කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු මැයි මාසයේදී ලංකාවේ උද්ධමනය 39.1%ක් වුනා. ඇතැම් අය හිතන්නේ "යථාර්තය" මීටත් වඩා නරක බවයි. ඔවුන් එසේ කියන්නේ ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන ඇතැම් භාණ්ඩ හා සේවා නිදසුන් සේ පෙන්වමිනුයි.
උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 1,493ක් වූ කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් 2022 මැයි වන විට රුපියල් 5,350 දක්වා වැඩි වෙලා. මෙය 258.34%ක මිල වැඩි වීමක්. ඒ වගේම, 2021 මැයි මාසයේදී රුපියල් 621.37ක් වූ අමු මිරිස් කිලෝග්‍රෑම් එකක් 2022 මැයි වන විට රුපියල් 1,684.19 දක්වා වැඩි වෙලා. මෙය 169.89%ක මිල වැඩි වීමක්. එහෙමනම් උද්ධමනය 39.1% කියන එක හරිද?
උද්ධමනය කියා කියන්නේ ගෑස්, අමු මිරිස් වගේ පාරිභෝගික භාණ්ඩ දෙක තුනක මිල වැඩිවීම නෙමෙයි. සමස්තයක් ලෙස ගෙදරක වියදම් ඉහළ යාම. ගෑස්, අමු මිරිස් ඉහළ යද්දී වෙනත් මොනවා හරි බඩු ගණනාවක මිල අඩු වුනොත් සමස්තයක් ලෙස ගෙදරක වියදම් වැඩි නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 735.09ක් වූ කවුපී කිලෝග්‍රෑමයක මිල 2022 මැයි වන විට රුපියල් 661.73 දක්වා අඩු වෙලා. මෙය 9.98%ක මිල අඩු වීමක්. ඔය විදිහට ගොඩක් බඩු වල මිල ඉහළ යන අතරේ වුවත් සමහර බඩු වල මිල පහළ යනවා. තවත් සමහර බඩු වල මිල ඉහළ ගියත් ලොකුවට ඉහළ යන්නේ නැහැ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන්න භාණ්ඩ හා සේවාවන් 392ක්ම උපයෝගී කර ගන්නේ ඒ නිසා.
මේ භාණ්ඩ හා සේවා සියල්ලම ඉදිරිපත් කරන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා ඒ භාණ්ඩ හා සේවාවන් 392 කාණ්ඩ 12ක් යටතේ වර්ග කරමු. අදාළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා 2013 වසරේදී කොළඹ නාගරික ප්‍රදේශ වල නිවසක වැසියන් විසින් වැය කළ මුදල් ප්‍රමාණ පහත තිබෙනවා. වරහන් ඇතුළේ තියෙන්නේ මුළු වියදමෙන් අදාළ කාණ්ඩයට වැය කළ ප්‍රතිශතය.
ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - රුපියල් 17,044.70 (28.2%)
මද්‍යසාර පාන සහ දුම්කොල - රුපියල් 620.31 (1.0%)
රෙදිපිළි සහ පාවහන් - රුපියල් 1,383.22 (2.3%)
නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - රුපියල් 19,306.27 (32.0%)
ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - රුපියල් 1,533.73 (2.5%)
සෞඛ්‍යය - රුපියල් 2,650.13 (4.4%)
ප්‍රවාහනය - රුපියල් 6,401.44 (10.6%)
සන්නිවේදනය - රුපියල් 1,993.16 (3.3%)
විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - රුපියල් 785.87 (1.3%)
අධ්‍යාපනය - රුපියල් 3,538.72 (5.9%)
ආපනශාලා හා හෝටල් - රුපියල් 3,101.87 (5.1%)
වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - රුපියල් 2,005.31 (3.3%)
එකතුව - රුපියල් 60,364.74 (100.0%)
උද්ධමනය කියා කියන්නේ ඔය මුළු වියදම වසරකදී වැඩි වන ප්‍රතිශතය. ඒ කියන්නේ උද්ධමනය 100% වෙන්නනම් ඔය රුපියල් 60,364.74 වසරකින් පසුව දෙගුණ විය යුතුයි. අපි හිතමු "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" පමණක් 100%කින් ඉහළ ගියා කියලා. දැන් මුළු වියදම ඉහළ යන්නේ රුපියල් 19,306.27කින් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 32.0%යි. ඒ කියන්නේ උද්ධමනය 32% වෙනවා මිසක් 100% වෙන්නේ නැහැ. එහෙම වෙන්නනම් එක්කෝ හැම දෙයක්ම 100% බැගින් වැඩි වෙන්න ඕනෑ. නැත්නම් එසේ වැඩි නොවන ඒවාටත් හරියන්න අනෙක් ඒවා වැඩියෙන් වැඩි වෙන්න ඕනෑ.
පහත තියෙන්නේ 2021 මැයි හා 2022 මැයි අතර ඉහත එක් එක් කාණ්ඩය තුළ මිල වෙනස් වී ඇති ආකාරය.
ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - 57.4%
මද්‍යසාර පාන සහ දුම්කොල - 18.7%
රෙදිපිළි සහ පාවහන් - 37.0%
නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - 13.1%
ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - 33.8%
සෞඛ්‍යය - 21.3%
ප්‍රවාහනය - 91.5%
සන්නිවේදනය - 0.0%
විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - 30.6%
අධ්‍යාපනය - 14.6%
ආපනශාලා හා හෝටල් - 50.3%
වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - 40.5%
එකතුව - 39.1%
මේ අනුව පෙනෙනවා ප්‍රවාහනය වැනි ඇතැම් කාණ්ඩ වල මිල ඉහළ යාම 91.5% තරම් වුවත් සන්නිවේදනය වැනි මිල වෙනස් වුනේම නැති කාණ්ඩත් තිබෙනවා. උද්ධමනය කියන්න ඔය හැම එකකම සාමාන්‍ය අගයක්.
මේ එක් එක් කාණ්ඩය ඇතුළට ගිහින් බැලුවහමත් ඔය වගේම තත්ත්වයක් දැකිය හැකියි. උදාහරණයක් විදිහට අපි "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" කාණ්ඩය පරීක්ෂා කර බලමු. මේ කාණ්ඩයේ වියදම් වැඩි වීම 13.1% වුනේ කොහොමද?
ඔය කාණ්ඩය ඇතුළේ ගෙදරක මුළු වියදම් වලින් 32.0%ක් තියෙනවා.
නිවාස කුලිය - 22.69%
නිවාස අලුත්වැඩියා හා නඩත්තු - 1.15%
ජලය - 1.06%
විදුලිය - 4.39%
LP ගෑස් - 2.19%
භූමි තෙල් - 0.31%
දර - 0.19%
එකතුව - 32.0%
මේ අනුව පෙනෙන්නේ LP ගෑස් මිල 200% ඉක්මවා වැඩි වී ඇතත් මේ කාණ්ඩයේ තිබෙන නිවාස කුලී, නිවාස අලුත්වැඩියා හා නඩත්තු, ජල හා විදුලි බිල් ගාස්තු ආදීය වැඩි වී නැති බවයි. මේ අතරින් විශාලම බරක් ඇති අයිතමය වන නිවාස කුලිය ඩොලරයේ මිල මත තීරණය වන එකක් නෙමෙයි. ජලය, විදුලිය හා ඉන්ධන ආදියේ මිල තීරණය කරන්නේ රජය විසින්. ඒ නිසා ඩොලරය ඉහළ යාම බලපාන්නේ රජය විසින් මිල වැඩි කළොත් පමණයි. ආහාර වැනි වෙනත් කාණ්ඩයක් ඇතුළට ගියත් මෙවැනි විවිධ අයිතමයන් හඳුනාගන්න පුළුවන් වෙයි.
මුල් ප්‍රශ්නයට නැවත එමු. එහෙමනම් 39.1% උද්ධමනය හරිද?
මේක තීරණය වන්නේ උද්ධමනය මනින්න අවශ්‍ය වන්නේ කුමකටද කියන එක අනුවයි. අරමුණ පවුලක වියදම් වැඩි වූ ආකාරය ගැන දැන ගැනීමනම් මේ මිනුමේ වැරැද්දක් නැහැ පමණක් නෙමෙයි මෙයින් වියදම් වැඩි වීම ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වනවා වෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීමේදී උපකල්පනය කරන්නේ මිල කොපමණ ඉහළ ගියත් 2013දී මිනිස්සු මිල දී ගත්ත දේවල් ඒ ප්‍රමාණ වලින්ම දැනුත් මිල දී ගන්නවා කියන එකයි. නමුත්, මිනිස්සු මිල විශාල ලෙස වැඩි වන දේවල් මිල දී ගැනීම සීමා කරනවා. ඒ නිසා, පවුලක වියදම් ඔය තරමටම වැඩි වෙන්නේ නැහැ.
අනෙක් පැත්තෙන් මහ බැංකුව වගේ ආයතනයක් උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මේ දිහා බලනවානම් ඇත්ත උද්ධමනය මීට වඩා ටිකක් වැඩියි කියා හිතන එකේ වැරැද්දක් නැහැ. මොකද විදුලි බිල්, ඉන්ධන මිල ගණන් වගේ දේවල් රජය විසින් පාලනය නොකර වෙළඳපොළ තුළ තීරණය වුනානම් ඔය සමස්ත වැඩිවීම දර්ශකයෙන් පේනවට වඩා ඉහළ අගයක් ගන්නවා. ඉදිරි මාස වලදී රජයට මේ පාලිත මිල ගණන් සංශෝධනය කරන්න සිදු වෙන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය තවත් වැඩි වීමට නියමිත බව මහ බැංකුව විසින් තේරුම් ගත යුතුයි. හැබැයි ස්ටීව් හැන්කිගේ ගණන් හැදීම ඕනෑවට වඩා වැඩි ඇස්තමේන්තුවක්. මොකද උද්ධමන දර්ශකයෙන් 22.69%ක් වන නිවාස කුලිය ඇතුළු තවත් අයිතමයන් ගණනාවක් ඩොලරයක මිල වැඩි වන අනුපාතයෙන් වැඩි වෙන්න සෛද්ධාන්තික හෝ ප්‍රායෝගික හේතුවක් නැහැ.