ඇමරිකාවේ පැවැත්වුණු පසුගිය ජනාධිපතිවරණ පහෙන් දෙකකදීම තේරී පත් වුනේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නෙමෙයි. තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ පාරත් ඒ වැඩේම වෙනවා. ලංකාවේ ගොඩක් අය වගේම ඇමරිකාවෙන් හා ලංකාවෙන් පිටත වෙනත් රටවල ගොඩක් අයත් මෙය අවුලක් සේ දකිනවා. එහෙත්, ඇමරිකාව ඇතුළේ මේ සම්බන්ධව තිබෙන්නේ බෙදුණු මතයක්.
ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය වගේම රිපබ්ලිකන් පක්ෂයත් මූලික වශයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන පක්ෂ. එසේ වූ පමණින් මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන නොවන බව කවුරුත් දන්නා කරුණක්. රිපබ්ලිකන් පක්ෂයට ජාතිකවාදී නැඹුරුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තරවාදී පක්ෂයක්. පක්ෂ දෙකම යම් තරමකින් ධනවාදය නමනවා. හැබැයි එකම විදිහට නෙමෙයි. ඩිමොක්‍රටික් ක්‍රමයේ යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙනවා. එයින් වෙනස්ව රිපබ්ලිකන් පක්ෂය ධනවාදය නමන්නේ ආර්ථික ආරක්ෂණවාදය හරහා. සංක්‍රමනික විරෝධයත් එහිම කොටසක්.
ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වූ වහාම, හරියටම කියනවානම් බලයත් පත් වීමට නියමිත බව පැහැදිලිව පෙනී ගිය වහාම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය වගේ කරුණු උඩට පැමිණ තිබෙනවා. සුළුතර ප්‍රජාවන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන කණ්ඩායම් වල වැඩි සහයෝගය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට කියන එකත් ප්‍රචලිත කරුණක්. අනෙක් පැත්තෙන් බැළුවහම ඒකීය පුද්ගලයෙක් කියා කියන්නේ කුඩාම මට්ටමේ සුළුතරය. රාජ්‍ය නියාමනයට එරෙහිව ඒකීය පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඉදිරියෙන් ඉන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.
ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක නෙමෙයි. හැමෝගෙම අදහස් සැලකිල්ලට ගෙන පොදු එකඟතාවයකට එන එක. මෙහිදී ඇතැම් අදහස් යටපත් වෙනවා. ඇතැම් අදහස් මතු වෙනවා. හැම විටම උඩට මතු වන්නේ බහුතර මතය නෙමෙයි. බහුතරයට එකඟ විය හැකි මතය. එය සුළුතර මතයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ වෙන්නේ හැමෝගෙම අදහස් වලට හැමෝම සවන් දෙන තරමේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබේනම් පමණයි. හැමෝම තම තමන්ගේ මත වල දැඩිව එල්බ සිටින විට වෙන්නේ හැම විටම බහුතරයේ මතය උඩට මතු වීම. එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස හඳුන්වන්න බැහැ. ඒ කියන්නේ හැම විටම කිහිප දෙනෙකුගේ හෝ සුලුතරයක මතය උඩට මතු වෙන ක්‍රමයක් හොඳයි කියන එක නෙමෙයි. එය කොහොමත් නරකයි.
බහුතරයකට එකඟ විය නොහැකි සුළුතරයකගේ මතයක් ක්‍රියාත්මක වීමට සාපේක්ෂව බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීම සාධනීයයි. හැබැයි බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීමට වඩා බහුතරයකට එකඟ විය හැකි කාගේ හෝ වඩාත්ම පිළිගත හැකි මතය සාකච්ඡා, සම්මුති ආදියෙන් පසුව අවසානයේදී පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක වීම හැම විටම වඩා සාධනීයයි. වඩා විශාල පිරිසකට එකතු වී මෙවැනි පොදු සම්මුතියක් ඇති කර ගැනීම අසීරුයි. අඩු පිරිසකට එය වඩා පහසුයි.
ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය පහළ මට්ටමේ සිට ඉහළට ජනතා කැමැත්ත එසැවෙන ක්‍රමයක්. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. තමන් තරඟ කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයකින්ද, සුළු පක්ෂයකින්ද, තමන් විසින් අළුතින් හදා ගන්නා දේශපාලන පක්ෂයකින්ද, එහෙමත් නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද කියන එක මුලින්ම තීරණය කරන්න වෙනවා. මොන ආකාරයෙන් තරඟ කළත් ඡන්ද පත්‍රිකාවට නම දමා ගන්න පුළුවන් වෙන්නේ අවම අත්සන් ප්‍රමාණයක් හෝ අවම සහයෝගයක් ඇත්නම් පමණයි. ඒ මට්ටමට යන්න බැරි කෙනෙකුට ඡන්ද පත්‍රිකාවේ නම නැතත් ඡන්ද ලබා ගන්න පුළුවන්කමක්ද තිබෙනවා. එවැනි අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දදායකයෙකු විසින් නම ලියා ඡන්දය දිය යුතුයි.
තමන්ට සහයෝගය ලබා ගන්න වැඩිම ඉඩක් තිබෙන්නේ දැනටම ක්‍රියාත්මකව පවතින දේශපාලන පක්ෂයක සාමාජිකයින් අතරෙන්නම් එවැනි පක්ෂයක අපේක්ෂකත්වය වෙනුවෙන් කැමති කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. පක්ෂයට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රාථමික මැතිවරණ වලදී වෙන්නේ එයයි. ප්‍රාථමික මැතිවරණ වලට ඉදිරිපත් වන කෙනෙක් පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා උඩට එනවානම් ඔහු හෝ ඇය පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්ද ආදී අවශේෂ කරුණු වැදගත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ දේශපාලන පක්ෂ කාගෙවත් පෞද්ගලික බූදල් නෙමෙයි.
ඇමරිකාවේ ප්‍රාථමික මැතිවරණ ක්‍රමය ඉතාම පහළ මට්ටමෙන් පටන් අරන් උඩට යන ක්‍රමයක් නිසා මේ ක්‍රියාවලියේ එක් එක් අදියරේදී එයට සහභාගී වන හැමෝගෙම වගේ අදහස් සලකා බලන්න යම් තරමක ප්‍රායෝගික ඉඩක් ලැබෙනවා. මුළු රටේ සියලු දෙනාගේම කැමැත්ත එකවර විමසන අවස්ථාවකදී එවැන්නක් කරන්න අමාරුයි. එවිට සිදු වෙන්නේ තම තමන් දැනට එල්බ සිටින මත ප්‍රකාශ වීමක් පමණයි. අදහස් ගැටීමක් හෝ සංවාදයක් නැහැ.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවසන් අදියරේදී ඒ කටයුත්තට සහභාගී වෙන්නේ 538 දෙනෙක් පමණයි. එවැනි පිරිසකට කතාබහ කරලා හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන හොඳම තීරණය ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඒ විදිහටම සිදු නොවීම වෙනම කරුණක්.
මේ විදිහට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කටයුත්තට සහභාගී වෙන 538 දෙනා එක් එක් ප්‍රාන්ත වල නියෝජිතයෝ. ඒ අයව පත් කර එවන්නේ අදාළ ප්‍රාන්ත විසිනුයි. ඒ තේරීම කරන්නේ කොහොමද කියන එක අදාළ ප්‍රාන්තයට භාර කටයුත්තක්. ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට අවශ්‍යනම් තේරීම කරන ක්‍රමය වෙනස් කර ගන්න බාධාවක් නැහැ. දැනට ප්‍රාන්ත දෙකක් හැර අනෙක් සියළුම ප්‍රාන්ත විසින් කරන්නේ ප්‍රාන්තයේ වැඩිම සහයෝගයක් තිබෙන දේශපාලන පක්ෂය විසින් නම් කරන නියෝජිතයින්ට අවස්ථාව ලබා දෙන එකයි. ප්‍රාන්ත දෙකක් අනුපාතික ක්‍රමයක් අනුගමනය කරනවා. එම ප්‍රාන්ත වල ප්‍රාන්තයේ බහුතරය මත වගේම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශීය මැතිවරණ කලාප වල බහුතර කැමැත්ත මත නියෝජිතයින් පත් කර ගැනෙනවා.
