වෙබ් ලිපිනය:

Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts
Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, September 4, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (තෙවන කොටස)


ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.

වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන. 

පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.  

රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා. 

හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්. 

ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.

අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.

රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා. 

ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා. 

ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.

දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා. 

මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.

එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි. 

පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්. 

ලංවිම - 12,711 GWh 

පෞද්ගලික අංශය - 4,004 GWh 

එකතුව - 16,716 GWh 

මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.

කොට්ඨාශය 1 - 4,129 GWh 

කොට්ඨාශය 2 - 4,766 GWh 

කොට්ඨාශය 3 - 2,675 GWh 

කොට්ඨාශය 4 - 2,010 GWh 

ලෙකෝ - 1,633 GWh 

එකතුව - 15,214 GWh 

හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.

විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්. 

කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89  

කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85

කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17

කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68

ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04

මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ. 

ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය. 

ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි. 

ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි. 

හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි. 

අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ. 

කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.

මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 

සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන. 

ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා. 

ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු. 

Tuesday, August 30, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (දෙවන කොටස)

ලංවිම අවසන් වරට ලාබ ලැබුවේ 2015 වසරේදී. එම ලාබය වුවද ගිණුම්කරණ ලාබයක් මිස ආර්ථික ලාබයක් නෙමෙයි. 2016 සිට 2021 දක්වාම ලංවිම දිගින් දිගටම පාඩු ලබනවා. මෙයට හේතුව ලෙස ලබා දිය හැකි කෙටි පිළිතුර විකිණුම් මිල වෙනස් නොවුනත් නිෂ්පාදන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

ලංවිම නිෂ්පාදන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කොයි තරම් වහිනවාද කියන එකයි. වහින අවුරුදු වල ලංවිම නිෂ්පාදන වියදම් පහළ යනවා. පායන අවුරුදු වල වියදම ඉහළ යනවා. මේ විචලනයන්ට හේතුව ලංවිම කාර්යක්ෂමතාවය අඩු වැඩි වීම නෙමෙයි. 

ලංවිම සේවක වැටුප් පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු ඇත්තද නැද්ද කියා මම දන්නේ නැහැ. ඒ තොරතුරු ඇත්ත වුවත්, එය මම ප්‍රශ්නයක් ලෙස දකින්නේත් නැහැ. ආයතනයක සේවක වැටුප් ඉහළ මට්ටමක තිබීම නරක දෙයක් නෙමෙයි. වැදගත් වන්නේ සේවක වැටුප් සේවකයින්ගේ ඵලදායීතාවය හා ගැලපෙනවාද යන්නයි. 

කෙසේ වුවත්, පසුගිය දශකය තුළ ලංවිම සේවක වැය බර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක්. 2011දී රුපියල් බිලියන 12ක් පමණ වූ ලංවිම වැටුප් බර 2020 වන විට රුපියල් බිලියන 38 ඉක්මවා තිබෙනවා. නිල නොවන වාර්තා අනුව කියැවෙන්නේ මේ වන විට මෙම වියදම රුපියල් බිලියන 51ක් පමණ වී ඇති බවයි.  

කිසියම් කර්මාන්තයක ඒකාධිකාරයක් ඇති විට එම කර්මාන්තයේ නිරත සේවකයින්ට තරඟකාරී වැටුප් ලබා ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා. වැටුප් වලින් සතුටු නොවන අයෙකුට ආයතනයෙන් අස් වී ගොස් රැකියාව කළ හැකි ඊට සමාන තැනක් බොහෝ විට නැහැ. මෙයට විකල්පයක් ලෙස එවැනි කර්මාන්තයක සේවකයින් සංවිධානය වී ඔවුන්ගේ පැත්තෙන්ද ඒකාධිකාරයක් හදා ගන්නවා. එවිට සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයටම ආයතනයටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉන්න සේවකයින් ඉවත් කර සමාන කුසලතා ඇති සේවකයින් බඳවා ගත හැකි වෙළඳපොළක් රටේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ ආයතනයක සේවක වැටුප් හා සේවක ඵලදායීතාවය ගලපන යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසාම, සේවක වැටුප් කොපමණ වුවත් ඒ වැටුප් අඩුද වැඩිද කියා සරල ලෙස නිගමනය කිරීමේ හැකියාවක්ද නැහැ. සංසන්දනාත්මක නිර්ණායක සොයා ගන්න වෙන්නේ කවර හෝ උපකල්පන මත පමණයි.  

පහත වගුවේ තිබෙන්නේ ලංවිමට කිලෝවොට් පැයක විදුලිය නිපදවා හෝ මිල දී ගෙන, සිල්ලරට හෝ තොග මිලට විකිණීම සඳහා වැය වී ඇති පිරිවැයයි. "අනෙකුත් වියදම්" වලට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ පිරිවැයයි. 

ආයතනයක සේවකයෙකු වැඩි වැටුප් ඉල්ලා හෙට්ටු කිරීම වරදක් නොවන්නාක් මෙන්ම කළ යුතු දෙයක්. සේවකයින් එක්ව කණ්ඩායමක් ලෙස මෙය කිරීමේද වරදක් නැහැ. එහිදී එසේ ඉල්ලන වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න අදාළ ආයතනයේ පාලකයින් විසින් තීරණය කළ යුතු දෙයක්. 

ලංවිම සේවකයින් ඇතැම් විට ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද පිළිබඳව තෘප්තිමත් ඇති. සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. විශේෂ කුසලතා අවශ්‍ය වෘත්තීය රැකියා කරන අය සම්බන්ධව කෙසේ වෙතත් පහළ හා මධ්‍යම මට්ටමේ රැකියා කරන අයගේ වැටුප් "වෙළඳපොළ වැටුප්" සමඟ සසඳන එක ගොඩක් අමාරු නැහැ. සුවිශේෂී කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය රැකියා සම්බන්ධවනම් මේ වැඩේ අමාරුයි.

ලංවිම පාරිභෝගිකයින් ඔවුන් ගෙවන මිලට ලැබෙන දේ ගැන තෘප්තිමත්ද? මේ ප්‍රශ්නයටත් පහසු පිළිතුරක් නැහැ. එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් ඉතාම පැහැදිලියි. ලංවිම "කොටස් හිමියන්ට" කෙසේවත් තෘප්තිමත් විය නොහැකියි. ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පමණ ප්‍රතිලාභ නොලැබෙන බව ඉතාම පැහැදිලියි. බොහෝ විට මොනම ප්‍රතිලාභයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එසේනම් ලංවිම පාරිභෝගිකයින්ට, ලංවිම සේවකයින්ට හෝ එම කණ්ඩායම් දෙකටම යම් "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබිය යුතුයි. එය එසේ නොවී, ලංවිම සේවකයින්ගෙන් යම් පිරිසකට, එසේත් නැත්නම් ලංවිම සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතන වලට එම "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබෙනවා වෙන්නත් පුළුවන්. 

මේ විදිහට පාඩු විඳින කොටස්හිමියන් කවුද? නෛතික ලෙස බැලුවොත් මහා භාණ්ඩාගාරයයි. එහෙත්, මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මහජන මුදල්. බොහෝ විට "උද්ධමන බදු" ලෙස අය කරන මුදල්. 

වත්මන් රාජ්‍ය ඒකාධිකාරය එලෙස තිබියදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා, මේ ඒකාධිකාරය නැති විය යුතුයි. ඒ සඳහා හොඳ මූලාරම්භක පිළියමක් වන්නේ දැනට තිරස් ලෙස ඒකාබද්ධ වී (vertically integrated) ඇති මෙම කර්මාන්තයේ සංරචක විභේදනය කිරීමයි. සරල ලෙස කිවුවොත්, විදුලිය නිෂ්පාදනය කිරීම (ජනනය කිරීම), ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) හා විකිණීම වෙන වෙනම ආයතන වලට පැවරීමයි. මෙය අලුත් අදහසක් නෙමෙයි. එසේ කිරීමෙන් මේ කර්මාන්තය තුළ යම් තරඟකාරිත්වයක් ඇති කළ හැකියි. 

