වෙබ් ලිපිනය:

Showing posts with label ලිංගික අධ්‍යාපනය. Show all posts
Showing posts with label ලිංගික අධ්‍යාපනය. Show all posts

Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


Sunday, December 10, 2017

හිරගෙදර සියල්ලේ අවසානයද? (පළමු කොටස)


දින දෙකකට පෙර (දෙසැම්බර් 7 දින) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු වූ විවාහයක් ගොසිප් ලංකා වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. මේ විවාහය මෙසේ වාර්තා කරන්නට හේතු වී තිබුණේ විවාහය සඳහා පසුබිම්ව තිබුණු සුවිශේෂී හේතුවයි. වාර්තාව අනුව මේ විවාහයේ මනාලිය ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වූ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මනාලයා වසර 37 1/2ක සිර දඬුවමක් විඳිමින් සිටින තැනැත්තෙකි. මේ ගැන ගොසිප් ලංකා පිටුවේ පළ වී ඇති අමතර විස්තර මෙසේය.

"රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය. අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය."

මේ සිද්ධිය පසුබිමෙහි මා නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් මේ කාන්තාව විසින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කලක් තිස්සේ අනවරත අරගලයක නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රතිචාරකරුවන් විසින් සැක පළ කරන පරිදි ඇගේ මේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් බටහිර රටකින් ඩොලර් නොලැබෙන බව මට සහතික කළ නොහැකි වුවත්, එසේ ලැබුණද ඒ හේතුව නිසා ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමෙක් කරන අරගලයක වටිනාකම හෑල්ලු වෙන්නේ නැත.

ලංකාවේ බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය ඉතාම ශෝචනීය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. පහතින් ඇත්තේ ඒ ගැන විස්තර කරමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා තිබුණු ලිපියක කොටසකි.

"ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.

සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය."

ලෝකයේ කවර රටක වුවත් හිර ගෙදරක ජීවිතය සුන්දර නැත. එහෙත්, ලංකාවේ තත්ත්වයට සාපේක්ෂව බටහිර රටවල බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය සෑහෙන තරම් යහපත් බව කිව යුතුය. එය දවසකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නොවේ. විශාල කාලයක් තිස්සේ ෂමිලා බක් වැනි සමාජ ක්‍රියාකාරිකයන්ගේ අරගල ආදිය හරහා ඇති වූ තත්ත්වයකි.

කිසියම් රටක නිදහස් පුරවැසියන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපිරෙන පසුබිමක් නොතිබියදී, සිරකරුවන්ගේ තත්ත්වය පමණක් යහපත් වන්නට ඉඩක් නැත. ලෝකයේ බොහෝ රටවල සමාජ ධුරාවලියේ පහළින්ම ජීවත් වන නිදහස් මිනිසුන්ගේ ජීවන තත්ත්වයද අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉහත විස්තර කර ඇති තත්ත්වයට කිසියම් අයුරකින් සමානය. ඇඳන්, මදුරු කොයිල්, මදුරු දැල් නැතිව නිදන නිදහස් මිනිසුන් ලංකාවේ වුවත් දුලබ නැත. මෙසේ ලියන්නේ සිරකරුවන් මුහුණ දෙන තත්ත්වය සාමාන්‍යීකරණය කිරීමට දරන උත්සාහයක් ලෙස නොවේ.

කිසියම් රටක සිරකරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් සලකන්නට හැකි වන්නේ ඒ පහසුකම් වල පිරිවැය දරන මිනිසුන්ට ඒ සඳහා ආර්ථික ශක්තියක් ඇති තරමටය. ඒ නිසා, බටහිර රටක හිර ගෙදරක ඇති පහසුකම් ලංකාවේ සිරකරුවෙකුට සැපයීම ඕනෑවට වඩා ලොකු ඉලක්කයකි. කෙසේවුවද, හිරකරුවන්ට හිරගෙදර අපායක් වීමට එකම හේතුව භෞතික පහසුකම් අඩුකම පමණක් නොවේ. ෂමිලා බක්ගේ පහත ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මේ තත්ත්වයයි.

"ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා."

ඉහත තත්ත්වය වෙනස් කිරීමටනම් පිරිවැය ඉහළ නැංවිය යුතු නැත. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි.

බොහෝ විට හිරගෙදරට යන්නේ එසේ යා යුතු අය වුවත් එසේ නොවන අවස්ථාද තිබේ. නිවැරදිකරුවන් හිර ගෙදරට යාම ඉඳහිට වුවත් සිදුවන දෙයකි. "දේශපාලන සිරකරුවන්" යන යෙදුම මතභේදකාරී එකක් වුවත් දේශපාලනය නිසා ඇතැම් අයට හිර ගෙදරට යන්නට සිදුවන බවද රහසක් නොවේ. චෝදනා ගොනු නොකර රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ දිනයේද උද්ඝෝෂණයක් කර තිබුණේය.

සාමාන්‍යයෙන් කිසියම් පිරිසකගේ හෝ අනුකම්පාව ලබා ගන්නා විවිධ හේතූන් මත දඬුවම් ලබන නිවැරදිකරුවන් හා දේශපාලන සිරකරුවන් පමණක් නොව කිසිවෙකුට අනුමත කළ නොහැකි සම්මත අපරාධ කර හිර ගෙදරට යන අය පවා බොහෝ විට කිසියම් ආකාරයක වින්දිතයෝය. සමාජයට වැඩදායක පුද්ගලයෙකු එක් නිමේෂයකින් දරුණු අපරාධකරුවෙකු විය හැකිය.

අපරාධකරුවෙකුට දඬුවමක් ලෙස සිරගත කර තැබීමේ අරමුණු කුමක් වුවත්, කවර අයුරකින් හෝ එවැන්නෙකු නැවත පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායක පුරවැසියෙකු බවට පත් කළ හැකිනම් එය හැම අතින්ම සාධනීය දෙයකි. විවිධ හේතු මත සමාජයට වැඩදායක මිනිසුන් දරුණු අපරාධකරුවන් වනවාක් මෙන්ම, නිසි මාර්ගෝපදේශනයක් ලැබීම නිසා දරුණු අපරාධකරුවන් සමාජයට වැඩදායක පුද්ගලයින් වී ඇති අවස්ථාද ඕනෑ තරම් තිබේ. මේ සඳහා අප බොහෝ දෙනෙකු දන්නා අංගුලිමාල චරිතය හොඳම උදාහරණයකි.

මේ දිගු පූර්විකාව ලිවුවේ නිවුයෝර්ක් සරසවියේ ආචාර්ය උපාධිය හදාරන සිසුවියක වන මිෂෙල් ජෝන්ස් ගැන ලියන්නටය. මිෂෙල් පසුගිය අගෝස්තුවේදී ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිවුයෝර්ක් සරසවියට පැමිණියේ තමන්ගේම සිවු හැවිරිදි දරුවාගේ මිනීමැරුමට වරදකාරිය වී පනස් අවුරුදු සිර දඬුවමක් ලබා, එම දඬුවම් කාලයෙන් වසර විස්සකට අධික කාලයක් සිරගෙදර ගත කර නිදහස ලැබීමෙන් දිනකට පසුවය. ඇගේ කතාව ඇමරිකානු සමාජයේ විවිධ පැතිකඩ කෙරෙහි ආලෝකය හෙළන්නකි. ඇමරිකාව වැනි රටක පවා බාලවයස්කරුවන් මුහුණ දෙන අවදානම් පිළිබඳව අවධානය යොමු කරවන්නකි.

