවා ගන්නයි. ගණිතයේ භාෂාවෙන් කිවුවොත් "tree" කියන වියුක්ත අදහස සමඟ ආසන්න ලෙස සමපාත කළ හැකි සියලුම සාමාජිකයින් ඇතුළත් සර්වත්‍ර කුලකයේ එක් සාමාජිකයෙකු හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව හිතෙන් මවා ගන්න.

මේ විදිහට අපි හිතින් මවා ගන්නේ එක්කෝ අපි කවදා හෝ දැක තිබෙන එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. එහෙම නැත්නම් අපි කවදා හෝ දැක තිබෙන ගස් වල ලක්ෂණ ඇසුරෙන් හිතින් මවා ගන්න එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. ඒ කියන්නේ "tree" කියන වියුක්ත අදහස අපිට හිතෙන් මවා ගන්න පුළුවන් වෙන්නේ එක්කෝ "the tree" එකක් විදිහට. එහෙම නැත්නම් "a tree" එකක් විදිහට. දැන් මේ "a tree" කියන අදහස "ගහක්" ලෙස පහසුවෙන් සිංහලට පරිවර්තනය වන නිසා සිංහලයෙක්ට මේ අදහස තේරුම් ගන්න අමාරුවක් නැහැ. කොයි ගහද කියලා දන්නේ නැහැ. මොකක් හරි ගහක්. අර කියන්නේ නමනම් දන්නේ නැහැ. හැබැයි මනුස්සයෙක්.

අවුල තියෙන්නේ "the tree" සහ "tree" වෙන් කර ගන්න යන කොට. මිහිඳු හිමි තිස්ස රජුගෙන් "මේ ගස කුමක්ද?" කියා අසන විට ඒ අසන්නේ නිශ්චිත ගසක් ගැනයි. මිහිඳු හිමි මේ ප්‍රශ්නය ඇහුවේ මොන භාෂාවෙන්ද කියා මම නිශ්චිතව දන්නේ නැහැ. වත්මන් සිංහල භාෂාවෙන් වෙන්න බැහැ. කොහොමටවත්ම ඉංග්‍රීසි භාෂාවෙන්නම් වෙන්න බැහැ. මහින්දාගමනය සිදු වුනේ වත්මන් කාලයේදීනම් ඔය ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහන්න ඉඩ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම වුනානම් ප්‍රශ්නය මොන වගේ එකක් වෙයිද?

ආමන්ත්‍රණ කොටස ඉවත් කළොත්, සමහර විට "What is this tree?" වගේ එකක් වෙයි. මෙහි "tree" කියන එක වියුක්ත අදහසක්. සිංහල අදහස "ගස" කියන එක. ප්‍රශ්නය අහන කොටසම මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන. තිස්ස රජුගෙන් අහන්නේ ඒ නිශ්චිත සාමාජිකයා කවුද කියලයි.

තිස්ස රජු හෝ ඔහුගේ භාෂා පරිවර්තකයා ඔය ප්‍රශ්නයට ඉංග්‍රීසියෙන් මොන විදිහට පිළිතුරු දෙයිද? "This is a mango tree" විදිහට පරිවර්තනය කළොත් මෙහි "a" යෙදුමෙන් අවිනිශ්චිත බවක්, නොදැනුමක් අවධාරණය වෙනවා. සිංහලෙන් අපි "ක්" එකතු කරන්නේ මේ නොදැනුම හඟවන්න. "මෙය අඹ ගසක්."

මේ පිළිතුර නිශ්චිත පිළිතුරක් නෙමෙයි. එහෙත් එම පිළිතුරෙන් අවිනිශ්චිතතාවය අඩු කරනවා. හරියට කෝවිඩ් වලට එන්නතක් ලබා ගත්තහම වගේ. "ගස" කියන අදහස වගේම "අඹ ගස" කියන අදහසත් වියුක්ත අදහසක්. මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී තිස්ස රජු එම ගසම "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවා. ඒ හැර මේ නිශ්චිත ගස කුමක්ද කියන ප්‍රශ්නයට තිස්ස රජු විසින් පිළිතුරක් දෙන්නේ නැහැ. 

"හිමියනි, මේ ගස අපගේ දීර්ඝකාලීන කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේගේ පියාණන් වූ අශෝක රජුගේ රුක් රෝපණ සංකල්පය අනුව, මගේ විධානයෙන්, අමාත්‍ය සේනයන්ගේ මෙහෙයවීමෙන්, සිටුවර පරාක්‍රමයන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මගේ පියා වූ මුටසීව රජුගේ අතින් රෝපණය කරනු ලැබූ අඹ පැලයක්." වගේ පිළිතුරක් දුන්නානම් එසේ පිළිතුරු දෙන්නේ මේ ගස නිශ්චිතව හඳුනාගෙන. එහෙත්, තිස්ස රජුට මේ ගස තවත් එක් අඹ ගසක් මිස සුවිශේෂී නිශ්චිත අඹ ගසක් නෙමෙයි. තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැහැ. 

තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැතත් එය අඹ ගසක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවාට අමතරව "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙසද හඳුනා ගන්නවා. "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගත හැකි තවත් වියුක්ත අදහසක්. මේ උදාහරණයෙන් පැහැදිලි වන පරිදි, කිසියම් වියුක්ත අදහසක් සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නා දේ අතර වෙනත් වියුක්ත අදහස්ද තිබිය හැකියි. ඇතැම් විට වියුක්ත අදහස් පමණක්ම වුවත් තිබිය හැකියි.

යමෙකුට "ගස" හෝ "අඹ ගස" කියන වියුක්ත අදහස් චිත්තරූප ලෙස හිතේ මවාගන්න පුලුවන්ද? එය කළ නොහැකියි. අපට හිතෙන් මවා ගත හැක්කේ සැබෑවටම පවතින හෝ නොපවතින නිශ්චිත ගසක්. එහෙත් අවශ්‍යනම් අපට ගතික චිත්තරූපයක් හෝ චිත්තරූප කිහිපයක් හිතෙන් මවාගෙන මේ වියුක්ත අදහස් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට "ගස" කියන වියුක්ත අදහස සමඟ අප දැක තිබෙන අඹ ගසක් අපට මතක් වෙනවා. ඒ එක්කම මේ අඹ ගස ගතික ලෙස පොල් ගහක්, කොස් ගහක් ආදී වශයෙන් සෑම ක්ෂණයකදීම වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් විවිධ ගස් තිබෙන කැලෑවක චිත්තරූපයක්. අපි මේ ගස් සියල්ල දෙස සමස්තයක් ලෙස බලමින් "ගස" කියන වියුක්ත අදහස තේරුම් ගන්නවා. හැබැයි ඔය වගේ අනුමාන කරන්න වෙන්නේම චිත්තරූප ඇසුරෙන් අදහසක් තේරුම් ගන්න යනවානම් පමණයි. අපට "ගස" කියන වියුක්ත අදහස හිතේ මවාගන්න චිත්තරූපයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. උපතේ සිට කිසි දිනක ඇස් නොපෙනුණු අයත් ඉතා හොඳින් ලෝකය තේරුම් ගන්නවා. එවැනි අයෙකුගේ හිතේ ඇස් පෙනෙන අයෙකු දකින ආකාරයේ චිත්තරූප මැවෙන්න විදිහක් නැහැ. 

"මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනවා ද?"

"ඇත, ස්වාමීනි."

"ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..බොහෝ ඇත."

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

මෙහි අවසාන පියවර දක්වාම තිස්ස රජු විසින් කිසිම ගසක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ. තිස්ස රජු දන්නේ "ගස" හා "අඹ ගස" කියන වියුක්ත සංකල්ප ගැන පමණයි. ඒ ගස් කිසිවක් තිස්ස රජුගේ මනසේ මිස මහ පොළොවේ නැහැ (nowhere). නමුත්, අන්තිමට "ඇත ස්වාමීනි" කියා කියන්නේ මේ දැන් මේ මෙතැන (now,here) තිබෙන අඹ ගසක් ගැනයි. ඒ අඹ ගසත් ඇත්තටම තිබෙන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන්නම් ඔය මැද කොමාවේ වෙනසනේ. කොහොම වුනත් අනෙක් සියලුම ගස් වියුක්ත සංකල්ප පමණයි. ප්‍රශ්න වටය අවසානයේදී නිශ්චිත අඹ ගසක් දැන්, මෙතැන තිබෙන බව තිස්ස රජු දකිනවා. රහත් වී සිටි මිහිඳු හිමිටනම් එතැන අඹ ගසක් නැති බව පෙනෙන්න ඇති. 

මේ ප්‍රශ්න වටය අවසානයේදී තමන් විසින් මෙහි දකින අඹ ගස සැබෑවටම තිබෙන අඹ ගසක් සේ දකින්නට හෝ පෙනෙන්නට හේතු වෙන ක්‍රියාවලිය ගැන අදහසක් තිස්ස රජුට ඇති වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ. මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අසද්දී තිස්ස රජුට මෙහි දැන් තිබෙන නිශ්චිත අඹ ගස පිළිබඳව සුවිශේෂී වූ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා, එය ඔහුට තවත් එක් අඹ ගසක් පමණයි. අඹ ගසක් පෙර කවදාවත් දැක නොතිබුණානම් තිස්ස රජුට මේ ගස තවත් ගසක් පමණයි. එහෙම වුනානම් පිළිතුරු දෙන්න වෙන්නේ "නමක් ගමක්නම් දන්නේ නැහැ. හැබැයි ගහක්" කියලයි.

ගස වගේම අඹ ගසත් වියුක්ත සංකල්ප. ඒ වියුක්ත සංකල්ප වලට හේතුව දැනුමයි. අඹ ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඹ ගසක් හැදෙන්නේ නැහැ. ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඩු වශයෙන් ගසක් හෝ නැහැ. අඹ ගස හෝ ගස දකින්න උදවු වෙන්නේ දැනුමයි. එහෙත් දැන් මෙතැන තිබෙන නිශ්චිත අඹ ගසක් පිළිබඳව එවැනි දැනුමක් තිස්ස රජුට නැති නිසා එය ඔහු දෑසින් දැක්කත් එම අඹ ගස පිළිබඳ නිශ්චිත හෝ වියුක්ත සංකල්පයක් ඔහුගේ මනසේ නැහැ. ඒ නිසා, තිස්ස රජු මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන අවස්ථාවේදී එම අඹ ගස නිශ්චිත අඹ ගසක් ලෙස දකින්නේ නැහැ.

මෙහි දැන් තිබෙන අඹ ගස තිස්ස රජු මීට පෙර දැක හඳුනාගෙන නැහැ. ඒ නිසා, මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අහන විට තිස්ස රජුට එම අඹ ගස ගැන නිශ්චිත දැනුමක් නැහැ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ දැනුම උපයෝගී කරගෙන "ගස" කියන වියුක්ත අදහස ඇතුලේ තිබෙන අවිනිශ්චිතතාවය "අඹ ගස" දක්වා අඩු කිරීම පමණයි. සාමාන්‍යයෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මෙයයි. 

