වෙබ් ලිපිනය:

Showing posts with label මංගල සමරවීර. Show all posts
Showing posts with label මංගල සමරවීර. Show all posts

Tuesday, August 24, 2021

ජීවිතයක වටිනාකම අසීමිතද?


මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ. 

ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි. 

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!

හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.

කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.

මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.

"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."

මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර  එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.

මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ  වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?

සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි. 

ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි. 

තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්. 

පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.

සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.

දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.

රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.

මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.

කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,

මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි. 

Sunday, August 25, 2019

දත්ත මත පදනම් වූ ආර්ථික ගමනක්!

"සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත මත අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න ඕනෑ. විශේෂයෙන්ම දත්ත මත පදනම් වූ, දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්, සමාජීය ගමනක්, ජාතික ගමනක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ."


මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට තවමත් නිල වශයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වී නැහැ. එය ඔහුට හිමි වේදැයි අප දන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබුණත්, එතැනින් එහාට කොයි තරම් දුරක් ඔහුට යන්න හැකි වේදැයි අපි දන්නේ නැහැ. කොහොම වුනත්, අවස්ථාවක් ලැබුනොත් ඔහු යන්න හිතාගෙන ඉන්න ගමන ගැනයි මෙහි ඔහු කියන්නේ. ඔහු

මෙහි කියන සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත මොනවාද කියා ඔහු කියන්නේ නැහැ. එහෙත් මෙහි සත්‍ය කියන විශේෂණය යෙදීමෙන් ඔහු පෙන්වන්න හදන්නේ බොරු තොරතුරු හා බොරු දත්ත මත ඔහුගේ ඉදිරි ගමන ක්‍රියාත්මක නොකරන බව වෙන්න පුළුවන්. එහෙත්, බොරු තොරතුරු හා බොරු දත්ත වලින් සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත වෙන් කර ගන්නා ආකාරය ගැන ඔහු කිසිවක් කියා නැහැ.

සජිත් විසින් මේ කතාව කළ රැළිය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර විසිනුයි. මංගල සමරවීර දැනටත් ලංකාවේ මුදල් ඇමති. ලංකාවේ රජයේ අයවැය හදන්නේ කවුරු වුනත්, එය පාර්ලිමේන්තුවේ කියවන්නේ මුදල් ඇමති විසින්. ඒ නිසා, සජිත්ගේ රැළියේදී මුදල් ඇමති මංගල විසින් ඉදිරිපත් කළ තොරතුරු හා දත්ත වලට අපේ අවධානය යොමු විය යුතුයි.

හැත්තෑ හත දක්වාම ලංකාවේ ආණ්ඩු මාරු වලට නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, අසූ දෙකේදී  හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.

රණසිංහ ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ නැති බැරි අය ඇති හැකි අය කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක්. අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට  භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.

සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුවත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.



මාතර රැළියේදී මංගල සමරවීර විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක හා ඉන්ධන වල මිල වෙනස් වූ ආකාරය දත්ත ඉදිරිපත් කරමින් පෙන්නා දෙනවා. දත්ත වල මූලාශ්‍රය පිළිබඳවනම් සඳහනක් නැහැ. ඔහු පෙන්වන ආකාරයට මේ හැම භාණ්ඩයකම වාගේ මිල ගණන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ අඩු වී තිබෙනවා. සීනි වල පමණක් එදා මිල ගැන මිස අද මිල ගැන ඔහු කතා කරන්නේ නැහැ. සමහර විට ඔහු සතු දත්ත අනුව සීනි මිල වැඩි වී තිබෙන නිසා ඔහු එය හිතාමතා මගහැරියා වෙන්න පුළුවන්.