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


Tuesday, July 26, 2022

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව


නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා. 

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ. 

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා. 

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි. 

"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. 

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ. 

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි. 

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි. 

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක  ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර  ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. 

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

අදාළ පැරණි ලිපි:

තෙසක්රියක ගමනක්...

https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form


ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?

https://econometta.blogspot.com/2016/06/blog-post_76.html


ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

https://econometta.blogspot.com/2016/06/blog-post_83.html


සේවා ආර්ථිකය ගැන තවදුරටත්...

https://econometta.blogspot.com/2016/06/blog-post_42.html


ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?

https://econometta.blogspot.com/2017/01/blog-post_4.html


මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

https://econometta.blogspot.com/2020/06/blog-post_56.html


ලංකාවට වාහන වැඩිද?

https://econometta.blogspot.com/2018/06/blog-post_50.html


#ඉකොනොමැට්ටා 

Saturday, December 18, 2021

ගෑස් බෝම්බ, මධ්‍යගත සැලසුම් හා නියාමනය

ලංකාවේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය හිටි හැටියේ වෙනස් කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ගැන නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. ප්‍රශ්නය කවුරුත් දන්නවා. මිනිස්සු කඩේ ගිහින් ගෑස් සිලින්ඩර මිල දී ගන්නවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ තමන්ගේ කැමැත්තෙන්. මේ විදිහට කාගෙවත් බලපෑමක් නැතිව, තමන්ගේ කැමැත්තෙන් ගනුදෙනුවක් කරලා ගෙදර අරගෙන යන ගෑස් සිලින්ඩරේ පිපිරිලා ජීවිත හානියක් හෝ වෙනත් හානියක් සිදු වුනොත් එහි වැරැද්ද තියෙන්නේ කොහේද? මේ වගේ අවස්ථාවක රජය මැදිහත් විය යුතුද? එසේනම් ඒ මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක් විය යුතුද?

ගොඩක් වෙලාවට අපට දැකිය හැක්කේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට රජය මැදිහත් වීම නිසාම ඇති වන ප්‍රශ්න. ලංකාව වගේ අඩුවෙන් ධනවාදී වැඩියෙන් සමාජවාදී රටවල මේ තත්ත්වය බොහෝ විට දැකිය හැකියි. හොඳම මෑතකාලීන උදාහරණය රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම නිසා ඇති වූ ප්‍රශ්න මේ වෙද්දී එම ප්‍රශ්න ඇති කළ පාර්ශ්ව විසින්ම තේරුම් ගෙන තිබෙන නිසා අපි ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ තරම් අවුලක් වුනේ මිනිස්සු ගොවිතැන් කිරීමේදී තමන්ගේ වගාවන්ට යෙදිය යුතු පෝර මොනවාද කියන එක පමණක් රජය විසින් තීරණය කරන්න යාම තුළයි. ඒ වැඩෙන් පමණක් ඔය තරම්ම අවුලක් වුනානම්, මිනිස්සු තමන්ගේ ඉඩම් වල වගා කළ යුත්තේ මොනවාද, එක් එක් භෝගය වැවිය යුතු ඉඩම් ප්‍රමාණය කොපමණද ආදී කුදු මහත් හැම දෙයක්ම රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන තත්ත්වයක් යටතේ සිදු විය හැකි විනාශය කාටවත් හිතාගන්නවත් පුළුවන්ද? හැබැයි වැඩේ කියන්නේ තමන් බලයට පැමිණ එවැනි මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අය තමයි රසායනික පොහොර තහනමට විරුද්ධව වැඩිපුර කතා කළේ සහ කරන්නේ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කවදාවත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම වෙන්න බැහැ. අපි හිතමු රටේ එක් එක් ගොවියා සතු ඉඩමේ වැවිය යුතු බෝග හා එම බෝග වර්ග වෙනුවෙන් ඉඩම වෙන් කළ යුතු ආකාරය රජය විසින් තීරණය කරනවා කියලා. මේක විහිළුවක් නෙමෙයි. බලයට පත් වෙන්න අපේක්ෂා කරන ලංකාවේ දේශපාලන පක්ෂයක නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තිය. 

දැන් මේ වගේ වැඩක් සාර්ථක වෙන්නනම් එක් එක් ඉඩමේ විවිධ කොටස් වල හොඳින්ම වැවෙන බෝගය පිළිබඳව ඉඩම් හිමියා සතු දැනුමට නොඅඩු දැනුමක් රජය සතුව තිබිය යුතුයි. ඒ දැනුම රජයට ලබා ගත හැක්කේ විශාල පිරිසක් යොදවා විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීමෙන්. ඒ වගේම, මේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නත් වෙනවා. හැබැයි එහෙම කරලත් ඉඩමක ජීවත් වෙන ගොවියෙකු ක්ෂණිකව දැන ගන්නා දෙයක් රජයට ඊට කලින් දැන ගන්න අමාරුයි. පොඩි හෝ කාල පමාවක් සිදු වෙනවා. ඒ නිසා, මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් වෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් නොවන නිසා එවැනි සැලසුමක් හා අනුගත නොවීම තමන්ට වාසිදායක බව ඉතා ඉක්මණින් ගොවීන්ට තේරෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් සැලසුමෙන් පිට පැන තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න උත්සාහ කරනවා. එසේ නැතත්, මධ්‍යගත සැලසුම ඇත්තටම හොඳ එකක් වුවත්, හැම ගොවියෙක්ම තමන්ගේ කැමැත්තෙන් එයට අනුගත වන්නේ නැහැ. තමන්ට හොඳයි කියා හිතෙන විදිහට කටයුතු කරමින් රජය විසින් බලහත්කාරයෙන් තමන් මත පටවන සැලසුමෙන් පිට පනින්න උත්සාහ කිරීම මිනිස් ස්වභාවය අනුව සිදු වන දෙයක්. 

කෘෂිකර්මයෙන් පිටතට ගියොත් මේ සඳහා හොඳම මෑතකාලීන නිදර්ශනය කෝවිඩ් එන්නත්කරණය. වඩා ධනවාදී රටවල පවා මේ කාරණයේදී මධ්‍යගත සැලසුමක් යටතේ රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. වැඩි පිරිසක් එන්නත්කරණය කිරීම කෝවිඩ් සඳහා හොඳම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඔය කතාව හැමෝම පිළි ගත යුතුද? තමන්ට එන්නත  අනවශ්‍යයයි සිතන කෙනෙක් එන්නත විද ගත යුතුද?

මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුවන දෙවන හා ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. සැලසුම ඇත්තටම හොඳ එකක් වුනත්, රටක ජීවත් වන බොහෝ දෙනෙක් එවැනි සැලසුමකට අනුගත වෙන්න කැමති නැහැ. මෙවැනි සැලසුම් වල බොහෝ විට පැහැදිලි අඩුපාඩු තිබෙන නිසා එම පිරිස තවත් වැඩි වෙනවා. එහිදී රජයට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න බලහත්කාරය යොදන්න වෙනවා. සැලසුමෙන් පිට පනින අය හොයන්න වෙනවා. ඒ අයට දඬුවම් දෙන්න වෙනවා. මේ හැම දෙයකටම විශාල පිරිස් බලයක් අවශ්‍යයි. විශාල රජයක් අවශ්‍යයි.

කෘෂිකර්මය වෙත ගියොත් එක පැත්තකින් රටේ ඉඩම් ගැන, ගොවීන් ගැන, කාලගුණය ගැන, වෙළඳපොළ ඉල්ලුම ගැන විස්තරාත්මක හා අලුත්ම තොරතුරු දිගින් දිගටම හොයා වාර්තා කරන්න විශාල පිරිසක් අවශ්‍යයි. ඉන් පසුව, මේ තොරතුරු හා දත්ත විශ්ලේෂණය කර මධ්‍යගත සැලසුම නිරන්තරයෙන් සුසර කරන්න පිරිසක් අවශ්‍යයි. එම සැලසුම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට, සැලසුම ගැන රටේ සියල්ලන්ම දැනුවත් කිරීමට, සැලසුමෙන් පිට පනින අය ගැන හොයා බලා සැලසුම ඇතුළට ගැනීමට, එසේ සැලසුම ඇතුළට ගත නොහැකි අයට දඬුවම් කිරීමට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මේවා හිතළු නෙමෙයි. මේ වගේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත් උත්සාහයන් පිළිබඳ නිදර්ශන අපට ලෝකයෙන් වගේම ලංකාවෙනුත් අඩු නැතුව හොයා ගන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් යටතේ සිදු වන දෙය නැවත නැවත පරීක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි.