දෙමවුපියන්ගෙන් දරුවකුට ලැබිය යුතු මාර්ගෝපදේශනය වෙනුවට කුඩා කළ සිටම ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වන මිෂෙල් එන්ග්‍රන් ජෝන්ස් බාලවයස්කාර දැරියකව සිටියදීම ආදරය සොයා කෙවින් සිම්ස් වෙත ලං වෙයි. කෙවින් සිම්ස්ද ඒ වන විට ඉහළ පංතියක පාසැල් සිසුවෙකි. මේ ආදරය දුරදිග ගොස් මිෂෙල් ගැබ් ගන්නා විට ඇගේ වයස යන්තම් අවුරුදු 14ක් වූවා පමණි. මිෂෙල්ට අනුව මේ ගැබ් ගැනීමට හේතු වූ ලිංගික එක්වීම සිදුවන්නේ ඇගේ අනුමැතියෙන් තොරවය.

ගැබ් ගැනීමෙන් පසුව මිෂෙල්ට සිදුවන්නේ වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට තවත් වැඩියෙන් ලක් වන්නටය. සිය දියණිය ගැබ් ගෙන සිටින බව දැනගන්නා මිෂෙල්ගේ මව ලී පුවරුවකින් ඇගේ උදරයට පහර දෙයි. මෙසේ ගැබිණියක ලෙසද තාඩන පීඩන වලට ලක්වන මිෂෙල් 1987 නොවැම්බර් 11 දින බ්‍රෙන්ඩන් ලෙස පසුව නම් කරන පිරිමි දරුවා වදන විට ඇගේ වයස යාන්තම් අවුරුදු 15කි. මේ දරුවා වර්ධනය අසාමාන්‍ය වීමේ නිදන්ගත ආබාධයකින්ද පෙළෙන අයෙකි.

කෙවින් සිම්ස් දරුවාගේ පීතෘත්වය පිළිගන්නා අතර දරුවාගේ භාරකාරත්වය මිෂෙල්ට හිමි වෙද්දී, කෙවින්ට දරුවා බලන්නට පැමිණීමේ අයිතිය ලැබේ. ඒ අනුව, මිෂෙල් දරුවාද සමඟ ඇගේ දෙමවුපියන් වෙත යයි. එහෙත්, කුඩා බ්‍රෙන්ඩන්ට තබා මවක් වුවත් තවමත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඒ නිවසේ නැත.

බ්‍රෙන්ඩන්ට වයස මාස හතක් වෙද්දී, ඉන්දියානාපොලිස්හි ළමා කාර්යාංශය විසින් තවදුරටත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ගේ භාරකාරත්වය පවරා ගනිමින් ඇයව නිවසින් ඉවත් කර ගනී. ඒ සමඟ, බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය ඔහුගේ පියා වූ කෙවින්ට හිමිවන අතර කෙවින් හා ඔහුගේ මව දරුවාට රැකවරණය සලසන්නට පටන් ගනී.

බ්‍රෙන්ඩන්ට වයස අවුරුදු තුනක් වෙද්දී, ඒ වන විට තවදුරටත් බාලවයස්කාරියක නොවන මිෂෙල්ට නැවතත් බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය හිමි වේ. 1992 මැයි මාසයේදී මහල් නිවාසයක ඒකකයක් (එපාර්ට්මන්ට් එකක්) බද්දට ගන්නා මිෂෙල් බ්‍රෙන්ඩන් සමඟ එහි පදිංචියට යයි. 1992 ජූලි මාසයේ දිනක මිෂෙල් ඇගේ මිතුරියක වන ඩෙබෝරා සමඟ සති අන්ත නාට්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා ඩිට්‍රොයිට් බලා පිටත් වෙයි. මෙය සැතපුම් 300ක පමණ දුරක පිහිටි නගරයකි.

ඩෙබෝරා විසින් විමසූ විට මිෂෙල් පවසන්නේ බ්‍රෙන්ඩන් බලා ගැනීම වෘත්තියක් ලෙස දරුවන් බලා ගන්නා අයෙකුට (බේබිසිටර් කෙනෙකුට) පැවරූ බවයි. මේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මිෂෙල්ගේ යෙහෙළියන්ට හා අසල්වැසියන්ට බ්‍රෙන්ඩන්ව දකින්නට නැති බව පෙනේ. දරුවා ගැන විමසන ඔවුන්ට පිළිතුරු දෙමින් මිෂෙල් පවසන්නේ දරුවා ඔහුගේ පියා සමඟ සිටින බව හෝ එසේ නැත්නම් පියාගේ මව සමඟ සිටින බවයි.

මේ අතර, මිෂෙල් විසින් වරින් වර ඇගේ මෝටර් රථයේ පිටත හා ඇතුළත නැවත නැවත සෝදන බව මිෂෙල්ගේ ඉහළ මාලයේ ජීවත් වන පදිංචිකරු නිරීක්ෂණය කරයි. මේ අතරවාරයේ දිනක මහල් නිවාස සංකීර්ණයේ කළමණාකරුට හදිසියෙන්ම දකින්නට ලැබෙන්නේ මිෂෙල්ගේ  ඒකකයේ කාමරයක ඉදිරි ජනේලයේ මැස්සන් සිය ගණනක් වසා සිටින බවයි. ඒ අනුව, නිවසට ඇතුළු වී පරීක්ෂා කරන ඇයට සැර දුර්ගන්ධයක් ආඝානය වේ. බ්‍රෙන්ඩන් විසින් මෙට්ටයේ මුත්‍රා කර ඇති බව පවසන මිෂෙල් එය පිරිසිදු කර දෙන්නට පොරොන්දු වෙයි. වසර අවසානයේදී මහල් නිවාසයෙන් ඉවත්වන මිෂෙල් ඇගේ තවත් යෙහෙළියක වන මහාලියා සමඟ පදිංචියට යයි.

මේ අතරවාරයේ බ්‍රෙන්ඩන් බලන්නට එන්නට වෙලාවක් වෙන් කර ගැනීම පිණිස කෙවින් හා ඔහුගේ මව දිගින් දිගටම උත්සාහ කරන නමුත් මිෂෙල් ඔවුන්ගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙමින් මඟ හරී. මේ ගැන සැක සිතන කෙවින්ගේ මව මහාලියාගෙන් මේ ගැන විමසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මහාලියා මිෂෙල්ව දිගින් දිගටම ප්‍රශ්න කරයි. තමන් ඩිට්‍රොයිට් ගොස් පැමිණෙන විට බ්‍රෙන්ඩන් මිය ගොස් සිටි බවත්, ඔහුගේ සිරුර පොරෝණයක දවටා සිය මෝටර් රථයෙන් ගෙන ගොස් කැලෑවට දැමූ බවත් අය මහාලියාට පවසයි. ප්‍රශ්න කිරීම් හමුවේ ඩෙබෝරාටද ඇය මීට සමාන කරුණු පවසයි.

ඩෙබෝරාගේ හා මහාලියාගේ පෙරැත්තය මත මිෂෙල් රැකියාවෙන් නිවාඩු ගෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යයි. බ්‍රෙන්ඩන්ව තනිව නිවසේ දමා ඩිට්‍රොයිට් ගොස් ආපසු පැමිණෙන විට දරුවා මියගොස් සිටි බවත්, පසුව මළ සිරුර කැලෑවට ගෙනගොස් දැමූ බවත් ඇය එහිදී පාපොච්ඡාරණය කරයි. පොලීසිය දිගින් දිගටම බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර සෙවුවත් එය හමු නොවේ. මේ සිදුවීම් වෙන්නේ 1994දීය. මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පිටවීමෙන් පසු 1995 සැප්තැම්බර් මාසයේදී නැවත රැකියාවට යන මිෂෙල් නොවැම්බර් මාසයේ දිනෙක ඇගේ මිතුරියක වන ක්ලැරිසාටද පරණ කතාවම කියයි.

