වෙබ් ලිපිනය:

Tuesday, May 28, 2019

නිවාඩු වාඩුව

අද අර්ථයෙන් ගත් විට පොදු නිවාඩු කියන අදහස යුරෝපීයයන් ලංකාවට එන්න කලින් ලාංකිකයින්ට පුරුදු දෙයක් නෙමෙයි. පොදු නිවාඩු වගේම දැන් සිදු වන ආකාරයට ආණ්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු නියාමනය කිරීමත්, දවස් හතේ ස්ථිර සතිය අනුව ජන ජීවිතයේ රටාව සකස් වීමත් සිදු වුනේ ඉංග්‍රීසි කාලයේදීයි.

දවස් හතේ ස්ථිර සතියේ පදනම හා සති අන්ත නිවාඩුව පරණ තෙස්තමේන්තුව මත පදනම් වන්නක්. දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මවන්න දවස් හතක් ගන්නවා. දවස් හතක් එක දිගට මැවීම් කරන දෙවියන්ට විවේකයක් අවශ්‍ය වෙනවා.

"දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක."

පරණ තෙස්තමේන්තුවේ කතුවරුන්ට දවස් හතේ සතිය පිළිබඳ අදහස එන්න ඇත්තේත් බැබිලෝනුවන්ගෙන් වුවත් එය ලෝක සම්මතය වුණේ ක්‍රිස්තියානිය ප්‍රධාන ආබ්‍රහමික ආගම් වල බලපෑම නිසයි. ප්‍රධාන ආබ්‍රහමික ආගම් තුන දවස් හතේ සතිය පිළිබඳව එකඟ වුවත්, නිවාඩු දිනය පිළිබඳව එවැනි එකඟතාවයක් නැහැ. යුදෙවුවන්ගේ සබත් දවස සෙනසුරාදා. එහෙත්, වත්මන් ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි නිකායයන් සතියේ ප්‍රධාන ආගමික දවස සේ සලකන්නේ ඉරිදා. ඉස්ලාම් භක්තිකයන්ට වඩා වැදගත් දවස සිකුරාදා. ක්‍රිස්තියානින්ගේ ආගමික දවස ඉරිදා වීමේ ඉතිහාසය දැනට පැත්තකින් තියමුකෝ.

හින්දු හා බෞද්ධ ආගමිකයන්ට දවස් හතේ සතිය ආබ්‍රහමික ආගම් අදහන්නට තරම් වැදගත් නැතත්, එය ඔවුන්ට ආගන්තුක අදහසක් නෙමෙයි. රවිවාරය, චන්ද්‍රවාරය ආදී වූ දවස් හතේ සතිය ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය අනුව කාලය අර්ථ දක්වන එක් ක්‍රමයක්. නමුත්, එක් ක්‍රමයක් පමණයි. ජ්‍යෝතිෂ්‍යයේ මෙවැනි එක් ක්‍රමයක් වෙනුවට පංචාංගයක්ම තිබෙනවා. යුරෝපීයන්ට පෙර ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සැලසුම් කෙරුණේ මේ පංචාංගයම සැලකිල්ලට අරගෙනයි. ඒකේ එක් සබත් දවසක් වෙනුවට පෝය දවස්, කෙම්මුර දවස්, රිට්ටා දවස් වගේ විවිධ දවස් තිබුණා. නැකැත් බැලිල්ලේ පොදු දේවල් තිබුණත් එහි පෞද්ගලිකත්වයට වැදගත් තැනක් ලැබුණා. කෙනෙක්ට සුබ දවසක් හැම විටම හැම කෙනෙක්ටම සුබ දවසක් වුණේ නැහැ.

චන්ද්‍ර වර්ෂ ක්‍රමය බෞද්ධ වර්ෂ ක්‍රමය වී තිබෙන්නේ එය බුද්ධ කාලයේ භාවිතයේ වූ සම්මතය නිසා මිසක් බෞද්ධයින්ට ධර්මය අනුව පෝය දින වල අමුතු වැදගත්කමක් තිබෙන නිසා නෙමෙයි (මා වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න). පෝය දවසේ ආගමික කටයුතු වල යෙදුණා කියා හෝ නොයෙදුනා කියා බෞද්ධයෙකුට වෙන දවසක ඒ දේවල්ම කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබිය හැකි බවක් මා කොහේවත් අසා හෝ දැක නැහැ. බෞද්ධයින්ට වැදගත් සුවිශේෂී සිදුවීම් පෝය දින වල සිදු වී තිබීම හා එම සැමරුම් පෝය දින වල කිරීම වෙනම කරුණක්. නමුත්, අනෙකුත් බොහෝ ආගම් වල එවැනි සුවිශේෂී දවස් තිබෙනවා.

කොහොම වුනත් හතර පෝයට සිල් ගැනීම සැදැහැවත් බෞද්ධයින් විසින් කාලයක් තිස්සේ කළ දෙයක්. හතර පෝය කියන්නේ බෞද්ධයින්, විශේෂයින්ම සිංහල බෞද්ධයින් කාලයක් තිස්සේම ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කර තිබුණු දවස්. ධර්මය අනුව ඒ දවස් වල විශේෂයක් නොතිබුණත් එය කාලයක් තිස්සේ භාවිතයෙන් ඇතිව තිබුණු සම්මතයක්. පෝය දින වලදී බෞද්ධයින් තමන් අතින් අත් වැරදීමකින් හෝ පවක් සිදුවෙන්න තිබෙන ඉඩ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. සතුන්ට හානි විය හැකි නිසා පොළොව කෙටීම, ගිණි තැබීම වැනි කටයුතු වලින් වැලකී සිටියා. එය රජයක් හෝ රජෙක් විසින් නියම කර තිබුණු දෙයක් නෙමෙයි. අඩු වශයෙන් ආගමෙන් නියම කර තිබුණු දෙයක් හෝ නෙමෙයි.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ක්‍රිස්තියානින්ට වැදගත් දවස් පොදු නිවාඩු දින කිරීම හෝ පෝය දින වල වැඩ කිරීම මුල් කාලයේ සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් වුණා කියා හිතන්න අමාරුයි. මුලදී ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයින් වූ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමිකයින්. ඒ නිසා, තමන්ගේ ගොවිතැන් බතක් හෝ කර්මාන්තයක් කරගෙන හිටපු සිංහල බෞද්ධයින්ට අවශ්‍යනම් හතර පෝයට වැඩ නොකර ආගමික කටයුතු වල යෙදෙන්න ලොකු බාධාවක් තිබුණේ නැහැ. ඉරිදා නිවාඩුව නොසලකා ඉන්න බැරිකමක් තිබුණේත් නැහැ. නමුත්, ලංකාවට නිදහස ලැබෙන කාලය වෙද්දී පෝය නිවාඩු ප්‍රශ්නය රටේ දේශපාලනය තීරණය කළ හැකි තරමේ වැදගත් කරුණක් වෙලා. ඒක එහෙම වුනේ කොහොමද?

මුලදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියා ලබාගත් සිංහල හෝ දෙමළ බොහෝ දෙනෙක් රැකියාව ලැබෙන විට ක්‍රිස්තියානින් වී නොසිටියානම් එයින් පසුව හෝ ක්‍රිස්තියානින් වුණා. ඒ නිසා, ක්‍රිස්තියානි නිවාඩු දවස් මිසක් පෝය නිවාඩු දවස් රජයේ නිවාඩු දවස් කර ගන්න කාටවත් ලොකු උවමනාවක් තිබුණේ නැහැ. දහනවවන සියවසේ අගභාගය වෙද්දී මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. බෞද්ධ හා හින්දු පුනරුදය සමඟ ක්‍රිස්තියානියට ගොස් සිටි පරම්පරා වල උගත් අය නැවත මුල් ආගම් දෙසට නැඹුරු වීමත්, ක්‍රිස්තියානි ආකෘතියේ බෞද්ධ පාසැල් බිහිවීමත් නිසා ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික සංයුතිය වෙනස් වෙන්න පටන් ගත්තා. අනික් පැත්තෙන් ආණ්ඩුව ක්‍රමයෙන් විශාල වෙමින් සාමාන්‍ය ජනජීවිතයට ආණ්ඩුවෙන් සිදුවන බලපෑම් ඉහළ ගියා.

සංඛ්‍යාලේඛණ නොමැතිව ස්ථිරව කියන්නට පුළුවන් කමක් නැතත්, දහනවවන සියවස අගභාගය වන විටත් ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් සෘජුව සේවය කළ බෞද්ධයින් ඉන්න ඇත්තේ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුවෙනුයි. ක්‍රිස්තියානි ප්‍රතිශතය රටේ ප්‍රතිශතයට වඩා වැඩි වූ බව පැහැදිලි කරුණක්. බොහෝ විට හින්දු හා ඉස්ලාම් ආගමිකයින් වුවත්, ක්‍රිස්තියානින් තරමටම නැතත්, ආණ්ඩුව ඇතුළේ වැඩිපුර නියෝජනය වෙන්න ඇති. ඒ නිසා, පොදු නිවාඩු තීරණය කිරීමේදී එක් බෞද්ධ නිවාඩුවක් දෙන කොට ඉස්ලාම් හා හින්දු නිවාඩුව බැගින්ද දීමේ අමුත්තක් නැහැ.

නිදහස දෙන කාලය වෙද්දී රටෙන් තුනෙන් දෙකක් පමණ වූ බෞද්ධයින්ට ආණ්ඩුවේ තනතුරු වලින් බාගයක පමණවත් නියෝජනයක් ලැබී තිබෙන්න ඇති. ආණ්ඩුව ඇතුළේ තමන්ගේ නියෝජනයට සරිලන සැලකිල්ලක් නැති බව ඔවුන්ට ඇඟට දැනෙන්න ඇති. පෝය නිවාඩුව වැදගත් වෙන්න ඇත්තේ රජයේ රැකියා කළ උගත් සිංහල බෞද්ධයින්ට මිසක් සාමාන්‍ය ගැමි සිංහල බෞද්ධයින්ට නෙමෙයි.

වර්තමාන අර්ථයෙන් ගත් විට ආණ්ඩුව කියන සංකල්පයම බටහිර සභ්‍යත්වය තුළ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමික පසුබිමක බිහි වුනු සංකල්පයක්. ඒ නිසා, සෙනසුරාදා ඉරිදා වෙනුවට පෝය හා පෙර පෝය සති අන්ත කළත්, ක්‍රිස්තියානි නිවාඩු අඩු කර බෞද්ධ නිවාඩු වැඩි කළත් ආණ්ඩුවේ මූලික ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් නොවන බව රටේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික කණ්ඩායම වූ සිංහල බෞද්ධයින්ට දැනෙන එකට පිළියමක් ලෙස කරන්න තිබුණේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන ආණ්ඩුවේ බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් සටන් කරන එකයි. ආණ්ඩුවේ බලපෑම් ක්‍රමයෙන් අඩු වන විට රටක ප්‍රධාන සංස්කෘතිය ඉස්මතු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

නමුත්, නිදහස ලැබෙන්නත් කලින් ඉඳන්ම සිංහල බෞද්ධයින්ට මාක්ස්වාදී හුළං වැදී තිබුණු නිසා ඔවුන්ගෙන් බොහෝ විට ආවේ ආණ්ඩුව තවත් විශාල කෙරෙන ඉල්ලීම් මිසක් ආණ්ඩුවේ බලපෑම් ලිහිල් කරන සේ වන ඉල්ලීම් නෙමෙයි. නවීන ආණ්ඩු වල ආකෘතිය හැදී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක වුවත් ඒ ආකෘතිය තවදුරටත් ආගමික සේ සැලකිය නොහැකි තරමට පොදු දෙයක් වී ඇති නිසා ලංකාව වගේ පර්යන්තයේ පිහිටි කුඩා රටක් වෙනස්ම ආකෘතියකට යන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔය ආකෘතිය ඇතුළේම සිටිමින් ආණ්ඩුවේ උදවුවක් නැතුව ප්‍රධාන සංස්කෘතියේ විශේෂත්වය පවත්වා ගත හැකි ආකාරය ගැන ඇමරිකාව හොඳම උදාහරණයක්.

