වෙබ් ලිපිනය:

Showing posts with label අනුර කුමාර දිසානායක. Show all posts
Showing posts with label අනුර කුමාර දිසානායක. Show all posts

Tuesday, July 14, 2020

වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්


ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.

- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.

සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.

මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.

මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.

වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.

මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.

ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.

ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.

ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.

අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.

ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.

ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.

ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.

සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.

කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.

1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.

2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.

3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.

4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.

5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.

පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-  1,504
කළඹ ආයෝජන-                  0.1
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-         4,239
නිල සංචිත-                     7,534
එකතුව-                         13,277

බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-   12,455
කළඹ ආයෝජන-               9,946
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-          35,860
එකතුව-                            58,211

මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  6.982.0
කළඹ ආයෝජන-         10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න-           3,000.5
වෙනත් ආයෝජන-        5,259.7
නිල සංචිත-                       537.5
එකතුව-                        26,767.1

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-   8,789.8
කළඹ ආයෝජන-          19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න-            2,965.2
වෙනත් ආයෝජන-         7,311.2
එකතුව-                         38,824.6

ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?

ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.

ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.

බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.

නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.

ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.

ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.

කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.

Tuesday, August 20, 2019

අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?


අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක්ෂයාව එළි දැක්වීමෙන් අනතුරුව අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ලිස්සා යනු ඇතැයි ඇතැම් අය අදහස් පළ කරනවා. සාධක ගණනාවක් මත එය එසේ වේයැයි මා හිතන්නේ නැහැ.

මගේ අදහස අනුව මෙවර ජනපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම 2015 ට පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග හා ගැලපෙන්නක්. 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ රාජපක්ෂ රෙජීමය බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා. එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න ඉබ්බා. මෙන්න ගින්දර" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "ඉබ්බා පුච්චන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව කීමේ ඉඩකඩ වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "ඉබ්බව වගේම ගින්දරත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ ඉබ්බව පුච්චපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව මාර්ග සිතියමක් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්‍රීලනිපය නැති වීම නිසා රනිල්ගේ සැලසුම් සාර්ථක වූයේ නැහැ.

ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්‍රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී පක්ෂ දෙක කෙරෙහිම කලකිරෙන විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.

එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.

ජවිපෙ ඇතුළේ සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අයත් කැපී පෙනෙනවා.

කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරනවා කියා මට සහතික විය නොහැකියි. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින අය එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.

බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට මේ වෙලාවේ ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මේ මා දකින පළමු හේතුව.

පසුගිය දෙවරම ජවිපෙ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ එම පක්ෂයේ සැලකිය යුතු ව්‍යුහමය වෙනසක් සිදු වීමෙන් පසුවයි. පළමු කැරැල්ලෙන් පසුව නිදහස ලබා නැවත සංවිධානය වීමෙන් පසුව 1982දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මෙය කළේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් හැදූ ජවිපෙ පක්ෂ ව්‍යුහය මැතිවරණ ඉලක්ක කර යම් තරමකින් වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ ආකාරයෙන්ම දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පසුව 1994දී නිහාල් ගලප්පත්තිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගත්තත්, ඒ වන විටත් දෙවන කැරැල්ලේ තුවාල සුව වී නොතිබූ නිසා ඔවුන්ගේ දෙවන ජනාධිපතිවරණ පරීක්ෂණය 1999 දක්වා කල් දමන්න සිදුවුණා.

මෙවර ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජවිපෙ තුන්වන කැරැල්ලේ තුවාල සුව කරගැනීමෙන් පසුවයි. පළමු කැරලි දෙකේදී මෙන් ජවිපෙ තුන් වන කැරැල්ලේදී රටට හානියක් සිදු වුනේ නැහැ. දැනෙන බලපෑමක් සිදු වුනෙත් නැහැ. එහෙත්, මුල් කැරළි අවස්ථා දෙකේදී වගේම පක්ෂයේ ආකෘතිමය රාමුවට හානි සිදු වුනා. ඉන් පසුව, මේ හානි ප්‍රතිසංස්කරණය කර ගනිමින් ජවිපෙට ව්‍යුහමය වෙනස්කම් කර ගන්න සිදු වුනා.

පක්ෂ අභ්‍යන්තරයට සීමා වූ ජවිපෙ තුන් වන කැරැල්ල 2012දී සිදු වූ කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායමේ වෙන් වීමයි. ඊට පෙර 2008දී සිදු වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වෙන්වීම නිසා ජවිපෙ ඡන්ද පදනම විශාල ලෙස බිඳ වැටුණත්, එම කණ්ඩායමේ වෙන් වීම ජවිපෙ පක්ෂ ව්‍යුහයට බලපෑවේ නැහැ. ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, 2012 වන තුරුම ජවිපෙ යනු මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කළ පක්ෂයක් නෙමෙයි. ඔවුන් මැතිවරණ ජයග්‍රහණ උපයෝගී කර ගත්තේ පක්ෂයේ ආරම්භයේ සිටම පැවතුනු අවසාන අරමුණ වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කය කරා යාමට උදවු වන අතරමැදි ඉලක්ක ලෙස පමණයි. නමුත්, ජවිපෙ ක්‍රමයෙන් මැතිවරණ ජයග්‍රහණ ලබා ගනිද්දී මුල් අරමුණ වෙනුවෙන් පෙනී සිටින කොටස් ක්‍රමයෙන් පක්ෂය තුළ දුර්වල වී 2012දී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කෙරුණා.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට වෙන්ව යාමට සිදු වීමත් මෙයට සම්බන්ධයි. ඔවුන් ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක්. එහෙත්, බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් එළියට විසි වීමයි.

කුමාර් ගුණරත්නම් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවත් ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළේ භක්තිමත් මාක්ස්වාදීන් ඉතිරිව සිටිනවා. ඔවුන් ඇතැමෙකුට පක්ෂය ඇතුළේ තවමත් විශාල බලයක් තිබෙනවා. ටිල්වින් ද සිල්වා උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. පක්ෂයේ නියමුවා පුවත්පත වැනි තැන් වල තවමත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලෙනින්ලාගේ මූලධර්මවාදී ආගමික පාඨ වලටයි. එසේ වුවත්, ජවිපෙ මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් පවතින බව පැහැදිලියි.

