Showing posts with label ස්වභාවික ව්‍යසන. Show all posts
Showing posts with label ස්වභාවික ව්‍යසන. Show all posts
Thursday, October 25, 2018
සැමන් මාළු, වලස්සු හා කණාමැදිරියෝ...
අභිජනනය පිණිස සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු ගැන කලින් ලිපියක ලිවුවනේ. එහි මා සඳහන් කළ පරිදි, මේ ගැන ලියන්න මාව උනන්දු කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් එවුවේ කැනඩාවේ ජීවත් වන පාඨකයෙක්. මම හිතන විදිහට මේ වගේ ගඟ ඉහළට පීනන සැමන් මාළු දැකලා ඔහුට ඇති වුනු සංවේදී හැඟීම එයට හේතු වෙන්න ඇති. පහළින් තිබෙන්නේ ඒ ගැන විස්තර කරමින් ඔහු වසරකට පමණ පෙර එවපු විද්‍යුත් ලිපියෙන් කොටසක්.
"වෙහෙසකර ගමනක නිරතවන මෙම සතුන් දුටු, අප සියලු දෙනා තුළම ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් පාලු ගුප්ත භාවයකින් යුත් ඉතාමත්ම තද කණගාටුදායක කනස්සල්ලක් වන් තත්ත්වයකි. පිහිනන බොහොමයක් මාළුවන් තුළ දකින්න ලැබුනේ ඉතා දුර්වල වෙහෙසකර භාවයක්. සමහර සැමන් මාළු අඩි කිහිපයක් පිහිනා ගොස් පැත්ත පෙරැළී ටික වෙලාවක් හුස්ම ඇද ඇද සිටී..... තවත් තැනක ගල් මත පතිත වී සහ ගල් අතර සිරවී මියගොස් සිටින මසුන්..... හරිම හිත් කම්පා කරවන දර්ශනයක්. තවත් තැනක (අවසර දී ඇති ස්ථාන වල) බිලී පිති අමෝරාගෙන අහිංසක ගැබ්බර මාළුන් ඩැහැගන්න බලා සිටින පුද්ගලයෝ.....මේ අතර දකින්න ලැබුණ කුඩා ළමුන් සමග බිලි බෑමේ නිරතවන පවුල්..... අනේ සංසාරේ කියලා හිතෙනවා... :( ඊටත් වඩා..... දුක තවත් තීව්‍ර වන්නේ අනේ මේ මාළු යන්නේ තමාගේ අවසන් ගමන නේද කියලා හිතෙනකොට දැනෙන විස්තර කරන්න අමාරු කණගාටුව......"
මම හිතන්නේ මේ හැඟීම විස්තර කළ හැකි වචනය සහකම්පනය. අපේ පාඨක හිතවතා මේ අවස්ථාවේදී හදවතින් සැමන් මාළු එක්ක එක් වෙලා සැමන් මාළුන්ගේ වෙහෙසට, දුකට, කණගාටුවට සම්මාදම් වෙනවා. හැබැයි ඉතිං සැමන් මාළුවාට දැනෙන හැඟීම මේ දිහා බලා සිටින අපේ පාඨකයාට දැනෙන හැඟීමම කියා කියන්න බැහැ. ඇත්තටම ඔහු සම්මාදම් වෙන්නේ තමන්ගේම හිතේ ඉන්න සැමන් මාළු අහිනකගේ දුකටයි.
දැන් මේ විස්තරයේ තියෙන විදිහටම අමාරුවෙන් උඩු ගං පීනන මාළුන්ව වලසුන්ගේ වගේම මිනිස්සුන්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. ඒ වුනත්, සැමන් මාළු ගැන පමණක්ම නොහිතා පරිසර පද්ධතියක් සේ හිතුවොත් මෙහි ඇති "වැරැද්දක්" නැහැ. සැමන් මාළුන්ව ගඟ අයිනේ ජීවත්වන, ආහාර දාමයේ සැමන්ලාට වඩා උඩින් ඉන්න, වලස්සු වගේ සතුන්ට ගොදුරු වෙන එක ඒ සතුන්ගේ පැවැත්මට වගේම සැමන් මසුන්ගේ පැවැත්මටත් වැදගත් කරුණක්.
මේ විදිහට වලසුන්ට හා මිනිස්සුන්ට ගොදුරු වෙන්නේ සැමන් අහිනේ ඉන්න දුර්වලම සත්තු. බේරිලා යන්නේ ශක්තිමත්ම සත්තු. ඒ නිසා, අභිජනනය කර අළුත් සැමන් පරම්පරාවක් බිහි කරන්න දායක වෙන්නේ මාළු අහිනේ ඉන්න හොඳම මාළු ටික. හැම අළුත් සැමන් පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා ඉදිරියෙන්.
ඔහොම කාලයක් යද්දී සැමන්ලා ගොඩක් "ස්මාර්ට්" වෙලා මිනිසුන්ගෙන් හා වලස්සුන්ගෙන් බේරිලා යාමේ කුසලතාවය ඉහළ ගියොත් මොකද වෙන්නේ?
එවිට වෙන්නේ ගඟ අද්දර ඉන්න මිනිස්සුන්ගෙන් හා වලස්සුන්ගෙන් කොටසක් කන්න මාළු නැතුව මැරෙන එකයි. මේ විදිහට මැරෙන්නේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි දුර්වල මිනිස්සු හා වලස්සු. වඩා ශක්තිමත් මිනිස්සු හා වලස්සු කොහොම හරි මාළුවෙක් අල්ලගනියි.
