වෙබ් ලිපිනය:

Showing posts with label කිතු දහම. Show all posts
Showing posts with label කිතු දහම. Show all posts

Sunday, December 5, 2021

පල්ලියේ පන්සල


ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 

ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 


ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.

Tuesday, May 16, 2017

ජුලියන් ප්‍රතිසංස්කරණය


ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල දැන් භාවිතා කරන සිවිල් දින දර්ශනය ග්‍රෙගෝරියන් දින දර්ශනයයි. ග්‍රෙගෝරියන් දින දර්ශනය සකස් කර ගැනුණේ ඉන් පෙර පැවති ජුලියන් දින දර්ශනය සංශෝධනය කර ගැනීමෙනි. ජුලියන් දින දර්ශනයේ ආරම්භය ජුලියස් සීසර්ගේ රෝමයට දිව යන්නකි.

ජුලියන් දින දර්ශනය සකස් කිරීමට සහශ්‍රයකට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල භාවිතා වූයේ චන්ද්‍ර මාස මත පදනම් වූ දින දර්ශනයයි. මේ දින දර්ශන වල විවිධ ප්‍රභේද තිබුණේය. ඇතැම් දින දර්ශන අමාවක පෝයෙන් අවසන් වූ අතර තවත් ඒවා පසළොස්වක පෝයෙන් අවසන් විය. මේ ක්‍රම දෙකේදීම, මුල් කාලයේදී මාසයේ ආරම්භය පදනම් වූයේ හඳේ අවශ්‍ය වක්‍රය සැබෑවටම අහසේ පෙනීම මතය. එහෙත්, කාලගුණ තත්ත්වය හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා නියම දින හඳ නොපෙනීම මේ ක්‍රමය අනුගමනය කිරීමේදී මතු වූ ගැටලුවකි.

ඉහත ගැටලුවට විසඳුමක් ලෙස චන්ද්‍රමාස මත පදනම් වූ සිවිල් දිනදර්ශන බොහෝ සංස්කෘතීන් තුළ නිර්මාණය විය. මේ මාසයක දින ගණන බොහෝ විට 29ක් හෝ 30ක් විය. ඉර, හඳ හා පොළොව (එසේ නැත්නම් ඉර, පොළොව හා හඳ)  එකම රේඛාවක් මත පිහිටන අවස්ථා දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වන නිසා කිසියම් මාසයක නියමිත දිනයේදී හඳ නොපෙනුණත් දිගුකාලීනව මේ දින දර්ශන නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට ගැලපුනේය.

මෙවැනි ඇතැම් දින දර්ශන වසර තුනකට පමණ වරක් අධික මාසයක් එක් කිරීමෙන් සූර්ය වර්ෂය සමඟද ගලපනු ලැබුවේය. මුල් කාලයේදී මෙය කළේද ස්වභාවික නිරීක්ෂණ මත පදනම් වෙමිනි. තිරිගු පැසීම, සමනලයින් දක්නට ලැබීම හෝ සංචාරක කුරුල්ලන් පැමිණීම වැනි නිරීක්ෂණ වසරක් අවසන් වී ඇති බව තහවුරු කළේය. ඒ හැර නිවර්තන වර්ෂයක හෝ නක්ෂත්‍ර වර්ෂයක දිග හරියටම දැන ගැනීමට තරම් දැනුමක් මුල් කාලයේදී කිසිදු සංස්කෘතියක නොතිබුණේය.

සූර්ය වර්ෂය මත පදනම් වූ සිවිල් දින දර්ශන භාවිතය මුලින්ම ඇරැඹී ඇත්තේ ඊජිප්තුවේ හා බැබිලෝනියාවේය. මේ දින දර්ශන වල සූර්ය වර්ෂයක් දින 365ක් ලෙස සලකා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර හතරකට පමණ වරක් අවුරුද්දකට දිනයක් අඩුවී තිබේ. ඊජිප්තු කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරයක් වූ මුල් කාලයේදී දින තිහේ මාස 12ක් ලෙස දින 360ක් පමණක් තිබී ඇතත් පසුව අමතර දින 5ක් අධික දින ලෙස වසර අවසානයට එකතු කර තිබේ. වසර හතරකට වරක් මේ අධික දින ගණන 6ක් දක්වා ඉහළ නැංවීමෙන් මේ දින දර්ශනය වඩා නිවැරදි කිරීමට ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට සියවස් තුනකට පමණ පෙර උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැත.

රෝම කැලැන්ඩරයේ මුලින්ම තිබී ඇත්තේ මාස දහයක් පමණි. ඒ, මාර්තු සිට දෙසැම්බර් දක්වා වන මාස දහයයි. එයින් පසුව එළැඹෙන ශීත සෘතුව තුළ විශේෂ මාස නම් කිරීමක් සිදුවී නැත. කෙසේ වුවද, පසුව එකොළොස්වන හා දොළොස්වන මාස ලෙස ජනවාරි හා පෙබරවාරි මාසත්, ඇතැම් වසර වලදී පමණක් එකතු කෙරෙන දහතුන්වන අධික මාසයකුත් එක් වී තිබේ. රෝම කැලැන්ඩරය ජුලියන් ප්‍රතිසංස්කරණයට පෙරම මාසයකට නිශ්චිත දින ගණන් ඇති සිවිල් කැලැන්ඩරයක් වී ඇති අතර මුල් මාස එකොළහ දින 29කින් හෝ 31කින් සමන්විතවද, අවසන් මාසය වූ පෙබරවාරි මාසය කෙටි මාසයක්වද පැවතී තිබේ. සාමාන්‍ය අවුරුද්දක් දින 355ක් වුවත්, දින 378ක අධික අවුරුදු වරින් වර එකතු කිරීමෙන් පැරණි රෝමන් දින දර්ශනය සූර්ය වර්ෂය සමඟ සමපාතව තබාගෙන තිබේ.

කෙසේවුවද, මේ අධික මාස එකතු කිරීම බොහෝ වර්ෂ වලදී නිවැරදිව සිදුවී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වසන්තයේ ආරම්භය වසරින් වසර කල් යාම නිසා ක්‍රිස්තු පූර්ව 46 වසර වන විට වසන්තය ජූනි මාසය පමණ දක්වා කල් ගොස් තිබේ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දෙනු ලබන්නේ මෙවැනි පසුබිමකය.

ජුලියන් කැලැන්ඩරයට අනුව සෑම වසර හතරකටම වරක් අධික අවුරුද්දක් පැමිණෙන නිසා වසරක සාමාන්‍ය දින ගණන 365.25කි. මෙය නිවර්තන වසරකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග, එහෙත් සූර්ය සිද්ධාන්ත වසරකට වඩා මිනිත්තු 12.61කින් පමණ කෙටි කාලයකි. අවුරුද්දේ දින ගණන තීරණය කරන ක්‍රමවේදය නිශ්චය කිරීමට අමතරව, ඒ වන විට අධික මාස එකතු නොකිරීම නිසා ඇති වී තිබුණු අක්‍රමිකතාවය නැති කිරීමට මේ වසරට අමතර දින 90ක්ම එක් කර තිබේ. ඒ සාමාන්‍යයෙන් ඊට පෙර අධික වර්ෂයකට එකතු කළ දින 23 හා තවත් අමතර දින 67ක් වශයෙනි. ඒ අනුව, ක්‍රිස්තු පූර්ව 46 වර්ෂයට දින 445ක් තිබී ඇත.

ජුලියන් දින දර්ශන ප්‍රතිසංස්කරණයේදී වර්ෂයේ ආරම්භය ලෙස ජනවාරි 1 දිනය තෝරාගෙන තිබේ. ඒ දිනය එවකට රෝම අධිරාජ්‍යයේ තානාපති නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනයයි. එමෙන්ම, එසේ කිරීමෙන් එම වර්ෂයේ ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවූ දෙසැම්බර් 24 දිනය දැන් බොහෝ දෙනෙකු ජේසු උපත සිදුවූ දිනය ලෙස සලකමින් සමරන නත්තල් රාත්‍රිය සමඟ සමපාත විය. ඒ වර්ෂයේදී වසන්ත විෂුවය සිදුව ඇත්තේ දැන් ජේසු බිළිඳා පිළිසිඳුණු දින ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන මාර්තු 24 දිනයි. යුදෙවු හා මුල් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ දවස ඇරඹුණේ සූර්ය අස්තය සමඟ නිසා මේ දවස් වල රාත්‍රී කාල එම දින දර්ශන අනුව පිළිවෙලින් දෙසැම්බර් 25 හා මාර්තු 25 විය.

කෙසේ වුවද, ජුලියන් අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග නිසා ජුලියන් වර්ෂ ක්‍රමය පැවතෙද්දී වසන්ත විෂුවය දිනය වසර 128කට පමණ වරක් දිනකින් පසුපසට යාම නිසා 1582දී ග්‍රෙගෝරියන් කැලැන්ඩරය හඳුන්වා දෙන කාලය වන විට වසන්ත විෂුවය සිදුවී ඇත්තේ දින 14කට පමණ පෙර මාර්තු 11 දිනකය. ග්‍රෙගෝරියන් ප්‍රතිසංස්කරණය හේතුවෙන් 1582 වසරේ දින 10ක් කැලැන්ඩරයෙන් ඉවත් කරනු ලැබීම නිසා ඉන් පසුව වසන්ත විෂුවය මාර්තු 21 දක්වා තල්ලු වී තිබේ.

