චීන වත්කම් ගැන ලියූ ලිපියෙන් මා ඉදිරිපත් කළේ අලුත් අදහසක් නෙමෙයි. එහි මා ලියා තිබෙන්නේ මේ බ්ලොග් එක පටන් ගත් කාලයේ සිටම දිගින් දිගටම කියන කතාවක්. එහෙත්, මෙවර එම ලිපියට වෙනදා තරම් විරෝධයක් ආවේ නැහැ. මම හිතන්නේ එයට හේතුව චීන සන්දර්භයේ මේ අදහස ඉදිරිපත් කිරීමයි.
මේ කතාවම මීට පෙර යහපාලන ආණ්ඩු කාලයේදී කියද්දී ගොඩක් අය එය තේරුම් ගත්තේ එජාපයට වාසිදායක ප්‍රකාශයක් විදිහටයි. එහෙත් දැන් එජාප සාධකය නොමැති වීම මේ වෙනසට එක් හේතුවක් වෙන්න පුළුවන්. එක පැත්තකින් දැන් එජාප ආණ්ඩුවක් නැහැ. අනෙක් පැත්තෙන් එජාපයට මෙවර මහ මැතිවරණයෙන් බලයට පත් වීමේ විභවයක් නැහැ. ඒ නිසා, ඉතා පැහැදිලිවම දැන් මේ සමීකරණයේ එජාපය නැහැ.
එජාපය නැතත් ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් වී නැහැ. එය වඩා උග්‍ර වී තිබෙනවා පමණයි. ඒ නිසා, කාලයක් තිස්සේ මෙහි ලියූ දේවල් කිසිවක් අවලංගු වී නැහැ.
ඓතිහාසිකව ගත්තොත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කිසිදු ප්‍රබල දේශපාලන මතවාදයක් තිබුණේ නැහැ. එජාපය වගේම ශ්‍රීලනිපයත් කටයුතු කළේ බොහෝ දුරට ජනප්‍රියවාදය හා අවස්ථාවාදය මත පදනම්වයි. දැනටත් එජාපය හෝ එයින් කැඩී ගිය සමගි ජන බලවේගය ලංකාව ඇතුළේ කිසිදු ශක්තිමත් දේශපාලන මතවාදයක් පෝෂණය කරන්නේ නැහැ.
දැනට ලංකාවේ යම් කිසි ජනපදනමක් තිබෙන දේශපාලන මතවාද දෙක ජවිපෙ මාක්ස්වාදය හා රාජපක්ෂලාගේ ජාතිකවාදයයි. ජවිපෙ මාක්ස්වාදය ජවිපෙට වගේම ලංකාවටත් පිටින් වර්ධනය වී ජවිපෙ විසින් තමන්ට අවශ්‍ය ආකාරයට හදාගත් එකක්. රාජපක්ෂලාගේ ජාතිකවාදය ලංකාව ඇතුළේ රාජපක්ෂලාට පරිබාහිරව වර්ධනය වී රාජපක්ෂලා විසින් තමන්ට අවශ්‍ය තරමට අයිති කරගත් එකක්. මේ බ්ලොග් එක කියවන බොහෝ දුරට ස්වාධීනව හිතන විශාල පිරිසක් අතරේ ඉහත කණ්ඩායම් දෙකේ අයත් ඉන්නවා. අප ලියන ලිපි වලින් බොහෝ විට සිත් රිදීම් ඇති කර ගන්නේ එම කණ්ඩායම් දෙකෙන් එකක සිටින අයයි.
ප්‍රතිවිරුද්ධ මතවාද දැරුවත් ඉහත කුලක දෙකේම සිටින සැලකිය යුතු පිරිසකගේ යම් පොදු ලක්ෂණ ටිකක් තිබෙනවා. බටහිර විරෝධය, ඇමරිකන් භීතිකාව, චීන ආදරය, විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටීම, ආර්ථික ආරක්ෂණවාදයක් වෙනුවෙන් පෙනී සිටීම ආදිය ඒ පොදු ලක්ෂණයි. සමහර විට මේ ලක්ෂණ ශ්‍රී ලාංකික සමාජය ඇතුළේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන පොදු ලක්ෂණ වෙන්නත් පුළුවන්.
ඇතැම් විට චීන වත්කම් ලිපියට ලොකු ප්‍රතිරෝධයක් නො ආවේ එය ස්ථානගත කර තිබෙන ආකාරය නිසා වෙන්න පුළුවන්. ඇමරිකාව කරන දෙයක්නම් කීයටවත් හරි දෙයක් වෙන්න බැහැ. හැබැයි චීනය කරන දෙයක්නම් එතැන මොකක් හරි තේරුමක් තියෙන්න පුළුවන්!
සමහර විට මෙය ඒ තරම් බරපතල දෙයක් නොවෙන්නත් පුළුවන්. ලිපියේ විවේචකයන් විය හැකි අය මේ වෙලාවේ මහ මැතිවරණය වෙනුවෙන් වැඩ නිසා මෙහි ඇවිත් බ්ලොග් ලිපි කියවන්න වෙලාවක් නැතිව ඇති.
