වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය සේවය. Show all posts
Showing posts with label රාජ්‍ය සේවය. Show all posts

Friday, June 24, 2022

ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි!


ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 21,696.6ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ ජනගහණය මිලියන 21.59ක්. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට වැටෙන ප්‍රමාණය රුපියල් මිලියනය ඉක්මවනවා. හතර දෙනෙකු සිටින පවුලකටනම් රුපියල් මිලියන හතරක් පමණ.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 අවසානයේදී) ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක් පමණයි. ඒ අනුව, පසුගිය දෙවසරකට මඳක් වැඩි කාලය තුළ රුපියල් ට්‍රිලියන 8.7කින් පමණ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ ඉහළ ගොස් තිබිය යුතු බව අපේ ඇස්තමේන්තුවයි. මෙම සංඛ්‍යාලේඛණ වලට ඇතුළත් වන්නේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වල ණය මීට ඇතුළත් නැහැ. 

මීට පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලාංකිකයන්ගෙන් අවම වශයෙන් 90%ක්ම කරන්නේ තමන් සෘජු ලෙස හෝ වක්‍ර ලෙස රජයට ගෙවන බදු ප්‍රමාණයට වඩා වැඩියෙන් රජයෙන් ප්‍රතිලාභ ලබන එකයි. එසේ නොකරන්නේ ඉහළම ආදායම් ලබන 10%කට නොවැඩි පිරිසක් පමණයි. 

රජයේ වාර්ෂික බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ. මධ්‍යම රජයේ සමුච්ඡිත ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 24කට ආසන්න වී තිබිය යුතුයි. විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් මේ වන විටද පැහැර හැර ඇති අතර ඒ හේතුව නිසා අයවැය හිඟය පියැවීමට අලුතෙන් තවත් විදේශ ණය ගැනීම වසර ගණනාවක් යන තුරු කළ නොහැකි දෙයක්. දේශීය ණය ලබා ගැනීම සඳහා අවම වශයෙන් 20%ක පොලියක් ගෙවිය යුතුව තිබෙනවා. 

කොයි තරම් බදු වැඩි කළත් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.4කට වඩා වැඩි කර ගන්න අමාරුයි. මොන විදිහකින් හෝ ආදායම රුපියල් ට්‍රිලියන 2.4 දක්වා වැඩි කරගත්තත් එම ප්‍රමාණය මධ්‍යම රජයේ ණය වලින් 10%ක් පමණයි. ඒ කියන්නේ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම 10% වුනත්, රජයට ලැබෙන ආදායමෙන් තියෙන ණය වල පොලී ගෙවගෙවා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්න බැහැ. ඔන්න ඕකයි දැන් තියෙන තත්ත්වය.

ඔය විදිහට නොකියා තනි පවුල් ඒකකයකට ආදේශ කළාම කතාව වඩා හොඳින් තේරෙයි. හතර දෙනෙක් ඉන්න පවුලක් මොන විදිහෙන් හෝ තමන්ගේ ආදායමෙන් වියදම් පිරිමහගෙන ජීවත් වන අතරම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කර රජයට ණය ගෙවන්න රුපියල් මිලියන හතරක් එකතු කර දිය යුතුයි. මේ ගොඩක් පවුල් වල මාසික ආදායම රුපියල් පණස් දහස නොඉක්මවන බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ඔය වැඩේ මොන විදිහකින්වත් කළ හැකි වැඩක් නෙමෙයි.

පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!

(Image: https://www.newindianexpress.com/world/2022/mar/16/sri-lanka-battling-grave-economic-crisis-plans-to-look-beyond-beijing-2430794.html)

Saturday, February 19, 2022

කවුරුත් එන්නැති ආණ්ඩුවේ රස්සා


අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් දින දෙකකට පෙර ප්‍රාන්ත රජයේ සේවකයින් වෙනුවෙන් සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මින් පසුව ප්‍රාන්ත රජයේ සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කළ හැකියි. මෙය වසංගත කාලයේ මෙන් තාවකාලිකව කළ වෙනසක් නෙමෙයි. අනෙක් සහන මම එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඉහත කී සහන පැකේජය සමඟම, ප්‍රාන්ත රජයේ සේවය සඳහා සුදුසුකම් සහිත සේවකයෙකු "රැගෙන එන" අයෙකුට ඩොලර් 100 සිට 500 දක්වා පාරිතෝෂික මුදලක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. 

ඇමරිකාවේ වෛද්‍යවරු, විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු, බැංකු, සමාගම් කොටස් අලෙවි කරන තැරැව්කාර සමාගම් ඇතුළු ඇතැම් පෞද්ගලික ආයතන බොහෝ විට ඔවුන්ට අළුත් පාරිභෝගිකයෙකුව හඳුන්වා දෙන අයට කිසියම් පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. මෙය කාලයක සිටම සිදුවන දෙයක්. දැන් අපේ ප්‍රාන්ත ආණ්ඩුවත් මේ වැඩේම කරන්නයි යන්නේ.

ප්‍රාන්ත ආණ්ඩුවට මේ වගේ දෙයක් කරන්න සිදු වී තිබෙන්නේ ආණ්ඩුවේ රස්සා විශාල ප්‍රමාණයක් ඇබෑර්තු වී ඇති නමුත් එම රැකියා සඳහා සුදුසුකම් ඇති අය අයදුම් නොකරන නිසයි. අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් නියම කළ අවම වැටුපක් නැහැ. ඒ නිසා, ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප වන පැයකට ඩොලර් 7.25 බැගින් ගෙවා සේවකයින් බඳවා ගත හැකියි. එහෙත්, මේ දවස් වල ඒ වැටුපට වැඩ කරන්න කාවවත් හොයා ගන්න බැහැ.

අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පටන් ගන්නේ පැයකට ඩොලර් 13.21ක සිටයි. ප්‍රාන්ත රාජ්‍ය සේවකයෙකු සතියකට පැය 37.5ක් සේවය කළ යුතුයි. ඒ අනුව, වසරක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 25,766 සිටයි. ෆෙඩරල් රජයේ වැටුප් පටන් ගන්නේ වසරකට ඩොලර් 20,172 සිටයි. ෆෙඩරල් රජයේ සේවකයෙකු සතියකට පැය 40ක් සේවය කළ යුතුයි. මේ අනුව, පැයක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 9.67 සිටයි.

විරැකියා අනුපාතය ඉහළ මට්ටමක ඇති කාල වකවානු වලදී පැයකට ඩොලර් 13.21ක් ආකර්ශනීය වැටුපක්. එහෙත්, අපේ ප්‍රාන්තයේ විරැකියා අනුපාතය මේ වෙද්දී 2.7% තරම් පහළ මට්ටමකට බැහැලා. සුපිරි වෙළඳසැල් වල වැඩ කරන සේවකයින් වැනි අයටත් මේ දවස් වල පැයකට ඩොලර් 15ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. එවැනි වැටුපක් නොගෙවා පුරප්පාඩු පුරවන්න බැහැ.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් ආණ්ඩුවේ රස්සා සුරක්ෂිතයි. ලොකු වැරැද්දක් නොකළොත් දිගටම රස්සාව කරගෙන ඉන්න පුළුවන්. වැඩ නොකර අයිස් ගහන්න හෝ කන්තෝරුවේ බඩු සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න වගේ දේවල්නම් කරන්න බැහැ. වැඩ කරන කාලයට කෑම පැය හෝ පැය බාගය අයිති නැහැ. අට පහ වැඩ කරන්න තෝරා ගන්නා කෙනෙකුට තමන් කැමති වෙලාවක තමන් කැමති පැය බාගයක් කෑමට ගන්න පුළුවන්. කැමතිනම් හත හමාරට වැඩට ගිහින් පැයක් කෑමට ගන්නත් පුළුවන්. ඔය දෙකම නොකර වැඩ කරන ගමන්ම මොනවා හෝ කන්නත් පුළුවන්. දවස් හතරෙන් පැය 37.5 ආවරණය කරලා දවසක් සතියේ දවස් පහෙන් දවසක් නිවාඩු ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා.

හැබැයි ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සාවක් කළා කියලා ඒකෙන් අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය වෙන්නේ හෝ සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව පෙනෙන විට ආණ්ඩුවේ රස්සා කරන අය රස්සාව අත ඇරලා වෙන රස්සාවකට යනවා. ආණ්ඩුවේ රස්සා ඇබෑර්තු වෙනවා. වැටුප් අඩු නිසා මේ ඇබෑර්තු පුරවන්න අමාරුයි. ඒ නිසා, ඉතිරි වී ඉන්න අයට වැඩ වැඩි වෙනවා. ඒ අයත් අස් වෙලා යන්න පෙළඹෙනවා. දැන් අපේ ප්‍රාන්තයේ තත්ත්වය ඔන්න ඔය වගේ. 

එහෙමයි කියලා ආණ්ඩුව සේවක වැටුප් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රාන්ත රජයේ වගේම ෆෙඩරල් රජයේත් සේවකයින් සියලු දෙනාම ඇතුළත් එක් වැටුප් ක්‍රමයක් තිබෙනවා. වැඩි කරනවානම් ඒ වැටුප් ක්‍රමයම සංශෝධනය කළ යුතුයි. එහෙම නැතුව පුරප්පාඩු පුරවන්න පුළුවන් රැකියා වල වැටුප් පමණක් වැඩි කරන්න බැහැ. වැටුප් ක්‍රමයම සංශෝධනය කරන්න යනවානම් වැඩිවන වියදම හොයා ගත හැකි ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි කිරීම සඳහා මහජන කැමැත්ත අවශ්‍යයි. ප්‍රාන්ත රජය හිතුමතේට බදු වැඩි කරන්නේ හෝ බදු ආදායම් ඉක්මවා වියදම් කරන්නේ නැහැ.

පසුගිය වසරේදී, වසංගතය අස්සේ වුනත්, අපේ ප්‍රාන්ත රජයේ බදු ආදායම් වලින් සියලු වියදම් වලින් පසුව යම් මුදලක් ඉතිරි වී තිබෙනවා. එම මුදල එක් අයෙකුට ඩොලර් 125 බැගින් බෙදා දීමට නියමිතයි. 

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Thursday, July 18, 2019

රස්සා ආරස්සා...