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී පළමුවම සිදු වන දෙය එම මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශාල රාජ්‍ය යාන්ත්‍රනයේ බර එම රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටින මිනිසුන් මත පතිත වීමයි. මේ කරුණ හේතුවෙන් පමණක්ම වුවද නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස පහත වැටෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රනය විශාල වන තරමට එහි එක් එක් දැති රෝදය සමස්ත යාන්ත්‍රනය සමඟ සුසරව කැරකෙන බව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. තේරෙන බාසාවෙන් කිවුවොත් රජයෙන් වැටුපක් ලබා වගාබිම් පිළිබඳ දත්ත එකතු කරන්න යන රාජ්‍ය සේවකයෙක් හැමවිටම තමන්ගේ රාජකාරිය හරියටම කරයිද? ගෙදර ඉඳලා බොරුවට කොළ පුරවා එවුවොත් මොකද වෙන්නේ?

මධ්‍යගත සැලසුමෙන් පිට පනින එක තමන්ට වාසිදායක වගේ පෙනුනහම මිනිස්සු එසේ කරන්න උත්සාහ කරනවා. නමුත් එහිදී ඔවුන්ට දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. මෙවැනි දඬුවම් වලින් බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක් වන්නේ තමන් ගැන හොයා බලන්න එන රාජ්‍ය සේවකයාට සන්තෝෂමක් දෙන එකයි. මේක දෙන්නාටම වාසියි. 

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයින්ම මේ විදිහට සැලසුමෙන් පිට කටයුතු කළ හැකි නිසා එයට විසඳුමක්ද එවැනි මධ්‍යගත සැලසුමක් තුළ සාමාන්‍යයෙන් තිබෙනවා. එක් අයෙක් සැලසුමෙන් පිට පනිනවාද බලා සිටින්න තවත් අයෙක් අවශ්‍යයි. දෙවැන්නා ගැන බලන්න තුන් වැන්නෙක් අවශ්‍යයි. 

රාජ්‍ය සේවය තුළ සිදු විය හැකි හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේ ක්‍රමයේ වැරැද්දක් මිසක් අදාළ පුද්ගලයින්ගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන තුරු, රාජ්‍ය ව්‍යුහයේ ඉහළම තට්ටුව මාරු කිරීමෙන් පමණක් මේ හොරකම්, දූෂණ, නාස්ති නැති කරන්න බැහැ. ඒ නිසා, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අතර හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහි වීම කියා කියන්නේ එක පැත්තකින් ප්‍රශ්නයක් ඇති කරමින් අනෙක් පැත්තෙන් එසේ ඇති කළ ප්‍රශ්නයට විසඳුම් හෙවීමක්. හෝද හෝදා මඩේ දමමින් මඩ වතුරෙන් රෙදි හේදීමක්!

හොරකම්, දූෂණ, නාස්ති අවම කළ හැකි ස්ථිරසාර ක්‍රමය රජය කුඩා කිරීමයි. හැබැයි අප රජය කුඩා කිරීමක් ගැන මිසක් රජය අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. එය තවත් ආන්තීය අදහසක් පමණයි. ප්‍රායෝගිකව රජයකට පමණක් කළ හැකි නිශ්චිත කාර්යයන් ගණනාවක් තිබෙනවා. වෙළඳපොළ සැලකුවත්, රජය වෙළඳපොළට කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ යුතු නැතැයි අප හිතන්නේ නැහැ.

ගෑස් ප්‍රශ්නයට නැවත එමු. සල්ලි දී ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩර හිටිවනම පුපුරනවා. මෙය සිදු වන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් පළමුව ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා කියා අපි හිතමු. මේ වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වුනානම්, රජයේ නියාමනයක් නැතිවම මේ ප්‍රශ්නය වෙළඳපොළ විසින්ම විසඳනවා. ඒ කොහොමද?

ගෑස් පිපිරීම් දෙක තුනක් සිදු වන විට මේ ගැන රටම දැනුවත් වෙනවා. බොහෝ විට වෙනත් ගෑස් සැපයුම්කරුවෙකු විසින් හේතුව උපකල්පනය කර අදාළ සමාගමේ ගෑස් සිලින්ඩරයක සංයුතිය පරික්ෂා කිරීමෙන් එම හේතුව තහවුරු කර ගන්නවා. ඉන් පසුව, මේ බව ප්‍රචාරණය කරමින් අදාළ ගෑස් සමාගමේ පාරිභෝගිකයින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නවා. සංයුතිය වෙනස් කළ ගෑස් සමාගම බංකොලොත් වෙනවා. අනෙකුත් ගෑස් සමාගම් විසින් අනාගතයේදී මෙවැනි "අත් වැරැද්දක්" කරන එකද නවතිනවා.

මේ වගේ දෙයක් වෙන්නේ ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක්ව පැවතුණානම් පමණයි. එහෙත් එම වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නොවෙයි.

වෙළඳපොළක් තරඟකාරී වන්නේ විශාල සැපයුම්කරුවන් පිරිසක් සිටින විටයි. ලංකාවේ ගෑස් වෙළඳපොළ එවැන්නක් නෙමෙයි.  මේ වෙළඳපොළේ සැපයුම්කරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එයින්ද ප්‍රධානම සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් නෙමෙයි. එය රජයේම කොටසක්. එහෙත්, අනෙකුත් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ.

පෞද්ගලික සමාගමකට මෙන් නොව රජය සතු සමාගමකට පැවතීම සඳහා ලාබ අවශ්‍ය නැහැ. ලාබ නැතත් බදු මුදලින් නඩත්තු වෙමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කළ හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇතැම් විට පාඩු ලබමින්, පිරිවැය හෝ නොඉක්මවමින්, ගෑස් විකුණනවා. ඔවුන් ගෑස් විකුණන මිල තීරණය වන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. දේශපාලන සාධක මතයි.

ලාෆ්ස් ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වුවත් ඔවුන්ටද තමන්ගේ ගෑස් මිල තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේද රජය විසින්. බොහෝ විට රජය විසින් තීරණය කරන්නේ ගෑස් වල උපරිම මිල නිසා ඔවුන්ට අවශ්‍යනම් අඩු මිලකට ගෑස් විකුණන්න බැරිකමක් නැහැ.

මෙසේ නියම කරන උපරිම මිල ගොඩක් ඉහළ මිලක්නම් ලාෆ්ස් ගෑස් සමාගමට ලිට්‍රෝ ගෑස් සමාගමට වඩා අඩුවෙන් ගෑස් විකුණා ඔවුන්ගේ පාරිභෝගිකයින් අල්ලා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට රජය විසින් පනවන උපරිම මිල එතරම් ඉහළ මිලක් නෙමෙයි. ඇතැම් විට ඒ මිලට ගෑස් විකුණන්න වෙන්නේ පාඩුවට වෙන්නත් පුළුවන්. 

රජයේම කොටසක් වන ලිට්‍රෝ ගෑස් සමාගමනම් හිතාමතාම පාඩුවට ගෑස් විකුණනවා. එසේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන වකවානු වලදී. නිෂ්පාදන පිරිවැය පහළ යන වකවානු වලදී ඔවුන් ඒ පාඩුව හෝ එයින් කොටසක් අල්ලා ගන්නවා. මේ වෙළඳපොළේ දැවැන්තයා ලිට්‍රෝ ගෑස් සමාගම නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ඔවුන් කරන දෙයම කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, ඔවුන් කරන්නේද, අඩුවට විකිණිය හැකි අවස්ථා වලදී පවා, උපරිම මිලටම හෝ ආසන්න මිලකට ගෑස් විකුණා ලාබ එකතු කර ගන්න එකයි. ඇතැම් වකවානු වල තමන්ගේ ගෑස් පාඩුවට විකුණන්න සිදු වෙන නිසා එසේ නොකර ඔවුන්ට දිගුකාලීනව මේ වෙළදපොළේ රැඳී ඉන්න බැහැ. 

