වෙබ් ලිපිනය:

Showing posts with label වාණිජ බැංකු. Show all posts
Showing posts with label වාණිජ බැංකු. Show all posts

Thursday, April 21, 2022

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද?


පසුගිය ලිපියෙන් පසුව ගොඩක් අය භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ හා අදාළ තවත් ප්‍රශ්න ගණනාවකුත් ඇහුවා. ලංකාවේ බොහෝ දෙනෙක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව දන්නේ නැහැ. දැනගත්තත් එය කරන හැටි දන්නේ නැහැ. එහි වාසිය සුළු පිරිසක් විසින් ගන්නවා.

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ මොනවාද?

සරලව කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් කියන්නෙත් ස්ථිර තැන්පතුවක් වගේ දෙයක්. වෙනස්කම් තිබෙනවා. ස්ථිර තැන්පතුවක් දමද්දී ඔබ කරන්නේ බැංකුවකට ණය දෙන එක. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී කරන්නේ රජයට ණය දෙන එක. 

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එක අවදානම්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප අතරින් අවදානම අඩුම සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එකයි. ස්ථිර තැන්පතු ආදියේ සල්ලි දමන එක ඊට වඩා අවදානම්. බැංකුවක් පහසුවෙන්ම බංකොලොත් විය හැකි නමුත් රජයක් ඒ තරම් පහසුවෙන් බංකොලොත් වෙන්නේ නැහැ. 

එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් වෙලා තියෙන්නේ රජය බංකොලොත් වීමක් නෙමෙයි. එය එක විදිහකින් රට බංකොලොත් වීමක් කියා කියන්න පුළුවන්. ඩොලර් නැති නිසා රජය විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරලා තිබෙනවා. නමුත්, රජයේ රුපියල් ණය හා අදාළව මෙවැනි අවදානමක් ඇති වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. රජයකට බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම වැනි බැංකුවකට හෝ වෙනත් අයෙකුට නැති විකල්ප හරහා සල්ලි හොයා ගෙන ණය ගෙවන්න පුළුවන්. දැන් වුනත් ලංකාවේ රජයට ඩොලර් ණයට දී තිබෙන අයෙකුට රුපියල් වලින් එම ණය හා පොලිය ආපසු ගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ගන්නේ කොහොමද?

මුලින්ම රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ හෝ වෙන්දේසියට පිටින් විකුණන කොට ඒවා කෙළින්ම මිල දී ගන්න පුළුවන් වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. වෙනත් අයෙකුට මිල දී ගන්න අවශ්‍යනම් වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු මාර්ගයෙන් මිල දී ගත යුතුයි. මේ විදිහට "ප්‍රාථමික වෙළඳපොළෙන්"  භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි අයයි. අනෙක් බොහෝ දෙනෙකු කරන්නේ වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් වෙන්දේසියෙන් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඔවුන්ගෙන් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ "ද්වීතියික වෙළඳපොළෙන්" මිල දී ගන්න එක.

එතකොට මහ බැංකුවේ තිබෙන සම්බන්ධය කුමක්ද?

මේක ටිකක් පැටලිලි සහගත දෙයක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට දෙන ණය මිසක් මහ බැංකුවට දෙන ණය නෙමෙයි. එහෙත්, රජය වෙනුවෙන් වෙන්දේසිකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. ණයකරුවන්ගේ ගිණුම් නඩත්තු කරන්නෙත් මහ බැංකුව. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වැඩේ මහ බැංකුවක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. වෙන රටවල මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාරය.

වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතරම මහ බැංකුවත් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. ඒ කියන්නේ රජයට ණය දෙනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහනවා කියා කියන්නෙත් මේ වැඩේට. (කොහොම වුනත් සල්ලි අච්චු ගැහීම මීට වඩා සංකීර්ණ දෙයක්. කලින් ලිපි බලන්න.)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න කොපමණ මුදලක් අවශ්‍යද?

අවම වශයෙන් රුපියල් 50,000ක් ආයෝජනය කර ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. (අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල කොපමණ කාලයකට ආයෝජනය කළ යුතුද?