"දරුව මැරුණේ උඹ ගහලද?"  ක්ලැරිසා අසයි.

"මං හිතන්නේ..." මිෂෙල් පිළිතුරු දෙයි.

මීට අමතරව දරුවාගේ මළ සිරුර දැමූ තැන ගැන තමන් පොලීසියට වැරදි තොරතුරු ලබාදුන් බවද මිෂෙල් ක්ලැරිසාට කියයි.

යමෙක් තමන් අපරාධයක් කළ බව පිළිගැනීම මත පමණක් පුද්ගලයෙකු නීතියෙන් වරදකරුවෙකු කළ නොහැකිය. ඒ සඳහා අපරාධයක් සිදුවී ඇති බව මෙන්ම, අදාළ අපරාධය එම පුද්ගලයා විසින්ම සිදුකර ඇති බවද තහවුරු විය යුතුය. බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර හමු නොවූ නිසා මිෂෙල්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් වුණේ නැත. කෙසේ වුවද, අවසානයේදී ඉන්දියානා රජය මිෂෙල්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සමත් වූ අතර 1996 ඔක්තෝබර් 22 දින චෝදනා දෙකකට වැරදිකාරිය වූ මිෂෙල් මිනීමැරුම සඳහා වසර පණහක්ද, දරුවාව නොසලකා හැරීම සඳහා වසර තුනක්ද ලෙස එකවර ගෙවී යන දඬුවම් දෙකක් ලබමින් බන්ධනාගාරගත විය.

ඉන්පසුව ඇගේ ජීවිතය ගෙවුණු ආකාරය අපි ඉදිරි කොටසින් කතා  කරමු.

Sunday, October 22, 2017

සිසුවිය ගැබ්ගෙන සිටියානම් පාසැල කළ දේ හරිද?


දරිද්‍රතාවය නිසා පාතරාසය නොගෙන පාසැල් පැමිණි දහවන වසරේ දැරියක් පාසැලේදී වමනය කිරීමෙන් පසුව ඇය ගැබිණියක වී ඇතැයි තීන්දු කර පාසැලෙන් අස්කර දැමීමේ පුවතක් ගැන මේ දිනවල සංවාදයක් ඇති වී තිබේ. පසුව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පරිදි ඇය ගැබ්ගෙන හෝ අතවරයකට ලක්වී නැත. මේ ගැන පළකෙරෙන අදහස් වැඩි ප්‍රමාණයක සාරාංශය වන්නේ දරිද්‍රතාවය නිසා කුසට අහරක් නැතිව පාසැල් පැමිණි දැරියකට බොරු චෝදනාවක් කිරීමේ ඇති වැරැද්දයි.

මෙවැනි සිදුවීම් බොහෝ විට මාධ්‍ය වල වාර්තා වන්නේ අසම්පූර්ණ ලෙස නිසා මේ කතාවේ සැඟවුණු වෙනත් පැති තව ටික දවසකින් එළියට එන්නට පුළුවන. කෙසේ වුවද, මේ සිද්ධිය පසුපස සැඟවුණු වෙනත් කරුණු තිබේද යන්න වැනි දේ වාර්තා වී ඇති සිද්ධිය පාදක කරගෙන කරන සාකච්ඡාවකට බාධාවක් නොවේ.

වාර්තා වී ඇති කතාව අනුව මේ සිද්ධියට මුහුණ දී සිටින වයස අවුරුදු 16ක් පමණ වෙතැයි සිතිය හැකි දැරිය පැය කිහිපයක "නඩු විභාගයකින්" පසුව පාසැලෙන් අස්කර තිබෙන්නේ වැරදි චෝදනාවක් කරමිනි. මට තිබෙන ප්‍රශ්නය වන්නේ ඇය ඇත්තටම ගැබ්ගෙන සිටියානම් මේ අයුරින් පාසැලින් අස්කර දැමීම වැරැද්දක් නොවන්නේද යන්නයි.

ලංකාවේ බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක්වන බව හා ඒ අයගෙන් කොටසක් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට බඳුන් වන බව රහසක් නොවේ. බොහෝ දැරියන් මේ අයුරින් අතවර වලට ලක් වන්නේ පවුලේම ඥාතියෙකු අතිනි. ඇතැම් අනවශ්‍ය ගැබ් ගැනීමක් එවැනි අතවරයක ප්‍රතිඵලයක් නොව, ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එය එවැන්නක් ලෙස සැලකුවද බාලවයස්කාර දැරියක් සමඟ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම පවා සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.

පාසැල් දැරියන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක්වීමට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමද එක් හේතුවකි. මේ හා අදාළව විෂය නිර්දේශ වල ඇති ඉතාම සීමිත කොටස් පවා බොහෝ විට පාසැල් වලින් සිසු සිසුවියන් වෙත නොලැබී යයි. කිසියම් අයුරකින් අතවරයකට ලක් වුවහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මේ දැරිය වැනි දැරියන්ට ලොකු අවබෝධයක් නැත.

කිසියම් අයුරකින් බාලවයස්කාර දැරියක් ගැබ් ගෙන සිටින බව පාසැලේ ගුරුවරුන්ට හෝ විදුහල්පතිට දැනගන්නට ලැබුණු විට දැරිය පාසැලෙන් අස්කර දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට භාර දීම අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ අනුව කළ හැකි දෙයක්ද කියා මා දන්නේ නැත. ඇතැම් විට එසේ හැකි වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. මේ දෙකෙන් කුමක් වුවත් මෙහි ලොකු වැරැද්දක් තිබෙන බවනම් ඉතාම පැහැදිලිය.

චක්‍රලේඛ වල තිබුණත් නොතිබුණත් මෙවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ සිද්ධිය දැන ගැනීමෙන් පසු පාසැල් බලධාරීන් විසින් වහාම අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීම අනිවාර්යය වීමයි.

අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු දැරියක යනු විශාල අර්බුදයකට මැදි වී සිටින අයෙකි. එවැනි තැනැත්තියක් සිටින්නේ කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද ලැබිය යුතු තත්ත්වයකය. ඒ නිසා, මෙවැනි දෙයක් දැනගත් හෝ සැක කල හැකි අවස්ථාවක පාසැලෙන් පළමුව කළ යුත්තේ ඇයව අදාළ පරීක්ෂා හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එයට අමතරව මෙවැනි දැරියකට සිදුව ඇති අතවරයක් නීතිමය වරදක් වන නිසා ඒ ගැන විමර්ශනය කිරීමට සඳහාද අදාළ අංශ දැනුවත් කළ යුතුය.

මෙහිදී ඇයව දෙමවුපියන් වෙත භාර දීම, මේ සිද්ධියේදී නොවූවත්, නරියන්ට කුකුළන් භාර දීමක් වන්නට වුවද පුළුවන. යම් හෙයකින් දැරිය පවුලේ අයෙකු අතින් අතවරයට ලක්වී සිටියේනම් මෙසේ කිරීමෙන් වන්නේ සිද්ධිය යටපත් වීමයි.

