වෙබ් ලිපිනය:

Showing posts with label ග්‍රීසිය. Show all posts
Showing posts with label ග්‍රීසිය. Show all posts

Friday, July 19, 2019

සිරිසා පරාජය


පසුගිය සතියේ පැවති ග්‍රීක මැතිවරණයෙන් බලයේ සිටි වාමාංශික සිරිසා සන්ධානය ගෙදර යවමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා කියන්නේ 2015දී වාමාංශික සිරිසා සන්ධානය ග්‍රීසියේ බලයට පත් වන තුරු කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට ග්‍රීසිය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. අනෙක් ප්‍රධාන පක්ෂය ලෙස පැවතුණේ මේ වන විට නැත්තටම නැති වී තිබෙන පැසොක් (පෑන්හෙලනික් සමාජවාදී) පක්ෂයයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්, පැසොක් පක්ෂය එහි ශ්‍රීලනිපය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත්, පැසොක් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත් සැලකෙනවා. කාලයක් තිස්සේම මාරුවෙන් මාරුවට බලයේ සිටියේ මේ පක්ෂ දෙක වුවත්, ලංකාවේ වගේම ග්‍රීසියේත් වාමාංශික පක්ෂ වලට විශාල බලපෑමක් කළ හැකිව තිබීම ඇතුළු තවත් හේතු නිසා මේ පක්ෂ දෙක විසින්ම මාරුවෙන් මාරුවට කළේ රජයේ ආදායමට වඩා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වා ගෙන යන එකයි.

රාජ්‍ය බලය හිමි පක්ෂය බදු වැඩි කිරීම, සුබසාධන වියදම් කපා හැරීම වැනි දේ කරන්න උත්සාහ කළ හැම විටකම සිදු වුනේ පැවති ආණ්ඩුවට ගෙදර යන්න වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පක්ෂ දෙකේම ආණ්ඩු යටතේ විශාල අයවැය හිඟයක් නඩත්තු වුනා. රටේ ණය බර එන්න එන්නම ඉහළ ගියා. හරියට ලංකාවේ වගේමයි.

යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව, විශේෂයෙන්ම 2000-2007 කාලයේදී ග්‍රීසිය විසින් යුරෝ කලාපයේ දැකිය හැකි වූ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2000දී ඇමරිකන් ඩොලර් 12,043ක් වූ ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2008 වෙද්දී ඇමරිකන් ඩොලර් 31,997 දක්වා ඉහළ ගියා.

කෙසේ වුවත් මෙය ණයට ගත් සංවර්ධනයක්. ග්‍රීසිය යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුවත් ග්‍රීක රජයේ ආදායම් ඉක්මවා වියදම් කිරීමේ පිළිවෙත වෙනස් වුනේ නැහැ. තමන්ගේම ජාතික මුදල් ඒකකයක් තිබුණු කාලයේ කළ හැකි වූ සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමත් යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව තව දුරටත් කළ හැකි වූයේ නැහැ. මේ කාලයේදී ග්‍රීසියේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළින් පැවතුණා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට 2009දී සමස්ත යුරෝපීය සංගමයම මුහුණ දුන් ආර්ථික අවපාතය ග්‍රීසියට දරුණුවටම දැනුණා. 2010 වෙද්දී එතෙක් ගැසූ රෝල තව දුරටත් ගසා ගත නොහැකිව ග්‍රීක රජය හිරවුනා. මේ වෙද්දී බලයේ සිටියේ පැසොක් පක්ෂයයි. එක පැත්තකින් ආර්ථික අවපාතයේ බලපෑමත්, අනෙක් පැත්තෙන් අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නට සිදු වීමත් නිසා පැසොක් පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහී ගොස් 2012 මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැවත බලයට පත් වුණා. මේ මැතිවරණයේදී අලුතින් හදාගත් වාමාංශික සිරිසා සන්ධානය පැසොක් පක්ෂය තෙවන තැනට තල්ලු කරමින් දෙවන තැනට එන්න සමත් වුණා. ඒ වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 24,916 දක්වා පහත වැටිලා.

පැසොක් පක්ෂය වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් කර ගත්තත් අලුත් ආණ්ඩුවට කළ හැකිව තිබුණේත් කලින් ආණ්ඩුව කළාක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, යුරෝපීය මහ බැංකුවෙන් හා යුරෝපීය සංගමයෙන් ණය ඉල්ලා සිටීම පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ විය යුතුව තිබුණා. බදු ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන වියදම් කපා හැරීම ආදී මේ කොන්දේසි ඉටු කරමින් රජයකට ජනප්‍රියතාව පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

අයවැය හිඟය අඩු කර ගැනීමට රාජ්‍ය වියදම් කැපෙද්දී, ආර්ථිකය වසරින් වසර හැකිලෙන්න පටන් ගත්තා. 2015 වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 18,167 දක්වා 2008 මට්ටමේ සිට 40%කින් පමණ පහත වැටුණා. විරැකියා අනුපාතය පොදුවේ 27% මට්ටමටත්, තරුණයන් අතර 58% මට්ටමටත් ඉහළ ගියා. ඉතා ඉක්මණින්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් මිනිස්සුන්ට එපා වුණා.

වාමාංශික සිරිසා සන්ධානය 2015දී බලයට ආවේ මේ වගේ පසුබිමකයි. දිගින් දිගටම තට්ටු මාරුවට බලය ලබා ගත් ප්‍රධාන පක්ෂ දෙකටම කළ හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ පදයට නටන එක පමණයි. නමුත්, ඒ පක්ෂ දෙකෙන් එකකටවත් ණය වලින් පුම්බා තිබුණු ග්‍රීසියේ ආර්ථික සමෘද්ධියේ හුළං බහින එක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිදු වෙමින් තිබුණේ සිදුව යුතුව තිබුණු නිවැරදි වීමක්. යුරෝපීය සංගමයට එකතු වීමේ අභිලාෂයෙන් කලක සිට ග්‍රීසිය විසින් රාජ්‍ය ආදායම්, වියදම් හා ණය පිළිබඳව බොරු සංඛ්‍යාලේඛණ පෙන්වා තිබුණු බවත් මේ වෙද්දී හෙළි වී තිබුණා.

උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව තේරුම් ගනිද්දී සිරිසා සන්ධානය තෙවන විකල්පයක් ලෙස මතු වුණා. ඔවුන් පෙනී සිටියේ සුබසාධන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිවයි. පවතින ක්‍රමයට විරුද්ධ වෙමින් ජනතාව මුලා කරනු හැර සිරිසා සන්ධානය සතු අමුතු සමාජවාදී  විකල්පයක් නැති බව ග්‍රීක ජනතාව ඒ වෙලාවේ තේරුම් ගත්තේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳව සිරිසා සන්ධානයේ විවේචන ඇත්ත වුවත්, සිරිසා සන්ධානයට බලයට පැමිණ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ.

සිරිසා සන්ධානය බලයට පත් වීමෙන් පසුව බොහෝ සමාජවාදීන් උද්දාමයට පත් වුණා. ලංකාවේ හා ලංකාවෙන් පිටත සිට ලංකාවේ දේශපාලනය කරන ඇතැම් අය මෙය විග්‍රහ කළේ යුරෝපයෙන් පටන් ගත් ධනවාදයේ කඩාවැටීමේ ආරම්භය ලෙසයි. වසර හතරකට පසුව ඉතිහාසය විසින් මේ සිරිසා නමාමි විශ්ලේෂකයන්ගේ විග්‍රහ වල නිරවද්‍යතාවය නිරාවරණය කර තිබෙනවා.

බලයට පත් වීමෙන් පසුව සිරිසා සන්ධානය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ කොන්දේසි වලට එකඟ නොවී කෙසේ හෝ ඔවුන්ගෙන් ණය ගන්නයි. රාජ්‍ය වියදම් කප්පාදුවට ජනතා කැමැත්තක් නැති බව පෙන්වන්න ජනමත විචාරණයක්ද පැවැත්වුනා. සිරිසා සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිව 61%ක ජනමතයක් ප්‍රකාශ වුනා. ඒත්, ප්‍රශ්නය එයින් විසඳුනේ නැහැ.

ග්‍රීක රජය අයවැය හිඟය පියැවෙන පරිදි විශාල ලෙස රාජ්‍ය වියදම් සීමා කෙරෙන ප්‍රතිසංස්කරණ කරා නොයන්නේනම් ඔවුන්ට දිගින් දිගටම ණය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාව කිසිසේත්ම සූදානම්ව සිටියේ නැහැ. ඒ තත්ත්වය යටතේ සිරිසා සන්ධානය විසින් බලය ලබා ගැනීම පිණිස ජනතාවට පොරොන්දු වූ පරිදි මේ කොන්දේසි වලට දිගින් දිගටම විරුද්ධ සිටින්නේනම් ඔවුන් විසින් ණය නොගෙවා පැහැර හැරීම හා අවසාන වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්වීම වැනි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබුණා. බලයට පත් වෙන්න කලින් මොනවා කිවුවත්, ග්‍රීක ජනතාවගේ වාසනාවට සිරිසා සන්ධානය එවැනි මෝඩ වැඩක් කරන්න පෙළඹුනේ නැහැ. ඔවුන් එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේනම් එය රටක් ලෙස ග්‍රීසිය විනාශය කරා තල්ලු කරමින් තම පක්ෂයේ වලද තමන් විසින්ම කපා ගැනීමක් වෙනවා.

රැඩිකල් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනු වෙනුවට ජනමතවිචාරණයෙන් පසුව සිරිසා සන්ධානය කළේ තමන් සතියකට පෙර විරුද්ධව සිටි කොන්දේසි සියල්ලට එකඟ වෙමින් ට්‍රොයිකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමයි. ගිවිසුම අත්සන් කිරීමෙන් නොනැවතුණු සිරිසා සන්ධානය පසුගිය සිවු වසර තුළ නැවත නැවතත් විශාල ලෙස රාජ්‍ය වියදම් කපා හරිමින් හා බදු ඉහළ දමමින් දශක ගණනක් එක දිගට පැවති ග්‍රීසියේ විශාල අයවැය හිඟය අතිරික්තයක් බවට හරවන්නට සමත් වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව ස්ථාවර වී තිබෙන අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් පහත බසිමින් තිබෙනවා.


