වෙබ් ලිපිනය:

Saturday, June 26, 2021

ජාතිකවාදී විකල්පය


ධනවාදයට හා මාක්ස්වාදයට විකල්පයක් ලෙස ජාතිකවාදය හඳුනා ගන්නා ගොඩක් අය ඉන්නවා. මේ තුන්-මුළු විසංයෝජනය ලෝකය පුරා ව්‍යාප්ත ජනප්‍රිය අදහසක්. ඔය අදහස ලෝකයට ගෙන ගිය ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. එහෙත් ජාතිකවාදය දෙස මම බලන්නේ මේ ආකාරයේ තුන්-මුළු ආකෘතියක් ඇසුරෙන් නෙමෙයි. ඒ ඇයි කියා මම මීට පෙරත් විස්තර කර තිබෙනවා. තව දුරටත් පැහැදිලි කරන්නම්. 

කොහොම වුනත්, තුන්-මුළු ආකෘතියත් මගේ ආකෘතිය වගේම තවත් ආකෘතියක් නිසා වෙනත් අය ධනවාදය, මාක්ස්වාදය හා ජාතිකවාදය එකම ගැටලුවකට ලබා දෙන විසඳුම් තුනක් සේ හඳුනා ගැනීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. වෙනත් අය ගැටලුව සේ හඳුනා ගන්නේම මම අවධානය යොමු කරන ගැටලුව නොවෙන්න පුළුවන්.

මගේ ලිපි මාලාව හරහා ධනවාදය හා මාක්ස්වාදය සංසන්දනය කිරීමේදී මම අවධානය යොමු කළ ගැටලුව වූයේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. මේ ගැටලුව ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ගැටළුව ලෙස හැඳින්විය හැකියි. සියලුම මිනිසුන්ගේ අවශ්‍යතා ඉක්මවන සම්පත් ප්‍රමාණයක් ඔවුන් හැම දෙනෙකු සතුවම තිබෙනවානම් ආර්ථික විද්‍යාඥයෙකුට කරන්න රස්සාවක් නැහැ. ආර්ථික විද්‍යාව කියා විෂයයක් අවශ්‍ය වන්නේත් නැහැ. අප ජිවත් වන ලෝකය එවැනි යුතෝපියාවක් නෙමෙයි. 

කරුණක් ලෙස ගත්තොත්, අප ජිවත් වන ලෝකයේ බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් ඇති අය ඇත්නම් ඒ ඉතා කලාතුරකින්. මාක්ස්වාදය ඇතුළේ වගේම පොදුවේ සමාජවාදී අදහස් විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දකින්නේ සම්පත් සමානව හෝ වඩා සමානව බෙදා ගැනීමයි. එයින් වෙනස්ව ධනවාදය විසින් සම්පත්, එම සම්පත් නිර්මාණය කරන අයගේ නිදහස් කැමැත්ත අනුව ප්‍රයෝජනයට ගැනීම යෝජනා කරනවා.

ධනවාදී පරමාදර්ශය තුළ මිනිස්සු කොටස් වලට බෙදා ඔවුන්ට වෙනස් ලෙස සැලකීමක් යෝජනා කෙරෙන්නේ නැහැ. හැම මිනිහෙක්ම නිදහස් කැමැත්තක් තිබෙන මිනිහෙක්. මේ අදහසේ සීමාවන් ගැන පෙර කතා කළා. ඒ සීමාවන්ට යටත්ව, නිදහස් මිනිස්සු හැමෝම සමානයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය පටන් ගන්නේම මිනිස්සු උපදින ආකාරය අනුව කුල වලට වර්ග කරලා. සියලුම යහපත් ලක්ෂණ තිබෙන්නේ උපතින් ප්‍රාග්ධනය අහිමි නිර්ධන පංතිකයින්ට. උපතින් ප්‍රාග්ධනය හිමි අය සියලුම නරක එකතු වී හැදුනු පිරිසක්. ඔය කණ්ඩායම් දෙකටම දමන්න බැරි සුළු ධනේශ්වර ආදී අතරමැදි කුල ගණනාවක්ද තියෙනවා. 

ප්‍රාග්ධනය හිමි අය සතු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය ඒ අයගෙන් උදුරා ගෙන එතෙක් ප්‍රාග්ධනය අහිමිව සිටි නිර්ධන පංතිකයින් අතරින් තෝරාගත් පිරිසකගේ අතට ගිය වහාම මැජික් එකකින් වගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. ගමේ සිල්ලර කඩයක්වත් හරියකට පවත්වා ගෙන ගොස් නැති අය "අපිට බලය දෙන්න. එවිට අපි කරල පෙන්වන්නම්!" කියලා ලොරි ටෝක් දෙන එකේ දාර්ශනික පදනම ඕකයි.

ඔය විදිහට ලොරි ටෝක් දීලා බලය ගන්න අය දිගින් දිගටම කරලා තියෙන්නේ කුමක්ද කියා එකින් එක නිදර්ශන සපයන්න අවශ්‍ය වන්නේ නැහැ. එසේ තිබියදීත්, උපතින් ප්‍රාග්ධනය හිමි අයගේ නිදහස් කැමැත්ත පිළිගන්න බැරි ගොඩක් අයට එසේ උපතින් ප්‍රාග්ධනය හිමි නොවූ "ජනතා නියෝජිතයෙකුගේ" නිදහස් කැමැත්ත අපහසුවකින් තොරව පිළිගන්න පුළුවන්. හැබැයි එහෙම වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට තමන්ගේ නිදහස් කැමැත්ත කැමැත්තෙන්ම යට කරන ගොඩක් අයට පසු තැවෙන්න වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ වගේ පසු තැවීමකට මුහුණ දෙන්න වෙන්නෙම, මොන විදිහට හිතා ගෙන හිටියත්, ඒ අයටත් නිදහස් කැමැත්තක් තිබෙන නිසා.

පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ වලින් ඉතාම සීමිත කොටසක් පමණක් තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ ගොඩක් අය එකතු වෙලා තමන්ගේ නිදහස් කැමැත්ත වඩා හොඳින් නියෝජනය කරනවායැයි සිතන ජනතා නියෝජිතයෙක්ව තෝරා පත් කර ගන්නවා. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ජනතා නියෝජිතයාගේ නිදහස් කැමැත්ත. එය තමන්ගේ නිදහස් කැමැත්ත නොවන බව ඉතා ඉක්මණින් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නය විසඳා ගන්නේ නියෝජිතයාව මාරු කරලා. අන්තිමට හිටපු තැනමයි. ප්‍රශ්නයට හේතුවම තමන්ගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට යට කිරීම නිසා ඔය ක්‍රමයට කවදාවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔය විදිහට දිගටම ප්‍රශ්නය සමඟ ජිවත් වීමත් නිදහස් කැමැත්තක්ම තමයි!

ගොඩක් අයගේ නිදහස් කැමැත්ත ඔවුන්ගේම නිදහස් කැමැත්තට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේ ගොඩක් අයට තමන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නමුත් අනෙක් අයගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න දෙන්න අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය දේ ලියන්න නිදහස අවශ්‍යයි. එයින් එහාට ගිහින් තමන්ට අවශ්‍ය දේ වෙනත් අය විසින්ද ලියන්න අවශ්‍යයි!

ලංකාව ඇතුළේ මිනිසුන්ගේ නිදහස් කැමැත්තට එරෙහිව සමාජවාදී දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන්නේ ඔය විදිහට. ලංකාවේ ප්‍රශ්නය මිනිසුන්ට නිදහස් කැමැත්තක් නැතිකම නෙමෙයි. ඒක කොහොමටත් නැති නොවන, නැති කළ නොහැකි දෙයක්. ඒ වගේම හැමෝටම අවශ්‍ය දෙයක්. ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් කරලා තියෙන්නේ මිනිස්සු අනෙකාගේ නිදහස් කැමැත්තට ගරු කිරීම වලක්වන එකයි. අනුන් වෙනුවෙන් හිතීමේ අයිතිය තනි කැමැත්තෙන් තමන් වෙත පවරාගෙන තිබෙන, නිදහස් කැමැත්තක් නැතැයි කියන මිනිස්සුත් අප ලිවිය යුතු දේ හා නොලිවිය යුතු දේ ගැන අපට උපදෙස් දෙනවා. ඒ කාගේ නිදහස් කැමැත්තද?

කිසියම් සමාජයක ජිවත්වන මිනිසුන්ට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි කර ගත හැක්කේ අනෙක් අයගේ නිදහස් කැමැත්තටද ගරු කිරීමෙන් පමණයි. එවැනි පොදු එකඟතාවයක් නැතිව සමතුලිතතාවයක් ඇති වන්නේ නැහැ. තෝරාගත් ජනතා නියෝජිතයෙකු වෙත බොහෝ දෙනෙකුගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ බලය කැමැත්තෙන් පවරන බොහෝ අය එසේ කරන්නේ තමන්ගේ වාසියට අනෙක් අයගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ අරමුණින්. 

මෙහිදී ජනතා නියෝජිතයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකු විසින් එම ජනතා නියෝජිතයා විසින් අනෙක් අයගේ නිදහස් කැමැත්තට එරෙහිව තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අපේක්ෂාවම අසාධාරණ අපේක්ෂාවක්. ඒ වගේම කිසි විටෙකත් ඉටු වීමේ ඉඩක් නැති අපේක්ෂාවක්. ජනතා නියෝජිතයෙකුට කවදාවත් ඔහුව හෝ ඇයව තෝරාපත් කරගනු ලැබූ සියල්ලන්ම සතුටු කිරීමේ හැකියාවක් නැහැ. ඒ එකිනෙකාගේ අපේක්ෂාවන් එකිනෙකට වෙනස්. ඒ නිසා ප්‍රායෝගිකව සිදු වන්නේ ඔහුට හෝ ඇයට වඩා වැදගත් සුළු පිරිසක් සතුටු කරනු ලැබීමයි. ඒ සුළු පිරිසගේ පමණක් නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමයි. 

සම්පත් පාලනය කිරීම කියන කරුණට ආවොත් ධනවාදය තුළ සම්පත් පාලනය වන්නේ එම සම්පත් නිර්මාණය කරන "අයිතිකරුවන්" විසින්. කිසියම් මොහොතක මේ සම්පත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. මෙයට විකල්පයක් ලෙස දේශපාලන බලය යොදවා එම සම්පත් වල පාලනය වෙනත් පිරිසක් වෙත සම්ප්‍රේෂණය කළ විට සිදුවන එකම වෙනස සම්පත් කළමනාකරණය කිරීම ඒ කටයුත්ත සඳහා පළපුරුද්දක් නැති අය අතට යාම පමණයි. සම්පත් තවදුරටත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම නොවැලැක්විය හැකියි.

සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය පැත්තකින් තියා බලය බෙදා හැරීමේ ප්‍රශ්නය, එනම් දේශපාලන විද්‍යාඥයෙකුගේ ප්‍රශ්නය, වෙත අවධානය යොමු කළොත්, සම්පත් මෙන්ම බලයද එකම පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීමට සාපේක්ෂව කණ්ඩායම් දෙකක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම වඩා හොඳ නැද්ද?

මේ වගේ ප්‍රශ්නයකට සියල්ලන්ටම එකඟ විය හැකි පිළිතුරක් නැතත්, සමාජවාදය විසින් යෝජනා කරන්නේ එය එසේ විය යුතු බවයි. එය නරක අදහසක් කියා කියන්න බැහැ. ඒ වගේම එය එසේ නොවිය යුතුයැයි ධනවාදය විසින් යෝජනා කරන්නේද නැහැ. කෙසේ වුවත්, ඉලක්කය මෙයනම් එම ඉලක්කය කරා යා හැකි වඩා කාර්යක්ෂම ක්‍රමය සමාජවාදී ක්‍රමය නෙමෙයි. ධනවාදය තුළම මෙය සිදු වෙනවා වගේම දියුණු ධනවාදයක් ඇති රටවල මෙය දැනටමත් සිදු වී තිබෙනවා. දැනටම වුවත් බොහෝ විශාල සමාගම් වල ප්‍රාග්ධන හිමියන් හා කළමණාකරුවන් කියන්නේ දෙපිරිසක්. මේ කළමණාකරුවන් වෙළඳපොළ තරඟය තුළ ඉතිරි වන දක්ෂයින් මිසක් දේශපාලන බලය මත තේරී පත්වන පිරිසක් නෙමෙයි. 