එක් වෙබ් අඩවියක පෙන්වා දී තිබුණේ  අනුර කුමාර මෙවර රතු කමිසයක් ඇඳ නොසිටි බව හා සමාජවාදය යන වචනය ඔහුගේ කතාවේ කිසි තැනක සඳහන් නොකළ බවයි. එමෙන්ම, අනුරගේ මෙවර කතාවේ ලෙනින්, මාක්ස් හෝ එංගල්ස් කියූ දේවල් කිසිවක් නැහැ. අඩු වශයෙන් රෝහණ විජේවීර කියූ දේවල් හෝ නැහැ. ඒ වෙනුවට ඔහු උපුටා ගන්නේ ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිංග්වයි. මෙයින් පෙනෙන්නේ ජවිපෙ සමාජවාදය අතහැර ඇති බවයැයි අප කියන්නේ නැහැ. මෙය හිතා මතාම කරන රැවටීමක් විය හැකියි. එහෙත්, ඒ ආකාරයේ රැවටීමක් වුවත් ජවිපෙ ඉතිහාසයට සාපේක්ෂව විශාල වෙනසක්. ආරම්භයේදී ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වූයේත් රැවටිල්ලක් ලෙස වුවත්, ඒ රැවටිල්ල නිසා දිගුකාලීනව ජවිපෙ පක්ෂ ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු වුනා.

අනුර කුමාරගේ කතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ පහත කොටසයි.

"ඒ වගේම පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නය. මිනිස් සංහතිය මානව වර්ගයාගේ උසස්තතම නිර්මාණයන් අත්පත් කර ගත්තේ කෙසේද? ඒ නිර්මාණයන් අත්පත් කර ගත්තේ ඇතිවන අදහස් ඇතිවන සිතුවිලි පෙට්ටගමක් අස්සට දාල ඉබියතුරු දාල වසා තැබීමෙන් නෙමෙයි. මානව සංහතියේ ප්‍රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නෙමෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතැනින් පමණයි. සමාජය ඇතුළේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි වන්නේ එතැනින් පමණයි. එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ විනයක්, එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් හැර අන් කවරක් නෙමෙයි. ඒ නිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘතව කටයුතු කළ යුතු අවදියකට අප අවතීර්ණ වී සිටිනවා."

අන් මත දරන්නන් කුරුරු ලෙස ඝාතනය කළ පක්ෂයක් මෙවැනි තැනකට පැමිණීම ඉතා වැදගත් පරිවර්තනයක්. මෙහි අනුර කුමාර විසින් කතා කරන පුද්ගලික නිදහස කියන සංකල්පයේ ඉතා වැදගත් අංගයක් වන්නේ ඒකීය පුද්ගලයින්ට නිදහස් ගනුදෙනු වල යෙදීමට තිබෙන අයිතියයි. සමාජවාදය ධනවාදයෙන් වෙනස් වන්නේ සමාජවාදය තුළ රාජ්‍ය මැදිහත්වීම් හරහා ඒ නිදහසට බාධා කිරීමත්, ධනවාදය තුළ එසේ නොකිරීමත් යන කරුණ මතයි. අනුර කුමාරගේ කතාවේ රටේ හා ජනතාවගේ ආර්ථික දියුණුව ගැන කතා කළත් ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඇතැම් විට සමාජවාදී ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විදිහට තවමත් ජවිපෙට නිදහස් වෙළඳපොල සංකල්පය වෙනුවෙන් පෙනී සිටින්න අමාරු ඇති.

යම් සීමාවන් තවමත් තිබුණත් මේ එළැඹෙන්නේ පක්ෂය ඇතුළට සීමා වූ ජවිපෙ තෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පසුව එළැඹෙන පළමු ජනාධිපතිවරණයයි. ඒ නිසා, මෙවරත් පෙර අවස්ථා දෙකේදී වගේම මේ වෙනසට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමේ උවමනාවක් ජවිපෙට තිබෙනවා. මෙය ඔවුන් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන දෙවන හේතුවයි.

ජවිපෙ මින් පෙර ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කළ අවස්ථා දෙකම බොහෝ දෙනෙකුට යම් තරමකින් හෝ ප්‍රධාන පක්ෂ දෙකම එපා වී තිබුණු අවස්ථාවන්. නිදහසේ සිට හැත්තෑ හත දක්වාම ලංකාවේ සිදුවුනේ එජාපය හා ශ්‍රීලනිපය (හෝ එම පක්ෂ මුල් වූ සන්ධාන) මාරුවෙන් මාරුවට බලයට පැමිණීමයි. නමුත්, 1982 වන විටත් ලංකාවේ මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදය අමතක වී තිබුණේ නැහැ. ඒ නිසා, ජේආර්ගේ ආණ්ඩුව පෙරළා නැවත ශ්‍රීලනිපය බලයට පත් කර ගැනීමේ සූදානමක් ඒ වන විටත් රටේ තිබුණේ නැහැ. අනෙක් අතට ජේආර්ගේ ආණ්ඩුව ගැන කළ කිරුණු විශාල පිරිසක් ඒ වන විට රටේ හිටියා. එවර ජවිපෙ විසින් ඉලක්ක කළේ මෙසේ ප්‍රධාන පක්ෂ දෙකම ගැන කළ කිරුණු පිරිසයි.

චන්ද්‍රිකා දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තිබුණේත් මේ වගේ තත්ත්වයක්. ඒ වන විට 62.3%ක ජනවරමකින් බලයට පත්ව සිටි නූතන විහාර මහා දේවිය චෞර රැජින සේ බෞතීස්ම ලබා සිටියත්, ජනතාවටට එජාපයේ "දාහත් අවුරුදු සාපය" අමතකව තිබුණේත් නැහැ. ජවිපෙ උත්සාහ කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නයි. දැන් නැවතත් එවැනිම වටපිටාවක් සකස් වී තිබෙනවා. ජවිපෙ තරඟයට එන්නේ ඒ නිසයි.

කිසියම් ඡන්ද පදනමක් තිබෙන තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන විට හැමවිටම වගේ නැගෙන චෝදනාවක් වන්නේ මේ අපේක්ෂකයා එන්නේ ඡන්ද කඩන්න කියන එකයි. මට මතක ඇති කාලයේ මේ චෝදනාවට වැඩිපුරම ලක් වුනේ මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ තෙවන අපේක්ෂකයා වන ඔසී අබේගුණසේකරයි. මේ චෝදනාව අප මේ වියුණුවේ ලිපියක් පළ කළ විට අපව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සම්බන්ධ කර සිතීමට තරමක් සමානයි.

අප ලියන ඇතැම් දේ වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලට හෝ පුද්ගලයින්ට වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්. නමුත්, එය අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආකාරයටම තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටකම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද කැඩෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඡන්ද වැඩියෙන් කැඩෙන නිසා තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. නමුත්, ගෝඨාභයගේ හෝ එජාප අපේක්ෂකයාගේ ඡන්ද කැඩෙනවාද නැද්ද කියන එක ජවිපෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අයිතියක්.

