වෙබ් ලිපිනය:

Showing posts with label අයවැය හිඟය. Show all posts
Showing posts with label අයවැය හිඟය. Show all posts

Wednesday, June 7, 2023

ඇමරිකාවේ බදු කපන හැටි...

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා. ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.


මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ. 

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්. 


පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි. 

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි. 

Tuesday, August 30, 2022

අතුරු අයවැය


අතුරු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. කතා කළ යුතු ගොඩක් දේ ඒ තුළ තිබුණත්, අයවැයක වැදගත්ම දෙය අය හා වැයයි. ඒ නිසා, එතැනින් පටන් ගනිමු. 

2022 අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 2,094යි.

2022 අපේක්ෂිත වියදම - රුපියල් බිලියන 4,427යි 

2020 අපේක්ෂිත අයවැය හිඟය - රුපියල් බිලියන 2,333යි.

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු කියා කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් පමණයි. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු කියන්නේ බොරුවට වැඩියෙන් පෙන්වන ගණනක්. මෙවර එය එසේ නොවන බවට කිසිසේත්ම සහතික විය නොහැකි වුවත්, මේ ඇස්තමේන්තු පෙර අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව තරමක් යථාර්ථවාදී බව පෙනෙනවා. 

වසර මුල ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අනුව 2022 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,223ක්. බදු වැඩි කිරීමෙන් පසුවත් අලුත් ඇස්තමේන්තුව ඊට වඩා අඩු එකක්. ඉලක්කය රුපියල් බිලියන 2,223ක් වුනත්, පළමු මාස පහ ඇතුළත එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 813ක් පමණයි. ඇස්තමේන්තුවේ ඉලක්කයට යන්නනම් අවසන් මාස හත තුළ තවත් රුපියල් බිලියන 1,410ක් එකතු කර ගත යුතුයි. එවැනි මුදලක් එකතු වීමේ ඉඩක් කොහොමවත්ම තිබුණේ නැහැ.

සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉතිරි මාස හත ඇතුළත රුපියල් බිලියන 1,281ක් එකතු විය යුතුයි. පළමු මාස පහේ අනුපාතය අනුව බැලුවොත් එකතු වෙන්නේ රුපියල් බිලියන 1,138ක් පමණයි. ඒ ගණන තවත් රුපියල් බිලියන 143කින් වැඩි කර ගන්න එක අසීරු වුවත් ප්‍රායෝගික ඉලක්කයක්. 

මුල් ඇස්තමේන්තුව අනුව වියදම රුපියල් බිලියන 3,851ක්. පළමු මාස පහේ වියදම රුපියල් බිලියන 1,449ක්. ඒ අනුපාතය අනුව බැලුවොත්නම් වියදම රුපියල් බිලියන 3,478කට සීමා විය යුතුව තිබුණා. වර්තන වියදම් අඩු වී නොතිබුණත් ආයෝජන වියදම් විශාල ලෙස සීමා කර තිබීම මේ වෙනසට හේතුවයි. 

සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ වියදම රුපියල් බිලියන 4,427 දක්වා ඉහළ යනවා. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව සහනාධාර ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,021 දක්වා විශාල ලෙස වැඩි කර තිබීමයි. පොලී වියදම්ද ඉහළ ගොස් තිබෙන අතර ආයෝජන වියදම් ඇස්තමේන්තුවත් කලින් ඇස්තමේන්තුවට වඩා වැඩියි. 

ඉදිරිපත් කර තිබෙන සැලසුම අනුවනම් මුළු අයවැය හිඟයම පියවා ගන්න යන්නේ බැංකු අංශයෙන් ණය නොගෙන. බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ආපසු ගෙවීමටද නියමිතයි. 

ඇස්තමේන්තු එසේ වුවත්, අයවැය කතාවේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"කෙසේ වෙතත්, දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යනයේ (Net Foreign Financing) හිඟකම අනුව, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා අයවැය සඳහා විදේශ මූල්‍යනය විවෘත වන තෙක්, මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි."

රුපියල් බිලියන 2,333ක් වන වසරේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට අමතරව වසර තුළ රුපියල් බිලියන 1,510ක ණය වාරික ප්‍රමාණයක් ආපසු ගෙවීමටද තිබෙනවා. මේ අනුව වසර තුළ සොයා ගත යුතු මුළු මුදල රුපියල් බිලියන 3,844ක්. 

බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි. උද්ධමනය අඩු වෙන තුරු පොලී අනුපාතික අඩු නොවෙන එක හොඳයි.

අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ගලවලා වෙනම ආයතනයක් හදන එකත් හොඳ යෝජනාවක්. හැබැයි මේ එක දෙයක්වත් සිදුවෙනකම් විශ්වාස නැහැ. 

අගෝස්තු උද්ධමනය 64.3% මට්ටමේ රැඳී තිබෙනවා. එය හොඳ ලකුණක්. බොහෝ විට සැප්තැම්බර් මාසයෙන් පසුව උද්ධමනය අඩුවෙන්න පටන් ගන්න ඉඩ තිබෙනවා. දැන් තත්ත්වය අනුව උද්ධමනය 70% නොඉක්මවන්න පුළුවන්.

නිල නොවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් පිළිබඳ නිවේදනය ඉතා ඉක්මණින් නිකුත් වීමට නියමිතයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යාධාරයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද තිබෙනවා. එය එසේනම් නරකම තත්ත්වය මේ වෙද්දී පහුවෙලා. 

Monday, May 2, 2022

වියදම් කැපිය හැක්කේ මොන විදිහටද?

ලංකාවේ රජයේ වියදම් ආදායම් වලට වඩා බොහෝ වැඩි බවත්, වත්මන් අර්බුදයට මූල හේතුව එය බවත් අප ලියන දේ කියවන අය නොදන්නා දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳන්නනම් ආදායම් හා වියදම් ගලපන්න වෙනවා කියන එකයි. මේ සඳහා එක්කෝ බදු වැඩි කළ යුතුයි. නැත්නම් වියදම් කැපිය යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඔය දෙකම කරන්න වෙනවා. කළ යුත්තේ කොහොමද කියන එක දේශපාලනික කරුණක්.

කොහොම කළත්, මුලින්ම කළ යුත්තේ දැන් පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමයි. පසුගිය 2021 වසරේදී ලංකාවේ රාජ්‍ය ආදායම වැය කළේ කොහොමද?

පරිපාලන වියදම් - 13.0%

ආරක්ෂක වියදම් -17.7%

නීතිය හා සාමය - 7.8%

අධ්‍යාපනය - 21.3%

සෞඛ්‍යය - 26.6%

අනෙකුත් සුබසාධන වියදම් - 28.5%

ප්‍රජා සේවා - 3.5%

කෘෂිකර්මය හා වාරිමාර්ග - 10.1%

බලශක්ති හා ජල සැපයුම් - 6.7%

ප්‍රවාහන හා සන්නිවේදන - 21.3%

අනෙකුත් ආර්ථික සේවාවන් - 10.0%

පොලී වියදම් (දේශීය ණය) - 54.6%

පොලී වියදම් (විදේශීය ණය) - 17.4%

වෙනත් - 4.2%

එකතුව - 242.8%


ප්‍රශ්නය "පහසු කරගන්න" තවත් විස්තර ටිකක් එකතු කරන්නම්.


2020 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 5.03%

2020 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 6,999.6


2021 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 8.24%

2021 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 9,379.5


2022 අප්‍රේල් අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 24.09%

2022 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 10,730.8


මේ අනුව මේ වසරේදී විදේශීය ණය වල පොලිය සතයක්වත් නොගෙවුවත්, දේශීය ණය ප්‍රමාණය හා පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් සමස්ත පොලී වියදම පමණක් සමස්ත රාජ්‍ය අදායම ඉක්මවා යා හැකියි.

අයවැය සමතුලිත කළ යුතු ආකාරය යෝජනා කිරීම ඔබට බාරයි!




Sunday, May 1, 2022

අයවැය බොරුව


සංදර්ශනාත්මක ලෙස වසරකට වරක් ලංකාවේ පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කර ගන්නවා. හැබැයි ඒ විදිහට සම්මත කරගන්නා අයවැය කියා කියන්නේ නිකම්ම නිකම් ලේඛණයක් පමණයි. ඔය සම්මත අයවැයේ විදිහට කවදාවත් වැඩ සිදු වෙන්නේ නැහැ. 

ඉදිරි වසරේ ආදායම් හා වියදම් හරියටම සතේටම ඇස්තමේන්තු කරන්න කාටවත් බැහැ. එවැන්නක් අපේක්ෂා කළ යුතුත් නැහැ. නමුත්, අයවැය ඇස්තමේන්තු හා ඇත්ත සංඛ්‍යා වෙනස් වන්නේ පහසුවෙන් හඳුනාගත හැකි පැහැදිලි රටාවකටනම්, මෙහි  තිබෙන්නේ සැලසුම්සහගත බොරුවක් මිසක් ඇස්තමේන්තු කිරීම අසීරු වීමේ ප්‍රශ්නයක් නොවන බව ඉතාම පැහැදිලියි.

පහත කොටස් උපුටා ගත්තේ ආර්ථිකය කඩා වැටෙන්න පෙර ලියා පළ කළ ලිපියකින්.

"ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ?"

මේ වන විට පසුගිය 2021 වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබෙන නිසා, එම සැබෑ සංඛ්‍යාලේඛණ වසර මුල සම්මත කරගත් අයවැය ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

ආදායම් හා ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,029යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,464යි.

මේ අනුව, ආදායම් හා ප්‍රදාන 27.9%කින් පහළ ගොස් තිබෙනවා.

බදු ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,724යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,298යි.

මේ අනුව, බදු ආදායම් 24.7%කින් පහළ ගොස් තිබෙනවා.

බදු නොවන ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 227යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 159යි.

මේ අනුව, බදු නොවන ආදායම් 29.9%කින් පහළ ගොස් තිබෙනවා.

ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 10යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 6.7යි.

මේ අනුව, ප්‍රදාන 33%කින් පහළ ගොස් තිබෙනවා.

මෙය කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් පෙන්වීම සෑම වසරකදීම සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 2020 වැනි වසරක් හා අදාළව වසංගතය ගැන කලින් දැන නොසිටි බව වැනි "සමාවට කරුණක්" ඉදිරිපත් කළ හැකි වුවත්, 2021 වසර සඳහා අයවැය ඇස්තමේන්තු හදන විට වසංගතයේ බලපෑම හොඳින්ම දන්නා දෙයක්. ආදායම් වැඩියෙන් පෙන්වන්නේ වැඩියෙන් වියදම් කිරීමේ උපක්‍රමයක් ලෙසයි.

සමස්ත වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 3,594යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 3,522යි.

මේ අනුව, සමස්ත වියදම 2.0%කින් පහළ ගොස් තිබෙනවා.

ආදායම් අඩුවීම හා කිසිසේත්ම නොගැලපෙන නමුත් වියදම්ද මෙලෙස සුළු වශයෙන් අඩු වී තිබුණත්, එසේ අඩු වී තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් කපා හැරීම නිසයි. පුනරාවර්තන වියදම් වැඩියෙන් කිරීමට අවකාශ සලසා ගනිමින් ප්‍රාග්ධන වියදම් වැඩියෙන් ඇස්තමේන්තු කර පසුව කපා හැරීමද සෑම වසරකම මෙන් සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 

ප්‍රාග්ධන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,070යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 768යි.

මේ අනුව, ප්‍රාග්ධන වියදම 28.3%කින් පහළ ගොස් තිබෙනවා.

පුනරාවර්තන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,534යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,748යි.

මේ අනුව, පුනරාවර්තන වියදම 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන්, ඇස්තමේන්තුව තරමට ආදායම් නොලැබීමේ හා ඇස්තමේන්තුව ඉක්මවා වියදම් කිරීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තුව ඉක්මවා ණය ගන්න සිදු වීමයි.

ණය අවශ්‍යතාවය:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,565යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,058යි.

මේ අනුව, ණය අවශ්‍යතාවය 31.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

දැන් පවතින අසීරු තත්ත්වය යටතේ රාජ්‍යමූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සැලසුම් කිරීමේදී කළ යුතු පළමු දෙය බොරු ඇස්තමේන්තු ඉදිරිපත් නොකළ පවතින යථාර්තය පිළිබිඹු කෙරෙන නිවැරදි ආදායම් ඇස්තමේන්තු මත පදනම්ව වියදම් ගලපා ගැනීමයි.

Saturday, March 26, 2022

IMF වාර්තාව මොකක්ද?


මේ වන විට IMF වාර්තාවක් සංසරණය වෙනවා. මෙය IMF එකෙන් ණය ගැනීම සඳහා ඇති කරගත් ගිවිසුමක කෙටුම්පතක් නෙමෙයි. සාමාන්‍යයෙන් වසරකට වරක් සාමාජික රටවල ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කරලා IMF එක විසින් නිකුත් කරන උපදේශන වාර්තාව. මෙය රටේ ප්‍රශ්නයක් තිබුණත් නැතත් සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. ඒ වගේම, මෙය උපදේශනයක් මිසක් ගිවිසුමක් හෝ කොන්දේසි දැමීමක් නෙමෙයි. 

ණය ලබා ගැනීම සඳහා එකඟ වී ගිවිසුමක් ගහන එක මීට වඩා පුළුල් හා සංකීර්ණ වැඩක්. එහිදී IMF එක රටේ ආර්ථිකය ගැන මීට වඩා ගැඹුරු ලෙස අධ්‍යයනය කර වඩා පුළුල් හා නිශ්චිත ක්‍රියා මාර්ග යෝජනා කරනවා. එය වැඩි කාලයක් ගත වන වැඩක්. සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර සිදු වූ සංවාදය අනුව මම හිතුවේ තිරයෙන් පසුපස යම් ක්‍රියාවලියක් සිදු වී ඇති බවයි. එහෙත්, දැන් පෙනෙන විදිහට ඒ කතාබහ සිදු වී තිබෙන්නේ මේ උපදේශන වාර්තාව සම්බන්ධව වගෙයි පෙනෙන්නේ. 

ඒ කියන්නේ IMF එකෙන් ණය ගන්න වැඩේ ඒ තරම්ම හදිසියෙන් වෙන්නේ නැහැ කියන එකයි. IMF ණය හදිසියේ එන්නේ නැහැ කියා කියන්නේ ඩොලරයක මිල ඉතා ඉක්මණින් ස්ථාවර වෙන්නෙත් නැහැ කියන එකයි. දැන් පේන විදිහට ඩොලරයක මිල රුපියල් 300 ඉක්මවන එක රජය හෝ මහ බැංකුව විසින් වලක්වන පාටක් නැහැ. ලබන සතියේ හරියටම බලමු. 

ඩොලරයක මිල ස්ථාවර වනු ඇත්තේ කවදා හෝ දවසක IMF එක සමඟ ඇති කර ගන්නා ගිවිසුම පිළිබඳව නිශ්චිත හා විස්තරාත්මක ප්‍රකාශයක්  කිරීමෙන් පසුව පමණයි. තවමත් රුපියල පාවෙන්නේ නැති බවත් එය යම් මාර්ගෝපදේශනයක් යටතේ අවප්‍රමාණය වෙමින් තිබෙනු පමණක් බවත් මතක තබා ගත යුතුයි. ඇතැම් විට මිල ඉහළ යාමට ඉඩ හැර මහ බැංකුව විසින් වෙළඳපොළෙන් සංචිත මිල දී ගනිමින් සිටිනවා විය හැකියි. එසේ වෙනවානම් එය සාධනීය දෙයක්.

රටේ කාගේ හරි අතේ සල්ලි නැති වුනාම තියෙන දෙයක් උගස් කරලා හරි ණයක් ගන්න වෙන්නේ බැංකුවකින්. බැංකු වලට මේ වැඩේම වුනාම ණයක් ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. මේ වෙද්දී මහ බැංකුවත් බංකොලොත්. මහ බැංකුව සතුව උගස් කළ හැකි දෙයක්වත් නැහැ. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය!

ගුවන් යානයක යද්දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ වෙලාවක අනික් අයට උදවු කරන්න කලින් මුලින්ම කළ යුත්තේ තමන් ඔක්සිජන් මාස්ක් එක දාගන්න එක. දැන් මහ බැංකුව ඉන්නෙත් ඒ වගේ අඩියකට වැටිලා. රට ගැන, බැංකු ගැන බලන්න කලින් මහ බැංකුවේම ණය ආපසු ගෙවන විදිහ ගැන හිතන්න වෙනවා. මීට මාස හත අටකට පෙර මහ බැංකුවේ විදේශ වත්කම් වලින් විදේශ බැරකම් පියවලා මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්න පුළුවන්කම තිබුණත් දැන් එහෙම කරන්න පුළුවන් තත්ත්වයක්වත් නැහැ. 

මහ බැංකුව විසින් බැංකු වලට එන ඩොලර් එකතු කර ගනිමින් සිටිනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. එයින් ඩොලරයක මිල ඉහළ යන්නේ වුවත්, අවසාන වශයෙන් ඩොලරයක මිල පාලනය කර ගැනීමට උදවුවක් විය හැක්කේ එසේ එකතු කර ගන්නා සුළු හෝ ඩොලර් ප්‍රමාණයයි. 

අරමුදලේ උපදේශන වාර්තාව ණය ගිවිසුමක් නොවෙතත් එයින් ලංකාවේ ආර්ථිකය ගැන IMF එක හිතන විදිහ ගැන දළ අදහසක් ගන්න පුළුවන්. එහි තිබෙන ප්‍රධාන යෝජනා මොනවද?