කෙසේ වුවද, ලංකාවේ පාසැල් වල බොහෝ විට සිදුවන්නේ මේ සිද්ධියේදී මෙන් දැරිය පාසැලෙන් අස් කර වගකීමෙන් ගැලවීම විය හැකිය. සමාජජාලා වල මතය හා චක්‍රලේඛ වල ඇති දේවල් කවරක් වුවත් ගැබ්ගත් දැරියක් පාසැලේ දිගටම තබාගතහොත් බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ කුලියාපිටියේ සිදු වුනු දෙය වැනි දෙයකි. මේ අවස්ථාවේ ජනමතය පාසැලට එරෙහිව තිබෙන්නේ දැරිය සැබෑවටම ගැබ්ගෙන නොසිටි බැවිනි. ඇය සැබෑවටම ගැබ්ගෙන සිටියානම් මෙය "පුවතක්" හෝ නොවිය හැකිව තිබුණි.

Monday, October 9, 2017

බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය


ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.

වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.

වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.

කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.

ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.

ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.

ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.

ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.

ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.

ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.

මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.

ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.

ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.

වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.

ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.

කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය",  "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.


ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට  යොමු කරන්නට මෙවලමක් වීම පමණි.

සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.

ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?

නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.

ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.

මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.

ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.

අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.


සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.

Monday, September 25, 2017

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය


දෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහිතව, එසේ නොකර පැත්තකට වී බලා සිටින්නට තීරණය කළෙමි. ඇත්තටම කියනවානම් ඉහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු ප්‍රතිචාරයක් දමා, පසුව පහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු එය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා පසුව එය ඉවත් කර ගත්තෙමි.

මේ ගැන මුලින්ම අදහස් පළ කර තිබුණු අජිත් ධර්මාගේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට ආසන්න වූ අතර මුලින්ම හිතුනේ ඇනෝගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ බවයි. එහෙත්, දිගටම සංවාදය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ ඇනෝද මේ කරුණු ගැන හොඳින් දැනුවත් බවත්, ඔහුගේ හෝ ඇයගේ අදහස්ද කිසිසේත්ම (මට සාපේක්ෂව) අන්තවාදී නොවන බවයි. මා මෙය ලියන්නේ ඇනෝ ප්‍රතිචාර ගණනාවක්ම එක් අයෙකුගේයැයි සිතමිනි. එය එසේ නොවන්නට පුළුවන.

ඇනෝ විසින් ඉතා පැහැදිලිවම සටහන් කර තිබුණු පරිදි ඔහු හෝ ඇය මූලධාර්මික ගබ්සා විරෝධියෙක් නොවේ. ඔහුගේ වචන පහත පරිදිය.

"ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි."

ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.

අනික් අතට, විශේෂයෙන් සටහන් කර නැතත්, ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව අජිත් ධර්මාද එකඟ වන බව මගේ අදහසයි. මෙහිදී උපත් පාලනය ප්‍රචලිත කිරීම කියා සරලව කිවුවත් මා එයින් අදහස් කරන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුම ප්‍රචලිත කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ස්වකැමැත්තෙන් මිල දී ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම මිස යම් අයෙකු විසින් බිහි කළ යුතු දරුවන් ගණන රජය මඟින් තීරණය කිරීම හෝ බලෙන් උපත් පාලනය කරවීම නොවේ.

අජිත් ධර්මා විසින් ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් පමණක් අනවශ්‍ය ගැබ් ගැනීම් මුළුමනින්ම වැළැක්විය නොහැකි නිසා එසේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙන කාන්තාවන්ට තමන්ගේ ගැබ ගබ්සා කර ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඔහුගේ තර්කය ඉතා පැහැදිලිවම නිවැරදිය. ඇනෝ විසින්ද එය එසේ නොවේයැයි කියා නැත.

මට පෙනෙන හැටියටනම් මේ සංවාදයේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ ඉතා කුඩා ප්‍රතිවිරෝධතාවයකි. ඒ ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් හා අදාළවය. ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. අජිත් ධර්මා සිතන පරිදි ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් සමාජයීය ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් සැපයිය යුතුය.

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය යනු ඇමරිකාව ඇතුළු බටහිර සමාජයේ පවා මතවාදී බෙදීම් ඇති කරන විෂයයන්ය. මේ බෙදීම් වලට එක් හේතුවක් වන්නේ මේ විෂයයන් හා අදාළව බොහෝ දෙනෙකු සතු දැනුම සීමිත වීමයි. එමෙන්ම, මේ විෂයයන් ගැන කතා කිරීමේදී ඒවායේ ආගමික හා දාර්ශනික, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය වැනි එකිනෙකින් වෙනස් මාන වෙත අවධානය යොමු කරන්නට සිදුවේ.

මා මේ ගැන තරමක් දුරට කතා කරන්නට යන්නේ අජිත් ධර්මාට හෝ ඇනෝට ප්‍රතිචාරයක් වශයෙන් නොවේ. ඔවුන්ගේ අදහස් සමඟ මට මූලික ප්‍රතිවිරෝධතා නැත. එමෙන්ම, නැවත නැවතත් කියා ඇති පරිදි ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සිදුවිය ඇති ආකාරය ගැන උපදෙස් දෙන්නටද නොවේ. ඒ නිසා, මා මේ හා අදාළව ලියන ලිපි වල ඇති කරුණු සම්බන්ධව පැහැදිලි කිරීම් කෙරෙනු ඇති නමුත් මගේ අදහස් සමඟ එකඟ නොවන්නන්ට මා මෙහි ප්‍රතිචාර නොදක්වනු ඇත. එහෙත්, කැමති අයෙකුට මෙහි ප්‍රතිචාර පළ කරනු ලැබීමේදී සලකා බලන සීමිත කොන්දේසි වලට යටත්ව තමන්ගේ අදහස් සටහන් කරන්නට කිසිදු බාධාවක් නැත.

මාතෘකාවේ ඇති අනු කොටස් තුනෙන් ලිංගික අධ්‍යාපනය ගැන මුලින්ම කතා කිරීම පහසුය. අනෙක් මාතෘකා දෙක ගැන මා ලියන්නට අපේක්ෂා කරන දේවල් තරමක් දුරට තාක්ෂණික ස්වභාවයකින් යුතු දේවල්ය. ඒ කොටස් අපි දෙවන ලිපියකට ඉතිරි කරමු.

ලංකාව හැරුණු විට මා වැඩිපුරම දන්නා අනෙක් රට වන ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැතැයි කිව හැකි තරම්ය. මෙය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්ම නොවේ. බොහෝ දුරට මෙහි ඇත්තේ සංස්කෘතික ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රතිපත්ති තීරණ මඟින් තත්ත්වයේ යම් වෙනසක් කරන්නට උත්සාහ දැරිය හැකි වුවත් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක කාර්ය සාධනය සංස්කෘතික සාධක හමුවේ සීමාවීම නොවැලැක්විය හැකිය.

ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට එරෙහි වන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ ඒ හේතුවෙන් කුඩා දරුවන් "නොදන්නා දේවල් අත්හදා බලන්නට" යාම නිසා වැඩි විනාශයක් සිදු විය හැකි බවයි. මේ අදහස දරන්නෝ ඇමරිකාවේද සිටිති. කොළඹ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සංකීර්ණයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයකට පොලීසියෙන් පැන එහි සිටියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පුවත්පතක පළවීමෙන් පසු ගම්බද පෙදෙස්වල කාන්තාවන් ඒ පුවත දැක එහි සේවයට පැමිණි රටක එවැනි දේ නොවේයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. එහෙත්, ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සමස්තයක් ලෙස යහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මගේ අදහසයි.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැනත්, ඒඩ්ස් වැනි රෝග ගැනත් මා මුලින්ම දැනගත්තේ අදාළ නිවාරණ වැඩ සටහන් මඟින් සිදුකළ ප්‍රචාර නිසාය. ඒ වන විට මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් ලංකාවේ විශාල ලෙස ප්‍රචලිතව නොතිබුණු අතර මා ජීවත් වූ ප්‍රදේශයේ තිබුණේම නැති තරම්ය. ඒ නිසා, මේ දේවල් ගැන දැනුවත් නොවුනත් ඒ කාලයේ මා මත්ද්‍රව්‍ය ලෝලියෙකු හෝ ඒඩ්ස් ආසාදිතයෙකු වීමට ගිණිය හැකි ඉඩක් නොතිබුණේය. අනෙක් අතට නිවාරණය අරමුණු කොට සිදු කෙරුණු ප්‍රචාරණය නිසා මේ දේවල් ගැන වැඩිපුර සොයන්නට කිසියම් "කෘතීම" උනන්දුවක්ද ඇති වුණේය.