ඇමරිකාවේ ජනාධිපති ලෙස රටේම වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා පත් නොවෙන්න පුළුවන්නේ. ඒ වගේම, එය කිහිප වරක්ම සිදු වෙලත් තිබෙනවනේ. මෙය මේ විදිහට නොවන බවට වග බලාගන්න අවශ්‍යනම් කරන්න තිබෙන්නේ පොඩි වැඩක් පමණයි. එක් එක් ප්‍රාන්ත විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් පත් කර යැවීමේදී තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත ගැන නොසලකා රටේ බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කරන එක. වැඩේ එතැනින්ම ඉවරයි.
මේක යුරෝපයට ආදේශ කළොත්, මුළු යුරෝපයම පාලනය කරන්න තනි නායකයෙක් තීරණය කරනවා කියා හිතමු. එය කරන්නේ යුරෝපීය සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්ගේ ඡන්දයෙන්. එක් එක් රටට හිමි වන සාමාජිකයින් ප්‍රමාණය එම රටේ ජනගහණයට සමානුපාතිකව අඩු වැඩි වෙනවා වගේම හැම රටකටම සමානව බෙදී යන කිසියම් අවම නියෝජිතයින් ගණනකුත් ඉන්නවා. දැන් ඩෙන්මාර්කය වැනි රටක අති මහත් බහුතරය කිසියම් අපේක්ෂකයෙකුට කැමති නැති වුනත් සමස්තයක් ලෙස යුරෝපයේ වැඩි දෙනෙක් කැමති ඒ අපේක්ෂකයාටනම් ඩෙන්මාර්කය නියෝජනය කරන නියෝජිතයින් විසින්ද අර යුරෝපයේ වැඩි දෙනෙක් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙනවා වගේ වැඩක්.
මේ ආකාරයට රටේම බහුතර කැමැත්ත ලබන පුද්ගලයාව ජනාධිපති ධුරයට පත් කර ගැනීම පිළිබඳ අදහස මෑත ඉතිහාසය තුළ ඇමරිකාවේ ප්‍රබලවම මතු වුනේ 2000 ජනාධිපතිවරණයෙන් පසුව කියා කියන්න පුළුවන්. 2016 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිළිබඳ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, ඉහත අවස්ථා දෙකේදීම "අවාසිය" සිදු වුනේ ඩිමොක්‍රටික් පක්ෂයට නිසා මේ අදහස වැඩිපුරම එහෙමත් නැත්නම් මුළුමනින්ම වාගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරියට ගෙනගිය අදහසක් කියා කියන්න පුළුවන්.
මේ අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස යෝජනා වුනේ අන්තර්-ප්‍රාන්ත එකඟතා ගිවිසුමක්. යෝජිත ගිවිසුම අනුව, ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් තෝරා පත් කර යැවීමේදී ප්‍රාන්ත අතර ඇති කර ගන්නා පොදු එකඟතාවයක් අනුව එම එකඟතාවයට යටත් ප්‍රාන්ත විසින් තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත නොසලකා රටේම බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කර යැවිය යුතුයි.