කොහොම වුවත් එක් පාඨකයෙක් විසින් මේ ලිපිය කියැවූ පසු ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය අසා තිබෙනවා.
"ඇයි ලංකාව ණය වෙලා හරි රුපියල ශක්තිමත් කරන්නෙ? අපිත් චීනේ වගේ බාල්දු කළානම් හුඟක් ප්‍රශ්න විසඳෙනවනේ!"මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් ලෙස මා සඳහන් කළ පරිදි මේ ප්‍රශ්නය ඇතුළේ ලංකාවේ සමස්ත ආර්ථික-දේශපාලන අර්බුදයම කැටි වී තිබෙනවා. අවාසනාවට මේ කරුණ කවරෙකු විසින්වත් පුළුල් ලෙස විග්‍රහ කර නැහැ. ඒ නිසා, මේ කියන කරුණේ බැරෑරුම්කම ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට හරි අදහසක් නැහැ. එවැනි හරි අදහසක් එන කොට බොහෝ විට පරක්කු වැඩි වී තියෙයි.
රුපියල ශක්තිමත් කිරීම මම කියන තරම්ම නරකනම්, එය ඉතා පැහැදිලිනම්, ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම ඒ වැඩේ කරන්නේ ඇයි? මම මේ කරුණ නිශ්චිත ලෙස පැහැදිලි කළේ නැත්නම් මගේ පෙර තර්කය විශ්වාසනීය එකක් කියා ගොඩක් අය තේරුම් ගන්න එකක් නැහැ. විශාල පිරිසක් එකතු වෙලා කාලයක් තිස්සේ කරන දෙයක් මේ බ්ලොග් පඩංගුවක ලියා තිබෙන දෙයක් නිසා වැරදියි කියා අහක දමන්න පුළුවන්ද?
මේ කරුණ තේරුම් ගන්න ලංකාවේ ආණ්ඩු ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දිගින් දිගටම ණය වෙලා හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න දඟලන්නේ ඇයි කියන කරුණ පැහැදිලි කරන්න වෙනවා. ඉතා කෙටි පිළිතුරක් දෙනවානම් ලංකාවේ පෙනෙන්නට තිබෙන සමස්ත ආර්ථික සෞභාග්‍යයම රඳා පවතින්නේ මේ විදිහට ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීම මතයි.
දැන් අපි තරමක් දිගු පැහැදිලි කිරීමක් කරා යමු.
රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්ක මොනවාද?
- දළ ජාතික නිෂ්පාදිතය ඉහළ දමා ගැනීම
- විරැකියා අනුපාතිකය පහළ දමා ගැනීම
- උද්ධමනය පහළ දමා ගැනීම
ප්‍රධානම කරුණු තුන මේ තුනයි. අනෙක් හැම දෙයක්ම ද්වීතියිකයි. ඔය ඉලක්ක තුන සැපිරී ඇත්නම් අවශේෂ දේවල් බොහෝ විට ඉබේටම වගේ හරියනවා. පැහැදිලි නැති කරුණක් ඇත්නම් ප්‍රශ්න ඇහුවොත් පැහැදිලි කළ හැකියි.
විදේශ ණය ගනිමින් රුපියල ශක්තිමත් කිරීම මේ ඉලක්ක අත්පත් කර ගැනීමට උදවු වෙන්නේ කොහොමද?
අපි දළ ජාතික නිෂ්පාදිතය ගනිමු. මෙයින් අදහස් වෙන්නේ සැබෑ, භෞතික වර්ධනයක්. පසුගිය අවුරුද්දේ මාළු ටොන් 100ක් ඇල්ලුවානම්, මේ අවුරුද්දේ මාළු ටොන් 105ක් ඇල්ලුවානම්, එය 5%ක වර්ධනයක්. මේ වර්ධනය ලැබෙන්නේ කොහොමද?
- ධීවරයින් ගණන වැඩි වීමෙන් (ශ්‍රමය)
- ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි වීමෙන් (ප්‍රාග්ධනය)
- එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණය වැඩි වීමෙන් (තාක්ෂනය/ ඵලදායීතාවය)
මොන විදිහකින් හරි එක වර ප්‍රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එවිට වැඩි ධීවරයින් පිරිසකට මුහුදු යන්න පුළුවන්. ඒ වගේම පරණ බෝට්ටු හා උපාංග වෙනුවට අලුත් තාක්ෂනය සහිත උපාංග ආවොත් එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණයත් වැඩි වෙනවා. ප්‍රශ්නය වන්නේ ඒ විදිහට එක වර ප්‍රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි ආකාරයක් තිබෙනවද?