විපක්ෂයේ සිටියදී මොනවා කිවුවත් වාමාංශික පක්ෂයකට බලය ගෙන ක්‍රියාත්මක කළ හැකි වඩා හොඳ විකල්පයක් නැති බව සිරිසා සන්ධානය විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ වාමාංශික බලවේග වල ප්‍රතිරෝධය හමුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හෝ පැසොක් පක්ෂයට ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ අමාරු හා ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ යෝජනා සිරිසා සන්ධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමයි.

පක්ෂයක ඉතිහාසයට හෝ කරනවායැයි කියන දෙයට වඩා වැදගත් වන්නේ ඇත්තටම කරන දෙයයි. ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්නට සිදුවීම හේතුවෙන් සිරිසා සන්ධානය සතු වූ ආණ්ඩු බලය දැන් නැවතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත මාරු වී තිබුණත්, පැසොක් පක්ෂය මේ වන විට දිය වී ගොස් ඇති පසුබිමක ග්‍රීක දේශපාලනයේ එම පක්ෂය සතු වූ තැන ඉදිරියේදී සිරිසා සන්ධානය සතු විය හැකියි. ඒ එක්කම, සිරිසා සන්ධානය වඩා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ක්‍රමයෙන් රූපාන්තරණය වන්නට ඉඩ තිබෙනවා.

(Image: https://www.thenation.com/article/syriza-rising/)

Thursday, February 21, 2019

ඔබේ සුසුමේ සුව දැණුනේ...


පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජාන වලට අමතරව "දැනුම" කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.

ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දැනුම් සම්භාරය ක්‍රමයෙන් විශාල වෙද්දී, මිනිස් දරුවෙකුට පිරිපුන් මිනිසෙකු වෙන එක වඩා වැඩි කාලයක් ගත වන කටයුත්තක් බවට පත් වුනා. මිනිස් දරුවන්ට දෙමවුපියන්ගේ රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. දරුවෙකුට මේ රැකවරණය වැඩිපුරම ලැබුණේ මවගෙනුයි. දරුවෙකුගේ මව කවුද කියන එක සැක සහිත දෙයක් නොවන නිසා එය එසේ වීම පුදුමයක් නෙමෙයි.

වැඩි වැඩියෙන් දරුවන් වදන හා හදන මිනිස් ගැහැණියකට තමන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය සම්පත් සොයා යන්න ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුම වන්නේ අවශ්‍ය සම්පත් වැඩියෙන් සම්පාදනය කළ හැකි මිනිස් පිරිමියෙක්ව තෝරා ගැනීමයි. ඒ නිසා වැඩි සම්පත් ප්‍රමාණයක් සැපයිය හැකි මිනිස් පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ ඉල්ලුම වැඩි වුනා. මුල් කාලයේදී එවැනි පිරිමින් වුනේ වඩා ශක්ති සම්පන්න හා ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල පිරිමින්. එවැනි පිරිමියෙකුට ගැහැණුන් සොයා ගැනීම අපහසු වුනේ නැහැ.

මිනිස් ගණනයක වැඩි ගැහැණුන් පිරිසකගේ ආකර්ශනය ලැබුවේ ගහණයේ සිටි හැඩිදැඩි පිරිමින්. ඔවුන් ගහණයේ වඩා ආකර්ශනීය මිනිස් ගැහැණු ටික මුලින්ම තෝරා ගත්තා. ඉන්පසුව ඉතිරි වූ ගැහැණුන්ට ආකර්ශනය කර ගත හැකිව තිබුණේ සම්පත් සැපයීමක් ලොකුවටම කළ නොහැකි වූ සෝමාරි පිරිමින්.

කෙසේ වුවත්, එවැනි ගැහැණුන්ට දෙවන විකල්පයකුත් තිබුණා. ඒ හැඩිදැඩි පිරිමියෙක්ගේ දෙවන බිරිඳ වීම. එහිදී සම්පත් බෙදී යාමක් සිදුවුණත් ඇතැම් විට හැඩිදැඩි පිරිමියෙකුගේ සම්පත් වලින් අඩක් සෝමාරි පිරිමියෙකු විසින් සපයන මුළු සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වූ නිසා මේ පුරුද්දේ පරිණාමික වාසියක් තිබුණා.

ඉහත හේතුව නිසා, මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම ගණනයේ ශක්තිමත්ම මිනිසුන්ට සහකාරියන් එක් අයෙකුට වඩා සිටිද්දී, දුර්වලම මිනිස් පිරිමින්ට සහකාරියක නොලැබී යාම නිසා ඔවුන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වුනේ නැහැ.

මිනිස් පිරිමියෙක් ශරීර ප්‍රමාණය අනුව මිනිස් ගැහැණියකට වඩා 15%කින් පමණ විශාලයි. එයින් පෙනෙන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමින්ට තමන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැඩි ඉඩක් ලැබී තිබෙන බවයි.

කාලයත් එක්ක මිනිසුන් වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ධ වෙද්දී ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ ගිහින් මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වෙද්දී, ජාන හා දැනුමට අමතරව ප්‍රාග්ධනයත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ගැහැණියකට වැඩියෙන් සම්පත් සැපයිය හැකි පිරිමියෙක් වුනේ වැඩි ප්‍රාග්ධනයකට හිමිකම් කී පිරිමියෙක්. ඒ එක්කම හැඩි දැඩි පිරිමින් සතු වූ ගැහැණුන්ගේ කැමැත්ත ප්‍රාග්ධනය හිමි පිරිමි වෙත විතැන් වෙන්න පටන් ගත්තා. කෙසේ වුවත්, මෙවැනි වෙනසක් එක වර වෙන්නේ නැහැ. ඒ නිසා, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ වන ආකර්ශනය තවමත් මුළුමනින්ම ක්ෂය වී නැහැ.

ශරීර ප්‍රමාණය, ප්‍රාග්ධනය හෝ බලය තිබෙන පිරිමින් විසින් සහකාරියන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කර ගැනීමත් ඒ දේවල් නොතිබුණු පිරිමින්ට සහකාරියක නොලැබී යාමත් බොහෝ සමාජ වල කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. මේ පුරුද්ද ක්ෂය වී ගිහින් එක් ගැහැණියක හා එක් පිරිමියෙකු අතර විවාහය සම්මතය බවට පත් වීම සිදු වුනේ බටහිර සංස්කෘතිය පැතිරීමට සමාන්තරවයි. මැද පෙරදිග කලාපයේ මුස්ලිම් රටවල හා බොහෝ අප්‍රිකානු රටවල අදටත් එක් පිරිමියෙක් හා ගැහැණු කිහිප දෙනෙක් අතර සිදුවන බහු විවාහ සාමාන්‍ය දෙයක්.

අද අප බටහිර සංස්කෘතිය සේ හඳුනා ගන්නා සංස්කෘතියේ මූලිකාංග බොහොමයක්ම පැරණි ග්‍රීසිය ආශ්‍රිතව බිහිවූ දේවල්. හෙලනික සංස්කෘතිය ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීම පිටුපස මහා ඇලෙක්සැන්ඩර් විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

අධිරාජ්‍යයන් බිහි කර ව්‍යාප්ත කළ වෙනත් බොහෝ පුද්ගලයින් වගේම මහා ඇලෙක්සැන්ඩර් වීරත්වයට පත් වන්නේත් "මහා" වෙන්නේත් යුද්ධයෙහි දැක්වූ සාමාර්ථය මතයි. පැරණි ග්‍රීසියේ සිට උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා බටහිර ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය වන අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නගනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයෙන් පසුව ඔහු විසින් ගොඩ නැගූ අධිරාජ්‍යය කෑලි වලට කැඩී ගියත් හෙලනික සංස්කෘතියේ බලපෑම ඒ ප්‍රදේශ වල තව දුරටත් ඉතිරි වෙනවා.

යුරෝපීයයන්ට යටත් වෙන්න කලින් ලංකාවේ බහුභාර්යා විවාහ වගේම බහුපුරුෂ විවාහත් අසම්මත දේවල් සේ සැලකී නැහැ. ලෝකයේ වෙනත් බොහෝ රටවල වගේම ලංකාවේත් ඒකවිවාහ ප්‍රචලිත වන්නේ ක්‍රිස්තියානි බලපෑම් එක්කයි. එහෙත්, ඒකවිවාහ කියන්නේ මුල සිටම ක්‍රිස්තියානියේ වූ අංගයක් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසක් බවට පත් වෙන්නේ ක්‍රිස්තියානිය මැද පෙරදිග කලාපයේ සිට යුරෝපයට පැතිරෙද්දීයි. ඒකවිවාහ කියන්නේ ක්‍රිස්තියානිය පැතිරෙන්න පෙර හෙලනික සංස්කෘතිය තුළ ප්‍රචලිත වූ සමාජ සම්මතයක්.

කිසියම් සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයක් වෙනස් සංස්කෘතියක් තිබෙන කණ්ඩායමකගේ පාලනයට නතු වූ පමණින් දෙවන කණ්ඩායමේ සංස්කෘතිය මුල් සංස්කෘතිය වෙනුවට ආදේශ වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක සැපයුම් සාධක වලට අමතරව ඉල්ලුම් සාධකත් බලපාන බව අමතක නොකළ යුතුයි. බොහෝ විට එවැනි ආදේශනයක් සිදුවන්නේ ආගන්තුක සංස්කෘතිකාංගයකට කිසියම් පරිණාමික වාසියක් ඇති විටයි.

ඒකවිවාහ කියන්නේ හෙලනික සංස්කෘතිය තුළ ඇති වූ විකෘතියක්. පරිණාමික අර්ථයෙන් විකෘතියක් කියන්නේ නරක දෙයක් කියන එක නෙමෙයි. සාමාන්‍ය සම්මතයට වඩා වෙනස් දෙයක් කියන එකයි. එය හොඳ හෝ නරක වෙනසක් වෙන්න පුළුවන්. මේ හොඳ හෝ නරක තීරණය කරන්නේ කාලය විසින්.