පෙර ලිපියෙන් පෙන්වා දුන් පරිදි ක්‍රිස්තු වර්ෂ 543 ආසන්න වසර වලදී මේෂ සංක්‍රාන්තිය හා වසන්ත විෂුවය සිදුව ඇත්තේ එකම දවසකය. එම වසරට පෙර වසර වලදී මේෂ සංක්‍රාන්තිය සිදුව ඇත්තේ වසන්ත විෂුවයට කලිනි. ජේසුස් වහන්සේගේ මරණය සිදුවී ඇති ක්‍රිස්තු වර්ෂ 33දී මේෂ සංක්‍රාන්තිය සිදුවී ඇත්තේ මාර්තු 14 දින හෝ ආසන්න දිනකය. මේෂ සංක්‍රාන්තිය පසුවී දින 5කට පසු මාර්තු 19වන දින උදාවූ පුර පෑලවිය හඳ සමඟ ඒ අවුරුද්දේ වෙසක් මාසය උදා විය. මේෂ සංක්‍රාන්තියෙන් දින 20කට පමණ පසුව අප්‍රේල් 3 වන දින පුර පසළොස්වක පෝය උදා වෙද්දී හඳ විසා නැකතටද පැමිණියේය. ඒ නිසා, ජේසුස් වහන්සේ මරණයට පත් වූ ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් 3 සිකුරාදා දිනය සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය තීරණය කිරීමට යොදාගන්නා තායිලන්තය හා මියන්මාරය වැනි වැනි ථෙරවාද බෞද්ධ රටවල භාවිතා කරන චන්ද්‍ර මාස ක්‍රමය අනුවද වෙසක් පුර පසළොස්වක පෝය දිනයකි.


(Image: http://www.vroma.org/~bmcmanus/caesar.html)

Saturday, May 13, 2017

පෙසක් පුර පසළොස්වක හඳ හා පාස්කුව

ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවලද වෙසෙන කිතුණු බැතිමතුන්ගේ ආගමික උත්සව අතරින් ප්‍රධානම උත්සව දෙක වනුයේ නත්තල හා පාස්කුවයි. වත්මන් ග්‍රෙගෝරියන් දින දර්ශනය අනුව දෙසැම්බර් 25 දිනට යෙදෙන නත්තලේදී ජේසු උපත සැමරේ. ජේසුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හා පුනර්ජීවනය සැමරෙන මහ සිකුරාදා හා පාස්කු ඉරිදා දින තීරණය කෙරෙන ක්‍රමවේදය ඊට වඩා සංකීර්ණ එකක් වන අතර, ඒ සඳහා වසන්ත විෂුවය හා චන්ද්‍රමාස පදනම් කර ගැනෙන නිසා පාස්කුව සඳහා සිංහල අවුරුද්ද ආසන්නව ඊට පෙර, පසුව හෝ ඇතැම් විට එදිනම වුවද දින නියම වන්නට පුළුවන.

පාස්කුව යන වචනය සිංහල ශබ්දකෝෂයට එකතුවන්නේ පෘතුගීසි භාෂාවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට එකතු වී ඇති බොහෝ වචන "එක" ප්‍රත්‍යයද සමඟ මුල් ස්වරූපයෙන්ම භාවිතා වන නමුත් පාස්කුවා (Páscoa), නත්තාල් (Natal) වැනි පෘතුගීසි බසින් එකතු වුනු බොහෝ වචන වලට මේ රීතිය බලපා නොතිබීම වෙනම කතා කළ යුතු කරුණකි. පාස්කුවා (Páscoa) යන පෘතුගීසි වචනය බිඳෙන්නේ පාස්කා (Pascha) යන ග්‍රීක්/ලතින් වචනයෙනි. එම භාෂා වලට මේ වචනය එකතු වන්නේ යුදෙවුවන්ගේ හීබෘ භාෂාවෙනි. පාස්කුව හීබෘ බසින් ශබ්ද වන්නේ පෙසක්, පෙයිශාහ් හෝ පෙයිෂාඛ් යනුවෙනි. මේ වචනයේ ඉංග්‍රීසි තේරුම Passover යන්නයි. මේ Passover නැත්නම්
පෙයිෂාඛ් යන වචනය සංක්‍රාන්තිය යනුවෙන්ද සිංහලට පරිවර්තනය කළ හැකිය.

මේ වන විට බොහෝ දෙනෙකු පාස්කුව යේසුස් වහන්සේගේ පුනර්ජීවනය සමඟ සම්බන්ධ කරමින් සමරන නමුත් පාස්කුවේ ඉතිහාසය ජේසු උපතට පෙර සියවස් ගණනක් දුරට යන්නකි. පාස්කු උත්සවයේ මුල්ම ස්වරූපය පැත්තකින් තිබ්බත්, ජේසුස් වහන්සේ ජීවමානව සිටි අවදියේ මෙන්ම අදද යුදෙවුවන් විසින් පාස්කුව ලෙස සමරන්නේ ඊජිප්තුවේ වහලුන් ලෙස ජීවත්වූ යුදෙවුවන්ව මෝසස්ගේ නායකත්වයෙන් (ආබ්‍රහමික ආගම් වල විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේ විසින්) මුදාගනු ලැබීමයි. ඒ කාලයේ පාස්කු උත්සවය සැමරූ ආකාරය බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ නික්මයාම පොතේ දොළොස්වන පරිච්ඡේදයේ විස්තර කෙරේ. එම පරිච්ඡේදය කිසිදු වෙනසක් නොකර පහත උපුටා දක්වන අතර මගේ විශේෂ අවධානයට ලක්කෙරෙන කොටස් අවධාරණය (Bold) කර තිබේ.

යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේදී මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය ලෙස ගණන් ගන්න. මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මේ මාසයේ දහවන දිනයේදී සියලුදෙනාම තම තමන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා බැටළුවෙකුව තෝරාගත යුතුයි. එක පවුලක් සඳහා එක බැටළුවෙකු බැගින් ගන්න. යම් පවුලක සම්පූර්ණ බැටළුවෙකු අනුභව කිරීමට තරම් ප්‍රමාණවත් සාමාජිකයන් නැත්නම් ඒ පවුලේ අය අසල්වැසි පවුලක් සමඟ ඌව බෙදාගත යුතුයි. ඔවුන්ගේ පවුල්වල සිටින එක් එක් සාමාජිකයන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කර ඒ අනුව බැටළුවාව බෙදාගත යුතුයි. 


බැටළු පැටවුන් අතරින් හෝ එළුවන් අතරින් හෝ අවුරුද්දක් වයසැති කැළැල් නැති පිරිමි සතෙකු තෝරාගන්න. මේ මාසයේ දහහතරවන දිනය වන තුරු ඌව ඔබ ළඟ තබාගන්න. එදින සවස මුළු ඊශ්‍රායෙල් සෙනඟ එකතු වී තම තමන්ගේ සතාව මැරිය යුතුයි. ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන උගේ මස් අනුභව කරන නිවෙස්වල උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තැවරිය යුතුයි.

එදින රාත්‍රියේදී උගේ මස් ගින්නෙන් පුලුස්සා මුහුන් නොදැමූ රොටි හා තිත්ත පලා සමඟ කන්න. උගේ මස් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතුයි. හිස, කකුල් හා බඩවැල් සමඟ මුළු සතාවම ගින්නෙන් පුලුස්සාගන්න. උගේ මස් පසුවදා උදෑසන වන තුරු තබා නොගන්න. යමක් ඉතුරු වුණොත් එය ගින්නෙන් පුලුස්සා දැමිය යුතුයි. ඔබ ඉණපටිය බැඳගෙන පාවහන් දමාගෙන සැරයටිය අතැතිව ලහි ලහියේ එය කෑ යුතුයි. මන්ද එය යෙහෝවා දෙවි වන මට ගෞරවය කිරීම සඳහා ඔබ පවත්වන පාස්කු උත්සවයයි

මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස් ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි. ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි. මා යෙහෝවා දෙවිය. ඔබ ජීවත් වන නිවෙස්වල ලේ තැවරිය යුත්තේ ලකුණක් ලෙසය. ඒ ලකුණ නිසා මා ඊජිප්තු දේශයට පහර දෙන විට ඔබට කිසි හානියක් සිදු නොවනු ඇත. මම එම ලකුණ දුටු විට ඔබේ නිවෙස් පසු කරගෙන යන්නෙමි.

ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි. ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි පමණක් අනුභව කළ යුතුයි. ඔබේ නිවෙස්වල පිපුණු පිටි තබා නොගන්න. 


පළමුවෙනි දවසේම මුහුන් සියල්ල ඔබේ නිවෙස්වලින් ඉවත් කරන්න. යමෙකු ඒ දවස් හත ඇතුළතදී මුහුන් දැමූ කිසිවක් කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි. පළමුවෙනි දවසේදී ඔබේ දෙවි වන මට නමස්කාර කිරීම සඳහා ඔබ සියලුදෙනා එක් රැස් විය යුතුයි. හත්වන දවසේදීත් ඔබ එසේ කරන්න. ඒ දවස්වලදී කිසි වැඩක් නොකරන්න. නමුත් තම තමාට අවශ්‍ය ආහාර පමණක් සූදානම් කරගත හැකියි.
  
“ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි. මන්ද මා සේනාවක් බඳු ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්නේ එම දවසේදීය. ඔබේ සියලු පරම්පරාවලදී එම දිනය සිහි කරන මෙන් මම නියෝග කරමි. පළමුවෙනි මාසයේ දහහතරවන දින සවස් වරුවේදී ඔබ මුහුන් නොදැමූ රොටි කෑ යුතුයි. එම මාසයේ විසිඑක්වන දින සවස් වරුව දක්වාම ඔබ කෑ යුත්තේ මුහුන් නොදැමූ රොටි පමණක්ය. දවස් හතක් පුරා ඔබේ නිවෙස්වල පිපුණු පිටි තබා නොගන්න. 

විදේශිකයෙකු වුවත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත් මුහුන් දැමූ කිසිවක් අනුභව කළොත් ඔහුව මරා දැමිය යුතුයි. මුහුන් දැමූ කිසිම දෙයක් ආහාරයට නොගන්න. ඔබේ නිවෙස්වල ජීවත් වන සෑම කෙනෙකුම අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටිය.

මෝසෙස් ඒ මොහොතේදීම ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ එක් එක් කෙනා තම තමන්ගේ පවුල වෙනුවෙන් බැටළුවෙකු නැත්නම් එළුවෙකු තෝරාගන්න. පාස්කුව සඳහා ඔප්පු කරන ඒ සතාව මරන්න.ඉන්පසු උගේ ලේ භාජනයකට එකතු කරගන්න. හිසොප් මිටියක් ඒ ලේවල පොඟවා උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තවරන්න. උදේ වන තුරු කිසිම කෙනෙක් තමාගේ නිවසින් පිටතට නොයන්න. ඊජිප්තුවරුන්ට පීඩා කිරීමට යෙහෝවා දෙවි දේශය මැදින් යන විට ඔබ උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තැවරූ ලේ ඔහු දකීවි. එවිට යෙහෝවා දෙවි ඔබේ නිවස පසු කරගෙන යයි. එම මාරාන්තික පීඩාවෙන් ඔහු ඔබේ නිවසේ වැසියන්ට පහර දෙන්නේ නැහැ.

“ඔබේ සියලු පරම්පරාවලදී ඔබත් ඔබේ දරුවනුත් මෙම දිනය සිහි කළ යුතුයි. එය ඔබට දෙන නියෝගයකි. යෙහෝවා දෙවි ඔබට දෙන බවට පොරොන්දු වූ දේශයට ගිය පසුත් ඔබ මේ උත්සවය පැවැත්විය යුතුයි. ‘මේ උත්සවය පවත්වන්නේ ඇයි’ කියා ඔබේ දරුවන් ඔබෙන් ඇසුවොත් ඔවුන්ට මෙසේ කියන්න. ‘දෙවි, ඊජිප්තුවරුන්ට පීඩා කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජනයා වන අපට පහර නොදී අපේ ගෙවල් පසු කරගෙන ගියා. ඔහු අපේ ගෙයි වැසියන්ව ආරක්ෂා කළා. ඒ නිසයි අපි මෙලෙස සතෙකුව මරා යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කු උත්සවය පවත්වන්නේ."


එය ඇසූ විට සියලුදෙනා දණින් වැටී දෙවිට නමස්කාර කළෝය. යෙහෝවා දෙවි, මෝසෙස් හා ආරොන් මාර්ගයෙන් අණ කළ සියල්ල ඊශ්‍රයෙල් ජනයා එලෙසම කළෝය. මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි සියලු කුලුඳුලන්ට පහර දුන්නේය. සිංහාසනයේ සිටි පාරාවෝගේ කුලුඳුල් දරුවාටද සිරගෙයි සිටි සිරකරුවන්ගේ කුලුඳුල් දරුවන්ටද සියලු කුලුඳුල් සතුන්ටද ඔහු පහර දුන්නේය. 


පාරාවෝද ඔහුගේ සියලු සේවකයෝද ඊජිප්තුවේ සියලු වැසියෝද රාත්‍රියේ අවදි වූහ. එදින රාත්‍රියේ ඊජිප්තු දේශය පුරාම මහත් අඳෝනාවක් ඇසිණ. මන්ද මළ අයෙකු නැති ගෙයක් නොවීය. පාරාවෝ ඒ රාත්‍රියේම මෝසෙස්ව හා ආරොන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “නුඹලා තව මොහොතක්වත් මගේ සෙනඟ අතරේ රැඳී සිටින්න එපා. වහාම මෙතැනින් යන්න. නුඹලා කියූ ලෙස මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගොස් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න. නුඹලාගේ එළු බැටළු හා ගව රැළවල්ද රැගෙන යන්න. නුඹලා එහි යෑමට පෙර මටත් ආශීර්වාද කරන්න.”

“ඊශ්‍රායෙල්වරුන්ව මේ දේශයෙන් පිටත් කළේ නැත්නම් අපිටත් මැරෙන්නයි වෙන්නේ” කියා ඊජිප්තුවරු එකිනෙකාට කියාගත්තෝය. එහෙයින් දේශයෙන් වහාම පිටත් වන ලෙස ඔවුහු ඊශ්‍රායෙල් සෙනඟට පෙරැත්ත කළෝය. එවිට සෙනඟ මුහුන් නොදමා ඇනූ පිටිද භාජනද තමන්ගේ වස්ත්‍රවල ඔතා ඒවා කරේ තබාගෙන පිටත්ව ගියෝය. එසේ පිටත්ව යෑමට පෙර ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඊජිප්තුවරුන්ගෙන් රන් හා රිදී ආභරණද වස්ත්‍රද ඉල්ලාගත්තෝය. ඊශ්‍රායෙල් සෙනඟට කාරුණිකව සැලකීමට යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ සිත් පෙලඹුවේය. එහෙයින් ඔවුහු ඊශ්‍රායෙල්වරුන් ඉල්ලූ සෑම දෙයක්ම දුන්නෝය. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකර සියල්ල රැගෙන ගියෝය.


ඊශ්‍රායෙල් සෙනඟ රමෙසේස් සිට සුක්කොත් බලා පිටත් වූහ. කුඩා දරුවන්ට අමතරව පුරුෂයෝ හයලක්ෂයක් පයින් ගමන් කළෝය. ඊශ්‍රායෙල් ජාතීන්ට අමතරව වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්ද ඔවුන් සමඟ ගියෝය. ඔවුහු එළුවන්, බැටළුවන් හා ගවයන් ඇතුළු විශාල සත්ව රැළක්ද රැගෙන ගියෝය. ඔවුහු ඊජිප්තුවෙන් පිටත්ව එන අවස්ථාවේදී රැගෙන ආ මුහුන් නොදමා ඇනූ පිටිවලින් රොටි සාදාගෙන ඒවා පුලුස්සාගත්තෝය. ඊජිප්තුවරුන් ඔවුන්ව දේශයෙන් පන්නා දැමූ බැවින් ගමනට අවශ්‍ය ආහාර සූදානම් කරගන්නවත් ඔවුන්ට කාලය තිබුණේ නැත.


මෙතෙක් ඊජිප්තුවේ වාසය කළ ඊශ්‍රායෙල් ජනයා, අන් දේශවල වාසය කළ කාලය අවුරුදු හාරසිය තිහකි. අවුරුදු හාරසිය තිහ අවසන් වූ දවසේදී යෙහෝවා දෙවිට අයිති සේනාවක් බඳු මුළු ඊශ්‍රායෙල් ජාතියම ඊජිප්තු දේශයෙන් පිටත්ව ගියෝය. යෙහෝවා දෙවි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ගිය එම රාත්‍රිය සිහි කළ යුතු රාත්‍රියකි. එම රාත්‍රියේදී යෙහෝවා දෙවි කළ දේ ඊශ්‍රායෙල් ජනයා තමන්ගේ සියලු පරම්පරාවලදී සිහි කළ යුතුය.


යෙහෝවා දෙවි, මෝසෙස්ට හා ආරොන්ට තවදුරටත් මෙසේ කීවේය. “පාස්කු උත්සවය සම්බන්ධ පනත මෙයයි. කිසි විජාතිකයෙකු පාස්කු භෝජනයෙන් නොකෑ යුතුයි. මිලට ගත් දාසයෙකු ඔබ ළඟ සිටී නම් ඔහුව චර්මච්ඡේදනය කළ පසු ඔහුට ඒ භෝජනයෙන් අනුභව කළ හැකිය. එහෙත් විදේශිකයෙකු හෝ කුලීකාරයෙකු හෝ එය අනුභව නොකළ යුතුයි. සතාගේ මස් ගෙයින් පිටතට රැගෙන නොගොස් නිවස තුළදීම එය අනුභව කරන්න. උගේ ශරීරයේ එක ඇටයක්වත් නොකැඩිය යුතුය. මුළු ඊශ්‍රායෙල් සෙනඟම පාස්කුව සැමරිය යුතුයි. ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා පවත්වන පාස්කු උත්සවය සැමරීමට කැමති නම් ඔහුගේ පවුලේ සියලු පුරුෂයන්ව චර්මච්ඡේදනය කළ යුතුයි. එවිට ඊශ්‍රායෙල් ජාතිකයන් මෙන් ඔහුටද පාස්කු උත්සවය සැමරිය හැකියි. නමුත් අචර්මච්ඡේදිත කිසි කෙනෙකු පාස්කු භෝජනයෙන් නොකෑ යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් තිබෙන්නේ එකම නීතියයි.