ආයු අපේක්ෂාව ගැන ලියන්න තවත් ගොඩක් දේවල් තිබුණත්, තාක්ෂණික පැත්තට බර ලිපි එක දිගට කියවන්න ගොඩක් අය කැමති නෑනේ. මේ ලිපිය සති කිහිපයකට කලින් ලියන්න පටන් ගත් එකක්. ආයු අපේක්ෂාව ගැන කතා කරන්න කලින් කතා කරපු මාතෘකාවට සම්බන්ධ ලිපියක් වුනත්, වක්‍රව ආයු අපේක්ෂාවටත් සම්බන්ධයක් තිබෙනවා.

ලිපිය ලියන්න පටන් ගත් දවසේ උදේ පොඩි වැඩක් කරගන්න රාජ්‍ය අංශයේ ආයතනයකට ගියා. කවුරු හෝ මේ වියුණුව නිතිපතා නොකියවන අයෙක් මේ ලිපිය කියවනවානම් දැනගැනීම පිණිස මේ කතා කරන්නේ ඇමරිකාවේ රාජ්‍ය අංශයේ ආයතනයක් ගැන බව මතක් කළ යුතුයි. නිශ්චිතවම කියනවානම් ගියේ සමාජ සංරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයකටයි. මේ විදිහට ඇමරිකාවේ ජීවත්වන අයෙක්ට රජයේ ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේ ඉතා කලාතුරකින්. බොහෝ දේවල් දුරකථනය හෝ අන්තර්ජාලය උපයෝගී කරගෙන කරගත හැකියි.

ඇමරිකාවේ රාජ්‍ය අංශය වුවත් ලංකාවට සාපේක්ෂව ගොඩක් කාර්යක්ෂමයි. ඒ වගේම, ලංකාවේ පෞද්ගලික අංශය වුවත් පොදු වශයෙන් සැලකූ විට ගොඩක්ම කාර්යක්ෂම නැහැ. මේ වෙනසට හේතු තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ මිනිස්සු වැඩ නොකර හොරට පඩි ගන්නවා කියන එක නෙමෙයි. මේ දෙක දෙකක්. ඇමරිකාවේ සාමාන්‍ය ශ්‍රමිකයෙකු දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේ පවා දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන අය ඉන්නවා. නමුත්, එයින් අදහස් වන්නේ වැඩ කරන පැය ගණනේ තරමට පලදායී කාර්යයක් සිදු වෙනවා කියන එකම නෙමෙයි.

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ අධිකාරියේ හෝ රථවාහන කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තොත් ලංකාවේ රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව වැඩ කෙරෙන පිළිවෙළේ මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. පළමු වෙනස කිසියම් සේවාදායකයෙකු වැඩක් කරගන්න අදාළ ආයතනයේ "තමන්ට අයිති" ශාඛාවටම යා යුතු නොවීමයි. තොරතුරු මුළුමනින්ම වගේ පරිගණකගත කර තිබෙන නිසා ඕනෑම සේවකයෙකු කිසියම් කාර්යයක් කරන්නේ කවර ශාඛාවේ සිටද කියන එක වැදගත් නැහැ. මේ හේතුව නිසා, එක් ප්‍රාදේශීය කාර්යාලය අසීමිත තදබදයක් තියෙද්දී වෙනත් ප්‍රාදේශීය කාර්යාලයක සේවකයින් වැඩ නැතිව වේලි වේලී ඉන්න එක සෑහෙන දුරකට ස්වභාවිකවම මඟ හැරෙනවා.

මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව මේ ගොඩක් කාර්යාල වලට දවසකට සැලකිය යුතු සෙනඟක් එනවා. කාර්යාල සේවකයින් වැඩ නැතිව බලා සිටින බවක් මා දැකලාම නැහැ. ඒ වගේම, සේවාදායකයෙකු සෙනඟ වැඩි නිසා ආපසු හැරී යන බවකුත් මා දැක නැහැ. ප්‍රාදේශීය කාර්යාල ස්ථානගත කර තිබෙන්නේත්, ඒවාට සේවකයින් අනුයුක්ත කර තිබෙන්නේත් සේවාදායක ඉල්ලුම හා ගැලපෙන තරමටයි. මා හිතන්නේ රටේ පවතින යාන්ත්‍රණය තුළ මේ සමතුලිතතාවය ස්වභාවික ලෙසම ඇති වෙනවා කියලයි.

ඉතා කලාතුරකින් හැර කිසියම් කටයුත්තක් කර ගන්න යන අයෙකුට තමන්ට හමුවෙන පළමු නිලධාරියා හෝ නිලධාරිනිය හරහා ඒ කටයුත්ත කරගත හැකියි. ඔහු හෝ ඇය තවත් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලබා ගත යුතු නැහැ. ඒ වගේම ඡායා පිටපත් ලබා ගැනීමේ සිට මුදල් අය කිරීම දක්වා සියලු කටයුතු කරන්නේ මේ නිලධාරියා හෝ නිලධාරිනිය විසින්ම නිසා අමතර රස්තියාදුවක් නැහැ. මෙය ලංකාවට සාපේක්ෂව විශාල වෙනසක්.

කාර්යාලයට යන අයෙකු මුලින්ම කළ යුත්තේ නොම්මරයක් ගැනීමයි. එකම පිළිවෙළට යන නොම්මර වෙනුවට තමන්ට කරගන්න අවශ්‍ය කාර්යය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මේ නොම්මර නිකුත් කෙරෙන අතර එකම කටයුත්තකට පැමිණි අයව බොහෝ විට එකම කවුන්ටරයකට යොමු කෙරෙන නමුත් ඒ කටයුත්තට පැමිණි අය නැත්නම් වෙනත් කටයුතු වලට පැමිණි අයත් ඒ කවුන්ටරයට යොමු කෙරෙනවා. මෙයත් කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. සමස්තයක් වශයෙන් ගත් විට සේවකයින් සේවය කරන කාලය ඇතුළත එක දිගට වැඩ කර දවස අවසන් වෙද්දී සේවාදායක ඉල්ලුම සපුරා අවසන් කරනවා.

මේ විදිහට රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පැවතීමට මූලිකම මට්ටමේදී හේතු වෙන්නේ රාජ්‍ය ආයතන වල මූල්‍ය කළමනාකරණය සිදු වන ආකාරයයි. ලංකාවට සාපේක්ෂව ගත් විට මේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ ලොකු මූලික වෙනසක් තිබෙනවා.

ලංකාවේ වගේම ඇමරිකාවේත් රාජ්‍ය අංශය නඩත්තු වෙන්නේ බදු මුදල් වලින්. වෙනස තියෙන්නේ බදු මුදල් වියදම් කරන ආකාරයේ. බදු සේ අය කරන ඩොලරයක් ලංකාවේ බදු රුපියල් වගේ නිදහසේ කැමති කටයුත්තක් වෙනුවෙන් වෙන් කරන්න බැහැ. බදු බොහොමයක් අය කරන්නේ නිශ්චිත වියදම් වෙනුවෙනුයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ අධිවේගී මාර්ග හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් කෙරෙන වියදම් ආවරණය වෙන්නේ එම මාර්ග භාවිතා කරන අය විසින් ගෙවන බදු මුදල් වලිනුයි. අදාළ බදු මුදල් කෙළින්ම යන්නේ වෙනම අරමුදලකට. ඒ බදු මුදල් වෙනත් කටයුත්තකට වියදම් කරන්න බැහැ.

ෆෙඩරල් අධිවේගී මාර්ග භාර අරමුදල ලෙස හැඳින්වෙන ඉහත අරමුදල යටතේ ගිණුම් දෙකක් තිබෙනවා. ඒ අධිවේගී මාර්ග ගිණුම හා පොදු ප්‍රවාහන සේවා ගිණුමයි. ඇමරිකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම්, සංවර්ධනය, නඩත්තුව හා නියාමනය වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ පළමු ගිණුමෙන්. උමං දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම හා නියාමනය වෙනුවෙන් වියදම් සිදු කෙරෙන්නේ දෙවන ගිණුමෙන්.

අධිවේගී මාර්ග භාර අරමුදල යටතේ ඇති ඉහත ගිණුම් දෙකට බදු හරහා අරමුදල් සැපයෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ අරමුදල් ලැබෙන්නේ ඉන්ධන බදු වලින්. මේ වන විට ඇමරිකාවේ විකිණෙන පෙට්‍රෝල් ගැලුමකින් ඇමරිකන් ශත 18.40ක හා ඩීසල් ගැලුමකින් ඇමරිකන් ශත 24.40ක බද්දක් අය කෙරෙනවා. මේ බදු ප්‍රමාණ 1997 ඔක්තෝබර් සිට වෙනස් වී නැහැ. පෙට්‍රල් ගැලුමකින් හා ඩීසල් ගැලුමකින් ශත 2.86 බැගින් පොදු ප්‍රවාහන සේවා ගිණුමට බැර වෙනවා. පෙට්‍රල් ගැලුමකින් ශත 15.44ක් හා ඩීසල් ගැලුමකින් ශත 24.44 බැගින් අධිවේගී මාර්ග ගිණුමට බැර වෙනවා. එවිට අය කරන බදු මුදලින් ඉතිරි වන්නේ තවත් ශත 0.10ක් පමණයි. ඒ ශත දශමය යන්නේ තවත් අරමුදලකට. ඒ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලටයි. භූගත ඉන්ධන ටැංකි වලින් ඉන්ධන කාන්දු වීම වැළැක්වෙන පරිදි නියාමනය කටයුතු කිරීම වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලෙන්.

ඩීසල් හා පෙට්‍රෝල් වලට අමතරව අඩු අලෙවියක් ඇති අනෙකුත් ඉන්ධන වර්ග වලින්ද ඉහත කී ගිණුම් තුනට අරමුදල් බැර වෙනවා. ඒ බදු මුදල් රජයේ පොදු අරමුදලට බැර වන්නේ නැහැ. ඊට අමතරව තවත් බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම්ද අධිවේගී මාර්ග ගිණුමට මුළුමනින්ම බැර වෙනවා. එම බදු අය කෙරෙන්නේ ට්‍රක් රථ වැනි බරවාහන වලින් හා එම බරවාහන සඳහා යොදා ගන්නා ටයර් අලෙවි කරන විටයි. මේ ආකාරයට බදු මුදල් නිශ්චිත කාර්යයන් සඳහා වෙන් කර තිබෙන නිසා රටේ මහාමාර්ග පද්ධතියේ ප්‍රතිලාභ ලබන අයගෙන්ම එම ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මිල අය කෙරෙනවා. අනෙක් අතට, අදාළ බදු ගෙවන අයටම එම බදු වල ප්‍රතිලාභ ලැබෙනවා.

