වෙබ් ලිපිනය:

Showing posts with label ජනකතා. Show all posts
Showing posts with label ජනකතා. Show all posts

Wednesday, January 29, 2020

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.

අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.

අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.

සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.

ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.

රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.

රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.

අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.

රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.

මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.

ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.

අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.


Saturday, February 16, 2019

මරණය නියතද?


මේ දවස් වල බ්ලොග් ලිපියක් ලියනවා කියන එක ගොඩක් වියදම් අධික වැඩක්. ඒ වෙනුවෙන් කාලය යොදවන්න වෙන්නේ ඊට වඩා වැදගත් වැඩ ගණනාවකින් මොකක් හෝ එකක් පැත්තකින් තියලයි. එහෙම වුනත් ඉතිං හදාගත්ත දරුවා නිකම්ම මැරෙන්න අරින්නත් බෑනේ. බ්ලොග් එක අමාරුවෙන් හරි පණ පිටින් තියා ගන්න අතරින් පතර හෝ මොනවා හරි ලියන්නේ නැතුව කොහොමද? අර කියන්නේ අවම බලය යොදවනවා කියලා. අඩු ගානේ ඒ වගේ වැඩක්වත් කරන්න එපායැ.

ඉංග්‍රීසින් ලංකාවට එන කාලේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික සෞභාග්‍යය ගැන ෆර්ගසන්ගේ ලියවිල්ලක තිබුණු දෙයක් අනුව ඒ කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනය ප්‍රමාණවත් වෙලා තියෙන්නේ යාන්තමින් සිරුර හා ආත්මය එකට තියා ගන්න පමණයි. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන්නේ ශරීර කූඩුව එක්තැන්ව තියා ගන්න අවශ්‍ය අවම බලය එයට සපයන එක විතරයි. හැබැයි ඒ ගැන ඔවුන් කණස්සල්ලෙන් සිට නැහැ.

ෆර්ගසන්ගේ ඔය ප්‍රකාශයෙන් පේනවා ඔහු ජීවිතය කියා විශ්වාස කළේ මොකක්ද කියන එක. මිනිහෙක්ගේ ආත්මය ශරීර කූඩුව ඇතුළේ හිර කරගෙන හිටිය හැකි තාක් කල් මිනිහෙක් ජීවත් වෙනවා. ආත්මය ශරීරයෙන් පිට වී ගියාට පස්සේ මිනිහා මැරෙනවා. හැබැයි ඒ විදිහට විනාශ වෙන්නේ භෞතික ශරීරය විතරයි. ශරීරයෙන් පිටව ගිය ආත්මය වෙන තැනක ස්ථිරව තියෙනවා.

ආත්මවාදය ගොඩක් පැරණි අදහසක්. අදටත් ලෝකයේ ප්‍රධාන ආගම් ගණනාවක්ම අදහන මිනිස්සු ස්ථිර ආත්මයක පැවැත්ම විශ්වාස කරනවා. ඒ අනුව මරණය කියා කියන්නේ ඔය ස්ථිර ආත්මය සිරුරෙන් ඉවත්ම යාමයි. ඔය කියන විදිහේ ආත්මයක් කියා එකක් නැති බවත් සිරුර කියන්නේ එය හැදී තිබෙන භෞතික කොටස් පමණක්ය කියන එකත් විශ්වාස කරන අනාත්මවාදීනුත් සෑහෙන කාලෙක සිටම ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා.

බෞද්ධ අදහස ආත්මවාදය හා අනාත්මවාදය යන දෙකම ප්‍රතික්ෂේප කිරීම බව අවිවාදිත කරුණක්. ඔය දෙකම ප්‍රතික්ෂේප කළාම තත්ත්වය ඔය දෙකෙන් එකක් තරම්වත් සරල නැහැ. ඒ නිසා, මට තේරෙන හැටියටනම්, මේ ගැන බෞද්ධ අදහස කියා විවිධ අය ඉදිරිපත් කරන්නේ එකම අදහස නෙමෙයි. තමතමන් තේරුම් ගන්න දෙය.

හරි. ඔය ඔක්කොම පැත්තකින් තියමු. අපි එක්ක ජීවත් වූ ගොඩක් අය මිය ගිහින් තිබෙනවා. ඒ විදිහට මැරුණු අය නැවත අප අතර ජීවත්ව නොසිටින බව පැහැදිලියි. ඒ කියන්නේ මරණය කියා ආපසු හැරවිය නොහැකි සේ පෙනෙන කිසියම් සංසිද්ධියක් තිබෙනවා. ජීවත් වන සියල්ලන්ටම ඒ සංසිද්ධියට කවදා හෝ මුහුණ දෙන්න සිදුවන බව අපට පේනවා. ඒ නිසා මරණය නියතයි කියා අප කියනවා. ඔය නියත මරණය ගැන ජීවත් වන අප නිතර අහනවා.

ඇත්තටම මරණය කියා නියත දෙයක් තියෙනවද? එහෙමනම් ඒ මොකක්ද?

මම අහල තියෙන එක ජනකතාවක වඩුවෙක් ඔහුගේ තරුණ බිරිඳට ගොඩක් ආදරෙන් ඉන්නවා. එක දවසක් දර කඩන්න කැලේට යන මේ කාන්තාව නයෙක් විසින් දෂ්ඨ කරනු ලැබ මිය යනවා. ගෙදර තිබුණු අලුත ඉරපු රුක්අත්තන ලෑලි වලින් පෙට්ටියක් හදන වඩුවා තමන්ගේ මිය ගිය තරුණ බිරිඳව වල දමන්නේ ඇගේ කණකර බඩුත් එක්කයි.

පෙට්ටි වල මිනී තැන්පත් කර වල දැමීම ලංකාවේ පෙර සිටම තිබුණු පුරුද්දක් නොවන නිසා මේ කතාව ගොඩක් පරණ එකක් වෙන්න බැහැ. ඒ වගේම, මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් ගැමියන් සතුවූ වටිනා වස්තු වුණේ ඔය කණකර බඩු ටිකයි. දරුවෙක් අසනීප වුණහම කණකර බඩු උගස් කරන එක එක යුගයක සිංහල චිත්‍රපට හා නවකතා බොහොමයක දකින්න පුළුවන් දෙයක්නේ.

ලංකාවේ පැරණි ගැමියන්ගේ තිබුණු අදහස වුනේ කෙනෙක් මැරුණට පස්සේ මැරුණු කෙනාගේ පාරිභෝගික භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න එක ටිකක් හරි මදි වගේ කියන එකයි. ඒ නිසා, ගොඩක් අය මැරුණු කෙනාගේ පැදුරු කොට්ට ඇඳ ඇතිරිලි ආදිය පන්සලකට දෙනවා. මැරුණු කෙනා ගැන නිතර මතක් වෙන එක වළක්වාගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.

පාංශුකූල සිවුරක් කියන එකෙන් අදහස් වන්නේත් මිනියක් ඔතා සොහොනට විසිකළ රෙද්ද ඇතුළු පොළොවට දිරා යන්න නියමිත අපවිත්‍ර රෙදි වර්ග 23කින් එකක හෝ කිහිපයක කොටස් අරගෙන පිරිසිදුකර කෑලි මූට්ටු කර හදාගන්න සිවුරක් කියන එකනේ. දැන්නම් පාංශුකූල සිවුරු අඳින හාමුදුරුවරු නැහැ. පාංශුකූල දෙනවා කියලා කරන්නේ මතක වස්ත්‍ර පූජා කරන එකනේ.

කොහොම වුනත් රන් රිදී ඇල්ලීමෙන් වැළකී ඉන්න සපථ කර සිටින හාමුදුරු කෙනෙකුට මැරුණු කෙනාගේ කණකර බඩු දෙන්න බැහැනේ. ඒක කවුරුත් දන්නවා. ඒ නිසා, කතාවේ වඩුවා මිනියේ කණකර බඩු ගලවනවා කවුරු හරි දැක්කොත් කියයි "අරෙහෙ ගෑණි මැරිලා. ඒ අස්සේ මූට ගෑණිගේ රත්තරං බඩු වලට තණ්හාසේ!" කියල. ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති තමන් රත්තරන් වගේ වස්තු සම්පත් වලට ලොකු ආසාවක් නැති බව අනික් අයට පෙන්නන්නයි. විශේෂයෙන්ම ගෙදර මරණයක් වෙලා තියෙන වෙලාවක.

ඔහොම කිවුවට මිනියේ රත්තරන් බඩු එක්කම වලලලා දමන එක මොන අපරාදයක්ද? කොහොම හරි අන්තිම මොහොතේ මිනිය වහන්න කලින් අනිත් අයට නොපෙනෙන්න ඔය ටික ගලව ගන්න විදිහකුත් තියෙන්න ඕනැනේ. අර මිනිය තනි කරනවා කියන පුරුද්ද ඇති වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා කියනවනේ. ඕක ප්‍රසිද්ධ රහසක් නිසා අන්තිම මොහොතේ මිනියේ කණකර පාළු වෙලා කියලා දැකපු අය වුනත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.

කොහොම වුනත්, කතාවේ වඩුවානම් එහෙම කරලා නැහැ. ඔහු ඇත්තටම හිතලා තියෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වෙලා තියෙද්දී ඇගේ කණකර බඩු මොකටද කියලයි. එහෙම හිතලා රත්තරන් බඩුත් එක්කම පෙට්ටිය වල දැමූ බව ගමේ හැමෝම වගේ දැකල තියෙනවා.

රත්තරන් බඩු නිකම්ම පොළොවට පස් වෙන්න අරින්න පුළුවන්ද? බෑනේ. ඕක දැකපු ගොඩක් අය වල හාරලා රත්තරන් බඩු ගන්න එක ගැන හීන මවද්දී එයින් කීප දෙනෙක් එකතු වෙලා එදා රෑම වැඩේට බහිනවා. මේ කට්ටිය වල හාරලා පෙට්ටියේ පියන අරිනවා.