දැනුම වැඩි වැඩියෙන් ලබා ගනිද්දී අපට වඩා අවිනිශ්චිත දේ අඩුවෙන් අවිනිශ්චිත සේ පෙනෙන්නට ගන්නවා. ඒ සමඟම අපට වඩා හොඳින් ලෝකය තේරුම් ගැනීම සඳහා වඩ වඩා දැනුම ලබා ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. ඒ අනුව අප වැඩි වැඩියෙන් දැනුම සොයා යනවා. අප එකිනෙකා විසින් සොයා යන දැනුම වගේම දැනුම සොයා යන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. එහෙත් අපි කවුරුත් අපේම ක්‍රමයකට නිරන්තරයෙන් දැනුම සොයා යනවා. මෙය එක් ආකාරයක තණ්හාවක්.

මේ ක්‍රියාවලිය නවතින්නේ කොහොමද? යමෙක් යමක් නිශ්චිත සේ දැනගත් බව "දැනගත්" වහාම තවදුරටත් දැනුම සොයා යාමේ ලෝභය තුනී වී යනවා. සමස්තයක් ලෙස නෙමෙයි. යම් නිශ්චිත කරුණක් හා අදාළව. උදාහරණයක් විදිහට යම් කෙනෙකුට වියලි කැස්සක් හැදුනහම ඒ කෝවිඩ්ද කියා සැකයක් ඇති වෙනවා. මේ අවිනිශ්චිතතාවය විසින් දැනුම සොයා ගොස් අවිනිශ්චිතතාවය අඩු කර ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. මේ කාරණාවේදී දැනුම තිබෙන්නේ පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය. 

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකු විසින් තමන් නෙගටිව්ද පොසිටිව්ද කියා දැනගත් වහාම එම පුද්ගලයාට සාපේක්ෂව නොදැනුම නැති වී යනවා. දැන් තමන්ට කෝවිඩ් තිබෙන බව හෝ නොතිබෙන බව නිශ්චිතවම දන්නා නිසා තවදුරටත් අවිනිශ්චිත භාවයක් නැහැ. අවිනිශ්චිතතාවය අඩු කර ගැනීම සඳහා දැනුම සොයා යාමේ ලෝභයක් නැහැ. නමුත්, පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සැක කරන අයෙකුගේ අවිනිශ්චිතතාවය අඩු වනවා මිස නැති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනුම සොයා යාමේ ලෝභයත් අඩු වෙන්නේ නැහැ.

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකුගේ ලෝභය කෙළවර වන්නේ මෝහයකින්. තමන්ගේ නොදැනුම පිළිබඳ සැකය දුරු වූ වහාම දැනුම සොයා යාමේ ලෝභය අවසන් වී එය මෝහයක් බවට හැරෙනවා. වැඩිපුර සැක නොකරන කෙනෙක් ඉතා පහසුවෙන් හැම දෙයක්ම "දැන ගන්නවා". දිගින් දිගටම සැක කරන පුද්ගලයා දිගින් දිගටම දැනුම සොයා යනවා. යම් දැනුමක් නිශ්චිත දැනුමක් සේ හඳුනාගත් වහාම අදාළ කරුණ පිළිබඳව දැනුම සොයා යාමේ ලෝභය මෝහයක් බවට හැරෙනවා දැනුම කියන දෙයම සැක කරන්නට පෙළඹෙන තුරු දැනුම සොයා යාමේ ලෝභය අවසන් වන්නේ නැහැ.

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

පළමු ප්‍රශ්න වටය අවසන් වී, ලෝකය වටේ ගොස් ආපසු මුලින් පටන් ගත් අඹ ගස ළඟටම එන විට තිස්ස රජුට හමු වන්නේ කලින් දැන සිටි අඹ ගසක්. පළමු ප්‍රශ්නය අසද්දී එම අඹ ගස ගැන සුවිශේෂී දැනුමක් නොතිබුණත් දැන් එවැනි දැනුමක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවානම් පළමු ප්‍රශ්නය අහද්දී තිස්ස රජු ඉදිරියේ තිබුණේ "a mango tree" එකක් වුවත් දැන් එහි තිබෙන්නේ "the mango tree" එකක්. එම නිශ්චිත අඹ ගස පිළිබඳ සංකල්පයක් ඒ වෙද්දී තිස්ස රජුගේ මනසේ තිබෙනවා. අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන විට ඔහු දකින්නේ තමන්ගේ මනසේ තිබෙන නිශ්චිත අඹ ගසක්. තිස්ස රජුගේ මනසේ කලින් නොතිබුණු දැනුමක් වූ එම නිශ්චිත අඹ ගස පිළිබඳ දැනුම අලුත් සංකල්පයක් ලෙස ඔහුගේ මනසේ පැලපදියම් වීමෙන් පසුව ඔහුට එම දැනුම පිළිබඳව තවදුරටත් සැකයක් නැහැ. එය පරම සත්‍යයක්, ඇත්තටම පවතින දෙයක් බවට පත් වෙනවා. 

දෙවන ප්‍රශ්න වටයත් මේ විදිහටම යනවා. මුල් වටය නිශ්චිත අඹ ගහකින් අවසන් වුනා වගේම දෙවන වටය "මම" නම් වූ නිශ්චිත පුද්ගලයාගෙන් අවසන් වෙනවා. අර නිශ්චිත අඹ ගහ වගේම දැන් නිශ්චිත පුද්ගලයෙක් ඉන්නවා. නිශ්චිත අඹ ගහ ගැන දැනුමක් තිස්ස රජුට කලින් තිබුණේ නැතත්, මමනම් වූ පුද්ගලයා ගැන නිශ්චිත දැනුමක් තිස්ස රජුට මුල සිටම තිබෙනවා. පළමු වටයේ පළමු ප්‍රශ්නයට අනුරූප ප්‍රශ්නයක් දෙවන වටයේදී මිහිඳු හිමි විසින් අහන්නේ නැත්තේ ඒ නිසයි. පළමු වටයේදී මෙන් දෙවන වටයේදී තිස්ස රජු විසින් "මම"නම් වූ පුද්ගලයා පිළිබඳව අලුත් දැනුමක් සංස්කරණය කර ගන්නේ නැහැ. මමනම් වූ පුද්ගලයෙකු ඇත්තටම සිටින බව තිස්ස රජුගේ දැනුමක්. එහෙමනම් මේ දෙවන වටයේ තේරුම කුමක්ද?

මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන නලින් ද සිල්වාගේ ප්‍රචලිත ප්‍රවාදයක් තිබෙනවා. ඒ නිසා, නලින් ද සිල්වා ඉල්ලුවේ නැතත්, නලින් නැට්ටන් මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන කතා කිරීම වෙනුවෙන් රෝයල්ටි ඉල්ලන්න පුළුවන්. ධර්මසේන හිමි වෙනුවෙන් එහෙමත් ඉල්ලයිද දන්නේ නැහැ. මම කියන කතාව නලින් ද සිල්වාගේ කතාව නෙමෙයි. එයට විරුද්ධ කතාවකුත් නෙමෙයි. එයට සම්බන්ධයක් නැති වෙනම කතාවක්.

තමන් යමක් හරියටම දන්නවා කියන අදහස ඇතුළේ හැම විටම වගේ තිබෙන්නේ මුලාවක්. මම කියන පුද්ගලයා ඇත්තටම ඉන්න බව තිස්ස රජු දන්නවා. ඒ පිළිබඳව තිස්ස රජුට කිසිම සැකයක් නැහැ. එවැනි කෙනෙක් ඇත්තටම සිටිනවාද කියන එක ගැන තිස්ස රජු තුළ සැකයක් ඇති කරන්න මිහිඳු හිමිට අවශ්‍යයි. මම කියන අදහසම මුලාවක් බව පැහැදිලි කරන්න අවශ්‍යයි. එහෙත් එය පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මිහිඳු හිමි වඩා පහසු අඹ ගහෙන් පටන් ගන්නවා. පළමු ප්‍රශ්න වටය අවසන් වෙද්දී තිස්ස රජුගේ මනසේ නැති අඹ ගහක් ඇති අඹ ගහක් බවට පත් වෙනවා. මේ ගැන තිබෙන දැනුම එක්ක මම කියන පුද්ගලයා හැදුනේත් මේ විදිහටම වෙන්න බැරිද කියන සැකය මිහිඳු රජුට ඇති වෙන්න පුළුවන්. එවැන්නක් ඒ වෙලාවේම වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ.

සිංහල භාෂාව තුළ නිශ්චිත ගහක් හා ගහ කියන වියුක්ත අදහස වෙන් කර හඳුනාගත හැකි නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ වෙනස හඳුනාගන්න වෙන්නේ භාෂාව භාවිතා කිරීමෙනුයි. ගහ කියා කියන්නේ ඔය දෙකෙන් කුමක් හෝ වෙන්න පුළුවන්.

"ගහ කපන්නයි ආවේ" කියලා කවුරු හරි කියන කොට මේ කියන්නේ ටික දවසකට කලින් ඇවිත් කපලා දමන්න කියපු නිශ්චිත ගහක් ගැන බව අහන කෙනා බොහෝ විට දන්නවා. දන්නේ නැත්නම් "මොන ගහද?" කියලා අහයි. එහෙම අහන්නේත් මේ අහන්නේ කුමක් හෝ නිශ්චිත ගහක් ගැන බව දන්නා නිසා. එසේ වුවත්, "ගහ දන්න කෙනාට කොළ කඩා පාන්න එපා" කිවුවහම කවුරුවත් "මොන ගහද?" කියලා අහන්නේ නැහැ. මේ කියන්නේ ගහ කියන වියුක්ත සංකල්පය ගැන මිසක් නිශ්චිත ගහක් ගැන නොවන බව අහන පුද්ගලයා දන්නවා.

සමහර වෙලාවට වචන භාවිතය එකම වෙන්නත් පුළුවන්. කවුරු හරි "මනුස්සයා අන්තිම භයානක සතෙක්!" කියා කිවුවොත් ඒ කියන්නේ කවුරු හරි නිශ්චිත මනුස්සයෙක් ගැන වෙන්න පුළුවන් වගේම මනුස්සයා කියන වියුක්ත අදහස ගැන වෙන්නත් පුළුවන්. මේ ප්‍රකාශය කරන්නේ ධර්ම දේශනාවකට හරි වෙනත් දේශනාවකට හරි සවන් දුන්නට පස්සේනම් ඔය කියන්නේ "මනුස්සයා" කියන වියුක්ත අදහස ගැන වෙන්න පුළුවන්. එහෙත්, මේ ප්‍රකාශය කරන්නේ කවුරු හරි මනුස්සයෙක් ගෙදර ඇවිත් ආපහු ගියාට පස්සේනම් ඔය කියන්නේ ඒ මනුස්සයා ගැනයි. 