ඒකීය පුද්ගලයින්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට, වැඩි විකල්ප ගණනක් ලැබීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. තෝරා ගැනීමට තිබෙන විකල්ප ප්‍රමාණය ඉහළ යන තරමට සිදු වන්නේ යහපතක්. අලුතෙන් එකතු වෙන විකල්පයක් තමන්ට සාපේක්ෂව නරක එකක් වුවත් මෙහි වෙනසක් නැහැ. විකල්පය නරක එකක්යැයි පෙනේනම් එය තෝරා නොගෙන සිටීමේ අයිතිය පුද්ගලයෙකුට තිබෙනවා. එහෙත්, විකල්ප අඩු වූ විට වෙන්නේ අඩු නරක තෝරා ගන්න වෙන්න පුළුවන්.

ඒ වගේම ලංකාවේ ජනාධිපතිවරණයකදී මනාප භාවිතා කිරීමේ නිදහසද තිබෙන නිසා මේ ඡන්ද කඩන කතාව කොහෙත්ම අදාළ එකක් නෙමෙයි. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන අයෙකුට ඒ හේතුවෙන් තමන් අකැමැති අයෙකු බලයට පත් වේයයි බයක් තිබේනම්, එය වළකනු පිණිස තමන්ගේ දෙවන මනාපය භාවිතා කළ හැකියි. එවිට අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදී තමන්ට පළමු මනාපය දෙන අයගේ දෙවන මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලබා දෙන මෙන් කොල්වින් ආර් ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.

පොදුජන පෙරමුණ හා එජාපය යන පක්ෂ දෙකටම එරෙහි විකල්ප අපේක්ෂකයෙකු සේ පෙනී සිටින අනුර කුමාරට හෝ ඔහුගේ පක්ෂය වන ජවිපෙට කොල්වින් ආර් ද සිල්වා විසින් කළ ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කරන්න අමාරුයි. එහෙත්, ජවිපෙ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකියි. ජවිපෙටම වුවත් අප්‍රසිද්ධියේ තමන්ගේ විශ්වාසවන්ත සාමාජිකයින් දැනුවත් කළ හැකියි. ජවිපෙ සතුව මේ විකල්පය තිබෙන නිසා, අවසාන මොහොතේ අනුර කුමාර තරඟයෙන් ඉවත් වේයැයි හිතන්න පුළුවන් කමක් නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයක් ලෙස ජවිපෙට ඉතා වැදගත් දෙයක්.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ එජාපය හා ජවිපෙ විසින් රාජපක්ෂලාට කළ චෝදනා හා රාජපක්ෂලාගේම හැසිරීම් නිසා විශාල පිරිසකට රාජපක්ෂලාව එපා වුනා. ඔවුන් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඉන් පසුව රාජපක්ෂලා හා ජවිපෙ විසින් වගේම මෛත්‍රීපාල පාර්ශ්වය විසින්ද  බැඳුම්කර චෝදනාව එල්ල කරමින් එජාපයට විශාල පහරක් ගැහුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා එපා වී යහපාලනයට ආ විශාල පිරිසකට එජාපයත් එපා වුනා. නමුත්, මේ පිරිස් ජවිපෙ මුලින් ගණන් හදා බලා තිබූ ආකාරයට ඔවුන් වෙත ආවේ නැහැ. මහින්ද පාර්ශ්වයේ රතු අලි ලේබල් එක නිසා එජාපයෙන් ඉවත් වන පිරිස් ජවිපෙන්ද ඉවත් වුනා. ඉන් පසුව, මේ පිරිස් නැවතත් දින පණහේ ඔක්තෝබර් විප්ලවය වෙලාවේ මහින්දට හා මෛත්‍රීට එරෙහිව නැගී සිටියා. එහෙත්, ඔවුන් එජාපය වෙත හෝ ජවිපෙ වෙත නැවත ආකර්ශනය වුනේ නැහැ.

අවසාන ප්‍රතිඵලය විදිහට මේ වෙද්දී එජාප, ශ්‍රීලනිප (පොදුජන පෙරමුණද ඇතුළුව) හා ජවිපෙ තුනම එපා වී 225ම එපා කියා කියන පිරිසක් රටේ බිහි වී සිටිනවා. ඒ අයගේ ඉල්ලුම සපුරමින් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ද කරලියට පැමිණ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව, රාජපක්ෂ කඳවුරේ ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ජවිපෙ සතුව නැහැ. මෑතකාලීන ඉතිහාසය පුරාම ජවිපෙ වෙත ආකර්ෂණය වුනේ ශ්‍රීලනිප ඡන්ද වුවත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජවිපෙට යම් තරමකින් හෝ ගෝඨාභයට සෘජු බලපෑමක් කළ හැක්කේ ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමෙන් පමණයි.

ජවිපෙ විසින් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර එජාප අපේක්ෂයෙකුට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීම මඟින් මේ පාවෙන ඡන්ද එජාපය වෙත තල්ලු කළ නොහැකි තරමට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධිය උපයෝගී කර ගනිමින් එජාපයට බැට දී අවසන්. ඒ නිසා, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ ඇති නාගානන්ද කොඩිතුවක්කු හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අයෙකුට ලබා ගත හැකි කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ ඡන්ද මෙතෙක් ජවිපෙට ලැබුණු ජවිපෙ නොවන ඡන්ද. ජවිපෙ විසින් අනුර කුමාර වෙත ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ පාවෙන ඡන්දයි.

එහෙමනම්, ජවිපෙ විසින් ගාමිණී විජේසිංහ වැනි අයෙකු නොදා තමන්ගේ නායකයාම තරඟයට ඉදිරිපත් කළේ ඇයි? අපේ පහසුව සඳහා අපි අර විකල්ප අපේක්ෂකයා නාගානන්ද කියා හිතමු. දැන් නාගානන්ද වෙනුවෙන් ඡන්දය දෙන්නේ පක්ෂ තුනම එපා කියා කියන අයයි. මේ ඡන්ද සඳහා තරඟ කරන්න ගාමිණී විජේසිංහ දැම්මා කියා කියමු. දැන් තේරීම තියෙන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක්ව සිටින ස්වාධීන පුද්ගලයෙක් හා එසේ නොවන ස්වාධීන පුද්ගලයෙක් අතරයි. මේ වැඩෙන් අවශ්‍ය කාර්යය නොකෙරෙන බව පැහැදිලියි. ජවිපෙට ස්වාධීන පුද්ගලයෙක් තරඟයට දමා 225ම එපා කියන අයගේ ඡන්ද ලබා ගන්න බැහැ.