අපි හිතමු සමස්තයක් ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන අය විසින් ණය ලෙස කර්මාන්තයට පිටතින් ප්‍රාග්ධනය ලබා ගන්නවා කියලා. ඒ ණය ලබා ගන්නේ රට ඇතුළෙන්මයි කියා සිතමු. දැන් ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. නමුත්, මේ විදිහට ධීවර අංශයට ප්‍රාග්ධනය එනකොට වෙන කවර හෝ අංශයකට ප්‍රාග්ධනය යන එක අඩු වෙන්නත් ඕනෑනේ. ඒ නිසා, සමස්තයක් විදිහට මේ වැඩෙන් ලොකු මැජික් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දළ ජාතික නිෂ්පාදිතය විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. එක අංශයක නිෂ්පාදිතය ඉහළ යද්දී වෙනත් අංශයක නිෂ්පාදිතය පහළ යනවා.
නමුත්, විදේශ ණය ලබා ගත්තහම තත්ත්වය වෙනස්. දැන් ලංකාවේ ධීවර අංශයට ප්‍රාග්ධනය ගලා ගෙන එන්නේ ලංකාවේම වෙනත් අංශයකින් නෙමෙයි. ඒ නිසා, ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යද්දී වෙන අංශයක නිෂ්පාදිතය අඩු වෙන්නේ නැහැ. පළමු වටයේදී වැඩේ ගොඩ. ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. විදේශ ණය වෙනුවට සෘජු විදේශ ආයෝජනයක් හෝ කළඹ ආයෝජනයක් (portfolio investment) ආවත් ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩේම වෙනවා.
හැබැයි පොඩි අවුලක් තිබෙනවා. දේශීය ණය (හෝ වෙනත් ආකාර වල ප්‍රාග්ධනය) අරගෙන ධීවර කර්මාන්තය වර්ධනය කළොත් ඒ ලබාගත් ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභත් රට ඇතුළේම ඉතිරි වෙනවා. විදේශ ප්‍රාග්ධනය ලබාගත් විට ඒ ප්‍රතිලාභ රටෙන් පිටට යනවා. දැන් සංඛ්‍යාලේඛණ බලපුවහම ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි වෙලා. විරැකියාව අඩු වෙලා. හැබැයි ඒ විදිහට ආර්ථික වර්ධනය වැඩි වීමේ හා විරැකියාව අඩු වීමේ වාසිය ලබාගෙන තියෙන්නේ රටෙන් පිටත සිටින කෙනෙක්.
දැන් ඊළඟ වටයේදී අවුලක් වෙනවා. ධීවර කර්මාන්තය ඇතුළේ කලින් තිබුණු තරමටවත් ප්‍රාග්ධනය නැහැ. කර්මාන්තය කඩා වැටෙනවා. හැබැයි ඔය වැඩේ වෙන්නේ ප්‍රාග්ධනය ලබා දුන් විදේශිකයා තමන්ගේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ සියල්ල අරන් ගියොත්. එහෙම නොකර එම ප්‍රතිලාභ නැවත රට ඇතුළේම ආයෝජනය කළොත් අවුලක් නැහැ. විදේශ ණය හා අදාළව ගත්තොත් පසුගිය වසරේ ලබාගත් විදේශ ණය හා ඒ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියට වඩා වැඩි මුදලක් මේ අවුරුද්දේ විදේශ ණය ලෙස නැවත ලබා ගන්නා තුරු ආර්ථික වර්ධනය පවත්වා ගන්න පුළුවන්. ණය ගැනීම අඩු කළ ගමන්ම ආර්ථික වර්ධනය නැවතෙනවා. ණය නොගෙන හිටියොත් ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙනවා.
මෙහිදී සාකච්ඡා කළේ විදේශ ණය ගැනීම පිළිබඳවයි. විදේශ ණය රාජ්‍ය ණයම විය යුතු නැහැ. පෞද්ගලික අංශය විසින් සෘජුව ලබා ගන්නා ණය වෙන්නත් පුළුවන්.
දැන් අපි රාජ්‍ය ණය කියන කරුණ සාකච්ඡාවට ගනිමු. සරල කරුණක් විදිහට ගත්තොත් රජය විශාල කිරීමෙන්, එහෙමත් නැත්නම් වැඩි වැඩියෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගැනීමෙන්, රටේ විරැකියා අනුපාතය අඩු කරන්න පුළුවන්. වෙන කිසිදු හානියක් නැත්නම්, විරැකියා අනුපාතය අඩුවීම හොඳ බව ඉතාම පැහැදිලියිනේ.
අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට රජයෙන් වැටුප් හිමි වෙනවා. ඒ කියන්නේ රටේ සමස්ත ආදායම ඉහළ යනවා. හැබැයි අනික් පැත්තට රජය විසින් මේ වියදම් බදු ලෙස අය කර ගත යුතුයි. ඒ විදිහට අය කර ගන්න වෙන්නේ රටේ වෙනත් කවුරු හෝ ඉපැයූ ආදායමක්. ඒ කියන්නේ ඇත්තටම රටේ සමස්ත ආදායම ඉහළ යන්නේ නැහැ. එහෙම වෙන්නනම් රජය මේ අලුත් සේවකයින්ට වැටුප් ගෙවිය යුත්තේ බදු ඉහළ නොදමමින්. ඒ කියන්නේ අයවැය හිඟයක් පවත්වා ගනිමින්.