ඇමරිකන් ආණ්ඩුව ලෝකයට කෙසේ වුවත් ඇමරිකන් ජන ජීවිතයට අවම බලපෑමක් කරන ආණ්ඩුවක්. ඒ වගේම, පළමු සංශෝධනයෙන් ඇමරිකාවේ රජය හා ආගම අතර පැහැදිලි ඉරක් ඇඳ තිබෙනවා. නමුත්, අඩු වශයෙන් නත්තල් දවස ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දවසක්. ඒ වගේම, ඇමරිකාවේ ඇතැම් කාසි හා නෝට්ටු වල "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" කියන බැලූ බැල්මටම ආගමික ස්වරූපයක් තිබෙන පාඨය මුද්‍රණය කර තිබෙනවා. මෙවැනි ඇතැම් දේ පළමු සංශෝධනයට පටහැනි බව කියමින් වරින් වර විවිධ පුද්ගලයින් හා සංවිධාන අධිකරණය වෙත ගොස් ඇති වාර ගණන බොහොමයි. එහෙත්, දිගින් දිගටම මෙන් අධිකරණයේ මතය වී ඇත්තේ මේ දේවල් වලින් කිසියම් ආගමකට විශේෂත්වයක් නොකෙරෙන බවයි.

නත්තල වෙනුවෙන් ෆෙඩරල් නිවාඩු දිනයක් ලබා දීම වාරණය කර සර්ශියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන සේ ඉල්ලමින් රිචර්ඩ් ගැනුලින් විසින් 2001දී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය උදාහරණයක් විදිහට පෙන්විය හැකියි. මෙහිදී අධිකරණ මතය වුණේ නත්තල මේ වන විට නිශ්චිත ආගමකට සම්බන්ධ නැති ඇමරිකන් සංස්කෘතිය හා බැඳුනු පොදු සැමරුමක් බවයි. ඒ වගේම, මුදල් නෝට්ටු වල සඳහන් "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" පාඨය පිළිබඳ අධිකරණ මතය වී තිබෙන්නේත් භාවිතය තුළින් ඒ පාඨයේ ආගමික ස්වරූපය තනුක වී ගොස් ඇති බවයි.

මේ අධිකරණ මතය වැරදි නැහැ. නමුත්, නිවැරදිමත් නැහැ. නත්තල හා පාස්කුව සමරන්නේ කිතුණු ආගමික පසුබිමක් ඇති අය පමණක්ම නෙමෙයි. අපි අපේ දරුවන්ටත් කුඩා කාලයේදී නත්තලට නත්තල් සීයාගෙන් සේ පෙනෙන්න මොනවා හෝ තෑග්ගක් දුන්නා. පාස්කු සති අන්තයේ ඔවුන්ව බිත්තර එකතු කරන්න අරන් ගියා. ඒ දේවල් මේ වන විට පොදු ඇමරිකානු සංස්කෘතියේ කොටස්. නමුත්, කිතුණුවන් මේ දවස් වල කරන්නේ ඔය පොදු දේවල් පමණක් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙක් තමතමන්ගේ දේවස්ථාන වල දේව මෙහෙයන්ටත් සහභාගී වෙනවා. අධිකරණ තීන්දු ලබා දෙන්නෙත් නිරපේක්ෂ පදනමකම නෙමෙයි. තීන්දු ලබා දෙන්නේ මිනිස්සු. ඔවුන්ට කිසියම් සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ඒ නිසා, ආගම හා රාජ්‍යය වෙන් කළ විට ප්‍රායෝගිකව සිදුවන්නේ රටක ප්‍රධාන සංස්කෘතිය වඩා ඉස්මතු වීමයි.

කොහොම වුණත්, නිදහසින් පසු සිංහල බෞද්ධයන්ට, මම හිතන විදිහට උගත් සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වුණේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමට ලැබුණු ආකාරයේ ප්‍රමුඛතාවයක් ආණ්ඩුව හරහාම බුද්ධාගමට ලබා ගන්නයි. පොදු නිවාඩු ප්‍රශ්නයේදී මේ උවමනාව මතු වුනේ බුද්ධාගමේ විශේෂත්වය කැපී පෙනෙන තරමට බෞද්ධාගමික නිවාඩු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ උවමනාවක් විදිහටයි. වෙනත් විදිහකින් කිවුවොත් නිදහසට පෙර ඔවුන්ට සිදු වූ නිවාඩු පාඩුව වෙනුවෙන් නිවාඩු වාඩුව ගන්නයි.

නිදහසෙන් පසු අනෙකුත් ආගමික නිවාඩු වල ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත්, බෞද්ධාගමික නිවාඩු ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම, එකතු වුනේ දුරුතු හා උඳුවප් පසළොස්වක පෝය දවස්. පසුව පසළොස්වක පෝය සියල්ලම පොදු නිවාඩු බවට පත් වුණා. ඒ නමසිය පනස් හයේ බුද්ධ ජයන්තිය එක්කයි. නමුත්, වසර තුනක් යද්දී නැවතත් පෝය නිවාඩු අහෝසි කෙරුණා. එසේ අහෝසි කර රජයේ සේවකයින්ගේ අනියම් නිවාඩු ගණන 14 සිට 21 දක්වා ඉහළ දමා අවශ්‍ය කෙනෙකුට අමතර පෝය දින වලදී පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. මේ විදිහට පෝය නිවාඩු අවලංගු කෙරුණේ අනෙක් ආගමික උත්සව වෙනුවෙන් ලබා දෙන පොදු නිවාඩු ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් බෞද්ධයින්ට ලබා දෙන එක සාධාරණ නැති බව ආණ්ඩුව හිතපු නිසා වෙන්න ඇති.

ලංකාවේ නිවාඩු ක්‍රමයේ ලොකුම පරිවර්තනය කළේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. ඔහුගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව, ඒ වන විට අහෝසි කර තිබුණු පසළොස්වක පෝය නිවාඩු පමණක් නෙවෙයි හතර පෝයම නිවාඩු බවට පත් කළා. කාලයක් තිස්සේම තිබුණු ඉරිදා නිවාඩුව අහෝසි කෙරුණා. මේ වෙනසින් පසුව, සෙනසුරාදා ඉරිදා වෙනුවට ලංකාවේ සති අන්තය වුනේ හතර පෝය හා පෙර පෝය දවස් හතරයි. ඒ දවස් වල කලින් ඉරිදා පළවූ සිළුමිණ වගේ පුවත්පත් පළ කෙරුණේ පෝය දවස් වල. සඳුදා පළ වූ මිහිර පත්තරේ ආවේ පෝයට පසු දවසේ. සතියක් හැම විටම දවස් හතක් වුණේ නැහැ. සමහර සති වල දවස් අටයි. වැඩ කරන දවස් හයයි.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය පුවත වාර්තා කෙරුණු 1969 ජූලි 20 දිනය ඉරිදාවක් වුවත් එදින පෙර පෝය දිනය නිසා සිළුමිණක් වෙනුවට පළවුණේ දිනමිණක්. සිළුමිණ පළවුනේ අටවක පෝය දිනය යෙදුනු 21 සඳුදා. ඇමරිකානු අජටාකාශගාමීන් හඳ වටා රවුම් ගහද්දී, හඳ පොළොව වටා රවුම් ගහන දිහා බලාගෙන ලංකාවේ මිනිස්සු සති අන්ත ගත කළා.


මේ ක්‍රමය නිසා විවිධ ගැටළු රැසක් පැන නැගපු බව කිව යුතු නැහැ. විශේෂයෙන්ම විදේශ රටවල් සමඟ ගණුදෙනු කිරීමේදී. අඟහරුවාදා දවසකට පෝයක් වැටුණු විට සඳුදා හා අඟහරුවාදා දවස් ලංකාවේ සති අන්තය. අනෙක් බොහෝ රටවල සති අන්ත නිවාඩුව සෙනසුරාදා හා ඉරිදා. ඒ නිසා, ඇතැම් විට හදිසි වාණිජ කටයුතු දින හතරකින් කල් ගියා. 1965 අංක 17 දරණ පණතින් කළ වෙනස සමඟි පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසුව 1971 අංක 29 දරණ පණතින් නැවත ආපසු හරවා සෙනසුරාදා හා ඉරිදා දවස් නැවත සති අන්තය බවට පත් කෙරුණා. පසළොස්වක පෝය දින පමණක් දිගටම පොදු නිවාඩු දවස් වුණා.

මේ ආකාරයට 1971දී හඳුන්වා දුන් නිවාඩු ක්‍රමය අද වන තුරුත් ලොකුවට වෙනස් වී නැහැ. නිදහස ලැබෙන විට තිබුණු ක්‍රිස්තියානි ආගමික නිවාඩු දින දෙක වූ මහ සිකුරාදා දිනය හා නත්තල් දින නිවාඩුව තවමත් එළෙසම තිබෙනවා.  නමුත්, නිදහසට පෙර කාලයේදී මෙන් මේ දින ආශ්‍රිතව නිවාඩු දින වැලක් දැන් නැහැ. ජනවාරි පළමුවැනිදා දවසත් දැන් නිවාඩු දිනයක් නෙමෙයි. නිදහස ලැබෙන විට තිබුණු ඉස්ලාම් ආගමික නිවාඩු දින තුන එළෙසම තිබෙනවා. හින්දු අලුත් අවුරුදු නිවාඩුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වී දින දෙකක් වී තිබෙනවා. හින්දු ආගමික නිවාඩුවක්ව පැවති ආඩි අමාවාසෛ දින නිවාඩුව අහෝසි වී ඇතත් ඒ වෙනුවට මහා සිවරාත්‍රී හා දීපාවලි නිවාඩු දින එකතු වී තිබෙනවා. එංගලන්ත රජ පවුල හා සම්බන්ධ නිවාඩු දින අහෝසි වී කම්කරු දින හා ජාතික දින නිවාඩු එකතු වී තිබෙනවා. පසළොස්වක නිවාඩු හේතුවෙන් කලින් තිබුණු බෞද්ධාගමික නිවාඩු තුන  දහතුනක් වී තිබෙනවා. මේ අනුව, නිදහසින් පසු ලංකාවේ පොදු නිවාඩු වල සිදු වී තිබෙන ප්‍රධානම වෙනස නත්තල හා පාස්කුව ආශ්‍රිතව තිබුණු අමතර නිවාඩු අහෝසි වී පෝය දින නිවාඩු එකතු වීමයි.

ඩඩ්ලි සේනානායක රජය විසින් පෝය හතරම නිවාඩු දින බවට පත් කරන්න හේතු වුනු වාතාවරණය ගැන අදහසක් 1964 සැප්තැම්බර් මාසයේදී දවස පුවත්පතෙහි පළ කර ඇතැයි සඳහන් මඩිහේ පඤ්ඤාසීහ​ නාහිමියන්ගේ ලිපියක් කියවීමෙන් අවබෝධ කරගත හැකියි.


මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ ලිපියේ සඳහන් ඉරිදා දින නිවාඩුවත් ක්‍රිස්තියානි ආගමික නිවාඩුවක් ලෙස සැලකූ විට ක්‍රිස්තියානි ආගමික නිවාඩු දවස් 54ක්ම තිබෙනවා කියන එක පදනමක් නැති කතාවක් නෙමෙයි. හතර පෝයම නිවාඩු දින වූ වසර හය තුළ සති අන්ත වලට අමතරව බෞද්ධ නිවාඩුවක් කියා තිබුණේ වෙසක් පෝයට පසු දිනය පමණයි. නමුත්, ඇත්තටම බෞද්ධ නිවාඩු 50ක් පමණ තිබුණා. සිකුරාදා දිනය සති අන්තයට අයත් වන ඉස්ලාම් ආගමික රටවල තත්ත්වයත් එවැන්නක්.

නිවාඩු ගැන සෑහෙන්න කතා කළානේ. දැන් ඉතිං අපිත් ටික දවසකට නිවාඩුවක් ගන්නයි යන්නේ.


Monday, May 27, 2019

නිවාඩු පුරාණය (නිදහසට පෙර කතාව)

ක්‍රිස්තියානි ආගමික උත්සව හා අදාළ දවස්, බ්‍රිතාන්‍ය රජ පවුල හා සම්බන්ධ සුවිශේෂී දවස් හා ජනවාරියේ යෙදෙන අලුත් අවුරුදු දිනය පමණක් මුල් කාලයේදී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පොදු නිවාඩු සේ සැලකූ බවත්, 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වූ බවත් පෙර ලිපියේ සඳහන් කළානේ. මේ විදිහට අලුතින් එකතු කළේ තවත් අලුත් අවුරුදු දවස් තුනක්.

යුරෝපීයයන් ලංකාවට එන තුරු ජනවාරි පළමුවෙනිදා දවස ලංකාවට සුවිශේෂී දවසක් වුනේ නැහැ. ඒ වන විට ලංකාවේ භාවිතා වූ බෞද්ධ චන්ද්‍ර දින දර්ශනයේ වර්ෂය පටන් ගත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දවසිනුයි. මේෂ සංක්‍රාන්තිය සිදු වූ දවසින් ශක වර්ෂය මාරු වුණා. ඉස්ලාම් දහම ඇදහූ අය භාවිතා කළ දින දර්ශනයේ වර්ෂය මාරු වුණේ හජ්ජි උත්සවය පැවැත්වුණු මාසයෙන් පසුවයි. මේ අනුව, වෙසක්, මේෂ සංක්‍රාන්ති හා හජ්ජි උත්සව දින පොදු නිවාඩු ලැයිස්තුවට එකතු කිරීමෙන් ඉංග්‍රීසින් විසින් කළේ ක්‍රිස්තියානි නොවන බෞද්ධ, හින්දු හා ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් අලුත් අවුරුදු නිවාඩු දිනය බැගින් ලබා දීමයි.

නිවාඩු දින පණත අනුව, මේෂ සංක්‍රාන්ති දිනය නීත්‍යානුකූලව සැලකුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. මා දන්නා තරමින් ලංකාවට නිදහස ලැබෙන තුරුම නිල වශයෙන් එම නිවාඩුව නම් කර තිබුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. එයට සිංහල කෑල්ලක් එකතු වී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙන්නේ නිදහසින් පසුවයි.

මේ වෙද්දී, ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කෙරෙමින් තිබුණත් පළමුව ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියටත්, දෙවනුව කතෝලික ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි ආගම් වලටත් ලැබුණු විශේෂ සැලකිළි වල අඩුවක් වුණේ නැහැ. පොදු නිවාඩු ලබා දීමේදී වුවත්, ඉතිරි ආගම් වලට ලැබුණේ අඩු සැලකිල්ලක්. අනෙක් ආගම් අතරින් වුවත් බෞද්ධයින්ට කිසිදු විශේෂ සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඇතැම් විට ලැබුණේ වඩා අඩු සැලකිල්ලක්. බෞද්ධයින්ට එක් නිවාඩුවක් ලැබෙන විට හින්දු හා ඉස්ලාම් භක්තිකයින්ටත් එක් නිවාඩුව බැගින් ලැබුණා. ඊට අමතරව, හින්දු තෛපොංගල් දිනය බැංකු නිවාඩුවක් වුණා. ක්‍රිස්තියානි නිවාඩු ගණන අඩු වශයෙන් දහයක් වුණා. 1912 වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


මේ අතරේ 1911 දෙසැම්බර් 13 වෙනිදා ව්‍යවස්ථාදායක සභාවට ලාංකික නියෝජිතයෙකු පත් කර ගැනීම සඳහා පළමු වරට මැතිවරණයක් පැවැත්වුණා. මේ තනතුර සඳහා තරඟ කළ පොන්නම්බලම් රාමනාදන්, ඔහුගේ ප්‍රතිවාදියා වූ මාකස් ප්‍රනාන්දුව පරදවා ජයගෙන ලාංකික නියෝජිතයා විදිහට කවුන්සලේට ගියා. මේ ඡන්දයේදී ගොවිගම කුලයේ සිංහලයින්ගේ තේරීම වී තිබෙන්නේ කරාව කුලයේ මාකස් ප්‍රනාන්දු වෙනුවට වෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන් බව ප්‍රචලිත කරුණක්.


1914 වෙද්දී කලින් බැංකු නිවාඩුවක් පමණක් වූ තයිපොංගල් නිවාඩුවද  පොදු නිවාඩුවක්  වුණා. මේ අනුව, නිල වශයෙන් හින්දු නිවාඩු දින ගණන දෙකක් වුණා. තවත් වසර කිහිපයක් යද්දී, පොදු නිවාඩු ලැයිස්තුවෙන් අළු බදාදා හා උත්ථාන දින නිවාඩු ඉවත් වුණා. 1924 වෙද්දී ක්‍රිස්තියානි නිවාඩු තිබුණේ පාස්කු හා නත්තල් ආශ්‍රිතව පමණයි. එහෙත් මේ නිවාඩු දීර්ඝ නිවාඩු. නත්තලට පෙර දින සිට ජනවාරියේ අලුත් අවුරුද්දට පසුදින දක්වා නිවාඩුව දින දහයක නිවාඩුවක් වූ අතර පාස්කු නිවාඩුව දින පහක නිවාඩුවක් වුණා. බෞද්ධ හා ඉස්ලාම් නිවාඩු තිබුණේ එක බැගිනුයි. නිල වශයෙන් හින්දු නිවාඩුවක් වූ අප්‍රේල් අවුරුදු නිවාඩුවට අමතරව, තයිපොංගල් දිනයද පොදු නිවාඩුවක් වෙද්දී, බැංකු නිවාඩු ලැයිස්තුවට වේල් උත්සව නිවාඩුව එකතු වුණා. මේ අනුව, පොදු නිවාඩු ලබා දීමේදී බෞද්ධයින්ට වඩා සැලකිල්ලක් හින්දුන්ට ලැබුණු බව පැහැදිලියි. එවකට රාජ්‍ය සේවයේ සංයුතිය එයට හේතු වුනා වෙන්නත් පුළුවන්.


බෞද්ධයින්ට වෙසක් නිවාඩුවට අමතරව දෙවන නිවාඩුවක් ලෙස පොසොන් පෝය දිනද නිවාඩු ලැබෙන්නේ 1928 සිටයි. බෞද්ධයින්ට මේ දෙවන නිවාඩුව හිමි වෙද්දී හින්දුන්ටද තවත් පොදු නිවාඩුවක් ලැබෙනවා. ඒ ආඩි අමාවාසයි (ஆடி அமாவாசை) නිවාඩුවයි.


ඉන් පසුව, ඉස්ලාම් භක්තිකයින්ටද මිලාද්-උන්-නබි හා  රාමසාන් උත්සව වෙනුවෙන් තවත් පොදු නිවාඩු දින දෙකක් හිමි වෙනවා. වෙසක් නිවාඩුවද දින දෙකක නිවාඩුවක් බවට පත් වෙනවා. මේ අනුව, බෞද්ධ, ඉස්ලාම් හා හින්දු (අප්‍රේල් අවුරුදු නිවාඩුව හින්දු නිවාඩුවක් සේ සලකා) උත්සව වෙනුවෙන් දින තුන බැගින් පොදු නිවාඩු හිමි වෙද්දී, ක්‍රිස්තියානි ආගමික උත්සව වෙනුවෙන් දින 15ක පමණ දීර්ඝ නිවාඩු හිමි වෙනවා. ඊට අමතරව තවත් හින්දු ආගමික උත්සව දෙකක් වෙනුවෙන් බැංකු නිවාඩු දින තුනක්ද හිමි වෙනවා. ලංකාවට නිදහස ලැබෙන විට පොදු නිවාඩු වල තත්ත්වය ඔය විදිහයි.


Sunday, May 26, 2019

ලංකාවේ ඇන්ග්ලිකන් ආණ්ඩුවේ නිවාඩු

ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඇමරිකානු රජය හා ආගම අතර පැවතිය යුතු සම්බන්ධයේ ස්වභාවය ඉතා නිශ්චිත ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව, ඇමරිකානු කොංග්‍රසයට කවර හෝ ආගමකට ප්‍රමුඛතාවය ලැබෙන, යමෙකුගේ ආගමික නිදහසට බාධා කෙරෙන හෝ හෘද සාක්ෂියේ නිදහස යටපත් කෙරෙන නීතියක් පැනවීමේ හැකියාවක් නැහැ. ඇමරිකානු රාජ්‍යය පිහිටුවන්නේම මේ ආකාරයට ආගම හා රාජ්‍යය වෙන් කරමිනුයි.

මේ ආකාරයෙන් කැමති ආගමක් ඇදහීමේ (හෝ නොඇදහීමේ) නිදහස ඇමරිකානු ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරෙද්දී ආගම් සේ සැලකුණේ විවිධ ක්‍රිස්තියානි නිකායයන් මිස බුද්ධාගම හෝ හින්දු ආගම වැනි ආසියානු ආගම් නෙමෙයි. ඒ නිසා, විවිධ ක්‍රිස්තියානු ආගම් අදහන අයට වගේම අනෙකුත් ආබ්‍රහමික ආගම් අදහන අයටත් පොදුවේ එකඟ විය හැකි ඇතැම් දේ ඇමරිකානු රාජ්‍යය තුළින් ප්‍රවර්ධනය වීමට මේ ව්‍යවස්ථා ප්‍රතිපාදනය ලොකු බාධාවක් වී නැහැ. එවැනි දේ රජය ආගමට මැදිහත්වීමක් සේ පෙනෙන්නේ බුද්ධාගම වැනි වෙනස් දාර්ශනික පදනමක පිහිටි ආගමක් අදහන අයෙකුට පමණයි. මෙවැනි යම් සීමාවන් තිබුණත්, පොදු වශයෙන් ගත් විට ඇමරිකානු රජය ආගමින් බැහැරව කටයුතු කරන රජයක්.

ඇමරිකා ව්‍යවස්ථාවට පළමු සංශෝධනය එකතු වන්නේ 1791දීයි. ඒ යුගය සැලකූ විට, මේ ආකාරයෙන් ආගම හා රජය පැහැදිලි ඉරකින් වෙන් කිරීම හිතා ගන්නත් අමාරු තරම් ඉදිරිගාමී කටයුත්තක් කියා කියන්න පුළුවන්. ඒ වෙද්දී, ඉංග්‍රීසින් ලංකාවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත්තේ ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී වසර කිහිපයකට පසුවයි. උඩරට ගිවිසුම අත්සන් කර ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසි පාලනයකට යටත් කෙරුණේ 1815දීයි.

