වෙබ් ලිපිනය:

Showing posts with label රුසියාව. Show all posts
Showing posts with label රුසියාව. Show all posts

Sunday, July 17, 2022

ඉන්දියාව කරන්න හදන්නේ මොකක්ද?


ඉන්දියාව සමඟ කරන ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් ඉන්දියානු සංචිත බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙහි ඉලක්කය රුසියාව, ශ්‍රී ලංකාව හෝ එම රටවල් දෙකම විය හැකියි. ඉන්දියාව මේ කරන්න හදන්නේ මොකක්ද?

ඉන්දියාවට රුසියාව සමඟ කාලයක සිටම තියෙන්නේ අවාසිදායක වෙළඳ ශේෂයක්. ඉන්දියාව රුසියාවෙන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 6-7ක පමණ ආනයන සිදු කරන නමුත් රුසියාව ඉන්දියාවෙන් ආනයනය කරන්නේ එයින් බාගයක පමණ ප්‍රමාණයක් පමණයි. පසුගිය 2021 වසරේදී ඉන්දියාව රුසියාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 8.70 දක්වා ඉහළ ගියා. එහෙත්, රුසියාව ඉන්දියාවෙන් කළ ආනයන වල වටිනාකම වුනේ ඩොලර් බිලියන 3.33ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 5.37ක වෙළඳ හිඟයක්.

මේ වෙලාවේදී රුසියාව ජාත්‍යන්තර වෙළඳාමේදී සාපේක්ෂව අවාසිදායක අඩියක සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. බටහිර රටවල සම්බාධක නිසා රුසියාවට තමන්ගේ අපනයන සඳහා වූ වෙළඳපොළ දැඩි ලෙස සීමා වී තිබෙනවා. (එයින් බටහිර රටවලටද අවාසියක් වී තිබීම ප්‍රස්තුතයට අදාළ නැති වෙනම කරුණක්!) එම තත්ත්වය යටතේ රුසියාවට ඉන්දියානු වෙළඳපොළ ගොඩක් වැදගත්. ඉන්දියාව මේ හදන්නේ තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චා ගන්න වෙන්න පුළුවන්.

දැන් ඉන්දියාව කියන්නේ කුමක්ද? හරි. අපි ඕගොල්ලන්ගේ බඩු ගන්නම්. හැබැයි ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්!

වෙළඳ ශේෂය තියෙන්නේ තමන්ගේ වාසියට නිසා රුසියාවට ඉන්දියාව කියන දේ නොසලකා මග හැර යන්න බැහැ. බඩු විකුණාගන්නනම් ඉන්දියානු රුපියල් භාර ගන්න වෙනවා. මේ ඉන්දියානු රුපියල් වලින් රුසියාවට කළ හැක්කේ කුමක්ද?

ඉන්දියාවේ එක් අරමුණක් වන්නේ රුසියාවට කරන ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමයි. රුසියාව ඇතුළේ ඉන්දියානු රුපියල් ගොඩ ගැහෙද්දී රුසියාවට යම් තරමකින් හෝ ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමට අවස්ථා සලසන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඉන්දියානු රුපියල් නැවත ඉන්දියාවේම ආයෝජනය කරන්න වෙනවා. එහි ප්‍රතිඵලය ඉන්දියානු රුපියල් වලට ඉල්ලුම ඉහළ ගොස් ඉන්දියානු රුපියල ශක්තිමත් වීමයි. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීමත් සමඟ ගෝලීය ප්‍රාග්ධනය ඇමරිකාව වෙත ගලා එන්න පටන් අරගෙන. ඒ හරහා ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. අනෙක් අතට එයින් අදහස් වන්නේ ඩොලරයට සාපේක්ෂව අනෙක් මුදල් ඒකක පිරිහෙනවා කියන එකයි. යුරෝවක මිල මේ වෙද්දී ඩොලරයක මිල මට්ටම දක්වාම පහත වැටිලා.

මේ තත්ත්වය තුළ ඉන්දියානු රුපියලද සාපේක්ෂව පිරිහෙමින් තිබෙනවා. එය වලක්වා ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවට තමන් සතු විදේශ සංචිත විකිණීමට සිදුව තිබෙනවා. ඉන්දියාව සතු විදේශ සංචිත ප්‍රමාණය අනුව මේ සඳහා විකිණීය යුතු ඩොලර් ප්‍රමාණය සුළු ප්‍රමාණයක් වීම වෙනම කරුණක්. කොහොම වුනත් මේ ක්‍රියාවලිය තුළ සිදු වන්නේ ඉන්දියානු රුපියල් සඳහා ඉල්ලුම අඩු වීමක්. රුසියාව ඉන්දියානු රුපියල් මිල දී ගැනීමට පෙළඹවීමෙන් ඉන්දියාවට මේ බලපැම නිශේෂණය කර ගත හැකියි. එසේ නොහැකිනම් පාලනය කර ගත හැකියි.

දැන් අපි ලංකාවට එමු. රුසියාව සමඟ මෙන් නොව, ලංකාව සමඟ ඉන්දියාවට කාලයක් තිස්සේම තියෙන්නේ වාසිදායක වෙළඳ ශේෂයක්. පසුගිය වසරේදී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4.80ක ආනයන සිදු කළා. එහෙත් ඉන්දියාව ලංකාවෙන් ආනයනය කළ භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියනයකටත් අඩුයි. ඉන්දියාවේ වෙළඳ අතිරික්තය, ඒ කියන්නේ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය, ඩොලර් බිලියන 3.82ක්. 

මෙතැන තියෙන ප්‍රශ්නය රුසියාව සමඟ තිබෙන ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. මේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය දිගින් දිගටම නඩත්තු කළ හැකි තරමේ ඩොලර් සංචිත ප්‍රමාණයක් හෝ ඩොලර් ආදායමක් දැන් ලංකාවට නැහැ. ඒ නිසා, තමන්ගේ අපනයන වෙළඳපොළ කඩා වැටී අහිමි වී යාමේ අවදානමට ඉන්දියාවට මුහුණ දෙන්න වෙනවා. 

අවශ්‍යනම් ඩොලර් වලින් නොගෙවා ඉන්දියානු රුපියල් වලින් ගෙවන්න කියලා ලංකාවට කියන්න ඉන්දියාවට පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඉන්දියාවට ගෙවන්න ඉන්දියානු රුපියල් ලංකාව සතුව නැහැ. අවශ්‍ය ඉන්දියානු රුපියල් ටිකත් මොන විදිහකින් හෝ ඉන්දියාවටම දෙන්න වෙනවා. ඉන්දියානු ණය පහසුකම් යටතේ සිදු වුනෙත් ඔය වැඩේ. 

සමහර විට මේ වෙලාවේ ඉන්දියාව විසින් උත්සාහ කරන්නේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම සඳහා ඉන්දියානුවන් පෙළඹවීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට විය හැකියි. මේ හරහා සෘජුව ඉන්දියානු රජය හෝ මහ බැංකුව (සංචිත බැංකුව) මැදිහත් නොවී ඉන්දියාවට ලංකාවට උදවු කරන්නත් පුළුවන්. ලංකාවට උදවු කරනවා කියා කිවුවත් මෙහිදී සිදු වෙන්නේ ඉන්දියානු ජාතික අභිලාශ ඉටුවීමක්. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙමසකට වැඩි කාලයක් තිස්සේ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව අපි දන්නා දෙයක්. ඔය කාලය ඇතුළත ඇමරිකානු ඩොලරය අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක බොහොමයකටම සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලංකා රුපියල පසුගිය දෙමස තුළ යුරෝ, පවුම්, යෙන් ආදී මුදල් ඒකක ගණනාවකටම සාපේක්ෂව ශක්තිමත් වෙමින් තිබෙනවා. ඉන්දියානු රුපියලට සාපේක්ෂවද රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා.