නිවාරණ වැඩ සටහන් වලින් ප්‍රචලිත කළ තොරතුරු අනුව මා තේරුම් ගත් පරිදි ඒඩ්ස් හදාගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන දෙකම ආපසු හැරවිය නොහැකි දේවල්ය. ඒඩ්ස් වලට බෙහෙත් නැති අතර රෝගය හැදුනොත් වසර පහක් තුළ අනිවාර්යයෙන් මරණයට පත් වේ. හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය යනු අරක්කු වැනි මත්පැන් හෝ දුම්වැටි මෙන් නොව එක් වරක් භාවිතා කළද ඇබ්බැහි කරවන ද්‍රව්‍යයි. ඒ නිසා, වරක් මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට ජීවිත කාලය පුරාම එයින් ගැලවීමක් නැත. මේ මා හත්වන ශ්‍රේණියේදී පමණ ලබාගත් දැනුමයි. පළමුවැන්න ඒ කාලයේදී ඇත්තක් වුවත් දෙවැන්න ඇත්තක්ම නොවීය. එහෙත්, දෙවැන්නද තරමක් දුරට ආසන්න ඇත්තක් විය.

මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් වැනි අතිශය භයානක කිඹුලන් ගැන මෙන්ම එතරම් භයානක නැති කබරගොයින් වූ මත්පැන්, දුම්වැටි ගැන හා සමාජරෝග ගැනද නිවාරණ වැඩසටහන් වලින් ප්‍රචාරය කළ දේ දැනුමට සැලකිය යුතු යමක් එකතු කළත්, ඒ දේවල් ගැන දැනුම ලබාගත හැකි වෙනත් ක්‍රමද තිබුණේය. මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් ඕනෑ තරම් පෙනෙන්නට සිටි අතර මත්පැන් බී අකල් මරණ වලට පත් වෙන්නෝද අපේ ගම් පළාත් වල දුලබ දසුනක් නොවීය. ඒ අතරම, මත්පැන් දුම්වැටි පානය කළත් යහතින් හිටි අයද ඕනෑ තරම් පෙනෙන්නට හිටියේය. එමෙන්ම, සමාජරෝග හදාගත් අය ගැනද කසුකුසු තිබුණේය.

ගැටවර වියේදී ඕනෑම අලුත් දෙයක් අත්හදා බලන්නට උනන්දුවක් ඇති වේ. නිවාරන වැඩසටහන් හේතුවෙන් මත්පැන් හා දුම්වැටි වල ආදීනව දැන සිටීම ඒවා අත්හදා බලන්නට බාධාවක් වුනේ නැත. එහෙත්, ඇබ්බැහි වීමට ඇති ඉඩ ගැන දැන සිටි නිසා මේ අත්හදා බැලීම් කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ හෝ අත්හදා බලන්නට යොමුවුණේ මේ දේවල් දිගින් දිගටම ගැනීමේදී මිස වරක් හෝ කිහිප වරක් ගත් පමණින් ඇබ්බැහි නොවන බව දැන සිටි බැවිනි. වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි අත්හදාබැලීමක් හෝ නොකරන්නට ප්‍රධාන හේතුව වුණේ අප හැදුනු ගෘහස්ථ වටපිටාව තුළ එවැනි අවස්ථාවක් කිසි විටෙකත් නොලැබීම වුවත්, යම් හෙයකින් එවැනි අවස්ථාවක් නොලැබුණේ වුවද ඇබ්බැහිවීමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ඉඩක් නොතිබුණේ නිවාරණ වැඩ සටහන් හරහා, තරමක අතිශයෝක්තිකින්ද යුතුව, ලැබී තිබුණු දැනුම නිසාය.

ඒඩ්ස් හෝ වෙනත් සමාජරෝග වැළඳීමේ අවදානමක් සහිත ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන හේතුව වුනේද අවස්ථාවන් නොලැබීමයි. එහෙත්, විධිමත් හා අවිධිමත් ක්‍රම හරහා මේ ගැන දැනසිටි දේවල් වලින්ද එය වැලැක්වූයේය.

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය වන විට වෙනත් බොහෝ විෂයයන් ගැන වයසට වඩා වැඩි දැනුමක් ලබා සිටියත් ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ මූලික කරුණු හෝ මම දැන නොසිටියෙමි. හයවන ශ්‍රේණියේ අන්තිම වාරයේ දවසකදී කාන්තාවක් ගර්භණී වීම සඳහා පිරිමියෙකු විසින් කළයුතු දෙය මගේ පන්තියේ මිතුරෙක්ගෙන් මුල් වරට අහන්නට ලැබුණේය. මේ කතාව මට කිසිසේත්ම පිළිගත නොහැකි විය. දරුවන් සිටින හැම ගැහැණියක හා පිරිමියෙකුම ඔය කියන 'නරක වැඩේ' කර ඇති බව පිළිගැනීම අපහසු වූ නිසා මම සුපුරුදු පරිදි මේ මිතුරාව තර්කයෙන් පරදවන්නට උත්සාහ කළෙමි.

මේ කාලය වන විට ග්‍රහයින් හා තාරකා අතර වෙනස දැන නොසිටි, පෝය ඇති වන හැටි දැන නොසිටි "මෝඩ" ළමයි ගණනාවක් අපේ පන්තියේ සිටියේය. මෙවැනි කරුණු හා අදාළව වෙනත් සිසුන් සමඟ තර්ක කිරීම ඒ දවස්වල මගේ විනෝදාංශයකි. වාදය නැගලා යන විට තවත් සිසුන් එකතු වේ. අවසානයේදී මෙසේ එකතුවන සිසුන් බහුතරය විසින් මගේ මතය තහවුරු කිරීමෙන් වාදය අවසන් වේ. ඒ දිනවල වෙනත් සිසුන් දෙදෙනෙකු අතර සිදුවන මෙවැනි වාදයකදී වුවද අවසන් තීරණය දෙන්නට බොහෝ විට සිදුවන්නේ මටය.

මේ කියන දවසේනම් බමරය කැරකුණේ මගේ වාසියට නොවේ. එකතුවන සිසුන් සියල්ලන්ම පාහේ ගත්තේ අනෙක් සිසුවාගේ පැත්තයි. දැන් මට ඔවුන් සියල්ලන්ගේම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වී ඇත.

"හරි, අපි කියන එක වැරදිනම් උඹ කියපං ළමයි හැදෙන්නෙ කොහොමද කියලා.."

කොස්බි ෂෝ එකේ දැරියට මෙන් මටත් පිළිතුරු තිබුණේය.

"සාමාන්‍ය විදිහට"

"මොකක්ද සාමාන්‍ය විදිහ?"

"ගෑණු ළමයි ලොකු වුණාම බඩේ ළමයි හැදෙනවා. හරියට ගස් වල ගෙඩි හැදෙනව වගේ.."