බොහෝ විකෘතීන් පරිණාමික වාසියක් නැති විකෘති. මේ කරුණ ජානමය විකෘති වලට වගේම සමාජයීය විකෘති වලටත් අදාලයි. එවැනි විකෘති වලට පැවැත්මක් නැහැ. එහෙත් ඇතැම් විකෘති පවතින තත්ත්වයට සාපේක්ෂව වඩා වාසිදායකයි.

මේ වාසිදායකකම තීරණය වන්නේත් බාහිර සාධක මතයි. උදාහරණයක් ලෙස උෂ්ණත්වය අඩුවෙන් දැනීමේ ජානමය විකෘතියක් ගැන හිතමු. කාන්තාර දේශගුණයකදී මෙය වාසියක් වුවත් ධ්‍රැවාසන්න ප්‍රදේශයකදීනම් අවාසිදායක කරුණක්. සංස්කෘතික හෝ සමාජයීය විකෘති වලටත් මේ කරුණ අදාළයි.

සමාජ සම්මතය ඒක විවාහ වූ සමාජයක් ස්වභාවිකත්වයෙන් දුරස්ථ වුවත් වඩා "සාධාරණ" සමාජයක්. එවැනි සමාජයක සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න පිරිමියෙක්ට වුවත් සහකාරියක සොයා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. සමාජයක බහුභාර්යා සේවනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී පහළ තට්ටුවේ පිරිමින්ට ගැහැණු හොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා.

කලින් කී පරිදි ප්‍රාග්ධනය හා බලය වැඩිපුර තිබෙන පිරිමියෙකුට වැඩි සහකාරියන් පිරිසක් සමඟ පවුල් කන්න පුළුවන්. එවැනි අය වැඩි වන තරමට පහළ තට්ටුවට ඉතිරි වන ගැහැණු ප්‍රමාණය අඩු වෙනවා. සමාජයක් ලෙස වඩා සෞභාග්‍යමත් වෙද්දී ස්වභාවිකවම සම්පත් බෙදී යාමේ විෂමතාවයනුත් වැඩි වෙනවා. ඉහළ තට්ටුව සතු ප්‍රාග්ධනය හා බලය වැඩි වෙද්දී ඔවුන් විසින් ගැහැණුන්ගෙන් වැඩි කොටසක්ද අයිති කර ගන්නවා. පහල තට්ටුවේ පිරිමින්ට තනිකඩයින් වෙන්න වෙනවා.

පිරිමියෙකුට ගැහැණියක් හොයා ගැනීම අමාරු වන විට ඔවුන් එය වඩා පහසුවෙන් කළ හැකි ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ආදායම් විෂමතා වැඩි තැනක ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි ගැහැණුන් සොයා ආදායම් විෂමතා අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. එසේ වෙද්දී, එවැනි සමාජයකට යුද්ධයකට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා. පිරිමි වැඩි සමාජයකට යුධමය වාසියක් ලැබෙනවා.

දැන් මේ සිදුවීම් වල චක්‍රීය බලපෑම පැහැදිලි විය යුතුයි. යුදමය ශක්තිය වැඩි රටක් වඩා පොහොසත් වෙද්දී ඒ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා. ගැහැණු බෙදී යාමේ විෂමතාවයත් වැඩි වෙනවා. එවිට ඒ රටේ පිරිමි රටින් පිටතට සංක්‍රමනය වෙනවා. එසේ යන්නේ ආදායම් විෂමතා අඩු සාපේක්ෂව දුප්පත් රටකටයි. එවිට ඒ දුප්පත් රටේ පිරිමි ප්‍රමාණය වැඩි වී යුදමය ශක්තිය වැඩි වෙනවා. ඒ රට පෝසත් වෙනවා. නැවත ඒ රටටත් පළමු රටට සිදු වූ දෙයම වෙනවා. මේ ක්‍රියාවලිය අධිරාජ්‍යය බිහිවීමේ ක්‍රියාවලියට යම් පමණකින් තිරිංග හෙළනවා.

හෙලනික සංස්කෘතිය ඇතුලෙ සිදු වූ ඒකවිවාහ සම්මතය නම් වූ "විකෘතිය" නිසා ඉහත චක්‍රය කැඩුණා. රටේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම හා ආදායම් විෂමතා ඉහළ යාම සිදු වෙද්දී ඒ හේතුව නිසාම සමාජයේ පහළ ස්ථර වලට වූ පිළිගැනීම නැති වී ගියේ නැහැ. දුප්පත් මිනිහෙක්ට වුනත් ගැහැණියක් හොයා ගන්න පුළුවන් වුනා. ඔහුටත් පොහොසතෙක්ට වගේම මිනිහෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලැබුණා. ආර්ථික සෞභාග්‍යයට හා සමාජ සාධාරණත්වයට එක්ව පවතින්න පුළුවන් වුනා. මෙය ඒ කාලයේ වෙනත් බොහෝ සමාජ වලට සාපේක්ෂව වෙනස් තත්ත්වයක්.

ඇලෙක්සැන්ඩර් විසින් තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරද්දී අලුතෙන් අල්ලා ගත් ප්‍රදේශ වල ජීවත් වූ මිනිස්සු හෙලනික සංස්කෘතියේ වූ සමාජ සාධාරණත්වයට ආකර්ශනය වුනා. ඒ සමාජ සාධාරණත්වය ගැහැණුන්, ළමුන් හෝ වහලුන් දක්වා ව්‍යාප්ත නොවූ සීමිත එකක් වුවත් අඩු ආදායම්ලාභී වැඩිහිටි පිරිමියෙකුට සමාජයේ කිසියම් පිළිගැනීමක් ලැබීම ඒ කාලයේ හැටියට ලොකු වෙනසක්. ඒ නිසා සහ තවත් හේතු නිසා, ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියත් හෙලනික සංස්කෘතිය අකාලයේ මැරුණේ නැහැ.

(Image: https://gkdata.gr/marriage-in-ancient-greece/)

Monday, March 14, 2016

ශුභ පයි දිනයක්!


ග්‍රීක් භාෂාව ග්රීසියේ ප්‍රධාන භාෂාවයි. එය සයිප්‍රසයේත් (තුර්කි භාෂාව සමඟ) ප්‍රධාන භාෂාවකි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය හා කැනඩාව ප්‍රධාන රටවල් ගණනාවක විසිරී සිටින ග්‍රීක ඩයස්පෝරාවට අයත් සැලකිය යුතු පිරිසක්ද ග්‍රීක් බස වහරති. කෙසේ වුවද, ග්‍රීක් බස වහරන සමස්ත ලෝක ජනගහණය සිංහල වහරන ජනගහණයට වඩා ප්‍රමාණයෙන් අඩුය.

ග්‍රීක් භාෂාව සහශ්‍ර ගණනක් තුළ ඉතා අඩුවෙන්ම වෙනස් වූ බසකි. සියවස් විසි හතරකට පෙර මහා පිලිප් රජ කරන කාලයේ ග්‍රීසියේ ජීවත් වූ අයෙකු අද එහි වසන්නෙකු හමුවුවහොත් ඔවුන්ට අපහසුවකින් තොරව අදහස් හුවමාරු කරගත හැකි වනු ඇතැයි සැලකේ. ග්‍රීසියේ පැරණි ලේඛණ කියවීමට නූතන ග්රීකයෙකුට අමුතු වෙහෙසක් දැරීමට සිදු නොවේ. එමෙන්ම, මේ වසර සියවස් විසිහතර තුළ ග්රීකයින්ගේ නම්ද වෙනස් වී නැත.

ලෝකයේ වෙනත් බස් වහරන බොහෝ දෙනෙකුට ග්‍රීක් භාෂාව ග්‍රීක් වගේ වුනත් මේ ගොඩ දෙනෙකුට තමන් ග්‍රීක් අකුරක්වත් නොදන්නා බව කිව නොහැකිය. විද්‍යාව හා ගණිතය වැනි විෂයයන් හදාරන බොහෝ දෙනෙකුට ග්‍රීක් හෝඩිය ග්‍රීක්ම නැත.

ග්රීකයින් නොවන වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මාද මුලින්ම උගත් ග්‍රීක් අකුර පයි (
π) අකුරයි. එය මුලින්ම උගත්තේ ප්‍රාථමික පංතියකදී වෘත්තයක පරිධියේ දිග හා වර්ග ඵලය සොයන සමීකරණ ඉගෙනගන්නා අවස්ථාවේදීය. පයියාගල කියන්නට ලැජ්ජාවට පයාගල කියා කියන්නාක් මෙන් මේ ග්‍රීක අකුරද බොහෝ විට අපි ෆයි යනුවෙන් උච්ඡාරණය කළෙමු. ග්‍රීක පයි අකුර යෙදෙන්නේ සිංහල පයන්නෙන් එන ශබ්දයට ඉතා ආසන්න ශබ්දයක් හැඟවීමටය. නූතන ග්‍රීක් භාෂාවේ 'ෆ' ශබ්දය හඟවන 'ඵයි' (Φ) නම් වූ තවත් අකුරක් ග්‍රීක හෝඩියේ තිබේ. ෆයි කියා උච්ඡාරණය කළහොත් ග්රීකයෙකු එය තේරුම් ගන්නේ මේ ඵයි අකුර ලෙසින්ය.

ගණිතයේදී ග්‍රීක පයි අකුර යොදාගන්නේ එක්තරා වැදගත් නියතයක් හඳුනාගැනීමටය. මේ නියතය නිශ්චිත අගයක් ඇති අපරිමේය සංඛ්‍යාවකි. මේ අංකයේ නිවැරදිම අගය ආසන්න වශයෙන් මිස දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්විය නොහැකිය. දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්වීම අපහසු වෙනත් බොහෝ සංඛ්‍යා තිබේ. එහෙත් මේ බොහොමයක් සංඛ්‍යා 1/3 හා 1/7 වැනි පුනරාවර්තී දශම සංඛ්යාවන්ය. උදාහරණයක් ලෙස 1/3=0.33333333......වන අතර 1/7= 0.142857142857142857...වේ. මෙවැනි පුනරාවර්තී දශම සංඛ්යාවක පුනරාවර්තනය වන සංඛ්‍යාව හෝ සංඛ්‍යා කිහිපය උඩින් ඉරක් ඇඳීමෙන් එවැනි සංඛ්‍යාවක් ලියා දැක්වීමට පුළුවන.

