වෙබ් ලිපිනය:

Showing posts with label සෝවියට් දේශය. Show all posts
Showing posts with label සෝවියට් දේශය. Show all posts

Sunday, October 4, 2020

රුසියන් බිංදුව


රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ගැන සටහනක් පහුගිය දවස්වල වත්පොතේ හුවමාරු වුනා. සටහන මුලින්ම පළ කළේ කවුද කියලානම් මට හොයා ගන්න බැරිවුනා. හැබැයි මා දන්නා තරමින් මේ සටහනේ තිබෙන තොරතුර නිවැරදියි. සුළු අක්ෂර වින්‍යාස නිවැරදි කිරීම් කිහිපයක් පමණක් සමඟ මම එම සටහන පහත පළ කරනවා.

"රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි. සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිළිතුර නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.

මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි. පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. 

"කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සාහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද? රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුන සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?

මෙහි පුතේ, දරුවෙකු පිළිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගෙන ඇත.

අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මා හට වැටහුනි.

බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි. අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහයක් දරන ගුරුවරුන් වෙනුවෙනි.

උපුටා ගැනීමකි.

මා රුසියාවේ හෝ සෝවියට් දේශයේ ඉගෙනුම ලබා නැහැ. එසේ ඉගෙනුම ලැබූ අය මෙය කියවන අය අතර ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේම පෞද්ගලික අත්දැකීම් ඇති. එහෙත්, මේ ඇගයීම් ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයන මා පරිශීලනය කර තිබෙනවා. ඒ වගේම, රුසියානු මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි. රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ප්‍රචලිත වී තිබෙන්නේ දහනවවන සියවසේ මුල් කාලයේදී. නොවැම්බර් විප්ලවයෙන් පසු මුල් කාලයේදී මේ ක්‍රමය වෙනස් කර වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. ඒ නිසා, මේ ක්‍රමයේ හොඳ හෝ නරක කවර වුවත් එය සමාජවාදයට සෘජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත්, වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. මේ වත්පොත් සටහනෙන් පැහැදිලි වන්නේ එම වක්‍ර සම්බන්ධයයි. ඒ වක්‍ර සම්බන්ධය ගැන කතා කරන්න කලින් මේ සටහනේ නැති රුසියන් ඇගයීම් ක්‍රමයේ තවත් සුවිශේෂතා කිහිපයක් ගැන සඳහන් කළ යුතුයි.

ලංකාවේද ප්‍රචලිත බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී ලිඛිත විභාග වලට වැඩි බරක් දෙනවා. එයට සාපේක්ෂව රුසියානු ක්‍රමයේදී වාචික විභාග වඩා ප්‍රචලිතයි. ඒ වගේම, බටහිර ලිඛිත විභාග වලදී මුළු විෂය නිර්දේශයම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් රුසියානු ක්‍රමයේදී බොහෝ විට අහඹු ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂා කරනවා. විභාග ක්‍රම සංසන්දනය කළ යුත්තේ මේ වෙනස්කම්ද සිහියේ තබාගෙනයි.

විභාගයකදී මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන විට විභාග ප්‍රතිඵලය හා දැනුම අතර සහසම්බන්ධය වැඩියි. එහෙත්, අහඹු ලෙස ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂාවට ලක් කරද්දී වැරදීම් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉහත කී අහඹු ප්‍රශ්න තුනෙන් දෙකකට නිවැරදිව පිළිතුරු දුන්නොත් රුසියානු විභාගයක් සමත් වූ සේ සැලකෙනවා. ලකුණු 3/5ක් ලැබෙනවා. ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුරු දුන්නොත් 4/5ක් ලැබෙනවා. අවම වශයෙන් ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නොත් ලැබෙන්නේ ලකුණු 2/5යි. මේ අනුව, 2/5 ලබා ගන්නා සිසුන් අතර ප්‍රශ්න තුනෙන් එකකට පමණක් නිවැරදි පිළිතුරු ලබා දුන් අයත්, එක ප්‍රශ්නයකටවත් නිවැරදි පිළිතුරු ලබා නොදුන් අයත් ඉන්නවා.

ලකුණු 5/5ක් ලබා දෙන්නේ මුල් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් අය වෙත තවත් අමතර ප්‍රශ්න යොමු කර ඒ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නොත් පමණයි. ඒ වගේම, 2/5ට වඩා අඩු ලකුණු ලබා දෙන අවස්ථාත්, කලාතුරකින් වුවත්, තිබෙනවා. 1/5 වැනි ලකුණකින් අදහස් කෙරෙන්නේ නීති පිළි නොපැදීම හෝ විනය විරෝධී ක්‍රියාවක්. ප්‍රශ්න කිසිවකට නිවැරදිව පිළිතුරු ලබා නොදීම නිසා ලකුණු ප්‍රමාණය 2/5ට වඩා අඩු වන්නේ නැහැ.

මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන බටහිර ආකෘතියේ විභාගයකින් වෙනස්ව, අහඹු ප්‍රශ්න තුනක් පමණක් අහන විට සැලකිය යුතු දැනුමක් ඇති අයෙකුට වුවත් එම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, 0/5 වෙනුවට 2/5 ලබා දීමේ නිශ්චිත පදනමක් තිබෙනවා. 

අනෙක් අතට මේ සමත්/අසමත් ලකුණ සංකේතයක් පමණයි. කාගේ හෝ ලකුණු ප්‍රමාණය 2/5ක් නම් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එම ඇගයීම් ක්‍රමය ගැන දන්නා කාට වුනත් රහසක් නෙමෙයි. විභාගයකට මුහුණ දෙන සිසුවෙකුට වැදගත් වන්නේ විභාගය සමත්ද අසමත්ද කියන එක මිසක් ඒ බව දැනුම් දෙන සංකේතය කුමක්ද කියන එක නෙමෙයි. ලැබුනේ 2/5නම් එය අසමත්වීමක් බව අදාළ සිසුවාත් අනෙක් අයත් දන්නවා. වෙනත් රටක විභාග ඇගයීම් ක්‍රම ගැන නොදන්නා රුසියානු සිසුවෙකුට මෙය බිංදුවම තමයි. ඒ නිසා, බිංදුවෙන් ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසා ඉගෙනීමට ඇති උනන්දුව වනසනවානම් රුසියානු දෙකෙනුත් ඒ වැඩේම වෙනවා.

ඇමරිකාවේ විභාග වල සාමාන්‍ය සමත් ලකුණ 70 හෝ 73යි. A සාමාර්ථයක් ලබා ගන්නනම් 90ක් හෝ 93ක් ලබා ගත යුතුයි. නමුත්, ලංකාවේද ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රමයේදී සමත් ලකුණ 40ක් හෝ 50ක් පමණ වෙනවා. ලකුණු 70ක් හෝ 75ක් ලබාගත් විට A සාමාර්ථයක් ලැබිය හැකියි. ඇමරිකානු විභාග ක්‍රමයට පුරුදු වී සිටින බොහෝ දෙනෙක් දකින්නේ ඇමරිකාවේ අසමත් ලකුණක් වන 60%ක් පමණ ලබා බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්මාන සාමාර්ථයක් ලැබිය හැකි නිසා එය ඉතා පහසු බවයි. 

ඇත්තමට වෙන්නේ කිසියම් රටක භාවිතා කරන ඇගයීම් ක්‍රමය අනුව සිසුන් වගේම ඇගයීම් කරන අයත් තමන්ගේ විභාග සම්මත සීරුමාරු කර ගැනීමයි. ඒ නිසා, බොහෝ විට බ්‍රිතාන්‍ය ක්‍රමයට 40% ගැනීමත්, ඇමරිකානු ක්‍රමයට 70% ගැනීමත්, රුසියානු ක්‍රමයට 3/5 ගැනීමත් එක තරම් අමාරු වෙන්න ඉඩ තිබෙනවා. 

රුසියානු විභාග ඇගයීම් ක්‍රමය හා සෝවියට් සමාජවාදය අතර සම්බන්ධයක් නැතත් ඉහත සටහනේ සඳහන් මහාචාර්යවරයා හා සටහන ලියූ පුද්ගලයා විසින් මේ ඇගයීම් ක්‍රමය අර්ථකථනය කරන ආකාරය තුළින් ඔවුන්ගේ මාක්ස්වාදී චින්තනය පැහැදිලි වෙනවා.

දළ වශයෙන් කියනවානම් ඔවුන් සිතන්නේ විභාගයට පිළිතුරු දී ඇති ආකාරය කෙසේ වුවත් විභාගයට මුහුණ දීම දක්වා සිසුවා විසින් දරා ඇති මහන්සිය ඇගයීමට ලක් විය යුතු බවයි. මේ අදහස පදනම් වන්නේ ශ්‍රමයේ වටිනාකම පිළිබඳ මාක්ස්වාදී අදහස මතයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වන්නේ යෙදවූ ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ අනුව, එක තරමට මහන්සි වී විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුවාත්, කිසිම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලබා නොදුන් සිසුවාත් සමාන වටිනාකම් නිර්මාණය කර තිබෙනවා.

නොවැම්බර් විප්ලවයෙන් පසුව හඳුන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ විභාග නැති, ඇගයීම් නැති අධ්‍යාපන ක්‍රමයක්. එහි පදනම වන්නේත් ඉගෙන ගැනීම යනු ඒ සඳහා වැය කළ ශ්‍රමය මිසක් තමන් උකහා ගත් දෙය නොවන බවයි. සෝවියට් දේශයට වුවත් මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ.

ධනවාදයට අනුව යමෙක් මහන්සි වී වැඩ කළ පමණින් වටිනාකම් නිර්මාණය වන්නේ නැහැ. ඒ, ධනවාදයේදී මාක්ස්වාදයේදී මෙන් ශ්‍රමයට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. ශ්‍රමයේ සාපේක්ෂ වටිනාකම තීරණය වන්නේ එම ශ්‍රමය යොදවා නිර්මාණය කළ වටිනාකම් මතයි. ඒ අනුව, කොයි තරම් කාලයක් මහන්සි වුනත් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් නැහැ. අනෙක් අතට විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දිය හැකිනම් එය කළේ අවුරුද්ද තිස්සේම බේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කරලද, විභාගයට කලින් දවසේ පැය කීපයක් පාඩම් කරලද කියන එක වැදගත් නැහැ. මීටරෙන් ගොඩ දැම්මත්, මෝටරෙන් ගොඩ දැම්මත් වැදගත් වන්නේ අවසාන ප්‍රතිඵලයයි. 

බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී කොහොම වුනත්, ධනවාදය තුළදී  අවසානයේදී කිසිම වටිනාකමක් නිර්මාණය කිරීමට දායක වෙලා නැත්නම් කොයි තරම් මහන්සි වුනත් ලැබෙන්නේ බිංදුව පමණයි. සමාජවාදී ක්‍රමයකදී මෙන් පහෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් ලැබෙන්නේ වටිනාකම් නිර්මාණය කරන අයගේ සහකම්පනය මත පමණයි.

Sunday, May 24, 2020

භූමියේ වාසිය

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. ඒක ජාන වලින්ම එන දෙයක්. පරිණාමයේදී ඉතිරි වෙන්නේ තමන්ගේ පැවැත්ම ගැන වැඩියෙන් හිතන අයගේ ජානයි. හැබැයි එහෙමයි කියලා අනෙකාව මුළුමනින්ම අමතක කරලා තමන්ගේ පැවැත්ම ගැන පමණක්ම හිතන එකත් මිනිස් ස්වභාවය නෙමෙයි. මොකද මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ සාමූහිකව ජීවත් වන සමාජ සත්ත්වයින් හැටියටයි. එහිදී තමන් ගැන පමණක් හිතන අයෙකුට වඩා යම් තරමකින් කණ්ඩායමක් සේ සිතන අයට පැවැත්මක් තිබෙනවා.

ආත්මාර්ථකාමය වගේම සහකම්පනයත් මූලික මිනිස් ස්වභාවයක්. මිනිහෙක් කියා කියන්නේ ස්වභාවයෙන්ම මේ දෙකේ ප්‍රසස්ථ මිශ්‍රණයක්. මිනිහෙක්ට සහකම්පනය දැනෙන්න අමුතුවෙන් ක්‍රමලේඛනය කරන්න අවශ්‍ය නැහැ.