1. රජයේ ආදායම් වැඩි කර ගැනීම හරහා රාජ්‍ය අයවැය පරතරය අඩු කර ගැනීම. මේ සඳහා ආදායම් බදු හා වැට් බදු අනුපාතික ඉහළ දැමීම හා බදු පදනම් පුළුල් කර ගැනීම. බදු වලින් නිදහස් කිරීම් හැකිතාක් අවම කිරීම. ඉන්ධන මිල හා විදුලි බිල් පිරිවැය හා ගැලපෙන පරිදි මිල සූත්‍ර හඳුන්වා දීම. 2024 වන විට ප්‍රාථමික හිඟය ශුන්‍ය කර ගැනීම. දූෂණ අඩු කර ගනිමින් යහපාලනය සවිමත් කිරීම. රාජ්‍ය මූල්‍යනය සම්බන්ධ පාරදෘශ්‍යභාවය හා වගවීම වැඩි කිරීම. 

2. තිරසාර ලෙස ණය කළමනාකරණය කරගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීම. කලට වෙලාවට ණය ආපසු ගෙවීම සුදුසුයැයි අරමුදල සිතන නමුත් ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය සීමා කර ගැනීම මගින් පමණක් ණය කලට වේලාවට ගෙවිය හැකි වේද යන්න පිළිබඳව අරමුදල සැක පහළ කරයි. 

3. මේ වන විට ඉහළ ගොස් ඇති උද්ධමනය එම ඉහළ මට්ටමෙහි දිගටම නොපැවතෙන පරිදි මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම. මුදල් අමාත්‍යාංශය සමඟ කතාබහ කර මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කර ගැනීම.

4. විණිමය අනුපාතය සැලසුම් සහගත ලෙස ක්‍රමයෙන් ඉහළ යන්නට සලස්වා අවසානයේදී එය ඉල්ලුම සැපයුම මත තීරණය වීමට ඉඩ හැරීම. කෙසේ වුවද, එකවර විශාල ලෙස මිල ඉහළ යාම වැළැක්වෙන පරිදි, අනෙකුත් වෙනස්කම් කරන අතර මෙය පියවරෙන් පියවර කළ යුතුයි. එයට සමාන්තරව දේශීය නිෂ්පාදනයට බාධාවක් වන ආනයන සීමාවන් ඉවත් කළ යුතුයි.

5. ඉහත වෙනස්කම් නිසා පීඩාවට පත් වන සමාජයේ පහළ ස්ථාවර වල පීඩාවන් අවම වන පරිදි සමාජ ආරක්ෂණ වියදම් වැඩි කිරීම හා ඉලක්කගත ලෙස වැඩි පිරිසකට සහන ලැබෙන පරිදි පුළුල් කිරීම. දැනට දදේනියෙන් 0.4%ක් පමණක් වන සමාජ සංරක්ෂණ වියදම් පවතින්නේ ලංකාවේ මට්ටමේ වෙනත් රටවලට සාපේක්ෂව පහළ මට්ටමකයි.

මේවා පසුගිය දෙසැම්බරයේ පැවති තත්ත්වය අනුව සිදු කර තිබෙන යෝජනා. ණය ලබා දීමේ ගිවිසුමක කොටස් නෙමෙයි. එහෙත් ණය ලබා දෙන ගිවිසුමකට මේ දේවල් ඇතුළත් විය හැකියි. මේ දේවල් කරන්න ගිහින් ලංකාවට කෙළවෙයිද? IMF එක මේ හදන්නේ ලංකාවට කෙළවන්නද?

Saturday, January 22, 2022

සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගහන හැටි...


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ ගිහින්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 12.1% මට්ටමට ගොස් තිබුණා. මහ බැංකුව කියන විදිහට මේ විදිහට මිල මට්ටම ඉහළ යන්නේ "සැපයුම් සාධක" නිසා මිසක් සල්ලි අච්චු ගැසීම නිසා නෙමෙයි. 

සැපයුම් සාධක නිසා මිල මට්ටම් ඉහළ යද්දී මුදල් වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන සේ මුදල් සැපයුම වැඩි නොකළොත්, සැපයුම් සාධක නිසා ඉහළ ගිය මිල නැවත පහත වැටී උද්ධමනය සෘණ පැත්තට යා යුතුයි. එහෙත්, ඉහළ යන මුදල් ඉල්ලුම හා ගලපමින් මුදල් සැපයුම වැඩි කළොත් ඉහළ ගිය මිල ඒ මට්ටමේම නවතිනවා. ඒ නිසා, උද්ධමනය පහළ ගියත් සෘණ පැත්තට යන්නේ නැහැ. 

මහ බැංකුව කියන විදිහට, මිල මට්ටම ඉහළ යන්නේ සැපයුම් සාධක නිසානම්, ඔය දෙකෙන් කොයි එක වුනත් ඉතා ඉක්මණින් උද්ධමනය අඩු විය යුතුයි. මොකද උද්ධමනය අඩු වීමෙන් අදහස් වෙන්නේ මිල මට්ටම ඉහළ යන වේගය අඩුවීම මිසක් මිල අඩු වීම නොවන බැවින්. ඒ නිසා, මහ බැංකුව කියන්නේ ඇත්තද කියලා බලා ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

ආණ්ඩුව විසින් අළුතෙන්ම රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. කියන විදිහට මේ අමතර වියදම් නිසා සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වෙන්නේ නැහැ. වියදම් කරන බව කියන්නේ අයවැයෙන් වෙන් කළ වෙනත් ප්‍රතිපාදන කපලා ඒ හරහා ඉතිරි වන සල්ලි වලින්. කපන්නේ මොන වියදම්ද කියන එක පැහැදිලි නැහැ. කියන විදිහටම කෙරුණත් නැතත් අයවැය හිඟය තව දුරටත් ඉහළ නොදැමිය යුතුය යන ස්ථාවරයට එන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මේ බතල කොළ කටින් හිටවන ඒවා පමණක්ද? 

පසුගිය 2021 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් උපයාගෙන තිබෙන ආදායම රුපියල් බිලියන 1,156.5ක් පමණයි. අයවැය සම්මත කර ගනිද්දී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව වසර තුළ ලැබීමට තිබුණු ආදායම රුපියල් බිලියන 2,029ක්. මේ අනුව, මාස දහයක් අවසාන වෙද්දී උපයාගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ අදායමෙන් 57%ක් පමණයි. ඇස්තමේන්තු නිවැරදිනම් අවසන් දෙමස තුළ රුපියල් බිලියන 872.5ක් ලැබී තිබිය යුතුයි.

අයවැය ඇස්තමේන්තු අනුව, 2021 වසරේ රජයේ වර්තන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,534ක්. පළමු මාස දහය තුළ වර්තන වියදම් සේ වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,319.0ක්. ඒ කියන්නේ ඇස්තමේන්තු කළ වියදම් වලින් 91.5%ක්ම පළමු මාස දහය තුළ වියදම් කරලා. වර්තන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ වියදම්. අවසන් මාස දෙක තුළ වියදම් කළේ රුපියල් බිලියන 215ක් පමණක්ද?

ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ? 

අයවැයෙන් යෝජිත රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1,070ක් වුවත් පළමු මාස දහය තුළ සිදු කර තිබෙන රාජ්‍ය ආයෝජන ප්‍රමාණය එයින් 38.6%ක් හෙවත් රුපියල් බිලියන 412.8ක් පමණයි. ඇස්තමේන්තු කර තිබුණු ඉතිරි ආයෝජන අවසන් මාස දෙක තුළ සිදු වුනා කියා හිතන අයෙකු ඉන්නවාද?

ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා රාජ්‍ය අයවැය කියා කියන්නේම සංදර්ශනාත්මක බොරුවක් පමණයි. අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,563ක් පමණයි. එහෙත්, සාමන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් ඇස්තමේන්තු වැඩි කර පෙන්වන නිසා ආයෝජන වියදම් සේ වෙන් කරන ප්‍රතිපාදන කපා හැරීමෙන් පසුවද රජය නඩත්තු කිරීම සඳහා ඇස්තමේන්තු කරනවාට වඩා ණය ගන්න වෙනවා. ඇස්තමේන්තුව අනුව, ණය ගැනීමට නියමිතව තිබුණේ පහත ආකාරයෙනුයි.

ශුද්ධ විදේශ ණය - රුපියල් බිලියන 99ක් (විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 507ක් අවශ්‍ය නිසා මුළු එකතුව රුපියල් බිලියන 606ක්).

දේශීය ණය රුපියල් බිලියන 1,466ක්. මෙයින් බැංකු අංශයෙන් ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 310ක්. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් තවත් රුපියල් බිලියන 60ක්. ඉතිරි රුපියල් බිලියන 1,086 බැංකු නොවන අංශ වලින් ගන්නා ණයයි.

ඇත්තටම සිදු වී තියෙන්නේ කුමක්ද?

පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 2,226.7කින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තුළ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුණු රුපියල් බිලියන 1,563ක ණය ප්‍රමාණයට වඩා 14.7%කින් වැඩියි. අවසන් මාස දෙක තුළ, මේ වැඩිපුර ගත් ණය ආපසු ගෙවලාද?

පළමු මාස දහය තුළ පමණක් විදේශ ණය ඉහළ යාම රුපියල් බිලියන 464.20ක්. එම කාලය තුළ දේශීය ණය ඉහළ යාම රුපියල් බිලියන 1,762.40ක්. 

පළමු මාස 11 තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක්. එයින් රුපියල් බිලියන 1,124.80ක් කෙළින්ම මහ බැංකුවෙන් ගත් ණයයි. 

රජයට ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශිකයන්ට විකිණූ විට රජයට ලැබෙන්නේ රුපියල් වුවත් රටට ඩොලර් ලැබෙනවා. එහෙත්, පසුගිය වසර තුළ සිදු වී තිබෙන්නේ විදේශිකයන් සතු වූ රුපියල් බිලියන 6.9ක පමණ වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින්ද රුපියල් බිලියන 5.1ක ප්‍රමාණයක් විකුණා දමා එම මුදල් ආපසු රැගෙන යාමයි. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් රජයට කෙළින්ම ඩොලර් ලැබෙනවා. එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා රජයට අයවැය ඇස්තමේන්තුව අනුව අමතර රුපියල් බිලියන 60ක් හොයා ගැනීම කෙසේ වුවත් රුපියල් බිලියන 34.6ක් ආපසු ගෙවන්න සිදු වී තිබෙනවා.

ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී ඇති පසුබිමක රජය විසින් ප්‍රධාන වශයෙන්ම අයවැය හිඟය පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1,879ක පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙනුයි. මෙයින් රුපියල් බිලියන 330ක් පමණ ණය අරගෙන තිබෙන්නේ දෙසැම්බර් මාසය තුළයි. ඒ අනුව, පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 1,548ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුනා ණය අරගෙන තිබෙනවා. එම කාලය තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක් බව කලින් කිවුවනේ. ඒ කියන්නේ රජයට ඩොලර් ණය ගන්න බැරි වී තිබෙනවාක් මෙන්ම උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමටද හැකි වී නැහැ. 

පවතින වාතාවරණය යටතේ විණිමය අනුපාතය ඉහළ නොයවා වෙළඳපොළෙන් ඩොලර් වලින් ණය ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ නොදමා උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමේ හැකියාවද මේ වන විට ගිලිහෙමින් තිබෙනවා. විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි නොකරන්නේනම් හා අයවැය හිඟය පාලනය කර නොගන්නේනම් මේ වන විට රජය සතු එකම විකල්පය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණයි. 

විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි කළහොත් ඒ හේතුව නිසාම අයවැය හිඟය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එහෙත්, එසේ නොකළා කියා ප්‍රශ්නයෙන් ගැලවී සිටින්න පුළුවන් වෙන්නේ උද්ධමනය විශාල ප්‍රශ්නයක් බවට පත් වන තුරු පමණයි. උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් තව තවත් ණය ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. 

පසුගිය සතියේ රජය ඩොලර් මිලියන 100ක සංවර්ධන බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කළත් 8%ක පමණ විශාල පොලී අනුපාතයක් ගෙවීමේ පොරොන්දුව යටතේ වුවත් විකුණා ගත හැකි වූයේ ඩොලර් මිලියන 11ක පමණ ප්‍රමාණයක් පමණයි. ඩොලර් වලින් පොලී ගෙවන්නට රට ඇතුළේ ඩොලර් හැදෙන්නේ නැති නිසා මේ වෙලාවේ කිසිවෙකු පොන්සි ක්‍රීඩාවකට එළැඹී අවදානමක් ගන්න බයයි.

මේ වන විට රජයට භාණ්ඩාගාර බිල්පත් විකුණා දේශීය වෙළඳපොළෙන් මාස තුනකට රුපියල් ණය ගත හැක්කේත් 8.5% පමණ පොලියකටයි. මහ බැංකුව විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන වාණිජ බැංකු වලට හා ප්‍රාථමික අලෙවිකරුවන්ට විකුණන විට මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. එහෙත්, ඇත්තටම මෙහිදී වෙන්නේ සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගැසීමක්ම තමයි.

මාස තුනකට රජයට 8.5% පොලියට ණය දෙන වාණිජ බැංකු විසින් ඔවුන් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියා  දිනපතා මහ බැංකුවෙන් 6.5% පොලියට ණය ගන්නවා. මේ වැඩෙන් වාණිජ බැංකු වලට (හා අනුබද්ධ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට) කෙළින්ම 2%ක "කොමිස් මුදලක්" ලැබෙනවා. අන්තිමට වක්‍ර ලෙස රජයට ණය දෙන්නේ මහ බැංකුවම තමයි. ඒ කියන්නේ අච්චු ගහන සල්ලි!

ඔය විදිහටනම් දේශීය වෙළඳපොළෙන් ඕනෑ තරම් ණය ගන්න පුළුවන්. ඇයි සල්ලි තමන්ගේ සල්ලිත් නෙමෙයිනම්, 2%ක ලාබයකුත් ලැබෙනවානම් කවුද වැඩේට අත නොගහන්නේ. හැබැයි ඔය අවස්ථාව සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.

පසුගිය සතියේ පමණක් ඔය ක්‍රමයට රුපියල් බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් විකිණුවා. ඕකෙන් 2%ක් කියා කියන්නේ රුපියල් බිලියන දෙකක්. කෝටි දෙසීයක්!

දැන් රජය 8.5% පොලියට ණය ගන්නවා. මහ බැංකුව 6.5% පොලියට ණය දෙනවා. ඒ ණය ගන්න අය 8.5% පොලියට රජයට ණය දෙනවා. ලැබෙන එකම වාසිය, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගහලා නැහැ!

ඔය භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් කෙළින්ම මිල දී ගත්තානම් 8.5% පොලිය ලැබෙන්නේ මහ බැංකුවට. ඒ පොලිය මහ බැංකුවේ ලාබ වලට එකතු වෙලා, ඒ ලාබ භාණ්ඩාගාරයට යවද්දී නැවත රජයටම ලැබෙනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේ නැහැ. දැන් වෙන්නේ එයින් 2%ක් අඩු වෙන එක පමණයි. 

මේ අඩුවත් එකතු වෙන්නේ අයවැය හිඟයටයි. උද්ධමනයට තිබෙන බලපෑම කොහොමටත් ඒ විදිහටම තියෙනවා. මොකද සංඛ්‍යාලේඛණ කොහොම වුවත් අච්චු ගහපු සල්ලි සංසරණයට එකතු වෙලා. ඒ කියන්නේ උද්ධමන බද්දක් ලෙස ඔය 2%ත් ගෙවන්න වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට.

ආර්ථිකය වැඩ කරන්නේ ගිණුම්කරණ මූලධර්ම අනුව නෙමෙයි. හොඳ ගණකාධිකාරීවරයෙකුට ගිණුම් නැවත සකස් කරලා පාඩු ලබා ඇති බව පෙනෙන ආයතනයක් ලාබ ලබා ඇති බව පෙන්වන්න පුළුවන්. අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. එහෙම කරලා රජයට ගෙවන බදු අඩු කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.  සංඛ්‍යාලේඛණ කියන්නේ ඇත්ත තත්ත්වය බලා ගන්න යොදාගත හැකි දර්ශක මිසක් ඇත්ත තත්ත්වය නොවන නිසා සංඛ්‍යාලේඛණ මොන විදිහෙන් හෝ වෙනස් කළත් ඇත්ත තත්ත්වය එලෙසමයි.

නිල සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,343ක් පමණයි. සංඛ්‍යාලේඛණ වලට එකතු නොවන කොටස රුපියල් බිලියන 543ක්. ඒවත් අච්චු ගහපු සල්ලිම තමයි! 

පළමු මාස එකොළහ තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,526ක් බවත් එයින් රුපියල් බිලියන 1,125ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුවෙන් බවත් කලින් කිවුවනේ. එතකොට අනෙක් බැංකු වලින් අරන් තියෙන්නේ රුපියල් බිලියන 401ක් පමණයි. මේ වෙද්දී වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් 6.5% පොලියට ණයට ගන්න මුදල රුපියල් බිලියන 543ක්. 

ඒ කියන්නේ, සෘජුව හෝ වක්‍රව රජයේ අයවැය හිඟය මුළුමනින්ම වාගේ පියැවෙන්නේ මහ බැංකුවේ සල්ලි වලින්. සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ. 

රුපියල් බිලියන 543න් 2%ක් අරගෙන 365න් බෙදලා බලන්න. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?

එක්තරා පුද්ගලයෙක් මහ බැංකුව ඇරෙන වෙලාවට මහ බැංකුව ඉදිරිපිටට ඇවිදින් මහ බැංකුවේ නිලධාරීන්ට හා පවුල් වල අයට හෙණ ඉල්ලනවා. සාප කරනවා. මේක රූපවාහිණි නාලිකාවක මාධ්‍ය සංදර්ශනයක් හෝ කාගේ හෝ සැලසුමක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඔයිට වඩා පිරිසක් ඔය වැඩේම කරන දවසක් වුනත් එන්න පුළුවන්!

https://www.facebook.com/hirunews/videos/226901726198633/

Wednesday, January 19, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)

මෙය මෙම ලිපි මාලාවේ පළමු අදියරේ අවසන් ලිපියයි. ඉන් පසුව, දෙවන අදියරේ ලිපිද කොටස් වශයෙන් පළ කිරීම අපේක්ෂාවයි. පළමු අදියරෙහි අප විස්තර කරන්නේ ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ඓතිහාසික මූලයන් පිළිබඳවයි. දෙවන අදියරෙන් අප මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය විග්‍රහ කරනවා. විසඳුම් ගැන කතා කෙරෙනු ඇත්තේ තෙවන අදියරෙහිදී. 

