වෙබ් ලිපිනය:

Showing posts with label තෙල් මිල. Show all posts
Showing posts with label තෙල් මිල. Show all posts

Tuesday, July 26, 2022

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව


නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා. 

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ. 

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා. 

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි. 

"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. 

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ. 

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි. 

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි. 

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක  ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර  ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. 

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

අදාළ පැරණි ලිපි:

තෙසක්රියක ගමනක්...

https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form


ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?

https://econometta.blogspot.com/2016/06/blog-post_76.html


ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

https://econometta.blogspot.com/2016/06/blog-post_83.html


සේවා ආර්ථිකය ගැන තවදුරටත්...

https://econometta.blogspot.com/2016/06/blog-post_42.html


ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?

https://econometta.blogspot.com/2017/01/blog-post_4.html


මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

https://econometta.blogspot.com/2020/06/blog-post_56.html


ලංකාවට වාහන වැඩිද?

https://econometta.blogspot.com/2018/06/blog-post_50.html


#ඉකොනොමැට්ටා 

Tuesday, April 21, 2020

සල්ලි එක්ක තෙල්!


කොරෝනා කාලේ අම්ම මුත්ත කාලේවත් අහල නැති සමහර අමුතු දේවල් වෙනවා. අදත් එහෙම දෙයක් වුනා. ඒ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් -40 ඉක්මවා පහළට වැටීමයි. හරියටම පැහැදිලි වුනේ නැත්නම්, 40 ඉලක්කමට ඉදිරියෙන් තියෙන්නේ සෘණ ලකුණක්. ඒ කියන්නේ බොරතෙල් බැරලයක් ගන්න කෙනෙකුට ඩොලර් 40කුත් හම්බ වෙනවා.

මේකට මිල දී ගැනීමක් කියන වචනයත් ගැලපෙන්නේ නැහැ. මිල සමඟ ගැනීමක් කියලයි කියන්න වෙන්නේ. මේ වගේ තත්වයක් යටතේත් ලංකාවේ මිල සූත්‍රය වැඩ කරනවද කියලා ඒක හදපු අයගෙන් තමයි අහන්න වෙන්නේ.

මේ දවස් වල බටහිර රටවල් සියල්ලේම වගේ ආර්ථික කටයුතු හා එදිනෙදා කටයුතු බොහෝ දුරට අකර්මන්‍ය වෙලා තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ඒ එක්කම ඉන්ධන සඳහා ඉල්ලුමත් විශාල ලෙස අඩු වී තිබෙනවා. නමුත්, සැපයුමේ අඩුවක් වෙලා නැහැනේ. දැන් ටික කලක සිට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය රටේ පරිභෝජනයට වඩා වැඩි බවත්, ඇමරිකාව මේ වන විට ශුද්ධ තෙල් අපනයනකරුවෙකු බවට පත් වී සිටින බවත් මම කලින් ලියා තිබෙනවානේ.

කෝවිඩ් ප්‍රශ්නේ හදිසියේ කඩා පාත් වුනේ ඔහොම තියෙද්දිනේ. මෙහි ප්‍රතිඵලය තෙල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වීමයි. ඉල්ලුම අඩුයි. සැපයුම වැඩියි. එහෙම වුණාම මිල පහත වැටෙන බව කවුරුත් දන්නවනේ. නමුත්, කොයි තරම් පහත වැටෙන්න පුලුවන්ද?

මිල අඩු වෙලා අඩු වෙලා තෙල් නිකම් දෙන ගානට එන්න පුළුවන් කිවුවොත් ගොඩක් අය අමාරුවෙන් වුනත් විශ්වාස කරයි. ඒ  වුනත් සල්ලිත් එක්ක තෙල් දෙන තරමට වැඩේ බරපතල වෙන්න පුලුවන්ද?

කතාව මේකයි. ගොඩක් තෙල් නිෂ්පාදකයෝ තෙල් විකුණන්නේ තෙල් නිපදවන්න මාස ගණනකට කලින්. ගන්න අය ඉන්නවානම් කලින්ම තෙල් ටික විකුණලා සල්ලි ගත්තම මොකද වෙන්නේ. දැන් ඔය කුඹුරු පැහෙන්න කලින් වී ටික මිල දී ගන්න මුදලිලා ඉන්නේ. එතකොට ගැට කාලෙම ගහටම සල්ලි දීලා රඹුටන් ගන්න මුදලාලිලා ඉන්නේ. මේකත් ඔය වගේ වැඩක්.

කිසියම් දවසක ලැබෙන්න නියමිත තෙල් වෙනුවෙන් මාස ගාණකට කලින් ලන්සු තියන අය ඕනෑ තරම් ඉන්නවා. ගොඩක්  වෙලාවට නියමිත දවස වන විට තෙල් මිල කීයක් හරි වැඩි වෙලා. ඒ නිසා මේ වැඩේ පාඩුවක් නැහැ. බොහෝ වෙලාවට මිල කලින්ම වැඩි වෙනවා. ඒ වගේ වෙලාවට ගිවිසුම අනුව ලැබෙන්න නියමිත තෙල් ටික ලැබෙන දිනය වෙනතුරු බලා නොඉඳ අදාළ දිනයට තෙල් ලබා ගැනීමේ හිමිකම කලින්ම වෙන කෙනෙකුට විකුණලා අතට ගාණක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඔය වැඩේ. හැබැයි යම් විදිහකින් තෙල් මිල දිගින් දිගටම අඩු වුනොත් අතින් පාඩුයි. ඒ නිසා මේක ටිකක් අවදානම් වැඩක්. හරියට සූදුවක් වගේ.

මේ ආකාරයට අනාගතයේ ලැබෙන්න තියෙන තෙල් මාස ගාණකට කලින්ම මිල දී ගන්නා ගිවිසුමකට ඉදිරි ගිවිසුමක් (futures contract) කියා කියනවා. ඉදිරි ගිවිසුමක නිශ්චිත කල් පිරීමේ දිනයක් තිබෙනවා. තෙල් ටික අතට ලැබෙන්නේ ඒ දවසටයි.

මේ විදිහට කලින්ම තෙල් මිල දී ගන්නා අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු කොටස ඇත්තටම තමන්ට තෙල් අවශ්‍ය අය. ඔය පිරහුම්හල් කරන අය වගේ. දෙවන කොටස සමපේක්ෂකයෝ. ඒ අයට ඕනෑ කරන තෙලක් නැහැ. නමුත්, මේ වැඩෙන් ගාණක් හොයා ගන්න පුළුවන් බව දන්න නිසා වැඩේට අත ගහනවා. පළමු කණ්ඩායමේ අය බොහෝ විට කල් පිරෙන දවස වන තුරු බලා ගෙන හිටියත් දෙවන කණ්ඩායමේ අයට අවශ්‍ය වන්නේ පුළුවන් තරම් ඉක්මණින් ගාණක් තියාගෙන මේ ඉදිරි ගිවිසුම වෙනත් අයෙකුට විකුණන්නයි

සමපේක්ෂකයින් විසින් මිල දී ගන්නා ඉදිරි ගිවිසුම් කල් පිරෙන දවස දක්වාම අතින් අත යනවා. මුලදී මුලදී මේ ගිවිසුම් ද්වීතියික වෙළඳපොළේ මිල දී ගන්නෙත් බොහෝ විට තවත් සමපේක්ෂකයෙක් විසින්මයි. නමුත්, කල් පිරෙන දවස කිට්ටු වෙද්දී තෙල් ව්‍යාපාරයේ යෙදෙන කවුරු හෝ සිල්ලර වෙළෙන්දෙක්ට මේ ඉදිරි ගිවිසුම් විකුණන්න වෙනවා. සමපේක්ෂකයින්ට ඇත්තටම තෙල් අවශ්‍ය නැහැනේ.

ඔය වැඩේ සාමාන්‍යයෙන් අවුලක් නැතුව සිද්ධ වෙනවා. අද සෘණ අගයක් දක්වා මිල පහත වැටුණු හෙට (අප්‍රේල් 20) පරිණත වෙන්න නියමිතව තිබුණු ඉදිරි ගිවිසුමුත් මේ ආකාරයට මාස ගණනාවකට කලින් විකුණපුවා. ඒ වෙද්දී, කෝවිඩ් එයි කියා කවුරුවත් දැනගෙන හිටියේ නැහැනේ. ඒ නිසා, මේ ඉදිරි ගිවිසුම් සමපේක්ෂකයින් විශාල පිරිසක් විසින් මිල දී ගෙන තිබෙනවා.

ඉදිරි ගිවිසුම් හෙට කල් පිරෙනවා. ඒ නිසා, තමන්ට ඇත්තටම තෙල් අවශ්‍ය නැති කෙනෙක් ඊට පෙර තමන්ට ලැබෙන්න තිබෙන තෙල් ටික කාගේ හරි ඇඟේ ගහන්න ඕනෑ. නමුත්, මේ වෙලාවේ තෙල් ගන්න කෙනෙක් නැහැ. තෙල් විකුණන සිල්ලර වෙළෙන්දන් විසින් කලින් මිල දී ගත් තෙල් විකිණිලා නැති නිසා අලුතින් තෙල් මිල දී ගෙන ගබඩා කරන්න ඉඩ නැහැ. ඒ නිසා, නිකම් දුන්නත් තෙල් වලින් වැඩක් නැහැ. නිකම් තියා සල්ලි එක්ක දුන්නත් තෙල් වලින් වැඩක් නැහැ.

තෙල් ගබඩා කර ගන්න කිසියම් හෝ ඉඩක් තිබෙන අයට මෙය මහඟු අවස්ථාවක්. ඒ අයට මුලදී හෙට්ටු කර ඉතා අඩු මිලට තෙල් මිල දී ගන්න පුළුවන් වුනා. හවස එක විතර වෙනකොට තෙල් බැරලයක මිල ටිකෙන් ටික පහළ ගිහින් සත ගාණකටම වැටුණා. ඒ වන විට තෙල් ගබඩා කර ගැනීමේ ඉඩ ඉතිරිව තිබුණු ගොඩක් අයත් තෙල් පුරවාගෙන නිසා ඉල්ලුම්කරුවන් තවත් අඩු වෙලා.

ඉදිරි ගිවිසුම් හෙට කල් පිරෙන නිසා ගිවිසුම් හිමිකරුවන් ඊට කලින් ඒවා කොහොම හරි විකුණන්නම ඕනෑ. නැත්නම් බොර තෙල් ගෙදර ගෙනිහින් වත්ත පිටිපස්සේ තියාගන්න කියලයැ. මේ වෙලාවේ තමයි ඉතිරිව සිටි ගැණුම්කරුවන්ට සල්ලි එක්ක මිසක් තෙල් එපා කියා කියන්න පුළුවන් තත්ත්වයක් ආවේ. මොනව කරන්නද ඉතින් සල්ලි එක්ක හරි තෙල් ටික දීලා නිදහස් වෙන්නම වෙනවනේ. ගිවිසුම කල් පිරෙන්නේ හෙට නිසා හිත හිතා ඉන්න කාලයක් නැහැ.

බොරතෙල් බැරලයක මිල ඩොලර් -40 දක්වා අඩු වුනේ ඔන්න ඔය විදිහටයි. හැබැයි මේ වෙද්දී නැවතත් මිල ඉහළ ගිහින් යාන්තමින් ධන පැත්තට ගිහින් තියෙනවා.

Friday, January 10, 2020

ලෝක දේශපාලනය හා තෙල්


තෙල් හා ආහාර කියා කියන්නේ අනෙක් බොහෝ පරිභෝජන භාණ්ඩ වර්ග වලට වඩා සුවිශේෂී කාණ්ඩ දෙකක්. වෙනත් සියළුම පරිභෝජන භාණ්ඩ වලට වගේම මේ කාණ්ඩ දෙකට අයත් භාණ්ඩ වලටත් ඉල්ලුම් හා සැපයුම් සාධක බලපානවා. නමුත්, අත්‍යාවශ්‍ය ආහාර හා ඉන්ධන වල ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ කියන්නේ මිල වෙනස් වන විට ඉල්ලුම වෙනස් වෙන්නේ අඩුවෙන්.

