(අසාත්මිකතා අවවාදය: ඉකොනොමික්ස් වලට කැමති, පොලි-ට්‍රික්ස් අසාත්මිකතා ඇති අයට වුවද මේ ලිපිය යෝග්‍යය.)
උඩින් ඇති ප්‍රශ්නයේ 'මා' යන්නෙන් අදහස් වෙන්නේ ඉකොනොමැට්ටානම් ඔය ප්‍රශ්නයේ ලොකු වැදගත්කමක් නැත. ඔය 'මා' කෑල්ල ඇතුළට
ජනවාරියේ ඡන්දය දා අගෝස්තුවේදී නොදැමූ මිලියනයක් පමණ පිරිසත්, අගෝස්තුවේදී මෙන්ම ජනවාරියේදීත් ඡන්දය නොදැමූ තවත් මිලියන ගණනක පිරිසත් ඇතුළත් කළ විට ප්‍රශ්නයට වැදගත්කමක් එකතු වේ. ලෝකයේ කොහේ හෝ කවදා හෝ පැවති මැතිවරණ සියල්ලේදීම ඡන්දය නොදැමූ පිරිස එකතු කරගතහොත් ඔය වැදගත් කම තවත් වැඩිවේ.
ප්‍රශ්නයට ඇති උත්තරය පුද්ගලයාට සාපේක්ෂය.
නොකී කතා ලියන හෙන්රි ඡන්දය නොදා ඇත්තේ "ඡන්දෙන් කොරයි බම්බුවක් රටට. මෙච්චර කාලෙකට කොරල තියෙනවද?" යනුවෙන් සිතමිනි. "දැං කියයි ඡන්දෙ දාන්න ලැබෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල..." යනුවෙන් ලිපිය අවසන් කරන හෙන්රි තුන් පාරක් පමණක් ඡන්දය පාවිච්චි කළ බව කියා තිබේ.
ඉකොනොමැට්ටා හිතන හැටියටනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට අවශ්‍ය පක්ෂයකට ඡන්දය දැමීමට හෝ ඡන්දය නොදාම සිටීමට ඇති අයිතියි. ඡන්දය දැමීමට එරෙහිව හෝ ඡන්දය නොදමා සිටීමට එරෙහිව බලය යෙදවේනම් එය පුද්ගල නිදහසට බාධාවකි.
ඡන්දය නොදා සිටින අය එසේ කිරීම සාධාරනීකරණය කරමින් තම තමන්ටම දෙන පිළිතුරු සියල්ල සාරාංශගත කළහොත්, ඔවුන් මොන විදිහකින් වෙන අයට කීවත්, උඩින් ඇති ප්‍රශ්නයට ඇති පොදු පිළිතුර වනුයේ "ඔය මොකාට දුන්නත් මට ඇති වැඩක් නෑ" යන්නයි. මගේ මේ තර්කය අනුව, යමෙක් කවර ආකාරයකින් හෝ ඡන්දය ප්‍රකාශ කරන්නේ "මට වැඩියෙන්ම වැඩක් වෙන්නේ" එසේ කළ විට නිසාය.
මේ සිතීමෙහි කිසිම වැරැද්දක් නැත. හෝමෝ සේපියන්ස්ලා සාමාන්‍යයෙන් තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙනි.
යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය දීමෙන් කෙනෙකු බලාපොරොත්තු වෙන්නේ,
- එවෙලේම අතට ලැබෙන රුපියල් පන්සීයක් සහ බුරියානි පැකට් එකක් විය හැකිය.
- මීළඟ අයවැයෙන් රුපියල් පන්දාහක පඩි වැඩිවීමක් විය හැකිය.
- රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමේ වැඩි ඉඩ ප්‍රස්තාවන් විය හැකිය.
- තමන්ගේ දරුවෙකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමට උපකාරී වන රෙකමදාරු ලිපියක් විය හැකිය.
- ගමේ පාරට තාර වැටුණු විට හෝ ආසන්නම නගරය කරා අධිවේගී මාර්ගයක් ඉදිවූ විට ගමන් පහසුව වැඩිවීම නිසා තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තැන් තැන් වල බෝම්බ පිපිරීම නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තමන්ගේ ජන වර්ගයට එරෙහිව යම් කණ්ඩායමක් නිරන්තරයෙන් මුදා හරින භීෂණය නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- වෙනත් ජනවර්ගයක් රටෙන් අතුගා දැමීමෙන් සහ තමාගේ ජනවර්ගයට වැඩි තැනක් ලැබීමෙන් තමන්ට සැලසෙන වාසිය විය හැකිය.