ඔය කිවුවට මිනිස්සු හා වලස්සු කන්න මාළු නැතුව මැරෙන එකක්ම නැහැ. නමුත්, මාළුවෙක් අල්ලගන්නවත් බැරි පිරිමි මිනිහෙක්ට හෝ වලහෙක්ට ගැහැණු සතෙක්ව හොයා ගැනීම වඩා වඩා අමාරු වීම නිසා වර්ගයා බෝ කරන්න අවස්ථාව නැති වෙයි. එහි ප්‍රතිඵලයත් කලින් එකමයි. ඒ එක්කම, අළුත් පරම්පරාවේ වලස්සු හා මිනිස්සු පෙර පරම්පරාවට වඩා "ස්මාර්ට්" වීම නිසා මාළුන්ට ලැබුණු ඉන්ටවල් එක වැඩි කාලයක් පවතින්නේ නැහැ.
ස්වභාව ධර්මය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය විදිහටයි. හැබැයි ස්වභාව ධර්මයට වුනත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. වලස්සු ඉන්නේ මේ සීමාව ඇතුළේ වුනත් මිනිස්සු ඉන්නේ ඒ සීමාවෙන් පිට වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයට ප්‍රතිචාර දක්වන්න කාලයක් නොදී ඉතා කෙටි කාලයක් තුළ පරිසර පද්ධතියකට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. නමුත්, ඒ විදිහට මිනිස්සුන්ට දිගින් දිගටම ස්වභාව ධර්මය අභිබවා යාමේ හැකියාවක් තියෙනවද?
මේ දවස් වල පෙන්වන කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ මේ අදහස සාකච්ඡාවට බඳුන් කරනවා.
ස්වභාව ධර්මය හා මිනිසා අතර ගැටුම පිළිබඳ අදහස් විශාල පරාසයක පැතිරිලයි තියෙන්නේ. එක අන්තයක ඉන්න අය මිනිස්සු සහ මිනිස් නිර්මාණ අයින් කරලා ඉතිරි වෙන කොටස ස්වභාව ධර්මය ලෙස සලකමින් මිනිස්සු විසින් ස්වභාව ධර්මය විනාශ කිරීම ගැන කතා කරනවා. එතකොට මතුවන ප්‍රශ්නය ඇයි මිනිස්සු සහ මිනිස් නිර්මාණ පමණක් ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කියන එකයි. වඩු කුරුළු කූඩුවක් ස්වභාව ධර්මයේ කොටසක් වෙද්දී, නෙලුම් කුළුන ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කොහොමද? ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකයේ මුලින්ම තිබුණු දේවල් ටිකද?
කණාමැදිරියෝ බලන්න ගත්තේනම් ඒක ඇතුලෙ තියෙන දාර්ශනික සංවාද නිසා නෙමෙයි. කුතුහලය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුළුවන් විදිහට කතාව ගෙනියන නිසයි. ඒ අතින් කූඹියෝ තිර රචනයට ටිකක් කිට්ටුයි.
කූඹියෝ ටෙලිනාට්‍යය වටා පෙළගැහිච්ච රසිකයෝ කොටස් දෙකක් හිටියනේ. කට්ටියක් කැමති වුණේ ඒකෙ තිබුණා කියා හිතාගෙන හිටපු දේශපාලනයට. කතාවේ තියෙන්නෙ තමන් හිතාගෙන හිටපු දේශපාලනය නෙමෙයි කියා තේරෙන කොට ඒ කට්ටිය හිමිහිට අයින් වුනා.
දෙවන කණ්ඩායම කූඹියෝ බැලුවේ එහි වේගවත් ගලා යාම හා ත්‍රිලර් ගතියට. අන්න ඒ ගතිය ටිකක් කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේත් තියෙනවා. නමුත්, කණාමැදිරියෝ බලන්න ලොකු රැල්ලක් හැදිලා නැති එකෙන් පේන්නේ කූඹියෝ වටේ වැඩිපුර ඉඳල තියෙන්නේ පළමු කණ්ඩායමේ අය බව. කූඹියෝ සහ ඒ එක්කම වාගේ විකාශනය වූ සහෝදරයා අතර සමානකම් දැක්කේ ඒ අයයි.
වේගවත් ගලා යාම කියා කියද්දී මිණිගංදෑළ මතක් වෙන එක නවත්තන්න බැහැ. අර කතාවක් තියෙනවනේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. මුලින් උනන්දුවෙන් බලන්න පටන්ගත්ත මිණිගංදෑළ බලන එක ඒ දවස වලම නවත්තල නොදැම්මනම් ඔය කතාව පට්ට බොරුවක් බව ඔප්පු කරන්න තිබුණා. කොහොම වුනත් ඒ කාලය කණාමැදිරියෝ බලන්න ඉතිරි වුණා.
කණාමැදිරියෝ ගලාගෙන යන්නේ තාත්ත්වික සීමාවෙන් එපිට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් මැදින්. මුලින්ම හිතුනේ තිර රචකයා ප්‍රොෆෙසර් මහේන්ද්‍රගේ පැත්තේ කියලයි. කතාව තවම ඉවර නැතත්, යන විදිහට පේන්නේ මුලින් වෙන්න බැරි දේවල් වගේ පෙනුණු දේවල් වලට "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් එකින් එක එමින් තියෙන බවයි.
(Image: https://pgcpsmess.wordpress.com/tag/spawning-salmon-and-bears/)
Labels:
ටෙලිනාට්‍ය,
පරිණාමය,
පරිසරය,
සත්ත්ව ලෝකය,
ස්වභාවික ව්‍යසන
Tuesday, May 30, 2017
වහාම ඉවත්වන්නේ කොහාටද?
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (මැයි 28 දින) අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ක හා අවට ප්‍රදේශ වල ජීවත් වන්නන්ට වැසි ඇති වූ වහාම සිය නිවෙස් වලින් ඉවත්වී ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් ඉල්ලා තිබුණේය. ඉහත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට අයත් ප්‍රදේශයි. කහ පැහැයෙන් ලකුණු කර ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට මායිම් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයි.