කෙසේ වුවද, පයි අකුරෙන් නියෝජනය වන අපරිමේය දශම සංඛ්‍යාව එවැනි පුනරාවර්තී දශම සංඛ්යාවක් නොවේ. අනුභූතී උත්තර සංඛ්‍යාවක්ද (Transcendental number) වන මේ සංඛ්‍යාවේ අගය දශමස්ථාන ට්‍රිලියනයක් ඉක්මවා ගණනය කර ඇති අතර ඒ දක්වාම එම සංඛ්‍යාව කිසිදු නිශ්චිත රටාවක් නොපෙන්වයි. (ට්‍රිලියනය ගැනනම් දැන් ලංකාවේ කවුරුත් දන්නවා ඇතැයි සිතමි.) මේ නියතය හරියටම පැවසීම මේ තරම් අමාරු වුවත් ප්‍රායෝගික කටයුතු සඳහා එය බාධාවක් නොවේ. දශමස්ථාන හතරකට එහි අගය 3.1416 වේ.


අද ක්‍රිස්තු වර්ෂයෙන් 2016 මාර්තු 14 වෙනිදාය. සිංහල ක්‍රමයට අප මේ දිනය ලියන්නේ 2016-03-14 හෝ 16-03-14 ලෙසිනි. තර්කානුකූලව වඩා නිවැරදි ක්‍රමය ලෙස සැලකිය හැකි අවුරුද්ද මුලට දමන මෙම ක්‍රමය දැන් ලංකාවේ භාවිතා වන්නේ අඩුවෙනි. එහෙත්, චීනය, ජපානය හා කොරියාව වැනි අග්නිදිග ආසියාතික රටවලත්, ඉරානයේත් තවමත් දිනය ලියන්නේ මේ ආකාරයෙනි.

ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මේ වන විට ප්‍රධාන වශයෙන්ම දිනය ලියන්නේ ඉංග්‍රීසි (එංගලන්ත) ක්‍රමයටය. ඒ අනුව දිනය මුලට දමා අද දිනය 14-03-16 ලෙස ලියැවේ. කෙසේ වුවද, ඇමරිකාවේ දිනය ලියන්නේ ඉහත ක්‍රම දෙකටම වඩා වෙනස් ලෙස මාසය මුලට දමමිනි. ඒ අනුව අද දිනය ලියන්නේ 03-14-16 ලෙසිනි. ඇමරිකාව පමණක් භාවිතා කරන මේ ක්‍රමය
කිසිදු තර්කානුකූල පදනමක් නොමැති ක්‍රමයක් ලෙස පෙනේ. මේ ක්‍රමය භාවිතා වීමට පාදක වූ හේතුවක්ද දැනගන්නට නැත.

ඇමරිකානු ක්‍රමයට මාර්තු 14 ලියන්නේ 3-14 ලෙස වීමත්, ගණිතයේදී යොදාගන්නා පයි සංකේතයේ දශමස්ථාන දෙකකට ආසන්න අගය 3.14 වීමත් නිසා මාර්තු 14 ඇමරිකාවේ ජාතික පයි දිනය ලෙස සැලකේ. දිනය නම් කිරීමේ අරමුණ ගණිතය පිලිබඳ දැනුම පුළුල් කිරීමයි.


අද දිනය ඇමරිකානු ක්‍රමයට 3-14-16 නිසා ඇත්තටම මේ දිනය දශමස්ථාන හතරකටම නිවැරදිය. කෙසේවුවද, පසුගිය වසරේ මාර්තු 14 දින උදේ 9:26:53ට මේ අගය අංක (digits) දහයක් දක්වාම ගැලපුනේය.

ශුභ පයි දිනයක්!


(Image:http://logcabincooking.com/i-made-you-a-winter-squash-birthday-pi-albert-einstein/pi-day-6-2/)

Sunday, December 6, 2015

මුස්ලිම් ලෝකය තුල කෙමල් අතතුර්ක් ලකුණ


පසුගිය සති දෙක තුන තුල මුස්ලිම් අන්තවාදය හා අදාලව සටහන් කිහිපයක්ම පලවී තිබුණේය. මධ්‍යස්ථ මතධාරියාගේ, මාතලන්ගේ සහ කොළඹ ගමයාගේ සටහන් මේ විෂය හා අදාලව මා එසේ කියවූ කිහිපයකි.

මා කුඩා කල සිටම ශ්‍රී ලාංකික මුස්ලිම් හා මැලේ ජාතිකයින් ලඟින් ඇසුරු කර තිබේ. එහෙත්, මැදපෙරදිග කලාපය පිළිබඳවනම් මට පළමෝත අත්දැකීම් නැති තරම්ය. මුස්ලිම් මහා සංස්කෘතියක් තුල ජීවිතය පිළිබඳව මට ඇති ලොකුම අත්දැකීම බංග්ලාදේශයේ ජීවත් වූ කෙටි කාලයයි. අනෙකුත් අත්දැකීම් කෙටිකාලීන සංචාරයන්ට වඩා වැඩි ඒවා නොවේ.

බංග්ලාදේශයේ ගතකල කාලය තුල මට දැනුනු ප්‍රධාන කරුණක් වූයේ බෙංගාලි මුස්ලිම්වරුන් සමස්තයක් ලෙස ලංකාවේ මුස්ලිම්වරුන් තරම් 'මුස්ලිම්' නැති බවයි. මගේ ලාංකික මුස්ලිම් මිතුරන් අතර මත්පැන් පානය කරන, මූලික ඉස්ලාම් වතාවත් නොපිළිපදින අය නොසිටි තරම්ය. එහෙත්, බංග්ලාදේශයේදී මෙවැනි අය සෑහෙන පිරිසක් මට හමුවිය.

තමන්ගේ කණ්ඩායම බහුතරය වූ විට සහ සුළුතරය වූ විට පුද්ගලයින් හැසිරෙන ආකාරය වෙනස්වීම අමුතු දෙයක් නොවේ. ලංකාවේදී අවුරුදු ගාණකින් පන්සලක් පැත්තේ නොයන අය විදෙස් රටකට සංක්‍රමණය වූ පසු එසේ කරන්නේ ආගමික අවශ්‍යතාවක් වෙනුවෙන්ම නොව සංස්කෘතික අවශ්‍යතාවයන්ද නිසාය.

කෙසේවුවද, බංග්ලාදේශයේ බහුතරය මෙවැනි අය නොවේ. එහෙත් අන්තවාදින්ද නොවේ. මේ අතර අන්තවාදීන් සුළු පිරිසක්ද සිටිති. බොහෝ විට පිටට පෙනෙන්නේ මේ සුළුතර අන්තවාදීන්ගේ ක්‍රියාවන්ය. මගේ පෞද්ගලික අත්දැකීම් රැසක් ඇතත් මේ සටහනේ ඒවා ගැන ලියන්නේ නැත.

මගේ ඉහත අත්දැකීම් වසර පහළොවක් පැරණිය. මේ කාලය තුල මුස්ලිම් ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. මේ අතර බටහිර රටවල් දෙකකදී ලෝකයේ විවිධ රටවලින් පැමිණි මුස්ලිම් සංක්‍රමණිකයින් හෝ ඔවුන්ගේ දෙවන-තෙවන පරම්පරා වල සාමාජිකයින් රැසක් මට ඇසුරු කිරීමට ලැබී තිබේ. මේ අයගේ විවිධත්වය වෙනත් ඕනෑම කණ්ඩායමක තරමටම විශාලය.

බටහිර රටවලදී මට හමුවූ ඉස්ලාම් ආගමිකයින් අතරින් බටහිර සංස්කෘතියට වඩාත්ම දුරස්ථව සිටි අය මැද පෙරදිග කලාපයෙන් පැමිණි අයයි. මා ජීවත්ව සිටි එක්තරා ග්‍රාමීය, කෘෂිකාර්මික, තනිකරම වාගේ සුදු ජාතිකයින් ජීවත් වූ ප්‍රදේශයක විශ්වාසදායක ලෙස හලාල් ආහාර මිලදී ගැනීමට තැනක් තිබුණේ නැත. බොහෝ ඉස්ලාම් ආගමිකයින්ට මෙය විශාල ප්‍රශ්නයක් වූයේ නැත. එහෙත්, මේ ප්‍රදේශයේ සිටි මා දැන සිටි එක්තරා ලිබියානුවන් දෙදෙනෙකුට මෙය විශාල ප්‍රශ්නයක් විය. ඔවුහු සිරිතක් වශයෙන් කළෝ සැතපුම් සියයකටත් වඩා දුරින් පිහිටි සත්ත්ව ගොවිපලකට ගොස් පණ පිටින් බැටළුවෙකු සහ කුකුළන් මිලදී ගෙන ඔවුන් විසින්ම ඉස්ලාම් ආගමානුකූලව මස් කර රැගෙන විත් ශීතකරණයේ දමාගෙන පරිභෝජනය කිරීමයි. ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ දෑස් හැර ඉතිරි කොටස් ගැන මා කිසිවක් දන්නේ නැත.

ලිබියාවේ ගඩාෆිට එරෙහි කැරලි ඇරඹුණේ මේ කාලයේදීය. මේ සම්බන්ධව ඇමරිකාවේ සිටි මා දන්නා සංක්‍රමණික හෝ නේවාසික ලිබියානුවන් බහුතරය සිටියේ ගඩාෆිට එරෙහි ස්ථාවරයකය. එහෙත්, මා පෙර කී ලිබියානුවන් දෙදෙනා ඉතා උග්‍ර ගඩාෆි හිතවාදීහු වූහ. එයට එක් හේතුවක් වූයේ ඔවුන් ගඩාෆිගේම ගෝත්‍රයේ අය වීමයි. මෙය ඔවුන් නිතර මහත් ආඩම්බරයෙන් සඳහන් කළ දෙයකි. එමෙන්ම, ඔවුන්ට ගඩාෆිගෙන් ලැබී තිබුණු මා හරියටම නොදන්නා වරප්‍රසාද හෝ උදවු වෙනුවෙන් ඔවුහු කෘතගුණශීලීව සිටියහ.