දැන් රජයේ අයවැය හිඟය පියවීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. එක විසඳුමක් වන්නේ දේශීය ණය ගැනීම. හැබැයි එවිට රටේ ජාතික ආදායම සමස්තයක් ලෙස ඉහළ යන්නේ නැහැ. එක් කෙනෙක්ගේ ආදායමෙන් කොටසක් අරගෙන වෙන කෙනෙකුට දෙන එක පමණයි. ඒ නිසා, ඒ වැඩෙන් ආර්ථිකය පුම්බන්න බැහැ. ඉතිරි ක්‍රම දෙක විදේශ ණය ගැනීම හා මහ බැංකුවෙන් ණය ගැනීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි. මේ කරුණු දෙකත් එකිනෙකට සම්බන්ධයි.
අපි දන්නවා සල්ලි අච්චු ගැසීම එහෙමත් නැත්නම් මහ බැංකුවෙන් ණය ගැනීම උද්ධමනයට හේතු වන බව. මේ කරුණ මා වරින් වර පැහැදිලි කර තිබුණත් මේ ලිපියේ පැහැදිලි කර නැති නිසා පසුව නැවත විස්තර කරන්නම්. දැනට අපි මේ කරුණ එළෙස පිළිගනිමු.
රජය විසින් විදේශ ණය අරගෙන ඒ විදේශ ව්‍යවහාර මුදල් මහ බැංකුවට දී මහ බැංකුවෙන් රුපියල් අරගෙන වියදම් කළා කියා හිතමු. එහෙම කළත් අන්තිමට වෙන්නේ රටේ මුදල් සැපයුම ඉහළ යාමයි. ඒ කියන්නේ අවසාන වශයෙන් උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, විදේශ ණය ලෙස ලබා ගන්නා ඩොලර් සියල්ල මහ බැංකුවේ සංචිත ලෙස තබා ගැනීමත් රටේ උද්ධමනය පාලනය කර ගැනීමත් කියන දෙකම එකවර කිරීම සෛද්ධාන්තිකවම කරන්න බැහැ. විදේශ ණය ගන්නා අතරම උද්ධමනයත් පාලනය කරන්නනම් අනිවාර්යයෙන්ම ඒ විදේශ ණය වැය කර අපනයන ආදායම් ඉක්මවා භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. පළමුව වෙළඳ ශේෂ හිඟයත්, දෙවනුව ජංගම ගිණුම් ශේෂයේ හිඟයත් පුළුල් වෙන්න ඉඩ අරින්නම වෙනවා.
දැන් අපි උද්ධමනය කියන කරුණට එමු. ඉතාම සරල උදාහරණයක් ගනිමු. ලංකාවේ එකම නිෂ්පාදිතය පොල් පමණයි. වසරකට ලංකාවේ පොල් ගෙඩි 100ක් නිපදවනවා. රටේ මුදල් සැපයුම රුපියල් 10,000යි. අපේ පහසුව සඳහා රුපියලක් වසරකදී ගනුදෙනු සඳහා යොදා ගන්නේ වරක් පමණයි කියා හිතමු. දැන් පොල්ගෙඩියක මිල රුපියල් 100ක් ලෙස තීරණය වෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 125ක් වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 80 දක්වා පහළ වැටෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 80ක් දක්වා අඩු වී වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 125 දක්වා ඉහළ යනවා. පොල් නිෂ්පාදිතය 100 ලෙසම තිබියදී මහ බැංකුව මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි කළොත් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යනවා.
අපි හිතමු රජය දේශීය ණය ලෙස රුපියල් 2000ක් ලබාගෙන රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. එහෙම නැත්නම් කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදවනවා. මේ වැඩෙන් රටේ මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. රටේ මුදල් සැපයුම තිබුණේ රුපියල් 10,000 ලෙසනම් ණය ලෙස ලබා ගන්නේ එම මුදලින් රුපියල් 2000ක්. එය නැවත ආර්ථිකයට එකතු වෙනවා. ඒ නිසා මිල මට්ටමේ වෙනසක් වෙන්නේ නැහැ.
මේ වැඩෙන් රාජ්‍ය අංශයේ රැකියා ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතයට යම් ධනාත්මක බලපෑමක් ඇති වෙනවා. නමුත්, ඒ එක්කම ධීවර කර්මාන්තය වගේ කිසියම් අංශයකට ලැබෙන්න තිබුණු ප්‍රාග්ධන ප්‍රවාහ අඩු වෙනවා. මොකද රජය විසින් අර රුපියල් 2000 එකතු කර ගත්තේ නැත්නම් ඒ මුදල වෙනත් කවර හෝ අංශයක ආයෝජනය වෙනවා. දැන් එය වෙන්නේ නැහැ. ඒ නිසා, රාජ්‍ය අංශයෙන් පිටත නිෂ්පාදිතය අඩු වෙනවා. විරැකියාව ඉහළ යනවා. අන්තිමට රටට ලැබුණු සමස්ත වාසියක් නැහැ.