මළ කෙළියයි. මෙන්න වඩුවාගේ බිරිඳ නැගිටිනවා. කට්ටිය පණ එපා කියලා දුවනවා. වඩුවාගේ බිරිඳ ආපහු ගෙදර එනවා. ඈ ඇත්තටම මැරිලා ඉඳලා නැහැ. නයි විෂ නිසා සිහි මූර්ජා වෙලයි ඉඳල තියෙන්නේ. කතාවේ කියන හැටියට රුක්අත්තන ලීයට නයි විෂ උරාගැනීමේ හැකියාවක් තියෙනවලු. වත්තේ රුක්අත්තන පැලයක් හිටෙවුවහම නයි එන්නේ නෑ කියල කතාවකුත් මම අහල තියෙනවා. කොහොම වුනත්, හොඳ වෙලාවටයි වඩුවා ඇගේ කණකර ගලවා නොගත්තේ. නැත්නම් ඉතිං නැවත සිහිය ආවත් ඇයට නැවත ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. ඈ හිටියේ  සිහි මූර්ජා වී බව වෙනත් කවුරුවත් දන්නෙත් නැහැ. අර දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවනේ මහ කැලේ මැද්දේ ලොකු ගහක් මුලින් ඉදිරී බිම වැටුණා. නමුත්, ඒ බව කවුරුත් දන්නේ නැහැ. එහෙමනං සද්දයක් ඇහුණද කියලා.

කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ. ඒ කියමනට අදාළ කතාවනම් දන්නවා ඇතිනේ. ඒ මේක නෙමෙයි. කොහොම හරි අන්තිමට අර රත්තරන් හොයපු අයට පිං සිද්ධ වෙන්න වඩුවාගේ බිරිඳ නැවත ගෙදර ආවා. ඈ වඩුවා එක්ක තවත් චිරාත් කාලයක් යහතින් ජීවත් වී, දරු මුණුපුරන් රොත්තක්ම හදා ඇත්තටම මිය ගියේ ගොඩක් පස්සේ දවසකයි.

(Image: http://www.info.shalanka.com/famous-people-in-sri-lanka/actorsactresses-people-in-sri-lanka/vijaya-kumaranatunga/)

Friday, January 25, 2019

ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට...


කලින් පෝස්ට් එක දැම්මේ යටි පෙළක් ඇතිව නෙමෙයි. මතක හැටියට පොඩි කාලේ අහපු කතාවයි ලිවුවේ. අන්තිම හරිය හරියටම මතක තිබුණේ නැහැ. මම අහපු කතාවෙත් අන්තිමට වුනේ කතා කතු විසින් සටහන් කර තිබුණ දේ හෝ GG විසින් සටහන් කර තිබුණ දේ වෙන්න පුළුවන්. බොහෝ විට කතාවේ වර්ෂන් කිහිපයක් තියෙන්න ඇති. ප්‍රතිචාර දමන්නට කාලය යෙදවූ සියල්ලන්ටම ස්තුති කරනවා වගේම ඒ ප්‍රතිචාර කියෙවුවහම අප උපයාගෙන තිබෙන ධනයක් වන මෙය කියවන පාඨකයින් ගැන සතුටක් හා ආඩම්බරයක් ඇති වෙනවා. කොහොම වුණත් කතාව සටහන් කළේ වෙන දෙයක් ගැන කතා කරන්න ප්‍රවේශයක් විදිහටයි.

තවත් ගොඩක් අය අහල තියෙන මේ කතාවේ හෝ මේ වගේ කතාවක හැටියට පුතා විසින් තමන්ගේ වයස්ගත අම්මව කැලේකට හෝ අමු සොහොනකට ගිහින් දාලා ඇගේ බරින් නිදහස් වෙන්න හදනවා. මේ සිද්ධිය කාගේ හරි හිතේ ඇඳුනු මනඃකල්පිත සිදුවීමක් පමණක්ද? නැත්නම් ඇත්ත සිදුවීමක් මත පදනම් වූ කතාවක්ද? ඒ වගේ ඇත්ත සිදුවීමක් වුණානම් එය එක් හුදෙකලා සිදුවීමක්ද? එසේ නැත්නම් නැන්දම්මා ලේලි ගැටුම් වගේ නිතර සිදුවුණු සාමාන්‍ය දෙයක්ද?

ජෝන් ෆර්ගසන් විසින් දහනවවන සියවසේ අග හරියේදී සටහන් කර තිබෙන පරිදි, ඒ සියවසේ මුල් කාලය වෙද්දීත්, ඒ කියන්නේ ඉංග්‍රීසින් ලංකාවට එන කාලය වෙද්දී, ලංකාවේ මේ වගේ දෙයක් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඔහු විසින් සටහන් කර තිබෙන පහත කරුණු මා අනුවර්තනය කර මෙහි පළ කරන්නේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම සඳහා නෙමෙයි. ඒ කාලයේ සමාජය මොන වගේ එකක්ද කියන එක පෙන්වා දෙන්නයි. ජෝන් ෆර්ගසන් අදහස් කළේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම වෙන්න පුළුවන්.

"සතුන් මැරීම මුළුමනින්ම තහනම් වූ බුද්ධාගමේ ආභාෂය ලබමින් දීර්ඝ කාලයක් හැදුණු මිනිස්සු වුවත් මේ අය ඇතැම් පොඩි සත්තුන්ට සලකන්න පුරුදු වී තියෙන්නේ ඉතිහාසයේ දැකිය හැකි කුරිරුම ආකාරයන්ටයි. කැස්බෑවන්ව පණ පිටින් පුච්චන පුරුද්ද නවත්තන්න අන්තිමට නීතියක් දාන්න පවා සිදු වුණා."

ඉබ්බන් වගේම කැස්බෑවනුත් පණ පිටින් පුච්චන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්ව තිබී ඇති බව තහවුරු කරන තවත් ජන කතාවක් වන්නේ අප හැමෝම වගේ අසා තිබෙන දස සිල් උපාසකගේ කතාවයි.

"මස් මෙළෙක් වෙනවායයි සිතා කළුකුමන් මරන්නට පෙර පණ පිටින් සිටියදී උන්ගේ දිව කපන එකත් මේ අයගේ පුරුද්දක්. ඔය වගේ දේවල් තව ලැයිස්තුවක් ලියන්න පුළුවන්."

ඔය විදිහටම ඌරෝ මරන්න කලින් මස් මෙළෙක් කර ගැනීමට උන්ට පොළු වලින් පහර දෙන එක වසර තිහ හතළිහකට පෙර කාලයේත් සිදු වූ බව මා අසා තිබෙනවා.

බෞද්ධයින්ගේ දෙබිඩිකම මසුන් මරණ බෞද්ධයින් කියන කතාව පහත කතාවෙන් පැහැදිළිව පේන බව ජෝන් ෆර්ගසන් සටහන් කරනවා (පිටුව 180).

"අපි මාලුන්ව මරන්නේ නැහැ. අපි කරන්නේ උන්ව වතුරෙන් ගොඩට ගන්න එක විතරයි. උන් මැරෙන්නේ ඉබේටයි."

මේ විදිහටම සත්තු මැරීමේ පවෙන් බේරිලා සත්තුන්ගෙන් නිදහස් වෙන්න බලු පැටවුන් හා පූස් පැටවුන් වාහනයකට අහුවෙන්න පාරක් මැදින් තබන බවත්, සර්පයින්ව වේවැල් කූඩයකට දමා ගඟ දිගේ මුහුදට පා කර අරින බවත් ඔහු කියනවා.

"මේ දේවල් වෙන්නේ හොඳම බෞද්ධයින් ඉන්න දකුණේ මාතර දිස්ත්‍රික්කයේ."

ඔන්න මාතර කට්ටියගේ ඉතිහාසය.

"මේ විදිහටම මහළු අසරණ මිනිස්සුන්ව ඔවුන්ගේ නෑදෑයින්ට කරදරයක් වීමෙන් බේරෙන්නට බත් මුලක් හා වතුර භාජනයක් අතට දී, වන සතුන්ට ගොදුරු වී මැරෙන්න ඉඩහැර මහ කැලේ තනිකර දමා එන එක මේ සියවසේ මුල දක්වාම තිබුණු පුරුද්දක්."

ඔය විදිහට අර ජනකතාවේ සිදුවීම මනඃකල්පිත හෝ කලාතුරකින් පමණක් සිදු වී තිබෙන සිදුවීමක් නෙමෙයි.



(Images: http://www.ips.lk/talkingeconomics/2016/06/15/world-elders-abuse-awareness-day-sri-lankas-greying-economy-an-impending-problem/)

Thursday, January 24, 2019

ආපසු ආ අම්මා...


මම පොඩි කාලේ කතා අහන්න ගොඩක් කැමැත්තෙන් හිටපු හා වැඩිහිටියන් කිහිප දෙනෙක්ගෙන්ම නිතර කතා අහන්න වාසනාවන්ත වූ අයෙක්. මේ විදිහට බ්ලොග් එකේ කතන්දර ලියන පුරුද්ද එන්න ඇත්තෙත් ඔය කතා අහල වෙන්න පුළුවන්.

මේ විදිහට අහපු කතා පරම්පරා ගාණක් කටින් කට සම්ප්‍රේෂණය වූ කතා වෙන්න පුළුවන්. මහා වංශය වගේ වංශ කතා වල තියෙන්නෙත් ඔය වගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ කතා. අතරින් පතර සාමාන්‍ය ජන සමාජය ගැන තොරතුරු හැංගිලා තිබුණත් මහා වංශය කියන්නේ මහා විහාරික පරම්පරාවේ පන්සල් වල හා ඒ පන්සල් වලට උදවු කරපු රජවරුන්ගේ කතා.

ගොඩක් වෙලාවට ඉතිහාසය කියන්නේ රජවරුන්, පූජකයින් වගේ සමාජයේ උඩම ස්ථරයේ ඉතිහාසය. ජන කතා වලත් ගොඩක් වෙලාවට රජවරුන් වගේ සමාජයේ ඉහළ ස්ථරයේ අයට වැඩි අවකාශයක් ලැබුණත් ඉතිහාසයේ ජීවත් වූ සාමාන්‍ය මිනිස්සු ගැනත් තරමක් දුරට දැන ගන්න පුළුවන්.

නැන්දම්මගෙයි ලේලිගෙයි ආරවුල් ලංකාවේ ගොඩක් කතා වල පොදු මාතෘකාවක්නේ. බැඳලා අළුත් පිට වැඩි කෙණෙහිලිකම් ලේලිටයි. නමුත් වයසට යද්දී ගොඩක් වෙලාවට වෙන්නේ නැන්දම්මට රිටර්න් එක හම්බ වෙන එකයි. මේ කියන කතාවේ වුනෙත් ඒ වගේ දෙයක්. අහේනි කාලයකදී ගෙදර කෑම බීම හිඟ වෙද්දී වයස්ගත නැන්දම්මාට කන්න දෙන එක අමාරු නිසා ගෙදරින් කොහේ හරි කැලේකට ගිහින් දාන්න කියලා ලේලිගෙන් සැමියාට ගැලවිල්ලක් නැහැ. වදෙන් බේරෙන්න බැරිම තැන පුතා මහ රෑ අම්මව කැලේ මැද්දේ සොහොනකට ගිහිං දාල ආපහු ගෙදර එනවා.

ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන වයස්ගත කාන්තාවකට නැවත ජීවිතේ බේරාගෙන එන එක ලේසි නෑනේ. ගොඩක් වෙලාවට වෙන්නේ සොහොනේ තැන තැන තියෙන මිනී කන්න එන කැලෑ සත්තුන්ට ඔය වගේ කෙනෙක්ව ගොදුරු වෙන එකයි. හැබැයි මේ අම්මා වාසනාවන්තයි.

ගෙවල් කිහිපයක්ම බිඳපු හොරු රංචුවක් හරියටම එදා රෑ මේ සොහොනට එන්නේ කාටවත් නොපෙනෙන්න තමන් සතු වස්තුව බෙදා ගන්නයි. සොහොනේ තනියම බයේ ගැහි ගැහී ඉන්න වයසක අම්මා දකිනවා මිනිස්සු ටිකක් සොහොනට ආපු බව. ඇය ඔවුන් වෙත යන්නේ ඔවුන්ගෙන් උදවුවක් ලබා ගෙන පණ බේරගන්නයි.

කතා වල සාමාන්‍යයෙන් වෙන විදිහටම මේ එන්නේ හොල්මනක් කියා හිතන හොරු ටික හොඳටම බය වෙලා පණ එපා කියලා දුවනවා. හොරු හිටපු තැනට ගිහින් බලන වයසක අම්මා දකින්නේ රන්, රිදී, මුතු, මැණික් මාර තොගයක්. ඔය වස්තු සම්භාරය පොදි බැඳගන්න අම්මා කොහොම හරි පාර හොයාගෙන ආපහු පුතාගේ ගෙදරටම යනවා. පුතා කළ දේ මොකක් වුනත් අම්ම කෙනෙක් එහෙම කරන එකේ ලොකු අමුත්තක් නැහැනේ. තමන්ව සොහොනට ගිහින් දැම්මේ ආර්ථික ප්‍රශ්න නිසා පුතාට වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඈ හිතන්න ඇති. දැන් ලැබුණු වස්තු සම්භාරය පුතාට දුන්නොත් පුතා ගොඩ යන බවත් තේරෙන්න ඇති.

හිතපු විදිහටම ඇයට නැවත ගෙදර දොර ඇරෙනවා. පොඩි කාලේ අහපු කතාවක් නිසා හරියටම මතක නැහැ. හැබැයි ඇය ගෙදරට කියන්නේ ඇත්ත කතාව නෙමෙයි. මතක විදිහට දෙවි කෙනෙක් ඇවිදින් උදවු කරපු කතාවක් වගේ එකක්. කොහොම හරි ඊට පස්සේ ඇයට මැරෙන කල්ම පුතාගෙන් වගේම ලේලිගෙනුත් සැලකිලි ලැබෙනවා.

මේ කතාව අහල තියෙන අය ඉන්නවද?

(Image: http://www.boondi.lk/article.php?ArtID=3226) 

Friday, October 5, 2018

බොරු නොකියන මිනිස්සු


ඊයේ මා සහභාගී වූ රැස්වීමකදී එක් අයෙක් යම් කරුණක් ගැන සඳහන් කරමින් කිවුවේ එය ට්‍රම්ප් බොරුවකටත් වඩා ලොකු බොරුවක් බවයි. බොරු කියන එක හොඳ දෙයක් කියා සැලකෙන්නේ නැති වුනත් බොරු කියන්නන් නැති තැනක් නැහැ.

බොරු කීම කියන කරුණ දිහා සදාචාරාත්මක හෝ ආගමික පදනමකින් බලන්නේ නැති වුනත් මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ බොරුවක් කියන එක ස්වභාවිකවම මට අමාරු දෙයක් නිසා.

මටනම් බොරුවක් කියන්න හිතන එකත් ආතතියක් ඇති කරන දෙයක්. ඒ වුනත්, කටේ තොලේ නොගැවී බොරු කියන අය ඕනෑ තරම් ඉන්නවා. සමහර අයටනම් ස්වභාවිකවම ඇත්ත කියන එක ගොඩක් අමාරු වැඩක්ද කියලා හිතෙන තරම්.

බොරු කියන්න අකැමැති වුනත් ඇත්ත කියන්න අමාරු අවස්ථා ඕනෑ තරම් එනවා. ඒ වෙලාවට බොරුවක් නොකියා ඇත්තත් නොකියා බේරෙන්න කුමක් හෝ උපක්‍රමයක් යොදන්න වෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන විවිධ අය භාවිතා කරන උපක්‍රම සමහර විට සමාන ඇති.

"මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු නොවේ!

ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'. ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්.

මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"

අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"  

ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත් ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්."

උඩින් තිබෙන කොටස ලිවුවේ මම නෙමෙයි. නිදිගේ පංච තන්තරේ ලියන නිමල් දිසානායක. අපූරු ලේඛණ ශෛලියක් හා ලියන්න ඕනෑ තරම් අත්දැකීම් තිබෙන බව පෙනෙන බ්ලොග්කරුවෙක්. පහුගිය මාස හයට ලිපි 79ක් ලියල තියෙනවා.

ඉකොනොමැට්ටා ලියන්න පටන් ගත්තේ අවුරුදු තුනහමාරකට කලින්. ඒ කාලයේ බ්ලොග් ලියමින් සිටි ඇතැම් අය දැන් පෙනෙන්න නැහැ. තවත් ඇතැම් අය ලිපියක් පළ කරන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුනත්, ඒ අඩුව පිරිමැහෙන්න අලුත් බ්ලොග් ආරම්භ වීම සතුටට කරුණක්.

අහස් ගව්වෙන් එහා ලෝකය මාස තුන හතරකට කලින් පටන් අරන් තිබෙන තවත් බ්ලොග් එකක්. ලියන්නේ අනුරුද්ධ වැලිගමගේ. කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක්. ඔහු ලියන දේවල් කියවන්න වගේම කැනඩාවේ සිට විකාශනය වන සවණ ගුවන් විදුලියට සවන් දෙන්නත් ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඉඩ සලසනවා.

නිමල් දිසානායක වගේ අයට බොරු කියන්න අමාරුයි කිවුවත් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක පැහැදිලි නැති වෙලාවට අපි කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක අපිටවත් හරියටම නිර්ණය කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට බොරු නොකියා ඉන්න උපක්‍රමයක් තියෙනවද?

අහස් ගව්වෙන් එහා ලෝකය හරහා සවන් දිය හැකි සවණ ගුවන් විදුලියේ ප්‍රචාරය වී තිබෙන කිසි දිනෙක බොරු නොකී මිනිහා කතාවට සවන් දුන්නොත් එහෙම උපක්‍රමයක් ගැනත් දැන ගන්න පුළුවන්.

සවණ ගුවන් විදුලියට මේ කතාව අරගෙන තිබෙන්නේ තවත් බ්ලොග් අඩවියකින්. එයනම් අලුත් එකක් නෙමෙයි. නිලූක කදුරුගමුව ලියන පරිවර්තන බ්ලොග් එක. අප්‍රිකානු ජනකතාවක් කියා කියන මේ කතාව අවුරුදු කිහිපයකට පෙර එහි පළ වී තිබෙන කතාවක්.

අපි ඉතිං බොරු කියන්නේ නෑනේ. ජීවිතේටම කියල තියෙන එකම බොරුව තමයි ඔය අන්තිමටම කිවුවේ!

(Image: https://www.parhlo.com/i-am-a-muslim-and-i-support-donald-trump-because/)

Monday, October 1, 2018

මී වදේ


මේ දවස් වල වත්පොතේ හුවමාරු වන කතා දෙකක් ගැන කතා කරන්නයි යන්නයි. මේ කතා මෙය කියවන ගොඩක් අයට දැනටමත් හමු වෙලා ඇති. එකක් පැරණි කතාවක් අනිත් එක අලුත් කතාවක්. කතා දෙකම පටන් ගන්නේ මී වදයකින්. මී වදයකින් කිවුවේ මීයෙක්ගේ වදයකින්.

පළමු කතාවේ මී වදයට පාත්‍ර වෙන්නේ පිලිපීන ළමයෙක්. හරියටම කියා නැතත් තරුණ පිරිමි ළමයෙක් වගෙයි කතාවෙන් පේන්නේ. මේ තරුණයාගේ කාමරේට එන මීයා හැමදාම ඔහුගේ පාන් ගෙඩිය කනවා. රෑට වැලක් බලන කොට ඕකටත් උදැල්ල දානවා. සමහර වෙලාවට හෝදපු නැති පිඟන් කෝප්ප ලෙවකනවා. වතාවක් තෑග්ගකට ගෙනාපු චොකලට් හා රෝසමල් වලටත් වැඩේ දෙනවා. අන්තිමට වටිනා ජැකට් එකකුත් විනාස කරලා දානවා.

වැඩේ කෙළවරක් නොදකින තැන අන්තිමට මොහු තීරණය කරනවා දිය උගුලක් අටවලා මීයාව වතුරේ ගිල්වලා මරන්න. මීයාව උගුලට අහු වුනත් ඌ ජීවිත ආසාව අත් හරින්නේ නැහැ. වතුරේ නොගිලී ඉන්න දිගින් දිගටම උත්සාහ කරනවා. උගුල අටවපු තරුණයා මීයා ගිලී මැරෙනකම් බලා ඉන්නවා. ඔහොම ඉන්න අතර පැය තුනක් ගතවෙනවා.

ඔය කාලය ඇතුළත තරුණයාට මතක් වෙනවා තමන් ආහාර ගැනීමෙන් පසුව පිඟන් හේදුවානම්, කෑම නිසි තැන් වල තිබ්බනම්, කාමරය පිළිවෙලකට තියාගත්තනම් මී වදේට ලක්වෙන්න වෙන්නේ නෑ නේද කියල. එහෙමනම් වැරැද්ද මීයගෙද නැත්නම් තමන්ගෙමද?

මීයා ගොඩක් වෙලා නොගිලී ඉන්න උත්සාහ කරලා අන්තිමට ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඌව බේරාගන්නා මේ තරුණයා ඌට කන්න පාන් කෑල්ලකුත් දීලා තමන්ගේ කාමරය ඉදිරිපස උද්‍යානයට ගිහින් මීයාව නිදහස් කරනවා. මීයා නිසා තමන් පාඩම් ගණනාවක් ඉගෙනගත් බව ඔහු කියනවා.