ගඩාෆිගේ පරාජය ක්‍රමයෙන් පැහැදිලි වෙද්දී මා පෙර කී ලිබියානුවෝ බොහෝ නොසන්සුන් වූහ. මේ අවස්ථාවේදී මඟ හැර සිටීම ඔවුන් දුටුවේ විශාල වරදක් ලෙසිනි. ඔවුන්ට ගඩාෆි වෙනුවෙන් කෘතගුණ සැලකීමට අවශ්‍ය විය. එහෙත්, මේ වන විට ඇමරිකාවේ සිට ලිබියාවට යාම අවදානම් සහගත දෙයක් වූ බැවින් මෙවැනි ගමන් අධෛර්යමත් කෙරුණු කාලසීමාවකි. මේ ලිබියානුවෝ මේ බාධක ජයගෙන කෙසේ හෝ අවසාන මොහොතේ ලිබියාවට ඇතුළු වූහ. එහෙත්, ඒ වන විට ගඩාෆි ඇතුළු පිරිස කොටුවී සිටි කුඩා ප්‍රදේශයට ඇතුළු වීමට ලැබුණේ මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි. සිදුවීමට වඩාත්ම ඉඩකඩ තිබූ දෙය වූ කැරලිකරුවන්ගේ වෙඩිපහරට ලක්ව මියයාම ඔහුගේ ඉරණම විය. මාස ගණනක අතදරුවෙකු ඇතුළු ඔහුගේ දරු තිදෙනා තරුණ බිරිදද සමඟ තනි විය.

ඉස්ලාම් ආගම ඇදහූ මා දැන සිටි හෝ ලඟින් ඇසුරු කළ අය අතර ඉහත කී ආකාරයේ අය මෙන්ම එයින් සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ජීවන රටාවක් තිබුණු, තනිකරම බටහිර සංස්කෘතිය තුල ජීවත් වූ අයද සිටියහ. මේ අය අතර ඉදිරියෙන්ම සිටියේ තුර්කි ජාතිකයින්ය. තජිකිස්තානය, උස්බෙකිස්තානය වැනි පැරණි සෝවියට් දේශයේ කොටස් වලින් පැමිණි අයද සිටියේ මොවුන්ට පිටුපසිනි. මෙහිදී, මා සසඳන්නේ උපතින් ඉස්ලාම් වූ හෝ නමින් ඉස්ලාම් වූ අය නොවේ. වෙනස් ලෙස හැසිරුණු අදේවවාදීන් හෝ භෞතිකවාදීන් වූ එවැනි අයනම් මා ලංකාවේදීත් ඇසුරු කර තිබුණේය. මා සසඳන්නේ තමන්ගේ අනන්‍යතාවය ඉස්ලාම් හෝ මුස්ලිම් ලෙස හඳුන්වා දෙන, කටපුරා නොපැකිල කියන අයයි.

මගේ ඇතැම් තුර්කි ජාතික මිතුරියනට විවාහයට පෙර කිහිප දෙනෙකු සමඟ එකට ජීවත් වීම, කොට ඇඳුමක් ඇඳීම හෝ මධුවිතකට නිතර එක්වීම අරුමයක් නොවේ. කෑම ගැනීමේදීද හලාල්ද යන්න හෝ අඩුම වශයෙන් සූකර මාංශය අඩංගුද යන්න ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ඔවුන් සිය මුස්ලිම් අනන්‍යතාවය බැහැර කරද නැත. බොහෝ කලක් ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයේ කොටසක් වූ, වත්මන් තුර්කියට ආසන්නව පිහිටි ලිබියාවේත්, තුර්කියේත් පසුකාලීනව ඇති වුනු සංස්කෘතික දුරස්ථභාවය මෙවැන්නකි. (මේ වෙනස පෙන්වා දෙනු හැර විවිධ පුද්ගලයින්ගේ ආගමික විශ්වාස හෝ ජීවන විලාසිතා ගැන කතාකිරීම මගේ අරමුණ නොවේ.)


බටහිර නූතනත්වය බාහිර නිරීක්ෂකයින් විසින් බොහෝ විට හඳුනාගන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය හා බද්ධවය. මේ සංස්කෘතිය තුලම ජීවත්වන අයද යම්තාක් දුරකට එසේ සිතති. එයට හේතුව මේ දෙක බොහෝ විට එකට යාමයි. සමාජවාදී සමාජ ගොඩනැගුම් හැරුණු විට, ක්‍රිස්තියානි/කතෝලික ආගමික පසුබිමකින් තොරව බටහිර නූතනත්වයට ඉදිරියට යාහැකි බවට ඇති හොඳම ශාක්ෂිය තුර්කිය විය යුතුය.

මා බංග්ලා දේශයේ ජීවත් වූයේ ධාකා අගනුවර බොනානි (বনানী) ප්‍රදේශයේය. මෙහි අපේ ආයතනය පිහිටි වීදිය 'කාමාල් ආතාතුර්ක් එභිනිඋ (avenue)' (কামাল আতাতুর্ক এভিনিউ) නම් විය. මේ නම ගැන උනන්දු වූ මට දැනගන්නට ලැබුණේ තුර්කි රාජ්‍ය නායකයෙකු අනුව මේ වීදිය නම් කර ඇති බවයි. ඒ වන විට මීට වඩා වැඩි දෙයක් දැන නොසිටියත් පසුව දැනගත්තේ මේ කාමාල් ආතාතුර්ක් යනු නූතන තුර්කි රාජ්‍යයේ නිර්මාතෘ වන මුස්ටෆා කෙමල් අතතුර්ක් බවයි.

කෙමල් අතතුර්ක් ගැන මධ්‍යස්ථ මතධාරියාගේ ලිපියක සඳහනක් කෙරී තිබුණු අතර (දැන් මට තැන හොයාගැනීම අපහසුය.) කොළඹ ගමයා විසින් සැලකියයුතු විස්තරයක් ඉදිරිපත් කර තිබුණේය. කොළඹ ගමයා විසින් ලියා ඇති දේවල් මා නැවත ලියන්නේ නැත. එහි සඳහන් නැති හෝ වැඩිපුර විස්තර කෙරී නැති කරුණු කිහිපයක් පමණක් එකතු කරමි.

කෙමල් අතතුර්ක් විසින් ඉතිහාසය වෙනස් කළ ප්‍රධාන තැනක් වන්නේ සියවස් ගණනක් පැවති කාලිෆ් ධුරය අහෝසි කර දැමීමයි. ඉස්ලාම් කාලිෆ් ධුරය යම් තරමකට කතෝලික පාප් ධුරයට සමාන ලෝකයේම ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික සහ ලෞකික නායක ධුරයක් විය. එහෙත්, ඉස්ලාම් යනු අනෙකුත් ප්‍රධාන ආගම් වලට සාපේක්ෂව ආගමකට වඩා වැඩි ජීවන ක්‍රමයක් බව කිවයුතු නැත. මේ කාලිෆ් ධුරය ප්‍රථම ඉස්ලාම් වක්තෘවරයා වන මුහම්මද් නබිගේ සිට අඛණ්ඩව පැවත ආ එකකි. කෙසේ වුවද, ධුරයේ බල හුවමාරුව බොහෝ විට සිදුවුනේ සම්මුතියෙන්ම නොවේ. සුන්නි සහ ෂියා නිකායන් අතර මුල සිටම මතභේද තිබුණේය. කලින් කලට විශාලම අධිරාජ්‍ය ගොඩනැඟූ මුස්ලිම් පාලකයෝ ලෝ පුරා ඉස්ලාම් භක්තිකයින්ගේ කාලිෆ් වරයා විය.

දහසයවන සියවසේ පමණ සිට මේ ඉස්ලාම් කාලිෆ් ධුරය ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යය සතු විය. මෙය ඉතා ප්‍රබල ධුරයක් වූ අතර බ්‍රිතාන්‍යයෝද ක්‍රමෝපායික ලෙස මේ ධුරය පිළිගනිමින් කැලිපට් ක්‍රමයට සහයෝගය දැක්වූහ. ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයාගේ ඉල්ලීමක් ලංකාවද ඇතුලත් වූ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම් වරුන්ගේ සහයෝගය බ්‍රිතාන්‍යයන්ට ලබා ගැනීමට උදවු වී තිබේ. කෙමල් අතතුර්ක් විසින් අහෝසි කර දැම්මේ මේ ධුරයයි. එයින් පසු මේ ධුරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

කෙමල් අතතුර්ක් යනු ඒකාධිපතියෙක්යයි කීම වැරදි නැත. තුර්කි ජාතිය ගොඩ නැගීමේදී ඔහු ගත් ඇතැම් ක්‍රියාමාර්ග වත්මන් සන්දර්භය තුලනම් සිතාගන්නටත් අමාරු තරම්ය.


පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර සිදු වූ අයුරින් විශාල සංක්‍රමණයන් සිදුවිය. වත්මන් තුර්කියේ සිටි ග්‍රීක, ආර්මේනියානු ආදී කොටස් ඒ රටවලට සංක්‍රමණය වෙද්දී ඉස්ලාම් ආගම ඇදහූ තුර්කීන් තුර්කියට පැමිණියහ. මේ සංක්‍රමණයන්හි ප්‍රතිපලයක් ලෙස කෙමල් අතතුර්ක්ගේ අතට ලැබුණේ තනිකරම ඉස්ලාම් භක්තිකයින් සිටි රටකි. අදටත් තුර්කියේ අන්‍ය ලබ්ධිකයින් සිටින්නේ සියයට එකකටත් අඩුවෙනි. මෙවැනි රටක ඉස්ලාම් ආගමික සංකේත ඉවත් කර ජාතික රාජ්‍යයක් ලෙස පරිවර්තනය කිරීම ඇත්තටම විශාල විප්ලවයකි. මේ අනුව, ආගම පෞද්ගලික කටයුත්තක් බවට පත්කිරීම තුර්කියේ ඉස්ලාම් ආගමිකයින් අඩුවීමට හේතු වුණේ නැත. එහෙත්, තුර්කීන්ගේ හැසිරීම් වඩා නිදහස් විය.