මේ ආකාරයට අධිවේගී මාර්ග ගිණුමට එකතු වන මුදල් එක් එක් ප්‍රාන්ත වල මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රාන්ත අතර බෙදා හැරෙනවා. එහිදී කිසියම් ප්‍රාන්තයකින් එකතු වෙන බදු මුදල් හරියටම එම ප්‍රාන්තයටම ලබා දෙන්නේ නැහැ. එහෙත් අරමුදල් ප්‍රාන්ත අතර බෙදා හැරීම සිදු වන්නේත් ක්‍රමවේදයක් අනුවයි.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ආයෝජනය කෙරෙනවා. එමගින් අරමුදලට පොලී ආදායමක්ද ලැබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය ණය වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකානු රජය යටතේම තිබෙන මෙවැනි අරමුදල් වලින් ගත් ණයයි.

ගුවන් තොටුපොළ සංවර්ධනය වැනි අංශයක් ගත්තත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එම වියදම් සිදු කෙරෙන්නේ ගුවන් තොටුපොළ හා ගුවන් මාර්ග භාර අරමුදලින්. ඒ යටතේ ගිණුම් හතරක් තිබෙනවා. ඒ ගොඩනැගිලි හා උපකරණ ගිණුම, පර්යේෂණ සංවර්ධන ගිණුම, ගුවන් තොටුපොළ සංවර්ධන වැඩසටහන් ගිණුම හා මෙහෙයුම් ගිණුම ලෙසයි. මේ එක් එක් ගිණුමට මුදල් ලැබෙන්නේත් නිශ්චිත බදු වලින්. අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බද්ද, රටට පැමිණෙන හා රටින් පිටතට යන ගුවන් යානා වල මගීන්ගෙන් අය කරන බද්ද, "ගුවන් සැතපුම්" මිල දී ගැනීමේදී අය කරන බද්ද, ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අය කරන බද්ද, ගුවන් යානා සඳහා යොදා ගන්නා ඉන්ධන වලින් අය කෙරෙන බද්ද ආදී බදු ආදායම් බැර වෙන්නේ ඉහත ගිණුම් වලටයි.

මා ලිපිය පටන් ගැනීමේදී සඳහන් කළ සමාජ සංරක්ෂණ අධිකාරිය නඩත්තු වෙන්නේ සමාජ සංරක්ෂණ අරමුදල යටතේයි. ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන විශ්‍රාමික ආදායම වන්නේ මාසිකව ලැබෙන සමාජ සංරක්ෂණ දීමනාවයි. මේ දීමනාවේ ප්‍රමාණය තීරණය වන්නේ විශ්‍රාම යාමට පෙර යම් අයෙකු විසින් උපයා තිබෙන ආදායම මතයි. ඇමරිකාවේ සේවය කරන අයගේ වැටුප අතට ලැබෙන්නේ එයින් සමාජ සංරක්ෂණ බදු මුදල් හා විශ්‍රාමික සෞඛ්‍ය වියදම් ප්‍රතිලාභ බදු අඩු කර ගැනීමෙන් පසුවයි.

විශ්‍රාම යාමෙන් පසු යමෙකුට ලැබෙන මාසික සමාජ සංරක්ෂණ දීමනාව තීරණය වන්නේ ඔහු හෝ අය විශ්‍රාම යාමට පෙර රැකියා කර ඉපැයූ සාමාන්‍ය ආදායම මතයි. ඒ කියන්නේ වක්‍රව ඔහු හෝ අය විසින් ගෙවා ඇති සමාජ සංරක්ෂණ බදු මුදල් ප්‍රමාණය මතයි. එහෙත්, එයින් අදහස් වන්නේ හරියටම යමෙක් ගෙවූ බදු මුදල නැවත ආපසු ලැබෙනවා කියන එක නෙමෙයි. මාසික දීමනාව ගණනය කෙරෙන්නේ පහළ ආදායම් ඉපැයූ අයට වාසිදායක වන ආකාරයටයි. එසේ වුවත්, සමස්තයක් ලෙස සමාජ සංරක්ෂණ දීමනා ගෙවිය යුත්තේ එකතු වී ඇති බදු මුදල් වලින් හා ඒ බදු මුදල් ආයෝජනය කර උපයා ඇති පොලී ආදායමෙනුයි. ඊට අමතරව සමාජ සංරක්ෂණ අධිකාරියට නඩත්තු වෙන්න සිදුවෙන්නේත් මේ අරමුදලෙන්.

මේ වන විටත් සමාජ සංරක්ෂණ අරමුදල ක්ෂය වෙමිනුයි පවතින්නේ. ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව කාලයත් සමඟ ඉහළ යාම සමාජ සංරක්ෂණ අරමුදල වඩා වේගයෙන් ක්ෂය වී යාමට හේතු වී තිබෙනවා. අරමුදල ආරම්භ කළ අවදියේ එකතු කර ගන්නා බදු මුදල් තරමට දීමනා ලබා ගන්නා විශ්‍රාමිකයින් නොසිටියත් කල් යද්දී මේ තත්ත්වය කණපිට හැරෙන නිසා නුදුරු වසරකදී අරමුදලේ සංචිත වලින් මාසික දීමනා ගෙවීම කළ නොහැකි වීමට නියමිතයි. එවිට මාසික දීමනා දිගටම ගෙවන්නනම් බදු වැඩි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් අරමුදල තර කළ යුතු වෙනවා.

මෙවැනි තත්ත්වයක් තියෙද්දී අරමුදලේ පරිපාලකයින්ට අකාර්යක්ෂම වෙන්න බැහැ. ඔවුන්ට අවම පිරිවැයකින් අවශ්‍ය සේවා සපයන්න සිදු වෙනවා. ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයට හේතුව මෙයයි.

පොදුවේ ගත්තත් ඇමරිකාවේ ෆෙඩරල් සේවකයෙකුට තමන් ගන්නා වැටුපට සරිලන ඵලදායී සේවයක් නොකර වැටුප් ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකානුවෙකුට රජයේ රැකියාවක මහා ලොකු ආකර්ශනීයත්වයක් නැහැ. සාපේක්ෂව යම් රැකියා සුරක්ෂිතතාවයක් තිබුණත් ඒ වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි. අනෙක් අතට පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවයක් නැතත් මුහුණ දෙන අවිනිශ්චිතතාවය වෙනුවෙන් එහි මිල ලැබෙනවා.

ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් රැකියා සුරක්ෂිතතාව රටේ නීති පද්ධතියෙන් තහවුරු කර තිබෙනවා. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ අකාර්යක්ෂමතාවයට එක් හේතුවක්. ලංකාවේ පෞද්ගලික සමාගමකට පාඩු ලබන හෝ අවශ්‍ය තරම් ලාබ නොලබන කාලයකදී අකාර්යක්ෂම සේවකයින් සේවයෙන් ඉවත් කර පාඩු පියවා ගැනීම කළ නොහැකි තරමට අසීරු දෙයක්. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයින් රටේ වැටුප් ලබන ශ්‍රමිකයින්ට යහපතක් වී ඇති බවයි. එහෙත්, එය එසේම නැහැ.

පාඩු ලබන කාලයකදී සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැති නිසා ලංකාවේ පෞද්ගලික සමාගමක් සේවකයින් බඳවා ගන්නේ එවැනි කාලයකදී වුවත් ආදායම් වියදම් තුලනය කර ගත හැකි තරමට පමණයි. මෙහි අවාසිය තිබෙන්නේ සමාගමකට ලාබ ලැබීමේ ඉඩප්‍රස්ථා වැඩි වන කාල වලදීයි. සේවකයින් අවශ්‍ය විටක ඉවත් කිරීමේ හැකියාවක් තිබුණානම්, පෞද්ගලික සමාගමක් එවැනි කාලයකදී බය නැතිව වැඩිපුර සේවකයින් බඳවාගෙන නිෂ්පාදනය ඉහළ දමනවා. නමුත්, එසේ කිරීමේ දිගුකාලීන අවදානම නිසා ලංකාවේ බොහෝ සමාගම් වලට තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ ඉඩප්‍රස්ථා මග හැරී යනවා. ඇතැම් සමාගම්නම් අනියම් සේවකයින් පිරිසක් නඩත්තු කරමින් නීතියේ හිල් වලින් රිංගනවා.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට වැඩි බරක් දීමේ තවත් අවාසියක් වන්නේ තරුණයින්ට රැකියා අවස්ථා අහිමි වීමයි. අකාර්යක්ෂම සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් පෞද්ගලික සමාගම් වලට තිබුණානම් පළපුරුදු සේවයින්ට වගේම ආධුනික සේවකයින්ටත් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනවා. සමස්තයක් ලෙස රටේ රැකියා ප්‍රමාණය, සමාගම් වල ලාභ වගේම රටේ ජාතික ආදායමත් ඉහළ යනවා. ඒ වගේම, ව්‍යවසායකයින් අළුත් ව්‍යාපාර වලට අතගහන්න දැන් තරමට බය වෙන්නේත් නැහැ.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය නීතියෙන් කෘතීම ලෙස තහවුරු නොකර තිබුණේ වුවත් දැන් රැකියා කරන අයට රැකියා නැති වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස රටේ රැකියා සැපයුම ඉහළ යන නිසා ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී ඒ අයට කොහොමටත් රැකියා ලැබෙනවා. නමුත්, ඒ රැකියා නැති කර නොගෙන තියා ගන්නනම් දිගින් දිගටම කාර්යක්ෂමව ඉන්න වෙනවා.

හැබැයි ලංකාව තියෙන්නේ එක තැන කියා මා කියන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ තත්ත්වය යම් තරමකින් හොඳ අතට හැරෙනවා. 1990 පමණ කාලයේදී කාට හෝ බැංකු ගණුදෙනුවක් කර ගන්න අවශ්‍යනම් බොහෝ විට තමන්ගේ බැංකු ශාඛාවටම යා යුතුව තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තේ සම්පත් බැංකුව වැඩ පටන් ගැනීමත් එක්කයි. ඔවුන්ගේ ආකෘතියේ කලින් පැවති ආකෘතියට සාපේක්ෂ ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. පළමුව, සියළු බැංකු ශාඛා පරිගණකගත කිරීම හරහා "තමන්ගේ බැංකු ශාඛාව" කියන සංකල්පය ඔවුන් විසින් නැති කර දැම්මා. දෙවනුව, පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාව කවරක් වුවත් එය තනිව ඉටු කළ හැකි බැංකු විධායකයින් සහිත ආකෘතියක් සම්පත් බැංකුව විසින් හඳුන්වා දුන්නා.