ලංකාවේ ගෑස් වෙළඳපොලේ ලොකුම සැපයුම්කරුවා මෙන්ම මෙම වෙළඳපොළේ නියාමකයාද එකම අයෙක් නිසා පිළිසිඳියා ගැටුමක් නැතිව, කාටත් සාධාරණව, මේ වෙළඳපොළ නියාමනය වීමක් අපේක්ෂා කරන්න බැහැ. මෙවැනි සන්දර්භයක පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමටද රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු හැර තරඟකරුවෙකු වීමේ විකල්පයක් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව සමාගම් දෙකක් අතර තරඟයෙන් වුවත් තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න පුළුවන් වුනත්, මෙහිදී සිදු විය හැක්කේත්, සිදු වී තිබෙන්නේත්, පූර්ණ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් ඇති වීමයි. පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමද මේ ඒකාධිකාරයේ එක් කොටස්කරුවෙකු පමණයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළ නියාමකයා විසින්ම වෙළඳපොළට ගෑස් සැපයුම කරන සන්දර්භයක මේ වෙළඳපොළට යම් හෙයකින් අලුතෙන් පැමිණෙන සමාගමකට වුවත් දැනට වෙළඳපොළෙහි සිටින සමාගම් වලට සැබෑ තරඟකරුවෙකු වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමටනම්, අවම වශයෙන්, රජය මේ වෙළඳපොළෙන් ඉවත් විය යුතුයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද රජයට සම්බන්ධයක් නැති, පෞද්ගලික සමාගමක්ව තිබුනා කියා අපි හිතමු. එවැනි තත්ත්වයක් යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් අතර ඇති විය හැකි තරඟයකින් පාරිභෝගිකයන්ට යහපතක් සිදු විය හැකියි. අනෙක් අතට, ඇමරිකාවේ මෙන් නීතිමය බාධාවක් නැති නිසා, මේ සමාගම් දෙකට තව දුරටත් කාටලයක් සේ කටයුතු කරමින් ඒකාධිකාරයක් පවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම, එවැනි තත්ත්වයක් යටතේ නියාමකයා වන රජයට පිළිසිඳියා ගැටුමක් නැති නිසා මේ සමාගම් දෙකෙන් එකකට හෝ පාරිභෝගිකයන්ට එරෙහිව මේ සමාගම් දෙකටම වාසියක් සැලසීමට සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැතත් ප්‍රායෝගිකව එය එසේම නොවන්නට පුළුවන්. රජය බලවත් වන තරමට වංචා, දූෂණ, හොරකම් වලට ඉඩ වැඩියි.

කෙසේ වුවත්, වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවානම් නියාමකයාට ඒ එක් අයෙකුට විශේෂ වාසියක් කරන්න අමාරුයි. ඒ වගේම, ඒ සියලු දෙනාම එකතු වී කාටලයක් සේ ක්‍රියා කිරීමත් සිදු වන්නේ නැහැ.

ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නැති බවත්, ඒ සඳහා අවම කොන්දේසියක් වන්නේ රජය මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවත් පැහැදිලියි. තරඟකාරී නැති මේ වෙළඳපොළ නිදහස් වෙළඳපොළක්ද?

ගෑස් පාරිභෝගිකයකු විසින් මුලින්ම ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නේත්, එයට නැවත නැවත ගෑස් පුරවන්නේත් ස්ව-කැමැත්තෙන්. සැපයුම්කරු ගෑස් විකුණන්නේනම් කොහොමටත් කැමැත්තෙන්. එපමණකින් මෙය නිදහස් ගනුදෙනුවක් වෙනවාද?

තමන් විසින් මුදල් ගෙවා මිල දී ගන්නා භාණ්ඩය ගැන එය මිල දී ගන්නා පාරිභෝගිකයා දන්නේ මොනවාද? ගෑස් විකුණන සැපයුම්කරු ඒ ගැන දන්නා හැම දෙයක්ම ගෑස් මිල දී ගන්නා අවස්ථාවේදී මේ පාරිභෝගිකයාත් දන්නවාද? එසේ නොවී, මේ දෙදෙනා අතර තොරතුරු අසමමිතියක් ඇත්නම්, පාරිභෝගිකයා විසින් ඇත්තටම මිලදී ගන්නේ ඔහුට මුදල් ගෙවා මිල දී ගන්න අවශ්‍ය වූ දෙයමද? එය එසේ නොවේනම්, මෙය නිදහස් ගනුදෙනුවක්ද?

විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ගැනත් (CA/Writs/609/2021), රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳවත් කතා කළ යුත්තේ මේ සන්දර්භය තුළයි. ලිපිය දිග වැඩි නිසා එය අපි පසුවට තබමු.


Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

Monday, August 17, 2020

ඔබෙ සැප මගෙ සතුටයි...

මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ නිරන්තරයෙන් සතුට සොයා යාම හා අසතුට කෙරෙන් බැහැර වීම කියා මම කිවුවොත් එයට කවුරුවත්ම වාගේ විරුද්ධ වෙන එකක් නැහැ කියා මම හිතනවා. සතුට හෝ අසතුට කියන්නේ මොකක්ද කියන එක හා අදාළවනම් එක් එක් පුද්ගලයාට වෙන වෙන අර්ථකතන ඇති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

අපි සරලව හිතමු සතුට කියන්නේ කලින් ලිපියේ කතා කළ සංකේතාත්මක චරිතය වූ නිමල්ගේ සතුට මෙන් කෑම, බීම හා කාන්තා ඇසුර කියලා. කාන්තා ඇසුර කියන එක දේශපාලනිකව නිවැරදි නැහැ කියලා කාට හරි හිතෙනවානම් පුරුෂ ඇසුර කියා දමා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

කවුරු හෝ අහඹු පුද්ගලයෙක් ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ සතුට තිබෙන්නේ සංගීතය, ජොයින්ට් එකක් ගැසීම, දේපොළ එක් රැස් කර ගැනීම, ආගමික කටයුතු වල යෙදීම, රට ජාතිය රැක ගැනීම ගැන හිතීම, කාට හරි ගේමක් දීම, බ්ලොග් ලිපියක් ලියා පළ කිරීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ අසතුට තියෙන්නේත් ඔය දේවල් වලින් එකක හෝ කිහිපයකම වෙන්නත් පුළුවන්. අපේ කතාවට මේ කරුණ ගොඩක් අදාළ නැහැ. 

අපේ පහසුවට අපි සතුට කියන්නේ කෑම, බීම හා කාන්තා ඇසුර කියලා සලකමු. සත්තු පවා කරන මේ දේවල් වෙනුවට උඩ ලැයිස්තුවේ තිබෙන ආකාරයේ වෙන ඕනෑම දෙයක් ආදේශ කරගත්තා කියලා කියන්න යන කතාව වෙනස් වෙන්නේ නැහැ. තේරුම් ගන්න අපහසු වෙනවා පමණයි.

කෙනෙකුට කෑමෙන් සතුටු වීම සඳහා මූලික කොන්දේසියක් විදිහට අවශ්‍ය පමණ කෑම තියෙන්න ඕනෑ. සතුට තිබෙන්නේ තමන් තුළ වුවත් සතුට ලබන්න අවශ්‍ය කෑම තිබෙන්නේ තමන්ගෙන් පිටත. ඒ නිසා, කෑම හරහා ලබා ගන්නා සතුට තමන්ගෙන් බාහිර ලෝකයෙන් ස්වායත්ත නැහැ. මෙහිදී බාහිර ලෝකය කියන එකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ මනාපය පරිදි පාලනය නොවන කියන අදහසින්. තමන්ගේ සතුට සඳහා අවශ්‍ය සාධක සියල්ලම තමන්ටම පාලනය කළ හැකිනම් සතුට සොයා යාම කිසිවෙකුටත් ගැටළුවක් බවට පත් වන්නේ නැහැ.