"හරි එහෙමනම් ගෑණුන්ට ළමයි හම්බවෙන්න කසාද බඳින්න ඕනැ වෙන්නෙ මොකද?"

අපේ විස්තීර්ණ පවුලේ මැදිවිය පසුකළ, අවිවාහක සාමාජිකාවන් කිහිප දෙනෙක්ම මට එක වර මතක් විය. කතාව ඇත්තය. ඒ අය කිසිවෙකුටත් දරුවන් නැත. දරුවන් සිටින අවිවාහක කාන්තාවන් ගැන ඒ වන විට මම දැන නොසිටියෙමි. එහෙත්, දරුවන් නැති විවාහක කාන්තාවන් කිහිප දෙනෙක් ගැනම මට මතක් විය.

"හරි එහෙමනම් සමහර ගැණුන්ට කසාද බැඳලත් ළමයි හම්බ වෙන්නෙ නැත්තේ මොකද?"

ප්‍රශ්නයට ප්‍රශ්නයක් දමා ගසා ප්‍රතිවාදී පාර්ශ්වය ගොළු කළ හැකි වුවත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවන බව මටම තේරුණේය. මෙතෙක් මේ ගැන ගැඹුරට සිතා නැති බව මට අවබෝධ විය.

"ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දූරියන් ගස් වල ගෙඩි හැදෙන්නනම් ගස් දෙකක් එක ළඟ තියෙන්න ඕනැනේ. ඒ වගේ වෙන්න ඇති!"

ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ප්‍රමාණවත් ලෙස මගේ තර්ක විඛන්ඩනය නොකළත්, වටවී සිටි සිසුන්ගේ මුහුණු දෙස බලන විට ඒ කිසිවෙක් මා කියන දෙය විශ්වාස නොකරන බව පැහැදිලිය. මින් පෙර මෙවැන්නක් වී නැත. මේ අතර, මගේ හිතවත්ම මිතුරෙක් මගේ පිටට තට්ටුවක් දැම්මේය.

"මචං, පොඩ්ඩක් පැත්තකට වරෙන්"

මම ඔහුට කීකරු වුනෙමි.

"මචං, උන් කියන එක හරි. උඹ වැරදියි. ඕක අතෑරල දාපං!"

"වෙන්ඩ බෑනේ මචං. එහෙමනම් ගස් වල ගෙඩි හැදෙන්ඩත් ඕක කරන්න ඕනැ වෙන්න එපායැ. එතකොට සත්තුන්ට පැටවු  හැදෙන්නෙත් ඔහොමද?"

"ගස්නම් මං දන්නෙ නෑ. හැබැයි සත්තු පැටවු දාන්නේනම් ඕක කරල තමයි. උඹ අඩුගානෙ බලුපූට්ටුවක්වත් දැකල නැද්ද?"

"දැකල තියෙනවා!"

"ඒක තමයි ඒ.."

"හරි මං කියන්නේ පැටවු හම්බ වෙන්න ඕක කරන්න ඕනැ නෑ කියලයි. අපේ ගෙදර හරකෙක් නැතුව එළදෙනට පැටවු හම්බවුනේ කොහොමද?"

එළදෙනට පැටියා ලැබෙන්නට පෙර පට්ටි ගස්සන්නට වෙනත් නිවසකට ගෙනගිය එක ගැන මට ඒ වන විට හරි අවබෝධයක් තිබුණේ නැත.

"කොහොම වුනත් කමක් නෑ. මම කියන එක අහල ඕක නවත්තල දාපං. නැත්නම් උඹයි අපරාදේ නෝන්ඩි වෙන්නේ.."

මේ මිතුරා විශ්වාසවන්තම මිතුරෙක් වූ බැවින් ඔහුගේ කීම අහක දාන්නට නොහැකි විය. ඒ නිසා, දෙපැත්තට ඇදෙමින් තිබුණු වාදය ජයපරාජයකින් තොරව අවසන් විය. එයින් පසුව, මේ ගැන වැඩි විස්තර හොයා ළමයින් හැදෙන්නටනම් අහවල් දෙය කළ යුතු බව මම තහවුරු කරගත්තෙමි.


අපේ කාලයේදී ප්‍රජනන සෞඛ්‍යය ගැන විධිමත් ලෙස මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නවවන ශ්‍රේණියේ සෞඛ්‍යය පෙළ පොත අතට ලැබුණු පසුවය. මේ පොතේ වූ ප්‍රාණවත් වූ ශිෂ්නයක රූපයක් හා එහි අභ්‍යන්තර අවයව සහිත විස්තරය තිබුණු පිටු අංකය ගැන කළින්ම කණින් කොණින් අහන්නට ලැබී තිබුණු නිසා පොත් ලැබුණු වහාම බොහෝ සිසුන් කළේ හොරෙන්ම මේ පිටුව පෙරළීමයි. කෙසේවුවත්, පෙළ පොතේ පිටු දෙකක පමණ වූ විස්තරය තනිවම කියවනු හැර අමතර දෙයක් අපට ඉගෙන ගන්නට නොලැබුණේ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරයාට ඒ පාඩම ඉගැන්වීම සඳහා ධෛර්යයක් නොතිබුණු බැවිණි. මහලොකු දෙයක් නොතිබුණත් බොහෝ සිසුන් පාඩම් පොතේ මේ පිටුව දෙස බැලුවේද ලිංගික උත්තේජනයක් සපයන දෙයක් ලෙස සලකමිනි.

කෙසේවුවද, පසුව මා ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විද්‍යා හා සෞඛ්‍ය විෂයයන් ඉගැන්වූ තරුණ ගුරුවරයාටනම් අදාළ පාඩම කියා දෙන්නට කිසිදු චකිතයක් තිබුණේ නැත. එම පාසලේ තිබුණේ ගොඩනැගිලි දෙකක් පමණි. එක් ගොඩනැඟිල්ලක ප්‍රාථමික පන්ති පැවැත්වුනේය. අනෙක් ගොඩනැඟිල්ලේ හයවන, හත්වන, අටවන හා දහවන පන්ති පැවැත්වුණු අතර එහිම පැත්තක විදුහල්පති කාමරය හා ගුරු විවේකාගාරය තිබුණේය. අටවන පන්තියේ සිටියේ ළමුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. ළමුන් කිසිවකු නොසිටි නිසා නවවන පන්තියක් තිබුණේ නැත. සාමාන්‍යපෙළ සමත් නොවී දිගටම රැඳී සිටීම නිසා දහවන ශ්‍රේණියෙහි වයස් කාණ්ඩ තුනක හෝ හතරකට අයත් එක් සිසුවෙකු හා සිසුවියන් හතර පස් දෙනෙක් සිටියේය.

ප්‍රජනන සෞඛ්‍යය පාඩම අපේ විද්‍යා ගුරුවරයාගේ ජනප්‍රියම පාඩමක් විය. පිටු දෙසීයක පමණ පෙළ පොතේ මේ කොටස පිටු දෙකක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් කාලපරිච්ඡේද දෙකක් පමණ වෙන් කළේය. ඔහුගේ අරමුණ වූයේ මේ දරු දැරියන්ට ප්‍රජනන සෞඛ්‍යය ගැන හැකිතරම් හොඳින් කියා දීමද, එසේ නැත්නම් අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් පාසැලට එන මේ ළමුන්ට පාසැල් එන්නට උනන්දුවක් ඇති කිරීමද, ඒත් නැත්නම් ඒ දෙකමද කියා මා දන්නේ නැත.