සම්පත් බැංකුවේ මේ කාර්යක්ෂම ක්‍රමවේදයන් ඉතා වේගයෙන් අනෙක් පෞද්ගලික බැංකු වලටත් බෝ වුණා. එසේ වුනේ තරඟකාරී පසුබිමක ලාබ අපේක්ෂා කරන පෞද්ගලික බැංකුවට පවතින්නනම් අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව හැකිතාක් කාර්යක්ෂම වෙන්න නිදහස් වෙළඳපොල ක්‍රමය විසින් බල කෙරෙන නිසයි. රාජ්‍ය බැංකු වලට එවැනි පීඩනයක් නොතිබුණත්, දිගුකාලීනව මේ පීඩනය ඔවුන්ටත් යම් තරමකින් දැනෙන්න ගත් නිසා ඔවුන්ටත් හෙමින් හෙමින් වුවත් යම් වෙනස්කම් කරගන්න සිදු වුනා. එහෙත්, රාජ්‍ය බැංකුවකට ලාබ ලබන්න පෞද්ගලික බැංකුවකට තරම් පීඩනයක් නැති නිසා ලංකාවේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු තරමට කාර්යක්ෂම වුනේ නැහැ.

මෙහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බැංකු රස්සා (විශේෂයෙන්ම ඇමරිකාවට සාපේක්ෂව) තවමත් පොෂ් රස්සා ලෙස පවතිනවා. රැකියා සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩියි. රැකියා වෙළඳපොළට අලුතින් එකතු වන අයෙකුට බැංකු රස්සාවකට ඔලුව දමා ගැනීම අසීරුයි. ඉන්න කෙනෙක් ලේසියකට රස්සාව අතාරින්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික සත්කාරය නරකම නැතත් දියුණු කළ හැකි තරමටම ඉහළ ගිහින් ඇතැයි කියන්න බැහැ.

කුමක් හෝ රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව ලේසියකට අතහරින්නේ නැහැ කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නේ  ඔහුට හෝ ඇයට තමන් දැනට ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි විකල්ප රැකියා අවස්ථාවක් නැහැ කියන එකයි. ඒ කියන්නේ තමන් ලබා දෙන නිෂ්පාදන දායකත්වයට වඩා දෙයක් තමන් විසින් ලබා ගන්නවා කියන එකයි. සිද්ද වෙන්නේ මෙහි අනිත් පැත්තනම් මේ වගේ කෙනෙක්ට එක තැනකින් යන පරක්කුවට වෙනත් තැනක රස්සාවක් ලැබෙන්න ඕනෑ. එවැනි හැකියාවක් තිබෙන අයත් ඉන්නවා. ඒ අය බොහෝ විට එක තැනක එල්ලී නොසිට තමන්ගේ නියම මිල හොයාගෙන යනවා. නමුත්, ඒ ටික දෙනෙක්. කෘතීමව ඇති කර තිබෙන රැකියා සුරක්ෂිතතාවයේ වාසිය ගන්න අය ඊට වඩා ගොඩක් වැඩියි.

Monday, June 17, 2019

රාජ්‍ය වියදම් අඩු කිරීමේ අභියෝගය

කාලයක් තිස්සේ ලංකාව හිර වී සිටින ණය උගුලෙන් රට ගොඩගන්න යහපාලන ආණ්ඩුව සමත් වී නැති බව පැහැදිලි කරුණක්. වැඩි විස්තර පෙර ලිපියේ ලියා තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ග පෙර ආණ්ඩුවේ උපායමාර්ග වලින් වෙනස් වුවත්, රට පැටලී සිටින ණය උගුල හා අදාළව සැලකූ විට පසුගිය සිවුවසර ඇතුළත අමුතු ප්‍රගතියක් අත් වී නැහැ.

යහපාලන ආණ්ඩුවට තිබෙන එක් "චෝදනාවක්" වන්නේ එම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් බවයි. මේ කතාවට පදනමක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාන්‍යයෙන් නිර්දේශ කරන ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සෑහෙන තරමකින් සමපාත වූවා තමයි.

ලංකාව හෝ වෙනත් රටක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ වඩා හොඳ ප්‍රතිපත්ති විකල්පයක් තියෙද්දී නරක ප්‍රතිපත්ති විකල්පයක් තෝරා ගත්තේනම් එසේ කිරීමයි.

මේ ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුව විසිනුත් වරින් වර ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙනවා. රටක් ඒ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ රටකට ඊට වඩා හොඳ විකල්පයක් නැති වූ විටයි. ලංකාව හැම විටකම වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුද වල හිර වීමෙන් පසුවයි.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයක පැටලී සිටින විට එවැනි රටක රජයකට විදේශ ණය ලබා ගැනීම ඉතා අසීරු වෙනවා. එසේ වෙන්නේ එවැනි රජයකට ණය දීම බොහෝ අවදානම් සහගත කටයුත්තක් නිසයි. රටේ ආර්ථිකය බිඳ වැටුණොත් දුන් ණය ආපසු ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ණය ලබා දෙන අය ඒ අවදානමට සරිලන ඉතා ඉහළ පොලී අනුපාතිකයක් නැතුව ණය දෙන්නේ නැහැ. මෙවැනි ඉහළ පොලී අනුපාතිකයකට ණය ගෙන තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ගත හැකි වුවත්, ණය ආපසු ගෙවන්න යාමේදී ගෙවුම් ශේෂ අර්බුදය වඩාත් දරුණු විදිහට මතු වෙනවා.

මේ වගේ වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල විසින් සහනදායී පොලී අනුපාතිකයකට ණය ලබා දෙනවා. නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එසේ කළ හැක්කේ කවර හෝ ආකාරයකින් රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු වෙනවානම් පමණයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ විදිහට සහනදායී පොලී අනුපාතිකයකට ණය දෙන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු කෙරෙන නිර්දේශ සමඟයි. අදාළ ණය මුදල ලබා ගන්නනම් රජයකට මේ කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා.

මේ වගේ වෙලාවක කිසියම් රටක් වෙනුවෙන් නිර්දේශ සකස් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන්නේ ඔවුන් ලබා දෙන ණය මුදල ආපසු ගෙවන තුරු රටේ ආර්ථිකය බිඳ නොවැටෙන බව තහවුරු කර ගැනීමයි. සෘජුව ප්‍රකාශ නොකළත්, එතැනින් එහාට රටේ ආර්ථිකය සැලසුම් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවයක් නෙමෙයි. මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය බොහෝ විට අවුරුදු තුනක සිට පහක පමණ කාලයකින් ආපසු ගෙවිය යුතුයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බොහෝ විට ඉලක්ක කරන්නේ එවැනි කාල සීමාවක් තුළ ආර්ථිකය කඩා නොවැටෙන පරිදි ස්ථාවර කිරීමටයි.

අනෙක් අතට රටක ආණ්ඩුවක පැත්තෙන් ගත් විට, රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින විට ආණ්ඩුවේ ක්ෂණික ඉලක්කය වන්නේ රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳ වැටෙන්න තිබෙන අවදානම අඩු කර ගන්න එක මිසක් දිගුකාලීන ආර්ථික වර්ධන ඉලක්ක පසුපස හඹා යන එක නෙමෙයි. ඒ නිසා, බොහෝ විට එවැනි අවස්ථා වලදී ආණ්ඩුවක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සමපාත වෙනවා. ඒ නිසා, එවැනි අවස්ථාවකදී ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීම ගොඩක් අසීරු වෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව හා පසුගිය ආණ්ඩු යටතේ ලංකාව ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හැම විටකම වාගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම අර්බුද වලින් ගොඩ ගිහින් තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණේ නැහැ. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලින් රටට හානියක් වුණා කියා කියන්න බැහැ. පැවති ආණ්ඩු විසින් අදාළ කොන්දේසි පිළිගැනීම ඒ ඒ අවස්ථා වල ඉතිරිව තිබූ හොඳම විකල්ප බව කීමේ වැරැද්දක් නැහැ.

ආර්ථික අර්බුදයක් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් ක්ෂණික හානියක් වලක්වා ගත්තට පස්සේ එවැනි අර්බුදයකට තුඩුදුන් ආකෘතිමය හේතු වලට විසඳුම් සොයා ගැනීම රටේ ආණ්ඩු වල වැඩක්. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩක් නෙමෙයි. මත්පැන් ඇබ්බැහිය හේතුවෙන් අක්මාව හානි කරගත් අයෙකු රෝහල්ගත වූ විට ඔහුට වෛද්‍ය ප්‍රතිකාර දී ක්ෂණිකව මරණයට පත් වීම වලක්වා ගෙදර යැවීමෙන් පසුව නැවතත් මත්පැන් පානය කර රෝගී වුවහොත් එහි වරද වෛද්‍යවරයාගේ නෙමෙයි.

වෛද්‍ය ප්‍රතිකාර වලින් ක්ෂණික මරණය වලක්වා ගැනීමෙන් පසුව නැවත මත්පැන් බී රෝගී වීම කිහිප වරක් සිදු වූ පසු අන්තිමේදී මත්පැන් පානයෙන් වැලකුණත් අක්මාවේ ප්‍රශ්නය නැවත මතු වෙන්න පුළුවන්. එයත් වෛද්‍යවරයාගේ වරදක් නෙමෙයි. ලංකාවේ ණය ප්‍රශ්නයත් දැන් තිබෙන්නේ මේ වගේ අදියරකයි. අක්මාවට දැනටමත් හානි වෙලා තිබෙන තරම අනුව, දැන් මත්පැන් පානය නොකළා කියා රෝගය සුවවන්නේ නැහැ.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිරේදේශ කරන ක්‍රියාමාර්ග අතර ඉහළින්ම තිබෙන්නේ විණිමය අනුපාතිකය නිවැරදි කර ගැනීමයි. දෙවන නිර්දේශය රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමයි. අයවැය හිඟය ඉහළ යන තරමට වාර්ෂිකව වැඩි වැඩියෙන් ණය ගන්න සිදුවීම එයට හේතුවයි.

රජයේ අයවැය හිඟය අඩු කරගත යුතු බව මේ ආණ්ඩුව, පෙර ආණ්ඩුව මෙන්ම ඊටත් පෙර ආණ්ඩුවත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් කරුණක්. ප්‍රශ්නය තිබෙන්නේ මේ වන විට පවතින තත්ත්වයන් යටතේ රජයේ අයවැය හිඟය අඩු කරගැනීම හිතන තරම් පහසු කරුණක් නොවීමයි.