- මෙතෙක් ලෝකයේ කොහේවත් බිහිවී නැති සමානාත්මතාව රජයන පරිපූර්ණ සමාජයක ජීවත් වීමට ලැබීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- රටේ ආර්ථිකය සහ පුද්ගල නිදහස දියුණු වීම නිසා තමන්ට සැලසෙන වාසිය විය හැකිය.
වැදගත් කරුණනම් සලකා බලන්නේ සෘජුව හෝ වක්‍රව 'තමන්ට' සැලසෙන වාසිය බවයි.
ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ 'තාර්කිකව සිතන පුද්ගලයෙකු තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයටය' යන්නයි. ඒ අනුව, තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයට තීරණ ගන්නා අය තාර්කික පුද්ගලයින්ය. එසේ සිතා තීරණ නොගන්නෝ අතාර්කික පුද්ගලයෝය.
නිරීක්ෂණ මඟින් පෙනෙන්නේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, බොහෝ පුද්ගලයින් සමහර අවස්ථා වලදීත්, සමහර පුද්ගලයින් බොහෝ අවස්ථා වලදීත් අතාර්කික තීරණද ගනිති.
පුද්ගලයින් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් බොහෝ සංසිද්ධි පැහැදිලි කිරීමට පුළුවන. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මේ 'අතාර්කික ව්‍යතිරේඛය' අතහැර සරල ආකෘතියක් සකස් කර ගත හැකිය.
අලියෙකු කිවූ විට එක්වරම අපේ මතකයට එන්නේ අළු හෝ දුඹුරු පැහැයට හුරු සතෙක් මිස කොළ හෝ රතු පැහැති සතෙක් නොවේ. ඒ නිසා බොහෝ විට අපි චිත්‍රයක් අඳින විට අලියෙකු වර්ණ ගන්වන්නේ එවැනි පැහැයකිනි. එහෙත්, මේ වර්ණය ලබා දෙන ජානය නැති සුදු හෝ රෝස පැහැති ඇල්බිනෝ අලි ඉඳ හිට බිහිවෙති. එක්තරා ප්‍රාදේශීය දෙවිකෙනෙකුගේ වාහනය සුදු අලියෙකි.
අලියෙකු අළු හෝ දුඹුරු පැහැතියැයි සැලකීම අලියෙකු සුදු, රෝස, අළු හෝ දුඹුරු පැහැති විය හැකියැයි සලකනවාට වඩා සරල, ප්‍රායෝගිකව හොඳ උපකල්පනයකි. කෙසේ වුවද, ප්‍රාදේශීය දෙවිවරුන් වැඩි වී මේ අයගේ වාහන ලෙස සුදු අලි ගොඩක් පෙනේනම් අපට අපේ සරල උපකල්පනය වෙනස් කිරීමට සිදු විය හැකිය.
පුද්ගලයෙකු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ආකෘතිගත කිරීමේදී ඔවුන් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් අපට සරල ආකෘතියක් ගොඩ නැංවිය හැකිය. මේ අනුව මේ පුද්ගලයාගේ තෝරාගැනීම වනුයේ ඔහු හෝ ඇය සිතන පරිදි තමන්ගේ පුද්ගල ශුභ සාධනය උපරිමයක් වන විකල්පයයි.
මෙහිදී වාසි අවාසි ගණනය කිරීමේදී සලකා බැලිය යුත්තේ මුදලින් අගය කෙලින්ම සටහන් වන සාධක පමනක් නොවේ. යම් පුද්ගලයෙකු ලබන මානසික තෘප්තිය හෝ අතෘප්තිය වැනි දේද මෙයට ඇතුළත් විය යුතුය.
මුදලින් අගය කෙලින්ම සටහන් නොවන සාධකයක 'මිල' ගණනය කරන්නේ කෙසේද? මෙය තරමක් සංකීර්ණ වුවත් නොකළ හැක්කක් නොවේ. ඔබ සිනමාහලකට ගොස් චිත්‍රපටයක් නැරඹු විට ඔබට යම් තෘප්තියක් ලැබේ. ඒ සඳහා ඔබ නිශ්චිත මිලක් ගෙවන්නේ එයින් ලැබේයයි ඔබ අපේක්ෂා කරන තෘප්තියේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්‍රපටිය පෙන්වීම වෙනුවෙන් අය කරන මිල ඔබ සමඟ කේවල් කරයිනම් අපේක්ෂිත තෘප්තිය පරයා සිනමාහල්කරු ඉල්ලා සිටින මිල වැඩි වන මොහොතේ ඔබ චිත්‍රපටය නොබලා ආපසු හැරීයාමට තීරණය කරයි. මෙවැනි නිරීක්ෂණ උපකාරයෙන් කෙලින්ම මුදලින් අගය සටහන් නොවන සාධකයක වුවද සැබෑ වටිනාකම මුදලින් ගණනය කළ හැකිය.