අද අර්ථයෙන් ගත් විට ලංකාවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ ඉංග්‍රීසින් විසින් කියා කීමේ වැරැද්දක් නැහැ. මේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට වසර ගණනාවක් ගත වුණා. මේ විදිහට ඔවුන් ලංකාවේ ස්ථාපිත කළේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක්. එසේ කීම අදහස් දැක්වීමක් හෝ ප්‍රවාදයක් නෙමෙයි. නිශ්චිත කරුණක්.

ලංකාවේ පිහිටවූ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රමුඛතාවය ලැබුණේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි. එසේ නැතුව ඇමරිකාවේ මෙන් ආගම හා රජය වෙන් කිරීමක් ලංකාවේදී සිදු වුනේ නැහැ. අඩු වශයෙන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගම් වලට හෝ ආණ්ඩුවෙන් සමාන ප්‍රමුඛතාවක් ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත් වූවන් ඇදහූ විවිධ ආගම් වලට සැලකිලි ලැබුණේ කිසියම් ධුරාවලියකට අනුව බව පැහැදිලියි.

යුරෝපීයයන් පැමිණෙන්න කලින් ලංකාවේ රජුන් හිටියත්, රාජ්‍ය පාලනයක් සිදු වුවත් ඒ රාජ්‍ය පාලනයේ අත් ජනජීවිතයේ හැම මුල්ලකටම දිගු වී තිබුණේ නැහැ. නමුත්, ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රමයෙන් ශක්තිමත් වෙද්දී රටේ මිනිස්සුන්ට තවදුරටත් ආණ්ඩුවේ ග්‍රහණයෙන් මිදී සිටීමේ හැකියාවක් ඉතිරි වුණේ නැහැ.

යුද්ධ හා කැරළි අවස්ථා වලදී ඉංග්‍රීසි හමුදා වල භූමිකාව වඩා ප්‍රබල වුවත්, අනෙකුත් කාල වලදී ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ ජන ජීවිතයට බලපෑම් කලේ ඔවුන්ගේ සිවිල් සේවය හරහායි. එහි ශාඛා ගණනාවක් තිබුණා. ආගමික ශාඛාවත් (ecclesiastical branch) එයින් එකක්. එහි ප්‍රධානියා වූයේ බිෂොප් වරයායි. බිෂොප් වරයාට මෙන්ම ධුරාවලියේ ඔහුට පහළින් සිටි අනෙකුත් ඇන්ග්ලිකන් පූජකවරුන්ටත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිශ්චිත වැටුප් හිමි වුණා.

ලංකාවේ සිවිල් සේවය ස්ථාපිත කිරීමෙන් පසුව, ඇන්ග්ලිකන් පල්ලි සැලකුණේ ආණ්ඩුවේම කොටසක් ලෙසයි. ආණ්ඩුවේ සිවිල් සේවකයෙකු ලෙස බිෂොප් වරයා (1871දී) ලැබූ පවුම් දෙදහසක වැටුප තවත් එවැනිම ඉහළ නිලධාරියෙකු වූ යටත් විජිත මහලේකම්ගේ වැටුපට සමානයි. සිවිල් සේවයේ නිලධාරීන් අතරින් ඊට වඩා වැඩි වැටුපක් හිමි වුණේ අධිකරණ ශාඛාවේ ප්‍රධානියා වූ අගවිනිසුරුට පමණයි. (සිවිල් සේවයට උඩින් සිටි ආණ්ඩුකාරවරයාගේ වැටුප මෙහිදී සලකා නැහැ.)

1886 අංක 4 දරන නිවාඩු දින පණත සම්මත කෙරෙන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. ඉරිදා දිනයද නිවාඩු දිනයක් වුණා. උදාහරණයක් ලෙස 1871 වසරේදී, අළු බදාදා දිනය, මහ සිකුරාදා දිනය, පාස්කුව වෙනුවෙන් දින දෙකක්, උත්ථාන දිනය හා නත්තල වෙනුවෙන් දින තුනක් වශයෙන් ක්‍රිස්තියානි ආගමික කටයුතු වෙනුවෙන් නිවාඩු දින අටක් වෙන් වී තිබුණා. රැජිනගේ උපන් දිනය හා මෞලි මංගල්‍ය සැමරුම් දින වෙනුවෙනුත්, වේල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙනුත් තවත් නිවාඩු දින තුනක් ලබා දී තිබුණා. මීට අමතරව ජනවාරියේදී අලුත් අවුරුදු නිවාඩුවකුත් තිබුණා.


1884 වසර වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මේ පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා. පණත හරහා ඉංග්‍රීසින් විසින් කර තිබෙන්නේ ඇන්ග්ලිකන් ආගම ඇතුළු ක්‍රිස්තියානි ආගම් වලට ප්‍රමුඛතාවය දෙන අතරම ක්‍රිස්තියානි නොවන ආගම් වලට නොකර බැරිකමට ඉතා සුළු සැලකිල්ලක් කිරීමයි.


කොහොම වුනත්, 1880 දශකය කියන්නේ ලංකාවේ ආණ්ඩු ව්‍යුහයේ වෙනසක් සිදු වූ කාලයක්. 1886 අවුරුද්දේ වෙසක් පෝය ලංකාවේ පොදු නිවාඩු දිනයක් වුනේ හෙන්රි ස්ටීල් ඕල්කොට් වැනි අය ඒ වෙනුවෙන් සටන් කළ නිසාම නෙමෙයි. වෙසක් නිවාඩුව එක්කම මහමදිකයින්ට හජ්ජි නිවාඩුවක්, හින්දුන්ට අළුත් අවුරුදු නිවාඩුවක් හා තෛපොංගල් බැංකු නිවාඩුවක්ද ලැබීමෙන් මේ වෙද්දී බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සිදුවූ වෙන්සක්කමක ඡායාවන් දකින්න බැරිකමක් නැහැ. ඒ වන තෙක් මිථ්‍යා දෘෂ්ඨීන් සේ හඳුනාගත් ආබ්‍රහමික නොවන ආගම් නිල වශයෙන් විකල්ප ආගම් සේ පිළිගැනීම විශාල සංකේතාත්මක වැදගත්කමක් තිබෙන කරුණක්. ආණ්ඩුව ඒ වන විටත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් තමයි. නමුත්, කලින් තිබුණාට වඩා ටිකක් අඩුවෙන්.

ලොකුවට නොවුණත් ලංකාවේ ආණ්ඩුව මේ ආකාරයට නිර්-ආගම්කරණය වෙන්න පටන් ගත්තේ 1881දී පමණ සිටයි. 1870 අංක 14 දරන පනතින්, 1840 අංක 1 දරන පණතේ ඇතැම් ප්‍රතිපාදන අහෝසි කෙරුණු අතර ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කර හරින්න පටන් ගැනුණා. ඒ වන සිට තනතුරු දැරූ ඇන්ග්ලිකන් පූජකයින්ට ආණ්ඩුවෙන් ගෙවූ වැටුප් ඔවුන් අදාළ තනතුරු දරන තුරු දිගටම ගෙවන්නටත්, අදාළ තනතුරු පුරප්පාඩු වීමෙන් අනතුරුව නැවත එම තනතුරු නැවත නොපුරවා සිවිල් සේවයේ ආගමික අංශය අහෝසි වී යාමට ඉඩ සැලසීමත් මේ පනතේ අරමුණ වුනා.


1881දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සුළුවෙන් වුවත් නිර්-ආගමික වෙන්න අඩියක් තිබ්බේත්, ඊට දශක නවයකට පෙර ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන් ආගම හා රාජ්‍යය වෙන් කෙරුණේත් එකම පසුබිමක නෙමෙයි. 1791 කාලයේදී බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම් ආශ්‍රිත දැනුම සැලකුණේ භෞතික විද්‍යාව හා ගණිතය වැනි කිසියම් ආකාරයක නවීන දැනුමක් ලෙසයි. බුද්ධාගම වැනි ආගම් ක්‍රිස්තියානියට විකල්ප දැනුම් සේ සැලකුනේ නැහැ. ඇමරිකාව ආගම් හා රජය වෙන් කිරීමෙන් කළේ ක්‍රිස්තියානි ආගමික දැනුම ඉදිරියට ගෙන ගිය විවිධ පාර්ශ්ව වලට වඩා නිවැරදි දේ සොයා ගැනීමට ඉඩ සලසමින් ආණ්ඩුව පැත්තක් නොගෙන සිටීමයි. ඒ වෙද්දී විද්‍යාව හමුවේ ක්‍රිස්තියානි ආගම් පසුබෑමට ලක් වී තිබුණේ නැහැ.

නමුත්, 1880 වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයේ මේ තත්ත්වය වෙනස් වෙලා ක්‍රිස්තියානි ආගම් වලට අනෙකුත් නවීන දැනුම් එක්ක ඉදිරියට යන්න බැරි තත්ත්වයක් ඇති වී අවසන්. ඒ නිසා, ලංකාවේ සිවිල් සේවයේ අධිකරණ, වෛද්‍ය, විද්‍යාත්මක ආදී අනෙකුත් ශාඛා එක්ක ආගමික ශාඛාවේ නොගැලපීමක් ඇති වී තිබුණා. විද්‍යාත්මක දැනුමක් ලෙස නොසලකා විශ්වාස මත පදනම් වූ දැනුමක් ලෙස පමණක් සලකා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියට තැනක් දෙන ස්ථාවරයකට ඉංග්‍රීසි ආණ්ඩුව තල්ලු වුනාට පස්සේ එවැනි පදනමකින් ක්‍රිස්තියානි නොවන වෙනත් ආගමක් අදහන අයෙකුට නිවාඩුවක් දීමේ සෛද්ධාන්තික ගැටලුව අහෝසි වී ගියා. ලංකාවට 1886 සිට වෙසක්, අවුරුදු හා හජ්ජි නිවාඩු ලැබුණේ ඒ නිසයි.

Saturday, May 25, 2019

නිවාඩු පාඩු


ඕස්ට්‍රේලියාව නිවාඩු ගැන වසර කිහිපයකට පෙර රසික විසින් ලියා පළ තිබෙන බ්ලොග් ලිපියක් නම් කර තිබෙන්නේ "නිවාඩු පාඩුව" ලෙසයි. අදාළ ලිපිය ඔහු විසින් ආරම්භ කරන්නේ මේ විදිහටයි.

"ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි."

මා කලින් ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින ගණන දහයක් පමණයි. රසිකගේ ලිපියට අනුව ඔහු වසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ පොදු නිවාඩු දින ගණනත් දහයක් පමණයි. ඒ දහයෙන් හතරකටම ආගමික පසුබිමක් තිබීම ඇමරිකාවට සාපේක්ෂව දැකිය හැකි එක් වෙනසක්.

ලංකාවේ පොදු නිවාඩු දින ගණන 25ක් පමණ වෙනවා. ඒ අතරින්, ජාතික දින නිවාඩුව, කම්කරු දින නිවාඩුව හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින දෙක හැරුණු විට ඉතිරි නිවාඩු සියල්ලටම තිබෙන්නේ ආගමික පසුබිමක්. බෞද්ධ (පෝය) නිවාඩු දින ගණන 13ක්. මෙය 14ක් වෙන්නත් පුළුවන්. හින්දු හා ඉස්ලාම් ආගමික පසුබිමක් ඇති ඇති නිවාඩු තුන බැගින්. ක්‍රිස්තියානි/කතෝලික පසුබිමක් සහිත නිවාඩු දෙකක්.