මාස තුනකට, හයකට හෝ වසරකට ආයෝජනය කළ හැකියි. (අවම වශයෙන් මාසයකට ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අමාරු, සංකීර්ණ වැඩක්ද?

කොහෙත්ම නැහැ. ස්ථිර තැන්පතු දමනවා වගේ තමයි. ලඟම තිබෙන බැංකු ශාඛාවෙන් වැඩේ කරගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ස්ථිර තැන්පතු දමන එකට වඩා පාඩුද?

කලින් කිවුවා වගේ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම ස්ථිර තැන්පතු දමන එකේ අවදානමට වඩා අඩුයි. හරිනම් ස්ථිර තැන්පතු දමනවැඩි එකට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතු වුවත්, ලංකාවේ තිබෙන විකෘති තත්ත්වය නිසා අවදානම අඩු භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ප්‍රතිලාභයකුත් ලැබෙනවා. පහත තියෙන්නේ අද (අප්‍රේල් 22) සිට බලපාන සම්පත් බැංකුවේ පොලී අනුපාතික. මේ අනුපාතික රුපියල් 50,000 ආයෝජනයකට. ආයෝජනය වැඩි වෙද්දී මේ අනුපාතික තවත් ටිකක් වැඩි වෙනවා.

මාස 3 - 20.80%

මාස 6 - 20.80%

වසර 1- 21.05%

ඉහත පොලී අනුපාතික සම්පත් බැංකුවේම ස්ථිර තැන්පතු පොලී අනුපාතික සමඟ සසඳා බලන්න.

මාස 3 - 6.25%

මාස 6 - 7.00%

වසර 1- 7.50%

අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා කිවුවා නේද? ඒ මොකක්ද?

භාණ්ඩාගාර බිල්පතක් මිල දී නොගෙන බැංකුවට අයිති බිල්පතක කොටසක් යම් කාලයකට "කුලියට ගන්නවා" වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේ ක්‍රමයට මාසයකට මුදල් ආයෝජනය කරන්න වුනත් පුළුවන්. එහිදී බැංකුවට අයිති බිල්පතකින් කොටසක් යම් කාලයකට ඔබට අයිති වෙනවා. ඒ කාලයට අදාළ පොලිය ලැබෙනවා. 

සල්ලි දැම්මට පස්සේ කල් පිරෙන්න කලින් සල්ලි ආපසු ගන්න බැරිද?

පුළුවන්. එහිදී බිල්පත ඒ වන විට එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්න වෙනවා. එය තීරණය වන්නේ ඒ වන විට තිබෙන පොලී අනුපාතය අනුව. බිල්පත ගත්තට පස්සේ පොලී ඉහළ ගිහින්නම් සාමාන්‍යයෙන් පාඩුවක් හෝ ලාබය අඩු වීමක් වෙනවා. පොලිය අඩු වෙලානම් මුලින් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ලාබයක් ලැබෙනවා.

සල්ලි දැම්මට පස්සේ බැංකුව බන්කොලොත් වුනොත් මොකද වෙන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාර බිල්පතක් බැංකුවකින් ගත්තත් ඔබේ නමින් එම බැංකුවේ වගේම මහ බැංකුවේත් ගිණුමක් ආරම්භ වෙනවා. ඔබේ බැංකුවෙන් වගේම මහ බැංකුවෙනුත් ඔබට ගිණුම් ප්‍රකාශ ලැබෙනවා. වක්‍ර ලෙස ඔබේ ගිණුම තිබෙන්නේ මහ බැංකුවේ කියන්නත් පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ඔය තරම් වාසිදායකනම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් නොගෙන ස්ථිර තැන්පතු දමන්නේ ඇයි?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. කෙටි පිළිතුර ලංකාවේ බොහෝ දෙනෙකුට මූල්‍ය සාක්ෂරතාවය නැති වීම. ඇතැම් අය හිතාමතා කියන බොරු වලට වෙනත් ක්ෂේත්‍ර වල විශේෂඥයින් පවා පහසුවෙන් අහුවෙන්නේ ඒකනේ. මිනිස්සු 7% පොලියට බැංකුවේ සල්ලි දානවනම් ඒ සල්ලි අනෙක් පැත්තට 24% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා විශාල ලාබයක් ගන්න පුළුවන්කම තියෙද්දී, පොඩි කොමිස් මුදලකට මිනිස්සුන්ට විකුණන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ නිසා, කිසිම බැංකුවක් සක්‍රිය ලෙස භාණ්ඩාගාර බිල්පත් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. කවුරු හරි ගිහින් ඇහුවොත් විතරක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාලා දෙනවා. නැත්නම් ස්ථිර තැන්පතුවකට ඒ සල්ලි අරගෙන බැංකුවේ නමට භාණ්ඩාගාර බිල්පත් ගන්නවා. 