රජය විසින් මේ නිවේදනය නිකුත් කර ඇති ආකාරය අනුව අදාළ අවවාදයේ වැදගත්කම ඉතාම සීමිත බව කිවයුතු නැත. රතු පාටින් ලකුණු කර ඇති අවදානම් කලාපයේ හා යාබද ප්‍රදේශ වල ජීවත් වන පිරිස අඩු වශයෙන් මිලියන තුනක්වත් වෙතැයි උපකල්පනය කළ හැකිය. දැන් මේ අවවාදය ලැබුණු පසුව වැසි වැටුණහොත් මේ මිලියන තුනක් ඉක්මවන පිරිස වහාම අවදානම් කලාපයෙන් ඉවත් විය යුතුය. එහෙත්, ඒ සඳහා ඔවුන් බොහෝ දෙනෙකුට සිය නිවෙස් වලින් සැතපුම් පණහක් හැටක්වත් ඈතට යන්නට සිදුවේ. මෙය ප්‍රායෝගිකව සිදුවන්නක් හෝ කළ හැක්කක් නොවේ. අදාළ නිවේදනයෙන් සිදුවන එකම කාර්ය භාරය කිසියම් විපතක් සිදුවීමෙන් පසුව "අපි කලින් දැනුම් දුන්නා" කියා අදාළ නිලධාරීන්ට වගකීමෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් ඉතිරිවීම පමණි.
ගංවතුරක් ළඟ එන විට හෝ නායයෑමේ අවදානමක් ඇති විට ළඟපාතක තිබෙන අවදානම අඩු තැනකට යන්නට මිස සැතපුම් පණහක් හැටක් ඈතින් ඇති ප්‍රදේශයකට යන්නට කාලයක් නැත. එමෙන්ම ගංවතුර හෝ නායයෑමේ අවදානම් කෙතරම් වැඩි ප්‍රදේශයක වුවත් සෑම බිම් අඟලකම ඒ අවදානම එකසේ නැත. ඒ නිසා, මෙවැනි අවදානම් සහගත තත්ත්වයකදී ජනතාව යොමු කළ යුත්තේ සිය නිවසට ආසන්නයේම තිබෙන අවදානම අඩු ස්ථාන වෙතය. ඒ සඳහා අවදානම් කලාප මීට වඩා විස්තරාත්මක මට්ටමකට සිතියම්ගත කළ යුතුය.
බොහෝ ගම් වල ගංවතුර හෝ නායයෑමේ අවදානම ඉතා වැඩි නිවාස මෙන්ම එසේ නොවන නිවාසද නැති විය නොහැක. අවදානම අධික තැන් නිසි ලෙස හඳුනාගෙන අදාළ නිවැසියන් දැනුවත් කළ විට ඔවුන්ට හදිසි තත්ත්වයකදී වහාම යායුත්තේ කොතැනකටදැයි කලින් සැලසුම් කරගත හැකි නිසා කලබල වී හිස් හැරුණු අත දුවන්නට හෝ හිත හිතා ඉන්නට අවශ්‍ය වන්නේ නැත. මේ ආකාරයේ නිසි සැලසුමක් (contingency plan) නොතිබීම ස්වභාවික ආපදා වලදී නැවත නැවතත් සිදුවන විශාල ජීවිත හානි වලට හේතුවකි. පරම්පරා ගණනක් ගංවතුර අවදානම වැඩි ගම් වල ජීවත් වූ මිනිසුන්ට එවැනි නිශ්චිත සැලසුමක් තිබුණේය.
මේ කාර්යය දැන් හෝ ආරම්භ කරන්නේනම් ඉදිරි වසර වලදීද අනිවාර්යයෙන්ම සිදුවන්නට ඉඩ ඇති ගංවතුර හා නායයෑම් හමුවේ ජීවිත හානි අවම කරගන්නට ඉඩ සැලසෙනු ඇත. එමෙන්ම දිගුකාලීනව එවැනි ප්‍රදේශ වලින් ජනතාව ක්‍රමයෙන් ඉවත්වීමට හා එවැනි ප්‍රදේශ වලට අලුතින් පදිංචිය පිණිස පැමිණීම අධෛර්යමත් වීමටද එය හේතු වනු ඇත. සුරක්ෂිත විකල්ප ස්ථාන ඉදිරිපත් නොකර, එක ළඟ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් එකම අවදානම් කලාපයක් ලෙස නම් කර ජනතාවට වහාම ඉවත්වන්නට කීමනම් තනිකරම ගොංපාර්ට් එකකි.
Sunday, May 28, 2017
හතළිස්පන් දොහේ වතුර
මගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ගංවතුර තර්ජන පවතින තැන් ලකුණු කර ඇති සිතියම් (floodplain maps) ඉතාම විස්තරාත්මකය. පර්චස් කිහිපයක කුඩා ඉඩමක් ඇතුළත ගංවතුරෙන් යටවෙන්නට ඉඩ ඇති තැන් පවා මේ සිතියම් වලින් බලාගන්නට පුළුවන. මා දන්නා තරමින් මේ සිතියම් සකස් කර ඇත්තේ ආකෘති අනුසාරයෙන් නොව නිරීක්ෂණ අනුසාරයෙනි. අලුත් නිරීක්ෂණ පදනම් කර ගනිමින් මේ සිතියම් නිරන්තරව යාවත්කාලීන කෙරේ.
කාලගුණ අනාවැකි කීම සඳහා උපයෝගී කරගන්නා ආකෘතිද බොහෝ දුරට පදනම් වී ඇත්තේ අතීත නිරීක්ෂණ මතය. මෙහිදී, අනාවැකි කීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය වන්නේ පැරණි දත්ත මත කාලගුණ රටාවන් හඳුනාගැනීම හා ඒ රටාවන් ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කිරීමයි. එහෙත්, චන්ද්‍රිකා ඡායාරූප වැනි වෙනත් ආසන්න නිරීක්ෂණ මත මේ අනාවැකි සීරුමාරු කෙරේ.