හේතුව පැහැදිලියි. අත්‍යාවශ්‍ය ආහාර නැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකියි. ඒ නිසා, මිල වැඩි වන විට සමානුපාතිකව මිල දී ගන්නා ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. මිල වැඩි වන්නේ ඇතැම් ආහාර ද්‍රව්‍ය වල පමණක්නම් පාරිභෝගිකයින්ට ඒ ආහාර ද්‍රව්‍ය වෙනුවට වෙනත් ආහාර ද්‍රව්‍ය ආදේශ කර ගන්න පුළුවන්.

බෝංචි මිල වැඩි වන විට කැරට්, ලීක්ස් ආදේශ කර ගත හැකියි. උඩරට එළවලු සියල්ලේ මිල වැඩි වූ විට පහතරට එළවලු ආදේශ කර ගත හැකියි. එළවලු, මාළු ආදී සියල්ලම දරා ගත නොහැකි තරමට මිල වැඩිනම් ටික කලක් සම්බෝලයි බතුයි හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එළවලු, මාළු මිල වැඩි වන විට ඉල්ලුමත් වේගයෙන් පහත වැටෙනවා.

නමුත්, හාල් වගේ ප්‍රධාන ආහාරයක මිල වැඩි වන විට තිබෙන විකල්ප සීමිතයි. බත් වලට ඇබ්බැහි වී සිටින කෙනෙක් තිරිඟු පිටි ආහාර ආදේශ කර ගන්නේ ලොකු කැමැත්තකින් නෙමෙයි. ඒ නිසා, හාල් මිල ඉහළ යන විට හාල් ඉල්ලුම පහත වැටෙන්නේ අඩුවෙන්. වෙනත් රටවල ප්‍රධාන ආහාර සම්බන්ධව තත්ත්වයත් මේ විදිහයි. අත්‍යාවශ්‍ය ආහාර මිල යම් මට්ටමක් ඉක්මවා ඉහළ යන බොහෝ අවස්ථා වලදී එය ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවී දේශපාලන ප්‍රශ්නයක්ද බවට පත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් කෘෂි කර්මාන්තයට යම් විශේෂයක් කරන්න යොමු වෙන්නේ මේ හේතුව මතයි.

ඉන්ධන හා අදාළ තත්ත්වයත් මුළුමනින්ම නොවූවත් මීට තරමක් සමානයි. වර්තමානයේ ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලිය වගේම එදිනෙදා ජනජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමටනම් අවම ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යම වෙනවා. ඒ නිසා, ඉන්ධන මිල ඉහළ යාමට සමානුපාතිකව ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. එය බහුවිධ අර්බුද ඇති කරනවා.

කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ යන විට පුද්ගලයෙකුගේ ආදායමෙන් ආහාර වෙනුවෙන් වැය කරන කොටස පහත වැටෙනවා. ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙක් ආහාරපාන වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 15%ක් පමණයි. එංගලන්තයේනම් 8%යි. ලංකාවේ මේ ප්‍රතිශතය 44%ක් පමණ. කොළඹ පමණක් සැලකුවොත් 28%ක් පමණ.

ලංකාවේ එළවලු මිල ඉහළ යන විට පිට පළාතක කෙනෙකුට සාපේක්ෂව කොළඹ ජීවත් වන කෙනෙක් එළවලු පරිභෝජනය සීමා කරන්නේ අඩුවෙන්. කොළඹ ජීවත් වන අයෙකුට තමන්ගේ ආදායම් අනුව පිට පළාතක කෙනෙකුට වඩා මට්ටම මිල වැඩිවීම දරා ගැනීම පහසුයි. බටහිර රටක ජීවත් වන අයෙකුට පොදුවේ ගත් විට ආහාර මිල යම් තරමකින් වැඩිවීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ඉන්ධන මිල වැඩි වීම විශාල ප්‍රශ්නයක්. බටහිර ජීවන විලාසිතාවන් පවත්වා ගත හැක්කේ ඉන්ධන මතයි.

පසුගිය සියවස තුළ ලෝක ඉන්ධන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ බටහිර රටවල ජීවන විලාසිතාවන්ගේ වෙනස් වීමයි. වෙනත් වචන වලින් කියනවානම් ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය ඉහළ යාමයි. ඒ ජීවන මට්ටම ඒ මට්ටමින් දිගටම පවත්වා ගැනීමට බටහිර රටවල සිදු වුනු ඉන්ධන නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා කාලයක් තිස්සේම බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට තෙල් අපනයනය කරන රටවලට යම් තරමකින් බටහිර රටවල් පාලනය කිරීමටත්, බටහිර සංවර්ධනයට තිරිංග හෙලීමටත් හැකි වුනා.

ලෝක තෙල් මිල ඉහළ ගිය බොහෝ අවස්ථා වලදී බටහිර රටවල ආර්ථිකයන්ට සෘණාත්මක බලපෑමක් ඇති වුනා. වඩාත්ම ආසන්නම අවස්ථාව 2008 ආර්ථික අර්බුදයයි. ආර්ථික අර්බුද බොහෝ විට දේශපාලන අර්බුද බවටත් පත් වෙනවා.

පසුගිය දශක කිහිපය සැලකුවොත්, ඇමරිකාව හැමවිටම වගේ ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයින් තිදෙනාගෙන් එක් අයෙක් වුවත් බොහෝ විට ඇමරිකාවේ තෙල් ඉල්ලුම එහි සමස්ත නිෂ්පාදනය ඉක්මවූ නිසා ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙකු මිස අපනයනකරුවෙකු වුනේ නැහැ. ඇමරිකාවේ හා ලෝකයේ වෙනත් බොහෝ රටවල තෙල් නිෂ්පාදනය කෙරෙන ආකෘතියේ වෙනස්කම්ද මෙයට හේතු වුනා.

ලෝකයේ බොහෝ රටවලින් වෙනස්ව, ඇමරිකාවේ රජය තෙල් නිපදවන්නේ නැහැ. ඇමරිකාවේ පෞද්ගලික හෝ පොදු අයිතිය යටතේ තිබෙන ඉඩම් වල මෙන්ම මුහුදේ ඇති ඉන්ධන නිධි කැන බොරතෙල් ගොඩගෙන පිරිපහදු කිරීම,ගබඩා කිරීම හා විකිණීම මුළුමනින්ම කෙරෙන්නේ පෞද්ගලික සමාගම් අතින්. මේ සමාගම් අතරින් බහුතරය ඇමරිකානු දේශීය සමාගම්. එම සමාගම් වල කටයුතු ඇමරිකාවට සීමා වී තිබෙනවා. චෙව්රොන් හා එක්සෝන්මොබිල් වැනි ඇතැම් විශාල ඇමරිකානු සමාගම් ලෝකය පුරාම තමන්ගේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙනවා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (බීපී) හා ෂෙල් වැනි ඇමරිකානු නොවන වෙනත් සමාගම්ද මේ ආකාරයෙන්ම ලෝකය පුරා සිය ව්‍යාපාරික කටයුතු සිදු කරනවා.

වෙනත් පෞද්ගලික සමාගම් මෙන්ම තෙල් ව්‍යාපාරයේ යෙදෙන පෞද්ගලික සමාගම්ද කටයුතු කරන්නේ ලාබ අරමුණු කරගෙනයි. ඒ නිසා, චෙව්රොන් හෝ එක්සෝන්මොබිල් වැනි සමාගමක් ඇමරිකානු සමාගමක් වූ පමණින් ඔවුන්ගේ අරමුණු ඇමරිකානු දේශපාලනය සමඟ සෘජු ලෙස බද්ධ වී නැහැ. උදාහරණයක් විදිහට එවැනි සමාගමක් කිසි විටෙකත් ඇමරිකානුවන්ට අඩු මිලට තෙල් ලබා දීමේ අරමුණින් කටයුතු කරන්නේ නැහැ. ඇමරිකාවේ තෙල් මිල සාපේක්ෂව අඩු මට්ටමක තිබෙන්නේ ස්වාධීන තෙල් සමාගම් අතර තිබෙන තරඟය නිසයි.

ලෝක තෙල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ චෙව්රොන්, එක්සෝන්මොබිල්, බීපී හා ෂෙල් වැනි ලාබ අරමුණු කරගත් ජාත්‍යන්තර සමාගම් අතින් නෙමෙයි. ලෝකයේ තෙල් නිධි බොහොමයක්ම පාලනය වන්නේ අදාළ රටවල රජයන්ගේ සෘජු පාලනයට යටත් ජාතික සමාගම් විසින්. උදාහරණ ලෙස සවුදි ඇරම්කෝ, චීන ජාතික පෙට්‍රෝලියම් සංස්ථාව (CNPC), කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව, රුසියාවේ ගෑස්ප්‍රොම් හා රොස්නේෆ්ට් සමාගම්, මෙක්සිකෝවේ පෙමෙක්ස් සමාගම, ඉරාන ජාතික තෙල් සමාගම හා වෙනිසියුලාවේ පෙට්‍රෝලියෝස් සමාගම (PDVSA) පෙන්වා දිය හැකියි.

ජාතික තෙල් සමාගම් වල අරමුණ ලාබ පමණක් නොවන නිසා එම සමාගම් බොහෝ විට තෙල් වෙළඳපොළේ ඉල්ලුම් සාධක වලට කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එම සමාගම් විසින් බොහෝ විට තමන්ගේ රටේ වැසියන්ට අඩු මිලකට තෙල් සැපයීම, අනෙකුත් රාජ්‍ය සුබසාධන වියදම් වල පිරිවැය දැරීම, රටේ ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා රජයේ දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගේ ලාබ කැප කිරීමට පෙළඹෙන බව නිරීක්ෂණය කළ හැකියි.

බ්‍රසීලයේ පෙට්‍රොබාස් හා නොර්වේහි ඉක්විනෝර් වැනි සමාගම්ද අදාළ රජයන්ට වැඩි අයිතිය ඇති ජාතික සමාගම් වුවත්, මුළුමනින්ම රජයේ කොටසක් ලෙස කටයුතු කරන්නේ නැහැ. එවැනි සමාගම් ලාබ අරමුණු කරගෙන ක්‍රියාත්මක වුවත් එහිදී වෙනත් ජාතික ඉලක්ක ගැනද සලකා බලනවා.

ලෝකයේ බොහෝ රටවල රජයයන්ට තමන්ගේ රටේ තෙල් සැපයුමට හා තෙල් මිලට සෘජු බලපෑමක් පහසුවෙන් කළ හැකි වුවත් ඇමරිකාවේ රජයට ඒ හැකියාව නැහැ. නමුත්, වෙනත් රටවල රජයයන් විසින් දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන තෙල් සැපයුමට හා තෙල් මිලට බලපෑම් කළ විට එය ඇමරිකානු දේශපාලනයටද බලපෑමක් කරනවා. එවැනි අවස්ථාවක  ඇමරිකාවේ රජයට ඇමරිකානු තෙල් සමාගමකට බලපෑම් කිරීම අපහසු නිසා බොහෝ විට යොමු වන්නේ වෙනත් රටක රජයකට බලපෑම් කර ලෝක තෙල් වෙළඳපොළ සමතුලිතතාවයට බලපෑම් කිරීමටයි. ඇමරිකාවේ තෙල් ඉල්ලුම හා සැපයුම අතර පරතරය වැඩි වන තරමට ඇමරිකානු ආර්ථිකයට ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑමද වැඩි වෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි, 1985-2008 අතර කාලයේදී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටුණා. අඩු මිලකට ගොඩ ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් ක්‍රමක්‍රමයෙන් අවසන් වීමත්, වෙනත් රටවල් බොහොමයක තවදුරටත් එවැනි නිධි තිබීමත් මෙයට හේතු වුනා. වෙනත් රටවලින් අඩු මිලට ඇමරිකාවට තෙල් ආනයනය කළ හැකිව තිබියදී, ඇමරිකානු සමාගම් වලට ඇමරිකාවේ ඉතිරිව තිබුණු තෙල් නිධි වලින් සම්ප්‍රදායික ක්‍රමයට තෙල් ගොඩ ගෙන පිරිපහදු කර විකුණා ලාබ ලැබීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඇමරිකානු පාරිභෝගිකයින් "දේශීය සමාගම් වල තෙල්" වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඔවුන් තෙල් මිල දී ගන්නේ අඩු මිලට ඇති තැනිනුයි.