මේ තත්ත්වය යටතේ ජවිපෙ විසින් උත්සාහ කරන්නේ 225ම එපා කියන අදහසට මතවාදීව එරෙහි වෙමින් මේ පාවෙන ඡන්ද ආකර්ශනය කර ගන්නයි. විකල්ප අදහසක් ලෙස ඔවුන් කියන්නේ ජනතාව අතර කාලයක් සිටි කෙනෙකුට ආදේශකයක් වීමට රොකට් කාරයෙකුට නොහැකි බවයි. මේ කතාව ගැලපෙන්නේ ජවිපෙ දැනට සිටින නායකයෙකුටයි. වඩාත්ම ගැලපෙන්නේ එහි නායකයාටයි. ඔහුට අවම වශයෙන් ජවිපෙ ඡන්ද සියල්ලම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

අනුර කුමාරව ඉදිරිපත් කිරීමේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔහුව "රතු අලියෙක්" සේ හඳුනා ගෙන තිබීමයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ කඳවුරේ ඡන්ද ඉලක්ක කරනවානම් පමණයි. ජවිපෙ දැන් ඉලක්ක කරන්නේ යහපාලනයට ලැබුණු, මේ වන විට යහපාලනයෙන් ගිලිහී ඇති ඡන්දයි. ජවිපෙ මෙවර තනිව තරඟ කරන තෙවන හේතුව මෙන්ම, ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර වන්නේද මේ නිසයි.

අනුර කුමාර ඉදිරිපත් පත් වීම නිසා අවසන් ප්‍රතිඵලයට සිදු වන බලපෑම මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම, එජාප අපේක්ෂකයා කවුරුන්ද යන වග හා ඉදිරිපත් විය හැකි නාගානන්ද වැනි "ස්වාධීන" අපේක්ෂකයින් මත තීරණය වනවාක් මෙන්ම ඒ දේවල් සිදුවන ආකාරයද අනුර කුමාරගේ ඉදිරිපත් වීම මත යම් තරමකින් වෙනස් විය හැකියි.

Monday, August 19, 2019

ජවිපෙ මැතිවරණ පුරාණය


ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වන විට එම පක්ෂයේ ඉතිහාසය වසර පණහකටත් වඩා වැඩියි. පක්ෂය හදන කාලයේ එහි නිර්මාතෘ රෝහණ විජේවීර වයස අවුරුදු විසි එකක තරුණයෙක්. පළමු කැරැල්ලට සහභාගී වූ තරුණයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් සේ සැලකෙනවා.

රෝහණ විජේවීරව මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 46යි. පළමු කැරැල්ලට සහභාගී වූ අය ඒ වන විට ජීවත්ව සිටියේනම් ඒ බොහෝ දෙනෙක්ගේ වයසද ආසන්න වශයෙන් එපමණ වෙනවා. නමුත්, විජේවීරගේ මරණය සිදුවුණු කාලය වන විට පළමු කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක් ජවිපෙ සමඟ සිටියේ නැහැ. ඒ වන විට ජවිපෙ සමඟ සිටි හා ජවිපෙ දෙවන කැරැල්ලට සහභාගී වූ බොහෝ අය ඒ කාලය වන විට අවුරුදු විස්සකට ආසන්නව සිටි අයයි.

ජවිපෙ ආරම්භයේ සිට දෙවන කැරැල්ල අවසන් වූ කාලය දක්වාම එම පක්ෂයේ සාමාජිකයින්ව සිටියේ තරුණ තරුණියන්. ඒ හැර ජවිපෙ පවුල් කියා කිව හැකි පවුල් නොතිබුණු තරම්. මුල් කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක්ගේ දෙමවුපියන් සම්ප්‍රදායිකව පැරණි වාමාංශික පක්ෂයකට සහයෝගය දැක්වූ අය. දෙවන කැරැල්ලට සහයෝගය දැක්වූ බොහෝ දෙනෙකුගේ දෙමවුපියන් ශ්‍රීලනිප පාක්ෂිකයින්. මේ අය අතරින් බොහෝ දෙනෙකු තමන්ගේ දරුවන් ජවිපෙ සාමාජිකයින්ව සිටින බව දැන සිටියේ නැහැ.

ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පටන් ගත්තේ දෙවන කැරැල්ලෙන් පසුව නෙමෙයි. එහෙත්, දෙවන කැරැල්ල පරාජය වීමෙන් පසුව එම පක්ෂය දිගටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරමින් සිටිනවා. එම කාලය දශක දෙකකට ආසන්නයි.

දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂය නැවත ගොඩ නැගූ එවකට තරුණ වියේ සිටි නායකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එම පක්ෂයේ නායකයින් ලෙස කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට රෝහණ විජේවීර මිය යන විට සිටි වයස පහු කරලා. මේ වන විට ජවිපෙ හා අදාළ තීරණ ගන්නේ වයස අවුරුදු පණහක් පමණ වූ පරිණත පිරිසක්. පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර කුමාරත් වයස අවුරුදු පණහක් වූ පරිණත පුද්ගලයෙක්.

ජවිපෙ තව දුරටත් තරුණයින්ගේ පක්ෂයක් නෙමෙයි. පක්ෂයේ ඉහළ තලයේ සිටින පුද්ගලයින් සමඟම ජවිපෙද පරිණත වී තිබෙනවා. මේ වන විට ජවිපෙ පවුල් කියා හැඳින්විය හැකි පවුල් රටේ සිටිනවා. තරුණයෙකු තව දුරටත් ගෙදරට හොරෙන් ජවිපෙ දේශපාලනය කළ යුතුද නැහැ.

ජවිපෙ මුලින්ම ජනාධිපතිවරණයකට තරඟ කළේ 1982දී. එය ලංකාවේ පළමු ජනාධිපතිවරණයද වූවා. ජනාධිපතිවරණයට තරඟ කළේ පක්ෂයේ නිර්මාතෘ හා එවකටද නායකයා වූ රෝහණ විජේවීරමයි.

මේ පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන විට රටේ ජනාධිපතිව සිටියේ ජේආර් ජයවර්ධනයි. ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයාව සිටියේද එජාපයෙන් තරඟ කළ ඔහුමයි. රටේ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සියල්ලක්ම තුළ ජේආර්ගේ ඒකාධිකාරය පැහැදිලි ලෙස කැපී පෙනුනා.

පළමු ජනාධිපතිවරණයේදී ජේආර්ගේ ප්‍රතිවාදියා ලෙස සටනක් දීමේ වැඩිම ශක්‍යතාව තිබුණේ ශ්‍රීලනිප නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකට වුවත්, ජනාධිපතිවරණය පැවැත්වෙන විට ඇගේ ප්‍රජා අයිතිය අහිමිව තිබූ බැවින් ඇයට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඊට අමතරව ඒ වන විට ශ්‍රීලනිපය දෙපිලකට බෙදී පක්ෂයේ අයිතිය හා සම්බන්ධවද ගැටළු පැන නැගී තිබුණා. ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට එම පක්ෂයේ සියලු දෙනාගේම ආශීර්වාදය ලැබුණේ නැහැ. මේ තත්ත්වය තුළ 1982 ජනාධිපතිවරණය තනි අස්සයෙකු දිවූ තරඟයක්.