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Monday, March 21, 2022

අච්චු ගහන අච්චු නොගහන සල්ලි


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී ගොඩක් අය සල්ලි අච්චු ගහනවා කියලා කෑ ගහනවා. නමුත්, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා හැම විටෙකම සල්ලි අච්චු ගැසීමක් හෙවත් සංචිත මුදල් ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ බව කලින් ලිපියෙන් පැහැදිලි කළා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී කෙසේ වෙතත් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යද්දී සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වී, රුපියලේ සැබෑ අගය පහළ යනවා. බඩු මිල ඉහළ යාමේදී හා විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේදී වෙන්නේ එසේ පහළ ගිය රුපියලේ සැබෑ අගය බඩු වල හා ඩොලරයේ මිලෙන් නිවැරදිව නිරූපණය වීමයි.

පසුගිය මාර්තු 16 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක්. වසර ආරම්භයේදී මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1,305.8ක්. පෙර වසර ආරම්භයේදී රුපියල් බිලියන 964.4ක්.

ඉහත සංඛ්‍යා දෙස බැලූ විට 2021 වසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 35.4%කින් වැඩි වී තිබෙන බව පේනවා. පසුගිය මාස දෙක හමාරක කාලය තුළ සංචිත මුදල් ඉහළ ගොස් තිබෙන්නේ 5.0%කින් පමණයි.

කෙසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ, මෙහි සඳහන්ව ඇති මුදල් ප්‍රමාණයට අමතරව තවත් විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු පද්ධතිය වෙත මුදා හරිමින් සිටින බවයි. මාර්තු 16 දින මෙසේ මුදා හළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 562.8ක්. 

මෙය කලක සිටම සිදුවන දෙයක්. එහෙත්, මෙම මුදල ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 31 දින මෙසේ මුදා හළ මුදල රුපියල් බිලියන 366.2ක් පමණයි. මේ අයුරින් මහ බැංකුවට දෛනික පදනම මත රුපියල් මුදා හරින්න සිදු වී තිබෙන්නේ මේ වන විට බැංකු පද්ධතියේ විශාල රුපියල් හිඟයක් තිබෙන නිසයි.

පෙර වසර අවසානයේ තිබුණේ වෙනස් තත්ත්වයක්. ඒ වන විට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබුණා. 2020 දෙසැම්බර් 31 වන දින වාණිජ බැංකු විසින් දෛනික පදනම මත රුපියල් බිලියන 206.8ක් මහ බැංකුවේ තැන්පත් කළා. ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 964.4ක් වුවත්, ඇත්තටම සංසරණයට එකතු වුනේ එයින් රුපියල් බිලියන 757.6ක් පමණයි.

දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක් පමණක් වුවත්, ඊට අමතරව තවත් රුපියල් බිලියන 562.8ක් දෛනික පදනම මත සංසරණයට එකතු වීම සැලකූ විට මුළු ප්‍රමාණය රුපියල් බිලියන 1932.8ක්. මේ ආකාරයෙන්ම වසර මුල රුපියල් බිලියන 1,305.8ක් වූ සංචිත ප්‍රමාණයට රුපියල් බිලියන 366.2ක ද්‍රවශීලතා හිඟය එකතු කළ විට එකතුව රුපියල් බිලියන 1,672.0ක්.