ධනවාදය ඇතුළේ කුල භේදයක් නැහැ. ඕනෑම නිදහස් මිනිසෙකුට ශ්‍රමිකයෙක්, ප්‍රාග්ධන හිමියෙක්, ව්‍යවසායකයෙක් හෝ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මොනවා කළත් අන්තිමට ලැබෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය.

ධනවාදය ගැන හා සමාජවාදය ගැන මේ ආකාරයට කතා කළත් ඔය දෙකම ක්‍රියාත්මක වන්නේ ලෝකයේ පවතින දේශපාලන බල ව්‍යුහය ඇතුළේ. එම දේශපාලන බල ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ ජාතික රාජ්‍ය මත පදනම්වයි. ජාතික රාජ්‍ය ආකෘතිය ඇතුළේ මොන විදිහකින්වත් ලෝකයේ හැම මිනිහෙක්ම සමාන වන්නේ නැහැ. ඒ නිසා අපට මේ කරුණ අමතක කරලා ධනවාදය ගැන හෝ සමාජවාදය ගැන කතා කරන්න බැහැ. මෙතෙක් කතා කළ හැම දෙයක්ම එලෙසම වලංගු වන්නේ එක්කෝ සමස්ත ලෝකයේම දේශ සීමා අහෝසි වී යාමෙන් පසුව. එසේ නැත්නම් කිසියම් රටක් සම්පූර්ණයෙන්ම දේශ සිමා වසා ලෝකයෙන් හුදෙකලා වීමෙන් පසුව. ඔය දෙකේ ව්‍යුහමය වෙනස්කමක් නැහැ. 

හැබැයි ප්‍රායෝගිකව තිබෙන්නේ ඔය තත්ත්වයන් දෙකෙන් එකක්වත් නෙමෙයි. ලෝකයේ දේශ සීමා පවතිනවා වගේම ලෝකයේ කිසිම රටක් හුදෙකලා වී නැහැ. ජාතිකවාදය ගැන කතා කළ යුත්තේ මේ පසු බිමේ සිටයි. ජාතිකවාදයට කෙනෙකු පක්ෂ වුවත් නැතත් ලෝකයේ හැම රටකම යම් තරමකින් ජාතිකවාදයක් ක්‍රියාත්මක වෙනවා. ජාතිකවාදය හා ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රශ්නය අතර සම්බන්ධය කුමක්ද? 

ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නය වන්නේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. එම ප්‍රශ්නය සඳහා ධනවාදී හා සමාජවාදී පිළිතුරු මා විස්තර කර තිබෙනවා. 

ලෝකයේ දේශ සීමා නැත්නම් හෝ දේශ සීමා මුළුමනින්ම වැසී ඇත්නම් මේ ප්‍රශ්නයට ඉහත විසඳුම් දෙකෙන් එකක් ප්‍රමාණවත්. ධනවාදය තුළ සියලු මිනිසුන් සමානයි. මාක්ස්වාදය තුළ මිනිසුන් උපතින්ම කිසියම් කුලයකට අයත් වන නමුත් එම බෙදීම් හා ජාතික රාජ්‍යයන්හි දේශ සීමා අතර කිසිදු සම්බන්ධයක් නැහැ. 

එහෙත්, පවතින ලෝක දේශපාලන බල ව්‍යුහය තුළ ඕනෑම මිනිහෙක් ඉපදෙන්නේ කිසියම් ජාතික රාජ්‍යයක් හා බැඳුනු අනන්‍යතාවයක් සමඟයි. හැම මිනිහෙක්ම තමන් ජිවත් වන රටේ සමාජ දේශපාලන සම්මුතීන්ට යටත් වන නමුත් රටෙන් බාහිරව ජිවත් වන විදේශිකයින්ට එවැනි බැඳීමක් නැහැ. ඔවුන්ගේ බැඳීම තිබෙන්නේ වෙනත් සමාජ දේශපාලන සම්මුතියක් සමඟයි. කිසියම් රටක ආර්ථික-දේශපාලන ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් එම රටේ ජිවත් වන්නන් හා ජිවත් නොවන්නන් සමාන සේ සලකා කටයුතු කළ හැකිද? ලෝකයේ කිසිදු රටක් කිසිදු අවස්ථාවක එසේ කටයුතු කර නැහැ. 

දළ අදහසක් ලෙස ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ කිසියම් රටක ජිවත් වන්නන් එම රටේ ජිවත් නොවන්නන්ගෙන් වෙනස් පිරිසක් සේ සලකා කටයුතු කිරීමයි. මෙය කරන හෝ කරන්නට අපේක්ෂා කරන ආකාරය අනුව විවිධ ජාතිකවාද තිබෙනවා. එකිනෙකින් වෙනස් විවිධ ජාතිකවාද විශාල ප්‍රමාණයක් මිස ජාතිකවාදය ලෙස හැඳින්විය හැකි එක් තනි පරමාදර්ශයක් නැහැ. ඒ නිසා, ජාතිකවාදය අර්ථදැක්වීමට පහසුම ක්‍රමය එහි ප්‍රතිවිරුද්ධ අන්තය පරමාදර්ශයක් සේ සැලකීමයි.

ජාතිකවාදය මෙන් නොව ජාත්‍යන්තරවාදය පහසුවෙන් අර්ථදැක්විය හැකියි. ජාත්‍යන්තරවාදියෙකුට අනුව දේශ සීමා වලින් වෙන් වූ පමණින් මිනිසුන් වෙනස් වන්නේ නැහැ. පරමාදර්ශ අනුව බැලුවොත් ධනවාදය වගේම මාක්ස්වාදයද ස්වභාවයෙන්ම ජාත්‍යන්තරවාදීයි. ආර්ථික ක්‍රමයක් සේ ධනවාදය පිළිගන්නා ලිබරල් ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ සියලුම මිනිසුන් සමානයි. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ මිනිසුන් ඔවුන් ඉපදුනු සමාජ තත්ත්වය අනුව විවිධ කුල වලට බෙදිය හැකි නමුත් ජීවත් වන ස්ථානය හෝ දේශ සීමා අනුව මිනිසුන් අසමාන වන්නේ නැහැ.

පරමාදර්ශී ජාත්‍යන්තරවාදය තුළ දේශ සීමා නැතත් ප්‍රායෝගික යථාර්තය තුළ දේශ සීමා තිබෙනවා. මාක්ස්වාදය විසින් යෝජනා කළ නිර්ධන පංති ආඥාදායකත්වය තුළ බලය ලබා ගන්නේ ලෝක කම්කරුවන් විසින් මිසක් රුසියාවේ කම්කරුවන් විසින් නෙමෙයි. එහෙත් ධනවාදී වෙළඳපොළ වඩා දියුණු වී තිබුණු බටහිර රටවල සෝවියට් පන්නයේ සමාජවාදී විප්ලවයක් සිදු වුනේ නැහැ. තවත් පරිවාර රටවල් එකතු කරගෙන සමාජවාදී රාජ්‍යයක් හදපු සෝවියට් දේශයට ඔවුන්ගේ පුරෝගාමී සමාජවාදී රාජ්‍යය ලෝකය පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය වුනත් බටහිර රටවල බහුතරයක් මිනිස්සුන්ට එවැන්නක කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මේ තත්ත්වයත් එක්ක ලෝකයේ බල කඳවුරු දෙකක් හැදුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජවාදී කඳවුරේ රටවල පමණක් නොව ප්‍රතිවිරුද්ධ ධනවාදී කඳවුරේ රටවලද රජයයන් වඩවඩා ශක්තිමත් වුනා.

මාක්ස්වාදීන්ගේ අවසන් ඉලක්කය රාජ්‍යයන් අහෝසි වූ කොමියුනිස්ට් ක්‍රමයක් වුවත් ඒ කරා යන මාර්ගය වැටී තිබෙන්නේ රජය වෙත සියලු සම්පත් පාලනය කිරීමේ අයිතිය ලබා දීම හරහා. සමාජවාදී ලෝක ආණ්ඩුවක් වෙනුවට ජාතික සමාජවාදයක් බිහි වූ වහාම, ජාතික රාජ්‍යය මොන නමකින් හැඳින්වුවත්, කොයි තරම් විශාල වුනත්, එම රාජ්‍යයේ සීමාවෙන් පිටත සිටින බාහිර සතුරාට විරුද්ධව රජය ශක්තිමත් කරන්න සිදු වෙනවා. සම්පත් සියල්ලේ පාලනය තිබෙන්නේ රජය සතුව නිසා මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය වන්නේ මාක්ස්වාදය විසින් මුලින් ඉලක්ක කළ අරමුණට වඩා වෙනස් දෙයක්. 

චීනය වැනි රටකට සාපේක්ෂව සෝවියට් දේශය පෙනී සිටියේ ජාත්‍යන්තර මාක්ස්වාදයක් වෙනුවෙන් වුවත්, සෝවියට් දේශයද  එහි ආකෘතිය අනුවම ජාතික සමාජවාදී රාජ්‍යයක්. කිසිම රටකට කළ නොහැකි, තම රටේ වැසියන් හා අනෙකුත් අය සමානයන් සේ සැලකීම සෝවියට් දේශයට කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඔවුන් එසේ කරන බව පෙන්වන්න පුළුවන් තරම් උත්සාහ කළා පමණයි. මේ සීමිත උත්සාහය නිසා වුවත් සෝවියට් වැසියන්ට සිදු වුනේ අවාසියක්. 

යම් හෙයකින් ලෝකය පුරාම එකවර සමාජවාදී විප්ලවයක් සිදු වී දේශ සීමා සියල්ල අහෝසි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි බිම් මට්ටමේ සිට පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගී රජය ක්‍රමයෙන් අහෝසි වී යයිද?  මෙවැන්නක් සිදුවිය හැකි යාන්ත්‍රණය කුමක්ද කියා එතරම් පැහැදිලි නැහැ.

කෙසේ වුවත් ලිබරල් ජාත්‍යන්තරවාදී පරමාදර්ශය තුළ ක්‍රමක්‍රමයෙන් දේශසීමා වල වැදගත්කම අහෝසි වී යන ආකාරයනම් පැහැදිලියි. ගනුදෙනු හරහා ලාබයම හොයන කෙනෙකුට ගනුදෙනුවේ පාර්ශ්වකරුගේ ජාතිකත්වයෙන් වැඩක් නැහැ. ඒ නිසා, ලාබය ඉලක්ක කර ගනිමින් වෙළඳපොළ පුළුල් වන්නේනම් දේශ සීමා වල වැදගත්කම ක්‍රමයෙන් නැති වී යනවා.

මෙවැන්නක් විය හැකි දෙයක් වුවත් ඇත්තටම සිදු වන්නේ මෙවැන්නක් නොවන බව අපට පෙනෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත අතර වෙනස්කම් ක්‍රමක්‍රමයෙන් දිය වී යනවා වගේම ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් අතර දේශසීමා බොඳ වී යනවා. යුරෝපා සංගමයේ රටවල් අතරත් මෙවැන්නක් සිදු වනවා. එහෙත් ඇමරිකාව හෝ යුරෝපා සංගමය තනි ප්‍රදේශයක් ලෙස ගත්තොත් සිදු වන්නේ දේශ සීමා වඩා ශක්තිමත් වීමයි. ඇමරිකානු ෆෙඩරල් රජය එන්න එන්නම ශක්තිමත් වී තිබෙනවා මිස දුර්වල වී නැහැ.

