පසුගිය සති තුනක කාලය ඇතුළත ඇමරිකාවෙන් දෛනිකව හමුවන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයේ සීඝ්‍ර අඩු වීමක් පැහැදිලිව දැක ගත හැකියි. පසුගිය වසර මුල ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව දෛනික ආසාදිතයින් ප්‍රමාණයේ මෙවැනි සීඝ්‍ර අඩු වීමක් දැකිය හැකි වී තිබෙන්නේ පළමු වරටයි.
දෛනික මරණ ප්‍රමාණයේ ලොකු වෙනසක් තවමත් දැකිය නොහැකි වුනත් මරණ ප්‍රමාණයද අඩු වෙන්නට පටන් ගෙන ඇති බව යාන්තමින් පෙනෙනවා. සාමාන්‍යයෙන් මරණ ප්‍රමාණය අඩු හෝ වැඩි වන්නේ දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩු හෝ වැඩි වී සති තුනකට පමණ පසුවයි.
ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වීමට එන්නත්කරණය දායක වී ඇති බවට සැකයක් නැතත්, එය එකම හේතුව විය නොහැකියි. තවමත් එන්නත්කරණය කර තිබෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 8%ක් පමණයි.
ජනගහණයෙන් 8%ක් එන්නත්කරණයට ලක්ව තිබෙද්දී ජනගහණයෙන් තවත් 8%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. රට පුරා සිදු කර ඇති අහඹු ප්‍රතිදේහ පරීක්ෂා වල ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබෙන්නේ සැබෑ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගන්නා ආසාදිතයින් ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ විය හැකි බවයි. මේ අනුව, ඇමරිකානු ජනගහණයෙන් 32%කට පමණ මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබිය යුතුයි. එන්නත් ලබා ගෙන තිබෙන 8%ද එකතු කළොත් එයින් අදහස් වෙන්නේ මේ වන විට ඇමරිකාවේ ජනගහණයෙන් 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි.
ඇමරිකාව වැනි විශාල රටක සමස්තයක් ලෙස 40%කට පමණ පිරිසකට කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබෙන විට ඇතැම් ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය සාමූහික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය මට්ටමට ලඟා වී තිබිය හැකියි. ඒ අනුව, මේ වන විටද ඇමරිකාව සාමූහික ප්‍රතිශක්තිය කරා පිය නගමින් සිටිනවා වෙන්න පුළුවන්.
එක්සත් රාජධානියේද මේ ආකාරයේම රටාවක් දැකිය හැකියි. මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන් 12.3%ක් එන්නත්කරණය කර තිබෙන අතර ජනගහණයෙන් 5.5%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සැබෑ ආසාදිතයින් ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන්ද 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි පෙනෙන්නේ. පසුගිය තෙසතිය තුළ එක්සත් රාජධානියෙන් අළුතින් හඳුනා ගැනෙන දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩකින් පමණම අඩු වී තිබීම මේ කරුණ සනාථ කරනවා.