වෙබ් ලිපිනය:

Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts
Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts

Thursday, December 17, 2020

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයිද?


ඇමරිකාවේ පැවැත්වුණු පසුගිය ජනාධිපතිවරණ පහෙන් දෙකකදීම තේරී පත් වුනේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නෙමෙයි. තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ පාරත් ඒ වැඩේම වෙනවා. ලංකාවේ ගොඩක් අය වගේම ඇමරිකාවෙන් හා ලංකාවෙන් පිටත වෙනත් රටවල ගොඩක් අයත් මෙය අවුලක් සේ දකිනවා. එහෙත්, ඇමරිකාව ඇතුළේ මේ සම්බන්ධව තිබෙන්නේ බෙදුණු මතයක්.

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය වගේම රිපබ්ලිකන් පක්ෂයත් මූලික වශයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන පක්ෂ. එසේ වූ පමණින් මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන නොවන බව කවුරුත් දන්නා කරුණක්. රිපබ්ලිකන් පක්ෂයට ජාතිකවාදී නැඹුරුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තරවාදී පක්ෂයක්. පක්ෂ දෙකම යම් තරමකින් ධනවාදය නමනවා. හැබැයි එකම විදිහට නෙමෙයි. ඩිමොක්‍රටික් ක්‍රමයේ යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙනවා. එයින් වෙනස්ව රිපබ්ලිකන් පක්ෂය ධනවාදය නමන්නේ ආර්ථික ආරක්ෂණවාදය හරහා. සංක්‍රමනික විරෝධයත් එහිම කොටසක්.

ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වූ වහාම, හරියටම කියනවානම් බලයත් පත් වීමට නියමිත බව පැහැදිලිව පෙනී ගිය වහාම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය වගේ කරුණු උඩට පැමිණ තිබෙනවා. සුළුතර ප්‍රජාවන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන කණ්ඩායම් වල වැඩි සහයෝගය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට කියන එකත් ප්‍රචලිත කරුණක්. අනෙක් පැත්තෙන් බැළුවහම ඒකීය පුද්ගලයෙක් කියා කියන්නේ කුඩාම මට්ටමේ සුළුතරය. රාජ්‍ය නියාමනයට එරෙහිව ඒකීය පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඉදිරියෙන් ඉන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක නෙමෙයි. හැමෝගෙම අදහස්  සැලකිල්ලට ගෙන පොදු එකඟතාවයකට එන එක. මෙහිදී ඇතැම් අදහස් යටපත් වෙනවා. ඇතැම් අදහස් මතු වෙනවා. හැම විටම උඩට මතු වන්නේ බහුතර මතය නෙමෙයි. බහුතරයට එකඟ විය හැකි මතය. එය සුළුතර මතයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ වෙන්නේ හැමෝගෙම අදහස් වලට හැමෝම සවන් දෙන තරමේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබේනම් පමණයි. හැමෝම තම තමන්ගේ මත වල දැඩිව එල්බ සිටින විට වෙන්නේ හැම විටම බහුතරයේ මතය උඩට මතු වීම. එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස හඳුන්වන්න බැහැ. ඒ කියන්නේ හැම විටම කිහිප දෙනෙකුගේ හෝ සුලුතරයක මතය උඩට මතු වෙන ක්‍රමයක් හොඳයි කියන එක නෙමෙයි. එය කොහොමත් නරකයි.

බහුතරයකට එකඟ විය නොහැකි සුළුතරයකගේ මතයක් ක්‍රියාත්මක වීමට සාපේක්ෂව බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීම සාධනීයයි. හැබැයි බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීමට වඩා බහුතරයකට එකඟ විය හැකි කාගේ හෝ වඩාත්ම පිළිගත හැකි මතය සාකච්ඡා, සම්මුති ආදියෙන් පසුව අවසානයේදී පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක වීම හැම විටම වඩා සාධනීයයි. වඩා විශාල පිරිසකට එකතු වී මෙවැනි පොදු සම්මුතියක් ඇති කර ගැනීම අසීරුයි. අඩු පිරිසකට එය වඩා පහසුයි.

ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය පහළ මට්ටමේ සිට ඉහළට ජනතා කැමැත්ත එසැවෙන ක්‍රමයක්. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. තමන් තරඟ කරන්නේ ප්‍රධාන  දේශපාලන පක්ෂයකින්ද, සුළු පක්ෂයකින්ද, තමන් විසින් අළුතින් හදා ගන්නා දේශපාලන පක්ෂයකින්ද, එහෙමත් නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද කියන එක මුලින්ම තීරණය කරන්න වෙනවා. මොන ආකාරයෙන් තරඟ කළත් ඡන්ද පත්‍රිකාවට නම දමා ගන්න පුළුවන් වෙන්නේ අවම අත්සන් ප්‍රමාණයක් හෝ අවම සහයෝගයක් ඇත්නම් පමණයි. ඒ මට්ටමට යන්න බැරි කෙනෙකුට ඡන්ද පත්‍රිකාවේ නම නැතත් ඡන්ද ලබා ගන්න පුළුවන්කමක්ද තිබෙනවා. එවැනි අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දදායකයෙකු විසින් නම ලියා ඡන්දය දිය යුතුයි.

තමන්ට සහයෝගය ලබා ගන්න වැඩිම ඉඩක් තිබෙන්නේ දැනටම ක්‍රියාත්මකව පවතින දේශපාලන පක්ෂයක සාමාජිකයින් අතරෙන්නම් එවැනි පක්ෂයක අපේක්ෂකත්වය වෙනුවෙන් කැමති කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. පක්ෂයට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රාථමික මැතිවරණ වලදී වෙන්නේ එයයි. ප්‍රාථමික මැතිවරණ වලට ඉදිරිපත් වන කෙනෙක් පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා උඩට එනවානම් ඔහු හෝ ඇය පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්ද ආදී අවශේෂ කරුණු වැදගත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ දේශපාලන පක්ෂ කාගෙවත් පෞද්ගලික බූදල් නෙමෙයි. 

ඇමරිකාවේ ප්‍රාථමික මැතිවරණ ක්‍රමය ඉතාම පහළ මට්ටමෙන් පටන් අරන් උඩට යන ක්‍රමයක්  නිසා මේ ක්‍රියාවලියේ එක් එක් අදියරේදී එයට සහභාගී වන හැමෝගෙම වගේ අදහස් සලකා බලන්න යම් තරමක ප්‍රායෝගික ඉඩක් ලැබෙනවා. මුළු රටේ සියලු දෙනාගේම කැමැත්ත එකවර විමසන අවස්ථාවකදී එවැන්නක් කරන්න අමාරුයි. එවිට සිදු වෙන්නේ තම තමන් දැනට එල්බ සිටින මත ප්‍රකාශ වීමක් පමණයි. අදහස් ගැටීමක් හෝ සංවාදයක් නැහැ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවසන් අදියරේදී ඒ කටයුත්තට සහභාගී වෙන්නේ 538 දෙනෙක් පමණයි. එවැනි පිරිසකට කතාබහ කරලා හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන හොඳම තීරණය ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඒ විදිහටම සිදු නොවීම වෙනම කරුණක්.

මේ විදිහට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කටයුත්තට සහභාගී වෙන 538 දෙනා එක් එක් ප්‍රාන්ත වල නියෝජිතයෝ. ඒ අයව පත් කර එවන්නේ අදාළ ප්‍රාන්ත විසිනුයි. ඒ තේරීම කරන්නේ කොහොමද කියන එක අදාළ ප්‍රාන්තයට භාර කටයුත්තක්. ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට අවශ්‍යනම් තේරීම කරන ක්‍රමය වෙනස් කර ගන්න බාධාවක් නැහැ. දැනට ප්‍රාන්ත දෙකක් හැර අනෙක් සියළුම ප්‍රාන්ත විසින් කරන්නේ ප්‍රාන්තයේ වැඩිම සහයෝගයක් තිබෙන දේශපාලන පක්ෂය විසින් නම් කරන නියෝජිතයින්ට අවස්ථාව ලබා දෙන එකයි. ප්‍රාන්ත දෙකක් අනුපාතික ක්‍රමයක් අනුගමනය කරනවා. එම ප්‍රාන්ත වල ප්‍රාන්තයේ බහුතරය මත වගේම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශීය මැතිවරණ කලාප වල බහුතර කැමැත්ත මත නියෝජිතයින් පත් කර ගැනෙනවා.

ඇමරිකාවේ ජනාධිපති ලෙස රටේම වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා පත් නොවෙන්න පුළුවන්නේ. ඒ වගේම, එය කිහිප වරක්ම සිදු වෙලත් තිබෙනවනේ. මෙය මේ විදිහට නොවන බවට වග බලාගන්න අවශ්‍යනම් කරන්න තිබෙන්නේ පොඩි වැඩක් පමණයි. එක් එක් ප්‍රාන්ත විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් පත් කර යැවීමේදී තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත ගැන නොසලකා රටේ බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කරන එක. වැඩේ එතැනින්ම ඉවරයි.

මේක යුරෝපයට ආදේශ කළොත්, මුළු යුරෝපයම පාලනය කරන්න තනි නායකයෙක් තීරණය කරනවා කියා හිතමු. එය කරන්නේ යුරෝපීය සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්ගේ ඡන්දයෙන්. එක් එක් රටට හිමි වන සාමාජිකයින් ප්‍රමාණය එම රටේ ජනගහණයට සමානුපාතිකව අඩු වැඩි වෙනවා වගේම හැම රටකටම සමානව බෙදී යන කිසියම් අවම නියෝජිතයින් ගණනකුත් ඉන්නවා. දැන් ඩෙන්මාර්කය වැනි රටක අති මහත් බහුතරය කිසියම් අපේක්ෂකයෙකුට කැමති නැති වුනත් සමස්තයක් ලෙස යුරෝපයේ වැඩි දෙනෙක් කැමති ඒ අපේක්ෂකයාටනම් ඩෙන්මාර්කය නියෝජනය කරන නියෝජිතයින් විසින්ද අර යුරෝපයේ වැඩි දෙනෙක් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙනවා වගේ වැඩක්. 

මේ ආකාරයට රටේම බහුතර කැමැත්ත ලබන පුද්ගලයාව ජනාධිපති ධුරයට පත් කර ගැනීම පිළිබඳ අදහස මෑත ඉතිහාසය තුළ ඇමරිකාවේ ප්‍රබලවම මතු වුනේ 2000 ජනාධිපතිවරණයෙන් පසුව කියා කියන්න පුළුවන්. 2016 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිළිබඳ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, ඉහත අවස්ථා දෙකේදීම "අවාසිය" සිදු වුනේ ඩිමොක්‍රටික් පක්ෂයට නිසා මේ අදහස වැඩිපුරම එහෙමත් නැත්නම් මුළුමනින්ම වාගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරියට ගෙනගිය අදහසක් කියා කියන්න පුළුවන්.

මේ අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස යෝජනා වුනේ අන්තර්-ප්‍රාන්ත එකඟතා ගිවිසුමක්. යෝජිත ගිවිසුම අනුව, ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් තෝරා පත් කර යැවීමේදී ප්‍රාන්ත අතර ඇති කර ගන්නා පොදු එකඟතාවයක් අනුව එම එකඟතාවයට යටත් ප්‍රාන්ත විසින් තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත නොසලකා රටේම බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කර යැවිය යුතුයි. 

උදාහරණයක් විදිහට දකුණු කැරොලයිනා ප්‍රාන්තය මේ ගිවිසුම අත්සන් කළා කියා හිතමු. දැන් මැතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකයා දකුණු කැරොලයිනා ඡන්ද වලින් 43%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 55%ක් ගන්නවා. එහෙත් මුළු රටේම ඡන්ද භාවිතාව බැලුවහම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ඡන්ද වලින් 51%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 47%ක් ගන්නවා. හරියම මේ අවුරුද්දේ ත්ත්වය වගේ. දැන් ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ එම ප්‍රාන්තයේ වැඩිම ඡන්ද ලබාගත් රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්. එහෙත්, යෝජිත ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ මුළු රටෙන්ම  වැඩිම ඡන්ද ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්.

අපි හිතමු අවම වශයෙන් නියෝජිතයින් 270 දෙනෙකු පත් කර යැවීමේ අයිතිය තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ යෝජනාවට කැමති වී අන්තර්-ප්‍රාන්ත ගිවිසුමක් අත්සන් කළා කියලා. එවැනි ගිවිසුමකින් පසුව, මේ ප්‍රාන්ත සියල්ලේම ඡන්ද ලැබෙන්නේ රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාටයි. එම ඡන්ද ප්‍රමාණය 270 ඉක්මවන නිසා රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වෙනවා. 

මේ වන විටත් ප්‍රාන්ත 16ක් (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කරගෙන අවසානයි. එයින් ප්‍රාන්ත 4ක්ම අදාළ නීති සම්මත කරගත්තේ පසුගිය වසරේදී. ඒ අනුව, මේ ක්‍රමයට දැනටමත් පක්ෂව සිටින ප්‍රාන්ත සතුව මේ වන විටත් නියෝජිතයින් 196 දෙනෙකු සිටිනවා. තවත් නියෝජිතයින් 74 දෙනෙකු ලබා දීමේ හැකියාව තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කර ගැනීමෙන් පසුව අදාළ අන්තර්-ප්‍රාන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවත් ප්‍රාන්ත ගණනාවක මේ වන විටත් මේ යෝජනාව නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම හා එය තව සුළු ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුනානම් එම ජයග්‍රහණය නොලැබී යන්නට ඉඩ තිබීම යන කරුණු මත ඉහත කී සම්මුතියට තවත් ප්‍රාන්ත අලුතෙන් එකතු වීමේ ශක්‍යතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත කී සම්මතය සමඟ මෙතෙක් එකඟව සිටින හැම ප්‍රාන්තයක්ම වාගේ ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන ප්‍රාන්ත. එහෙත්, ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන හැම ප්‍රාන්තයක්ම වුවත් මේ යෝජනාවට කැමති නැහැ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වල ඡන්දදායකයින් සතු බලය අඩු වී, නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වැනි ජනගහණය වැඩි ප්‍රාන්ත කිහිපයක අවශ්‍යතාවය මත ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී පත් වීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මෙය එක ආකාරයක කාටල ක්‍රමයක්. කාටලය බලවත් වූ පසු කාටලයට අයත් නැති ප්‍රාන්ත වලට දේශපාලන බලයක් නැති වනවා වගේම කාටලය තුළ සිටින කුඩා ප්‍රාන්ත වලටද තමන්ගේ ස්වාධීනත්වය නැති කර ගන්න වෙනවා. කලින් ඉදිරිපත් කළ යුරෝපීය උදාහරණයට ගිහින් ඩෙන්මාර්කය පත් වන තත්ත්වය දිහා බැලුවොත් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තරවාදී දෘෂ්ඨිවාදයක ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයට රටේ සාමූහික එකඟතාවය තුළ ප්‍රාදේශීය අනන්‍යතා යටපත් වී ගිලී යාම ප්‍රශ්නයක් නෙමෙයි.