මංගලගේ ලැයිස්තුවේ තිබෙන ආහාර ද්‍රව්‍ය සියල්ලේම වාගේ සාමාන්‍ය මිල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. ඔවුන් සාමාන්‍යයෙන් එක කඩයකින් මිල ගණන් ලබා ගන්නේ නැහැ. දිවයින පුරා පිහිටි වෙළඳසැල් ගණනාවකින් මිල ගණන් ලබාගෙන සාමාන්‍ය අගයකුයි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම, සෑම සතියකම එකම තත්ත්වයේ භාණ්ඩ වල මිල ගණන් ලබා ගැනීමටත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මේ සතියේ ලොකු පොල් ගෙඩියක මිලත්, ලබන සතියේ ඊට වඩා පොඩි පොල් ගෙඩියක මිලත් ගන්නේ නැහැ. ඒ නිසා,  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත වඩා නිවැරදියි. ඉන්ධන වර්ග වල මිල ගණන් තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. පහත තිබෙන්නේ මංගලගේ ලැයිස්තුවේ තිබෙන පාරිභෝගික භාණ්ඩ වල (ගෑස් වල හැර) 2015 ජනවාරි පළමු සතියේදී හා 2019 අගෝස්තු දෙවන සතියේදී මිල ගණන් පිළිබඳ නිල සංඛ්‍යාලේඛනයි.

මංගලගේ තොරතුරු නිල සංඛ්‍යාලේඛන තරමටම "සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත" බව පෙනෙන්නේ නැතත්, පොදු වශයෙන් බැලූ විට මේ ලැයිස්තුවේ තිබෙන බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල පසුගිය කාලය තුළ අඩු වී තිබෙන බව හෝ ලොකුවට වැඩි වී නැති බව පෙනෙනවා. එසේ වුවත්, මෙවැනි තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය බව කියන්න බැහැ. කිසියම් නිශ්චිත භාණ්ඩයක මිලට සැපයුම් සාධක වලින් විශාල බලපෑමක් සිදුවිය හැකියි. උදාහරණයක් විදිහට වී අස්වනු හොඳ වන විට හාල් මිල අඩු වෙන්නේ ආණ්ඩුව විසින් කරන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා, රටේ භාණ්ඩ මිල විචලනය වීම ගැන පොදුවේ බලන විට භාණ්ඩ හා සේවා රැසක් අඩංගු පැසක මිල වෙනස් වූ ආකාරය විමසා බලන්න වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එය කරනවා.

පහත තිබෙන්නේ පවුලක සාමාන්‍ය වියදම් මත පදනම්ව, ජාතික පාරිභෝගික මිල දර්ශනය පිළියෙළ කිරීමේදී උපයෝගී කරගන්නා දත්ත අනුසාරයෙන් කළ එවැනි සංසන්දනයක්.


යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ. මංගල විසින් තෝරා ගෙන තිබෙන ආහාර හා ඉන්ධන කියන්නේ අඩුවෙන්ම මිල වැඩි වී ඇති කාණ්ඩ තුනෙන් දෙකක්. එහෙත්, එම කාණ්ඩ වලත් මිල පොදු වශයෙන් ගත් විට වැඩි වී තිබෙනවා. ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ එම කාණ්ඩ වලට අයත් මිල අඩු වී ඇති අයිතමයන් කිහිපයකුයි.

කොහොම වුනත්, රටක භාණ්ඩ හා සේවා සියල්ලකම මිල දිගින් දිගටම අඩු වෙනවානම් එය හොඳ තත්ත්වයක් නොවන බව සජිත්ගේ රැළියට සහභාගී වී සිටින මිනිස්සු හා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් උපාධිධාරියෙකු වන සජිත් කෙසේ වුවත් වේදිකාවේ සිටින හර්ෂ වැනි අය දැන නොසිටින්න හේතුවක් නැහැ. හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය  මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.

ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි. නමුත්, ලංකාවේ රජය  දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ.

රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමුත්, මංගල සමරවීර කියන ආකාරයටනම් පසුගිය කාලයේදී අලුතින් රැකීරක්ෂා ලක්ෂයකට වඩා ඇති වී තිබෙනවා.


මංගල සමරවීර මෙසේ කිවුවත් රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමයි. එහෙත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් ඉහළ ගොස් ඇති බවද කිව යුතුයි. රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරනවා මිස අප එහි වරදක් නොදකින බවද කිව යුතුයි.