සිතියම්ගත කර නොතිබුණත් මේ ෆ්ලඩ්ප්ලේන්ස් වල මායිම් අඩුම වශයෙන් අප කුඩා දරුවන්ව සිටි කාලය වන තුරුම ගංවතුර තර්ජන ඇති ප්‍රදේශ වල ජීවත් වූ අය දැන සිටියෝය. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ගමක ජීවත් වූ මගේ පියාගේ දෙමවුපියන්ට හා ඔවුන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට ඒ ගමේ ඕනෑම තැනක හතළිස් හතේ මහ ගංවතුරට යටවුනු සීමාවන් වගේම ඊටත් පෙර නවසිය තිස් හයේ ගංවතුරට යටවුනු සීමාවන්ද පෙන්වන්නට පුළුවන්කම තිබුණේය.
මගේ පියාගේ දෙමවුපියන් සතු වූ ඉඩම් වලින් ගංවතුර තර්ජනයට වැඩියෙන්ම ලක් වූ ඉඩම තෝරාගෙන තිබුණේ පවුලේ සුසානභූමිය වශයෙනි. මේ ගැන දැන් හිතද්දී මතුවන ප්‍රශ්නයනම් අවුරුද්දේ මාසයක පමණ කාලයක් තුළම වතුරෙන් යටව තිබූ හෝ ගඟේ ජල මට්ටම වැඩි නිසා වලක් කපන්නට උදැල්ලක් ගහන පරක්කුවෙන් වතුර ඉනූ මේ ඉඩම ගංවතුර කාලයේදී සිදුවන මරණයකදී කෙසේ ප්‍රයෝජනයට ගත්තේද යන්නයි. ගෙදර වටේටම වතුරින් යටව තියෙද්දී කුඩා දරුවෙකු වූ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සිදුවූ එක් අවස්ථාවක් ගැන පමණක් මගේ මතකයේ තිබීමෙන් පෙනෙන්නේ ගංවතුර හේතුවෙන් අමුතුවෙන් මරණ සිදු වීම එතරම් සුලභ නොවූ බවයි.
මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉඩම් යනු අද තරම්ම හිඟ සම්පතක් නොවූවත්, මරණ අනුපාතිකය අඩුවීම නිසා රටේ ජනගහණය විශාල ලෙස වර්ධනය කළ ඊළඟ පරම්පරාවේ බොහෝ දෙනෙකු අතර මේ ඉඩම් බෙදී යද්දී මේ තත්ත්වය වෙනස් විය. ඒ නිසා, පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට පෙර පරම්පරාවේ අය මෙන් තමන්ගේ වාසය සඳහා 'ෆ්ලඩ්ප්ලේන්' එකක නොපිහිටි තැනක් තෝරා ගන්නට තරම් හැකියාවක් නොතිබුණේය.
ඇමරිකාවේ ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට ඇති ඉල්ලුම අඩු පරිද්දෙන්ම මගේ පියාගේ දෙමවුපියන්ගේ ඉඩම් දරුවන් අතර බෙදී යද්දීද ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට තිබුණේ අඩු ඉල්ලුමකි. ඒ කාලයේ වෙනත් පවුල් මෙන්ම සාමාජිකයින් ගණනින් ලොකු පවුලක් වූ මේ පවුලේ බාල සාමාජිකයින් ඇටෙන් පොත්තෙන් එළියට එන විට වැඩිහිටි සාමාජිකයින් පවුල් පන්සල් වී ගෙවල් දොරවල් හදාගෙන අවසන්ය. ඒ නිසා, බාල සාමාජිකයින් ගෙවල් හදන්නට හිතන විට ෆ්ලඩ්ප්ලේන්ස් වල නොපිහිටි ඉඩම් පියාගේ දෙමවුපියන් සතුව ඉතිරිව නොතිබුණේය.
රත්නපුර පැත්තේ වැඩිහිටි පරම්පරාවේ ඕනෑම කෙනෙක් වාගේ සමඟ කතා කළොත් හතළිස් දොහේ වතුර ගැන අහගන්නට පුළුවන. මේ ප්‍රවාදය අනුව සිංහල අවුරුද්ද පහුවී දවස් හතලිස් පහකින් කළු ගඟ පිටාර දමයි. මගේ පියාගේ මහගෙදර පිහිටි ප්‍රදේශය වැනි ප්‍රදේශ සැලකූ විට මේ සිදුවීම හැම අවුරුද්දකම වාගේ නොවැරදීම සිදුවිය. ආසන්න වශයෙන් ගංවතුර ඇති විය හැකි කාලය දැනගෙන සිටි නිසා ඒ කාලය තුළ වඩා විමසිල්ලෙන් කාලගුණයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් ගඟ පිටාර දමන්නට ඉඩ ඇති මොහොත හරියටම හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකිවිය.
මෙවර ගංවතුර පැමිණ ඇත්තේද සිංහල අවුරුද්ද පසුවී ආසන්න වශයෙන් දින 42-43කට පමණ පසුවය. පසුගිය සියවසක පමණ කාලය තුළ නිවර්තන අවුරුද්ද මත පදනම් වූ කාලගුණ චක්‍රයට සාපේක්ෂව සිංහල අවුරුදු දිනය දිනකින් හෝ දෙකකින් පස්සට තල්ලු වී ඇති බැවින් දැන් ඒ ගංවතුර සිංහල අවුරුද්ද පසුවී දින 43කින් පමණ පැමිණෙනවා වන්නට පුළුවන.
මේ ගංවතුර බොහෝ අවුරුදු වල දින කිහිපයකින් පසුව බැස ගියත් සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා සිටියේය. ගංවතුර නිසා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා විශාල ලෙස සීමා වුනු මෙවැනි ගම්මාන වලට වසර හතළිහකට පණහකට පෙර අද මෙන් සහන සේවා වල උපකාර ලොකුවට ලැබුණේද නැත. එහෙත්, ගංවතුර මැදින් එවැනි ගම් වල ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය.