රජයේ අයවැය හිඟය කියන්නේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනසයි. ආදායම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම බදු ආදායම්. මගේ අදහස අනුව, අඩු වශයෙන් පසුගිය අවුරුදු පහළොවක පමණ කාලය තුළ රජයේ බදු ආදායම් වාර්ෂිකව හැකි උපරිම තරමින් වැඩි කරගෙන තිබෙනවා. රජය මීටත් වඩා බදු ගහන්නේ නැත්තේ බදු අනුපාතික තවත් වැඩි කළොත් බදු පදනම් (tax bases) පහළ ගිහින් ආදායම් අඩු විය හැකි නිසයි. උදාහරණයක් විදිහට වාහන මත පනවන බදු 10%කින් වැඩි කළ විට වාහන අලෙවිය 15%කින් අඩු වුනොත් වෙන්නේ රජයේ බදු ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිවුවත්, ආණ්ඩුව එකඟ වුනත්, රජයේ බදු ආදායම් තවත් වැඩි කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

ආදායම් වැඩි කර ගැනීම අසීරුනම් අයවැය හිඟය අඩු කර ගන්න වියදම් අඩු කර ගත යුතුයි. මේ කරුණේදී යහපාලන ආණ්ඩුව කටයුතු කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙනස් ආකාරයකටයි. ආණ්ඩුවකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිම තරමටම වගේ යහපාලන ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වියදම් සීමා කළා. දේශපාලනික වශයෙන් මෙය කොයි තරම් හානිකරද කියන එක ගැන නොතකා යහපාලන ආණ්ඩුව විසින්, වඩාත් නිවැරදිව කියනවානම් එහි රනිල් පාර්ශ්වය විසින්, මේ කටයුත්ත කළා. වියදම් සීමා කිරීම කියන කරුණ හා අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුවට කෙටිකාලීනව කළ හැකි වෙනත් නිර්දේශ තියෙනවද කියන එකත් සැකයි.

රාජපක්ෂ ආණ්ඩුව මේ විදිහට කටයුතු කළේ නැහැ. යහපාලන ආණ්ඩුව යටතේ 2018 අවසානය දක්වා සිදු වූ 10.66%ක වාර්ෂික රාජ්‍ය වියදම් වර්ධන වේගයට වඩා ගොඩක් වැඩියෙන්, 14.18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකින් රාජපක්ෂ දශකයේදී රාජ්‍ය වියදම් ඉහළ ගියා. මේ වගේ වේගයකින් ඉහළ යමින් තිබූ රාජ්‍ය වියදම් වර්ධනය සීමා කර රාජ්‍ය ආදායම් වර්ධන වේගය වැඩි කර ගැනීම යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වූ විශාල අභියෝගයක්.

යහපාලන ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය මේ අභියෝගයට නිර්භයව මුහුණ දුන්නා කියා කියන්න පුළුවන්. නිර්භයව කියා කියන්නේ මේ කටයුත්ත දේශපාලනික වශයෙන් ඉතා හානිකර වූවක් නිසයි. සමහර විට මේ ආකාරයට රාජ්‍ය වියදම් සීමා කිරීම "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" මට්ටමට ගියාද කියන එකත් විමසා බැලිය යුතු කරුණක්.

පොදුවේ 14.18% සිට 10.66% මට්ටමට රාජ්‍ය වියදම් වර්ධනය අඩුවුවත්, මේ අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ප්‍රාග්ධන වියදම් වර්ධනය සීමා කිරීමයි. පුනරාවර්තන වියදම් වර්ධනයේ එවැනි කැපී පෙනෙන අඩුවක් වුනේ නැහැ.

රාජපක්ෂ දශකයේදී රජයේ පුනරාවර්තන වියදම් 13.00%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත්, ප්‍රාග්ධන වියදම් 18.56%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත් වැඩි වුනා. ඒ කාලය ගැන කතා කරද්දී ගොඩක් අය සඳහන් කරන "ඇහැට පෙනෙන" සංවර්ධනයට හේතු වුනේ මේ වේගවත් ප්‍රාග්ධන වියදම් වර්ධනයයි. රාජපක්ෂ යුගයේදී සිදු කෙරුණු මහාපරිමාණ ප්‍රාග්ධන ආයෝජන ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මේ ප්‍රාග්ධන ආයෝජන වල ඵලදායීතාව ගැන මම මෙහි සාකච්ඡා කරන්නේ නැහැ.

පසුගිය සිවුවසර ඇතුළත සාමාන්‍ය ප්‍රාග්ධන වියදම් වර්ධන වේගය 7.43%ක් පමණයි. මෙය විශාල අඩු වීමක්. නමුත්, පුනරාවර්තන වියදම් ඒ විදිහට අඩු වුනේ නැහැ. පසුගිය වසර හතර ඇතුළතත් රජයේ පුනරාවර්තන වියදම් 12.11%ක සාමාන්‍ය වර්ධන වේගයකින් ඉහළ ගියා. යහපාලන ආණ්ඩුව රාජ්‍ය වියදම් සීමා කිරීම කියා කළේ ප්‍රාග්ධන වියදම් සීමා කිරීම බව පැහැදිලි කරුණක්.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අනාගත ආදායම් ඉහළ දමන වියදම්. හැබැයි මේ වියදම් කරන්නේ ණයට ගත් අරමුදල් යොදාගෙනනම්, ආදායම් වැඩි වෙද්දී පොලී ගෙවීම් ලෙස අනාගත වියදම්ද වැඩි වෙනවා. අපේක්ෂිත ආදායම් වලට වඩා ගෙවිය යුතු පොලී වියදම් වැඩිනම් ප්‍රාග්ධන ආයෝජනයකින් දිගුකාලීනව සිදුවෙන්නේ අවාසියක්. රාජපක්ෂ කාලයේ සිදු කළ ඇතැම් ආයෝජන හා අදාළව මේ විවේචනය තිබෙන නමුත් ඉහත කී ප්‍රාග්ධන වියදම් හේතුවෙන් රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් සැපයුණු බවත්, ඉහළ දළ ජාතික නිෂ්පාදිතය නිසා රාජ්‍ය ආදායම් ඉහළ ගිය බවත් පැහැදිලිව පෙනෙන දෙයක්.

බදු අනුපාතික ඉහළ නොදැම්මත්, බදු පදනම් ඉහළ යන විට බදු ආදායම් ඉහළ යනවා. යහපාලන ආණ්ඩුව යටතේ සෑහෙන මහන්සියකින් පවත්වාගත් 12.58%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගය ඉක්මවන 14.39%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගයක් පවත්වා ගන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වුණේ ඒ නිසයි. රාජ්‍ය වියදම් වර්ධන වේගයන්ගේ වෙනසට වඩා රාජ්‍ය ආදායම් වර්ධන වේගයන්ගේ වෙනස ගොඩක් අඩු බවත් ඒ එක්කම නිරීක්ෂණය කළ යුතු දෙයක්. එයින් අදහස් වන්නේ ලැබූ ආදායම් වර්ධනය වෙනුවෙන් සාපේක්ෂව බොහෝ විශාල මිලක් ගෙවා තිබෙන බවයි.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල් ආදිය හදන්න කරන වියදම් පමණක් නෙමෙයි. රජයේ කාර්යාලයකට ගන්න පරිගණකයක් හෝ මේසයක් පුටුවක් කියන්නෙත් ප්‍රාග්ධන වියදමක්. මේ ආකාරයේ ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ අනාගත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ නංවන නිෂ්පාදන සාධකයක්. ප්‍රාග්ධන භාණ්ඩ වල තිබෙන එක් ලක්ෂණයක් වන්නේ ඒවා කාලයත් සමඟ ක්ෂය වී යාමයි. එවිට ප්‍රාග්ධන සංචිතය පහළ ගිහින් නිෂ්පාදන ශක්‍යතාවය අඩු වෙන එක වලක්වා ගැනීමටනම් ඒ විදිහට ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. පාරවල් හැදුවත් කලක් යද්දී නැවත කැඩෙනවා. පරිගණක කල් ඉකුත් වෙනවා.

සමස්තයක් ලෙස රටක ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය ඉහළ නොදැම්මත්, දැනට තිබෙන මට්ටමේම පවත්වා ගැනීම සඳහා වුවත් සැලකිය යුතු මුදලක් වාර්ෂිකව වැය කළ යුතුයි. ඒ මට්ටම දක්වා ප්‍රාග්ධන ආයෝජන කළා කියා රටේ නිෂ්පාදිතය වැඩි වන්නේ නැති වුවත්, එපමණටවත් ප්‍රාග්ධන ආයෝජන නොකළොත් රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යනවා. රාජ්‍ය අංශය රටේ සමස්ත ආර්ථිකයෙන් කොටසක් පමණක් වුවත්, රාජ්‍ය අංශයේ නිෂ්පාදිතය හා අදාළවත් මේ තත්ත්වය බලපානවා. මූලික රෝහලක තිබෙන එකම එක්ස්රේ යන්ත්‍රය ප්‍රයෝජනයට ගත නොහැකි තරමට අබලන් වීම වැනි අවස්ථාවක් ගැන හිතුවොත් මේ කරුණ පැහැදිලි වෙයි. යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර ඇතුළත මේ අවම මට්ටම කිට්ටුවටම වගේ ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති බව පෙනෙනවා.

යහපාලන ආණ්ඩුව විසින් ප්‍රාග්ධන වියදම් මෙන් කැපී පෙනෙන සේ පුනරාවර්තන වියදම් අඩු කර නැහැ. මේ පුනරාවර්තන වියදම් මොනවාද කියා බැලූ විට, ඒ ඇයි කියන එක පැහැදිලි වෙනවා. පසුගිය ලිපියේත් සඳහන් කළ පරිදි, 2018දී රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්ම වැය වුනේ පොලී වියදම් ගෙවන්නයි. පොලී වියදම තීරණය වන්නේ ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය හා මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මතයි.

ලංකාවේ රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය පසුගිය දශක තුනක පමණ කාලය තුල සාමාන්‍ය වශයෙන් 6.5% මට්ටමේ ස්ථාවරව තිබී ඇති බව පෙනෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම මත මේ අනුපාතිකය 5.5%-7.5% අතර විචලනය වුවත් සාමාන්‍ය මට්ටම වෙනස් වී නැහැ. ලංකාවේ ආණ්ඩුවකට, ආණ්ඩුව කුමක් වුවත්, මේ පොලී අනුපාතිකය දැනෙන තරමකින් වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. එය තීරණය වන්නේ ජාත්‍යන්තර සාධක මතයි.