මුලින්ම කියූ පරිදි තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ එකක්. ඒ කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන්නේ සමානුපාතිකව අඩුවෙන්. තෙල් ඉල්ලුම බොහෝ විට තීරණය වන්නේ ආදායම් මට්ටම අනුවයි. පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් සමානුපාතිකව වගේ ඉහළ යනවා.

අනෙක් අතට තෙල් සැපයුමත් කෙටි හා මැදිකාලීනව අප්‍රත්‍යස්ථයි. සම්ප්‍රදායික තෙල් ළිඳක් කැන නිෂ්පාදනය ආරම්භ කරන්න සැලකිය යුතු ආයෝජනයක් කළ යුතුවාක් මෙන්ම සැලකිය යුතු කාලයක්ද ගත වෙනවා. ඒ නිසා තෙල් කර්මාන්තයට ඉල්ලුමේ වැඩිවීමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අසීරුයි. තෙල් සැපයුම බොහෝ දුරට රැඳී තිබෙන්නේ පෙර විස්තර කළ ජාතික සමාගම් අතේ නිසා මෙය වඩාත් අසීරුයි.

මේ සහස්‍රයේ ආරම්භය පමණ වන තුරු ලෝක තෙල් පරිභෝජනයෙන් විශාල ප්‍රතිශතයකට වග කිව යුතු වුනේ බටහිර සංවර්ධිත රටවල්. ඒ රටවල් වල ආර්ථිකයන් වර්ධනය වුනේ කළින් පුරෝකථනය කළ හැකි මධ්‍යස්ථ වේගයකින්. ඒ අනුව, ලෝක තෙල් ඉල්ලුම වැඩි වන ආකාරය පුරෝකථනය කර කල් ඇතුව ප්‍රතිචාර දක්වන එක කර්මාන්තයට අසීරු වුනේ නැහැ. බොහෝ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවරව තිබුණා.


කලින් කලට ක්‍රමක්‍රමයෙන් හා වරින් වර තෙල් මිල වැඩි වුනා තමයි. එයට බොහෝ විට හේතු වුනේ ඔපෙක් සංවිධානයට අයත් රටවල් විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කරමින් මිල ඉහළ දැමීමයි. සැපයුම් සීමා කිරීම් හරහා ඔපෙක් සංවිධානයේ රටවලට තෙල් වල ආන්තික පිරිවැයට වඩා ගොඩක් වැඩියෙන් තෙල් විකුණන්න පුළුවන් වුනා. අඩු ආන්තික පිරිවැයකින් නිපදවිය හැකි තෙල් නිධි අදාළ රජයයන්ගේ සෘජු පාලනය යටතේ තිබීම මෙයට පහසුවක් වුනා.

ඔපෙක් සංවිධානය විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කිරීම නිසා තෙල් මිල ඉහළ ගියේ ටිකෙන් ටිකයි. මෙය කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වුනා. තෙල් සැපයුම සීමා වීම හා මිල ඉහළ යාම නිසා බටහිර රටවල සංවර්ධන වේගයට යම් නිශේධනාත්මක බලපෑමක් ඇති වුනා. ඉතා අඩු ආන්තික පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවීමේ හැකියාව තිබුණු මැද පෙරදිග රටවල රජයයන්ට තෙල් අපනයනය කර ලැබූ ලාබ වලින් තමන්ගේ රටවල විශාල සුබසාධන ආර්ථිකයන් පවත්වා ගත හැකි වුනා. ඒ හේතුව නිසා මේ රජයයන් අභ්‍යන්තරව වඩ වඩා ශක්තිමත් වුනා. තෙල් අපනයනය කර ඉපැයූ විදේශ විණිමය ලොව පුරා ආයෝජනය කරමින් බාහිරවද ශක්තිමත් වීමට මේ රාජ්‍යයන්ට හැකි වුනා. ඉස්ලාම් ආගමේ හා ආශ්‍රිත සංස්කෘතියේ ලෝක ව්‍යාප්තියටත් මෙය උදවුවක් වුනා.

ලෝක සංවර්ධනයේ සුක්කානම බටහිර රටවල් අතේ තිබීමත්, බටහිර සංවර්ධනය රඳා පැවතුනු තෙල් එම රටවල ප්‍රමාණවත් තරමින් නොතිබීමත්, අපනයනය කළ හැකි තරම් තෙල් තිබුණු රටවල් බටහිර සංස්කෘතියෙහි නොසිටි රටවල් වීමත් ආදී සාධක විසින් ලෝක දේශපාලන බලතුලනය තීරණය කළා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල තෙල් හිඟය විසින් බටහිර සංස්කෘතියේ ව්‍යාප්තිය සීමා කළා. මැද පෙරදිග රටවල තෙල් ආධිපත්‍යයේ වාසිය හේතුවෙන් මුස්ලිම් සංස්කෘතිය ලොව පුරා ප්‍රවර්ධනය වුනා. ජපානය වැනි රටවලට මේ බලතුලනයට කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි වූයේ නැහැ.

ආර්ථික තලයේදී, ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන සීමා කිරීම් ඇමරිකාවේ සම්ප්‍රදායික තෙල් සංචිත වඩා වේගයෙන් ක්ෂය වීමට හේතුවක් වුනා. මැද පෙරදිග සංචිත වලට සාපේක්ෂව ඇමරිකාවේ තෙල් සංචිත ගොඩ ගැනීමේ ආන්තික පිරිවැය වැඩියි. තරඟකාරී තත්ත්වයන් යටතේනම් මේ තෙල් ගොඩ ගැනෙන්නේ මැද පෙරදිග තෙල් ගොඩ ගැනීමෙන් පසුවයි. එහෙත්, මැද පෙරදිග තෙල් නිෂ්පාදනය සීමා කිරීම හා මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ තෙල් වඩා ඉක්මණින් ආර්ථික වශයෙන් ලාබදායක වුනා. ඒ නිසා, ඒ තෙල් ක්ෂය වීමත් වේගවත් වුනා. 1980-2008 අතර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් අඩු වුනේ ඒ නිසයි. මේ විදිහට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටෙද්දී තෙල් ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම නිසා ඇමරිකාවට අවශ්‍ය වූ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ඉහළ ගියා.

ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගික සැපයුම් සීමා කිරීම් වලට අමතරව මැදපෙරදිග යුද්ධමය තත්ත්වයන් ඇති අවස්ථා වලදීත් ඉන්ධන මිල ඉහළ යාම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. එහෙත්, මෙවැනි මිල ඉහළ යාම් තාවකාලිකයි. යුදමය තත්ත්වයන් පහව ගිය විට නැවත මිල ස්ථාවර වෙනවා. එහෙත්, දිගුකාලීන ඉල්ලුම් හා සැපයුම් සාධක මත තෙල් මිල වෙනස් වූ විට ඒ වෙනස්කම් එසේ නැවත ආපසු හැරෙන්නේ නැහැ.

පසුගිය ආර්ථික අවපාතයට පෙර ලෝක තෙල් මිල විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ කලින් අවස්ථා වලදී මෙන් ඔපෙක් සංවිධානය විසින් සැපයුම් සීමා කළ නිසා හෝ මැද පෙරදිග කලාපයේ යුදමය හේතුවක් නිසා නෙමෙයි. මෙහිදී මිල ඉහළ යාමට හේතු වුනේ චීනයේ වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉහළ ගිය තෙල් ඉල්ලුම සැපිරිය හැකි තරමට සැපයුම ඉහළ නොයාමයි.

චීනය කියා කියන්නේ කාලයක් තිස්සේම ඉන්ධන අපනයනය කළ රටක්. දැනටත් තෙල් නිෂ්පාදනය අතින් පස්වන හෝ හයවන තැන සිටින රට චීනයයි. පසුගිය දශක කිහිපය තිස්සේ චීන ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වූ බව කවුරුත් දන්නා දෙයක්. අඩු ආදායම් මට්ටමක සිටින රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ ඒ රටේ තෙල් ඉල්ලුම ඒ වේගයෙන්ම හෝ ඊටත් වැඩි වේගයකින් ඉහළ යනවා කියන එකයි. චීනයේත් මේ දේ වුනා.

අනූ ගණන් වලදී චීනයේ නිපදවන තෙල් ප්‍රමාණය ඉක්මවා චීනයේ තෙල් ඉල්ලුම ඉහළ ගියා. චීනයට තෙල් ආනයනකරුවෙකු බවට පත් වෙන්න සිදු වුනා. ඉන් පසුව චීනයේ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ක්‍රමක්‍රමයෙන් හා වේගයෙන් ඉහළ යන්න පටන්
ගත්තා.


චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ සිංගප්පූරුව වැනි කුඩා රටක් හෝ ජපානය වැනි තරමක රටක් වේගයෙන් වර්ධනය වෙනවා වැනි දෙයක් නෙමෙයි. ලෝක ජනගහණයෙන් පහෙන් එකක්ම ජීවත් වන්නේ චීනයේ. එවැනි විශාල පිරිසකගේ ජීවන තත්ත්වය කෙටි කලක් තුළ ඉහළ යාම නිසා වැඩි වන තෙල් ඉල්ලුම ලෝක තෙල් වෙළඳපොළේ සමතුලිතතාවයට දැඩි ලෙස දැනෙනවා. ඉන්දියාවේ ආර්ථිකය තවත් යම් ප්‍රමාණයක් වර්ධනය වූ විට නැවතත් මෙවැනිම තත්ත්වයක් දකින්න ලැබෙයි.

කලින් කීවාක් මෙන් ලෝක තෙල් ඉල්ලුම වගේම ලෝක තෙල් සැපයුමත් අප්‍රත්‍යස්ථයි. සිංගප්පූරුව හෝ ජපානය වැනි රටක් වේගයෙන් වර්ධනය වන විට ඉහළ යන ඉල්ලුමට තෙල් සැපයුම ප්‍රතිචාර දක්වන නමුත් චීනයේ වැඩිවන ඉල්ලුමට සරිලන තරමින් තෙල් සැපයුම ඉහළ යාමේ ශක්‍යතාවයක් නැහැ. චීනය වර්ධනය වුනේ ලෝක තෙල් කර්මාන්තයට ප්‍රතිචාර දැක්විය නොහැකි තරමේ වේගයකින්. ඒ නිසා, චීනයේ තෙල් ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව ඇමරිකාවේ හා යුරෝපයේ තෙල් පරිභෝජනය අඩු විය යුතු වුනා. එසේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ.

කාලයක් තිස්සේ පැවති මේ ප්‍රවණතාව නිසා ආසන්න වශයෙන් මේ සහශ්‍රයේ ආරම්භයේ පමණ සිට ලෝක තෙල් මිල ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ කාලය ඇතුළත එක පැත්තකින් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික අඩු වුනා. අනෙක් පැත්තෙන් ලෝක තෙල් සැපයුමෙන් චීනයට යන කොටස ටිකෙන් ටික ඉහළ ගියා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී අනිත් පැත්තෙන් එම ආනයන වල තරඟකාරිත්වය ඉහළ ගියා.

තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ නිසා මිල ඉහළ යන විට ඉල්ලුම පහත වැටෙන්නේ ඉතා අඩුවෙන්. මෙයම වෙනත් විදිහකට ප්‍රකාශ කළොත්, ඇමරිකාවේ තෙල් ඉල්ලුම තරමකින් පහත වැටෙන්නේ මිල විශාල ලෙස ඉහළ ගියහොත් පමණයි. ඒ නිසා, චීනයේ වේගයෙන් ඉහළ ගිය තෙල් ඉල්ලුම හමුවේ ලෝක තෙල් ඉල්ලුම හා සැපයුම සමතුලිත විය හැකිව තිබුණේ ඇමරිකාවේ හා වෙළඳපොළ සාධක මත තෙල් මිල තීරණය වන අනෙකුත් රටවල තෙල් මිල විශාල ලෙස ඉහළ යාමෙන් පමණයි. 2004-2008 කාලයේදී මේ ප්‍රවණතාව ලෝකයට දැනෙන තරමට වර්ධනය වී ආර්ථික අවපාතයකින් කෙළවර වුණා. ඇමරිකාවේ හා ඉන් පසුව යුරෝපයේ ආර්ථික අවපාතය නිසා බටහිර රටවල තෙල් ඉල්ලුම අඩු වී නැවතත් මිල පහත වැටුණා.

ඉන් පසුවත් චීනයේ තෙල් ඉල්ලුම දිගින් දිගටම වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. එහෙත්, හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය මගින් ශල්ක තෙල් නිපදවීම පටන් ගැනීමත් සමඟ කර්මාන්තයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. මෙය ඔපෙක් කණ්ඩායමේ රටවලට විශාල ප්‍රශ්නයක් වුනා.

ආරම්භයේදී සැපයුම ඉහළ දමා ලෝක තෙල් මිල පහත හෙළීමෙන් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය තිඹිරි ගෙයිම මරා දමන්නට සවුදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් රටවල් විසින් උත්සාහයක් දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය අඩු වී නැවත තෙල් මිල ඉහළ ගියා. නමුත්, දෙවන වටයේදී ශල්ක තෙල් කර්මාන්තය වඩාත් කාර්යක්ෂම වී නැවත හිස එසෙවුවා.

සවුදි අරාබිය වැනි රටවලට ඉතාම අඩු පිරිවැයකට තෙල් බැරලයක් නිපදවිය හැකි නිසා දැනට පවතින මිලට වඩා ගොඩක් අඩුවෙන් තෙල් විකිණිය හැකියි. මැද පෙරදිග රටවල් විසින් දිගින් දිගටම එසේ කළහොත් ශල්ක තෙල් කර්මාන්තයට පැවැත්මක් නැති වෙනවා. නමුත්, එම රටවල් එසේ කරන්නට ගියහොත් තෙල් අපනයන වල උදවුවෙන් පවත්වා ගන්නා සුබසාධන ආර්ථිකයන් එළෙසම පවත්වා ගෙන යන්න නොහැකි වෙනවා. අනෙක් අතට ඔවුන් තෙල් මිල පහතින් පවත්වා ගතහොත් රටක් ලෙස ඇමරිකාවට එයින් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැහැ. පොදුවේ අනෙකුත් බටහිර රටවලටත් එසේමයි. ශල්ක තෙල් කර්මාන්තය බිඳ වැටුණත් අනෙකුත් කර්මාන්ත දුවවන්න අවශ්‍ය තෙල් ලාබෙට ලැබෙනවා. ශල්ක තෙල් විප්ලවය විසින් පෙන්වා දී තිබෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමය සතු ඔරොත්තු දීමේ ශක්තියයි.

මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් නිෂ්පාදකයින්ට දැන් ශල්ක තෙල් කර්මාන්තය සමඟ සහජීවනයකට යාම හැර වෙනත් විකල්පයක් නැහැ. එය ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්.


පසුගිය දශකය තුළ ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික ඉහළ ගොස්  මේ වන විට ඇමරිකාව ශුද්ධ තෙල් අපනයනකරුවෙකු බවට පත් වී තිබෙනවා. දැන් ලෝකයේ විශාලතම තෙල් පරිභෝජකයා මෙන්ම විශාලතම තෙල් නිෂ්පාදකයාද ඇමරිකාවයි. මීට අමතරව ලෝකයේ තවත් ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වන අසල්වැසි කැනඩාවේ තෙල් කර්මාන්තය තුළත් ඇමරිකානු සමාගම් වල දායකත්වය විශාලයි. ඒ නිසා, ජනාධිපති ට්‍රම්ප් පසුගියදා සඳහන් කර පරිදි දැන් ඇමරිකාවට මැද පෙරදිග තෙල් අවශ්‍ය නැහැ.


බොහෝ කාලයක් ලෝකයේ විශාලතම තෙල් ආනයනකරු වී සිටියේ ඇමරිකාව වුවත් දැන් ඒ තැන සිටින්නේ චීනයයි. තෙල් හා අදාළව කාලයක් තිස්සේ ඇමරිකාව මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්නේ චීනයයි. කෙසේ වුවත්, ඇමරිකාව විසින් සොයා ගෙන තිබෙන රෝදය චීනය විසින් නැවත සොයා ගත යුතු නැති නිසා චීනයට අනාගතය සැලසුම් කර ගැනීම සාපේක්ෂව පහසුයි. එක අතකින් චීන තෙල් සමාගම්, ඒවා රජය සතු සමාගම් වුවත්, ලෝකයේ තෙල් නිධි තිබෙන රටවල් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙනවා. අනෙක් පැත්තෙන් චීනයත් මේ වෙද්දී හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය යොදා ගනිමින් ශල්ක තෙල් කර්මාන්තයට අත ගසා තිබෙනවා.

ශල්ක තෙල් කර්මාන්තය ප්‍රවර්ධනය වීම කාලයක් තිස්සේ තෙල් නිසා බැට කෑ ඇමරිකාවේ සිදු වී තිබෙන එකම වෙනස නෙමෙයි. පොසිල ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානම හමුවේ පසුගිය කාලය පුරාවට ඇමරිකාව විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශාල ආයෝජන සිදු කර තිබෙනවා. ඒ වගේම, අලුතෙන් නිපදවන මෝටර් රථ බොහොමයක් පෙට්‍රෝලියම් ඉන්ධන යොදා නොගන්නා ඒවා. ඒ වගේම, මේ වෙද්දී බොහෝ දෙනෙක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාවය නිසාත්, අන්තර්ජාල වෙළඳාමේ ව්‍යාප්තිය නිසාත් ප්‍රවාහන අවශ්‍යතා සීමා වීමක් වෙනවා. ඇමරිකාව ආර්ථික වර්ධන හිනිපෙතේ දැන් ඉන්නා අදියර අනුව ආර්ථිකය වර්ධනය වීම යනු භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යාම නොවන නිසා ඇමරිකාවට තවත් වැඩි වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වන්නේ සීමිතවයි. ඒ නිසා, තවත් සෑහෙන කාලයකට ඇමරිකාවට තෙල් ප්‍රශ්නයක් මතු වීමේ ඉඩක් නැහැ.

ඇමරිකාව තෙල් ස්වාධීනත්වය ලබා ගත්තා කියා කියන්නේ බාහිර ලෝකයට ඇමරිකාව පාලනය කළ හැකි ප්‍රබල අවියක් නැති වුනා කියන එකයි. ඒ වෙනස ඉදිරි කාලයේ ලෝක දේශපාලන බලතුලනය කෙරෙහි බලපාන වැදගත් සාධකයක්.

Friday, December 28, 2018

බටහිර සංවර්ධනය හා තෙල්

තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.

මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.

තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.

කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.

කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.

ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.

තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.

ප්‍රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.


සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.

තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.

කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.

අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.

උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.

පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.

Thursday, December 27, 2018

තෙල් මිල හා සංරක්ෂණවාදය

තෙල් මිල තව දුරටත් අඩු වෙමින් පවතිනවා. WTI බොරතෙල් බැරලයක මිල දැන් ටිකකට පෙර බලන විට තිබුණේ ඩොලර් 45 මට්ටමටත් පහළින්. සඳුදා දවස අවසන් වෙද්දී ඩොලර් 42.53 දක්වා මිල අඩු වී තිබුණා. මීට පෙර 2016 මුලදීත් මේ වගේම තෙල් මිල අඩු වුනා. ඒ අවස්ථාවේදී ඩොලර් 30 මට්ටමෙනුත් පහළට තෙල් මිල වැටුණා.

දැනට වසර දහයකට පමණ පෙර, 2008 මැද හරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 ආසන්නයටම ගියා. ඉන්පසුව මාස හත අටක් ඇතුළත ඩොලර් 30 ආසන්නයටම අඩු වුණා. මෙයට සමාන්තරව ඇමරිකාවේ ආර්ථිකයත් කඩා වැටුණා. කඩා වැටුණා කියා කිවුවත් ඇත්තටම වුනේ ධනවාදී ආර්ථිකයක චක්‍රීය ලෙස සිදුවන විචලනයක එක් පැත්තක් දකින්න ලැබීමයි. ආර්ථික අවපාතයට හේතු වුනේ තෙල් මිල පහළ වැටීම නෙමෙයි. නමුත්, තෙල් මිල පහළ වැටෙන්න ඇමරිකාවේ ආර්ථික අවපාතය හේතු වූ බව කීමේ වරදක් නැහැ.

සියළු දර්ශක වලින් පෙන්වන්නේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය වැඩි ඈතක නොවන බවයි. ලබන වසරේ හෝ ඊළඟ වසරේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය දැකිය හැකි වනු ඇතැයි බොහෝ ඇමරිකානුවන්, විශේෂයෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය, විශ්වාස කරනවා. නමුත්, එය සිදුවන මොහොත හරියටම කීමට කිසිවෙකුට නොහැකියි.

ලංකාව හෙජිං ගණුදෙනුවලට ගිහිං විශාල පාඩුවක් ලැබුවේ පෙර කී 2008 මැද කාලයේදී. ඒ වන විට පැවති තත්ත්වයන් යටතේ තෙල් මිල එකවර මේ තරම්ම පහත වැටෙයි කියන එක පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. තෙල් මිල ඩොලර් 200ක් පමණ වුනොත් ලංකාවට සිදු විය හැකි බලපෑම ගැන, හේතු සහගතව, ඇතැම් අය කණස්සල්ලෙන් හිටියා.

මේ කියන දවස් වල නිදහස් වෙළඳපොළ ගැන විශාල විශ්වාසයක් තැබූ, ලංකාවේ දැනටත් ජීවත් වන හා සමාජයේ ක්‍රියාකාරීව සිටින, ආර්ථික විද්‍යා චින්තකයෙකුයැයි හැඳින්විය හැකි පුද්ගලයෙකු මේ ගැන දැක්වූයේ හාත්පසින්ම වෙනස් මතයක්. නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ගැන අද තිබෙන අවබෝධය හා විශ්වාසය ඒ වන විට මට තිබුණේ නැහැ.

ඔහු කීවේ තෙල් මිල එසේ දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැති බවයි. බොහෝ දෙනෙකුගේ තර්ක වල පදනම වූ සම්පත් ක්ෂය වී අවසන් වීම කියන අදහස ඔහු විශ්වාසයෙන් යුතුව බැහැර කළා. "නියම මිල" දක්වා මිල ඉහළ යාමෙන් පසුව ගැඹුරු සාගර වල පතුළෙන් හෝ ඉන්ධන ලබා ගැනෙනු ඇති බව ඔහුගේ අදහස වුණා. මෙයට උදාහරණ ඉදිරිපත් කරමින් මීට පෙර විශාල ලෙස තෙල් මිල ඉහළ ගිය අවස්ථා බොහොමයකදීම තෙල් කැනීමේ තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුවී තිබෙන බව ඔහු පෙන්වා දුන්නා. මේ කියන පුද්ගලයා ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත විශ්වාසය තබන්නෙක් වගේම ඉතිහාසය මැනවින් දන්නා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක්.

පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වීම කියන එක 1980 දශයටත් පෙර සිට කතා කෙරුණු කරුණක්. මා කනිෂ්ඨ පංතියක ඉගෙනුම ලබමින් සිටියදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ 2020 පමණ වන විට ලෝකයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වන්නේය යන පදනමේ සිටයි. ඇමරිකාවේ මට්ටමටම ලෝකයේ සියල්ලන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම කිසිදා කළ නොහැක්කක් බව දශක කිහිපයකට පමණ පෙර ලංකාවේ දේශපාලනඥයෙකු විසින් ගණන් හදා ඔප්පු කර පෙන්වූ බව මතකයි. ඔහුගේ තර්කය වූයේ, මතක හැටියට එවකට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000ක් පමණ වූ ඇමරිකානුවෙකුගේ ජීවන මට්ටම ලෝකයේ සියල්ලන්ටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන තරමට පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත පෘථිවිය මත නොමැති බවයි.

මේ වගේ දේවල් ගණිතයෙන් "ඔප්පු කර" පෙන්වන්න පුළුවන්. හරියට මුස්ලිමුන් ලංකාවේ බහුතරය වන දවස ගණනය කර පෙන්විය හැකි අයුරින්ම. නමුත්, ආර්ථික විද්‍යාව හෝ ජනවිකාශ විද්‍යාව හා අදාළ කරුණක් තනිකරම ගණිතය පමණක් යොදාගෙන පැහැදිලි කරන්නට යාම තනිකරම තර්කනය මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පැහැදිලි කරන්න යනවා වගේ වැඩක්. ගණිතය කියන්නේ ආර්ථික විද්‍යාඥයින් හා ජනවිකාශ විද්‍යාඥයින් විසින් උපයෝගී කරගන්නා එක් මෙවලමක් පමණයි. තර්කනය කියන්නේත් නීති විෂයේදී යොදා ගන්නා එක් මෙවලමක් පමණයි. කිසියම් ස්වභාවික විද්‍යාවක් කාලයක් තිස්සේ හැදෑරු අය පමණක් නෙමෙයි එවැන්නක් මත පදනම් වූ තාක්ෂණ විෂයයක් කාලයක් හැදෑරු අය පවා මුලින්ම ස්වභාවික විද්‍යා තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඔය විදිහට තමන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මෙවලමක උපකාරයෙන්. ඒ ක්‍රමය සාර්ථක වන්නේ සීමිත තත්ත්වයන් යටතේදී පමණයි.

මේ වන විට ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 59,500ක් පමණ වෙනවා. ඉන්දියාව හා චීනය වැනි ලෝකයේ ජනගහණ කේන්ද්‍ර වල ඒක පුද්ගල ආදායම් කිහිප ගුණයකින් ඉහළ ගිහින්. මේ හේතු නිසා ලෝකයේ ඉන්ධන භාවිතය හා ඉන්ධන ඉල්ලුමත් විශාල ලෙස වැඩි වී තිබෙනවා. නමුත්, දශක කිහිපයකට පෙර ඇතැම් අය විසින් පුරෝකථනය කළ පරිදි ලෝකයේ ඉන්ධන සංචිත ක්ෂය වී ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ ලෝකයේ "ප්‍රයෝජනයට ගත හැකි" ඉන්ධන සංචිත ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. සංරක්ෂණවාදය මුළුමනින්ම බැහැර කළ යුතු අදහසක් නොවූවත්, ඒ ඔස්සේ ඕනෑවට වඩා දුර ගිය විට එය අන්තවාදයක් බවට පත් වෙනවා.

සෑම වසරක් පාසාම භාවිතයට ගෙන අවසන් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩියෙන් අළුත් ඉන්ධන සංචිත හොයා ගැනෙනවා. මෙය කරන්නේ ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් විසින් නෙමෙයි. නිදහස් වෙළඳපොළේ "අදිසි හස්තය" විසිනුයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් නිදහස් වෙළඳපොළේ අදිසි හස්තයට ක්‍රියාත්මක වීමට තිබෙන බාධා අවම මට්ටමක තබා ගනිමින් මේ කටයුත්තට දායක වී තිබෙනවා.


ටික දෙනෙකු විසින් පාලනය කළ ලෝක තෙල් වෙළඳපොළ මේ වන විට ක්‍රමයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හමුවේ පරාජය වෙමින් පවතිනවා. ඒ නිසා, ඉදිරි දශක වලදී තෙල් සම්පත් වලින් දිගින් දිගටම ලාබ ලැබූ රටවලට කලින් සෙල්ලම් දමන්න පහසු වෙන්නේ නැහැ.

ලෝකයේ ඇතැම් රටවල් වල තෙල් නිධි වලින් තෙල් බැරලයක් ගොඩගන්න ඩොලර් දහයක්වත් යන්නේ නැහැ. නිෂ්පාදන වියදම ඒ තරම් අඩු තෙල් බැරලයක් ඩොලර් 150 කිට්ටු මිලකට විකිනුණේ කොහොමද?

බටහිර රටවල් වල සමාගම් අධික ලාභ ඉපැයීම ගැනත්, අඩු ආදායම් ලබන පර්යන්තයේ රටවල පාරිභෝගිකයින්ව ගසා කෑමත් ගැන උදේ හවා කතා කරන කිසි කෙනෙක් තෙල් නිපදවන රටවල් තෙල් වලින් කරන ගසාකෑම ගැන කවදාවත් කතා කරනු මා දැක නැහැ.

තෙල් මිල කෘතීම ලෙස ඉහළින් තබාගෙන තෙල් නිපදවන රටවල් විසින් අධික ලාභ ලැබීම එම රටවල් විසින් සැලසුම් සහගතව කාලයක් තිස්සේ කළ, තවමත් කරන වැඩක්. ඉතා ඉක්මණින් වෙනස් වන්නට නියමිත දෙයක් වුවත්, අද වන විටත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය දුවන්නේ ආනයනික ඉන්ධන මතයි. පසුගිය කාලය මුළුල්ලේම ලෝක තෙල් අපනයනකරුවන් වූයේ සමාජවාදී රටවල් හා මැදපෙරදිග රටවල්. මේ රටවල් වල මිල හා නිෂ්පාදනය තීරණය වුණේ තනි පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ තීරණ මත මිස නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය මත නෙමෙයි.

ලෝක තෙල් මිල වරින් වර විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ තෙල් නිපදවූ රටවල් විසින් කෘතීම ලෙස පවත්වාගත් නිෂ්පාදන සීමාවන් බව රහසක් නෙමෙයි. ඇමරිකානු නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය නොවන්නට, 2008 මැදදී ලංකාවේ ඇතැම් අය පුරෝකථනය කළ පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ට නෙමෙයි ඊටත් වඩා ඉහළට වුවත් යා හැකිව තිබුණා. නමුත්, ලංකාවේ හෝ ඉන්ධන ආනයනය කරන අනෙක් රටවල මිනිස්සු මේ නිෂ්පාදන සීමා ඉවත් කර සාධාරණ මිලකට ඉන්ධන විකුණන්න කියා පෙළපාලි ගියේ නැහැ. විරෝධතා දැක්වූයේ නැහැ.

පෘථිවිය මත ඉන්ධන අවසන් වී මිනිස් ශිෂ්ඨාචාරයද බිඳ වැටෙනු ඇතැයි යන බිය ඇතැම් විට තෙල් සැපයුම සීමා කිරීමේ ප්‍රයත්න සාධාරණීකරණය කර හිතීම පහසු කරන්න ඇති. එහෙම නැත්නම්, හානිය බටහිර රටවලටය කියා සිතීමෙන් ලැබුණු සතුට නිසා තමන්ට වන පාඩුව අමතක වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ලංකාව වගේ රටවල් විසින් කාලයක් තිස්සෙම කළේ, කිසිදු විරෝධයක් නොදක්වා, ඉන්ධන වෙනුවෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා ගොඩක් වැඩි මිලක් තෙල් නිපදවන රටවලට ගෙවන එකයි.

කෙනෙක්ට මෙතැනදී ඉන්ධන දැවීම නිසා ඇතිවනවාය කියන පරිසර ප්‍රශ්න ගැන මතක් කරන්න පුළුවන්. එවැනි ප්‍රශ්න තිබෙනවා. හානියේ පිරිවැය හානිය වලක්වාගැනීමේ පිරිවැය ඉක්මවන මොහොතේ නිදහස් වෙළඳපොළේ අදිසි හස්තය ඒ ප්‍රශ්නත් විසඳයි. ඒ ගැන දැන්ම ඕනෑවට වඩා බය වෙන්න දෙයක් නැහැ.

සමහර විට ලංකාව වගේ රටවල සංරක්ෂණවාදී අදහස් අහම්බෙන් ඇති වුනා නොවෙන්නත් පුළුවන්. ඉන්ධන අවසන් වනවා කියන අදහස පැතිරවීම මගින් ඉන්ධන අපනයනය කළ රටවලට සැපයුම සීමා කර ලංකාව වගේ රටවල වියදමෙන් විශාල ලාබ ලැබිය හැකි වුනා. ඒ නිසා එසේ කිරීම යුක්තියුක්ත කරන දාර්ශනික පදනමක් ජනප්‍රිය කරන්න ඒ රටවලට උවමනාවක් නොතිබුණා වෙන්න බැහැ. ලංකාවේ පෙළපොත් සකස් කළ "උගතුන්" හරහා පාසැල් සිසුන් වූ අප වෙත සංරක්ෂණවාදී අදහස් කාන්දු වුනේ කොහොමද කියා හිතද්දී ඒ නිසා නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට ඉඩ නොදී තෙල් වෙළඳාමෙන් අධික ලාබ ලබන්න ඇතැම් රටවලට ඉඩ ලැබුණු බවත් අමතක කරන්න බැහැ.

Tuesday, December 11, 2018

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...


පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්‍රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්‍රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්‍රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්‍රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

Saturday, December 8, 2018

තෙලේ බලේ දැලේ වෙලේ?


"තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"

ජනාධිපති ට්‍රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්‍රම්ප්ගේ ට්විටර් සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා


තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්‍රශ්නයක්.

තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්‍රජාත්නත්‍රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.

තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්‍රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්‍රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්‍රම්ප්ට එය කළ නොහැකියි.

ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්‍ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්‍රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්‍රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්‍රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.

ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.

ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.

ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්‍රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්‍රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.

(Image: https://www.forbes.com/sites/arielcohen/2018/12/07/high-five-at-opec-russia-and-saudi-arabia-agree-1-2mbd-production-cut/#66cebe566d24)

Wednesday, November 28, 2018

අවිනිශ්චිත නොවැම්බරය


නොවැම්බර් මාසය අවසන් වෙන්න තව දවස් දෙකක් පමණයි තියෙන්නේ. සියවසකට පමණ පෙර සිදුවුණු ඔක්තෝබර් විප්ලවය කියන සිදුවීම දැන් සමරන්නේ නොවැම්බර් මාසයේ. ඒ සිදුවීම එතැන් සිට ගත වුනු සියවස් තුන්කාලක කාලය තුළ ලෝක දේශපාලනයට විශාල බලපෑමක් කළා. ඒ ආකාරයටම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගන්න දෙවරක්ම උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භක නායකයාව මරා දමනු ලැබුවේත් නොවැම්බරයකදී. ඔහු ඇතුළු අනෙකුත් මිය ගිය ජවිපෙ සාමාජිකයින්ව සමරමින් එම පක්ෂය හා එම පක්ෂයෙන් බිඳී ගිය පක්ෂ ඉල් මහ විරු සමරු පවත්වනවා.

ලංකාවේ රජය සමඟ වසර විසිහයක් යුද වැදුණු (ඊටත් පෙර සිට ක්‍රියාත්මක වූ) එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ වගේම එම අරගලය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන්ගේත් උපන් දින යෙදී තිබුනේත් නොවැම්බර් මාසයේ. මේ කාලය තුළ සැමරුණු මහවිරු සතියේදී එල්ටීටීඊ සංවිධානය විසින් බොහෝ විට කිසියම් දරුණු ත්‍රස්ත ක්‍රියාවක් කළ හෝ කරන්නට ඉඩ තිබුණු නිසා අදාළ කාලයේ බොහෝ දෙනෙක් ගෙදරින් එළියට බැස්සේ අවිනිශ්චිත හැඟීමකින්. එල්ටීටීඊ හිතවාදීන් විසින් තවමත් රහසිගතව හෝ මහවිරු සමරු පවත්වනවා. එල්ටීටීඊ සංවිධානය පරාජය කරද්දී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂත් නොවැම්බරයේම උපන් අයෙක්.

ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්වෙන මැතිවරණ දිනය යෙදෙන්නෙත් නොවැම්බරය තුළයි. ඒ නිසා නොවැම්බරය ඇමරිකාවටත් අවිනිශ්චිත මාසයක්. සති කිහිපයකට පෙර පැවති මැතිවරණයෙන් ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති වරයාගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂය වෙත මාරු වුනා.

නොවැම්බර් මාසය යෙදෙන්නේ උත්තරාර්ධ ගෝලයේ හේමන්ත සෘතුව තුළ වුවත්, අපට දැනටම හිම වැටෙන්න පටන් අරන්. සති කිහිපයකට පෙර වර්ණවත්ව තිබුණු ගස් ගොඩක් දැන් කෝටු වෙලා. හැලුණු කොළ උඩ හිම එකතු වෙලා. අපේ ගේ ඉස්සරහ තිබෙන එක මේපල් ගහකනම් තවමත් කොළ වැටිලා නැහැ. හැම අවුරුද්දේම ඒ ගහේ විතරක් කොළ වැටෙන්නේ සතියකට දෙකකට පසුවයි. මිනිස්සු වගේම ගසුත් එකිනෙකට වෙනස් නිසා වෙන්න ඇති.

ඔක්තෝබර් අවසානයේ සිට දිග් ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය නොවැම්බරය පසු කරගෙන දෙසැම්බරය කරා ගමන් කරමින් තිබෙනවා. අද ඩොලරයක මැදි මිල රුපියල් 180.39ක්. ඔක්තෝබර් 25 සිට මේ වන විට මේ මිල රුපියල් 7.66කින් ඉහළ ගොස් තිබෙනවා. නොවැම්බර් 21න් අවසන් වූ සති 4 තුළ රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 29.0ක් ඉවත් කරගෙන තිබෙනවා. නොවැම්බර් 23න් අවසන් වූ සති 4 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 7.8ක් ඉවත් කරගෙන තිබෙනවා.

මා ඉහත හානි සියල්ල දේශපාලන අර්බුදයට බැර කරන්නේ නැහැ. දේශපාලන අර්බුදය නොපැවතියත් මේ කාලය තුළ ඩොලරයේ මිල යම් තරමකින් ඉහළ යාමත්, රාජ්‍ය සුරැකුම්පත් වල හා කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන යම් ප්‍රමාණයක් රටින් පිටව යාමත් සිදු විය හැකිව තිබුණා. ඒ ප්‍රවණතා ආරම්භ වී තිබුණේ දේශපාලන අර්බුදය ඇරඹෙන්න පෙරයි. හැබැයි දේශපාලන අර්බුදය නිසා තත්ත්වය වඩා දරුණු වුණා.

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ රුපියල අවප්‍රමාණය වීම නරක දෙයක් කියා මා කියන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වුනා හෝ නොවුනා කියා හොඳ දෙය නරක දෙයක් වෙන්නේ නැහැ. නරක දෙය වන්නේ දේශපාලන අර්බුදය නිසා රුපියල අවප්‍රමාණය වීමේ අපේක්ෂිත වාසිය නැති වීමයි.

රුපියල අවප්‍රමාණය වූ පමණින් රටේ නිෂ්පාදන ආර්ථිකය එකවර දියුණු වෙන්නේ නැහැ. රුපියල නියම තැනට ඇවිත් ස්ථාවර වුවත්, දශකයක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ගොඩ නැගුනු ආනයන අපනයන පරතරය නැති වෙන්න අඩු වශයෙන් වසර කිහිපයක්වත් යයි. නමුත්, දේශපාලන අර්බුදය ආරම්භ වන විටත් ආර්ථිකයේ සේවා අංශය විණිමය අනුපාතිකයේ වෙනස් වීමට ප්‍රතිචාර දක්වමිනුයි තිබුණේ. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විණිමය සැලකිය යුතු ලෙස වැඩි විය හැකිව තිබුණා.

දැනට පවතින තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැක්කේ අධිකරණ තීන්දු වලින් පසුව පමණයි. ඇතැම් අය කියන විදිහට නොවැම්බරය ලංකාවට අරාජික මාසයක්. නමුත්, මා එසේ හිතන්නේ නැහැ. මහින්ද පාර්ශ්වයේ අරමුණ වුනේම කවර ආකාරයෙන් හෝ රාජ්‍ය බලය ඇල්ලීම හා පවත්වාගෙන යාමයි. සමස්තයක් ලෙස බැලූ විට ඔවුන් මේ වන විට අපේක්ෂිත අරමුණ ඉටු කරගෙන තිබෙනවා. රටින් පිටත පිළිගැනීමක් නැතත්, රට ඇතුළේ ඔවුන් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරමින් සිටිනවා.

රාජ්‍ය බලයට දිගින් දිගටම හිමිකම් කිවුවත්, මහින්ද පාර්ශ්වයේ අභියෝගය හමුවේ රනිල් විසින් කළේ රාජ්‍ය බලය අතහැර දැමීමයි. ඔවුන් උත්සාහ කළේ ව්‍යවස්ථාදායකය හරහා විධායකයේ බලයට අභියෝග කිරීමටයි. ඒ සඳහා ඔවුන්ට කල් පසු වී වුවත් අධිකරණයේ සහායද පතන්නට සිදු වුණා.

මේ වන විට මහින්ද විරෝධී කණ්ඩායම විසින් ව්‍යවස්ථාදායකය තුළ සිය බලය තහවුරු කරගෙන සිටියත් එතැනින් එහාට අඩියක් තියන්න ඔවුන්ට හැකි වී නැහැ. ව්‍යවස්ථාදායකය නොසලකා හරිමින් විධායකය ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇමරිකාවටත් හුරුපුරුදුයි. ව්‍යවස්ථාදායකය විසින් මුදල් වෙන් නොකිරීම මත ඇමරිකන් ෆෙඩරල් රජයේ ක්‍රියාකාරීත්වය සීමා කරන්න සිදු වී තිබෙන්නේ වරක් දෙවරක් නෙමෙයි. නමුත්, රට ඇතුළේ ඇමරිකන් ෆෙඩරල් රජයේ බලපෑම එතරම් විශාල නොවන නිසා ෆෙඩරල් රජය අකර්මන්‍ය වීම සාමාන්‍ය ජන ජීවිතයට ලොකු බලපෑමක් කරන්නේ නැහැ.

ලංකාවේ සාමාන්‍ය ජනජීවිතයට මධ්‍යම රජයේ බලපෑම ඊට වඩා ගොඩක් වැඩියි. නමුත්, දැන් පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවේ විධායකය ඇමරිකාවේ විධායකයට වඩා ගොඩක් බලවත්. ලංකාවේ විධායකයට ව්‍යවස්ථාදායකය නොසලකා කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඇමරිකානු ජනජීවිතයට සෘජු බලපෑමක් කරනවාට වඩා පහසුවෙන්, වෙනස් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටකට සෘජු බලපෑමක් කර, ඒ හරහා වක්‍ර ලෙස ඇමරිකන් ජනජීවිතයට බලපෑමක් කිරීම ඇමරිකන් ජනාධිපතිවරයාට පහසුයි.

උදාහරණයක් ලෙස ගත්තොත් ලංකාවේ රාජ්‍ය නායකයෙකුට මෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට සෘජුව ඇමරිකාවේ තෙල් මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. එය තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. නමුත්, ඔහුට තෙල් නිපදවන ප්‍රධාන රටක් වන සවුදි අරාබියේ රාජ්‍ය නායකයාට බලපෑමක් කළ හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස, දැන් සිදු වී තිබෙනාවක් මෙන්, තෙල් මිල විශාල ලෙස පහළ වැටෙන්න පුළුවන්.

හැත්තෑ හතේ සිටම ලංකාවේ ව්‍යවස්ථාදායකය කියන්නේ විධායකය විසින් නැටවූ රූකඩ මඩුවක් පමණයි. මෙය යම් තරමකින් වෙනස් වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති සේ කටයුතු කළ වකවානු දෙකේදීයි. මුල් අවස්ථාවේදී විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම අවසන් වුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය නීත්‍යානුකූල ලෙස පරාජය කරනු ලැබීමෙනුයි. දහනවවන සංශෝධනයේ අරමුණ වූයේ එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමයි. ඒ උත්සාහය කෙතරම් සාර්ථකද කියා දැනගන්න ලැබෙන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දු වලින් පසුවයි.

Friday, September 21, 2018

මිල සූත්තරේ...

ලංකාවේ ඉන්ධන මිල කියන්නේ තනිකරම වෙළඳපොල විකෘතියක්. එයින් කොයි වෙලාවකවත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හෝ නිෂ්පාදන පිරිවැය නිවැරදිව නිරූපණය වෙන්නේ නැහැ.

ප්‍රශ්නයේ මුල තියෙන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තිබෙන ඒකාධිකාරය. කාට හරි කියන්න පුළුවන් ඉන්දියන් තෙල් සමාගමත් ඉන්න නිසා දැන් එහෙම ඒකාධිකාරයක් නැති බව. ඇත්ත. ඉන්දියන් තෙල් සමාගමේ සම්ප්‍රාප්තිය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට සෑහෙන බලපෑමක් කළා තමයි. නමුත්, තවමත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ සෑහෙන තරමේ ඒකාධිකාරී බලයක් තියෙනවා.

මේ වන විට (සැප්තැම්බර් 21) ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 2.852ක්. ඇමරිකාවේ ඉන්ධන වලට ලංකාවේ වගේ නිශ්චිත මිලක් නැහැ. පාරේ අනිත් පැත්තේ හෝ අල්ලපු වැටේ මිල අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මිල විශාල ලෙස අඩු වැඩි වෙනවා. මෙහි සඳහන් කළේ ඒ ගණන් වල සාමාන්‍ය අගය. මේ එක් වෙළඳසැලක් ගත්තත් දිනපතාම මිල උච්ඡාවචනය වෙනවා.

අද ඩොලර් එකක මැදි මිල (ගැනුම් මිලේ හා විකුණුම් මිළේ සාමාන්‍යය) රුපියල් 168.72ක්. ඒ අනුව, ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ලංකාවේ රුපියල් වලින් 481.19ක්. ඇමරිකන් ගැලුමකට ලීටර 3.78541ක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 127.12ක් වෙනවා. ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල මේ වන විට රුපියල් 149ක්. රුපියල් 22ක් පමණ වැඩියි.

ඩොලර් එකේ මැදි මිල 197.76ක් වුනොත් ඇමරිකාවේ හා ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල සමාන වෙනවා. නමුත්, රුපියල මේ යන ගැම්මටම ඒ තරමට අවප්‍රමාණය වෙයි කියා හිතන්න අමාරුයි. බොහෝ විට තව ටිකක් වැඩි වෙලා ස්ථාවර වෙයි. එහෙම නොවුණොත් මහ බැංකුව මොනව හරි සෙල්ලමක් දාල රුපියල අවප්‍රමාණය වෙන එක සීමා කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල ඇමරිකාවේ මිලට වඩා ඉහළින් තව ටිකක් කල් තියෙයි.

ලංකාවේ ඉන්ධන මිල තීරණය වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ නැත්නම් කණ්ඩායමකගේ හිතුමනාපයට කියන එක කවුරුත් දන්න දෙයක්නේ. කාලෙන් කාලෙට මිල සූත්‍ර කතාත් ඇහෙනවා.

