වෙබ් ලිපිනය:

Showing posts with label ජනමත සමීක්ෂණ. Show all posts
Showing posts with label ජනමත සමීක්ෂණ. Show all posts

Sunday, July 16, 2017

නිර්ධන පංතියේ හාල්මැස්සා සහ ධනපති කුකුළා


කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.

කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.

රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.

බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.

ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.

දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.

කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.


අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.

හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්‍රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.

කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.

රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.

මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.

මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.

Thursday, November 10, 2016

හිලරි ක්ලින්ටන්ට නොලැබී ගිය ඡන්ද


ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ ඇමරිකානු පුරවැසියන්ගේ ඡන්දයෙනි. ඇමරිකානු ජනාධිපතිවරණයකදී ඡන්දය භාවිතා කළ හැක්කේ ඇමරිකානු පුරවැසියන්ට පමණි.

කෙසේවුවද, ඇමරිකානු ජනාධිපති සටන ගැන උනන්දුවක් දැක්වූයේ ඇමරිකානුවන් පමණක් නොවේ. හිලරි ක්ලින්ටන්ගේ මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද ජයග්‍රහණය පැතූ ඇමරිකන් පුරවැසියන් නොවූ, බොහෝ විට කිසිදා ඇමරිකාවට පැමිණ හෝ නැති විශාල පිරිසක් ලොව වටා විසිර සිටියහ. මේ අයට ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඡන්දය දීමට ඉඩ ලැබුනේනම් කුමක් විය හැකිව තිබුණේද?

ජනමත සමීක්ෂණ ආයතනයක් වන  YouGov විසින් රටවල් 19 ක සිදුකළ ජනමත සමීක්ෂණ අනුව පෙනී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි සහයෝගයක් ඇත්තේ ඇමරිකාවේ පමණක් බවයි. ඇමරිකාවෙන් පිටත සමීක්ෂණය සිදුකළ සෑම රටකම වාගේ අතිමහත් බහුතරයකගේ ජනප්‍රිය අපේක්ෂකයා වූයේ හිලරි ක්ලින්ටන්ය. එම රටවල ජනතාවට ඡන්ද අයිතිය තිබුනේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් පැත්ත පළාතකවත් නැත.

'දී ඉකොනොමිස්ට්' සඟරාවේ පළවූ මේ සමීක්ෂණ ප්‍රතිඵල  අනුව, ඉන්දියානුවන් අතර ට්‍රම්ප්ට තිබුණේ 20%ක සහයෝගයක් පමණි. වියට්නාමයේදී මේ සහයෝගය 12%ක්ද, මැලේසියාවේදී 9%ක්ද වූ අතර ඩෙන්මාර්කයේදී 4%ක් පමණක් විය.



මේ රටවල් 19 අතරට ලංකාව අයත්ව තිබුණේ නැත. ඇතැම් විට ලංකාවේදී ට්‍රම්ප්ට අනෙක් රටවලදීට වඩා කැමැත්තක් ලැබෙන්නට ඉඩ තිබුණි.

(Image: http://abcnews.go.com/US/stories-missed-weekend/story?id=39293473)

Saturday, February 20, 2016

අන්නාසි වලින් ප්‍රවේශම් වනු!


මා මුලින්ම පෞද්ගලික ඊමේල් ලිපිනයක හිමිකරුවකු වූයේ 1995දීය. එවකට මා සේවය කළ ආයතනය සතු වූ, සෙලින්කෝ ආයතනයෙන් ලබාගත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජය සමඟ නොමිලේ ccom.lk ඊමේල් ලිපින තුනක් ලැබෙන බවත්, ඒ තුනෙන් ආයතනයේ නමට සාදාගෙන තිබුණු කාටත් පොදු ලිපිනය පමණක් ප්‍රයෝජනයට ගෙන තිබුණු බවත් දැනගත් මම ඉතිරි දෙකෙන් එකක් මගේ නමට හදාගත්තෙමි. ඒ නිසා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාටද නොතිබුණු සුවිශේෂී වරප්‍රසාදයක් භුක්ති විඳීමට මට හැකි විය. එවකට ටෙලිකොම් ආයතනය අන්තර්ජාල සේවා සැපයීමේ පුරෝගාමියා වී නොසිටි බව මගේ අනුමානයයි.