බැංකු පද්ධතිය තුළ මෙපමණ විශාල ද්‍රවශීලතා හිඟයක් ඇති වීමට හේතුව මුදල් වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා රුපියල් සැපයුම අතර තිබෙන අසමතුලිතතාවයි. දැනට වඩා විශාල ප්‍රශ්නය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයට හැමෝගෙම අවධානය යොමු වී තිබෙන නිසා යටපත්ව තිබුණත් මෙයත් විශාල ප්‍රශ්නයක්. 

මේ අසමතුලිතතාවය දුරු කර ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කිරීම මුදල් නීති පණත අනුව මහ බැංකුවේ නීතිමය වගකීමක්. පොලී අනුපාතික ඉහළ දැමීම මගින් එය කළ හැකි වුවත්, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ නොදැමීම නිසා ප්‍රශ්නය ඔඩු දුවමින් තිබෙනවා. 

බැංකු වලට රුපියල් ලැබෙන්නේ කවුරු හෝ විසින් බැංකු වල මුදල් තැන්පත් කළ විටයි. එසේ නැත්නම් ගත් ණය ආපසු ගෙවන විටයි. තැන්පතුහිමියන් මුදල් ආපසු ගැනීමේදීත්, ණය ලබා ගැනීමේදීත් බැංකු වල තිබෙන රුපියල් එළියට යනවා. මේ විදිහට එළියට යන රුපියල් හා බැංකුවට එන රුපියල් ප්‍රමාණය සමතුලිත නොවුනහොත් බැංකුවට රුපියල් හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නැත්නම් රුපියල් අතිරික්තයක් ඇති වෙනවා. රුපියල් හිඟයක් ඇති වූ විට පොලී අනුපාතික ඉහළ දමා රුපියල් ආකර්ශනය කර ගන්න වෙනවා. එහිදී ණය ඉල්ලුමද අඩු වෙනවා. ඒ නිසා රුපියල් බැංකුවේ ඉතිරි වෙනවා.

මේ වෙලාවේ බැංකු වල විශාල රුපියල් හිඟයක් ඇති වීමට හේතුව රජය විසින් බැංකු වලට එකතු වන රුපියල් සියල්ලම මෙන් ණයට ගැනීමයි. බැංකු වල තිබෙන රුපියල් ප්‍රමාණයට අමතරව රජය විසින් බැංකු වල නැති රුපියල්ද ණයට ගෙන තිබෙනවා. එම නැති රුපියල් ප්‍රමාණය මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු වලට සපයමින් සිටිනවා. 

බැංකු වලට 7.5% පොලියට මහ බැංකුවෙන් "ඕනෑ තරම්" ණය ගත හැකියි. හවසට ගන්න සල්ලි පසුදා උදේ නැවත ආපසු ගෙවිය යුතුයි. ඉන් පසුව, පසුදා හවස නැවතත් ණය ගන්න පුළුවන්. මේ ණය වෙනුවෙන් වසරකට 7.5% පොලියෙන් දිනකට ගෙවිය යුතු කොටස මහ බැංකුවට ගෙවිය යුතුයි. 

වාණිජ බැංකු වලට ලාබෙට අරමුදල් සපයා ගැනීම සඳහා මේ විකල්පය තිබෙන නිසා ඔවුන් මීට වඩා වැඩි තැන්පතු පොලියක් ගෙවා රුපියල් එකතු කර ගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ගෙවන පොලිය යටතේ මීට වඩා රුපියල් ප්‍රමාණයක් බැංකු වලට එකතු වෙන්නෙත් නැහැ. 

මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න සල්ලි ඉතා පහසුවෙන් වැඩි පොලියකට ණයට දෙන්න පුළුවන්. මාර්තු 15 පැවති වෙන්දේසියේදී දින-91 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වුනේ 11.35%ක පොලියකට. ඒ කියන්නේ 11.35%ක පොලියකට රජයටම ණය දෙන්න පුළුවන්. එක පැත්තකින් 7.5%ක පොලියකට මහ බැංකුවෙන් ණය අරගෙන අනෙක් පැත්තෙන් 11.35%ක පොලියකට ඒ සල්ලි ටිකම ණයට දෙන්න පුළුවන්නම් කවුද ඔය වැඩේ නොකරන්නේ?