කිසිසේත්ම එකම හේතුව නොවුනත් ඇමරිකන් ෆෙඩරල් රජය මේ තරමට ශක්තිමත් වීමටද ලෝක සමාජවාදී ව්‍යාපාරය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. බාහිර සතුරෙකු පෙනෙන්නට ඇති හැම විටෙකම රජයයන් ශක්තිමත් වෙනවා. යුරෝපා සංගමය වැනි කලාපීය එකතු වීම් දකින්නට ඇතත් ලෝක දේශපාලනය තුළ ජාතික රාජ්‍යයන්ගේ භූමිකාව ඉතා ප්‍රබලයි. 

මා ලිපි ගණනාවකින් කතා කළ ධනවාදය, සමාජවාදය හෝ එහි කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන්නේ මේ එක් එක් ජාතික රාජ්‍යයේ සීමාව තුළයි. එවැනි සීමාවක් තුළ සිට මගේ මුල් ප්‍රශ්නය ඇසූ විට එයට යෝජනා වී තිබෙන පිළිතුරු තිබෙන්නේ දෙකක් පමණයි. ඒ ධනවාදී පරමාදර්ශය හා සමාජවාදී පරමාදර්ශයයි. කවර හෝ ජාතිකවාදයක් විසින් කරන්නේ ධනවාදී පරමාදර්ශය, සමාජවාදී පරමාදර්ශය හෝ මේ දෙකේ කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන භූගෝලීය සීමාව වටා තිබෙන තාප්පයේ ශක්තිය තීරණය කරන එකයි. ඒ හැර ලංකාවේ හෝ ලෝකයේ කිසිදු ජාතිකවාදියෙකු විසින් ධනවාදී පරමාදර්ශයෙන් හා සමාජවාදී පරමාදර්ශයෙන් (හෝ මේ දෙකේ මිශ්‍රණයකින්) වෙනස් තෙවන විකල්පයක් මෙතෙක් යෝජනා කර නැහැ.

තේ බීම හා කිරි බීම විකල්ප දෙකක්. අවශ්‍යනම් තේ සහ කිරි කවර හෝ අනුපාතයකින් මිශ්‍ර කරගෙන බොන්න පුළුවන්. ධනවාදය හා සමාජවාදය තේ සහ කිරි සේ සැලකුවොත් ජාතිකවාදය මෙයට එකතු කරන සීනි ප්‍රමාණය වැනි දෙයක්. එකතු කරන සීනි ප්‍රමාණය කොපමණ වුවත්, සීනි ඇත්තේම නැතත්, බොන්න වෙන්නේ තේ, කිරි හෝ මේ දෙකේ මිශ්‍රණයක්. ඒ නිසා, ජාතිකවාදය ධනවාදයට හා සමාජවාදයට එරෙහි තෙවන විකල්පයක් සේ සලකන්න අමාරුයි. එහෙම සැලකිය හැක්කේ රණවරා හෝ බෙලිමල් වැනි වෙනම දෙයක්. කිසිදු ජාතිකවාදියෙකු විසින් එවැන්නක් යෝජනා කර නැහැ.

මෙයින් අදහස් වන්නේ මා විසින් විස්තර කළ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර කෙරෙහි බලපාන ජාතිකවාදයේ භූමිකාවක් නැති බව නෙමෙයි. එවැනි භූමිකාවක් තිබෙනවා වගේම එය ඉතා ප්‍රබලයි. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

Sunday, June 20, 2021

මඩේ පිපුණු පියුම්!


ආර්ථික විද්‍යාවේ මූලික ගැටලුව වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. ධනවාදී පරමාදර්ශය සහ මාක්ස්වාදී සමාජවාදී පරමාදර්ශය මේ ප්‍රශ්නයට විකල්ප පිළිතුරු දෙකක් සපයනවා. මේ ප්‍රශ්නයට සමාන්තරව පවතින තවත් ප්‍රශ්නයක් වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර බලය බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. මෙය දේශපාලන විද්‍යාවේ මූලික ගැටලුව ලෙස හැඳින්විය හැකියි.

සම්පත් බෙදීමේ ගැටලුව සහ බලය බෙදීමේ ගැටලුව අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙනවා. මේ සම්බන්ධයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ කොහේවත් පරමාදර්ශී ධනවාදයක් බිහි වී නැහැ. යම් හෙයකින් එවැන්නක් බිහි වූයේනම්, මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි, එහි ප්‍රතිවිරෝධතා හේතුවෙන්ම ක්‍රමය කඩා වැටෙන්නට වුවත් යම් ඉඩක් තිබුණා. 

ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මෙතෙක් ධනවාදී පරමාදර්ශය වෙත වඩාත්ම කිට්ටු වී තිබෙන්නේ බලය බෙදීමේ ගැටලුවට විසඳුමක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තෝරාගත් රටවල්. එසේ තෝරාගනු ලැබ ක්‍රියාත්මකව ඇති සහ තවමත් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය වුවද කිසි විටෙකත් එහි පරමාදර්ශී ස්වරූපයම නොවුනත්, ප්‍රජාතන්ත්‍රවාදයේ එම අසම්පූර්ණ ස්වරූපය විසින් වුවද පරමාදර්ශී ධනවාදයක නෛසර්ගික ප්‍රතිවිරෝධතා වල නිශේධනීය ප්‍රතිඵල පාලනය කිරීම උදෙසා සාධනීය කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. මේ සන්දර්භය තුළ ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස වැජඹෙනවා.

පරමාදර්ශී ධනවාදයක කාර්යක්ෂමතාවයට හේතු වන්නේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු. ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ගනුදෙනුවේ පාර්ශ්වකරුවන් සමානයින් විය යුතුයි. එහෙත්, ධනවාදය විසින් සම්පත් සමානව බෙදී යාමක් කිසිසේත්ම සහතික නොකරන නිසා ධනවාදය තුළ වැඩි සම්පත් ප්‍රමාණයක් අයිතිකර ගන්නා පිරිස් වෙත වැඩි දේශපාලන බලයක්ද සංකේන්ද්‍රනය වී ධනවාදයේ සම්මත ඔවුන්ගේ වාසියට නිර්මාණය වුවහොත් ගනුදෙනු තවදුරටත් නිදහස් ගනුදෙනු නොවනවාක් මෙන්ම ධනවාදය එහි පරමාදර්ශී තත්ත්වය කරා ප්‍රගමනය වීමද නවතිනවා. මෙය ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවක් සේ හඳුනාගත හැකියි. 

දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ධනවාදයේ ඉහත ප්‍රතිවිරෝධතාවයට ඉස්මතු වීමට තිබෙන ඉඩකඩ සිමා වෙනවා. ඒ හරහා ධනවාදය ස්වයංක්‍රීය ලෙසම අර්බුදයකට යාම වලක්වනවා. ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස ස්ථාවරව පවතින්නේ මේ හේතුව මතයි. මෙවැනි සමතුලිතතාවයක් තුළ සමාජවාදී පරමාදර්ශයටද යම් ඉඩක් ඉතිරි වෙනවා. එය කොපමණද කියන එක අවශේෂ සාධක මත තීරණය වන දෙයක්.

කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක් හා පරමාදර්ශී නොවූවත් අඩු වශයෙන් ඊට කිට්ටු සමාජවාදයක් කිසි විටෙකත් පැකේජයක් ලෙස ස්ථාවරව පැවතී නැහැ. බටහිර රටවල් තුළ දැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයන් පවත්වා ගනිමින් ධනවාදී පරමාදර්ශයෙන් ඈත් විය හැකි, එසේ නැත්නම් සමාජවාදී පරමාදර්ශය කරා යා හැකි, "ස්වභාවික" සීමාවයි. මෙයින් අදහස් වන්නේ මේ සීමාව වෙනස් නොවන ස්ථිර සීමාවක් බව නොවූවත්, එම "ස්වභාවික" සීමාව ධනවාදී පරමාදර්ශයෙන් බොහෝ ඈත් වූ සීමාවක් නෙමෙයි. 

මේ සීමාව මාක්ස්වාදය විසින් මුල සිටම හඳුනා ගන්නවා. මාක්ස්වාදය තුළ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම සහ බලහත්කාරය මත රාජ්‍ය බලය පවත්වා ගැනීම විකල්පයක් සේ යෝජනා වී තිබෙන්නේත්, සමාජවාදය වෙත යාමේදී එම විකල්පය හැම විටම ක්‍රියාත්මකව තිබෙන්නේත් ඒ නිසයි. "ස්වභාවික" සීමාව ඉක්මවා සමාජවාදී මාර්ගයේ ගමන් කර ඇති හැම විටකම මුලින්ම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් ආදේශ වීමයි. මේ ඒකාධිපතිත්වය යනු තනි පුද්ගලයෙකු නොවී කුඩා කණ්ඩායමක සාමූහිකත්වය විය හැකි වුවත් එය කිසියම් සමාජයක හැම දෙනාගේම හෝ වැඩි දෙනෙකුගේ කැමැත්තනම් නෙමෙයි. වැඩි දෙනෙකුගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමා ඒකාධිපතිත්වයක් ගොඩ නැගිය යුතු වන්නේ නැහැ. 

ප්‍රතිවිරෝධතා ගහණ මාක්ස්වාදයේ අවසන් ඉලක්කය තුළ රජය අහෝසි වී යනවා. එහෙත්, රජය අවසන් කිරීමේ මාර්ගය වැටී තිබෙන්නේ සමස්ත දේශපාලන බලය මෙන්ම සම්පත් බෙදා හැරීමේ අයිතියද රජය වෙත සංකේන්ද්‍රණය කිරීම හරහා. අපූරුම කරුණක් වන්නේ කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස මාක්ස්වාදය විසින් යෝජනා කරන නිර්ධන පංති ආඥාදායකත්වය තුළ ඉලක්ක කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම වීමයි. සැබෑ ලෝකය තුළ මෙය සිදුව ඇති ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. 

මෙතෙක් පැවති සමාජවාදී සේ හඳුනාගත හැකි කිසිදු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී නැහැ. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ මිනිස් නිදහසෙහි මූලික අංග පවා අහිමිව යාමයි. පරිකල්පනීය අදහසක් ලෙස හෝ ඒකාධිපති සමාජවාදී ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගෙන්නට ඉඩක් තිබේද?

සෛද්ධාන්තික ලෙස ගත්තොත් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් තිබෙනවා. බලය තිබෙන පිරිමියෙක් විසින් කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිර කර ගෙන දිගින් දිගටම දූෂණය කළත්, කාලයක් යද්දී ඒ කාන්තාව තමන්ගේ දූෂකයා සමඟ යම් ආකාරයක ආත්මීය බැඳීමක් ඇති කර ගන්නවා. ඒකාධිපති සමාජවාදී සමාජයක් තුළත් මෙවැන්නක් සිදු විය හැකියි.

සමාජවාදී විප්ලවයක් මෙහෙයවන්නේ සමාජයේ බහුතරයකට නොතේරෙන දෙයක් තමන්ට පමණක් තේරෙන බව හිතන සීමිත පිරිසක් විසින්. ඒ අය අතරින් ඇතැම් ගුරුකුල වල අයට අනුව, ඔවුන්ට තේරෙන දෙය අනෙක් අයට නොතේරෙන්නේ වෙනත් අය විසින් නිදහස් අදහස් සේ සලකන අදහස් සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් මිසක් ඔවුන්ගේම අදහස් නොවන නිසා. එහෙත්, මේ සීමිත පිරිසට පමණක් නිදහස් අදහස් තිබෙනවා. ඒ අය පමණක් මඩේ පිපුණු පියුම් සේ සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් වලින් මිදී නිදහස්ව සිතනවා. අනෙක් අයට එසේ කළ නොහැකි නිසා, සමාජයේ ගැලවුම්කරයින් විය හැක්කේ මේ "තෝරාගත් පිරිසටයි". ඒ නිසා, ඔවුන්ගේ ඒකාධිපතිත්වයක් යටතේ අනෙක් අයගේ නිදහස් කැමැත්ත වෙනස් කළ යුතුයි.