උදාහරණයක් විදිහට දකුණු කැරොලයිනා ප්‍රාන්තය මේ ගිවිසුම අත්සන් කළා කියා හිතමු. දැන් මැතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකයා දකුණු කැරොලයිනා ඡන්ද වලින් 43%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 55%ක් ගන්නවා. එහෙත් මුළු රටේම ඡන්ද භාවිතාව බැලුවහම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ඡන්ද වලින් 51%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 47%ක් ගන්නවා. හරියම මේ අවුරුද්දේ ත්ත්වය වගේ. දැන් ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ එම ප්‍රාන්තයේ වැඩිම ඡන්ද ලබාගත් රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්. එහෙත්, යෝජිත ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්.
අපි හිතමු අවම වශයෙන් නියෝජිතයින් 270 දෙනෙකු පත් කර යැවීමේ අයිතිය තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ යෝජනාවට කැමති වී අන්තර්-ප්‍රාන්ත ගිවිසුමක් අත්සන් කළා කියලා. එවැනි ගිවිසුමකින් පසුව, මේ ප්‍රාන්ත සියල්ලේම ඡන්ද ලැබෙන්නේ රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාටයි. එම ඡන්ද ප්‍රමාණය 270 ඉක්මවන නිසා රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වෙනවා.
මේ වන විටත් ප්‍රාන්ත 16ක් (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කරගෙන අවසානයි. එයින් ප්‍රාන්ත 4ක්ම අදාළ නීති සම්මත කරගත්තේ පසුගිය වසරේදී. ඒ අනුව, මේ ක්‍රමයට දැනටමත් පක්ෂව සිටින ප්‍රාන්ත සතුව මේ වන විටත් නියෝජිතයින් 196 දෙනෙකු සිටිනවා. තවත් නියෝජිතයින් 74 දෙනෙකු ලබා දීමේ හැකියාව තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කර ගැනීමෙන් පසුව අදාළ අන්තර්-ප්‍රාන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවත් ප්‍රාන්ත ගණනාවක මේ වන විටත් මේ යෝජනාව නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම හා එය තව සුළු ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුනානම් එම ජයග්‍රහණය නොලැබී යන්නට ඉඩ තිබීම යන කරුණු මත ඉහත කී සම්මුතියට තවත් ප්‍රාන්ත අලුතෙන් එකතු වීමේ ශක්‍යතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඉහත කී සම්මතය සමඟ මෙතෙක් එකඟව සිටින හැම ප්‍රාන්තයක්ම වාගේ ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන ප්‍රාන්ත. එහෙත්, ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන හැම ප්‍රාන්තයක්ම වුවත් මේ යෝජනාවට කැමති නැහැ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වල ඡන්දදායකයින් සතු බලය අඩු වී, නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වැනි ජනගහණය වැඩි ප්‍රාන්ත කිහිපයක අවශ්‍යතාවය මත ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී පත් වීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මෙය එක ආකාරයක කාටල ක්‍රමයක්. කාටලය බලවත් වූ පසු කාටලයට අයත් නැති ප්‍රාන්ත වලට දේශපාලන බලයක් නැති වනවා වගේම කාටලය තුළ සිටින කුඩා ප්‍රාන්ත වලටද තමන්ගේ ස්වාධීනත්වය නැති කර ගන්න වෙනවා. කලින් ඉදිරිපත් කළ යුරෝපීය උදාහරණයට ගිහින් ඩෙන්මාර්කය පත් වන තත්ත්වය දිහා බැලුවොත් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තරවාදී දෘෂ්ඨිවාදයක ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයට රටේ සාමූහික එකඟතාවය තුළ ප්‍රාදේශීය අනන්‍යතා යටපත් වී ගිලී යාම ප්‍රශ්නයක් නෙමෙයි.