ඡන්දය භාවිතා කිරීමෙන් යම් පුද්ගලයෙකුට සැලසෙන වාසියේ (හෝ අවාසියේ) ප්‍රධාන කොටස් දෙකකි.
1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකිව තිබුණු ප්‍රතිඵලය වෙනස් කර ගැනීම හේතුවෙන් දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).
මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වේ. එය සෘණ අගයක් විය නොහැක. මා ඡන්දය නොදැම්මත් වෙනත් අය ඡන්දය භාවිතා කරනු ඇති අතර යම් පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු ජයග්‍රහණය කරනු ඇත. මෙමඟින් මට යම් නිශ්චිත වාසියක් හෝ අවාසියක් සැලසෙනු ඇත. මා ඡන්දය භාවිතා කරන්නේ මේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීම සඳහාය. ඒ මඟින් අපේක්ෂා කරන්නේ මේ වාසිය වැඩි කර ගැනීමට හෝ අවාසිය අඩු කර ගැනීමටය. කවරක් වුවද මගේ අපේක්ෂාව සෘණ වෙනසක් නොවේ. තාර්කික පුද්ගලයෙක් වශයෙන් මගේ තෘප්තිය අඩුකරවන තෝරා ගැනීමක් කිරීමට මට අවශ්‍ය නැත.
කෙසේ වුවද, ඉහත දෙවැන්න ධන හෝ සෘණ අගයක් ගත හැකි අතර බොහෝ විට සෘණ අගයකි.
- මට කාගෙන් හෝ රුපියල් පන්සීයක් සහ බත් පැකට් එකක් ලැබේනම් එය ධන අගයකි.
- මගේ පළමු ඡන්දය කාට හෝ දමා පොරක් වීමෙන් ලැබෙන තෘප්තිය ධන අගයකි.
-
රසිකොලොජිස්ට්ට ඡන්දය දැමීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට ගුවන් ටිකට්පතට වියදම් වන ඩොලර් දෙදහස සහ ඔහුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු විශාල වියදම සෘණ අගයකි.
-
කල්‍යාණමිත්‍රට බදුල්ලට යාමට වැයවන මුදල සහ කාලය මීට වඩා අඩු සෘණ අගයකි.
- ඡන්දපොළට අකැමැත්තෙන් විනාඩි දහයක් පයින් ඇවිදගෙන යාමද සුළු වුවත් සෘණ අගයකි.
පළමු කෑල්ල පොඩි ධන අගයක් වුවත් දෙවන කෑල්ල එයට වඩා වැඩි සෘණ අගයක්නම් මුළු එකතුව සෘණ අගයකි. එසේ වූ විට තාර්කික පුද්ගලයෙකු ස්වභාවිකවම ඡන්දය නොදා සිටීමට පෙළඹේ.
දැන් අපි මේ පළමු කෑල්ල තව ටිකක් විශ්ලේෂණය කරමු. මෙහි ඇති වාසිය දෙවන කෑල්ලේ වාසිය හෝ අවාසිය මෙන් පැහැදිලි එකක් නොවේ. දීර්ඝකාලීන සංසිද්ධියක් නිසා අවිනිශ්චිතතාව වැඩිය. ගාන හදා ගැනීම සඳහා තාර්කික පුද්ගලයෙකු තමාගෙන්ම අසා ගන්නේ මේ වගේ ප්‍රශ්න කිහිපයකි.
- මා ඡන්දය නොදැම්මොත් ලැබිය හැකි ප්‍රතිඵලය කුමක්ද?
- ඒ ප්‍රතිඵලය ලැබුනොත් මට ඇති වාසිය (හෝ අවාසිය) කොපමණද?
- මට ඊට වඩා වැඩි වාසියක් (හෝ අඩු අවාසියක්) ලැබිය හැකි විකල්ප ප්‍රතිඵල මොනවාද?
- මගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර මේ එක් එක් විකල්ප ප්‍රතිඵලය ලබා ගැනීමට ඇති ඉඩකඩ කුමක්ද?
මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගත් පසු උඩින් සඳහන් කළ පළමු කෑල්ල ගණනය කර ගැනීම පහසුය. එය මෙවැන්නකි.
වාසියේ පළමු කොටස = (a1 - a0)p1
a0 - මා ඡන්දය භාවිතා නොකළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
a1 - පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
p1- පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය සැබැවින්ම පළමු විකල්පය වීමට ඇති සම්භාවිතාව.