ලංකාවේ ආර්ථික අර්බුදයට මුල් වූ පාදක හේතුව රාජ්‍ය අයවැය හිඟය බවත්, එය නිදහස ලැබූ තැන් පටන්ම වර්ධනය වූ හිඟයක් බවත්, රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ප්‍රශ්නයට දායක වී ඇති බවත් අප දැනටමත් දන්නවා. කෙසේ වුවත්, රාජ්‍ය අයවැය හිඟය සමඟ ලංකාව විශාල කාලයක් ඉදිරියට ගියා. වත්මන් ආර්ථික අර්බුදයට රාජ්‍ය අයවැය හිඟයේ දායකත්වය අමතක කළ නොහැකි වුවත්, එය ආසන්න හේතුව නෙමෙයි. ආසන්න හේතුව දළ වශයෙන් 2010 වසරේදී ලංකාව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේයැයි කිව හැකි පොන්සි ක්‍රීඩාවයි. 

ලිපි මාලාවේ පළමු අදියර අවසන් කිරීමට පෙර අපි මේ පොන්සි ක්‍රීඩාව හොඳින් අවබෝධ කර ගනිමු. 

පහත වගුවෙහි පෙන්වා තිබෙන්නේ 2021 තෙවන කාර්තුව අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයයි. මෙම ණය වලට රුපියල් ණය මෙන්ම ඩොලර් ණයද ඇතුළත්. සංසන්දනය කිරීමේ පහසුව පිණිස සියළුම ණය රුපියල් වලින් මෙන්ම ඩොලර් වලින්ද පෙන්වා තිබෙනවා.


ඉහත සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ රාජ්‍ය ණය වලින් විදේශ ණය තිබෙන්නේ 37.9%ක් පමණයි. ඉතිරි 62.1% දේශීය ණය. කෙසේ වුවත්, විදේශයන්ට ණය වී තිබෙන්නේ ලංකාවේ රජය පමණක් නෙමෙයි. පහත පළ කෙරෙන ඊළඟ වගුව දෙස බැලූ විට මේ බව පැහැදිලි වෙනවා. 

ලංකාවේ සමස්ත විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ඩොලර් මිලියන 54,012ක හිඟයක්. මේ හිඟයෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය ණය නෙමෙයි. කෙසේ වුවත්, වගු දෙකම එක්ව ගෙන කියවූ විට සමස්ත චිත්‍රය දැකිය හැකියි.

මධ්‍යම රජයේ දේශීය ණය එම ණය ලබාගත් මූලාශ්‍රය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ මහ බැංකුවෙන් ලබාගත් ණය, අනෙකුත් වාණිජ බැංකු වලින් ලබාගත් ණය හා බැංකු නොවන අංශ වලින් ලබා ගත් ණය ලෙස. මෙයින් පළමු කාණ්ඩ දෙක උද්ධමනාත්මක මූලාශ්‍ර. 

රජයට ණය දෙන මේ කණ්ඩායම් තුනම මේ වන විට ශුද්ධ වශයෙන් ලෝකයට ණයයි. අර කපුගේ කියන්නේ "පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය" කියලා. ඒ වගේ, ලංකාවේ මධ්‍යම රජය දේශීය ණය ලබා ගන්නා මූලාශ්‍ර තුනම මේ වෙද්දී ශුද්ධ වශයෙන් ලෝකයට ණයකරුවෝ. ඉතිං මහ බැංකුවට වුනත්, අනෙකුත් බැංකු වලට වුනත්, රටේ අනෙකුත් අංශ වලට වුනත්, රජයට තවත් ණය දෙන්න වෙන්නේ ලෝකයට තවත් ණය වෙලා. එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි කරලා.

මහ බැංකුවෙන් පටන් ගනිමු. පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය (ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය) ඩොලර් මිලියන 747ක්. මහ බැංකුව රජයට දී තිබෙන ණය වල ඩොලර් අගය මිලියන 9,166ක්. ඒ කියන්නේ මහ බැංකුව විසින් තමන් සතු මුළු සේසතම රජයට ණයට දීලා තවත් ඩොලර් මිලියන 747ක් ණයට අරගෙනත් දීලා තියෙනවා. මෑතකදී අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම් ආදිය තියෙන්නේ ඔය ගොඩේ. රජය බේරගන්න ගිහින් දැන් මහ බැංකුවත් ලෝකයට ණයකරුවෙක්!

වාණිජ බැංකු දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය කතාවමයි. වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,998ක්. වාණිජ බැංකු වලින් රජයට දී තිබෙන ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 19,806ක්. ඔය ණය වලින් කොටසක් වාණිජ බැංකු විසින් රජයට ලබා දී තියෙන්නේ ලෝකයට ණය වෙලා. ලංකාවේ වාණිජ බැංකු විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ආදිය තිබෙන්නේ ඔය ගොඩේ.

අනෙකුත් අංශ දිහා බැලුවත් කතාව ඕකමයි. අනෙකුත් අංශ වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 19,110ක්. ඇත්තටම ඔය ණය වලින් සැලකිය යුතු කොටසක් රජයටම සම්බන්ධ ආයතන වල විදේශ ණය. ඒ ප්‍රමාණය වෙනම හොයා ගන්න නැති නිසා, අපි මුළු ණය ප්‍රමාණයම ගත්තත්, අනෙකුත් අංශ වලින් රජයට දී තිබෙන ණය වල ඩොලර් වටිනාකම මිලියන 23,887ක්. 

දැන් පැහැදිලියිනේ කතාව. ලංකාවේ සන්දර්භයේ රටේ කවුරු හෝ විසින් ලබාගත් විදේශ ණය අවසාන වශයෙන් වියදම් කර තිබෙන්නේ රජය විසින්. සංඛ්‍යාලේඛණ වල තිබෙන රජයේ දේශීය වලින් සැලකිය යුතු කොටසක් වක්‍ර ලෙස විදේශ ණයම තමයි. 

පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය වන ඩොලර් මිලියන 54,012 මධ්‍යම රජයේ ණය වලින් 63.5%ක්. මේ ප්‍රතිශතය සංඛ්‍යාලේඛණ වල දැකිය හැකි දේශීය ණය ප්‍රතිශතය වන 37.9%ට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටසත් මෑත කාලයේදී උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ලබාගත් ණය. ඒ කියන්නේ අච්චු ගැසූ හෝ මවනු ලැබූ සල්ලි. 

දැන් මෙයින් කියැවෙන කතාව කුමක්ද? 

ලංකාවේ රජය විසින් මේ ආකාරයෙන් අත දිග හැර වියදම් කර තිබෙන්නේ රට තුළ කිසිදා නූපයූ ආදායම්. එක්කෝ රටේ කවුරු හෝ විසින් ගත් විදේශ ණය. එහෙම නැත්නම්, අච්චු ගහපු සල්ලි. හැබැයි මේ සල්ලි වැය කර තිබෙන්නේ කවුරු හෝ විසින් නිපදවූ දේවල් මිල දී ගෙන පරිභෝජනය කරන්න. ඒ වෙනුවෙන් කිසිදා නොගෙවූ මිල කවදා හෝ ගෙවන්නම වෙනවා. ලොතරැයි ක්‍රීඩාවක ජයග්‍රාහකයෝ පමණක් ඉන්න බැහැ!

මේ තත්ත්වය අහම්බයක් නෙමෙයි. සැලසුමක කොටසක්. ඕක තමයි 2010 සිට ලංකාවේ සාර්ව-ආර්ථික ආකෘතිය. නැති සල්ලි වියදම් කිරීම හා ඒ ණය ගෙවන්න වෙද්දී ඊටත් වඩා වැඩියෙන් නැති සල්ලි වියදම් කිරීම. ලෝකයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය ගොඩක් පොඩි නිසා ඔය වගේ පොන්සි ක්‍රීඩාවක් යම් කාලයක් කරන්න පුළුවන්. 

මෙහිදී මේ පොන්සි ක්‍රීඩාව ආරම්භ වුනේ 2010දී කියා නිශ්චිත ලෙස කියන්නේ කොහොමද? ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය නඩත්තු වුනේ නිදහස ලැබූ තැන් සිට. ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියේ 1964දී. එතැන් සිටම ලංකාවට ගෙවුම් ශේෂ අර්බුද ආවා. හැබැයි 2010 වන තුරුම මෙය අනිවාර්යයෙන්ම බිඳ වැටෙන පොන්සි ක්‍රීඩාවක තත්ත්වයට පත් වුනේ නැහැ.

පහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ 1960 සිට ලංකාවේ රාජ්‍ය ණය හා විදේශ ණය ඉහළ ගිය ආකාරය. මේ විදේශ ණය සියල්ලම සෘජු ලෙස රජයේ ණය නොවූවත්, වක්‍ර ලෙස රජයේ ණයම බව මම මදකට පෙර පැහැදිලි කළා. සියලුම සංඛ්‍යා තිබෙන්නේ 2020 ඩොලර් වලින්. ඒ නිසා, කාලයත් සමඟ මුදල් ඒකක වල අගය වෙනස් වීමේ බලපෑමක් මෙහි පෙන්වන්නේ නැහැ.


මම හිතන්නේ රූප සටහන දෙස බැලූ විට 2010න් පසුව 2011 වසරේදී එක වර සිදු වන වෙනස හඳුනා ගන්න අපහසු නැහැ. 1980-1987 කාලය තුළත් ශුද්ධ විදේශ බැරකම් ඉහළ යනවා. එහෙත් මේ කාලය නැවත ආපසු නොයන දිගුකාලීන ආයෝජන රටට පැමිණි කාලයක්. එම ආයෝජන වලින් රට තුළ ඩොලර් උල්පත් හැදෙනවා. ඒ නිසා, 1987න් පසුව රටේ ශුද්ධ විදේශ බැරකම් දිගින් දිගටම ඉහළ යන්නේ නැහැ. 2006 වසර පමණ දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි. 

ලංකාවේ පළමු ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් හොයාගෙන ඩොලරයේ මිල පාලනය කරන්න පටන් ගත් 2007න් පසුව 2008දීත්, දෙවන ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් ලබාගත් 2009න් පසුව 2010දීත් රටේ ශුද්ධ විදේශ බැරකම් යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, ලොකුම වෙනසක් දැකිය හැක්කේ 2010දී ඩොලර් බිලියනයක තෙවන ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කිරීමෙන් පසුව 2011දීයි. 

එම වසර තුළ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය 2020 ඩොලර් වලින් මිලියන 12,817 සිට 24,757 දක්වා දෙගුණයකින් ඉහළ යනවා. නාමික ඩොලර් වලින් බැලුවොත් 2010 අවසානයේදී මිලියන 12,817ක් වූ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 25,718 දක්වා ඩොලර් මිලියන 12,900කින් වැඩි වීමක්. ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර ණය ගනිද්දී ඩොලර් බිලියන 13කින් පමණ රටේ විදේශ ණය වැඩි වුනේ කොහොමද?

මේක තමයි පොන්සි ක්‍රීඩාව. එහෙම නැතුව මේක ගත්ත ණය ඵලදායී ලෙස ආයෝජනය නොකිරීමේ හෝ හොරකම් කර ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්න කොහොමටත් තිබෙනවා. නමුත්, මේ හිරවීම හිර වුනේ පොන්සි ක්‍රීඩාවක් පටන් ගත් නිසා. ප්‍රශ්නය ගොඩින් බේරාගෙන "වේදනාවක් නැතිව" ගැලවෙන්න අමාරු ඒ නිසයි. මොකද ලොතරැයි ක්‍රීඩාවක පරාජයන් නැතිව ජයග්‍රහණ පමණක් තියෙන්න බැහැ. මේ තත්ත්වය නිවැරදිව තේරුම් නොගෙන අවුල ලෙහන්න බැහැ.



ඉහත පෙන්වා තිබෙන්නේ 2006-2020 අතර ලංකාවේ විණිමය අනුපාතය කළමනාකරණය කළ ආකාරය. 2007 වන තුරු පුළුවන් තරම් කාලයක් මෙය රුපියල් 107 පමණ මට්ටමක තියාගෙන හිටියා. මේ විදිහට විණිමය අනුපාතය එක තැන තියා ගෙන ඉඳිද්දී සංචිත හිඳෙනවා. සංචිත හිඳෙද්දී ඩොලරය එම මට්ටමේ තියාගෙන ඉන්න බැරි වුනා. 

ඉන් පසුව, 2007දී පළමු ස්වෛරිත්ව බැඳුම්කරයෙන් ඩොලර් මිලියන 500ක් හොයාගෙන කොහොම හරි ඩොලරය රුපියල් 113 මට්ටමේ හිර කර ගත්තා. ඉන් පසුව, 2011 වන තුරුම ඩොලරය නිදහස් කළේ නැහැ. ඔය කාලය තුළ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවත් ඩොලර් මිලියන 1,500ක් ගන්න වුනා. හැබැයි ඩොලරය 113 මට්ටමේ තියා ගත්තේ ඒ සල්ලි වලින් නෙමෙයි. ඩොලර් මිලියන 1,500කින් එවැන්නක් කරන්න බැහැ. 

මේක කළේ අර මම කියපු පොන්සි ක්‍රීඩාව හරහා. රුපියල ඩොලරයට සාපේක්ෂව 3.00%කින් අධිප්‍රමාණය වූ 2010 වසර මෙහිදී විශේෂයි. මින් පසු රුපියල තව දුරටත් දිගින් දිගටම අවප්‍රමාණය නොවන බවත්, එය අධිප්‍රමාණය වනු ඇති බවත් මේ කාලයේදී මහ බැංකු අධිපතිවරයා කෙළින්ම කිවුවා. එවැන්නක් වෙළඳපොළට ලබා දෙන සෘජු සංඥාවක්. කිවුවා වගේම මහ බැංකුව මෙය කරලත් පෙන්නුවා. 

මේ කාලයේදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන කෙනෙකුට අවදානමක් නැතිව 8%ක පමණ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තිබුණා. ඩොලර් රුපියල් කර ආයෝජනය කරන කෙනෙකුට තවත් 3%ක් ලැබෙනවා. එතකොට 11%ක්. ඔය කාලය වන විට ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලිය 0.3%කටත් වඩා අඩුයි. ඒ කියන්නේ පොලියක් නැහැ වගේ. යුරෝපයේ තත්ත්වයේ වුනත් වැඩි වෙනසක් තිබුණේ නැහැ. එහෙම තියෙද්දී 11%ක ප්‍රතිලාභයක් ලැබෙන තැනකට සල්ලි ගේන්නේ නැත්තේ කවුද? 

රුපියල කඩා වැටීමේ අවදානමක් මෙතැන තිබුණා තමයි. හැබැයි 11%ක් ලැබෙද්දී ඒ අවදානම ගන්න ගොඩක් අය බය වෙන්නේ නැහැ. මේ කිවුවේ විදේශිකයන්ගේ පැත්තනේ. ලංකාවේ බැංකු වල පැත්තෙන් තත්ත්වය කොහොමද? 

ඇමරිකාවේ හා යුරෝපයේ තැන්පතු වලට බැංකු පොලියක් ගෙවන්නේම නැති තරම් නිසා ලංකාවේ බැංකු වලට 2-3%ක පොලියක් ගෙවලා පහසුවෙන් ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ණය ගැනීම කියා කිවුවේ ඩොලර් ගිණුම් වලට තැන්පතු එක්රැස් කර ගැනීම ගැනයි. ඊට පස්සේ ඒ ඩොලර් රුපියල් කරලා 8% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල දාලා 5-6%ක ලාබයක් ලබන්න පුළුවන්. තැන්පතු ආපසු ගෙවද්දී 3%ක් අඩුවෙන් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා ලාබය 8-9% තරම් ඉහළයි. ණයට ගන්න ඩොලර් රුපියල් කරලා පෞද්ගලික අංශයට ණය විදිහට දුන්නොත් තවත් ලාබයි. විදේශ බැංකුවකින් ණය ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට වුනත් මේ වාසියම තියෙනවා.

දැන් මහ බැංකුව විසින් ලංකාවේ වාණිජ බැංකු විසින් හා පුළුවන්කමක් තිබෙන අනෙක් සියලුම ආයතන හා පුද්ගලයින් විසින් ණයට ඩොලර් ගැනීමට පොළඹවන වාතාවරණයක් හදලා. ඒ වගේම විදේශිකයින් ඩොලර් ලංකාවට ගෙනත් රුපියල් වලින් ආයෝජනය කරන වාතාවරණයක් හදලා. ඔය ක්‍රම දෙකටම රටට ඩොලර් එද්දී විණිමය අනුපාතය නිකම්ම පහළ වැටෙනවා. 2011දී ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වුනේ ඔය ක්‍රමයටයි.

ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට රටට එන හැම ඩොලරයක් වෙනුවෙන්ම 10%ක පමණ අමතර ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව රටින් එළියට යා යුතු වීමයි. විණිමය අනුපාතිකය නොවෙනස්ව තිබෙන තාක් මේ විදිහට එකතු වන ප්‍රතිලාභ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය වෙනවා. ඒ ඩොලර් වලටත් පොලිය හැදෙනවා. ඒ නිසා, එසේ එළියට යා යුතු ඩොලර් ඇත්තටම රටේ නොතිබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඩොලර් විදේශිකයන්ගේ වත්කම් ලෙස ගිණුම් වල තිබෙනවා. නමුත්, ඔවුන්ට රටින් පිටට ගෙන යා හැකි පරිදි ඇත්තටම රටේ ඩොලර් නැහැ. සියළුම ගිණුම් හිමියෝ එකවර බැංකුවට ගියොත් දෙන්න සල්ලි බැංකුවක නැහැ වගේ. 