දේශපාලන දෘෂ්ඨිවාදයක් විදිහට සාමූහික කැමැත්තට පෞද්ගලික කැමැත්ත යටපත් වෙන්න අරින එක පිළිගත් පසුව සුළුතර ප්‍රශ්න ලෙස හැඳින්විය හැකි ප්‍රශ්න මතු වීම ඉතාම ස්වභාවිකයි. එවිට එම ප්‍රශ්න වලට විසඳුම් දීමටද සිදු වෙනවා. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වීම දේශපාලන දෘෂ්ඨිවාදයේම කොටසක් කර ගන්න සිදු වෙනවා. සමාජවාදීන්ට බොහෝ විට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වෙන්නේ මේ හේතුව නිසයි. යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වී තිබෙන්නේත් මේ හේතුව නිසයි.

සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වල මුල තිබෙන්නේ සාමූහික කැමැත්ත තුළ පෞද්ගලික කැමැත්ත යටපත් වීමයි. එය එසේ නොවන්නේනම් කිසිදු ඒකීය පුද්ගලයෙක් වෙනත් අයෙකුට සාපේක්ෂව බහුතරයක හෝ සුළුතරයක කොටසක් වෙන්නේ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට විශේෂ අවධානය යොමු කරන්න යාමේදී සුළුතරයක් සේ පොදුවේ හඳුනා නොගැනෙන කණ්ඩායම් වල ඉන්න අයට තමන්ට අසාධාරණයක් වන බව දැනෙන්න පටන් ගන්නවා. ඒ ඔවුන්ද ඒකීය පුද්ගලයින් ලෙස ඉතාම කුඩා සුළුතරයක් වන නිසයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන්ටත් කවර හෝ සාමූහිකයක කොටසක් වෙන්න සිදු වෙනවා. එවැනි ප්‍රති-සාමූහිකයක් හැදෙන්නේ සුළුතර විරෝධයක් එක්කයි. 

යම් හෙයකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මුල් කාලයේදී එහි වාසිය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙයි. ඒ එක්කම, සුළුතර සේ හඳුනා ගැනෙන කණ්ඩායම් වලට වාසිදායක හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති යම් කාලයක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම, ආර්ථික තලයේදී කාර්යක්ෂමතාවය වෙනුවට යම් තරමකින් සමානාත්මතාවය ප්‍රමුඛතාවයක් බවට පත් වෙයි. හැබැයි මේ දේවල් වලින් දිගුකාලීනව වෙන්නේ ඒකීය පුද්ගලයින් ලෙස ක්‍රියා කරන පොදුවේ බහුතරයේ සාමාජිකයින් ලෙස හැඳින්වෙන කොටස් සාමූහිකයක කොටස් බවට පත් කර එකම කණ්ඩායමක් බවට පත් කරන එකයි. මෙය දැනටමත් කාලයක් තිස්සේ සිදු වෙමින් තිබෙන දෙයක්. ට්‍රම්ප්ව බලයට ගෙනාවේ එවැනි සාමූහික මානසිකත්වයක්.

ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මේ තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? දැනට පෙනෙන්න තිබෙන චිත්‍රය අනුවනම් මේ වැඩෙන් වාසිය ඩිමොක්‍රටික් පක්ෂයටයි. එහෙත්, මේ චිත්‍රය වෙනස් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජේආර් ජයවර්ධන ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය හැදුවේ එජාපය දිගටම බලයේ තියා ගැනීමේ අරමුණින්. 1977 දක්වා මැතිවරණ ප්‍රතිඵල දැන් ක්‍රමයට නැවත ගණනය කළොත් එජාපයට ලැබිය හැකිව තිබුණු වාසිදායක ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙනවා. එහෙත්, අතීතයේ සිදු වූ දේවල් ඒ දේවල් සිදු වූ පසුබිම තුළම මිස අප විසින් උපකල්පනය කරන වෙනත් පසුබිමක එළෙසම සිදු විය හැකිව තිබුණේයැයි සිතීම මුලාවක්. අනාගතය ගැන කියන්න තිබෙන්නේත් එවැනිම දෙයක්. ජේආර්ගේ මැතිවරණ ක්‍රමය නිසා අවසාන වශයෙන් වුනේ එජාපය නැත්තටම නැති වී යාමයි.


Sunday, December 13, 2020

ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණය හෙටයි!


මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම හා වොෂින්ටන් ඩීසීහි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිල ප්‍රතිඵල නිකුත් වුනේ ගෙවුණු සතියේදීයි. ඒ අනුව, මේ වන විට බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙස සමස්ත නියෝජිතයින් ගණන බෙදී ගොස් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජිතයින් බෙදී ගියේ හරියටම අනික් අතට, ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙසයි.

ඉහත කී ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කරන්නේ හෙටයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන්නේ හෙට (දෙසැම්බර් 14) කියා කිව හැකියි. එහිදී බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙසින්ම ඡන්ද බෙදී යාම අනිවාර්ය දෙයක් නෙමෙයි. පසුගිය වර ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙස නියෝජිතයින් බෙදී ගොස් තිබුණත් ඔවුන්ට සැබෑවටම ලැබුණේ පිළිවෙලින් ඡන්ද 304ක් හා 227ක් පමණයි. ඉතිරි ඡන්ද 7, කොලින් පවල්ට 3ක්, බර්නි සැන්ඩර්ස්ට 1ක්, රොන් පෝල්ට 1ක්, ජෝන් කේසික්ට 1ක් හා ෆේත් ස්පොටඩ් ඊගල්ට 1ක් ලෙස බෙදී ගියා. මෙවර ප්‍රතිඵලය දැනගන්න ලැබෙන්නේ ජනවාරි 6 වනදා ප්‍රාන්ත නියෝජිතයින්ගේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි.

පැහැදිලිවම පෙනෙන්නට ඇති පරිදි මෙවර ජයග්‍රාහකයා බයිඩන් වුවත් එම ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. බයිඩන්ට සහයෝගය දීමට නියමිත නියෝජිතයින් ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය වන 270ට වඩා වැඩි වන්නේ 36කින් පමණයි. බයිඩන් යාන්තමින් ජයග්‍රහණය කළ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල නියෝජිතයින් ප්‍රමාණය 37ක්. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය ඡන්ද 1,274කින් අඩු වී තිබෙනවා. විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව එහි පරතරය ඡන්ද 87කින් වැඩි වී තිබෙනවා. ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල අවසන් නිල ප්‍රතිඵල මෙහෙමයි. 


ඉහත සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිව පෙනෙන පරිදි මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කර තිබෙන්නේ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල ආන්තික ඡන්දදායකයින් 43,349 දෙනෙකු විසිනුයි. එම එක් එක් ප්‍රාන්තය තුළ ලිබටේරියන් අපේක්ෂිකාව වූ ජෝ ජෝර්ගන්සන් විසින් ලබා ගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉක්මවනවා.

ජනාධිපති ට්‍රම්ප්ව ගෙදර යවන්න හේතු වුනේ මෙවර මැතිවරණයේදී ඡන්ද භාවිතය වාර්තාගත ලෙස ඉහළ යාම බව පැහැදිලි කරුණක්. ඡන්ද භාවිතය ඉහළ ගියේ පසුගිය වසර වලදී පැවැත්වුණු ප්‍රධාන මැතිවරණ වලට සාපේක්ෂවයි. එහෙම වුනේ ඇයි?

මැතිවරණයකදී කිසියම් පුද්ගලයෙකු විසින් ඡන්දය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගනිද්දී සවිඥානිකව හෝ අවිඥානිකව තමන්ට ලැබෙන ආකාර දෙකක වාසි හෝ අවාසි ගැන සලකා බලනවා.

1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර ගැනීමේ හැකියාව නිසා දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වන නමුත් දෙවැන්න ධන හෝ සෘණ අගයක් විය හැකියි. බොහෝ විට සෘණ අගයක්. ඒ වගේම පළමුවැන්න තමන්ගේ ඡන්දය නිසා ප්‍රතිඵලය වෙනස් වීමට තිබෙන සම්භාවිතාව මත වෙනස් වන දෙයක්. 

ඇමරිකානු ජනාධිපතිවරණය වැනි අවස්ථාවකදී ඡන්දය දැමීමේ ක්‍රියාවලිය හරහා ඡන්දදායකයෙකුට ලැබෙන ශුද්ධ වාසිය පහත ආකාරයට සරල ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. මෙහිදී පහසුව සඳහා තෙවන අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් සාධක වල බලපෑම් බැහැර කර තිබෙනවා.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 
C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

දැන් මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

ඇමරිකාව වැනි රටක මැතිවරණ ප්‍රතිඵල මත ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. කවුරු ජනාධිපති වුනත් අපි හම්බ කළොත් අපි කනවා. ඒ නිසා, U1 හා U0 අතර ලොකු වෙනසක් නැහැ. පරතරය අඩුයි. ඒ වගේම, තමන් වාසය කරන්නේ දෝලන ප්‍රාන්තයක නොවේනම් p අගය ඉතාම අඩුයි. ඒ නිසා, සමස්තයක් ලෙස (U1 - U0)p අගය ගොඩක් විශාල නැහැ. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය තුළ සතුටක් ලබන අයෙකුට C>0 නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එවැන්නෙකු හා අදාළව සමස්තයක් ලෙස B>0 නිසා ඔවුන් ඡන්දය දමනවා. එහෙත්, ඡන්දය වෙනුවෙන් වෙනත් වැඩ පැත්තක දමා පැය කිහිපයක් රස්තියාදු වීම වදයක් සේ සලකන අයට C<0 නිසා (C වල ලකුණ නොසලකා මාපාංකය පමණක් ගත්තොත්) ඉහත සූත්‍රය B = (U1 - U0)p - C බවට පත් වෙනවා. එවැන්නෙකුට B>0 වෙන්නේ (U1 - U0)p > C වුවහොත් පමණයි. ඒ කියන්නේ ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය ඡන්දය දමන්නට යාමේ කෙටිකාලීන අවාසියට වඩා වැඩිනම් පමණයි.

සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අය බොහෝ විට ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය එතරම් විශාල සේ සලකන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට ඡන්දය දැමීමේ ක්‍රියාවලිය වියදමක් සේ සලකනවා. ඒ නිසා එවැනි අය සාමාන්‍යයෙන් ඡන්දය දැමීමට දක්වන උනන්දුව අඩුයි.

මේ වෙද්දී ඇමරිකාව විශාල ලෙස දේශපාලනිකව බෙදුණු රටක්. දේශපාලනික බෙදීම තීව්‍ර වන තරමට U1 හා U0 අතර පරතරය විශාල වෙනවා. එවිට (U1 - U0)p ඉහළ ගොස් B ඉහළ යනවා. ඡන්ද භාවිතය ඉහළ යනවා. මෙවර වගේම 2016 මැතිවරණයේදීත් ඇමරිකාවේ ඡන්ද භාවිතය යම් තරමකින් ඉහළ යාමට මේ සාධකය ඉවහල් වුනා.

කෝවිඩ් නිසා ඡන්දය දමන්නට ඡන්ද පොළට යාමේ හා එහි පැය කිහිපයක් ගත කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ ගියා. ඒ කියන්නේ C අගය ඉහළ ගියා. ඒ අනුව, සිදු විය හැකිව තිබුණේ (U1 - U0)p - C අගය පහළ ගොස් ඡන්ද භාවිතය අඩු වීමයි. මෙය සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. ඒ වගේම කෝවිඩ් වලට වැඩිපුර බය අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. මේ දෙකෙන්ම විය හැකිව තිබුණේ රිපබ්ලිකන් ඡන්ද අඩු ප්‍රමාණයක් අඩු වෙද්දී ඩිමොක්‍රටික් ඡන්ද වැඩි ප්‍රමාණයක් අඩු වීමයි.

මේ තත්ත්වය කලින් අවබෝධ කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල C අගය අඩු කිරීමට කටයුතු කළා. කොන්දේසි විරහිතව තැපැල් ඡන්ද දැමීමට ඉඩ දීමෙන් කළේ එයයි. මේ නිසා, එසේ නොකළේනම් B<0 විය හැකිව තිබුණු බොහෝ දෙනෙකුට B>0 වුනා. ඒ බොහෝ දෙනෙක් පැයේ ශ්‍රමයට රැකියා කරන අඩු ආදායම්ලාභීන්, සංක්‍රමණිකයින්, සුළු ජාතිකයින් වැනි ඩිමොක්‍රටික් නැඹුරුවක් තිබුණු අයයි. එහි වාසිය බයිඩන්ට ලැබුණා. මෙය එක අතකින් කෝවිඩ් නිසා ලැබුණු අනපේක්ෂිත වාසියක්.



Saturday, November 14, 2020

බයිඩන් නැගිට්ටේ කොහොමද?


ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි, මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

දැන් මේ ආකාරයට කිසියම් පක්ෂයක් යටතේ ලියාපදිංචි වුනා කියලා එම පක්ෂයටම ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වී හිටියත්, රිපබ්ලිකන් හෝ වෙනත් පක්ෂයක් යටතේ ලියාපදිංචි වී හිටියත්, කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයෙකු ලෙස ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වී හිටියත්, කිසිදු වෙනසක් නැතුව ජාතික මැතිවරණයකදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න පුළුවන්. මේ විදිහටම ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට ඡන්දය දෙන්නත් පුළුවන්.