විකල්ප කිහිපයක් ඇති විට (a1,p1) වෙනුවට (a2,p2),(a3,p3) ලෙස යොදමින් වැඩිම වාසිය ලැබෙන විකල්පය තෝරාගත හැකිය.
දෙවන කෑල්ල ගණනය කළයුත්තේද ඡන්දය නොදීමෙන් ලැබෙන වාසියට සාපේක්ෂවය.
වාසියේ දෙවන කොටස = b1 - b0
b1- ඡන්දය දැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය
b0- ඡන්දය නොදැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය
b1 සහ b0 අගයයන් බොහෝ විට අප ඡන්දය දීමට තෝරාගන්නා විකල්පය අනුව වෙනස් නොවන අතර බොහෝ අවස්ථාවල b0 අගය ශුන්‍යයකි. ඇතැම් රටවල ඡන්දය දීම අනිවාර්යය කර ඡන්දය භාවිතා නොකරන්නන්ට දඩයක් නියම කිරීමේදී කරන්නේ b0 හි අගය විශාල ශුන්‍ය අගයක් කිරීමයි. එවිට පොඩි සෘණ අගයක් වන b1 වලින් වඩා ලොකු සෘණ අගයක් අඩුවී දෙවන කෑල්ල ධන අගයක් වේ. මේ නිසා බොහෝ දෙනා ඡන්දය දමති.
කෑලි දෙක එකතු කළ විට මුළු වාසිය මෙසේය.
ඡන්දය දැමීමේ වාසිය = (a1 - a0)p1 + (b1 - b0).
මේ වාසිය අවාසියක්නම් තාර්කික පුද්ගලයෙක් ඡන්දය දාන්නේ නැත.
දැන් අපේ ආකෘතිය සම්පුර්ණය. මේ ආකෘතිය වැඩ කරනවාද කියා අපට දැන් සලකා බැලිය හැකිය.
රසිකලොජිස්ට් කියා ඇති හැටියට මේ මැතිවරණයට පෙර ලංකාවේ පැවති වාතාවරණය සලකමින් ප්‍රායෝගිකව ඔහු දැකීමට කැමති වූ ප්‍රතිඵලයක් තිබේ (a1). ඒ ජවිපෙට ආසන 40ක් සමඟ ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන ප්‍රතිඵලයකි. ඔහු ඡන්දය භාවිතා නොකළේ වුවද ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන බවට අවබෝධයක් ඔහුට වූ බව මගේ අදහසයි. ජවිපෙ සම්බන්ධව ඔහුගේ සැබෑ තක්සේරුව මීට වඩා සැලකිය යුතු ලෙස අඩු ආසන ගණනක් වන්නට ඇත (a0). යම් හෙයකින් ලංකාවට ආවානම් ඔහු ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රතිඵලය a0 සිට a1 දක්වා තල්ලු කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය සිදු වීමට ඇති සම්භාවිතාව පිළිබඳව ඔහු මනසින් ගණනය කිරීමක්ද කරයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන රසිකට ප්‍රතිඵලය a0 සිට a1 දක්වා වෙනස්වීම නිසා සෘජු මුදල් වාසියක් ලැබේයැයි මා සිතන්නේ නැත. මෙහි ඔහුට ඇති වාසිය බොහෝ දුරට ඔහු ලබන මානසික තෘප්තියයි. කෙසේ වුවද මේ මානසික තෘප්තියට මිලක් තිබේ. රසිකගේ (a1 - a0)p1 ඔහුගේ ගුවන්ටිකට් පත් වියදම, කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු දෙවන කෑල්ලේ සෘණ අගයට සාපේක්ෂව කුඩා අගයකි.
කල්‍යාණමිත්‍ර සිතන ආකාරයත් රසිකලොජිස්ට් සිතන ආකාරයට ආසන්නය. ඔහුගේ දෙවන කෑල්ලේ සෘණ අගය රසිකලොජිස්ට්ගේ අගයට වඩා කුඩා වුවත් ඔහුගේ පළමු කෑල්ලේ අගයට වඩා වැඩිය. එසේ නොවීනම් ඔහුත්
මාතලන් මෙන් ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
මේ මැතිවරණයේදී
හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩි වුනත් ඔහු ඡන්දය නොදමා ඇත්තේ ඔහුගේ පළමු කෑල්ල කුඩා නිසා බව මගේ අදහසයි. දෙවන කෑල්ල විශාල නොවූ අවස්ථාවලත් ඔහු ඡන්දය දමා නැත්තේ ඒ නිසාය. එයට හේතුව ඔහුට අනුව (a1 - a0) පරතරය ශුන්‍යයට ආසන්න නිසා විය හැකිය. ඇතැම් විට (a1 - a0) පරතරය තරමක් විශාල වන විකල්ප වලට අදාළ p1 අගය ශුන්‍යයට ආසන්න වන විටද පුද්ගලයෝ මෙසේ හැසිරෙති.