පසුගිය මැයි 6 දින ශ්‍රී ලංකා රුපියල් 4.83ක් පමණ වූ ඉන්දියානු රුපියලක මිල ඉහත තත්ත්වයන් යටතේ මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 4.51 පමණ දක්වා පහත වැටී තිබෙනවා. මේ අතර මේ වන විට ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 32% පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික දැනට පවතින මට්ටම හා ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබාගෙන සිටියදී ඉන්දියානු රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම තුළ ඉන්දියානුවෙකුට මේ වෙලාවේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 56% පමණ පොලියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

ඉන්දියානු සංචිත බැංකුව මේ සඳහා පහසුකම් සැලසීමට උත්සාහ කරනවා විය හැකියි. මේ සඳහා ඉඩ සැලසීමෙන් ලංකාවට ඉන්දියාවේ සිට පෞද්ගලික ප්‍රාග්ධනය ගලා එන අතර එම ප්‍රාග්ධනයේ උදවුවෙන් ඉන්දියාවට ලංකාව සමඟ වන වාසිදායක වෙළඳ ශේෂය දිගටම පවත්වා ගත හැකි වෙනවා. සල්ලි එන්නේ ඉන්දියානු රුපියල් ලෙස මිස ඩොලර් ලෙස නොවන නිසා මේ විදිහට ලංකාවට එන ඉන්දියානු සල්ලි වලින් ඉන්දියාවෙන් ආනයන කරන්න හෝ ඉන්දියාවෙන් කලින් ගත් ණය ආපසු ගෙවන්න මිසක් වෙන වැඩක් කරන්න බැහැ. කොහොම වුනත්, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වී තියෙන්නේ කොහෙන් හෝ, මොන විදිහකින් හෝ, විදේශ විණිමය හොයා ගන්න මිසක් අස්සයාගේ දත් බලන්න නොවන නිසා ලංකාව පැත්තෙන් බැලුවහම වෙලාවේ හැටියට මෙය ලොකු උදවුවක්.

මේ වැඩේ විස්තර කරපු විදිහට සිදු වෙලා ලංකාවට ඉන්දියානු රුපියල් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා ආවොත් ලංකාවේ "දැවෙන ප්‍රශ්න" ටික තාවකාලිකව විසඳෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා රුපියලේ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉන්දියාව අතට යාමේ ඉඩකඩත් බැහැර කරන්න බැහැ. ඒක ඉතිං කොහොමටත් කොයි වෙලාවක හෝ වෙන දෙයක්. 

Tuesday, January 11, 2022

රූබල් 10කට බයිසිකලයක්!

මේක විප්ලවයට පසුව කියන විප්ලවයට පෙර රුසියාවේ කතාවක්. ඉතිං ඔය විප්ලවයට පෙර කාලයේ ගොඩක් දේවල් විප්ලවයට පසුව සිදු වූ තරම් සාධාරණ ලෙස සිදු නොවූ බව කවුරුත් දන්නවනේ. ඔය කාලයේදී ගුණාත්මක භාවයෙන් එතරම් ඉහළ නැති බඩු කොහොම හරි පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීම සඳහා සමාගම් විසින් විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. මේකත් ඒ වගේ උපක්‍රමයක් ගැන කතාවක්. වැඩේ පටන් ගන්නේ ජනප්‍රිය පුවත්පතක හෝ සඟරාවක පළ කෙරෙන පහත දැක්වෙන ආකාරයේ වෙළඳ දැන්වීමකින්.


රූබල් 10කට බයිසිකලයක්!

රූබල් 50ක් වටිනා බයිසිකලයක් රූබල් 10කට මිල දී ගැනීම සඳහා ලැබෙන දුලබ අවස්ථාවක්. වැඩි විස්තර දැනගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා අපට ලියන්න.

අනේ ඉතිං අහිංසක පාරිභෝගිකයෝ විශාල පිරිසක් මේ ඇමට අහුවෙනවා. විස්තර විමසා සමාගමට ලියන අයට විස්තර පත්‍රිකාවක් ලැබෙනවා. ඒ පත්‍රිකාවේ තිබෙන විස්තර අනුව, රූබල් 10ක් ගෙවන පාරිභෝගිකයෙක්ට එසැණින් බයිසිකලයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ කූපන් හතරක්. කරන්න තියෙන්නේ මේ කූපන් එකක් රූබල් 10 බැගින් හතර දෙනෙකුට විකුණලා රූබල් 40ක් හොයා ගන්න එකයි. ඊට පස්සේ ඒ රූබල් 40ත් අර සමාගමට යැවුවහම බයිසිකලේ ලැබෙනවා.

කොහොම වුනත් වැඩේ නරක නැහැනේ! අන්තිමට අතින් යන්නේ රූබල් 10යි. ඒ කියන්නේ ඇත්තටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා.

දැන් මේ කූපන් එකක් කවුරු හෝ කෙනෙක් රූබල් 10ක් ගෙවා මිල දී ගත යුත්තේ ඇයි? 

රූබල් 10ක් ගෙවා කූපන් එකක් මිල දී ගන්නා කෙනෙකුට ඒ කූපන් එක අර සමාගමට යවලා තව ඒ වගේම කූපන් හතරක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කූපන් හතර විකුණලා රූබල් 40ක් හොයාගෙන සමාගමට යවලා රූබල් 50ක් වටිනා බයිසිකලයක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න පුළුවන්.

අර මම කලින් කියපු පොතේ තිබුණේ ඔය වගේ කතා. කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක් කියා කිවුවේ ඒ නිසා. දැන් මේ කතාව අහපු ගමන්ම එක පාරට කරකවලා අත ඇරියා වගේ ගතියක් එනවනේ.  ඇයි ඔය ක්‍රමයට හැම කෙනෙකුටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා. ඒ එක්කම බයිසිකලය විකුණන සමාගමට හැම බයිසිකලයටම රූබල් 50 ගානේ ලැබෙනවා. මේක වෙන්නේ කොහොමද?

ඔය පොතේ බොහොමයක් ගණිත ගැටළු වලින් කරන්නේ පාඨකයාව අවුල් කරලා, හිතන්න පොළඹවලා, ඉන් පසුව පැහැදිලි කිරීමක් කරලා අවුල ලිහන එකයි. ඉතා හොඳ ඉගැන්වීමේ උපක්‍රමයක්. පෙර ලිපියේ ලියූ පරිදි, මම මුලින්ම පිරමිඩ් ක්‍රම ගැන දැන ගත්තේ ඔය පොතෙන්.

ඊට පස්සේ අසූ හතේ අවුරුද්දේ පමණ ලංකාවේ ඔය පිරමිඩ් රැල්ලක් පටන් ගත්තා. අසූ අට පමණ වෙද්දී තරමක් ව්‍යාප්ත වුනා. මේවා විවිධ ආකර්ශනීය නම් වලින් හැඳින්වුනා. ඔය කාලයේ මම සේවය කළේ කොළඹ නගරයේ. තදාසන්න නගරයක ඉඳලා උදේ වැඩට යන බස් ඇගළුම් සේවිකාවන්ගෙන් පිරිලා. ඒ අය කලාපයට යන බස් එකකට මාරු වෙන්න මගින් බහිනවා. ඔය අතර කොටසේදී ඔවුන්ව ඉලක්ක කරලා පිරමිඩ් ක්‍රම ගැන අත් පත්‍රිකා බස් වල බෙදන එක ඒ දවස් වල නිතර සිදු වූ දෙයක්. මේවා "හෙළදිව සීට්ටු ක්‍රමය" "වාසනා ජයමග" ආදී විවිධ නම් වලින් හැඳින්වුනා. "පිරමිඩ් ක්‍රම" කියන වචනය ඒ කාලයේදී භාවිතා වුනේ නැහැ.