මේ ගැන ජගත් පතිරණ විසින් ඔහුගේ මතය ඉදිරිපත් කර තිබෙන්නේ පහත ආකාරයටයි.

"ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව කුමක්දැයි වටහාගත යුතුයි.
1815 සිට අද දක්වා මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. 
මෙහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ලෙසත් සිංහල, දෙමළ මුස්ලිම් සංස්කෘතීන්ට සමාන තැනක් ලැබිය යුතුයැයි මතයක් ඇතිවුනා.
ඒ සමඟම නිදහසින් පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රධාන තැන ලැබිය යුතුයැයි සිංහල බෞද්ධයන් අතර මතයක් ඇතිවුනා. මෙම හේතු නිසා සිංහල බෞද්ධයන්ට වැදගත්වන නිවාඩු දින නිල නිවාඩු දින ලෙස නම් කිරීමටත්, ඒ සමඟම දෙමළ මුස්ලිම් වාර්ගිකයන්ට වැදගත් වන දිනත් නිවාඩු දින ලෙස නම් කිරීමටත් සිදුවුනා. ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව ප්‍රධාන සංස්කෘතිය සහ මහජාතියේ සංස්කෘතිය එකක් නොවීම ලෙස සැලකිය හැකියි."

ලංකාවේ ආගමික නිවාඩු වැඩිවීමේ ඓතිහාසික පසුබිම සම්බන්ධව යම් දුරකට ජගත් පතිරණ සමඟ එකඟ විය හැකියි. ඒ ගැන කතා කිරීම පසුවට තබා රසික විසින් සඳහන් කර තිබෙන නිවාඩු පාඩුව කියන කරුණට ආවොත් පෞද්ගලිකව මටනම් මේ කියන වෙනස බලපෑවේ තනිකරම අනිත් පැත්තටයි.

මා ලංකාවේ සිටියදී අවසන් වරට සේවය කළ ආයතනයේදී ඉහත සඳහන් පොදු නිවාඩු 25කට නොඅඩු ප්‍රමාණයට අමතරව පෞද්ගලික නිවාඩු 42කටද හිමිකම තිබුණා. ඊටත් අමතරව, මාසයකට දෙක බැගින් කෙටි නිවාඩුත් තිබුණා. නමුත්, ප්‍රායෝගිකව නිවාඩුවක් ගන්න කියා ඉඩක් ලැබුනේම නැති තරම්. ඒ වෙනුවට, බොහෝ විට සිදු වුණේ සෙනසුරාදා, ඉරිදා හා පොදු නිවාඩු දිනවලද වැඩ කරන්න සිදු වීමයි. ඇතැම් මාස වල දින 31ම සේවයට වාර්තා කර තිබුණා.

වැඩ කළ දින ගණන වගේම, දවසකට වැඩ කළ පැය ගණනත් සේවා ගිවිසුම අනුව සේවා ස්ථානයේ රැඳී සිටිය යුතු පැය ගණනට වඩා ගොඩක් වැඩියි. වැඩිම වුනොත් උදේ හත වෙද්දී පුටුවේ වාඩි වීමෙන් පසුව, ගෙදර යන්න පුටුවෙන් නැගිට්ටේ හවස හතට පමණයි. ඒ සාමාන්‍ය දවසකදී. වැඩ අධික දවස් වලනම් පාන්දර දෙක තුන වන තුරුත් කාර්යාලයේ රැඳී හිටියා. එහෙම ඉඳලත් පැය දෙකක පමණ නින්දක් ලබා පහුවෙනිදා උදෙන්ම නැවත සේවයට වාර්තා කළා. මේ විදිහට වැඩ කළේ සාමාන්‍ය වැටුපට අමතරව අතිකාල දීමනා හෝ වෙනත් විශේෂ දීමනා ආදී කිසිවක් ලබා ගනිමින් නෙමෙයි. විශේෂ දීමනා වලට හිමිකම් තිබුණත් ඒ දීමනා ලබා ගැනීම කාර්යාල සම්ප්‍රදායක් වූයේ නැහැ. හිලවු නිවාඩු ලබාගන්න පුළුවන්කම තිබුණත්, අයිති නිවාඩු ටිකත් නොගනිද්දී, හිලවු නිවාඩු එකතු කර ගැනීමේ වාසියක් තිබුණේ නැහැ. මේ විදිහට අමතර වාසි නොලබමින් දරු පවුල සමඟ ගෙවිය යුතු කාලය කාර්යාලයට දිය කරන අපේ මිත්‍රයින් ගණනාවක් දැනටත් ලංකාවේ ඉන්නවා.

කොහොමින් කොහොම හරි ඔය විදිහට වැඩ කරමින් ඉඳලා ඇමරිකාවට ආවට පස්සේ පෞද්ගලිකව මටනම් නිවාඩු පාඩුවක් වෙනුවට සිදුවුණේ වාසියක් කියා කියන්න පුළුවන්. දරු පවුල එක්ක ගෙවන්න කලින් නොලැබුණු කාලයක් ඇමරිකාවට ආවට පස්සේ ලැබුණා. ඇමරිකාවේදී බොහෝ විට කරන වැඩ වල ඵලදායීතාවය මිසක් වැඩ කරන පැය ගණන වැදගත් සාධකයක් නෙමෙයි. වෙළඳපොළ යාන්ත්‍රණය විසින් කරන වැඩ වල ඵලදායීතාවය හා ගැලපෙන වැටුපක් ලැබෙන බව තහවුරු කෙරෙනවා. ලංකාවේදී එවැනි දෙයක් වෙන්නේ නැහැ.

ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු, ප්‍රාන්ත නිවාඩු ආදිය මිසක් පොදු නිවාඩු කියා කිවහැකි නිවාඩු නැහැ. කිසියම් ආයතනයක සේවකයින්ට හිමිවන වැටුප් සහිත නිවාඩු දින මොනවාද කියා තීරණය කෙරෙන්නේත් අවසාන වශයෙන් වෙළඳපොල යාන්ත්‍රණය විසිනුයි. තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ද ඇතුළුව තරඟකාරී වෙළඳපොළ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවනම් මිනිස්සු වැඩකරන දවස්, පැය ගණන් හා නිවාඩු දවස් ආදිය ඉල්ලුම හා සැපයුම මත කාටත් සාධාරණ විදිහට නිර්ණය වෙනවා. එයට ආණ්ඩුව මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

ඒ වුණත්, සේවක සේව්‍ය පාර්ශ්ව දෙක කැමැත්තෙන් සේවා ගිවිසුමකට ඇතුළත් වුනාට පස්සේ එක් පාර්ශ්වයක් ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අනෙක් පාර්ශ්වයට අලාභයක් වීමේ අවදානම වලක්වන නීති පද්ධතියක් හා ඒ නීති පද්ධතිය බලාත්මක කරන යාන්ත්‍රණයක් රටකට අවශ්‍යයි. ආණ්ඩුවක කාර්ය භාරය තියෙන්නේ එතැනයි. ගිවිසුම් නීති නිසි සේ ක්‍රියාත්මක වෙනවානම් අමුතුවෙන් කම්කරු නීති කියා දෙයක් අවශ්‍ය වන්නේ නැති තරම්.

කිසියම් නිශ්චිත දිනයක් බොහෝ දෙනෙක් නිවාඩු දිනයක් සේ සලකනවානම් වෙළඳපොළ යාන්ත්‍රණය යටතේ ඒ දවස නිවාඩු දිනයක් වෙන්න විශාල ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට සිංහල අවුරුදු දිනය සැලකුවොත්, රටේ බහුතරයක් මේ දවස කාර්යාලයක ගත කරන්න කැමති නැහැ. ඒ නිසා, සිංහල අවුරුදු නිවාඩුවක් නොතිබුණානම් ඒ දවසට ලංකාවේ ගොඩක් අය තමන්ගේ පෞද්ගලික නිවාඩුවක් හෝ දමලා ගෙදර නවතිනවා. ආයතනයක සේවකයන්ගෙන් විශාල පිරිසක් එකම දවසක සේවයට වාර්තා නොකළොත්, ඇතැම් ස්ථිර පිරිවැය සැලකූ විට එදාට ඒ එන ටික දෙනා එක්ක ආයතනය පවත්වාගෙන යනවාට වඩා ආයතනය වසා තබන එක වාසියි. එහෙම බැලුවාම ඒ වගේ දවස් වල ආයතනයක් විවෘතව තැබීමෙන් ආයතනය හිමිකරුවන්ටයි "නිවාඩු පාඩුවක්" වෙන්නේ. කම්කරු නීති වල කියා නැතත් ඇඟලුම් කම්හල් වැනි තැන් වල අවුරුදු සතියම වගේ නිවාඩු දෙන්නේ මේ නිසයි.

එසේ නොවන, ආයතනය වැඩි පිරිවැයක් දරමින් හෝ විවෘතව තබා ගැනීම වාසිදායක වන අවස්ථාත් තිබෙනවා. මේ වගේ නිවාඩු දවසක සේවයට වාර්තා කිරීම දිරිගන්වනු පිණිස අතිකාල හෝ වෙනත් විශේෂ දීමනා ගෙවමින් නිවාඩු දින වලදීත් විවෘතව තබා ගන්නේ එවැනි ආයතනයි. මේ දිරිගැන්වීම් නිසා සිංහල අවුරුද්ද සමරන්නේ නැති අයට අමතරව, සිංහල අවුරුදු දින ගෙදර සිටීමට වඩා ලැබෙන අමතර මුදල වටින්නේයැයි සිතන පිරිසකුත් අවුරුදු දවසේ සේවා ස්ථාන වලට ආකර්ශනය කරගන්න හැකි වෙනවා. අමතර මුදලක් අතට ලැබෙන නිසා ඔවුන්ට නිවාඩු දවසේ වැඩ කළා කියා පාඩුවක් වෙන්නේ නැහැ.

ඇමරිකාවේ පෞද්ගලික ආයතන බොහොමයක්ද ඇතැම් දින වලදී පඩි සහිත නිවාඩු ලබා දෙන්නේ මේ පදනමිනුයි. ජනවාරි පළමුවෙනිදා හෝ නත්තල් දවසේ නිවාඩු නොදුන්නොත් බොහෝ සේවකයින් තමන්ගේ පෞද්ගලික නිවාඩු අරගෙන හෝ ගෙදර නවතිනවා. ඒ නිසා, ඒ දිනවලදී ආයතන විවෘතව තබා ගැනීම අසීරුයි. නමුත්, සිංහල අවුරුදු දවසේදී හෝ වෙසක් දවසේදී ඇමරිකාවේ ආයතනයකට මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

මේ ආකාරයට පඩි සහිත නිවාඩු දෙන දවස් කිසියම් ආයතනයක සේවකයන්ගේ ජනවිකාශ ව්‍යාප්තිය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට දීපාවලී දවස සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආයතනයක නිවාඩු දවසක් නොවූවත්, ඉන්දියානු සම්භවයක් ඇති අය විශාල පිරිසක් සේවය කරන තැනක දීපාවලි දිනය පඩි සහිත නිවාඩුවක් වෙන්න පුළුවන්. චීන සම්භවයක් ඇති විශාල පිරිසක් ඉන්න තැනක චීන අලුත් අවුරුදු දවස නිවාඩු දවසක් වෙන්න පුළුවන්.