එසේනම් හෙන්රි තෙවරක් ඡන්දය ප්‍රකාශ කළේ ඇයි?
ඔහුගේ පළමු ඡන්දයේදී ඔහුගේ දෙවන කෑල්ල ධන අගයක් ගන්නට ඇත. මෙය බොහෝ දෙනෙකුට පොදු දෙයක් වන අතර යමෙකු තමාගේ පළමු ඡන්දය නොදා සිටින්නේ කලාතුරකිනි.
දෙවන අවස්ථාවේදී "එවකට නාවික හමුදාවෙ සේවය කරමින් උන්න නිසා ඡන්දෙ නොදා ඉන්න එක සැකයට තුඩු දෙන්න පුළුවන් බැවින්" ඔහුගේ b0 විශාල සෘණ අගයක් විය.
තුන්වන අවස්ථාවේදී, ඔහුගේ a0 විශාල සෘණ අගයක් වූ නිසාත් a1 අඩු සෘණ අගයක් වූ නිසාත් (a1 - a0) පරතරය විශාල විය.
මගේ පෙර සටහනකට කමෙන්ටුවක් දමන ඇනෝවියක් මෙසේ කියයි.
"මං මේ කල්පනා කලේ 2001,2002 කාලෙදි වි.වි. ශිශ්‍යාවක් වෙලා හිටපු මගේ අතීතය අද හදිසියෙ මාව මුණ ගැහිල මං අලියට ඡන්දෙ දුන්න කියල දැන ගත්තොත් මොනවා නොකියයිද කියලා"
තවත් ඇනෝවෙකු (හෝ ඇනෝවියක්) "ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි" ලෙස
සටහනක් තැබීමෙන් පෙනෙන්නේ මේ, මේ ආකාරයෙන් ඡන්දය භාවිතා කළ, තවත් බොහෝ දෙනෙකුගේ හඬ බවයි.
මේ අය ජවිපෙ අතහැර එජාපෙට ඡන්දය දෙන්නේ ඇයි?
ජවිපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය = (a1 - a0)p1
එජාපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය = (a2 - a0)p2
මේ අය එජාපෙ සහ ජවිපෙ සසඳන්නේ මහින්ද (එජනිස) විකල්පය සමඟය (a0). එය විශාල සෘණ අගයකි. a1 ධන අගයක් වුවත් p1 විශාල නැත. අනෙක් අතට a2 අගය a1 වලට වඩා අඩු වූවත්, ඇතැම් විට සෘණ අගයක් විය හැකි වුවත්, a0 වලට වඩා විශාල ලෙස වැඩිය. එමෙන්ම p2 සම්භාවිතාව p1 වලට වඩා බොහෝ විශාලය.
ටිකක් ග්‍රීක් වගේ නිසා අපි උදාහරණයක් ගනිමු.
a0= එජනිස දිනුවොත් (අ)වාසිය = -100
a1= ජවිපෙ දිනුවොත් වාසිය = 1000
a2= එජාපෙ දිනුවොත් (අ)වාසිය = -50
p1 = ජවිපෙ දිනීමේ සම්භාවිතාව = 2%
p2 = එජාපෙ දිනීමේ සම්භාවිතාව = 50%
ජවිපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a1 - a0)p1 = (1000 - (-100))*2% = 22
එජාපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a2 - a0)p2 = ((-50) - (-100))*50% = 25
තමන් ඉතා කැමති ජවිපෙ අත්හැර තමන් අකැමති එජාපෙට ඡන්දය දීමට තාර්කික පුද්ගලයෙකු පෙළඹීම මේ අනුව අහම්බයක් නොවේ. මේ ආකාරයෙන්ම එජාපෙ නැවත බලයට ආවොත් නැවතත් උතුරේ කොටි ඔළුව උස්සනු ඇතැයි සිතමින් එම විකල්පයට විශාල සෘණ අගයක් දීම නිසා තමන් අකැමැති එජනිසයට ඡන්දය දුන් පිරිස්ද සිටිය හැකිය.
ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමට උදවු විය හැකි කරුණු මෙහි තිබේ. ඒවා වැඩිපුර පැහැදිලි කර නැත.
(උඩින්ම ඇති ඡායාරූපය
සරත් විමලසූරියගේ වත්පොත් පිටුවෙනි. දෙවැන්න rediff.com වෙතිනි.)