කොමියුනිස්ට් ප්‍රකාශනය අනුව සමාජවාදී සමාජයක එක් මූලික අංගයක් වන්නේ සියලුම මාධ්‍ය වල පාලනය රජය යටතේ මධ්‍යගත කිරීමයි. අධ්‍යාපනය ලබා දීමද රජය සතු ඒකාධිකාරයක් විය යුතුයි. මේ ක්‍රමයට කාලයක් යද්දී මිනිසුන්ගේ නිදහස් කැමැත්ත වෙනස් කළ හැකියි. මා මේ ලිපියේ අවධානය යොමු කරන ගුරුකුල වල සමාජවාදීන්ට අනුව, නිදහස් කැමැත්ත කියා කියන්නේ ඇත්තටම නිදහස් කැමැත්තක් නොවන නිසා එසේ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. ඔය වැඩේ කාලයක් තිස්සේ කරගෙන යද්දී සෛද්ධාන්තිකව රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රජයේ කැමැත්තම වෙන්න පුළුවන්. හරි මාර්ගයට ගන්නම බැරි අය සමහර විට අතුරු දහන් වෙන්න පුළුවන්. එහෙම නැතුව කොහොමද සමාජවාදය පවතිද්දීම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නේ? 

ඒකාධිපති සමාජවාදී සමාජ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී ඇති ආකාරය ගැන මෙය කියවන කවුරුත් වගේ දන්නවා. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව හරහා නිදහස් කැමැත්ත පාලනය කරන්න කොයි තරම් උත්සාහ කළත් ඒ වැඩේ කිසි විටෙකත්, කවර සමාජයකවත්, දිගුකාලීනව සාර්ථක වී නැහැ. 

අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නෙමෙයි. ජානමය වෙනස්කම් ඇතුළු භෞතික වෙනස්කම් පැත්තකින් තිබ්බත්, "මම" කියන පුද්ගලයා බිහි වෙන්නේ කිසියම් සමාජ පසුබිමක. අසූ ගණන් වල ලංකාවේ ඉපදුනු දරුවන් විශාල ප්‍රමාණයක් යුරෝපිය රටවල දරුවන් නැති යුවලවල් වලට අලෙවි කරනු ලැබුවා. පහුගිය කාලයේ මේ ඇතැම් දරුවන් ලොකු මහත් වී තමන්ගේ ජීවවිද්‍යාත්මක දෙමවුපියන් සොයා ආ අවස්ථා ගණනාවක් අපි දැක්කා. මේ අය හිතන ආකාරයත්, ලංකාවේ ජිවත් වූ ඔවුන්ගේ සොයුරු සොයුරියන් හිතන ආකාරයත් සංසන්දය කිරීම හොඳ ස්වභාවික සමාජ පරීක්ෂණයක් (natural experiment) වෙයි.

ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම වගේම එම සමාජ පසුබිමෙහි ඉන් පසුව සිදුවන වෙනස්කම්ද පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත කෙරෙහි බලපානවා. මීට පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් "සිංහලයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ" කියා කතාකතු විසින් ලියා තිබුණා. පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවිකත්වය සේ සැලකුවොත් එම ස්වභාවිකත්වය ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම සමඟ වෙනස් වෙනවා. මේ හේතුව පාදක කර ගනිමින් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවික නොවන සේ සලකා වෙනත් අයෙකුට අවශ්‍ය පරිදි එය වෙනස් කර "ස්වභාවික කිරීම" සාධාරණීකරණය කළ හැකිද?

අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නොවන බවත්, ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම නිදහස් කැමැත්ත කෙරෙහි බලපෑමක් කරන බවත් ඇත්ත. එහෙත්, එකම සමාජ පසුබිමක ඉපදෙන හා ජිවත්වන හැම දෙනෙකුගේම නිදහස් කැමැත්ත හැම විටම සමාන වන්නේ නැහැ. තේරීමක් කිරීමේ නිදහසක් ඇති හැම විටකම අපට පෙනී යන්නේ මිනිසුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වන්නේ එකම සමීකරණයකට අනුව නොවන බවයි. තමන් මඩේ පිපිණු පියුම් බව සිතා සිටින, කොහෙන් හෝ හොයා ගත් "චින්තකයෙක්ගේ" ලියුම් විවෘත නොකරම බෙදන පියුන්ලාටද එසේ සිතන්න හැකි වී තිබෙන්නේ මෙවැනි නිදහස් තේරීමක් මිනිස්සුන්ට තිබෙන නිසයි. 

Friday, June 18, 2021

ද්විපක්ෂ ක්‍රමය


කෝවිඩ් ක්‍රමයෙන් අවසන් වී නැවතත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට සමාන්තරව කළ යුතු වැඩ වට්ටෝරුව දිග් ගැසෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කෝවිඩ් කාලයේ පැත්තකට කර තිබුණු වැඩ. කොයි තරම් කාර්ය බහුල වුනත් බ්ලොග් එකත් පැත්තකටම විසි කරන්න බැහැනේ. නිහඬ කාලය දිගු වෙද්දී පාඨකයින් එකිනෙකා කරුණු විමසන්න පටන් අරන්.

ධනවාදී පරමාදර්ශය ගැන සහ සැබෑ ලෝකය ගැන අපි කතා කරමින් සිටියා. ධනවාදී පරමාදර්ශය මගින් විස්තර කෙරෙන්නේ කිසිදු නරකක් නැති යුතෝපියාවක් ගැන නෙමෙයි. එහෙත්, බොහෝ දෙනෙකු විසින් ධනවාදය සම්බන්ධව ගෙන එන ජනප්‍රිය විවේචන වලින් විස්තර කෙරෙන්නේ ධනවාදයක් නැති කමේ ප්‍රශ්න මිසක් ධනවාදයේ ප්‍රශ්න නෙමෙයි. ඒ බොහෝ ප්‍රශ්න වලට විසඳුම ධනවාදී පරමාදර්ශය කරා යාමයි. කෙසේ වුවත්, ධනවාදී පරමාදර්ශයේම ප්‍රශ්නත් තිබෙනවා. 

ධනවාදී පරමාදර්ශය අවසන් ඉලක්කය සේ ගතහොත් ඒ කරා යන මාර්ගය වැටී තිබෙන්නේ නිදහස් ගනුදෙනු හරහා. මේ විදිහට සරලව කිවුවත්, ඒ එක්කම මතුවෙන ප්‍රශ්නය නිදහස් ගනුදෙනුවක් කියන්නේ කුමක්ද කියන එකයි. සංකල්පයක් විදිහට ගත්තොත් නිදහස් ගනුදෙනුවක් කියන එක ඒ තරම්ම වියුක්ත අදහසක් නෙමෙයි. 

නිදහස් ගනුදෙනුවකදී සිදු වන්නේ නිදහස් මිනිසුන් දෙදෙනෙකු (හෝ වැඩි දෙනෙකු) අතර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසිදු බලකිරීමකින් තොරව නිදහසේ හුවමාරු වීමයි. මේ විදිහට කිවුවත් මෙහි අවිනිශ්චිතතා ගණනාවක් තිබෙනවා.

- නිදහස් මිනිහෙක් කියන්නේ කාටද?

- හුවමාරු කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් කියන්නේ කුමක්ද?

- නිදහසේ සිදුවන හුවමාරුවක් කියන්නේ කුමක්ද?

නිෂ්පාදන තාක්ෂනය වෙනස් වීමට සමාන්තරව ධනවාදයේ ස්වරූපය වෙනස් වන බව මම කලින්ම කිවුවා. එහෙමනම්, කිසියම් නිශ්චිත නිෂ්පාදන තාක්ෂනයක් පවතිද්දී ඕනෑම සමාජයක පැවතිය හැක්කේ එකම ආකාරයක ධනවාදයක්ද?

පැහැදිලිවම නැහැ. කිසියම් සමාජයක ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය එම සමාජයේ සම්මතයන් අනුව යම් තරමකින් වෙනස් වෙනවා. නිෂ්පාදන තාක්ෂනය වෙනස් වෙද්දී වගේම මේ සම්මත වෙනස් වෙද්දීත් ධනවාදයේ ස්වරූපය වෙනස් වෙනවා.

මෙහි කිසිම අරුමයක් නැහැ. ධනවාදය කියා කියන්නෙත් වියුක්ත ආකෘතියක් වුවත් එම වියුක්ත ආකෘතියේ පදනම වියුක්ත අදහසක් නොව ස්වභාවික මිනිස් හැසිරීමයි. ඒ නිසා, මේ ආකෘතිය, එහි ස්වභාවය අනුවම, ස්වභාවික මිනිස් හැසිරීම් වෙනස් වෙද්දී ඉබේටම වෙනස් විය හැකි තරම් නම්‍යශීලි ආකෘතියක්. මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් යෝජනා කරන ආකෘතිය පදනම් වන්නේම වියුක්ත අදහසක් හෝ අදහස් සමුදායක් මතයි. ඒ නිසා, මාක්ස්වාදී ආකෘතිය තුළ මෙන් නොව ධනවාදී ආකෘතිය තුළ සමාජ සම්මතය විසින් සිදු කරන කාර්ය භාරයක් තිබෙනවා. 

බාලවයස්කරුවෙක්, මානසික රෝගියෙක්, මත් වී සිටින අයෙක් හෝ කෝමා තත්ත්වයක සිටින කෙනෙක් නිදහස් මිනිසෙක්ද? වකුගඩුවක් වැනි මිනිස් අවයවයක් නිදහසේ හුවමාරු කළ හැකි භාණ්ඩයක්ද? හැඟීම්බරව යම් මොහොතක ක්ෂණිකව ගන්නා තීරණයක් නිදහස් තීරණයක්ද?

මේ කිසිවක් ධනවාදය විසින් විසඳන ප්‍රශ්න නොවනවාක් මෙන්ම ධනවාදයේ ප්‍රශ්නද නෙමෙයි. ඒ ප්‍රශ්න ධනවාදයෙන් බාහිරව සමාජ සම්මතය අනුව විසඳාගත යුතු දේවල්. ඒ නිසා, මූලික ලක්ෂණ සමාන වුවත් හැම සමාජයකම ධනවාදය හරියටම එකම නීතිරීති යටතේ ක්‍රියාත්මක වන්නේ හෝ ක්‍රියාත්මක විය යුත්තේ නැහැ.

ධනවාදය ක්‍රියාත්මක වන සමාජ ආකෘතිය හදන්නේ කවුද? කිසියම් රටක මිනිස්සු කියා අපට සරලව කියන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව රටක සම්මත හැදෙන්නේ ඒ රටේ හැම දෙනෙකුගේම සම දායකත්වයෙන් නොවන බව අපි දන්නවා. මේ සම්මත හදන කාර්යයේදී ප්‍රාග්ධනය හිමි අයගේ අදහස් වලට ශ්‍රමය හිමි අයගේ අදහස් වලට වඩා වැඩි තැනක් ලැබුනොත්, එහෙමත් නැත්නම් එහි අනෙක් පැත්ත සිදු වුනොත්, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතා බෙදී යන ආකාරයේ වෙනසක් වෙන්න බැරිද?

ලංකාව වැනි රටක ගනුදෙනු සිදු වෙද්දී ගනුදෙනුවේ පාර්ශ්ව දෙක හැම විටම සමානයින් නොවන බව අප අත්දැකීමෙන් දන්නවා. අසමානයින් අතර සිදුවන ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වන්නේ නැහැ.

