වෙබ් ලිපිනය:

Showing posts with label සංචිත මුදල්. Show all posts
Showing posts with label සංචිත මුදල්. Show all posts

Sunday, July 24, 2022

භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්


මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.

මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value). 

පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.

මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8

2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5

වැඩි වීම - රුපියල් බිලියන 243.7


ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3

2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8

වැඩි වීම - රුපියල් බිලියන 196.5

බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි. 

අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.

ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%

ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.

ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.

එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද? 

දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ. 

මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.

රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5

2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8

වැඩි වීම - රුපියල් බිලියන 222.3

හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.

2022 අප්‍රේල් 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95

2022 මැයි 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10

මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල්  බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.

සංචිත මුදල් ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7

2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9

වැඩි වීම - රුපියල් බිලියන 28.3

Saturday, July 23, 2022

අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 

ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි. 

අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල්- 10.2%

මැයි- 9.7%

ජුනි- 10.9%

මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි. 

උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි. 

නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.

පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4

වෙනස - රුපියල් බිලියන 13.6

මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ. 

මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

වෙනස - රුපියල් බිලියන 134.5

රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.

කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. 

අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා. 

2022 ජනවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 104.8

රජයේ වියදම - රුපියල් බිලියන 259.1

හිඟය - රුපියල් බිලියන 154.3


2022 පෙබරවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 206.7

රජයේ වියදම - රුපියල් බිලියන 292.6

හිඟය - රුපියල් බිලියන 85.9


2022 මාර්තු 

රජයේ ආදායම - රුපියල් බිලියන 135.4

රජයේ වියදම - රුපියල් බිලියන 379.5

හිඟය - රුපියල් බිලියන 244.1


2022 අප්‍රේල් 

රජයේ ආදායම - රුපියල් බිලියන 184.2

රජයේ වියදම - රුපියල් බිලියන 224.0

හිඟය - රුපියල් බිලියන 39.8

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...