"ශිෂ්ඨ සම්පන්න ලෝකය සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන්. අප හැකි ඉක්මණින් ඔවුන් සමඟ එක්වීම හැර වෙනත් මඟක් නැහැ." මේ අතතුර්ක්ගේ දැක්ම විය. මේ ගමනේදී ආගමෙන් බැහැර වීම, විද්‍යාව ජාතියේ පෙරගමන්කරු බවට පත් කරවීම, ගැහැණුන්ට සමාජයේ ඇති බාධාවන් ඉවත් කිරීම, අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම වැනි දේවලට අතතුර්ක් මුල් තැන දුන්නේය.

 "මට ආගමක් නැහැ. මම හිතනවා සියළු ආගම් පැවතිය යුත්තේ මුහුදු පතුලේ කියා. යමෙකු හිතනවානම් රාජ්‍ය පාලනයට ආගමක් සම්බන්ධ කරගතයුතුයි කියා, ඔහු ඉතා දුර්වල පාලකයෙක්." මෙය අතතුර්ක්ගේ වචන වලට සීමා නොවීය. ඉස්ලාම් ආගමික සංකේත වූ ඇඳුම්, නම්ගම් පමණක් නොව අරාබි අකුරු පවා තුර්කියෙන් ඉවත් කළ අතතුර්ක් රටේ කලක් තිස්සේ පැවති මත්පැන් තහනම ඉවත් කළේය. ඇත්තටම අතතුර්ක් පෞද්ගලිකවද දැඩි මත්පැන් ලෝලියෙක් වූ අතර ඔහු දීර්ඝායුෂ නොලබා මිය ගියේද සිරෝසියස් රෝගයට ගොදුරු වීම නිසාය. මෙහිදී ඔහුගේ විශේෂත්වය වන්නේ ප්‍රසිද්ධියේ බොරුවට "මතට තිත" නොතියා තමන් විඳින ජීවිතය තෝරා ගැනීමේ නිදහස තමන්ගේ රටවැසියන්ටද ලබා දීමයි.

අතතුර්ක් අතට පත් ඔටෝමාන් තුර්කියේ සාක්ෂරතාව ඉතා පහල අගයක් ගත්තේය. මෙය ඉහල නැංවීමට තිබූ එක් බාධාවක් වූයේ තුර්කි භාෂාව වසර දහස් ගණනක් තිස්සේ ලිවූ අරාබි අකුරු වල සංකීර්ණ කමයි. මේ අනුව, අරාබි අකුරු ඉවත් කර රෝමන් අකුරු ආශ්‍රිත වත්මන් තුර්කි හෝඩිය හඳුන්වා දෙනු ලැබීය. මෙවැනි වෙනසක් කිරීම සුළුපටු දෙයක් නොවේ.


මීටත් වඩා සිතාගැනීමටත් අමාරු ප්‍රතිසංස්කරණයක් වන්නේ වාසගම් නීතිය ක්‍රියාත්මක කළ ආකාරයයි. මෙහිදී සෑම තුර්කි ජාතිකයෙකුම තුර්කි වාසගමක් ගත යුතු විය. මෙහිදී ඒ වන විට තමන්ගේ ජනවර්ගය කවරක් වුවත් රටේ සියල්ලන්ම තුර්කි ජාතිකයින් ලෙස සැලකුණි. මේ නම් වලින් ආගමික හෝ වෙනත් රටක සම්භවයක් පිලිබඳ තේරුම් මතු විය නොහැක. මේ අනුව ග්‍රීක සම්භවයක් ඇති මිත්‍රෝයිදිස් නම ඇත්තෙකුට මිත්‍රෝග්ලූ වැනි තුර්කි වාසගමක් ගන්නට සිදුවිය. මේ අයුරින්ම ආර්මේනියානු, බල්ගේරියානු, බොස්නියානු, ඇල්බේනියානු, කුර්දි, ජෝජියන්, සිරියන්, අරාබි සහ යුදෙවු සම්භව තිබූ බොහෝ දෙනෙකුගේ නම් වෙනස් විය. ග්‍රීක් නම් මෙන්ම, 'බින්' වැනි අරාබි නම් සහ 'ඉච්' ලෙස අවසන් වන ස්ලාවික් නම් ආදිය ඉවත් කළ යුතු විය. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කෙමල් මුස්ටෆාට 'තුර්කින්ගේ පියා' යන තේරුම ඇති 'අතතුර්ක්' වාසගම හිමිවන්නේද මේ වාසගම් පණත අනුවය.

අතතුර්ක්ගේ ඇතැම් ප්‍රතිසංස්කරණ අද සම්මතය අනුව ඒකාධිපති, බටහිර ගැති හෝ සදාචාර සම්පන්න නොවන ඒවා ලෙස යමෙකුට නිර්වචනය කිරීමට පුළුවන. මේ ප්‍රතිසංස්කරණ වල වැදගත්කම තීරණය කරන්නට වෙන්නේ අද තුර්කිය ලිබියාව වැනි ඔටෝමාන්-තුර්කියේ කොටසක්ව පැවත වෙනත් මඟක ගිය රටක් සමඟ සසඳමිනි. ගඩාෆිගේ ලිබියාව මිහිපිට තිබූ සුරපුරයක්යයි සිතා සිටින අය සමඟනම් මා වැඩිදුර වාද කරන්නට කැමති නැත.

මාස කිහිපයකට පෙර මට කෙමල් අතතුර්ක්ගේ උපන් නිවසට යාමට ලැබුණේය. මේ කෙමල්ගේ පියා විසින් සිටවූ චෙරි ගසකි. කෙමල් කුඩා කල මේ ගස යට සෙල්ලම් කර ඇත. (චෙරි වලනම් විශේෂ රසක් නැත.) දැනට ලෝකයේ චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි.



Sunday, August 2, 2015

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

පසු ගිය පෙබරවාරි මාසයේදී "මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ" බව වාර්තා විය. අදාළ පුවත අනුව "දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය."

මගේ අදහස මහින්දගේ භාරය ගැන කතා කිරීම නොවේ. දෙවියන්ට වුවත් තවමත් කඩදාසි මුදල් වලට වඩා විශ්වාස, භාරය ඔප්පු කිරීමට යොදාගත් රන් හා රිදී ගැන කතා කිරීමය.

පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි, භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳාම ඇරඹු හෝමෝ සේපියන්ස්ලා පසුව මුදල් භාවිතය ඇරඹුහ. මුදල් ලෙස මුලින්ම භාවිතයට ගැනුණේ ධාන්‍ය වර්ග, එළුවන්, ගවයින් වැනි දේය. මේ දේවල් වල මුදල් නොවන වටිනාකමක්ද සෑම දෙනෙකුටම වාගේ තිබුණේය. අඩුවශයෙන් සහශ්‍ර නවයකට පෙර මෙවැනි ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කෙරී ඇත.

මුදල් වශයෙන් ලෝහ භාවිතය ජනප්‍රිය වෙන්නේ සහශ්‍ර තුනකට පමණ පෙරය. රන්, රිදී වැනි ලෝහ වල මුදල් නොවන වටිනාකමක්ද ඇතත් එය සීමිත වටිනාකමකි. රන් හැන්දෙන් රිදී පිඟානක ආහාර ගැනීමේ අවස්ථාව හැමෝටම නොලැබේ. රන් ගෑරුප්පුවකින් ඇණ චොකලට් සෝස් තැවරූ තෝර මාළු පෙති කෑමටද හැමෝටම නොලැබේ. එහෙත්, එවැනි අය සීමිත පිරිසක් හෝ සිටින බව සියළු දෙනාම දන්නා නිසා තමාගේ ශ්‍රමය හා හුවමාරුවට රන් හෝ රිදී වැනි දෙයක් භාර ගැනීමට බොහෝ දෙනා සූදානම් වූහ.

හරියටම කියනවානම් බොහොමයක් සාමාන්‍ය ජනතාවට රන් කාසියක් අතගෑමේ අවස්ථාව ජීවිත කාලයටම නොලැබුණු අතර බොහෝ විට ඔවුන්ගේ වත්කම මැනුනේ රිදී කාසි වලිනි. 'රිදී තිහක්' කියා අවිච්චියා කෑගසන්නේ අවිච්චියන් වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් රිදී වූ නිසාය. පැරණි භාෂාවන් වන ලතින් භාෂාවේ 'ආජෙන්ටුම්' යන වචනයත්, 'කෙසේ' යන හීබෘ වචනයත් මුදල් මෙන්ම රිදී යන තේරුම් දෙකෙන්ම යෙදෙන්නේ මේ නිසාය. සෑම බලවත් රටකම ධනවතුන්ටනම් රිදී වලට අමතරව රත්තරනින් රන් මාල බැඳීමට හැකි විය.

ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා වූ සහශ්‍ර දෙක තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ භාවිතා වුයේ මුදල් වර්ග දෙකකි. ඒ රන් සහ රිදීය. චීනයේදී, පර්සියාවේදී හෝ රෝමයේදී රන් සහ රිදී වෙනත් භාණ්ඩ වෙනුවෙන් හුවමාරු කිරීමෙහි කිසිදු අපහසුතාවක් නොවීය. මේ යුගයේදී රටවල් අතර වෙළඳ පරිමාව අඩු වුවත්, ලෝකයම එකම වෙළඳපොළක් වූ ලෙස සැලකීම නිවැරදිය.

මේ කාලයේදී රන් හෝ රිදී ආකාර සොයාගත් හෝ යුද්ධයෙන් අයිති කරගත් ජාතීන්ට අනෙක් ජාතීන් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි විය. ග්‍රීසියේ සෞභාග්‍යයේ ඇරඹුම එහි රිදී ආකාරයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබ තිබුණු ග්‍රීසියේ රිදී ආකාර වල ආදායමද රජුට පමණක් අයිති නොවී සියලු දෙනාටම අයිති වූ නිසා රිදී කැනීමට ජනතාව පෙළ ගැසුණේ විශාල උනන්දුවකිනි.