ගංවතුර එන කාලය ගැන අදහසක් තිබුණු නිසා වී වැපිරීම වැනි කටයුතු ගංවතුර අවසන් වන තුරු කල් දැමුණේය. විවාහ උත්සව ආදිය සඳහා දින නියම කරගැනීමේදී ඇතැම් විට මේ ගංවතුර කාලය මඟ හැරියත්, එවැනි කටයුතු සඳහා වෙනත් ඵලදායී වැඩක් සඳහා යොදාගත නොහැකි ගංවතුර කාලයම යොදා ගත් අවස්ථාද තිබුණේය. මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ ඇතැම් වැඩිහිටියන් සිය මනාලියන් කැන්දාගෙන පැමිණ ඇත්තේ ඔරු පෙරහැරකින් බව මා අසා තිබේ. ගොවිතැන් කටයුතු කළ නොහැකි වූ ගංවතුර කාලය වට්ටි, පැදුරු විවීම් වැනි ගෙවල් වල සිට කළ හැකි දේ කරන්නට හොඳ කාලයක් විය.
අඩ සියවසකට පමණ පෙර කාලය දක්වාත් ලංකාවේ බොහෝ පෙදෙස් වල පැවති ජීවන රටාව අනුව ගංවතුර සමඟ 'සහයෝගයෙන්' අනෙක් කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණත් දැන් ගම් ඒකක වලට පෙර මෙන් ස්වාධීනව ජීවිතය පවත්වා ගත නොහැකි නිසා ගංවතුර සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීමද අසීරුය. ඒ අතින් බැලූ විට ගංවතුර වැනි ස්වභාවික ආපදා බටහිර සංවර්ධනයේ ප්‍රශ්නයක්යැයි කියන කතාවට පදනමක් තිබේ.
එහෙත් වඩා විමසිල්ලෙන් බැලුවොත් ප්‍රශ්නය තිබෙන්නේ බටහිර සංවර්ධනයේ නොව ලංකාව වැනි රටවල බටහිර සංවර්ධන ආකෘතීන් යොදාගෙන ඇති ආකාරයේය. තමන් අලුතින් ජනාවාස පිහිටුවා ගෙන පදිංචි වන ප්‍රදේශ වල කාලගුණ රටාවන් හඳුනා ගනිමින්, ෆ්ලඩ්ප්ලේන් සිතියම් අඳිමින් ස්වභාව ධර්මයට යටත් විය යුතු තැන් වල යටත් වෙමින් ඇමරිකාව වැනි රටවල් ඉදිරියට පැමිණි තුලිත සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් වැදගත් පියවර ලංකාව වැනි රටවලට මඟ හැරේ. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.
ලෝකයේ ප්‍රධාන ශිෂ්ඨාචාර ගණනාවක් ගංගා නිම්න ආශ්‍රිතව බිහි වූයේ ගංවතුර තර්ජන හමුවේ වුවද ගංගා නිම්න වල ජීවත් වීම වඩා වාසිදායක වූ බැවිනි. මේ වාසි අතරින් එක් ප්‍රධාන වාසියක් වූයේ ප්‍රවාහන පහසුවයි. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පසුගිය සියවස ඇරඹෙන තුරුත් ජල ප්‍රවාහනය කාර්යක්ෂම ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ අවශ්‍යතාවයන් වෙනස් වී තිබේ.
මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාවික ආපදා එන්න එන්නම වැඩිවන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මය මත විශාල බලපෑමක් සිදු වී ඇති බව ඇත්තක් වුවත් මිනිසාගේ පාලනයෙන් තොර හේතු මත ස්වභාව ධර්මයේ සිදුවන ඇතැම් වෙනස්කම් සැලකූ විට ස්වභාව ධර්මය කෙරෙහි මිනිසුන් විසින් කර ඇති බලපෑම එතරම්ම විශාල නැත. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුරා කුහුඹුවෙකි.
ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේදී තවමත් හොඳම උපාය මාර්ගය වන්නේ ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගැනීම හා ස්වභාව ධර්මයට යටත් වීමයි. ඉතිහාසය පිරික්සා බලන විට පෙනෙන්නේ පසුගිය සියවසක පමණ කාලය තුළ ස්වභාවික ආපදා වැඩි වීමට වඩා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි වැඩිවී ඇති බවයි. එය ස්වභාව ධර්මයේ රිද්මය නොතකා හැරීමේ හා ස්වභාව ධර්මයට අවශ්‍ය මට්ටමින් යටත් නොවීමේ ප්‍රතිඵලයකි.
Labels:
අතීත මතක,
අනාවැකි,
සංවර්ධනය,
ස්වභාවික ව්‍යසන
Saturday, May 27, 2017
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...
දෙසතියකට පෙර අපේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරින් යට වුණේය. ගංවතුර කියා කිවුවත් පිටාර දමා තිබුණේ "ක්‍රීක්" එකක් ලෙස හැඳින්වෙන කුඩා දොළපාරකි. ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ ගංවතුර යනු එතරම්ම දුලබ සිදුවීමක් නොවේ. එහෙත්, මෙසේ ඇති වුනු ගංවතුරක් හේතුවෙන් මා දන්නා තරමින් මේ ප්‍රදේශයේ විශාල ජීවිත හෝ දේපොළ හානියක් සිදු වී නැත.
කෙසේවුවත්, විශාල රටක් වන ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් මුහුණ දෙන ස්වභාවික ව්‍යසන අතරින් වැඩිම ජීවිත හානි සිදු කරන ස්වභාවික ව්‍යසනය ලෙස ගංවතුර හැඳින්විය හැකිය. 2015 වසරේදී ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ ජීවිත හානි 176ක් සිදුව තිබුණු අතර සිදුවූ දේපොළ හානිය ඩොලර් බිලියන 2.2 ඉක්මවීය. එම වසරේ සියලුම ස්වභාවික ව්‍යසන වලින් සිදු වුනු ජීවිත හානි ගණන 522ක්ද, දේපොළ විනාශය ඩොලර් බිලියන 4.2ක් ද විය.