මේ නිදහස තිබුණත් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වන අය, අපේක්ෂා කළ හැකි පරිදිම, බොහෝ විට ඡන්දය දෙන්නේ එම පක්ෂයේ අපේක්ෂකයෙකුටයි. රිපබ්ලිකන් පක්ෂය හා අදාළවත් මෙය එලෙසමයි. කුඩා පක්ෂ යටතේ ලියාපදිංචි වී ඉන්න අයනම් අන්තිමේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක දුලබ දෙයක් නෙමෙයි. පක්ෂයකට බැඳීමක් නැති අය බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දෙනවා වගේම ඔවුන් බොහෝ දෙනෙකුටත් මේ පක්ෂ දෙකෙන් එකක් වෙත නැමියාවක් තිබෙනවා. වෙනස පක්ෂය වෙත බැඳීම එතරම් දැඩි නොවීම පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙකුත් "පාවෙන ඡන්දදායකයින්" කියා කිව හැකි අය නෙමෙයි.

එක් එක් පක්ෂ යටතේ ලියාපදිංචි වන ඡන්දදායකයින් ප්‍රමාණ අනුව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. කැලිෆෝර්නියා ප්‍රාන්තය සැලකුවොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමාණය රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රමාණයට වඩා දෙගුණයකට ටිකක් අඩුයි. මැතිවරණයේ සැබෑ ඡන්ද භාවිතය බැලුවහම ගොඩවල් දෙකම විශාල වී තිබුණත් ආසන්න වශයෙන් අනුපාතය සමානයි.

කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ බල කඳවුරක් වන කැලිෆෝර්නියා ප්‍රාන්තය අත ඇරලා පක්ෂ දෙකටම ආසන්නව සමාන බලයක් තිබෙන ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තයක් දිහා බැලුවත් ඉහත කී කරුණ තහවුරු කර ගන්න පුළුවන්. නමුත්, ඒ මත පදනම්ව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්න අසීරුයි. මෙවර මැතිවරණයට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයින් පක්ෂ වලට බෙදී සිටියේ (හෝ නොසිටියේ) පහත ආකාරයටයි.

ඩිමොක්‍රටික් - 5,203,795 (37.0%)

රිපබ්ලිකන් - 5,020,199 (35.7%)

වෙනත් පක්ෂ - 188,587 (1.3%)

පක්ෂයකට බැඳීමක් නැති - 3,653,046 (26.0%)

මම කලින් ලිපියක ලිවුවනේ මම පෞද්ගලිකව ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කියලා. ඒ අය අතර රිපබ්ලිකන් පාක්ෂිකයින් නැති තරම්. එහෙත්, ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි නොවූ, "පක්ෂයකට බැඳීමක් නැති" ගොඩේ ඉන්න අය.

මගේ මේ මිතුරු මිතුරියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්. මාද ඇතුළු මේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ එක කකුලක් තවම ලංකාවේ තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. ලංකාවේ ජනමතය නියෝජනය කරමින් මේ බොහෝ දෙනෙක්ද රාජපක්ෂවාදියෝ. එජාප, ජවිපෙ වැනි ලංකාවේ වෙනත් පක්ෂ වලට පක්ෂපාතිත්වයක් තිබෙන ටික දෙනෙක්ද ඉන්නවා. 

ලංකාවේ ජනමතය කියා කිවුවේ අර තාප්ප පාට කරපු කාලයේ ජනමතය ගැන මිසක් දැන් ජනමතය ගැන නෙමෙයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලයේ හැම තැනම හිටියේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු අය. හැබැයි ටික දවසක් යද්දී එහෙම කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. බේතකට වගේ ඕනෑ වුනොත් රාජපක්ෂවාදීන්නම් තවමත් හොයාගන්න අමාරු නැහැ.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කාලයේදී වුවත් ඇමරිකාවෙන් පිටත ඔහුට තිබුණේ දැඩි අප්‍රසාදයක්. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල. එහෙත්, ලංකාවේ ජාතිකවාදීන් හා රාජපක්ෂවාදීන් හිටියේ මීට වඩා වෙනස් ස්ථාවරයක. ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම කැමැත්තක් තිබුණු රට සමහර විට ලංකාව වෙන්න වුනත් බැරි නැහැ.

හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි.

ලාංකික සම්භවයක් නැති මගේ මිතුරු මිතුරියන්ගෙන් වැඩි දෙනෙක්ද සංක්‍රමණිකයින්. මේ අය අතර ඉන්දියාව, චීනය, වෙනත් නැගෙනහිර හා දකුණු ආසියානු රටවල්, රුසියාවෙන් හා පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් වලින් පැමිණි අය, දකුණු ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි අය, අප්‍රිකාවේ විවිධ රටවලින් පැමිණි අය වගේම බටහිර යුරෝපීය රටවල් වලින් හා කැනඩාවෙන් පැමිණි අයත් ඉන්නවා. පොදුවේ ගත්තහම මේ කාගේත් කැමැත්ත තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ඔවුන් වැඩි දෙනෙක් ට්‍රම්ප් විරෝධීන්.

ඊට අමතරව මගේ මිතුරන් සේ සැලකිය හැකි සංක්‍රමණිකයින් නොවන සුදු ඇමරිකානුවන් හැම දෙනෙක්ම වාගේත් ඩිමොක්‍රටික් පැත්තට බර අයයි. ඔවුන් හැම දෙනෙක්ම වගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන වෘත්තීය රැකියා කරන අය. ඒ අයට පොදු වශයෙන් ගත් විට ට්‍රම්ප් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් විද්‍යාව පිළි නොගැනීම හා ඇමරිකාවේ ආයතනික පද්ධතියට ගරු නොකිරීම හේතුවෙනුයි.

වෘත්තීය මට්ටමෙන් මා දන්නා රිපබ්ලිකන් පක්ෂයට බර අදහස් ඇති, පොදුවේ ඇමරිකාව තුළ හා ඇමරිකාවෙන් පිටතත් පිළිගැනීමක් තිබෙන, ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ විද්‍යාව මත පදනම්වයි. රිපබ්ලිකන් පාක්ෂිකයින් වුවත් ඔවුන්ගෙන් ඇතැම් අයටත් ට්‍රම්ප් සමඟ ප්‍රශ්න තිබෙනවා.

කෙසේ වුවත්, මා ජීවත් වන ප්‍රදේශය ඉතා පැහැදිලි ලෙසම රිපබ්ලිකන් ප්‍රදේශයක්. මේ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර මා සමඟ හිතවත්, නිතර හමුවෙන හා කතාබස් කරන, අසල්වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා විය යුතුයි. එහෙත්, ඔවුන් දේශපාලනය කතා කරන්න එන්නේ නැහැ. ඇතැම් විට මා සංක්‍රමණිකයෙකු හා සුළු ජාතිකයෙකු වීම ඊට හේතුවක් විය හැකි වුවත් ඊටත් වඩා මෙය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන අයගේ මූලික ස්වභාවයක්.

ට්‍රම්ප්වාදීන් ට්‍රම්ප් විරෝධීන්ට සාපේක්ෂව පැත්තකට වී පාඩුවේ ඉන්න පිරිසක්. ඔවුන් තර්කනය මත පදනම්ව හෝ සාක්ෂි මත පදනම්ව තීරණ ගන්නා අය නෙමෙයි. ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ.

පසුගිය දෙසැම්බරය වන විටත් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය පෙනෙන සීමාවක හිටියේ නැහැ. පළමුව කෝවිඩ්-19 වසංගතය විසිනුත්, දෙවනුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව හමා ගිය විරෝධතා රැල්ල නිසාත් ඩිමොක්‍රටික් පක්ෂයට ගැම්මක් ආවා. හැබැයි කරුණු දෙකේදීම ට්‍රම්ප්ගේ විවේචකයින් වී සිටියේ කොහොමටත් ට්‍රම්ප් විරෝධීන්ව සිටි අයයි. ට්‍රම්ප්වාදීන් දිගටම ට්‍රම්ප් සමඟ හිටියා. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට හේතු වුනේ ට්‍රම්ප්වාදීන්ව සිටි ඇමරිකානුවන් විසින් ට්‍රම්ප්ව අතහැර බයිඩන්ව වැළඳ ගැනීම නෙමෙයි. එහෙම දෙයක් වුනේ නැහැ.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ යාමයි. එසේනම්, අපට විග්‍රහ කරන්න වෙන්නේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ ගියේ කොහොමද කියන කාරණයයි. බ්ලොග් එක පටන් ගත් අලුත ලියා පළ කළ පහත ලිපිය මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.



(Image: https://www.reddit.com/r/pics/comments/12xwqq/joe_biden_doing_pushups_with_little_girls/)

Friday, November 13, 2020

ඇමරිකාවේ සමාජවාදය


ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.

ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට  "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.

එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා. 

ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.

පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.

ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.

සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)

මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. 

ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා. 

ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!

සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි. 

කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්. 

ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්. 

මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.


Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


Monday, November 9, 2020

ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!


පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ හා ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක් එක වර පැවැත්වෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව මෙතෙක් අපරාධ වරදක් වූ හෙරොයින්, කොකේන් ඇතුළු දරුණු ගණයේ ලා සැලකෙන මත්ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් වාණිජ නොවන අරමුණකින්, තමන්ගේ පාවිච්චිය සඳහා ළඟ තබා ගැනීම තව දුරටත් අපරාධ වරදක් වන්නේ නැහැ. ඔරිගන් ඡන්දදායකයින්ගෙන් 59.51%ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙය මෙවැනි යෝජනාවක් ඇමරිකාවේ සම්මත වූ පළමු අවස්ථාවයි. පෘතුගාලයේනම් කලක සිටම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නෙමෙයි.

මේ යෝජනාවේ අරමුණ මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානි අඩු කිරීමයි. යෝජනාව සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත වන්නේ නැතත්, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් සේ දකිනවා වෙනුවට ඇබ්බැහි වූවන් පිළිබඳව මානුෂික මුහුණුවරකින් බලා මත්ද්‍රව්‍ය භාවිතය යනු ප්‍රතිකාර කළ යුතු රෝගයක් සේ දකිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කෙරෙනවා. එය නොකරන්නේනම් ඩොලර් 100කට නොවැඩි සුළු දඩ මුදලක් පමණක් අය කළ හැකියි.

මෙතෙක් ඔරිගන් ප්‍රාන්තය තුළද ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අසු වූ විට සිර දඬුවම් දෙනු ලැබුවා. එහෙත්, සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන පරිදි භාවිතා කරන්නන් සිරගත කිරීමෙන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවතින්නේ නැහැ. සිරෙන් නිදහස් වන ඔවුන් නැවත නැවතත් සිරගත වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

වරක් අපරාධ වරදකට වරදකරුවෙකුට වූ අයෙකුට රැකියාවක් ලබා ගැනීම, කුලියට නිවසක් ගැනීම ආදී බොහෝ දේ අසීරු වෙනවා. ඒ නිසා, නැවතත් පරණ වලේම වැටී සිරගත වෙනු හැර ගොඩ යන්න අවස්ථාවන් අඩුයි. එයින් වෙන්නේ මහජන මුදල් නාස්තියක්.

"කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීම" ලංකාවේ අයෙකු අසා නැති දෙයක් නෙමෙයි. ඔය විදිහට ඇතුළට යන අය ගියේ ඇත්තට වුනත්, බොරුවට වුනත්, ආපහු එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයා නෙමෙයි. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටින අය බොහෝ විට වරදකරුවන් වුවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නම් ලේසියකට අහුවෙන්නේ නැහැ.

අලුත් නීතිය සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන අසුවන අයව මහජන මුදලින් පුනරුත්ථාපනය කෙරෙනවා. යෝජනාව අනුව, මීට පෙර ගංජා භාවිතය නීතිගත කිරීමෙන් පසු ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙමින් පවතින බදු හා ගාස්තු වලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කෙරෙනවා.

ඔරිගන් වැසියන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නීති ලිහිල් කර ගනිද්දී තවත් ප්‍රාන්ත ගණනාවක ගංජා භාවිතය නීතිගත කර ගැනීම වෙනුවෙන් වූ ජනමතවිචාරණ ජයග්‍රහණය කර තිබෙනවා.


Saturday, November 7, 2020

ජෝ බයිඩන්- ඇමරිකාවේ මීළඟ ජනාධිපති


මේ වෙද්දී සියළුම ප්‍රධාන මාධ්‍ය විසින් ඔවුන්ගේ පුරෝකථන අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. එක් එක් මාධ්‍ය ආයතනය විසින් ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මේ වන විට තහවුරු කර ඇති බයිඩන්ගේ නියෝජිතයින් ගණන 273, 279, 284, 290 ආදී ලෙස වෙනස් වුනත් එම ප්‍රමාණය 270 ඉක්මවන බවට පොදු එකඟත්වයක් ඇති වී අවසන්. රිපබ්ලිකන් පක්ෂය බලය හොබවන අපේ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලොක්කන්නම් ඔවුන්ගේ ජය සැමරුම් සාදය ඊටත් කලින්ම සංවිධානය කළා. කෙසේ වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවමත් පරාජය භාර ගෙන නැහැ.