මේ ශාලාවේ පන්ති අතර බාධක තබා වෙන් කර තිබුණේ නැත. අඩු වශයෙන් ගුරු විවේකාගාරය හෝ එසේ වෙන් කර තිබුණේ නැත. ඒ නිසා, මේ දහවන පන්තියේ සෞඛ්‍ය පාඩම කට ඇරගෙන අසා සිටීමේ අවස්ථාව පහළ පන්ති වල සිසුසිසුවියන්ටද ලැබුණේය. ඒ බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියේ තමන්ගේ පන්තියේ පාඩමට නොව දහවන පන්තියේ පාඩමටය.

හොඳම කෑල්ල තිබුණේ ගුරු විවේකාගාරයේය. පාසැලේ සිටි අවිවාහක ගුරුවරියන් කිහිප දෙනෙකුමද ගුරු විවේකාගාරයට වී මේ පාඩමට සවන් දුන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ මුහුණු රතු වී තිබුණේය. මගේ අදහස අනුව, ප්‍රජනන සෞඛ්‍යය ගැන ඉගැන්විය යුත්තේ මීට වඩා අඩු වයසකදීය. නවවන ශ්‍රේණියට පැමිණෙන විට සිසුසිසුවියන් අවිධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා අවසන්ය.

ඇමරිකාවේ සිසුවෙකුට ලිංගිකත්වය හා අදාළ මූලික දේ කියා දෙන්නේ පෙර පාසැල් වයසේදීය. දෙවන වසරේදී පමණ ඔවුන්ට සැලකිය යුතු දැනුමක් ලබා දේ. මෙහිදී, ලිංගික අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ "ලොකු එක" කරන ආකාරය කියාදීම නොවේ. ඊට වඩා ඉතා සරල දෙයකි. ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය යනු ඇතැම් අය සිතා සිටින ආකාරයේ "අනවශ්‍ය තොරතුරු" ලාබාල වයසේ සිසුන් මත ඕනෑවට වඩා කලින් පැටවීමක් නොව පුළුල් සන්දර්භයක් තුළ වෙනත් අදාළ දැනුම් සමඟ මුසුකර ක්‍රමානුකූල ලෙස හා වයසට ගැලපෙන ලෙස ලබා දෙන දැනුමකි. වෙනත් බටහිර රටවලද මෙය සිදුවන්නේ මේ අයුරින් බව මගේ අදහසයි.

ඇමරිකාවේ පෙරපාසැල් වයසේ දරුවෙකුට ලබාදෙන ලිංගික අධ්‍යාපනය යනු පෞද්ගලික අයිතිවාසිකම් ගැන ලබා දෙන දැනුමේම කොටසකි. පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු අත් අල්ලාගෙන හෝ කරට අත දමාගෙන යාම ලංකාවේනම් සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇමරිකාවේ එවැනි දෙයක් සාමාන්‍ය දෙයක් නොවේ. ගැටවර වයසේදීනම් එයින් වෙනත් දෙයක් අදහස් වනවා විය හැකිය.

හොඳ යාළුවන් වන පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු මේ අයුරින් සමීපව සිටීම ඉතා අහිංසක දෙයක් හෝ සංස්කෘතියේ කොටසක් බව කෙනෙකුට කියන්නට පුළුවන. ඒ කතාවේ වැරැද්දක්ද නැත. ඇමරිකාවේ මේ ආකාරයේ අත් අල්ලාගැනීම් හෝ කරට අත දමාගෙන යෑම වැනි සමීප සම්බන්ධතා නැත්තේ සිසුන් ඉතා කුඩා වයසකදීම අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට ඔවුන්ට පුරුදු කරන බැවිනි.

මගේ දරුවන්ට පෙර පාසැලේදී මුලින්ම කියාදුන් පාඩමක් වූයේ සෑම අයෙකුටම තමා වටා අදෘශ්‍යමාන බුබුළු අවකාශයක් (bubble space) ඇති බවයි. වෙනත් අයෙකුට ඕනෑවට වඩා සමීප වූ විට මේ බුබුල බිඳෙන්නට පුළුවන. එමෙන්ම, තමන්ගේ බුබුල බිඳෙන තරම් ලඟට එන්නට වෙනත් අයෙකුට ඉඩදිය යුතුද නැත.

මේ බුබුල පෙර පාසැල් වයසේ දරුවෙකුට සිතින් මවාගත හැකි එකකි. වයසින් වැඩෙද්දී එවැනි බුබුලක් සැබෑවටම නැති බව දරුවා තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔහු හෝ ඇය එහි අදහස උකහාගෙන අවසන්ය.

මේ මඟින් කෙරෙන්නේ දරුවන් අතර ඇතිවන අහිංසක හා සුන්දර සම්බන්ධතා විනාශ කිරීමක්යැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි වැදගත්කම තේරෙන්නේ ඒ හේතුවෙන් පසුකාලීනව වැළකෙන දේ ගැන සිතද්දීය. පිරිමි පාසැල් සිසුවෙකුට තවත් සිසුවෙකුට යාලු කමට පිටට තට්ටුවක් දාගෙන යන්නට ඇති හැකියාවවම ඇතැම් අවස්ථා වලදී කොක්කක් දා ගැනීම සඳහාද උපයෝගී කරගන්නා බව රහසක් නොවේ. මෙවැනි පොඩි තට්ටු දැමීම් හා ඇඟේ හැප්පීගෙන යාම් තවමත් ලංකාවේ පාසැල් වල සාමාන්‍ය දේවල් බව දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇති එවැනි ජවනිකා සාක්ෂි දරයි. නවක වදයේදී සිදුවන දේවල් වලට සාපේක්ෂව මේවා ගණන් ගත යුතු දේවල් නොවන බව ඇතැමෙකුට කියන්නට පුළුවන.

පෙර පාසැල් වයසේදීම කියා දෙන දෙවැනි දෙය කිසියම් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ මොනවාද යන්නයි. මේ ප්‍රදේශ අතපතගාන්නට වෙනත් අයට කිසිදු අයිතියක් නැති බව ඇමරිකාවේ දරුවෙකු කුඩා කාලයේදීම දැන ගනී. ඒ සමඟම, එසේ කරන්නට අයිතියක් ඇති අය (මව, පියා, වෛද්‍යවරයා) කවුද යන්නත්, ඔවුන්ට වුවත් එසේ කළ හැක්කේ කුමන අවස්ථාවලදීද යන්නත් දරුවා දැන ගනී.

දරුවන් හා අදාළව සිදුවන ලිංගික අපචාර බොහොමයක්ම සිදුවන්නේ වෙනත් ළමා අපචාර වලම කොටසක් වශයෙනි. ඒ නිසා, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුමක්ද සමඟය. දෙවන ශ්‍රේණියේදී පමණ ඇමරිකන් දරුවෙකුට මෙවැනි කරුණු ගැන තවත් වැඩිපුර දැනගන්නට ලැබේ.

දරුවෙකු මුලින්ම දැනගත යුත්තේ විශ්වාසනීය වැඩිහිටියෙකු යනු කවුද යන්නයි. එවැන්නන් පස් දෙනෙකු පමණ හඳුනාගන්නට මුලදීම දරුවෙකුට පුහුණු කෙරේ. වෙනත් වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවෙකු මුලින්ම කළ යුත්තේ මේ විශ්වාසනීය වැඩිහිටියන්ගෙන් අයෙක් දැනුවත් කිරීමයි. විශ්වාසනීය වැඩිහිටියා මව, පියා, ගුරුවරයා හෝ වෙනත් සමීප ඥාතියෙකු විය හැකිය.

අප දන්නා පරිදි ලංකාවේ බොහෝ ලිංගික අපචාර ඇතුළු ළමා අපචාර කරන්නේ මේ ආකාරයේ විශ්වාසනීය වැඩිහිටියන් විසින්මය. එසේනම්, මේ පුහුණුව මඟින් එවැනි දේ කෙසේ වැළැක්විය හැකිද?