ඉංග්‍රීසි භාෂාවේ මේ පැටලිල්ල නැහැ. එක්කෝ "man". නැත්නම් "the man". භාෂාවේ ඔය අවුල නැති නිසා ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක් වියුක්ත සංකල්ප හා සංයුක්ත නිරීක්ෂණ පටලවා ගන්නේ අඩුවෙන්. සිංහලයින්ට වියුක්තව හිතන්න අමාරු වෙන්න පොදුවේ ආගමට හෝ සංස්කෘතියට වඩා භාෂාවේ මේ අවුල බලපානවා. 


Saturday, September 15, 2018

බ්‍රින්දබෑනයේ අන්ධ ගායකයා


මීට දශක තුනකට පමණ පෙර ඇස ගැටුණු සිංහල පරිවර්තනයක් ඒ පරිවර්තනයේ තිබුණු විකාරරූපී ස්වරූපය නිසාම මට තවමත් හොඳින් මතක තියෙනවා. මෙහිදී පරිවර්තකයා විසින් බ්‍රින්දබෑනයේ අන්ධ ගායකයා ලෙස සිංහලට නඟා තිබුණේ "The blind poet of Brindaban" කියන ඉංග්‍රීසි වචන ටිකයි.

අදාළ නිර්මාණයේ මුල් රචකයාගේ නම බෙංගාලි නමක්. ඒ නිසා, මුල් රචනය එක්කෝ මේ බෙංගාලි ජාතිකයා විසින් ඉංග්‍රීසියෙන්ම ලියූවක් විය යුතුයි. එසේ නැත්නම් ඔහු විසින් වංග බසින් ලියනු ලැබ පසුව ඉංග්‍රීසියට පරිවර්තනය වූවක් විය යුතුයි. ඔය දෙකෙන් කොයි එක වුවත් මෙහි Brindaban ලෙස ඉංග්‍රීසියට හැරවී තිබෙන්නේ බෘන්දාබොන් (বৃন্দাবন) කියන බෙංගාලි වචනයයි. මුල් රචනය "බෘන්දාබොනේර් ඔන්ධො කොබි (বৃন্দাবনের অন্ধ কবি)" වගේ එකක් වෙන්න ඇති.

වංග භාෂාවෙන් බෘන්දාබොන් කියා කියන්නේ වෘන්දාවනය කියන එකටයි. ඒ නිසා, මෙයට ගැලපෙන සිංහල පරිවර්තනය වෘන්දාවනයේ අන්ධ කවියා කියන එකයි. (ඔය කියන අන්ධ කවියා පහළොස්වන සියවසේදී සුර් සාගර් (සුර සයුර) කාව්‍යය ලියූ සුර් දාස්.)

බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියා කියද්දී ඔ ස්වරය තැන් ගණනාවකම පෙනෙන්න තියෙනවනේ. මේ විදිහට ඔ ස්වරය යොදා ගෙන තිබෙන්නේ බෙංගාලි හෝඩියේ පළමු අකුරේ (অ) ශබ්දය නිරූපණය කරන්නයි. බෙංගාලි හෝඩිය කියවෙන්නේ "ඔ ආ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඐ ඒ ඓ ඕ ඖ...කො ඛො ගො ඝො ඞො..." ආදී ලෙසටයි. "ඔ" කියා කිවුවත් මේ පළමු අකුරේ තියෙන්නේ සිංහල ඔයන්නේ ශබ්දය නෙමෙයි. සිංහල අ සහ ඔ ශබ්ද වල අතරමැදි ශබ්දයක්. LOVE කියන ඉංග්‍රීසි වචනයේ O ශබ්දයට ටිකක් කිට්ටුයි. ඒ වගේම ඓ කියා ලිවුවත් එහි තිබෙන්නේත් ඓ හා ඔයි අතරමැද ශබ්දයක්. ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාර වල බෙංගාලි හෝඩියේ පළමු ශබ්දය ඔ වලට වඩා කිට්ටුයි. ඇතැම් තැන් වල අ ශබ්දයට වඩා කිට්ටුයි. ඔය ස්වරය නිරූපණය කරන්න ඔ වෙනුවට අ දැම්මොත් බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියන එක බෘන්දාබනේර් අන්ධ කබි කියා කියන්න පුළුවන්.

බෙංගාලි භාෂාව හා සිංහල භාෂාව යන භාෂා දෙකම විකාශනය වන්නට ඇත්තේ ප්‍රාකෘත භාෂාවේ නැගෙනහිර ප්‍රභේදයකින් වුවත් සියවස් විසිපහකට වැඩි කාලයක් තිස්සේ මේ භාෂා දෙමගක ගොස් ඇති නිසා මුලදී තිබෙන්නට ඇති සමානකම් එකවර හඳුනාගන්න අමාරුයි. ප්‍රාකෘත භාෂාවේ වූ අ ශබ්දය ඔ ශබ්දයක් වෙන්න ඇත්තේ පසු කාලයකයි.

මේ විදිහටම පසු කාලයකදී බෙංගාලි භාෂාවෙන් ව ශබ්දය හැලිලා ගිහින් තිබෙනවා. එය එසේ වෙද්දී මුල් ප්‍රාකෘත වචන වල වූ ව ශබ්දය බ(බො) ශබ්දයක් බවට විකාශනය වෙලා තියෙනවා. බෙංගාලයේ බිමල්ලා, රොබීන්ද්‍රොලා මිසක් විමල්ලා, රවීන්ද්‍රලා නැහැ. බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියන පාඨයේ ඔ වෙනුවට අ ආදේශ කරනවාට අමතරව බ වෙනුවට ව ආදේශ කළොත් වෘන්දා වනේ(ර්) අන්ධ කවි(යා).

වංග හෝඩිය අඩු වශයෙන් සිංහල හෝඩිය තරමටම ශබ්දරූපී හෝඩියක්. එහි අකුරු භාවිතා කරලා ඕනෑම සම්ප්‍රදායික බෙංගාලි වචනයක් අපහසුවකින් තොරව ලියන්න පුළුවන්. නමුත්, විදේශ භාෂාවක වචන ලියද්දී ඒ ශබ්දරූපී කම ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදිහට "වාසිත" වගේ සිංහල නමක් වංග බසින් ලියන එක තරමක් ප්‍රශ්නකාරී වැඩක්. එය ලියන්න වයන්නක් බෙංගාලි හෝඩියේ නැහැ. ඒ නිසා, වාසිත කියන සිංහල නම බෙංගාලි භාෂාවෙන් ලියන්න වෙන්නේ භාෂිත කියා ලියන ආකාරයටමයි. ඔවුන් ඉංග්‍රීසි V අකුර හඳුන්වන්නේත් "භී" ලෙසයි.

බෙංගාලි භාෂාවේ භාෂිත කියා නමක් තිබුණානම් ඔවුන් එය ඉංග්‍රීසියෙන් ලියද්දී BHASHITHA හෝ VASITHA යන දෙයාකාරයෙන් කොයි ආකාරයකට වුවත් ලියන්න ඉඩ තිබෙනවා. ඒ ඔවුන්ට ඒ දෙකේ වෙනසක් නැති නිසා. මෙය හරියට අපට WIJAYA හා VIJAYA කියන නම් දෙකේ වෙනසක් නැතුවා වගේ දෙයක්. (බංගලියන්ට V හා W අකුරුනම් සම්පූර්ණයෙන් වෙනස් ශබ්ද හඟවන අකුරු දෙකක් මිසක් අපට මෙන් සමාන ශබ්ද හඟවන අකුරු දෙකක් නෙමෙයි). නමුත්, අපට BHASHITHA හා VASITHA කියන්නේ මුළුමනින්ම වෙනස් නම් දෙකක්. සිංහලයින් අතර වාසිතලා වගේම භාෂිතලාත් ඉන්නවා.

සිංහල හෝ වංග වගේ ශබ්දරූපී හෝඩියකින් අදාළ භාෂා වල මුල් වචන අපහසුවකින් තොරව ලියන්න පුළුවන් වුවත් වෙනත් භාෂාවක වචන ලියන්න යද්දී ප්‍රශ්න මතු වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ F හා Z අකුරු වල ශබ්ද සිංහල හෝ වංග භාෂා වල මුල් වචන වල නැහැ. නමුත්, අරාබි භාෂාවේ මේ ශබ්ද (හෝ මේ ශබ්ද වලට බොහෝ කිට්ටු ශබ්ද) තිබෙනවා. උදාහරණයක් විදියට ලංකාවේ හා බෙංගාලයේ මුස්ලිමුන් විසින් භාවිතා කරන අරාබි මූලයක් සහිත නම් සිංහල හෝ බෙංගාලි අකුරෙන් ලියද්දී මේ ප්‍රශ්නය මතු වෙනවා.

මේ වන විට ඉංග්‍රීසි F අකුරේ ශබ්දය නිරූපණය කිරීමට සිංහලෙන් ෆ අකුර යෙදීම බොහෝ දුරට ප්‍රචලිත වෙලයි තියෙන්නේ. නමුත් අපි කුඩා කාලයේ ඔය අකුර එතරම් භාවිතා වුනේ නැහැ. F ශබ්දය වෙනුවට ප අකුර හා ශබ්දය යොදා ගැනීම ඒ කාලයේදී ලොකු ප්‍රශ්නයක් වුනෙත් නැහැ. සමහර වෙලාවට ප අකුර මැදින් හෝ පැත්තකින් f අකුරක් ලිවීම සිදු වුණා. ඔයාකාරයටම සිංහලයින් ඉංග්‍රීසි Z අකුර වෙනුවට ස ශබ්දය ආදේශ කරගන්නවා. එය තවමත් ඒ විදිහටම සිදු වෙනවා. දැන් ඇමරිකාවේ ජීවත්වන වෛද්‍ය සිසිර රණසිංහ විසින් අසූව දශකයේ මුල් කාලයේදී සිංහල ෆොන්ට් එකක් නිර්මාණය කරද්දී මේ ශබ්දය වෙනුවෙනුත් අකුරක් යෝජනා කර තිබුණත් ඉන්පසුව එවැනි යෝජනාවක් පැමිණි බවක් හෝ මම දන්නේ නැහැ.

දැන් ෆයිසාල්, ෆයිසර් ආදී ලෙස සිංහලෙන් ලියන මුස්ලිම් නම් අප කුඩා කාලයේදී ලිවුවේ පයිසාල්, පයිසර් ආදී වශයෙනුයි. මේ නම් දෙකේම වගේම සහිරා, රාසික්, හිස්බුල්ලා ආදී නම් වල ස අකුරෙන් නිරූපණය වෙන්නේ ඉංග්‍රීසි Z අකුරේ ශබ්දයට කිට්ටු ශබ්දයක්. F හා Z ශබ්ද සම්ප්‍රදායික බෙංගාලි වචන හෝ නම් වලත් නැහැ. පිටින් ආ වචන බෙංගාලි බසින් ලියද්දී ඔවුන් F  වෙනුවට ඵ ශබ්දය නිරූපනය කරන අකුරත්, Z වෙනුවට ජ ශබ්දය නිරූපනය කරන අකුරත් යොදා ගන්නවා. ඒ නිසා, බෙංගාලයේ ඉන්නේ ඵයිජාල්ලා හා ඵයිජර්ලා. සිංහලයින් සූ එක බලන්න යද්දී බෙංගාලීන් ජූ එක බලන්න යනවා.