ටැබ්ලොයිඩ් කාන්තා පුවත්පත් ජනප්‍රිය වුනෙත් ඔය කාලයේ වගේනේ. මම හිතන විදිහට සන්නස්ගල මුලින්ම ජනප්‍රිය වුනෙත් ඔය කාන්තා පුවත්පතක මැද පිටුවේ උඩ තීරුවේ කොටස් වශයෙන් පළ කරපු කතාවක් ලියලා. ඔය පත්තර වැඩිපුර විකිණුනෙත් කලාපෙ පැත්තේ. අර මම කියපු අත් පත්‍රිකා ඔය පත්තර වල මැදට දමලත් බෙදා හැරියා. මට මතක විදිහට හෙළදිව සීට්ටු ක්‍රමය හදා තිබුණේ "ජාතියට ලක්ෂපතියන් බිහි කිරීමේ උදාර අරමුණින්". තව ඔය වගේ උදාර අරමුණු තිබුණා.

ඔය හෙළදිව සීට්ටු ක්‍රමය මේ වගේ එකක්. මුලින්ම මම කාට හෝ රුපියල් 50ක් ගෙවලා සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙනවා. එවිට මට කොළයක් ලැබෙනවා. එහි අනුපිළිවෙළින් කොටු හතක ලිපින හතක් තිබෙනවා. ඊට පහළින් හිස් අටවන කොටුවක්ද තිබෙනවා. හත් වන කොටුවේ තිබෙන්නේ මට සීට්ටුව විකිණූ පුද්ගලයාගේ නම සහ ලිපිනය. උඩ ලිපින බොහොමයක් නොදන්නා අයගේ ලිපින. 

දැන් මට කරන්න තියෙන්නේ අර හිස් කොටුවේ මගේ නම සහ ලිපිනය ලියලා තවත් රුපියල් 100ක් එක්ක අදාළ සමාගමට යවන එක. රුපියල් 100 යැවිය යුත්තේ රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක් ලෙසයි. එයින් එකක් ලියන්නේ අර කොළයේ පළමු කොටුවේ තිබෙන ලිපිනයට. දෙවැන්න සීට්ටු ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතනයේ ලිපිනයට. 

මේ විදිහට රුපියල් 50ක් ගෙවා මිල දී ගන්නා සීට්ටු කොළය රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක්ද සමඟ අදාළ සමාගමට තැපැල් කළ විට මට ඒ වගේම සීට්ටු කොළ තුනක් ලැබෙනවා. ඒ සීට්ටු කොළ වල මගේ නම හා ලිපිනය හත් වන කොටුවේ මුද්‍රණය කරලා. මට සීට්ටුව විකිණූ තැනැත්තාගේ නම හා ලිපිනය හයවන කොටුවට ගිහින්. පළමු කොටුවේ නම හා ලිපිනය ඉවත් වෙලා. අනෙක් හැම ලිපිනයක්ම උඩට ගිහින්. 

දැන් මට තියෙන්නේ මේ සීට්ටු කොළ තුන තුන් දෙනෙකුට විකුණලා වියදම් වූ රුපියල් 150 හොයා ගන්න එක පමණයි. ඊට පස්සේ තියෙන්නේ බලා ඉන්න. මාස කිහිපයක් යද්දී සල්ලි එන්න පටන් ගන්නවා. වැඩේ හරියටම වුනොත් මගේ නම පළමුවෙනි කොටුවට ගියාම රුපියල් පණහේ මුදල් ඇණවුම් වලින් රුපියල් 109,350ක්ම ලැබෙනවා. ඉන් පසුව, ලැයිස්තුවේ මට පිටුපසින් ඉන්න අයටත් මම වගේම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. 

සමාගම කියන විදිහට වියදම් වූ රුපියල් 150 කලින්ම ආපසු ලැබෙනවා වුනත්, මුදල් ඇණවුම් මිල දී ගනිද්දී තැපැල් කන්තෝරුව රුපියල් 50ට යම් කොමිස් මුදලක් එකතු කරනවා. ඒ කොමිස් මුදලනම් ආපසු ලැබෙන්නේ නැහැ. 

මේ වගේ සීට්ටු ක්‍රම වලට මම කිසිම දවසක සම්බන්ධ වී නැහැ. සීට්ටු ගැන මුලින්ම දැන ගන්න ලැබුණු නිසාත්, ඒ වෙද්දී අපහසුවක් නැතිව සීට්ටු කොළ තුනක් විකුණගන්න පුළුවන්කම තිබුණු නිසාත්, මට ඇත්තටම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාවක් තිබුණා. අවුරුදු හත අටකට කලින් පෙරල්මාන්ගේ පොත කියවා තිබූ නිසා, සල්ලි එන විදිහ තේරුම් ගන්න එකත් අමාරු වුනේ නැහැ. කවුරු හෝ කෙනෙක් ලක්ෂපතියෙකු වන හැම වෙලාවකම සමාගමටද රුපියල් ලක්ෂයක් ලැබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබුණා.

හෘද සාක්ෂියට එකඟව මට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගෙන් සීට්ටු මිල දී ගන්නා මා දන්නා තුන් දෙනා කොහොම හරි ගොඩ ගියත් තව විශාල පිරිසක් අමාරුවේ වැටෙන බවත්, මම එකතු කර ගන්නේ ඒ අයගේ සල්ලි බවත්, පැහැදිලිව පෙනෙද්දී ලක්ෂපතියෙක් වෙලා හිතේ සතුටෙන් ඉන්නේ කොහොමද?

කොහොම වුනත්, මා දන්නා, ඔය කාලයේ ලඟින් ඇසුරු කළ ඇතැම් අය මේ සීට්ටු ක්‍රමයට සම්බන්ධ වුනා. මාස කිහිපයකට පසුව අදාළ සමාගම විසින් රුපියල් 50 මුදල් ඇණවුම් කොටස් වශයෙන් පාර්සල් කර ඔවුන්ට එවුවා. ලක්ෂය කෙසේ වුවත් හත අට දාහක මුදලක් හෝ ලැබුණා. පසුව ඔය වගේ සීට්ටු ක්‍රම වැහි වැහැලා ඉන් පසුව නැතිව ගියා.

ඊට පස්සේ නැවතත් පිරමිඩ් ක්‍රම ලංකාවේ නැගලා ගියේ දෙදාස් දෙකේදී පමණ. මේක සිදු වුනේ වෙනත්ම ආකෘතියකයි. සම්බන්ධ කර ගැනුණේ ඉංජිනේරුවෝ, දොස්තරලා වගේ වෘත්තිකයෝ. තරු හෝටල් වල සම්මන්ත්‍රණ පවා පැවැත්වුනා. මගේ ඇතැම් මිත්‍රයෝ රැකියාවෙන් ඉවත් වී වැඩේට බැස්සා. මේ එක්කම ක්‍රෙඩිට් කාඩ් හරහා විදේශ විණිමය රටෙන් එළියට ගලා යාමක්ද සිදුවුනා. මහ බැංකුවට මැදිහත් වීමට පොටක් පෑදුනා. මා දන්නා ඇතැම් අය ලක්ෂ ගණන් වලින් හොයා ගත්තා. 

වෙනස් ආකෘති යටතේ පිරමිඩ් ක්‍රම දිගින් දිගටම මතු වෙනවා. ජාලගත අලෙවිකරණය එක ක්‍රමයක්. ඇමරිකාවේ හා යුරෝපයේ වෙසෙන දකුණු ආසියානු සම්භවයක් තිබෙන අය අතර මේ ක්‍රම දැනටත් ජනප්‍රියයි. ඇතැම් අය පූර්ණකාලීනව වැඩේට බැහැලා සල්ලි හොයනවා.

මේ පිරමිඩ් ක්‍රම හැඳින්වීම සඳහා ඇමරිකාවේ ප්‍රචලිතව යොදන්නේ පොන්සි ක්‍රීඩා කියන නමයි. නමේ සම්භවය පසුගිය සියවසේ මුල් භාගයේදී නිවුයෝර්ක් නගරයේ ජීවත් වූ ඉතාලි සංක්‍රමණිකයෙක් වූ චාර්ල්ස් පොන්සි. ලිපිය කෙටි කිරීම සඳහා මම පොන්සි ගැන ලියන්න යන්නේ නැහැ. විකිපීඩියාව බලන්න.