ගංවතුර නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අඩුම වශයෙන් වසර 100කට වරක් ගංවතුරෙන් යටවීමට ඉඩ ඇති, එනම් වසරක් තුළ ගංවතුරෙන් යටවීමට 1%ක සම්භාවිතාවක් ඇති ප්‍රදේශ සිතියම්ගත කර ඇති අතර මේ සිතියම් අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.
නිවසක් මිලදී ගැනීමට පෙර යමෙකු සොයා බලන එක් කරුණක් වන්නේ අදාළ ප්‍රදේශය ඉහත කී සිතියමක ගංවතුර කලාපයක් ලෙස සලකුණු වී ඇත්ද යන්නයි. එසේ ලකුණු වී ඇත්නම් ගංවතුර හානි වෙනුවෙන් රක්ෂණයක් මිල දී ගන්නට සිදුවන අතර මේ වෙනුවෙන් වාර්ෂිකව මුදල් වැය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට යටවීමේ සම්භාවිතාව 1% ඉක්මවන ප්‍රදේශ වල දේපොළ සඳහා ඉල්ලුම අඩු නිසා දේපොළ වටිනාකම වෙනත් ප්‍රදේශ වලට වඩා තරමක් අඩුය. මෙය වක්‍ර ලෙස පහත් බිම් වල ඉදිකිරීම් සීමා කරයි.
ගංවතුරෙන් සිදුවන හානි ගැන කතා කිරීමේදී මා ගංවතුර ලෙස සිංහලට පරිවර්තනය කළේ ෆ්ලඩ් (flood) යන ඉංග්‍රීසි වචනයයි. එහෙත්, මේ හානි වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ සැබෑවටම ගංවතුර ලෙස හැඳින්විය හැකි රිවර් ෆ්ලඩ් (river flood) හේතුවෙන් නොව ෆ්ලෑෂ් ෆ්ලඩ් (flash flood) හෙවත් "ක්ෂණික වතුර" හේතුවෙනි. ෆ්ලෑෂ් ෆ්ලඩ් වලට බොහෝ විට හේතු වන්නේ ශීත කාලයේදී උස් ප්‍රදේශ වල හිම එකතු වීමෙන් පසුව පරිසරයේ උෂ්ණත්වය හිම දියවන මට්ටමට පැමිණීම නිසා උස් ප්‍රදේශ වල එකතු වී ඇති හිම විශාල තොගයක් ඉතා කෙටි කාලයක් තුළ දියවී පහත් බිම් වෙත ගලා ඒමය.
ටොර්නේඩෝ, සුළිසුළං, ලැව්ගිනි ආදී වෙනත් ස්වභාවික ව්‍යසන මෙන්ම ගංවතුර හා ක්ෂණික වතුර ආපදා පිළිබඳවද කලින් නිවැරදිව පුරෝකථනය කර ජනතාව දැනුවත් කරන නිසා ඇමරිකාවේ ස්වභාවික ව්‍යසන වලින් ජීවිත හානි සිදුවන්නේ ඉතා අඩුවෙනි. මේ පුරෝකථන සෑහෙන දුරට නිවැරදි වීම වීම හා ජනතාව ඒ ගැන විශ්වාසය තබමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හානි අඩුවීමට හේතුවයි.
අපේ නිවස අසල පිට්ටනිය වතුරෙන් යට වී තිබෙනු විට මට නිතැතින්ම සිහිවන්නේ මගේ කුඩා කාලයයි. ගංවතුර කොයිතරම් හානිකර වුවත්, වැඩිහිටියන්ට මෙන් එහි බරක් පතලක් නොතේරෙන කුඩා දරුවන්ට එයින් ලැබුණේ විශාල ආශ්වාදයකි.
"ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා"
මගේ පියාගේ මහගෙදර පිහිටා තිබුණු ගම අප කුඩා කාලයේ සෑම වසරකම වාගේ ගංවතුරෙන් යටවූ අතර ගංවතුර කාලයට ගම වටකරගත් වතුර හේතුවෙන් ඒ ගම ඇතැම් විට සති ගණනක් බාහිර ලෝකයෙන් වෙන් කෙරුණේය. ගම මැද තරමක උස් ඉඩමක පිහිටා තිබුණු මගේ පියාගේ මහගෙදර ගංවතුරෙන් කිසිවිටෙකත් යට නොවුනත් ගමේ පහත් බිම් වල පිහිටි ගෙවල් බොහොමයක්ම ගංවතුරට යට වුණේය. මේ ඇතැම් ගෙවල් වල වැසියෝ ඒ කාලයට පවුල් පියාගේ මහගෙදර පිහිටි ඉඩමේ කඳවුරු බැඳගත් අතර ඒ නිවසේ ඒ කාලයට විශාල බත් හැලියක් ඉදුණේය.
මගේ පියාගේ ගමේ බොහෝ නිවෙස් වල ඒ දවස් වල දැකිය හැකිව තිබුණු දෙයක් වූයේ ඉස්තෝප්පුවේ හෝ පිටත පිටත මඩුවක මුනින් අතට තබා තිබුණු කොල්ලෑ ඔරුවයි. සැහැල්ලු ලීයක මැද හාරා හදා තිබුණු මේ ඔරු සාමාන්‍යයෙන් බංකුවක් මෙන් වාඩිවීම සඳහා පාවිච්චි කළ අතර ගංවතුර කාලයේදී ගමනාගමනය සඳහා නැතුවම බැරි දෙයක් විය.