ධනවාදය කියන්නේ මේ මූලික මිනිස් ස්වභාවයට ඉඩ දෙන ක්‍රමයක්. ඒ නිසා, ධනවාදය තුළ කිසිවිටෙකත් සහකම්පනයට ඇති  ඉඩ අහිමි වෙන්නේ නැහැ. රටේ සමාජ ක්‍රමය ධනවාදය අනුව හැඩ ගැසී තිබුණත් නැතත් බොහෝ මිනිසුන්ට තමන්ගේ බඩගින්න වගේම අසල්වැසියාගේ බඩගින්නත් දැනෙනවා. ඒ නිසා මිනිස්සු තමන්ගේ බත් පතෙන් කොටසක් අසල්වැසියා වෙනුවෙනුත් වෙන් කරනවා. හැබැයි රොබින් හුඩ් ක්‍රමයට වෙනත් කෙනෙකුගෙන් උදුරා ගෙන අසල්වැසියාගේ බඩ පුරවන්න ධනවාදය තුළ ඉඩක් ලැබෙන්නේ නැහැ.

ධනවාදී සමාජයක මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් පෙළ ගැහෙන ප්‍රමුඛතා අනු පිළිවෙළ එක් එක් පුද්ගලයාගේ නිදහස් තීරණයක්. ආණ්ඩුව ඒ අනුපිළිවෙල තීරණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී සමාජයක මූලික අවශ්‍යතා කියන වචනයට තිබෙන්නේ සාපේක්ෂව අඩු වැදගත්කමක්.

සමාජවාදී සමාජ වල තත්ත්වය වෙනස්. මෙහිදී ආණ්ඩුව විසින් මූලික අවශ්‍යතා ලෙස හඳුනාගන්නා දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. ආහාර හා සෞඛ්‍යය බොහෝ විට ලැයිස්තුවේ ඉහළට එනවා.

සමාජවාදී ක්‍රමයක් යටතේ කෘෂිකර්මය හෝ සෞඛ්‍යය වැනි තෝරාගත් ක්ෂේත්‍රයකට හෝ කිහිපයකට සම්පත් වැඩියෙන් යොමු කිරීම මගින් වෙළඳපොළ සමතුලිතතාව ඉක්මවා යන ඉලක්කයකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලෝකයේ රටවල් අතරින් ජනගහණය දශ ලක්ෂයකට වැඩිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් ඉන්නේ කියුබාවේ. මේ ආකාරයට බොහෝ රටවල ආණ්ඩු තමන්ගේ රටේ කෘෂිකර්මයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න පෙළඹෙන බව අපට නිරීක්ෂණය කළ හැකියි.


වෙළඳපොළට මැදිහත්වීම මගින් කිසියම් රටක කෘෂිකර්මය එවැනි මැදිහත්වීමක් නැතිව පවතින තත්ත්වයට වඩා ඉදිරියට තල්ලු කරන්න පුළුවන් විය හැකියි. ප්‍රශ්නය වන්නේ එසේ කිරීමේ වාසිය බොහෝ විට ඒ වෙනුවෙන් ගෙවන මිලට තරම් නොවීමයි.


පැරණි සෝවියට් දේශය බිඳ වැටෙන තුරු ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය අතින් ඉදිරියෙන් සිටියේ එම කලාපයයි. එය එක් අතකින් සැලසුම් සහගතව එම අංශය වෙත සම්පත් යොමු කිරීම මගින් අත්පත් කරගත් ඉලක්කයක්. අනෙක් අතින් වෙනත් වාසිදායක තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක්. හරියටම කියනවානම් ජනගහණයට සාපේක්ෂව වගේම නිරපේක්ෂවත් වැඩි වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය. උතුරු කොරියාවට එවැනි ඉලක්කයකට යා නොහැකි වුනේ සෝවියට් සංගමයට තිබුණු ආකාරයේ භූමියේ වාසියක් නොතිබුණු නිසයි. අනෙක් අතට ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රට වලටත් මේ භූමියේ වාසිය තිබෙනවා.

රටක් විශාල වෙනවා කියන්නේ එක පැත්තකින් ඒ රට සතුව විශාල වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මේ වගේ ලොකු රටක ඉඩම් විවිධ, වෙනස් දේශගුණික කලාප වල පිහිටා තිබෙන නිසා විවිධ, වෙනස්  බෝග වර්ග වලට අවශ්‍ය දේශගුණික තත්ත්වයන් රටේ කොහෙන් හෝ හොයා ගන්න පුළුවන්. ලංකාව වගේ පොඩි රටකට මේ වාසිය නැහැ. ඒ නිසා, තිරිඟු, රතු පරිප්පු වගේ රටේ විශාල ඉල්ලුමක් තිබෙන ආහාර ද්‍රව්‍ය මුළුමනින්ම ආනයනය කරන්න වෙනවා.

භූමියේ වාසිය අතින් ලංකාව වගා කළ හැකි බිම් ඇත්තේම නැතියැයි කිව හැකි සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය තරම්ම නරක තැනක නැහැ. ඒ නිසා, ලංකාව කෘෂිකර්මයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී ආහාර ආනයනය කරන්න අවශ්‍ය නැහැ. එසේ වුවත්, මේ කාරණයේදී ලංකාවට වෙනත් බොහෝ රටවල් තරමට භූමියේ වාසිය නැති බව පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්.


පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රුසියාව, කසකස්ථානය, යුක්රේනය වගේ රටවල් සතුවත්, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ පළමු ලෝකයේ රටවල් සතුවත් විශාල භූමි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ රටවල ජනගහණයෙන් බෙදුවත් එක් අයෙකුට අක්කර වලින් මැනිය හැකි ඉඩම් ප්‍රමාණයක් හිමි වෙනවා. තායිලන්තය, පකිස්ථානය වගේ කලාපයේ අසල්වැසි රටවල වගේම විශාල ජනගහණයක් සිටින ඉන්දියාව හා චීනය වගේ රට වලත් එක් අයෙකු සතුව වගා කළ හැකි ඉඩම් ලංකාවට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා.

එහෙත් ලංකාවේ ඒක පුද්ගල වගා ඉඩම් ප්‍රමාණය පර්චස් 24.6ක් පමණයි. මේ අතින් ලංකාව ඉන්නේ සංවෘත ආර්ථිකයක් ඇතුළේ වගා සංග්‍රාම වලින් ගොඩ යන්න උත්සාහ කර අසමත්ව සිටින උතුරු කොරියාවටත් පසු පසින්. එහෙම තියද්දීත් මේ තරමින් ඔලුව උස්සගෙන ඉන්න සමත්වීමෙන් පෙනෙන්නේ ලංකාවේ කෘෂිකර්මික අංශයේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අසතුටු වීමට විශාල හේතු නැති බවයි. ඒ වගේම තවත් ඉදිරියට යන්න අවශ්‍යනම් මාර්ගය වැටී තිබෙන්නේ උතුරු කොරියාව හරහා නොවන බවයි.

Sunday, November 4, 2018

ඔක්තෝබර් විප්ලවය


පහුගිය සියවසේ මුල වෙද්දීත් ලෝකයේ ගොඩක් රටවල තිබුණේ රාජාණ්ඩු. එහෙමත් නැත්නම් ඒ රාජාණ්ඩු වල යටත් විජිත. ඒ කාලය දක්වාම බොහෝ විට රාජ්‍ය පාලනයේ වෙනසක් කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වුනේ රජු මිය යාමෙන් පසුව හිටපු රජුගේ අනුප්‍රාප්තිකයෙකු රජු බවට පත් වීම.

සමහර අවස්ථා වලදී ඉහත කී සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහට බල හුවමාරු සිදු වුණා. ඒ කිසියම් කුමන්ත්‍රණයකින් රජු මරා දමා හෝ ඉවත් කර වෙනත් අයෙකු විසින් රාජ්‍ය බලය පැහැර ගත් අවස්ථා වලදී. සමහර වෙලාවට එක රටක රජෙක් වෙනත් රටවල් යටත් කරගෙන තමන්ගේ රටට ඈඳා ගත්තා. මේ ආකාරයට වෙනස් විදිහට බල හුවමාරු සිදු වෙද්දීත් රාජ්‍ය ආකෘතියේ වෙනසක් වුනේ නැහැ.

කොහොම වුනත් ඔය කාලය වෙද්දී ලෝකයේ ඇතැම් රටවල වෙනත් රාජ්‍ය ආකෘතීනුත් ක්‍රියාත්මක වෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ඔය කාලය වෙද්දී ඇමරිකාවේ රාජ්‍ය නායකයාව තෝරාගත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව මහජන ඡන්දයෙන්. එය තවමත් එසේමයි. රාජාණ්ඩු වලට විකල්පයක් විදිහට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා.

අවුරුදු එකසිය එකකට කලින් ඔය කලින් කී රාජ්‍ය ආකෘතීන් දෙකට තවත් එකක් එකතු වුනා. එය සිදු වුනේ 1917 නොවැම්බර් 7 වෙනිදා රුසියාවේ රාජ්‍ය බලය බෝල්ෂෙවික් පාක්ෂිකයින් විසින් අල්ලා ගැනීමෙන් පසුව මාක්ස්වාදය මත පදනම් වූ රාජ්‍යයක් බිහි කිරීමත් සමඟයි.  ඒ වන විට රුසියාවේ කාලයක් තිස්සේ පැවති රාජාණ්ඩුව වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා කටයුතු සිදු වෙමිනුයි තිබුණේ.

නොවැම්බර් 7 කියා කිවුවත්, ඒ වන විටත් රුසියාව ජුලියන් කැලැන්ඩරය අත හැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වී තිබුණේ නැහැ. ජුලියන් කැලැන්ඩරයට අනුව මේ දිනය ඔක්තෝබර් 25. ඔක්තෝබර් විප්ලවය යන නමට හේතුවත් එයයි. පසුගිය අවුරුද්දේදී ලංකාවේත් ඇතැම් අය ඔක්තෝබර් විප්ලවයේ සියවස සැමරුවා. තව දවස් තුනකින් ඔක්තෝබර් විප්ලවයේ එකසිය එක්වන සංවත්සරය.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලංකාවේ දේශපාලන අර්බුදයකට මුල පුරමින් සාමාන්‍ය සම්ප්‍රදායයෙන් බැහැරව අගමැතිවරයෙකු පත් කරනු ලැබුවා. ඒ හේතුව නිසා, මේ වන විට ලංකාවේ අගමැති ධුරයට අයිතිය කියන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. සිදු වුනු අවුල තවමත් දිග්ගැසෙමින් පවතිනවා.

මේ හා අදාළ ව්‍යවස්ථාමය තත්ත්වය පිළිබඳව අර්බුදය ඇරඹුණු දින වලම මා පැහැදිලි කර තිබෙනවා. මේ වන විට තවත් පැහැදිලි කිරීම් ගණනාවක් තිබෙනවා.

අද වන විට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන අදාළ පාර්ශ්ව සියල්ලම තම තමන්ගේ මතයන්ට එළැඹ අවසන් නිසා ඒ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැහැ. මේ වන විට දේශපාලන අර්බුදය අවසන් වෙන්නේ කොහොමද කියන එක තීරණය වී අවසානයි. පාර්ලිමේන්තුව නැවත රැස්වූ පසු වෙන්නේ කුමක්ද කියන එක මේ අවසානයේ වැදගත්ම කරුණ නෙමෙයි.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ නොවැම්බර් 7, නොවැම්බර් 16 හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙනු ඇතැයි සිතිය හැකි වෙනත් දවසක් මේ සිදු වන ක්‍රියාවලියේ අවසානය බවයි. මහින්ද රාජපක්ෂව පත් කළ අවස්ථාවේදීම මට පෙනී විදිහටනම් මේ සතියේ හෝ ලබන සතියේ දකින්න ලැබෙනු ඇත්තේ අයිස් කන්දක ශිඛරය පමණයි. කතාවේ නියම පීක් එක එන්න තව අවුරුදු දෙකක් පමණ බලා ඉන්න වෙයි. සමහර සැලසුම් තියෙන්නේ වඩා ලොකු සැලසුම් ඇතුළේ.

Saturday, December 23, 2017

රුසියා ගිය තේ කුරුමිණියා


තේ කන්ටේනරයක හැංගී අනවසරයෙන් රුසියාවට ඇතුළු වූ කුරුමිණියෙකු නිසා සෑහෙන අලකලංචියක් වී තිබේ. කතාව කවුරුත් දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැත.

රුසියාව හා ලංකාව අතර සම්බන්ධතා වලට මේ වන විට දිගු ඉතිහාසයක් තිබේ. පීටර් රීව්ස්ගේ ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයට අනුව රුසියන් තානාපති කාර්යාලයක් ගාල්ලේ පිහිටුවා ඇත්තේ 1882 වසරේදී වන අතර 1891දී එය කොළඹට ගෙනැවිත් තිබේ. නොවැම්බර් විප්ලවයෙන් කලකට පසුව, 1958 පෙබරවාරි 25 දින ලංකාව හා සෝවියට් දේශය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව දෙරට අතර වූ සම්බන්ධතා වඩා පුළුල් වූ අතර එවකට ලංකාවේ ප්‍රධාන අපනයන වූ තේ, රබර් හා පොල් නිෂ්පාදන සෝවියට් දේශයට යැවීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාව හා ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම බිඳ වැටුණේ නැත.