මේ රුපියල් 2000 ණය ලෙස ගත්තේ මහ බැංකුවෙන්නම් ඉහත කී පරිදි දළ දේශීය නිෂ්පාදිතයට හා විරැකියා අනුපාතිකයට සිදු වන සාධනීය බලපෑම නිශේධනය වන්නේ නැහැ. නමුත්, මෙය උද්ධමනයට හේතු වෙනවා. කලින් රුපියල් 100ක් වූ පොල් ගෙඩිය රුපියල් 120ක් වෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට පරිභෝජනය කළ හැකිව තිබුණු පොල් ප්‍රමාණය 1/6කින් අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් රාජ්‍ය අංශයෙන් පිටත සිටි අය පරිභෝජනය කළ පොල් ගෙඩි 6කින් එකක් රාජ්‍ය අංශය ඇතුළේ ඉන්න අය විසින් පරිභෝජනය කරන්න පටන් ගන්නවා. මෙයත් බද්දක් වගේමයි. බද්දක් පෙනෙන්න නැති කම පමණයි වෙනස. ඒ නිසා සමස්තයක් ලෙස රටේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
දැන් අපි හිතමු රජය ඩොලර් 10ක ණයක් ගත්තා කියලා. ඊට පස්සේ මම යෝජනා කරන විදිහට මේ ඩොලර් 10 මහ බැංකුවට දී රුපියල් ලබා ගන්නවා. මහ බැංකුව විසින් ඩොලරයට රුපියල් 200 බැගින් රජයට ගෙවනවා. රජය අමතර රුපියල් 2000ක් වියදම් කරනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුමෙන් සමාන්තරව රුපියල් 2000ක් ආපසු ලබා ගත්තේ නැත්නම් මේ වැඩෙන් වෙන්නේත් උද්ධමනය ඉහළ යන එකයි. කලින් ක්‍රමයේදී වෙන දෙයමයි.
දැන් අපි මේ වගේ දෙයක් හිතමු. රජය විසින් ඩොලර් 20ක විදේශ ණයක් ගන්නවා. එයින් ඩොලර් 10ක් මහ බැංකුවට දී රුපියල් 2000ක් ලබා ගන්නවා. ඉතිරි ඩොලර් 10 වැය කර පොල් ගෙඩි 20ක් ආනයනය කර සහනාධාරයක් ලෙස බෙදා හරිනවා. ඒ එක්කම අර අමතර රුපියල් 2000 යොදවා රාජ්‍ය සේවය පුළුල් කරනවා.
මෙය සෘජුව නැතිව වක්‍ර ආකාරයකින් වුවත් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රජය විසින් ඩොලර් 20ම මහ බැංකුවට දී රුපියල් 4000ක් ලබාගෙන එම මුදල වියදම් කරනවා. මුදල් සැපයුම රුපියල් 4000කින් වැඩි වෙනවා. කවුරු හෝ කෙනෙක් එයින් රුපියල් 2000ක් නැවත මහ බැංකුවට දී ඩොලර් 10ක් ලබාගෙන එයින් පොල් ආනයනය කරනවා. අවසාන ප්‍රතිඵලය කලින් එකමයි. මුදල් සැපයුම අවසානයේදී රුපියල් 2000කින් වැඩි වෙනවා. නිල සංචිත ඩොලර් 10කින් වැඩි වෙනවා.
මේ වැඩෙන් විරැකියාව අඩු වෙනවා. ආර්ථික වර්ධනය වැඩි වෙනවා. එකම අවුල උද්ධමනය ඉහළ ගියොත් මේ වාසි නිශේධනය වෙන එකයි.
දැන් මුදල් සැපයුම රුපියල් 12,000ක් වෙලා. රටේ පොල් නිෂ්පාදිතය ඉහළ ගිහින් නැහැ. නමුත්, ආනයනය කළ පොල් ගෙඩි 20ත් සමඟ රටේ පොල් සැපයුම 120ක් වෙලා. මුදල් සැපයුම 20%කින් ඉහළ යද්දී පොල් ගෙඩි ගණනත් 20%කින් ඉහළ ගිහින්. ඒ නිසා උද්ධමනයක් නැහැ. දැන් අවසාන ප්‍රතිඵලය කුමක්ද?
- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.
අපි තවත් අමතර කරුණු ටිකක් දෙසත් බලමු. රජය විසින් වෙළඳපොළට එකතු කරන අමතර ඩොලර් 10 නිසා ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රුපියල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ රුපියල් 200ට වූ ඩොලරය රුපියල් 180ක් වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්.
දැන් මේ වැඩේ වුනේම විදේශ ණය අරගෙන වියදම් කිරීම නිසානේ. ඒ කියන්නේ විදේශ ණය ඩොලර් වලින් බැලුවොත් අනිවාර්යයෙන්ම ඉහළ ගිහින්. අපි හිතමු කලින් ඩොලර් 200ක විදේශ ණය තිබුණා කියලා. දැන් ඩොලර් 220ක විදේශ ණය තිබෙනවා. නමුත්, රුපියල් වලින් බැලුවොත් කොහොමද තත්ත්වය. කලින් විදේශ ණය ප්‍රමාණය 200x200 = රුපියල් 40,000යි. දැන් 220x180 = රුපියල් 39,600යි. කොහොමද ටිකිරි මොළේ? අන්තිමට ණයත් අඩු වෙලා.