කුඩා කාලයේ ගංවතුර දැකීමේ මිහිරක් තිබුණත් ගංවතුර යනු එඩ්වඩ් ජයකොඩිගේ උඩින් ඇති ගීතය ඇසෙන විට හිතට දැනෙන ආකාරයේ සුන්දර අත්දැකීමක් නොවන බව කිවයුතු නැත. ලංකාවේ ගංවතුර ආපදා බොහෝ විට අවසන් වන්නේ විශාල ජීවිත හා දේපොළ හානි සිදුකරමින්, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි. මෙවරද තත්ත්වයේ ලොකු වෙනසක් නැත.
මා පෙර කිවූ මගේ පියාගේ මහගෙදර පිහිටි ගම මෙවරද ගංවතුරෙන් වට වී ඇත. එවැනි ගම් වලට සාමාන්‍යයෙන් පහසුවෙන් ලඟා විය හැකි හා ප්‍රධාන මාර්ග වලට ආසන්නව පිහිටි ගම් වලට ලැබෙන තරම් හෝ ලැබෙන ඉක්මණින් බාහිර ආධාර ලැබෙන්නේද නැත.
විවිධ දේශපාලන කණ්ඩායම් තරඟයට මෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථ ඇතුව වන්නට පුළුවන. එහෙත්, මෙවැනි ව්‍යසන අවස්ථාවක වැදගත් වන්නේ එවැනි වෙනත් අභිමතාර්ථ තිබෙනවාද නැද්ද යන්න නොවේ. තමන්ට හැකි පමණින් මොනවා හෝ කිරීමයි.
Labels:
අතීත මතක,
ඇමරිකාව,
ජනහිතකාමය,
ස්වභාවික ව්‍යසන
Saturday, December 26, 2015
රැල්ල
මම හොඳටම වකුටු වී දෙකට තුනට නැමී සිටියෙමි. මට කෙළින් විය නොහැකිය. මම දණහිස් බදාගෙන අමාරුවෙන් හුස්ම ගත්තෙමි. වරෙක හුස්ම හිරවෙන්නට යයි. සිරුර හොඳටම තැලී පොඩිවී ඇත. කටේ වැලි පිරී ඇත. කහින විට ලේ පිටවේ. කොයිතරම් කෙළ ගැසුවත් කටේ ලුණු රස එසේමය. සිරුර හොඳටම බර ලෙසක් දැනේ. "මේ කලිසං කෑලි වල බර වෙන්න ඕනෑ" මම සිතුවෙමි. මම ඒවා ඉරා දැම්මෙමි.
එතකොට අර රැළි වලට මොකද වුණේ? මා අවට හැමතැනකම වතුර පිරී ඇතත් වතුර නිසලය. රැල්ලක් නොනැඟේ. මේ විල්ද නැත්නම් කලපුවද?
මට කෙළින් සිටිය නොහැකිය. දෙපා මඩේ එරී ඇත. මම මේ දකින්නේ සිහිනයක්දැයි සිතමින්, එසේ නොවන බව හොඳාකාරවම දැන සිටියත් ඒ බව සහතිකේටම පිළිගන්නට බයෙන්, ඈත, පේනතෙක්මානය දිහා, ඔහේ බලා සිටියෙමි. අවට සිටි සියල්ලන්ටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතන්නට මා පෙළඹුණේ මේ වෙලාවේදීය. එතකොට මේ හැමෝම මැරිලද? එහෙම වෙන්න ඇති. ඔවු, මේ හැමෝම මැරිලා!
***
1964 දී උපන් ස්ටීවන් ලිසන්බර්ග් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් ප්‍රදේශයේය. පාසැල් අධ්‍යාපනය නිමා කර, ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිදීද දක්ෂ සිසුවෙකු ලෙස කැපී පෙනුණේය. සිය ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු පස්වසරක් ගුරු වෘත්තියේ නියැළුණු ස්ටීව් නැවතත් අධ්‍යාපනය කෙරෙහි යොමු විය. පළමුව වොරික් සරසවියෙන් කාර්මික සම්බන්ධතා පිලිබඳව පශ්චාත් උපාධියක් උපයාගත් ඔහු ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා නැවතත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය.
ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1997දී ස්ටීව් ලාභ-නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පොදු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට (Institute for Public Policy Research) සම්බන්ධ විය. විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ඔහු සතු වූ කුසලතාවයන් හේතුවෙන් සහ විවිධ පර්යේෂකයින් සමඟ සහයෝගයෙන් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සතු වූ දක්ෂතාව හේතුවෙන් ඉතා කෙටි කලෙකින්ම ඔහුට මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් විය හැකි විය.
ස්ටීව් විවාහ වූයේ ඔහුගේ කේම්බ්‍රිජ් පෙම්වතිය වූ, ශ්‍රී ලංකාවේ උපන්, සොනාලි දැරණියගල සමඟය. ඇයද ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිධාරිනියකි. ඔවුන්ගේ කැදැල්ලට කුරුළු පැටවුන් දෙදෙනෙකු එකතු වී සිටියහ. 2004 දෙසැම්බරය ගත කිරීමට ස්ටීව්, සොනාලි සහ දරු දෙදෙනා ලංකාවට පැමිණෙන විට වැඩිමල් වික්‍රම්ගේ වයස අවුරුදු අටකට කිට්ටුව තිබුණේය. මල්ලි ලෙස කවුරුත් හැඳින්වූ නිඛිල්ගේ වයස අවුරුදු පහකි. ලංකාව ඔවුන්ට නුපුරුදු තැනක් නොවීය. 2004 නත්තල සැමරීමට ඔවුන් තෝරා ගත්තේ යාල අභය භූමිය අසල පිහිටි නිවාඩු නිකේතනයකි. සොනාලිගේ දෙමවුපියන් ඇතුළු තවත් අය ඔවුන් හා එක්ව සිටියහ.
