වෙබ් ලිපිනය:

Thursday, May 12, 2022

රනිලාගමනය

රනිල් වික්‍රමසිංහ විසින් නැවතත් අගමැති ධුරය භාර ගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රනිල් කියන්නේ මේ වන විට ජනප්‍රියතාව අනුව රටේ අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවකටම වඩා පසුපසින් සිටින දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු (හා නායකයා) වීමයි. පසුගිය මහ මැතිවරණයේදී 2%කට මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගත් එජාපයට හිමි කර ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණයි. ආණ්ඩු බලය හිමි පොදුජන පෙරමුණ හා විපක්ෂයේ සිටින සජබ මෙන්ම ජාජබ පමණක් නොව ද්‍රවිඩ සන්ධානය වැනි වෙනත් පක්ෂද මීට වඩා ඡන්ද හා මන්ත්‍රී ධුර හිමි කර ගත්තා. 

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශයේ මෙතෙක් කවදාවත් සිදු නොකෙරෙනු ආකාරයේ වෙනස්කම් සිදු කෙරෙන ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලක් අනිවාර්යෙයන්ම අවශ්‍ය වෙනවා. පුළුල් මහජන සහයෝගයක් නොමැතිව එවැනි වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි. එවැනි පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ පවතින ආණ්ඩුවට තවමත් සහයෝගය දක්වන ජන කොටස් වල නියෝජිතයින්ද ඇතුළත් සියලු දේශපාලන පක්ෂ වල එකතුවකට පමණයි. මෙතෙක් දිගින් දිගටම සිදු වූ පරිදි, එක් එක් දේශපාලන පක්ෂය විසින් තමන්ගේ බල ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දීම තුළ මේ කාර්යය කිසිසේත්ම සිදු වන එකක් නැහැ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට නැවත විශාල කාලයකට ගොඩ ගත නොහැකි අගාධයකට පතිත වීම පමණයි.

මා හිතන විදිහට අරගලයට සහයෝගය දැක්වූ නිර්පාක්ෂික කොටස් විසින් අපේක්ෂා කළේ පක්ෂ අනන්‍යතා ඉක්මවා ගිය මෙවැනි එකඟතාවක්. මා මෙහිදී අදහස් කරන්නේ සැබෑ නිර්පාක්ෂික කොටස් මිසක් නිර්පාක්ෂික අරගලය තුළ සිටිමින් දේශපාලන පක්ෂ වල බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොටස් පිළිබඳව නෙමෙයි. අනපේක්ෂිත ලෙස නොවුනත්, අවාසනාවකට මෙන්, එවැනි එකඟතාවක් ඇති වීමේ ඉඩක් මේ වන විට දැකිය නොහැකියි. අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය හා එයින් පසුව ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් පසුව නැවතත් පාක්ෂික අනන්‍යතා බලවත් වී ඇති බව පේනවා.

මේ වෙලාවේ යටපත් වී තිබුණත්, රාජපක්ෂවාදීන්ට හා රාජපක්ෂලා සමඟ විවේචනයක් ඇතත් ආණ්ඩුව වෙනුවෙන් තවමත් පෙනී සිටින සැලකිය යුතු පිරිසකටද ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ වගේම, රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින කණ්ඩායම ඇතුළේද එකිනෙකා සමඟ ප්‍රශ්න තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. මට පේන විදිහටනම් මේ සියලු කොටස් වල එකඟතාවයක් ඇති වීම සිදු නොවිය හැකි තරම් දුරස්ථ කරුණක්. 

සාමාන්‍යයෙන් ලංකාවේ දක්ෂිණාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරී පදනම ප්‍රයෝජ්‍යතාවාදයයි. මෙයින් වෙනස්ව ඇතැම් වාමාංශික පක්ෂ තමන්ගේ න්‍යායික පදනම මුල් තැනෙහි ලා කටයුතු කරනවා. එවැනි පක්ෂ විසින් ජන පදනමට වඩා වැඩියෙන් වැදගත් සේ සලකන්නේ තමන් විශ්වාස කරන න්‍යාය මත පදනම් වූ දේශපාලනික නිරවද්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂිණාංශික කඳවුර තුළ සිටින මේ දෙවන ගොඩට දැමිය හැකි දුලබ චරිතයක්. ඔහුට තමන් නිවැරදියයි සේ දකින ස්ථාවරය ජනපදනමට වඩා වැදගත්. 