වත්පොතේ පළවන මේ ආකාරයේ කතා (memes) වලට නූතන ජනකතා කියා කියන්න පුළුවන්. දෙවැනි කතාවනම් වඩා පැරණි එකක්. බෞද්ධ කතාවක ආකෘතිය තිබුණත් ජනකතාවක් කියා කිව හැකියි. ඇතැම් විට ථෙරවාද බෞද්ධ සාහිත්‍යයේ මෙයට කිට්ටුවෙන් යන කතාවක් හෝ කතා තිබෙනවා වෙන්න පුළුවන්. කතාව තායිලන්තයෙන්.

මේ කතාවේ කථානායකයා ඉන්න හිටින්න තැනක්වත් නැති තරුණයෙක්. ඔහුටත් අර පිලිපීන තරුණයාට වගේම මී වදෙන් ගැලවීමක් නැහැ. අමාරුවෙන් හොයාගන්න කෑම ගොඩක් වෙලාවට ආගිය අතක් නැහැ. දවසක මේ තරුණයාට හොරාව අහුවෙනවා.

"මම ඉන්න හිටින්නවත් තැනක් නැති කෙනෙක්. සල්ලි තියෙන මිනිස්සු ඕනැ තරම් ඉඳිද්දී ඇයි උඹ මගෙන්ම හොරකම් කරන්නේ?"

තරුණයා මීයාගෙන් අහනවා.

"ඔබේ කර්මය අනුව ඔබට ඔබ සතුව තියාගන්න පුළුවන් මොනවා හෝ දේවල් අටක් පමණයි. ඊට වඩා වැඩිපුර දෙයක් මොන විදිහකින් හරි හොයාගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නැති වෙනවා..."

" ඒ මොකද?"

"ඒකනම් මං දන්නේ නෑ, ඒක ඉතිං බුදුහාමුදුරුවන්ගෙන් තමයි අහගන්න වෙන්නේ..."

තරුණයා මේ ගැන අහන්න බුදුන් හොයාගෙන යනවා. ඔහොම යද්දී රෑ බෝ වෙනවා. රාත්‍රිය ගතකරන්න හිතාගෙන මග තිබෙන පෝසත් ගෙදරකට ගොඩ වදිනවා. අවසරත් ලැබෙනවා. උදේ ගෙදරින් පිටවෙන්න කලින් ගෙදර අය තරුණයාගෙන් ඉල්ලීමකුත් කරනවා.

"අපට අවුරුදු දාසයක ගොළු දුවෙක් ඉන්නවා. ඇයට කතාකරන්න පුළුවන් වෙන්න කළ යුතු දේත් බුදුන්ගෙන් අහගෙන එන්න.."

ඔහොම යද්දී විශාල කඳු පන්තියක් හමු වෙනවා. එහිදී හමුවන මායාකාරයෙක් තරුණයාගේ විස්තර අහල තමන්ගේ මායා යෂ්ඨියේ බලයෙන් ඔහුව කඳු පංතියෙන් එහාට ගෙනියනවා. ඔහුගෙන් තවත් ඉල්ලීමක්.

"මම අවුරුදු දාහක් තිස්සේම දිව්‍ය ලෝකේ යන්න මහන්සි වෙනවා. මම ඉගෙනගෙන තියෙන හැටියට මේ වෙද්දී ඒ වෙනුවෙන් කරන්න ඕනෑ හැම දෙයක්ම කරලයි තියෙන්නේ. නමුත්, තවම දිව්‍ය ලෝකේ යන්න බැරි ඇයි කියා බුදුන්ගෙන් අහගෙන එන්න."

ඊළඟට මේ තරුණයාට බාධකයක් වෙන්නේ විශාල ගංගාවක්. හොඳ වෙලාවට යෝධ කැස්බෑවෙක් ඔහුට ගඟ තරණය කරන්න උදවු කරනවා. කැස්බෑවාගෙන් තවත් ඉල්ලීමක්.

"මම අවුරුදු පන්සීයක් තිස්සේ මකරෙක් වෙන්න උත්සාහ කරනවා. මම ඉගෙනගෙන තියෙන හැටියට මේ වෙද්දී මකරෙක් වෙන්න ඕනෑ. එහෙම නොවෙන්නේ ඇයි කියල බුදුන්ගෙන් අහගෙන එන්න."

අන්තිමට තරුණයා බුදුන් හමුවට යනවා. හැබැයි තවත් ප්‍රශ්නයකට ඔහුට එතැනදී මුහුණ දෙන්න වෙනවා.

"ඔබට කැමති ප්‍රශ්න තුනක් මගෙන් අහන්න පුළුවන්. හැබැයි තුනක් පමණයි."

දැන් ඉතිං මොකද කරන්නේ. ප්‍රශ්නම හතරක්නේ! නාහා ඉන්නේ කොයි ප්‍රශ්නෙද?

"මායාකාරයා දිව්‍යලෝකේ යන්න අවුරුදු දාහක්ම උත්සාහ කරලා තියෙනවා. කැස්බෑවා මකරෙක් වෙන්න අවුරුදු පන්සීයක්ම උත්සාහ කරලා තියෙනවා. ගොළු තරුණියට කතා කරන්න නොලැබුනොත් ජීවිත කාලයම ඈ දුක් විඳියි. මේ අයගේ ප්‍රශ්න එක්ක බැලුවහම මගේ ප්‍රශ්නය මොකක්ද?"

අන්තිමට තමන්ගේ ප්‍රශ්නය බුදුන්ගෙන් නාහා ඉන්න තරුණයා තීරණය කරනවා. (ඒ නිසා ඔහුගේ කර්මයේ නිධාන කථාව අපට දැනගන්න විදිහක් නැහැ.) ඉතිරි ප්‍රශ්න තුනට පිළිතුරු අහගෙන තරුණයා ආපසු පිටත් වෙනවා.

"ඔබට මකරෙක් වෙන්න තිබෙන බාධාව ඔබේ කටුව. එය අත් හැරිය විට ඔබ මකරෙක් වෙයි."

කැස්බෑවා කටුව අතහැර එළියට එනවා. කැස්බෑවා දැන් මකරෙක්. මකරාට දැන් පියාඹන්න පුළුවන්. කටුව ඇතුලෙ තිබුණු ඉතා වටිනා මුතු වලින් මකරාට වැඩක් නැහැ. ඒ මුතු තරුණයාට ලැබෙනවා.

"ඔබට දිව්‍ය ලෝකයට යන්න තිබෙන බාධාව ඔබේ යෂ්ඨියයි. එය බිම දැම්මොත් ඔබට දෙව්ලොව යා හැකියි. "

මායාකාරයා යෂ්ඨිය පැත්තකට දමා දෙව්ලොව යනවා. මායා යෂ්ඨිය දැන් තරුණයා සතුයි. මුතු නිසා ධනයෙනුත්, මායා යෂ්ඨිය නිසා බලයෙනුත් ඔහුට දැන් අඩුවක් නැහැ. අන්තිමට ඔහු යන්නේ ගොළු තරුණිය සිටි පෝසත් ගෙදරට.

"ඇගේ ආදරවන්තයා හමු වූ විට ඇය කතා කරයි!"

තරුණියගේ පියාට බුදුන්ගේ පිළිතුර දැනුම් දෙන පරක්කුවට තරුණිය උඩු මහළින් පහළට පැමිණෙනවා.

"පසුගිය සතියේ අපේ ගෙදර දවසක් නැවතුන තරුණයා ඔබ නේද?"

තරුණයාගේ ඉතුරු ප්‍රශ්නයත් ගොඩ. මී වදේ නරකම නැහැ!




මේ කතා දෙකේම දිගින් දිගටම අවධාරණය කෙරෙන්නේ යමක් ලබාගන්නනම් ආවස්ථික පිරිවැයක් දැරිය යුතු බවයි. ආවස්ථික පිරිවැය ඉක්මවන වාසියක් තිබෙනවානම් නිදහස් ගනුදෙනුවක් සිදුවෙනවා. එයින් ගනුදෙනුවේ සියලු පාර්ශ්වයන්ට සැලසෙන්නේ යහපතක්.

Monday, August 14, 2017

දහයෙ කොළේ කතන්දරේ



අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.




ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.

මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.

නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය. 

පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.

නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.

බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.



Tuesday, June 20, 2017

වඳුරු කුණුහරුප, ආගමික සාහිත්‍යය හා ඉතිහාසය


පසුගිය දින වල වඳුරු කුණුහරුප කතාවක් සමාජ ජාලා වල හිට් විය. පසුව ගිරවෙකු හා තාපසයෙකුද එකතු වුණු මේ කතාවේ පළමු වර්ෂන් එකේ තිබුණේ බොහෝ දෙනෙකු අසා ඇතැයි සිතන කිඹුලා විසින් කිඹුලිය වෙනුවෙන් සිය මිතුරු වඳුරාගේ හදවත ගලවා ගැනීමට උත්සාහ කිරීමේ කතාවයි. මූලික ආකෘතිය අතින් මේ කතාව අප විසින් පෙර අසා තිබුණු පංචතන්ත්‍රයේ කතාවට වෙනස් නොවූ අතර කතාව හිට් වීමට හේතු වූයේ කවුරු හෝ මේ කතාවට නිර්මාණශීලී ලෙස එකතු කර තිබුණු, අන්තිමේදී කෝපයට පත්වන වඳුරා විසින් කිඹුලාට අමු තිත්ත කුණුහරුප වලින් බණින කොටසයි. (කරුණාකර මේ කතාවේ අලුත් වර්ෂන් කමෙන්ට් වලට කොපි නොකරන්න.)

මේ වඳුරු කිඹුල් කතාවේ සම්භවය යටත් පිරිසෙයින් වසර දෙදහස් පන්සීයක්වත් පැරණිය. කවුරු හෝ විසින් වසර දහස් ගණනකට පෙර මුලින්ම නිර්මාණය කළ මේ
වඳුරු කිඹුල් කතාව, මෙවැනි වෙනත් කතා මෙන්ම, පරම්පරා ගණනාවක් තිස්සේ කටින් කට හා පසුව වෙනත් ආකාර වලින් සම්ප්‍රේෂණය වී අද වන විට අපේ දැනුමක් බවට පත් වී තිබේ. මේ කතාව අපේ ඉදිරි පරම්පරා වෙතද සම්ප්‍රේෂණය වනු ඇත.