පොලී ආදායම් හා රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ලෙස විදේශිකයන් ලංකාවෙන් උපයන ඩොලර් ගිණුම් වල සටහන් වුනත් ඒ ඩොලර් කොහෙන්වත් රටට එන්නේ නැහැනේ. රට ඇතුළේ රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්නත් බැහැ. ඒ නිසා, රටේ විදේශ ණය වලින් කොටසක් ආපසු ගෙවිය හැක්කේ තවත් ණය අරගෙනම පමණයි. මේ කොටස ආපසු ගෙවිය හැකි වෙනත් ක්‍රමයක් නැහැ. 

එහෙමනම්, අඩු වශයෙන්, රටට පැමිණි ඩොලර් ආපසු ගෙවිය හැකි ලෙස රටේ ඉතිරි වෙනවද?

විණිමය අනුපාතය හිර කරගෙන සිටිද්දී, රටට එන ඩොලර් රටේ ඉතිරි වෙන්නෙත් නැහැ. මේ සන්දර්භයේදී ඩොලර් ණයට ගන්න කෙනෙක් එය කරන්නෙම ඩොලර් රුපියල් කරන්න බලාගෙන. ඩොලර් විදිහටම තියා ගත්තොත් අතින් පාඩුයි. මොකද රුපියලට සාපේක්ෂව ඩොලර් එක බහිනවා. ඒ නිසා, ඩොලර් අතේ තියෙන අය ඒ ඩොලර් කීයකට හෝ විකුණලා දමනවා. සමතුලිතතාවයක් ඇති වෙන්නේ මේ ඩොලර් මොන ක්‍රමයකින් හෝ රටින් එළියට ගියොත් පමණයි. ඒ නිසා, අනිවාර්යයෙන්ම ආනයන ඉහළ යනවා.

සෛද්ධාන්තිකව සිදු විය යුතු මේ ආනයන ඉහළ යාම ප්‍රායෝගිකවද සිදු වී ඇති බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙනවා. 2009දී ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 10,207 පමණයි. 2010 වෙද්දී මෙය ඩොලර් මිලියන 13,451ක් වෙනවා. 2011 වෙද්දී ඩොලර් මිලියන 20,269ක් දක්වා ඉහළ යනවා. මේ විදිහට දෙවසරක් තුළ ලංකාවේ ආනයන වියදම දෙගුණ වෙන්නේ කොහොමද? 

මේක වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය එක රැයකින් වෙනස් වූ නිසා හෝ දේශීය නිෂ්පාදන වලට තැන නොදීම නිසා හෝ නෙමෙයි. මම විස්තර කරපු පොන්සි ක්‍රීඩාව නිසා. 2011 වසර තුළ රජයේ විදේශ ණය ඩොලර් මිලියන 2,203කින් ඉහළ යද්දී රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,900කින් වැඩි වෙන්න හේතු වෙන්නෙත්, ඊට සමානුපාතිකව ආනයන ඉහළ යන්නේත් ඔය පොන්සි ක්‍රීඩාව නිසා.

අන්තිමට රටට කිසිදා නොආ, එහෙත් ලංකාව විසින් ගෙවිය යුතු, ඩොලර් ප්‍රමාණය වගේම රටට පැමිණි ඩොලර් ටිකත් රටේ නැහැ. ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය වෙද්දී රටේ අපනයන කර්මාන්ත වර්ධනය අඩාල වී ඒ හරහා ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණයකුත් අහිමි වෙලා. ඔය දේවල් වෙද්දී මහ බැංකුව කොච්චර කිවුවත් ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න කොහොමටවත් බැහැ කියන එක මේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි වෙනවා. එවිට ඔවුන් කරන්නේ වහාම තමන්ගේ ඩොලර් රටින් ඉවත් කර ගැනීමයි. ඒ ඩොලර් රුපියල් කරලානම් ඉතා ඉක්මණින් නැවත ඩොලර් කරගෙන රටින් ඉවත් කර ගන්නවා. මෙහිදී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 

ලංකාවට 2012දී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා කෙටි කලක් තුළ ඩොලරයේ මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. රුපියල් 113 මට්ටමේ වසර හතරක් පමණ රඳවාගෙන සිටි ඩොලරයේ මිල රුපියල් 130 මට්ටමට වැටුණා. හැබැයි පරණ සෙල්ලම නැවතුනේ නැහැ. එය නැවත පටන් ගත්තා. පොන්සි ක්‍රීඩකයෝ නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වුනා. 

වසර තුනක් ගොස් 2014 වන විට මේ සෙල්ලම නැවතත් දුරදිග ගිහින්. රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණය අවසන් වන තුරු කොහොම හරි අල්ලාගෙන හිටියා. විණිමය අනුපාතය අවප්‍රමාණය වුනේ මැතිවරණයෙන් පසුව 2015දී. එවර ඩොලරය රුපියල් 145 පමණ මට්ටමකට ගියා.

යහපාලන ආණ්ඩුව මේ පොන්සි ක්‍රීඩාවෙන් ඉවත් වුනාද? ඒ වෙද්දී මෙය කොටි වලිගයක් වී අවසන්. යහපාලන ආණ්ඩුව පොඩ්ඩක් පරිස්සමෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩාව අත ඇරියේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර විකුණමින් ණය ගැනීම් දිගටම සිදු වුනා. ඩොලරයේ මිල 150 මට්ටමෙහි තවත් කාලයක් නඩත්තු කෙරුණා. දිගින් දිගටම වෙළඳපොළපොළට ඩොලර් පොම්ප කෙරුණු නිසා ආනයන අඩු වුනේ නැහැ. 2018දී නැවතත් හිරවුනා. ඩොලරය කෙටි කාලයක් තුළ රුපියල් 180 මට්ටමට ගියා. ඉන් පසුව, රුපියල් 180 සීමාවේ ක්‍රීඩා කරමින් සිට බෝලය මේ ආණ්ඩුවට පාස් කළා. දැන් මේ ආණ්ඩුව රුපියල් 200 සීමාවේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩාව දිගටම කරගෙන යාම සඳහා අළුත් ක්‍රීඩකයින් හොයනවා.

ලංකාවේ විනිමය ප්‍රතිපත්ති පොන්සි ක්‍රීඩාව තුළ ක්‍රීඩකයෙකුට හඳුනා ගත හැකි පැහැදිලි රටාවක් තිබෙනවා. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ අවදානම කළමණාකරණය කරගෙන දිගටම ක්‍රීඩා කළ හැකියි. රුපියල වේගයෙන් කඩා වැටී ඩොලරයක මිල ස්ථාවර වීමෙන් පසු වසර දෙක තුනක් කෙසේ හෝ එය ඒ මට්ටමේ තියා ගන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන් බය නැතුව සල්ලි දමමින් ක්‍රීඩාවට එළැඹෙනවා. රුපියල කඩා වැටීමේ අවදානම ඉහළ යද්දී ඔවුන් ක්ෂණිකව ඉවත් වෙනවා. එය කළ නොහැකි වූ අය ක්‍රීඩාවෙන් පරදිනවා. මේ ක්‍රීඩාවට ආකර්ශනය වන්නේ සූදුවට කැමති සමපේක්ෂකයින් මිසක් සැබෑ ආයෝජකයන් නෙමෙයි. ක්‍රීඩාවේ පසුබිමේ වෙනම මානයක භූ දේශපාලනයද ක්‍රියාත්මක වෙනවා.

එජාපය හෝ සජබෙ මේ පොන්සි ක්‍රීඩාවට අකැමැති හෝ විරුද්ධ නැහැ. ඔවුන් ආණ්ඩුවට කරන විවේචනය වන්නේ ආණ්ඩුව ක්‍රීඩාව හොඳින් නොකරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හරහා පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන දවස ප්‍රමාද කරගත හැකියි. හැබැයි මුලින් කී පරිදි, පොන්සි ක්‍රීඩාවක් දිගටම හැමදාම පවත්වා ගෙන යන්න බැහැ. 

සරල විග්‍රහයක සිටින ජවිපෙට මේ කිසිවක් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. විසඳුමක් තිබිය හැක්කේ ප්‍රශ්නය ගැන අවබෝධයක් ඇත්නම් පමණයි. ප්‍රශ්නය ගැන අවබෝධයක් තිබුනත් එය ප්‍රශ්නයක් සේ නොදැකීම හෝ නොදැක්කා සේ සිටීම මේ ආණ්ඩුවේ ප්‍රශ්නයයි. එජාපය මේ ක්‍රීඩාවෙහි ප්‍රශ්න දැක්කත් සමස්ත ක්‍රීඩාවම ප්‍රශ්නයක් සේ දකින්නේ නැහැ.

මෙය මේ ලිපි මාලාවේ පළමු අදියරෙහි අවසන් මෙන්ම වැදගත්ම කොටසයි. ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කළ හැකි නමුත්, මීටත් වඩා සරලව හෝ කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. මෙතෙක් ලියා ඇති දේ නිරවුල්ව තේරුම් ගැනීමට කාලයක් තබා අර්බුදයේ වත්මන් දිශානතිය ගැනත්, ගැලවිය හැකි ක්‍රමය ගැනත් කතා කිරීමට ප්‍රවේශ වෙමු. ඊට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර වෙන් වෙන්ව ගෙන ගැටළු හා විසඳුම් කතා කළ හැකි වුවත්, එය කළ හැක්කේ මූලික සාර්ව-ආර්ථික ගැටළු විසඳා ගෙන ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා අප විසින් යෝජනා කිරීමට නියමිත ප්‍රවේශය සමඟ පුළුල් එකඟතාවක් ඇති පිරිසක් සමඟ පමණයි. 

Friday, January 7, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (නවවන කොටස)


ලංකාවේ ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳ සාකච්ඡාව මෙතෙක් කේන්ද්‍රගත වුනේ රාජ්‍ය ණය අර්බුදය වටා. මෙය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. ආසන්න වශයෙන් නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූ, ප්‍රධාන වශයෙන්ම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඇති වූ, ප්‍රශ්නයක්. 1972 වන විටත් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.2%ක් දක්වා ඉහළ ගිහින්.

වසරින් වසර එක දිගටම අයවැය හිඟයක් නඩත්තු කළ ලංකාව, මහ බැංකුව පිහිටවූ තැන් පටන්ම, අයවැය හිඟය පියැවීම පිණිස සල්ලි අච්චු ගහන එක දිගින් දිගටම කළා. මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රට ඇතුළේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වේගයෙන් රුපියල් සැපයුම ඉහළ ගියා. එහි ප්‍රතිඵලය රට ඇතුළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. එහෙත්, 1965 පමණ වන තුරුම විණිමය අනුපාතය වෙනස් නොවුණු නිසා ආනයනික භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියේ නැහැ.

දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ආනයනික භාණ්ඩ හා සේවා මිල එසේ ඉහළ නොයාමත් සිදු වෙද්දී අපනයන පහළ ගොස් ආනයන ඉහළ යනවා. රටට විදේශ විණිමය එනවාට වඩා වැඩියෙන් රටෙන් එළියට විදේශ විණිමය යනවා. නිදහස ලබද්දී ලංකාව සතුව සැලකිය යුතු විදේශ විණිමය සංචිතයක් තිබුණු නිසා කාලයක් යන තුරු මෙය ප්‍රශ්නයක් වුනේ නැහැ. එහෙත්, 1964 වෙද්දී මේ සංචිත අවසන් වුනා. 

දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා කියා කිවුවත් බොහෝ විට මිල පාලනය හරහා මේ සැබෑ මිල ඉහළ යාම නිරූපණය වෙන්න දුන්නේ නැහැ. එහෙත්, මෙසේ කිරීමේදී වෙන්නේත් රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වී ආනයනික භාණ්ඩ ඉල්ලුම ඉහළ යාමයි. 

ඒ වගේම, මෙහිදී සංචිත අවසන් වුනා කියන එකෙන් අදහස් කෙරෙන්නේ දැන් සිදු වී තිබෙනාවක් මෙන් දළ සංචිත අවසන් වීමක් නෙමෙයි. ශුද්ධ සංචිත අවසන් වීමක්. ඒ කියන්නේ ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමක්. එය සිදු වූ තැන් පටන්ම ලංකාව ලෝකයට ණයකරුවෙක්.

මේ විදිහට ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමත් සමඟ ලංකාවට මුල් වරට දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න වුනා. අර්බුදය හමුවේ 1965දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ප්‍රශ්නය විසඳුනා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගත්තත්, එයින් පසුවද ලංකාවේ අයවැය හිඟය එසේම නඩත්තු වුනා. අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන එක නැවතුනේත් නැහැ. ඒ නිසා, දිගින් දිගටම රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනත්, 1977 වන තුරු අවශ්‍ය පමණට රුපියල අවප්‍රමාණය කෙරුණේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමගි පෙරමුණු ආණ්ඩුව ආනයන පාලනය කළා. එහෙත්, එයින් සිදු වුනේ රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වීම පමණයි. ආර්ථික වර්ධන වේගයද විශාල ලෙස පහත වැටුනා.

ගෙවුම් ශේෂ ප්‍රශ්නය සඳහා විසඳුමක් ලෙස හැත්තෑ හතේ බලයට පත් වූ ජයවර්ධන රජය විණිමය අනුපාතය නිවැරදි කළා. ඒ ප්‍රශ්නය විසඳුනා. එහෙත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නයට පාදක වූ රාජ්‍ය ණය ප්‍රශ්නය එලෙසම තිබුණා. ජයවර්ධන රජය විණිමය අනුපාතය පාලනය කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගත්තත්, අයවැය හිඟය හෝ රාජ්‍ය ණය ප්‍රශ්නයක් සේ දැක්කේ නැහැ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ රජය මුල් වී ණය ගෙන ආයෝජනය කිරීමයි. මෙහි වූ උපාය මාර්ගය වූයේ අදාළ ආයෝජන වල ප්‍රතිලාභ වලින් ගත් ණය හා පොලිය ගෙවා අමතර ලාබයක්ද ලැබීමයි. 

දිගින් දිගටම අයවැය හිඟය නඩත්තු වුනා. 1989 වෙද්දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 108.7%ක් දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, කාලයත් සමඟ ණය වී කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණා. 1948-1977 යුගයට සාපේක්ෂව ආර්ථික වර්ධනය ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ නොගොස් ස්ථාවර වුනා. 

සල්ලි අච්චු ගැසීම දිගටම සිදු වීම නිසා උද්ධමනය ඉහළ යද්දී පෙර යුගයේදී මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවත් ඒ හැම විටකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැර ප්‍රශ්නය විසඳා ගත හැකි වුනා. 1977-87 කාලයේ රජය මුල් වී සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීම නිසා රටේ ශුද්ධ විදේශ බැරකම් ඉහළ ගියත් 1987-2004 අතර කාලයේ රටේ ශුද්ධ විදේශ බැරකම් එසේ විශාල ලෙස ඉහළ ගියේ නැහැ. අයවැය හිඟය දිගටම පැවතුණත් එය බොහෝ දුරට පියැවුනේ උද්ධමනාත්මක මූලාශ්‍රද ඇතුළත්ව දේශීය ණය වලින්. ඒ නිසා, අයවැය හිඟය ඉහළ යද්දී උද්ධමනයද ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයන් ඇති වුනා. ඒ හැම විටෙකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමෙන් පසු ප්‍රශ්නය විසඳුනා. කෙටියෙන් කිවුවොත්, නිදහසේ සිටම පැවති රාජ්‍ය ණය අර්බුදය එලෙසම තිබුණත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද පවතින ආකාරයේ අර්බුදකාරී මට්ටමකට ඔඩු දිවුවේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වුනේ 2004-2014 කාලය තුළ ආරම්භ කළ රුපියල අධිප්‍රමාණය කිරීමේ පරීක්ෂණය තුළයි. ප්‍රශ්නය දරුණුම අඩියකට පත් කරනු ලැබුවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදීයි. අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය 1947 සිට වර්ධනය වන රාජ්‍ය ණය අර්බුදයට සම්බන්ධ දෙයක් වුවත්, ඒ නිසාම ඇති වූ දෙයක් නෙමෙයි. මේ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීනව හදාගත් ප්‍රශ්නයක්. රාජ්‍ය ණය අර්බුදය ප්‍රශ්නයක් වුවත්, ඒ ප්‍රශ්නය සමඟම වුවත් ලංකාවට තවත් කාලයක් ඉදිරියට යා හැකිව තිබුණා. එසේ කළ නොහැකි තැනකට රට පත් වුනේ අලුතෙන් හදාගත් විදේශ විණිමය අර්බුදය නිසයි.

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයක් ඇති වීම පැවති ඓතිහාසික සන්දර්භය තුළ නිසගයෙන්ම සිදු වූ දෙයක්. ඒ බව මා විස්තර කර තිබෙනවා. ඒ හේතුව නිසා ඉදිරි කාලයේදී වුවත් රාජ්‍ය ණය අවුල ලෙහා ගන්න පහසු නැහැ. කෙටියෙන් කිවුවොත් රටේ බහුතරයක් ඒ අවුලේ පැටලී ඉන්න කැමතියි. එහෙත්, විදේශ ණය අර්බුදය එවැනි ඓතිහාසික සන්දර්භයක් තුළ හැදුනු අර්බුදයක් නෙමෙයි. එය යම් ආකාරයක අහම්බයක්. අදාළ වකවානුව තුළ වගකිවයුතු තනතුරු අතළොස්සක වෙනත් අය සිටියේනම් මේ අර්බුදය ඇති වන්නේ නැහැ. මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක්! ඉල්ලං කෑමක්!!

ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන නිදන්ගත ප්‍රශ්නය වන රාජ්‍ය අයවැය හිඟය හා එම හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම නිසා දිගින් දිගටම විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වුනා. එම පීඩනය නිදහස් වෙන්න ඉඩ නොලැබුණු විට ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වුනා. පීඩනය නිදහස් වෙද්දී රුපියලේ විදේශ අගය පිරිහුනා. හරියටම කිවුවොත් එහි වූ පිරිහීම වඩා නිවැරදිව පිළිබිඹු වුනා. ඩොලරයේ මිල දිගින් දිගටම ඉහළ ගියා එහෙත් ආර්ථිකය වර්ධනය වුනා.