ඇඟලුම් කර්මාන්තය දියුණු වීමට පෙර ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබුණේ තේ වලිනි. මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරු වූයේ රුසියාවයි. දැනටත් රුසියාව ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකි. ඊට අමතරව, රබර් හා රබර් අත්වැසුම් ආදී රබර් නිෂ්පාදනත්, පොල් නිෂ්පාදනත් රුසියාව තවමත් ලංකාවෙන් ආනයනය කරයි.

ඉහත පරිදි රුසියාව ලංකාවෙන් තේ පමණක් නොව රබර් හා පොල් වැනි වෙනත් දේද දිගින් දිගටම ආනයනය කළත්, දශකයකට පමණ පෙර කාලය දක්වාත් ලංකාව රුසියාවෙන් සැලකිය යුතු දෙයක් ආනයනය නොකළේය. ඒ නිසා, දෙරට අතර වෙළඳ ශේෂය දිගින් දිගටම පැවතුණේ ලංකාවේ වාසියටය.

පසුගිය දසවසරක පමණ කාලය තුළ ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ක්‍රමයෙන් රුසියාවේ වාසියට වෙනස් විය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත. 2009 වසර වන විටද නොගිණිය හැකි මට්ටමක තිබුණු රුසියානු ආනයන ඉන් පසු ඉතා වේගයෙන් ඉහළ ගියේය. එහෙත්, ලංකාවෙන් රුසියාවට සිදු කරන අපනයන ස්ථාවරව පැවතුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව හා රුසියාව අතර වූ වෙළඳ ශේෂ අතිරික්තය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වී ගොස් ලංකාවේ අවාසියට හේතු වන මට්ටමටම පැමිණියේය.

මහ බැංකු වාර්තා දත්ත මත පදනම් වන පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, පසුගිය දෙවසර තුළ ලංකාව හා රුසියාව අතර වෙළඳාම සිදු වී තිබෙන්නේ රුසියාවේ වාසියටය. වෙනත් ලෙසකින් කියනවානම්, පසුගිය දෙවසර තුළ ලංකාව විසින් රුසියාවට තේ ඇතුළු සියලු අපනයන යවා ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් රුසියානු ආනයන වෙනුවෙන් වැය කර තිබේ. මෙයට අමතරව, විවිධ උපාධි හැදෑරීමට රුසියාවට යන සිසුන් හරහාද සැලකිය යුතු විදේශ විණිමයක් ලංකාවෙන් රුසියාවට යයි.


පසුගිය 2016 වසර තුළ තේ අපනයනයෙන් ලංකාව ලැබූ සමස්ත ආදායම ඩොලර් මිලියන 1,269ක් හෙවත් ඩොලර් මිලියන 10,310ක මුළු අපනයන ප්‍රමාණයෙන් 12.3%කි. එයින් රුසියාවට විකුණා ඇති තේ වලින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 143ක් හෙවත් සමස්ත තේ අපනයන ආදායමෙන් 11.3%කි. මේ අනුව, රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයා ඇති ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට අඩු වන අතර ඒ මුදලද ආනයන වෙනුවෙන් නැවත රුසියාවට ගෙවා තිබේ. (මෙයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි.)

කෙසේ වුවද, මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ රුසියානු-ශ්‍රී ලංකා වෙළඳ පරිමාව හා ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසි අවාසි සංසන්දනාත්මක ලෙස පෙන්වීමට මිස රුසියාවට තේ යැවීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට නොවේ. එය ලංකාවට ඉතා වැදගත්ය.

තේ ගැන කතා කරන්නට පෙර රුසියාවෙන් ලංකාවට සිදුවන ආනයන පසුගිය වසර හතක කාලය තුළ ඩොලර් මිලියන 3ක සිට 200ක් දක්වා 66 ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි විමසිය යුතුය. මේ ගැන ස්ථිර අදහසක් පළ කරන්නට තරම් තොරතුරු මා සතුව නැති නිසා, ඒ සඳහා පාදක විය හැකිව තිබුණු හේතු ගැන සිතන්නට සිදු වේ. ඒ, පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් විය හැකිය.

1. දිගින් දිගටම රුසියාවේ අවාසියට හා ලංකාවේ වාසියට තිබුණු වෙළඳ ශේෂය ගැන රුසියාව සැලකිලිමත් වී එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නට කටයුතු කිරීම.
2. ලංකාවේ විණිමය අනුපාතිකය අවශ්‍ය පමණට අවප්‍රමාණය නොවීම නිසා ලංකාවේ අපනයන තරඟකාරීත්වය ක්‍රමයෙන් අඩු වී රුසියානු අපනයන වල තරඟකාරිත්වය ඉහළ යාම.
3. ලංකාවේ කිසියම් පිරිසක් විසින් රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන රුසියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නට  පටන් ගැනීම.

ලංකාව සමඟ වෙළඳ හිඟයක් දිගින් දිගටම පැවතෙන විට රුසියාවට ඒ වෙනුවෙන් ඩොලර් උපයන්නට සිදු වේ. ඒ ලංකාවට අවශ්‍ය වන්නේ ඩොලර් මිස රූබල් නොවන බැවිනි. එහෙත්, ඩොලර් යනු රුසියාවටද අවශ්‍ය දෙයකි. ඒ නිසා, ඉහත පළමු කරුණ අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වුවත්, 2016 වසරේදී රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ආනයන වියදම ඩොලර් බිලියන 180කි. වෙළඳ ශේෂය ඩොලර් බිලියන 102ක අතිරික්තයකි. මේ ගණන් සමඟ සැසඳූ විට ලංකාව සමඟ වෙළඳාමෙන් රුසියාවට වන අවාසිය ගිණිය හැකි එකක් නොවේ. ඉතිහාසය පුරා විශාල ගෙවුම් ශේෂ අර්බුද වල සිටි අවස්ථා වලදී වුවද රුසියාව ලංකාව වැනි රටක් සමඟ කරන වෙළඳාමෙන් සිදුවන අවාසි ලොකු ප්‍රශ්නයක් ලෙස සිතා නැත.

දෙවැන්නද සලකා බැලිය හැකි කරුණකි. එහෙත්, එය ලංකාවේ විදේශ වෙළඳාමට පොදුවේ බලපාන ප්‍රශ්නයක් මිස රුසියාව සමඟ කරන වෙළදාමට පමණක් විශේෂයෙන් බලපාන තත්ත්වයක් නොවේ. මේ අනුව, ඉහත තෙවන කරුණට අපට සෑහෙන බරක් දෙන්නට පුළුවන.

ලංකාව රුසියාවෙන් ආනයනය කරන්නේ මොනවාද?

මේ හා අදාළවද විස්තරාත්මක දත්ත සොයාගන්නට නැතත් ලෝක වෙළඳ සංවිධානයේ දත්ත අනුව මෙය විවිධාංගීකරණය වූ පැසකි. මාධ්‍ය වාර්තා වල කතා කෙරෙන ඇස්බැස්ටෝස් හෝ ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඒ අතර තිබෙනවා විය හැකි වුවත් එය රුසියානු ආනයන සමස්තය නොවේ. රුසියානු ආනයන වලට සාපේක්ෂව ලංකාවෙන් එහි යවන අපනයන විවිධාංගීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර අපනයන ආදායමෙන් 75-80% පමණම ලැබෙන්නේ තේ වලිනි.

රුසියාවට තේ යවා ලංකාව උපයන්නේ සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට නොවැඩි මුදලක් වුවත් එහි ක්ෂුද්‍ර ආර්ථික බලපෑම් සාර්ව ආර්ථික බලපෑම් වලටද වඩා විශාලය. රුසියාවට තේ අපනයනය කරන නිශ්චිත අපනයනකරුවන් සිටින අතර ඔවුන්ට තේ විකුණන නිශ්චිත අතරමැදියන් පිරිසක් හා නිශ්චිත තේ නිෂ්පාදකයින් පිරිසක් සිටිති. මේ පිරිස් විශාල රැකියා ගණනක් ජනනය කරන අතර ලංකාවේ පවුල් ගණනාවක් රුසියාවට යවන තේ වලින් යැපේ. ඩොලර් මිලියන 143ක සමස්ත අපනයන ආදායමම අහිමි වුවත් රටක් ලෙස ලංකාවට මහා විශාල ප්‍රශ්නයක් වන්නේ නැතත්, රට තුළ තේ කර්මාන්තයේ නියැලෙන්නන්ට එය විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට, රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදුවේනම් බොහෝ දුරට එහි වාසිය ලබන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකි.

රුසියාව ලංකාවේ තේ තහනම් කරන්නට හේතු වී ඇත්තේ තේ තොගයක සිට හමු වී ඇති කුරුමිණියෙකි. රුසියාව පැත්තෙන් බැලූ කළ මේ තීරණය තර්කානුකූලය.

ඕනෑම රටක් තමන් විසින් ආනයනය කරන ආහාර හා කෘෂිකාර්මික භෝග වල තත්ත්වය ගැන අතිශයින්ම සංවේදීය. නවසීලන්තයෙන් එන කිරිපිටි තොගයක කුරුමිණියෙකු සිටියොත් ලංකාව ක්‍රියා කරනු ඇති ආකාරය සිතා ගන්නට අපහසු නැත. මෙවැනි සිදු වීමකින් පසු, රුසියාව ලංකාවේ තේ තහනම් නොකළත් ඒ සිදුවීම පමණක් වුවද ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම විශාල ලෙස පහත හෙළන්නට හේතු විය හැකිය.

ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම පහත වැටුණු විට එහි වැඩිම බලපෑමකට ලක්වන පිරිස අතර ඉහළින්ම සිටින්නේ රුසියාවට තේ යවන අපනයනකරුවන්ය. ඔවුන් රුසියාවට තේ යවන්නේ පළමුව තේ හැර වෙනත් ආදේශක සමඟත්, දෙවනුව වෙනත් රටවල තේ සමඟත්, තෙවනුව ලංකාවේම වෙනත් අපනයනකරුවන් සමඟත් තරඟ කරමිනි. මේ තරඟයෙන් එළියට විසි නොවන්නටනම් තමන්ගේ අපනයන වල තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතු බව ඔවුන් නොදන්නවා නොවේ. රජය මැදිහත්වී තේ අපනයන තහනම ඉවත් කරගත්තත් කුරුමිණියා යැවූ අපනයනකරුට නැවත රුසියාවට තේ යවන්නට නොලැබෙන්නට ඉඩ තිබේ.

ඇතැම් අය විශ්වාස කරන පරිදි රුසියාව ලංකාවේ තේ තහනම් කර ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. මේ කතාව ඇත්තක්නම්, සැබෑ ප්‍රශ්නය කුරුමිණියෙකු සිටීම නොවේ. ඇස්බැස්ටෝස් තහනම හරහා රුසියාවට රිදවීමයි.

රුසියාවට ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට එකට එක කරන්නට අවශ්‍ය වෙලාවේම ලංකාවෙන් යවන තේ තොගයක කුරුමිණියෙක් හමු විය හැකිද? මේ කුරුමිණියා කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? ඇස්බැස්ටෝස් තහනම් කිරීම ගැන අමනාපයෙන් සිටි රුසියාව හිතාමතාම කුරුමිණි කතාවක් ගෙතුවාද?

ඇස්බැස්ටෝස් තේ සම්බන්ධය ඇත්තක්නම් ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සෑහෙන්න රිදී තිබිය යුතුය. රුසියාවට ඒ තරමටම රිදෙන්නටනම් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට ලොකු පාඩුවක් සිදුවිය යුතුය.

පෙර කී පරිදි රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ඇතුළු රුසියාවෙන් ලංකාවට එවන මුළු භාණ්ඩ තොගයේම වටිනාකම ඩොලර් බිලියන 0.2කි. එනම්, රුසියාවේ අපනයන ආදායමෙන් 0.1%කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවට එවන මුළු අපනයන තොගයම නැති වුණත්, එසේ නැත්නම් එය හිටිවනම දෙගුණ වුනත්, රුසියාවට දැනෙන්නේවත් නැත. රූබලයේ බාහිර වටිනාකම (විණිමය අනුපාතිකය) උච්ඡාවචනය වීම නිසා පැයක් වැනි කාලයක් තුළ සිදුවන බලපෑම ඊට වඩා වැඩිය. ඒ නිසා, ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වේයැයි සිතීම පදනම් විරහිතය.