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන් විසින් මට මෙවැනි කතා කියා දී තිබේ. තවත් මෙවැනි කතා මා විසින් කියවා තිබේ. මා අසා හෝ කියවා ඇති මෙවැනි කතා මා විසින් මගේ දරුවන් කුඩා කාලයේ ඔවුන්ටද කියා දී තිබේ. මේ කතා ඔවුන් විසින් ඔවුන්ගේ දරුවන්ට කියා දෙන්නට හෝ නොදෙන්නට ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන්ගේ දරුවන්ටද මේ කතා කියා දෙන්නට අවස්ථාවක් මටම ලැබෙන්නට හෝ නොලැබෙන්නට පුළුවන.

මගේ දරුවන්ට මා කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව කියා කීවත් එය හරියටම ඒ කතාවම නොවේ. මා විසින් හිතාමතාම හෝ අවිඥානිකව ඔවුන්ට කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව ඇසුරෙන් මා විසින් සංස්කරණය කරනු ලැබූ කතාවකි. ඇතැම් විට, කතා වල ඇති ඔවුන් දැන නොසිටි පළතුරු හෝ රසකැවිලි වෙනුවට ඔවුන් දන්නා දේ ආදේශ කරන්නට මට සිදු වී තිබේ. ඇත්තටම කියනවානම් එකම කතාව දෙවරක් එක ලෙස කියවෙන්නේද නැත.

ජාතක කතා පොතේ ඇති සුංසුමාර හා වානර ජාතක ඇතුළුව, වඳුරු කිඹුල් කතාවේ ප්‍රභේද විශාල ගණනක් ඇතත් සමාජ ජාලා වල මෑතකදී සංසරණය වූ කතාව වඩාත්ම ආසන්න විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයේ ඇති කතාවටය. පංචතන්ත්‍රය ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී පමණ මුලින්ම ප්‍රබන්ධ කරන්නට ඇතැයි සැලකේ. එහෙත් එහි ඇති කතා බොහොමයක් ඒ වන විට ජන වහරේ තිබී ඇති කතාය.

පංචතන්ත්‍රයේ ඇති කතාවේ සඳහන් පළතුර අඹ නොවේ- දඹයි. මෙය මාදං වැනි පළතුරකි. කතාවේ වඳුරාගේ නම රක්තමුඛ වන අතර කිඹුලාගේ නම කරාළමුඛයි. රක්තමුඛ නම ඇසෙන විට හිතේ මැවෙන්නේ කට රතු වඳුරෙකි. අළුත් කතාව කියවන විට මතක් වෙන්නේනම් වාචාලමුඛ වැනි නමකි.

වානර ජාතකයේ ඇති කතාව පටන් ගන්නේ පංචතන්ත්‍රයේ කතාවේ මැද හරියෙනි. සුංසුමාර ජාතකයේ කතාවද බොහෝ දුරට වානර ජාතකයේ කතාවට සමානය. මේ කතා වල සිටින බෝධිසත්ව වඳුරාගේ හදවත සඟවා ඇති බව කියන්නේ දිඹුල් ගසකය.
වානර ජාතකයේ බෝධිසත්ව වඳුරා කිඹුලාට සිය අප්‍රසාදය පළ කරන්නේ මෙසේය.

"තොපි මා රැවටුව. මම තොප රවටාපීමි. වඳුරන්ගේ හෘදය මාංශයත් දිඹුල් ගස උඩ තිබේද? තා රවටාලා මාගේ ප්‍රාණය ගලවා ගතිමි. තොපගේ උයනේ ඇති අමෘත ඵලාඵලයෙනුත් මට කම් නැත."

බෝධිසත්ව වඳුරෙක් වූ නිසාදෝ මේ වඳුරා කුණුහරුප කියන්නේ නැත. ජන වහරේ පැවති මේ කතාව බුද්ධ කාලයේදීම හෝ බුද්ධ කාලයෙන් සියවස් දෙක තුනකට පසුව බෞද්ධ සාහිත්‍යට එක් වූවා විය හැකිය. ජපානය වැනි රටවලට ගොස් ඇත්තේ (කොන්ජකු මොනොගතරිෂු) මේ බෞද්ධ කතාවයි. අරාබියට ගොස් ඇත්තේ (කලීලා සහ දිම්නා) පංචතන්ත්‍රයේ කතාවයි.


බෝධිසත්ව වඳුරන් විසින් කිඹුලන් හෝ කිඹුලියන් රවටන්නේ ඉහතින් සඳහන් කළ සුංසුමාර හා වානර ජාතක කතා දෙකේ පමණක් නොවේ. වානරින්ද හා කුම්භිල ජාතක වල ඇති කතාද ඉහත කතාවට බොහෝ ආසන්නය. විවිධ වෙනස්කම් සහිතව ලෝකයේ රටවල් ගණනාවකට සම්ප්‍රේෂණය වී ඇති වඳුරු කිඹුල් කතාව හා අදාළව පශ්චාත් උපාධි නිබන්ධන පවා ලියැවී තිබේ.


කොහේ හෝ තැනක කියවූ පරිදි මේ කතාවේ කිඹුලාගෙන් සංකේතවත් වන්නේ සිය බිරිඳගේ අවශ්‍යතා සැපිරිය නොහැකි දුර්වල ස්වාමි පුරුෂයෙකි. වඳුරා යනු බිරිඳට ඔහු පෙන්වන ප්‍රතිරූපයයි. එහෙත්, කිඹුලා ඔහුගේ සැබෑ ප්‍රතිරූපයයි. ඔහු වඳුරා මෙන් ගසට නැග ඇයට පලතුරු කඩා දෙන්නට නොහැකි (ඇයගේ අවශ්‍යතා සැපිරිය නොහැකි) දුර්වල සැමියෙකි. වඳුරු හදවත ඉල්ලීමෙන් සංකේතවත් වන්නේ බිරිඳ සිය සැමියාගෙන් අපේක්ෂා කරන පෞරුෂත්වයයි. වඳුරා සහ කිඹුලා අතර ගැටුම මේ පුරුෂයා විසින් බිරිඳට පෙන්වන්නට උත්සාහ කරන පෞරුෂත්ව මඟින් ඔහුගේ සැබෑ පෞරුෂත්ව යටපත් කිරීමට උත්සාහ කිරීම තුළ ඇති වන ගැටුමයි. එයින් ඔහුට ජය ගැනීමට නොහැකි වන අතර කතාව අවසන් වන්නේ ඔහුව බිරිඳට එළිදරවු වීමෙනි. වඳුරාගෙන් සමච්චලයට ලක්වීමෙන් සංකේතවත් වන්නේ එයයි. මේ අනුව, මෙහි තේමාව ටිකක් දුරට හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න තේමාවට කිට්ටුය. මනෝ විශ්ලේෂණය මා හදාරා ඇති විෂයයක් නොවන නිසා මේ ගැන මා වැඩි දෙයක් දන්නේ නැත.


මට පෙනෙන හැටියටනම් කිඹුලා මුහුණ දී ඇති ප්‍රශ්නය ආවස්ථික පිරිවැය පිළිබඳ ප්‍රශ්නයකි. එක පැත්තකින් කිඹුලිය සතුටු කිරීම නිසා ලැබෙන අනාගත වාසි තිබේ. අනිත් පැත්තෙන් දිගින් දිගටම අඹ (හෝ දඹ) කන්නට ලැබීමේ අවස්ථාව තිබේ. කිඹුලා මේ වාසි සසඳා කෑම වෙනුවට ලෑම තෝරාගෙන ඇතත් අවසානයේදී තොරතුරු අසමමිතිය පිළිබඳ ගැටළුවකට මුහුණ දී කෑමත් ලෑමත් දෙකම නැති කරගෙන තිබේ. අපට කිසියම් අවස්ථාවක අප සතුව ඇති තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කර වඩාත්ම වාසිදායක තීරණය ගන්නට හැකි වුවත්, අපේ දැනුමේ සීමාවන් නිසා එසේ ගත් තීරණයක් හොඳම තීරණය නොවන බව පසුව අවබෝධ වන්නට පුළුවන.
 

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන්ගෙන් ඇසූ වඳුරු කිඹුල් කතාවේ වඳුරා හිටියේ ජම්බු ගසකය. පංචතන්ත්‍රයේ කතාවට සමාන මේ කතාවේ දඹ ගස ලංකාවේදී ජම්බු ගසක් වූවා විය හැකිය.

අප එකිනෙකා කතා කරන භාෂාව 'සිංහල' හෝ 'ඉංග්‍රීසි' වැනි නිශ්චිත භාෂාවක් ලෙස හැඳින්වීමෙන් අදහස් වන්නේ අප කතාකරන භාෂාව එකම භාෂාව බව නොවේ. අප කතා කරන භාෂාව වෙනස් වන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර නිසා පමණක්ද නොවේ. අපේ වයස් මට්ටම්, ලබා ඇති අධ්‍යාපනය හා වෘත්තීය ක්ෂේත්‍රය, කතා කරන්නේ කා සමඟද යන්න වැනි විවිධ හේතූන් මත අපේ භාෂාව වෙනස් වේ. ඒ නිසා, එකම අදහස ප්‍රකාශ කිරීම සඳහා අප විසින් "මේ දෑස කුමටද?", "මේ දෑස මක්කටෙයි?" හෝ "මේ ඇස් ගෙඩි දෙක මොන මගුලකටද?" ආදී විවිධ ආකාර යොදාගන්නට පුළුවන.
 

පරම්පරාවක් තුළ භාෂාවක් විශාල ලෙස වෙනස් වේ. ඊට අමතරම, කිසියම් කතාවකින් ගම්‍ය වන අදහසද කාලයත් සමඟ වෙනස් වේ. ඒ නිසා, අපට අපේ දරුවන්ට කියා දෙන්නට වෙන්නේ අපේ වැඩිහිටියන් අපට කියා දුන් කතාවම නොවේ. ඔවුන් තේරුම් ගන්නේ අප ඔවුන්ට කියා දෙන කතාවද නොවේ. පරම්පරා ගණනාවක් මෙය සිදුවන විට කතාවක් සැලකිය යුතු ලෙස වෙනස් වන්නට පුළුවන.

අපේ පෞද්ගලික අත්දැකීම් නොවන අතීතය අප අවබෝධ කරගන්නේ අප අසන හෝ කියවන "කතන්දර" ඇසුරිනි. එහෙත්, මේ කතන්දර අපට ඇසෙන විට අපේ හිතේ මැවෙන්නේ කතාව කියන තැනැත්තාගේ හිතේ ඇති චිත්ත රූපයම නොවේ. පසුව අප විසින් වචන වලට හරවන්නේ මෙසේ අපේ හිතේ මැවෙන චිත්තරූප මිස අපට කතාව කියාදුන් තැනැත්තාගේ හිතේ ඇති චිත්තරූප නොවේ.