රාජපක්ෂ රෙජීමයේ ආර්ථික කළමණාකරණය හරහා ළඟා කරගත් සෞභාග්‍යය ඔය වගේ සංකීර්ණ දෙයක්. බැලූ බැල්මටම පෙනෙන පරිදි සංඛ්‍යාලේඛණ හැම එකක්ම හොඳයි. ආර්ථික විද්‍යාව ගැන දැනුමක් හා පුහුණුවක් තිබෙන ස්වාධීන විශ්ලේෂකයින් ගොඩක් අයට මෙහි අවුලක් තිබෙන බව පේනවා. නමුත්, එය සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙන විදිහට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොහොමටත් එවැනි ස්වාධීන විශ්ලේෂකයින් ලංකාවේ ඉන්නවානම් ඉන්නේ ඉතාම අඩුවෙන්.
අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය විසින් කළේ කාලයක් තිස්සේ සිදුවෙමින් තිබුණු ක්‍රියාවලියක් භයානක අන්තයකට තල්ලු කිරීම පමණයි. මේ ආර්ථික ආකෘතිය රාජපක්ෂලාගේම නිර්මාණයක් නෙමෙයි. නිදහසේ සිටම ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක්. එක පැත්තකින් මේ සැලසුමේ නිර්මාණකරු ජේආර් කියා කියන්න පුළුවන්. එය ඔහු හැත්තෑ හතේදී පටන්ගත් ව්‍යාපෘතියක් නෙමෙයි. හතළිස් හතේදී පටන්ගත් ව්‍යාපෘතියක්.
මේ සියල්ල විස්තර කිරීමෙන් පසුවත් කියවන අයට මෙහි තිබෙන අවුල නොතේරෙන්න පුළුවන්. මේ ආර්ථික සැලසුමේ ප්‍රතිඵල මොනවාද?
- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.
- රුපියල ශක්තිමත් වෙලා.
- දදේනි අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පහළ ගිහින්.
ඔය වගේ තත්ත්වයක් පේන්න තියෙනවානම්, ඉතිං හත් දෙයියනේ මොකක්ද මේකේ තියෙන අවුල. හැම දේම මාර සිරාවට වෙලානේ.
කියවන අය අතර ඉංජිනේරු මිතුරන් ගොඩක් ඉන්නවනේ. අපි හිතමු අපිට තට්ටු පහක ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍යයි කියලා. අපි මුලින්ම ඔතැන පස් වල තත්ත්වය පරීක්ෂා කරලා අවශ්‍ය පමණ ශක්තිමත් පාදමක් දමනවානේ. දැන් අපි ඕකේ හතරවන තට්ටුවේ ස්ලැබ් එක දමද්දී ඔතැනට රාජ්‍ය බලධාරියෙක් එනවා. ඇවිත් නියම කරනවා ගොඩනැගිල්ල තට්ටු හයකට ගහන්න කියලා. නමුත්, පාදම සැලසුම් කරලා තියෙන්නේ තට්ටු පහක ගොඩනැගිල්ලකට. කරන්නම දෙයක් නැහැ. අන්තිමට වැඩේ කරනවා. දැන් තට්ටු හයයි.
ඔය ගොඩනැගිල්ල කඩා වැටෙනවද? ගොඩක් වෙලාවට කඩා වැටෙන්නේ නැහැ. මොකද තට්ටු පහකට සැලසුම් කළත් බොහෝ විට තට්ටු හයක් ගහන්න තරමට වුනත් පාදම ශක්තිමත්. සැලසුම හදලා තියෙන්නේ සේෆ්ටි ෆැක්ටර්ස් තියලා. දැන් මේ හය වන තට්ටුව කාපට් කරලා, ඒසී කරලා මාර ලස්සනට තිබෙනවා. අර රාජ්‍ය බලධාරියාට පුළුවන් පොර ටෝක් දෙන්න තමන්ගේ "අවුට් ඔෆ් ද බොක්ස්" ප්‍රවේශය ගැන. ඊට පස්සේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. හයට උඩින් හත් වෙනි තට්ටුවකුත් ගහනවා. ඒත් ගොඩනැගිල්ල කඩා වැටිලා නැහැ. නමුත්, එහි ස්ට්‍රක්චර් එක දවසින් දවස දුර්වල වෙනවා. එය පිටතට පේන්නේ නැහැ. ගොඩනැගිල්ලේ ඉන්න විට බයක් දැනෙන්නේ අදාළ ඉංජිනේරුමය දැනුම තිබෙන අයට පමණයි. අනෙක් අයට කිසිම අවුලක් නැහැ.