පොන්සි ක්‍රීඩාවකින් යම් පිරිසකට ඇත්තටම විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මහන්සියක් නැතුව, කිසිවකු විසින් එකතු කරන දෙයක් නැතුව, නිකම්ම වටිනාකමක් නිර්මාණය වෙනවානම් ඒ ආකෘතියේ මොකක් හරි අවුලක් තියෙන්න ඕනැනේ. පෙනෙන්න නැතත් අදාළ මිල ගෙවන කවුරු හෝ කෙනෙක් සිටිය යුතුයි. හෙළදිව සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙලා මම රුපියල් 109,350ක් උපයා ගනිද්දී, රුපියල් 50 බැගින් එයට දායක වන 2,187 දෙනෙක් ඉන්නවා (=3^7). ඒ අයට බොහෝ විට තමන් වැය කරන රුපියල් 150 නැති වෙනවා. 

පිරමිඩ් ක්‍රමයකින් කෙනෙකුට ලැබෙන වාසිය ඇත්ත වාසියක්. එහි සංඛ්‍යාලේඛණ විජ්ජාවක් නැහැ. එහෙත්, අනාගතයේ දවසක යම් අයෙකුට මේ වාසිය වෙනුවෙන් අවාසියක් විඳින්න වෙනවා. ඒ නිසා, පද්ධතියක් ලෙස ගත් විට මෙවැන්නක් ස්ථායී නැහැ.

සාර්ව ආර්ථික ආකෘති හදද්දී මේ තත්ත්වය සැලකිල්ලට ගන්නවා. ඒ නිසා, බොහෝ ගතික සර්ව ආර්ථික ආකෘති වල සමතුලිත විසඳුම හොයද්දී පොන්සි-නොවන කොන්දේසිය (No-Ponzi condition) නම් වූ කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරනවා. ඔය කොන්දේසිය අමතක කර හදන ආර්ථික විද්‍යා ආකෘතියකින් පෙරල්මාන්ගේ පොතේ අනාවරණය කර තිබෙන විදිහේ අපූරු "මැජික්" පෙන්වන්න පුළුවන්. 

Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


Sunday, October 4, 2020

රුසියන් බිංදුව


රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ගැන සටහනක් පහුගිය දවස්වල වත්පොතේ හුවමාරු වුනා. සටහන මුලින්ම පළ කළේ කවුද කියලානම් මට හොයා ගන්න බැරිවුනා. හැබැයි මා දන්නා තරමින් මේ සටහනේ තිබෙන තොරතුර නිවැරදියි. සුළු අක්ෂර වින්‍යාස නිවැරදි කිරීම් කිහිපයක් පමණක් සමඟ මම එම සටහන පහත පළ කරනවා.

"රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි. සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිළිතුර නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.

මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි. පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. 

"කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සාහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද? රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුන සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?

මෙහි පුතේ, දරුවෙකු පිළිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගෙන ඇත.

අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මා හට වැටහුනි.

බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි. අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහයක් දරන ගුරුවරුන් වෙනුවෙනි.

උපුටා ගැනීමකි.

මා රුසියාවේ හෝ සෝවියට් දේශයේ ඉගෙනුම ලබා නැහැ. එසේ ඉගෙනුම ලැබූ අය මෙය කියවන අය අතර ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේම පෞද්ගලික අත්දැකීම් ඇති. එහෙත්, මේ ඇගයීම් ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයන මා පරිශීලනය කර තිබෙනවා. ඒ වගේම, රුසියානු මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි. රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ප්‍රචලිත වී තිබෙන්නේ දහනවවන සියවසේ මුල් කාලයේදී. නොවැම්බර් විප්ලවයෙන් පසු මුල් කාලයේදී මේ ක්‍රමය වෙනස් කර වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. ඒ නිසා, මේ ක්‍රමයේ හොඳ හෝ නරක කවර වුවත් එය සමාජවාදයට සෘජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත්, වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. මේ වත්පොත් සටහනෙන් පැහැදිලි වන්නේ එම වක්‍ර සම්බන්ධයයි. ඒ වක්‍ර සම්බන්ධය ගැන කතා කරන්න කලින් මේ සටහනේ නැති රුසියන් ඇගයීම් ක්‍රමයේ තවත් සුවිශේෂතා කිහිපයක් ගැන සඳහන් කළ යුතුයි.

ලංකාවේද ප්‍රචලිත බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී ලිඛිත විභාග වලට වැඩි බරක් දෙනවා. එයට සාපේක්ෂව රුසියානු ක්‍රමයේදී වාචික විභාග වඩා ප්‍රචලිතයි. ඒ වගේම, බටහිර ලිඛිත විභාග වලදී මුළු විෂය නිර්දේශයම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් රුසියානු ක්‍රමයේදී බොහෝ විට අහඹු ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂා කරනවා. විභාග ක්‍රම සංසන්දනය කළ යුත්තේ මේ වෙනස්කම්ද සිහියේ තබාගෙනයි.

විභාගයකදී මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන විට විභාග ප්‍රතිඵලය හා දැනුම අතර සහසම්බන්ධය වැඩියි. එහෙත්, අහඹු ලෙස ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂාවට ලක් කරද්දී වැරදීම් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉහත කී අහඹු ප්‍රශ්න තුනෙන් දෙකකට නිවැරදිව පිළිතුරු දුන්නොත් රුසියානු විභාගයක් සමත් වූ සේ සැලකෙනවා. ලකුණු 3/5ක් ලැබෙනවා. ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුරු දුන්නොත් 4/5ක් ලැබෙනවා. අවම වශයෙන් ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නොත් ලැබෙන්නේ ලකුණු 2/5යි. මේ අනුව, 2/5 ලබා ගන්නා සිසුන් අතර ප්‍රශ්න තුනෙන් එකකට පමණක් නිවැරදි පිළිතුරු ලබා දුන් අයත්, එක ප්‍රශ්නයකටවත් නිවැරදි පිළිතුරු ලබා නොදුන් අයත් ඉන්නවා.

ලකුණු 5/5ක් ලබා දෙන්නේ මුල් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් අය වෙත තවත් අමතර ප්‍රශ්න යොමු කර ඒ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නොත් පමණයි. ඒ වගේම, 2/5ට වඩා අඩු ලකුණු ලබා දෙන අවස්ථාත්, කලාතුරකින් වුවත්, තිබෙනවා. 1/5 වැනි ලකුණකින් අදහස් කෙරෙන්නේ නීති පිළි නොපැදීම හෝ විනය විරෝධී ක්‍රියාවක්. ප්‍රශ්න කිසිවකට නිවැරදිව පිළිතුරු ලබා නොදීම නිසා ලකුණු ප්‍රමාණය 2/5ට වඩා අඩු වන්නේ නැහැ.

මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන බටහිර ආකෘතියේ විභාගයකින් වෙනස්ව, අහඹු ප්‍රශ්න තුනක් පමණක් අහන විට සැලකිය යුතු දැනුමක් ඇති අයෙකුට වුවත් එම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, 0/5 වෙනුවට 2/5 ලබා දීමේ නිශ්චිත පදනමක් තිබෙනවා. 

අනෙක් අතට මේ සමත්/අසමත් ලකුණ සංකේතයක් පමණයි. කාගේ හෝ ලකුණු ප්‍රමාණය 2/5ක් නම් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එම ඇගයීම් ක්‍රමය ගැන දන්නා කාට වුනත් රහසක් නෙමෙයි. විභාගයකට මුහුණ දෙන සිසුවෙකුට වැදගත් වන්නේ විභාගය සමත්ද අසමත්ද කියන එක මිසක් ඒ බව දැනුම් දෙන සංකේතය කුමක්ද කියන එක නෙමෙයි. ලැබුනේ 2/5නම් එය අසමත්වීමක් බව අදාළ සිසුවාත් අනෙක් අයත් දන්නවා. වෙනත් රටක විභාග ඇගයීම් ක්‍රම ගැන නොදන්නා රුසියානු සිසුවෙකුට මෙය බිංදුවම තමයි. ඒ නිසා, බිංදුවෙන් ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසා ඉගෙනීමට ඇති උනන්දුව වනසනවානම් රුසියානු දෙකෙනුත් ඒ වැඩේම වෙනවා.

