මේ වන විට හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය දහතුන් දහසකට ආසන්න වී තිබෙනවා. වයිරසයේ මූලාරම්භය වූ චීනයේ දැනට හඳුනාගෙන තිබෙන මුළු ආසාදිතයින් ප්‍රමාණය ජනගහණය මිලියනයකට 58 දෙනෙකු පමණයි. එයින් මිය ගොස් ඇති ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 2.34ක් පමණයි.
චීනයට සාපේක්ෂව බැලූ විට ඉතාලියේ හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 886ක්ද, මිය ගොස් ඇති ප්‍රමාණය ජනගහණය මිලියනයකට 79.78ක් පමණ තරම් විශාලයි. ඉතාලියේ මරණ අනුපාතය පවා චීනයේ ආසාදිත අනුපාතයට වඩා ගොඩක් වැඩියි. මම හිතනවා තත්ත්වයේ බැරෑරුම්කම මේ සංසන්දනයෙන් පැහැදිලි වෙයි කියා.
කොරෝනා කියන වචනය කිරුළ යන තේරුම තිබෙන ඉතාලි භාෂාවේ වචනයක්. බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනය පහු කරගෙන මිලියන 60ක ජනගහණයක් සිටින ඉතාලිය කෝවිඩ්-19 කිරුළ වෙත කිට්ටු වෙමින් සිටීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.
කොරෝනා කියන වචනය ඉතාලි භාෂාවේ වගේම ස්පාඤ්ඤ භාෂාවේත් වචනයක්. තේරුම සමානයි. ස්පාඤ්ඤය ජනගහණය අතින් ඉතාලියටත් වඩා කුඩා රටක්. එහි ජීවත් වන්නේ මිලියන 46ක පිරිසක්. ස්පාඤ්ඤයේ ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 543ක් වන අතර මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 29.48ක්.
ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ලෝකයේ රටවල් අතරින් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අනුව හතරවන තැනට පැමිණ සිටිනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ ගිය රටාව මෙහෙමයි.
මාර්තු 2 - 100
මාර්තු 10 - 994
මාර්තු 18 - 9259
මේ වන විට ඇමරිකාවේ හඳුනාගත් කොරෝනා රෝගීන් ප්‍රමාණය 24,000 ඉක්මවලා. හෙට වන විට ඇමරිකාව ස්පාඤ්ඤය පහු කරලා ලැයිස්තුවේ තුන් වන තැනට එයි. මෙතෙක් පැවති රටාව අනුව, දළ වශයෙන් ගත්තොත් දින 8කින් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් පමණ වැඩිවෙනවා. ඒ නිසා, මාර්තු 26 වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට ඇමරිකාව පත් වෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා.
මේ මාසය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකියි. ඇමරිකාව වඩාත්ම නරක අඩියකට පත් වනු ඇත්තේ ඉන් පසුවයි.
මේ ටික ලිවුවේ විශේෂ හේතුවක් නිසායි. ඇමරිකාවේ ජීවත් වන අපේ ඇතැම් හිතවතුන් අපේ නහය ළඟටම කොරෝනා වෛරස් ඇවිත් තියෙද්දී ලංකාවේ ආණ්ඩුව විවේචනය කරනවා. නමුත්, ඒ අය ලංකාවට යෝජනා කරන දේවල් ඇමරිකාවේවත් කරලා තිබෙන දේවල් නෙමෙයි. ඒ වගේම, ඇමරිකාවේ කරලා තිබෙන හැම දෙයක්ම සාර්ථක ක්‍රියාමාර්ග බව තහවුරු වෙලත් නැහැ. මම හිතන්නේ මේ ගොඩට දමන්න පුළුවන් ලාංකික සම්භවයක් ඇති අය වෙනත් බටහිර රටවල් වලත් ඉන්නවා. මම ඒ අය අත හැරලා දන්න ඇමරිකාව ගැන පමණක් කතා කරන්නම්.
කෝවිඩ්-19 පැතිරෙමින් තිබුණු මුල් අවදියේදී හැම රටකම වගේ ආණ්ඩු උත්සාහ කළේ පවතින තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගන්නයි. මේ තත්ත්වය ඇමරිකාවේ වගේම ලංකාවේත් පෙනෙන්න තිබුණා. ඒ වගේම, අනිත් පැත්තෙන්, බලයේ සිටි දේශපාලන පක්ෂ වලට විරුද්ධ කොටස් කළේත් ඒකමයි. මේ කාටවත් මුලදී ප්‍රශ්නයේ සැබෑ ගැඹුර අවබෝධ වී තිබුණේ නැහැ.