කෙසේ වුවද, ලෝකයේ විශාලතම ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද රුසියාවයි. ඇස්බැස්ටෝස් නිසාම ප්‍රසිද්ධ වූ ඇස්බැස්ට් වැනි නගර පවා රුසියාවේ තිබේ. එම නගරය කේන්ද්‍ර කර කටයුතු කරන උරල්ඇස්බැස්ට් සමාගම පමණක් රුසියානු ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් නිෂ්පාදිතයෙන් 45%ක් හා ලෝක නිෂ්පාදිතයෙන් 22%ක් නිපදවන අතර එයින් 78%ක් අපනයනය කරයි. 2015 වසරේදී ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවීමට හේතු වූයේද රුසියාව, කියුබාව, කසකස්ථානය, කිර්ගිස්තානය, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ යන රටවල විරුද්ධත්වයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඇස්බැස්ටෝස් හේතුවෙන් වසරකට සිදුවන මරණ ගණන 107,000කි. වෘත්තිමය සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු නිසා ලොව පුරා සිදුවන මරණ වලින් අඩක්ම සිදුවන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙනි. ඇස්බැස්ටෝස් භාවිතයේ ඇති සෞඛ්‍යමය හානි සලකමින් මේ වන විට ලෝකයේ රටවල් 55ක් පමණ ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ කර නැති ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩි නියාමනයකට ලක් කර භාවිතය සීමා කර තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ක්‍රොසයිඩොලයිට් ඇස්බැස්ටෝස් වැනි ඇස්බැස්ටෝස් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් තවමත් රටවල් ගණනාවක බහුලව භාවිතා වේ.

මේ වන විට ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් කණින ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, චීනය, බ්‍රසීලය හා කසකස්ථානයයි. ඇස්බැස්ටෝස් අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාව, බ්‍රසීලය, කසකස්ථානය, චීනය හා ඉන්දියාවයි. ඒ අතරින්ද, ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාවයි. ලෝකයේ වැඩියෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය හා ලංකාවයි.

ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර නැති බොහෝ රටවල පවා පසුගිය දශකය තුළ ඇස්බැස්ටෝස් භාවිතය විශාල ලෙස අඩුවී ඇතත් රටවල් කිහිපයක සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය කාලයේදී ඇස්බැස්ටෝස් භාවිතය ඉහළ ගිය රටවල් අතළොස්සට ලංකාවද අයත්ය. මේ තත්ත්වය සලකා බලන විට ලංකාව විසින් ඇස්බැස්ටෝස් ආනයනය ක්‍රමයෙන් නැවැත්වීමට ගත් තීරණයට පැහැදිලි පදනමක් තිබේ.

ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාව වුවත් මේ අපනයන වලින් රුසියාවට ලැබෙන ආදායම එතරම්ම විශාල නැත. ඒ, සමස්ත ලෝක ඇස්බැස්ටෝස් වෙළඳ පරිමාවම ඇමරිකන් ඩොලර් මිලියන 344ක් පමණක් වන බැවිනි. රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කර උපයන මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 191ක් පමණක් වන අතර (2015 දත්ත) එම මුදල රුසියාවේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 282න් 0.1%කටත් අඩුය. මගේ ඇස්තමේන්තු අනුව, ලංකාවට අපනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණයේ සමස්ත වටිනාකමම ඩොලර් මිලියන 20ක පමණ  මුදලක් වන අතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුසියාවෙන් ආනයනය කරනවා වුවත් රුසියන් ලංකා ඇස්බැස්ටෝස් වෙළඳාම ඩොලර් මිලියන 20 නොඉක්මවයි. මේ තරම් සොච්චම් මුදලක් වෙනුවෙන්, බොහෝ රටවල් විසින් දැනටමත් ගෙන ඇති මහජන සෞඛ්‍යය හා අදාළ තීරණයක් ගැනීමට එකට එක කරමින්, ලංකාවට දඬුවම් කරන්නට රුසියාවට අවශ්‍යද යන්න සැක සහිතය.

කෙසේ වුවත්, ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට රුසියාව විරුද්ධ විය. ඒ නිසා, අපට දැනට ප්‍රචලිතව ඇති මතය මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, රුසියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට සෘජුවම විරෝධය නොපා කුරුමිණියෙක් සම්බන්ධ කරගෙන තේ ආනයනය තහනම් කරන්නට යොමුවීමද තරමක් අසාමාන්‍ය දෙයකි.

ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට දැනෙන බලපෑමක් සිදුනොවුණත් එයින් විශාල පාඩුවක් වන කොටස් නැත්තේ නැත. මෙහිදී මුලින්ම සැක මතු වන්නේ ලංකාවට රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලාභ ලබන කණ්ඩායම් පිළිබඳවය. පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගනිමින් රුසියන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලංකාවේ ප්‍රචලිත කළ අයටනම් ඇස්බැස්ටෝස් තහනම නිසා සිදුවන්නේ විශාල හානියකි. ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීමට ආසන්නව අහඹු ලෙස සිදු වූ කුරුමිණි ගමන හා එයට ප්‍රතිචාර ලෙස රුසියාව විසින් ලංකාවේ තේ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධ කරමින් කතාවක් ගොතන්නට එවැනි අයෙකුට නුවණ පෑදෙන්නට බැරිකමක් නැත. යම් හෙයකින් එය එසේ වූවානම්, ඇස්බැස්ටෝස් තහනම අකුළා ගනිමින් ආණ්ඩුව ලස්සනට ඇඳගෙන තිබේ.

Thursday, December 7, 2017

ඇමරිකානු ජනමතය වෙනස් කළ පර්ල් වරාය මෙහෙයුම



මිලියන පණහකට අධික ජීවිත ප්‍රමාණයක් විනාශ කරමින් අවසන් වූ දෙවන ලෝක යුද්ධය මිනිස් ඉතිහාසයේ සිදු වූ විශාලතම අවි ගැටුම ලෙස සැලකේ. හිට්ලර්ගේ නායකත්වය යටතේ, 'නාසි' ලෙස කෙටියෙන් හැඳින්වෙන ජර්මනියේ ජාතික සමාජවාදී කම්කරු පක්ෂය විසින් ප්‍රවර්ධනය කළ දේශපාලන මතවාදය වටා පෙළ ගැසී සිටි ජර්මානුවන් විසින් 1939 සැප්තැම්බරයේදී පෝලන්තය ආක්‍රමණය කිරීම දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකුණත් එයින් වසර දෙකකට පසුවත් ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වී නොසිටියේය.

දෙවන ලෝක යුද්ධය ඇමරිකාවේ එළිපත්තට එන තුරුම ඇමරිකන් ආණ්ඩුවේ ස්ථාවරය වූයේ ලෝක දේශපාලනයට මැදිහත් වී අහක යන ලෙඩ ඇඟේ දමා නොගැනීමයි. වඩා නිවැරදිව කියනවානම්, ඇමරිකාවේ මහජන මතය වූයේ තමන්ගේ ආණ්ඩුව ලෝක යුද ගැටුම් වලට මැදිහත් නොවී සිටිය යුතු බව වූ නිසා ඇමරිකන් ආණ්ඩුවට මහජන මතය නොසලකා එවැනි මැදිහත්වීම් කිරීමට හැකියාවක් තිබුණේ නැත.

ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වන විට ජර්මනිය, ජපානය හා ඉතාලිය යන රටවල් වලින් සමන්විත වූ අක්ෂ පාර්ශ්වය යුරෝපයේ සම්ප්‍රදායික යුද බලවතුන් වූ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අභිබවමින් සැලකිය යුතු යුද ජයග්‍රහණ ලබාගෙන තිබුණේය. ඇමරිකන් මැදිහත්වීම දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේය.

ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර සිදු වූ වැදගත් දේශපාලනික සිදුවීමක් වූයේ 1939 අගෝස්තු 23 දින ස්ටාලින්ගේ නායකත්වය යටතේ පැවති සෝවියට් දේශයේ හා ජාතික සමාජවාදී ජර්මනියේ විදේශ ඇමතිවරුන් අතර අත්සන් කෙරුණු මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතියයි. සිය දෙරට අතර පිහිටි රටවල් ආක්‍රමණය කරමින් එම බිම්කොටස් සෝවියට් දේශය හා ජර්මනිය අතර බෙදාගන්නට පසුබිම සැලසුනේ මේ සම්මුතියෙනි. මේ සම්මුතිය අනුව බෝල්කන් රටවල් හා ෆින්ලන්තය සෝවියට් දේශයටත් එයින් බටහිරට වූ රටවල් ජර්මනියටත් වෙන් කරමින් බෙදුම් ඉරක් ඇඳුනේය. මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කර මාස කිහිපයකට පසු දෙරට අතර පුළුල් වෙළඳ සම්මුතියකටද අත්සන් තැබුණේය.

ජර්මනිය හා සෝවියට් දේශය එකිනෙකා සමඟ සටන් නොකිරීමටත්, එක් රටක සතුරු රටකට අනෙක් රට උදවු නොකරන්නටත් එකඟ වෙමින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කිරීමෙන් අනතුරුව 1939 සැප්තැම්බරයේදී ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරමින් එහි කොටසක් ඈඳා ගත්තේය. එයට සමාන්තරව ෆින්ලන්තය ආක්‍රමණය කළ සෝවියට් දේශය 1939 නොවැම්බරය වෙද්දී පෝලන්තයේ කොටසක් යටත් කර ගත් අතර ලිතුවේනියාව, ලැට්වියාව හා එස්ටෝනියාවද ඈඳා ගත්තේය. 1940 ජනවාරිය වෙද්දී ෆින්ලන්තය සෝවියට් දේශයට යටත් වීමෙන් හා ෆින්ලන්ත බිම්පෙදෙස් වලින් කොටසක් සෝවියට් දේශයට අයිති වීමෙන් සෝවියට්-ෆින්ලන්ත යුද්ධය අවසන් විය. 1940 අප්‍රේල් මාසය වෙද්දී ජර්මනිය විසින් නොර්වේ හා ඩෙන්මාර්කයත්, තවත් මසකට පසු ලක්සම්බර්ග්, බෙල්ජියම හා නෙදර්ලන්තයත් ආක්‍රමණය කළ අතර මැයි මාසය වෙද්දී ප්‍රංශයද ආක්‍රමණය කළේය.

ජර්මනිය, ජපානය හා ඉතාලිය අතර යුද සම්මුතිය අත්සන් කෙරුණේ 1940 සැප්තැම්බර් මාසයේදීය. ඉන්පසුව යුද්ධය යුරෝපයේ ඉතිරි රටවලට පමණක් නොව යුරෝපයෙන් පිටතටද පැතිරුණේය.

මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කරමින් ස්ටාලින්ගේ සෝවියට් දේශය හා හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මනිය අතර ඇති කරගත් එකඟත්වය දෙවසරක්වත් පැවතුණේ නැත. දෙරට විසින් යටත් කරගත් පෝලන්තයේ කොටස් සම්බන්ධව පැවති මතභේද දුරදිග යද්දී ජර්මනිය විසින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය ඒකපාර්ශ්වික ලෙස අවසන් කරමින් 1941 ජූනි 22 දින බාබරෝසා මෙහෙයුම ආරම්භ කළේය. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම යුද මෙහෙයුම විය හැකි බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී සාර්ථක වුවත්, අවසානයේදී එය ජර්මනියට පාරාවළල්ලක් විය.

අක්ෂ පාර්ශ්වයට එරෙහි මිත්‍ර පාර්ශ්වයට සෝවියට් දේශයද එකතු වීමෙන් පස් මසකට පසු ජපානය විසින් පර්ල් වරායට පහර දීමත් සමඟ ඇමරිකාවද යුද්ධයට අවතීර්ණ විය. ඇමරිකානුවන් 2,402ක් මරණයට පත් කරමින් ඉරිදා දිනක උදෑසනක මේ ප්‍රහාරය අනපේක්ෂිත ලෙස එල්ල වන විට ජපානය ඇමරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කර තිබුණේ හෝ නැත. ඒ නිසා, මේ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සැලකේ.