දෙමළ හෝඩිය සිංහල හා බෙංගාලි හෝඩි තරම් ශබ්දරූපී හෝඩියක් නෙමෙයි. සිංහල භාෂාවේ තිබෙන ශබ්ද සෑහෙන ප්‍රමාණයක් දෙමළ භාෂාවේ තිබුණත් ඒ ශබ්ද අනන්‍ය සේ හඳුනාගත හැකි සංකේත දෙමළ හෝඩියේ නැහැ. නමුත්, දෙමළුන්ට මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එකම සංකේතය වචන වල යෙදෙන ආකාරය අනුව එය නිවැරදිව උච්ඡාරණය කරන්න ඔවුන්ට පුළුවන්.

කොහොම වුනත් පිටින් ආ වචන හැදිලා තියෙන්නේ දෙමළ රීතියට නොවන නිසා එවැනි වචන දෙමළෙන් ලියද්දී ගැටළු මතු වෙනවා. දෙමළුන් මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙන්නේ සියවස් ගණනාවකට කලින්. ඒ සංස්කෘත වචන දෙමළෙන් ලියන්න ඕනෑ වුනු කාලයේදී. මේ වෙනුවෙන්ම යොදා ගැනුණු ඇතැම් අකුරු දැනටත් දෙමළ හෝඩියේ පැත්තක තියෙනවා. ජ (ஜ ), හ (ஹ) වගේ අකුරු ඒ විදිහට සංස්කෘත හෝ වෙනත් පිටින් ආ වචන ලියන්න භාවිතා කෙරුණත් ඉතා මෑතක් වන තුරුම දෙමළ නම් ගම් ලියන්න මේ අකුරු භාවිතා වී නැහැ. ප්‍රභාකරන් කියා කිවුවත් ප්‍රභාහරන් කියා කිවුවත් එක විදිහටම (பிரபாகரன் ලෙස) ලියනවා මිස අලුතෙන් එකතු වුනු හ (ஹ) අකුර යොදා ගැනීමක් සිදු වුණේ නැහැ.

ප්‍රභාකරන් කියන නම දෙමළෙන් ලියන්නේ பிரபாகரன் කියලයි. මෙහි ப අකුර සිංහල ප අකුරේ ශබ්දය ලෙසත් க අකුර සිංහල  ක අකුරේ ශබ්දය ලෙසත් සැලකුවොත් මේ දෙමළ අකුරු කියැවෙන්නේ පිරපාකරන් කියලයි. නමුත්, දෙමළ ப අකුරෙන් එය යෙදෙන තැන අනුව සිංහල ප, ඵ, බ, භ ශබ්ද වලින් එකක් අදහස් වෙන්න පුළුවන්. ඒ වගේම, දෙමළ க අකුරෙන් සිංහල ක, ඛ, ග, ඝ, හ අකුරු වලින් එකක ශබ්දය අදහස් වෙන්න පුළුවන්. ඔයාකාරයටම දෙමළ த අකුරෙන් සිංහල ත, ථ, ද, ධ අකුරක් අදහස් වෙන්න පුළුවන්.

තර්ජිනී හා දර්ශිනී යන නම් දෙකම දෙමළෙන් தர்சினி ලෙස ලියන්න පුළුවන්. මෙහි තෙවන சி අකුර සි, චි, ශි හෝ ජි ලෙස ශබ්ද විය හැකි වුවත් එය වචනයේ එම අකුර යෙදෙන ආකාරය අනුව තීරණය වන්නක්. தர்சினி சிவலிங்கம் ලෙස දෙමළෙන් ලියන නමක් දෙමළෙක් විසින් දර්ශිනී සිවලිංගම් ලෙස උච්ඡාරණය කරන්න වැඩි ඉඩක් තිබුණත් වෙනස් ආකාර වලට උච්ඡාරණය කරන්නත් බැරි කමක් නැහැ.

උදාහරණයක් ලෙස, පහත වීඩියෝවෙහි ප්‍රස්තුතයට අදාළ දැල්පන්දු ක්‍රීඩිකාව සමඟ සාකච්ඡා කරන නිවේදිකාව ඇයව හඳුන්වා දෙන්නේ දර්ජිනී සිවලිංගම් වශයෙනුයි. නමුත්, ඈ තමන්ව හඳුන්වා දෙන්නේ "එනදු පේර් දර්ශිනී සිවලිංගම්" කියමිනුයි. මෙහි එනදු කියා ලිවුවත් ඔතැන තිබෙන නියම දෙමළ ස්වරය සිංහල උයන්න නෙමෙයි. ඒ ස්වරයත් සිංහල භාෂාවේ නැහැ.


දර්ශිනී සිවලිංගම් ඇගේ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ THARJINI SIVALINKAM ලෙසයි. ඔය නම දෙමළෙන් ඔය විදිහටම ලියන වෙනත් අය ඉංග්‍රීසියෙන් THARSHINI, THARSINI හා DHARSHINI ආදී වෙනත් ආකාර වලිනුත් ලියනවා. මේ කොයි විදිහට ලිවුවත් දෙමළෙක්ට එහි ප්‍රශ්නයක් නැහැ, සිංහලයෙක්ට VIJAYA හා WIJAYA වගේ දෙයකුයි ඔතැන තියෙන්නේ. සිංහල මාධ්‍ය මේ නම තර්ජිනී ලෙස සිංහලෙන් ලියන්නේ ඉංග්‍රීසියෙන් එය ලියන ආකාරය ඉංග්‍රීසියෙන් ලියා තිබෙන සිංහල නමක් තේරුම් ගන්නා ආකාරයට තේරුම් ගනිමිනුයි. වීඩියෝවේ නිවේදිකාව ඇගේ නම උච්චාරණය කරන්නේත් සිංහල ක්‍රමයට නොවූවත් එහි ඉංග්‍රීසි අකුරු අනුව යමිනුයි.

දැන් මේ නම දර්ශිනී ලෙස සිංහලෙන් නොලියා තර්ජිනී ලෙස ලිවීම ප්‍රශ්නයක් වෙන්නේ කාටද? දර්ශිනීට හෝ මවුබස දෙමළ වූ වෙනත් අයෙක්ට මෙහි ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් දර්ශිනී කියා ලිවුවත්, තර්ජිනී කියා ලිවුවත් දෙමළෙක්ට ඔය දෙකම එකයි. හරියට බෙංගාලියෙක්ට භාෂිත හා වාසිත කියන නම් දෙකේ වෙනසක් නැහැ වගේ. ජපනෙක්ට විදුල හා විදුර කියන නම් දෙකේ වෙනසක් නැහැ වගේ. සිංහලයෙක්ට UWA හා UVA දෙකම එකයි වගේ. නමුත්, සිංහල මවුබස වූ කෙනෙක්ට දර්ශිනී හා තර්ජිනී යන මේ නම් දෙක සම්පූර්ණයෙන් වෙනස් නම් දෙකක්. එය ප්‍රශ්නයක් වෙන්නේ සිංහලයින්ටයි.

එහෙමනම් දෙමළුන්ට මෙහි ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? තියෙනවා. ඒක මෙහෙමයි.

දෙමළ රට ඉතිහාසය පුරාවටම උතුරු ඉන්දියාවෙන් ස්වාධීනව පැවතුණා වගේම දෙමළුන් දිගින් දිගටම ආර්ය ආධිපත්‍යයට ප්‍රතිරෝධයක් දැක්වූ පිරිසක්. දෙමළුන්ට සිංහලයින් එක්ක තිබෙන ප්‍රශ්නයේ එක් මුලකුත් මෙහි තිබෙනවා. නමුත්, නිදහසින් පසුව ඉන්දියාව පාලනය කරන උතුරු ඉන්දීය බමුණන්ට දෙමළ අනන්‍යතාවය යටපත් කරලා ඉන්දියානු අනන්‍යතාවය ඔවුන් තුළ මතු කිරීමේ උවමනාවක් තියෙනවා. ඒ උවමනාව ක්‍රමයෙන් ඉටුවෙමින් පවතිනවා.

ප්‍රියා කියන නම සම්ප්‍රදායිකව දෙමළෙන් ලිවුවේ පිරියා කියලයි. දැන් මේ නම ප්රියා ලෙස ලිවීම ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ වගේම, උතුරු ඉන්දීය නම් තමිල්නාඩුවේ (හා ලංකාවේ දෙමළ අය අතර) ක්‍රමයෙන් ජනප්‍රිය වෙද්දී ඒ නම් දෙමළෙන් ලියන්න ජ අකුර  යොදා ගැනීමත් ජනප්‍රිය වෙමින් පවතිනවා.

මේ අතර ලංකාවේ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් රජයේ සේවකයින්ට දෙමළ ඉගෙන ගැනීම වෙනුවෙන් දිරි දීමනා දෙන්න පටන් ගැනීම, පහේ ශිෂ්‍යත්වයට දෙමළ එකතු වීම ආදී හේතු මත සිංහලයින් දෙමළ ඉගෙන ගැනීම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වුණත්, මේ ගොඩක් අය දෙමළ කතා කරන අයත් එක්ක සෘජුව ගැටෙන්නේ නැහැ. මෙයින් වෙනස්ව මගේ පියාගේ පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දෙමළ වතු කම්කරුවන් සමඟ සෘජුව ගැටීමෙන් දෙමළ කතා කරන්න පුරුදු වී හිටියා. නමුත්, ඔවුන් දෙමළ අකුරු දැනගෙන හිටියේ නැහැ. බොහෝ විට ඒ දෙමළ කම්කරුවෝත් දෙමළ ලියන්න දැනගෙන හිටියේ නැහැ.

ඉහත කී ආකාරයේ අරමුණු වෙනුවෙන් සිංහලයින් දෙමළ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිහටම දෙමළ හෝඩියෙන් පටන් අරගෙනයි. ඒ අනුව, මුලින්ම කරන්නේ සිංහල අකුරු වලට දෙමළ අකුරු අනන්‍ය ලෙස ගලපන්න උත්සාහ කිරීමයි. සිංහලයේ තිබෙන හ, ජ වගේ අකුරු එක්ක ගලපන්න අනන්‍ය අකුරු දෙමළ හෝඩියේ තියෙද්දී ඒ ශබ්ද වෙනුවෙන් සම්ප්‍රදායිකව යෙදුනු දෙමළ අකුරු තවදුරටත් යොදා ගැනීම සිංහලයින්ට තේරුම් ගන්න අපහසු දෙයක්. ඒ නිසා, සිංහලයින් තමන්ගේ නම් ගම් දෙමළෙන් ලියද්දී මේ අකුරු බහුලව භාවිතා කරනවා වගේම දෙමළ නම් ලියද්දීත් හැකි හැමවිටම ඒ අකුරුම යොදනවා.