දැන්නම් තත්ත්වය වෙනස් වෙලා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු වලට දැන් මොනවා හෝ කරන්නම සිදු වී තිබෙනවා. ඒ වගේම, ආණ්ඩු විසින් මොනවා කළත් ගොඩ දාන්න බැරි තැනකට ප්‍රශ්නය තල්ලු වෙලාත් තිබෙනවා.
කෝවිඩ්-19 ප්‍රශ්නය ලෝකයටම පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ චීනය පිට, බටහිර රටවල් පිට, සංක්‍රමණිකයින් පිට හෝ සුළු ජාතීන් පිට වැරැද්ද පටවා ගොඩ යාමේ හැකියාවක් නැහැ. දැන් ඒ සීමාව පැනලා. ඒ අතින් ලෝකයේ හැම ආණ්ඩුවක්ම මුහුණ දී සිටින්නේ සමාන ප්‍රශ්නයකටයි. අනෙක් පැත්තෙන් ප්‍රශ්නය පොදු වුවත් කෝවිඩ්-19 බලපෑම ලෝකයේ හැම රටකටම සමාන නැහැ. ඒ නිසා, ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනත් රටවල් විසින් යොදාගත් උපාය මාර්ග ඒ විදිහටම භාවිතා කරන්න බැහැ. එක් එක් රටට තමන් මුහුණ දී සිටින සුවිශේෂී තත්ත්වයන් ගැන හිතන්න වෙනවා.
මේ වෙලාවේ කළ යුත්තේ එක් එක් රට විසින් තමන්ට වඩාත්ම යෝග්‍ය වැඩ පිළිවෙළ තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීමයි. මේ කටයුත්තේදී එක් එක් රටවල් වල ආණ්ඩු වලට මුල් තැන ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, තමන් දේශපාලනික වශයෙන් මොන තැනක හිටියත් කවුරුත් කළ යුත්තේ තමන් ජීවත් වන රටේ පොදු වැඩ පිළිවෙලට හැකි තරමින් අනුගත වෙන එකයි. මෙය දේශපාලනික භේද වලට මුල් තැන දිය යුතු අවස්ථාවක් නෙමෙයි.
හැබැයි එහෙම කියලා ආණ්ඩු වලට අත්තනෝමතික ලෙස හැසිරෙන්න ඉඩ දිය යුතු නැහැ. ආණ්ඩු විසින් ජනතාව සමඟ සංවාදයක් පවත්වාගත යුතු අතරම, එය එළෙස නොවෙනවානම් ආණ්ඩු හරි තැනට ගන්න බල කරන්නත් වෙනවා. වැදගත් කරුණ ආණ්ඩු විවේචනය කළ යුත්තේ සාධනීය ලෙස මිසක් රටම අමාරුවේ වැටී තිබෙන වෙලාවේ ආණ්ඩුව වට්ටවන අදහසින් නෙමෙයි. මොකද මේ වෙලාව ඕනෑම ආණ්ඩුවක් විශාල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක ආණ්ඩුව තවත් අපහසුවට පත් කළා කියා ඇතිවන සුගතියක් නැහැ.
චීනයෙන් පටන් ගත්තොත්, චීනය කෝවිඩ්-19 ලෝක වසංගතයකට මුහුණ දුන්නේ නැහැ. චීන රජයට මුහුණ දෙන්න සිදු වී තිබුණේ රටේ සීමිත ප්‍රදේශයක පැතිරුණු වෛරසයකටයි. මේ වන විට චීනයෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් 81,000කින් 50,000ක්ම හමු වී තිබෙන්නේත්, දැනට සිදුව ඇති මරණ 3,250කින් 2500කට වඩා වාර්තා වී තිබෙන්නේත් වුහාන් නගරය ආශ්‍රිතවයි. එහි ජීවත්වන ජනගහණය මිලියන 11ක් පමණයි. මෙය ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණ වුවත් චීනයේ ජනගහණයෙන් 0.8%ක් පමණයි.
මෙවැනි අවස්ථාවකදී රටක ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක් වාසය කරන නගරයක් දැඩි නියාමනයකට ලක් කිරීම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මෙවැන්නක් අනුපාතිකව සමාන කළ හැක්කේ ලංකාවේ ජාඇල හෝ වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මෙවැනි නියාමනයකට ලක් කිරීමකටයි.
චීනයේ කෝවිඩ්-19 පැතිරෙන කොට එම වෛරසයේ ස්වභාවය ගැන කිසිවෙකුට අද තිබෙන තරමේවත් දැනුමක් තිබුණේ නැහැ. මීට පෙර පැතිරුණු සාර්ස් හා මර්ස් වැනි වෛරස පිළිබඳ අත්දැකීම් අනුව කෝවිඩ්-19 මරණ අනුපාතය වඩා විශාල අනුපාතයක් විය හැකිව තිබුණා. චීන රජය විසින් කළේ රටේ අනෙකුත් ප්‍රදේශ වලට වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා වුහාන් නගරයේ ජීවත් වූ මිලියන 11ක ජනගහණය අවදානමක හෙළන එකයි. චීන රජය විසින් ගත් ඒ තීරණය ආණ්ඩුවකට ගන්නට අමාරු තරමේ දැඩි එකක්.