කෙසේවුවද, එම වසර අවසානයේදී මට මගේ නමට හොට්මේල් ඊමේල් ලිපිනයක්ද සාදා ගැනීමට හැකි විය. ඊමේල් භාවිතයේ පෙරළියක් ඇති කරමින් සබීර් සහ ජැක් විසින් නොමිලේ පෞද්ගලික ඊමේල් ලිපින ලබාදීමේ පුරෝගාමී කාර්යය නිල වශයෙන් දියත් කෙරුවේ 1996 ඇමරිකානු නිදහස් දවසේදී වුවත් ඊට මාස හත අටකට පෙර සිටම ඔවුන්ගේ පරීක්ෂණ සේවාවන් යටතේ ඊමේල් ලිපින නිකුත් කෙරුණේය. එවකට මා මයික්‍රොසොෆ්ට් සමාගමේ බීටා ටෙස්ටර් කෙනෙකු ලෙස ලියාපදිංචි වී සිටි නිසා ඒ හා අදාළ ෆෝරමයක සාකච්ඡාවකින් හොට්මේල් ගැන දැනගෙන මුලින්ම ලිපිනයක් ලබා ගත හැකි විය. හොට්මේල් ගිණුම සේවා ආයතනයකට සම්බන්ධ නොවූ නිසා රැකියා මාරු කරද්දී මේ ලිපිනය සෑහෙන කලක් අඛණ්ඩව භාවිතා කළ හැකි විය. මේ ඊමේල් සම්බන්ධතාව නිසා රටින් පිටත සිටි, පෞද්ගලිකව නොදන්නා 'යතුරු පුවරුවේ මිතුරි මිතුරියන්' කිහිප දෙනෙකුව ඇසුරු කිරීමේ අවස්ථාවද හිමි විය.

පදනමක් නැති වයිරල් ඊමේල් හතර අතට ෆෝර්වඩ් කිරීමේ ඉතිහාසය කෙතරම් පැරණිදැයි මා නොදන්නා නමුත් අද දක්වාත් සංසරණය වන එවැනි ඇතැම් ඊමේල් බොහොමයක්ම මා මුලින්ම කියවූයේ 1995/96 කාලයේදී බව මට හොඳින් මතක තිබේ. ඒ කාලයේදී බොහෝවිට මේ කතන්දර වල පසුබිම වූයේ ඇමරිකාවේ යම් ආයතනයක් හෝ ප්‍රදේශයකි.

ඉහත ආකාරයේ එක් ඊමේලයකින් කියවුනේ පැසිෆික් සාගරය මැද පිහිටි දූපතක් සහ මහාද්වීපික ඇමරිකාවෙන් පිටත පිහිටි ඇමරිකාවේ ප්‍රාන්තයක් වන හවායිහි සංචාරය කළ කැලිෆෝර්නියානුවෙකුට සිදුවූ බරපතල අකරතැබ්බයක් ගැනය. සිය සංචාරය අතරතුරදී ඔහු හවායි මුහුදු වෙරළක් යාබදව පිහිටි සංචාරකයින් ඉලක්ක කරගත් කුඩා වෙළඳසැලකින් අන්නාසි කෑල්ලක් මිලදී ගෙන ඇත. අන්නාසි කපද්දී වෙළෙන්දාගේ අතේ සුළු කැපුමක් ඇතිවූ බව මේ කැලිෆෝර්නියානුවා දැක්කත් ඔහු එය එතරම් ගණනකට ගෙන නැත. මේ වෙළෙන්දාට ඒඩ්ස් තිබී ඇති බවත් අන්නාසි යුෂ සමඟ මුසු වූ ඔහුගේ රුධිරය බිඳක් හේතුවෙන් තමන්ටද එච්අයිවී වයිරසය ශරීරගත වී ඇති බවත් කැලිෆෝර්නියානුවා දැනගන්නා විට ඔහු ප්‍රමාද වැඩිය.



පසුගිය වසර විස්ස තුළ මේ කතාවේ ඉන්දියානු, මැලේසියානු, ඉන්දුනීසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ආදී විවිධ වර්ෂන්  වරින් වර ඊමේල් හරහා සංසරණය වනු මා දැක තිබේ. මේ කතාව මට යළි සිහිපත් වූයේ එච්අයිවී ආසාදිතයෙකු බවට සමාජයේ පැතිර පවත්නා මතය හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරයාගේ ගම්පළාතේම දරුවෙකුට කලාපයේ පාසැලක් ලබා දිය නොහැකි බව නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂවරයා පවසා ඇති බව දැකීමෙනි.