මේ කාලය වෙද්දී ජවිපෙ ඉලක්කය වූයේ රටේ දෙවන ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ශ්‍රීලනිපය අභිබවා ඉදිරියට පැමිණීමයි. ජනාධිපතිවරණයේදී තමන්ට ආණ්ඩුවට එරෙහි ඡන්ද වලින් විශාල කොටසක් ලබා ගත හැකි වනු ඇති බව රෝහණ විජේවීර විසින් තක්සේරු කර තිබෙන්න ඇති. කෙසේ වුවත්, ඔහුට ලබා ගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.19%ක් පමණයි.

දෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට එජාපයට පෙර වූ ජනප්‍රියත්වය තව දුරටත් එසේම තිබුණේ නැහැ. තෙවන අපේක්ෂකයෙකු ලෙස ඔසී අබේගුණසේකරද ඉදිරිපත්ව සිටියත්, ශ්‍රීලනිප අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වන විට එජාපය සමඟ තරඟ කළ හැකි මට්ටමකට ජනප්‍රිය සිටියා. ජේආර් ජයවර්ධන විසින් රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව ලබා දුන්නේ පැරදෙන්නට නියමිත බව පෙනෙන්නට තිබුණු ජනාධිපතිවරණයකට තරඟ කිරීමටයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මුලින්ම ඉදිරිපත් වූයේ ජවිපෙද ඇතුළත් පක්ෂ අටක සන්ධානයක පොදු අපේක්ෂිකාව ලෙසයි. එහෙත්, මැතිවරණයට පෙර ජවිපෙ මේ පොදු සන්ධානයෙන් ඉවත් වුනා. එක පැත්තකින් ජවිපෙ විසින් සන්ධානයකට ඇතුළු වී ශ්‍රීලනිප ඡන්ද තමන් වෙත හරවා ගැනීමට උත්සාහ කරද්දී, ශ්‍රීලනිප විසින් එජාපයට එරෙහිව ජවිපෙ ඉදිරියට දමා පැත්තක සිට පහසුවෙන් බලය ලබා ගන්නට උත්සාහ කිරීම මේ සන්ධානය බිඳ වැටීමට හේතු වූවා විය හැකියි.

දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වීමට ප්‍රධානම හේතුව වූයේ ජවිපෙ භූමිකාවයි. ජවිපෙ විසින් එම මැතිවරණය වර්ජනය කිරීමෙන් නොනැවතී මැතිවරණ රාජකාරි වල නියැලෙන පුද්ගලයින්ට මෙන්ම ඡන්දය දමන්නන්ටද මරණ තර්ජන එල්ල කළා පමණක් නොව මැතිවරණ රාජකාරි වල නියැලුණු ඇතැම් නිලධාරීන්ව වෙඩි තබා මරා දැමුවා. මේ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි වල නියැළුණු අයෙකු ලෙස අනෙකුත් නිලධාරීන් හා ඡන්දදායකයින් සිටි මානසිකත්වය මා පෞද්ගලිකවම අත් විඳි දෙයක්. ඡන්ද පොළ රාජකාරි කළ බොහෝ දෙනෙකු පෙර දින හරියකට නින්දක් ලැබුවේ නැහැ. පළමුවෙන් ඡන්දය දමන පස් දෙනා මරා දමන බව දන්වා තිබුණු නිසා, බොහෝ දෙනෙක් වෙනත් අය ඡන්දය දමන තුරු බලා සිටියා.

ජවිපෙ දෙවන කැරැල්ලේ බලපෑම වැඩිපුරම තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩිම සහයෝගයක් තිබුණු ප්‍රදේශ වලයි. ඒ නිසා, ඡන්ද වැළැක්වීම වැඩිපුරම බලපෑවේ ඈ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැකිව තිබුණු ඡන්දදායකයින්ටයි. ජවිපෙ තර්ජන නොවන්නට රණසිංහ ප්‍රේමදාසටට එවර ලංකාවේ ජනාධිපති නොවිය හැකිව තිබුණා.

ජවිපෙ අපේක්ෂාව වූයේද දෙවන ජනාධිපතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරනු දැකීමයි. මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ජයග්‍රහණය කළහොත් එජාප විරෝධී බලවේග දෙකට බෙදෙනු ඇති බවත්,  එජාපය ජය ගැනීමෙන් පසුව සියලු ආණ්ඩු විරෝධී බලවේග තමන් වටා එකතු කරගෙන රාජ්‍ය බලය ලබා ගැනීම පහසු වනු ඇති බවත් ජවිපෙ තක්සේරුව වුනා. ඇත්තටම සිදු වූ දෙය නැවත විස්තර කළ යුතු නැහැ.

කොහොම වුනත්, ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ හෝ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කළ පළමු අවස්ථාව ලෙස 1988 ජනාධිපතිවරණය හඳුනාගත හැකියි.

තෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට ජවිපෙ නැවත සංවිධානය වී පළමු වරට පාර්ලිමේන්තු නියෝජනයක්ද හිමි කර ගෙන සිටියා. එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් නාම යෝජනා භාර දුන්නා. නමුත්, මේ වන විටත් ජවිපෙට රට පුරා නිදහසේ ඡන්ද ප්‍රචාරණය කළ හැකි වාතාවරණයක් හෝ ප්‍රබල යාන්ත්‍රණයක් නොතිබුණු නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වගේම, මේ මැතිවරණය ආසන්නයේදී ගාමිණී දිසානායක ඝාතනය වීම හා එජාපයෙන් තරඟය සඳහා ඉදිරිපත් කළ ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ප්‍රබල ප්‍රතිවාදිනියක නොවීම නිසා එජනිස අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග්‍රහණය පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

වසරක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් ලබා ගනිමින් නිහාල් ගලප්පත්ති නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා. මේ පොරොන්දුව ඉටු නොවන පොරොන්දුවක් බව ජවිපෙ දැන නොසිටින්නට හේතුවක් නැහැ.  චන්ද්‍රිකාට ජයග්‍රහණය කිරීමට ජවිපෙ සහයෝගය වැදගත් නොවූවත්, ඒ වෙලාවේ විධායක ජනාධිපති ධුරයට රටේ තිබුණු විරෝධය අනුව මේ පොරොන්දුව නොදී සිටීමේ දේශපාලනික හානියක් ඇයට තිබුණා. පොරොන්දුව ලබා ගැනීම හරහා කෙටිකාලීනව චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමේ හැකියාව මෙන්ම දිගුකාලීනව චන්ද්‍රිකා යනු විශ්වාසය තැබිය නොහැකි තැනැත්තියක බව පෙන්වා දීමේ වාසි ජවිපෙ විසින් ලබා ගත්තා.