මෙසේ තිබියදී, 2004-2014 කාලයේදී ලංකාව විශ්වකර්ම දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සල්ලි අච්චු ගැසීම දිගටම කරන අතර විදේශ ණය ලබා ගනිමින් ඩොලරයේ මිල ස්ථාවරව තබා ගැනීමයි. මේ අපූරු විසඳුම මගින් ලංකාවේ සාර්ව ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ අතට හරවන්න හැකි වුනා. හරියටම කියනවානම් හොඳින් ඇති බව පෙන්වන්න හැකි වුනා. ඇතැම් අය සිතනවාක් මෙන්, ඒ සඳහා බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනේ නැහැ. 

මේ අපූරු විශ්වකර්ම දේශීය විසඳුම ගැන පැහැදිලි කරන්න කලින් ඒ වන විට පැවති සාර්ව ආර්ථික සමතුලිතතාවය තේරුම් ගනිමු.

විසඳුමට පෙර යුගය 

අයවැය හිඟය: රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ. (සල්ලි අච්චු ගැසීමද දේශීය ණය වල කොටසකි. මෙහි දේශීය ණය යන්නෙන් කළේ උද්ධමනාත්මක නොවන මූලාශ්‍ර වලින් ලබා ගන්නා දේශීය ණයයි.)

උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව ඉහළ යයි. 

පොලී අනුපාතික: දේශීය ණය ඉහළ යාමට අනුරූපව ඉහළ යද්දී, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින්ද ඉහළ දමයි.

විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ යයි.

විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික ඉහළ නිසා රුපියල් වලින් වැඩි ප්‍රතිලාභයක් ලැබුණත්, විණිමය අනුපාතය ඉහළ යාම නිසා එතරම් විශාල නැත. රටේ පවතින ආයෝජන-හිතකර වාතාවරණය වැනි මූර්ත සාධක නිසා නොවේනම්, ලංකාවට ණය දීම හෝ ලංකාවේ ආයෝජනය කිරීම විශේෂයෙන් ආකර්ශනීය නැත.

ගෙවුම් ශේෂය: විණිමය අනුපාතය ඉහළ යාමට ඉඩ දීම හරහා වැඩි අපහසුවක් නැතිව සමතුලිතව පවත්වා ගත හැක.

රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය නිසා රාජ්‍ය ණය ඉහළ යයි. ඊට අමතරව ඉහළ පොලී අනුපාතික නිසාත්, ඉහළ යන විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය වැඩි වේගයකින් ඉහළ යයි.

ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා තරමක් දුරට විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වර්ධනය වෙයි. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ස්ථාවරව පවතී.

අර අපූරු විශ්වකර්ම දේශීය විසඳුමෙන් මේ හැම දෙයක්ම වඩා හොඳ අතට වෙනස් කළේ කොහොමද?

විසඳුමට පසු යුගය

අයවැය හිඟය: පෙර මෙන්ම රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ. 

විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ නොයයි. රජය මැදිහත් වී දේශීය වෙළඳපොළට දිගින් දිගටම ඩොලර් මුදා හැරීම මගින් විණිමය අනුපාතය ස්ථාවරව තබා ගනී.

විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව අඩු වුවත් විදේශ රටවලට සාපේක්ෂව තවදුරටත් ඉහළ මට්ටමක පවතී. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන නිසා ඩොලර් වලින්ද එම ඉහළ ප්‍රතිලාභයම ලැබේ. රුපියලේ මිල ඉහළ යද්දී ඩොලර් ප්‍රතිලාභ රුපියල් ප්‍රතිලාභද ඉක්මවයි. රටේ ආයෝජන-හිතකර වාතාවරණයක් නොපැවතියද, ණය ආපසු නොලැබීමේ අවදානමක් නැත්නම් ලංකාවේ ආයෝජනය කිරීම ඉතාම වාසිදායකය.

උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව දේශීය භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යයි. එහෙත්, විණිමය අනුපාතය ඉහළ නොයන බැවින් ආනයනික භාණ්ඩ වල මිල අවශ්‍ය පමණ ඉහළ නොයයි (අදාළ විදේශ රටවල පවතින උද්ධමනය අනුව පමණක් ඉහළ යයි). ඒ නිසා, පෙර යුගයට සාපේක්ෂව උද්ධමනය අඩු මට්ටමක පවතී.

ගෙවුම් ශේෂය: ආනයනික භාණ්ඩ වලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ යාම නිසා වෙළඳ ශේෂය ක්‍රමයෙන් ඉහළ යයි. එහෙත්, විදේශ ආයෝජන සඳහා ලැබෙන ඉහළ ප්‍රතිලාභ හේතුවෙන් මූල්‍ය ගිණුමට විදේශ විණිමය ලැබේ. එමගින් ගෙවුම් ශේෂය සමතුලනය කර ගත හැකිය. එසේ මූල්‍ය ගිණුමට ලැබෙන විදේශ විණිමය යොදා ගැනීමෙන්ම විණිමය අනුපාතයද ස්ථාවරව පවත්වා ගත හැකිය.

පොලී අනුපාතික: සල්ලි අච්චු ගැසීම සිදු වුවද විණිමය අනුපාතය පාලනය වී තිබීම නිසා සල්ලි අච්චු ගැසීමට අනුරූපව උද්ධමනය ඉහළ නොයයි. උද්ධමනය පාලනය කිරීමේ අවශ්‍යතාවය අඩු නිසා මහ බැංකුව විසින් පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව පහළින් තබා ගනී. විදේශ ණය විශාල වශයෙන් ලබා ගන්නා බැවින් දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් එපමණ නැත. ඒ නිසා, නාමික පොලී අනුපාතික මෙන්ම මූර්ත පොලී අනුපාතිකද පහළින් තබා ගත හැකිය. ඇතැම් විට දේශීය ආයෝජකයන්ට ලැබෙන මූර්ත පොලී අනුපාතික සෘණ අගයක් ගනී. එහෙත්, විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම හෝ අධිප්‍රමාණය වීම නිසා විදේශ ආයෝජකයන්ට තවදුරටත් ඉහළ ප්‍රතිලාභ ලැබේ.

රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය පුළුල් වීම නිසා රාජ්‍ය ණය ඉහළ යයි. එහෙත් සාපේක්ෂව පහළ පොලී අනුපාතික නිසාත්, ස්ථාවර විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය පෙර යුගයට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යයි.

ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙයි. මූර්ත පොලී අනුපාතික සෘණ මට්ටමක හෝ ඉතා අඩු මට්ටමක ඇති නිසා දේශීය ණය ඉල්ලුම හා පරිභෝජනය ඉහළ යයි. රාජ්‍ය මූලික ආයෝජන නිසාද ආර්ථිකය ප්‍රසාරණය වේ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය පහළ බසී.

කොයි තරම් අපූරු විසඳුමක්ද?

ඔබට මේ අපූරු දේශීය විසඳුමෙහි ඇති ප්‍රශ්නය පෙනෙනවද? එසේ නොපෙනෙන්නේනම් එය පුදුමයක් නෙමෙයි. මේ ප්‍රශ්නය දැකිය හැකි වූයේ ඉතා සුළු පිරිසකට පමණයි. ප්‍රශ්නයෙහි ප්‍රතිඵල පෙනෙන්නට තිබුණත්, බොහෝ දෙනෙකු තවමත් එම නරක ප්‍රතිඵල මිස ප්‍රශ්නය දකින්නේ නැහැ.

Monday, January 3, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (අටවන කොටස)

දැන් අපි මඳකට නැවතී මෙතෙක් කතාව ඉතා ඉක්මණින් සාරාංශගත කරමු. ඒ අතරම, විදේශ අංශයේ සිදු වූ දේවල් වෙතත්, ආර්ථික වර්ධන වේගය අඩු වැඩි වූ රටාවන් ගැනත් අවධානය යොමු කරමු. 

නිදහස ලබද්දී ලංකාවට රාජ්‍ය ණය ප්‍රශ්නයක් හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නිදහස ලැබීමෙන් පසුව අනුගමනය කළ ජාතික සමාජවාදී ප්‍රතිපත්ති හා ප්‍රසාරණාත්මක කේන්සියානු ප්‍රතිපත්ති හේතුවෙන් රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ක්‍රමක්‍රමයෙන් පුළුල් වුනා. 

මුල්ම ආර්ථික වර්ධන ඇස්තමේන්තු තිබෙන හා මහ බැංකුව පිහිටුවීමෙන් පසු එළැඹුණු පළමු වසර වූ 1951 වසර වන විටත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.3%ක් පමණයි. එයින් 13.6%ක් දේශීය ණය. විදේශීය ණය තිබුණේ 2.7%ක් පමණයි. 

ඒ වන විට ලංකාව සතු වූ විදේශ සංචිත ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.2%ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 23.5%කට සමාන විදේශ වත්කම් අතිරික්තයක් ඒ වන විට ලංකාව සතුව තිබුණා. නිල විදේශ සංචිත ප්‍රමාණය පමණක් වුවත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 22.3%ක්. රජයේ විදේශ ණය ප්‍රමාණය මෙන් 8.3 ගුණයක්. විදේශ ණය සියල්ල පියවා, රජයේ දේශීය ණය සියල්ලද ඩොලර් වලින්ම ගෙවුවත් තවත් නිල සංචිත විශාල ප්‍රමාණයක් ඉතුරුයි. නිල විදේශ සංචිත සැලකිල්ලට ගත් විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක වත්කම් අතිරික්තයක් ඒ වන විට රජය සතුව තිබුණා. 

ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා නිදහසින් පසුව ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනේ ඉතා සෙමින්. ඒ නිසා රටේ ආදායම් වැඩි වුනේත් ඉතා සෙමින්. ආදායම් ලොකුවට වර්ධනය නොවූ නිසා ආදායම් බදු ලැබීම් ඉහළ ගියේ නැහැ. ආනයන ආදේශනය නිසා ආනයන අපනයන බදු ආදායම් ඉහළ ගියේත් නැහැ. ඇත්තටම ටිකෙන් ටික පහළ ගියා. ඒ වගේම, සුබසාධනවාදී ප්‍රවේශය නිසා වියදම් ඉහළ ගියා. මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස අයවැය හිඟය ඉහළ ගියා. 1965 වන විට ලංකාවේ රාජ්‍ය ණය දදේනි අනුපාතයක් ලෙස 54.9% දක්වා ඉහළ ගිහින්. දේශීය ණය 45.7%ක් හා විදේශීය ණය 9.1%ක් ලෙස.

ඉහත සංඛ්‍යා ලෙස බැලූ විට වසර 14ක කාලයක් තුළ රජයේ දේශීය ණය, විදේශීය ණය මෙන්ම සමස්ත රාජ්‍ය ණයද දදේනි අනුපාතයක් ලෙස තෙගුණය ඉක්මවා ඉහළ ගොස් ඇති බව පේනවා. නමුත්, මෙයින්ද සම්පූර්ණ චිත්‍රය පෙනෙන්නේ නැහැ. 1951 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 22.3%කට වූ සමාන වූ නිල විදේශ සංචිත ප්‍රමාණය 1965 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3% දක්වා පහත වැටිලා. ඒ කියන්නේ යම් හෙයකින් නිල සංචිත එලෙසම පවත්වා ගත්තේනම් විදේශ ණය තවත් 18%කින් වැඩි වෙලා. ඒ කියන්නේ රජයේ විදේශ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 27.1%ක් වෙලා. සමස්ත රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 72.9%ක් වෙලා. 

ඔය තරම් විනාශයක් වෙන්න අවුරුදු පහළොවක් ගත වුනෙත් නැහැ. මේ කාලයෙන් වැඩි කාලයක් ලංකාව ආණ්ඩු කළේ ජාතික සමාජවාදීන්.

නිදහසින් පසු මුල් කාලයේ ලංකාව ඉතා ඉක්මණින් විදේශ සංචිත ටික නාස්ති කර ගත්තා. විදේශ සංචිත ටිකෙන් ටික අඩු වී විදේශ ණය ඉහළ ගියා. 1963 වන විටත් රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා විදේශ වත්කම් තිබුණා. 1964 වෙද්දී සංචිත වලට වඩා ණය වැඩි වුනා. රට බංකොලොත් වුනා. 

ලංකාවට විදේශ විණිමය නැති වී, ආනයන කරන්න බැරි තත්ත්වයකට වැටී, බංකොලොත් වුනේ අද ඊයේ නෙමෙයි. 1964 වෙද්දී ත් රට බංකොලොත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වීමේ ඉතිහාසයත් ඒ කාලය දක්වා දිවෙන්නක්. 1965 ජූනි 15 වෙනිදා ලංකාව පළමු වරට SDR මිලියන 30ක ණයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වුනා. ප්‍රශ්නය විසඳා ගත්තා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා තිබෙන්නේ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙසයි. අදාළ අවස්ථාවේ ප්‍රශ්නය විසඳුනත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියා කියලා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතු වන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවටත් දිගින් දිගටම නැවත නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වුනා. 

පසුගිය වසර 55ක ලංකාවේ ආර්ථික ඉතිහාසය ගෙවුම් ශේෂ අර්බුද එක්ක ඔට්ටු වන ඉතිහාසයක්. ප්‍රතිඵල මොනවා වුනත්, සිරිමාවෝගේ සමඟි පෙරමුණු විසඳුම, ජේආර්ගේ විවෘත ආර්ථික විසඳුම, චන්ද්‍රිකාගේ පෞද්ගලීකරණ විසඳුම, රාජපක්ෂ විසඳුම, යහපාලන විසඳුම ආදී සියලු විසඳුම් තුළ මේ ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යාමට දැරූ වෙනස් හා විවිධ ප්‍රවේශයන් දැකිය හැකියි. දැන් ඉදිරිපත් වී තිබෙන IMF විසඳුම හා කබ්රාල් විසඳුමත් එවැනිම ප්‍රවේශයන් දෙකක්. 

මුලින්ම 1965දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන විටත් ලංකාවේ විනිමය අනුපාතය මහ බැංකුව පිහිටුවන විට තිබුණු මට්ටමේම නොවෙනස්ව තිබුණා. විනිමය අනුපාතය ස්ථිරව තියෙද්දී රුපියල් සැපයුම වැඩි කරනවා කියන්නේ රට ඇතුළේ ඩොලර් හෝ පවුම් ඉල්ලුම වැඩි කරනවා වගේම වැඩක්. මේ රුපියල් ස්ථිර අනුපාතයකට ඩොලර් හෝ පවුම් වලට හුවමාරු කළ හැකි නිසා අලුතෙන් මුද්‍රණය කරන රුපියල් වලින් ආනයන ඉල්ලුම වැඩි කෙරෙනවා. රුපියල් ඩොලර් හෝ පවුම් වලට මාරු වෙද්දී සංචිත අඩු වෙනවා.

මේ කාලය රන් සම්මතය ක්‍රියාත්මක වූ කාලයක්. ඒ අනුව, රුපියලේ විදේශ වටිනාකම තීරණය වුනේ මහ බැංකුවේ වූ සංචිත ප්‍රමාණය මතයි. සල්ලි අච්චු ගැසීම නිසා රුපියලේ වටිනාකම අඩු වී, ආනයන වැඩි වී, සංචිත පහළ බහිද්දී රුපියලේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි රුපියල 7%කින් පමණ අවප්‍රමාණය කරන්න සිදු වුනා. එහෙත්, රජය ආදායම් ඉක්මවා වියදම් කරන එක නැවතුනේ නැති නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වුනා. එය දිගින් දිගටම අවප්‍රමාණය කරන්න සිදු වුනා. 1972 වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.2%ක් දක්වා ඉහළ ගිහින්. නිල සංචිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.4% දක්වා පහත වැටිලා. 1951 පැවති සංචිත හා සංසන්දනය කළ විට මෙය සමාන කළ හැක්කේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 91.1%ක් දක්වා ඉහළ යාමටයි. මේ වන විට ලංකාව පස් වන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිහින්. 

ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමගි පෙරමුණු රජය දැඩි ලෙස ආනයන සීමා කළා. මෙයින් රාජ්‍ය ණයද සීමා වීමක් වුනත් ආර්ථික වර්ධනය කෙරෙහි සිදු වුනේ අහිතකර බලපෑමක්. නිල විණිමය අනුපාතය කෘතීම ලෙස පහළින් තියා ගත් නිසා විදේශ ණය වල රුපියල් අගය අඩුවෙන් පෙනීමක්ද සිදු වුනා. කොහොම වුනත් සමගි පෙරමුණු පරීක්ෂණය අවසන් වුනේ ලංකාව තුළ ජාතික සමාජවාදය මුළුමනින්ම පරාජය වීමෙන්. 

හැත්තෑ හතේ වෙනසින් පසුව රුපියල "අවශ්‍ය පමණ" අවප්‍රමාණය කරනු ලැබුවා. එහෙත්, කේන්සියානු ප්‍රසාරණය කෙරෙහි විශ්වාසය තබමින් සල්ලි අච්චු ගැසීම නිසා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වුනා. ගෙවුම් ශේෂ ප්‍රශ්නත් දිගින් දිගටම ආවා. ජවිපෙ විසින් රට පුරා තේ කම්හල් ගිණි තබමින්, ට්‍රාන්ස්ෆෝමර පුපුරුවමින් ආර්ථිකය අකර්මන්‍ය කළ 1987-89 කාලයේදී ආර්ථික වර්ධනය වාර්තාගත පහළ මට්ටමකට වැටුණා. 1989දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 108.7%ක් දක්වා ඉහළ ගියා. එයින් 62%ක්ම විදේශ ණයයි. 