දරුවාගේ මව පවසන පරිදි දරුවා එච්අයිවී ආසාදිතයෙකු නොවේ. ඒ බව රුධිර පරීක්ෂණයකින්ද තහවුරු කරගෙන තිබේ. මවගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ දරුවා ඇත්තටම එච්අයිවී ආසාදිතයෙකු වීනම් මේ තීරණය ඇය විසින් අපහසුවකින් තොරව පිළිගනු ඇති බවයි.

එච්අයිවී පිලිබඳ දැනුම අතින් ලංකාව තවමත් සිටින්නේ ඉතා පිටුපසිනි. පහතින් ඇත්තේ, 15-49 වයස් කාණ්ඩයේ විවාහක හෝ පෙර විවාහකව සිට ඇති කාන්තාවන් 14,692ක නියැදියක් යොදාගෙන සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව සක්‍රිය ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප පිලිබඳ සාරාංශයකි.


-එච්අයිවී ගැන අසාවත් නැති 8.2%ක් සිටී.
-බැලූ බැල්මටම නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස පෙනෙන අයෙකු එච්අයිවී ආසාදිතයෙකු විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 61.0%ක් පමණි.
-මදුරුවන් දෂ්ඨ කිරීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 47.1%ක් පමණි.
-කිසියම් අද්භූත බලවේගයක් එච්අයිවී ආසාදනයට හේතුවක් විය හැකි බව 21.3%ක් සිතති.
-එච්අයිවී ආසාදිතයෙකු සමඟ කෑම බෙදාහදාගැනීම නිසා වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 59.9%ක් පමණි.
-මවුකිරි මඟින් මවකගෙන් දරුවෙකුට එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 62.1%ක් පමණි. ඖෂධ භාවිතයෙන් මේ අවදානම පාලනය කළ හැකි බව දන්නේ 13.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත පවුලේ සාමාජිකයෙකුට සාත්තු සප්පායම් කිරීමට සූදානමින් සිටින්නේ කාන්තාවන්ගෙන් 45.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත වෙළෙන්දෙකුගෙන් එළවළු මිල දී ගැනීමට කාන්තාවන්ගෙන් 70.6%ක් සූදානම් නැත.
-එච්අයිවී ආසාදිත, එහෙත් නිරෝගී ගුරුවරියකට තවදුරටත් ඉගැන්වීමට ඉඩදියයුතුයැයි සිතන්නේ කාන්තාවන්ගෙන් 37.2%ක් පමණි.

මේ සමීක්ෂණය ඇමරිකානු ආධාර යටතේ දියුණු වෙමින් පවතින රටවල සිදුකෙරෙන සමීක්ෂණ මාලාවක ලංකාවේ පැවැත්වුණු මෑතකාලීනම සමීක්ෂණයයි. එය පැවැත්වුණු 2006/07 කාලයේ සිට ගතවුණු වසර කිහිපය තුළ දැනුමේ හා ආකල්ප වල කිසියම් වර්ධනයක් සිදුවී තිබීමේ ඉඩකඩක් ඇතත්, තත්ත්වයේ විශාල වෙනසක් සිදුවී ඇතැයි මා සිතන්නේ නැත. එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප අධ්‍යාපන මට්ටම සමඟ විශාල ලෙස වෙනස් වුවද, කොළඹ වැනි නාගරික දිස්ත්‍රික්ක වල හා උසස්පෙළ සමත් කොටස් අතර වුවද දැනුමේ හා ආකල්ප වල විශාල හිස්තැන් තිබේ.

ආප්ප කෑමෙන් පසු ආණ්ඩු පෙරලී ඇති බව වාර්තා වී ඇතත්, අන්නාසි කෑමෙන් පසු කිසිවෙකුට එච්අයිවී වයිරසය ශරීරගත වූ බවක් වාර්තා වී නැත. මෙවැනි "පොෂ්" ලෙස පෙනෙන අවිද්යාවන් පැතිරවීමට හිතාමතාම හෝ නොදැනුවත්ව බොහෝ විට වැඩි වශයෙන්ම දායක වන්නේ සාපේක්ෂව යම් උගත්කමක් ඇති අයයි.


(Images:www.onallcylinders.com, www.top10homeremedies.com)

Wednesday, January 13, 2016

ලංකාවේ ආදායම් විෂමතාවය

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.

ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.

මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.

වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.

සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.

නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.

මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.

රටක ආදායම් විෂමතාවය ප්‍රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.

මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.

(Image: www.skai.gr)

මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_9.html
 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...