කෑමෙන් සතුටු වීම සඳහා මුලින්ම කෑම සොයා ගත යුතුයි. ඒ සඳහා මොනවා හෝ දෙයක් කළ යුතුයි. ඒ කරන දෙයෙහි සතුට නොතිබෙන්න පුළුවන්. අපි ඉතාම සරලව හිතමු කුරුම්බා ගෙඩියක් ගෙඩියක් කඩා ගැනීමට උස පොල් ගහකට නගින එක වගේ දෙයක්. බොහෝ විට මේ විදිහට කෙනෙක් පොල් ගහකට නගින්නේ පොල් ගස් නැගීමේ සතුට වෙනුවෙන් නෙමෙයි. එහි බොහෝ විට තිබෙන්නේ අසතුටක්. නමුත්, කුරුම්බා ගෙඩියක් කෑමේ සතුට විඳීමේ පූර්ව කොන්දේසියක් විදිහට පොල් ගස් නැගීමේ අසතුට විඳින්න වෙනවා. 

වෙන ඕනෑම සංකීර්ණ ක්‍රියාවක් ගත්තත් බොහෝ විට මේ මූලික ලක්ෂණය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. අපට කැමති තරමටම සතුට ලබන්න හෝ අසතුට මුළුමනින්ම බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. ජීවත් වනවා කියා අප විසින් කරන්නේ හැකිතාක් දුරට අසතුට බැහැර කරමින් වැඩි සතුටක් ලබා ගැනීම සඳහා අරගලයක නිරත වෙන එකයි.

ධනවාදියෙකු විසින් පිළිගන්නා සහ ඇස් ඇර අවට බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන මූලික කරුණක් වන්නේ මේ සතුට හා අසතුට පුද්ගලයාට සාපේක්ෂ බවයි. මා සතුටු වන දෙයකින් ඔබ අසතුටු වන්න පුළුවන්. මා අසතුටු වන දෙයකින් ඔබ සතුටු වන්න පුළුවන්. අපි මෙය රුචිකත්වයන්ගේ විෂමතාවය ලෙස හඳුන්වමු. 

පුද්ගල අන්තර් සම්බන්ධතා වලදී මේ රුචිකත්වයන්ගේ විෂමතාවය විසින් විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. කුරුම්බා ගෙඩියක් කෑමෙන් මම සතුටු වෙනවා. නමුත්, පොල් ගස් නැගීමෙන් මා සතුටු වන්නේ නැහැ. මා තනි පුද්ගලයෙක්නම් මා පොල් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගෙන කනවාද?

මෙය තීරණය වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමෙන් මට ලැබෙන සතුට කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුටට වඩා අඩුද වැඩිද කියන කාරණය මතයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුවත් අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. 

බාහිර පුද්ගලයෙක්ට තබා අදාළ පුද්ගලයාටම වුවත් කුරුම්බා ගෙඩියක් කෑමෙන් ලබන සතුට හා කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුට හරියටම මනින්න බැහැ. එසේ මැනිය හැකි මීටරයක් නැහැ. නමුත්, කිසියම් පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය කර මේ සතුට හා අසතුට පිළිබඳව ඇතැම් දේවල් නිශ්චිත ලෙසම කියන්න පුළුවන්. 

පොල් ගහක් සමඟ තනි වී සිටින පුද්ගලයෙක් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගන්නා බව පෙනේනම් එයින් අදහස් වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා වැඩි බවයි. එසේ කරන බවක් නොපෙනේනම් එයින් අදහස් වන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා අඩු බවයි.

අදාළ පුද්ගලයා පොල් ගහට නොනැග්ගේ පොල් ගස් නගින්න දන්නේ නැති නිසා විය හැකි බව කාට හරි කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙමනම්, පොල් ගස් නැගීමේ අසතුටට හේතුව පොල් ගස් නගින්න නොදැනීමයි. ඒ හේතුව මත කතාව වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපි පාළු දූපතක් ගැන හිතමු. මෙහි ඉබේ වැවුණු පොල් ගස් ඕනෑ තරම් තිබෙනවා. ඒ පොල් ගස් වල තිබෙන කුරුම්බා සීමාකාරී සාධකයක් නෙමෙයි. එහෙත්, ගස් වල තිබෙන කුරුම්බා ගස් වලම තිබියදී ආහාරයට ගන්න බැහැ. ඒ නිසා, ගස් වල කුරුම්බා තිබුණු පමණින් කිසිවෙකුට සතුටක් ලබන්න බැහැ. ඒ සඳහා ගහකට නැග කුරුම්බා කඩා ගත යුතුයි. ගහකට නැග කඩා ගන්නා කුරුම්බා වල "සතුට" තිබෙනවා. එහෙත්, ඒ සතුට ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකුට ගහට නැගීමේ අසතුට විඳින්න වෙනවා.

මේ විදිහට ගහට නැගීමේ අසතුට විඳ කවුරු හෝ විසින් පොල් ගහට නැග කුරුම්බා කඩා ගැනීමෙන් පසුව ඒ කුරුම්බා වල සදාචාරාත්මක අයිතිය තියෙන්නේ කාටද? ඒ අයිතිය තිබෙන්නේ ගහට නැගපු පුද්ගලයාටයි. මොකද ඔහු ගහට නැග්ගේ නැත්නම් කුරුම්බා තවමත් ගහේ. කුරුම්බා බී සතුට ලබා ගැනීමේ විකල්පය බිහි වී තිබෙන්නේම ඔහු ගහට නැගපු නිසයි. 

ඔහු මේ කුරුම්බා වෙනත් අය සමඟ බෙදා ගත යුතුද? එය තීරණය කිරීම ඔහුගේ අයිතියක්. කැඩූ කුරුම්බා සියල්ල දූපතේ සියල්ලන් අතර සමසමව බෙදීමෙන් ඔහුට සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. තමන්ට රුචි අයට පමණක් කුරුම්බා බෙදා දීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. කවර හෝ හේතුවක් නිසා කුරුම්බා වලින් කොටසක් විනාශ කර දැමීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එයත් කරයි. මේ කතා කරන්නේ ඔහුගේ අභ්‍යන්තර සතුට ගැනයි. එයට බාහිර කරුණු සමඟ සම්බන්ධයක් තිබුණත් එය වක්‍ර සම්බන්ධයක් පමණයි.

මේ ආකාරයට පොල් ගස් නැග දූපතේ කුරුම්බා කඩන පුද්ගලයෙකු විසින් කුරුම්බා බෙදා දීමේදී කුරුම්බා සමානව සියල්ලන් අතර බෙදනවා වෙනුවට තමන්ට කවර ආකාරයකින් හෝ තමන්ගේ සතුට වැඩි කර ගැනීම සඳහා බාහිර සාධකයක් සම්පාදනය කරන කෙනෙකු වෙනුවෙන් කුරුම්බා වැය කරන්න වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඔහු "කාන්තා සැප" ලබා ගැනීම වෙනුවෙන් කුරුම්බා වැය කළ හැකියි. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු දූපතේ සිටින වෙනත් අයට වඩා වැඩියෙන් කාන්තා සැප ලබනවා වෙන්න පුළුවන්. ඇතැම් විට මහළු හෝ රෝගී පුද්ගලයෙකුට හෝ කුඩා දරුවෙකුට කුරුම්බා ලබා දීමෙන් ඔහු සතුටක් ලබනවා වෙන්න පුළුවන්. එහිදී කුරුම්බා ලබා ගන්නා පුද්ගලයා විසින් හිතා මතා කරන සුවිශේෂී කාර්යයක් නැතත් කුරුම්බා ලබා දෙන පුද්ගලයා විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් "ලබා ගන්නා" යම් දෙයක් තිබෙනවා.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් දෙය වන්නේ කුරුම්බා හිමිකරු වෙතින් කුරුම්බා ලබා ගැනීමට සමත් වන්නේ කවර හෝ ආකාරයකින් ඔහුව සතුටු කිරීමට සමත් වන අය විසින් බවයි. එසේ කළ නොහැකි අයට කුරුම්බා හිමි කර ගැනීමේ ඉඩක් නැහැ.