සිංහලෙන් තර්ජිනී කියා ලිවීම අනුව යමින් දකුණේ ඇතැම් දෙමළ මාධ්‍ය මේ නම දෙමළෙන් ලියද්දී අර පසුව එකතු වුනු ජ අකුර යොදමින් தர்ஜினி ලෙස ලියනවා. දෙමළෙන් தர்சினி කියා ලියූ විට එය දර්ශිනී වගේම තර්ජිනී කියා වුවත් කියවන්න පුළුවන් වුවත් දෙමළෙන් தர்ஜினி කියා ලියූ විට එය දර්ජිනි හෝ තර්ජිනී ලෙස මිස දර්ශිනී ලෙස කියවීමේ හැකියාවක් නැහැ. දර්ශිනීට හෝ වෙනත් දෙමළෙක්ට මෙය ප්‍රශ්නයක් වෙන්නේ ඔන්න ඔතැනදීයි.

Friday, September 14, 2018

පුට් පුට් වෙද්දී බට් බුට් නොවීම


සිංහල අක්ෂර මාලාව සාමාන්‍යයෙන් සැලකෙන්නේ ශබ්දරූපී අක්ෂර මාලාවක් විදිහටයි. ඒ කියන්නේ භාෂාව කතා කරද්දී ඇසෙන වෙන් වශයෙන් හඳුනාගත හැකි ශබ්ද එක් එක් අකුරෙන් නිශ්චිතව නිරූපණය වන බව හා ලිඛිත භාෂාවේ වචන ඒ වචන වල තිබෙන අක්ෂර වලට අදාළ ශබ්ද ඇසුරෙන් ඉතා පහසුවෙන් උච්චාරණය කළ හැකි බවයි. නමුත්, සිංහල අක්ෂර මාලාව පරිපූර්ණ ශබ්දරූපී අක්ෂර මාලාවක් කියා කිව නොහැකියි. ඉහත රීතිය බිඳෙන අවස්ථා ගණනාවක් භාෂාවේ තිබෙනවා.

සිංහල අක්ෂර මාලාවේ තිබෙන ප්‍රධානම අඩුවක් වන්නේ භාෂාවේ ඉතාම සුලභ ස්වර ශබ්ද දෙකක් වන සංවෘත අ සහ ආ ශබ්ද නිරූපණය කිරීමට අක්ෂර නොමැති වීමයි. ඒ නිසා, මේ ශබ්ද නිරූපණය කෙරෙන්නේත් විවෘත අ සහ ආ ශබ්ද කෙරෙන අක්ෂර වලින්මයි. උදාහරණයක් විදිහට "වැඩ කරල මහන්සිද?" යන්නේ තිබෙන "කරල" කියන අකුරු තුනේ වචනයත් "වී කරල" කියන තැනදී ඒ විදිහටම ලියන වචනයත් ශබ්ද වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාර වලටයි. පළමුවැන්නේ තිබෙන්නේ සංවෘත ක හා විවෘත ල ශබ්ද. දෙවැන්නේ තිබෙන්නේ විවෘත ක සහ සංවෘත ල ශබ්ද. "සල්ලි වලට කරපු වැඩ නිසා වලට වැටිල ඉන්නේ" කියද්දී එකම විදිහට ලියන "වලට" දෙකේ තිබෙන වයනු වලත් මේ වෙනස දකින්න පුළුවන්.

ඔය වගේ තවත් තැන් තිබෙනවා. ජනප්‍රිය, දේශප්‍රේමී, කාලක්‍රියා, අක්‍රිය වගේ වචන ශබ්ද වන ආකාරයට ලියනවානම් ලිවිය යුත්තේ ජනප්ප්‍රිය, දේශප්ප්‍රේමී, කාලක්ක්‍රියා, අක්ක්‍රිය ආදී වශයෙන් වුවත් ලිවීමේදී මැද තිබිය යුතු අල් අකුර අත හැරෙනවා. තන හා තණ කියන වචන අවශ්‍යනම් වෙනස් ලෙස උච්ඡාරණය කරන්න බැරිකමක් නැතත් සිංහලයින් එහෙම කරනවා කියා මම හිතන්නේ නැහැ. වෙනස් ලෙස උච්ඡාරණය කළත් ඒ වෙනසට අපි සංවේදීත් නැහැ. (එවැනි අය ටික දෙනෙක් ඉන්න පුළුවන්.) ඒ වගේම ප්‍රායෝගිකව මහාප්‍රාණ (මහප්ප්‍රාණ) අක්ෂර බොහොමයක් උච්ඡාරණය කෙරෙන්නේ අදාළ අල්පප්‍රාණ අක්ෂර උච්ඡාරණය කරන විදිහටමයි. උදාහරණයක් විදිහට ධනුෂ්ක වගේ නමක් ගොඩක් අය උච්ඡාරණය කරන්නේ දනුෂ්ක ලෙසයි.

සිංහලයින් උතුරු ඉන්දියානුවන් මෙන් මහාප්‍රාණ අක්ෂර බරට ශබ්ද නොකරන්නේ ඇයි කියන එක ගැන මගේ පැහැදිලි කිරීමක් තිබෙනවා. එය අපි පසුවට තියමු. දැනට කෙටියෙන් කියනවානම් මෙය සිංහල අනන්‍යතාවය බිහිවුණු කාලයේ සිට පවතින තත්ත්වයක් මිස පසුකාලීනව සිදුවුණු වෙනසක් නොවෙන්න පුළුවන්. "ඔය මහප්පරාන අපිට තේරෙන්නේ නෑ" කියන ගැමියෝ තාමත් ඇති.

ඉහත කී ආකාරයේ ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත් සිංහල ලිවීම හා කියැවීම බොහෝ දුරකට අක්ෂරරූපී පදනමකින් කළ හැකියි. ඉංග්‍රීසි භාෂාව එසේ නැහැ. ඉංග්‍රීසි ලියන හා කියවන ආකාරයේත් නිශ්චිත රීති ගණනාවක් තිබුණත් සිංහල වලට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂාවේ ව්‍යතිරේඛ ගොඩක් වැඩියි. BUT හා PUT වචන වල U ශබ්ද වෙනස් ලෙස උච්ඡාරණය කෙරෙන්නේ ඇයි කියා පහසුවෙන් පැහැදිලි කරන්න අමාරුයි.

ඉංග්‍රීසි භාෂාවේ ස්වර අඩුම වශයෙන් පහළොවක්වත් තිබෙන නමුත් ස්වරාක්ෂර තිබෙන්නේ පහක් පමණයි. මේ ස්වර වලින් වැඩි ප්‍රමාණයක් සිංහල භාෂාවේ නැති නිසා සිංහලයින්ට ඉංග්‍රීසි වචන බොහොමයක් නිවැරදිව උච්ඡාරණය කරන්න අමාරුයි. ඉංග්‍රීසි කතා කරන රටක පදිංචියට ඇවිත් ජීවිත කාලයම ගත කරලා මැරිල ගියත් ගොඩක් අයට තමන්ගේ උච්ඡාරණය නිවැරදි කරගන්නවා තබා එහි තිබෙන අඩුපාඩුව තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ. එයට හේතුව සිංහල වගේ සෑහෙන තරමින් ශබ්දරූපී භාෂාවක් මවුබස වූ අයෙක් ස්වර හා ස්වරාක්ෂර අතර වෙනසට පවා සංවේදී නොවීමයි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, මේ අඩුපාඩුව "විද්‍යාත්මක ක්‍රමයකට" හඳුනාගෙන වැරැද්ද හදාගන්න උත්සාහ කළත් එය පහසු වැඩක් නෙමෙයි. සුද්දෝ (හෝ ඇමරිකන් කාරයෝ) වගේ ඉංග්‍රීසි කතා කිරීම පැත්තකින් තිබ්බත්, උන්ට අවුලක් නැතුව තේරුම් ගත හැකි විදිහට කතා කරන එකමත් ලොකු අභියෝගයක්.

කලින් කී ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ ලංකාවේදී ඉංග්‍රීසි ඉගෙනගෙන කාලයක් ඉංග්‍රීසි භාෂාව දැනගෙන ඉංග්‍රීසි කතා කරන රටකට එන අයටයි. ඉංග්‍රීසි මළපොතේ අකුරක් නොදැන ඉංග්‍රීසි කතා කරන රටකට එන කෙනෙක්ට අදාළ රටේ නිවැරදි ඉංග්‍රීසි උච්ඡාරණය ග්‍රහණය කර ගැනීම පහසුයි. (ඉංග්‍රීසි මළපොතක් තියෙනවද කියල අහන්න එපා.) එහෙම අය භාෂාව ඉගෙන ගන්නේ කුඩා දරුවෙක් ඉගෙනගන්න ආකාරයට කතා කරන අයට සවන් දීමෙනුයි. නමුත්, ලංකාවේදී ඉංග්‍රීසි ගෙන තිබෙන හෝ ඉගෙන ගන්නා  මා වැනි ගොඩක් අය එය කර තිබෙන්නේ හෝ කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිටයි.

ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ ස්වරාක්ෂර පහක් පමණයි. ඒ නිසා, සිංහල ක්‍රමයට හිතමින් ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ ස්වර පහක් පමණයි කියා අපි හිතනවා. එහෙම හිතලා ඉංග්‍රීසි වචන අපි දන්න සිංහල භාෂාවේ ශබ්ද වලට ගලපනවා. ගලපලා BUT කියන්නේ බට් බවත් PUT කියන්නේ පුට් බවත් ඔළුවට දාගන්නවා. නමුත්, BUT කියද්දී U අකුරෙන් නිරූපණය වන ස්වරය සිංහල අ ශබ්දය (හෝ එහි සංවෘත ස්වරූපය) නෙමෙයි. ඒ ස්වරය සිංහල භාෂාවේ නැහැ. ඒ වගේම, PUT කියද්දී U අකුරෙන් නිරූපණය වන ස්වරය සිංහල උයන්නේ ශබ්දය නෙමෙයි. ඒ ස්වරයත් සිංහල භාෂාවේ නැහැ.

අප දන්නා විදිහට සිංහල භාෂාවේ ස්වර වැඩි ප්‍රමාණයක් තිබුණත් මුල් බස ඉංග්‍රීසි වූ අයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් සිංහල භාෂාවේ තිබෙන්නේ සීමිත ස්වර ගණනක් පමණයි. එකම ශබ්දයේ කෙටි හා දීර්ඝ ස්වරූප අප වෙනස් ස්වර සේ හඳුනාගත්තත් ඉංග්‍රීසි භාෂාවේදී මේ ශබ්ද එකම ස්වරයේ ස්වරූප දෙකක් ලෙස මිස වෙනස් ස්වර සේ සැලකෙන්නේ නැහැ. ඒ නිසා, අපි බිට් කියා උච්ඡාරණය කළත් බීට් කියා උච්ඡාරණය කළත් මුල් බස ඉංග්‍රීසි වූ අයෙක්ට ඇහෙන්නේ BEET කියලයි. අප BIT කියන ඉංග්‍රීසි වචනය බිට් කියා උච්ඡාරණය කළත් එහි I අකුරේ තිබෙන්නේ සිංහල ඉයන්නේ ශබ්දය නෙමෙයි. සිංහල භාෂාවේ නැති වෙනම ස්වරයක්. ඒ ස්වරය වෙනුවට ඉයන්නේ ශබ්දය ආදේශ කළ විට ඉංග්‍රීසි කණකට ඇහෙන්නේ ඉක්මණින් BEET කියා කියන බවයි.