ඇමරිකාවේ විභාග වල සාමාන්‍ය සමත් ලකුණ 70 හෝ 73යි. A සාමාර්ථයක් ලබා ගන්නනම් 90ක් හෝ 93ක් ලබා ගත යුතුයි. නමුත්, ලංකාවේද ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රමයේදී සමත් ලකුණ 40ක් හෝ 50ක් පමණ වෙනවා. ලකුණු 70ක් හෝ 75ක් ලබාගත් විට A සාමාර්ථයක් ලැබිය හැකියි. ඇමරිකානු විභාග ක්‍රමයට පුරුදු වී සිටින බොහෝ දෙනෙක් දකින්නේ ඇමරිකාවේ අසමත් ලකුණක් වන 60%ක් පමණ ලබා බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්මාන සාමාර්ථයක් ලැබිය හැකි නිසා එය ඉතා පහසු බවයි. 

ඇත්තමට වෙන්නේ කිසියම් රටක භාවිතා කරන ඇගයීම් ක්‍රමය අනුව සිසුන් වගේම ඇගයීම් කරන අයත් තමන්ගේ විභාග සම්මත සීරුමාරු කර ගැනීමයි. ඒ නිසා, බොහෝ විට බ්‍රිතාන්‍ය ක්‍රමයට 40% ගැනීමත්, ඇමරිකානු ක්‍රමයට 70% ගැනීමත්, රුසියානු ක්‍රමයට 3/5 ගැනීමත් එක තරම් අමාරු වෙන්න ඉඩ තිබෙනවා. 

රුසියානු විභාග ඇගයීම් ක්‍රමය හා සෝවියට් සමාජවාදය අතර සම්බන්ධයක් නැතත් ඉහත සටහනේ සඳහන් මහාචාර්යවරයා හා සටහන ලියූ පුද්ගලයා විසින් මේ ඇගයීම් ක්‍රමය අර්ථකථනය කරන ආකාරය තුළින් ඔවුන්ගේ මාක්ස්වාදී චින්තනය පැහැදිලි වෙනවා.

දළ වශයෙන් කියනවානම් ඔවුන් සිතන්නේ විභාගයට පිළිතුරු දී ඇති ආකාරය කෙසේ වුවත් විභාගයට මුහුණ දීම දක්වා සිසුවා විසින් දරා ඇති මහන්සිය ඇගයීමට ලක් විය යුතු බවයි. මේ අදහස පදනම් වන්නේ ශ්‍රමයේ වටිනාකම පිළිබඳ මාක්ස්වාදී අදහස මතයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වන්නේ යෙදවූ ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ අනුව, එක තරමට මහන්සි වී විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුවාත්, කිසිම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලබා නොදුන් සිසුවාත් සමාන වටිනාකම් නිර්මාණය කර තිබෙනවා.

නොවැම්බර් විප්ලවයෙන් පසුව හඳුන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ විභාග නැති, ඇගයීම් නැති අධ්‍යාපන ක්‍රමයක්. එහි පදනම වන්නේත් ඉගෙන ගැනීම යනු ඒ සඳහා වැය කළ ශ්‍රමය මිසක් තමන් උකහා ගත් දෙය නොවන බවයි. සෝවියට් දේශයට වුවත් මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ.

ධනවාදයට අනුව යමෙක් මහන්සි වී වැඩ කළ පමණින් වටිනාකම් නිර්මාණය වන්නේ නැහැ. ඒ, ධනවාදයේදී මාක්ස්වාදයේදී මෙන් ශ්‍රමයට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. ශ්‍රමයේ සාපේක්ෂ වටිනාකම තීරණය වන්නේ එම ශ්‍රමය යොදවා නිර්මාණය කළ වටිනාකම් මතයි. ඒ අනුව, කොයි තරම් කාලයක් මහන්සි වුනත් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් නැහැ. අනෙක් අතට විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දිය හැකිනම් එය කළේ අවුරුද්ද තිස්සේම බේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කරලද, විභාගයට කලින් දවසේ පැය කීපයක් පාඩම් කරලද කියන එක වැදගත් නැහැ. මීටරෙන් ගොඩ දැම්මත්, මෝටරෙන් ගොඩ දැම්මත් වැදගත් වන්නේ අවසාන ප්‍රතිඵලයයි. 

බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී කොහොම වුනත්, ධනවාදය තුළදී  අවසානයේදී කිසිම වටිනාකමක් නිර්මාණය කිරීමට දායක වෙලා නැත්නම් කොයි තරම් මහන්සි වුනත් ලැබෙන්නේ බිංදුව පමණයි. සමාජවාදී ක්‍රමයකදී මෙන් පහෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් ලැබෙන්නේ වටිනාකම් නිර්මාණය කරන අයගේ සහකම්පනය මත පමණයි.

Friday, June 12, 2020

කොරෝනා කොයිබටද?


මා කොරෝනා වෛරසය ගැන මෙහි ලියන්නේ ජනවාරි මාසයේ සිටයි. ඒ වෙද්දී මේ රෝගය කෝවිඩ්-19 ලෙස නම් කර තිබුණේ නැහැ. ආසාදිතයින් ප්‍රමාණය 7,815ක් වන විට මරණ සිදු වී තිබුණේ 170ක් පමණයි. එය 2.2%ක මරණ අනුපාතයක්. මේ අඩු මරණ අනුපාතය නිසා ඒ දවස් වල බොහෝ දෙනෙක් රෝගය බරපතල ලෙස සැලකුවේ නැහැ. ජනවාරි 30 දින මා මෙසේ ලිවුවා.

"අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා."

"මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි.". 

මුල් කාලයේදී චීනයේ වෛරසය පැතිරෙද්දී බොහෝ අය චෝදනා කළේ ඇමරිකාවටයි. මෙය චීනයට එරෙහිව ඇමරිකානු මාධ්‍ය මගින් මවන බොරු බියක් බව ප්‍රචාරය වුනා. නිල වශයෙන් චීනයත් එසේ කිවුවා. එය එසේ නොවන බව පෙන්වා දෙමින් රෝගයේ භයානකකම ගැන මා පෙබරවාරි 6 දින අවධාරණය කළේ මෙලෙසයි.

"කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.

රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්."

ඉන් පසුව, චීනයෙන් පිටත දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල වෛරසය පැතිරෙන්න පටන් ගත්තා. පෙබරවාරි 24 දින මා මෙසේ ලිවුවා.

"මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි."


මාර්තු මැද වන විට කොරෝනා යුරෝපයේ ප්‍රශ්නයක් වී තිබුණා. ඒ වන විටත් ඇමරිකාවේ වෛරසය එතරම් දුරට පැතිරී තිබුණේ නැහැ. මේ මාර්තු 14 වන විට පැවති තත්ත්වයයි.

"මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි."

"ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි. 

ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා."


ඉන් පසුව ඇමරිකාව ක්‍රමයෙන් කොරෝනා ලැයිස්තුවේ උඩට ආවා. මාර්තු 26 දින මා ලිවුවේ මෙලෙසයි.

"මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572

හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි."



මේ වෙද්දී ඇමරිකාවේ ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බවත් මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති බවත් (116,000) කවුරුත් දන්නා දෙයක්. චීනයෙන් පසුව කොරෝනා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වුනේ ඇමරිකාවට හා යුරෝපයට.


කොරෝනා රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල ප්‍රශ්නයක් වන බව මා කිවුවේ දැනට මාස දෙකකටත් පෙරයි. ඒ අප්‍රේල් 10 වෙනිදා. ඒ වන විට එම රටවල් හිටියේ ලැයිස්තුවේ ගොඩක් පහළින්.

"කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි."