රුපියල් 562.8ක් වන වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ඇති වී තියෙන්නේ ඔය හේතුව නිසයි. මේ සල්ලි වලින් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැති නිසා මෙම මුදල සංචිත මුදල් වලට එකතු වෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් මිල දී අරගෙන තියෙන්නේ වාණිජ බැංකු. ඔවුන්ට රජය විසින් 11.35%ක පොලියක් ගෙවනවා. 

හැබැයි මේ සල්ලි වාණිජ බැංකු විසින් තැන්පතුකරුවන්ගෙන් එකතු කරගත් සල්ලි නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන්ම ගන්න සල්ලි. ඒ වෙනුවෙන් වාණිජ බැංකු විසින් මහ බැංකුවට 7.5%ක පොලියක් ගෙවනවා. 3.85%ක පොලී වෙනස ලාබය. වක්‍ර විදිහට වෙන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමක්ම තමයි. දවල්ට මේ භාණ්ඩාගාර බිල්පත් එළියට ගිහින් රෑට ආපහු මහ බැංකුවට එනවා. සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගැහීමක් වෙලා නැහැ.

උද්ධමනය ඉහළ යද්දී මේ වගේ තත්ත්වයක් නඩත්තු කිරීම තවත් ප්‍රශ්න ගණනාවකට පාර කැපීමක්. වියදම් ඉහළ යද්දී මිනිස්සු බැංකු වල තිබෙන සල්ලි අදිනවා. ණය කාඩ්පත් වලින් එහෙමත් සල්ලි අදිනවා. එය වලක්වා ගත හැකි ක්‍රමය විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමයි. අවම වශයෙන් මේ විශාල ද්‍රවශීලතා හිඟය නැති වන තුරු මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමිය යුතුයි. 

අනෙක් පැත්තෙන් අද වන විට ඩොලරයක මිල රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. IMF යනවා කියලා කිවුවට ඩොලරය ඉහළ යන එක පාලනය වෙන්නේ නැහැ. IMF උපදෙස් යටතේ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය ගැන පැහැදිලිව කියන්න පොඩි ඉඩක් ලැබෙනවා පමණයි. ඒ ඉඩෙන් ප්‍රයෝජන නොගත්තොත් ආපහු හිටපු තැනටම වැටෙනවා.

විණිමය අනුපාතය කියන්නේ ඩොලරයේ හා රුපියලේ සාපේක්ෂ වටිනාකම් අතර අනුපාතය. මේ වෙලාවේ ඩොලරයේ නිරපේක්ෂ වටිනාකම ගොඩක් වැඩියි. ඒක අඩු කරන්න අමාරුයි. නමුත්, රුපියලේ වටිනාකමද වැඩි කිරීම මගින් ඩොලරයේ සාපේක්ෂ වටිනාකම අඩු කරලා මිල ස්ථාවර කර ගන්න පුළුවන්. එය කළ හැක්කේ බැංකු පද්ධතියේ දැන් තිබෙන රුපියල් හිඟය වෙනුවට රුපියල් අතිරික්තයක් ඇති කිරීමෙන්. 

රුපියල් අතේ තිබෙන අයට ඒ රුපියල් බැංකුවක තැන්පත් කර විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකි වූ විට රුපියල් වල වටිනාකම ඉහළ යනවා. මිල ඉහළ යාමේ වාසිය තකා ඩොලර් හොයන අයට පහසුවෙන් වැඩි ලාබයක් ලැබිය හැකි විකල්පයක් ලැබෙනවා. ඒ හරහා, ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම පහළ යනවා.

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

Sunday, September 5, 2021

හමන සුළන් මකුළු දැලෙන්...?


මේ වෙද්දී ඩොලරයක මිල රජයේ හා මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 203කට වඩා අඩු වුවත් පෞද්ගලික බැංකු වල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 226-232 අතර පරාසයකයි. බැංකු වලින් පිට කොටුවේ මිල ඊටත් වැඩියි. මෙවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ මීට පෙර දැකිය හැකි වූයේ නැහැ.