ස්වරාක්ෂර වගේම ව්‍යංජනාක්ෂාර ගත්තත් ඉංග්‍රීසි භාෂාවේ තිබෙන අකුරු ප්‍රමාණයට වඩා ශබ්ද ප්‍රමාණය වැඩියි. "ද" හා "ත" ශබ්ද ඉංග්‍රීසි භාෂාවේ තිබුණත් ඒ ශබ්ද නිරූපණය කළ හැකි අනන්‍ය අකුරු ඉංග්‍රීසි හෝඩියේ නැහැ. ඔය අකුරු දෙකම බොහෝ විට නිරූපණය වෙන්නේ "th" ලෙසයි. The, This, That, There, Their, Then, Them, Though, Weather, Whether, Mother, Other ආදී "ද" ශබ්දය තිබෙන හැම තැනකම වගේ ඒ ශබ්දය නිරූපණය වෙන්නේ "th" ලෙසයි. වෙනත් යුරෝපීය භාෂා වල කෙසේ වුවත්, ඉංග්‍රීසි භාෂාවේ "ද" ශබ්දය d අකුරෙන් නිරූපණය වෙන්නේ නැහැ.

කොහොම වුණත්, සිංහල මුල් බස වූ අය ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී සිංහල භාෂාවේ බහුලව යෙදෙන ද ශබ්දය ඉංග්‍රීසි d අකුර සමඟ සම්බන්ධ කරනවා. එයට හේතු වන්නට ඇති ඓතිහාසික කරුණු කතා කරන්න මම මෙහි ඉඩගන්නේ නැති වුනත් මෙය ඉංග්‍රීසීන් ලංකාවට එන්න කලින් පටන්ගත් පුරුද්දක් කියා කියන්න පුළුවන්. කොහොම වුනත්, දහම් වගේ සිංහල නමක් අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ Daham කියා මිස Thaham කියා නෙමෙයි. දර්ශන කියන නම අප ලියන්නේ Darshana කියලයි.

ඉංග්‍රීසි භාෂාවේ ද ශබ්දය මෙන්ම ත ශබ්දයත් නිරූපණය වන්නේ th කියන අකුරු වලින්මයි. Thick, Theory, Theme, Thin, Think, Thirty, Thursday, Month, North, Anything, Athlete වගේ වචන උදාහරණයි. සිංහල නම් ගම් ඉංග්‍රීසි අකුරින් ලියන විටත් th අකුරු දෙක යොදාගන්නවා. තාරක කියන නම ඉංග්‍රීසියෙන් ලියන්නේ Tharaka ලෙසයි.

ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙක් th අකුරු දෙකෙන් ද හෝ ත ශබ්ද දෙකම හඳුනා ගන්නා නමුත් සිංහල මුල් බස වූ ගොඩක් අය th අකුරු දෙක ත ශබ්දය හා අනන්‍ය සේ සලකනවා. සිංහලයෙක් Thaham යන්න තහම් සේ මිස දහම් සේ කියවන්නේ නැහැ.

දෙමළ අය ඔවුන්ගේ නම් ඉංග්‍රීසියෙන් ලියද්දී අනුගමනය කරන්නේ සිංහල රීතියම නෙමෙයි. ඔවුන් ද ශබ්දය මෙන්ම ත ශබ්දයත් ඉංග්‍රීසි අකුරෙන් ලිවීමේදී භාවිතා කරන්නේ th යන අකුරු දෙකයි. දර්මන් (தர்மன்) යන දෙමළ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ Tharman ලෙසයි.  දෙමළ හෝඩියේ වුවත්, ත හා ද ශබ්ද නිරූපණය කරන්න වෙනස් අකුරු දෙකක් නැහැ. මේ ශබ්ද දෙකම නිරූපණය කෙරෙන්නේ එකම අකුරකින් (த).

(Image: https://pronuncian.com/introduction-to-vowels/)

Wednesday, September 12, 2018

ඌවද ඌවද?


මාස කිහිපයකට කලින් අපි ලංකාවට ආපු වෙලාවේ එක දිගට සතියක් පමණ මාර්ග චාරිකාවක යෙදුණා. ගමන අවසන් වෙද්දී අපි ලංකාවේ පළාත් නවයෙන් හයක්ම ආවරණය කරලා තිබුණා. මේ ගමන යන්න පෙර පොත් සාප්පුවකට ගිය වෙලාවේ මම මගේ බාල දරුවාට ලොකු ලංකා සිතියමක් අරන් දුන්නා. ගමන අතර අපි නගරයෙන් නගරයට මාරු වෙද්දී ඔහු මේ සිතියමෙන් අපේ ගමන් මාර්ගය අධ්‍යයනය කරමින් හිටියා.

අන්තිමට අපි ගෙදර ආවට පස්සෙත් ලංකාව හා අදාළ භූගෝලීය කරුණු දැනගන්න දරුවාගේ තිබුණු උනන්දුව අඩු වෙලා තිබුණේ නැහැ. මගේ සහෝදරයාගේ දරුවෙක්ගේ සිතියම් පොතක පිටු පෙරළමින් ඔහු වැඩිදුර තොරතුරු හොයන්න පටන් ගත්තා. එහෙම කරන ගමන් දරුවා හදිසියේම මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.

"හරි වචනය ඌවද නැත්නම් ඌවද?"

ප්‍රශ්නය ටිකක් අවුල් වගේ නේද? මේ ප්‍රශ්නයේ "ඌව" කියා ලියා තිබෙන තැන් දෙකේදීම අදාළ වචනයෙන් දරුවා අදහස් කළේ ඒ නමින් හැඳින්වෙන ලංකාවේ පළාත මිසක් "ඌව කාලෙකින් හම්බ වුනේ!" වගේ තැනකදී අදහස් කෙරෙන වෙනත් තේරුමක් නෙමෙයි.

දරුවා අහපු ප්‍රශ්නය කුමක්ද කියා සිංහල අකුරෙන් ලියන්න බැහැ. එය ඉංග්‍රීසි අකුරු කලවමක් එක්ක ලිවුවොත් දරුවාගේ ප්‍රශ්නය වුනේ කුමක්ද කියන එක පැහැදිලි වෙයි.

"හරි වචනය Uvaද නැත්නම් Uwaද?"

මාර්ග චාරිකාවේ යෙදෙද්දී දරුවා අතේ තිබුණු සිතියම අනුව පළාතේ නම Uva. නමුත්, මගේ සහෝදරයාගේ දරුවාගේ සිතියම් පොත අනුව එය Uwa.

ලංකාවේ ඉපදිලා හැදී වැඩුණු, පළමු භාෂාව සිංහල වූ අයෙකුට ඔතන ප්‍රශ්නයක් නැහැ. ඕක Uva වුනත් Uwa වුනත් ඒ දෙකේ වෙනස ලංකාවේ ගොඩක් අය සංවේදී කරුණක් නෙමෙයි. "විජය" වගේ නම් ඉංග්‍රීසියෙන් ලියද්දී "V" වගේම "W"ත් හරි හරියට යෙදෙනවා. පළමු භාෂාව සිංහල වූ බොහෝ දෙනෙක්ට තේරෙන විදිහට ඉංග්‍රීසි හෝඩියේ ඔය අකුරු දෙකෙන්ම අදහස් වෙන්නේ "ව" ශබ්දයයි.

නමුත්, ඇත්තටම ඉංග්‍රීසි භාෂාවේ "V" හා "W" අකුරු දෙකෙන් අදහස් වෙන්නේ බොහෝ වෙනස් ශබ්ද දෙකක්. සිංහල "ව" ශබ්දය ඉංග්‍රීසි භාෂාවේ "V" හෝ "W" ශබ්ද දෙකෙන් එකකටවත් හරියටම සමාන නැහැ.  "V" හෝ "W" ශබ්ද දෙකෙන් එකකටවත් හරියටම හරියන සිංහල ශබ්දයක් හෝ සිංහල "ව" ශබ්දයට හරියටම හරියන ඉංග්‍රීසි ශබ්දයක් නැති නිසාත්, "V" හා "W" ශබ්ද සිංහල "ව" ශබ්දයට යම් තරමකින් සමාන නිසාත් අපි ඔය ශබ්ද දෙකම සිංහල "ව" ශබ්දයට සමාන සේ සලකනවා. සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියද්දී ඔය ඉංග්‍රීසි අකුරු දෙකෙන් කොයි එක යොදාගත්තත් අපට ප්‍රශ්නයක් නැහැ.

අපට මෙය ප්‍රශ්නයක් නොවූවත්, මගේ දරුවා වගේ පළමු බස ඉංග්‍රීසි වූ අයෙකුට මෙහි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දරුවාට තේරෙන විදිහට, Uva හා Uwa කියන්නේ වෙනස්ම වචන දෙකක්. හරියට පහළින් තියෙන වචන වගේ.

wet, vet

west, vest

wine, vine

worse, verse

went, vent

whale, veil

wane, vein

wiser, visor

while, vile

wheel, veal

why, vie

wiper, viper

wary, vary

weir, veer

weird, veered

we, V

දැන් ඔය උඩින් තිබෙන එකිනෙකට වෙනස් තේරුම් තිබෙන හා එකිනෙකට වෙනස්ව ශබ්ද වෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි උච්ඡාරණය පිළිබඳ විශේෂ පුහුණුවක් නැති, මුල් බස සිංහල වූ බොහෝ දෙනෙක් උච්ඡාරණය කරන්නේ එක විදිහටයි. ලාංකිකයින් දෙන්නෙක් ඉංග්‍රීසියෙන් කතා කරද්දී ඕකේ අවුලකුත් නැහැ. මේ කියන්නේ මොකක්ද කියන එක අපට තේරෙනවා. නමුත්, මුල් බස ඉංග්‍රීසි වූ අයෙකුට මේ වචන පටලවා උච්චාරණය කෙරෙන විට සෑහෙන්න අවුල්.

මේ ප්‍රශ්නය එක් භාෂාවක් ඇසුරෙන් දෙවන භාෂාවක් ඉගෙන ගැනීමේදී ඇති වන ප්‍රශ්න ගණනාවක් අතරින් එකක් පමණයි. භාෂා වල අකුරු පරිණාමය වෙලා තියන්නේ අදාළ භාෂා වල මුල් වචන වල ශබ්ද නිරූපණය කිරීම පිණිසයි. නමුත්, වචන වල යොදා ගැනෙන ශබ්ද භාෂාවෙන් භාෂාවට වෙනස්. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි R ශබ්දය සිංහල ර ශබ්දයට හරියටම සමාන නැහැ. ඉංග්‍රීසි R ශබ්දය සිංහල ර ශබ්දයට වඩා මෘදු ශබ්දයක්. ස්පාඤ්ඤ R ශබ්දය ඉංග්‍රීසි R ශබ්දයට වඩා සිංහල ර ශබ්දයට සමීපයි.