සිවුවන ජනාධිපතිවරණය පැවැත්වුණු 1999 වන විට චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය සෑහෙන පමණකින් ගිලිහී තිබුණත්, එජාපයේ "දාහත් අවුරුදු සාපය" බොහෝ දෙනෙකුට අමතක වී නොතිබුණු නිසා චන්ද්‍රිකාට එරෙහිව තරඟ කළ රනිල් වික්‍රමසිංහට චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා වීමේ වාසිය ලබා ගත හැකි තත්ත්වයක් ද තිබුණේ නැහැ. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම කළ කිරුණු සැලකිය යුතු ඡන්ද දායක පිරිසක් සිටීම ජවිපෙ වැනි තෙවන බලවේගයකට වාසිදායක තත්ත්වයක්. අනෙක් අතින් මේ වන විට ජවිපෙ සංවිධාන ජාලය නැවතත් රට පුරා ව්‍යාප්ත වී තිබුණා.

ජයග්‍රහණය ඉතා දුරස්ථ බව දැන දැනම නන්දන ගුණතිලකව සිවුවන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ජවිපෙ කරුණු කිහිපයක් ඉලක්ක කරන්නට ඇතැයි සිතිය හැකියි. පළමුව, මෙය ඔවුන්ට ඔවුන් සතු ඡන්දදායක පදනම ඇස්තමේන්තු කර ගැනීමට උදවුවක්.  දෙවනුව, ඔවුන්ට යම් නියෝජනයක් ලබා ගත හැකි බව පෙනෙන්නට තිබුණු මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මෙවැනි ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් මහ මැතිවරණයේදී ප්‍රචාරක වාසියක් ලබා ගත හැකියි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලකව තෝරා ගත්තත් ඔහු ඒ වන විට ජවිපෙ නායකයා නෙමෙයි. ඒ වගේම, ඔහුට වඩා ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම ඒ වෙද්දී ජවිපෙ සතුව සිටියා. එසේ තිබියදී නන්දන ගුණතිලකව අපේක්ෂකයා සේ ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මහ මැතිවරණයට පෙර අඩු වශයෙන් රට හඳුනන තවත් එක් අපේක්ෂකයෙකු බිහි කර ගැනීම විය හැකියි. මේ වෙද්දී ජවිපෙ සතුව දිස්ත්‍රික් නායකයින් සේ දැමීමට අවශ්‍ය තරමට හෝ රට හඳුනන පුද්ගලයින් සිටියේ නැහැ.

සිවුවන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට තෙවන අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වීම බලපෑවේයැයි සිතිය නොහැකියි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡන්ද ප්‍රතිශතය පළමු වාරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී තිබුණත්, ඈ 50% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගත්තා. යම් හෙයකින්, ජවිපෙ මැදිහත්වීම හේතුවෙන් ප්‍රතිඵලය වෙනස් වීමේ ඉඩකඩක් තිබුණේ වුවද මේ අවස්ථාව වන විට එය ජවිපෙට ප්‍රශ්නයක් වන්නට හේතුවක් නැහැ. ඔවුන්ට රනිල් හා චන්ද්‍රිකා අතරින් එක් නිශ්චිත අයෙකු බලයට පත් කර ගැනීමට විශේෂ කැමැත්තක් නොතිබෙන්න ඇති.

නන්දන ගුණතිලක විසින් 1999 ජනාධිපතිවරණයේදී 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. මේ ප්‍රතිශතය 1982දී රෝහණ විජේවීර විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්නයි. 2000 මහ මැතිවරණයේදී ජවිපෙ ඡන්ද පදනම 6.00% දක්වාත්, 2001 වන විට 9.10% දක්වාත් වර්ධනය වුනා. ඒ ගැම්මටම ගියානම් ජවිපෙට තනි පක්ෂයක් ලෙස තවත් ඉදිරියට යා හැකිව තිබුණා. එහෙත්, 2004 මහ මැතිවරණය අබිමුව එජනිස ලෙස ශ්‍රීලනිපය හා සන්ධානගත වීම නිසා ජවිපෙට තාවකාලික වාසියක් ලැබුණත් එයින් දිගුකාලීනව එම පක්ෂයට සිදු වූයේ හානියක්.

ආරම්භයේ සිට ඉතා මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය වුනේ ශ්‍රීලනිප හා පැරණි වාමාංශික පක්ෂ වටා එක්රැස් වී සිටි එජාප විරෝධී ජන කොටස් තම පක්ෂය වටා එකතු කර ගන්නයි. ඔවුන්ට බොහෝ විට මේ ඉලක්කයට යන්න පුදුම හදිස්සියක් තිබුණා. හදිස්සියට හේතුව වෙන්න ඇත්තේ පක්ෂය වගේම පක්ෂයේ සාමාජිකයින් වැඩි දෙනෙක්ද දුර දිග නොබලා හදිසි තීරණ ගන්නා වයසක සිටීම වෙන්න ඇති.

වේගයෙන් වර්ධනය වෙමින් තිබුණු හා ඒ වන විටත් 9.10% මට්ටමට වර්ධනය වී තිබුණු ඡන්ද පදමනක් අතේ තියාගෙන ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් හදන්න ජවිපෙ යොමු වෙන්න ඇත්තේ එසේ කිරීමෙන් තමන්ගේ දිගුකාලීන ඉලක්කයට වඩා ඉක්මණින් යා හැකි වනු ඇතැයි සිතූ නිසා වෙන්න ඇති. මේ දිගුකාලීන ඉලක්කය තමන්ගේ ජන පදනම වඩා පුළුල් කරගැනීම මිස පාර්ලිමේන්තු නියෝජනය වඩා වැඩි කර ගැනීම වූවා කියා මා හිතන්නේ නැහැ. එහෙත්, 2004 මහ මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අපේක්ෂා නොකළ ලෙස 39 දක්වා ඉහළ ගියා.

මේ මැතිවරණයේදී මා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කර ඉන් පසුව ගණන් කිරීමේ මධ්‍යස්ථානයකද කටයුතු කළා. ඒ නිසා, ඡන්ද පොළ නියෝජිතයින්, අපේක්ෂයින් හා ඡන්දදායකයින්ගේ හැසිරීම් මෙන්ම ඡන්ද හා මනාප සලකුණු වී තිබුණු රටාවන්ද පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව, පෙනී ගියේ තමන්ගේ නියෝජනය වැඩි කර ගැනීම සඳහා ජවිපෙ අනුගමනය කළ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබුණු බවයි.