ප්‍රශ්නයට මුල පසුගිය රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම විදේශ ණය ගනිමින්, එසේ ගත් විදේශ විණිමය දේශීය වෙළඳපොළට මහා පරිමාණයෙන් පොම්ප කරමින්, කෘතීම ලෙස රුපියලේ විදේශීය අගය එහි නියම අගයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ ණය ගැන කතා කළත්, වඩා බරපතල සැබෑ ප්‍රශ්නය වූයේ එම ණය වල උදවුවෙන් ඩොලරය පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵල මේ වෙද්දී ලැබෙමින් පවතිනවා.

රාජපක්ෂ දශකයේ සාර්ව-ආර්ථික දර්ශක පරීක්ෂා කරන අයෙකුට වැරැද්දක් හොයා ගන්න ලේසි නැහැ. හැම දෙයක්ම ඉතා හොඳින් තිබුණු බවයි සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ. ඇතැම් අය කියන විදිහට මේ සංඛ්‍යාලේඛණ බොරු නෙමෙයි. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන්නේ ඇස් බැන්දුමක් වුවත්, ඒ ඇස් බැන්දුම සැබෑ ලෝකයේද දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජපක්ෂ දශකයේ දැකිය හැකි වූ ආශ්චර්යය, දැකිය හැකි වූ සෞභාග්‍යය, බොහෝ දුරටම වැල්ලේ තැනූ මාලිගාවක්. මාලිගාව කිසිදු අඩුපාඩුවක් නැතිව ඉතා හොඳින් හදා තිබුණත් එය හදා තිබුණේ ලොකු රැල්ලක් පැමිණි වහාම බිඳ වැටෙන අයුරිනුයි. 

ආණ්ඩු මාරුවක් සිදු නොවුනානම් මාලිගාව කඩා වැටෙන්නේ 2016 පමණ කාලයේදී. එහෙත්, යහපාලන ආණ්ඩුව කෙසේ හෝ රැල්ල වලකා, මාලිගාවට මුක්කු ගසා, ප්‍රශ්නය වසර කිහිපයක් ඉදිරියට තල්ලු කළා. දැන් රැල්ල ඇවිත්. මාලිගාව කඩා වැටෙන්න පටන් අරන්.

ඩොලරය පහළින් තබා ගැනීම රාජ්‍ය ණය ප්‍රශ්නයටද වඩා බරපතල ප්‍රශ්නයක් බව මා කියන්නේ ඇයි? මේ හරහා රජය විසින් රජයෙන් බාහිර පාර්ශ්වයන්ටද ලෝකයට ණය වෙන්නට සෘජු හා වක්‍ර බලපෑමක් කළා. විශේෂයෙන්ම 2008න් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වල පොලී අනුපාතික තිබුණේ ඉතාම පහළ මට්ටමකයි. ලංකාවේ පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තිබුණා.

උදාහරණයක් විදිහට ලංකාවේ පොලී අනුපාතිකය 7% ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙහි ඩොලර් පොලී අනුපාතිකය 2% ලෙසත් සලකමු. මේ වගේ අවස්ථාවක ඩොලර් වලින් ණය ගෙන රුපියල් වලින් ආයෝජනය කරන අයෙකුට 5%ක ලාබයක් ලැබිය හැකියි. එහෙත්, රුපියල අදාළ කාලය තුළ 5%කින් අවප්‍රමාණය වුනොත් එම ලාබය ලැබෙන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් පවතින හා පැවති තත්ත්වය ඉහත ආකාරයේ තත්ත්වයක්. ලංකාවේ රුපියල් පොලී අනුපාතික ඩොලර් පොලී අනුපාතික වලට වඩා වැඩි වුවත් ඩොලරයක අගය ඉහළ යාමෙන් එම වෙනසේ වාසිය නිශේධනය වන නිසා ඩොලර් වලින් ණය වී රුපියල් වලින් ආයෝජනය කර ලාබ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ඩොලරයේ මිල ස්ථාවරව තබන බව ප්‍රකාශ කිරීමෙන් හා ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමෙන් මේ තත්ත්වය වෙනස් කළා. ඒ එක්කම, ලංකාවේ බැංකු හා වෙනත් ඇතැම් සමාගම් ඩොලර් වලින් ණය වී රුපියල් වලින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්න පෙළඹුණා. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "carry trade" ලෙසයි.