අප්‍රේල් 18 මා මේ කරුණ නැවත අවධාරණය කළා.

"මේ වෙද්දී වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන ජනගහණය වැඩි රටවල් වන්නේ රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාවයි."

මැයි අවසානය වන විට මේ රටවල් අතරින් රුසියාව හා බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න පටන් ගෙන තිබුණා. මේ මා මැයි 28 දින තැබූ සටහනයි.

"මා සති ගණනාවකට පෙර කියූ පරිදිම බ්‍රසීලය හා රුසියාව ලැයිස්තුවේ උඩට ඇවිත් තිබෙනවා. ඉදිරි මාසය තුළ ඉන්දියාවත් ක්‍රමයෙන් ලැයිස්තුවේ ඉහළට එයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ලංකාවටත් අමාරු දවස් පැමිණෙනු ඇත්තේ තව පහු වෙලා."

ඉන් පසුව, මා නැවත කොරෝනා ගැන ලියන්නේ අදයි. මේ වන විට ඇමරිකාවට පසුව කොරෝනා ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව හා ඉන්දියාවයි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය බ්‍රික් රටවල් ලෙසද හැඳින්වෙනවා. චීනයෙන් පටන් ගත් කොරෝනා මේ වෙද්දී ඉතිරි බ්‍රික් රටවල ප්‍රශ්නයක් වෙලා.

තවමත් ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා එක්සත් රාජධානිය යන රටවල් හතරේම එකතුවට වඩා වැඩියි. මරණ ගණන බැලුවත් එහෙමයි. ඇමරිකාවේ රෝගය පැතිරීම මන්දගාමී වී තිබුණත් තවමත් දවසකට රෝගීන් විසිදහසක්වත් අළුතෙන් හමු වෙනවා. ඒ නිසා, දැනට මතුපිටින් පෙනෙන්නට ඇති ආකාරයට රෝගීන් ප්‍රමාණය අනුව වෙන රටක තත්ත්වය ඇමරිකාවට වඩා දරුණු වීම දුරස්ථ කාරණයක්.

රුසියාවේ ආසාදිතයින් ලක්ෂ පහකට වඩා සිටියත්, ඒ ප්‍රමාණය හදුනාගෙන තිබෙන්නේ මිලියන 14ක පිරිසක් පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහෙත්, බ්‍රසීලයේ තත්ත්වය වෙනස්. ආසාදිතයින් ලක්ෂ අටක් හමු වී තිබෙන්නේ පරීක්ෂා කරනු ලැබූ මිලියන 1.36ක් අතරින්. ඉදිරි කාලයේදී පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යද්දී බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වේගයෙන් ඉහළ යයි. තව සති තුනකින් හෝ හතරකින් බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න බැරිකමක් නැහැ.


දැනට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය ඇමරිකාවේ ආසාදිතයින් ප්‍රමාණයෙන් 15%ක් පමණක් වුනත් ඉන්දියාව ඇමරිකාව මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටක්. යම් කාලයක් ගත විය හැකි වුවත් ඉන්දියාව අවසානයේදී ඇමරිකාව හා බ්‍රසීලය පහු කර ලැයිස්තුවේ උඩටම එන්න පුළුවන්. සමහර විට අගෝස්තු මාසය පමණ වෙද්දී විය හැකියි. රුසියාව පහු කරන්නනම් වැඩි කාලයක් ගත වන එකක් නැහැ.



ඉන්දියාවේ ආසාදිතයින් ඉහළ යාමට සමානුපාතිකව පකිස්ථානයේ හා බංග්ලාදේශයේත් ආසාදිතයින් ඉහළ යාමට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. ඉතා ඉක්මණින්ම, බොහෝ විට මේ මාසය අවසන් වන විට, කෝවිඩ් දකුණු ඇමරිකාවේ හා දකුණු ආසියාවේ ප්‍රශ්නයක් බවට පත් වෙයි.

Wednesday, July 17, 2019

ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?


අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.

මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.

ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.

ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.

"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."

ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)

Saturday, December 8, 2018

තෙලේ බලේ දැලේ වෙලේ?


"තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"

ජනාධිපති ට්‍රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්‍රම්ප්ගේ ට්විටර් සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා


තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්‍රශ්නයක්.

තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්‍රජාත්නත්‍රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.

තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්‍රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්‍රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්‍රම්ප්ට එය කළ නොහැකියි.

ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්‍ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්‍රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්‍රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්‍රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.

ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.

ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.

ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්‍රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්‍රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.

(Image: https://www.forbes.com/sites/arielcohen/2018/12/07/high-five-at-opec-russia-and-saudi-arabia-agree-1-2mbd-production-cut/#66cebe566d24)

Saturday, December 23, 2017

රුසියා ගිය තේ කුරුමිණියා


තේ කන්ටේනරයක හැංගී අනවසරයෙන් රුසියාවට ඇතුළු වූ කුරුමිණියෙකු නිසා සෑහෙන අලකලංචියක් වී තිබේ. කතාව කවුරුත් දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැත.

රුසියාව හා ලංකාව අතර සම්බන්ධතා වලට මේ වන විට දිගු ඉතිහාසයක් තිබේ. පීටර් රීව්ස්ගේ ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයට අනුව රුසියන් තානාපති කාර්යාලයක් ගාල්ලේ පිහිටුවා ඇත්තේ 1882 වසරේදී වන අතර 1891දී එය කොළඹට ගෙනැවිත් තිබේ. නොවැම්බර් විප්ලවයෙන් කලකට පසුව, 1958 පෙබරවාරි 25 දින ලංකාව හා සෝවියට් දේශය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව දෙරට අතර වූ සම්බන්ධතා වඩා පුළුල් වූ අතර එවකට ලංකාවේ ප්‍රධාන අපනයන වූ තේ, රබර් හා පොල් නිෂ්පාදන සෝවියට් දේශයට යැවීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාව හා ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම බිඳ වැටුණේ නැත.

ඇඟලුම් කර්මාන්තය දියුණු වීමට පෙර ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබුණේ තේ වලිනි. මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරු වූයේ රුසියාවයි. දැනටත් රුසියාව ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකි. ඊට අමතරව, රබර් හා රබර් අත්වැසුම් ආදී රබර් නිෂ්පාදනත්, පොල් නිෂ්පාදනත් රුසියාව තවමත් ලංකාවෙන් ආනයනය කරයි.

ඉහත පරිදි රුසියාව ලංකාවෙන් තේ පමණක් නොව රබර් හා පොල් වැනි වෙනත් දේද දිගින් දිගටම ආනයනය කළත්, දශකයකට පමණ පෙර කාලය දක්වාත් ලංකාව රුසියාවෙන් සැලකිය යුතු දෙයක් ආනයනය නොකළේය. ඒ නිසා, දෙරට අතර වෙළඳ ශේෂය දිගින් දිගටම පැවතුණේ ලංකාවේ වාසියටය.

පසුගිය දසවසරක පමණ කාලය තුළ ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ක්‍රමයෙන් රුසියාවේ වාසියට වෙනස් විය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත. 2009 වසර වන විටද නොගිණිය හැකි මට්ටමක තිබුණු රුසියානු ආනයන ඉන් පසු ඉතා වේගයෙන් ඉහළ ගියේය. එහෙත්, ලංකාවෙන් රුසියාවට සිදු කරන අපනයන ස්ථාවරව පැවතුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව හා රුසියාව අතර වූ වෙළඳ ශේෂ අතිරික්තය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වී ගොස් ලංකාවේ අවාසියට හේතු වන මට්ටමටම පැමිණියේය.