වුහාන් වල ජනගහණය මිලියනයකට ආසාදිතයින් ප්‍රමාණය 4,513 දක්වාත්, ජනගහණය මිලියනයකට මරණ ප්‍රමාණය 226 දක්වාත් ඉහළ ගියා. මෙය ඉතාලියේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් දරුණු තත්ත්වයක්!
වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන එක නැවතුනේ ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පසුව ස්වභාවිකවම වෙන්න පුළුවන්. චීන රජය විසින් කොයි තරම් සීමා කළත් වෛරසය වුහාන් වලින් පිටතටද පැතිරුණා. එසේ පැතිරෙද්දී චීන රජය විසින් තවත් ප්‍රදේශ වුහාන් මෙන්ම දැඩි නියාමනයකට ලක් කළා.
එහෙත්, චීනයට මුළු රටම "ලොක්ඩවුන්" කරන්න අවශ්‍ය වුනේ නැහැ. චීනය තුළ කෝවිඩ්-19 බොහෝ දුරට හුබෙයි ප්‍රාන්තයට සීමා වුනා. මුළු හුබෙයි ප්‍රාන්තයම ගත්තත් චීන ජනගහණයෙන් 4.4%ක් පමණයි. සංසන්දනාත්මකව බැලුවොත් මීගමුව, කටාන, වත්තල, ජාඇල වගේ ප්‍රදේශ ඇතුළත් කොටසක ඉන්න ජනගහණ අනුපාතය.
චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටතට සිදු වුනු කෝවිඩ්-19 හානිය සාපේක්ෂව ඉතා සුළු එකක්. එය ජනගහණය මිලියනයකට ආසාදිතයින් 10ක් හා මරණ 0.09ක් පමණයි. මෙය සමානුපාතිකව බැලුවොත් ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 210ක් පමණ හමු වී මරණ දෙකක් සිදු වීමට සමාන තත්ත්වයක්. අනෙක් අතට වුහාන් තත්ත්වය බැලුවොත් ලංකාවෙන් ආසාදිතයින් ලක්ෂයක් පමණ හමු වී එයින් පන්දහසක් පමණ මිය යාම වැනි භයානක තත්ත්වයක්.
චීන රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වුහාන් වලින් පිටත එවැනි හානියක් සිදු වීම වැලකී තිබෙනවා. නමුත්, ඒ හේතුව නිසාම චීනය විසින් ගත් ක්‍රියාමාර්ග එලෙසම ගැනීමෙන් අනෙකුත් රටවලටද වසංගතය පැතිරීම වලක්වා ගත හැකැයි අදහස් වන්නේ නැහැ.
චීනයෙන් ඇමරිකාවට ආවොත් ඇමරිකාවට මුලින්ම වෛරසය පැතිරිය හැකිව තිබුණේ චීනයෙන්. ලංකාව ඇතුළු අනෙකුත් රටවල් මුහුණ දුන්නේද එවැනිම තත්ත්වයකටයි. මේ අදියරේදී ඇමරිකාව මෙන්ම ලංකාවද වුහාන්හි සිර වී සිටි සිය රටවල පුරවැසියන් රටට ගෙන්වාගෙන නිසි පරිදි නිරෝධායනයකට ලක් කළා. කළ යුතුව තිබුණු පරිදිම දෙරටම මුල් අදියරේදී තමන්ගේ දේශ සීමා හරහා වයිරසය රටට පැමිණීම පිළිබඳව සැලකිලිමත් වුනා. එහෙත්, මෙවැනි කටයුත්තකදී ලංකාව වැනි මුහුදෙන් වට වූ දූපතකට හා ඇමරිකාව වැනි විශාල රටකට එකම ක්‍රියාමාර්ග ගැලපෙන්නේ නැහැ.
ඇමරිකානුවන් සංචරනයේ නිදහස ඉහළින්ම අගය කරන පිරිසක්. ඇමරිකාවට ඇතුළු විය හැකි තැන් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාව හා චීනය සමඟත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟත් තිබෙන සංස්කෘතික සබඳතා ඉතා දැඩියි. කවර නියාමනයන් යටතේ වුවත් දින ගණනක් හෝ ඇතැම් විට කිසි විටෙකත් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ්-19 වෛරසය සිරුරේ දරාගත් අයෙකු ඇමරිකාවට පැමිණීමේ ඉඩකඩ ලංකාවේ එම ඉඩකඩට වඩා ගොඩක් වැඩියි.