Thursday, May 25, 2017

රවී මේසයෙන් මාරුවීම, මංගලගේ මාරුව හා ලංකාවේ අනාගතය


සිංහල අවුරුද්ද දවසේ රවි ග්‍රහයා හෙවත් ඉර මීන රාශියෙන් මේෂ රාශියට මාරු වේ. ආසන්න වශයෙන් තවත් දින 30කට පසු රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වේ. මේ අනුව, පසුගිය මැයි 14 වෙනිදා රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වූ අතර සූර්ය වර්ෂ ක්‍රමය අනුව නව වසරේ දෙවන මාසය වන වෘෂභරවි මාසය ආරම්භ වුණේය. චන්ද්‍ර මාස ක්‍රමය අනුව තවමත් ගෙවෙන්නේ වෙසක් මාසයයි. 


සිංහල අවුරුදු දවසේ රවි මේෂයට පැමිණෙන්නට පැය ගණනකට පෙර මේෂයේ සිටි මංගල හෙවත් අඟහරු ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු විය. රවි මංගල සිටි තැනට පැමිණීම නිසා මේ දවස්වල රවි හා මංගල දෙදෙනාම වෘෂභ රාශියේ සිටියත් තව දින තුනකින් මංගල වෘෂභ රාශියෙන් පිටවී මිථුන රාශියට යාමට නියමිතය.


රවි මේෂයෙන් මංගල සිටි වෘෂභ රාශියට මාරු වී සතියක් යද්දී රවී කරුණානායකගේ මේසයද මාරු විය. ඔහු සිටි මුදල් ඇමති මේසයට මංගල සමරවීර පැමිණෙද්දී, රවීට මංගල සිටි විදේශ ඇමති මේසයට යන්නට සිදුවිය. ඇමති මේස මාරුවට හේතුව කවරක් වුවත් එය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අතර බලතුලනය පිළිබඳ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.

රවී කරුණානායකට මුදල් ඇමති ලෙස කටයුතු කරන්නට සිදුවුණේ දෙවසරකට මඳක් වැඩි කාලයක් පමණි. ඒ කාලය අතරතුර ඔහුට රජයේ අයවැය දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේය. මේ කාලය අතරතුර 'දී බෑන්කර්' සඟරාව විසින් රවී කරුණානායකව 2016 වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමති ලෙසද නම් කර තිබුණේය.

අඩුපාඩු තිබුණත්, ඉකොනොමැට්ටාගේ අදහස වනුයේ රවී කරුණානායක විසින් පසුගිය දෙවසර තුළ මුදල් ඇමති ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සමස්තයක් ලෙස සෑහීමකට පත් විය හැකි බවයි.

දේශපාලනයට පැමිණීමට පෙර රවී කරුණානායක වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේය. ආණ්ඩු මාරුවට පෙර හිටපු මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ද වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

ගණකාධිකාරීවරයෙකු හා අර්ථශාස්ත්‍රඥයෙකු සිතන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ. එය අදාළ වෘත්තීයවේදීන් විසින් ලබා ඇති අධ්‍යාපනයට හා පුහුණුවට සම්බන්ධය. ආර්ථික විද්‍යාවට සාපේක්ෂව ගිණුම්කරණය යනු තාක්ෂනික විෂයයකි. එහි විෂය පථය මූලික වශයෙන්ම ඉලක්කම් හරඹයකි.

ගණකාධිකාරීවරයෙකුට "සංඛ්‍යාලේඛණ විජ්ජා" කිරීමට හැකිවීම කුසලතාවයක් මිස වැරැද්දක් නොවේ. ගණකාධිකාරීවරයෙකුගේ අරමුණු බොහෝ විට කෙටිකාලීනය. එහෙත්, අර්ථශාස්ත්‍රඥයෙකුගේ කාර්ය භාරය එයින් වෙනස්, දිගුකාලීන වෙනස්කම් අරමුණු කරගත් එකකි.