යෙහෝවා දෙවි, මෝසෙස් හා ආරොන් මාර්ගයෙන් අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ කළෝය. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාව කණ්ඩායම් වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ එම දිනයේදීය.


මා මේ ලිපියේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මානුෂික මෙහෙයුම්, යුද අපරාධ හෝ ජාතිය ගොඩනැගීම වැනි කරුණු නොවන බැවින් යුදෙවු මාස ක්‍රමයට හා දින දර්ශනයට පමණක් දැනට වැඩි අවධානය යොමු කරමු. සිංහල චන්ද්‍ර දින දර්ශනයේ මෙන්ම යුදෙවු දින දර්ශනයේද මාස චන්ද්‍රමාස වන අතර අමාවක දිනට පසුදින ඇරඹී අමාවක දිනයෙන් අවසන් වේ.

නීසාන් මාසය පළමු මාසයයි. මේ මාසය දැනට භාවිතා වන ක්‍රමය අනුව, වසන්ත විෂුවයෙන් පසුව උදාවන පළමු පුර පසළොස්වක පෝයට පෙර එළැඹෙන පුර පෑලවිය දවසෙන් ආරම්භ වේ. එහෙත්, ක්‍රිස්තු උපත සිදුවන කාලය වන විටත් මේ පළමු මාසය තීරණය කෙරුණේ ගණිතමය ආකෘති ඇසුරෙන් ගණනය කෙරෙන වසන්ත විෂුවය සිදුවන නියම දිනය පදනම් කරගෙන නොවේ. මුල් කාලයේදී, නීසාන් මාසය අවසාන වී චන්ද්‍රමාස දොළහක් ගෙවුණු පසුව නව සඳක් උදාවෙද්දී තිරිඟු පැසී තිබුණේනම් ඒ මාසය අලුත් අවුරුද්දක පළමු මාසය වන නීසාන් මාසය ලෙස සැලකුනේය. එහෙත්, තිරිඟු පැසී නැත්නම් දොළොස්වන මාසය වන අදාර් මාසයට අධික අදාර් මාසයක් එකතු කරමින් නීසාන් මාසය පසුපසට තල්ලු කෙරුණේය.

පැරණි ගිවිසුමේ නියම අනුව යුදෙවුවන් විසින් ජේසු උපත සිදුවූ කාලයේදී මෙන්ම අදටත් පාස්කු උත්සවය අරඹන්නේ මේ නීසාන් මාසයේ 14 වන දිනයි. මේ දිනය වසන්ත විෂුවයෙන් පසුව එළැඹෙන පළමු පුර පසළොස්වක පෝය දිනයට පෙර දිනයයි. එතැන් සිට සතියක් පුරා යුදෙවුවෝ වහල් කමෙන් නිදහස්ව ඊජිප්තුවෙන් පිටවී තමන්ගේ පොරොන්දු දේශය පිහිටවා ගන්නා තුරු මුහුන් නොදැමූ රොටී කමින් පැමිණි ගමන සිහිපත් කරති. ජේසු උපත සිදුවන කාලයේද මේ සැමරුම මේ අයුරින් සිදු විය.

ජේසුස් වහන්සේ කුරුසියෙහි මරණයට පත් කරනු ලැබීමත්, කිතුණු විශ්වාස අනුව පුනර්ජීවනයත් සිදුවුණේ මේ පාස්කු උත්සව සතිය තුළදීය. ජේසුස් වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහය ලෙස බොහෝ දෙනෙක් දන්නා සිදුවීම ඒ කාලයේ වූ පාස්කු සැමරුමයි. පහත උපුටා ගැනීම් බයිබලයේ නව තෙස්තමේන්තුවෙනි.

"තවද ජේසුස් වහන්සේ මේ සියල්ල වදාරා නිම කොට සිය ශ්‍රාවකයන් අමතා, ''තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ''යි වදාළ සේක. එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී, ජේසුස් වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මැරීමට කුමන්ත්‍රණය කළහ; එහෙත්, ''සෙනඟ අතර කෝලාහලයක් සිදු නොවන පිණිස මංගල්‍යය කාලයේ දී එය නොකරමු''යි කී හ.

ශු. මතෙව් (26: 1-5)

නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ''පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ''යි ඇසූ හ. ජේසුස් වහන්සේ ද, ''ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, 'මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ'යි ඔහුට දන්වන්නැ''යි වදාළ සේක. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක.

ශු. මතෙව් (26: 17-20)


ඉහත රාත්‍රී කෑම වේල ජේසුස් වහන්සේගේ අවසන් භෝජනයයි. පසුදා වන විට ආණ්ඩුකාර පිලාත් වෙත පමුණුවනු ලැබ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කෙරෙන අතර එදින හවස ජේසුස් වහන්සේව කුරිසියේ ඇණ ගැසීම සිදුවේ. මේ පාස්කු මංගල්‍යය පැවැත්වෙන කාලයයි. "මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි." එහෙත්, මේ අවස්ථාව හිමි වන්නේ බරබ්බස්නම් වූ වෙනත් අයෙකුටය. 

යුදෙව්වන් විසින් පිළිපදින පරණ තෙස්තමේන්තුවේ දේව වචනයට ගරු කරන නමුත් යුදෙවු පූජකයින්ගේ ක්‍රියා අනුමත නොකරන ජේසුස් ක්‍රිස්තුස් රෝම අධිරාජ්‍යයට විරුද්ධ කැරලිකරුවෙකු නොවන බව ආණ්ඩුකාර පොන්ටියස් පිලාත්ට සක්සුදක් සේ පැහැදිලි වන නමුත් ජේසුස් ක්‍රිස්තුස්ට එරෙහි යුදෙවු ආගමික අන්තවාදීන්ගේ ජනමතයට එරෙහි වීමට ඔහුට ඉඩක් නොලැබේ. පාස්කු උත්සවය ආරම්භ වීමෙන් පසුව නිසාන් මාසයේ පහළොස්වනදා ජේසුස් වහන්සේගේ මරණය සිදුවේ. මේ දිනය සිකුරාදා දිනයකි.

පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව, ''ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, 'මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි'යි කී බව අපට මතක ය. එහෙයින් තුන් වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්න අණ දුන මැනවි. නැතහොත්, සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් අවුත් ඔහු සොරාගෙන ගොස්, 'ඔහු මරණින් උත්ථාන වී ය'යි සෙනඟට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත්වන්නේ ය''යි කී හ.  ''වුවමනා නම්, මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නැ''යි පිලාත් ඔවුන්ට කී ය. ඔව්හු ගොස් සොහොන් ගල පිට මුද්‍රාව තබා, මුර කණ්ඩායම එහි සිටුවා, සොහොන් ගෙය සුරක්ෂිත කළහ.

ශු. මතෙව් (26: 62-65)

බයිබලයේ සඳහන් තොරතුරු අනුව ජේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය ජුලියන් කැලැන්ඩරය අනුව ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන සිකුරාදා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. පොන්ටියස් පිලාත් ආණ්ඩුකාර ධුරය දැරූ වසර දහයක කාලය තුළ, වසන්ත විෂුවයෙන් පසු එළැඹෙන පළමු පුර පසළොස්වක පෝයට පෙර අමාවක දිනය බ්‍රහස්පතින්දාවක් වීමත්, ඒ නිසා එදින සිට දහහතර වන දිනයද බ්‍රහස්පතින්දාවක් වීම හා පසුදිනය සිකුරාදා දිනයක් වීමත් සමඟ ගැලපෙන වෙනත් කිසිදු දිනයක් නැත.


ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන සිකුරාදා දිනය පුර පසළොස්වක පෝය දිනයකි. මේ කාලයේදී මේෂ සංක්‍රාන්තිය සිදුවුණේ දැන් මෙන් වසන්ත විෂුවය සිදුවී දින 25කට පමණ පසුව නොව, වසන්ත විෂුවය සිදුවන්නට  දින කිහිපයකට පෙර මාර්තු මාසයේ මැද දිනයකයදීය. මේ නිසා, ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන සිකුරාදා දිනය ලංකාවේ එවකට භාවිතා වුණු දින දර්ශනය අනුව වෙසක් හෙවත් වෛශාඛ මාසයේ පුර පසළොස්වක දිනය වන්නට බොහෝ දුරට ඉඩතිබේ.