තමන් විසින් පොල් ගස් නැග කුරුම්බා කඩන්නේත් නැති, එසේ ගස් නැග කුරුම්බා කඩන අයෙකු සතුටු කිරීමේ හැකියාවක්ද නැති අයත් කුරුම්බා වලින් සතුටට පත් වෙනවා. එවැනි අයෙකුට කුරුම්බා ලබා ගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ කුරුම්බා හොරකම් කිරීම හෝ මංකොල්ල කෑමයි. මෙහිදීත් පුද්ගලයින් දෙදෙනෙකු අතර අන්තර් ක්‍රියාවක් සිදු වන නමුත් එය නිදහස් ගණුදෙනුවක් මෙන් දෙපාර්ශ්වයටම සතුටු විය හැකි අන්තර් ක්‍රියාවක් නෙමෙයි. කුරුම්බා හොරකම් කරන හෝ මංකොල්ල කන පුද්ගලයා මේ වැඩෙන් සතුටු වුවත් කුරුම්බා වල අයිතිකරුට මෙයින් ලැබෙන්නේ අසතුටයි. ඒ නිසා, මෙවැන්නක් කිසි විටෙකත් එකඟතාවයකින් යුතුව සිදු වන්නේ නැහැ.  

කුරුම්බා වල අයිතිය ගස් නැග කුරුම්බා කැඩූ පුද්ගලයාටය යන සම්මුතිය පිළි නොගන්නා අයෙකු වගේම එය පිළි ගන්නා නමුත් එම සම්මුතියට ගරු නොකරන අයත් දූපතේ ඉන්න පුළුවන්. එවැනි අයෙකු කුරුම්බා හොරකම් කරන්න හෝ මංකොල්ල කන්න පෙළඹෙන්න පුළුවන්. මෙහිදී කුරුම්බා හිමිකරු මුහුණ දෙන්නේ සතුට වැඩි කර ගැනීමේ ප්‍රශ්නයට නොව අසතුට බැහැර කිරීමේ ප්‍රශ්නයටයි.

තමන්ගේ කුරුම්බා හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට නිදිමරන්න වෙනවා. තමන්ගේ කුරුම්බා මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට සටන් කරන්න වෙනවා. මේ දෙකේදීම ඔහුට අසතුට මිසක් සතුට උරුම වන්නේ නැහැ. අනෙක් අතට මේ කිසිවක් නොකර තමන්ගේ කුරුම්බා අහිමි කරගැනීම තුළත් ඔහුට ලැබෙන්න අසතුටයි.

මෙහිදී කුරුම්බා හිමිකරුට සිදු වන්නේ අඩු නරක තෝරා ගන්නයි. කුරුම්බා ටික හොරුන්ට ගන්න ඉඩ හැර හොඳින් නිදාගත්තත්, කුරුම්බා ආරක්ෂා කර ගන්න නිදි මැරුවත් ඔහුට අන්තිමේදී ලැබෙන්නේ අසතුටයි. ඔහු කරන්නේ කුමක්ද කියා බලා සිටින කෙනකුට මේ දෙකෙන් ඔහු වඩා අසතුටු වන කාරණය දැන ගත හැකියි.

මේ වගේ වෙලාවක කුරුම්බා ආරක්ෂා කර දීමේ සේවාව සපයන්න යම් පිරිසක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහි හිලවුවට ඔවුන්ට යම් කුරුම්බා ප්‍රමාණයක් ලැබෙනවා. මෙය නිදහස් ගනුදෙනුවක්. දෙපාර්ශ්වයම එම ගනුදෙනුවෙන් සතුටු වෙනවා. කුරුම්බා හිමිකරු ආරක්ෂකයාට කුරුම්බා ගෙඩි කිහිපයක් දී හොඳින් නිදා ගන්නවා. ආරක්ෂකයා කුරුම්බා බී නිදි මරනවා.

දූපතේ කුරුම්බා හොරුන් විශාල ලෙස වැඩි වුනොත් කුරුම්බා හිමිකරුට ආරක්ෂකයින් වෙනුවෙන් විශාල කුරුම්බා ප්‍රමාණයක් වෙන් කරන්න වෙනවා. මේ අතර දූපතේ ජනප්‍රිය දේශකයෙක් විසින් හොරකම් කිරීමේ "ආදීනව" ගැන මිනිසුන් දැනුවත් කරනවා. දේශකයා විසින් කියන කතාවේ සත්‍යාසත්‍යතාවය තහවුරු කර ගැනීමේ හැකියාවක් නැතත් ඔහු කියන දෙය බොහෝ දෙනෙක් විසින් පිළිගන්නවා. ඒ නිසා දූපතේ හොරුන් අඩු වෙනවා. දේශකයාව උනන්දු කරවීම සඳහා කුරුම්බා හිමිකරු විසින් යම් කුරුම්බා ප්‍රමාණයක් තමන්ගේ කැමැත්තෙන් ලබා දෙනවා.

දැන් දූපතේ කුරුම්බා මත පදනම් වූ ආර්ථිකයක් තිබෙනවා. බොහෝ දෙනෙක් එහි කොටස්කාරයන් වෙලා. ඒ කොටස්කරුවන් හැම දෙනෙකු විසින් වගේම කරන නිශ්චිත කාර්යයයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දෙයක්ද තිබෙනවා. නමුත්, ඒ හැම දෙයකම මූලාරම්භය අර කුරුම්බා කඩන මනුස්සයාගේ කුරුම්බා කැඩීමේ කුසලතාවයයි. දූපතේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ හෝ සංකෝචනය වන්නේ මූලික වශයෙන්ම ඔහු විසින් කඩන කුරුම්බා ප්‍රමාණය අඩු වැඩි වන ආකාරයටයි. එහෙත්, වෙනත් සාධක වලද බලපෑමක් තිබෙනවා.

එහෙත් දූපතේ සිටින හැම කෙනෙක්ම මේ ආර්ථිකයේ කොටස්කාරයෙක්ය යන්න එයින් අදහස් වෙන්නේ නැහැ. කුරුම්බා කඩන්නේත් නැති, කුරුම්බා කඩන පුද්ගලයා විසින් අගය කරන කවර හෝ සේවයක් කරන්නේත් නැති, එහෙත් කුරුම්බා කඩන්නාගේ දේපොළ අයිතිවාසිකම් පිළිගන්නා අයෙකුට කුරුම්බා කන්න අවශ්‍යනම් කරන්න වෙන්නේ කුමක්ද? 

එවැන්නෙකුට පොල් ගස් නගින්න ඉගෙන ගන්න වෙනවා. එසේ නැත්නම් පොල් ගස් නගින කෙනෙකුව සතුටු කළ හැකි වෙනත් කිසියම් ආකාරයක් ගැන ඉගෙන ගන්න වෙනවා. දෙවැන්නෙක් පොල් ගස් නගින්න ඉගෙන ගෙන කුරුම්බා කඩන්න පටන් ගත් විට ඔහුටත් මුල් කුරුම්බා කඩන්නා මෙන් කටයුතු කරන්න පුළුවන්. එහිදී ආරක්ෂකයින්, කාන්තාවන් වැනි කොටස් වලට කුරුම්බා කඩන්නන් දෙදෙනෙකු සිටීමේ වාසිය ගනිමින් තමන්ගේ සේවාවන් වල වටිනාකම සම්බන්ධව හෙට්ටු කරන්නත් අවස්ථාව ලැබෙනවා.

පළමු කුරුම්බා කඩන්නාගේ අනුකම්පාවට ලක් නොවන්නේනම් දෙවැනි කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වන තුරු ඔහුට කුරුම්බා කන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද? 