අර්ථශාස්ත්‍රඥයෙකු ගන්නා බොහෝ තීරණ වල ප්‍රතිඵල ක්ෂණිකව දකින්නට නොලැබෙන අතර, දිගුකාලීනව හොඳ ප්‍රතිඵල ලබාදෙන තීරණ ගැනීම සඳහා අර්ථශාස්ත්‍රඥයෙකුට තමන් ඉගෙනගෙන ඇති න්‍යාය පිළිබඳව විශ්වාසය තබන්නට සිදුවේ. මේ විශ්වාසය ගොඩනැඟෙන්නේ පළපුරුද්ද සමඟය. මෙය වෛද්‍යවරයෙකු වැනි වෙනත් වෘත්තිකයෙකු තුළ පළපුරුද්ද සමඟ ගොඩනැගෙන විශ්වාසයට සමානය.

සාමාන්‍යයෙන් අර්ථශාස්ත්‍රඥයෙකු විසින් දරන මහ බැංකු අධිපති ධුරයට ගණකාධිකාරීවරයෙකු වූ අජිත් නිවාර්ඩ් කබ්රාල්ව පත් කිරීමෙන් පසුව ලංකාවේ ආර්ථික ප්‍රවණතා නිරීක්ෂණය කළ විට මේ වෙනස පැහැදිලිව පෙනේ. ඔහු තමන් ධුරය දැරූ කාලය තුළ රටේ ආර්ථිකය හා අදාළ කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක ගණනාවක් නියම කර ඒවා ලඟා කරගත්තේය. එහෙත්, එසේ හඹා ගිය කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක බොහොමයක් ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන ශුභ සිද්ධිය පිණිස හේතු වී නැත. මහ බැංකු අධිපති ධුරය වැනි තනතුරකට පත් විය යුත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් මෙන්ම දිගුකාලීන පළපුරුද්දක්ද ඇති පරිණත පුද්ගලයෙක් මිස "පොල්කට්ටෙන් පිට හිතන" හෝ "රැඩිකල් තීරණ ගන්නා" පුද්ගලයෙකු නොවේ.

එහෙත්, මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් මහ බැංකු අධිපති ධුරයේ වගකීම් වලට සමාන නැත. මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය කෙටිකාලීන හෝ වැඩිම වුනොත් මැදිකාලීන එකකි. මුදල් ඇමති වරයා විසින් බොහෝවිට කළ යුත්තේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ වාර්ෂික සැලසුමක් හදා එය ක්‍රියාත්මක කිරීමයි. මෙය සෑහෙන දුරකට තාක්ෂණික කටයුත්තකි. අරමුදල් කළමනාකරණය හා ගිණුම්කරණය යනු වෙනස් විෂයයන් දෙකක් වුවත් ආර්ථික විද්‍යාවේ විෂය පථය හා සැසඳූ විට මේ විෂය දෙකේ විෂය පථයන් තරමක් දුරට සමපාත වේ. මුදල් අමාත්‍ය ධුරය සඳහා කළමනාකරණ ගිණුම්කරණයෙහි ප්‍රවීණතාවයක් ඇති අයෙකු පත් කිරීම එතරම් නරක තීරණයක් නොවේ.

රවී කරුණානායක විසින් භාරගත්තේ විශාල ලෙස අර්බුදයට ලක්ව තිබුණු, කොයි වෙලාවේ හෝ කඩා වැටෙන්නට ඉඩතිබුණු ආර්ථිකයක්ය යන්න බොරුවක් නොවේ. මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ. එයට හේතුව පසුගිය දෙවසර තුළ සිදුවී ඇති රජයේ මූල්‍ය කළමනාකරණයේ සාපේක්ෂව යහපත් වර්ධනයන්ය.

මේ කටයුත්තේදී රවී කරුණානායකගේ පෞද්ගලික මැදිහත්වීම කෙතරම් වීදැයි මා දන්නේ නැත. පසුගිය ආණ්ඩුව කාලයේනම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වලට අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාත් ලොකු මැදිහත් වීමක් කළේ නැත. ඒ නිසා, ඒ කාලයේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් වීනම් එහි ගෞරවයද, වැරැද්දක් වීනම් එහි වගකීමද බොහෝ දුරට හිමිවිය යුත්තේ ඒ කාලයේ මුදල් අමාත්‍යාංශය පාලනය කළ ඉහළ මට්ටමේ නිලධාරීන්ට මිස දේශපාලන අධිකාරියට නොවේ. පසුගිය දෙවසර තුළ මේ තත්ත්වය කෙසේ වෙනස් වීදැයි මා දන්නේ නැත.