මහ බැංකු වාර්තා දත්ත මත පදනම් වන පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, පසුගිය දෙවසර තුළ ලංකාව හා රුසියාව අතර වෙළඳාම සිදු වී තිබෙන්නේ රුසියාවේ වාසියටය. වෙනත් ලෙසකින් කියනවානම්, පසුගිය දෙවසර තුළ ලංකාව විසින් රුසියාවට තේ ඇතුළු සියලු අපනයන යවා ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් රුසියානු ආනයන වෙනුවෙන් වැය කර තිබේ. මෙයට අමතරව, විවිධ උපාධි හැදෑරීමට රුසියාවට යන සිසුන් හරහාද සැලකිය යුතු විදේශ විණිමයක් ලංකාවෙන් රුසියාවට යයි.


පසුගිය 2016 වසර තුළ තේ අපනයනයෙන් ලංකාව ලැබූ සමස්ත ආදායම ඩොලර් මිලියන 1,269ක් හෙවත් ඩොලර් මිලියන 10,310ක මුළු අපනයන ප්‍රමාණයෙන් 12.3%කි. එයින් රුසියාවට විකුණා ඇති තේ වලින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 143ක් හෙවත් සමස්ත තේ අපනයන ආදායමෙන් 11.3%කි. මේ අනුව, රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයා ඇති ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට අඩු වන අතර ඒ මුදලද ආනයන වෙනුවෙන් නැවත රුසියාවට ගෙවා තිබේ. (මෙයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි.)

කෙසේ වුවද, මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ රුසියානු-ශ්‍රී ලංකා වෙළඳ පරිමාව හා ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසි අවාසි සංසන්දනාත්මක ලෙස පෙන්වීමට මිස රුසියාවට තේ යැවීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට නොවේ. එය ලංකාවට ඉතා වැදගත්ය.

තේ ගැන කතා කරන්නට පෙර රුසියාවෙන් ලංකාවට සිදුවන ආනයන පසුගිය වසර හතක කාලය තුළ ඩොලර් මිලියන 3ක සිට 200ක් දක්වා 66 ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි විමසිය යුතුය. මේ ගැන ස්ථිර අදහසක් පළ කරන්නට තරම් තොරතුරු මා සතුව නැති නිසා, ඒ සඳහා පාදක විය හැකිව තිබුණු හේතු ගැන සිතන්නට සිදු වේ. ඒ, පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් විය හැකිය.

1. දිගින් දිගටම රුසියාවේ අවාසියට හා ලංකාවේ වාසියට තිබුණු වෙළඳ ශේෂය ගැන රුසියාව සැලකිලිමත් වී එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නට කටයුතු කිරීම.
2. ලංකාවේ විණිමය අනුපාතිකය අවශ්‍ය පමණට අවප්‍රමාණය නොවීම නිසා ලංකාවේ අපනයන තරඟකාරීත්වය ක්‍රමයෙන් අඩු වී රුසියානු අපනයන වල තරඟකාරිත්වය ඉහළ යාම.
3. ලංකාවේ කිසියම් පිරිසක් විසින් රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන රුසියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නට  පටන් ගැනීම.

ලංකාව සමඟ වෙළඳ හිඟයක් දිගින් දිගටම පැවතෙන විට රුසියාවට ඒ වෙනුවෙන් ඩොලර් උපයන්නට සිදු වේ. ඒ ලංකාවට අවශ්‍ය වන්නේ ඩොලර් මිස රූබල් නොවන බැවිනි. එහෙත්, ඩොලර් යනු රුසියාවටද අවශ්‍ය දෙයකි. ඒ නිසා, ඉහත පළමු කරුණ අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වුවත්, 2016 වසරේදී රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ආනයන වියදම ඩොලර් බිලියන 180කි. වෙළඳ ශේෂය ඩොලර් බිලියන 102ක අතිරික්තයකි. මේ ගණන් සමඟ සැසඳූ විට ලංකාව සමඟ වෙළඳාමෙන් රුසියාවට වන අවාසිය ගිණිය හැකි එකක් නොවේ. ඉතිහාසය පුරා විශාල ගෙවුම් ශේෂ අර්බුද වල සිටි අවස්ථා වලදී වුවද රුසියාව ලංකාව වැනි රටක් සමඟ කරන වෙළඳාමෙන් සිදුවන අවාසි ලොකු ප්‍රශ්නයක් ලෙස සිතා නැත.

දෙවැන්නද සලකා බැලිය හැකි කරුණකි. එහෙත්, එය ලංකාවේ විදේශ වෙළඳාමට පොදුවේ බලපාන ප්‍රශ්නයක් මිස රුසියාව සමඟ කරන වෙළදාමට පමණක් විශේෂයෙන් බලපාන තත්ත්වයක් නොවේ. මේ අනුව, ඉහත තෙවන කරුණට අපට සෑහෙන බරක් දෙන්නට පුළුවන.

ලංකාව රුසියාවෙන් ආනයනය කරන්නේ මොනවාද?

මේ හා අදාළවද විස්තරාත්මක දත්ත සොයාගන්නට නැතත් ලෝක වෙළඳ සංවිධානයේ දත්ත අනුව මෙය විවිධාංගීකරණය වූ පැසකි. මාධ්‍ය වාර්තා වල කතා කෙරෙන ඇස්බැස්ටෝස් හෝ ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඒ අතර තිබෙනවා විය හැකි වුවත් එය රුසියානු ආනයන සමස්තය නොවේ. රුසියානු ආනයන වලට සාපේක්ෂව ලංකාවෙන් එහි යවන අපනයන විවිධාංගීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර අපනයන ආදායමෙන් 75-80% පමණම ලැබෙන්නේ තේ වලිනි.

රුසියාවට තේ යවා ලංකාව උපයන්නේ සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට නොවැඩි මුදලක් වුවත් එහි ක්ෂුද්‍ර ආර්ථික බලපෑම් සාර්ව ආර්ථික බලපෑම් වලටද වඩා විශාලය. රුසියාවට තේ අපනයනය කරන නිශ්චිත අපනයනකරුවන් සිටින අතර ඔවුන්ට තේ විකුණන නිශ්චිත අතරමැදියන් පිරිසක් හා නිශ්චිත තේ නිෂ්පාදකයින් පිරිසක් සිටිති. මේ පිරිස් විශාල රැකියා ගණනක් ජනනය කරන අතර ලංකාවේ පවුල් ගණනාවක් රුසියාවට යවන තේ වලින් යැපේ. ඩොලර් මිලියන 143ක සමස්ත අපනයන ආදායමම අහිමි වුවත් රටක් ලෙස ලංකාවට මහා විශාල ප්‍රශ්නයක් වන්නේ නැතත්, රට තුළ තේ කර්මාන්තයේ නියැලෙන්නන්ට එය විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට, රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදුවේනම් බොහෝ දුරට එහි වාසිය ලබන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකි.

රුසියාව ලංකාවේ තේ තහනම් කරන්නට හේතු වී ඇත්තේ තේ තොගයක සිට හමු වී ඇති කුරුමිණියෙකි. රුසියාව පැත්තෙන් බැලූ කළ මේ තීරණය තර්කානුකූලය.

ඕනෑම රටක් තමන් විසින් ආනයනය කරන ආහාර හා කෘෂිකාර්මික භෝග වල තත්ත්වය ගැන අතිශයින්ම සංවේදීය. නවසීලන්තයෙන් එන කිරිපිටි තොගයක කුරුමිණියෙකු සිටියොත් ලංකාව ක්‍රියා කරනු ඇති ආකාරය සිතා ගන්නට අපහසු නැත. මෙවැනි සිදු වීමකින් පසු, රුසියාව ලංකාවේ තේ තහනම් නොකළත් ඒ සිදුවීම පමණක් වුවද ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම විශාල ලෙස පහත හෙළන්නට හේතු විය හැකිය.

ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම පහත වැටුණු විට එහි වැඩිම බලපෑමකට ලක්වන පිරිස අතර ඉහළින්ම සිටින්නේ රුසියාවට තේ යවන අපනයනකරුවන්ය. ඔවුන් රුසියාවට තේ යවන්නේ පළමුව තේ හැර වෙනත් ආදේශක සමඟත්, දෙවනුව වෙනත් රටවල තේ සමඟත්, තෙවනුව ලංකාවේම වෙනත් අපනයනකරුවන් සමඟත් තරඟ කරමිනි. මේ තරඟයෙන් එළියට විසි නොවන්නටනම් තමන්ගේ අපනයන වල තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතු බව ඔවුන් නොදන්නවා නොවේ. රජය මැදිහත්වී තේ අපනයන තහනම ඉවත් කරගත්තත් කුරුමිණියා යැවූ අපනයනකරුට නැවත රුසියාවට තේ යවන්නට නොලැබෙන්නට ඉඩ තිබේ.

ඇතැම් අය විශ්වාස කරන පරිදි රුසියාව ලංකාවේ තේ තහනම් කර ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. මේ කතාව ඇත්තක්නම්, සැබෑ ප්‍රශ්නය කුරුමිණියෙකු සිටීම නොවේ. ඇස්බැස්ටෝස් තහනම හරහා රුසියාවට රිදවීමයි.

රුසියාවට ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට එකට එක කරන්නට අවශ්‍ය වෙලාවේම ලංකාවෙන් යවන තේ තොගයක කුරුමිණියෙක් හමු විය හැකිද? මේ කුරුමිණියා කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? ඇස්බැස්ටෝස් තහනම් කිරීම ගැන අමනාපයෙන් සිටි රුසියාව හිතාමතාම කුරුමිණි කතාවක් ගෙතුවාද?

ඇස්බැස්ටෝස් තේ සම්බන්ධය ඇත්තක්නම් ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සෑහෙන්න රිදී තිබිය යුතුය. රුසියාවට ඒ තරමටම රිදෙන්නටනම් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට ලොකු පාඩුවක් සිදුවිය යුතුය.

පෙර කී පරිදි රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ඇතුළු රුසියාවෙන් ලංකාවට එවන මුළු භාණ්ඩ තොගයේම වටිනාකම ඩොලර් බිලියන 0.2කි. එනම්, රුසියාවේ අපනයන ආදායමෙන් 0.1%කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවට එවන මුළු අපනයන තොගයම නැති වුණත්, එසේ නැත්නම් එය හිටිවනම දෙගුණ වුනත්, රුසියාවට දැනෙන්නේවත් නැත. රූබලයේ බාහිර වටිනාකම (විණිමය අනුපාතිකය) උච්ඡාවචනය වීම නිසා පැයක් වැනි කාලයක් තුළ සිදුවන බලපෑම ඊට වඩා වැඩිය. ඒ නිසා, ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වේයැයි සිතීම පදනම් විරහිතය.

කෙසේ වුවද, ලෝකයේ විශාලතම ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද රුසියාවයි. ඇස්බැස්ටෝස් නිසාම ප්‍රසිද්ධ වූ ඇස්බැස්ට් වැනි නගර පවා රුසියාවේ තිබේ. එම නගරය කේන්ද්‍ර කර කටයුතු කරන උරල්ඇස්බැස්ට් සමාගම පමණක් රුසියානු ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් නිෂ්පාදිතයෙන් 45%ක් හා ලෝක නිෂ්පාදිතයෙන් 22%ක් නිපදවන අතර එයින් 78%ක් අපනයනය කරයි. 2015 වසරේදී ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවීමට හේතු වූයේද රුසියාව, කියුබාව, කසකස්ථානය, කිර්ගිස්තානය, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ යන රටවල විරුද්ධත්වයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඇස්බැස්ටෝස් හේතුවෙන් වසරකට සිදුවන මරණ ගණන 107,000කි. වෘත්තිමය සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු නිසා ලොව පුරා සිදුවන මරණ වලින් අඩක්ම සිදුවන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙනි. ඇස්බැස්ටෝස් භාවිතයේ ඇති සෞඛ්‍යමය හානි සලකමින් මේ වන විට ලෝකයේ රටවල් 55ක් පමණ ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ කර නැති ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩි නියාමනයකට ලක් කර භාවිතය සීමා කර තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ක්‍රොසයිඩොලයිට් ඇස්බැස්ටෝස් වැනි ඇස්බැස්ටෝස් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් තවමත් රටවල් ගණනාවක බහුලව භාවිතා වේ.

මේ වන විට ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් කණින ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, චීනය, බ්‍රසීලය හා කසකස්ථානයයි. ඇස්බැස්ටෝස් අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාව, බ්‍රසීලය, කසකස්ථානය, චීනය හා ඉන්දියාවයි. ඒ අතරින්ද, ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාවයි. ලෝකයේ වැඩියෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය හා ලංකාවයි.

ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර නැති බොහෝ රටවල පවා පසුගිය දශකය තුළ ඇස්බැස්ටෝස් භාවිතය විශාල ලෙස අඩුවී ඇතත් රටවල් කිහිපයක සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය කාලයේදී ඇස්බැස්ටෝස් භාවිතය ඉහළ ගිය රටවල් අතළොස්සට ලංකාවද අයත්ය. මේ තත්ත්වය සලකා බලන විට ලංකාව විසින් ඇස්බැස්ටෝස් ආනයනය ක්‍රමයෙන් නැවැත්වීමට ගත් තීරණයට පැහැදිලි පදනමක් තිබේ.

ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාව වුවත් මේ අපනයන වලින් රුසියාවට ලැබෙන ආදායම එතරම්ම විශාල නැත. ඒ, සමස්ත ලෝක ඇස්බැස්ටෝස් වෙළඳ පරිමාවම ඇමරිකන් ඩොලර් මිලියන 344ක් පමණක් වන බැවිනි. රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කර උපයන මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 191ක් පමණක් වන අතර (2015 දත්ත) එම මුදල රුසියාවේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 282න් 0.1%කටත් අඩුය. මගේ ඇස්තමේන්තු අනුව, ලංකාවට අපනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණයේ සමස්ත වටිනාකමම ඩොලර් මිලියන 20ක පමණ  මුදලක් වන අතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුසියාවෙන් ආනයනය කරනවා වුවත් රුසියන් ලංකා ඇස්බැස්ටෝස් වෙළඳාම ඩොලර් මිලියන 20 නොඉක්මවයි. මේ තරම් සොච්චම් මුදලක් වෙනුවෙන්, බොහෝ රටවල් විසින් දැනටමත් ගෙන ඇති මහජන සෞඛ්‍යය හා අදාළ තීරණයක් ගැනීමට එකට එක කරමින්, ලංකාවට දඬුවම් කරන්නට රුසියාවට අවශ්‍යද යන්න සැක සහිතය.

කෙසේ වුවත්, ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට රුසියාව විරුද්ධ විය. ඒ නිසා, අපට දැනට ප්‍රචලිතව ඇති මතය මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, රුසියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට සෘජුවම විරෝධය නොපා කුරුමිණියෙක් සම්බන්ධ කරගෙන තේ ආනයනය තහනම් කරන්නට යොමුවීමද තරමක් අසාමාන්‍ය දෙයකි.

ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට දැනෙන බලපෑමක් සිදුනොවුණත් එයින් විශාල පාඩුවක් වන කොටස් නැත්තේ නැත. මෙහිදී මුලින්ම සැක මතු වන්නේ ලංකාවට රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලාභ ලබන කණ්ඩායම් පිළිබඳවය. පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගනිමින් රුසියන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලංකාවේ ප්‍රචලිත කළ අයටනම් ඇස්බැස්ටෝස් තහනම නිසා සිදුවන්නේ විශාල හානියකි. ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීමට ආසන්නව අහඹු ලෙස සිදු වූ කුරුමිණි ගමන හා එයට ප්‍රතිචාර ලෙස රුසියාව විසින් ලංකාවේ තේ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධ කරමින් කතාවක් ගොතන්නට එවැනි අයෙකුට නුවණ පෑදෙන්නට බැරිකමක් නැත. යම් හෙයකින් එය එසේ වූවානම්, ඇස්බැස්ටෝස් තහනම අකුළා ගනිමින් ආණ්ඩුව ලස්සනට ඇඳගෙන තිබේ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...