මේ කාලයේ රටවල් සතුව ස්ථිර හමුදා නොපැවති අතර හමුදා වල සේවය කළෝ ගොවීහුමය. එනිසා හමුදා නඩත්තු කිරීම වියදම් අධික කාර්යයක් වූයේ නැත. ග්‍රීසියේදී මේ තත්ත්වය වෙනස් වූ අතර ස්ථිර නාවික හමුදාවක් සාදා නඩත්තු කිරීම වෙනුවෙන් තම රිදී ලාභාංශ යෙදවීමට ග්‍රීක වැසියන් කැමති වීම අවසන් වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ මායිමටම ව්‍යාප්ත වීමෙනි.

මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත.

 'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි. මේ මතය අනුව රණ ශූර ඇලෙක්සැන්ඩර් 'ඇලෙස්කන්ඩ' වී පසුව  'ස්කන්ධ' බවට පත් වී තිබේ. ඒ දවස් වල ගෑරුප්පු පාවිච්චිය ඇරඹී නොතිබුණ නිසා රන් ගෑරුප්පු නොතිබුණත් ඇලෙක්සැන්ඩර් වයින් බිවුවේත්, කෑම කෑවෙත් රනින් වැඩ දැමූ රිදී බඳුන් වලය. (ඔව්, දැකල තියෙනවා.) එය එසේ වී නම් රන් හා රිදී වලට ඇති කතරගම දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට අපහසු නැත.

විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු පියවීම සඳහා ලෝහ යොදා ගැනීම අපහසු වූ නිසා ලෝහ වල අයිතිය සඳහන් කල පොරොන්දු පත්‍රයක් ලබා දීම පසුව මුද්‍රිත මුදල් දක්වා විකාශනය විය. එහෙත් මේ මුල් කාලීන මුද්‍රිත මුදල් වලට රන් (හෝ රිදී) වලින් මැනිය හැකි නිශ්චිත වටිනාකමක් තිබුණේය. මේ නිශ්චිත වටිනාකම නිසා රටවල් අතර වෙළඳාම තවදුරටත් කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි විය.

කෙසේ වුවද මෙවැනි කඩදාසි මුදල් ව්‍යාප්තිය වැඩි වෙද්දී එක් එක් රට වෙන වෙනම මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ඒවායේ හුවමාරු වටිනාකම පිලිබඳ අවිනිශ්චිතතාවක් ඇති විය. රන් සම්මුතිය හෝමෝ සේපියන්ස්ලා මේ ප්‍රශ්නයට සොයාගත් විසඳුමයි. මේ සම්මුතිය අනුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම රනින් මිල කෙරුණු අතර ඕනෑම රටකට මුදල් නිකුත් කළ හැකි වූයේ තමන් සතුව ඇති රන් සංචිත වල ප්‍රමාණයටය.

රන් සම්මුතිය යටතේ රටවල් අතර උද්ධමනයේ වෙනසක් තිබීමට ඉඩක් නැති අතර යම් භාණ්ඩයක මිල සෑම රටකම වැඩි හෝ අඩු වන්නේ සමාන ආකාරයකටය. උදාහරණයක් ලෙස එක් රටක තිරිඟු නිෂ්පාදනය හදිසියේම වැඩි වුවහොත් ඒ රටේ තිරිඟු මිල අඩු වෙයි. එවිට අනෙතුත් රටවලින් තිරිඟු මිල දී ගැනීම (ලාබෙට ඇති නිසා) නිසා ඒ රටට වැඩියෙන් රන් සංචිත එකතු වේ. රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම වැඩි නොවේ. අනෙකුත් රටවල රන් සංචිත අඩු වී තිරිඟු සංචිත වැඩි වන නිසා ඒ රටවල තිරිඟු මිලද මේ මට්ටමටම පැමිණේ.

එක් රටක අලුතින් රන් සංචිත හමුවූ විටද සිදු වූයේ මෙවැන්නකි. එවිට ඉල්ලුම වැඩිවී ඒ රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වේ. එවිට ඒ රට අනෙකුත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රන් සංචිත අනෙකුත් රටවලට බෙදී යයි.

මේ ක්‍රමය යටතේ එක් එක් රටවල වෙනස් මුදල් ඒකක තිබුණත් ඒවායේ වටිනාකම වෙනස් වූයේ ලෝකයේ කොහේ හෝ අලුතින් හමුවන රන් ප්‍රමාණය සහ ලෝකයේම සමස්ත නිෂ්පාදිතය අනුව එකම ආකාරයකටය. මේ ක්‍රමය බිඳ වැටී අද පවතින ක්‍රමය ඇති වූ ආකාරය පසුව සාකච්ඡා කරමු.

(පළමු හා තෙවන ඡායාරූප අන්තර්ජාලයෙනි. අනිත් දෙක ඉකොනොමැට්ටාගේය.)

Monday, July 27, 2015

අපි යන්නේ කොයි පාරේ?


"ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ" යන හෙඩිම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ කළ සාකච්ඡාවක් මෙවර ඉරිදා දිවයිනේ පළ වී තිබේ. ඔහු පළකර ඇති අදහස් පසුගිය ලිපි කිහිපයකින් ඉකොනොමැට්ටා කියන්නට හැදූ දේවල් වලට බොහෝ සමානය. පහත ඇත්තේ ඒවායින් දෙකකි.


ජයග්‍රාහකයෙකු තෝරා නැති රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නමදාහේ මහා ණයමල්ල
සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

ඉකොනොමැට්ටා කියා ඇති කරුණු වලට අමතරව, සිරිමල් අබේරත්න කියා ඇති, ඉකොනොමැට්ටා කීමට බලාපොරොත්තුවෙන් සිටි කරුණක් වූයේ ග්‍රීසිය ගොඩ දැමීමට වෙනත් අය ඉදිරිපත් වීමේ හැකියාව ලංකාව එවැනි තත්ත්වයකදී ගොඩ දැමීමට කෙනෙකු ඉදිරිපත් වීමේ හැකියාවට වඩා වැඩි බවයි. මේ ලිපිය පමා වූයේ එය පැහැදිලි කිරීමට පෙර වෙනත් මුලික සංකල්ප කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බැවිනි.

ඉකොනොමැට්ටා දෙන්නට හදන පණිවුඩය වෙනත් තැනක පැහැදිලිවම ඇති විට, කාලය නාස්ති නොකර අවශ්‍ය තැනට ඇඟිල්ල දික්කර පෙන්වීම පහසුය. සබැඳිය පහත තිබේ.

http://www.divaina.com/2015/07/26/politics03.html

මා සිතන පරිදි මේ සාකච්ඡාව කිරීමෙන් පසුව, මෙහි සඳහන් වන  "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යුරෝපා මහ බැංකුවට ගෙවිය යුතු ණය වාරික දෙක" ග්‍රීසිය විසින් පසුගිය සතියේ ගෙවා දැම්මේය. ලෝස් නැතුව මෙසේ ණය ගෙවා දැම්මේ ග්‍රීසියට හදිසියේ ස්වීප් එකක් ඇදුණු නිසා නොවේ. යුරෝපීය කොමිසමෙන් තවත් යුරෝ බිලියන 7.2ක ණයක් ලබාගනිමිනි. අළුත් ණය මුළුමනින්ම වැය කළේ පරණ ණය ගෙවීමටය. ATM යන්ත්‍ර ඉදිරිපිට ඇති පෝලිම් සහ මුදල් ආපසු ගැනීමේ සීමාවන් ඇතුළු අනෙකුත් තත්ත්වයන් තවමත් එසේමය.

ආර්ථික විද්‍යාව විද්‍යාවකි. එය විද්‍යාවක් වන්නේ ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමය බැවිනි. අදාළ මුලධර්ම පිලිබඳ විධිමත් පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකු මේ මුලධර්ම නිසියාකාරව යොදාගත් විට ලැබෙන්නේ නිශ්චිත හෝ  සමාන ප්‍රතිපලයකි. ඉකොනොමැට්ටාට පෙනෙන දෙය ඒ ලෙසින්ම මහාචාර්ය සිරිමල් අබේරත්නටත් පෙනෙන්නේ ඒ නිසාය.

"දුවන මැෂින්" ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි වෙනත් ඕනෑම ප්‍රායෝගික විද්‍යාවක ඇති අවිනිශ්චිතතාව ආර්ථික විද්‍යාවේත් තිබේ. විද්‍යාවේදී සරල හා නිශ්චිත පිළිතුරු ලැබෙන්නේ උපකල්පිත හෝ කෘතීම තත්ත්වයන් යටතේදී පමණි. මෙය ඕනෑම විද්‍යාවකට පොදුය. එසේ තිබියදී, ආර්ථික විද්‍යාව වෙනත් විද්‍යාවන්ට වඩා අවිනිශ්චිත බව පෙනීම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයකි. මේ ගැන පැහැදිලි කිරීමක්ද පසුවටය.


අවසාන වශයෙන් ඉකොනොමැට්ටාට කියන්නට අවශ්‍ය, සිරිමල් අබේරත්න කියා ඇති, වැදගත් කරුණ මෙයයි. "ග්‍රීසිය වැටුණෙ ඡන්දෙ බලාගෙන සීමාවක්‌ නැතිව ඕනම දෙයක්‌ ජනතාවට දෙන්න ලෑස්‌ති දේශපාලකයොයි, ආණ්‌ඩුවෙන් හැමදේම නිකං ගන්න බලා හිටපු ජනතාවකුයි ග්‍රීසියෙ හිටපු හින්ද."

දේශපාලකයින් වෙනස් නොවූවත් ඔබට වෙනස්වීමට බාධාවක් නැත.


(ඡායාරූප ඉකොනොමැට්ටාගේය. මීළඟ සටහන් දෙක වන "අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව" සහ"රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර"ද මේ සටහන මෙන්ම ඔටෝ-පොස්ට් වීමට සලසා ඇත.)