එක් විශ්වාසනීය වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවකු විසින් කල යුත්තේ වෙනත් විශ්වාසනීය වැඩිහිටියෙකු දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස පියාගේ හැසිරීම අසාමාන්‍යනම් කළ යුත්තේ ඒ ගැන වහාම මව සමඟ කතා කිරීමයි. මෙය බොහෝ විට සාර්ථක වන උපක්‍රමයකි. ඇයගෙන්ද සතුටු විය හැකි විසඳුමක් නොලැබේනම් කළ යුත්තේ ගුරුවරයාට දැනුම් දීමයි. එයද සාර්ථක නැත්නම් 911 දුරකථන අංකය අමතා දැනුම් දීමට දරුවන් මුල සිටම පුහුණු කර තිබේ.

ඇමරිකාවේ දරුවන්ගෙන් 40% සම්බන්ධවම කිසියම් අවස්ථාවක බලාධිකාරයකට මැදිහත් වෙන්නට සිදු වී තිබේ. මෙය එකවර විශ්වාස කිරීමට අසීරු තරමේ සංඛ්‍යාලේඛණයකි. එයින් අදහස් වන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ ළමා අපචාර සුලභ බව නොවේ. දෙමවුපියන්ගෙන් වරක් හෝ පහරක් කෑ දරුවන් මෙවැනි පැමිණිලි ගොනු කළහොත් ලංකාවේ මේ ප්‍රතිශතය කොපමණ ඉහළ අගයක් ගනු ඇත්දැයි සිතාගන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේ දෙමවුපියන්ගේ හා දරුවන්ගේ කාර්යයන් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති අතර දෙමවුපියන් විසින් කළ යුතු, කළ හැකි, නොකළ යුතු හා නොකළ හැකි දේවල් ගැන දරුවන්ව කුඩා කාලයේදීම දැනුවත් කෙරේ. ඒ දේවල් ඒ අයුරින් සිදු නොවන්නේනම් ඔවුන්ට පැමිණිලි කළ හැකි තැන් ගණනාවක් තිබේ. මෙවැනි පැමිණිලි විභාග නොවී ඉවත යන්නේ නැත.

ලිංගික අධ්‍යාපනයටත් වඩා ලංකාවට අවශ්‍ය වන්නේ ළමා අයිතිවාසිකම්, ළමා අපචාර ආදිය ගැන කුඩා කාලයේදීම දරුවන් දැනුවත් කිරීම හා එවැනි දේ සිදුවන විට ඒවා කරන අයට ගැලවී යා නොහැකි යාන්ත්‍රණයක් ඇති වීමයි. ඒ දේවල් සිදු නොවී ලිංගික අධ්‍යාපනය පමණක් ලබා දුන් පමණින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩතිබේ. මෙයින් කියන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නොවැදගත් බව නොවේ. එය සිදුවිය යුත්තේ වඩා පුළුල් යාන්ත්‍රණයක කොටසක් ලෙස බවයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිය පියා අතින් අපයෝජනය වන දැරියක් සිදුවන දෙය දැනගනු ඇතත්, තමන්ට ආහාර හා ආරක්ෂාව සපයන පියාට එරෙහිව පැමිණිලි කර කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඇති ස්වභාවික බිය ඒ හේතුවෙන් තුරන් වන්නේ නැත. ඒ නිසා, එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඇගේ අනාගතය වඩාත් සුරක්ෂිත බව ඇයට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක්ද රටේ තිබිය යුතුය.

ලිංගික අපචාර සිදු නොවුණත් මවුපියන් හා පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන් විසින් දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන හෝ වධ හිංසා සිදුකරන, එසේ නැත්නම් ඔවුන්ගෙන් වයසට නොගැලපෙන වැඩ කරවා ගන්නා අවස්ථා එතරම් දුලබ නැත. සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන්නේ ලිංගික අපචාරයකට ලක්වන දරුවෙකු බොහෝ විට කිසියම් හෝ වෙනත් ආකාරයක අපහරණයකට හෝ අපහරණයන්ට මුලින් ලක්වන බවයි. එසේ නැත්නම්, මෙවැන්නෝ අඩු වශයෙන් දෙමවුපියන් විසින් නොසලකා හරිනු ලැබීමට ලක් වූ අය වෙති.

ලිංගික අධ්‍යාපනයක් ලබා නැති දරුවෙකු තමන් ලිංගික අතවරයකට ලක්වන බව දැන නොසිටීමට සැලකිය යුතු ඉඩක් ඇතත් වෙනත් ආකාරයක ළමා අපචාරයකට, උදාහරණයක් ලෙස පහර දීමකට, නොසලකා හරිනු ලැබීමකට හෝ කළ නොහැකි මට්ටමේ වැඩ කරන ලෙස බල කරනු ලැබීමට ලක්වන විට, තමන්ට නරක ලෙස සලකන බව තේරුම් ගන්නට දරුවෙකුට ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත්, එවැනි දැනුමක් තිබූ පමණින් ලංකාවේ දරුවකුට එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.

මෙවැනි දේවල් ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට දරුවෙකුට සිටින විශ්වාසවන්තම තැනැත්තා ගුරුවරයාය. ඇමරිකාවේ දරුවෙකුට සිය පාසැල් ජීවිතය ආරම්භයේදීම තමන්ට ඇති මෙවැනි ගැටළු ඇත්නම් ගුරුවරයා සමඟ කතා කරන්නට පුහුණු කෙරේ. දරුවකුට නිවසේදී සිදුවන අතවරයක් ගැන ගුරුවරයෙකුට ඉව වැටුණු පසු දරුවා විසින් කිසිවකුට නොකියන ලෙස ගුරුවරයාව පොරොන්දු කරගෙන සිටියේ වුවද ගුරුවරයා විසින් ගත යුතු නිශ්චිත පියවර ගණනාවක් තිබේ. මේ නීතිය වැඩිහිටි සිසුන් ඇසුරු කරන සරසවි ආචාර්යවරුන් විසින්ද පිළිපැදිය යුතු එකකි. ඒ නිසා, දරුවන්ට නොසලකා හරින ඇමරිකන් වැඩිහිටියෙකු ගන්නේ විශාල අවදානමකි. ලංකාවේ මෙවැන්නක් සිදු නොවනවා පමණක් නොව ඇමරිකානු අර්ථයෙන් දරුවන් අපහරණය කිරීම බොහෝ ගුරුවරුන් සාමාන්‍යයෙන් කරන දෙයකි.

සංක්ෂිප්තව කියනවානම් ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ නිවැරදි තොරතුරු දරුවෙකුට කියා දීම පමණක් නොවේ. එවැනි දැනුමක් පමණක් ලබා දුන්නොත්නම් ඇතැම් විට අවසන් ප්‍රතිඵලය ඇතැම් අය කියන "අත්හදා බැලීම් ඉහළ යාම" පමණක් වුවද විය හැකිය. මේ දැනුම ලබා දිය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් ගැන පුළුල් ලෙස දරුවන් කුඩා කළ සිටම දැනුවත් කිරීමේ අංගයක් ලෙසය. එවැනි දැනුවත් කිරීම් ආරම්භ කරන්නේනම් එයට සමාන්තරව ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට පහසුවෙන් උදවු ලබාගත හැකි විශ්වාසනීය යාන්ත්‍රණයක්ද ස්ථාපිත කළ යුතුය.

වැඩිදුර කරුණු දෙවන ලිපියකින් කතා කරමු.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...