ඇමරිකාවේ මිල එක්ක සංසන්දනය කළොත් ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ වුනත්. මගේ පෞද්ගලික අදහස ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් ඉහළින් තිබුණත් ප්‍රශ්නයක් නෑ කියන එකයි. මම එහෙම කියන්නේ හේතු ඇතුවයි.

ඇමරිකාවේ පැට්‍රෝල් මිල ලංකාවේ මිලට වඩා අඩු වුවත් ඇමරිකාවේ ඉන්ධන විකුණන සමාගම් මේ වැඩෙන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන් මේ වගේ අඩු මිලකට ඉන්ධන විකුණන අතරේම සැලකිය යුතු ලාබයකුත් උපයනවා. ඒ එම සමාගම් වල කාර්යක්ෂමතාවය තුළින්. ඒ නිසා, එවැනි සමාගමක කොටස් හිමියන්ටත් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබන්න අමාරුවක් නැහැ.

ලංකාවේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ පැට්‍රෝල් මිල ඇමරිකාවේ මිලට වඩා වැඩි වුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දුවන්නේ පාඩු පිටයි. පාඩුවක් තියෙන තැනක පාඩුවට කරගහන කවුරු හෝ ඉන්නත් ඕනෑනේ. මේ පාඩුව අවසාන වශයෙන් දරන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත්, එය සිදුවන තුරු එම සංස්ථාව ලබන අලාබ වෙනත් අය මත පටවනවාට වඩා ඉන්ධන මිල ඉහළ දමා පාඩු පියවා ගැනීම සුදුසු බවයි මම හිතන්නේ. ඒ වගේම ඉන්දියානු තෙල් සමාගම ලංකාවේ වෙළඳපොළට පැමිණෙන්න පෙර කාලයට සාපේක්ෂව ඉන්පසු කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය සැලකිය යුතු තරමින් ඉහළ ගිය බවත් නොකියාම බැහැ.

ඔය කියන පෙර කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල නියම කළේ විශාල ලාභ ආන්තිකයක් තබාගෙනයි. නමුත්, ඒ ලාබ ආන්තිකයේ ප්‍රයෝජන රටේ ජනතාවට ලැබුණේ නැහැ. තබාගත් ඉහළ ලාභ ආන්තික නාස්ති කර දමමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කිරීම පමණයි සිදුවුණේ. අනූව දශකයේ මැද හරියේදී තමයි තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය වාර්තා තබපු කාලය.

ඉන්දියානු තෙල් සමාගම පැමිණියාට පසුව තෙල් සංස්ථාව කිසියම් අර්බුදයකට ගියා කියන්න පුළුවන්. තෙල් සංස්ථාව තමන්ගේ තිබුණු අකාර්යක්ෂමතාවයන් එක්ක පාඩු නොලබන්නනම් කලින් වගේම ඉහළ ලාබ ආන්තිකයක් තබාගෙන මිල නියම කළ යුතුව තිබුණා. එහෙම කළානම් ඒ මිලටම විකුණා ඉන්දියානු තෙල් සමාගම දැවැන්ත ලාබයක් ලබනවා. එවිට තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය කැපී පෙනෙනවා.

ඉන්දියානු තෙල් සමාගම පැමිණියාට පසුව ලංකාවේ ඉන්ධන මිල නියම කෙරුණේ කලින් යුගයට සාපේක්ෂව සැලකිය යුතු තරම් පහළිනුයි. එසේ කිරීමෙන් ඉන්දියානු තෙල් සමාගමේ ලාබ සීමා කරන්න හැකි වුනත්, ඔවුන් තව දුරටත් සැලකිය යුතු ලාබයක් ලැබුවා. අනෙක් අතට, තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන තැනකට වැටුණා.

පසුකාලීනව ලංකාවේ ආණ්ඩු තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබද්දී තෙල් මිල පහළින් තබාගත්තා. මේ හරහා රටේ උද්ධමනය කෘතීම ලෙස පාලනය කරන්න පුළුවන් වුණා. ඒ එක්කම ලංකාවේ දේශපාලන බලය තීරණය කරන මධ්‍යම පාංතික සමාජ ස්ථරය සතුටු කරන්නත් පුළුවන් වුණා. පහුගිය ආණ්ඩුව විසින් පටන්ගත් මේ වැඩේ මේ ආණ්ඩුව විසිනුත් දිගටම කරගෙන යනවා.

තෙල් මිල පහළින් තබාගැනීමේ දිගුකාලීන අවාසි ගණනාවක්ම තිබෙනවා. එයින් ප්‍රධාන අවාසිය ඉන්ධන ඉල්ලුම ඕනෑවට වඩා වැඩි වී ගෙවුම් ශේෂය මත පීඩනය ඉහළ යාමයි.

අද (සැප්තැම්බර් 21) වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 74.69ක්. මේ බ්‍රෙන්ට් හා WTI මිල ගණන් වල සාමාන්‍ය අගය. ඩොලරයක මැදි මිල රුපියල් 168.72ක්. ඒ අනුව, බොරතෙල් බැරලයක් රුපියල් වලින් 12,602ක් වෙනවා. 1990 අවසානයේදී මේ මිල රුපියල් 970ක් පමණයි. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල රුපියල් වලින් ගත්තහම 13 ගුණයකින් වැඩි වී තිබෙනවා. නමුත්, මේ කාලය තුළ ලංකාවේ පැට්‍රෝල් මිල වැඩි වී තිබෙන්නේ රුපියල් 30 සිට 149 දක්වා 5 ගුණයකින් පමණයි. 1990 මිල සූත්‍රය අනුව බැලුවොත් අද වන විට පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 390ක් විය යුතුයි.

ඒ තරම් ඈත කාලයකට යන්නේ නැතුව 2005 වගේ අවුරුද්දකට ගියොත් බොරතෙල් බැරලයක මිල රුපියල් වලින් 2.25 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වන විට තිබුණු මිල සූත්‍රය අනුව බැලුවොත් අද වන විට පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 178ක් විය යුතුයි.


මේ ගණන් හැදීමේදී වෙනත් දේශීය සාධක වල බලපෑම සලකා නැහැ. පැට්‍රෝල් මිල මත බලපාන අනෙකුත් දේශීය වියදම් පිළිබඳ තොරතුරු සොයාගැනීම අපහසුයි.

Wednesday, March 30, 2016

නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...


තෙල් හා වතුර කලවම් නොවේ. ඒ වගේම නෙළුම් කොළේ දිය රැඳෙන්නේත් නැත. ඒ අනුව, තෙල් සහ නෙළුම් දෙකටම වතුර ඇලජික්ය. තෙල් සහ නෙළුම් අතර වෙනත් සම්බන්ධතාවයක් ගැනනම් මතකයට එන්නේම නැත.

ඉකොනොමැට්ටා විසින් ලියා පළ කළ තෙල් ගැන ලිපියකට නෙළුම් සම්මානයක් ලැබී තිබේ. "ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට" නම් වූ මේ ලිපිය පළකළේ පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදාය. ඒ ලිපියෙන් කතා කළේ ඊට දින තුනකට පෙර සිදුවූ ඇමරිකානු බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීම, ඒ සඳහා හේතු වූ කරුණු හා වසර හතළිහකට පෙර එම තහනම පැනවීමට හේතු වූ පසුබිම ගැනය.

ඉහත ලිපිය පළ කිරීමෙන් පසු මතු වූ අදහසක් වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහතයාම ඇමරිකාව හා සවුදි අරාබිය එකතු වී කෘතිමව ඇති කළ තත්ත්වයක් බවයි. දින දෙකකට පසු දෙසැම්බර් මස 23 වන දින "තෙල් මිල ඉහළ යයිද?" යන මාතෘකාව යටතේ ඉකොනොමැට්ටාගේ අඩවියේ පළ කළ තවත් ලිපියක් මඟින් පැහැදිලි කළේ එය එසේ නොවන බවයි. තෙල්මිල පහළ යාමට හේතු වූ දීර්ඝකාලීන හා ආසන්න හේතු එහිදී සාකච්ඡා කෙරිණි. මේ ලිපිය පලවී තෙමසක් ඉක්මගොස් ඇති මේ මොහොතේ සාකච්ඡා කෙරෙන්නේ ලෝක තෙල් වෙළඳපොළ හා අදාළව ඉන්පසුව සිදුවූ වර්ධනයන් ගැනය.


එම ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

"මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි."

"...මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ...තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත."

"...ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. "

මේ ලිපි පළ කෙරෙන විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40 මට්ටමේ පැවතුනු අතර පසුගිය පෙබරවාරි මැද වන විට මේ මිල 2003 සිට පැවති අඩුම මිල වන ඇමරිකන් ඩොලර් 26 මට්ටම දක්වාම අඩු විය. කෙසේවුවද, එතැන් සිට ගතවූ පසුගිය සති හය තුළ ලෝක තෙල්මිල නැවතත් ඇමරිකන් ඩොලර් 40 මට්ටමට පැමිණ ස්ථාවර වී තිබේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පෙර ලිපි වලින් කතා කළ ගල උඩ සටනේ දිනුම ලැබුණේ කාටද?

පසුගිය මාස හතරේ දත්ත අනුව පෙනීයන්නේ සවුදි අරාබිය ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ කරා ලඟා වී ඇති බවයි.


2011 වසර ආරම්භයේදී ඇමරිකාවේ සක්‍රිය කැනීම් අට්ටාල 1,220ක් පැවති අතර එම වසර අවසාන වන විට මෙම සංඛ්‍යාව 1,694 දක්වා වැඩි විය. 2013 වසර ඇරඹෙන විට මේ ගණන 2007 දක්වා තවදුරටත් වැඩි විය. මේ වර්ධනයට හේතු වූයේ පැවති ඉහළ තෙල්මිල හේතුවෙන් ශල්ක තෙල් කැණීම් සඳහා වන ආයෝජන දිරිමත් වීමයි.

කෙසේවුවද, 2014 මැද වන විටත් ඇමරිකන් ඩොලර් 100-110 මට්ටමේ පැවති තෙල්මිල එතැන් සිට කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමඟ ආයෝජන ප්‍රවාහ ඇණහිටීම නිසා අළුතින් අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීම සිදුවුණේ ඉතා සෙමිනි. අළුතින් කැණීම් අට්ටාල ඉදිකිරීම නැවතීමෙන් පසු පැරණි කැණීම් අට්ටාල ක්‍රමයෙන් කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත් වෙද්දී ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.

පසුගිය 2015 ආරම්භයේදී සක්‍රියව පැවති කැණීම් අට්ටාල 1,811 වසර අවසානය වන විට 698 දක්වා අඩු විය. එහෙත්, පසුගිය වසර තුළ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණේය. එයට හේතු වූයේ, නිෂ්පාදනයෙන් ඉවත් වූයේ වඩා අකාර්යක්ෂම කැණීම් අට්ටාල වීමත්, දිගටම නිෂ්පාදනයේ යෙදුණු කැණීම් අට්ටාල වල ඵලදායිතාව ඉතා විශාල ලෙස දියුණු කෙරුණු නිසාත්ය. කෙසේවුවද, හැම දෙයකටම සීමාවක් තිබේ.

පසුගිය මාර්තු 24 දින වන විට ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන 464 දක්වා අඩුවී ඇති අතර එය තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, පෙබරවාරි මාසයේ පමණ සිට ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදන පරිමාවන්ද අඩුවෙමින් පවතී. මේ අනුව සවුදි අරාබිය විසින් ඇමරිකාවේ දරාගැනීමේ සීමාව සාර්ථක ලෙස පරික්ෂාවට ලක්කර තිබේ. තෙල් මිල ඇමරිකන් ඩොලර් 26 මට්ටමට වැටී නැවතත් ඉහළ යාමෙන් පෙනෙන්නේ මිල පහත වැටිය හැකි අවසාන සීමාව එය බවයි. අළුත් කැණීම් අට්ටාල ඉදිවීම අඩාල වී ඇති නිසා ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ඇමරිකානු බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් පහත වැටීමෙන් තෙල් මිල තරමක් දුරට ඉහළ යා හැකිය.