මාධ්‍ය ආයතන විසින් මේ වන තුරුත් උතුරු කැරොලයිනා, ජෝර්ජියා හා ඇලස්කා ප්‍රාන්ත කිසිදු අපේක්ෂයෙකුට ලියා දී නැහැ. ඇරිසෝනා හා නෙවාඩා වල තරඟය ඇතැම් මාධ්‍ය ආයතන වලට අනුව තීන්දු වී අවසන් වුවත් තවත් ඒවාට අනුව තවමත් විවෘතයි. අවසන් ප්‍රතිඵලය තීන්දු වීමට හේතු වූයේ පෙනිසිල්වේනියා ප්‍රතිඵලය පිළිබඳ විවිධ විශ්ලේෂකයින්ගේ පොදු අවසන් නිගමනයයි. එහෙත්, මා පෙර ලිපියේ විස්තර කළ පරිදි, මාධ්‍ය වල පෙන්වන්නේ අවසන් නිල ප්‍රතිඵල නෙමෙයි. කලින්ම අවසන් ප්‍රතිඵලය නිශ්චය කෙරුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේත් තවමත් ගණන් කර අවසන්ව තිබෙන්නේ 82%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකාවේ මැකෝ කෙනෙක් නැද්ද? සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබුණා. පෙර ලිපියේ ප්‍රතිචාර කොටසේ ලියූ පරිදි, තනි මැකෝ කෙනෙක් අවශ්‍ය වෙන්න ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් නෙමෙයි. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව. හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට දැනටත් ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයක් නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, මාධ්‍ය ආයතනයකට ඔවුන්ගේ විශ්ලේෂන මත පදනම්ව අවසන් ප්‍රතිඵලය ඉතා ඉක්මණින් නිවේදනය කළ හැකියි. එහෙත්, 2000 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුනාක් මෙන්, අවසන් මැතිවරණ ප්‍රතිඵලය අවසන් ඡන්දය ගණන් කරන තුරුම අවිනිශ්චිත වන අවස්ථා තියෙන්න පුළුවන්. මෙවර ප්‍රාන්ත ගණනාවකම එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

දැනට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් අවසන් ප්‍රතිඵලය නිගමනය කර නැති ප්‍රාන්ත අතරින් ඇලස්කා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජයගනු ඇති බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා පොදුවේ පිළිගන්නා දෙයක්. මගේ ඇස්තමේන්තුව අනුව 95%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලස්කා ප්‍රාන්තය ජය ගැනීමටයි. අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ ඉතා සුළු පරතරයක් තිබෙන ඉතිරි ප්‍රාන්ත පහ හා අදාළවයි.

ඇලස්කා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.elections.alaska.gov/results/20GENR/Map/

උතුරු කැරොලයිනා ප්‍රාන්තය තුළ මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 76,515කින් ඉදිරියෙන් සිටිනවා. ගණන් කරන්නට ඉතිරි වී තිබෙන ඡන්ද ප්‍රමාණය 99,000කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, සෛද්ධාන්තිකව ජෝ බයිඩන්ට උතුරු කැරොලයිනාව ජය ගැනීමට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත්, ප්‍රායෝගිකව එම ඉඩ ඉතාම කුඩා ඉඩක්. 

ඉහත කී ඉතිරිව ඇති ඡන්ද ප්‍රමාණය යනු මේ වන තුරු ආපසු ලැබී නැති තැපැල් ඡන්දයි. මේ ඇතැම් තැපැල් ඡන්ද ලබාගත් අය තැපැල් ඡන්දය භාවිතා නොකර ඡන්ද මධ්‍යස්ථානකදී තමන්ගේ ඡන්දය දමා තිබෙන්නට පුළුවන්. තවත් අය ඡන්දය දමා නොතිබෙන්න පුළුවන්. තවත් අය ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයෙන් පසුව තැපැල් කර තිබෙන්නට පුළුවන්. 

මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර තැපැල් කර තැපැල් කන්තෝරු දින මුද්‍රාව වැදී පසුව ලැබෙන ඡන්ද ගණන් කර අවසන් කිරීම සඳහා කවුන්ටි මැතිවරණ මණ්ඩල වලට නොවැම්බර් 13 දක්වා කාලය හිමි වෙනවා. මැතිවරණ දින තැපැල් කරනු ලැබ, නොවැම්බර් 12 දින පස්වරු 5 දක්වා ලැබෙන උතුරු කැරොලයිනා ඡන්ද පත්‍රිකා වලංගු ඡන්ද සේ සැලකෙනවා. 

මෙසේ තැපෑලෙන් එන ඡන්ද සඳහා බලා සිටිය යුතු සහන කාලය පෙර මැතිවරණ වලදී දින තුනක් වුවත් ප්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින් කෝවිඩ් වසංගතය නිසා එම කාලය දින නවයක් දක්වා දිගු කළා. මේ තීරණයට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය අනුමත කළා.  

මේ අනුව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා ඉදිරි සතිය තුළ තැපෑලෙන් පැමිණීමට ඉඩ තිබෙන ඡන්ද පත්‍රිකා ගණන් කර අවසන් වන තුරු බලා ඉන්න වෙනවා. 

උතුරු කැරොලිනා මැතිවරණ මණ්ඩලය විසින් අවසන් වරට යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙන නිල නොවන සමස්ත ප්‍රතිඵලය පහත සබැඳියෙන් බලා ගන්න පුළුවන්.

උතුරු කැරොලයිනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://er.ncsbe.gov/?election_dt=11/03/2020&county_id=0&office=FED&contest=1373

ඉහත කී ලැබෙන්නට ඉඩ තිබෙන ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ආපසු නොලැබෙනු ඇති බව හා එසේ ලැබෙන ඡන්ද පත්‍රිකා වලින් යම් කොටසක් වලංගු ඡන්ද නොවිය හැකි බව පැහැදිලි කරුණක්. අලුතෙන් එකතු වන සමස්ත ඡන්ද ප්‍රමාණය 76,515 ඉක්මවූවේ නැත්නම් ජෝ බයිඩන්ට කෙසේවත් උතුරු කැරොලයිනා ප්‍රාන්තය ජයගන්න බැහැ. ඒ සඳහා ඊට වඩා වැඩි වලංගු ඡන්ද ප්‍රමාණයක් අලුතෙන් එකතු විය යුතුයි. එහෙත්, එසේ අලුතෙන් එකතු වන ඡන්ද සියල්ලම ජෝ බයිඩන් විසින් ලබා ගනු ඇතැයි හිතන්න බැහැ. ඒ නිසා, මගේ ඇස්තමේන්තුව අනුව 90%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගැනීමටයි. 

දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්ථිර ලෙස හිමි වී ඇති සේ සැලකෙන නියෝජිතයින් ගණන 214ක් පමණයි. එම ගණනට ඇලස්කා හා උතුරු කැරොලයිනා නියෝජිතයින් එකතු කළොත් ට්‍රම්ප්ගේ නියෝජිතයින් ගණන 232 දක්වා ඉහළ යනවා. එසේ වුවත්, ඔහුට 270 සීමාවට යාම සඳහා තවත් නියෝජිතයින් 38 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත්, ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 7,248ක් පමණයි. තවමත් ගණන් කරන්නට ඉතිරි වී තිබෙන්නේ රටින් පිට සිට ඡන්දය භාවිතා කළ අයගේ හා හමුදා සේවයේ යෙදී සිටි 8,400 දෙනෙකුගේ ඡන්ද හා "ද්වීතියික ඡන්ද" 14,200ක් පමණයි. ද්වීතියික ඡන්ද සියල්ලම වලංගු ඡන්ද නෙමෙයි. හමුදා සාමාජිකයින්ගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ට ලැබෙන්නට ඉඩ තිබෙන නමුත් ද්වීතියික ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් කාට වුනත් ලැබෙන්න පුළුවන්. පරතරය ඉතා අඩු වුවත්, මගේ ඇස්තමේන්තුව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම පරතරය පියවා ගැනීමට මේ වන විට ඉතිරිව තිබෙන්නේ 20%කට වඩා අඩු ඉඩක්. 80%ක්ම ඉඩ තිබෙන්නේ ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන්ට හිමි වීමටයි.

ජෝර්ජියා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.enr.clarityelections.com/GA/105369/web.264614/#/summary

ඇතැම් මාධ්‍ය ආයතන විසින් කළින්ම ජෝ බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන විට 20,573 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර තවත් ඡන්ද 92,000 දක්වා ප්‍රමාණයක් ගණන් කිරීමට තිබෙනවා. මේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබී ඉහත පරතරය අඩු වෙන්නට ඉඩක් තිබුණත්, පරතරය පියැවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රාහකයා වෙන්නනම් අවම වශයෙන් ඉතිරි ඡන්ද වලින් 60%කට වඩා ඔහුට ලැබිය යුතුයි. මේ ඡන්ද ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින කවුන්ටි වල නිසා එය සිදු විය නොහැක්කක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව අනුව තවමත් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ට්‍රම්ප්ට ඉතිරිව තිබෙනවා. අපි කියමු 20%ක පමණ ඉඩක් කියා. 

ඇරිසෝනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.arizona.vote/#/featured/18/0

නෙවාඩා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ වැඩි ඡන්ද 25,699කින් පමණක් වුවත්, මෙම පරතරය වැඩි වෙන්නට මිස අඩු වෙන්නට ඉඩක් මට පෙනෙන්නේ නැහැ. නෙවාඩා ප්‍රාන්තයේ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කරන්නට ඉතිරි වී ඇතත් එම ඡන්ද ගණන් කර අවසන් වෙද්දී ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද තවත් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැහැ. මේ අනුව, සෛද්ධාන්තිකව ට්‍රම්ප්ට නෙවාඩා ප්‍රාන්තය ජයග්‍රහණය කළ හැකි වුවත් ප්‍රායෝගිකව ඒ සඳහා තිබෙන්නේ ඉතාම අඩු ඉඩක්. දැනට තිබෙන තොරතුරු මත පදනම්ව කෙරෙන මගේ ඇස්තමේන්තුව අනුව මේ ඉඩත් 20%කට වඩා අඩුයි.

නෙවාඩා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://silverstateelection.nv.gov/

ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගැනීමට තිබෙන්නේ බොහෝ අඩු ඉඩක්. යම් හෙයකින් මේ ප්‍රාන්ත තුනම ඔහු ජය ගත්තත්, ඔහුගේ නියෝජිතයින් ගොඩට එකතු වන්නේ නියෝජිතයින් 33 දෙනෙකු පමණයි. එවිටද ඔහුගේ එකතුව 265ක් පමණයි. ජයග්‍රහණය සඳහා අවම වශයෙන් නියෝජිතයින් 270ක් අවශ්‍යයි.

නියෝජිතයින් 20 දෙනෙකු සිටින පෙනිසිල්වේනියාව දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ මේ හේතුව නිසයි. අවම වශයෙන් නියෝජිතයින් 253 දෙනෙකු හිමි කරගෙන සිටි බයිඩන්ගේ ගොඩට පෙනිසිල්වේනියා නියෝජිතයින් 20 එකතු වූ වහාම, ඉතිරි අවිනිශ්චිත ප්‍රාන්ත වල තත්ත්වය කෙසේ වුවත්, බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහකයා ජෝ බයිඩන් බව මේ වෙද්දී සියලුම ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සමඟම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජයග්‍රහණය සමරමින් සිටිනවා. මේ වන විට පෙනිසිල්වේනියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 34,458 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් ඡන්ද 76,498ක් පමණයි. මේ ඡන්ද තැපැල් ඡන්ද. මෙතෙක් රටාව අනුව තැපැල් ඡන්ද වලින් 75%ක් පමණම ලැබුනේ ජෝ බයිඩන්ට නිසා ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මෙම වැඩි ඡන්ද ප්‍රමාණය 50,000 පමණ මට්ටමක් දක්වා තවත් ඉහළ යාමට ඉඩ තිබෙනවා. 

මේ වන විට පවතින තත්ත්වය අනුව, නීතිමය බාධාවක් ඇති නොවුනහොත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමි වීමටත්, ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ජෝ බයිඩන් වීමටත් තිබෙන සම්භාවිතාව 100%ක් කියා සෛද්ධාන්තික හේතු මත කියන්න පුළුවන්කමක් නැතත් 99%කට වඩා වැඩි බව කියන්න පුළුවන්. එහෙත්, නඩු තීන්දු මත මේ තත්ත්වයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.electionreturns.pa.gov/

දැන් තත්ත්වය අනුව පෙනෙන්නේ 306: 232 ලෙස නියෝජිතයින් බෙදීයාමට වැඩි ඉඩක් තිබෙන බවයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමරන්න බලා සිටි අයට දැන් එය සැමරිය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාගෙන සිටි අයට දැන් තිබෙන්නේ දුක සමරන්නයි. දෙගොල්ලන්ටම චියර්ස්!


Friday, November 6, 2020

ඇමරිකාවේ මොකද වෙන්නේ?


මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමරිකාව දිහා. ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් තවමත් නිකුත් වෙලා නැහැ. ඇමරිකාවේ මොකද වෙන්නේ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ පසුගිය නොවැම්බර් 3 වන දින හා ඊට පෙර පැවැත්වුණු, තවමත් පවත්වා ඉවර නැති, ඡන්ද වලින් ඇමරිකාවේ ජනාධිපතිවරයාව නිශ්චිත ලෙස තෝරා පත් කර ගැනෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වනදා. දෙසැම්බර් 14 දින ලබා දෙන ඡන්ද ගණන් කර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ජනවාරි 6 වනදා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා 538 දෙනෙකු ඡන්දය භාවිතා කරනවා. එසේ ඡන්දය භාවිතා කරන්නේ එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයින් ලෙසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නියෝජිතයින් ප්‍රමාණය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තයට නියෝජිතයින් 55 දෙනෙකු හිමි වන නමුත් මොන්ටානා, වයෝමින්, උතුරු ඩකෝටා, දකුණු ඩකෝටා, ඇලස්කා, ඩෙලවෙයා වැනි ප්‍රාන්ත වලට හිමි වන්නේ නියෝජිතයින් 3 දෙනෙකු බැගින් පමණයි. වොෂින්ටන් ඩීසී අගනුවර නියෝජනය කරමින්ද නියෝජිතයින් 3 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකියි.

එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින් විසින් ඡන්දය භාවිතා කළ යුතු ආකාරය තීරණය වෙන්නේ අදාළ ප්‍රාන්තයේ නීතිය අනුවයි. ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත විසින් දැනට කරන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ඡන්දදායකයින් වැඩිම පිරිසකගේ සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රාන්තයට හිමි ඡන්ද සියල්ල ලබා දීමයි. ප්‍රාන්ත දෙකක් පමණක් මිශ්‍ර ක්‍රමයක් අනුගමනය කරනවා.