එම මැතිවරණයේදී සාමාන්‍ය ශ්‍රීලනිප ඡන්දදායකයින්ගෙන් ජවිපෙ ඉල්ලා සිටියේ ජවිපෙ අපේක්ෂකයෙකුටත් එක් මනාපයක් ලබා දෙන ලෙසයි. ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙය ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් අවධානය යොමු කළේ තමන්ගේ පිලේම තරඟකරුවන් අභිබවා වැඩි මනාප ගන්නයි. එතරම් ප්‍රසිද්ධියක් නැති ජවිපෙ අපේක්ෂකයින් විසින් තේරී පත් වීමට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි ඔවුන් විශ්වාස කළේ නැහැ. සරලව කියනවානම් ඔවුන් බලාගෙන හිටියේ ජවිපෙ උදවුවෙන් තමන්ගේ නියෝජනය හා මනාප ප්‍රමාණය වැඩි කරගන්නයි.

ජවිපෙ විසින් පොදුවේ සියලුම ඡන්දදායකයින්ගෙන් අඩු වශයෙන් එක් මනාපයක් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතරම ජවිපෙ අපේක්ෂකයින්ට පමණක් මනාප දෙන මෙන් තමන්ගේ පාක්ෂිකයින්ව දැනුවත් කර තිබුණා. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස බොහෝ දිස්ත්‍රික්ක වල ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් වැඩිම මනාප ලබමින් තේරී පත් වුනා. ජවිපෙට ඇමති ධුර හතරක්ද හිමි වුනා. මේ මැතිවරණයට බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයද තනිව තරඟ කර මන්ත්‍රී ධුර නවයක් හිමි කර ගත්තා.

මහින්ද රාජපක්ෂ පළමු වර ජනාධිපති ධුරයට තරඟ කරද්දී ඔහු පසුපස සිටි ප්‍රධානම බලවේග දෙක ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයයි. මැතිවරණයෙන් ජයගත් මහින්ද හා ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් අතර වූ පරතරය 1.86%ක් පමණයි. මෙතෙක් පැවති වෙනත් කිසිදු ජනාධිපතිවරණයකදී සටන මෙතරම් තීව්‍ර ලෙස පැවතී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය යන පාර්ශ්ව දෙකෙන් එකක් හෝ මහින්දට සහයෝගය ලබා නුදුන්නානම් 2005දී ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි. එම පාර්ශ්ව දෙකේ සහාය ලැබුණත්, එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද දැමීම නොවැළැක්වූයේනම් මහින්දට දිනන්න ලැබෙන්නේ නැහැ. 2005 ජනාධිපතිවරණය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළේයැයි සැලකිය හැකි දෙවන අවස්ථාවයි.

එක වර ලැබුණු මන්ත්‍රී ධුර 39 වගේම ඇමති ධුර හතරත් ජවිපෙට දරා ගත හැකි වූයේ නැහැ. පක්ෂයක් ලෙස ජවිපෙ රාජ්‍ය පාලනයට දායක විය හැකි තරමට පරිණත වී සිටියේ නැහැ. ඔවුන් පුරුදු වී සිටියේ පවතින ආණ්ඩු විසින් කරන දේවල් වලට විරුද්ධ වීමට පමණයි. ඒ නිසා, ලැබුණු ආණ්ඩු බලය පක්ෂයේ ජන පදනම වර්ධනය කර ගැනීම සඳහා උදවු කර ගැනීමට ජවිපෙ සමත් වුනේ නැහැ. ඒ අතර, ජවිපෙ ජාතිකවාදී හා ජනප්‍රියවාදී කොටස් ජවිපෙන් ගලවා තමන් වෙත ලං කර ගැනීමට මහින්ද සමත් වීම නිසා එක පැත්තකින් ජවිපෙ හා ශ්‍රීලනිපය අතර දීගය කැඩී යාමත් අනික් පැත්තෙන් ජවිපෙ මැතිවරණ ගැම්ම නැති වීමත් සිදු වුනා.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්දගේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියා. ඔහුට දෙවන වර තේරී පත් වෙන්න ජවිපෙ හෝ වෙනත් කිසිදු තෙවන පාර්ශ්වයක සහාය අවශ්‍ය වූයේ නැහැ. ඔහුගේ ජයග්‍රහණය වලක්වන්න ජවිපෙට පුළුවන්කමක් නොතිබුණත්, එජාපයේද සහයෝගය ලබන පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකාව මහින්දට එරෙහිව ඉදිරිපත් කරමින් ජවිපෙ ඒ සඳහා උත්සාහයක් ගත්තා. ඉන් පසුව සරත් ෆොන්සේකා පාර්ශ්වය සමඟ සන්ධානයක් හදාගෙන 2005 මැතිවරණයට ඉදිරිපත් වූවත්, එහිදී එම සන්ධානයට ලැබුණේ 5.59%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ වන විට ජාතිකවාදී ඡන්ද ආකර්ශනය කර ගත හැකි තැනක ජවිපෙ නොසිටියාක් මෙන්ම මතවාදී ලෙස ජවිපෙ ජාතිකවාදයෙන් බැහැර වෙමින් සිටියා.

දෙවන කැරැල්ලෙන් පසුව ජවිපෙ තුළ සිදු වූ පළමු විභේදනය විමල් වීරවංශ පාර්ශ්වය ඉවත්ව යාමයි. ඔහු ජවිපෙ මැතිවරණ වේදිකා වල වැඩිම ආකර්ශනයක් ලබාගත් කථිකයා ලෙස හැඳින්විය හැකියි. ජවිපෙන් ඉවත් වීමෙන් පසුව මේ දක්වාම ඔහු ජවිපෙට එරෙහිව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සේවය කරමින් සිටිනවා.

විමල් වීරවංශ පාර්ශ්වය ඉවත් වීමෙන් පසුව ජවිපෙ දෙවන විභේදනය සිදු වී කුමාර් ගුණරත්නම් පාර්ශ්වය ජවිපෙන් ඉවත්ව ගියා. මැතිවරණ වලට මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සේ කටයුතු කරන බව පෙන්වූවත් ඒ වන විටත් ජවිපෙ විසින් ඔවුන්ගේ ආරම්භක දේශපාලනික ඉලක්කය වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණ අතහැර තිබුණේ නැහැ. විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව ජවිපෙ අභ්‍යන්තරය මෙන්ම ඒ වන විටද යටිබිම්ගතව සිටි ජවිපෙ නායකයින්ද සෑහෙන තරමකින් පිටතට එළිදරවු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස හා වෙනත් කරුණු හේතුවෙන් ජවිපෙ දෙවන විභේදනය සිදු වුනා.