මාක්ස් විසින් සම්පත් බෙදී යාමේ ක්‍රමය හා බලය බෙදී යාමේ ක්‍රමය එකිනෙක හා සම්බන්ධ කිරීමේ වැදගත්කම ඉස්මතු වන්නේ මේ පසුබිමේදී. මාක්ස්වාදයේ කවර අඩුපාඩු තිබුණත් එය සම්පත් බෙදී යාම සහ බලය බෙදී යාම අතර තිබෙන අන්තර් සම්බන්ධතාවය ග්‍රහණය කර ගන්නවා. ධනවාදය විසින් එවැන්නක් කරන්නේ නැහැ. තිබෙන බල ව්‍යුහය එලෙසම භාර ගන්නවා. ඒ නිසා, ධනවාදයට ක්‍රියාත්මක වීම පිණිස ධනවාදයට බාහිරව බලය සාධාරණව බෙදා ගත හැකි ක්‍රමයක්ද තිබිය යුතුයි. ධනවාදී පරමාදර්ශය අනුව යන බොහෝ රටවල මේ රික්තකය පුරවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්. 

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව රටක "සියලුම" මිනිස්සු සමානයි. සියලුම කියා කිවුවත් සියලුම මිනිස්සු නෙමෙයි. සමාන අයිතිවාසිකම් තිබෙන මිනිස්සු කවුද කියන එක තීරණය වෙන්නේ සමාජ සම්මතය අනුව. සමාජ සම්මතය තීරණය වන්නේ බලය මත. ඒ නිසා එක පැත්තකින් සමාජයක පවතින සම්මතය විසින් එම සමාජයේ බල ව්‍යුහය තීරණය කරද්දී අනෙක් පැත්තෙන් එම සමාජයේ බල ව්‍යුහය විසින් සමාජ සම්මතය තීරණය කරනවා. 

මේ වගේ තත්ත්වයක් යටතේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ වාසියට සම්මත හැදෙන්න බැරිද?

ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙනවා. මේ බෙදීම වෙනත් ඕනෑම බෙදීමකට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමතාවය අර්ථදක්වන්නේ සමස්ත නිෂ්පාදිතයේ ප්‍රමාණය ඉක්මණින් වැඩි කරගැනීමේ හැකියාව පාදක කරගෙනයි. නමුත් මේ බෙදීම සාධාරණද?

සාධාරණත්වය පිළිබඳ අදහස කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස මෙන් තාක්ෂනික ලෙස අර්ථදැක්විය හැකි අදහසක් නෙමෙයි. එය පුද්ගලයෙකුට සාපේක්ෂ දෙයක්. මාක්ස්වාදය හා ධනවාදය සංසන්දනය කරමින් ධනවාදය මාක්ස්වාදයට වඩා කාර්යක්ෂම බව පෙන්වා දිය හැකි වුවත්, ධනවාදය මාක්ස්වාදයට වඩා සාධාරණ බව එසේ පෙන්වා දීම අසීරුයි. 

සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස වන්නේ කිසියම් සම්පතක් එම සම්පත නිර්මාණය කළ පුද්ගලයාට හිමි විය යුතු බවයි. මෙය බොහෝ දෙනෙකුට පිළිගත හැකි අදහසක්. එහෙත්, කිසියම් සමාජයක කිසිදු සම්පතක් නිර්මාණය කර ගත නොහැකි පුද්ගලයින් සිටිය හැකියි. ඔවුන්ට කිසිවක් නොලැබීම සාධාරණද?

ධනවාදී සමාජයක කිසියම් පුද්ගලයෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුවක් නැතිව හිමි වන බව තහවුරු කෙරෙනවා. එය වෙනත් කිසිවෙකු විසින් සූරාකනු ලබන්නේ නැහැ. එහෙත්, මෙසේ යමෙකුට ඇයගේ ආන්තික ඵලදායීතාවය සේ හිමි වන කොටස "ජීවත් වීමට" ප්‍රමාණවත්ද යන්න පිළිබඳ කිසිදු සහතිකයක් නැහැ. මෙය ප්‍රශ්නයක් වන්නේ පුද්ගලයෙකුගේ ආන්තික ඵලදායීතාවය අඩුවීමට හේතුව ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත සමාජ ව්‍යුහයේම ප්‍රශ්නයක්ද විය හැකි නිසා. සමාජ ව්‍යුහය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සමාජවාදී අදහස මේ ආකාරයෙන්ද තේරුම් ගත හැකියි.

සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස සමඟ බොහෝ දෙනෙක් බොහෝ විට එකඟ වුවත් හැම දෙනෙක්ම හැම විටම එකඟ වන්නේ නැහැ. මිනිසුන් ස්වභාවයෙන්ම උන්නතිකාමීන් වනවාක් මෙන්ම සහකම්පනය ඇති සත්ත්ව කොට්ඨාශයක්ද වනවා. ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් විසින් ධනවාදී පරමාදර්ශයේ වැරැද්දක් දකිනවාට අමතරව එසේ පරාජය නොවන අයද මෙහි කිසියම් වැරැද්දක් දකිනවා. ලෝකයේ කිසිම රටක් මුළුමනින්ම ධනවාදී පරමාදර්ශය කරා නොයාමට මෙය එක් හේතුවක්.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ල පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් (සොරකමට එරෙහිව) පෙනී සිට ඇති බව මම පෙර ලිපියක සඳහන් කළා. මෙයින් පිළිබිඹු වන්නේ ධනවාදී පරමාදර්ශය පිළිගැනීමක්. ඒ අතරම, ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලම ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් වෙනුවෙන්ද පෙනී සිට ඇති බව අප දන්නවා. දානය වැනි සංකල්ප ප්‍රවර්ධනය වන්නේ මේ සන්දර්භයේ.

ධනවාදී පරමාදර්ශයක් තුළ "පරාජය වන" පිරිස් වෙත යමක් ලැබීම ඔවුන්ට හිමිවන වරප්‍රසාදයක්ද නැත්නම් ඔවුන්ගේ අයිතියක්ද? ධනවාදී පරමාදර්ශය අනුව බැලුවොත් මෙය වරප්‍රසාදයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙය අයිතියක් බවට පත් වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්විපක්ෂ ක්‍රමය මේ අන්ත දෙක අතර සිදුවන චක්‍රීය දෝලනයක් කියා කිව හැකියි.

ධනවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම තුළ සමාජයේ පහළ ස්ථර වලට ඔවුන්ගේ ආන්තික ඵලදායිතාවය ඉක්මවන කොටසක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එම කොටස ලැබෙන්නේ ඉහළ ස්ථර වල සිටින අයගේ ආන්තික ඵලදායිතාවය වෙනුවෙන් ලැබිය යුතු දෙයින් කොටසක් අඩු වීමෙනුයි. සමාජවාදයක් යටතේ සිදුවන තරමට නොවුනත්, මෙහිදී කාර්යක්ෂමතාවයේ යම් අඩුවක් සිදු වෙනවා. එහෙත් එය දරාගත හැකි, සමාජයට බරපතල ලෙස නොදැනෙන අඩුවක්.

මේ ආකාරයට කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරමින් ධනවාදී පරමාදර්ශයෙන් තරමක් ඈත් වූ සුබසාධන ආර්ථිකයක් කරා යාම බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක් තුළ සිදු වන දෙයක්. එහෙත්, සුබසාධනය ඉහළ යන තරමට කාර්යක්ෂමතාවයද අඩු වන නිසා යම් මට්ටමකදී මෙය ආර්ථික වර්ධනය කෙරෙහි දැනෙන බලපෑමක් කරනවා. එවිට, ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහය තුළම ජනමතය අනෙක් පසට දෝලනය වෙනවා. සුබසාධනය වෙනුවට ධනවාදී පරමාදර්ශයට ප්‍රමුඛතාවය ලැබෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. එහෙත් එහි ප්‍රතිඵල සමාජයේ පහළ ස්ථර වලට එතරම් දැනෙන්නේ නැහැ. ඒ නිසා, නැවතත් සමාජයේ පහළ ස්ථර අතර ආතතිය වැඩි වෙනවා. ධනවාදී පරමාදර්ශයෙන් විරුද්ධ පැත්තට ජනමතය දෝලනය වෙනවා. 

බොහෝ බටහිර රටවල ස්ථායී ගතික සමතුලිතතාවයක් වී තිබෙන ප්‍රධාන පක්ෂ දෙකක් අතර සිදුවන ආවර්තීය බල හුවමාරුව තුළ සිදුවන්නේ ධනවාදී පරමාදර්ශයෙන් ඕනෑවට වඩා ඈත් නොවන අතරම ධනවාදී තරඟය තුළ පරාජය වන කොටස් පිළිබඳව අවශ්‍ය පමණින් අවධානය යොමු වීමක්. 

Wednesday, June 9, 2021

නටත් අයෙක් සුරා මතින්!


වත්පොතේ පළ කිරීමකට දමා තිබුණු ප්‍රතිචාරයක රසික විසින් ඉකොනොමැට්ටා ටැග් කර තිබුණා. මේ පළ කිරීම සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයක් පිළිබඳවයි. ව්‍යාකරණ ප්‍රශ්නයක් කියා කිවුවත් පොදුවේ සිංහල භාෂාවේ ආකෘතිය හා භාවිතය ගැනත්, ලංකාවේ අධ්‍යාපනය ගැනත් අවධානය යොමු කරමින් සිදු වූ කතාබහක් කියා කියන්න පුළුවන්.

ඉකොනොමැට්ටා සාමාන්‍යයෙන් දන්නේම නැති දේවල් ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. පාඨකයින් විවිධ ප්‍රශ්න අහද්දී ඒ බව කෙළින්ම කියපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉකොනොමැට්ටා මොනවත්ම නොදන්නා විෂයයන් ඕනෑ තරම් තිබෙනවා.

මෙහි ලිපි ලෙස පළ කරන බොහොමයක්ම මොනවා හෝ දන්න දෙයක් තිබෙන මාතෘකා. බොහෝ විට ලිපියක තිබෙන්නේ මාතෘකාව යටතේ ලිවිය හැකි දේවල් වලින් සුළු කොටසක් පමණයි. ලැබෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය පරිදි තවත් දේවල් ලියනවා. සමහර අය මෙය දකින්නේ ඉකොනොමැට්ටාගේ මතය කෙසේ හෝ තහවුරු කිරීමක් ලෙසයි. 

"කෙසේ හෝ" කතාව කොහොම වුනත්, තහවුරු කරන්න බැරි දේවල් මේ වගේ විවෘත බ්ලොග් එකක නිතිපතා පළ කරන එක නිවැරදි දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, බොහෝ දේවල් දෙවරක් හිතා නොලියා ඉන්න අවස්ථා තිබෙනවා. සමහර විට ලියා පළ නොකරන වෙලාවල් තිබෙනවා. එහෙත් ලිපියක් ලියා පළ කළොත්, එසේ ලියන දේ වෙනුවෙන් ඉකොනොමැට්ටා පෙනී සිටිනවා.   

ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඉකොනොමැට්ටා සිංහල භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ ලංකාවේ සිංහලෙන් ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් අවම වශයෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නා තරමට පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ මට්ටම දක්වා පමණයි.

රසික පෙර කී වත්පොත් පළ කිරීමට ඉකොනොමැට්ටාව ටැග් කර තිබුණෙත්, මේ ලිපිය ලියන්නේත් ඉකොනොමැට්ටාට සිංහල ව්‍යාකරණ පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබෙන නිසා නෙමෙයි. ඉතා පැහැදිලිවම එය එසේ නොවෙයි. මෙහි රසික විසින් දැක තිබෙන සම්බන්ධය එම පළ කිරීමේ සාකච්ඡාවට බඳුන් වන කතානායකයා ආර්ථිකය හා අදාළව කටයුතු කරන ආයතනයක සේවය කරන ඉංජිනේරු උපාධිධාරියෙකු වීමයි. සේවය කරන්නේ ඉංජිනේරුවෙකු ලෙසමද නැද්ද කියන එක පැහැදිලිව සඳහන්ව නැහැ.