(Image: Pinterest)

Sunday, April 30, 2017

අවුරුදු, පාස්කු, වෙසක් හා වසන්තය

අද අප්‍රේල් මාසයේ අවසාන දිනයයි. අප්‍රේල් මාසය වත්මන් සිවිල් දිනදර්ශනය වන ග්‍රෙගෝරියන් දින දර්ශනයේ හතරවන මාසයයි. අප්‍රේල් මාසය ලංකාවේ උත්සව මාසයකි. අප්‍රේල් 14 දින සිදුවූ මේෂ සංක්‍රාන්තියට සමගාමීව සිංහල හා දෙමළ නව අවුරුදු ඇරඹුණු අතර කිතුණුවන්ගේ මහ සිකුරාදා දිනයද එදිනටම යෙදී තිබුණේය. මහ සිකුරාදා දිනය කිතුණුවන් සතුටු වන දවසක් නොවූවත්, ඉන් අනතුරුව එළැඹෙන පාස්කුව කිතුණුවන්ගේ උත්සව දිනයකි. සිංහල අවුරුදු උත්සවය අවසන් වී සති කිහිපයකින් බොදුනුවන්ගේ මහා මංගල්‍යය වන වෙසක් පොහොය එළැඹේ.

පාස්කු දිනය ඇතැම් වසර වල සිංහල අවුරුද්දට පෙරද, ඇතැම් වසර වල එයින් පසුවද එළැඹේ. ඒ එම දිනය ගණනය කිරීම්දී යොදාගන්නා තරමක් සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙනි. දැන් ලෝකයේ බොහෝ දෙනෙකු පාස්කු දිනය සමරන්නේ  උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය සිදුවීමෙන් පසුව පැමිණෙන පුර පෝය දිනයෙන් පසුව පැමිණෙන ඉරිදා දිනයේය. 


වසන්ත විෂුවය මාර්තු 21 හෝ ආසන්න දිනයක සිදුවන නිසා එදිනම හෝ දින 29ක් ඇතුළත කිසියම් දිනක (අප්‍රේල් 19 දක්වා) පුර පෝය දිනයක් එළැඹෙන්නට පුළුවන. ඒ නිසා, මාර්තු 22 දිනය ඉරිදා දිනයක්නම් එදින පාස්කු දිනය විය හැකිය. එමෙන්ම පෝය දිනය අප්‍රේල් 19 දිනට යෙදී එදින ඉරිදා දිනයක්ද වුවහොත්, පාස්කුව ඊළඟ ඉරිදා දිනය වන අප්‍රේල් 26 දිනය දක්වා කල් යාමටද පුළුවන. පාස්කුවේ ඉතිහාසය හා එය වත්මන් සිවිල් කැලැන්ඩරය වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරය නිර්මාණය වීමට පාදක වූ ආකාරය ගැන කතා කිරීම ඉදිරියට තබමු.

ලෝකයේ විවිධ රටවල හා සංස්කෘතික කණ්ඩායම් අතර පාස්කු උත්සව දිනය සම්බන්ධව වෙනස් මත තිබේ. මේ ආකාරයෙන්ම වෙසක් පොහොය දිනය සම්බන්ධවද ථෙරවාද බෞද්ධ රටවල පවා පූර්ණ එකඟත්වයක් නැත. 


වෙසක් යන වචනය හැදෙන්නේ විශාඛ යන සංස්කෘත වචනයෙනි. මේ විශාඛ යන නමින් හඳුනාගන්නේ අහසේ ඇති බෙදුණු අතු රිකිල්ලක් වැනි තරු පන්තියකි. දැනට ලංකාවේ ජ්‍යෝතිෂයේ භාවිතා වන නැකැත් විසිහතෙන් දහසය වැන්න වන විසා නැකැත එසේ හඳුන්වන්නේද මේ විශාඛ තාරකා මණ්ඩලය පාදක කරගෙන ඒ නම සිංහලෙන් වහරමිනි. වෙනත් අයුරකින් කිවහොත් වෙසක් හා විසා යන වචන දෙකේම මූලය එකකි.

වෙසක් පොහොය යනු හඳ විසා නැකතට අයත් තරු පන්තියට ආසන්නව තිබියදී උදාවන පුන් පොහොයයි. මෙතැනදී නැකතක් කියා කියන්නේ අහස කොටස් 27කට බෙදූ විට එක් කොටසකි. අංශක 360 ලග්න 12ක් ලෙස බෙදූ විට එක් ලග්නයකට අංශක 30ක් වැටෙන්නාක් මෙන් එයම කොටස් 27කට බෙදූ විට නැකතකට අංශක 13කුත් කලා 20ක් වැටේ. මීන රාශිය හා මේෂ රාශිය වෙන් කෙරෙන උපකල්පිත ඉරෙන් පළමු නැකත ලෙස දැන් සැලකෙන අස්විද නැකත හා අවසන් නැකත ලෙස සැලකෙන රේවතී නැකතද වෙන් කෙරේ. ලග්න හා නැකැත් වෙන් කරන බෙදුම් ඉරි අංශක 0දී හැරුණු විට අංශක 120 දී හා 240දී පමණක් නැවතත් සමපාත වේ.

විසා නැකැත 16 වන නැකත නිසා එයට අයත් වන්නේ අංශක 200 හා අංශක 213 කුත් කලා 20 අතර කොටසයි. පසළොස්වක දවසට ඉර තිබෙන්නේ හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ නිසා හඳ විසා නැකතේ ඇති විට ඉර එයට අංශක 180ක් දුරින් අංශක 20 හා අංශක 33 කුත් කලා 20 අතර තිබිය යුතුය. මෙය සිදුවන්නේ සිංහල අවුරුද්දේ සිට ආසන්න වශයෙන් දින 20-33 අතරය. 


කෙසේ වුවද, පොහොය දෙකක් අතර පරතරය දින 29ක් පමණ වන නිසා මේ දින ගණන් අතර පොහොයක් නොවැටෙන්නට පුළුවන. ඒ නිසා මේ දින 13ක පමණ කාල පරාසයට තවත් දින 16ක් පමණ එකතු කර විශාඛ හෙවත් වෙසක් මාසය දින 29ක් පමණ දක්වා පුළුල් කළ යුතුය.

වෙසක් මාසය ඇතුළු ලංකාවේ බෞද්ධ චන්ද්‍ර මාස තීරණය කෙරෙන්නේද සූර්ය චලිතය පදනම් කරමිනි. ඒ අනුව, සුර්යයා මේෂ රාශියේ ගමන් කරන මාසයක පමණ කාලය අතරතුර උදාවන අමාවක පෝය දිනයකින් වෙසක් මාසය ඇරඹේ. වෙසක් මාසය උදාවන විට සූර්යයා (අංශක) 0º-30º අතර දැකිය හැකි නිසා, දින පහළොවකට පමණ පසු වෙසක් පෝය එළැඹෙන විට සූර්යයා දැකිය හැක්කේ 15º-45º පමණ අතරය. ඒ අනුව, එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන හඳ 195º-225º අතර පිහිටයි. විසා නැකත මේ පරාසය තුල 200º-213º20' අතර අසමමිතිකව පිහිටා තිබේ. ඒ නිසා ලංකාවේ ක්‍රමයට හඳ විසා නැකතට පැමිණෙන්නට අංශක පහකට පමණ පෙර වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. එසේ නැත්නම් විසා නැකත පසුකර අංශක 12කට පමණ පසුව වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. මේ දිනය අප්‍රේල් 28-මැයි 29 පමණ අතර දිනයකි.
 

වෙසක් උත්සවය සමරන සෑම රටකම එය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තය වෙසක් මාසය තීරණය කරන ක්‍රමය අනුව වෙසක් පසළොස්වක දිනය වන විට හඳ විසා නැකතට පැමිණ අවසන්ය. ඒ නිසා ඇතැම් වසර වල තායි වෙසක් මාසය ලංකාවේ වෙසක් මාසයම නොවේ.  බෞද්ධ චන්ද්‍රමාස සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ පසළොස්වක පොහොයෙන් නොවන අතර පසළොස්වක දිනය වෙසක් මාසයේ පහළොස්වන දිනයයි. තායිලන්ත ක්‍රමය අනුව මාසය ඇරඹෙන විට හඳ විසා නැකතට පැමිණ තිබුණත් ලංකාවේ (වත්මන්) ක්‍රමයට එසේ නොවන්නටද පුළුවන. එයට හේතුව අමාවක දිනක විසා නැකතේ ආරම්භයට හඳ පැමිණෙන විට ඉර අංශක 20ට පැමිණ තිබිය යුතු වුවත්, මේෂ සංක්‍රාන්තියෙන් දින 14.5කට (හඳේ පක්ෂයකට) පසුව ඉර ඊට වඩා අංශක 5ක් පමණ පසුපසින් තිබීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේදීය. ලංකාවේ වෙසක් පොහොය දිනය අප්‍රේල් අග සිට මැයි අග දක්වා යෙදෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමරන වෙසක් දිනය මැයි මුල සිට ජූනි මුල දක්වා දිනයක් වන්නේ ඉහත අංශක පහක පමණ එනම් දින පහක පමණ වෙනස නිසාය. බොහෝ වසර වල මේ දින සමපාත වුවත් වසර හයකට පමණ වරක් එය වෙනස් වේ.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නට නැතත් අවුරුදු හා වෙසක් උත්සව වලටද පාස්කු උත්සවයට මෙන්ම වසන්ත විෂුවය සමඟ සම්බන්ධයක් තිබේ. කලකට පෙර වසන්ත විෂුවයෙන් ඇරඹුණු මේෂරවිය සිංහල සූර්ය අවුරුද්දේ පළමු මාසය වන්නාක් මෙන්ම, ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර මාර්තු මාසය අවුරුද්දේ පළමු මාසය විය. මාර්තු මාසය එසේ නම් කර ඇත්තේ අඟහරු හෙවත් මාර්ස් නමිනි. සිංහල ජ්‍යෝතිෂ්‍යයේ අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වන්නාක් මෙන්ම, මාර්ස් යනු යුද්ධයට අධිපති රෝමන් දෙවියාය. රෝමන් මාර්ස් හැදෙන්නේ ග්‍රීක ඒරීස්ගෙනි. මේෂ රාශියට භාවිතා කරන බටහිර නමද ඒරීස්ය. එමෙන්ම, මේෂ රාශියට අධිපති ග්‍රහයා ලෙස සැලකෙන්නේද අහසේ රතු පැහැයෙන් දැකිය හැකි අඟහරු ග්‍රහයාය.