දෙවන විභේදනය නිසා ජවිපෙ ඡන්ද පදනමට හානි වුනේ නැහැ. එයින් සිදු වුනේ ඔවුන්ගේ කාඩර්වරුන් අහිමි වීමයි. මේ වන විටත් රට දැන සිටි හා මැතිවරණ වේදිකා වල දැකිය හැකි වූ ජවිපෙ නායකයින් හැම විටම පක්ෂය ඇතුළේ බලපෑමක් කළ අය හැකි වූයේ නැහැ. රට දැන නොසිටි රහසිගත නායකයින් පක්ෂය ඇතුළේ බලය හෙබවූවා. මේ තත්ත්වය වෙනස් වුනේ දෙවන විභේදනයෙන් පසුවයි. අනුර කුමාර දිසානායක කියා කියන්නේ ජවිපෙ ජාතිකවාදී හා විප්ලවවාදී පාර්ශ්ව පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව පක්ෂය තුළ ඉදිරියට ආ නායකයෙක්. ඔහුගෙන් නියෝජනය වන්නේ ජවිපෙ දැන් සිටින "නූතන" අදියරයි.

ඉහත කණ්ඩායම් දෙකම ඉවත් වීමෙන් පසුව, 2015 මහ මැතිවරණයේදී තනිව තරඟ කර ජවිපෙ විසින් ලබාගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ වලදී ජවිපෙ විසින් 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

මේ සංඛ්‍යා දෙස බැලූ විට 2015 ජනවාරිය ආසන්නයේදී ජවිපෙ ඡන්ද පදනම පිළිබඳව අදහසක් ගත හැකියි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර වූ පරතරය 3.70%ක් පමණයි. ඒ අනුව, ජවිපෙ සහයෝගය මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපෑවා. මෙය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ තෙවන අවස්ථාවයි.

ජවිපෙ අපේක්ෂකයෙකු තරඟ කර තිබෙන්නේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් දෙකකදී පමණයි. ඒ අවස්ථා දෙකම තෙවන විකල්පයකට රටේ කිසියම් ඉල්ලුමක් තිබුණු අවස්ථා ලෙස මෙන්ම ජවිපෙ පක්ෂ ව්‍යුහයේ කිසියම් සැලකිය යුතු වෙනසක් වීමෙන් පසුව පැවති මුල්ම මැතිවරණ ලෙස සැලකිය හැකියි. අවස්ථා හතෙන් අවස්ථා තුනකදී ඔවුන් තරඟ නොකර ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් වුනා. තවත් එක් අවස්ථාවකදී, 2010දී, ඔවුන් එසේ කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතිරි අවස්ථාවේදී දේශපාලනික වාසියක් ලබා ගනිමින් නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා.

අනුර කුමාර දිසානායකව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම තේරුම් ගන්න වෙන්නේ ජවිපෙ මැතිවරණ ඉතිහාසය හා අදාළ මේ පසුබිම් කරුණු පාදක කර ගනිමිනුයි.

(Image: http://www.dailymirror.lk/print/opinion/can-anuras-logical-oratory-spur-peoples-imagination/172-42702)

Sunday, August 18, 2019

අනුර කුමාර දිසානායක


මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායකව නම් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගය නමින් ජනාධිපතිවරණයට හා අනෙකුත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට යන බව කියනවා.

ජාතික ජන බලවේගය නමින් ආවත් එම බලවේගය ඇතුළේ තිබෙන්නේ ජවිපෙම තමයි. එහි වෙනත් කොටස් ඇත්නම් ඒ සියල්ලක්ම ජන බලයක් නැති නාමික සංවිධාන. මේ ආකාරයට පරණ වයින් අලුත් බෝතල් වල දැමීම ජවිපෙට අලුත් දෙයක් නෙමෙයි. එය ජවිපෙ විසින් මීට පෙර වාර ගණනාවක් අත් හදා බලා ඇති දෙයක්.

ඉදිරි ජනාධිපතිවරණය හා අදාළව පළමු බර පියවර තැබුවේ පොදුජන පෙරමුණයි. එම පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කරමින් එක වරම ලොකු ගැම්මක් ගත්තා. ඊට පෙර ක්‍රියාත්මක වීමට එජාපය විසින් උත්සාහයක් දැරුවත්, එම පාර්ශ්වයට සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟතාවයකට පැමිණීමට තවමත් හැකි වී නැහැ. මේ අයුරින් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා තවමත් සැඟවුණු අමුත්තෙක්ව සිටියදී, ජවිපෙ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර සැලසුම් සහගත ඉදිරි පියවරක් තබා තිබෙනවා.

සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා හඳුන්වාදීම නාට්‍යානුසාරී ලෙස කිරීමට එම පක්ෂය විසින් විශාල උත්සාහයක් දරා තිබුණා. අවසන් මොහොත තෙක් අපේක්ෂකයාගේ නම රහසක්ව තබා ගැනීමද එහි කොටසක්. එහෙත්, මේ අපේක්ෂකයා අනුර කුමාර හෝ වෙනත් ප්‍රධාන පෙළේ ජවිපෙ නායකයෙක් බවට ඉඟි පළ කෙරී තිබුණා. ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළියට විශාල ජනතා සහභාගිත්වයක් පෙන්වීමටත්, එම බලවේගයට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා කොටස් වල පුළුල් සහායක් ඇති බව පෙන්වීමටත් ඔවුන් විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබුණා.

පළමු අරමුණ වෙනුවෙන් සිය සාමාජිකයින් හා ආධාරකරුවන් පවුල් පිටින් ගාලු මුවදොර පිටියට ගෙන්වීමට ඔවුන් පෙළඹී ඇති බව සෙනඟ අතර කුඩා දරුවන් විශාල වශයෙන් දැකිය හැකි වීමෙන් පෙනෙනවා. වේදිකාවේ කෙසේ වුවත් සෙනඟ අතර දෙමළ බස තේරුම් ගත හැකි වැඩි දෙනෙකු නැති බව ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාරව හඳුන්වා දීමේදී දැකිය හැකි ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ පැමිණි අය අතරින් බොහෝ අය කිසියම් "සර්ප්‍රයිස් එකක්" බලාපොරොත්තුවෙන් සිට අපේක්ෂාභංගත්වයට පත් වූ අයුරකියි.

ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, පුද්ගල චරිත ඉස්මතු කිරීමට වඩා පක්ෂ සාමූහිකත්වයට මුල් තැන දෙනවා. නමුත්, මහ මැතිවරණයකදී මෙන් නොව ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා කවුද කියන එක ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරනවා. ජවිපෙ වැනි පක්ෂයක් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එකෙන් එම පක්ෂයේ මැතිවරණ ඉලක්කය ගැන අදහසක් ලබා ගත හැකියි.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ තේරීම නරක එකක් නෙමෙයි. මේ ගැන අපේ විග්‍රහය පසුව ඉදිරිපත් කෙරෙනු ඇති.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...