රවී කරුණානායක විසින් පළමු අයවැය පිළියෙළ කරන අවස්ථාවේදී රටේ ආර්ථිකයට පසුගිය කාලයේ ආර්ථිකය හා අදාළව ගත් තීරණ වල පීඩනය දැනෙමින් තිබුණු අතර, ඒ මතට මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලබාදුන් මැතිවරණ පොරොන්දු වල බරද එකතු විය. ඒ වෙලාවේ විශාල වෙනස්කම් කිරීමට අවකාශයක් නොතිබුණේය. ඉකොනොමැට්ටා විසින් ඒ කාලයේ පෙන්වාදුන් පරිදි මේ පළමු අයවැයට රවී කරුණානායකගේ සංඛ්‍යාලේඛණ විජ්ජාවන්ද එකතු වී තිබුණේය. එහෙත්, දෙවන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු ඒ වරද නිවැරදි කර තිබුණේය.

පසුගිය දශක දෙක තුන තුළම ලංකාවේ රාජ්‍ය අයවැය යෝජනා බොහොමයක් වසර තුළදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණේ නැත. බොහෝ වසර වල සිදුවූ සාමාන්‍ය දෙය වූයේ අපේක්ෂිත ආදායම් එකතු නොවීම හා වියදම් වැඩිවීමයි. ඒ නිසා, අයවැය හිඟය බොහෝ විට වසර මුලදී ඇස්තමේන්තු කරනවාට වඩා ඉහළ ගියේය. එමෙන්ම, පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අයවැයට පිටින් වියදම් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණේය.

ඉහත තත්ත්වය දැනටත් සම්පූර්ණයෙන් වෙනස් වී නැතත් මේ වන විට සෑහෙන තරමකින් පාලනය වී තිබේ. පසුගිය දෙවසර තුළ රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා බොහොමයක් පසුව අකුලා ගන්නට සිදුවුවත් එසේ සිදුවුණේ රටතුළ පීඩක කණ්ඩායම් තුළින් මතු වූ විරෝධය හේතුවෙන් මිස ආණ්ඩුවේ වරදකින් නොවේ. එමෙන්ම, ආදායම් වැඩි කරගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා 'බැක්ෆයර්' විය. එහෙත්, වසර ගණනාවකට පසු සමස්තයක් ලෙස ආදායම් එකතු කර ගැනීමේ අංශයේ ප්‍රගතියක් පෙන්වීමට රජය සමත් විය.

රජයේ වැය ශීර්ෂයන් තුළද මූල්‍ය විනය වර්ධනය වීම පැහැදිලිව පෙනෙන්නට තිබේ. රජයේ පුනරාවර්තන වියදම් අඩුවී නැතත්, එහි වරද මුදල් ඇමතිවරයා පිට පැටවිය නොහැකිය. රටේ දේශපාලන ව්‍යුහය මෙන්ම බලතුලනයද සකස් වී ඇති ආකාරය අනුව ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා පොදු මුදල් නාස්ති කරමින්, තනතුරු මවමින් තවදුරටත් අකාර්යක්ෂමතාවයන් වැඩි කරන්නට සිදු වී තිබේ. රටේ ඉල්ලුම තිබෙන්නේද රාජ්‍යය පුළුල් කිරීමට මිස සීමා කිරීමට නොවේ. මේ තත්ත්වය හමුවේ පුනරාවර්තන  වියදම් අඩුවී නැත. එහෙත්, යම් තරමකින් හෝ ඵලදායී ප්‍රාග්ධන වියදම් තවදුරටත් කපා හැරීම මඟින් කෙසේ හෝ  අයවැය තුලනය කර ගැනීමට පසුගිය දෙවසර තුළ මුදල් ඇමති වරයා සමත්ව සිටී.

දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ.

කවර ආකාරයෙන් බැලුවත් මංගල සමරවීර විසින් භාරගෙන තිබෙන්නේ විශාල අභියෝගයකි.


(Image: http://mirrorcitizen.dailymirror.lk/2017/05/22/cabinet-reshuffle-mangala-ravi-to-swap-portfolios/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...