නොවැම්බර් 3 වන දින පැවැත්වුණේ තනි මැතිවරණයක් නෙමෙයි. වොෂින්ටන් ඩීසී අගනුවරද ඇතුළුව එක් එක් ප්‍රාන්තයේ මැතිවරණ නීතිය අනුව පැවැත්වුණු මැතිවරණ 51ක්. මේ මැතිවරණ වල ප්‍රතිඵල අනුව, එක් එක් ප්‍රාන්තයට තමන්ට හිමි නියෝජිතයින් ප්‍රමාණය තෝරා ගන්නා ආකාරය තීරණය කරන්නට දෙසැම්බර් 8 දක්වා කල් තිබෙනවා. මෙය කරන්නේ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් ප්‍රාන්තයක නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දිනයේ සිට සති දෙකක පමණ සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ලංකාවේ මෙන් මැතිවරණයට පසු දින නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කරන්නේ නැහැ.

මේ වන විට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මැතිවරණ ප්‍රතිඵල කිසිවක් නිල ප්‍රතිඵල නෙමෙයි. අදාළ මාධ්‍ය වල විශ්ලේෂකයින් විසින් පිළියෙල කර තිබෙන අපේක්ෂිත ප්‍රතිඵල. මේ අපේක්ෂිත ප්‍රතිඵල වැරදෙන්න විශාල ඉඩක් නැතත් එවැන්නක් සිදු වෙන්න බැරිකමක් නැහැ.

විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ හා වෙනත් ස්වාධීන විශ්ලේෂකයින් විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කරන මැතිවරණ ප්‍රතිඵල බොහෝ විට සමාන වුවත් හැම විටම එසේ වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයේ විශ්ලේෂකයින් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය කලින්ම ජෝ බයිඩන්ට ලියා දී ඇති නමුත් අනෙක් විශ්ලේෂකයින් හැම දෙනෙකුම මෙන් තවමත් එම ප්‍රාන්තය සලකන්නේ අවසන් ප්‍රතිඵලය ස්ථිර ලෙස තීරණය නොවූ ප්‍රාන්තයක් ලෙසයි.

බොහෝ විශ්ලේෂලකයින්ට අනුව, මේ වන විට ප්‍රාන්ත හයක හැර අනෙකුත් ප්‍රාන්ත වල ප්‍රතිඵලය තීරණය වී අවසන්. ඒ අනුව, ඔවුන් එම ප්‍රාන්ත රතු, නිල් හෝ මිශ්‍ර පැහැයකින් පාට කර තිබෙනවා. එහෙත්, එසේ කර තිබෙන්නේ ඡන්ද ගණන් කර අවසන්ව ඇති නිසා නෙමෙයි. 

උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයට අනුබද්ධ විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 77.6%ක්. එම ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණයෙන් 65.08%ක් ජෝ බයිඩන් විසිනුත්, 33.04%ක් ට්‍රම්ප් විසිනුත් ලබා ගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවයේ වගේම අනෙකුත් විශ්ලේෂකයන්ගේ නිගමනය අනුව, ඉතිරි ඡන්ද ප්‍රමාණය ගණන් කිරීමෙන් පසුව කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. මේ අයුරින්ම මේරිලන්ඩ් ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය 74.28%ක් පමණක් වුවත්, එම ඡන්ද ප්‍රමාණයෙන් 62.47%ක්ම ලබා ගෙන තිබෙන්නේ ජෝ බයිඩන් විසින් නිසා ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු අවස්ථාවක් නැහැ. 

කැලිෆෝර්නියා හා මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත හා අදාළව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණෙන්න අසීරු නැහැ. එහෙත්, ඇරිසෝනා ප්‍රාන්තය වැනි ප්‍රාන්තයක් සම්බන්ධව එවැනි නිගමනයකට පැමිණෙන්න අමාරුයි. මේ වෙද්දී, ප්‍රංශ පුවත් සේවයේ ඇස්තමේන්තු අනුවම ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද වලින් ගණන් කර අවසන්ව ඇත්තේ 92.81%ක් පමණයි. එම ඡන්ද වලින් 50.07ක් බයිඩන් විසින් ලබා ගෙන ඇතත්, ට්‍රම්ප් විසින්ද 48.53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක පරතරය ඡන්ද 47,052ක් පමණයි. ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මේ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, අනෙකුත් විශ්ලේෂකයින් විසින් තවමත් ඇරිසෝනා නියෝජනය කිසිදු අපේක්ෂකයෙකුට ලියා දී නැහැ.

හැම ප්‍රසිද්ධ මාධ්‍යයක්ම වාගේ බයිඩන් දිනන බව පැහැදිලිව පෙනෙන්නට ඇති ප්‍රාන්ත කළින්ම නිල් පාටින් ලකුණු කරන්න හදිස්සි වී ඇතත්, ට්‍රම්ප් දිනන බව පැහැදිලිව පෙනෙන ප්‍රාන්ත රතු පාටින් ලකුණු කරන්නට එසේ හදිසි වී නැහැ. උදාහරණයක් ලෙස මේ වන විට ට්‍රම්ප් විසින් 62.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබෙන ඇලස්කා ප්‍රාන්තය කිසිදු විශ්ලේෂකයෙකු විසින් තවමත් රතු පාටින් පාට කර නැහැ.

කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැති තරම් කියා කියන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රාන්ත සියල්ල අත හැරීමෙන් පසුව දැනට බයිඩන්ට 253ක නියෝජනයක් හිමිව තිබෙනවා. ජයග්‍රහණය සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ නියෝජිතයින් 17 දෙනෙකු පමණයි.

මේ සඳහා පහසුම මාර්ගය පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමයි. ඒ සමඟම, අනෙක් ප්‍රාන්ත වල තත්ත්වය කුමක් වුවත්, බයිඩන්ගේ නියෝජිතයින් ප්‍රමාණය 273 දක්වා ඉහළ ගොස් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ වන විට තත්ත්වය අනුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයෙන් ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 5,587ක් පමණක් වුවත්, එම ප්‍රාන්තයේ ගණන් කිරීමට ඉතිරිව තිබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක්ද ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ජෝ බයිඩන්ටයි. 

ඇලස්කා හා උතුරු කැරොලයිනා ප්‍රාන්ත ජයගන්නට ඉඩ තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව පෙනෙන්නට තිබෙන අතර බයිඩන් දැනට ඉදිරියෙන් සිටින ජෝර්ජියා, නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත හා අදාළවද තවමත් අවිනිශ්චිත බවක් තිබෙනවා. එහෙත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය නොකර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ අනුව, ට්‍රම්ප්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නට ආසන්නයි.


Sunday, November 1, 2020

හැලෝවීන් අවුරුද්දේ ඡන්ද කෙරුවාව


හෙට පළ කිරීමේ අදහසින්, මේ ලිපිය ලියද්දී ගෙවෙන්නේ හැලෝවීන් රාත්‍රියයි. මේ අවුරුද්දේ බය හිතෙන ඇඳුම් ඇඳගෙන අසල්වැසියන් අමුතුවෙන් බය කරන්න දෙයක් නැහැ. මේ අවුරුද්දම හැලෝවීන් අවුරුද්දක්. 

හැලෝවීන් දවසට පෙර සිකුරාදා දිනයේදී ඇමරිකාවෙන් අලුතෙන් හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයකට වැඩියි. මේ තනි රටකින් එක් දිනයක් තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂයකට වඩා හඳුනා ගැනුණු පළමු අවස්ථාවයි. ඉන්දියාව ලක්ෂය කිට්ටුවටම ගියත් ලක්ෂය ඉක්මවූයේ නැහැ. එළඹෙන ශීත සෘතුව තුළ ඇමරිකාවේ මේ වාර්තාව ඇමරිකාව විසින්ම නැවත නැවත වාර ගණනාවක් අලුත් කරනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

අපේ ප්‍රාන්තයේ තත්ත්වයේත් වෙනසක් නැහැ. ප්‍රාන්තය තුළින් පසුගිය සිකුරාදා හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණනද අලුත් වාර්තාවක්. මෙසේ සිදුවුනේ අපේ ප්‍රාන්තයේ පාලකයින්ගේ වරදින් නෙමෙයි. අපේ ප්‍රාන්තය වසා දැමුවේ කෝවිඩ් ආසාදිතයින් ඉතාම සුළු ප්‍රමාණයක් හඳුනා ගැනුණු වහාමයි. දැනටත් පාසැල් සරසවි, රජයේ කාර්යාල ආදිය පූර්ණ ලෙස විවෘතව නැතුවා වගේම මුහුණු වැසුම් නීතිය, අඩි හයේ නීතිය ආදියද හොඳින් ක්‍රියාත්මක වෙනවා. කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කළ හැකි වුවත් වැළැක්විය හැකි එකක් නෙමෙයි.

යුරෝපයේ බොහෝ රටවල දැකිය හැක්කේත් ඇමරිකාවේ රටාවමයි. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි ශීත සෘතුව එළිපත්තේ සිටින කවර යුරෝපීය රටක් දෙස බැලුවත් දෙවන රැල්ල යන්නේ පළමු රැල්ලට වඩා ගොඩක් ඉහළින් බව පහසුවෙන් නිරීක්ෂනය කළ හැකියි. මෙය වසංගතයේ පැතිරීම ආරම්භ වෙද්දීම ආකෘති අනුසාරයෙන් නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක්. ඒ වගේම, බටහිර හැම රටක්ම වගේ මේ තත්ත්වයට මුහුණ දීම සඳහා කලින් සැලසුම් කළා. ප්‍රධානම හේතුව නොවුනත්, ආසාදිතයින් වැඩි වන තරමට මරණ ඉහළ නොයාමට මෙය ප්‍රධාන හේතුවක්.

පසුගිය මාර්තු මාසයේ සිටම අප සිටියේ ගෙදරටම වී බව මා කිහිප වරක්ම සටහන් කර තිබෙනවා. දෙසතියකට පෙර අප ඡන්දය දැමීම සඳහා එළියට ගියා. මාර්තු මාසයෙන් පසුව මෙවැනි ජනාකීර්ණ තැනකට ගියේ පළමු වරටයි. පැය එකහමාරකට වඩා වැඩි වෙලාවක් පෝලිමේ ඉන්න සිදු වුනා. 




පෝලිමේ අන්තිමට කිට්ටුව සිටි දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ඇප් එකකින් පරීක්ෂා කර අපට දැනුම් දුන්නේ ඡන්දය දැමීමට පැයකුත් මිනිත්තු හතළිස් පහක් පෝලිමේ ඉන්නට සිදුවනු ඇති බවයි. මිනිත්තු පහළොවකින් ඡන්දය දැමීමට අවශ්‍යනම් වෙනත් ඡන්ද පොළකට යා හැකි බවද ඔහු දැනුම් දුන්නා. ඒ ඡන්ද පොළට මිනිත්තු දහ පහළොවකින් යා හැකි වුවත් අප එහිම නැවතුනා. අපට පසුව පැමිණි වෙනත් ඇතැම් අය අනෙක් ඡන්ද පොළට පිටත්ව ගියා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදීද මෙසේ කලින් ඡන්දය දැමීමට ගොස් පැය හතරක් හෝ පහක් පමණ පෝලිමේ සිටි නිසාත්, එළියට බැස්සේ සෑහෙන කාලයකට පසු නිසාත් ටිකක් පෝලිමේ ඉන්න එකේ අවුලක් දැනුනේ නැහැ. මේ දවස් වල පරිසරයත් ඉතාම ලස්සනයි. හැමෝම අඩි හයේ පරතරය තබාගෙන පෝලිමේ සිටි නිසාත්, මුවවැසුම් පැළඳ සිටි නිසාත් ඒ වෙලාවේ ලොකු අවදානමක් ඇති බවක් දැනුනේ නැහැ. එහෙත් කළේ මෝඩ වැඩක්ද කියා පසුවනම් හිතුනා. පෝලිමේ පැය එකහමාරක් ගත නොකර අනෙක් ඡන්ද පොළට යන්න තිබුණා වගේම තැපෑලෙන් ඡන්දය දමන්නත් අවස්ථාව තිබුණා.

ඇමරිකාවේ සියලුම ඡන්ද පැවැත්වෙන්නේ එකම නිශ්චිත දිනයක වුවත් එම දිනයට පෙර තමන්ට පහසු දිනයක ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාවද තිබෙනවා. මෙය ලියන මොහොත වන විට ඇමරිකානුවන් 91,222,908 දෙනෙකු ඡන්දය දමා අවසන්.  එයින් 33,141,215 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථානයකදීත්, 58,081,693 දෙනෙකු තැපැල් මාර්ගයෙනුත් ඡන්දය භාවිතා කර තිබෙනවා. මෙම ප්‍රමාණය පසුගිය වර භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්. මීට අමතරව තවත් 33,119,293 දෙනෙකු මේ වන විට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ දිනයේදී ඡන්දය දමන්නට වැඩි පිරිසක් ඉතිරි වන එකක් නැහැ. 

බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ ජනාධිපති තරඟය දෙස වුවත් ඇමරිකාවේ මැතිවරණයක් කියන්නේ ජාතික මට්ටමින්, ප්‍රාන්ත මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පුරවන අවස්ථාවක්. ජාතික මට්ටමේදී ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා මෙන්ම සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් තෝරා ගැනීම සඳහාත්, ප්‍රාන්තයේ අධිපතිවරයා හා නියෝජ්‍ය අධිපතිවරයා මෙන්ම ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකයේ එනම් සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්, ප්‍රාදේශීය මට්ටමෙන් කොමසාරිස් වරුන් හා කවුන්ටි කවුන්සලයේ සභිකයින්, ප්‍රාන්ත මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා අධිකරණ ගණනාවක විනිශ්චයකාරවරුන් හා උසාවි ලිපිකරුවන් මෙන්ම නීතිපතිවරයා, ප්‍රාන්ත වල හා කවුන්ටි වල විගණකාධිපතිවරුන් හා භාණ්ඩාගාරිකයන් මෙන්ම පාසැල් පාලක මණ්ඩල ඇතුළු තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පිරවෙන හෝ අනුමත වන නිසා ඡන්ද පත්‍රිකාව දිගු එකක්. මේ තනතුරු පිරවීමට අමතරව බදු වැඩි කිරීම් වැනි දේ ඇතුළු ඇතැම් නීති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණද මේ ඡන්ද පත්‍රිකාවටම එකතු වෙනවා.

කෙසේ වුවත්, ජයග්‍රහණය කරන්න වැඩි සම්භාවිතාවක් නැති අපේක්ෂකයින්ගේ නම් වලින් ඡන්ද පත්‍රිකාව පුරවන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේ සටහන්ව තිබෙන්නේ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් පමණයි. හරිත පක්ෂයේ අපේක්ෂකයා ඇතුළු තවත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් තරඟ කළත් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැක්කේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් යන්න තෝරා නම ලිවීමෙන් පමණයි.

මෙවර මැතිවරණයේදී වෙනදා දකින්නට නොලැබෙන අසාමාන්‍ය උනන්දුවක් දැකිය හැකියි. මීට පෙර මේ අයුරින් ඡන්ද ප්‍රචාරණ පත්‍රිකා වලින් තැපැල් පෙට්ටිය පිරී නැහැ. ඇමරිකාව ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ලෙස දැඩි ලෙස බෙදී සිටීම ඊට හේතුව විය හැකියි. මුහුණ වසාගත් අපේක්ෂකයාගේ කණ්ඩායම සහ මුහුණ වසා නොගත් අපේක්ෂකයාගේ කණ්ඩායම. හරියට උඩ වට්ටක්කා ගෙඩි දෙක වගේ.


Friday, August 7, 2020

පාර ක්ලියර්!

ලංකාවේ මහ මැතිවරණයට කිසිසේත්ම සම්බන්ධයක් නැති වෘත්තීය කටයුතු කිහිපයක් නිසා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාව හොයා ගන්න අසීරු වුනත් හැමදාම කරන පරිදි මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යම් විශ්ලේෂණයක් නොකරත් බැහැනේ. මා හැම විටම කියන පරිදි මිනිස්සු වෙනස් වෙන විට ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩු වලට වියුක්ත පැවැත්මක් නැහැ.

පෙර ලිපියක ලියූ පරිදි "1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා". දැන් 2020දී නැවතත් ඒ දෙයම සිදු වී තිබෙනවා. මා හිතන්නේ මේ ප්‍රතිඵලය මැතිවරණයට පෙර කිසිවෙකුටත් මෙලෙසම පුරෝකථනය කළ නොහැකි වූ බවයි.

මේ මැතිවරණයෙන් ආණ්ඩුව ජයගනු ඇති බව කිසිදු සැකයක් තිබුණු කරුණක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව වුනේ ආණ්ඩුව 125-130 අතර මන්ත්‍රී ධුර ප්‍රමාණක් ලබා ගනු ඇති බවයි. එමෙන්ම මගේ විශ්වාසය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. ඒ නිසා, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යම් පිරිසකට කෝවිඩ් අවදානම හමුවේ ඡන්දය දීමට තරම් ගැම්මක් මේ වන විට නැති විය හැකි බවයි. 

එජාපය දෙකට බෙදීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ විශාල පිරිසක් මෙවර ඡන්දය භාවිතා නොකරනු ඇති බවත්, එජාපය ඉතා දරුණු පරාජයක් ලබනු ඇති බවත් මා පුරෝකථනය කළත් එජාපය නැත්තටම නැති වී යාම මා කිසිසේත්ම පුරෝකථනය කළ දෙයක් නෙමෙයි. මගේ අවම තක්සේරුව වූයේ එජාපයට අඩු වශයෙන් කොළඹින් හා ගම්පහින් මන්ත්‍රී ධුර දෙකක් බැගින්, කුරුණෑගලින් හා කළුතරින් මන්ත්‍රී ධුරය බැගින් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දෙකක් ලෙස මන්ත්‍රී ධුර 8ක් වත් ලැබෙයි කියා. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 15ක පමණ ප්‍රමාණයක්.

ජවිපෙ සම්බන්ධව මගේ අවම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර හතරක්. ඒ දැනට ලබා ගෙන ඇති මන්ත්‍රී ධුර තුන සහ මාතරින් තවත් මන්ත්‍රී ධුරයක් ලෙසයි. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 7ක පමණ ප්‍රමාණයක්. අපේ ජනබල පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට තිබුණු ඉඩකඩද මා විසින් පුරෝකථනය කළා. ශ්‍රීලනිපය වෙනම තරඟ කළ දිස්ත්‍රික්ක වලදී මන්ත්‍රී ධුර කිසිවක් හිමි කර ගනු ඇතැයි මා පුරෝකථනය කළේ නැහැ. 

සමගි ජන බලවේගය පිළිබඳ මගේ ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 50-60 අතර ප්‍රමාණයක්. එය එතරම් වැරදි නැහැ. එහෙත්. මා ඇස්තමේන්තු කළේ සජබ හා එජාප මන්ත්‍රී ධුර එකතුව 65-75 ආසන්න ප්‍රමාණයක් වනු ඇති බවයි. සමස්තයක් ලෙස ඡන්ද භාවිතය මා ඇස්තමේන්තු කළාට වඩා වැඩියි. මගේ ඇස්තමේන්තුව වූයේ 65%ක පමණ ප්‍රතිශතයක්. 

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය අනුව එම පක්ෂයට ලැබිය හැකිව තිබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. එහෙත්, ඔවුන් එම ඡන්ද ප්‍රමාණයම ලබද්දී ප්‍රධාන පක්ෂ වල ඡන්ද භාවිතය අඩු වූවානම් ජවිපෙ ප්‍රතිශතය ඉහළ ගොස් ඔවුන්ට වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි වෙනවා. මෙය යම් තරමකට සිදු වුනත් මා ඇස්තමේන්තු කළ තරමටම සිදු වුනේ නැහැ. පොදුජන පෙරමුණේ ඡන්ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකි වුවත්, එජාප කඳවුරේ ඡන්ද භාවිතය ඊට වඩා වැඩියෙන් පහළ යන නිසා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ඉහළ යනු ඇතැයි මා නිවැරදිව පුරෝකථනය කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ යනු ඇතැයි මා සිතුවේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 69,24,255ක්. මෙවර ශ්‍රීලනිපය වෙනම තරඟ කර ලබාගත් ඡන්දද ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 69,20,272ක්. මේ ගණන් ඉතාම ආසන්නයි. කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන්නේත් ගෝඨාභය රාජපක්ෂටයි. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට එම පක්ෂ වල ඡන්දත් යම් ප්‍රමාණයක් ඇතුළත්. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද වලට ඉහත පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 71,18,731ක්. මේ අනුව, කෝවිඩ් තර්ජනය මධ්‍යයේ වුවත් ගෝඨාභය කඳවුර විසින් 1,94,476ක ඡන්ද ප්‍රමාණයක් අලුතින් එකතු කර ගැනීමට සමත් වී තිබෙනවා. 

කෙසේ වුවත්, ගෝඨාභය කඳවුර විසින් සමස්තයක් ලෙස ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගෙන තිබීමෙන් එම කඳවුරේ ඡන්ද ගිලිහී නොමැති බවක් අදහස් වෙන්නේ නැහැ. ගෝඨාභය කඳවුරේ මූල කඳවුරු පිහිටි දකුණේ සිංහල බෞද්ධ නාගරික දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක වලදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ ඡන්ද වලින් ලක්ෂ දෙකක් පමණ, හරියටමනම් 1,96,287ක් අඩු වී තිබෙනවා. එයින් 1,82,404ක්ම අඩු වී තිබෙන්නේ බස්නාහිර හා දකුණු පළාත් වල නාගරික දිස්ත්‍රික්ක පහේදී.

මේ අඩුව ආවරණය වී තිබෙන්නේ දෙමළ ජනයා වැඩිපුර වෙසෙන උතුරු නැගෙනහිර පළාත් වලින් හා නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්ක වලින් අමතර ඡන්ද 3,28,986ක් එකතු කර ගැනීමට එම කඳවුර සමත්ව තිබීම නිසයි. කඳුරට දෙමළ ජනතාව යම් ප්‍රමාණයක් වාසය කරන ඉතිරි දිස්ත්‍රික්ක වලදී හා පොළොන්නරුවේදී ගෝඨාභය කඳවුර විසින් තවත් ඡන්ද 61,777ක් එකතු කරගෙන තිබෙනවා. ලක්ෂ හතරකට ආසන්න මේ ඡන්ද වලින් 1,98,459ක් කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ හරහා ලබා ගෙන ඇති ඡන්ද වුවත් ඉතිරි ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් සෘජුවම ලබාගත් ඡන්දයි.

මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වී නැහැ. ඇතැම් අය ජවිපෙ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියත් ජවිපෙ සතු ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. එම ප්‍රමාණය ඔවුන්ට ලැබී තිබෙනවා. මාතර හා කොළඹ හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක වලදී ජාතික ජන බලවේගය විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3,41,222ක් පමණයි. එම දිස්ත්‍රික්ක වලින් පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ඡන්ද 3,41,311ක් ලබා ගත්තා. මේ ඡන්ද ප්‍රමාණ ඉතාම ආසන්නයි. ජාතික ජන බලවේගයේ ඡන්ද වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙන්නේ කොළඹ හා මාතර දිස්ත්‍රික්ක වලදී පමණයි. කොළඹදී වැඩිවීම 13,797ක් වන අතර මාතරදී වැඩිවීම 13,697ක්.

මෙවර මැතිවරණයේදී සුනිල් හඳුන්නෙත්ති පරාජය වීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකු ලෙස පොදුජන පෙරමුණේ හා එජාප දේශපාලනඥයින් විසින් පවා හැඳින්වීම එයට හේතුවයි. සුනිල් හඳුන්නෙත්තිගේ ජයග්‍රහණය තකා බොහෝ දෙනෙකු බර දමන බව පෙනෙන්නට තිබුණා. 

මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් හිමි නොවුණත් මේ බර තැබීම් වලින් වැඩක් වී නැති බව කියන්න බැහැ. ජාජබ විසින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම ජාජබ ඡන්ද ඉහළ ගොස් තිබෙන්නේත් මාතරදී. එය 58.4%ක විශාල වැඩි වීමක්. එසේ තිබියදීත් මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් අහිමි වීමෙන් පිළිබිඹු වන්නේ උපක්‍රමයක් ලෙස කොටයෙන් ගොඩයන්න බලා සිටීමේ අවදානමයි. කොටය බොහෝ විට ජවිපෙ වාසියට හිටියත් හැමදාම නත්තල් නැහැ. 

මාතරදී සුනිල් හඳුන්නෙත්ති සාධකය මෙන් කොළඹදී අනුර කුමාර සාධකය බලපෑවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ලැයිස්තුවේ සිටි විමල් කැටපේආරච්චි වැනි අලුත් මුහුණු වලට යම් ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය වුනා වෙන්න පුළුවන්. මාතර වැඩි වීමට ආසන්නව සමාන මේ වැඩි වීම නොවන්නට ජාජබ කොළඹ මන්ත්‍රී ධුරයත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ජවිපෙ පදනම් ඡන්ද හැරුණු විට ජාජබ විසින් සුළු හා පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් ඒ කොළඹදී හා මාතරදී පමණයි.

සජිත් ප්‍රේමදාස විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 55,64,239ක් ලබා ගත්තා. මෙවර සජබ හා එජාප ඡන්ද වල එකතුව 30,21,419ක් පමණයි. මෙයට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දුන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 35,96,422ක්. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලැබුණු ඡන්ද වලින් ලක්ෂ 20කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙවර භාවිතා වී නැහැ. මෙවර ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වුනානම් ඒ මෙසේ භාවිතා නොවුණු ඡන්දයි. මේ අඩු වීම සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ඡන්ද වලට සාපේක්ෂව උතුරු නැගෙනහිරදී 20-30% අතරත් දකුණේදී 40% පමණත් බව පෙනෙනවා. උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වලදී සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් ඡන්ද වලින් මෙවර සජබට ලැබී තිබෙන්නේ 54.6%ක් පමණයි. එජාපය විසින් තවත් 5.1%ක් ලබා ගනිද්දී ඉතිරි 40.3% වාෂ්ප වී ගොස් තිබෙනවා. එම ඡන්ද ගෝඨාභය කඳවුරට හෝ ජාජබටද ලබාගත හැකි වී නැහැ. මේ ඡන්ද මොනවාද?

රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එජාපය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීම මා මතුපිටින් කියවන්නේ නැහැ. මතුපිටින් බැලුවොත් රනිල්ව ප්‍රතික්ෂේප වී සජිත් මතු වී තිබෙනවා. එජාපය ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය මතු වී තිබෙනවා. එය යම් ආකාරයකින් ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප වී පොදුජන පෙරමුණ මතු වීමට සමානයි. එහෙත්, මේ මතුපිටින් පෙනෙන කාරණයෙන් මා බැරෑරුම් ලෙස ගන්නේ රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වීම කියන කාරණය පමණයි.

එජාපය දෙකඩ වීමෙන් පසුව එජාපයේ ජනප්‍රිය චරිත වැඩි ප්‍රමාණයක් හිටියේ සමගි ජන බලවේගය සමඟයි. එහෙත්, මේ වැඩි දෙනෙක්ට සජිත්ව අවශ්‍ය වුනේ එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා පහුරක් සේ යොදාගැනීමට පමණයි. එය රනිල්ට කළ නොහැකි බව කාලය විසින් තහවුරු කරද්දී එජාපය අත නොහැර ඉතිරිව සිටි අයට වූ විකල්පය වූයේ අලුත් මූණක් දමා බැලීමයි. එසේ නැතිව රනිල්ව එළවා ගැනීමට වූ උවමනාව නෙමෙයි. රනිල් යටතේ පක්ෂය ජයග්‍රහණය කරවීමේ හැකියාවක් තිබුනානම් ඔය ගොඩක් අයට රනිල්ව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පක්ෂයේ මහජන නියෝජිතයින්ට වගේම පහළ මට්ටමේ ඉතිරි වී සිටින සාමාජිකයින්ටත් අවශ්‍ය වුනේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ජොකියෙක් මිස සජිත් ප්‍රේමදාස කියන විශේෂිත පුද්ගලයා නෙමෙයි. ඒ අර්ථයෙන් බැලු විට සමගි බලවේගය ඉතාම අසාර්ථක පරීක්ෂණයක්.