අනෙක් අතට ඉදිරියේදී තෙල්මිල විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක්ද නැත. තෙල්මිල ඇමරිකන් ඩොලර් 55-70 මට්ටමට ලඟාවුවහොත් ඇමරිකාවේ ශල්ක තෙල් කැනීම් අට්ටාල රැසක් නැවතත් වහා ඉදිවනු ඇත.

මෑතකාලීන තෙල් මිලේ සිදුවූ වෙනස්කම් නිසා සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලටත්, රුසියාවටත් ඇති වූ බලපෑම ගැනත් සවුදි-රුසියානු ගිවිසුමේ අනාගතය ගැනත් පසුව කතා කරමු.


(Image: skycare.unetedu.vn)

Thursday, January 14, 2016

ඉරාන තෙල් සහ ඉරාන ඩොලර්

මේ ලිපිය පළවන මොහොත වන විට ඉරානය විසින් අරක් න්‍යෂ්ඨික ප්‍රතිකාරකය ගලවා ඉවත් කර අදාළ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා අවසන් විය යුතුය. මේ බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය විසින් තහවුරු කිරීමෙන් පසුව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවසන් කටයුත්තද සිදුව ඇති බැවින් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළට ඇතුළු වීමටත්, ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි විදෙස් බැංකු වල ඇති ඔවුන්ගේ සංචිත ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

සම්බාධක ඉවත් වුවද ඉරානයට ඇතුළු වීමට ලැබෙන්නේ වසර තුනහමාරකට පෙර ඔවුන්ව ඉවත් කරනු ලැබූ වෙළඳපොළටම නොවේ. ඒ වන විට ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ ලිපිය ලියන මොහොත වන විට (13 බදාදා) ඩොලර් 30 මට්ටමෙන්ද පහතට වැටී ඇත. මෙවැනි අඩු මිලක් අවසාන වරට පැවතියේ 2004 වසරේදීය.

කෙසේ වුවද, ඉරානය පවසන්නේ සම්බාධක ඉවත් කෙරුණු වහාම බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බවයි. ප්‍රශ්නය ඇත්තේ මේ වැඩි වන නිෂ්පාදනයට සිදුවන්නේ කුමක්ද යන්නයි.

ඉරානය ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළෙන් ඉවත්ව සිටි කාලය තුල ලෝක තෙල් සැපයුම බොහෝ සේ වැඩි විය. මේ වන විට සමස්ත ලෝක තෙල් නිෂ්පාදනය සමස්ත ලෝක තෙල් ඉල්ලුමට වඩා වැඩිය. බොරතෙල් මිල එන්න එන්නම පහළ වැටෙන්නේ මේ නිසාය. මුලින් ඉරානය විසින් තෙල් සැපයූ වෙළඳපොළවල් මේ වන විට වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන හමාරය. මේ නිසා ඉරානය හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ. කෙසේ වුවද, තමන්ගේ පෙර පැවති වෙළඳපොළවල් නැවතත් අල්ලාගත හැකි බව ඉරානයේ විශ්වාසයයි.

ඉරානයට සම්බාධක පනවන විට ලංකාවේ බොරතෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වාගේ සැපයුනේ ඉරානයෙනි. එයට හේතුවක් තිබුණේය. එය තාක්ෂණික හේතුවකි. ලංකාවට ඇත්තේ එකම එක තෙල් පිරිපහදුවකි. සපුගස්කන්දේ ඇති, දිනකට බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි මේ තෙල් පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් පිරිපහදු කිරීමටය.

බොරතෙල් කියා කතාවට කිවුවත් හැම බොරතෙලම සමාන නැත. ඒවායේ සංයුතියේ වෙනස්කම් තිබේ. පිරිපහදු සාදා ඇත්තේ යම් නිශ්චිත සංයුතියක් ඇති බොරතෙල් උපරිම කාර්යක්ෂමතාවයකින් පිරිපහදු කළ හැකි ආකාරයෙනි. එනම්, බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගත හැකි පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි දේවල අනුපාතය වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන අනුපාතය වන ලෙසිනි. එක් බොරතෙල් වර්ගයක් පිරිපහදු කිරීමට සාදා ඇති පිරිපහදුවක් උපයෝගී කරගෙන වෙනත් බොරතෙල් වර්ගයක් පිරිපහදු කළ විට මේ අනුපාත විශාල ලෙස වෙනස් වේ. සමස්තයක් වශයෙන් සිදුවන්නේ ලබාගත හැකි අවසන් නිෂ්පාදන පරිමා විශාල ලෙස අඩුවීමයි.

මෑතකදී ඇමරිකාව විසින් කලක් පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීමටද මේ කරුණ හේතුවිය. ඇමරිකාවේ පිරිපහදු බොහොමයක් සවුදි ආරාබිය ප්‍රධාන මැදපෙරදිග බොරතෙල් පිරිපහදු කිරීමට සීරුමාරු කර ඇත. ඒ නිසා ඇමරිකාවේ නිපදවන ශල්ක තෙල් පිරිපහදු කිරීමට මේවා සුදුසු නැත. ඒ නිසා, ඇමරිකාවේ කොතරම් ශල්ක තෙල් නිපදවූවත් මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම, ඇමරිකාවේ පිරිපහදු කළ නොහැකි අතිරික්ත බොරතෙල් අපනයනය කිරීම අඩු කාර්යක්ෂමතාවක් යටතේ පිරිපහදු කිරීමට වඩා වාසි සහගතය.

ලංකාව විසින් ඉරානයෙන්ම බොරතෙල් ආනයනය කිරීමට දෙවන හේතුවක්ද තිබුණේය. ඒ ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වයයි. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ඇති කරගත් යාන්ත්‍රණයකි. මුලින්ම, 1974දී මෙය අරඹන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, නේපාලය හා ඉරානය මෙහි සාමාජික රටවල් විය. පසුව, දකුණු ආසියානු කලාපයේ ඉතිරි රටවල් වූ බංග්ලා දේශය, මියන්මාරය, භූතානය සහ මාල දිවයිනද එක් විය.

මේ යාන්ත්‍රනය අනුව, ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් සමඟ ආනයන අපනයන කිරීමේදී වහාම මුදල් ගෙවිය යුතු නැත. ඒවා ගිණුම් වල සටහන් කර ගෙවීම් සහ ලැබීම් එකිනෙක අවලංගු කිරීමෙන් පසුව මාස දෙකකට වරක් ඉතිරිවන ශුද්ධ ශේෂය පමණක් ගෙවීම මේ යටතේ සිදුවේ. ලංකාව හා ඉරානය ගත් විට ලංකාව ඉරානයෙන් විශාල ලෙස තෙල් ගෙන්වූවද, තේ ටිකක් හැරුණු විට අප විසින් ඉරානයට මහ දෙයක් යැවුවේ නැත. මේ නිසා, ප්‍රායෝගිකව මේ යාන්ත්‍රනය නිසා අපට අප ගෙන්වන බොරතෙල් වලට මාස දෙකක් දක්වා කාලයක් යන තුරු මුදල් නොගෙවා සිටීමේ හැකියාව ලැබුණේය.

ඉරානයට සම්බාධක පැනවීමත් සමඟම අපට මේ වාසි දෙකම නැති විය. මුලින්ම මේ සුවිශේෂී තත්ත්වය සලකා අපට තවදුරටත් ඉරානයෙන් තෙල් ගෙන්වීමට ඉඩකඩක් සපයා තිබුණත් පසුව ඒ සහනයද ඉවත් කෙරිණි. ඇත්තටම ඊට පෙරම අපට ඉරානයෙන් තෙල් ප්‍රවාහනයට නැව් සමාගම් අකැමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව, පසුගිය කාලයේදී සවුදි අරාබිය, අබුඩාබි වැනි වෙනත් රටවලින් තෙල් ආනයනය කිරීමට ලංකාවට සිදුවී තිබුණේය. මේ තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගත හැකි 'ඵලදාව' (yield) 20%කින් පමණ අඩු බව සඳහන් වී තිබුණි.

ඉරාන තෙල් නැවත ලැබීම ලංකාවට හොඳ ප්‍රවෘත්තියකි. අනෙක් අතට, තමන්ගේ පෙර පැවති වෙළඳපොළක් වෙත නැවත ප්‍රතිෂ්ඨ වීමට ලැබීම ඉරානයටද වාසියකි.

මේ අල්ලපනල්ලේ ලංකාව ඉරානය සමඟ තවත් ඩීල් එකක් දාගෙන තිබේ. ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලින් 70%ක් ගෙවන්නට ඉරානය කැමති වී ඇත. පිරිපහදු පහසුකම් පුළුල් කළ පසු දැන් මෙන් දෙගුණයක්, එනම් දිනකට බොරතෙල් බැරල් 100,000ක් දක්වා පිරිපහදු කිරීමට පුළුවන.

පිරිපහදු පහසුකම් පුළුල් කිරීම හොඳ වැඩකි. එහෙත්, ඉරාන සල්ලි වලින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉරාන තෙල්ම පිරිපහදු කළ හැකි අයුරින් මේ පුළුල් කිරීම සිදුකිරීම බව පැහැදිලිය. මෙතැනදීනම් වෙන්නේ බිත්තර සියල්ල එක කූඩයේ දැමීමකි. ඉරාන තෙල් වලටම ලංකාව හිර කර ගැනීම ඉරානයට වාසියකි. 100%ක්ම ඉරාන තෙල් මතම යැපෙන එකම රට ලංකාවයි.

අනෙක් අතට, තර්කානුකුලව බැලූ විට, මේ මුදල් දෙනවා කීවාට ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මේ මුදලට හරියන ප්‍රමාණයට, දිගුකාලීනව මුදල් පියවිය හැකි පරිදි තෙල් ලැබීමයි. මේ අනුව, පැරණි වෙළඳපොළට නැවතත් පහසුවෙන් ඔලුව දමා ගැනීමට හැකි වීමේ වාසියද ඉරානයට ලැබේ. ඉරානය තමන්ට අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් දෙපැත්තකින්ම වැඩේ ගොඩ දාගෙන තිබේ.

ලංකාව මේ වෙලාවේ සිටින තත්ත්වය අනුව මේ තීරණය තේරුම් ගත හැකිය. බිලියන 1.5කින් 70%ක් යනු ඩොලර් බිලියනයකි. රවී කරුණානායක සඳහන් කළ බව පැවසෙන ඩොලර් බිලියනයේ ආයෝජනය ඇතැම් විට මෙය විය හැකිය. මේ වෙලාවේම මේ බිලියනය හැර වෙනත් බිලියන්ද තිබේනම් එය සැබෑවටම අහඹු සිදුවීමකි. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල සෑහෙන කලකට ස්ථාවර කර ගත හැකි මුදලකි.

කෙසේවුවද, රුපියල වැටීම මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නොවේ. එය අත්‍යවශ්‍ය නිවැරදි වීමකි. සැබෑ ප්‍රශ්නය රුපියල වැටීමට හේතුවන පදනමයි. අපේ ශරීරය වෛරසයක් සමඟ සටන් කරන විට ශරීර උෂ්ණත්වය වැඩි වන්නේ වැඩි උෂ්ණත්වයේදී මේ සටන වඩා කාර්යක්ෂමව සිදුවන නිසාය. ඒ නිසා එවැනි වෙලාවක උණ පොඩ්ඩක් තිබීම අවසාන වශයෙන් හොඳ දෙයකි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා අදාලව පරණ දොස්තරලා වගේම අලුත් දොස්තරලාත් බෙහෙත් හොයන්නේ රෝග ලක්ෂණ වලට මිස රෝග නිධාන වලට නොවේ. බිලියනයකින් හෝ දෙකකින් මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්නට පුළුවන. එහෙත්, ඉරානයෙන් ණය ගත්තත්, වෙනත් විදේශ ආයෝජකයෙකුගෙන් ගත්තත් අවසානයේදී ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...