කාලයක් තමන් විසින් දුන් අඹ කෑ ගිරවා අන්තිමේදී වඳුරාගේ හදවත කන්නට තැත්කරන කතාව අසන අප බොහෝ දෙනෙකු ඒ වෙලාවේ මනසින් වඳුරාගේ චරිතය තුළට කිමිදේ. එදා
වඳුරා සිටි තත්ත්වයට පත් වූයේනම්, අප බොහෝ දෙනෙකුට අද මතක් වන්නේ සමාජ ජාලා වල ඇති කතාවේ ආකාරයේ කුණුහරුප වැලක් මිස අප කුඩා කාලයේ අසා ඇති කතාවේ තිබුණු හෝ ජාතක කතා පොතේ ඇති වඩා සභ්‍ය වචන නොවේ. වඳුරු කුණුහරුප කතාව සමාජ ජාලා වල හිට් වෙන්නේ ඒ කතාවේ අවසානයට ඇති වචන කියවන බොහෝ දෙනෙකුගේ චිත්තරූප සමඟ සමීපව සමපාත වන බැවිනි.

කතා වලට පරම්පරා ගණනක් තිස්සේ එකතු වී ඇති වඳුරු කුණුහරුප ගැටලුවක් වන්නේ ඉතිහාසය හදාරන්නට යන විටය. සියලුම ආගම් වලට අයත් ආගමික සාහිත්‍යයේද මේ ප්‍රශ්නය තිබේ.

වංශ කතා මත පදනම්ව වසර දෙදහස් පන්සිය ගණනක ඉතිහාසයක් ගැන අප කතා කළත් ඇත්තටම අප සතු ලිඛිත ඉතිහාසය එතරම් පැරණි නැත. ඓතිහාසික කරුණු වාර්තා කිරීමේදී ලේඛකයින් මතිග්‍රාහී වීම පැත්තකින් තිබ්බත්, වංශකතා පොත් වල ඓතිහාසික කරුණු වාර්තා කිරීම පිළිවෙලකට සිදුවී ඇත්තේ පස්වන සියවසේදී පමණ සිටය. ඊට පෙර වසර දහසක පමණ කාලය ගැන අප දන්නේ පස්වන සියවසේ ජීවත්ව සිටි අය දැන සිටි ඉතිහාසයයි. ඒ ඉතිහාසයෙන්ද, මහින්දාගමනයෙන් පසුව කාලයේ සිදුවූ සිදුවීම් මුඛ පරම්පරාවෙන් වුවත් සෑහෙන තරම් නිවැරදිව සම්ප්‍රේෂණය වී ඇතත් ඊට පෙර කාලය පිළිබඳව ඇත්තේ ඉතා අඩු විශ්වසනීයත්වයකි. කාලයත් සමඟ සැබෑ තොරතුරු වලට 'වඳුරු කුණුහරුප' වැඩි වැඩියෙන් එකතු වේ.



බුද්ධ ධර්මයද පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාවෙන් එද්දී අලුත් කොටස් එකතු වීම, පැවති කොටස් වෙනස් වීම හා ඉවත්වීම මෙන්ම අර්ථකතන වෙනස් වීමද දිගින් දිගටම සිදු වී තිබේ. ලංකාවේ සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙක් බුද්ධ ධර්මය තේරුම් ගන්නේත් සම්ප්‍රේෂණය කරන්නේත් තමන්ගේ දැනුමට සාපේක්ෂවය. මේ වන විට ථෙරවාද බුද්ධාගම ලෙස හඳුනාගන්නා බුද්ධාගමේ ප්‍රභේද සියල්ල කිසියම් අවදියකදී ලංකාව හරහා අදාළ රටවලට සම්ප්‍රේෂණය වී ඇති නිසා ථෙරවාද බුද්ධාගමේ ඕනෑම ප්‍රභේදයක් ලංකාවේ සංස්කෘතික ලකුණු වලින් විනිර්මුක්ත නොවේ.


නිවැරදි ඉතිහාසය කුමක්දැයි තේරුම් ගැනීමට අප අසන හා කියවන ඉතිහාස කතන්දර වලින් මේ වඳුරු කුණුහරුප ඉවත් කරන්නට සිදුවේ. එහෙත්, මෙහි ඇති ගැටළුව සැබෑ ඉතිහාසය කුමක්දැයි හරියටම නොදන්නා අප විසින් අපේ දැනුමට සාපේක්ෂව සිතමින් අප හමුවේ ඇති ඉතිහාසයෙන් වඳුරු කුණුහරුප ඉවත් කරන්නට යාමේදී අවසාන වශයෙන් ඉතිහාසයට අප අතින් වඳුරු කුණුහරුප එකතු වන්නට ඉඩ තිබීමයි. ඒ නිසා, වඩාත්ම සුදුසු දෙය වන්නේ, කෙතරම් විශ්වසනීය නොවූවත්, ඓතිහාසික තොරතුරු විකෘති නොකරන අතරම අපේ කෝණයෙන් එම තොරතුරු විශ්ලේෂණය කිරීමයි. මෙය ආගමික සාහිත්‍යයටද අදාළය.


(Image: http://www.dailymail.co.uk/news/article-1094657/PICTURED-The-Japanese-snow-monkeys-enjoy-hot-bath.html)

Friday, September 9, 2016

කටුස්සාත් බෑ කිවුවානම්...


විචාරක විසින් පළ කළ, ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයට පාත්‍ර වූ, වටු කිරිල්ලියගේ කතාවේ දෙගල් අස්සේ හිර වුණු වටු බිජුව එළියට ගන්නට අන්තිමේදී ඇයට හැකි විය. මේ කටයුත්තේදී ආන්තික තල්ලුව ලැබුණේ කටුස්සාගෙනි. අටු, පුටු හෝ බුලත් නොඉල්ලා වටු කිරිල්ලියට උදවු කරන්නට කටුස්සා ඉදිරිපත් විය.

වටු නංගියේ      තටු    ගසමින්  නාඬන්නේ
අටු නැති ඔබට  පුටු    නැති බව මා දන්නේ 
කටුසයියාව       දුටු   විට අලි බය වෙන්නේ 
තුටු වී ඉතින් හොටු       ටික පිහදාගන්නේ  

ඔහොම කියපු කටුස්සා වටු කිරිල්ලියගෙන් කිසිදු ගාස්තුවක් අය නොකර අලියාගේ හොඬේ අස්සේ රිංගන්නට ඉදිරිපත් විය. එතැන් සිට වටු කිරිල්ලියට බිත්තරය හිමිවීම දක්වා සියළු කටයුතු ඉතා සුමටව සිදු වූ බව අපි දැන් දනිමු.

මේ කතාව අසා සිටි ට්‍රාන්ස් මෙවැනි ප්‍රශ්නයක් අසයි.

"විචාරකගේ කතාව කියවන විට මට ආ ගැටළුව නම් යම් ලෙසකින් කටුස්සාද අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන කීවානම්?"

ඇත්ත නේන්නම්!

කටුස්සාත් ගාස්තු ඉල්ලුවානම් වටු බිජු තවමත් ගල් දෙබොක්කාව අස්සේය. මේ වගේ නිස්සරණාධ්‍යාසයෙන් වටු කිරිල්ලියන්ට උදවු කරන්නට ඉදිරිපත් වන කටුස්සන් එතරම් සුලභ නැත. ඒ නිසා වටු කිරිල්ලිය විසින් විශාල සෙවුම් පිරිවැයක් දැරීමෙන් පසුවද අවශ්‍ය කාර්යය ඉටු නොවිය හැකිව තිබුණි. නිෂ්පාදකයින්ට නිෂ්පාදන හැකියාව තිබියදී අවශ්‍ය ඉල්ලුම නැති වීම නිසා නිෂ්පාදනය සිදු නොවන අවස්ථා එමටය.

මෙය තේරුම් ගැනීමට අපි වටු කිරිල්ලියගේ කතාව ටිකක් වෙනස් කරමු. මේ වටු කිරිල්ලියගේ කතාවේ ඉකොනාමැට්ටා වර්ෂන් එකයි. කතා මොන විදිහට කිවුවත් අහන අය ඒවා තේරුම් ගන්නේ තමන් කැමති පරිද්දෙන් නිසා මේ කතාව ටිකක් වෙනස් කළා කියා වැරැද්දක් තිබිය නොහැකිය. අනං මනං කතා නවත්වා ඔන්න එහෙනං කතාවට!


ඔන්න එකෝමත් එක රටක වටු කිරිල්ලියක් හිටියා. [මාස දෙක තුනකට කලින් උඩවලව ජාතික වනෝද්‍යානයට ගිය වෙලාවේ ඉකොනොමැට්ටට මේ වටු කිරිල්ලියෝ කිහිප දෙනෙක්ම දැකගන්න හැකි වුනා. ඔය උඩවලව හම්බන්තොට වගේ පැති වල වටු කිරිල්ලියෝ සෑහෙන්න ඉන්නවා. බාගවිට ඔය එකෝමත් එක රට තිබුණේ ඔහොම පැත්තක වෙන්න පුළුවන්.] මේ වටු කිරිල්ලී පඳුරු වලින් වැහිල තිබිච්ච ගල් තලාවක් උඩ බිත්තර දෙකක් දැම්මා.

වටු කිරිල්ලී බිත්තර දැමිල්ල අහවර කරලා බලන කොට බිත්තර දෙක ගල් තලාවේ පැලුමක් තිබුණු තැනක හිර වෙලා. [වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා අධ්‍යයන කරන්නෙ නෑනේ...] දැන් ඉතිං වටු කිරිල්ලී සෑහෙන වෙලාවක් තටමලා දාපු බිත්තර දෙකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැති වෙන්නයි යන්නේ.

නොගැලපෙන තැනක බිත්තර දාල ඇණ ගත්ත වටු කිරිල්ලී දැන් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හොයනවා. දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හොයනවා [ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ඉන්න අයව මතක් වෙන්නේ]. වටු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා. [ඔය වටු කිරිල්ලියෝ විශේෂඥ උපදෙස් නොසලකා ගල් තියෙන තැන්වල බිත්තර දාල ඇණ ගත්තට පස්සෙ විශේෂඥ උපදෙස් හොයනවා.]

"අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, අනේ ඒ දෙක අරන් දීපන් ගල් වඩුවෝ..."