පර්ල් වරාය මෙහෙයුමෙන් පසුව ඇමරිකාවද දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ අතර මිත්‍ර පාර්ශ්වයේ ජයග්‍රහණයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක දේශපාලනයේ විශාල වෙනස්කම් සිදුවිය. ලංකාව වැනි යුරෝපීය රටවල යටත් විජිත වලට නිදහස ලැබීමටද දෙවන ලෝක යුද්ධය විශාල බලපෑමක් කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්ප්‍රදායික යුද බලවතුන් වූ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අභිබවා ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ලෝක බලවතුන් ලෙස කැපී පෙනෙන්නට විය. ඒ අතරම, ලිබරල් ජාත්‍යන්තරවාදය හා සමාජවාදී ජාත්‍යන්තරවාදය විකල්ප දේශපාලන ආකෘති දෙකක් ලෙස ලෝක ව්‍යාප්ත වන්නටද පටන් ගත්තේය.

ලෝක දේශපාලනයට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගෙන සිටින්නට කැමැත්තෙන් සිටි ඇමරිකානුවන්ගේ ජනමතය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට හේතු වූ අවස්ථාවක් ලෙස පර්ල් වරාය ආක්‍රමණය පෙන්විය හැකිය. ඒ වෙනසේ බලපෑම අද දක්වාත් දකින්නට පුළුවන.

පර්ල් වරාය ආක්‍රමණය සිදු වී අදට වසර 76කි.

Thursday, November 23, 2017

දරිද්‍රතාවය සමව බෙදාගැනීමේ සමාජවාදී සිහිනය


පහතින් ඇත්තේ මෙහි පළවූ පසුගිය ලිපියකට අජිත් ධර්මා විසින් දමා ඇති ප්‍රතිචාරයක කොටසකි.

"ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා."

මෙහි අජිත් ධර්මා විසින් කියන්නේ පැරණි සෝවියට් දේශයේ හා කියුබාවේ සියලු දෙනාටම බඩ පුරවා ගන්නට තරම් ප්‍රමාණවත් ආහාර සලාකයක් රජය විසින් ලබා දුන් බවයි.

ඊට පෙර ඉකොනොමැට්ටා විසින් පළ කළ වෙනත් ලිපියකට අජිත් ධර්මා විසින්ම දමා තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.

"ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස."

කියුබාව වැනි රටවල මන්දපෝෂණය නොතිබුණු බව වැනි දේ නිවැරදි නොවන බව අපි පැත්තකින් තියමු. එය මේ ලිපියේ සාකච්ඡා කරන කරුණට අදාළ නොවේ.

අජිත් ධර්මාගේ ප්‍රතිචාරය අනුව පැරණි සෝවියට් දේශයේ සෑම නිවසකටම රජය විසින් ස්ථාවර දුරකථනයක් ලබා දී තිබේ. එසේම, රටේ සියලු දෙනාටම කුසගිණි නිවා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකයක් ලබා දී තිබේ. මේ ආහාර සලාකය සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ සියල්ල අඩංගු ප්‍රසස්ථ ආහාර වේලක්යැයි අපි උපකල්පනය කරමු. අජිත් ධර්මා විසින් විශේෂයෙන් සඳහන් කර නොතිබුණත් පැරණි සෝවියට් දේශයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්ද රජය මඟින් සැපයූ බව අප දන්නා කරුණකි.

දැන් මේ හරහා මැවෙන්නේ ලංකාවේ බොහෝ සමාජවාදීන්ගේ සිහිනය වන පරමාදර්ශී සමාජයකි. ඔවුන්ගේ ඉලක්කය ලංකාව මෙවැනි තැනකට ගෙන යාමයි.

මේ සමාජවාදී ඉලක්කය දෙස විමසිල්ලෙන් බැලීමෙන්ම සමාජවාදී චින්තනයේ ඇති වැරැද්ද පැහැදිලිව පෙනේ. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අදාළ රටවල් මේ ඉලක්කය සැබෑවටම සපුරා ගත්තේද යන්න සැක නොකර අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

දැන් මේ පරමාදර්ශී රටක මධ්‍යගත සැලසුම්කරුවෙකු විසින් රට වැසියන් අතර දුරකථන බෙදා දිය යුතු හොඳම ක්‍රමය එක් නිවසකට එක් දුරකථනය බැගින් බෙදා දීම බව තීරණය කරයි. එහෙත්, රටේ ජීවත් වන සෑම දෙනෙකුටම දුරකථනයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම සමාන නැත.

දුරකථනයක් යනු අනවශ්‍ය කරදරයක් කියා සිතන සුළු පිරිසක් හෝ සිටිති. එවැන්නන්ට රජයෙන් ලබා දෙන දුරකථනය ප්‍රයෝජනයට නොගෙන සිටිය හැකි බව ඇත්තකි. එහෙත්, එහිදී සිදුවන්නේ සම්පත් නාස්තියකි. ඒ අතරම, පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දුරකථනයට ඇබ්බැහි වී සිටින නිවසකට එක් දුරකථනයක් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. රජය මඟින් නිවසකට එක් දුරකථනය මඟින් ලබා දීමෙන් පසු කැමති අයෙකුට තමන්ගේ දුරකථනය වෙනත් අයෙකුට විකිණීමට ඉඩ ලැබේනම් දුරකථන හුවමාරු ගණුදෙනු යම් ප්‍රමාණයක් හෝ සිදුවන බව ස්ථිරය. මෙවැනි නිදහස් ගනුදෙනුවකදී සිදුවන්නේ කිසියම් අයෙකු තමන්ට අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන දෙයක් එය වඩා අවශ්‍ය අයෙකුට දී දෙවැන්නාට වාසියක් සලසමින් තමන්ද වාසියක් ලැබීමයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ඇති අකාර්යක්ෂමතාවය වන්නේ දෙදෙනෙකුටම වාසි සැලසෙන මෙවැනි හුවමාරුවක් කරන්නට නිදහසක් නැති වීමයි.

ආහාර සම්බන්ධව සැලකූ විට මෙය පැහැදිලි කිරීම වඩා පහසුය. මේ සඳහා, පැරණි සෝවියට් දේශයටම යා යුතු නැත. පේරාදෙණියේ අක්බාර් කැන්ටිම වැනි තැනකට යාම ප්‍රමාණවත්ය.

මෙවැනි තැනක ලබා දෙනා කෑම වේල මධ්‍යම සැලසුම්කරුවෙකුගේ දැඩි නියාමනයකට ලක්ව තිබේ. ඒ අනුව, ටෙන්ඩරය භාරගන්නා අයෙකු නිශ්චිත මිලකට නිශ්චිත ද්‍රව්‍ය අඩංගු කෑම වේලක් ලබා දිය යුතුය. මෙය සාමාන්‍යයෙන් බත්, පරිප්පු හෝ මුං ඇට, මැල්ලුමක් හා එළවළුවක් වැනි අංග වලින් යුත් කෑම වේලකි. අවශ්‍යනම් වැඩිපුර මුදලක් ගෙවා මස්, මාළු හෝ බිත්තර වැනි දෙයක් මිල දී ගත හැකිය.

කෙසේ වුවත්, මේ ප්‍රසස්ථ කෑම වේල සියලුම පාරිභෝගිකයින්ගේ ප්‍රසස්ථම කෑම වේල නොවේ. බොහෝ දෙනෙක් කෑම වේල මිල දී ගෙන මේසයට පැමිණ වාඩි වෙන්නේම කොළ මැල්ලුම කුණු බක්කියට දැමීමෙන් පසුවය. එය කෙළින්ම සිදුවන සම්පත් නාස්තියකි. ඉන් පසුව, ඉතිරි වන එළවලුවද ඇතැම් අයගේ ප්‍රියජනක ආහාරයක් නොවිය හැකිය.

"මචං, මම පතෝල කන්නෙ නැහැ. උඹ කනවනම් මේ ටික ගනිං."

කෑම මේසයේදී මේ වගේ දේවල් සිදුවිය හැකිය. කොළ මැල්ලුමද කුණු බක්කියට දමා අවසන් නිසා දැන් පළමු සිසුවාගේ පිඟානේ තිබෙන්නේ බත් හා පරිප්පු පමණි.

"කෝ උඹට බත් ටික කන්න දෙයක් දැන් නෑනේ. මේකෙන් තව පරිප්පු ටිකක් ගනිං."

මධ්‍යගත සැලසුම වෙනුවට පුද්ගල තේරීමට ඉඩදෙන බුෆේ ක්‍රමයක් තිබුණානම් තමන් කැමති දේ මිස අකැමැති දේ බෙදාගෙන්නට අවශ්‍ය නැත. නාස්තිය අඩු වන නිසා නියමිත මිලටම ලබාගත හැකි කෑම ප්‍රමාණය වැඩි වනු මිස අඩු වන්නේද නැත.

ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ලබා දෙන සහනාධාරය සලාකයක් ලෙස නොව මුදලින් ලබා දෙන්නකි. මේ මුදල ගණනය කිරීමේදී දරු දෙදෙනෙකු ඇතුළුව හතරදෙනෙකු සිටින පවුලකට සතියකට එළවලු රාත්තල් 31.56ක් හා පළතුරු රාත්තල් 24.48ක් මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දුන්නත් එවැනි පවුලක අය ඒ ප්‍රමාණයෙන් අඩක්වත් එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට කරන්නේ ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් හා මේද අඩංගු ආහාර හා රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීමයි. එහෙත්, මෙයට විසඳුමක් ලෙස මේ අයට බලෙන් එළවලු හා පළතුරු කවන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැත. කිසියම් අයුරකින් එළවලු හා පළතුරු සලාකයක් ලෙස ලබා දුන්නොත් සිදුවනු ඇත්තේ එම ආහාර කුණු බක්කි වලට යාම පමණි. දැනුවත් කිරීම් මඟින් පුද්ගල තේරීම් වෙනස් කිරීම මිස වෙනත් ආකාර වල මැදිහත්කිරීම් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය.

ආහාර සහනාධාරය මෙන්ම ඇමරිකාවේ අඩුආදායම්ලාභී නිවසකට දුරකථන පහසුකම් ලබාගැනීම සඳහා "ලයිෆ්ලයින්" නම් වූ සහනාධාර වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතී. මේ හරහා දුරකථනයක් නැති පවුලකට තමන් කැමති පරිදි ස්ථාවර දුරකථනයක් හෝ ජංගම දුරකථනයක් ලබා ගැනීමට පුළුවන. සහනාධාරය මඟින් දුරකථනයේ මිල ඇතුළු සම්බන්ධතාව ලබා ගැනීමේ මූලික වියදම් මෙන්ම මාසික ගාස්තු වලින්ද සැලකිය යුතු කොටසක් ප්‍රතිපූරණය කරන නිසා අඩුආදායම්ලාභී පවුලකට ඇමරිකාවේ අවම වැටුපට පැයක පමණ කාලයක් වැඩකර ඉපැයිය හැකි මුදලක් මසකට වැය කර දුරකථනයක් නඩත්තු කළ හැකිය. ස්ථාවර දුරකථන යනු ඇමරිකාවේ හෙමින් මිය යමින් තිබෙන සංකල්පයකි. ඒ නිසා, අඩුආදායම්ලාභීන් ඇතුළු බොහෝ ඇමරිකානුවන්ගේ දැන් තේරීම ජංගම දුරකථනයයි.

ඇමරිකාවේ ආදායම් මට්ටම් අනුව පහළින්ම සිටින අයෙකුට වුවද පෙර ලිපියේ විස්තර කර ඇති නොමසුරු ආහාර සහනාධාරය, දුරකථන සහනාධාරය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේ ලැබේ. රජය මඟින් ලබා දෙන්නේ නොමිලේ ප්‍රතිකාර නොව සියලු වියදම් ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක් නිසා ප්‍රතිකාර ගන්නට "ආණ්ඩුවේ ඉස්පිරිතාල වල" පෝලිම් වල ඉන්නට අවශ්‍යද නැත. අඩුආදායම් ස්ථරවල ජීවන තත්ත්වය මෙසේ ඉහළින් තිබීමට හේතු වී ඇත්තේ ආදායම් උපයන ඉහළ ස්ථර වලට බාධාවකින් තොරව එය කරන්නට ඉඩ සැලසීම මිස ඔවුන්ට තිරිංග දැමීම නොවේ.

සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත. මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.

Saturday, November 4, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (දෙවන කොටස)


සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ සමාජයේ විවිධ ස්ථර අතර හා රටේ විවිධ ප්‍රදේශ අතර ආදායම් විෂමතා අවම වූ සමාජයක් හැදීමටය. එහෙත්, සෝවියට් දේශයට අයත් වූ විවිධ රටවල් අතර සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇති බව අපි පෙර කොටසින් පෙන්වා දුන්නෙමු. එයට අමතරව සෝවියට් දේශයේ විවිධ අධ්‍යාපන මට්ටම් වල සිටි ශ්‍රමිකයන් අතර මෙන්ම ගැහැණු හා පිරිමි අතරද සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇත.

සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර සෝවියට් රජය විසින් රටේ පවුල් වල ආදායම් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදු කර ඇතත් මේ සමීක්ෂණ දත්ත අඩු වශයෙන් සාමාන්‍ය සෝවියට් පර්යේෂකයින්ට හෝ භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැත. සෝවියට් රජය විසින් ප්‍රසිද්ධ කළේ සැලකිල්ලෙන් තෝරාගත් සාරාංශ දර්ශක පමණි. එහෙත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇතැම් පර්යේෂකයින්ට මේ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසුණේය.

ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවාදී රටක වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා අයෙකුට වැඩි ආදායමක් ඉපැයීමේ අවස්ථාව තිබේ. එහෙත්, එවැන්නෙකු වැඩිදුර ආයෝජනය පිණිස යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය නිසා මේ ප්‍රතිලාභ හෝ එයින් කොටසක් ඒ අමතර ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙසද සැලකිය හැකිය. සෝවියට් දේශය වැනි අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව ආයෝජනය කළ යුතු නැති සමාජවාදී රටකදී මේ තර්කය ධනවාදී රටකදී එතරම්ම වලංගු නැත. එහෙත්, කාලය හා ශ්‍රමය වශයෙන් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙකු විසින් දරන, ශිෂ්‍යයන්ට රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ වලින් ආවරණය නොවන, කිසියම් ආවස්ථික පිරිවැයක් තිබිය හැකිය. එවැනි ආවස්ථික පිරිවැයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පසුකාලීන වැටුප් වෙනසක් ලෙස පිළිබිඹු විය හැකිය.

සෝවියට් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කෙරුණේ මාක්ස් හා එංගල්ස් ආදීන්ගේ අදහස් මත පදනම්වය. මේ අදහස් අනුව, කවර හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් යෙදවෙන ශ්‍රමය සමාන ලෙස සැලකුනේය. ගැහැණු පිරිමි භේදයක් නොසලකා ශ්‍රමයට සමාන ලෙස සැලකීම සෝවියට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කර තිබුණු ප්‍රමුඛ ඉලක්කයක් විය. එහෙත්, ප්‍රයෝගිකව මෙය මෙලෙසින්ම සිදු වී නැත.

සමස්තයක් ලෙස සෝවියට් දේශය තුළ සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ අයෙකුට වඩා 46.2%කින් වැඩි වැටුපක් 1984 වසරේදී උපයා තිබේ. 1989 වසරේදීද මේ අනුපාතය 45.7% මට්ටමේ තිබී ඇත. උපාධිධාරී පිරිමියෙකු හා ගැහැණියක අතර සාමාන්‍ය වැටුප් වෙනස 1984දී 24.3%ක්ද, 1989දී 26.9%කි. මීට අඩු අධ්‍යාපන මට්ටමක සිටින පිරිමි හා ගැහැණු අතරද මෙවැනිම ආදායම් වෙනස්කම් දැකිය හැකිය. උපාධිධාරී පිරිමියෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ ගැහැණියක මෙන් දෙගුණයක පමණ ආදායමක් උපයා තිබේ. වැඩි අධ්‍යාපනයක් ලැබූ අය ලැබූ වෙනත් වරප්‍රසාද වල වෙනස (උදාහරණයක් ලෙස වඩා හොඳ නිවාස) සැලකූ විට විෂමතාවයන් මීටත් වඩා වැඩි විය යුතුය. එමෙන්ම ඇතැම් සෝවියට් ජනරජ වල පැවතී ඇති ආදායම් විෂමතා සමස්තයක් ලෙස සෝවියට් සංගමයේ ආදායම් විෂමතාවයටද වඩා බොහෝ වැඩිය.

පහත වගු සෝවියට් නිල සංඛ්‍යාලේඛණ උපුටා දක්වන හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 පර්යේෂණ පත්‍රිකාවෙනි. 





Friday, November 3, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)


දින කිහිපයකට පෙර අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වියුණුවේ පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ වත්මන් තජිකිස්තානය ගැන අවධානය යොමු කර තිබුණේය. ලිපියේ ප්‍රධාන මාතෘකාව ජනප්‍රිය තජිකිස්තාන ගායිකාවක වන නොසියා කරමටුල්ලෝ සහ කලකට පෙර ඝාතනය කරනු ලැබ ඇති ඇගේ පියා ගැන කතා කිරීම වුවත්, වසර පහකටත් පෙර රයිගම හන්දිය වියුණුවේ පළ වී තිබූ ලිපියකින් කොටසක් උපුටා ගනිමින් තජිකිස්තානයේ වත්මන් තත්ත්වය කෙරෙහිද එහි අවධානය යොමු කර තිබුණේය.

වසර පහක් කියන්නේ මිනිසෙකුගේ ජීවිත කාලය සැලකූ විට දිගු කාලයකි. එවැනි කාලයක් තුළ බ්ලොග් ලිපියක සඳහන් කරුණු පමණක් නොව, ලේඛකයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු සිතන පතන ආකාරය පවා සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. ඒ නිසා, එවැන්නක් ගැන කතා කළ යුත්තේ සැලකිල්ලෙනි. කෙසේ වුවද, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරෙන්නට දින කිහිපයක් ඉතිරිව ඇති මේ වෙලාවේ, මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට ප්‍රවේශයක් වශයෙන් තජිකිස්තානය ගැන වසර පහකට පෙර රයිගම හන්දියේ ලියැවී ඇති දේ යොදා ගත හැකිය.

රයිගම හන්දිය ලේඛකයා මෙන්ම මමත් සෝවියට් සමුහාණ්ඩු ගැන මුලින්ම දැනගත්තේ මුදල් නොගෙවා ගෙන්වා ගත හැකිවූ සෝවියට් දේශය සඟරා වලිනි. ඔහු මෙන් මා තජිකිස්තානයට හෝ අසල්වැසි රටකට තාවකාලිකව සංචාරය කර හෝ නැත. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන තජිකිස්තාන සංක්‍රමනික මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ලඟින් ඇසුරු කර ඇති නිසා තජිකිස්තාන කෑම ගැන ඔහු කියන දේ සමඟ මටද එකඟ විය හැකිය. රට ගැන සමස්තයක් ලෙස මා නොදන්නා නමුත් තජිකිස්තාන සංක්‍රමනිකයින් වන මගේ මිතුරු මිතුරියන්නම් පුළුල් දැක්මක් ඇති සුන්දර මිනිසුන්ය.

වැල් වටාරම් අතහැර ලිපියේ සාරාංශය වෙත ගියහොත් අද තජිකිස්තානය කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලින් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මඟින් යැපෙන දුප්පත් රටකි. ලෝක බැංකු දත්ත අනුව පසුගිය වසරේ තජිකිස්තානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණක් විය. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3635 ක් විය. සියවස් තුන්කාලක් සමාජවාදී සෝවියට් සංගමයේ කොටසක් වූ රටක අද තත්ත්වය එහෙමය.

පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතරින් අද වන විට අඩුම ඒක පුද්ගල ආදායමක් ලබන්නේ තජිකිස්තානය වුවත් භූගෝලීය ලෙස සෝවියට් සංගමයේ පරිධියේ පිහිටා තිබුණු තවත් රටවල් ගණනාවක තත්ත්වයද එතරම්ම සතුටුදායක නැත. කිර්ගිස්තානය, මොල්දෝවා, උස්බෙකිස්තානය හා යුක්රේනය වැනි තවත් පැරණි සෝවියට් රටවල් ගණනාවක් අද වන විට ඒක පුද්ගල ආදායම අනුව සිටින්නේ ලංකාවට වඩා පසුපසිනි. එහෙත්, සැලකිය යුතු ඒක පුද්ගල ආදායමක් ලබන ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව වැනි රටවල්ද ඒ අතර තිබේ.

පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රටවල් අතර මේ තරම් ආදායම් විෂමතාවයක් දකින්නට හැකි වී තිබෙන්නේ කෙසේද?

ධනවාදය විවේචනය කරන්නට පැහැදිලි හේතුවක් හොයා ගන්නට අමාරු බොහෝ සමාජවාදීන් පුන පුනා කියන්නේ ධනවාදය ආදායම් විෂමතාවන්ට හේතුවන බවයි. එමෙන්ම, සමාජවාදය මාකටිං කිරීමට වැඩිපුරම යොදාගන්නා තර්කය වන්නේද එමඟින් ආදායම් විෂමතා අඩුවන බවයි.

මේ තර්කය පදනමක් නැති එකක්ම නොවේ. ආදායම් විෂමතා නැති කිරීම ලිබරල් ධනවාදයේ ඉලක්කයක් නොවේ. සියල්ලන්ටම සමාන ආදායම් උපයන්නට ඉඩ සැලසීම සමාජවාදීන්ගේ ඉලක්කයකි. ලිබරල් ධනවාදීන්ගේ ඉලක්කය වන්නේ සියල්ලන්ටම ආදායම් උපයන්නට සමාන ඉඩ සැපයීමයි. මේ දෙකෙන් පළමු ඉලක්කයට වඩා දෙවැන්න කාර්යක්ෂම බව තවදුරටත් න්‍යායාත්මක කරුණක් පමණක් නොවේ. ඉතිහාසය විසින් තහවුරු කර ඇති දෙයකි.

වඩා අකාර්යක්ෂම වුවත් දෙවන ඉලක්කය වඩා සාධාරණ බව සමාජවාදීහු සිතති. මිනිසකුගේ මූලික අවශ්‍යතා ගැන සැලකූ විට සමාජවාදීන්ගේ සිතීමට පදනමක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි සංකල්පීය ධනවාදයකට වඩාත්ම ආසන්න රටක පවා ළමුන්, ගර්භණී කාන්තාවන්, ආබාධිතයින්, වයස්ගත අය හා අඩු ආදායම්ලාභීන් වැනි කොටස් වල ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපනය ආදිය සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු තරමේ සම්පත් සම්ප්‍රේෂනයක් සිදුවීමෙන් පෙනෙන්නේ 'අනිත් එකා මැරුණත් මගේ ලාභය' කියා සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවය නොවන බවයි. ප්‍රශ්නයක් මතුවන්නේ සම්පත් සමසේ බෙදීම ඉලක්ක කර ගනිමින් වැඩිපුර සම්පත් උපයන අයගේ ධනය බලහත්කාරයෙන් පැහැර ගන්නට යාමේදීය.

ආදායම් ඉපයීමේ හැකියාව අතින් සියලු මිනිස්සු සමාන නොවෙති. එසේ සමාන වේනම් බලහත්කාරයෙන් සමාජවාදයක් බිහි කරන්නට අවශ්‍ය නොවේ. පවතින අමුද්‍රව්‍ය යොදාගනිමින් සම්පත් නිර්මාණය කිරීම ඇතැම් අයට වෙනත් අයට වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිය.

සැමට සමානව සම්පත් බෙදී යාම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම පුද්ගලයින් විසින් නිපදවන සම්පත් වලින් කොටසක් අකාර්යක්ෂම පුද්ගලයින් අතට කිසියම් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ යුතුය. මේ සම්ප්‍රේෂණය වීම යම් පමණකින් ස්වභාවික ලෙසම සිදුවන නමුත්, සම්පත් සමානව  බෙදෙන මට්ටමට එය ස්වභාවික ලෙස සිදු වන්නේ නැත. වැඩිපුර සම්පත් නිපදවීමේ හැකියාව ඇති අයෙකු එයින් කොටසක් වෙනත් අය සමඟ ස්වේච්ඡාවෙන් බෙදාගන්නට කැමති විය හැකි වුවත් එයට සීමාවක් තිබේ. ඒ මට්ටමෙන් ඔබ්බට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු කළ හැක්කේ බලහත්කාරයෙන් පමණි.

මිනිස්සු යනු ස්වභාවික ලෙසම ස්වඅභිමතාර්ථය පතන්නෝය. මහන්සියෙන් තොරව වෙනත් අයෙකු උපයන දෙයක් ලබා ගත හැකිනම් එයට අකැමති අය නැත. සම්පත් සමානව බෙදී යන ක්‍රමයක් ඇත්නම් අකාර්යක්ෂම පුද්ගලයින්ට වඩා කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් කොටසක් පැත්තක සිට ලබා ගන්නට පුළුවන. ඒ නිසා, කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵල අකාර්යක්ෂම පුද්ගලයින් විසින් සූරාකන එවැනි ක්‍රමයකට කැමති අකාර්යක්ෂම පුද්ගලයින් කොටසක් කොයි සමාජයේත් සිටිති. එහෙත්, මේ පිරිස බහුතරය නොවන බව පෙනෙන්නේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් බිහි කළ හෝ පවත්වාගෙන ගිය සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් තිබී නොමැති වීමෙනි.