දැන් මේ වැඩෙන් වෙන්නේ කුමක්ද? වාණිජ බැංකු හා සමාගම් ඩොලර් වලින් ලෝකයට ණය වෙනවා. රජය මේ වාණිජ බැංකු හා සමාගම් වලින් රුපියල් ණය ගන්නවා. අන්තිමට වක්‍ර ලෙස සිදු වන්නේ රජය ලෝකයට ණය වීමක්ම වුවත්, මෙහිදී රජයෙන් බාහිර පාර්ශ්වද අවදානමක වැටිලා. රජයේ සංඛ්‍යාලේඛණ බැලුවොත් පෙනෙන්නේ දේශීය ණය. එහෙත්, ඇත්තටම මේ ණයත් විදේශීය ණය.

මහ බැංකුව ඇතුළේ මේ වෙද්දී යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පේනවා. මා එසේ කියන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට පෙනෙන දේවල් අනුවයි. මහ බැංකුව ඇතුලෙ මගේ පෞද්ගලික මිතුරන් ගණනාවක් සිටියත් මම ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැති තරම්. මා මෙහි ලියන දේවල් ලියන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්වයි. ඒ හැර, කිසිදු ආයතනයකින් මා අභ්‍යන්තර තොරතුරු ලබා ගන්නේ නැහැ. 

ලංකාවේ මහ බැංකුවට රජයෙන් ස්වායත්තව කටයුතු කළ නොහැකි බව ප්‍රචලිත කරුණක්. ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් මහ බැංකු වෘත්තිකයෙකුට තමන් විසින් කරන යම් සාධනීය දෙයක් වුනත් කරන්න තිබෙන ඉඩ අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම, මහ බැංකුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි රජයට අවශ්‍ය සේ වැඩ කිරීමෙන් මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වුවහොත්, එහි සේවකයින්ට කොහොමටත් පැවැත්මක් නැති වෙනවා. දේශපාලන පත්වීම් ලබන අධිපතිවරුන්ට මෙය ප්‍රශ්නයක් නොවුනත්, මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වූ විට එහි අවශේෂ සේවකයින්ට රජයේ පැවැත්ම අමතක කර මහ බැංකුවේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා.

පසුගිය ජූනි මාසය තරම් මෑතකදී මහ බැංකුව විසින් "තම ව්‍යාපාරික ශක්තීන් උපරිම වශයෙන් යොදා ගනිමින්" පිටරටින් ඩොලර් ණය අරගෙන, ඒ ඩොලර් රජයට ණය ලෙස දෙන මෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා. මෙය ගිලී මැරෙන්න යන රජය බේරා ගැනීම සඳහා වතුරට පැන මැරෙන සේ සෘජුවම කළ ආරාධනයක්. කිසියම් පෞද්ගලික ආයතනයක් මහ බැංකුවේ ඉල්ලීමට සවන් දුන්නේනම් දැන් වෙන්න තිබෙන හරිය වෙලා. වාණිජ බැංකු ටිකනම් කලින්ම ඔය උගුලේ අහුවෙලයි හිටියේ.

පහළින් තිබෙන්නේ පසුගිය මාස කිහිපය තුළ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වූ ආකාරයයි. වරහන් තුළ තිබෙන්නේ සෘණ අගයන්.

2021 අප්‍රේල් අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 349.1 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (778.0) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (428.9)

 

2021 ජූලි අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 10.3 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (709.6) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (699.4) 

රජය වගේම ලංකාවේ බැංකු පද්ධතියත්, විදේශ සංචිත පැත්තෙන් බැලුවොත්, බංකොලොත් වී අවසන්. ටික කලක සිටම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් වලට වඩා විදේශ බැරකම් වැඩියි. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ධන පැත්තේ ඉන්නේ යාන්තමින්. තව සුළු අඩුවක් වුවහොත් මහ බැංකුවත් සෘණ පැත්තට යනවා.