ප්‍රස්තුත පළ කිරීමේ අදාළ කොටස පහත තිබෙනවා.

"පසුගිය ලක්ෂපතියේ කුතුහලය දනවන දෙයක් සිදුවිය. ඒ උපාධිධාරී ඉංජිනේරුවකු වන,   මහ බැංකුවේ විධායක නිලධාරියෙකු මුල් ප්‍රශ්න කිහිපයේදීම සරල සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයකට උත්තර දීමට නොහැකි වී තරඟයෙන් ඉවත් වන්නට සිදු වීමයි. ඔහු අවුරුදු 12ක් පමණ පාසලේ සිංහලෙන් ඉගෙනගෙන මෙවැනි සරල සිංහල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට බැරි වීම ඇත්තෙන් ම පුදුම සහගතය. 

ඇතැමුන් කෑගසද්දී කෙනෙක් නිශ්ශබ්දව ........... වැනි වාක්‍යයක්, ඔහුට සම්පූර්ණ කරන්නට නොහැකි විය, ඒ සියයට පනහේ උපකාරක අවස්ථාවකුත් ලබාගෙනය. ප්‍රශ්න විචාරක ඔහු මේ වැරැද්දට නොයවා සිටින්නට හැකි පමණ වෙහෙසක් දරනවාද දුටුවෙමි. ඔහු සිතුවේ මෙය ඒක වචන ලෙසින් අවසන් විය යුතු බවය.

තමන්ගේ භාෂාවේ සරල වාක්‍ය ක් ලියාගන්නට මෙතරම් ඉගෙන ගත් කෙනෙකුට බැරි වෙන්නෙ ඇයි, ඒ ඔහුගේ වැරැද්දක් නිසා පමණක්ම විය නොහැක. එක්කෝ අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් වැරැද්දක් තිබිය යුතුය, එසේ නැත්නම් අපේ භාෂාව බොහෝ පැටලුම් සහගත විය යුතුය."

පළමුව කිව යුත්තේ මේ ප්‍රශ්නය ඒ තරම්ම සරල ප්‍රශ්නයක් නොවන බවයි. ප්‍රශ්නය ඒ තරම්ම සරලනම් එය මෙවැනි වැඩ සටහනක ප්‍රශ්නයක් වීමේ ඉඩක් නැහැ. මෙවැනි ප්‍රශ්නයක් ප්‍රශ්න මාලාවට ඇතුළත් වන්නේම එයට වැරදි පිළිතුරක් ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන නිසා.

ඇත්තටම කියනවානම් සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන කියා දෙයක් ඇති බව මට කලකට පසු මතක් වුනේත් මේ වත්පොත් පළ කිරීම දැකීමෙන් පසුවයි. යම් හෙයකින් මේ තරඟයට සූදානමක් නැතිව මා ඉදිරිපත් වී මගෙන් මේ ප්‍රශ්නය අසනු ලැබුවේනම් මා විසින් එක වරම පිළිතුර ලෙස ඒක වචන ආඛ්‍යාතයක් නොසපයන්නේ, මේ ප්‍රශ්නය මෙවැනි තරඟයක ප්‍රශ්නයක් වන්නේ ඇයි කියා හිතීම ඔස්සේ මිස නිත්‍ය බහුවචන ගැන සිහිපත් වීම නිසා නොවිය හැකියි. 

සිංහල ව්‍යාකරණ ඉගැන්වීමේදී අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදිය නිත්‍ය බහුවචන ලෙස හැඳින්වෙන වෙනම කැටගරියකට දමන්නේම මේ වචන හා අදාළ ව්‍යාකරණ රීතිය ව්‍යතිරේඛයක් වන නිසයි. එම ව්‍යතිරේඛය නොදන්නා හෝ මතකයේ නැති අයෙකු සාමාන්‍ය රීතිය අනුව යමින් මේ වචන ඒක වචන සේ සැලකීම ඉතාම තර්කානුකූල දෙයක් මිසක් බරපතල ගණයේ වැරැද්දක් කියා කියන්න බැහැ.

දෙවනුව කිව යුත්තේ සාමාන්‍ය පෙළ මට්ටමට පෙර උගත්, ඉන් පසු භාවිතයට නොගත්, විෂයයක හැම කරුණක්ම දිගටම මතකයේ තිබීම පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ යුතු දෙයක් නොවන බවයි. පෞද්ගලිකව මා ඉතා කුඩා කළ සිටම ගණිතය විෂයයට මෙන්ම සිංහල විෂයයටද විශාල කැමැත්තක් දැක්වූ සහ විභාග ආදියේදී ඉහළ ලකුණු ගත් අයෙක්. පසුව ඉංජිනේරු උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබන අය අතර මුල් කාලයේදී සිංහල විෂය හොඳින් හැදෑරූ සහ එම විෂයයට දක්ෂතා දැක්වූ අය සිටියත් එය හැම විටම එසේම වන්නේ නැහැ. ඇතැම් අය ගණිත විෂයයට බොහෝ දක්ෂ වුවත් සිංහල වැනි විෂයයකට එවැනි දක්ෂතාවයක් හෝ කැමැත්තක් නොදක්වන අයයි. විෂය නිර්දේශයේ හැම දෙයක්ම නොහදාරන අයෙකුට සාමාන්‍ය පෙළ විභාගයේදී කිසියම් විෂයයකට සම්මානයක් නොව විශිෂ්ඨ සාමාර්ථයක් වුවද ලබා ගන්නට බැරි කමක් නැහැ. ඒ වගේම, සාමාන්‍ය පෙළින් පසුව ගණිතය නොහැදෑරූ, වෙනත් විෂයයක් හදාරා විධායක රැකියාවක් කරන කෙනෙකුගෙන් "සරල" ගණිත ප්‍රශ්නයක් ඇසුවොත් වැරැද්දක් කරන්න මීට වඩා ඉඩක් තිබෙන බව වත්පොතේ සංසරණය වන ඇතැම් "ගණිත ගැටළු" සහ ඒවා බෙදා ගන්නා අයගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කළහොත් පැහැදිලි වෙයි. 

සිංහල භාෂාව කියන්නේ තවත් එක් විෂයයක් නොවන බවත් සිංහලයෙකුගේ මවු භාෂාව බවත් මෙහිදී කෙනෙකුට කියන්න පුළුවන්. ඉංග්‍රීසි වැනි වෙනත් භාෂාවක් මවු භාෂාව වූ අයෙකු හා අදාළව මේ කතාවේ ඇත්තක් තිබුණත් මවු බස සිංහල වූ අයෙකු සම්බන්ධව මේ කතාව එලෙසම යෙදිය නොහැකියි. 

ඉංග්‍රීසි භාෂාව මවු බස වූ අයෙකු පාසලේදී ඉගෙන ගන්නේ තමන් කොහොමටත් කතා කරන භාෂාවේ තිබෙන, එදිනෙදා භාවිතා වන වන ව්‍යාකරණ ගැනයි. එහෙත්, මවුබස සිංහල වූ අයෙක් පාසලේදි සිංහල භාෂාවේ ව්‍යාකරණ ලෙස ඉගෙන ගන්නේ වෙනස්ම භාෂාවක්. ඒ භාෂාව ඉංග්‍රීසි හෝ දෙමළ වගේම අලුත් භාෂාවක්. භාෂාව ඉගෙන ගැනීම කියන්නේ තමන් කතා කරන භාෂාවේ රීති හඳුනා ගැනීමෙන් ඔබ්බට ගිය කලින් නොදැන සිටි දේවල් අලුතින් ඉගෙන ගැනීමක්. අනාගතයේ කරන රැකියාවක් සඳහා මේ ව්‍යාකරණ අවශ්‍ය නොවන පසුබිමකදී සිසුවෙක් විසින් කරන්නේ විභාග ඉලක්ක කර, විභාග සඳහා අවශ්‍ය කොටස් හැදෑරීමට පමණක් ප්‍රමුඛතාවය දෙන එකයි. ලක්ෂපති තරඟයකට යන වෙලාවක හැර මේ වැඩෙන් කාටවත් පසුව පාඩුවක් වෙන්නේ නැහැ. මෙය සිංහල භාෂාව හා අදාළ සුවිශේෂී තත්ත්වයක්.

ලංකාවේ සිට ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙකුටත් මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඇමරිකාවේ සිසුවෙක් ආර්ථික විද්‍යාව හදාරද්දී කරන්නේ තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන මූලධර්ම තේරුම් ගැනීම. එහෙත්, සමාජවාදී රටක ජිවත් වන ලංකාවේ සිසුන්ට ආර්ථික විද්‍යාවේ න්‍යාය හා තමන් ජීවත් වන සමාජය ක්‍රියාත්මක වන ආකාරය අතර සම්බන්ධය පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ බල්ලෝ මරා හෝ සල්ලි හොයන අයයි. ලංකාවේ මිනිස්සු බල්ලෝ මරා හෝ සල්ලි හොයන්න පෙළඹී තියෙන්නේ ලංකාවේ සමාජවාදය නිසාම බව තේරුම් ගන්නනම් වඩා ධනවාදී රටකට ගිහින් සංසන්දනයක් කර බලන්නම වෙනවා. ලංකාවේ සිටින තුරු මෙය තේරුම් ගන්න අමාරුයි.

උසස් පෙළ ගණිත අංශය තෝරා ගන්නා අයෙකුට උසස් පෙළ පන්ති වලදී සිංහල ව්‍යාකරණ අවශ්‍ය වෙන්නේ නැතුවා වගේම විෂය හැදෑරීමේදී ලිඛිත සිංහල අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙන්. ඉන් පසුව ඉංජිනේරු උපාධිය හදාරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. රැකියාව තුළ කටයුතු කරන්න සිදු වෙන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්. සරසවියේදී හා රැකියාව තුළ සාමාන්‍ය කතාබහ කෙරෙන්නේ සිංහලෙන් වුවත්, ලේඛණය කිරීම් සිදු වන්නේ ඉංග්‍රීසියෙන්. කාලයක් මේ විදිහට ඉංග්‍රීසියෙන් ලියද්දී යම් තරමකින් ඉංග්‍රීසියෙන් හිතන්නත් පුරුදු වීමක් වෙනවා.

ඉහත සිංහල නිත්‍ය බහුවචන සමඟ ඉංග්‍රීසි භාෂාවේ “someone”, "somebody", “everyone”, “everybody”, "no one", "nobody" යන යෙදුම් සැසඳිය හැකියි. සිංහල භාෂාවෙන් මුළුමනින්ම වෙනස්ව ඉංග්‍රීසි භාෂාවේ මේ සියලුම යෙදුම් සියල්ල "නිත්‍ය ඒකවචන". පාසැලේ සාමාන්‍ය පෙළ මට්ටමින් පසුව සිංහල ඉගෙන නොගන්නා ඉංජිනේරු උපාධිධාරියෙකුට ඉන් පසු සිංහල ව්‍යාකරණ ගැඹුරට දැන සිටීමේ අවශ්‍යතාවයක් මතු නොවන තරම්. සිංහලෙන් ලියන්න අවශ්‍ය වන්නේ වුවත් ඉතා අඩුවෙන්. බොහෝ විට කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. 

කෙනෙකුගේ මවුබස ලේසියකට අමතක විය නොහැකි වුවත්, සිංහල ව්‍යාකරණ ලෙස පාසලේ ඉගෙන ගන්නේ සිංහලයකු කතා කරන භාෂාවේ ව්‍යාකරණ නෙමෙයි. ඒ නිසා, එම ව්‍යාකරණ දිගටම මතක තියෙන්නේ දිගින් දිගටම ලිඛිත සිංහල භාෂාවෙන් ලියන අයෙකුට පමණයි. එවැනි අවශ්‍යතාවයක් තිබෙන රැකියා කරන අය ලංකාවේ ඉන්නේ ඉතා අඩුවෙන්. එයින් වෙනස්ව, ප්‍රස්තුත උපාධිධාරියා සේවය කරන ආයතනය වැනි ආයතනයක සේවය කරද්දී දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න සිදු වෙනවා. භාෂාවක් දිගින් දිගටම භාවිතා කරද්දී හිතන ආකාරයටත් යම් බලපෑමක් වෙනවා. "කෙනෙක්" සිංහලෙන් නිත්‍ය බහු වචනයක් වුවත්, ඉංග්‍රීසියෙන් "someone” ඒක වචනයක්.

මේ බලපෑම පෞද්ගලිකව මටත් තිබෙනවා. "කෙනෙක්" යන්න ඇසෙද්දී මට තනි පුද්ගලයෙක් මිසක් පිරිසක් මනසේ චිත්‍රනය වන්නේ නැහැ. ඒ නිසා, කෙනෙක් සමඟ ගැලපෙන සේ සිතෙන්නේ ඒක වචන ආඛ්‍යාතයක්. "කෙනෙක්" යන්න ඇසෙද්දී මෙය කියවන කී දෙනෙකුට පිරිසක් සිහියට එනවාද?

අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී සිංහල භාෂාවේ නිත්‍ය බහුවචන සමඟ කියැවෙන තවත් වචනයක් වන්නේ "සියල්ලෝ" යන්නයි. මේ වචනය ඇසෙන විටනම් මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ පිරිසක්. ඒ නිසා, "සියල්ලෝ සතුටින් විසිර ගියහ" කියන එකේ කිසිම අවුලක් දැනෙන්නේ නැහැ. මේ වචනයට ගැලපෙන ඉංග්‍රීසි වචන ලෙස “everyone” හෝ  “everybody” සැලකිය හැකියි. “everyone” යන්න මතක් වෙද්දී කවදාවත් මගේ සිහියට තනි පුද්ගලයෙක් එන්නේ නැහැ. මේ වචනයෙන් මගේ මනසේ චිත්‍රනය වන්නේ පිරිසක්. ඒ අනුව,  “everyone” හෝ  “everybody” යන උක්තයකට වඩා ගැලපෙන්නේ බහුවචන ආඛ්‍යාතයක් වුවත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණය අනුව මෙහිදී යෙදිය යුත්තේ ඒක වචන ආඛ්‍යාතයක්.

ඉංග්‍රීසි භාෂාවේදී “everyone” ඒක වචනයක් සේ සැලකෙන්නේ ඇයි? මෙම වචනයේ නිරුක්තිය තුළ “someone”, "somebody", “everybody”, "no one", "nobody" ආදී මෙම කුලකයේ අනෙකුත් වචන වල මෙන්ම "one" යන්න හෝ "body" යන්න දැකිය හැකියි. මෙහිදී අප අදහස් කරන්නේ එක් අයෙක් හෝ එක් ශරීරයක්. “everyone” හෝ “everybody” යන යෙදුම් වලින් අදහස් වන්නේ පිරිසක් අතර සිටින එක් එක් තනි පුද්ගලයා- every one නැත්නම් every body. “someone” හෝ "somebody" කියද්දී එම පිරිස අතර සිටින ඕනෑම තනි පුද්ගලයෙක්. ඉංග්‍රීසි භාෂාවේ යෙදුම තුළ පිරිසක් පෙනෙන්නට හිටියත් ඔබ එම පිරිස දකින්නේ එකිනෙකාගෙන් වෙනස් ඒකීය පුද්ගලයින් විදිහටයි.

සිංහලෙන් අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී ලෙස ගනිද්දී සිදුවන්නේත් මෙවැනිම දෙයක් වුවත් එය සිදු වන්නේ වෙනස්, ප්‍රතිවිරුද්ධ ආකාරයකටයි. "අයෙක්" කියද්දී අවධානය යොමු වන්නේ තනි පුද්ගලයෙකු දෙස නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායම දෙසයි. අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් ආදී මොන විදිහකින් බැලුවත් සියල්ලෝ කියද්දී වගේම ඔබ දකින්නේ පිරිසක්. ඔබට තනි පුද්ග්ගලයෙක් පෙනෙන්න හිටියත් ඔබ දකින්නේ එම පුද්ගලයා නෙමෙයි. එම පුද්ගලයාගෙන් නියෝජනය වන කණ්ඩායමක්. සිංහල සමාජයේදී ඉතා පහසුවෙන් තනි පුද්ගලයෙක් "බයියෙක්" "ටොයියෙක්" "දේශප්‍රේමියෙක්" "දේශද්‍රෝහියෙක්" වෙන්නේ මේ දැක්ම නිසා වෙන්න පුළුවන්. 

භාෂාවක් හැදෙන්නේ කිසියම් සංස්කෘතියක් තුළයි. සංස්කෘතිය වෙනස් වෙද්දී භාෂාවත් වෙනස් වෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් වෙනවා. මිනිස්සු හිතන පතන විදිහ කතා කරන භාෂාව අනුව වෙනස් වෙනවා. භාෂාව වෙනස් වෙද්දී මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනවා. මෙහි තියෙන්නේ චක්‍රීය සම්බන්ධයක්.

අද මෙය කියවන මවුබස සිංහල වූ කී දෙනෙකුට අයෙක්, කෙනෙක්, සමහරෙක්, කවරෙක්, ඇතැමෙක් වැනි වචනයක් ඇහෙද්දී තනි පුද්ගලයෙක් මතක් වෙනවද? කී දෙනෙකුට තනි පුද්ගලයෙකුගෙන් නියෝජනය වන කණ්ඩායමක් මතක් වෙනවද?

(Image: http://disssinhala.blogspot.com/)

Monday, June 7, 2021

අපට නිදහස් කැමැත්තක් තිබේද?


ධනවාදය කියා කියන්නේ කුමක්ද කියන එක මෙහි පෙර ලිපි වල පැහැදිලි කර තිබෙනවා. බටහිර රටවල පැකේජ් එකක් ලෙස එකට දැකිය හැකි වුවත්, ධනවාදය කියා කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේත් වෙනම දේවල් දෙකක්. ඇමරිකාව හෝ ඇමරිකානු ක්‍රමය කියන්නේ ඔය දෙකෙන්ම වෙනස් තවත් දෙයක්. ඇමරිකාවේ වගේම වෙනත් බටහිර රටවලද හැම දෙයක්ම වෙන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි. මේවා අතර අතිපිහිත වීම් තිබීම වෙනම කරුණක්. 

ආර්ථික විද්‍යාව කියා කියන්නේ සහ ධනවාදය කියා කියන්නේත් එකම දෙය නෙමෙයි. මා මේ කියන්නේ මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගැන නෙමෙයි. ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ගැන. එහෙත් ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ධනවාදී පරමාදර්ශය සමඟ බොහෝ දුරට අතිපිහිත වෙනවා. 

ලිබරල්වාදය කියා කියන්නේත් ධනවාදය නෙමෙයි. එසේ වුවත්, ලිබරල්වාදයේ වගේම ධනවාදයේත් මූලික හරය තුළ පුද්ගල කැමැත්ත කියන අදහස තිබෙනවා. මේ අදහසට එරෙහිව සිදු කෙරෙන විවේචනයක් වන්නේ පුද්ගලයකුට ඇත්තටම නිදහස් කැමැත්තක් තිබෙනවාද කියන කරුණයි. මෙහි ධනවාදයට අදාළ කොටස පුද්ගලයින් අතර සිදුවන ගනුදෙනු වලදී එම පුද්ගලයින්ගේ නිදහස් කැමැත්ත කෙතෙක් දුරට පිළිබිඹු වෙනවාද කියන කරුණයි.

ඔබ සුපිරි වෙළඳසැලකට ගිය විට මිල දී ගන්නේ ඔබට අවශ්‍ය දේවල් පමණක්ද? වෙළඳ දැන්වීම් වලින් ඔබව ඔබට අනවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පොළඹවන්නේ නැද්ද? 

නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වන්නේ ඔබේ කැමැත්ත අනෙක් හැම දෙයකින්ම මුළුමනින්ම ස්වාධීන දෙයක් කියන එක නෙමෙයි. අප ඉපදෙද්දී අපට "අහඹු ලෙස" හිමිවන ජාන වලින්ම ජිවිත කාලය තුළ අප ගන්නා තීරණ යම් තරමකින් තීරණය වී අවසන් බව පැහැදිලිව පෙනී යන දෙයක්. ඉපදීමෙන් පසුව, කුඩා කාලයේ අප හැදෙන වැඩෙන පරිසරය වැඩිහිටියන් ලෙස අපේ කැමැත්ත කුමක්ද කියා තීරණය කරනවා. ඉන් පසුව, අප ඇසුරු කරන අය, කියවන පොත්පත්, බලන ටෙලි නාට්‍ය, ලබන අධ්‍යාපනය, ආගමික හා දේශපාලන ඉගැන්වීම්, වෙළඳ ප්‍රචාරණයන් ආදිය අප හිතන පතන ආකාරය හා තීරණ ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් කරනවා.

මම හිතන විදිහට ලිබරල්වාදියෙකු විසින් වුවත් නිදහස් කැමැත්ත කියා කියද්දී පුද්ගල කැමැත්ත කෙරෙහි මෙසේ විවිධ සාධක බලපෑම් කරන බව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය ඉතා පැහැදිලි කරුණක්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් කරන්නේ මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් පුද්ගලයෙකු විසින් යම් මොහොතක තීරණයක් ගැනීමේදී එම පුද්ගලයා සතුව තේරීමක් තිබෙනවා කියන එකයි.

උදාහරණයක් ලෙස එක් අයෙකු මත්පැනට ඇබ්බැහි වීමටත්, වෙනත් අයෙකු එසේ නොවීමටත් උපතින් ලැබෙන ජාන, කුඩා කළ හැදුනු වැඩුණු පරිසරය හෝ වෙනත් කිසියම් අහඹු සිදුවීමක් හේතු වෙන්න පුළුවන්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වෙන්නේ මේ කවර හෝ අවාසිදායක තත්ත්වයක් යටතේ වුවත්, පුද්ගලයෙකුට මත්පැනට ඇබ්බැහි නොවී සිටීමේ යම් තේරීමක් තිබෙන බවයි. ඒ වගේම, කෙතරම් වාසිදායක තත්ත්වයක් යටතේ වුවද මත්පැනට ඇබ්බැහි වීමේ තේරීමක් තිබෙන බවයි.

මෙයට විකල්ප ලෙස පුද්ගලයෙකුට කිසිදු නිදහස් කැමැත්තක් නැතැයි යන විකල්ප අදහසක්ද තිබෙනවා. මේ අදහසේ හරය සංකල්පීය ලෙස ද්‍රව්‍යවාදී එකක්. ඒ අනුව, මහා පිපිරුමේදීම ඉන්පසුව සිදු වන හැම දෙයක්ම තීරණය වී අවසන්. අප විසින් අප සතු නිදහස් කැමැත්තක් ඇතැයි සිතුවත් ඇත්තටම එවැනි නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. සබින් හොසෙන්ෆෙල්ඩර්ගේ පහත වීඩියෝව නරඹන්න. (මෙය යොමු කළ හිතවතාට ස්තුතියි!)