"රිදී කාසියක් ගෙන!" ගල් වඩුවා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, බිත්තර දෙක අරන් දුන්නොත් එයින් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා."

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මට මගේ දරුවන්ට කන්න කටුවල හොයන්න තියෙනවා. උඹට උදවු කරන්න ආවොත් මට කටුවල හොයන්නවත්, හාරන්නවත් වෙන්නේ නැහැ. එහෙම වුනොත් මගේ දරුවෝ හාමතේ! "

"හොඳයි, මම උඹට කටුවල හොයා දුන්නොත් උඹ මට බිත්තර දෙක අරං දෙනවාද?"

"කටුවල හොයා දුන්නොත් මම උඹට බිත්තර දෙක අරන් දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී අඬ අඬා යනවා. යනකොට, යනකොට, ඌරෙක් හම්බ වෙනවා.

"අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. මට කටුවල තියෙන තැනකින් හාරලා දීපන් ඌරෝ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ඌරා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කටුවල හාරා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම මරුවැල් ඇදලා. මම ඇවිදින්නෙත් හරිම පරිස්සමෙන්. මේ මරුවැල් එක්ක කැලේ පුච්චලා දැම්මොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්! "

"හොඳයි, මම උඹට කැලේ ගිණි තියලා දුන්නොත් උඹ මට කටුවල හාරලා දෙනවාද?"

"කැලේ ගිණි තියලා දුන්නොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, ගිණි ගොඩක් හම්බ වෙනවා.

"අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. කැලේ හැමතැනම දුවලා කැලේ පුච්චලා දීපන් ගින්දරේ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ගිණි ගොඩ වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කැලේ ගිණි තියලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම දුවලා කැලේ ගිණි තිබ්බහම මට හරිම පිපාසාවයි. ඒ වෙලාවට මගේ ඇඟට වතුර ටිකක් දාන්න කවුරුවත් නෑ. මගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

"හොඳයි, මම උඹේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට කැලේ ගිණි තියලා දෙනවාද?"

"ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, වතුර වලක් හම්බ වෙනවා.

"අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දීපන් වතුරේ..." වටු කිරිල්ලී වතුරට කියනවා.

"රිදී කාසියක් ගෙන!" වතුර වල වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද,  ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මේ වතුර වලේම හිරවෙලා ඉඳලා මට දැන් එපා වෙලයි තියෙන්නේ. මාව මෙතනින් කොහාටවත් ගෙනියන්න කවුරුවත් නෑ. රටතොට බලන්න මාව ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙන්නම්!"

"හොඳයි, මම උඹව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙනවාද?"

"රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම එය කරන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, අලියෙක් හම්බ වෙනවා.

"අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  උඹේ ඔය ලොකු හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනිහින් දීපං අලියෝ..." වටු කිරිල්ලී අලියාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" අලියා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"උඹ මේ මඟුලක් කතා කරනවා. මට මොකටද වටු බිත්තර? මගේ හොඬේ අස්සේ කූඹි රිංගලා මම මේ දෙලෝ රත්වෙලා ඉන්නවා!"

"හොඳයි, මම උඹේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් උඹ මට වතුර වල කියන තැනකට ගෙනිහින් දෙනවාද?"

"හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් මම වතුර වල කියන තැනකට ගෙනිහින් දෙන්නම්!"

වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, කටුස්සෙක් හම්බ වෙනවා. [කටුස්සා තාමනං කොළ පාටයි. ඌ  පාට වෙනස් කරන්න සුදුසු වෙලාව එනකං ඔළුව වන වන ඉන්නවා.]

"අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  අලියා හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනියන්න උගේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා ඉල්ලනවා. අලියගේ හොඬේ අස්සේ රිංගලා කූඹි අයින් කරලා දීපං කටුස්සෝ..." වටු කිරිල්ලී කටුස්සාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" කටුස්සා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒ යෝජනාව නරක නැහැ. ඒත් මට උඹව විශ්වාස නැහැ. ඉස්සෙල්ලා බිත්තරේ ගෙනත් දීපං. ඊට පස්සේ මම අලියගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දෙන්නම්!"

"ඒක කරන්නේ කොහොමද? උඹට බිත්තරයක් දෙන්නනම් ගල් වඩුවා ගල කඩලා බිත්තර එළියට ගන්න ඕනෑ. ගල් වඩුවා එය කරන්නේ උන්දෑට ඌරා කටුවල හොයා දුන්නොත් විතරයි. ඌරා කටුවල හොයා දෙන්නේ ගිණි ගොඩ කැලේ ගිණි තිබ්බොත් විතරයි. ගිණි ගොඩ කැලේ ගිණි තියන්නේ වතුර වල උන්දෑගේ පිපාසාව නිවනවනම් විතරයි. වතුර වල ගින්දරේ පිපාසාව නිවන්නේ අලියා උන්දෑව කියන තැනකට ගෙනියනවනම් විතරයි. අලියා වතුර වල කියන තැනකට ගෙනියන්නේ උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් විතරයි. ඒ නිසා උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා නොදුන්නොත් මම කොහොමද උඹට බිත්තරයක් දෙන්නේ?"

ඇත්තටම කොහොමද? සමහර වෙලාවට රටක ආර්ථිකය ඔය වගේ තැනක රවුමට හිරවෙයි. පහත කතාවේ ඇත්තේත් ඒ වගේ අවස්ථාවකි. 




රෝලට ණය ආර්ථිකේ...


මේ වෙලාවට ආර්ථිකය ගොඩදමන්නටනම් ඔරිජිනල් වටු බිත්තර කතාවේ කටුස්සා වැනි අභ්‍යන්තර උත්ප්‍රේරකයක් හෝ රෝලට ණය කතාවේ ඇමරිකන් කාරයා වැනි බාහිර උත්ප්‍රේරකයක් අවශ්‍ය වේ. මතක තබා ගන්න- උත්ප්‍රේරකයක් කියන්නේ එක් සමතුලිතතාවයක සිට තවත් සමතුලිතතාවයකට මාරු වීමේදී වෙනස ඇරඹීමට අවශ්‍යම දෙයක් වුවත් වෙනසින් පසු වැය නොවී ඉතිරි වන දෙයකි.

අළුත් කටුසු කතාවේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. මේ එයින් එකකි.

"උඹ කියන දෙය මට තේරෙනවා. ඒත් එක වටු බිත්තරයක් වෙනුවෙන් මේ අවදානම ගන්න මට බෑ. උඹ අඩු ගානේ මට වටු බිත්තර තුනක් දෙනවානම් මම උඹ කියන දෙය කරන්නම්!"

"මම කොහොමද උඹට වටු බිත්තර තුනක් දෙන්නේ. තියෙන්නෙම වටු බිත්තර දෙකයි. ඒ දෙකම උඹට දුන්නොත් මට මුකුත්ම නෑ. ඒ නිසා මට උඹට දෙන්න වෙන්නේ එක වටු බිත්තරයයි."

"එහෙමනං උඹ දැනට මට එක බිත්තරයක් දීපං. ඉතිරි දෙක පස්සේ දීපං. හැබැයි උඹ ණය ගෙවලා ඉවර කරනකං මට පොලිය විදිහට දවසකට බිත්තරේ ගානේ ඕනෑ."

වටු කිරිල්ලී මේ ඩීල් එකට කැමති විය. ඉන්පසු සියල්ල ඔරිජිනල් කතාවේ මෙන් අපූරුවට සිදුවිය. කටුස්සාට එක් වටු බිත්තරයක් වහාම ලැබුණේය. දැන් වටු කිරිල්ලිය දවසකට බිත්තර දෙක ගානේ දමයි. ඒ දෙකෙන් එකක් ඇගේ එදිනෙදා වියදමටය. අනෙක් බිත්තරය කටුස්සාගේ පොලිය ගෙවීමටය. ඒත් කටුස්සාට වූ බිත්තර දෙකේ ණය අද දක්වාම එහෙමමය.


(Image: www.ox.ac.uk)

Monday, September 5, 2016

වටු කිරිල්ලිය හා ඇගේ බිත්තරය


කුඩා කාලයේදී ඇසූ වටු කිරිල්ලියගේ කතාව විචාරක විසින් නැවත මතක් කර දී තිබේ. මෙය ඔහුට මෑණියන් විසින් කුඩා කාලයේදී කියාදුන් අයුරින්ම අපූරුවට සටහන් වී තිබේ.

ඔහුගේ ලිපියේ ඇති ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ යන එක දිගට කියාගෙන යන කොටස විචාරක විසින් 'අටුවක් ගෙනෙන්, පුටුවක් ගෙනෙන්, තට්ටු හතක බුලත් ගෙනෙන්’ කියා වෙනස් කළේනම් ඔහුගේ මව මේ කතාව ඔහුට කියාදුන් රිද්මය එසේම සිතේ මැවෙන්නේ නැත.

පසුගිය සියවසේ මැද පමණ දක්වාම වටු කිරිල්ලියගේ කතාව වැනි ජනකතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණේ මෙසේ අම්මලා, ආච්චිලා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා කාලයේ දරුවන්ට කියා දුන් කතා ඒ දරුවන් වැඩිහිටියන් වී වෙනත් දරුවන්ට කියා දීමෙනි. මවගේ හා පියාගේ සොයුරු සොයුරියන් රැසක් ඇතුළු බොහෝ වැඩිහිටියන්ගෙන් කුඩා කාලයේදී මෙවැනි කතා අසන්නට මා වාසනාවන්ත වී ඇතත්, මා මෙන් විස්තෘත පවුලක ඇසුර ලැබීමේ වාසනාව අහිමිව වැඩුණු මගේ දරුවන්ට මේ කතා බොහෝ විට අහන්නට ලැබී ඇත්තේ මගෙන් පමණි.

විචාරක විසින් ඔහුගේ මවගෙන් අසාගත් පරිදි මේ කතාවේ ඉන්නේ වඩු කිරිල්ලියක වුවත් මා අසා ඇති පරිදි කතානායිකාව වටු කිරිල්ලියකි. වඩු කිරිල්ලියක් සාමාන්‍යයෙන් (විචාරකගේ ලිපිය සමඟ පළ කර ඇති) ඇගේ අපූරු කූඩුවෙන් පිටත බිත්තර නොදමන බැවින් මේ කතාව වඩා ගැලපෙන්නේ පොළොව ආශ්‍රිතව බිත්තර දමන වටු කිරිල්ලියකටය. කටින් කට සම්ප්‍රේෂණය වෙද්දී වටු කිරිල්ලිය ඉතා පහසුවෙන් වඩු කිරිල්ලියක වන්නට ඇත.