එජාපයේ ප්‍රශ්නය එහි නායකයා රනිල් වික්‍රමසිංහව සිටීම නෙමෙයි. එය ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්නයක්. එජාපය කලක සිට දිගින් දිගටම පැරදෙන්නේ එජාපයේ ප්‍රතිපත්ති වලට ඉල්ලුම අඩු වීම නිසා මිසක් එහි නායකයා පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ජවිපෙට තිබෙන ප්‍රශ්නයත් මෙයමයි. එහෙම නැතුව මිනිස්සු ඇත්ත මිනිස්සුද බොරු මිනිස්සුද කියන එකේ අවුලක් නෙමෙයි. ප්‍රතිපත්ති අවුල්නම් ඇත්ත මිනිස්සු කරන්න ඉඩ තිබෙන්නේ ඒ අවුල් ප්‍රතිපත්ති ඇත්තටම ක්‍රියාත්මක කරන එක බව ඡන්දදායකයා දන්නවා. අවුල් ප්‍රතිපත්ති වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින මිනිස්සුන්ට වැඩිය වඩා හොඳ සේ පෙනෙන ප්‍රතිපත්ති වෙනුවෙන් බොරුවට හෝ පෙනී සිටින මිනිස්සු හොඳයි. පළමු තේරීමේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවුල්. දෙවැනි තේරීම හරියන්න යම්කිසි හෝ ඉඩක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස විසින් එජාපයේ පාක්ෂික ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒවා කොහොමටත් පක්ෂයට ලැබෙන ඡන්ද.  මේ වෙලාවේ එජාපය කියා කියන්නේ අලියා නෙමෙයි ටෙලිෆෝනය කියා එජාප පාක්ෂිකයා තීරණය කර තිබෙනවා. හරියට පසුගිය පළාත් පාලන ඡන්දයේදී ශ්‍රීලනිපය කියන්නේ අත නෙමෙයි පොහොට්ටුව කියා තීරණය කළා වගේ. නමුත්, රනිල්ගේ නායකත්වය යටතේ ලැබිය හැකිව තිබුණු ඡන්ද සෑහෙන ප්‍රමාණයක් සජිත්ගේ පක්ෂයට ලබා ගත හැකි වී නැහැ. එහෙමනම් ඒ ඡන්ද රනිල්ට නොලැබුනේ ඇයි?

මගේ අදහසනම් මෙයට හේතුව මේ නොවැටුණු ඡන්ද එජාප ඡන්ද නොවීමයි. ඒ ඡන්ද 2015දී මෛත්‍රීපාලට ලැබෙන්න ඇති. 2019දී සජිත්ටත් ලැබෙන්න ඇති. එහෙත්, ඒ ඡන්ද රාජපක්ෂ විරෝධී පාවෙන ඡන්ද මිසක් එජාප ඡන්ද නෙමෙයි. රාජපක්ෂ විරෝධී ඡන්ද කිවුවත් ඒවා කොටස් දෙකකට දමන්න පුළුවන්. පළමු කොටස 2015ට පෙර තිබුණු රාජපක්ෂලාගේ ක්‍රමයට විරුද්ධ ඡන්ද. දෙවන කොටස ඒ පොදු විරෝධය ඉක්මවා ගිහින් පෞද්ගලිකව රාජපක්ෂලාට වෛර කරන මට්ටම දක්වා ගිය අයගේ ඡන්ද. පළමු කාණ්ඩයේ අයට මහින්ද හා ඔහුගේ කණ්ඩායම ප්‍රශ්නයක් වුනත් ගෝඨාභය ප්‍රශ්නයක් නෙමෙයි. දෙවෙනි කණ්ඩායමට මහින්ද වගේම ගෝඨාභයත් අවුල්. සමහර විට ගෝඨාභය වැඩිපුර අවුල්.

මහින්දගේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න තිබුණු ඇතැම් අය 2015දී යහපාලනයට ඡන්දය දී දැන් ගෝඨාභය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙත්, 2015දී යහපාලනයට ඡන්දය දුන් අයගෙන් යම් කොටසකට දැන් විකල්පයක් නැති වෙලා. එජාප පාක්ෂිකයින්ට සජිත් අලුත් බලාපොරොත්තුවක් වුනත් ඉහත කී පාවෙන ඡන්දායකයින්ට සජිත් විකල්පයක් නෙමෙයි. ඒ කොටස දැන් රනිල්ව වගේම ජවිපෙත් අත ඇරලා ඕනෑ මගුලක් කියා වෙන දෙයක් බලා ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙන ඡන්ද ප්‍රමාණය 1,35,452ක් පමණයි. මෙවර මහ මැතිවරණයේදී 7,44,673ක්. මේ පස් හය ගුණයක වැඩි වීමෙන් පෙනෙන්නේත් මා කියන කාරණය වෙන්න පුළුවන්. ඡන්දදායකයින්ගේ සාක්ෂරතා මට්ටම අඩු ග්‍රාමීය දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව කොළඹ ඇතුළු නාගරික දිස්ත්‍රික්ක වල ඡන්ද වැඩිපුර ප්‍රතික්ෂේප වීමෙන් මේ කරුණ තවත් තහවුරු වෙනවා.

සමගි ජන බලවේගය හරහා චම්පික රණවකට ඊළඟ පියවරට යන්න පාර කපා ගැනීමේ උත්සාහයක්ද තිබුණු බව ගොඩක් දෙනෙක්ට රහසක් නෙමෙයි. ඒ ව්‍යාපෘතියද එතරම් සාර්ථක වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ කරුණු සියල්ලම ගත්තහම එක දෙයක් පැහැදිලියි. ගෝඨාභය කඳවුරට බාධාවක් නැතුව වාහනය එළවන්න පාර ක්ලියර්!

විරුද්ධ දිශාවෙන් වාහන කිසිවක් එන්න නැහැ කියා කියන්නේ වාහනය එළවන්න විශාල නිදහසක් ලැබෙනවා කියන එකයි. හැබැයි එයින් කියැවෙන්නේ අනතුරු සිදු වෙන්න ඉඩක් නෑ කියන එක නෙමෙයි. ඉස්සරහ බලාගෙන එළෙවුවේ නැත්නම් වාහනේ පාරෙන් එළියට පනින්න පුළුවන්. 

ගෝඨාභය ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයත් මේ ලැබුණු ඡන්ද ප්‍රමාණයම තමයි. ඡන්ද කියා කියන්නේ බලාපොරොත්තු. රාජපක්ෂ විරෝධී කඳවුරේ ලොකු කොටසක් විකල්පයක් නැති වීම නිසා ඡන්දය දීමෙන් වැලකී සිට ඇතිවාක් මෙන්ම පොහොට්ටුවට ඡන්දය දුන් අයගෙන් සැලකිය පිරිසක් එසේ කර තිබෙන්නේද වෙනත් විකල්පයක් නැති නිසා බව මගේ අදහසයි. එක පැත්තකින් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වගේ අය මනාප වලින් ඉහළටම ඇවිත් තිබෙනවා. අනෙක් පැත්තෙන් මහින්දගේ පරණ ආණ්ඩුවේ සිටි බොහෝ විට විවේචන වලට පාත්‍ර වූ අයත් මනාප ලැයිස්තු වල උඩට ඇවිත් තිබෙනවා. 

යහපාලන ආණ්ඩුවට ආණ්ඩුවෙන් එළියේ වගේම ආණ්ඩුව ඇතුළෙත් බරපතල ප්‍රශ්න තිබුණා. මේ ආණ්ඩුවට එළියේ ලොකු ප්‍රශ්න නැතත් ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම එළියේ දේශපාලන ප්‍රශ්න නැතත් විශාල අභියෝග තිබෙනවා. ඒ අභියෝග සුළුපටු නැහැ. ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ආණ්ඩුව මේ ලැබුණු ජනවරම ප්‍රයෝජනයට ගනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් අපි අළුත් ආණ්ඩුවට සුබ පතමු!

Thursday, July 30, 2020

මැතිවරණයෙන් ඔබ්බට...

මැතිවරණයට තිබෙන්නේ තවත් දවස් කිහිපයක් පමණයි. මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණ වලින් එකක් කියා ඒ පිළිබඳව බරපතල ලෙස සිතන කිසිවකු සලකන එකක් නැහැ. ප්‍රතිඵල වල අනපේක්ෂිත දේ තිබිය හැකි වුවත්, පවතින ආණ්ඩුවට මැතිවරණය ජය ගැනීම විශාල අභියෝගයක් වෙන එකක් නැහැ. සැබෑ අභියෝගය තිබෙන්නේ ඉන් අනතුරුවයි.

ලංකාවේ ආර්ථිකය අද වන විට පත් වී තිබෙන අවදානම් තත්ත්වය එක් ආණ්ඩුවක වැරැද්දකින් සිදු වූ දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයට ආර්ථිකය පත් වුනේ ක්‍රමක්‍රමයෙන්. නිදහසින් පසුව බලයේ සිටි සෑම ආණ්ඩුවක් යටතේම ක්‍රමක්‍රමයෙන් මේ පරිහානිය සිදු වුනා. 

එයින් කියන්නේ මේ පරිහානියට වගකිව යුත්තේ බලයේ සිටි ආණ්ඩු පමණක් බව නෙමෙයි. බලයේ සිටින ආණ්ඩු වල තීරණ වලට විපක්ෂ දේශපාලන පක්ෂ වල ස්ථාවරයන්ගෙන්ද විශාල බලපෑමක් ඇති වෙනවා. ආණ්ඩුවක පාර්ශ්වයක්ව කිසිදා නොසිටි දේශපාලන පක්ෂ වල ස්ථාවරයන් වගේම දේශපාලන පක්ෂ නොවන ආයතනික ව්‍යුහයන්ද මේ ව්‍යසනයට දායක වී තිබෙනවා. ඒ නිසා, වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැරැද්ද හදා ගත හැක්කේ කොහොමද කියා සාමූහිකව හිතන එකයි වඩා වැදගත්.

අවශේෂ කරුණු කෙසේ වුවත්, රටේ ආර්ථිකයේ මූලික ව්‍යාධීන් හා අදාළව මේ වෙද්දී ජන පදනමක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. එය යහපත් වර්ධනයක්. එයින් අදහස් කෙරෙන්නේ මේ සියලු දේශපාලන පක්ෂ එකම ආකාරයේ ආර්ථික වැඩ පිළිවෙලකට එකඟ වීමට ඉඩකඩ ඇති බව නෙමෙයි. විපක්ෂයේ සිටින අය බලයේ සිටින ආණ්ඩුවට උදැල්ල දමන එක දිගටම සිදු වෙයි. නමුත්, කවර දේශපාලන පක්ෂ බලයට ආවත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික කරුණු අනුව බැලුවොත් එකම ආකාරයක ප්‍රතිපත්ති. 

ලංකාවේ ආර්ථිකය අද පත් වී තිබෙන තත්ත්වයට මූලික හේතුව ඉතා සරලව කියනවානම් ආණ්ඩු විසින් දිගින් දිගටම නිදහස් වෙළඳපොළට මැදිහත් වෙමින් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කිරීමයි. මා මේ වෙලාවේ වඩා විස්තරාත්මක පුළුල් විග්‍රහයක් කරන්න යන්නේ නැහැ.

ලංකාවේ කවදාවත් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ තිබී නැහැ. අදටත් නැහැ. එහෙත්, හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එය අහම්බයක් නෙමෙයි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර විසින් නිදහසට පෙර සිටම උපක්‍රමශීලීව හා සැලසුම් සහගතව ඇති කළ කෘතීම තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ සෝවියට් දේශය බිඳ වැටෙන්න ආසන්නව තිබූ අසූව දශකයේ මැද සිටයි. එහෙත්, මේ සැලසුම් වල බලපෑම තවමත් තිබෙනවා. අද තරුණ පරම්පරාව අපේ වයසට ඇවිත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් වන තුරු මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන එකක් නැහැ.

සමාජවාදී කඳවුරේ ප්‍රමුඛ උපක්‍රමය වුනේ රටේ උගතුන්, බුද්ධිමතුන් හා කලාකරුවන් සේ සැලකෙන සීමිත පුද්ගලයින් පිරිසකගේ මොළ සේදීමයි. ඉන් පසුව, ඒ පිරිස තමන්වත් නොදැනම ඊළඟ පරම්පරාවේ මොළ සෝදනවා. රටේ පවතින ආණ්ඩුව කුමක් වුවත් රටේ විධිමත් අධ්‍යාපනය සකස් වන්නේ දැන හෝ නොදැන ඔය උගුලට අහු කරගෙන සිටින පිරිසක් අතින්. සමාජවාදීන්ට "නිදහස් අධ්‍යාපනය" ඔය තරම්ම වටින්නේ ඒ නිසයි. 

අපේ තරුණ කාලයේදී මොනවා හෝ ගන්න දෙයක් තියෙන මිනිහෙක් හිටියානම් ඒ මිනිහා සමාජවාදියෙක්. ආණ්ඩු බලය තිබුණත් නැතත් මතවාදී තලයේදී බලය තිබුණේ සමාජවාදීන්ටයි. ඒ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වී මේ වෙද්දී සමාජවාදීන්ට තමන්ගේ මතවාදී ආධිපත්‍යය සෑහෙන තරමකට අත හරින්න සිදු වී තිබෙනවා. එය සාපේක්ෂව මෑතකාලීන ප්‍රවණතාවක්. 

ඇමරිකාව වගේ රටක දේශපාලනඥයින් සෘජුවම ධනවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඇමරිකාවේ දේශපානඥයෙකු වෙත වෙනත් දේශපානඥයෙකු විසින් ඇඟිල්ල දික් කර සමාජවාදියෙකු කියා කියන්නේ ඔහුට හෝ ඇයට හානියක් කිරීමේ අරමුණින්. දේශපාලන පක්ෂයක් සමාජවාදී බව කියන්නේ චෝදනාවක් ලෙසයි. බොහෝ විට ප්‍රතිචාරය වන්නේ එය එසේ නොවන බව පෙන්වීමයි.