Monday, July 6, 2015

සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

හෝමෝ සේපියන්ස්ලා කණ්ඩායමක් ලෙස සාමූහික දේශපාලන තීරණ ගැනීමේදී දැනට බහුලවම යොදා ගන්නා ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සෑම පුද්ගලයෙකුගේම පුද්ගල අභිලාශයන්ට සමාන වටිනාකමක් ලබා දීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූ ලෙස සැලකෙන්නේ වත්මන් හෙලනික් ජනරජයේ (ග්‍රීසියේ) අගනුවර වන ඇතීනා (ඇතැන්ස්) නගරයේදීය. ඇතීනාහිදී මේ සංකල්පය බිහි වූ ක්‍රිස්තු පූර්ව සයවන සියවස පැරණි දඹදිව මෙන්ම චීනය ඇතුළු ලෝකයේ වෙනත් බොහෝ පෙදෙස් වලද දියුණු හෝමෝ සේපියන්ස් අදහස් හා දර්ශනවාද රැසක් ස්වාධීනව බිහිවූ කාලයකි. මේ අනුව වෙනත් තැන් වලත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවූ නමුත් ඇතීනාහි බිහි වූ ක්‍රමය අඛණ්ඩව වර්තමානය දක්වා දියුණු වූ ලෙස සැලකේ.

සියවස් විසිහයක සිටම තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දුන් සොක්‍රටීස් පරම්පරාවේ හෙලීනයෝ ඊයේ (ජූලි 05) තවත් තීරණාත්මක කඩඉමකට  සමාජයක් ලෙස මුහුණ දිය යුතු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කළෝය. ඒ ඔවුන් මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැතුවම බැරි තවත් විදේශ ණය මල්ලක් ලබාගැනීම සඳහා රටක් වශයෙන් කෙතරම් නම්‍යශීලී විය යුතුද යන තීරණයයි. අග්‍රාමාත්‍ය අලෙක්සීස් සිප්රස් ප්‍රධාන පාලක වාමාංශික සන්ධානය (සිරිසා) ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම ඉල්ලීම පරිදි හෙලනික් ජනපදිකයින් බහුතරයකගේ (61.3%) තීරණය වූයේ ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගත යුතු නැති බවයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා හොම්බ බිම ඇණගත් රටක් පිනට ගොඩ දැමීමට කාටවත් අමාරුවක් නැත. (ලංකාවනම් ග්‍රීසියට එවැනි උදවුවක් කර තිබේ.) එවැනි රටකට ණය ලබාදීමට වෙනත් රටවල් හෝ සංවිධාන ඉදිරිපත් විය හැකි වුවත්, එහිදී තමන් ලබාදෙන ණය ආපසු ලබාගැනීමේ හැකියාව ගැන ඔවුන් සැලකිලිමත්වීම තේරුම් ගැනීමට අපහසු නැත. ග්‍රීසියට ණය ලබා දීමට පෙර සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය වියදම් අඩු කිරීම ඇතුළු වේදනාකාරී පියවර රැසක් සඳහා කොන්දේසි ඉදිරිපත් වන්නේ මේ පදනමිනි.

ජනමතවිචාරණයේ ප්‍රතිඵලය මඟින් ග්‍රීසියේ ණය ගෙවීමේ හැකියාවට අමතරව යුරෝපීය සංගමය තුළ ග්‍රීසියේ ඉදිරි පැවැත්මද ප්‍රශ්න කෙරී ඇත. හෙලනික් ජනරජයේ බොහෝ ගොඩනැගිලි මත ග්‍රීක කොඩිය සමඟ තවමත් ලෙලදෙන යුරෝපීය සංගමයේ කොඩිය තවත් කෙතෙක් කලක් එසේ ලෙලදේදැයි අවිනිශ්චිතය.

ලංකාව මෙන් දෙගුණයක් විශාල ග්‍රීසියේ ජනගහණය ලංකාවේ ජනගහණයෙන් අඩකි. 2000දී ඇමරිකන් ඩොලර් 11,960ක් වූ ග්‍රීසියේ  ඒක පුද්ගල ආදායම යුරෝපියානු සංගමයට එක් වීමෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 2008 වන විට ඇමරිකන් ඩොලර් 31,700ක් දක්වා වර්ධනය විය. එහෙත් ග්‍රීකයින්ගේ සෞභාග්‍යයේ දේවතාවා වන ප්ලූටස්ට 2008 අවසානයේදී වූ ලෝක ආර්ථික අවපාතය හමුවේ පසුබසින්නට සිදුවිය. මේ වන විට ග්‍රීසියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19,000 මට්ටමෙනුත් පහළට වැටී ඇති අතර ප්ලූටස්ගේ මරණය කෙසේ වෙතත් ග්‍රීසියේ සෞභාග්‍යය තවත් බොහෝ සේ පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.


ඇමරිකාව ප්‍රධාන සමස්ත බටහිර ලෝකයටම විශාල අභියෝගයක් වූ 2008 ආර්ථික අවපාතයේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග බොහොමයක්ම අවසන් වූයේ මේ රටවල් වල රාජ්‍ය අංශ ප්‍රසාරණය කරමින්, සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් හා ණයබර වැඩි කරමිනි. කෙසේ වුවද, බොහෝ දෙනා පහසුවෙන් අමතක කරන කරුණක් වන්නේ කෙතරම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියකින් වුවද සම්පත් අලුතින් ජනනය කිරීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයක් බවයි.

ආර්ථික ප්‍රතිපත්ති මඟින් බොහෝ විට කෙරෙන්නේ යම් ආර්ථික ඒකකයක් සතු සම්පත් වල සංයුතිය වෙනස් කිරීමකි. මෙහිදී, නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයින්ට, පාරිභෝගිකයින්ගෙන් නිෂ්පාදකයින්ට, ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට, ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන්ගෙන් පියවරුන්ට හෝ එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු වේ. රාජ්‍ය බලය යොදා සම්පත් වල සංයුතිය මෙසේ වෙනස් කිරීමේදී ඵලදායීත්වය අඩු තැනකින් වැඩි තැනකට සම්පත් සම්ප්‍රේෂණය වුවහොත් යම් සම්පත් ජනනයක් සිදුවන නමුත් රාජ්‍ය මැදිහත්වීමක් බොහෝ විට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය.

ආර්ථික අවපාතයකදී සිදුවන රාජ්‍ය මැදිහත්වීමක් බොහෝවිට සුභසාධනය අරමුණු කර ගනී. සමාජ-දේශපාලනික අරමුණු වෙනුවෙන් යම් තාක් දුරකට රටක ආර්ථික සෞභාග්‍යය කැප කිරීමේ වරදක් නැතත් සුභසාධන ආර්ථිකයක් මඟින් බොහෝ විට දීර්ඝකාලීනව ලැබෙන්නේ නිශේධනාත්මක ප්‍රතිඵලයකි.


පසුගිය 2008 ආර්ථික අවපාතය හමුවේ වඩාත්ම පීඩනයට පත් වන කොටස් වෙත යම් සම්ප්‍රේෂණයක් කිරීම ප්‍රබල සමාජ-දේශපාලනික අවශ්‍යතාවක් විය.


ආර්ථික අවපාතයක් දිග් ගැසුණු විට එහි පීඩනය සමස්ත සමාජය වෙතම බලපෑමක් කිරීම නොවැලැක්විය හැකිය. ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට මේ සම්ප්‍රේෂණය කිරීම තුළ සිදුවිය හැකිව තිබුණේ මේ අවස්ථාවේදී නැති-බැරි අය මෙන්ම පීඩාවට පත්ව සිටි ඇති-හැකි අය තව දුරටත් පීඩාවට පත් වීමයි. සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි මේ ඇති-හැකි අය (විශේෂයෙන්ම නිෂ්පාදන අංශයන්) ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට උපකාරී වන ගාමක බලවේගය වන නිසා ආර්ථිකයට ඉක්මන් සුවයක් ලැබිය හැකිව තිබුණේ ඔවුන්ව තවත් දිරිමත් කිරීමෙන් මිස පීඩාවට පත් කිරීමෙන් නොවේ.


මේ අනුව, බොහෝ රාජ්‍යයන්හි තෝරා ගැනීම වූයේ ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන් වෙතින් ඔවුන්ගේ පියවරුන් වෙතට සම්පත් සම්ප්‍රේෂණය කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත්, අනාගතය උගසට තබා ණය ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තීරණ ගැනීමට දැනට ඇති හොඳම ක්‍රමයයි. මෙහිදී යම් ප්‍රදේශයක ජීවත්වන සෑම පුරවැසියෙකුගේම අදහස් වලට ආන්තික බලයක් ලැබේ. එහෙත්, මේ ක්‍රමයේත් දුර්වලතා නැතුවා නොවේ.

මැතිවරණයකදී ඉපදීමට සිටින පුරවැසියන්ගේ මතයට තැනක් නොලැබෙන අතර, දැනට ජීවත්වන පුරවැසියෝ එක් වී තීරණ ගැනීමේදී බොහෝ විට අනාගත පරම්පරා වල ශුභ සාධනය නොසලකා හරිති. පරිසර දුෂණය වැනි කරුණු වලදී මේ අනාගතය තරමක් දුරස්ථ වුවද, රාජ්‍ය ණය හා අදාලව මේ අනාගතය එතරම්  දුර නොවන නිසා වසර කිහිපයකින් මේ තීරණ ගත් ජනතාවටම එහි ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් දීර්ඝකාලීනව සුභසාධනය වෙත යොමුවීම ඉතා හානිකරය. සුභසාධන ආර්ථිකයකින් යම් නිශ්චිත ජන කොටසකට සහන සැලසෙන අතර එය සිදුවන්නේ ජීවත්වන වෙනත් ජන කොටසක හෝ තවමත් ඉපදී නැති අනාගත පුරවැසියන්ගේ වියදමෙනි. මේ ජන කොටස රටේ බහුතරය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුභසාධන උගුලෙන් ගැලවීම අපහසු වනු ඇති අතර එවැනි සමාජයක් ක්‍රමයෙන් ආර්ථික පරිහානිය කරා ගමන් කරනු ඇත. හඳෙන් හාල්, ඇට අට, හාල් පොත් හා තුනයි පනහේ පාන් සිට නොමිලේ ලැබේයැයි බොහෝ දෙනා සිතන අධ්‍යාපනය හා සුව සේවාවන් දක්වා ඇති යථාර්තය මෙයයි.

(ඡායාරූප සතියකට පෙර ඉකොනොමැට්ටා විසින් ගත් ඒවාය.)

මේ පිළිබඳව අරුණි ශපීරෝ‍ගේ සටහනක් මෙහි ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...