මේ කතා මුලින්ම කාගේ හෝ හිතේ මැවුණු අදහසකින් හෝ ඇසූ දුටු දෙයකින් පටන්ගෙන පසුව කාලයක් තිස්සේ තවත් බොහෝ දෙනෙකු අතින් පෝෂණය වුණු 'කතා' ලෙසම සැලකිය හැකි කතා වුවත්, ඒ කතා සැලකිල්ලෙන් විමසන විට අපේ පැරණි ජන සමාජය ගැන අදහසක් ගත හැකිවාක් මෙන්ම කතාවේ කෙළින්ම කියා නැති දේවල් ගැන කතා කරන්නටත් බැරිකමක් නැත. උදාහරණයක් ලෙස කතාවේ වස්තු බීජය හේනක් මැද පිහිටි අතරින් පතර ගස් වැවුණු ගල්තලාවක පැල්මක් අතර සිරවී තිබුණු වටු බිත්තරයක් හෝ කිහිපයක් දැක එය ගන්නට වෙනත් අයෙකුගෙන් උදවු ඉල්ලන කාන්තාවක් විය හැකිය. මේ කතාවේ ගල් වඩුවාගෙන් මෙන්ම, ඌරාගෙන්ද, ගිණි ගොඩෙන්ද, වතුර වලෙන්ද, අලියාගෙන්ද, කටුස්සාගෙන්ද සංකේතවත් වන්නේ සමාජයේ ජීවත්වන විවිධ දක්ෂතා හා දුර්වලතා ඇති මිනිසුන් විය හැකිය.

සමාජයක ජීවත් වන විවිධ පුද්ගලයින්ට විවිධ දක්ෂතා තිබේ. අයෙකුට බිත්තර නිෂ්පාදනය කිරීමටත්, තවත් අයෙකුට ගල් කඩන්නටත්, වෙනත් අයට බල ශක්ති ප්‍රභව සැපයීමට, ගිණි නිවීමට, ජල කළමනාකරණයට හා ජල කලමණාකරන උපාංග පාලනයට වැනි වෙනස් කටයුතු වලට විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය හැකිය. කිසියම් පුද්ගලයෙකු හෝ රටක් තමන්ට මෙසේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුත්තක නිරත වූ විට වැඩි ඵලදායිතාවයකින් නිෂ්පාදන කාර්යයෙහි යෙදිය හැකිය. සමාජයක් ඉදිරියට යන්නේ මෙසේ එක් එක් තැනැත්තා තමන්ට වඩාත් හොඳින් කළ හැකි දේ කරන අතරම භාණ්ඩ හා සේවා හුවමාරුව (හෝ වෙළඳාම) හරහා එක් ඒකකයක් ලෙස සම්බන්ධ වූ විටය.

කිසිවෙකු තමන්ගේ කාර්යය තනිව කිරීමට උත්සාහ ගන්නේනම් තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් නැති කටයුතු වලද නිරත වන්නට සිදුවේ. එවිට තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුතු අතපසු වන නිසා එය අකාර්යක්ෂමතාවයන්ට හේතු වේ. ඒ නිසා වටු කිරිල්ලියගේ බිත්තරය ගල් දෙබොක්කාවේ හිර වූ විට එය තමන් විසින්ම ගන්නට කාලය යොදවනවාට වඩා ඒ පිළිබඳ  විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ගල් වඩුවාගේ සේවය ලබා ගැනීම හොඳ තීරණයකි.

කෙසේ වුවද, ගල් වඩුවා වටු කිරිල්ලියට නොමිලේ සේවය සපයන්නට කැමති නැත. බිත්තර ඉවත් කිරීමට වටු කිරිල්ලියට උදවු කිරීමෙහි ආවස්ථික පිරිවැයක් තිබේ. එය වටු කිරිල්ලිය විසින් නොසැපයේනම් වටු කිරිල්ලියට අඩු මිලකට (නොමිලේ) සේවය කිරීමට ඉදිරිපත් වීම ගල් වඩුවා දකින පරිදි තාර්කික තීරණයක් නොවේ. ඒ නිසා ඔහු සිය මිල ඉල්ලා සිටී.

‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’

මෙය සැලකිය යුතු මිලකි. මේ සියල්ල ඉතා මෑත කාලයක් දක්වා සාමාන්‍ය ලාංකිකයෙකුගේ සුඛෝපභෝගී භාණ්ඩයි. අටුව යනු පැරණි ගම්බද නිවසක සබ්බ සකල මනාවම සුරක්ෂිත ලෙස ගබඩා කර තබන තැනයි. උදාහරණයක් ලෙස අටු කොස් කියන්නේ එසේ ගබඩා කර තබාගෙන පසුව ආහාරයට ගන්නා කොස්ය. සාමාන්‍ය ගැමියෙකුට අටු දෙකක ගබඩා කරන්නට තරම් දේවල් නැත. ඒ නිසා ගල් වඩුවාට දෙන්නට වැඩිපුර අටුවක් නැත. තියෙන එකම අටුව ඉල්ලීම මස් රාත්තලම ඉල්ලීමකි.

පුටුවද එවැනිම සුඛෝපභෝගී භාණ්ඩයකි. බොහෝ පැරණි ගැමි නිවෙස් වල බංකු, මැහි මිස පුටු නොතිබුණේය. පුටුවක් තිබුණේනම් ඒ ගමේ හාමුදුරුවන් වැඩිය විට සුදු රෙද්දක් එලා අසුන් ගන්නට දෙන්නට හෝ ගම් ප්‍රධානියෙකු පැමිණුනු විට මකුළු දැල් පිස දමා වාඩි වෙන්නට දෙන්නටය. එය පෙර කී අටුව මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවීය. බොහෝ ගෙවල් වල පුටුවක් නොතිබුණේ පුටුවක් හදාගන්නටවත් ආර්ථික ශක්තියක් නොතිබුණු බැවිණි. ඇතැම් වඩුවන්ගේ ගෙවල් වල පවා පුටු නොතිබුණේය. ඒත් සමහර අයනම් තමන්ට අත්‍යවශ්‍ය උපාංගයක් වන අටුව කඩා හෝ පුටුවක් හදා අනුන්ට පෙනෙන්නට ප්‍රදර්ශනය කරන අවස්ථා ඒ කාලයේදීත් තියෙන්නට ඇත.

තුන් වැන්න බුලත් තට්ටු හතයි. බත මෙන්ම බුලතද සෞභාග්‍යයයේ සංකේතයි. අල, බතල, කොස්, දෙල්, කුරහන් වැනි විවිධ ආහාර රැසක් අතර බත් යනු 'පොෂ්' කෑමකි. අමුත්තෙකු නිවසට පැමිණි විට නිවසේ ඇති අටුව හා පුටුව ප්‍රදර්ශනය කිරීම මෙන්ම කොස්, දෙල්, කුරහන් වලින් නොසලකා බතක්ම උයා දීමත්, බුලත් පිරුණු හෙප්පුවක් පෙන්වීමත් කළ හැක්කේ ප්‍රමාණවත් තරම් සල්ලියක් අතේ ඇති අයෙකුටය. හෙප්පුවේ ඇති බුලත් කල් තබා ගත නොහැකිය. ඒ නිසා තට්ටු හතක් උසට බුලත් පුරවන්නට වෙන්නේ ජයට ගන්නා මඟුලක් වැනි අමුත්තන් රැසක් ගෙදරට එන වෙලාවකටය.

අතේ පිච්චිය නැති, එදා වේල සරි කරගැනීමට දඟලන බහුතර ගැමියන්ට 'අටුවක්, පුටුවක් හා තට්ටු හතක බුලත්' යනු සිහිනෙන් දිව ගෑ සුවඳකි. වටු කිරිල්ලියගෙන් ගල් වඩුවා ඉල්ලන්නේ මෙවැනි ඉහළ මිලකි. මෙයින් ජනකතාකරුවා විසින් අහිංසක වටු කිරිල්ලියට දරා ගත නොහැකි මිලක් ගල් වඩුවා ඉල්ලන බව අතිශයෝක්තියට නඟමින් පවසයි. වටු කිරිල්ලිය ඒ මිල ගෙවීමට සූදානම් නැත. ඒ නිසා ගනුදෙනුවක් සිදු නොවේ. එහෙත්, ඇය බලාපොරොත්තු අත් නොහරී. අඩුවෙන් වැඩේ කරගත හැකි තැනක් සොයමින් 'ෂොප් කරයි'.

ඈ ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා යන වෙනත් සැපයුම්කරුවන් සිවුදෙනෙකු වෙතම යන නමුත් ඔවුන් බලාපොරොත්තු වන අවම මිලද ඇය ගෙවන්නට කැමති මිලට වඩා වැඩිය. ඒ නිසා ගණුදෙනුවක් සිදු නොවේ.

කෙසේවුවද, අවසානයේ වටු කිරිල්ලිය සිය බලාපොරොත්තු ඉටු කරගනී. කටුස්සා ඇයට දරා ගත හැකි මිලකට (කිසිවක් අය නොකරම) ඇයට අවශ්‍ය දෙය ඉටු කර දීමට ඉදිරිපත් වේ. ඇතැම් විට, කටුස්සාට අලියාගෙන් 'ඇරියස් එකක් ඇල්ලීමට' තිබුණු අවශ්‍යතාවය සමඟ වටු කිරිල්ලියගේ අවශ්‍යතාවය සම්පාත වූවා විය හැකිය. එසේ නැත්නම්, නිකම්ම ඔළුව වන වන පැත්තකට වී සිටි කටුස්සාගේ ශ්‍රමයේ ආවස්ථික පිරිවැය ශුන්‍ය වූවා විය හැකිය. එසේත් නැත්නම්, සරලවම කටුස්සා අනුන්ට උදවු කිරීමෙන් තමන්ට සතුටක් ලැබිය හැකි අයෙකු වූවා විය හැකිය.

වටු කිරිල්ලිය අන්තිමේදී ඇගේ වැඩේ 'කොහොම හරි' ගොඩ දා ගත්තේය. ඒත්, ඒ කිසිදු පිරිවැයක් නොදරමින් නොවේ. සැපයුම්කරුවන් හය දෙනෙකු හමුවෙමින්, මිල හෙට්ටු කරමින් ඇය විසින්ද සැලකිය යුතු සෙවුම් පිරිවැයක් (search cost) දරා තිබේ. 



[ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

(Image: http://orientalbirdimages.org/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...