ධනවාදී ආර්ථිකයක ආදායම් සමසේ බෙදීම ඉලක්ක නොකෙරෙන්නේ එසේ කිරීමෙන් වඩා කාර්යක්ෂම කොටස් අධෛර්යමත් කෙරෙන බැවිනි. වැඩි ආදායම් ඉපදවීමේ ඉඩකඩ වඩා කාර්යක්ෂම වීමට පුද්ගලයෙකුව පොළඹවයි. වැඩි දෙනෙකු වැඩි ආදායම් උපයන විට රටක සමස්ත ආදායම ඉහළ යයි.

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ මෙසේ වඩා කාර්යක්ෂම පුද්ගලයින්ට වැඩි ලාභ ලබන්නට ඉඩ සැලසීම මඟින් සමස්ත නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීම නොවේ. සියළු නිෂ්පාදන සාධක රජය යටතේ තබා ගනිමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 10 වගන්තිය) රටේ භෞතික හා භෞතික නොවන ශ්‍රමය සපයන පුද්ගලයින් අතරත්, ගම් හා නගර ඇතුළු ප්‍රදේශ අතරත් විෂමතා නැති කරමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 19 වගන්තිය) සමජාතීය සමාජයක් හැදීමයි. සෝවියට් සංගමයට රටවල් 15ක් අයත්ව තිබූ අතර ව්‍යවස්ථාවේ 36 වන වගන්තියෙන් මේ සියලු රටවල වැසියන්ට සමාන ලෙස සැලකීම තහවුරු කර තිබුණේය. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතර ඒ කාලයේ ආදායම් විෂමතා තිබෙන්නට ඉඩක් නැති බවයි. එසේනම්, මේ රටවල් අතර අද පවතින ආදායම් විෂමතාවයට හේතුව සෝවියට් සංගමය බිඳී යාමද?

පහත වගුවේ ඇත්තේ පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් වල පසුගිය වසරේ ඒක පුද්ගල ආදායමයි. සියලු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකන් ඩොලර් වලිනි. මූලාශ්‍රය ලෝක බැංකුවයි.


වගුවෙන් පෙනෙන පරිදි පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් මේ වන විට ඒක පුද්ගල ආදායම අනුව රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ රටවල් තුනක් පමණි. අනෙක් රටවල් සියල්ලම ඉන්නේ රුසියාවට වඩා පසුපසිනි. ඒ රටවලට එහෙම වුණේ රුසියාවෙන් වෙන් වූ නිසාද?

උඩ සිතියම දෙස බැලුවොත් එහි කොල පැහැයෙන් ලකුණු කර ඇති බෝල්ටික් රටවල් තුනේ ඒක පුද්ගල ආදායම රුසියාවේ ඒක පුද්ගල ආදායම මෙන් දෙගුණයකට ආසන්න වන අතර කහ පැහැයෙන් දක්වා ඇති රටවල ආදායම රුසියාවේ ආදායමට වඩා විශාල ලෙස අඩු නැත. එහෙත්, රතු පැහැයෙන් ලකුණු කර ඇති පරිධියේ රටවල ඒක පුද්ගල ආදායම් රුසියාවේ ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් අඩුය.

සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුවත් එහි සාමාජිකයින්ව සිටි රටවල් රුසියාව සමඟ වූ සම්බන්ධය අත හැර දැම්මේ නැත. පැරණි සෝවියට් සංගමයේ රටවල් පහළොවෙන් තුනක් හැර ඉතිරි රටවල් සියල්ලම රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය එසේත් නැත්නම් ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස (CIS) එකට සිටියේය. රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ එකතු නොවූයේ පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් රටවල් තුනක් පමණි. ඒ බෝල්ටික් කලාපයේ පිහිටි ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල් තුනයි.

මේ බෝල්ටික් රටවල් තුන කියා සිටියේ සෝවියට් සංගමය විසින් බලහත්කාරයෙන් සිය රටවල් ඈඳා ගත්තා මිස තමන් කැමැත්තෙන් සෝවියට් සංගමය සමඟ එක්ව නොසිටි බවයි. මේ අනුව, රුසියාව සමඟ පැවති සම්බන්ධතාව තවදුරටත් පවත්වා ගැනීමට මේ රටවල් තුනට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කළේ යුරෝපීය සංගමයට එකතු වීමටය.

අදවන විට රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු නොවූ මේ රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 15,524කි. රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සිටි රටවල ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 3,481කි.

කෙසේ වුවද, පැරණි සෝවියට් සංගමයේ රටවල් අතර මේ වන විට පෙනෙන්නට තිබෙන ආදායම් විෂමතාවයට එකම හේතුව එම රටවල් සෝවියට් සංගමයෙන් නිදහස් වීමෙන් පසු කටයුතු කළ වෙනස් ආකාරයන් නොවේ. සෝවියට් සංගමය ලෙස එකතු වී සිටි කාලයේද මේ රටවල් අතර සැලකිය යුතු ආදායම් විෂමතා තිබුණේය.

ආදායම් විෂමතා නැති කරන්නට කෙතරම් උත්සාහ කළත් සෝවියට් සංගමයට ඒ ඉලක්කය පවා සපුරා ගන්නට ලැබුණේ එක්තරා මට්ටමකට පමණි. සෝවියට් සංගමය විසින් ප්‍රසිද්ධ කළ නිල ප්‍රකාශන වල මේ හා අදාළ සංඛ්‍යාලේඛණ සෘජුවම ඉදිරිපත් කර නොතිබුණත්, අදාළ කරුණ විමසා බලන්නට ප්‍රමාණවත් දත්ත එම තොරතුරු අතරේ සැඟවී තිබුණේය.

ඇතැම් පර්යේෂකයින් විසින් සෝවියට් සංගමයේ නිල සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කරමින් සංගමය බිඳ වැටෙන්නට ආසන්නව එහි සාමාජික රාජ්‍ය අතර පැවති ආදායම් විෂමතා ගැන අධ්‍යයනයන් සිදුකර විමර්ශිත ජර්නල වල පළ කර තිබේ. හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 අධ්‍යයනයත් (International Journal of Sociology, Vol. 22, No. 3), ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 අධ්‍යයනයත් සෝවියට් සංගමය බිඳ වැටුණු අලුත එසේ සිදු කළ අධ්‍යයන පිළිබඳ උදාහරණයි.


ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 පර්යේෂණ පත්‍රිකාවේ 2A වගුව අනුව, 1988දී තජිකිස්තාන වැසියන්ගෙන් 58.6%කගේ මාසික ආදායම රූබල් 75කට වඩා අඩු වූ අතර උස්බෙකිස්තානයේ මේ ප්‍රතිශතය 44.7%ක්ද, කිර්ගිස්තානයේ 37.1%ක්ද විය. නමුත්, ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල රූබල් 75කට වඩා අඩු ආදායම් ලැබූ අය සිටියේ පිළිවෙලින් 3.2%ක්, 3.6%ක් හා 3.9%ක් පමණි. අනෙක් අතට ලැට්වියාවේ 28.3%ක්ද, ලිතුවේනියාවේ 24%ක්ද, එස්ටෝනියාවේ 33.6%ක්ද රූබල් 200 ඉක්මවන මාසික ආදායමක් ලබද්දී තජිකිස්තානයේ එම ආදායම් මට්ටම ඉක්මවූ අය සිටියේ 1.4%ක් පමණි.

අද වන විට විශාලනය වී තිබෙන්නේ සෝවියට් සංගමය පැවති කාලයේද එහි සාමාජික රටවල් අතර තිබුණු හා විවිධ ආදායම් ස්ථර අතර තිබුණු (ලිපියේ විස්තරාත්මක ලෙස කතා කර නැති) ආදායම් විෂමතාවයන්ය. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෝවියට් සංගමය විසින් විවිධ ආදායම් ස්ථර අතර ආදායම් විෂමතා අඩු කරගත් බව සැබෑවක් වුවත්, සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන පරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල්ද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් ආදායම් විෂමතාවය අඩුකරගෙන තිබීම විශේෂත්වයකි.

සෝවියට් සංගමය ක්‍රියාත්මකව පැවති කාලයේදීද එහි පරිධියේ වූ මධ්‍යම ආසියානු රටවල තත්ත්වය මධ්‍යයේ වූ රටවල තරම් යහපත්ව තිබී නැත. එපමණක් නොව, තජිකිස්තානයේ අද පෙනෙන්නට ඇති විශාල අවිධිමත් ආර්ථිකයේ ඉතිහාසයද සෝවියට් සංගම් යුගයට දිව යන්නකි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එහි සාමාජික රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් යොදාගනිමින් සිදු කළ සංගණනයකට අනුව (Berkeley-Duke Project on the Second Economy in the U.S.S.R.) පෙනෙන්නේ ඒ වන විටද සෝවියට් සංගමයට අයත්ව තිබුණු මධ්‍යම ආසියාතික රටවල විශාල අවිධිමත් ආර්ථිකයක් තිබී ඇති බවයි. එහෙත්, සෝවියට් සංගමයට අයත් වූ බෝල්ටික් රටවල එවැනි තත්ත්වයක් තිබී නැත.

අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් ඉහත පර්යේෂණ පත්‍රිකා වල පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව අදාළ විශ්ලේෂකයින්ගේ අදහසයි. මේ සමාජවාදීන් විසින් උත්කර්ෂයට නංවන සමාජවාදයේ එකම යහපත හා අදාළව වුවද පැවතී ඇති තත්ත්වයයි.

Friday, January 6, 2017

සෝවියට් ශිෂ්‍යත්ව වලට ගෙවුවේ බටහිර රටවල්ද?


සෝවියට් ශිෂ්‍යත්වලාභීන් ගැන සාකච්ඡා වටයක් දැන් අළුතින් ඇරඹී තිබේ. මේ සමඟ, මා හිතන පරිදි, බොහෝ දෙනෙක් නොදැන සිටි කරුණක් සෝවියට් ශිෂ්‍යත්වලාභීන් දෙදෙනෙකු විසින්ම එළිදරවු කර ඇත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඇති පරිදි, "සිසුන් ගේ අධ්‍යාපනය සඳහා එක් සෝවියට් වැසියෙක් කොපෙක් එක බැගින් ගෙව්වෝය​. මේ හැර වාර්ශිකව එක්සත් ජාතීන් ගේ අරමුදලට සෑම රටක්ම යම් ගෙවීමක් කල යුතුය​. සෝවියට් දේශය ලෝකයේ බොහෝ රට වල සිසුන්ට නොමිලේ ඉගැන්වීම නිසා එක්සත් ජාතීන් ගේ අරමුදලට වාර්ශිකව ගෙවන ලද මුදලෙන් අධ්‍යාපන වියදම් කපා ඉතිරිය පමණක් ගෙව්වේය​."

අජිත් ධර්ම විසින් මේ කරුණ නැවත තහවුරු කරයි.


"එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. "

"ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත."

"දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි."

"මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ."


නිල ලේඛණ කිසිවක් දැක නැති බැවින් මේ කතාව ඇත්තක්දැයි මා ස්ථිරවම දන්නේ නැත. එහෙත්, කතාව ඇත්තනම් එයින් පෙනෙන්නේ සෝවියට් ශිෂ්‍යත්ව දීම හරහා සෝවියට් රජය විසින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාගෙන ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන බිහි කෙරුණේ නැවතත් එවැනි විනාශකාරී "තෙවන ලෝක යුද්ධයක්" ඇති වීම වලක්වා ගැනීමේ අරමුණිනි. මේ සංවිධාන පිලිබඳ කවර විවේචන තිබුණත් ඒ මූලික අරමුණ ඇත්තටම ඉටුවූ බව බොරුවක් නොවේ.

අජිත් ධර්ම හා රුවන් ජයතුංග විසින් සඳහන් කර ඇති පරිදිම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල වියදම් නිශ්චිත ක්‍රමවේදයකට සාමාජික රටවල් අතර බෙදාහැරේ. වඩා විශාල ආර්ථිකයක් තිබීම හා වැඩි ජනගහණයක් තිබීම ගෙවිය යුතු මුදල වැඩිවීමට හේතුවකි. ලංකාව විසින්ද මේ මුළු වියදමින් 0.25%ක් ගෙවිය යුතුය.