මේ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් මිදී ඉහළ යන්නේ ඇයි කියන එක පහසුවෙන් පැහැදිලි කළ හැකියි. 2021 ජූලි අවසානයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 709.6ක්. සරලව කිවුවොත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ බැංකු වල තැන්පත් කර තිබෙන ඩොලර් ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම (හෝ එවැනි වෙනත් බැරකම්) සඳහා පමණක් බැංකු වලට බිලියන 3.5ක පමණ ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

බැංකු වලින් කාලයක් තිස්සේ කළේ, මහ බැංකුව විසින් මෑතකදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටි පරිදි, ලෝකයට ණය වී ඩොලර් එකතු කරගෙන එම ඩොලර් රජයට ණය ලෙස දෙන එකයි. නමුත්, රජයට ණය දී තිබෙන්නේ ඩොලර් රුපියල් කිරීමෙන් පසුව නිසා ආපසු ලැබෙන්නේ රුපියල්. රුපියල් වලින් ණය ආපසු ලැබුණා කියා වාණිජ බැංකු වලට ඩොලර් ණය පියවන්න බැහැ. මේ වගේ වෙලාවක වාණිජ බැංකු වලට තිබෙන සාමාන්‍ය පිළියම මහ බැංකුවට රුපියල් දී ඩොලර් වලට මාරු කිරීමයි. ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකු වලට ඩොලර් දෙන්න සූදානම් නැහැ. තවත් ඩොලර් විකිණුවොත් මහ බැංකුව තමන්ගේම විදේශ බැරකම්වත් පියවිය නොහැකි තැනකට වැටෙනවා.

ඉහත තත්ත්වය යටතේ වාණිජ බැංකු වලට තමන්ගේම විදේශ බැරකම් පියවීම සඳහා වෙළඳපොළෙන් කීයට හෝ ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. තමන්ට අවශ්‍ය ඩොලර් ටිකවත් හොයා ගන්න අමාරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින්ගේ ඩොලර් ඉල්ලුම සීමා කිරීම සඳහා ඩොලරයක විකිණුම් මිල ඉහළ දමන්න වෙනවා. ඩොලරයක මිල බලා ඉඳිද්දී ඉහළ යන පසුබිමක අපනයනකරුවන් වැනි ඩොලර් උපයන අය ඩොලර් රුපියල් කරන්න හදිස්සි නොවී ඩොලර් ලෙසම තියා ගන්න පෙළඹෙන නිසා බැංකු වලට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නය තවත් අසීරු වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමක් නොකළොත්, වාණිජ බැංකු වල ඩොලරයක මිල තවතවත් ඉහළ යන එක වලක්වන්න බැහැ.

මහ බැංකුව තව දුරටත් සංචිත නිදහස් කරයිද? 

මෙය යම් තරමකින් දේශපාලනික ප්‍රශ්නයක්. මහ බැංකුවට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක පමණ විදේශ වත්කම්ද, බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්ද ලැබී ඇති බව ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 937කින් පමණ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබිය යුතුයි. කෙසේ වුවද, මේ ලැබීම් වල තිබෙන ප්‍රශ්නය මහ බැංකුවේ විදේශ වත්කම් ඉහළ යන තරමටම විදේශ බැරකම්ද ඉහළ යන නිසා ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු නොවීමයි. ඒ නිසා, යම් හෙයකින් මහ බැංකුව විසින් සංචිත විකිණීමක් කළහොත් රජය, වාණිජ බැංකු මෙන්ම මහ බැංකුවද ලෝකයට ණයකරුවෙක් බවට පත් වෙනවා.

මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන්ද යම් මුදලක් ලැබීමට නියමිත බව පැවසෙනවා. එම මුදල ලැබුණොත්, එය රජයේ ණයක් නිසා, මහ බැංකුවේ බැරකම් ඉහළ යන්නේ නැහැ. මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන වාණිජ බැංකු වලට විකිණිය හැකියි. හැබැයි එහෙම කළා කියලත්, හමන සුළන් මකුළු දැලෙන් වළකන්නට බැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...