ප්‍රායෝගිකව ලංකාවට විදේශිකයෙකුට පැමිණීමට හැකි එකම මාර්ගය කටුනායක ගුවන් තොටුපොළ හරහා රටට ඇතුළු වීමයි. මත්තලින් හෝ මෑතකදී විවෘත කෙරුණු පලාලි ගුවන් තොටුපොළ හරහා සැලකිය යුතු පිරිසක් රටට ඇතුළු වී ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා, ලංකාව මෙහිදී සිටියේත්, දැනට ඉන්නේත් යම් වාසිදායක තැනකයි. අනෙක් අතට අමාරුවෙන් දුවන ආර්ථිකයක් ඇති ලංකාව වැනි රටකට කටුනායක වැසීමේ හෝ ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථික කටයුතු නැවැත්වීමේ හානිය ඉතා විශාලයි. මේ වගේ තත්ත්වයක් යටතේ හැම දෙයක්ම සලකා බලා වඩා නිවැරදි තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.
කෝවිඩ්-19 තර්ජනය හමුවේ ලංකාවේ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය නරකයැයි කියන්න බැහැ. මෙය අඩු නරක තෝරා ගත යුතු අවස්ථාවක්. කොයි තීරණය ගත්තත් අන්තිමට කවර හෝ හානියක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසමට තීරණය කරන්නට ඉඩ හැරීම වගේම අනෙකුත් තීරණ වලදී වෛද්‍ය වෘත්තිකයින්ට ඇහුම්කන් දීමත් මා අගය කරනවා.
කෝවිඩ්-19 අදාළව දැනට නිරීක්ෂණය කළ හැකි කරුණු අනුව ලංකාව තවමත් සිටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලට වඩා සුරක්ෂිත තැනකයි. දැනට හමු වූ ආසාදිතයින් වැඩි දෙනෙකු විදේශයකින් පැමිණ නිරෝධායන කඳවුරක සිටි අයයි. තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ තත්ත්වය දක්වා තත්ත්වය ඔඩු දුවා ඇති බවක් නොපෙනෙන නමුත් තවත් සතියක් දෙකක් පමණ යන තුරු එය ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. කෝවිඩ්-19 හා අදාළව මේ වන තුරු ලංකාවේ ආණ්ඩුව හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් කටයුතු කර ඇති ආකාරය පැසසුමට ලක් විය යුතුයි. අඩු වශයෙන් ඇමරිකන් ආණ්ඩුව කටයුතු කරන තරම් හොඳින් ලංකාවේ ආණ්ඩුවත් මේ වෙලාවේ කටයුතු කර තිබෙනවා.
හැබැයි ඒ වගේම අනික් අතට මෙය ඕනෑවට වඩා උදම් ඇණිය යුතු තත්ත්වයක්ද නෙමෙයි. මේ වසංගතය ලෝකයෙන්ම තුරන් වන තුරු ලෝකයේ කිසිම රටක් සුරක්ෂිත නැහැ. ඒ නිසා, වෙනත් රටවල් සමඟ සසඳමින් ලංකාව විවේචනය කිරීම වගේම ඕනෑවට උඩ පනින්නට යාමත් මේ වෙලාවේ නොකළ යුතු දෙයක්. අර චීන කාන්තාව සුව වීමෙන් පසුව ලෝකයෙන් කෝවිඩ්-19 තුරන් කළ පළමු රට වැනි කතා දකින්නට ලැබුණා. ඒ වගේ දේවල් ප්‍රචාරය වීම නිසා රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය වන සැලකිල්ල නැතිව යා හැකියි.
කෝවිඩ්-19 හා අදාළව බටහිර රටවල් කටයුතු කරන්නේ දිගුකාලීන සැලසුමකට අනුවයි. ලංකාව ඇතුළු ආසියාතික රටවල් කටයුතු කරන්නේ එවැනි නිශ්චිත සැලසුමක් නැතිව එදිනෙදා වෙනස් වන තත්ත්වයන් අනුවයි. එය සංස්කෘතිය හෝ අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වී තිබෙන වෙනසක්. අප පුරුදු වී සිටින්නේ විභාගය ආසන්න වූ විට පාඩම් කරන්න මිසක් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න නෙමෙයි. මෙය ඒ වෙනස්කම් නැති කර ගන්න අවස්ථාවක් නෙමෙයි. මේ වෙලාවේ කළ යුත්තේ ලංකාවට හොඳම දෙය කරන්න ලංකාවටත්, ඇමරිකාවට හොඳම දෙය කරන්න ඇමරිකාවටත් හැකි උදවුවක් කරන එකයි. ඒවා එකම දේවල් විය යුතු නැහැ.