ඔහු පොල් ගස් නගින්න පුරුදු වන ආකාරය බලා සිටින ආරක්ෂක රැකියාවක් වැන්නක් කරන අයෙකුට මේ කරන්න යන වැඩේ සාර්ථක වන බවට විශ්වාසයක් ඇති වුනොත් තමන්ගේ කුරුම්බා කොටසින් ගෙඩියක් නිශ්චිත ගිවිසුමක් මත පුහුණු වන පොල් ගස් නගින්නාට දෙන්න පුළුවන්. ගිවිසුම අනුව ආධුනිකයා කුරුම්බා කඩා ගැනීමට සමත් වූ පසුව දැන් ලබා ගන්නා කුරුම්බා ගෙඩිය වෙනුවෙන් කුරුම්බා ගෙඩි දෙකක් ආපසු ලබා දෙනවා.

මේ ආකාරයේ සමාජ ක්‍රමයක් තිරසාර ලෙස පවතින්න පුළුවන්. බොහෝ දෙනෙකුට එවැනි ක්‍රමයක් පවත්වා ගැනීම වාසිදායක නිසා ඔවුන් එම ක්‍රමය ආරක්ෂා කර ගන්නවා මිස එය බිඳ වැටෙන්න ඉඩ අරින්නේ නැහැ. ක්‍රම විරෝධීන් ටික දෙනෙක් හිටියත් ඔවුන්ට පවතින ක්‍රමය වෙනස් කළ හැකි දේශපාලන බලයක් නැහැ.

කෙසේ වුවත්, දූපතේ මේ සමාජ ආර්ථික ක්‍රමයම පැවතීමට පරම වූ හේතුවක් නැහැ. එහි වෙනත් ක්‍රමයක් වුවත් පවතින්න පුළුවන්.

අපි මේ දූපතට යාබද වෙනත් දූපතක් ගැන හිතමු. පළමු දූපතේ වගේම කුරුම්බා කඩන්නා කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් මෙහිද හැදෙනවා. එසේ තිබියදී එක්තරා දේශකයෙක් විසින් මෙවැනි අදහසක් සාර්ථකව ජනගත කරනවා.

"බලන්න කුරුම්බා කඩන්නා දිහා. ඔබට කුරුම්බා ලැබෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔහුයි. ඔහු ඇසුරු කරන කාන්තාවන්ට, ඔහු වටා සිටින ආරක්ෂකයින්ට ඔහු ලෝබ නැතුව කුරුම්බා බෙදනවා. වෙන අයට කුරුම්බා ලැබෙන්නේ ඔහුගේ අනුකම්පාව මතයි. කොයි තරම් වැරදිද? කොයි තරම් අසාධාරණද? නැද්ද, හා?"

"ඉතිං ඔහු කඩන කුරුම්බා බෙදන විදිහ ඔහු විසින් තීරණය කරන එකේ වැරැද්ද මොකක්ද?"

"වැරැද්ද මේකයි. ඔහු කුරුම්බා කඩනවා තමයි. නමුත්, ඔහුට දැනෙන්නත් අනෙක් අයට දැනෙන බඩගින්නමයි. ඒ නිසා, කුරුම්බා දූපතේ ඉන්න හැමෝටම සමානව අයිති විය යුතුයි."

"ඒත් ඔහු දෙන්නේ නැත්නම් මොකද කරන්නේ?"

"කුරුම්බා හිමියෙක් කවදාවත් තමන්ගේ කුරුම්බා කැමැත්තෙන් අනෙක් අයට දෙන්නේ නැහැ. ඒ පවතින ක්‍රමයේ හැටි. කුරුම්බා කන්නනම් අපට මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනවා."

දේශකයා විසින් හොරකම, මංකොල්ලකෑම සාධාරණීකරණය කරන සදාචාරාත්මක පදනමක් හදනවා. දැන් කුරුම්බා හොරු තව දුරටත් හොරු, මංකොල්ලකාරයෝ නෙමෙයි. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය. වඩා සාධාරණ ලෝකයක් හැදීම වෙනුවෙන් පෙරමුණ ගන්න පෙරටුගාමියෝ. 

සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කරන්න පදනමක් නැතත් දූපතේ කිසියම් පිරිසක් විසින් ඔය කතාව විශ්වාස කරනවා. විශ්වාස නොකළත් කුරුම්බා කඩන්නාගේ කුරුම්බා තොගය පොදු අයිතියට යටතේ කර සමසමව බෙදා ගැනීම කියන අදහස ඇතුළේ මහන්සියක් නැතිව කුරුම්බා කන්න ලැබෙන එක පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ පිරිස විසින් කුරුම්බා කඩන්නා විසින් කඩන කුරුම්බා සියල්ල තමන්ගේ අයිතිය යටතට ගෙන දූපතේ සියල්ලන්ටම සමානව හෝ සමාන සේ පෙනෙන ලෙස බෙදා දෙනවා.

දූපතේ බොහෝ දෙනෙක්ට දැන් සතුටුයි. ඒ අයට නිකම් ඉඳලා කුරුම්බා ලැබෙනවා. නමුත්, කුරුම්බා කඩන්නා සතුටු නැහැ. ඔහු කොයි තරම් මහන්සි වී කුරුම්බා කැඩුවත් ඔහුට ලැබෙන්නේ වෙනත් අයෙකුට ලැබෙන කුරුම්බා ප්‍රමාණයමයි. එහෙත්, ඔහුට කරන්න දෙයක් නැහැ. අකැමැති වුනා කියා ඔහුට කුරුම්බා නොකඩා ඉන්නත් බැහැ. අනෙක් එය එයට ඔහුට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිරිස බලවත්. ඔහු තනි පුද්ගලයෙක්. ඉඳහිට ඔහු වෙනුවෙන් හඬක් නගන කෙනෙක්ව නිහඬ කරන්න වෙනම පිරිසක් ඉන්නවා. 

මේ ක්‍රමයත් සමතුලිතතාවයක් ලෙස කාලයක් තියෙන්න පුළුවන්. පළමු දූපතට සාපේක්ෂව දෙවන දූපතේ කුරුම්බා සමානව බෙදී යනවා. පළමු දූපතේ බොහෝ දෙනෙක්ට කුරුම්බා නොලැබුණත් දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහෙත් කාලයත් සමඟ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා.

පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නෙකු බිහි වී සමස්ත කුරුම්බා නිෂ්පාදනය ඉහළ යනවා. දෙවන කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වෙන්නේම පළමු පොල් කඩන්නා විසින් ගෙවන වඩා යහපත් ජීවිතය ඉලක්ක කරගෙනයි. එහෙත්, දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහි කාටත් සමානව කුරුම්බා ලැබෙනවා. මහන්සි වී කුරුම්බා කඩන්න පුරුදු වුනා කියා අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. කඩන කුරුම්බා අනෙක් අය සමඟ බෙදාගන්නයි වෙන්නේ. එහි සමාජ සම්මතය අනුව සාධාරණ දෙය ඒ ආකාරයට කුරුම්බා ටික සමසමව බෙදාගැනීමයි.

පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නා කුරුම්බා කඩන්න පුහුණු වීමෙන් පසුව ඔහු වෙනුවෙන් කාලයක් තමන්ගේ කුරුම්බා කැප කළ පුද්ගලයාට පොලියත් එක්ක කුරුම්බා ලැබෙන්න ගන්නවා. එයින් දිරිමත් වන ඔහු තවත් අයව ගස් නැගීම සඳහා උනන්දු කරවනවා. ගස් නගින්න පුරුදු වන කෙනෙකුට පුහුණු වන කාලය ඇතුළත ඔහුගෙන් කුරුම්බා සංග්‍රහ ලැබෙනවා. කුරුම්බා කැඩීමේ කුසලතාවය ලබා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් ඔහුට කුරුම්බා ආපසු ලැබෙනවා. 