මේ ආණ්ඩුව බලයට පත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ මතවාදය මුළුමනින්ම පරාජය කරමිනුයි. ඊට සමාන්තරව ඔහුට ඔහුගේ ජනපදනමද නැතිව යනවා. දැන් අගමැති සේ නැවතත් පත්ව සිටින්නේ මේ අයුරින් සිය ජනපදනම මුළුමනින්ම අහෝසි කරගත්, පරාජිත මතවාදයක නියෝජිතයෙක්. එහෙම වෙන්නේ කොහොමද?

පසුව වෙනත් දේශපාලනික ඉල්ලීම් එකතු වුනත්, මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මතු වන්නේ ආර්ථික සාධක නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරයක් පාරට බහින්නේ ගෑස්, පැට්‍රෝල්, විදුලිබලය ආදිය නැති නිසා මිසක් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් නෙමෙයි. (මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය අවතක්සේරු කිරීමක් නෙමෙයි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වී ගෙදර යන්න කියන ඉල්ලීම ඇතුළේ මුලින්ම තිබුණේ "කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න" කියන ඉල්ලීමයි. මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ව ඉවත් කර නන්දලාල්ව පත් කර ගැනීමෙන් පසුව රටේ බොහෝ දෙනෙකු විසින් ඔහුව "කරන්න පුළුවන් කෙනෙක්" ලෙස පිළිගත්තා. 

මහ බැංකු අධිපති වෙනස් කිරීම අරගලකරුවන් විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. එය සිදුවන විට නිර්පාක්ෂික කොටස් අරගලයේ ප්‍රධාන බලවේගය ලෙස සිටීම නිසා "කෝකටත් විරෝධීන්ගේ" හඬ යටපත්ව ගියා. එහෙත්, මේ වන විට අරගලය තුළ තවදුරටත් මුලින් ඒ තුළ දැකිය හැකි වූ නිර්පාක්ෂික ස්වරූපය පෙර ලෙසින්ම දැකිය හැක්කේ නැහැ. දැන් එය විවිධ දේශපාලනික කණ්ඩායම් කිහිපයක හා යම් නිර්පාක්ෂික පිරිසකගේ ලිහිල් එකතුවක්. 

මම හිතන විදිහට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරලියට එන්නේ අරගලය තුළ සිටින නිර්පාක්ෂික කොටස් වල ඉල්ලීම් වලට  වඩාත්ම ගැලපෙන පුද්ගලයා ලෙසයි. දීර්ඝ දේශපාලන අතීතයක් තිබුණත්, මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියා කියන්නේ නිර්පාක්ෂික සේ සැලකිය හැකි තරමටම ජනපදනමක් නැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබෙන්නේ මතවාදයක් පමණයි. කොයි තරම් ජනප්‍රියත්වය පිරිහී තිබුණත්, තවමත් රනිල් වික්‍රමසිංහට වඩා සැලකිය යුතු ජනපදනමක් තිබෙන ආණ්ඩුව විසින් මේ වන විට තමන්ගේ මතවාදය හා උපක්‍රම මුළුමනින්ම අතහැර රනිල්ගේ මතවාදය වැළඳගෙන තිබෙනවා. එම මතවාදය අනුව කටයුතු කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස රනිල් වික්‍රමසිංහව පත් කර තිබෙනවා. දැන් ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකිද යන්නයි.

අශුභවාදී අදහසක් සේ පෙනෙන්නට හැකි වුවත්, මගේ අදහසනම් රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවයි. මා එසේ කියන්නේ ඔහු නිවැරදි මාර්ගයේ යාමට ඇති ඉඩ ගැන තිබෙන සැකයක් නිසා නෙමෙයි. එම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා ගැනීමේ ශක්‍යතාවය පැහැදිලි ලෙස නොපෙනෙන නිසයි.

මේ වෙලාවේ රනිල් අත ගසා තිබෙන්නේ ඉතාම අවදානම් කටයුත්තකටයි. මෙය නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම හා සම කළ නොහැකියි. මහ බැංකු අධිපති ධුරය සඳහා අවශ්‍ය වූයේ පුහුණුව හා අත්දැකීම් ඇති, වෙනත් විදිහකින් කිවුවොත් තාක්ෂණික කුසලතා ඇති අයෙක්. එහිදී කළ යුතුව තිබුණේ නිවැරදි තීරණ ගැනීම පමණයි. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව නිවැරදි තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයද අවශ්‍යයි. 