ඔය ගොඩනැගිල්ල සමහර විට කාලයක් කඩා නොවැටී තියෙන්න පුළුවන්. නමුත්, කාලයත් එක්ක එය කඩා වැටීමේ අවදානම ඉහළ යනවා. සුළි සුළඟක් වගේ ආපු වෙලාවක ඔය ගොඩනැගිල්ලේ ඉන්න එක අන්තිම භයානකයි. ලංකාවේ ආර්ථිකය ගත්තොත් කෝවිඩ් කියන්නේ ඒ වගේ සුළි සුළඟක්.
මේ ගොඩනැගිල්ල උඩට උස්සන්න අවශ්‍යනම් එය මුළුමනින්ම කඩා ඉවත් කරලා පාදම ශක්තිමත් කරන්න ඕනෑ. නමුත්, ඒ වැඩේ ජනප්‍රිය වැඩක් නෙමෙයි. ගොඩනැගිල්ල ඇතුළේ සැපට ඉන්න පුළුවන්. එය කඩා අළුතින් හදන්න මහන්සි වෙන්න ඕනෑ.
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වන ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා. පළමුව දේශපාලන අධිකාරිය එහෙමත් නැත්නම් බලයේ සිටින ආණ්ඩුව. දෙවනුව මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්. තෙවනුව මහ බැංකුව. දේශපාලන අධිකාරිය ගත්තොත්, හැම විටම වාගේ ආණ්ඩුවකට කර ගහන්න වෙන්නේ පරණ පවු වලට. උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂට විසඳන්න වී තිබෙන්නේ ඊට පෙර ආණ්ඩු විසින් ඇති කළ ප්‍රශ්නයක්. යහපාලන ආණ්ඩුව හෝ ඊට පෙර රාජපක්ෂ රෙජීමය ගත්තත් එහෙමයි. ප්‍රශ්නය විසඳනවා කියා කියන්නේ ගොඩනැගිල්ල කඩා පාදම ශක්තිමත් කර අළුතින් හදන එක. එය දේශපාලනිකව වාසිදායක වැඩක් නෙමෙයි. තමන් ආණ්ඩු කරන වසර හතර පහ ඇතුළත ගොඩනැගිල්ල කඩා නොවැටෙනු ඇතැයි යන විශ්වාසය මත ප්‍රශ්නය අමතක කර සිටීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායකයි.
මහා භාණ්ඩාගාරයේ හෝ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ගත්තත් ඔවුන්ගේ තීරණ දේශපාලනිකයි. ප්‍රශ්නය විසඳනවාට වඩා කල් දැමීම ගොඩක් අයට පෞද්ගලිකව ලේසි වැඩක්. හැබැයි දැන් තත්ත්වය තව දුරටත් ඉදිරි ආණ්ඩුවකට පැටවීමට අසීරු තරමටම ඔඩු දුවා තිබෙනවා.
වඩාත්ම නිරවුල්ව ප්‍රශ්නය කුමක්ද?
පවතින ආකෘතිය යටතේ ප්‍රධාන ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් පවතින බව සහතික කරන්න පුළුවන් වුනත් එසේ කළ හැක්කේ ඉතාම භයානක පූර්ව කොන්දේසි යටතේයි. ඒ පූර්ව කොන්දේසි මොනවාද?
- සෑම වසරකම දැනට ඇති විදේශ ණය පියවීමට අලුතෙන් විදේශ ණය ගත යුතුයි.
- දැනට ඇති විදේශ ණය සඳහා පොලී ගෙවීමටද අලුතෙන් විදේශ ණය ලබාගත යුතුයි.
- ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටනම් ඉහත මට්ටම් ඉක්මවා තවත් විදේශ ණය ලබා ගත යුතුයි.
කෙටියෙන් කිවුවොත් හැම වසරකදීම අලුතින් විදේශ ණය ලබා ගත යුතුවාක් මෙන්ම එසේ අලුතින් ලබා ගන්නා විදේශ ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ දැමිය යුතුයි. මෙය සමාන කළ හැක්කේ පිරමිඩ් ක්‍රමයකටයි.
එක්සත් ජාතික පක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර රටවල් මේ පිරමිඩ් ආකෘතියට මූලධාර්මික ලෙස විරුද්ධ නැති බවත් මෙහිදී පැහැදිලිව කිව යුතුයි. රාජපක්ෂලා යටතේ විණිමය අනුපාතිකය පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වන විට එක්සත් ජාතික පක්ෂය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වන බව අපට බොහෝ විට පෙනෙන දෙයක්. මේ කණ්ඩායම් වල ස්ථාවරය වන්නේ විණිමය අනුපාතිකය ස්වාධීනව නිර්ණය වීමට ඉඩ හැරිය යුතු බවයි. යහපාලන ආණ්ඩුව කාලයේ ඔවුන් යම්තාක් දුරකට මේ ස්ථාවරයේ සිටියා. එහෙත්, මා කියන දෙය මෙයම නෙමෙයි.