මේ ලිපියේ කරුණු අතර අන්තර් සම්බන්ධතා පැහැදිලි කිරීම ඉදිරි ලිපි වලට ඉතිරි කරමු. මේ දිනවල තරමක් කාර්ය බහුල බැවින් පිළිතුරු පමා විය හැකිය.

Thursday, August 4, 2016

බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැද


අපි නිතරම බටහිර සංස්කෘතිය ගැන කතා කරමු. බටහිර සංස්කෘතියක් ගැන කතා කරන්නේ බටහිර රටවල් කියා රටවල් ඇති නිසාය. මේ බටහිර රටවලට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය වැනි බටහිර යුරෝපීය රටවල්ද, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි යුරෝපයෙන් පිටත පිහිටි යුරෝපීයයන් විසින් සිය සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කෙරුණු රටවල්ද අයත් වේ. මේ සම්මතය අනුව ඉන්දියාව, චීනය හා ලංකාව වැනි රටවල් පෙරදිග රටවල් ලෙසත්, පෝලන්තය, හංගේරියාව හා රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් ලෙසත් හැඳින්වේ.

පෘථිවිය මත පිහිටි බොහෝ නිශ්චිත ස්ථාන වලට සාපේක්ෂව අපට නැගෙනහිරක් හා බටහිරක් ගැන කතා කළ හැකිය. එවැනි කිසියම් ස්ථානයකට ඉර නැගෙනු පෙනෙන්නේ පෙරදිගින් හෙවත් නැගෙනහිරිනි. ඉර බසිනු පෙනෙන්නේ අපරදිගින් හෙවත් බටහිරිනි. ඒ අනුව, කිසියම් රටකට බටහිරින් පිහිටි රටක් බටහිර රටක් ලෙසත්, නැගෙනහිරින් පිහිටි රටක් පෙරදිග රටක් ලෙසත් හැඳින්විය හැකිය. ගෝලාකාර පෘථිවියේ නැගෙනහිරට හෝ බටහිරට දිගටම ගියහොත්, එහි ප්‍රතිවිරුද්ධ දිශාවට එසේම ගමන් කිරීමේදී හමුවිය හැකි ඕනෑම රටක් හමුවන නිසා මේ සංකල්පයේද අවුලක් තිබුණත් සීමිත ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මේ සංකල්පයේ අවුලක් නැත.

කෙසේ වුවද, ඉහත අර්ථ දැක්වීම හරියන්නේ පෘථිවිය මත කිසියම් නිශ්චිත තැනකට සාපේක්ෂවය. එසේම, ලෝකයේ කාටත් එකඟ විය හැකි පෙරදිග හා අපරදිග රටවල් පිලිබඳ සම්මුතියක් ඇතිවන්නේ කෙසේද? මෙවැනි බෙදීමක් පැවතිය හැක්කේම කිසියම් නිශ්චිත ස්ථානයකට සාපේක්ෂවය.



බටහිර රටවල් යන වත්මන් සංකල්පය පාදක වී ඇත්තේ වතිකානුව කේන්ද්‍ර වී බව යුරෝපීය සිතියමක් දෙස බැලු විට පැහැදිලි වේ. ඒ අනුව, පැරණි ලෝකයේ වතිකානුවට බටහිරින් පිහිටි එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් බටහිර යුරෝපීය රටවල් වන අතර, වතිකානුවට නැගෙනහිරින් පිහිටි හංගේරියාව, රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල්ද, ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවල් පෙරදිග රටවල්ද ලෙස සම්මත වී තිබේ. ලෝකයේ මැද දෙස සැලකිය හැකි කිසිදු සුවිශේෂී තැනක් නැතත් පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැනගෙන සිටි ලෝකය වතිකානුව හරහා බටහිර හා නැගෙනහිර ලෙස බෙදී තිබුණු එකකි. අද වන විට ලෝකයේ මැද තවත් ටිකක් බටහිරට තල්ලුකර එංගලන්තයේ ග්‍රිනිච් රේඛාව වෙත ගෙනගොස් තිබුණත් බටහිර රටවල් පිළිබඳ වතිකානු-කේන්ද්‍රීය සම්මතය එසේම පවතී.

පහළොස්වන සියවසේදී, ප්‍රබලම කතෝලික රාජ්‍ය දෙකක් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය විසින් සාගර තරණය කරමින් සිදු කළ ගවේෂණ හේතුවෙන් එවකට යුරෝපය දැන සිටි ලෝකය පුළුල් විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සාර්ථක මුහුදු ගවේෂණ වලින් අනතුරුව ඔහු විසින් අළුතින් හඳුනාගත් බිම් පෙර පැවති ගිවිසුමකට අනුව පෘතුගාලය සතු විය යුතුයැයි එරට පැවසීම හේතුවෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩක් ඇති වී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමාට මැදිහත් වීමට සිදු වූ අතර 1494 ජූනි 7 දින එම දෙරට අතර අත්සන් කෙරුණු ටොඩෙසියස් සම්මුතිය (Treaty of Tordesillas) එහි අවසන් ප්‍රතිඵලයයි.

ටොඩෙසියස් සම්මුතිය මඟින් ලෝක සිතියමෙහි ඉරක් ඇඳ, එවකට පැවති ක්‍රිස්තියානි නොවන ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරට අතර බෙදා දෙනු ලැබීය. මේ ඉර අඳිනු ලැබුවේ පෘතුගාලය විසින් එවකට ලඟා වී සිටි බටහිරින්ම පිහිටි ස්ථානය වූ කේප් වර්ඩ් දිවයින හා කොලොම්බස් විසින් අළුතින් හඳුනාගත් බටහිර ඉන්දීය දිවයින් අතර හරි මැදිනි. කෙසේවුවද, පසුව ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර කෙරුණු හෙට්ටු කිරීම් මඟින් ඉහත රේඛාව වඩාත් බටහිරට තල්ලු කෙරුණු අතර ඒ හේතුවෙන් එවකට හඳුනාගෙන නොතිබුණු වත්මන් බ්‍රසීලයට අයත් බිම් පෙදෙස් ස්පාඤ්ඤයට අයිති නොවී පෘතුගාලයට අයිති විය. ඉතිරි දකුණු ඇමරිකානු බිම් මුළුමනින්ම පාහේ ස්පාඤ්ඤයට අයිති විය.

ඒ වන විට විශ්වාස කෙරුණේ කොලොම්බස් විසින් ලඟා වූ තැන ඉන්දියාවේ නැගෙනහිර කොන බවයි. එහෙත්, ලෝකය පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැන සිටියාට වඩා බොහෝ විශාල බව වැඩිකල් නොයාම ඔවුන්ට අවබෝධ විය.

ටොඩෙසියස් සම්මුතිය අනුව, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය හැර ඉතිරි පෙදෙස් ස්පාඤ්ඤය සතු වෙද්දී ටොඩෙසියස් රේඛාවට නැගෙනහිරින් පිහිටි අප්‍රිකානු හා ආසියානු රටවල් පෘතුගාලය සතු විය. ලංකාව ස්පාඤ්ඤ යටත් විජිතයක් නොවී පෘතුගීසි කොලනියක් වන්නේ මේ නිසාය.

ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදා දීම කෙසේ වුවත් ටොඩෙසියස් සම්මුතිය මඟින් ඉටු කෙරුණු වෙනත් සාධනීය දෑ  රැසකි. අද වන විට ජාත්‍යන්තර නීතියේ කොටස් බවට පත්වී ඇති අභ්‍යන්තර ජලාශ හා රටවලට අයත් මුහුදු සීමා පිළිබඳ අදහසේත්, විශේෂයෙන්ම කාටත් නිදහසේ භාවිතා කළ හැකි ජාත්‍යන්තර මුහුදු පිළිබඳ අදහසේත් මුල් මේ ටොඩෙසියස් සම්මුතිය තුළ තිබේ.

මුල සිටම හරියටම ක්‍රියාත්මක නොවුණත්, සෑහෙන මට්ටමකට ක්‍රියාත්මක වූ ටොඩෙසියස් සම්මුතිය මුලින්ම ලොකු අර්බුදයකට ලක්වන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු ගවේෂණ වත්මන් නැගෙනහිර ආසියානු කලාපය කරා පුළුල් වීමේදීය. ඒ, ටොඩෙසියස් රේඛාවේ අනෙක් (නැගෙනහිර) අර්ධය සම්බන්ධයෙනි. මේ වන විට දේශාංශ වල නිවැරදි පිහිටීම කිසිවකු දැන නොසිටි නිසා දෙරට අතර ලෝක ගෝලයෙහි අර්ධය බැගින් බෙදා ගැනීමේදී එහි නැගෙනහිර මායිම නිශ්චය කර ගැනීම ගැටළුකාරී කරුණක් විය.