පොලී අනුපාතිකය වෙනස් නොවන නිසා පොලී වියදම් සීමා කරගත හැකි එකම ක්‍රමය මුළු රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. නමුත්, රාජ්‍ය අයවැය හිඟය පවතින තුරු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය තවත් වැඩි වනවා මිස අඩු වන්නේ නැහැ. රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වන අනුපාතයට වාර්ෂික පොලී වියදම්ද වැඩි වෙනවා. ඒ තරමට ආදායම් වැඩි නොවුනොත්, අයවැය හිඟය තවත් වැඩි වෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සීමාවන් ගැන පෙර කතා කළා. මේ කරුණු අනුව බැලූ විට රජයේ සමස්ත ආදායමෙන් 45%ක් පමණ පොලී වියදම් සේ වැය කරන්නට වීම වලක්වා ගැනීම පහසු නැහැ. එවිට ඉතිරි වන්නේ තවත් 55%ක් පමණයි.

පොලී ගෙවීමෙන් පසුව, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් පහත හෙළීම හෝ රජයේ සේවකයින් සේවයෙන් දොට්ට දැමීම කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, මේ කැටගරියේ වියදම් පාලනය කර ගත හැකි ආකාර වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම හා අලුතින් සේවකයින් බඳවා නොගැනීමයි. මේ සීමා කිරීම් දෙක වුවත් කළ හැක්කේ යම් මට්ටමකට පමණයි. මා හිතන විදිහට, යහපාලන ආණ්ඩුව විසින් හැකි උපරිම මට්ටමට මේ කැටගරියේ වියදම්ද සීමා කර තිබෙනවා.


රාජපක්ෂ දශකය රාජ්‍ය අංශයේ ඔළුගෙඩි ගණන සැලකිය යුතු ලෙස ඉහළ දමනු ලැබූ කාලයක්. එම දශකය තුළ මේ ඔළුගෙඩි ගණන 19.05%කින් ඉහළ ගියා. රාජ්‍ය අංශයේ සේවකයින් ප්‍රමාණය ඉහළ යාමෙන් රටේ නිෂ්පාදිතය ඉහළ යාමක් අදහස් වන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ එහි අනික් පැත්තයි. ඒ, පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව අඩුවීමේ හරහා. රාජපක්ෂ දශකය තුළ පෞද්ගලික අංශයේ සේවක ප්‍රමාණය 11.98%කින් පහළ ගියා.


රාජ්‍ය අංශයේ වැටුප් තීරණය වන්නේ පෞද්ගලික අංශයේ මෙන් ඵලදායීතාවය මත නෙමෙයි. නමුත්, පෞද්ගලික ආයතනයකට සේවකයෙකු බඳවා ගන්නේ එසේ කිරීමෙන් ලාබයක් ලැබිය හැකිනම් පමණයි. ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් රාජ්‍ය අංශය වෙත අවශෝෂණය කරගත් විට ශ්‍රම වෙළඳපොළේ ශ්‍රම සැපයුම පහළ ගිහින් මිල ඉහළ යනවා. එවිට, පෞද්ගලික අංශයට බඳවා ගන්න බැරි තරමට සේවකයකුගේ මිල ඉහළ යාම නිසා පෞද්ගලික අංශය හැකිලෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුනේ එයයි. යහපාලන කාලය තුළ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යන තරමට අලුතින් සේවකයින් බඳවා නොගත් නිසා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි ගණන 2.51%කින් අඩු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය 10.58%කින් වැඩි වී තිබෙනවා.

ඉදිරි ආණ්ඩුවක් විසින්ද යහපාලන ආණ්ඩුව විසින් කළාක් මෙන් රාජ්‍ය සේවක වැටුප් වියදම් සීමා කරන්නට උත්සාහ දැරුවත් උපරිම වශයෙන් කළ හැක්කේ විශ්‍රාම යන සේවක සංඛ්‍යාවට වඩා බොහෝ අඩුවෙන් සේවකයින් අලුතින් බඳවා ගැනීම මඟින් හා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් වියදම් අඩු කිරීම පමණයි. එසේ කළත්, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වන රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ආදායමෙන් 35%ක පමණ මට්ටමට හෝ අඩු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්.

එසේ කළා කියා අපි හිතමු. එවිට, ඒ 35%ට පොලී වියදම් 45% එකතු කළ විට රාජ්‍ය ආදායමෙන් 80%ක් ඉවරයි. අනෙකුත් අත්‍යවශ්‍ය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සඳහා ආදායමෙන් ඉතිරි 20% ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් කොයි තරම් දුරකට පාලනය කළත්, අඩු ගානේ තවත් අවුරුදු පහළොවක් විස්සක්වත් යනකම් වාර්ෂිකව තවතවත් ණය නොගෙන අයවැය සමතුලිත කරගැනීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩුවකට නැහැ.

කලින් උදාහරණයට නැවත ආවොත්, මේ වන විටත් අක්මාවට හානි වෙලා තියෙන තරම අනුව, දැන් බොන එක නැවැත්වුවා කියලත් කලින් තත්ත්වයට එන එක පහසු නැහැ. එයින් කියන්නේ නොබිවුවත් ප්‍රතිඵලයක් නැති නිසා ඔන්න ඔහේ දිගටම බොමු කියන එක නෙමෙයි.

ඇතැම් අය කියන විදිහට නාස්තිය හා දූෂණය වලක්වලා රට ගොඩ ගන්නවා කියන එක විහිළු කතාවක්. එයින් කියන්නේ නාස්තිය හා දූෂණය ප්‍රවර්ධනය කළ යුතු බව නෙමෙයි. නාස්තිය හා දූෂණය වැළැක්වීම අවශ්‍ය සාධකයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. පෙර සඳහන් කළ විදිහට, රජයේ ආදායමෙන් 90%ක් පමණම වැය වන්නේ පොලී වියදම්, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. නාස්තිය හා දූෂණය අඩු කළා කියා ඔය කැටගරි දෙකේ වියදම් අඩු වෙන්නේ නැහැ. ඉතාම සරල කරුණක් විදිහට ඔය කැටගරි දෙකේ වියදම් අඩු නොවන තාක් රජයේ අයවැය හිඟය නැති කරන්න බැහැ.

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලයට නැවත ආවොත්, රාජ්‍ය වියදම් අඩු කිරීම කළ යුතු දෙයක් තමයි. නමුත්, මේ වන විට ලංකාවේ රජය වියදම් කැපිය හැකි අවම සීමාව කිට්ටුවටම ඇවිත් ඉවරයි. ඒ නිසා, දැන් ඉන්න තැනින් එහාට යන්න කුමක් හෝ වෙනස් ක්‍රමෝපායක් අවශ්‍යයි. එහිදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ආදායම් වැඩි කරගැනීම පැත්තටයි.

රජයේ ආදායම් වැඩි කර ගැනීම පිණිස යහපාලන ආණ්ඩුවේ උපාය මාර්ගය වුණේ බදු අනුපාතික ඉහළ දැමීමයි. ඒ ක්‍රමෝපායයේ සීමාවන් දැන් පැහැදිලියි. ඒ නිසා, බදු අනුපාතික වෙනුවට බදු පදනම් ඉහළ දමා ගැනෙන ක්‍රියාමාර්ග අවශ්‍යයි. මෙයින් මා අදහස් කරන්නේ බදු පදනම් පුළුල් කෙරෙන තාක්ෂණික ක්‍රියාමාර්ග නෙමෙයි. ස්වභාවික ක්‍රියාමාර්ගයි. මේ ඉලක්කය කියන තරම් පහසු ඉලක්කයක් නෙමෙයි.

රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික වර්ධනය කියන කරුණේදී සාර්ථක වූ බව පැහැදිලි කරුණක්. රාජ්‍ය සේවය පුළුල් කළ විටත් කිසියම් පිරිසකගේ අතට මුදල් ලැබී සමස්ත ඉල්ලුම ඉහළ යනවා. නමුත්, ඒ ඉල්ලුමට සරිලන පරිදි දේශීය නිෂ්පාදිතය ඉහළ නොයන නිසා විදේශ අංශය සමතුලිතව තිබුණොත් පුළුල් වූ රාජ්‍ය සේවයේ බර පැටවෙන්නේ පෞද්ගලික අංශය මතයි. පෞද්ගලික අංශයේ ඉපැයීම් රාජ්‍ය අංශය වෙත විතැන් වෙනවා හැර, සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනයක් වෙන්නේ නැහැ.

රාජපක්ෂ යුගයේදී රාජ්‍ය අංශයට පිටින් සිටි අයට එවැනි බරක් නොදැනුණේ ආනයන අපනයන පරතරය පුළුල් වෙන්න හරිමින් විදේශ අංශය අසමතුලිතව පවත්වාගත් නිසයි. රටේ වැඩි වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු නොවුණත්, ආනයන නිසා රට ඇතුළේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ මට්ටමක තිබුණා. විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගත් නිසා ආනයනික භාණ්ඩ රට ඇතුළේදී අඩු මිලකට විකිණුනා. ඒ ක්‍රමයට එක දිගට වැඩි කලක් යන්න බැහැ. එහෙම යන්නනම් පිරමිඩ් ක්‍රමයකදී වගේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ලබාගත යුතුයි. කොයි වෙලාවකදී හෝ කඩා වැටෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ අන්තිම කාලයේදී මේ ක්‍රමයට යන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලයි තිබුණේ. ඒ නිසා, ඒ ක්‍රමෝපායය වෙත ආපසු හැරීම විසඳුමක් නෙමෙයි.

හැම පැත්තම සමතුලිත කරගෙන ඉස්සරහට යන්නනම් රටේ අපනයන ආදායම විශාල ලෙස වැඩි කරගත යුතුව තිබෙනවා. අපනයනය කරන්නේ භාණ්ඩද සේවාවන්ද කියන එක වැදගත් නැහැ. සේවා අපනයන පැත්තෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම වඩා පහසුයි.

රටේ අපනයන ආදායම වැඩි කරගත යුතු බව අලුත් අදහසක් නෙමෙයි. මේ ආණ්ඩුව වගේම කලින් ආණ්ඩුවත් මෙහි වැදගත්කම ගැන කතා කර තිබෙනවා. එහෙත්, කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් රටේ අපනයන වර්ධනය කෙරෙන විදේශ විණිමය ප්‍රතිපත්තියක් වෙත යොමු වී නැහැ. එයට හේතුව දේශපාලනිකයි.