අප අපේ මුල් බස ඉගෙන ගන්නේ වැඩි ආයාසයක් දරමින් නෙවෙයි. එය උපතින් පසුව අප ලෝකය හඳුනාගැනීමට සමගාමීව සිදුවන දෙයක්. මෙය මම සහ ලෝකය නිර්මාණය කර ගැනීමේ කොටසක් කියා කියන්නත් පුළුවන්. නමුත්, දෙවන බසක් ඉගෙන ගැනීම සිදුවන්නේ වෙනස් පසුබිමකයි. එය අප ඒ වන විට හදාගෙන තිබෙන ලෝකය ඇතුළේ සිට කරන වැඩක්. බොහෝ විට  අප දෙවන බසක් ඉගෙන ගන්නේ ඒ වන විට ඉගෙනගෙන තිබෙන මුල් බසට සාපේක්ෂවයි. ඒ නිසා සිංහලයෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න මුල් කාලයේදී "මම ගෙදර යනවා" කියන එකේ පරිවර්තනය "අයි හෝම් ගෝ" කියා හිතෙන එකේ ලොකු අමුත්තක් නැහැ.

සිංහල භාෂාව මුල් බස වූ ගොඩක් අය ඉංග්‍රීසි ලියන්න ඉගෙන ගන්නෙත් ඔය විදිහටම තමයි. සිංහල නම් ගම් "හරියටම" ඉංග්‍රීසියෙන් ලියන්න පහසුවෙන් පුරුදු වුන අයෙක්ට ඉංග්‍රීසි වචන හරියටම ලියන එක ඒ තරම් පහසුවෙන් කරන්න බැහැ. ටේබල් යන්න ලිවිය යුත්තේ TEBAL ලෙස නොව TABLE ලෙස කියා දැන ගන්න බොහෝ විට අකුරු කටපාඩම් කරන්නම වෙනවා. නමුත්, ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක්ට මේ ප්‍රශ්නය නැහැ. හැමවිටම නොවූවත් ඔවුන්ට බොහෝ විට කණට ඇහෙන ශබ්දය අනුව ඉංග්‍රීසි වචනයක් හරියට ලියන්න පුළුවන්. නමුත්, ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙක්ට සිංහල නමක් හෝ ගමක් සිංහලයින් ලියන විදිහට හරියටම ලියන එක පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ඉංග්‍රීසි අකුරෙන් ලියා තිබෙන සිංහල නමක් හෝ ගමක නමක් කියවන එකත් එවැන්නෙකුට පහසු නැහැ.

මුල් බස ඉංග්‍රීසි වූ අයෙක් GAMAGE කියන එක ගැමේජ් කියා නොකියවා ගමගේ කියා කියවන්නනම් මේ නිවැරදි උච්ඡාරණය කලින් දැනගෙන ඉන්නම ඕනෑ. RASIKA කියන නම බොහෝ විට රැසිකා හෝ රැසයිකා කියා උච්ඡාරණය කරන්න ඉඩ තිබෙනවා. නමුත්, මෙතැන තියෙන්නේ අපි ඉංග්‍රීසියෙන් සිංහල නම් ගම් ලියන විදිහේ ප්‍රශ්නයක් මිසක් ඔවුන්ට කියවන්න බැරි වීමේ ප්‍රශ්නයක්ම නෙමෙයි. GAMAGE කියා නොලියා GUMMERGAY ලෙසත් RASIKA කියා නොලියා RUSICKER ලෙසත් ලිවුවොත් මුල්බස ඉංග්‍රීසි වූ අයෙක් මේ නම් වඩා නිවැරදිව උච්ඡාරණය කරන්න ඉඩ තියෙනවා.

මේ ලිපිය ලියන්න වස්තු බීජය වුණේ මේ දවස් වල නිතර කියැවෙන, තර්ජනී සිවලිංගම් ලෙස සිංහලෙන් ලියැවෙන නමයි. කොහොම වුනත් ලිපිය තවත් දික් නොකර සෙස්ස පස්සට ඉතිරි කරමු.

Friday, March 23, 2018

සිංහල අනන්‍යතාවය (පළමු කොටස)


ලංකාවේ ජීවත් වන මිලියන පහළොවකට අධික පිරිසක් සිංහල අනන්‍යතාවයක් ඇති අයයි. මේ වන විට ලොව පුරා විසිරී සිටින මිලියන තුනක් පමණ වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයන් අතර සිංහල අනන්‍යතාවයක් ඇති අය අඩු වශයෙන් තවත් මිලියනයක්වත් සිටිය යුතුය.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවකි. එහෙත්, එයින් අදහස් වන්නේ සිංහල අනන්‍යතාවය ඇති සියල්ලන්ටම සිංහල භාෂාව කතා කළ හැකි බව නොවේ. පසුගිය වරෙක ලංකාවට පැමිණි විටෙක රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා මිතුරෙකුගේ ඇරයුම් ලැබ දරුවන්ද සමඟ එහි යාමෙන් පසු මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. (මෙය මගේ මිතුරාගේ කැමැත්තයි. මා එහි වරදක් දකින්නේ නැත.) නිල ලේඛණ වල මේ දරුවන්ගේ අනන්‍යතාවය සටහන් වනු ඇත්තේ සිංහල වශයෙනි.

හොඳින් සිංහල කතා කළ හැකි සියල්ලෝම සිංහල අනන්‍යතාවයක් දරන්නෝද නොවෙති. විශේෂයෙන්ම පළමු හෝ දෙවන බසක් ලෙස සිංහල මැනැවින් වැහැරිය හැකි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළුන් හා මුස්ලිමුන් ලංකාවේ මෙන්ම ලංකාවෙන් පිටතද ඕනෑ තරම් සිටිති. එමෙන්ම, රුසියන් විදේශ ඇමති සර්ජේයි ලැව්රොව් වැනි සිංහල තබා ශ්‍රී ලාංකික සම්භවයක් හෝ නැති, එහෙත් සිංහල කතා කළ හැකි අයද සිටිති.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවක්ය යන්න ඉහත හේතු නිසා බැහැර නොවේ. මෙයින් වෙනස්ව ලොව පුරා විසිරී සිටි යුදෙව් ඩයස්පෝරිකයින් සහශ්‍ර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වා ගත්තේ ආගමික විශ්වාස හරහා මිස එකම භාෂාවක් කතා කිරීම මඟින් නොවේ. ප්‍රධාන වශයෙන්ම කතා කරන භාෂාව මත පදනම් වූ අනන්‍යතාවයකට එම බස වැහැරීමට ලොකු ඉඩක් නොලැබෙන බිමක වැඩි කල් පැවැතිය නොහැකිය. ඒ නිසා, සාමාන්‍යයෙන් ලංකාවෙන් බැහැර සිටින සංක්‍රමණික සිංහලයන්ගේ සිංහල අනන්‍යතාවය පරම්පරා දෙක තුනකින් ඔබ්බට සම්ප්‍රේෂනය වන්නේ නැත. සිංහල වැහැරිය නොහැකි බොහෝ සංක්‍රමණික සිංහලයින්ගේ දරුවන්ට තිබෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ නාමික සිංහල අනන්‍යතාවයක් පමණි.

ඉන්දු-ආර්ය භාෂාවක් සේ සැලකෙන සිංහල භාෂාවේ මූලය බුද්ධ කාලයේ සිට අශෝක කාලය පමණ දක්වා නැගෙනහිර ඉන්දියාවේ කතා කර ඇති ප්‍රාකෘත විශේෂයයි. මේ කාලය තුළ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ සිට වරින් වර ලංකාවට සංක්‍රමණය වූ නාවික කණ්ඩායම් (නාගයින්) විසින් ලංකාවේ වෙරළ තීරයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව දිගටම තමන්ගේ මුල් භාෂාවම කතා කරන්නට ඇත. මේ සංක්‍රමණික නාගයින් විසින් මුල් කාලයේදී ස්වදේශිකයින් සමඟ වැඩිපුර සංස්කෘතික සම්බන්ධතා පවත්වාගත් බවක් නොපෙනෙන නමුත් තමන්ගේ මුල් රට සමඟ වූ සංස්කෘතික සම්බන්ධතා දිගටම පවත්වාගෙන තිබේ.

මහා වංශයෙහි සියවස් විසිපහක ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියැවී නැත. එසේ සිදු වී ඇත්තේ අවසන් සියවස් පහළොවක පමණ කාලය තුළදී පමණි. මුල් සියවස් දහය හා අදාළව ලියැවී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ හතරවන හෝ පස්වන සියවසෙහිදී මහා වංශ කතු වරයාට පරිශීලනය කළ හැකි වූ ලිඛිත හෝ අලිඛිත මූලාශ්‍ර වල වූ කරුණු ඔහු විසින් අර්ථකථනය කරගත් ගත් ආකාරය පමණි. ඒ නිසා, මහා වංශයෙහි ලියැවී ඇති දේ කියවා අපට නිගමනය කළ හැක්කේ එය ලියැවෙන කාලය වන විට ලංකාවේ සිංහල අනන්‍යතාවයක් වූ බව පමණි. (ඊට පෙර එවැන්නක් නොවූ බව එයින් අදහස් වන්නේ නැත.)

මහා වංශය ලියා ඇත්තේ සියවස් පහළොවකට පමණ පෙර වුවත් එයට පාදක කරගත් ඉතිහාස තොරතුරු තවත් සියවස් අටක පමණ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී තිබේ. එසේ කර ඇත්තේද එම ඉතිහාසය තත්කාලීනව සියැසින් දුටු අයයි. එහෙත් මේ වාර්තාකරුවන් විසින් මහින්දාගමනයට පෙර ලංකාවේ ඉතිහාසය එසේ සියැසින් දැක නැත. ඒ ඔවුන් නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ අශෝක කාලයේදී බැවිනි. බුද්ධ කාලයේ සිට අශෝක කාලය දක්වා මහා වංශ තොරතුරු වල වාර්තා කරුවන් විසින් ඇසින් දුටු මගධයේ ඉතිහාසය ලියැවී ඇතත් ලංකාව හා අදාළව ඇත්තේ ඇසින් නොදුටු, වෙනත් අයගෙන් අසා දැනගෙන වාර්තා කළ දෑය. මේ 'වෙනත් අය' යනු ලංකාවට සියවස් කිහිපයකට පෙර සංක්‍රමණය වූ නාගයින් නිසා මහා වංශයේ මුල් සියවස් තුනෙහි විස්තර කෙරෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ තැන් සිට නාගයින්ගේ ඉතිහාසයයි. වඩා පැරණි යක්ෂ ඉතිහාසය පිළිබඳ තොරතුරු එහි නැත.

සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් මගධයේ බෞද්ධ ශාසනයේ හා රාජ්‍යයේ ඉතිහාසයද රැගෙන දෙවනපෑතිස් සමයේ ලංකාවට පැමිණෙන බෞද්ධ භික්ෂූන්ට තමන් දන්නා මගධ ඉතිහාසය සමඟ තමන් නොදන්නා ලංකාවේ ඉතිහාසය පාහන්නට සිදු වේ. ඔවුන් මේ කාර්යය පටන් ගන්නේ ඔවුන්ට වඩාත්ම වැදගත් ලාංකිකයා වන දෙවනපෑතිස්ගෙන් පටන් ගෙන ආපස්සට යාමෙනි. දෙවනපෑතිස් යනු පණ්ඩුකාභයගේ මුණුපුරාය. පණ්ඩුකාභය පණ්ඩුවාසදේවගේ මුණුපුරාය. පණ්ඩුවාසදේව යනු උපතිස්ස නුවර රාජ්‍යය භාර ගැනීම සඳහා නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන රජෙක් මිස ලංකාවේ උපන් අයෙක් නොවේ.

පණ්ඩුවාසදේවට ලංකාවට සංක්‍රමණය වීම සඳහා පෙරමඟ තනන්නේ ඔහුට පෙර ලංකාවට සංක්‍රමණය වූ ඔහුගේ පියාගේ වැඩිමල් සොහොයුරා වූ විජය විසිනි. විජය යනු ලංකාවට සංක්‍රමණය වූ දේවානම්තිස්සගේ පරම්පරාවේ පළමුවැන්නාය. සැබෑ ඓතිහාසික චරිතයක්දැයි විමසන්නට අප නොවෙහෙසෙන විජයගෙන් පටන් ගන්නේ ලංකාව තුළ දේවානම්තිස්සගේ පරම්පරාවේ ඉතිහාසයයි. මේ ඉතිහාස කතාවේ මුල්ම කොටස ඉතිහාසයේ හරියටම සිදුවූ දෙය නොවන්නට පුළුවන.

විජයගේ තම්බපන්නි රාජ්‍යය මෙන්ම පඬුවස්දෙව්ගේ උපතිස්සනුවර රාජ්‍යයද එවක ලංකාවේ තිබුණු එවැනි සංක්‍රමණිකයන්ගේ කොළණි ගණනාවකින් දෙකක් පමණක් මිස පුළුල් භූගෝලීය ආවරණයක් තිබුණු ප්‍රබල රාජ්‍ය ලෙස සැලකිය නොහැකිය. මෙවැනි කොළණි ගණනාවක් අතරින් තම්බපන්නිය සුවිශේෂී වීමට එකම හේතුව වන්නේ පසුකාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කරගත් ප්‍රබල රාජ්‍යයක් බිහිකළ පරම්පරාවන් පැවතෙන්නේ මුලින්ම තම්බපන්නියෙහි ජනපදයක් බිහිකරගත් සංක්‍රමනික කණ්ඩායමකින් වීම නිසා පමණි.

පඬුවස්දෙව්ට පරිබ්‍රාජක වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත්, ඔහුගේ මෙහෙසිය වන්නට පසුව ආනයනය කෙරෙන භද්‍රකත්‍යානා කුමරිය ඇතුළු පිරිසට පැවිදි වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත් තමන්ගේ ආරාධිත "රාජ්‍යතාන්ත්‍රිකයනට" නැව්තොටෙහි සිට රට මැද පිහිටි උපතිස්සනුවරට පැමිණෙන තුරු ආරක්ෂාව හා පහසුකම් සපයන්නට තරම් ශක්තියක් මේ සංක්‍රමණික ජානපදිකයින්ට තිබී නැති බැවිනි. එමෙන්ම, පැවිදි වෙස් ගත්තෙකුට ආරක්ෂාව හා පහසුකම් ලැබෙන සංස්කෘතික වටපිටාවක් එවකටද ලංකාවේ තිබී ඇති බැවිනි.

නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ජනපදයක් පිහිටුවාගත් දෙවනපෑතිස් පරම්පරාවේ පළමුවැන්නා විජය විය හැකි වුවත් ඔහු අයත් වන්නේ එසේ පැමිණ ජනපද පිහිටුවාගත් පළමු කණ්ඩායමට නොවේ. ඊට පෙරද රටේ වෙරළ තීරයේ තැනින් තැන මෙවැනි ජනපද ගණනාවක් පිහිටුවා තිබී ඇති බවට වංශ කතා වල ඇති සීමිත තොරතුරු වුවද සාක්ෂි දරයි. බුදුන්ගේ ලංකා ගමන් හා සම්බන්ධ කෙරෙමින් විස්තර වන නාගයින්ගේ රාජ්‍ය යනු මුලින්ම වෙළඳාම් පිණිස පැමිණ පසුව ලංකාවේ ස්ථිර ජනාවාස හදාගත් සංක්‍රමණිකයින්ගේ කොළණි විය යුතුය. ලංකාවේ මෙසේ ස්ථිර ජනාවාස හදාගෙන සිටි විවිධ නාග කණ්ඩායම් මුල් කාලයේදී ඔවුනොවුන් අතර හා ඉන්දියාවේ වෙරළ තීරය දිගේ ජීවත් වූ මෙවැනිම නාග කණ්ඩායම් සමඟ ඉහළ මට්ටමකින් සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා පවත්වා ඇතත් රට ඇතුළේ සිටි යක්ෂයින් සමඟ වැඩි පයුරුපාසනමක් තිබී ඇති බවක් නොපෙනේ.

(මතු සම්බන්ධයි)

Wednesday, February 24, 2016

එක්ටාද? ඒක්තාද?


ලොව පුරා වසන මිලියන දහසයකගේ මවු බස සිංහලයි. මේ මිලියන දහසයෙන් මිලියන දෙකක් පමණම මේ වන විට වෙසෙන්නේ ලංකාවෙන් පිටතය. මෙයට අමතරව මවුබස සිංහල නොවන තවත් මිලියන තුනක් පමණද සිංහල කතා කරති.

සිංහල සැලකෙන්නේ ඉන්දු ආර්ය භාෂාවක් ලෙසිනි. භාෂාවේ ඇති ඉන්දු ආර්ය මූලයන් හඳුනා ගැනීම අපහසු නොවුවද සිංහල භාෂාව අනෙතුත් උතුරු ඉන්දීය ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් දුරස්ථව හා දකුණු ඉන්දීය ද්‍රාවිඩියන් භාෂා සමඟ මුසු වෙමින් සහශ්‍ර දෙකහමාරක පමණ කාලයක් වෙනම පරිණාමය වීම නිසා අද වන විට සිංහල මවු බස වූ අයෙකුට උතුරු ඉන්දීය භාෂාවක් මුල සිටම අමුතුවෙන් අධ්‍යනය නොකර තේරුම් ගත නොහැකිය. එහෙත්, හින්දි, මරාති, බෙංගාලි වැනි උතුරු ඉන්දීය බසක් මවු බස වූ අයෙකුට අමුතු ඉගෙනීමක් නැතිව වෙනත් උතුරු ඉන්දීය බසක් යම් තරමකට තේරුම් ගැනීමට පුළුවන. මේ අයුරින්ම දෙමළ මවුබස වූ අයෙකුට මලයාලම් වැනි වෙනත් දකුණු ඉන්දීය බසක් තේරුම් ගැනීමද විශාල ලෙස අපහසු කාර්යයක් නොවේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂා 22ක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා ලෙස හඳුනාගෙන තිබේ. මේ අතරින් 15ක් ඉන්දු-ආර්ය භාෂාවන් වන අතර 5ක් ද්රාවිඩියන් භාෂාවන්ය. මේ බොහෝ භාෂාවන් සිය මුල් බස ලෙස වහරන ජනකොටස් ඉන්දියාවේ කිසියම් ප්‍රදේශයක කේන්ද්‍රගතව සිටිති. භූගෝලීය වශයෙන් ලංකාවට කිට්ටුවෙන්ම සිටින ඉන්දු-ආර්ය භාෂාවක් මුල් බස වූ ජනකොටස මරාතීන්ය. මුල්බස ලෙස කතාකරන ජනගහණය අනුව ඉන්දියාවේ සිවුවන විශාලතම භාෂාව සහ ලෝකයේ 19වන විශාලතම භාෂාව වන මරාති බස වහරන්නෝ මිලියන 72ක් ඉන්දියාවේ සිටිති. ඔවුන් බොහොමයක්ම වෙසෙන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේය. තවත් මිලියනයක් පමණ ඉන්දියාවෙන් පිටත වෙසෙති.

හින්දි හා නේපාලි භාෂා මෙන්ම මරාති බසද ලියන්නේ සංස්කෘත ලිවීමේදී භාවිතා කරන දේවනාගරී හෝඩිය භාවිතා කිරීමෙනි. වෙනත් ඇතැම් උතුරු ඉන්දීය භාෂා ලියන අක්ෂර මාලාවන් දේවනාගරී අක්ෂර වලින් යම් තරමකට විකාශනය වූ ඒවාය. පහතින් ඇත්තේ මරාති වාක්‍යයකි.

तू एकटा आहेस का?

තූ එක්ටා ආහෙස් කා?

මෙහි අර්ථය "ඔබ තනියම ඇයි?" යන්නයි. මෙහි එක්ටා (एकटा) යන වචනයේ තේරුම තනිව, හුදෙකලාව, අතහැර දමනු ලැබ වැන්නකි.

ලංකාවේ සිට දකුණු ඉන්දියානු භාෂා කලාප හා මරාති භාෂා කලාප පසුකර උතුරට ගිය විට හින්දි භාෂා කලාපය හමුවේ. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව වන හින්දි බස මවුබස වූ මිලියන 422ක් (2001 සංගණන දත්ත අනුව හින්දි වලට බොහෝ ආසන්න වෙනත් භාෂා රැසක්ද ඇතුළත්ව) ඉන්දියාවේ වෙසෙති. හින්දි ලෝකයේ භාෂා අතරින් මවුබස ලෙස වහරන ජනගහණය අනුව සිවු වැනි තැන සිටී.

පහතින් ඇත්තේ හින්දි වාක්‍යයකි.

एकता में बल है

ඒක්තා මේන් බල් හේ

මෙහි අර්ථය "සමඟිය බලය වේ" යන්නයි. මෙහි ඒක්තා (एकता) යන වචනයේ අරුත සමඟිය, ඒකීයත්වය, එකතු වීම වැන්නකි.

යුරෝපීය බසක් මුල්බස වූ අයෙකුට ඉතාම සමාන ලෙස ඇසෙන එක්ටා හා ඒක්තා යන වචන වල ඇත්තේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තේරුම් දෙකකි. එක්ටා යනු තනිව යන ගමනකි. ඒක්තා යනු එකතුව යන ගමනකි.

යම් කරුණක් හා අදාළව තනිව යනවාද, එක්ව යනවාද, එක්ව යනවානම් ඒ කා සමඟද ආදී කරුණු පුද්ගල තේරීම්ය.




(Image: https://en.wikipedia.org/wiki/Languages_of_India#/media/File:Indoarische_Sprachen_Gruppen.png)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...