කෙසේ වුවත්, දිගුකාලීනව ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට ජේආර් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය උදවු වුනා. එහි ප්‍රතිලාභ දිගින් දිගටම ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. ඒ වගේම, සිවිල් යුද්ධය ආරම්භ වන තුරු, රට තුළට විදේශ ප්‍රාග්ධනයද ගලා ආවා. ජවිපෙ විසින් එක දිගට වසර තුනක් සැලසුම්සහගතව ලංකාවේ ආර්ථිකය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දදේනි වර්ධනය පහත වැටීම නිසා විදේශ ණය, එතෙක් මෙතෙක් වාර්තාගත ඉහළම අගය වූ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 62%ක් දක්වා ඉහළ ගිය 1989දීත් ලංකාව ණය පැහැර හැරීමේ අර්ථයෙන් බංකොලොත් වුනේ නැහැ. (ශුද්ධ වත්කම් අනුව බලනවානම් ලංකාව 1964 සිටම බංකොලොත් බව මා කලින් පෙන්වා දුන්නා.)

ඒ අවස්ථාවේදී ලංකාව දහ වෙනි වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ගොඩ ගියා. මේ කාලයේදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම වේගවත් වුනා. ඊට සමාන්තරව රාජ්‍ය ණය, ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි අනුපාතයක් ලෙස, තරමක් පහළ ගොස් ස්ථාවර වුනා. නැවතත් ලංකාවට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනේ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දී ආර්ථිකයේ විදේශ අංශය බිඳ වැට්ටවීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්තාගත ඉතිහාසයේ පළමු වරට ආර්ථිකය සංකෝචනය වුනු 2001 වසරේදීයි. මේ අවස්ථාවේදී විසඳුමක් ලෙස රුපියල පා කරනු ලැබුවා. ඉහත හැම අවස්ථාවකදීම ලංකාව ගෙවුම් ශේෂ අර්බුද වලින් ගොඩ ගියා.

දැන් ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයට පදනම වැටෙන්නේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේ සිටයි. මේ අර්බුදය හදාගත් අර්බුදයක්. ඒ වගේම, පහසුවෙන් විසඳාගත හැකි අර්බුදයක්. එය සැලසුම් සහගතව විසඳුවේ නැත්නම් ආර්ථිකය "කඩා වැටී" ස්වභාවික ලෙසම විසඳෙයි. කඩා වැටීම කියා කිවුවත් මෙයින් අදහස් වන්නේ හැම දෙයකම අවසානය නෙමෙයි. විණිමය අනුපාතයේ යම් නිවැරදි වීමක් පමණයි. මේ ගැන කතා කරන එක ඉදිරි කොටසට ඉතිරි කරමු.

Sunday, January 2, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හත්වන කොටස)


නිදහසෙන් පසු එක් එක් කාල වකවානු තුළ ලංකාවේ රාජ්‍ය ණය එකතු වූ ප්‍රමාණයත්, දදේනි ඉහළ ගිය ප්‍රමාණයත් පිළිබඳ සැසඳීමක් අපි පෙර කොටසෙහි සිදු කළා. 1990 පමණ වන තුරු රාජ්‍ය ණය ඉහළ ගිය අනුපාතයට දදේනි ඉහළ ගියේ නැහැ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය දිගින් දිගටම ඉහළ ගියා. සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටී ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වුනාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයේ වෙනසක් ඇති වුනා. මේ සැසඳීම තුළම අපට ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්නය වගේම ප්‍රශ්නයට විසඳුමත් හමු වෙනවා.

සාපේක්ෂව පහසුවෙන් විසඳිය හැකි හා අප මේ වියුණුව හරහා තරමක් වැඩිපුර කතා කර තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන කතා කරන එක අපි ඉදිරියට තියමු. ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද තිබෙන භයානක අඩියට වැටුණේ රාජපක්ෂ දශකය තුළදී. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය එම කාලයේ ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. 2004 වසර අවසාන වන විට එකතු වී තිබුණු රාජ්‍ය ණය ප්‍රමාණයේ අද වටිනාකම රුපියල් බිලියන 11,816ක්. රාජපක්ෂ දශකය තුළ මෙයට එකතු වුනේ තවත් රුපියල් බිලියන 2,880ක් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 24.4%ක්. 

ඉහත රාජ්‍ය ණය ඉහළ යාමට සාපේක්ෂව 2004-2014 කාලය තුළ ලංකාවේ දදේනි රුපියල් බිලියන 7,231 සිට රුපියල් බිලියන 13,438 දක්වා 85.8%කින් ඉහළ ගියා. දැන් රුපියල් වලින් (2021 සැප්තැම්බර්) බිලියන 6,207ක වැඩි වීමක්. සමහර අය කියන විදිහට රාජපක්ෂ දශකය තුළ ණය වැඩි වුනත් වත්කම් වැඩි වෙලා නැහැ. එහෙත්, මේ ගණන් අනුව බැලුවොත් ණය වැඩි වූ ප්‍රමාණය මෙන් 215% ගුණයකින් රටේ දදේනි ඉහළ ගොස් තිබෙනවා.

මෙයින් අප කියන්න හදන්නේ ඔය කාලය තුළ හොරකම්, වංචා, දූෂණ කිසිවක් සිදු නොවූ බව නෙමෙයි. යම් හෙයකින් එවැනි දේ සිදු වුනානම් එහිදී වෙන්නේත් කාගේ හෝ ආදායම් ඉහළ යාමක්. ඒ නිසා, එවැනි ආදායම් වුවත් දදේනි තුළ තියෙන්න පුළුවන්. ඒ වගේම, මේ විදිහට මේ කාලය තුළ දදේනි ඉහළ ගියේ එම කාලය තුළ ගත් ණය වල උදවුවෙන් කියන එකත් මෙයින් අදහස් වන්නේ නැහැ. පරණ ණය වලින් කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණේ මේ කාලයේ වෙන්න පුළුවන්. අපට පෙන්වන්න අවශ්‍ය කරුණ පෙන්වන්න මේ කිසි දෙයක් ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

වැදගත් කරුණ මේකයි. රාජපක්ෂ දශකය තුළ මොන විදිහකින් හෝ අද වටිනාකම අනුව රුපියල් බිලියන 6,207කින් දදේනි ඉහළ ගියා. ඒ කියන්නේ රටේ කාගේ හෝ ආදායම් එපමණකින් ඉහළ ගියා. එහෙත්, ඒ කාලයේ ඉහළ ගිය රාජ්‍ය ණය වල අද වටිනාකම රුපියල් බිලියන 2,880ක් පමණයි. එහෙමනම් වැරැද්ද කුමක්ද?

මෙහි වැරැද්ද රජය ණය වී කළ දේවල් වලින් රටේ ආදායම් ඉහළ යද්දී ඒ ආදායම් රජයේ ආදායම් නොවීමයි. රජයට එළදෙනගේ ඉස්සරහ පැත්ත. කිරි, ගොම ටික රජයෙන් පිට වෙන කාට හරි!

ප්‍රශ්නය තේරුම් ගත්තට පස්සේ පිළිතුරත් පැහැදිලි වෙනවා. කරන්න තියෙන්නේ රජය ණය වී කළ වියදම් වලින් ප්‍රතිලාභ ලැබූ අයගෙන් ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් එකතු කර ගන්න එකයි. තේරෙන බාසාවෙන් කිවුවොත් බදු වැඩි කරන එකයි! යහපාලන ආණ්ඩුව යම් තරමකින් හෝ කරන්න හැදුවේ ඔය වැඩේ. 

හැබැයි යහපාලන ආණ්ඩුව බදු අය කරපු ක්‍රමයේත් ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් මේ බදු අය කළේ ණය වල ප්‍රතිලාභ ලැබූ අයගෙන්ම නෙමෙයි. රජය ගත් ණය ආපසු ගෙවීම සඳහා බදු ගෙවීමේ වගකීම තියෙන්නේ අදාළ කාලය තුළ දදේනි ඉහළ යද්දී තමන්ගේ ආදායම වැඩි කරගත් අයටයි. ඒ වගේම, ඒ අයගෙන් බදු අය නොකර, මේ ආණ්ඩුව දැන් කරන ආකාරයට, සල්ලි අච්චු ගසා "උද්ධමන බදු" අය කරද්දී වෙන්නේත් පැත්තක සිටින පිරිසකගේ බඩට වදින එකයි. 

ණය ගෙවීම සඳහා බදු අය කළ යුත්තේ ඉහළ ආදායම් ලබන අයගෙනුයි. මෙය ධනවතුන්ගේ දේ උදුරාගෙන දුප්පතුන්ට බෙදන්න කරන සමාජවාදී යෝජනාවක් නෙමෙයි. ණය වල ප්‍රතිලාභ ලබා ගත් අය මත ණය ගෙවීමේ බරද පැටවිය යුතු බවට වන වෙළඳපොළ මූලික අදහසක්. එම බර වෙනත් අය මත පැටවීම සාධාරණ නැහැ. මෙය ප්‍රායෝගිකව කළ හැකි ආකාරය ඉදිරි ලිපියකින් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. 

ආර්ථිකයෙන් දේශපාලනයට ආවොත්, ලංකාව ගොඩ ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් තුළ පෞද්ගලික අංශයට කළ හැකි දේ කිරීමෙන් රජය ඉවත් විය යුතු බව මා පෙර ලිපියක හේතු සහිතව විස්තර කළා. දැන් මා මේ පළමු මූලධර්මයට දෙවන මූලධර්මයක්ද එකතු කරනවා. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කර උපයාගත යුතුයි. එසේ කිරීම සාධාරණ හා නිවැරදි වන්නේ ඇයි කියන එකත් දැන් මා පැහැදිලි කර අවසන්. මේ මූලධර්ම දෙකටම එකඟ නොවන දේශපාලන ව්‍යාපාරයකට ලංකාව ගොඩ දමන්න බැහැ.

රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කිරීම හරහා උපයා නොගන්නේනම් එක්කෝ දිගින් දිගටම ණය ගන්න වෙනවා. මෙය කොයි වෙලාවක හෝ අර්බුදයට යන ක්‍රමයක් බව කාට වුවත් පැහැදිලි විය යුතුයි. දෙවන ක්‍රමය සල්ලි අච්චු ගැසීමයි. එහි ප්‍රතිඵලද නැවත නැවත විස්තර කළ යුතු නැහැ. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් මේ විකල්ප හැර වෙනත් කවර හෝ විකල්පයක් කවරෙකු හෝ සතුව තිබේද?

Saturday, January 1, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හයවන කොටස)

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ නිදන්ගත ප්‍රශ්නය දිගින් දිගටම රාජ්‍ය අයවැය හිඟයක් නඩත්තු කිරීම. ඒ අයවැය හිඟයට නිදහසින් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්මාදම් වී තිබෙනවා. කොපමණකින්ද කියන එක පිළිබඳ ඇස්තමේන්තුවක්ද සිවුවන කොටසෙහි මා ඉදිරිපත් කළා. රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණයයි. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

ඒ වගේම, මේ ආණ්ඩු ජාතික සමාජවාදී ආණ්ඩු, කේන්සියානු ආණ්ඩු හා ලිබරල් ජාත්‍යන්තරවාදී ආණ්ඩු ලෙස මා වර්ග කළා. මේවා ඉරි ඇඳ වෙන් කරන්න අසීරු දළ වර්ග කිරීම්. බොහෝ ආණ්ඩු එහි ප්‍රමුඛ ආර්ථික දැක්ම අනුව එක ගොඩකට දැම්මත් වෙනත් ගොඩක ලක්ෂණත් යම් පමණකින් හෝ දකින්න පුළුවන්. ලංකාවේ ආණ්ඩු වලට ලිබරල් ජාත්‍යන්තරවාදී ලක්ෂණ එකතු වනු දැකිය හැක්කේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුවයි. ඊට පෙර ආණ්ඩු අඩු වැඩි වශයෙන් ජාතික සමාජවාදී ආණ්ඩු හෝ  කේන්සියානු ආණ්ඩු. රාජ්‍ය ණය අර්බුදයක් රටේ ඇති කළේ මේ දෙවර්ගයේ ආණ්ඩු විසිනුයි.

ජාතික සමාජවාදී ආණ්ඩු හා කේන්සියානු ආණ්ඩු රාජ්‍ය අයවැය හිඟයට දායක වුනේ එකම ආකාරයෙන් නෙමෙයි. රාජ්‍ය මූලික නිෂ්පාදනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආණ්ඩු ඒ හරහා අකාර්යක්ෂමතාවයන් දිරි ගන්වා ආදායම් අහිමි කරගත්තා. අයවැය හිඟයට මූලික හේතුව වූයේ මේ අකාර්යක්ෂමතාවයයි. මෙයින් වෙනස්ව කේන්සියානු ආණ්ඩු රාජ්‍ය මූලික ආයෝජන හරහා රටේ ආදායම් වැඩි කර ගැනීම ඉලක්ක කරමින් ආදායම් ඉක්මවා වියදම් කළා. ජාතික සමාජවාදී ආණ්ඩු යටතේ අයවැය හිඟයක් පැවතීම ඔවුන් විශ්වාස කළ ක්‍රමයේ ප්‍රශ්නයක් හා අතුරු ඵලයක් මිස එම ආණ්ඩු වලට අවශ්‍ය වූ දෙයක් නෙමෙයි. එහෙත්, කේන්සියානු ආණ්ඩු යටතේ අයවැය හිඟය පුළුල් වීම ඔවුන්ගේ සැලසුමේම කොටසක්. එම ආණ්ඩු අයවැය හිඟය ප්‍රශ්නයක් සේ සැලකුවේ නැහැ. 

මේ වන විට ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ආසන්න හේතුව අයවැය හිඟය නෙමෙයි. එය විදේශ අංශයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අප තවමත් අවතීර්ණ වී නැහැ. මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වුනේ අයවැය හිඟය හිඟය නිසා ඇති වූ හා ඇති වන්නට නියමිතව තිබුණු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ ප්‍රවේශ තුළයි. ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීන ප්‍රශ්නයක්. ඒ නිසාම, රාජ්‍ය ණය ප්‍රශ්නයට සාපේක්ෂව, විසඳා ගන්න පහසු ප්‍රශ්නයක්. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගන්නා තුරු නැවත නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු විය හැකියි.

ගෙවුම් ශේෂ ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට මෙතෙක් රාජ්‍ය ණය ප්‍රශ්නය දරුණුවට දැනී නැහැ. රාජ්‍ය ණය හෝ රාජ්‍ය අයවැය හිඟය ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් දේශීය ඉතිරි කිරීම් තිබේනම් රජයට රට ඇතුළේම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර අවශ්‍ය අරමුදල් හොයා ගන්න පුළුවන්. බොහෝ රටවල සිදු වන්නේ එයයි. එහෙත්, රට ඇතුළෙන් ප්‍රමාණවත් අරමුදල් සොයා ගත නොහැකිනම් මේ වෙනුවෙන් විශාල පොලියක් ගෙවන්න සිදු වෙනවා. ගෙවන්න සිදු වන පොලිය ඕනෑවට වඩා වැඩිනම් (විදේශ ණය ගැනීමට පෙර) මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ හැකියි. එය උද්ධමනයට හේතු වනවා තමයි. එහෙත් උද්ධමනය හරහා වෙන්නේත් වක්‍ර ලෙස බද්දක් අය කරනවා වගේම වැඩක්. උද්ධමනය දරාගත හැකි මට්ටමක තිබෙන තුරු මේ ක්‍රමයටත් අයවැය හිඟය පියවා ගන්න පුළුවන්. 

නිදහසින් පසු ලංකාවේ ඉතිහාසය තුළ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වල උච්ඡතම අවස්ථාව සේ සැලකිය හැක්කේ 1980 වසරයි. එම වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.2% දක්වා ඉහළ ගියා. උද්ධමනය 26.1% දක්වා ඉහළ ගියා. මිනිස්සුන්ට ජීවත් වීම බොහෝ අසීරු වුනත්, ආණ්ඩුව වැටුණේ නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් වසර ගණනාවක් යන තුරු එලෙසම තිබුණා. එයට එක් හේතුවක් වුනේ 1970-1977 ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති යටතේ මිනිස්සුන්ට විඳින්න සිදු වූ පීඩාවන් පිළිබඳ මතකයන් ඒ වන විටද ගිලිහී නොතිබීමයි. පැවති තත්ත්වය ඊට සාපේක්ෂව හොඳ තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් දකින්න ඇති. ගාණ කීය වුනත් කඩේ බඩු තිබුණා!

උද්ධමනය ඉහළ යාම හැම දෙනෙකුටම නරක නැහැ. එහිදී යම් පිරිසකගේ ආදායම් ඉහළ යනවා. 1980දී පීඩාවට පත් වුනේ මාස් පඩි ලබාගත් රජයේ සේවකයෝ. ඔවුන් ජූලි වර්ජනයට පෙළඹුණේ ඒ නිසා. ජූලි වර්ජනය නිසා රැකියා අහිමි වූ ඇතැම් රාජ්‍ය සේවකයින් කරන්න දෙයක් නැති කමට පටන් ගත් ඇතැම් ව්‍යාපාර අද වන විට දැවැන්ත ව්‍යාපාර බවට පත් වී තිබෙනවා. 

කොහොම වුනත්, ලංකාවට දරාගත හැකි කේන්සියානු ප්‍රසාරණයක සීමාව 1980 වසරේදී ලකුණු වුණා. ඉන් පසු වසර වලදී අයවැය හිඟය හා උද්ධමනය පාලනය කිරීමද ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ඉලක්කයක් වුනා. ඒ වගේම, මේ දෙකම යම් තරමකින් හෝ පාලනය වුනා. පසුකාලීනව පොලී අනුපාතික පහළින් තබා ගැනීමද ප්‍රමුඛතාවයක් බවට පත් වුනා. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වලට නැවත අවස්ථාවක් ලැබුණේ නැහැ. ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති කේන්සියානු ප්‍රතිපත්ති වල විකල්පය බවට පත් වුනා. මා පළමු ලිපියේ සඳහන් කළ පරිදිම මේ හැම දෙයක්ම සිදුවුනේ ඒවා සිදු වුනු ඓතිහාසික තත්ත්වයන් තුළයි. එක දෙයක් සිදු වන්නේ ඊට පෙර සිදු වූ දේවල් වල ප්‍රතිඵලයක් විදිහටයි. 

ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය අසාර්ථක වී මුළුමනින්ම ප්‍රතික්ෂේප වීමෙන් පසුව අපට දැකිය හැක්කේ රාජ්‍යමූලික ප්‍රසාරනාත්මක ආර්ථික ප්‍රතිපත්ති හා පෞද්ගලික අංශයට මුල් තැන දෙන ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති අතර සිදු වන දෝලනයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පටන් ගත් දෙවැනි ක්‍රමයේ වත්මන් ප්‍රකාශකයා රනිල් වික්‍රමසිංහ. වත්මන් සන්දර්භය තුළ පළමු ක්‍රමය බැසිල් රාජපක්ෂ-ජයසුන්දර-කබ්රාල් ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් එම ක්‍රමය ජේආර් ජයවර්ධනගේ ක්‍රමයෙන් වෙනස් වන නිශ්චිත තැනක් තිබෙනවා. ඒ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. සජිත්, චම්පික වගේ අය ඔය විකල්ප දෙක අතර ස්ථානගත වෙන්න තැනක් හොයමින් සිටින බව පේනවා. ජවිපෙ විසින් රට තුළ කලක සිටම ප්‍රතික්ෂේප වී තිබෙන ජාතික සමාජවාදී රාමුව ඇතුළට වෙළඳපොළ සංකල්ප ඇතුළු කර ගෙන පිළිසකර කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටිනවා.

ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් මත පදනම් වූ ප්‍රතිපත්තියකට ලංකාව මේ වෙද්දී මුහුණ දෙන අසමතුලිතතා වඩා පහසුවෙන් සමතුලිත කළ හැකියි. හැබැයි ඒ වෙනුවෙන්, කේන්සියානුවාදීන් විසින් ඉලක්ක කරන ආර්ථික වර්ධනය කැප කරන්න වෙනවා. ආර්ථික විද්‍යාඥයෙක් ලෙස බැලුවොත් පළමු ක්‍රමය වඩා කාර්යක්ෂමයි. හැබැයි ලංකාව කේන්ද්‍ර කරගෙන ආර්ථික ප්‍රතිපත්ති හැදීමේදී එම ප්‍රවේශය තුළ මතු වන ප්‍රශ්න තිබෙනවා. 

ලාංකිකයෙකුට කැමති වෙලාවක සංචාරය හෝ ස්ථිර පදිංචිය පිණිස ඇමරිකාවට පැමිණීමටත්, එසේ පැමිණ තමන් කැමති රැකියාවක් කරන්නත් නිදහස තිබෙනවානම් ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න පුළුවන්. එහෙත් එවැනි තත්ත්වයක් නැති බව අපි දන්නවා. ඒ නිසා, ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් තුළ ලංකාවේ භූමි මායිම් ඇතුළේ ජීවත් වීමට සිදුව ඇති කෙනෙකුට සිදුවන යහපත හා අයහපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ලංකාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. එසේ නොකරන මතවාදයකට ලංකාව තුළ දේශපාලන බලය ලබා ගන්නත් බැහැ. කෙටියෙන් කිවුවොත් ලංකාවේ රජයකට ආර්ථිකය කෙරෙහි කිසිදු මැදිහත්වීමක් නොකර වෙළඳපොළටම ඉඩ දී බලා ඉන්න බැහැ. වෙනත් කිසිදු රටක් එසේ කරන්නේත් නැහැ.

ජයවර්ධන ආණ්ඩුව කාලයේ විශාල අයවැය පරතරයක් ඇති වුනේ රට විවෘත කරපු නිසා නෙමෙයි. රට විවෘත කිරීමේ සාධනීය ප්‍රතිඵල ඉතා පැහැදිලියි. අයවැය පරතරයට හේතු වුනේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය වැනි රාජ්‍යමූලික ආයෝජන. මේ පරතරයෙන් සැලකිය යුතු කොටසක් පියවුනේ විදේශ ණය වලින්. 

කේන්සියානු තර්කනය අනුව මුලින් රජය මුල් වී වියදම් කළත් එහිදී සිදු කරන ආයෝජන වල ප්‍රතිලාභ වලින් ඒ වියදම් පියවන්න පුළුවන්. ඒ අනුව බැලුවොත් රජය ණය වෙන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. අනූව දශකයේ ආරම්භයේ සිට පැවති තත්ත්වය දෙස බැලුවොත්, රාජ්‍ය ණය ඉහළ යද්දී රටේ ආදායම් මට්ටමද සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා. විචලනය වීම් සිදු වුනත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය ස්ථාවරව තිබෙන්නේ ඒ නිසා. ආදායම් ඉපැයීම් නොසලකා හරිමින් අපට කේන්සියානු තර්කනය එකවර බැහැර කරන්න බැහැ.

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ දදේනි හතර ගුණයකින් වැඩි වුනා කියන එක රාජපක්ෂවාදීන් විසින් කියන කතාවක්. මේ කතාව බොරුවක් බවත්, විණිමය අනුපාතය පාලනය කිරීම හරහා පෙන්වා තිබෙන මායාවක් බවත්, මීට කලින් පැහැදිලි කර තිබෙනවා. හැබැයි ඔය හතර ගුණයේ කතාව පැත්තකින් තිබ්බත් ඔය වසර දහය තුළ ලංකාවේ දදේනි 86%කින් ඉහළ ගියා. මේ කාලය තුළ රාජ්‍ය ණය ඉහළ ගියේ ඊට වඩා ගොඩක් අඩුවෙන්. ආර්ථික වර්ධනය ගැන රාජපක්ෂවාදීන් කියන ජනප්‍රිය කතාව බොරු අතිශයෝක්තියක් වනවාක් මෙන්ම රාජපක්ෂ ණය පිළිබඳව රාජපක්ෂ විරෝධීන් කියන කතාවත් බොරු අතිශයෝක්තියක්. ඒ කාලයේ රාජ්‍ය ණය ඉහළ ගියත් ඊට වඩා වැඩියෙන් දදේනි ඉහළ ගියා.

ඉහත සංඛ්‍යාලේඛණ ඇතුළේත් විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ඇති වූ විකෘතියක් තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. හැබැයි ඒ විකෘතිය සැලකිල්ලට ගත්තත් ඔය කාලයේ ගත්ත ණයට වඩා සිදු වූ ආර්ථික වර්ධනය වැඩියි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ එක් එක් කාල වකවානු වල ලංකාවේ දදේනි වෙනස් වූ ප්‍රමාණය 2021 සැප්තැම්බර් මූර්ත රුපියල් වලින්. ඒ කියන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම වෙනස් වීමේ බලපෑම ඉවත් කරලා. රාජ්‍ය ණය ලෙස පෙන්වා තිබෙන්නේ අදාළ කාල වකවානු වල ගත් ණය වලට පොලී එකතු වී, විණිමය අනුපාතය සමඟ අගය වෙනස් වීමෙන් පසුව, 2021 සැප්තැම්බර් වන විට වටිනාකම.

පරණ අවුරුද්දේ අන්තිම ලිපිය විදිහට මෙය පළ කරන්න හිතාගෙන හිටියත් දන්නෙම නැතුව මැදියම් රැය පහුවෙලා. ඒ අනුව, මෙය 2022 වසරේ පළ කෙරෙන පළමු ලිපිය වෙනවා. ලංකාවට වගේම ලෝකයටත් මේ එළඹෙන වසර අභියෝගාත්මක වසරක්. අවංකවම ඉදිරි වසර දෙස ශුභවාදීව බලන එක ලේසි නැහැ. පුරෝකථනයක් ලෙස නොවුනත්, අඩු වශයෙන් ප්‍රාර්ථනාවක් ලෙස පාඨක ඔබ සැමට සුබ නව වසරක්!

Thursday, December 30, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

ඩොලර් අගය අනුව බැලුවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත්, ලංකාව කියන්නේ විශාල අයවැය හිඟයක් නඩත්තු කරන එකම රට නෙමෙයි. ලැයිස්තුවේ ලංකාවට උඩින් තවත් රටවල් ගණනාවක් ඉන්නවා. එහෙමනම්, අයවැය හිඟය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නත්, අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව කුමක්ද? 

මෙයට වඩා විස්තරාත්මක පිළිතුරක් ඉදිරි කාලයේදී සපයන තුරු දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. පළමුව, මේ අනෙක් රටවල් වලටත් අයවැය හිඟය ප්‍රශ්නයක් තමයි. වෙනස වෙනත් රටවලට අයවැය හිඟය ලංකාවට තරම් ප්‍රශ්නයක් වී නොතිබීමයි.

පළමුව, වසංගතය හමුවේ බොහෝ රටවල 2020දී අයවැය හිඟයක් ඇති වුනත්, මේ අනෙකුත් රටවල් බොහොමයක් ලංකාව මෙන් වසර 65ක පමණ කාලයක් එක දිගට අයවැය හිඟයක් පවත්වා ගෙන නැහැ. කැනඩාව, ජර්මනිය හා රුසියාව යන රටවල 2020දී අයවැය හිඟයක් පැවතුනත් පෙර වසරේදී පැවතුනේ අයවැය අතිරික්තයක්. චීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව වැනි රටවල අයවැය හිඟයක් පවතින්නේ 2008 සිටයි. ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ 2001 පමණ සිටයි. ජපානයේ 1993 පමණ සිටයි. ඉන්දියාව, ප්‍රංශය වගේ දිගුකාලයක් තිස්සේ අයවැය හිඟයක් නඩත්තු කරන රටක් ගත්තත් අයවැය හිඟ නඩත්තු කිරීමේ ඉතිහාසය ලංකාවේ තරම් පරණ නැහැ. මේ කාරණයේදීත් ලංකාවට අනෙක් බොහෝ රටවලට නැති දිගු ඉතිහාසයක්නම් තිබෙනවා!

දෙවනුව, විශාල අයවැය හිඟයක් නඩත්තු කරන අනෙකුත් බොහෝ රටවල් වලට ලංකාවට සාපේක්ෂව ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙය පළමු කරුණ සමඟද සම්බන්ධ දෙයක්. පසුගිය වසරේ අයවැය හිඟය ඉහළ මට්ටමක පැවතුනු රටවල් කිහිපයක දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතය පහත පරිදියි. 


රටක අයවැය හිඟය ඉහළ මට්ටමක තිබුණත් අඩු පොලියට ණය ලබා ගැනීමේ හැකියාව තිබේනම් ලංකාව මෙන් විෂම ණය චක්‍රයක පැටලෙන්නේ නැහැ. ඇතැම් රටවල රජයයන් සෘණ පොලී අනුපාතික වලට පවා ණය ගන්නවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තිබෙන වෙනත් රටවල රජයන්ට අඩු පොලියට ණය ගන්න හැකි වෙන්නත් ලංකාවේ රජයට එසේ කළ නොහැකි වෙන්නත් හේතු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.

පොලී අනුපාතික තීරණය වන්නේ ණය (බැඳුම්කර) වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මෙය ලංකාවට වගේම ලෝකයේ වෙනත් රටවලටත් පොදු කාරණාවක්. දේශීය ණය ඉල්ලුම එන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් හා රජයෙන්. නිවාස ඒකක වලින්ද ණය ඉල්ලුමක් එන්න පුළුවන්. රජයක අයවැය හිඟය ඉහළ යද්දී රජයේ ණය ඉල්ලුමත් ඉහළ යනවා. ඒ අනුව, සැපයුම වෙනස් නොවුනොත්, පොලී අනුපාතිකද ඉහළ යනවා.

දේශීය ණය සැපයුම තීරණය වන්නේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය මත. මේ ඉතිරි කිරීම් කරන්නේ නිවාස ඒකක විසින් හෝ ව්‍යාපාර විසින්. රජයේ අයවැය අතිරික්තයක් ඇත්නම් එයද ණය සැපයුමට එකතු වෙනවා. ලංකාව දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන නිසා මෙය බලපාන්නේ ණය ඉල්ලුමටයි. මීට අමතරව විදේශ අංශයද ණය වෙළඳපොළේ ඉල්ලුමට හා සැපයුමට බලපෑම් කරනවා.

ලංකාවේ පෞද්ගලික බැඳුම්කර වෙළඳපොළ එතරම් විශාල එකක් නෙමෙයි. ඒ නිසා, සෘජු ණය ඉල්ලුම බොහෝ දුරට එන්නේ රාජ්‍ය අංශයෙන්. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම එන්නේ වාණිජ බැංකු හරහා වක්‍ර ලෙසයි. වෙනත් කරුණු අතර, ලංකාවේ ඉහළ පොලී අනුපාතික වලින් පෙනෙන්නේ ණය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව වැඩි අසමතුලිතතාවයක් තිබෙන බවයි. 

රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණය බව මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. මෙය මා මීට පෙරද පැහැදිලි කර තිබෙන කරුණක්. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

කෙසේ වුවද, නිදහස ලැබූ තැන් පටන් 1977 දක්වා වූ කාලය තුළද රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව අප අමතක නොකළ යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1951 වසර වන විටද 16.1% මට්ටමේ පැවති ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 1976 වසර වන විට 58.5% දක්වා ඉහළ ගොස් තිබුණා. 1989 වන විට මෙම අගය 108.7% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන තෙක් ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික ස්ථායීතාවය නොසලකා හරින්න බැරි තත්ත්වයක් ඇති වුනේ ඉන් පසුවයි.


නිදහස ලැබූ තැන් සිට 1994 පමණ දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රමුඛ ඉලක්කය වුනේ ආර්ථික වර්ධනයයි. මේ කාර්යයයේදී ශ්‍රීලනිප ආණ්ඩු හා සභාග විසින් රජයේ මධ්‍යගත සැලසුම් යටතේ සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන්, ආරක්ෂණවාදී ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා. සුබසාධන වියදම්ද ඉහළ මට්ටමක පවත්වා ගත්තා. ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිළුනේ නැහැ. විදේශ ආධාර වලට අමතරව, ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමද මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා.

එජාප ආණ්ඩු හා සභාග විසින් සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවට සෘජු ලෙස රජය මැදිහත් වී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වක්‍ර ලෙස නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සිය ප්‍රතිපත්තිය කරගත්තා. පසුව රාජපක්ෂ දශකය තුළ ක්‍රියාත්මක වූයේද, දැන් බැසිල් රාජපක්ෂ විසින් හඹා යන්නේද මේ ක්‍රමයයි. මෙහිදීද ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීම මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා. සුබසාධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම ප්‍රතිපත්තියේ කොටසක් නොවූවත්, පැවති දේශපාලන වාතාවරණය තුළ සුබසාධන වියදම් දැනෙන තරමකින් කප්පාදු කළ හැකි වූයේ නැහැ. මේ ක්‍රමය තුළද ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිලීමක් තිබුණේ නැහැ වගේම විශාල අභිරුචියක් පෙනෙන්නට තිබුණා. ආදායම ඉක්මවා වියදම් කිරීම හා අයවැය හිඟය පියවීමට ණය ගැනීම ඉහත වෙනස් මාදිලි දෙකේම වූ පොදු ලක්ෂණයන්ගෙන් එකක්.

අයවැය හිඟය පුළුල් වෙද්දීත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ඉහළ යද්දීත්, ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ ගියා. එය බාධාකාරී මට්ටමට යද්දී සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමට පෙළඹීම නිසා අයවැය හිඟය පුළුල් වෙද්දී උද්ධමනයද ඉහළ ගියා. උදාහරණයක් ලෙස අයවැය හිඟය දදේනි අනුපාතයක් ලෙස 19.2% මට්ටමට ඉහළ ගිය 1980 වසරේදී 91-දින භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 13% මට්ටම දක්වා ඉහළ දමන්න සිදු වුනා. ඒ වන විට ලංකාවේ පොලී අනුපාතික කවදාවත් මෙවැනි ඉහළ මට්ටමකට ගොස් තිබුණේ නැහැ. එයින් පසුවද හිඟය පියවා ගත හැකි තරම් අරමුදල් එකතු නොවූ නිසා විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 26.1% මට්ටමට ගියා. ජූලි වර්ජනය සංවිධානය වූයේ මේ පසුබිමේ. ජූලි වර්ජනය මර්දනය කෙරුණු අතර ආණ්ඩුවට පැවතීමට මර්දනයද දිගටම පවත්වා ගන්න සිදු වුනා.

උතුරේ කැරැල්ලට හා ජවිපෙ දෙවන කැරැල්ලට හේතු වූ සාධක සංකීර්ණ වුවත් ආර්ථික සාධකද නොසලකා හරින්න බැහැ. අයවැය හිඟය පුළුල් වීමට සමාන්තරව උද්ධමනය හා පොලී අනුපාතිකද ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. බඩු මිල ඉහළ යන වේගයෙන් සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට ජීවත් වීම වඩ වඩා අසීරු වෙනවා. එහෙත්, සමාජයේ ඉහළ ස්ථර වලට මෙය එලෙසම දැනෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ නිසා ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී වියදම් වැඩි වන නමුත් ආදායම්ද සමානුපාතිකව ඉහළ යන නිසා ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ හරහා රාජ්‍ය අයවැය හිඟය විසින් රටේ ආදායම් විෂමතාවන් පුළුල් කර සමාජ අසහනය වැඩි කරනවා.

ඇතැම් අය පෙන්වා දී ඇති පරිදි මේ දවස් වල ලංකාවේ තත්ත්වය පහත අයුරින්ද විස්තර කළ හැකියි.

"මිල වැඩි උනත් මිනිස්සුන්ට අවුලක් නැහැ වගේ හැම තැනම මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්නේ හරී පුදුමයි. කොළඹ අධි සුඛෝපභෝගී වන් ගෝල් ෆේස් ශොපිං මෝල් එකට යන්න බැරි තරම් සෙනග.