ජීවිතය අස්ථිරය. එක් නිමේෂයකින් බොහෝ දේ වෙනස් විය හැකිය. මෙයට හරියටම වසර එකොළහකට පෙර ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමියට අසුවුණු සොනාලිට ඉතා පුදුමසහගත ලෙස දිවි ගලවාගත හැකි විය. එහෙත්, ඇගේ සැමියා, දරු දෙදෙනා මෙන්ම දෙමවුපියන්ද මේ සුනාමියට බිලි වූහ.
මෙවැනි තත්ත්වයට මුහුණ දුන් අයෙකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ සිදුවීමේ කම්පනයෙන් මිදෙන්නට සොනාලිට පහසු වූයේ නැත. සොනාලි කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට තැත් කළාය. මත්පැනින් මතකය පොඟවා දියකර දමන්නට තැත් කළාය. අවසානයේදී, කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට ඇය අදිටන් කරගත්තීය. සොනාලි තුළ වූ ලේඛිකාව අවදි විය. ඈ ඇගේ අත්දැකීම් අකුරු බවට හැරවීය. 2013 වසරේදී පළවුණු වඩාත්ම ජනප්‍රිය පොත් අතරින් එකක් වූ ඇගේ සම්මානලාභී කෘතිය බිහි විය.
රැල්ල (Wave) නම් වූ කඳුළු කතාව මේ නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡයයි.
***
ඔවුන් නැතුව මම කුමක් කරන්නද? මම සිතුවෙමි. තවමත් මා හුස්ම ගන්නේ අමාරුවෙනි. මගේ සිරුර මටම වලංගු නැත. එය මඩේ ලිස්සා යයි.
කිසියම් පිරිසක් කෑගසන හඬ ඇසේ. මුලින්ම ඈතිනි. පසුව ලඟිනි. ඒ සිංහලෙන් එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන්ට මා නොපෙනේ. මට ඔවුන්ව නොපෙනේ.
"මුහුද ගොඩ ගලලා. මහසෝනා ඇවිල්ලා.." අයෙක් කෑගසයි. මුහුද ගොඩ ගලලලු. මහසෝන ඇවිල්ලලු. මහසෝනා!
මම මේ වචනය දැන සිටියෙමි. ඒත් මොහු මේ කියන්නේ කුමක්ද? මා මේ වචනය අවසන් වරට අසා තිබුණේ කුඩා කළ අපේ නිවසේ විසූ මෙහෙකාරිය යක්කු සහ පෙරේතයින් ගැන කතා කියා දුන් කාලයේදීය. මහසෝනා යනු කනත්තේ යක්ෂයාය. කෙතරම් අවුල් සහගතව සිටියත් මට යමක් තේරුම් ගියේය. කුමක් නමුත් අතිශය භයානක සිදුවීමක් සිදුවී තිබේ. අවට හැමතැනකම පෙනෙන්නේ මරණයයි. මේ මිනිසුන් කෑගසන්නේ ඒ නිසාය.
"කවුරු හරි පණ පිටින් ඉන්නවනම් කතා කරන්න. දැන් වතුර බැහැලා. අපි ඇවිත් ඉන්නේ උදවු කරන්න."
මගෙන් හඬක් තබා කෙඳිරිල්ලක් හෝ පිටවුණේ නැත. ඒ තරමටවත් පණක් මගේ සිරුරේ ඉතිරිව නැත.
"මාව බේරගන්න. මාව ගහගෙන ගියා."
ඒ ළමයෙකුගේ හඬකි. හඬ නැඟූ ළමයා සොයමින් මිනිසුන් මා සිටි තැන කිට්ටුවට එනු මට ඇසුණේය. මම වකුටු වී මගේ දණහිස් වටා දෑත් යවා බදාගෙන නිහඬව සිටියෙමි.
මා දුටු ඔවුහු ඉක්මන් ගමනින් මා වෙත පැමිණියහ. ඔවුන් මට කතා කළත් මම පිළිතුරක් නොදුන්නෙමි. මා කඩිනමින් ඔවුන් සමඟ පැමිණිය යුතු බවත්, නැවතත් රැල්ලක් පැමිණිය හැකි බවත් ඔවුහු පැවසූහ. මම කිසිවක් නොපවසා හිස දෙපසට වනමින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.
මම දැඩි ලෙස විඩාපත්ව සිටියෙමි. ඒ නැතත්, මගේ කොළු පැටවුන් දෙදෙනා නොමැතිව මා කොහේ යන්නද? ඔවුන් කෙසේ හෝ බේරී ඇත්නම්? ඔවුන් මේ ළඟපාතකම සිටීමට පුළුවන. මට ඔවුන් තනිකර යා නොහැකිය. නමුත්, මේ කිසිවක් හඬ නඟා කීමට මට නොහැකි විය. ඔවුන් ගැන සොයා බලන මෙන් මේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නට මට නොහැකි විය. අප සියල්ලන්ම ජීප් රථයෙන් පිටතට විසිවී වතුරට වැටුණු බව මට ඔවුන්ට කිව නොහැකි විය. මා එසේ කීවොත් මා දකින මේ සියල්ල යථාර්තයක් බවට පත්වේ. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල සිහිනයක් බව සිතන්නටය.
පිරිස නොඉවසිලිමත් වූහ. ඔවුහු ඔවුනොවුන් හා සාකච්ඡාවකය. ඔවුන්ට මා මෙහි අතහැර දමා යා නොහැක.
"ඒත් අපි මෙයාව මේ විදිහට ගෙනියන්නෙ කොහොමද?" එක් අයෙක් විමසයි. "හරියකට ඇඳුමක්වත් නැතුව"
මොකක්? මම සිතුවෙමි. අයෙක් ඔහුගේ කමිසය ගලවා මගේ ඉන වටා එතුවේය.
(Images: rubinmuseum.org and contrary-mom.com)

මරණය,
සාහිත්‍යය,
ස්වභාවික ව්‍යසන
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...