ලංකාවේ දිගින් දිගටම දැකිය හැකිව තිබුණේ එහි අනික් පැත්තයි. හැම දේශපාලන පක්ෂයක් වගේම පෙන්නන්න හදන්නේ තමන් ටිකක් හරි සමාජවාදීන් බවයි. ධනපති පක්ෂ හෝ සුළු ධනේශ්වර පක්ෂ ලෙස ඇතැම් දේශපාලන පක්ෂ ලේබල් කරන්නේ වෙනත් අයයි. මේ ලේබල් වරින් වර ප්‍රධාන දේශපාලන පක්ෂ වලට වගේම වාමාංශික දේශපාලන පක්ෂ වලටත් වැදී තිබෙනවා.

ධනපති, සුළු ධනේශ්වර ලේබල් වල තව දුරටත් ආර්ථික වටිනාකමක් නැහැ. ඒ වෙනුවට දැන් ආදේශ වී තිබෙන චෝදනාව ප්‍රධාන පක්ෂයක අතකොළුවක් හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් කියන එකයි. ඒ අතරම ජාතික, විජාතික ලේබල් වලට මේ වෙද්දී විශාල ආර්ථික වටිනාකමක් ලැබී තිබෙනවා. 

පෞද්ගලික අංශය සතු වූ සම්පත් රජය සතු කරගැනීම හා සුබසාධනවාදය නිදහසින් පසු ලංකාවේ ආර්ථික සැලසුම් වල මුල සිටම දැකිය හැකි වූ ලක්ෂණයි. එයට එම ආණ්ඩු වලටම වරද පටවන්න බැහැ. ආණ්ඩු විසින් ගත් ක්‍රියාමාර්ග වලින් පිළිබිඹු වුනේ රටේ මිනිස්සුන්ට අවශ්‍යව තිබුණු දෙයයි. මේ තත්ත්වය අදටත් වලංගුයි. 

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ කිසිදු ආණ්ඩුවකට මහජන මතයට පිටින් යාමට මෙතෙක් හැකි වී නැහැ. එසේ නොවූ අවස්ථා සැලකිය හැක්කේ හුදෙකලා සිදුවීම් ලෙසයි. 1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා. ඉදිරියේදීත් රටට ගොඩ යන්නනම් වෙනස් විය යුත්තේ මහජන මතයයි. මහජන මතය අවශ්‍ය සේ වෙනස් වේනම් ආණ්ඩුව කරන්නේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

රටක් ණයෙන් දුවවන එක තිරසාර නැහැ. එහෙත්, කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම, මේ ආකෘතියට මහජන සහයෝගය ලබා ගැනීම පහසුයි. සුබසාධනයේ වාසිය මිනිස්සුන්ට සෘජුවම ලැබෙනවා. ඒ නිසා, තමන් උපයන දෙයට වඩා වැඩියෙන් පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. 

සාමාන්‍යයෙන් සුබසාධනයේ මූලධර්මය වන්නේ එක් අයෙකුගෙන් අරගෙන තවත් අයෙකුට දෙන එකයි. මේ ක්‍රමය තිරසාරයි. හැබැයි ජනප්‍රිය නැහැ. ප්‍රතිලාභ ලබන අය කැමති වුනත් එහි වියදම දරන අයට සුබසාධනය බරක්. ඒ හේතුව නිසාම සුබසාධනය සීමාව පනින්නේ නැහැ. යම් සමතුලනය වීමක් වෙනවා. සුබසාධනය අඩු වෙද්දී පහළ ස්ථර හඬ නගනවා. සුබසාධනය බරක් සේ දැනෙන්න ගත් විට ඉහළ ස්ථර හඬ නගනවා. ලෝකයේ බොහෝ රටවල සුබසාධන ආකෘතිය ඔය වගේ එකක්.

ලංකාව හොයාගෙන තිබෙන ක්‍රමයේ හොඳ මිසක් නරක නැහැ. සුබසාධනයේ වාසිය ලබන අය හිටියත් එහි මිල ගෙවන කෙනෙක් නැහැ. ඒ නිසා, සුබසාධනය ඉහළ ස්ථර වලට බරක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මා මේ ලිපියේ විස්තර කරන්න නොයන හේතු ගණනාවක් නිසා මේ ක්‍රමයට ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල ඉන්න අයත් කැමතියි. 

නමුත්, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව එහෙම මිලක් නැති වෙන්න බැහැනේ. සුබසාධනයේ මිල කා මත හෝ පැටවෙන්න ඕනෑ. ලංකාවේ "නිර්මාණාත්මක" ආර්ථික ආකෘතිය අනුව මිල පැටවෙන්නේ අනාගත පරම්පරාවටයි. හඬක් නගන්න ඒ අය තවම ඉපදිලා නැහැ. ඉපදිලා හිටියත් ඡන්ද බලය නැහැ.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් පොළේ බඩු විකුණන වයසක ආච්චි අම්මා, මුට්ට කර ගහන නාට්ටාමි ඇතුළු හැමෝම දායක වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. පට්ට පල් බොරු! ඔය කවුරුවත් එක සතපහක් ගෙවලා නැහැ. 

අද මිලක් නොගෙවා ඉගෙන ගන්න දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අද ජීවත් වන කිසිම කෙනෙක් එක සත පහක් ගෙවන්නේ නැහැ. දරුවා වෙනුවෙන් වියදම් කරලා ලොකු වුණාම පොලියත් එක්ක ගෙවන්න බිල හදල තියන එකයි කරන්නේ. 

ඌ ලොකු වෙලා බිල ගෙවනවද? නෑ. ඌ ගෙවන්නෙත් නැහැ. ඌ කරන්නේ උගේ දරුවා වෙනුවෙන් වියදම් කරලා ඌට ගෙවන්න ඉතුරු කරන බිලට උගේ පරණ බිලත් එකතු කරන එකයි. අමුවෙන්ම ඔන්න ඕකයි කතාව.

ලංකාවට නිදහස ලැබුණු දවසේ ඉඳලම වුනේ ඕකයි. ඒ වෙද්දී ඉපදී සිටි හතළිස් ගණන් වල ඉපදුනු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ලොකු වෙලා ගෙවන්න ඒ අයටම ඉතිරි කරලා තියෙනවා. ඉන් පසුව හැට ගණන් වල ඉපදුණු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ඒ අයට ඉතිරි කරද්දී කලින් පරම්පරාවේ නොපියවූ බිලත් ඒ බිලටම එකතු කරලා තියෙනවා. අනූ ගණන් වල ඉපදුණු අයගේ බිල් හදද්දී ඒ අයගේ දෙමවුපියන්ගේ වියදම් වගේම සීයලා ආච්චිලාගේ වියදමුත් එකතු වෙලා. එහෙම නැතුව ඒ අය වෙනුවෙන් රජය විසින් මහජන මුදල් වියදම් කරලා නැහැ. රජය විසින් එකතු කරගත් මහජන මුදලක් ඇත්නම් ඒවා රජය විසින්ම පරිභෝජනය කර අවසන් කරලා ඉවරයි.

නිදහසෙන් පස්සේ මුල් කාලයේදී ඉපදුනු අය සමාජවාදය භුක්ති විඳලා අනාගත පරම්පරාවේ වියදමින් ආතල් එක අරගෙන මැරිල ගියත් අනූ ගණන් වලින් පස්සේ ඉපදුනු පරම්පරාවට ඒ ආතල් එක ගන්න ලැබෙන එකක් නැහැ. තමන්ගේ ජීවිත කාලය තුළ කොයි වෙලාවක හෝ මේ අයට අර පරණ ණය ගෙවන්න වෙනවා. තමන් වෙනුවෙන් කලින් පරම්පරාව වියදම් කරපුවා විතරක් නෙමෙයි. ඒ පරම්පරාව වෙනුවෙන් ඊටත් කලින් පරම්පරාව වියදම් කරපුවා හා ඊටත් කලින් පරම්පරාවේ වියදමුත් එක්කම.

ආණ්ඩු වලට ආවොත් මෙතෙක් කල්ම ලංකාවේ ආණ්ඩු විසින් කරගෙන ආවේ අවුරුදු පහකින් පස්සේ ඊළඟ ආණ්ඩුවට ගෙවන්න ණය ඉතිරි කරමින් සිත් සේ වියදම් කරන එකයි. හැබැයි මේ ආණ්ඩුවට ඒ විදිහට ප්‍රශ්නය තවත් අවුරුදු පහක් පස්සට තල්ලු කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැම ආණ්ඩුවක්ම මේ වැඩේ කරගෙන ආවත් එසේ කළේ යම් පාලනයක් ඇතිවයි. හැබැයි පහුගිය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවන අදියරේදී ගිය දුර ඕනෑවට වඩා වැඩියි. ඒ පවු වලට මේ ආණ්ඩුවට කර ගහන්නම වෙනවා.

මහින්ද රාජපක්ෂ බලයට පත් වෙන්න පෙර 2000-2004 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියා. 2005-2019 කාලයේදීත් 24.4%කින් ඉහළ ගියා. මේ විදිහට විදේශ ණය හා බැරකම් ඉහළ යාම ලංකාවේ හැම ආණ්ඩුවක් යටතේදීම සිදු වුනු දෙයක්. එහෙත්, 2004-2015 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් ඉහළ යාම 251.8%ක්.

මේ ආකාරයට විදේශ ණය හා බැරකම් විශාල ලෙස ඉහළ යාමේ ප්‍රශ්නය ඒ වෙනුවෙන් පොලී හෝ ප්‍රතිලාභ සේ ගෙවිය යුතු මුදල රට ඇතුළෙන් උපයා ගත නොහැකි වීමයි. මෙය රටේ ආර්ථිකය දුර්වලව තිබීමෙන් ඔබ්බට යන වඩා ප්‍රාථමික ප්‍රශ්නයක්. රටේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක තිබේනම් රජයට මේ ණය හා පොලී ගෙවීම සඳහා අරමුදල් හොයා ගන්න පුළුවන්. එහෙත්, එසේ වූ පමණින් ඒ මුදල් ඩොලර් කිරීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ. රට ඇතුළේ ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ කියන්නේ අරමුදල් තිබුණත් රුපියල් ඩොලර් කළ නොහැකි නිසා ණය ගෙවන්න විදිහක් නැහැ.


විදේශ ණය හා බැරකම් බරක් වන ප්‍රධාන ආකාරයක් වන්නේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියයි. 2000-2004 කාලයේදී ලංකාවේ සමස්ත ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියත් අදාළ කාලය තුළ ලංකාවේ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී වියදම් 25%කින් පහළ ගියා. එහෙත්, 2005 වසරේ සිට දැක ගත හැකි වුනේ වාර්ෂික පොලී වියදම් එන්න එන්නම ඉහළ යාමක්. 2005 වසරේදී විදේශ ණය වෙනුවෙන් පොලී සේ වැය කළේ ඩොලර් මිලියන 204ක් පමණක් වුවත්, 2015 වන විට එම වියදම ඩොලර් මිලියන 1,192ක්. එනම්, පස් ගුණය ඉක්මවන වැඩි වීමක්. 2019 වන විට ඩොලර් මිලියන 1,653ක්.

මෙයින් අදහස් වන්නේ ඉදිරියේදී ලංකාව අලුතෙන් තවත් එක් ඩොලරයක හෝ විදේශ ණය ලබා නොගත්තත් දැනට තිබෙන විදේශ ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා පමණක් සෑම වසරකදීම ඩොලර් බිලියන 1.7ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් සොයා ගත යුතු බවයි.

මෙය දරුණු තත්ත්වයක් බව වත්මන් ආණ්ඩුව විසින් හඳුනාගෙන ඇති බවට කිසිදු සැකයක් නැහැ. ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන්න වෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. මේ වෙද්දී දෙපිලකට බෙදී සිටින පරණ ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටත් මේ තත්ත්වය අලුත් දෙයක් නෙමෙයි. ඊට අමතරව ලංකාවේ දකුණේ ජනපදනමක් තිබෙන දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. එම පක්ෂය විසින්ද මේ අර්බුදය ගැන සෘජුවම කතා කරනවා. 

ඔවුන්ගේ පොදු භාවිතාව කවර එකක් වුවත්, මේ වෙලාවේ ජවිපෙ විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ මාක්ස්වාදී මූලධර්ම මත පදනම්ව කියා මම හිතන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේත් සම්මත ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව විය යුතුයි. ඒ අනුව, වරද එකිනෙකා විසින් අනෙකා මත පටවනවා වුවත්, මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයේ ස්වභාවය පිළිබඳව රටේ ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ සියල්ලටම පොදු විග්‍රහයක් තිබෙනවා. 

අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට විසඳුම පිළිබඳවත් මෙවැනි පොදු එකඟතාවයක් ඇති වීමයි. ඒ එකඟතාවය ස්වාධීනව වෙන වෙනම කරන විග්‍රහ මත ඇති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.

මේ අවස්ථාව ලංකාවට නැත්තටම නැති වෙන්න වගේම ගොඩ යන්නත් අවස්ථාවක්. එය තීරණය වන්නේ සියලු ලාංකිකයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය මතයි. කවුරු හෝ පුද්ගලයෙක් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේද නැත්නම් එළියේද, ආණ්ඩු පක්ෂයේද නැත්නම් විපක්ෂයේද කියන එකට වඩා වැදගත් වෙන්නේ රට මුහුණ දී සිටින අර්බුදය නිවැරදිව තේරුම් ගත හැකිද කියන කාරණයයි. එහෙත්, පාර්ලිමේන්තුව ඇතුළේ රට මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර ස්වාධීනව විග්‍රහ කර ගැනීමේ හෝ එසේ විග්‍රහ කළ හැකි අයව තේරුම් ගැනීමේ කුසලතාවයක් ඇති, එම කුසලතාවය තමන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ නොයොදවන පුද්ගලයින් කිහිප දෙනෙකු හෝ සිටීම වැදගත්. එවැනි අය ඉන්නවානම් ඒ මොන කණ්ඩායමේද කියන එක වැදගත් නැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...