අරගලය තුළ සක්‍රියව සිටින නාගරික, නිර්පාක්ෂික කොටස් විසින් නියෝජනය කෙරෙන ප්‍රතිශතය එතරම් විශාල ප්‍රතිශතයක්යැයි මා හිතන්නේ නැහැ. එහි සිටින විශාල පිරිසක් සජබ, ජාජබ, පෙසපෙ වැනි පක්ෂ වල ආධාරකරුවන්. ඔවුන්ට ඔවුන්ගේම බල ඉලක්ක තිබෙනවා. ඒ වගේම, රනිල්ගේ උදවුවෙන් රාජපක්ෂලා නැවත තමන්ගේ හීරුනු තැන් වෑල්ඩින් කර ගෙන නැගී සිටිනු ඇතැයි යන සහේතුක බියද මේ කණ්ඩායම් සියල්ලකටම වාගේ තිබෙනවා. ඒ නිසා, රනිල් වික්‍රමසිංහට නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා "අරගල කඳවුරෙන්" ලැබිය හැක්කේ සීමිත සහයෝගයක් පමණයි. අනෙක් පැත්තෙන්, ආණ්ඩුවේ ඉහළ තට්ටුව විසින් "නයිට් වොච්මන්" කෙනෙකු ලෙස රනිල්ව එළියට දමා ඇතත්, ආණ්ඩුව සමඟ රැඳී සිටින විශාල පිරිසක්ද රනිල්ගේ කකුලෙන් අදින බව පැහැදිලියි. මේ තත්ත්වය යටතේ රට ගොඩ දැමීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රනිල්ට තිබෙන හැකියාව ඉතා සීමිතයි.

රනිල් මේ විදිහට අහක යන කරුමයකට කර ගහන්නේම ඔහුට ලොකු අනාගත අපේක්ෂා නැති නිසා. තමන් ඒ අවදානම ගන්න බය බව සජිත් ප්‍රේමදාස විසින් පැහැදිලි ලෙසම ප්‍රදර්ශනය කළා. සජිත්ගේ බය සාධාරණයි. මොන විදිහකින්වත් අරගලකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි නිසා ආණ්ඩුව සමඟ එකතු වීමෙන් සජිත් ජවිපෙ උගුලෙහි හිරවෙනවා. අනෙක් අතට ජවිපෙ දේශපාලන බලය රැඳී තිබෙන ප්‍රමුඛ සටන් පාඨය වන "හොර ඇල්ලීම" හරහා දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම හා පවත්වා ගැනීම කළ හැක්කේ විපක්ෂ දේශපාලනය තුළ පමණයි.

දැන් ප්‍රශ්නය මේ දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මොන විදිහට බලපායිද කියන එකයි. IMF යාම ගැන මේ වන විට ආණ්ඩුව, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරා හතරක් හා අරගලකරුවන් අතර කිසියම් සම්මුතියක් තිබෙනවා. එසේ වුවත්, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ප්‍රසිද්ධ වූ වහාම මේ සම්මුතිය කැඩෙන බව ඉතා පැහැදිලියි. ප්‍රධාන දේශපාලන ධාරා අතර රාජ්‍ය අංශයේ මැදිහත්වීම් සම්බන්ධව තිබෙන හා ඉදිරියටත් නඩත්තු වීමට නියමිත ප්‍රතිපත්ති අතර විසම්මුතීන් සියල්ල එක් කළ විට අතිපිහිත වීම් ඉතා අඩුයි. 

අපේක්ෂිත IMF ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ වඩාත්ම එකඟ වනු ඇත්තේ සජබයි. එහෙත්, රනිල්ගේ ආණ්ඩුව තුළ සජබ නියෝජනය මේ වන තුරුද පැහැදිලි නැහැ. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුව විසින් රනිල්ව "රස්සාවට ගෙන" තිබුණත්, මේ ආණ්ඩුව බලයට පත් කළ ජනමතය රනිල් පෙනී සිටි හා IMF එකට එකඟ විට හැකි ප්‍රතිපත්තීන්ට එරෙහිව යන ජනමතයක්. මේ තත්ත්වය යටතේ මට පෙනෙන එකම ප්‍රායෝගික විසඳුම හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඉන්පසුව ජනතා කැමැත්ත පරිදි සාමූහිකව ගොඩ යාම හා සාමූහිකව වැනසීම යන ඕනෑම එකක් කරගත හැකියි. රනිල්ට කළ හැකි එකම දෙය ආණ්ඩුව හා අරගලකරුවන් සමඟ සහයෝගයෙන් කෙටි කාලයකට (මාස කිහිපයකට) ආර්ථිකය ඇද ගෙන යාම සඳහා අවශ්‍ය "හදිසි ප්‍රතිකාර" හා "හදිසි නඩත්තු කටයුතු" කිරීම පමණයි.

#ඉකොනොමැට්ටා 

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...