Saturday, July 7, 2018

දවසින් වැඩේ කරගත්තා!


ලංකාවේ ගත කළ අවසන් දින කිහිපය අප නැවතී සිටියේ බිරිඳගේ වැඩිමල් සොහොයුරියගේ නිවසේය. ඇය සාමාන්‍යයෙන් පාන්දරින් නැඟිට බත් උයා, බත් මුලක්ද බැඳගෙන වැඩට යයි. මේ කියන දවසේ ඇය වැඩට යන්නට තරමක් ප්‍රමාදව සිටින බව පෙනුණේය.

"අද නැගිටින්න පරක්කු වුණාද?"

"අද නිවාඩුවක් දැම්මා. ඩ්‍රයිවින් ලයිෂන් එක අලුත් කරගන්න යන්න."

කල් ඉකුත් වී ඇති සිය රියදුරු බලපතෙහි කාලය දිගු කර ගැනීමේ අරමුණින් ඈ උදේ හතහමාර හෝ අට පමණ වෙද්දී නිවසෙන් පිටත් විය. ඇගේ නිවස පිහිටියේ අදාළ කාර්යාලය පිහිටි තැන සිට මහා දුරක නොවන බැවින් එහි යන්නට ඇයට පැය බාගයක් ප්‍රමාණවත්ය.

කෙසේ වුවත්, මේ කටයුත්තට දවසක්ම ගතවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මා සිතූ පරිදිම ඈ නැවත නිවසට පැමිණෙද්දී හවස පහ පසු වී තිබුණේය. ඇගේ මුහුණේ පෙනෙන්නට තිබුණේ දැඩි විඩාව ඇතුළේ හැංගුනු හීන් තෘප්තියකි.

"කොහොම හරි දවසින් වැඩේ කරගත්තා!"

"දවසම ඉවරයි නේද?"

"ඔව් ඉතිං පෝලිම්ම කීයක කියල යන්නද?"

ඈ විස්තර කරන ක්‍රියාපටිපාටිය වරක් හෝ ලංකාවේ රජයේ කාර්යාලයකට වැඩක් කරගන්නට ගොස් ඇති අයෙකුට විස්මය ගෙනදෙන්නක් නොවේ. අවසන් වරට මා මීට සමාන අත්දැකීමකට මුහුණ දුන්නේ තෙවසරකට පමණ පෙර ලංකාවට පැමිණ සිටි කාලයේදී ආගමන විගමන කාර්යාලයේදීය.

මුලින්ම, අදාළ අයදුම්පත ලබාගැනීම සඳහා පෝලිමකි. අයදුම්පත ලබාදෙන්නේ එය නිකුත් කරන නිලධාරියා විසින් ගමන් බලපත්‍රය පරීක්ෂා කර අයදුම්පතෙහි එම අංකය පිරවීමෙන් පසුවය. එයින් පසු තවත් පෝලිමකි. ඒ පෝලිමෙන් පසු එකතු වන්නට තවත් පෝලිමකි......

මුදල් ගෙවන්නට පෙර අයදුම්පත පරීක්ෂා කරන්නට නිලධාරියෙකි. එහි පෝලිමකි. මුදල් ගෙවන්නට වෙනම පෝලිමකි. මුදල් ගෙවූ රිසිට් පත පරීක්ෂා කරන්නට තවත් නිලධාරියෙකි. එහිද පෝලිමකි. එක පෝලිමකින් පසු එකතු විය යුතු ඊළඟ පෝලිම දැන ගන්නට කිසිදු මාර්ගෝපදේශනයක් නැත. ඇතැම් විට සෑහෙන වෙලාවක් සිටියේ වැරදි පෝලිමක බව දැනගන්නට ලැබෙන්නේ පෝලිමක අන්තයට යාමෙන් පසුවය. ඒ බව දැන ගැනීමෙන් පසු කලින් යා යුතුව තිබුණු පෝලිමට එකතු වී අවශ්‍ය කටයුත්ත කරගෙන මුල් පෝලිමේ අගට නැවත එකතු විය යුතුය.

බිරිඳගේ සොහොයුරිය විස්තර කළ ඇගේ අත්දැකීමද මීට වඩා වෙනස් නොවූයේය.

රජයේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් සිතන්නේ මේ කියන්නේ රජයේ සේවකයින් වැඩ නොකර නිකම් සිටීම ගැන බවයි. එය එසේ වූ කාලයක් තිබුණේය. එහෙත්, රාජකාරි වෙලාවේ සොලිටෙයාර් ක්‍රීඩා කරන හෝ පත්තර බලන, දවල් වී වැඩට පැමිණ කලින්ම පනින, කෑම පැය දෙපැයක් කරගන්නා රජයේ සේවකයින් දැන් ලංකාවේ රජයේ කාර්යාල වල දශකයකට දෙකකට පෙර කාලයේ තරම්ම දකින්නට නැත. එසේනම් එයින් අදහස් වන්නේ රජයේ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි වී ඇති බවද?

රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව ඇති විවේචන ගැන දැන් බොහෝ ආයතන ප්‍රධානීන් දැනුවත්ය. ඒ නිසා, සිය නිලධාරීන් නිකම් නොතබා වැඩක යොදවන්නට දැන් බොහෝ ආයතන ප්‍රධානීහු කටයුතු කරති. කෙසේ වුවත්, කිසියම් ආයතනයක සේවය කරන නිලධාරීන් වෙලාවට වැඩට පැමිණ මහන්සි නොබලා හවස් වන තුරු වැඩ කළ පමණින් ආයතනයක් කාර්යක්ෂම වන්නේ නැත. ඇතැම් විට අකාර්යක්ෂමතාවයන්ට හේතු වන්නේ මේ වැඩ කිරීමමය.

කාල් මාක්ස්ගේ කතන්දර වල කියා ඇති පරිදි කිසියම් කාර්යයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදූ මිනිස් ශ්‍රමයට සමානුපාතිකනම්  ලංකාවේ රජයේ සේවකයින් ඒ තරම්ම අකාර්යක්ෂම නැත. එහෙත්, එය එසේ නැත. කාර්යක්ෂමතාවය මිනිය හැක්කේ අවසන් වශයෙන් සිදු වූ කාර්යයෙහි ප්‍රයෝජ්‍යතාව මතය.

ලංකාවේ බොහෝ රජයේ ආයතන "කාර්යක්ෂම කිරීමේ" කාර්ය පටිපාටි සකස් වී තිබෙන්නේ සේවකයින් සියල්ලන්ම කිසියම් හෝ කටයුත්තක යෙදවීම අරමුණු කරගෙන මිස සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම අරමුණු කරගෙන නොවේ. මේ චින්තනය තුළ "සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම" ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේ අදාළ ක්‍රියාවලියේ කිසියම් නිලධාරියෙකු විසින් කළ යුතු කොටස ප්‍රමාද නොකර කර දීමයි. එහෙත්, ඇතැම් විට මේ නිලධාරියා විසින් "ප්‍රමාදයකින් තොරව" කරන කටයුත්තෙන්  සිදු කෙරෙන ප්‍රධාන කාර්යය සේවාදායකයාගේ අවශ්‍යතාවය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.

ඒ නිසා, නිලධාරිනිය සම්මතය අනුව කාර්යක්ෂම නිලධාරිනියක් වුවද බොහෝ විට ක්‍රියාවලිය අකාර්යක්ෂමය. ඇය සම්මතය අනුව අකාර්යක්ෂම නිලධාරිනියක් වීනම් ක්‍රියාවලිය වඩාත් අකාර්යක්ෂමය.

ඇමරිකාවේ රියැදුරු බලපතක් ඇති අයෙකුද එය වසර කිහිපයකට වරක් අලුත් කළ යුතුය. අලුත් රියැදුරු බලපතක් නිකුත් කිරීමේ කාර්ය පටිපාටියට අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කිරීම හා ඒවායේ පිටපත් ලබාගෙන ගොනුගත කිරීම, මුදල් අයකර ලදුපතක් නිකුත් කිරීම, ඇස් පරීක්ෂා කිරීම, ඡායාරූපයක් ලබා ගැනීම, රියදුරු බලපත මුද්‍රණය කිරීම ආදී අංග ගණනාවක් අයත් වේ. එහෙත්, මේ සියලු කටයුතු එක් නිලධාරියෙකු විසින් කරනු මිස සේවාදායකයා නිලධාරීන් ගණනාවක් වෙත යැවීමක් ඇමරිකාවේ රථවාහන කාර්යාංශ වලදී සිදුවන්නේ නැත. ලංකාවේදී නිලධාරීන් ගණනාවක් අතින් සිදුවන කටයුතු මෙන්ම, සේවාදායකයා විසින් කරන අයදුම්පත් පිරවීමේ සිට ඇය මුදල් ගෙවා බාහිර පෞද්ගලික තැනකින් ලබාගන්නා ඡායාපිටපත් හා ඡායාරූප ගැනීම වැනි කටයුතු සියල්ලද සිදුවන්නේ මේ නිලධාරිනිය අතිනි.

ඇමරිකාවේ රථවාහන කාර්යාංශයකට යන අයෙකුටද පෝලිමක සිටින්නට සිදුවේ. එසේ අවශ්‍ය නොවන තරමට නිලධාරීන් මහ පිරිසක් ඒ තැන් වල පුරවා නැත. එහෙත්, ඇත්තේ එවැනි එක් පෝලිමක් පමණි.

පෝලිමට එකතු වීම යනු නොම්මර නිකුත් කරන යන්ත්‍රයකින් නොම්මරයක් ගැනීමයි. ඉන්පසු නොම්මරය කැඳවන තුරු බ්ලොග් සටහනක් කියවීම වැනි තමන්ගේ වැඩක් කර ගත හැකිය. තමන්ට ලැබුණු නොම්මරය අනුව කැඳවීම ලැබෙන්නට ගත විය හැකි කාලය ගැන අදහසක් ගත හැකි නිසා අවශ්‍යනම් කෝපි කෝප්පයක් බී නැවත පැමිණෙන්නට වුවද පුළුවන.