අජිත් හා රුවන් කියා ඇති කරුණ නිවැරදිනම් ඒ කාලයේ සෝවියට් දේශය විසින් කර ඇත්තේ ඔවුන් ලබා දුන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වල වියදම ඔවුන් විසින් ගෙවිය යුතුව තිබුණු ඉහත වියදමෙන් අඩුකරගැනීමයි. මේ අනුව, මෙම ශිෂ්‍යත්ව සඳහා සෝවියට් දේශයට අමතර වියදමක් දරන්නට සිදු වී නොමැත!

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටි මහා බලවතුන්ගෙන් අයෙක් වන සෝවියට් දේශයට මෙවැනි ඉල්ලීමක් අනුමත කර ගැනීම අපහසු නොවන්නට ඇත. කවර ආකාරයකින් හෝ කිසියම් රටක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන මුදල් ප්‍රමාණය අඩු වූ විට ඒ අඩුව ඉතිරි රටවල් අතර බෙදී යයි. මේ අනුව, ලංකාව ඇතුළු අනෙකුත් සියළු රටවල් විසින් ගෙවිය යුතු මුදල ඉහළ යයි.

සෝවියට් ශිෂ්‍යත්ව දීමේ මෙන්ම සෝවියට් පොත් අඩු මිලට ලබා දීමේද අරමුණ වුණේ එවකට සෝවියට් දේශයේ පැවති දේශපාලන ක්‍රමය හා සෝවියට් සංස්කෘතිය එවකට තෙවන ලෝකයේ රටවල් ලෙස හැඳින්වුණු ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකානු රටවල් කරා ව්‍යාප්ත කිරීම බව නොරහසකි. මේ වන විට බටහිර රටවලට සංක්‍රමණය වී සිටින ඇතැම් සෝවියට් ශිෂ්‍යත්වලාභීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ අරමුණ ඉටු නොකරමින් සෝවියට් ක්‍රමය විවේචනය කරන බව කෙනෙකුට කියන්නට පුළුවන. සෝවියට් අත්දැකීම් ඇති අය තමන් එවකට එහි පැවති සමාජ ක්‍රමය තේරුම්ගත් ආකාරයට එය එහි ඇතැම් අංග ඇගයීමත්, වෙනත් අංග විචේචනය කිරීමත් කරති. මෙහි වරදක් නැත. එය පුද්ගල නිදහසයි. එහෙත්, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වුණේ දේශපාලනික අරමුණු සහිතව යන කරුණ එයින් නිශේධනය නොවේ. මේ අනුව, මේ ශිෂ්‍යත්ව ලබා දීම හරහා සෝවියට් රජය වාසියක් ලැබුවේය.

සෝවියට් රජයේ අරමුණු කුමක් වුවත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලැබූ මෙන්ම අඩු මිලට පොත් කියවන්නට ලැබුණු ලංකාව වැනි එවකට තෙවන ලෝකය ලෙස හැඳින්වුණු රටවල ජනතාවටද මෙයින් නරකක් වුණේ නැත. ලංකාවේ සරසවියක තමන්ට අවශ්‍ය  පාඨමාලාවකට ඇතුලත්වීමේ සුදුසුකම් නොලැබූ හෝ කිසිම පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ බොහෝ දෙනෙකුට මේ ශිෂ්‍යත්ව නිසා විකල්ප අවස්ථාවක් ලැබුණු අතර ඒ හරහා බොහෝ දෙනෙකුට ජීවිත සාර්ථක කරගන්නට ලැබුණේය. සෝවියට් රජයේ අරමුණ කුමක් වුවත්, ශිෂ්‍යත්වලාභීන් නොවූ, අඩු මිලට රුසියන් පරිවර්තන පොත් කියවන්නට මෙන්ම ඇතැම් ප්‍රකාශන නොමිලේම ගෙන්වා ගන්නට ඉඩ ලැබුණු, මා වැනි බොහෝ දෙනෙකුටද හොඳක් මිස නරකක් වුණේ නැත.

සෝවියට් ශිෂ්‍යත්ව වල වියදම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු මුදලින් අඩු කරගත්තේනම් එම බරෙන් කොටසක් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් මතත් වැටෙන්නට ඇති නමුත් මෙම ශිෂ්‍යත්ව හරහා එම රටවලට ලැබුණු වාසිය ඊට වඩා වැඩි විය යුතුය. එසේනම්, සෝවියට් ශිෂ්‍යත්ව වලින් එම ශිෂ්‍යත්ව පිරිනැමූ සෝවියට් රජයට මෙන්ම ශිෂ්‍යත්ව ලැබූ තුන්වන ලෝකයේ රටවලටද ශුද්ධ අලාභයක් සිදු වී නොමැත.

එසේනම්, මේ ශිෂ්‍යත්ව වල වියදම ඇත්තටම වැටී ඇත්තේ එමඟින් කිසිදු වාසියක් නොලබමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු කෝටා මුදල වැඩි කරගත් පළමුවන ලෝකයේ රටවල කරපිටද?


(Image: http://www.cnn.com/WORLD/9707/26/russia.university/link.university.jpg)

Sunday, September 13, 2015

සෝවියට් වරුන් විසින් ඝාතනය කෙරුණු සිංහල ලේඛකයෝ


සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම රුසියන් මෙන්ම සෝවියට් පොත් වල සිංහල පරිවර්තන අපට අඩු මිලට ලැබුණේය. මේ පොත් පෞද්ගලිකව මට ලැබුණු වාසියකි. වෙනත් පොතක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදලට මට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගත හැකි විය. මෙය මගේ පොත් රාක්කය පුරවා ගැනීම පහසු කළේය.

සෝවියට් පොත් අඩු මිලට විකිණීමට හැකි වූයේ ඔවුන්ගේ නිෂ්පාදන තාක්ෂනය දියුණු, අඩු වියදම් එකක් වූ නිසාමයැයි මා සිතන්නේ නැත. එය තරමක් දුරට එසේ විය හැකි වුවත් ප්‍රවාහන වියදම්ද සැලකූ පසු මේ පොත් බොහොමයක් වැයකළ පිරිවැයටත් වඩා අඩුවෙන් මිල කෙරී තිබුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එසේනම් මේ වියදම යම් කිසිවෙකු විසින් දැරිය යුතුය.

මා සෝවියට් පොතක් අඩු මිලට ලබා ගන්නා හැම විටකම සිදුවූයේ එහි 'නියම' මිලෙන් කොටසක් වෙනත් අයෙකු විසින් දැරීමයි. මෙහිදී මේ පිරිවැය දැරුවේ සෝවියට් දේශයේ සාමාන්‍ය මහජනතාවයි. මෙහිදී සිදුවුනේ තිලකේ හෝ රසික ඔවුන්ගේ පොතක් මිතුරෙකුට තෑගි කරන විට සිදුවන දෙයට සම්පුර්ණයෙන්ම නොවෙතත් තරමක් සමාන දෙයකි. මේ පොත් අපට ලැබුනේ 'සල්ලි එක්ක'ය.

රසික ඔහුහේ රුපියල් දෙසීයකට මිල කර ඇති පොතක් දන්නා කෙනෙකුට නොමිලේ දෙනවිට මේ දන්නා කෙනා රුපියල් දෙසීය ගෙවා පොත මිල දී ගැනීමත් රසික ඔහුට වෙනම රුපියල් දෙසීයක් දීමත් දෙකම එක වර සිදුවේ. මෙහිදී කාර්යක්ෂමතා හානියක් සිදුවිය හැකිය. රසිකට දෙසීයක පාඩුවක් වෙද්දී දන්නා කෙනාට ලැබෙන වාසිය දෙසීයට අඩු විය හැකිය. දෙසීයේ පොත රසික වෙනත් අයෙකුට තුන්සීයකට විකිණුවහොත්, පොත මිල දී ගන්නා තැනැත්තා එය කරන්නේ ස්වේච්ඡාවෙන්නම් දෙදෙනාටම වෙන්නේ වාසියකි.

'නියම' මිල රුපියල් දහයක් විය යුතු බරීස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්හි සිංහල පරිවර්තනය මා විසින් රුපියල් පහකට මිල දී ගන්නා විට උස්බෙකිස්තානයේ ඉවාන්ලාට සහ සයිබීරියාවේ ඇනාලාට ඉතිරි රුපියල් පහ ගෙවන්නට සිදුවේ. සෝවියට් රාජ්‍යය මඟින් ඉටු කර ඇත්තේ එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය නොවිය හැකි බව මුඛ්‍ය කරුණට අදාල නොවන නිසා අමතක කළහොත් ඔවුන් මේ පිරිවැය කැමැත්තෙන්ම දරන්නේ ඉන්දියානු සාගරය මැද කුඩා දුපතක ජීවත් වන නොදන්නා කොලු ගැටයෙකු මේ පොත කියවනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන නිසාය. රසික දන්නා කෙනෙකුට ඔහුගේ පොතක් තෑගි කරන්නේත් මේ හේතුව නිසාය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්කොට් සහ හෙදර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බණ්ඩාරවෙලදී නොමිලේ බෙදාහරින ආගමික ප්‍රකාශන වල පිරිවැය දරන්නේත්, කොටුව දුම්රියපල ඉදිරිපිට 'කම්කරු පුවත්' විකුණන විකොස පූර්ණකාලිකයෙකු අව්වේ කට්ට කන්නේත්, මා පාතරාසයවත් නොගෙන මේ බ්ලොග් කටුව කොටන්නේත් එකම හේතුවකටය. අපිට අවශ්‍ය දේවල් කියවීමට වෙනත් අයව පෙළඹවීමෙන් අපට සතුටක් ලැබේ.

වෙනත් යමෙකුට කියවීම සඳහා මාව පෙළඹවීමට ඇවැසි වී මගේ වියදමින් කොටසක් එවැනි අයෙකු දරද්දී මගේ කියවීමේ අවශ්‍යතාව ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සමඟ සම්පාත වූ විට මට ලැබෙන්නේ විශාල වාසියකි. රසිකගේ පොත කීයක් හෝ දී කියවීමට බලාගෙන ඉන්නා කෙනෙකුට ඔහුගෙන් පොතක් තෑගී ලැබුණොත් සිදුවන්නේ මෙවැන්නකි. (එතරම් යෝග්‍ය විහිළුවක් නොවුවත්) එවිට සිදුවන්නේ සරසවියේ අවසාන වසරේ සිසුවියකගෙන් වෙලාව ඇසූ විට වෙන දෙයමය. මෙහි ඇති ප්‍රශ්නය අවශ්‍යතා සම්පාත වන බව මෙසේ තහවුරු කර ගත නොහැකි වීමයි. නොමිලේ බෙදන ආගමික ප්‍රචාරක පත්‍රිකා කුණු කූඩ වලට යන්නේ මේ නිසාය.

මගේ ගැටවර වියේදී අඩුමිලට වුවත් මා බොහෝ විට මිලදී ගත්තේ මා කැමති සෝවියට් පොත්ය. එහෙත්, මෙය හැම විටම ඒ අයුරින්ම සිදුවුණේ නැත. මා ප්‍රාග්ධනය පොත නොකියවූයේ ඒ නිසාය. මෙහිදී ඒ වෙනුවෙන් පිරිවැය දැරූ ඉවාන්ගේ සහ ඇනාගේ අරමුණ ඉටු වී නැත.

කෙසේ වුවද සමස්තයක් වශයෙන් සෝවියට් පොත් සහනාධාර වලින් මට මෙන්ම වෙනත් බොහෝ අයට යම් වාසියක් සැලසෙන්නට ඇත. එහෙත්, මෙසේ හොඳ ලෙස පෙනෙන බොහෝ දේ වල වෙනත් පැතිද තිබේ.

වෙනත් පොතක් වෙනුවට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගැනීම මට හොඳ විකල්පයක් විය. එහෙත් මෙසේ සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගන්නා හැම විටකම වෙනත් සිංහල පොතක් මිල දී ගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණේය. ඒ සමඟම පොතක් විකුණාගැනීමේ අවස්ථාව සිංහල ලේඛකයෙකුට නැති වී ගියේය. මේ අයුරින් සෝවියට් පොත් අඩුමිලට දීමෙන් සෝවියට් නොවන පොත් වාරණයක්ද අනියමින් ක්‍රියාත්මක කෙරුණේය.

මේ කාලයේදී විකිණුනු සෝවියට් පොත් ප්‍රමාණය සහ සිංහල පොත් වෙළඳපොලේ ඇති ආකෘතිමය සීමාවන් සැලකූ විට මල්වර වන්නට සිටි සිංහල ලේඛකයින් කොපමණ ප්‍රමාණයක් ලාබෙට විකිණුනු සෝවියට් පොත් වලට යටවී තිඹිරිගෙයිම මියගියේදැයි සොයන්නටනම් කාලය යොදවා පර්යේෂණයක්ම කළ යුතුය.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...