වත්මන් ඉන්දුනීසියාවට අයත්, කුළුබඩු වෙළඳාම එවකට ජයටම කෙරුණු, මලාකු දිවයිනට ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරටම අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය උග්‍ර වූ අතර දෙරට අතර සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා දෙරටේ තාරකා විද්‍යාඥයින්, සිතියම් විද්‍යාඥයින් (cartographers), සමුද්‍ර ගවේෂකයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර 1529 අප්‍රේල් මස 22 දින අත්සන් තැබුණු සරගොසා සම්මුතිය (Treaty of Zaragoza) මෙහි අවසන් ප්‍රතිඵලයයි.

සරගොසා සම්මුතිය මඟින් ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාගැනීම සම්පූර්ණ වුවද, දෙරට අතර සිදුවූ හෙට්ටු කිරීම් වලත්, එවකට පැවති සීමිත භූගෝලීය දනුමේත් ප්‍රතිඵලයක් ලෙස මේ බෙදීම සමානව සිදු නොවීය. ඒ අනුව, පෘතුගාලයට 191/360ක 'ලොකු කෑල්ලත්', ස්පාඤ්ඤයට 169/360ක 'පොඩි කෑල්ලත්' හිමි විය. ආසියාවේ නැගෙනහිරින්ම පිහිටි පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත් වෙද්දී, ලංකාව ඇතුළු ඉතිරි ආසියාතික රටවල් පෘතුගීසි කොලනි බවට පත් විය. දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්ම පිහිටි බ්‍රසීලය පමණක් පෘතුගීසි කොලනියක් වූ අතර ඉතිරි රටවල් ස්පාඤ්ඤ යටත් විජිත බවට පත් විය.

ඉහත කී ලෙස හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් එවකට ක්‍රිස්තියානි නොවූ ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාදීමේ අරමුණ වූයේ ලොව පුරා ක්‍රිස්තියානි ශුභාරංචිය පැතිරවීමයි. මේ අයුරින්, අදාළ රටවලට ඒකාධිකාරයක් ලබා දීම හේතුවෙන් එම රටවලට විශාල ආර්ථික වාසි සැලසුන අතර අනෙකුත් යුරෝපීය රටවලට නැති සුවිශේෂී වාසියක් ලැබුණේය. දහසයවන සියවස පමණ වන විට යුරෝපයේ නැඟී ආ ආර්ථික බලයන් වූ එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට මේ බෙදීම 'දිරෙවුවේ' නැත. කෙසේවුවද, යුරෝපය තුළ වතිකානුවේ ආධිපත්‍යය ස්ථාවරව පැවති පදනම තුළ ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්ට රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකට අමතරව ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනමක්ද පැවති බැවින් ඒ සම්මුති නොසලකා හැරීම පහසු කරුණක් නොවීය.

එංගලන්තය හා ඕලන්දය වැනි රටවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර ඉස්මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඒ සමඟම වතිකානුවේ ලෝක ආධිපත්‍යය තර්ජනයට ලක්වන අතර ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන් රඳවා තිබුණු ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනම ගිලිහී යයි. එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට වර්ධනය වූ නාවික බලය ශක්තියක් කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකින් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමඟ හෙට්ටු කර ගිවිසුම් අළුත් කර ගැනීමට ඉඩ සැලසේ. ලෝකයේ මැද වතිකානුවේ සිට එංගලන්තයට විතැන් වේ. පෘතුගීසි කොලනියක්ව පැවති ලංකාව පිළිවෙලින් ඕලන්ද හා ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වේ. කෙසේ වුවද, ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්හි බලපෑම් ලෝකය පුරා අදටත් දක්නට හැකිය.


(Image: www.reddit.com)

Wednesday, March 16, 2016

අයියා නංගිලාගේ දරුවෝ


මිනිසුන්ගේ ඇති වෙනත් අයෙකුට හානියක් නොවන ආකාරයේ විවිධ විශ්වාස ගැන කතාකිරීම ඒ තරම්ම තේරුමක් නැති දෙයකි. ආගමික, සංස්කෘතික මෙන්ම ඇතැම් විට විද්‍යාත්මක ලේබල් යටතේද එන එවැනි විශ්වාස වලින් අප බොහෝ දෙනෙකු ඉඳහිට හෝ සිඟිති ආතල් එකක් ගන්නෙමු. කිසිවෙකුගේ ආගමික විශ්වාස වලට ගැරහීමේ අදහසක් නැතත්, යමෙකුට එසේ සිතෙනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමින් මේ ලිපිය ලියන්නට හේතු වූ මූලික අදහස පහළ වුනේ රසිකගේ ලිපියක ඇති කරුණක් දැකීමෙනි.

රසිකගේ ලිපියේ හරය නොවූවත්, ඔහු එහි අවසානයේ "සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව මතක් කර ඇත. ඔහු මෙහිදී කියන්නේ අපේ ජනප්‍රිය ඉතිහාස කතාව අනුව සිංහලයින් වගේම වැද්දන්ද පැවතෙන්නේ අයියා-නංගී එකතුවකින් බවයි. ඔහු කෙළින්ම කියා නැතත්, අයියා-නංගී එකතුවක් නුසුදුසු දෙයක් බව එයින් අදහස් වේ. මෙය ඔහු කියන දෙයක්ම නොවේ. අප මත බලෙන් පැටවූ රෝම-ලන්දේසි නීතිය අනුවත්, එවකට රටේ පැවති උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු නීතිය අනුවත් අයියා-නංගී විවාහයක් යනු නොගැලපෙන, තහනම් විවාහයකි.

සදාචාරය කියන සංකල්පය වගේම නීතිරීතිත් තැනින් තැනට කලින් කලට වෙනස් වේ. අයියා-නංගී විවාහ නුසුදුසු ලෙස ලංකාවේ සාමාන්‍යයෙන් සැලකුනත් මවගේ සොහොයුරෙකුගේ හෝ පියාගේ සොහොයුරිකගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සම්මත අනුවද අනුමත විවාහයකි. පරම්පරා කිහිපයකට පෙර කාලය දක්වාම සිදුවුණු සම්ප්‍රදායික විවාහ බොහොමයක්ම මේ ආකාරයේ නෑනා-මස්සිනා විවාහයි. කෙසේ වුවද, පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් සැලකෙන්නේ අසම්මත, තහනම් විවාහයක් වශයෙනි. ලංකාවේදී අසම්මත සම්බන්ධතා ලෙස පිළිගැනෙන පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහ බොහෝ මුස්ලිම් රටවල ජනප්‍රිය සම්ප්‍රදායකි.

ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩකම මේ ආකාරයේ ළඟම ඥාතීන් අතර විවාහයක් සිදුකිරීම නීති විරෝධීය. තවත් ප්‍රාන්ත හතක ඒ සඳහා ඉඩ ලැබෙන්නේ වයස හෝ වෙනත් හේතුවක් මත දරුවන් බිහි කිරීමේ ඉඩකඩක් නැත්නම් පමණි. මෙහි අරමුණ ඉපදෙන දරුවන් නිරෝගී දරුවන් වීම තහවුරු කිරීමයි. චාල්ස් ඩාවින් පවා ඔහුගේ නෑනා හා විවාහ වූ නමුත් බටහිර සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් ළඟ නෑයන් අතර විවාහ අනුමත නොකෙරේ.

ළඟ නෑයන් අතර විවාහ පිලිබඳ සම්මත රටින් රටට විශාල ලෙස වෙනස් වුවද, එක පවුලේ අයියා-නංගී විවාහ ලෝකයේ සෑම සංස්කෘතියක මෙන්ම පිළිකුල් කෙරෙන දෙයකි. මෙයට ආගමික පසුබිමක්ද තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ මේ ගැන කියවෙන්නේ මෙසේය.


"නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.

ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි.

නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.

නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 18 (6-18).


මේ වන විට විද්‍යාත්මක පදනමක් තිබුණද ළඟ ඥාතීන් අතර විවාහ පිලිබඳ බටහිර සදාචාර අදහස් වර්ධනය වන්නේ මේ බයිබල් පාඨ වල සිට බව මගේ අදහසයි.

මේ බයිබල් මතය ගැන මා මුලින්ම දැනගන්නා විට මගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. ඒ දිනවල අප වාසය කළ ප්‍රදේශයේ සතියක් පුරා යම් ක්‍රිස්තියානි නිකායක සුවකිරීමේ මෙහෙයක් පැවැත්වුනේය. ගම්සභා පිට්ටනියේ පැවැත්වූ මේ සුවකිරීමේ මෙහෙය මෙහෙයවූයේ ඇමරිකානුවෙකු විය යුතුයැයි මා දැන් සිතන 'සුද්දෙකි'. පරිවර්තකයින් දෙදෙනෙකු විසින් ඔහු කියන දේ සිංහලට හා දෙමළට හැරෙව්වේය.