එතකොට නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරී ගිහින්. ග්‍රෙගරි පාර්ක් එක ෆුල්. නුවරඑළිය ටවුන් එක ෆුලි කම්පැක්ට්. දවල් හෝටන් ප්ලෙන්ස් පාරේ ගියා ජැග්රෝ එකට. සේම්, ෆුඩ් සිට් එකේ පෝලිම. ග්‍රෙගරි පාක් එකත් ෆුල්. ග්‍රෑන්ඩ් ඉන්දියන් එකට කන්න යන්න බැරි උනේ ඉඩ නෑ ඒකේ.

සුපර් මාර්කට් වල මිනිස්සු තරගෙට බඩු ගන්නවා. කොහේ තියෙන සල්ලි ද මන්දා.

කොළඹ මීගමුව නුවර හික්කඩුව වගේ ගොඩක් සුපිරි රෙස්ටෝරන්ට් වල X'mas night dinner ටේබල් ෆුල්.

ඒ විතරක් නෙවෙයි 31st evening gala dinner සේරම වගේ දැනටම ෆුලි රිසර්වුඩ්. එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකවත් Evening Gala dinner table එකක් රිසර්ව් කරන්න 25 වෙද්දි අමාරුයි. අපි මාර කට්ටක් කෑවේ දෙසැ. 27 වෙනිදා get together dinner party එකක් දාන්න ලංකාවෙ යාලුවෝ එක්ක.

ඒ වගේම Book My Show ගිහින් Spider Man - No way home ටිකට්ස් චෙක් කරන්න. දවස් කිහිපයක් ඉස්සරහා ශෝ ටයිම් වල පවා ටිකට්ස් සෝල්ඩ් අවුට්.

ඒ වගේම ඉන්ෆිනිටි ප්ලේ කරපු පෝර්ට් සිටි එකේ ඉවෙන්ට් එක, හවුස් ෆුල්.

පේන විදියට නම් ඉහළ සහ මැද පන්තියේ අය සතුටින් ඉන්නවා. සල්ලි වියදම් කරනවා. හයිවේ පාවිච්චිය 200% කින් විතර වැඩිවෙලාලු මේ දවස් වල, රෙස්ටුරන්ට් තියෙන සර්විස් ඒරියා වලට කිට්ටු කරන්න බෑ සෙනග."

මේ විස්තර කිරීම් බොරු කියා මම කියන්නේ නැහැ. ඔය තත්ත්වයන් පෞද්ගලිකව මටත් කලින්ම නිරීක්ෂණය වී තිබුණා. මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්. ඒ පිරිස දෙස බලා සාධාරණ (generalized) නිගමන වලට එළඹෙන එක ඇතැම් පක්ෂ වල රැළි වලට සහභාගී වන සෙනඟ දෙස බලා මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කරනවා වගේ වැඩක්. දෙවනුව, රට පුරා මැතිවරණ රැළි වලට යන පිරිස් වගේම මේ හැම තැනකටම යන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඔය තැන් වල ඉන්න මුළු සෙනඟ ඒ එක් එක් තැන සිටින ප්‍රමාණයන්ගේ එකතුවට සමාන නැහැ.

සමස්තයක් ලෙස ගත් විට සල්ලි අච්චු ගසා පරිභෝජනය ඉහළ නංවා ඒ හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කේන්සියානු උපාය මාර්ගය තුළ වෙන්නේ ඔය වගේ වැඩක්. අච්චු ගහපු සල්ලි ටික සීමිත පිරිසක් අතේ කැරකෙනවා. ඒ අයගේ පරිභෝජනය ඉහළ යනවා. හැබැයි ඒ නිසා ඉල්ලුම ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙනවා මිසක් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, බහුතර පිරිස කබලෙන් ලිපට වැටෙනවා.

මතු සම්බන්ධයි.

Saturday, December 25, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)

පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා. 

ආණ්ඩුව බලයට පත් වී දෙවසරක් ගත වෙන්නටත් පෙර රුපියල් ට්‍රිලියන හතරකින් රාජ්‍ය ණය ඉහළ යාමට හේතුව මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රජය විසින් ආදායම ඉක්මවා විශාල ලෙස වියදම් කිරීම, එසේ නැත්නම් වියදම් අඩු කර නොගෙන ආදායම් අඩු කර ගැනීම, බව පැහැදිලි කරුණක්. එහෙත්, ණය මෙතරම් ඉහළ ගියේ ඒ හේතුව නිසා පමණක්ද? 

පරණ ණය ආපසු ගෙවීම සඳහා අලුතෙන් ණය ගත් විට ඒ හේතුව මත ණය ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. එහෙත් පරණ ණය වල පොලිය ගෙවීම සඳහා අලුතෙන් ණය ලබා ගත් විට ණය ඉහළ යනවා. ඩොලරයේ අගය වෙනස් වීම වැනි හේතු මත දැනට තිබෙන ණය වල වෙළඳපොළ වටිනාකම වෙනස් වූ විටද ණය  ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය ණය අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්න පුළුවන්. 

පසුගිය වසර තුළ රජය ආදායම ඉක්මවා රුපියල් බිලියන 687.4ක් වියදම් කළා. පොලී ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 980.3ක් වෙන් කළ යුතු වුනා. ඒ අනුව, අයවැය හිඟය රුපියල් බිලියන 1,667.7ක් වුනා. මීට අමතරව තිබුණු ණය වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 418.0කින් වැඩි වුනා. ඒ අනුව, ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,065.7කින් ඉහළ ගියත් වියදම් කළ හැකි මුදල් සේ රජයට ලැබුණේ එයින් රුපියල් බිලියන 687.4ක් පමණයි.

මේ වසරේ මුල් මාස නවය තුළ තවත් රුපියල් බිලියන 1,954.5කින් රාජ්‍ය ණය ඉහළ ගොස් ඇතත් එයින් රුපියල් බිලියන 606.3ක් වැඩි වී තිබෙන්නේ තිබුණු ණය වලම වටිනාකම වෙනස් වීමෙන්. අයවැය හිඟය රුපියල් බිලියන 1,328.2ක් පමණයි. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 819.5ක් පමණ පොලී වියදම් බව ඇස්තමේන්තු කළ හැකියි. පළමු මාස හත තුළ පමණක් පොලී වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 637.4ක් වැය වී තිබීම සැලකූ විට අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී අඩු වශයෙන් තවත් රුපියල් බිලියන 182.1ක් පමණ පොලී සේ නොගෙවුවා වෙන්න බැහැ. ඒ අනුව, රජයට ලැබී ඇති වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය වැඩිම වුනොත් රුපියල් බිලියන 508.7ක් පමණ. 

මුළු කාලයම සැලකුවොත් රුපියල් ට්‍රිලියන 4 ඉක්මවා රාජ්‍ය ණය ඉහළ යද්දී රජයට වියදම් කළ හැකි සේ අතට ලැබී තිබෙන්නේ එයින් 30% නොඉක්මවන කොටසක් පමණයි. ඒ නිසා, මේ මුළු මුදලම ආයෝජනය කළත් උපරිම වශයෙන් වත්කම් හැදෙන්න පුළුවන් වැඩි වූ ණය වලින් 30% නොඉක්මවන ප්‍රමාණයකින් පමණයි. 

රජය ණය ගන්නේ ආයෝජනය කරන්නම නොවන බව අපි දන්නවා. ප්‍රාග්ධන වියදම් රජයේ මුළු වියදම් වලින් 20-30% අතර ප්‍රතිශතයක්. ඒ අනුව, රජයට අයිති වත්කම් ඉහළ ගිහින් තියෙන්නේ ණය ඉහළ ගිය ප්‍රමාණයෙන් 5-10%ක් පමණක් බව කවුරු හෝ කියනවානම් එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඉතිරි 90% හෝ 95% කාගේ හෝ සාක්කුවකට ගිය බවක් හෝ නාස්ති වී ගිය බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මේ ටික පැහැදිලි කළේ කාගෙවත් මඩ හෝදන්න නෙමෙයි. බලයට පත් වෙන්න මොන බොරු කිවුවත්, බලයට පත් වෙන කාට වුනත් ඔය යථාර්තයට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලි කරන්න. හෙට බලය ගන්න කවුරු හෝ කෙනෙක් ආදායම ඉක්මවා එක සතයක්වත් වියදම් නොකළත්, ලංකාවේ රාජ්‍ය ණය වසරකට රුපියල් ට්‍රිලියන දෙකකින් පමණ වැඩි වෙන එක කෙසේවත් වලක්වන්න බැහැ. ඒ රුපියල් ට්‍රිලියන දෙකෙන් එක සතයක්වත් රජයට වැය කළ හැකි මුදල් නොවන නිසා, ණය වැඩි වූ පමණින්  කෙසේවත් අලුතෙන් වත්කම් හැදෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කර ගත්තේ ඔය වගේ තත්ත්වයක් තියෙද්දී. ඊට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව අයවැය තුලනය කරගත්තා. අපි 2017 වර්ෂය ගනිමු. රජයේ ආදායම රුපියල් බිලියන 1,839.6යි.  පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 1,837.5යි. ඒ කියන්නේ රජය රුපියල් බිලියන 2.1ක් ඉතිරි කරලා. සංසන්දනාත්මකව බැලුවොත් සොච්චමක් තමයි. හැබැයි ඒත් කීයක් හරි ඉතිරියක්නේ. පණස් ගණන් වලින් පස්සේ ලංකාවේ ආණ්ඩුවක් කවදාවත් ඔය විදිහට ආදායම් හා වියදම් තුලනය කර ගෙන නැහැ.

දැන් ඔය විදිහට රජයේ ආදායම් හා වියදම් ගලපන්න යහපාලන ආණ්ඩුවට බදු වැඩි කරන්න වුනා. රජයේ වියදම් කපන්න වුනා. ඔය වැඩ වලින් ආර්ථික වර්ධනය අඩාල වෙනවා තමයි. අඩාල වුනාත් තමයි. නමුත් එහෙම නොකර ගිය වේගෙන් වාහනේ එලෙවුවානම් වාහනේ හැප්පිලා දැන් ගොඩක් කල්. රාජ්‍ය මූලනය යම් තරමකින් පාලනය කර ගත් නිසා රට බංකොලොත් වුනේ නැහැ. හැබැයි ආණ්ඩුවට ගෙදර යන්න වුනා. 

ඔය තරම් අමාරුවෙන් විශාල කාලයකට පස්සේ අයවැය තුලනය කරගත් 2017 වසරේදීත් රුපියල් බිලියන 904කින් රාජ්‍ය ණය ඉහළ ගියා. මොකද රජයේ වසරේ ආදායම් හා වියදම් තුලනය කරගත්තත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න ණය ගන්න වෙනවා. මේ මුදල රුපියල් බිලියන 735.6ක්. ඉතිරි කරගත් රුපියල් බිලියන 2.1 ඔය වැඩේට ගෑවෙන්නවත් මදි. ඊට අමතරව ඩොලරය ඉහළ යාම ආදී හේතු නිසා තිබුණු ණය ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම ඉහළ යාමෙන්ද ණය ඉහළ ගියා. 

රාජ්‍ය ණය අඩු කර ගන්නනම් පළමුව වසරේ ආදායම් වියදම් වලට වඩා වැඩි කර ගත යුතුයි. දෙවනුව, ආදායම් හා වියදම් අතර වෙනස වසර තුළ ගෙවිය යුතු පොලී වියදම් වලට වඩා වැඩි විය යුතුයි. තෙවනුව විණිමය අනුපාතය ඉහළ යාම ආදී වෙනත් හේතු නිසා වැඩි වන ණය ප්‍රමාණය වෙනුවෙන්ද මුදලක් එකතු කර ගත යුතුයි. නුදුරු අනාගතයේදී ඔය සියල්ල කර ණය අඩු කරන එක කිසිවෙකුට නොකළ හැකි දෙයක්. පුළුවන් කෙනෙක් ඉන්නවානම් ගණන් හිලවු සමඟ පෙන්වන්න!

රාජ්‍ය අංශය තුළ සිදුවන දූෂණ, වංචා, නාස්ති වැළැක්විය යුතුයි. එය අවිවාදිත කරුණක්. හැබැයි එහෙම කළා කියලා අයවැය හිඟය අයවැය අතිරික්තයක් කරන්න බැහැ. අයවැය හිඟය අයවැය අතිරික්තයක් කර ගන්නා තුරු වසරින් වසර ණය ඉහළ යනවා. ණය ඉහළ යන විට පොලී වියදම්ද ඉහළ යනවා. අයවැය හිඟය ඉහළ යනවා. ණය තවත් වැඩියෙන් ඉහළ යනවා. ණය වැඩි වීම පාලනය කර ගැනීම කෙසේ වෙතත් ණය වැඩි වන වේගය හෝ පාලනය කරන්නනම් කෙසේ හෝ රජයේ වියදම් කප්පාදු කර ආදායම් වැඩි කර ගන්නම වෙනවා. 

පෙර ලිපියේ කතා කළ රාජ්‍ය ව්‍යවසාය වල බරින් නිදහස් වීම මේ සඳහා කළ යුතු එක දෙයක් පමණයි. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වුවත් එය කිරීම ප්‍රමාණවත් නැහැ. තවත් බොහෝ දේ කළ යුතුයි. මේ කිසිවක් දේශපාලනිකව ආකර්ශනීය දේවල් වෙන එකක් නැහැ.

රාජ්‍ය ණය ප්‍රශ්නයට හේතුව නිදහස ලැබූ තැන් පටන්ම දේශපාලනිකව ආකර්ශනීය දේවල් කළ දේශපාලන පක්ෂ බලයට පත් වීමයි. එක පැත්තකින් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක්. එයින් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැරැද්දක් කියන එක නෙමෙයි. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳින් ක්‍රියාත්මක විය හැකි පසුබිමක් ලංකාවේ නොතිබීමේ ප්‍රශ්නයක්. 

යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලාංකිකයින් පුරුදුව සිටියේ රජෙකු යටතේ පාලනය වන්නටයි. රාජ්‍ය පාලනය කෙරෙහි සාමාන්‍ය මිනිස්සු මැදිහත් වුනේ නැහැ. යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදු වුනේ රජා මාරු වීමක්. ලංකාවේ රජු හෝ රැජින වෙනුවට එංගලන්තයේ රජු හෝ රැජින. බොහෝ ලාංකිකයින්ට ඉංග්‍රීසින් එළවීම හරහා කරගන්න අවශ්‍ය වී තිබුණේ ඉංග්‍රීසි රජා වෙනුවට තමන්ගේම රජෙක් පත් කර ගන්නයි. ඔවුන් බොහෝ දෙනෙක් තවමත් කරන්නේ එයයි. ලංකාව ජනරජයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පමණයි.

අප කොයි තරම් යෝජනා කළත් රජය මත යැපෙන්න බලාගෙන ඉන්න ලංකාවේ ජනතාවට රජයෙන් නිදහස් වෙන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ. මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ආණ්ඩුවෙන් පිටත ආණ්ඩුවක් හැදීම පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබුණා. ටික කලකට පෙර පාඨකයෙක් අපෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වුනේද ප්‍රායෝගිකව රජයෙන් නිදහස් වන්නේ කොහොමද කියන එකයි. ඒ අවස්ථාවේදී අප එම ප්‍රශ්නයට සෘජු හෝ විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටකම වගේ රජය එන්න එන්නම බලවත් වෙනවා. ඒකීය පුද්ගලයෙකුට රජයෙන් ස්වායත්තව ජීවත් වීම එන්න එන්නම වඩ වඩා අසීරු වෙනවා.

වත්මන් ලෝකය තුළ රජය පහසුවෙන් මිනිස් ජීවිත වලට බලපෑම් කරන ප්‍රධානම ක්‍රමය මුදල් පාලනය කිරීමයි. ගනුදෙනු සඳහා රුපියල් භාවිතා කරන තුරු ලාංකිකයෙකුට ලංකාවේ රජයෙන් ගැලවුමක් නැහැ. ගනුදෙනු සඳහා ඩොලර් භාවිතා කරන තුරු ඇමරිකානුවෙකුට ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. ඇත්තටම ජාත්‍යන්තර ගනුදෙනු කරන වෙනත් රට වලටද ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. මිනිස් කණ්ඩායමකට රජයෙන් සෑහෙන තරමකින් නිදහස් වී රජය දුර්වල කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ගනුදෙනු අඩු නොකරන අතරම ජාතික මුදල් ඒකකය අත හැරීමයි.

ඇමරිකාවේ හා වෙනත් රටවල අඩු වශයෙන් ක්‍රම තුනකට මෙය සිදු වෙමින් පවතිනවා. බිට්කොයින් ආදී ක්‍රිප්ටෝ-මුදල්  ජනප්‍රිය වීම එක පැත්තකින් සිදු වෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය මුදල් ඒකක ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙවන ක්‍රමය සමාජවාදී ක්‍රමයක් සේ සැලකිය හැකි කාල-බැංකු ක්‍රමයයි. 

රජය විසින් කරන්නේ ජනතාව සූරාකෑමක්නම් මෙවැනි ක්‍රමයකින් රජයෙන් නිදහස් වීමේ වාසියක් තිබෙනවා. එහෙත්, ලංකාවේ සිදු වන්නේ එයම නෙමෙයි. බොහෝ දෙනෙකුට රජයෙන් තොර පැවැත්මක් නැහැ. රජය විසින් ආදායම් ඉක්මවා කරන වියදම් රටේ විශාල පිරිසක් අතර බෙදී යනවා. ණය වී තිබෙන්නේ රජය වුවත් ණයට කා තිබෙන්නේ පාලකයින් අතළොස්සක් පමණක් නෙමෙයි. ඒ වගේම, මෙය මෑතකාලීනව සිදු වූ දෙයක්ද නෙමෙයි.

පහත වගුවේ තිබෙන්නේ 2021 සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 17,051.7ට නිදහසින් පසු රට පාලනය කළ එක් එක් ආණ්ඩු දායක වී ඇති ආකාරයයි. 


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...