රථවාහන කාර්යාංශයෙහි රියැදුරු බලපත් අලුත් කිරීමට අමතරව අලුතින් රියැදුරු බලපත් නිකුත් කිරීම, වාහන ලියාපදිංචි කිරීම , වාහන අයිතිය මාරු කිරීම ආදී කටයුතු ගණනාවක් සිදු වුවත් ඒ එක එක් කාර්යයන් වෙනුවෙන් වෙනම අංශ හෝ නිලධාරීන් නැත. ඒ නිසා, වැඩ අධීක්ෂණය කරන්නට අංශ ප්‍රධානීන් ගණනාවක්ද නැත.

එක් නිලධාරිනියක සිය කාර්යය නිම කළ පසු ඊළඟ නොම්මරය කැඳවේ. ඒ නිලධාරිනිය එවැනි නිලධාරිනියන් ගණනාවක් අතරින් කවර හෝ අයෙකු විය හැකිය. සේවාදායකයා පැමිණ සිටින්නේ කවර කටයුත්තක් සඳහා වුවද ඒ කටයුත්ත මුළුමනින්ම කර දී සේවාදායකයා හැකි ඉක්මණින් පිටත් කර යවන්නට ඈ සැදී පැහැදී සිටී. මුලින්ම යම් කාලයක් පෝලිමේ ගත කරන්නට සිදු වුවත්, නිලධාරිනිය සම්මුඛ වීමෙන් පසුව විනාඩි ගණනකින් පැමිණි කාර්යය අවසන්ය. ඒ කටයුත්ත කරන්නට අවශ්‍ය අධිකාරී බලය හා හැකියාව සියලු නිලධාරිනියන් සතුව තිබේ.

අවශ්‍ය කටයුත්ත කර දෙන්නට කිසියම් බාධාවක් ඇති සංකීර්ණ අවස්ථාද මේ අතර කලාතුරකින් හෝ තිබෙන්නට පුළුවන. එවැනි විටක ඉහළ නිලධාරිනියක මැදිහත් වීම අවශ්‍ය වුවද මුල් නිලධාරිනිය අසුනින් නැගිට ගොස් ඈ හමුවනු මිස සේවාදායකයාව එහි පිටත් කර හැරීමක් සිදුවන්නේ නැත.

ඇමරිකාවේ වෙනත් බොහෝ රජයේ ආයතන වල කටයුතු කෙරෙන්නේද මීට සමාන අයුරකිනි.

මෙවැනි කටයුතු කරන ඇමරිකන් නිලධාරීන් ලංකාවේ රජයේ සේවකයින්ට නැති ලොකු ඉගෙනුමක් හෝ පුහුණුවක් ලබා ඇති අය නොවේ. එවැන්නෙකු විසින් කරන සීමිත කටයුතු සියල්ල සුළු පුහුණුවක් ලැබීමෙන් පසු ලංකාවේ රජයේ සේවකයෙකුට කරන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේදී එක් අයෙක් කරන දෙය කරන්නට ලංකාවේ රජයේ නිලධාරීන් හත් අට දෙනෙකුවත් අවශ්‍යය. එහි ප්‍රතිඵලය සේවාදායකයාට පෝලිම් ගණනාවක රස්තියාදු වන්නට සිදුවීමයි. අන්තිමේදී මේ රජයේ සේවකයින් නිකම් සිටද නැත. ඔවුන් දවස තිස්සේ මහන්සි වී වැඩ කර තිබේ. එහෙත් හත් අට දෙනෙකු මහන්සි වී කර තිබෙන්නේ එක් අයෙකුට කළ හැකි දෙයකි.

එක් සුළු වැඩක වුවද වගකීම තනි පුද්ගලයෙකුට නොපවරා බොහෝ දෙනෙකු අතර පොදුවේ බෙදා හැරීම ලංකාවට ඉංග්‍රීසින්ගෙන් උරුම වූ ක්‍රමවේදයකි. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට මේ ක්‍රමය ගැලපෙන නමුත් රියදුරු බලපතක් අලුත් කිරීම වැනි කටයුත්තකදී මේ ක්‍රමය ඉතා අකාර්යක්ෂමය.

ඉංග්‍රීසින් ලංකාව ඇතුළු රටවල් ආණ්ඩු කරන්නට පටන් ගැනීමෙන් පසුව මෙවැනි ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඔවුන්ට හේතු තිබුණේය. ඉංග්‍රීසි පාලනයන් යටතේ ආණ්ඩු කරන්නට හවුල් වුණේ ඉංග්‍රීසින් පමණක්ම නොවේ. ලංකාවේදී සුද්දන් ලෙස පොදුවේ හැඳින්වුණු ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් හා මිලිටරි නිලධාරීන් අතර වේතනයක් වෙනුවෙන් සේවය කළ ඉංග්‍රීසි නොවන වෙනත් යුරෝපීයයෝ ඕනෑ තරම් සිටියහ. ඉන්දියාව හා ජාවා රට වැනි අසල්වැසි රටවලින් රැගෙන ආ පිරිස්ද බොහෝ වූහ. ඊට අමතරව තෝරගත් ලාංකිකයෝද සිටියහ. මේ අසමජ්ජාතීන් (අසමජාතීය) කණ්ඩායම කළමනාකරණය කර අවශ්‍ය කටයුතු කර ගැනීමේදී  ඉංග්‍රීසින්ගේ ක්‍රමවේදය නරක එකක් වුණේ නැත. ඔවුන්ට දිගු කලක් ආණ්ඩු කරන්නට ලැබුණේ ඔවුන්ගේ ඉලක්ක වලට සාපේක්ෂව අදාළ ක්‍රමවේදය කාර්යක්ෂම වූ බැවිනි.

පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇති පරිදි ඉංග්‍රීසින් විසින් තමන් සංක්‍රමණය වූ සෑම රටකටම සමාන කාර්ය පටිපාටීන් හඳුන්වා දී නැත. කටුක දේශගුණය, බෝවන රෝග හා ඩීල් කිරීම අමාරු ස්වදේශිකයින් හේතුවෙන් වැඩි අභියෝග වලට මුහුණ දුන් තැන් වලදී ඔවුන් හඳුන්වා දී ඇති කාර්ය පටිපාටි එසේ නොවූ ප්‍රශස්ත දේශ වලදී හඳුන්වා දී ඇති කාර්ය පටිපාටීන්ම නොවේ. පළමු කී තැන් වලදී ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ කෙටි කාලීනව හැකිතාක් ලාබ ලැබීමයි. කවදා හෝ තමන්ට අතහැර දමන්නට සිදුවන බව දැන සිටි එවැනි තැන් වල දේපොළ අයිතිවාසිකම් තහවුරු කරන්නට ඉංග්‍රීසින් විසින් දක්වා තිබෙන්නේ අඩු උනන්දුවකි.

ප්‍රශ්නය වන්නේ ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් අකාර්යක්ෂම ක්‍රමවේදයන් පැරණි ඉංග්‍රීසි යටත් විජිත වල තවමත් පවතින්නේ ඇයිද යන්නයි. ඉංග්‍රීසීන් විසින් තමන්ගේම රටේදී පවා මෙවැනි අකාර්යක්ෂම ලෙස පැහැදිලිව හඳුනාගත හැකි ක්‍රමවේද වෙනස් කර තිබියදී ලංකාව, ඉන්දියාව වැනි රටවල් තවමත් එසේමය. ප්‍රශ්නයේ මුල සුද්දා සිටිනවා විය හැකි වුවත්, නිදහසින් අවුරුදු හැත්තෑවකටත් පසුව සුද්දාට බැනීම තේරුමක් නැති දෙයකි. ප්‍රශ්නය තිබෙන්නේ කොහේද?

මගේ බිරිඳගේ සොයුරියගේ රියැදුරු බලපත මෙන්ම මගේ ලංකාවේ රියැදුරු බලපතද කල් ඉකුත් වී ඇත. මෙය අලුත් කර ගැනීම සඳහා ලංකාවේ සිටින සීමිත කාලයෙන් දවසක් නාස්ති කිරීම තේරුමක් නැති දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වියානා සම්මුතිය අනුව මගේ ඇමරිකන් රියැදුරු බලපත ලංකාවේදීද භාවිතා කළ හැකි වුවත් එහිදී මතු විය හැකි ප්‍රායෝගික ගැටළු මඟ හරවා ගැනීම සඳහා එක්කෝ ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හෝ එසේ නැත්නම් ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවෙන් අමතර ලියවිල්ලක් ලබාගත යුතුය. ගෙවිය යුතු ගාස්තුව සමානය. මේ දෙකෙන් මගේ තේරීම වූයේ කුමක්ද යන්න කිව යුතු නැත.

අදාළ කටයුත්ත කරගැනීම සඳහා මම  ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවට ගියෙමි.

"සර්, ෆොටෝ එකක් ගෙනාවද?"

"ෆොටෝ එකක්නම් ගෙනාවෙ නෑනේ!"

"කමක් නෑ, සර්! අපි මේ ඩ්‍රයිවින් ලයිෂන් එකේ ෆොටෝ එක ස්කෑන් කරල ෆොටෝ එකක් හදා ගනිමු!"

(පසුගාමී මානසික තත්ත්ව විශ්ලේෂණය කිරීමේ විශේෂඥයෙකු වන ඇනෝගේ පහසුව පිණිස ලංකාවේදී මේ නිලධාරිනිය විසින්ද ඉකොනොමැට්ටාට සර් කියා කතා කළ බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.)

ඇමරිකාවේ ඔටෝමොබයිල් සංගමයෙන් ලබාගෙන තිබුණු මගේ අන්තර්ජාතික රියදුරු බලපතෙහි වූ ඡායාරූපය ස්කෑන් කර එමඟින් නැවත ඡායාරූපයක් මුද්‍රණය කර අවශ්‍ය ලියවිල්ල මත අලවා සහතික කරන්නට ඇය වැඩි වෙලාවක් නොගත්තාය. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කෙරුණේද නැත. ඔටෝමොබයිල් සංගමයට නොගොස් අනෙක් විකල්පය තෝරා ගත්තේනම් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නට අසීරු නැත.

ප්‍රශ්නය ලංකාවේ හෝ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ රජයේ ප්‍රශ්නයකි. කොහොම වුනත්, ලංකාවේ රජය කියන්නේත් ලංකාවේ මිනිස්සුය. එහෙමනම්, ඔටෝමොබයිල් සංගමයේ තිබෙන කාර්යක්ෂමතාවය රථවාහන කාර්යාංශයේ නැත්තේ ඇයි?

(Image: http://www.dailymirror.lk/105290/Sri-Lanka-Cost-of-Inefficiency-and-ineffectiveness-in-the-Public-Sector-)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...