සුද්දා කියන දේ දෙමළට හැරවූ නමුත්, මේ අවස්ථාවට දෙමළුන් කිසිවෙකුත් පැමිණියාද යන්න සැක සහිතය. මේ කියන ප්‍රදේශය තනිකරම වාගේ සිංහල බෞද්ධ ගමකි. එහි සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක්ද සිටි නමුත් යාබද ගමක සිට පැමිණ වෙදකම් කළ ඇපොතිකරි කෙනෙකු හැරුණු විට කිසිදු ක්‍රිස්තියානි, කතෝලික හෝ දෙමළ පවුලක් සිටි බවක් මට මතක නැත. ඇත්තටම කියනවානම් අපේ නිවසට යාබද නිවසේ සිටියේත් දෙමළ ක්‍රිස්තියානි පවුලක් වුවත් ඒ වන විට ඔවුන් සිංහල බෞද්ධයින් වී සිටියහ.

සුව කිරීමේ මෙහෙය සඳහා සැලකිය යුතු සෙනඟක් දිනපතා පැමිණියේ මූලික කටයුත්තට අමතරව චිත්‍රපට පෙන්වීම හා ජනප්‍රිය සිංහල හා හින්දි සිංදු වල තාලයට ආගමික ගීත ගැයීමද සිදුවූ බැවිනි. මේ දෙකටම වඩා මට අවශ්‍ය වූයේ මගේ පොත් රාක්කයට නොමිලේ දෙන පොත් හැකි තරමක් එකතු කර ගැනීමටය.

මුල් දවස්වලම සැලකිය යුතු පොත් ප්‍රමාණයක් එකතු කර ගත හැකි වුවත් මට අවශ්‍ය වූයේ තරමක් ලොකු ඉලක්කයකට ලඟා වීමටය. ඒ සම්පූර්ණ බයිබලයක් අයිති කර ගැනීමයි. සම්පූර්ණ බයිබල් සීමිත ප්‍රමාණයක් තිබෙනු මා දුටුවද, මා එයින් පිටපතක් ඉල්ලා සිටියද මට එය ලැබුණේ නැත. පොත් බෙදා දුන් ශ්‍රී ලාංකික පුද්ගලයා දවසකට බයිබලයේ එක් පරිච්ඡේදයක් වන සුභාරංචි පොත් පිංචක් වැනි යමක් දී තවත් පොත් අවශ්‍යනම් ඊළඟ දිනත් පැමිණෙන ලෙස දන්වයි. මේ වැඩේ මට ඇල්ලුවේ නැත.

තෙවන හෝ සිවුවන දින පමණ වෙද්දී මම බයිබලයක් කෙසේ හෝ ලබා ගැනීමට සැලසුමක් හැදුවෙමි. සුවකිරීමේ මෙහෙය අවසන් කිරීමෙන් පසු මේ කටයුත්තට සම්බන්ධ වන සුද්දා ඇතුළු සියල්ලෝම වේදිකාවෙන් බැස පොත් බෙදීමත්, ප්‍රශ්න වලට උත්තර දීමත් කරයි. මට අවශ්‍ය වුනේ කෙසේ හෝ සුද්දාවම අල්ලා ගන්නටය.

මම සුද්දා කිට්ටුවටම ගියෙමි. එහෙත්, ලාංකික පුද්ගලයෙක් මට බාධා කළේය.

"මට අරයට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ. ප්‍රශ්නයක් තියෙනව අහන්න."

"ඇයි? මොකක්ද දැනගන්න ඕනෑ? මගෙන් අහන්න"

"දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට අයියලා නංගිලා කසාද බඳින එක හරිද?"

"නෑ. ඒක පාපයක්!"

මා සිතන පරිදි, මීට පෙර දිනද මොහුගෙන් මේ ආකාරයේ අණ්ඩර ප්‍රශ්න ගණනක් අසා සිට ඇති නිසා ඔහු මට උත්තර දෙන්නේ එතරම් කැමැත්තකින් නොවේ. අඩි හතරක්වත් උස නැති බටු කොල්ලෙකු විසින් වැඩිහිටියෙකු ලස්සනට මඩවන මේ අවස්ථාව බලා ගැනීමට තවත් ළමයින් හා වැඩිහිටියන් රැසක් වටවී සිටින්නේ මෙය මෙසේ සිදුවන පළමු දිනය නොවූ බැවිනි.

"ඒක පාපයක් කියල බයිබලේ තියෙනවද?"

"ඔවු, තියෙනව."

"මට දීපු කොටස් ටිකනම් ඔක්කොම කියෙවුව. ඒවයෙනම් තිබුනෙ නෑ. හරියටම පෙන්නන්න පුලුවන්ද තියෙන තැන?"

වටේ පිටේ අයත් දැන් සිනාසෙති. තමන්ගේ සහායකයාව පොඩි එකෙක් බයිට් එකට ගෙන ඇති බව සුද්දා කෙසේ හෝ නිරීක්ෂණය කළේය. සුද්දා කඩිමුඩියේ මා සිටි තැනට ආවේය. ඔහුගේ අතේ බයිබලයක්ද ඇති බව මම දැක්කෙමි. දැන් මගේ ඇහැ එතැනය.

"යර්ස් සන් වට්ස් ද ප්‍රොබ්ලම්?"

ඔහු ඇමරිකානුවෙකු බව මා සිතන්නේ ඔහුගේ උච්ඡාරණය තේරුම් ගැනීම මට බොහෝ අසීරු වූ බව මතක ඇති නිසාය.

"මෙයාගෙන් අහන්න අයියා-නංගි කසාද බඳින එක වැරැද්දක් කියල බයිබලේ තියෙනවද කියල?"

ඔහු සමඟ සිටි ඔහුගේ පරිවර්තකයා එය ඉංග්‍රීසියට හැරෙවුවේය.

"හරි, තියෙනව කියල මම දන්නව. මට ඕනෑ ඒකේ තියෙන දෙයයි තැනයි හරියටම දැනගන්න."

ඔහු සහායකයාට යමක් කිවුවේය. සහායකයා ඔහු අත වූ සිංහල බයිබලයක් පෙරලා ඉහතින් ඇති පාඨ විය යුතුයැයි මා දැන් සිතන කොටසක් කියවාගෙන ගියේ මේ කරදරෙන් බේරෙන්නේ කෙසේද කියා හිතමින් විය යුතුය.

"යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 20 (17).


"එතකොට ඔයගොල්ලන්ගේ දෙවියෝ අයියා-නංගි කසාද බඳින එකට විරුද්ධයි. ඒක හරි. තව ප්‍රශ්නයක් තියෙනවා..."


"දැන් ඔයගොල්ලන්ගේ දෙවියෝ ඉස්සෙල්ලම මැවුවේ ආදම්ව නේද?"

"ඔවු"

"ඊට පස්සේ එයාගේ ඉල ඇටයක් අරන් ඒවව මැවුවනේ?"

"ඔවු"

සහායකයා අපට පරිවර්තයෙන් උදවු කරයි.

"දෙවියන් වහන්සේ වෙන කවුරුවත්ම මිනිස්සු මැවුවේ නැද්ද?"

"නෑ"

ඇතැම් විට පිළිතුර මීට වඩා දිග, බයිබල් උපුටාගැනීම් සහිත එකක් වූවා විය හැකිය.

"එතකොට ඒ අයගෙන් තමයි මිනිස්සු ඔක්කොම පැවතෙන්නේ?"

"ඔවු"

"ඒක එහෙම වෙන්නනම් ආදම්ගෙයි ඒවගෙයි ළමයින්ට කසාද බඳින්නම වෙනවනේ. මැවුවේ දෙන්නෙක් විතරනම් ඒක වෙන බව දෙවියෝ දැනගෙන ඉඳල තියෙනව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දෙවියෝ අයිය-නංගි විවාහ අනුමත කරල තියෙනවා"

මම ජයග්‍රාහකයෙකු මෙන් කියාගෙන ගියෙමි. වටේට රැස් වී සිටින පිරිස හයියෙන් හිනාවේ.

සුද්දාට කට උත්තර නැති වුනේයැයි කීම අතිශයෝක්තියක් වන්නේ මේ ප්‍රශ්නයටද ඔහුට පැහැදිලි පිළිතුරක් තිබුණු බැවිනි. ඔහු කීවේ ඒ දවස්වල දෙවියන්ගේ කැමැත්ත එසේ වූ බවත් පසුව එය වෙනස් වූ බවත්ය. මගේ බයිට් කිරීම එතැනින් අවසන් වුනේත් නැත. අන්තිමේදී සුද්දාගේ අතේ තිබුණු බයිබලය ගන්නට මරිසියක් දැම්මත් ඒක හරිගියේත් නැත.

කෙසේවුවද, මට කියන්නට අවශ්‍ය වන්නේ තමන් අයියා-නංගී විවාහයකින් පැවත එන බව සිතන්නේ සිංහලයින් පමණක් නොවන බවයි. පරණ ගිවිසුම මත පදනම් වූ ආබ්‍රහමික ආගම් අදහන ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක්, ඔවුන් විශ්වාස කරන පරිදි, පැවතෙන්නේ අයියා-නංගී සම්බන්ධතාවයක ප්‍රතිඵල ලෙසින්ය.


(Image: https://en.wikipedia.org/wiki/Tutankhamun)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...