දේශපාලන දෘෂ්ඨිවාදයක් විදිහට සාමූහික කැමැත්තට පෞද්ගලික කැමැත්ත යටපත් වෙන්න අරින එක පිළිගත් පසුව සුළුතර ප්‍රශ්න ලෙස හැඳින්විය හැකි ප්‍රශ්න මතු වීම ඉතාම ස්වභාවිකයි. එවිට එම ප්‍රශ්න වලට විසඳුම් දීමටද සිදු වෙනවා. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වීම දේශපාලන දෘෂ්ඨිවාදයේම කොටසක් කර ගන්න සිදු වෙනවා. සමාජවාදීන්ට බොහෝ විට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වෙන්නේ මේ හේතුව නිසයි. යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වී තිබෙන්නේත් මේ හේතුව නිසයි.
සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වල මුල තිබෙන්නේ සාමූහික කැමැත්ත තුළ පෞද්ගලික කැමැත්ත යටපත් වීමයි. එය එසේ නොවන්නේනම් කිසිදු ඒකීය පුද්ගලයෙක් වෙනත් අයෙකුට සාපේක්ෂව බහුතරයක හෝ සුළුතරයක කොටසක් වෙන්නේ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට විශේෂ අවධානය යොමු කරන්න යාමේදී සුළුතරයක් සේ පොදුවේ හඳුනා නොගැනෙන කණ්ඩායම් වල ඉන්න අයට තමන්ට අසාධාරණයක් වන බව දැනෙන්න පටන් ගන්නවා. ඒ ඔවුන්ද ඒකීය පුද්ගලයින් ලෙස ඉතාම කුඩා සුළුතරයක් වන නිසයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන්ටත් කවර හෝ සාමූහිකයක කොටසක් වෙන්න සිදු වෙනවා. එවැනි ප්‍රති-සාමූහිකයක් හැදෙන්නේ සුළුතර විරෝධයක් එක්කයි.
යම් හෙයකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මුල් කාලයේදී එහි වාසිය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙයි. ඒ එක්කම, සුළුතර සේ හඳුනා ගැනෙන කණ්ඩායම් වලට වාසිදායක හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති යම් කාලයක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම, ආර්ථික තලයේදී කාර්යක්ෂමතාවය වෙනුවට යම් තරමකින් සමානාත්මතාවය ප්‍රමුඛතාවයක් බවට පත් වෙයි. හැබැයි මේ දේවල් වලින් දිගුකාලීනව වෙන්නේ ඒකීය පුද්ගලයින් ලෙස ක්‍රියා කරන පොදුවේ බහුතරයේ සාමාජිකයින් ලෙස හැඳින්වෙන කොටස් සාමූහිකයක කොටස් බවට පත් කර එකම කණ්ඩායමක් බවට පත් කරන එකයි. මෙය දැනටමත් කාලයක් තිස්සේ සිදු වෙමින් තිබෙන දෙයක්. ට්‍රම්ප්ව බලයට ගෙනාවේ එවැනි සාමූහික මානසිකත්වයක්.
ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මේ තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? දැනට පෙනෙන්න තිබෙන චිත්‍රය අනුවනම් මේ වැඩෙන් වාසිය ඩිමොක්‍රටික් පක්ෂයටයි. එහෙත්, මේ චිත්‍රය වෙනස් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජේආර් ජයවර්ධන ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය හැදුවේ එජාපය දිගටම බලයේ තියා ගැනීමේ අරමුණින්. 1977 දක්වා මැතිවරණ ප්‍රතිඵල දැන් ක්‍රමයට නැවත ගණනය කළොත් එජාපයට ලැබිය හැකිව තිබුණු වාසිදායක ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙනවා. එහෙත්, අතීතයේ සිදු වූ දේවල් ඒ දේවල් සිදු වූ පසුබිම තුළම මිස අප විසින් උපකල්පනය කරන වෙනත් පසුබිමක එළෙසම සිදු විය හැකිව තිබුණේයැයි සිතීම මුලාවක්. අනාගතය ගැන කියන්න තිබෙන්නේත් එවැනිම දෙයක්. ජේආර්ගේ මැතිවරණ ක්‍රමය නිසා අවසාන වශයෙන් වුනේ එජාපය නැත්තටම නැති වී යාමයි.