මේ දිරිගැන්වීම නිසා තවත් කුරුම්බා කඩන්නන් බිහි වී පළමු දූපතේ කුරුම්බා නිෂ්පාදනය තවතවත් ඉහළ යනවා. දැන් එම දූපතේ හැමෝම එක්කෝ කුරුම්බා කඩනවා. නැත්නම් කුරුම්බා කඩන අයව සතුටු කළ හැකි වෙනත් දෙයක් කරනවා. ඔය දෙකම නොකරන්නේ එවැන්නක් කළ නොහැකි කුඩා ළමුන්, ආබාධිතයින්, මහළු පුද්ගලයින් වැනි අය පමණයි. අනෙක් අයගේ අනුකම්පාව මත ඒ අයටත් කුරුම්බා ලැබෙනවා. 

පළමු දූපතේ හැමෝගෙම ප්‍රධාන ඉලක්කය වෙනත් කාව හෝ හැකි තරම් සතුටු කිරීමයි. තමන්ගේ සතුට තමන්ට ලැබෙන්නේ වෙනත් අයව සතුටු කළ තරමට බව පළමු දූපතේ බොහෝ දෙනෙකු විසින් තේරුම් අරගෙනයි ඉන්නේ. එය ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන්න තිබෙන දෙයක් නිසා කවුරුවත් බලහත්කාරයෙන් ඒ බව ඒත්තු ගන්වන්න අවශ්‍ය නැහැ. දෙමවුපියන් තමන්ගේ දරුවන්ට කුඩා කළ සිටම වෙනත් අයව සතුටු කරන්න පුරුදු කරනවා. ඒ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට ආදරේ නිසයි. දරුවන් සතුටු වනු දකින්න දෙමවුපියන් කැමති නිසයි. ඔවුන්ට සතුටු විය හැක්කේ ඔවුන්ටද වෙනත් අයව සතුටු කළ හැකිනම් පමණක් බව දෙමවුපියන් දන්නා නිසයි.

දෙවන දූපතේ මේ ආකාරයට "ඉබේටම" කටයුතු සිදු වන්නේ නැහැ. දෙවන දූපත පාලනය කරන "සමානතා පක්ෂය" විසින් නිෂ්පාදනය වැඩි කර ගැනීමේ අරමුණින් කුරුම්බා කැඩීම සඳහා තවත් අය යොදවන්න උත්සාහ කරනවා. එහෙත්, කඩන කුරුම්බා තමන්ට නොලැබෙන බව දන්නා නිසා බොහෝ දෙනෙකු ඒ ගැන උනන්දු වන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සමාජය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළ යුතු බව අනෙක් අයට ඉගැන්වීමට සමානතා පක්ෂය විසින් පිරිසක් යොදවනවා. 

කුරුම්බා කඩන්න ගස් නගිනවාට වඩා මේ වැඩේ පහසු නිසා කට්ටිය හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ පිරිස විසින්  සමාජය වෙනුවෙන් පුද්ගලයින් විසින් ඉටු කළ යුතු යුතුකම් ගැනත්, සමානතා මූලධර්මයේ විද්‍යාත්මක බව ගැනත් කුඩා කාලයේ සිටම අනෙක් අයට උගන්වනවා. දිගින් දිගටමත් මේ දැනුවත් කිරීම විවිධ මාධ්‍ය හරහා සිදු වෙනවා. මේ දැනුවත් කිරීම් නිසා බොහෝ දෙනෙක් පවතින ක්‍රමය ප්‍රශ්න කරන්නේ නැහැ. එම ක්‍රමය ඇත්තටම විශ්වාස කරනවා.

එහෙත්, වරින් වර පවතින ක්‍රමය පිළිබඳව ඇතැම් අයට සැක සංකා ඇති වෙනවා. එවැනි අය තමන්ගේ අදහස් පතුරවන්න පෙර හඳුනාගෙන "පුනරුත්ථාපනය" කිරීම සඳහා තවත් පිරිසක් යෙදවෙනවා. අවසානයේදී දෙවන දූපතේ ටික දෙනෙක් කුරුම්බා කඩද්දී වැඩි දෙනෙක් විසින් කරන්නේ පවතින ක්‍රමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විවිධ දේ කරන එකයි. 

ක්‍රමය පවතිනවා. එහෙත්, එය පළමු දූපතේ ක්‍රමය තරම් සාර්ථක නැහැ. දෙවන දූපතේ කාටත් සමානව කුරුම්බා ලැබුණත් ඒ හැමෝටම ලැබෙන්නේ සීමිත පිරිසක් විසින් කඩන කුරුම්බා ටිකක්. පළමු දූපතේ එවැනි සමාන බෙදී යාමක් නැතත්, කුරුම්බා කඩන්නන් වැඩි නිසා පහළම මට්ටමේ සිටින අයට පවා දෙවන දූපතේ එක් අයෙකුට ලැබෙනවාට වඩා වැඩියෙන් කුරුම්බා ලැබෙනවා. මේ බව බොහෝ දෙනෙකු විසින් දැන ගන්නා තුරු දෙවන දූපතේ ක්‍රමය නොවෙනස්ව පවතිනවා. එහෙත්, පළමු දූපත ගැන තොරතුරු ලැබෙන තරමට දෙවන දූපතේ ක්‍රමය එහි පවත්වා ගන්න අසීරු වෙනවා. කාලයක් යද්දී ඒ ක්‍රමය බිඳ වැටෙනවා.

දෙවන දූපතේ සමාජ ආර්ථික ක්‍රමය මෙහෙයවන "සමානතා මූලධර්මය" විශ්වාසය මත පමණක් පදනම් වන සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එහෙත්, එය සැබෑවක් බව බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන තාක් එම සමාජ ආර්ථික ක්‍රමය පවතින්න පුළුවන්. එවැනි විශ්වාසයක් පවත්වාගත හැක්කේ ඒ මූලධර්මය ඇත්තටම විශ්වාස කරන හෝ ඒ මූලධර්මය මත පදනම් වූ සමාජ ආර්ථික ක්‍රමයකින් වාසි ලබන පිරිසක් විසින් මාධ්‍ය ප්‍රචාරණ, මාධ්‍ය වාරණ, සාහිත්‍යය, කලාව ආදිය යොදාගෙන එම මතවාදයේ ආධිපත්‍යය නඩත්තු කරන තාක් පමණයි. 

පළමු දූපතේ බොහෝ දෙනෙක් විශ්වාස කරන අනුන්ගේ දේ සොරකම් නොකළ යුතුය කියන මූලධර්මයත් ඒ වගේම සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එම මූලධර්මය බොහෝ දෙනෙකු විසින් විශ්වාස කිරීමටද මාධ්‍ය ප්‍රචාරණ, සාහිත්‍යය, කලාව ආදිය උපකාරී වෙනවා. එහෙත්, ඒ මාධ්‍ය ප්‍රචාරණ ආදිය නැතත් මේ මූලධර්මය පිළිගැනීම බොහෝ දෙනෙකුට අපහසු නැහැ. ඒ නිසා, පළමු දූපත ඇතුළේ පවතින ක්‍රමය දිගටම පවත්වා ගන්න විකල්ප මතවාද වාරණය කරන්න අවශ්‍ය නැහැ. සමානතා මූලධර්මය මෙන් නොව එය සැබෑවක් බව බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන් තේරෙනවා.

පෞද්ගලික දේපොළ අයිතිවාසිකම් පිළිගැනීම වසර දහස් ගණනක් පැරණි සමාජ සම්මතයක්. මේ සමාජ සම්මතය, සාපේක්ෂව මෑතකදී බිහි වූ මාක්ස්වාදය වැනි ආගම් වල හැර, ලෝකයේ හැම ප්‍රධාන ආගමික මතවාදයකම පිළිගැනෙන කාලයේ පරීක්ෂාවට ලක් වූ  මූලධර්මයක්. විවිධ ආගම් මගින් පෙන්වා දෙන අනුන්ගේ දේ සොරකම් කරන අයට මුහුණ දෙන්නට වෙන ප්‍රතිවිපාක අසත්කරණයට ලක් කර පරීක්ෂාවට ලක් කළ නොහැකි වුවත්, දේපොළ අයිතිය පිළිගැනීමේ හා නොපිළිගැනීමේ වෙනස සමාජ සංවර්ධනයට බලපාන ආකාරය අනුභූතික දත්ත ඇසුරින් පරීක්ෂාවට ලක් කළ හැකි දෙයක්.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...