මානව සම්පත් කළමණාකරණ සංගමය විසින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයේ 2017 වසර සඳහා වූ දත්ත අනුව, ඇමරිකාවේ ආයතන වැඩිම ප්‍රමාණයක් වසා තැබෙන්නේ ස්තුති කිරීමේ දිනයේදීයි. එදින, ආයතන 97%ක්ම වසා තැබෙන අතර විවෘතව තැබෙන්නේ ආයතන වලින් 3%ක් පමණයි. මේ අනුව, ඇමරිකාවේ නිවාඩු දින අතරින් ප්‍රධානම නිවාඩුව සේ සැලකිය හැක්කේ ස්තුති කිරීමේ දින නිවාඩුවයි. එයින් පසුව, නත්තල් නිවාඩුවත් කිට්ටුවෙන්ම තිබෙනවා. කිසියම් දිනයක සීමිත පැය ගණනකට හෝ සාමාන්‍ය කාලය පුරාවටම විවෘතව තැබෙන ආයතන ගණන අනුව ඇමරිකාවේ නිවාඩු පහත ආකාරයට පෙළගැස්විය හැකියි.

ස්තුති කිරීමේ දිනය- 3%
නත්තල් දිනය- 4%
සිහි කිරීමේ දිනය- 6%
කම්කරු දිනය- 6%
නිදහස් දිනය- 6%
අලුත් අවුරුදු දිනය- 9%
ස්තුති කිරීමේ දිනට පසුදින- 23%
නත්තලට පෙර දින- 24%
අලුත් අවුරුදු දිනට පසු දින- 28%
අලුත් අවුරුදු දිනට පෙර දින- 46%
පාස්කු ඉරිදා- 49%
නත්තලට දෙදිනකට පෙර දිනය- 60%
මාටින් ලූතර් කිං දිනය- 61%
ජනාධිපති දිනය- 66%
මහ සිකුරාදා- 67%
නත්තලට තෙදිනකට පෙර දිනය- 68%
අලුත් අවුරුදු දිනට දෙදිනකට පෙර දිනය- 70%
අලුත් අවුරුදු දිනට තෙදිනකට පෙර දිනය- 71%
නත්තලට පසු දිනය- 71%
නිදහස් දිනට පෙර දිනය- 77%
ස්තුති කිරීමේ දිනට පෙර දිනය- 78%
වෙතරානුවන්ගේ දිනය- 80%
නත්තල හා අලුත් අවුරුද්ද අතර ඉතිරි දෙදින- 84%
කම්කරු දිනයට පෙර දිනය- 85%
කොලොම්බස් දිනය- 86%
වෙතරානුවන්ගේ දිනයට පෙර සිකුරාදා දිනය- 88%

යුදෙවු, ඉස්ලාම් හා හින්දු ආගමික උත්සව පැවැත්වෙන දින වලදීත් ඇතැම් ආයතන වසා තැබෙන නමුත් ඒ සුළු ප්‍රතිශතයක්.

ඉහත ලැයිස්තුව දෙස පරීක්ෂාකාරීව බැලූ විට පෙනී යන්නේ ලංකාවේ ඇඟලුම් කම්හල් වල අලුත් අවුරුදු සතිය පුරාවටම නිවාඩු ලබා දෙන්නාක් මෙන් ප්‍රධාන නිවාඩු දින වලට පෙර හෝ පසු දින ආයතන වසා තබමින් දිගු සති අන්ත තවත් දිගු කිරීම බොහෝ ආයතන විසින් සිදු කරන්නක් බවයි. මෙය තනිකරම ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම මත සිදු වී තිබෙන දෙයක්.

නත්තල හා ජනේරුව අතර කාලය තුළ බොහෝ ආයතන විවෘතව නොතැබෙන බවත් පෙනෙනවා ඇති. මේ දෙසතිය තුළ බොහෝ සේවකයින් තමන්ගේ ඉතිරිව තිබෙන පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට පෙළඹීමත් මෙයට හේතු වී තිබෙනවා.

Friday, May 24, 2019

දැන් නිවාඩු කාලෙ හින්ද...


අවුරුද්දක් ඇතුළත අපට නිවාඩු ලැබෙන අවස්ථා හතක ලැයිස්තුවක් කලින් ලිපියේ පළ කළා. අපට අහිමි, මිලියන දෙකක් පමණ වන ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍ය සේවකයින්ට හිමි, තවත් නිවාඩු දින තුනක් ද ඇතුළත්ව ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.

1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. වොෂින්ටන්ගේ උපන් දිනය හෙවත් ජනාධිපති දිනය- පෙබරවාරි මාසයේ තෙවන සඳුදා
4. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
5. නිදහස් දිනය- ජූලි 4
6. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
7. කොලොම්බස් දිනය- ඔක්තෝබර් මාසයේ දෙවන සඳුදා
8. වෙතරානුවන්ගේ දිනය- නොවැම්බර් 11
9. ස්තුති කිරීමේ දිනය- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා
10. නත්තල් දිනය- දෙසැම්බර් 25

ෆෙඩරල් නිවාඩු දවස් දහයෙන් පහක්ම හැම විටම වැටෙන්නේ සඳුදා දවසකයි. ඒ නිසා, අදාළ සති පහම අවසන් වන්නේ දිගු සති අන්ත වලින්. ස්තුති කිරීමේ දිනය හැම විටම යෙදෙන්නේ බ්‍රහස්පතින්දා දිනකයි. එයින් පසුව එළඹෙන කළු සිකුරාදා දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් නොවූවත් ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩක පමණ නිවාඩු දිනයක් බැවින් ඒ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ට ඒ සති අන්තය ද දිගු සති අන්තයක්. අලුත් අවුරුදු දිනය, නිදහස් දිනය, වෙතරානුවන්ගේ දිනය හා නත්තල් දිනය යෙදෙන්නේ වසරේ නිශ්චිත දිනයක නිසා ඒ දවස් සතියේ ඕනෑම දවසක යෙදෙන්න පුළුවන්. නමුත්, මේ දිනයක් සෙනසුරාදා දිනයක යෙදුනොත් ඊට පෙර සිකුරාදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ වගේම ඉරිදාවක වැටුණොත් ඉන් පසු එළඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ නිසා, මේ නිවාඩු දවසකිනුත් දිගු සති අන්තයක් හැදෙන්න 4/7ක සම්භාවිතාවක් තිබෙනවා.

කලින් ලිපියට ප්‍රතිචාරයක් දමමින් කට්ටකාඩුවේ ලොකු මල්ලී විසින් නිවැරදිව හඳුනාගෙන තිබෙන පරිදි, මේ නිවාඩු දවස් දහයෙන් වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන් අත් විඳින සිවිල් නිදහස හා සම්බන්ධයි. ඇමරිකාවේ මුල් ජනපද 13 එක්ව ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරමින් වත්මන් ඇමරිකා එක්සත් ජනපදය පිටුවීම නිදහස් දිනයේදී සැමරෙනවා. වත්මන් ඇමරිකානුවන් භුක්ති විඳින නිදහසේ අඩිතාලම වන්නේ මෙසේ ඇමරිකන් රාජ්‍යය පිහිටුවීමයි. වොෂින්ටන්ගේ උපන් දිනය සැමරෙන්නේ මෙසේ පිහිටවූ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පළමු ජනාධිපති වූ ජෝජ් වොෂින්ටන් සිහිපත් කිරීමටයි.

නිවාඩු දින දහයෙන් තවත් නිවාඩු දින දෙකක් මෙසේ පිහිටවූ රාජ්‍යය මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම හා සම්බන්ධයි. වෙතරානුවන්ගේ දිනය යෙදෙන්නේ පළමු ලෝක යුද්ධය අවසන් වූ දිනයි. සිහි කිරීමේ දිනයේදී පොදුවේ විවිධ යුද්ධ වලදී ඇමරිකන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවිදුන් ආරක්ෂක හමුදා සාමාජිකයින් සිහිපත් කෙරෙනවා. කම්කරු දිනයේදී ඇමරිකන් කම්කරු ව්‍යාපාරය විසින් ලබාගත් ජයග්‍රහණ සැමරෙන අතර,  මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනයේ දී සැමරෙන්නේ අප්‍රිකානු ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුවයි. මේ අනුව, ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දහයෙන් අඩු වශයෙන් හයක් සෘජුවම ඇමරිකානු රාජ්‍යය පිහිටුවීම, ආරක්ෂා කර ගැනීම හා ඇමරිකානු සිවිල් නිදහස හා සම්බන්ධයි.

ඉතිරි නිවාඩු දින හතරට තිබෙන්නේ සංස්කෘතික පසුබිමක් කියා කිව හැකියි. අලුත් අවුරුදු නිවාඩුව අලුත් වසරක ආරම්භයයි.

ජනවාරි පළමුවෙනිදා ඇමරිකාවේ අලුත් අවුරුදු දිනය සේ සැලකෙන්නේ යුරෝපීයයන් ඇමරිකා මහාද්වීපයේ පැලපදියම් වී ජුලියන් කැලැන්ඩරයද සමඟ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකානු භූමියේ පැල කරනු ලැබීම නිසයි. එයට අඩිතාලම වැටෙන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයේ පය තැබීමෙන් පසුවයි. ඒ අනුව, කොලොම්බස් දින නිවාඩුවෙන් සැමරෙන්නේ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවේ පැලපදියම් වීමේ ආරම්භයයි.

කොලොම්බස්ගේ පැමිණීම බටහිර යුරෝපීය සම්භවයක් ඇති අයට අභිමානයෙන් සිහිපත් කළ හැකි දෙයක් වුවත්, ඒ වන විට ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වූ දේශීය ඇමරිකානුවන්ගෙන් පැවැත එන්නන්ට ඒ දිහා ඒ ආකාරයෙන්ම බලන්න පුළුවන්කමක් නැහැ. බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවට පැමිණුනේ ඒ වන විට පැවති දේශීය සංස්කෘතිය මරා දමමිනුයි. ඒ නිසා, කොලොම්බස් දිනය සැමරීම තරමක් විවාදිත කරුණක්. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රාන්ත වල මේ දිනය කොලොම්බස් දිනය සේ සමරනු වෙනුවට ආදි ඇමරිකානු දිනය සේ නම් කර සමරනු ලබනවා. අලුත් අවුරුදු දිනය හා කොලොම්බස් දිනය නිවාඩු දින සේ සැළකෙන්නේ සංස්කෘතික හේතු මතයි. ඒ දවස් කවර හෝ ආගමක ආගමික සිදුවීම් හා අදාළ දවස් නෙමෙයි.

ස්තුති කිරීමේ දිනයේ සුළු වශයෙන් ආගමික ලක්ෂණ තිබෙනවා. නමුත්, එය කිසිසේත්ම ආගමික උත්සවයක් සේ හැඳින්විය නොහැකියි. මෙය විවිධ ශිෂ්ඨාචාර වල දැකිය හැකි අළුත් අස්වනු මංගල්‍යයක් වැනි දෙයක්. මා කුඩා කාලයේ ලංකාවේ ඇතැම් ගම් වල යකුන් පිදීම නම් වූ කටයුත්තක් සිදු වුණා. එය බෞද්ධ හෝ හින්දු ආගමික ලක්ෂණ තිබුණු දෙයක් නෙමෙයි. මේ හා අදාළව හොඳින්ම මත තිබෙන එක් දෙයක් කහ රොටී. ස්තුති කිරීමේ දිනයේදී ලැබුණු අස්වනු ආදිය වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමක් සිදු වුවත්, මෙය ආගමික කටයුත්තක් කියා කියන්න බැහැ.

ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින දහයෙන් ආගමික නිවාඩුවක් සේ හැඳින්වීමේ ඉඩකඩක් තිබෙන්නේ නත්තල් නිවාඩුව හා අදාළව පමණයි. නත්තල සැමරීමේ ඉතා පැහැදිලි ආගමික පසුබිමක් තිබුණත්, මේ වෙද්දී නත්තල සැමරීමත් සෑහෙන දුරකට සංස්කෘතික හා වාණිජ කටයුත්තක්.

(Image: https://www.researchsnipers.com/holiday-to-be-observed-in-sindh-on-october-30th/)

Thursday, May 23, 2019

ඇමරිකන් නිවාඩු



එළැඹෙන සති අන්තය අපට දිගු සති අන්තයක්. ඒ, මැයි මාසයේ අවසන් සඳුදා දිනයේ සිහි කිරීමේ දින නිවාඩුව යෙදෙන නිසයි. මේ දවසේ මෙලෙස සිහිපත් කෙරෙන්නේ ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි සේවය කර මිය ගිය අයයි. අවශ්‍යනම් ඇමරිකන් රණ විරුවන් කියා කියන්නත් පුළුවන්.

නිවාඩුවේ අරමුණ රට වෙනුවෙන් දිවි පිදූවන් සිහි කිරීම වුවත්, බොහෝ දෙනෙක් මේ දිගු සති අන්තය විනෝද චාරිකාවක් වැනි කටයුත්තක් වෙනුවෙන් යොදා ගන්නවා. ඇමරිකාවේ හැම පැත්තකම නොවූවත්, බොහෝ පැති වල පාසැල් වල අධ්‍යයන වසර අවසන් වීමත්, කාළගුණය උණුසුම් වී ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භය ඇඟට දැනෙන්න පටන් ගැනීමත් නිසා මේ සති අන්තය විනෝද චාරිකා හා එළිමහන් සාද සඳහා ඉතා යෝග්‍යයි.

ඊටත් වැඩියෙන් වගේ මේ සති අන්තය වාණිජ කටයුතු ඉහළ යන කාලයක්. ස්තුති කිරීමේ දිනය හා නත්තල යෙදෙන සති අන්ත වලදී තරම් නැති වුනත් සිහි කිරීමේ සති අන්තයේදීත් බොහෝ භාණ්ඩ හා සේවා වට්ටම් මිලකට ලබා ගත හැකියි. ඇමරිකාවේ හැම නිවාඩුවක් එක්කම වගේ මෙවැනි වට්ටම් ලබා දෙනු දැකිය හැකියි.

සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දිනය නිවාඩුවක් නොවන බව ලංකාවේ ගොඩක් අය අහල පුරුදු කතාවක්නේ. ඇත්ත. එහෙමනම් ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද?

ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද කියන එක පොදුවේ කතා කරන්න අමාරු දෙයක්. මුළු ඇමරිකාවටම බලපාන එවැනි නිවාඩු දින කැලැන්ඩරයක් නැහැ. නිවාඩු දවස් මොනවාද කියන එක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වගේම, ආයතනයෙන් ආයතනයටත් වෙනස් වෙනවා.

ඇමරිකානු ෆෙඩරල් රජයට බලය තිබෙන්නේ ෆෙඩරල් රාජ්‍ය සේවකයන්ට හා කිසිදු ප්‍රාන්තයක කොටසක් නොවන වොෂින්ටන් ඩීසී ප්‍රදේශයට බලපාන නිවාඩු තීරණය කිරීමට පමණයි. ඇතැම් ෆෙඩරල් නිවාඩු බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයන්ට නිවාඩු දින නෙමෙයි. ඒ වගේම, ප්‍රාන්ත වලට පමණක් බලපාන නිවාඩු දිනත් තිබෙනවා. මේ ප්‍රාන්ත නිවාඩු බලපාන්නේත් අදාළ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ටයි. මිලියන 130ක් පමණ වන පූර්ණකාලීන රැකියාවක නියුතු ඇමරිකානුවන් අතර සිටින ෆෙඩරල් රාජ්‍ය සේවකයින් ප්‍රමාණය මිලියන දෙකකට වඩා නැහැ. ප්‍රාන්ත රාජ්‍ය සේවකයන් ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙනවා.

මා සේවය කරන්නේත් ප්‍රාන්ත රජයට අනුබද්ධ ආයතනයක වුවත් ෆෙඩරල් හෝ ප්‍රාන්ත නිවාඩු දින සියල්ලම අපට නිවාඩු දින නෙමෙයි. අපේ නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.

1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
4. නිදහස් දිනය- ජූලි 4
5. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
6. ස්තුති කිරීමේ දිනය (හා පසු දිනය)- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා (හා සිකුරාදා)
7. නත්තල් දිනය- දෙසැම්බර් 25

මේ අතරින් ස්තුති කිරීමේ දිනයට පසු දිනය හැර අනෙකුත් නිවාඩු දින සියල්ල ෆෙඩරල් නිවාඩු දිනයි. ඊට අමතරව, ජනාධිපති දිනය ලෙස ප්‍රචලිතව ඇති වොෂින්ටන්ගේ උපන් දිනය, කොලොම්බස් දිනය හා වෙතරානුවන්ගේ දිනයද ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුවේ තිබෙනවා. ෆෙඩරල් නිවාඩු දින සියල්ලම අපේ ප්‍රාන්තයේද නිවාඩු දින වන අතර ඊට අමතරව මහ සිකුරාදා දිනයේ, ප්‍රාථමික හා මහ මැතිවරණ පැවැත්වෙන දින වල හා ලින්කන්ගේ උපන් දිනය වෙනුවෙන් අපේ ප්‍රාන්ත රජයේ සේවකයින්ට නිවාඩු හිමි වෙනවා. එසේ වුවත්, අපට ලැබෙන්නේ ඉහත ලැයිස්තුවේ ඇති නිවාඩු පමණයි.

අපට ලැබෙන නිවාඩු වලින් මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දින නිවාඩුව හැර අනෙක් නිවාඩු සියල්ලම වාගේ බොහෝ පෞද්ගලික ආයතන වල සේවකයින්ටද හිමි වෙනවා. ඊට අමතරව, අලුත් අවුරුද්දට පෙර දිනයත් (දෙසැම්බර් 31) බොහෝ පෞද්ගලික ආයතන වල නිවාඩු දිනයක්.

අපේ නිවාඩු දින ලැයිස්තුවෙන් තුනක්ම හැම විටම යෙදෙන්නේ සඳුදා දින වල නිසා එම සති අන්ත හැම විටම දිගු සති අන්තයි. ස්තුති කිරීමේ දිනයෙන් පසුව එළැඹෙන සිකුරාදා දිනයද අපට නිවාඩු දිනයක් නිසා එම සති අන්තය වඩාත් දිගු සති අන්තයක්. අලුත් අවුරුදු, නත්තල් හා නිදහස් දින නිවාඩු සතියේ කවර දිනක වුවත් යෙදෙන්නට පුළුවන් වුවත් මේ නිවාඩු දින යෙදෙන වකවානු කොහොමටත් පාසැල්, සරසවි ආදියට නිවාඩු දවස් නිසා දරුවන් හා එක්ව කිසියම් කටයුත්තක් සැලසුම් කරන අයෙකුට එයින් අපහසුවක් ඇති වන්නේ නැහැ.

Wednesday, May 22, 2019

අලුත් වෙසක්!


පාස්කු බෝම්බ පිපිරවීම් සිදු කර මාසයක් ගතව තිබෙන බව රසික විසින් මතක් කර ගොස් තිබුණා. ඔහු ඇත්තටම අදහස් කළේ බෝම්බ පිපිරී මාසයක් ගතව ඇති නිසා නැවත බ්ලොග් එකට පණ දිය යුතු බව වෙන්න පුළුවන්.

පසුගිය මාසයටම පළ කර තිබෙන්නේ එක් බ්ලොග් ලිපියක් පමණයි. එයත් ඔහේ ලියනවාට ලියපු එකක්. පසුගිය සති පහක පමණ කාලය තුළ බ්ලොග් එකට වැඩි අවධානයක් නොයෙදීම පාස්කු බෝම්බ ප්‍රහාර වලින් පසුව ලංකාවේ පැවති තත්ත්වය නිසාම සිදු වූවක් නෙමෙයි. නමුත්, එයත් එක් හේතුවක්. බ්ලොග් එක වෙනුවෙන් වැය වන කාලයේ ආවස්ථික පිරිවැය කෙතරම්ද කියා හොඳින් පැහැදිලි වෙන්නේ මේ විදිහට ටික කලක් එය අමතක කර ඒ කාලය වෙනත් වැඩකට යෙදූ විටයි.

බෝම්බ ප්‍රහාර වලින් මසකට පසුව නැවතත් ලංකාවේ ජනජීවිතය පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණ තිබෙනු දැකීම සතුටට කරුණක්. ආර්ථිකය මුළුමනින්ම පිළිසකර වෙන්නනම් තවත් කාලයක් යයි.

මේ සිද්ධියෙන් පසුව, ලංකාවේ සමාජයට බාහිර කම්පන වලට ඔරොත්තු දීමට තිබෙන හැකියාව නැවත වරක් තහවුරු වී තිබෙනවා. පසුගිය වාර වලදී වගේම මේ වාරයේදීත් ලොකු විනාශයක් නොවී වැලකුණේ සාමාන්‍ය ජනතාවගෙන් අති මහත් බහුතරය තනි තනිව හිතා නිවැරදි ලෙස ක්‍රියා කිරීම නිසා මිස දේශපාලන නායකත්වයේ උදවුවෙන් නෙමෙයි. දේශපාලන නායකත්වයට තමන්ගේ උවමනා එපාකම් අනුව මෙහෙයවිය හැකි පිරිස සුළුතරයක් කරමින් හිතන්න පුළුවන් මිනිස්සු පෙරමුණට පැමිණීම ඉතා හොඳ ප්‍රවණතාවයක්.

මේ අතරේ වෙසක් පසළොස්වක පෝය දවස ගෙවී ගියා. මෙවර වෙසක් සැමරුම වෙනත් ආගමිකයින්ගේද සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස පැවැත්වීම කැපී පෙනුණු හා කතාබහට ලක් වූ කරුණක්. ඉකොනොමැට්ටාගේ බොජුන්හල අරඹා සිවුවසරක් ගෙවී ගියේත් හරියටම වෙසක් පෝය දවසේයි. බ්ලොග් එක හා අදාළව, මේ සිවුවන අවුරුද්ද පෙර තෙවසරට සාපේක්ෂව නැගලා ගිය අවුරුද්දක් කියා කියන්න බැහැ. බ්ලොග් එක කියවන ප්‍රමාණය මුල් වසර තුනේදීම ක්‍රමයෙන් ඉහළ ගියත් සිවුවන වසරේදී දකින්න ලැබුණේ පසුබෑමක්. එය පටන් ගත්තේ තෙවන වසරේ මැද හරියේදීමයි. මම හිතන්නේ එය පොදුවේ සිංහල බ්ලොග් වල සිදු වූ පසුබෑමක්.

සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දවස නිවාඩු දිනයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙහිදී බෞද්ධ රටක් නොවන කියා නොලියා සිංහල බෞද්ධ රටක් නොවන කියා ලිවුවේ බෞද්ධ රටවල් සියල්ලේම වුවද වෙසක් දින සැමරුම එකම දිනක සිදු නොවන නිසයි. මහායාන රටවල් පැත්තකින් තිබ්බත් ථෙරවාද රටවල් අතර පවා පෝය නිර්ණය කිරීමේ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් ගැන මා මීට පෙර විස්තර කර තිබෙනවා.

ඇමරිකාවේ මා ජීවත්වන නගරයේ සිංහල බෞද්ධ පන්සලක් නැහැ. එහෙත්, පැය දෙකකින් හෝ අඩු කාලයකින් යා හැකි යාබද නගර දෙකක සිංහල බෞද්ධ පන්සල් දෙකක් තිබෙනවා. වඩා ආසන්න පන්සලට පැය එකහමාරකින් පමණ යා හැකියි. අප සාමාන්‍යයෙන් යන්නේ ඒ පන්සලටයි. ඒ බොහෝ විට සිංහල අවුරුදු, වෙසක් හෝ වස් අවසන් කිරීම වැනි විශේෂ වැඩසටහන් ඇති දවස් වලදීයි.

සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ සිංහල අවුරුදු දවස හෝ පෝය දවස් නිවාඩු දින නොවන නිසා මේ උත්සව සාමාන්‍යයෙන් පවත්වන්නේ ආසන්න සති අන්තයකදීයි. එහිදී ළඟපාත තිබෙන පන්සල් දෙකක එකම උත්සවය එකම දින නොපැවැත්වීම පිළිබඳවත් සැළකිලිමත් වන නිසා වෙසක් හෝ අවුරුදු උත්සවයක් නියම දවසේ සිට සති දෙකකට පමණ පසුව පැවැත්වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

අපේ පන්සලේ මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නේ වෙසක් පෝය පසු වී සතියකට පසුව, එළැඹෙන සති අන්තයේදීයි. පන්සල සිංහල බෞද්ධ පන්සලක් වුවත්, පන්සලේ කටයුතු වලට සහභාගී වන්නේ සිංහල බෞද්ධයින් පමණක් නෙමෙයි. සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් පන්සලේ කටයුතු වලට එකතු වෙනවා.

විශේෂයෙන්ම සිංහල අවුරුදු හෝ වෙසක් උත්සව පැවැත්වෙන දවස් වලදී සැලකිය යුතු පිරිසක් පන්සලට එකතු වෙනවා. මෙහිදී සැලකිය යුතු පිරිසක් කියා කියන්නේ ලංකාවේ පන්සලකට පෝය දවසකදී පැමිණෙන පිරිසට සාපේක්ෂව නෙමෙයි. එහෙම බැලුවොත්නම් ඉතා සුළු පිරිසක්.

මේ විදිහට වෙසක් වැනි දවසකට පන්සලට එකතු වන පිරිසගේ දිවා ආහාරයද ඇතුළුව දිවා දානය පිළියෙල වන්නේ පැමිණෙන අයගේම සම්මාදමෙන්. හැමෝම වගේ මුළු පිරිසට ප්‍රමාණවත් තරමට කිසියම් ආහාරයක් රැගෙන එනවා. අන්තිමේදී ආහාර වර්ග විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.

මෙය කිසියම් සැලසුමකට සිදු නොවුනොත් වෙන්නේ හැමෝම එකම ආහාරය පිළියෙළ කරගෙන එන එකයි. ඒ නිසා, හාමුදුරුවෝ කලින්ම ආහාර වට්ටෝරුවක් පිළියෙල කර විද්‍යුත් තැපෑල හරහා සංසරණය කරනවා. එවිට එක් එක් පවුලට තමන් රැගෙන එන දේ කලින්ම අනෙක් අයට දැනුම් දිය හැකියි. ඒ නිසා, එකම ආහාරය ඕනෑවට වඩා පිළියෙළ වී නාස්ති වීමක් වෙන්නේ නැහැ. ආහාර රැගෙන එන අය අතර සිංහල බෞද්ධයන්ට අමතරව පෙර කී සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් සිටිනවා.

වෙසක් උත්සවයට එහි ආගමික මුහුණුවර ඉක්මවා සංස්කෘතික පැහැයක් ලැබීම ලංකාවට තරමක් අළුත් දෙයක්. එහෙත්, ලාංකික සංක්‍රමණිකයින් විශාල පිරිසක් ජීවත් නොවන, ලංකාවෙන් පිටත පිහිටි අපේ නගරය වැනි තැන් වලටනම් එය අළුත් දෙයක් නෙමෙයි. හැබැයි එහෙම වුනා කියලා මේ වගේ වෙලාවක පන්සල් එන අන්‍යාගමිකයින් සාමාන්‍යයෙන් බුදුන් වඳින්නේ නැහැ. ඒ වගේම, හිස්වැසුම් පාවහන් නොගලවා විහාර ගෙයට ඇතුළු වන්නේත් නැහැ.

Tuesday, May 14, 2019

අහස කළු කරලා...


පහුගිය සති කිහිපයේම බ්ලොග් ලිපියක් ලියා මෙහි පළ කරන්න තරම් විවේකයක් තිබුණේ නැහැ. අන්තිම ලිපිය පළ කර තිබෙන්නේ අප්‍රේල් 9 වෙනිදා. සති පහකට කලින්. එතරම් කාලයක් බ්ලොග් එක යාවත්කාලීන නොකර හිටියේ පළමු වරටයි.

දැනට කියලත් ලොකු විවේකයක් නැහැ. සති ගාණක් කාලය යොදවමින් සිටි වැඩක එක අදියරක් යන්තම් ඉවර කරගත්තා. නමුත් වැඩේ ඉවරයක් නැහැ. බ්ලොග් එක හරහා සිංහලෙන් කියවන ටික දෙනෙකුට මොනවා හෝ ලියනවා වෙනුවට වඩා ලොකු පිරිසක් අමතන්න වේදිකාවක් ලැබෙන වෙලාවක ඒ වාසිය නොගෙන ඉන්න එක අපරාදයක්.

අන්තිම ලිපිය පළ කළාට පසුව ගොඩක් දේවල් වුණා. මුලින්ම සිංහල අවුරුද්ද ගෙවුනා. නොත්‍රදාමය ගිණි ගත්තා. කිහිප වරක්ම බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තත් ලිපියක් ලියා අවසන් කරලා පළ කරන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ එක වර සිදු වූ බෝම්බ පිපිරීම් ගණනාවක් එක්ක දශකයක් පමණ තිස්සේ ලංකාවේ තිබුණු සාමකාමී පරිසරය වෙනස් වුණා. එතැන් පටන් සිදු වූ හා සිදු වෙමින් තිබෙන සිදුවීම් දාමය ගැන නැවත සඳහන් කළ යුතු නැහැ.

බෝම්බ පිපිරීම ගැන දැනගත් වහාම අමාරුවෙන් කාලය හොයාගෙන බ්ලොග් ලිපියක් ලියන්න පටන් ගත්තා. පහත තියෙන්නේ පළ නොකළ ඒ ලිපියෙන් කොටසක්.

"ලංකාවේ සිදු වූ මේ සිදුවීමට සමස්ත බටහිර ලෝකයම බොහෝ සේ සංවේදී වී සිටින බව කාට වුවත් පැහැදිලිව පෙනෙන කරුණක්. ඇමරිකන් මිතුරන්ගෙන් හා ඇමරිකාවේ සිටින වෙනත් විවිධ රටවල් වලින් සංක්‍රමණය වූ අයගෙන් වගේම වෙනත් තෙවන රටවල් වලදී දැන හඳුනාගෙන සිටි මිතුරන්ගෙනුත් කෙළවරක් නැතිව විද්‍යුත් ලිපි ලැබෙනවා. ඒ අය අමතර විස්තර ඇහුවත් මම දන්නෙත් ඒ අය දන්න ටිකම තමයි.

ලංකාව ආයෙත් අසූ තුනේදී වගේම හන්දියකට ඇවිත් වගේ. ඉදිරිය ගොඩක් අවිනිශ්චිතයි.

ලංකාවේ මොනවා හෝ අවුලක් වෙන්න පුළුවන්කමක් තිබුණු නමුත් මේ බෝම්බ පිපිරවීම සිදු වූ ආකාරයේ පොඩි අවුල් ගතියක් තියෙනවා. රූකඩ වල නූල් තියෙන්නේ කාගේ අතේද කියන එක හිතාගන්න එක දින පණහේ නාඩගමේදී තරම් ලේසි නැහැ. දින පණහ ගැන වුනත් මම හිතපු විදිහ ලියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ."

ලිපිය අවසන් නොකළත් තවත් ටිකක් එහාට ලිවුවා. ඒ අතරේ ලංකාවේ සමාජ ජාලා අවහිර කෙරුණා. පැවති තත්ත්වයත් එක්ක මේ සිදුවීම හා අදාළව ලියනවාට වඩා නොලියා ඉන්න එක හොඳයි කියා හිතුණා.

මේ වෙද්දී මේ බ්ලොග් එක කියවන වැඩි දෙනෙක් මෙහි එන්නේ වත්පොත හරහා. ලංකාවේ සිට වත්පොතට පිවිසෙන එක සැලූන් දොරක් වුනාට පස්සේ හදිසියේ දොර ඇරුණු වෙලාවක වත්පොතට එන කෙනෙකු මේ බ්ලොග් එකට එන එක ප්‍රමුඛතාවයක් කරගන්න හේතුවක් නැහැ. කාමරයේ අලියෙක් ඉඳිද්දී වෙන අනං මනං ලියන එකේ තේරුමකුත් නැහැ. ලංකාවේ ඉන්න අයට ලිවිය යුතු දේ රටින් පිට ඉන්න අයට පමණක් ලියන එකේත් තේරුමක් නැහැ. ඔය ඔක්කොටම වැඩිය ලියන දෙයක් කවුරු හෝ වැරදියට කියවීමේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් බව හිතා ලියූ වරින් වර ලියූ ලිපි කිහිපයකුත් අන්තිමේදී පළ නොකරම ඉන්න තීරණය කළා. මේ වගේ වෙලාවක ලංකාවෙන් පිට සිට ලංකාවේ තත්ත්වය විග්‍රහ කරන්න යන එක එතරම් නිවැරදි දෙයක් නෙමෙයි.

කොහොම වුනත් මේ සිදු වීම හා අදාළව මා දුටු දේ වෙනත් අයත් ඒ විදිහටම දැක තිබුණු නිසා මා ඒ දේවල් නොලිවීම අඩුපාඩුවක් වුණේ නැහැ. දින පණහේ දේශපාලන අර්බුදය පසුබිමේ සිදුවුණේ කුමක්ද කියා වැඩිපුර නොහිතූ අය මේ වෙලාවේදීනම් පැහැදිලිව නොපෙනෙන දේවලුත් දැක තිබුණා. පාස්කු බෝම්බ පිපිරීම වැනි දෙයක් ගැන කිසිදු අදහසක් නොතිබුණත්, ඉදිරි මැතිවරණයකට පෙර ලංකාවේ මේ වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන සැකයනම් දින පණහ අවසන් වෙද්දීම වගේ ඇති වුණා. දැන්නම් තිත් යා කර ගන්න එක ඒ තරම්ම අමාරු නැහැ.

රටක් විදිහට සිය දිවි නසා ගන්නවාද කියා හිතන්න තවමත් කාලය තියෙනවා. සියදිවි නසාගැනීමෙන් අගතියට මිස සුගතියට පාර කැපෙන්නේනම් නැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...