මා කතා කරන්නේ මහ බැංකුව මැදිහත් නොවී යම් මොහොතක විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීම පිළිබඳව නෙමෙයි. එයින් ඔබ්බට ගොස් රටේ ශුද්ධ වත්කම් හා බැරකම් පරතරය සමතුලිත කරගැනීම ඉලක්ක කළ යුතු බවයි. සමතුලිත කර ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බව පැහැදිලි වුවත්, අඩු වශයෙන් වත්කම් හා බැරකම් අතර පරතරය භයානක මට්ටමකට යා නොදී ස්ථාවර කර ගත යුතු බවයි. මේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කියන කතාව හෝ බොහෝ නිදහස් මතධාරී ආර්ථික විද්‍යාඥයින් විසින් කියන කතාවම නෙමෙයි. විදේශ ණය අරගනිමින් විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීමේ වරදක් ඇතැයි ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයේ ගෙල සිරකරන තොණ්ඩුව තිබෙන්නේ එතැනයි.
මා පෙර පෙන්වා දී ඇති පරිදි මේ වන විට ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා. ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් තිබෙන චීනය වැනි රටකට ඉදිරි වසර පහක කාලය තුළ තවත් ඩොලර් බිලියන 15ක් ලංකාවට ණය ලෙස දෙන එක අසීරු වැඩක් නෙමෙයි. ඒ නිසා, මේ ආණ්ඩුවටත් ප්‍රශ්නය ඉදිරි ආණ්ඩුවකට තල්ලු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්නය තේරුම් ගැනීමට හැකි වනු ඇත්ද යන කරුණ මතයි. ඔහු ප්‍රශ්න කල් දැමීම වෙනුවට ස්ථිර විසඳුම් සෙවීමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතත් පළමුව ඔහු මෙහි ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් ගත යුතුයි. එහෙත්, මේ ප්‍රශ්නය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් තිබෙන බොහෝ දෙනෙකුට පවා හරියටම වටහා ගත නොහැකි සංකීර්ණ ප්‍රශ්නයක්.
මෙතෙක් ආර්ථික අගාධයක වැටී සිට "ගොඩගිය" රටවල් ලෙස සැලකිය හැකි ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වැනි හැම රටක්ම වාගේ බැරකම් ගොඩගසා ගැනීම වෙනුවට වත්කම් ගොඩගසා ගත් රටවල්. ලෝකයේ එක් එක් රටවල ශුද්ධ වත්කම් හා බැරකම් දෙස බැලූ විට ශුද්ධ විදේශ බැරකම් ඇති රටවල් ලෙස අපට ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි "හොඳින් ඉන්න" රටවල්ද හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වලට ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගත හැකි විකල්ප මාර්ගයක්ද තිබෙනවා. ඒ බැරකම් වල අයිතිය හිමි විදේශිකයාව ස්වදේශිකයෙකු කර ගැනීමයි. සංක්‍රමණිකයෙකුට පහසුවෙන් ස්වදේශිකයෙකු වීමට ඉඩ සලසන සංස්කෘතියක් ඇති රටක් සතුව ශුද්ධ බැරකම් තිබීම ප්‍රශ්නයක් වන්නේ අඩුවෙන්.
චීනය, ජපානය හෝ කොරියාව වැනි රටවල ඉහත සාධකය නැහැ. විදේශිකයෙකුට චීනයට සංක්‍රමණය වී චීනෙකු වෙන්න බැහැ. ජපානයට සංක්‍රමණය වී ජපනෙකු වෙන්න බැහැ. මෙවැනි තත්ත්වයක් ඇති රුසියාව හා මැද පෙරදිග කලාපයේ රටවලත් ශුද්ධ විදේශ බැරකම් වෙනුවට ශුද්ධ විදේශ වත්කම් තිබෙනු දැකිය හැකියි.
ලංකාව සිටින්නේත් මේ දෙවන ගොඩේ. විදේශිකයෙකුට ලංකාවට පැමිණ ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය වීම මේ වන විට නොකළ හැකි තරම් අසීරු වැඩක්. සැබෑවක් නොවුනත් MCC භීතිකාව පැතිරූ අය ජනගත කළ අදහසක් වුනේ ලංකාවේ ඉඩම් ඇමරිකානුවන් විසින් අයිති කර ගනු ඇති බවයි. යම් හෙයකින් ලංකාවේ ගම් වල අතරින් පතර ඇමරිකානුවන්, චීනුන් හෝ අප්‍රිකානුවන් පදිංචි වෙන්න පටන් ගත්තොත් එය බොහෝ දෙනෙකු දකිනු ඇත්තේ විශාල ප්‍රශ්නයක් ලෙසයි. එහෙත්, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක සමාජය මේ වන විට එවැනි දෙයකට හුරු වෙලා සිටිනවා.
ලංකාවේ මේ තත්ත්වය කෙටි කලකදී වෙනස් වෙයි කියා හිතන්න අමාරුයි. සංක්‍රමණිකයින් විශාල ලෙස පිළිගන්න ලංකාවේ සමාජය සූදානම් නැත්නම්, ශුද්ධ බැරකම් පුළුල් කර ගැනීම ගැන මීට වඩා බරපතල ලෙස හිතන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ.