පසුගිය වසර අවසාන වන විට ලංකාව සතු වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,139.3ක් පමණයි. මහ බැංකුව විසින් කලින් දැන සිටි, වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,523.2ක්. පොලී ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,380.5ක්. ඉදිරි වසර තුළ ගෙවන පොරොන්දුවට විකුණා ඇති අතේ නැති ඩොලර් ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) ඩොලර් මිලියන 1,929.4ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා ආනයනය ඇතුළු වසරේ පරිභෝජන වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව වසර තුළ අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය මිලියන 8,833.1ක්.
ඩොලර් මිලියන 3,139.3ක් අතේ තියාගෙන ඩොලර් මිලියන 8,833.1ක් ගෙවන්න පුළුවන්ද?
ජනවාරි මාසය අවසන් වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6 දක්වා තව දුරටත් පහත වැටිලා. වසර තුළ ගෙවිය යුතු වූ මුදලින් කොපමණ ප්‍රමාණයක් ජනවාරි මාසය තුළ ගෙවලද? තව කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද?
ගෙවිය යුතුව තිබුණු මුදලින් ඩොලර් මිලියන 1,103.6ක් ජනවාරි මාසය තුළ ගෙවා තිබෙනවා. ඉතිරි මාස එකොළහ තුළ තවත් ඩොලර් මිලියන 7,739.5ක් ගෙවිය යුතුයි. එයින්ද ඩොලර් මිලියන 2,118.5ක් ගෙවිය යුත්තේ පෙබරවාරි හා මාර්තු මාස දෙක තුළයි. නිල සංචිත වලින් "කෑෂ් වලින්" තියෙන්නේ ඩොලර් මිලියන 2,078ක් පමණයි. ගෙවිය යුතු මුදල සංචිත වලින්ම ගෙවන්නනම් ඉතිරිව තිබෙන රත්තරන් සොච්චමත් විකුණන්න වෙනවා. නැත්නම් SDR විකුණන්න වෙනවා. එහෙම කළත්, මාර්තු අවසන් වෙද්දී ඉතිරි වෙන්නේ තව ඩොලර් මිලියන 242.1ක් පමණයි. ඔය කාලය තුළ ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වැය කරන මුදල වෙනුවෙනුත් ඩොලර් අවශ්‍ය වෙනවා.
ඒ කියන්නේ අප්‍රේල් පමණ වෙද්දී රට බංකොලොත් වෙයිද?
සමහර අය ටික කාලෙක ඉඳලම රට බංකොලොත් වන දවස ගණන් හදනවා. තවත් පිරිසක් "අපිට මොකක් වෙයිද?" කියන ප්‍රශ්නය පෙරදැරිව මේ ගැන කනස්සළු වෙනවා. ඇත්තටම රට බංකොලොත් වෙයිද? එහෙමනම්, ඔය වැඩේ කවදා විතර වෙයිද?
අතේ තිබෙන සංචිත ප්‍රමාණය සහ ඉදිරි කාලයේ ගෙවන්න තිබෙන ණය දිහා පමණක් බලලා රට බංකොලොත් වන දවස ගණන් හදා පෙන්වන්න බැහැ. ජනවාරි මාසයම ගත්තත් ඩොලර් මිලියන 1,103.6ක ණය ගෙවා තිබෙන නමුත් සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 778.7කින් පමණයි. ඒ කියන්නේ ඉතිරි ඩොලර් 324.9 කොහෙන් හෝ හොයා ගෙන කියන එකයි. හොයා ගෙන කියා කියන්නේ ණයට අරගෙන. ඊට අමතරව, ජනවාරි මාසයේ ඩොලර් ඉපැයීම් වලට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වියදම් වී ඇත්නම් ඒ මුදලද හොයා ගෙන.
කබ්රාල් නිවැරදිව කියනවා වගේම, ණය ගෙවන්නෙත්, ආනයන සඳහා වියදම් කරන්නෙත් අතේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. ඇත්තටම සාමාන්‍ය කාලයකනම් බොහෝ විට ඔය සංචිත වලට අතවත් තියන්නේ නැහැ. ණය ගෙවන්නේ ණය අරගෙන. දිගින් දිගටම ණය ගන්න පුළුවන්කම තිබේනම් සංචිත අඩුකම ප්‍රශ්නයක් නෙමෙයි.
ඉතාම දළ වශයෙන් ගත්තොත් රටේ ණය මේ වෙද්දී ඩොලර් බිලියන 60කට ආසන්නයි. ඔය ණය සියල්ල එකවර ගෙවා දමනවා කියලා මේ ආණ්ඩුව කියන්නේ නැහැ. "අපි නොවරදවා ණය ගෙවනවා" කියා ආණ්ඩුව කියද්දී එයින් අදහස් කරන්නේ ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් කලට වෙලාවට ගෙවනවා කියන එකයි. එජාප/සජබ හෝ 43 බලකාය විසින්ද මේ ණය සියල්ල ගෙවා දමන දවසක් හෝ එහෙම ගෙවන බවක් කියන්නේ නැහැ. එවැනි දෙයක් කෙටි කලකින් ප්‍රායෝගිකව කරන්න බැහැ. අපි හිතමු කැට හොල්ලලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඩොලර් මිලියනය ගානේ එකතු කළා කියලා. එහෙම කළත්, මිලියනය ගානේ දෙන්න කැමති අය හැට දාහක් හොයා ගන්න ඕනෑ. මනෝරාජික සමාන්තර විශ්වයක ඒ විදිහට ඩොලර් හොයා ගත්තා කියා කියමු. ඒ ගත්තා කියලත්, ඒවත් ණයනම් රටේ ණය එක ඩොලරයකින් හෝ අඩු වෙන්නේ නැහැ.
කොයි තරම් හොඳ සැලසුමක් යටතේ වුවත්, මේ මොහොතේ වගේම අඩු ගානේ තව අවුරුදු විස්සක්වත් යනකම්, බංකොලොත් නොවී ඉන්නනම්, ණය ගෙවන්න අලුත් ණය ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. දැන් ප්‍රශ්නය ආණ්ඩුවට මේ වැඩේ කොයි තරම් දුරකට කරන්න පුළුවන්ද කියන එකයි.
යහපාලන ආණ්ඩුව කාලයේ පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගත්තේ නැහැ. තිබුණු ණය එක ඩොලරයක් හෝ (ශුද්ධ වශයෙන්) ගෙවුවෙත් නැහැ. එහෙත්, තිබුණු ණය වල පොලී ගෙවන්න (සහ වෙනත් බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්න) ණය ගත්තා. මේ ණය වැඩි වශයෙන්ම ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.
ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන එක පටන් ගත්තේ 2007දී. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා තිබුණා. යහපාලන ආණ්ඩුව විසින් ඩොලර් බිලියන 12.05ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් ගත් අලුත් ණය සියල්ලම වගේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා ගත් ණය. මේවා පියවිය යුත්තේ අනාගතයේදී. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගත් ස්වෛරිත්ව බැඳුම්කර සියල්ල වුවත් තවම පියවා අවසන් නැහැ. එකවර ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙන අමාරුව බැලුවහම අනාගතයේදී එකවර ඩොලර් බිලියන 2.5ක් ගෙවන්න වූ විට වැටෙන අමාරුව හිතා ගන්නකෝ!
කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව විසින් මේ තරම් මුදලක් ස්වෛරිත්ව බැඳුම්කර හරහා හොයා ගත්තේ එය වැඩි අපහසුවක් නැතිව කළ හැකි වූ නිසා. එම කාලයේ ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය සාපේක්ෂව යහපත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගන්න හිතන අයෙකුට එහි ලොකු අවදානමක් පෙනුනේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදු කළ බේබි කැපිල්ලක් වූ බදු කැපිල්ල නිසා තත්ත්වය කණපිට හැරුණා. රටේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ ගියා. ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගොස් ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට තිබුණු හැකියාව නැති වී ගියා. වත්මන් අර්බුදය මතු වුනේ ඒ නිසා.
හැබැයි මේ ආණ්ඩුව කරන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබ්බු නෙමෙයි. සමහර විට ලංකාවේ දේශපාලන ධාරා අතරින් රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්දක් තිබෙන පිරිස ඉන්නේ රාජපක්ෂලා එක්ක වෙන්න පුළුවන්. මේ පිරිස විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති දිගුකාලීනව රටට කොයි තරම් හිතකරද කියන එක ප්‍රශ්නයක් වුනත්, අඩු වශයෙන් තමන් ආණ්ඩු කරන කාලය තුළ රටේ ආර්ථිකයේ විශාල කඩා වැටීමක් දකින්න මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. තැත් වරද ක්‍රමයට අවදානම් තීරණ ගනිමින් සිටියත් ආණ්ඩුව විසින් කරන දේවල් කරන්නේ කිසියම් විශ්වාසයකින් යුතුවයි. ස්වෛරිත්ව බැඳුම්කර විකුණන්න බැරි වුනත් මොන දහංගැටයක් හරි දාලා අවශ්‍ය ඩොලර් ටික ණයට ගත හැකිය යන විශ්වාසයේ ආණ්ඩුව ඉන්නවා.
සංචිත පහළ වැටීම හා ගෙවිය යුතු ණය ප්‍රමාණය අතේ තිබෙන සංචිත වලට වඩා වැඩි වීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. 2015 වසර ආරම්භයේදී ඩොලර් මිලියන 8,208ක නිල සංචිත ප්‍රමාණයක් ලංකාව සතුව තිබුණා. වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණු, එම වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය සහ වසර තුළ ගෙවූ බැරකම් ප්‍රතිලාභ ප්‍රමාණය ඩොලර් මිලියන 7,535ක්. එහෙත්, වසර අවසාන වෙද්දී සංචිත පහළ ගොස් තිබුනේ ඩොලර් මිලියන 905කින් පමණයි. ඉතිරි ඩොලර් ටික ආණ්ඩුව විසින් හොයා ගත්තා. හොයා ගත්තා කියන්නේ ඉතිං ණය තමයි. වසරේ ආදායම් හා වියදම් අතර වෙනසින්ද ඩොලර් මිලියන 173ක පොඩි ගාණක් ලැබුණා.
යහපාලන ආණ්ඩුවේ දෙවන වසර වූ 2016 ආරම්භ වන විට ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,304යි. වසර තුළ ඩොලර් මිලියන 9,971ක් ගෙවිය යුතු වුනා. හැබැයි එහෙමයි කියලා ලංකාව බංකොලොත් වුනේ නැහැ. වසර තුළ අඩු වුනේ සංචිත වලින් ඩොලර් මිලියන 1,285ක් පමණයි.
ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දී අතේ තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,019ක් පමණයි. ඩොලර් මිලියන 8,887ක් ණය ගෙවන්න තිබුණා. හැබැයි වසර අවසන් වෙද්දී ඔය ණය සියල්ලත් ගෙවලා සංචිත වලට ඩොලර් මිලියන 1,940ක් එකතු කර ගන්න ආණ්ඩුවට පුළුවන් වුනා. ඒ නිසා, 2017 අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,959 දක්වා ඉහළ ගියා.
ඉන් පසුව එළඹුණු 2018 වසරේදී ඩොලර් මිලියන 8,712ක් රටින් එළියට ගියත් සංචිත පහල ගියේ ඩොලර් මිලියන 1,039කින් පමණයි. මේ විදිහටම, 2019 වසරේදීද ඩොලර් මිලියන 6,774ක් එළියට යද්දී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 723කින් වැඩි වුනා. ඔය වසර පහම බැළුවහම ඩොලර් බිලියන හත අටක සංචිත ප්‍රමාණයක් අතේ තියාගෙන ඩොලර් බිලියන 42ක පමණ රෝලක් ගහලා තියෙනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 8ක් පමණ රෝල් කරලා තියෙනවා. තාවකාලිකව බිලියනයක් දෙකක් එහා මෙහා වුනත් සංචිත ටික එහෙම්මම තියෙනවා.
මේ ආණ්ඩුව බලයට පත් වෙන කොට ඩොලර් මිලියන 7,632ක සංචිත ඉතිරි වී තිබුනා. වසර අවසන් වෙද්දී ඩොලර් මිලියන 1,978කින් සංචිත පහළ ගියා. ඒ, බැරකම් ප්‍රතිලාභ හැර, ඩොලර් මිලියන 1,084ක ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වීමෙන්ද පසුවයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 3,063ක ණය රෝල් කර ගන්න බැරි වුනා කියන එකයි. වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,818ක්. 2020 වසරේදී ආණ්ඩුවට හොයා ගන්න හැකි වී තිබෙන්නේ එයින් ඩොලර් මිලියන 2,755ක පමණ මුදලක් පමණයි. වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 543ක් ඇවිත් තිබෙනවා. රජය ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. ඉතිරි ඩොලර් මිලියන 210 වෙනත් විවිධ ක්‍රම වලින් රටට එන්න ඇති.
කොහොම වුනත් මේ ගණන් දෙස බලා ආණ්ඩුව වැටී සිටි වලේ ගැඹුර මැන ගන්න පුළුවන්. ණය හෝ වෙනත් මූල්‍ය ප්‍රවාහ ලෙස රජයට 2020 වසර තුළ ලබා ගත හැකි වී තිබෙන්නේ ඩොලර් බිලියන 2.8කට නොවැඩි මුදලක් පමණයි. බිලියන 3.1ක් පමණම වියදම් කර තිබෙන්නේ සංචිත විකුණලා. මේ තත්වය යටතේ බොහෝ දෙනෙකු පහළ යන නිල සංචිත පිළිබඳව කනස්සළු වීම තේරුම් ගන්න අමාරු නැහැ. 2020 අවසන් වන විට තත්ත්වය මෙවැන්නක් වීනම්, 2021 වසරේදී වුනේ කුමක්ද?
තවමත් සම්පූර්ණ සංඛ්‍යාලේඛණ තියෙන්නේ 2021 පළමු මාස නවය සඳහා පමණයි. මේ කාලය තුළ සිදු වූ විශේෂ වෙනසක් වන්නේ ණය ගෙවීමට අමතරව එදිනෙදා වියදම් සඳහාද ණය වන තැනට නැවතත් රට වැටීමයි. 2015-2019 කාලයේදී මෙන්ම වසංගතයෙන් දරුණුවට බැට කෑ 2020දීත් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තනිකරම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක්.
ස්වාධීන, ධනවාදී ආර්ථික විද්‍යාඥයෙකු ලෝකය දෙස බලන්නේ ජාත්‍යන්තරවාදී ඇසකින්. කිසියම් ගනුදෙනුවක නිරපේක්ෂ කාර්යක්ෂමතාවය සැලකුවොත්, කාර්යක්ෂමතාවය ඉහළ යන්නේනම් ඒ ගනුදෙනුවෙහි වැඩි වාසිය යන්නේ කවර රටකටද කියන එක වැදගත් නැහැ. එහෙත්, කිසියම් රටක ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හදන ආර්ථික විද්‍යාඥයෙකුට එලෙස හිතන්න බැහැ. මෙහිදී අදාළ රටේ රජය නඩත්තු කිරීම සඳහා බදු ගෙවන ඒ රටේ මිනිස්සුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. පිටරැටියෙකුට පාඩුවක් වී රටවැසියෙකුට වාසියක් වන ඇතැම් අවස්ථා වලදී පෙර කී නිරපේක්ෂ කාර්යක්ෂමතාවය නොසලකා හැර රටට ලැබෙන සාපේක්ෂ වාසිය ගැන හිතන්න වෙනවා. ලෝකයේ කිසිදු රටක් වෙනත් රටවල වැසියන්ගේ ශුභ සිද්ධියට සමාන ප්‍රමුඛතාවයක් දී ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ නැහැ.
මේ වගේ කාරණාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානයක අපේක්ෂාවන් හා කිසියම් රටක ජාතික අපේක්ෂාවන් සමපාත නොවෙන්න පුළුවන්. එයින් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන කාගෙවත් අතකොළු කියන එක හෝ ලංකාවට කෙළින්න බලාගෙන ඉන්න බව නෙමෙයි. එහෙත්, එවැනි සංවිධානයකට ලංකාව කියන්නේ කිසිදු විශේෂත්වයක් නැති තවත් එක රටක් පමණයි. රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති හදන අයට එතැනින් ඔබ්බට යන දැක්මක් තිබිය යුතුයි.
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් ජාත්‍යන්තරවාදීව නොසිතා රට ගැන හිතන එක කෙසේවත් නරක දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නය දේශපාලන සටන් පාඨ ලෙස ඔය වගේ කතා කිවුවත්, ඇත්තටම එහි අනෙක් පැත්ත සිදු වීමයි.
මම හිතන්නේ කියවන ගොඩක් අය මින්ට් රසැති පෝලෝ ලොසින්ජර කාලා තියෙනවා. අනූ ගණන් වලදී ඔය ලොසින්ජර වල මැද හිලක් තිබුණේ නැහැ. ලොසින්ජරය ටිකක් ලොකු ඩිස්ප්‍රින් පෙත්තක් නැත්නම් ඔරලෝසු බැටරියක් වගේ එකක්. දැන්නම් ඩිස්ප්‍රිනුත් භාවිතයෙන් අයින් වෙලානේ. ඔහොම තියෙද්දී ඔය බෙහෙත් පෙත්තක් වගේ පෝලෝ ලොසින්ජරය දැන් තිබෙන ඩෝනට් එහෙමත් නැත්නම් උළුදු වඩ හැඩයේ එකක් බවට වෙනස් වුනා. අසුරණය වෙනස් වුනේ නැහැ. මිල වෙනස් වුනෙත් නැහැ.
දැන් ඇත්තටම වුනේ කලින් තිබුණු පෝලෝ ලොසින්ජරය පොඩි වෙන එක. රවුම ඒ තරමටම තිබුණත් මැදින් කෑල්ලක් අයින් වෙලානේ. ඒ කියන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙලා තියෙන්නේ. හැබැයි ඔය ලොසින්ජර විකුණපු සමාගම විසින් කළේ "සිසිල ගලන මින්ට් සිදුර සමඟ" කියලා අර අඩුව අමතර වාසියක් විදිහට පෙන්වමින් මාකට් කරපු එක.
රාජපක්ෂලා මේ වැඩේට ඉතාම දක්ෂයි. ඔවුන්ගේ "සිදුරු" ගැන අනෙක් අය දැනුවත් වී හඬක් නගන්න හිතන කොට මේ ගොල්ලෝ සිදුර විකුණලා ගාණක් හොයා ගෙනත් ඉවරයි. ඇමරිකන් පුරවැසියන් විසින් ලොකු තනතුරු බොහොමයක් දරන ආණ්ඩුව බලයට එන්නේ ඇමරිකන් විරෝධය මාකට් කරලා ඡන්ද එකතු කරගෙන.
ආනයන පාලනයත් මේ වගේම වැඩක්. රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙන බව මිනිස්සුන්ට පෙන්වනවා. මිනිස්සුත් එහෙම හිතනවා. හැබැයි වෙන්නේ අනෙක් පැත්ත. මේ ආණ්ඩුවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා තමයි. හැබැයි ලංකාවේනම් නෙමෙයි. ඉන්දියාවේ හා චීනයේ.
විණිමය පාලනයට පින් සිදු වෙන්න ලංකාවට භාණ්ඩ හා සේවා අපනයනය කරන රටවලට 2021 පළමු මාස නවය තුළ ලංකාව ඉපැයූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් 716ක භාණ්ඩ හා සේවා විකුණන්න පුළුවන් වුනා. මේ හේතුව නිසා, පෙර වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,084ක් ණය පොලී ගෙවීම සඳහා ඉතිරි කර ගත් ලංකාවට ඒ ඉතිරිය නැති වුනා පමණක් නොව තවත් ඩොලර් 716ක් හොයන්න වුනා. ණය හා බැරකම් ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඩොලර් මිලියන 1,499ක් එක්ක පළමු මාස නවයේ ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 2,215 දක්වා ඉහළ ගියා.
ඔය මාස නවය තුළ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,960කින් පහළ ගියා. එයින් ඩොලර් මිලියන 2,215ක්ම ජංගම ගිණුමේ හිඟය පියවන්න. ඉතිරි ඩොලර් මිලියන 745 ණය ගෙවන්න. හැබැයි ඔය කාලය තුළ ඩොලර් මිලියන 5,933ක ණය ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 5,188ක්ම රෝල් කරගෙන තියෙනවා. තවත් විදිහකින් කිවුවොත් සංචිත වලින් ඩොලර් බිලියන 3.0ක් පමණ වියදම් කරද්දී තවත් ඩොලර් බිලියන 5.2ක් ණයටත් අරගෙන තියෙනවා.
ජනවාරි අවසන් වන විට ඉතිරිව තිබුණු නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6ක්. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ තිබුණාටත් වඩා ඩොලර් මිලියන 343.6කින් අඩු වෙලා. 2021 සැප්තැම්බර් වලින් පසුව ගෙවුණු ඔය අන්තිම මාස හතර තුළ බොහෝ විට ඊට ආසන්න මුදලක් ඉපැයූ ඩොලර් වලට අමතරව ආනයන වෙනුවෙන් වෙන් කළා වෙන්න පුළුවන්. කොහොම වුනත්, ඔය මාස හතර ඇතුළත තවත් ඩොලර් මිලියන 1103.6ක් ණය හා පොලී ගෙවන්න වියදම් කරලා තියෙනවා.
මේ අනුව බැළුවහම 2021 ජනවාරි මුල සිට 2022 ජනවාරි අග දක්වා කාලය තුළ සංචිත වලින් ඩොලර් බිලියන 3.3ක් පමණ වියදම් කරන අතර තව ඩොලර් බිලියන 6.3ක් පමණ මොන විදිහකින් හෝ රෝල් කරගෙන තියෙනවා. මෙයින් ඩොලර් මිලියන 567ක් පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන විදිහට ඇවිත් තියෙනවා. තවත් ඩොලර් මිලියන 2,418 ක් රජය විසින් ලබාගත් දිගුකාලීන ණය. එතකොට බිලියන තුනකට කිට්ටුයිනේ. IMF එකෙන් මිලියන 800ක් ලැබුණා. චීනයෙන් විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඩොලර් බිලියන 1.5ක පමණ යුවාන් ලැබුණා. ඉතිරි බිලියනය බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් එහෙම එකතු කරගත් ටික වෙන්න ඇති.
කොහොම හරි මට පෙන්වන්න අවශ්‍ය වැදගත්ම කරුණ ආණ්ඩුව IMF නොගොස් මොන විදිහෙන් හෝ රෝල ගහගෙන යනවා කියන එකයි. තවමත් IMF නොගිහින් ඉන්නේ රෝල ගහගෙන යන්න පුළුවන් නිසා. 2021 ජනවාරි අවසානයේ සිට වසරේ අවසන් මාස 11 තුළ ගෙවිය යුතු ණය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තු මෙහෙමයි.
ණය වාරික - ඩොලර් මිලියන 4,499යි.
පොලී ගෙවීම් - ඩොලර් මිලියන 1,242යි.
විකුණා ඇති අතේ නැති ඩොලර් - මිලියන 1998යි.
එකතුව ඩොලර් මිලියන 7,739යි.
ඔයිට අමතරව මේ අවුරුද්ද තුළ ණයට කන කොටසකුත් එකතු වෙනවනේ. ඒ නිසා, මේ ගණන ඩොලර් බිලියන 8 පන්නනවා. අතේ තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. තව ඩොලර් බිලියන 5.7ක් පමණවත් මේ අවුරුද්ද තුළ හොයා ගන්න වෙනවා.
මේක අමාරු වැඩක්. හැබැයි බැරි වැඩක් නෙමෙයි. ගිය අවුරුද්දෙත් ඔය ගාණට කිට්ටු ගාණක් හොයා ගෙන තියෙනවා. වැඩේ නූලෙන් ගැස්සෙන්න බැරි නැහැ. එහෙම වෙන්න යන බව පෙනුනොත් ආණ්ඩුව IMF යයි. මේ අවුරුද්දේ ඔයිට වඩා අමුතු දෙයක් සිදු වෙන එකක් නැහැ.
හැබැයි මෙතැන තවත් දෙයක් වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කලින් තිබුණු ණය වෙනුවට ස්වෛරිත්ව බැඳුම්කර ණය ආදේශ වුනා. දැන් ස්වෛරිත්ව බැඳුම්කර ණය වෙනුවට චීන හා ඉන්දියානු ණය ආදේශ වෙනවා. මේවා ඉතාම කෙටිකාලීන ණය. ඔය ණය ගෙවන්න කිසිම ක්‍රමයක් නැති බව දැන් පැහැදිලි ඇතිනේ. ඒ කියන්නේ ණය කල් පිරෙද්දී නැවත අලුත් කරන්න වෙනවා. එහෙම කරන්නනම් ඔය රටවල් දිගටම හොඳින් තියා ගන්න වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව. චීනයට වැඩිපුර තියෙන්නේ ආර්ථික අරමුණු වුනත් ඉන්දියාව එහෙමම නැහැනේ.
ඉන්දියාව මේ වෙලාවේ නූල අත ඇරියොත් චීනය ලංකාව බේරා ගන්න එයි කියා හිතන්න අමාරුයි. එහෙම කරන බවක් පේන්න තිබුණේ නැහැ. හැබැයි චීනය ලංකාව අත ඇරියොත් ඉන්දියාව ඒ කොටසටත් කරගහන්න ඉඩ තියෙනවා. දැන් ඉන්දියාවට එසේ කරන්න අවශ්‍ය ශක්තිය තියෙනවා.