උදාහරණයක් විදිහට මම මේ මොහොතේ මේ ලිපිය යතුරු ලියනය කරනවා. එය මෙතෙක් සිදු වූ ක්‍රියාවලියක අනිවාර්ය ප්‍රතිඵලයක් මිසක් මගේ කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. එය තේරුම් ගෙන මම මේ ලිපිය යතුරු ලියනය කරන එක නැවැත්තුවා කියා කියමු. එයත්, කොහොමටත් වෙන්න තිබුණු දෙයක් මිසක් මම හිතාමතා කරන දෙයක් නෙමෙයි.

මේ වගේ ප්‍රශ්න දර්ශනයේ එහෙමත් නැත්නම් භෞතික විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයට අයත් බරපතල ප්‍රශ්න. මෙවැනි දේ ගැන අවසන් නිගමනයකට පැමිණෙන්න මට පුළුවන්කමක් නැහැ. දාර්ශනිකව කොයි තරම් වැදගත් ප්‍රශ්නයක් වුවත් ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයේ එතරම් වැදගත්කමක් ඇතැයි මා හිතන්නේ නැහැ. 

ලිබරල්වාදියෙකු විශ්වාස කරන ආකාරයට පුද්ගලයෙකුට නිදහස් කැමැත්තක් තිබේනම් මා කළ යුත්තේ මගේ එම නිදහස් කැමැත්ත මට අවශ්‍ය පරිදි භාවිතා කිරීමයි. ඒ එක්කම අනෙක් අයගේ නිදහස් කැමැත්ත පිළිගෙන එයට ඉඩ සැලසීමයි. ඒ අනුව කිසිවකුගේ නිදහස් කැමැත්තට ඉඩ නොදී වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් කියා කියන්න බැහැ.

ලිබරල්වාදීන් වැරදිනම්, භෞතිකවාදීන් නිවැරදිනම් තත්ත්වය කුමක්ද? එසේ වුවත්, හොඳම දෙය මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි. මා කරන දෙයින් ඇත්තටම සිදුවන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයක්නම්, මා විසින් මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන විට සිදු වන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයයි. කිසිවෙකුට නිදහස් කැමැත්තක් නැත්නම් මට නැති නිදහස් කැමැත්ත වෙනත් කෙනෙකුට තියෙන්න හේතුවක් නැහැ. ඒ නිසා, මගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් ලෙස පිළිගන්න මට කිසිම හේතුවක් නැහැ.

Saturday, June 5, 2021

හැනන් හා ජිජැක් අතර විවාදය



පෙරේදා (ජූනි 3) කේම්බ්‍රිජ් සරසවියේ විවාද සංගමය (Cambridge Union) විසින් සංවිධානය කළ ඩැනියෙල් හැනන් හා ස්ලාවොයි ජිජැක් අතර විවාදයේ වීඩියෝව පහත තිබෙනවා. පසුගිය මාස පහක පමණ කාලය තුළ අප විසින් මෙහි පල කළ මාක්ස්වාදය හා ධනවාදය පිළිබඳ සංසන්දනාත්මක ලිපි පෙළ උනන්දුවෙන් කියවූ පාඨකයින්ට මේ විවාදය වැදගත්යැයි මා සිතනවා. මෙහි පල වූ ලිපි වල කතා කළ කරුණු මෙන්ම ප්‍රතිචාර වලින් අවධානය යොමු කෙරුණු නමුත් විස්තරාත්මකව කතා කිරීමට අවස්ථාව නොලැබුණු පාරිසරික ප්‍රශ්න ඇතුළු පුළුල් කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙනවා.




Friday, June 4, 2021

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය


ධනවාදය කියා කියන්නේ කුමක්ද කියා මේ වෙද්දී පැහැදිලි කර තිබෙනවා. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙනවා. ඔය කොටස් දෙකම හරියට දුන්නට පස්සේ අමතර යමක් ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ අළුත් දැනුමක් නිර්මාණය කරන ව්‍යවසායකයෙකුට පමණයි. එසේ නිර්මාණය කරන කොටස ධනවාදී පරමාදර්ශය තුළදී ව්‍යවසායකයෙකුට ලැබෙනවා.

ඉතා පැහැදිලිවම ප්‍රාග්ධන හිමියා හා ව්‍යවසායකයා කියන්නේ දෙන්නෙක්. මෙහිදී දෙන්නෙක් කියා කියන්නේ සංකල්පීය වශයෙන් මිසක් පුද්ගලයින් විදිහට නෙමෙයි. පුද්ගලයින් ලෙස ගත්තොත් එකම පුද්ගලයා ශ්‍රමිකයෙක්, ප්‍රාග්ධන හිමියෙක් හා ව්‍යවසායකයෙකු ලෙස වෙනස් සන්දර්භ වලදී වගේම එකම සන්දර්භයක වුවත් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා, ධනවාදියෙක් ශ්‍රමිකයන් (වැඩ කරන ජනතාව), ප්‍රාග්ධන හිමියන් (ධනපතියන්) ආදී වශයෙන් මිනිස්සුන්ව වර්ග කරන්නේ නැහැ. මිනිස්සුන්ව "පංති" ලෙස බෙදා වෙනස් ලෙස සලකන්නේ නැහැ. සියල්ලන්ම නිදහස් මිනිසුන් සේ සලකනවා. 

සැබෑ ලෝකයේ අපට මේ කියන ධනවාදී පරමාදර්ශය දැකිය හැකිද? බැරි නැහැ. සෑහෙන තරම් ධනවාදී රටක සෑහෙන තරමකට මේ තත්ත්වය දකින්න පුළුවන්. එහෙත්, හැම විටම හැම තැනම නෙමෙයි.

වෙළඳපොළ අකාර්යක්ෂමතාවයක් දැකිය හැකි අවස්ථාවක ධනවාදී ආර්ථික විද්‍යාඥයෙක් ගැටළුව විග්‍රහ කරන්න පටන් ගන්නේ ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂවයි. එහිදී එම අකාර්යක්ෂමතාවයට හේතු වී තිබෙන ගැටලුව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙය බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන ස්වභාවික හෝ කෘතීම බාධාවක්. විසඳුම වන්නේ අදාළ බාධාව ඉවත් කිරීමයි. බාධාව ඉවත් කිරීමෙන් පසුව කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මෙහිදී සිදුවන්නේ ධනවාදයට වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඉඩ දීමක්.

මෙයින් වෙනස්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් හොඳින් ක්‍රියාත්මක වන වෙළඳපොළකට මැදිහත් වන අවස්ථාද තිබෙනවා. මෙහිදී සිදු වන්නේ හිතාමතාම කාර්යක්ෂමතාවය අඩු වෙන්න ඉඩ හැරීමක්. එසේ කිරීමෙන් අපේක්ෂා කරන්නේ ආර්ථික වර්ධනය කැප කර වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කර ගැනීම හෝ ජාතික අභිලාශ වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී සිදු වන්නේ ධනවාදයෙන් බැහැර වීමක්.

සාමාන්‍යයෙන් ධනවාදී සේ සැලකෙන ඕනෑම රටක් ඔය විදිහට ධනවාදයෙන් බැහැර වෙන අවස්ථා ඉතාම සුලභයි. රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත එයනම් වෙනත් අරමුණක් වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කරන්න සිදු වෙනවා. හැබැයි ඒ වගේ වෙලාවක වුනත් ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂව ප්‍රතිඵලය විග්‍රහ කිරීම නරක පුරුද්දක් නෙමෙයි. එසේ කිරීමෙන් අදාළ අනෙකුත් ඉලක්කය වෙනුවෙන් විඳින්න වෙන පාඩුව හරියට දැනගෙන වැඩේ කරන්න පුළුවන්. ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියනවනේ!

ධනවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක් පමණයි. එය දේශපාලන ක්‍රමයක් නෙමෙයි. මෙයින් වෙනස්ව මාක්ස් විසින් යෝජනා කළේ ආර්ථික-දේශපාලන ක්‍රමයක්. මාක්ස්ගේ දායකත්වය වුනේ ඔය දෙක එකතු කිරීමයි. මගේ ලිපි වල මම බොහෝ විට ධනවාදය සමඟ සංසන්දනය කර තිබෙන්නේ මාක්ස්වාදයේ ආර්ථික සංරචකය. ධනවාදය දේශපාලන ක්‍රමයක් නොවන නිසා මාක්ස්වාදයේ දේශපාලන සංරචකය සමඟ එවැනි සංසන්දනයක් කිරීමේ හැකියාවක් නැහැ. 

ආර්ථික ක්‍රමයක් කියන්නේ සම්පත් බෙදා හරින ක්‍රමයක්. දේශපාලන ක්‍රමයක් කියා කියන්නේ බලය බෙදා හරින ක්‍රමයක්. ඔය දෙක දෙකක් බව පැහැදිලි විය යුතුයි. ධනවාදය දේශපාලන ක්‍රමයක් නෙමෙයිනම්, ආර්ථික ක්‍රමයක් පමණක්නම් එය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රනය කුමක්ද? 

ධනවාදය කියා කියන්නේ මාක්ස්වාදය වගේ කවුරුවත් යෝජනා කරලා සැලසුමකට අනුව ක්‍රියාත්මක කරපු ක්‍රමයක් නෙමෙයි. ස්වභාවිකවම බිහි වුනු ක්‍රමයක්. ධනවාදය ගැන අහලා නොතිබුණු සමාජ වලත් ධනවාදය තිබුණා. මම ඉදිරිපත් කරපු ආකෘති වලින් කරන්නේ කොහොමටත් තිබුණු ස්වභාවික ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන එක පමණයි. ඒ නිසා, ධනවාදයට ක්‍රියාත්මක වෙන්න අමුතුවෙන් දේශපාලන ක්‍රමයක් අවශ්‍ය වුනේ නැහැ.

මෙයින් වෙනස්ව මාක්ස්වාදය කියන්නේ මාක්ස්ගේ ඔලුවේ ඇඳුනු වියුක්ත අදහසක්. ධනවාදය ලෙස මම විස්තර කරන දෙයත් එවැනිම වියුක්ත දෙයක් වුවත්, ඒ කිසිවක් නැතත් සැබෑ ලෝකයේ ධනවාදය කියා දෙයක් තියෙනවා. නමුත් මාක්ස්වාදයෙන් යෝජනා කරන ආකාරයේ දෙයක් සැබෑ ලෝකයේ තිබුණේ නැහැ. ඒ නිසා, එවැන්නක් හැදෙන්නනම් පවතින ලෝකය වෙනස් කළ යුතුයි. ඒක කරන්න දේශපාලන බලය අවශ්‍ය වෙනවා. මාක්ස්වාදයට දේශපාලනයෙන් තොරව ආර්ථික ක්‍රමයක් ලෙස ස්වාධීන පැවැත්මක් නැත්තේ ඒ නිසා.

කොහොම වුනත් ධනවාදය ක්‍රියාත්මක වන රටවලටත් දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. බොහෝ බටහිර රටවල අපට දැකිය හැක්කේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය එකතු වුනු පැකේජ් එකක්. එහෙත්, මේ දෙක දෙකක්. ඒ වගේම, ධනවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු එකිනෙක ගැටෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉල්ලා සිටින්නේ පරමාදර්ශයෙන් බැහැර වූ ධනවාදයක්. මේ බැහැර වීම යම් තාක් දුරකට සමාජවාදය පැත්තට යොමු වීමක් කියා කියන්න පුළුවන්. 

ඉලක්කය ආර්ථික වර්ධනයනම්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙන්න සැලැස්වීම වඩාත්ම කාර්යක්ෂම දෙයයි. එහෙත් වඩාත්ම සාධාරණ දෙය මෙයද?

කාර්යක්ෂමතාවයට තාක්ෂණික තේරුමක් තිබුණත් සාධාරණත්වයට එවැනි තේරුමක් නැහැ. එය පුද්ගලයාට සාපේක්ෂ සංකල්පයක්. සමාජවාදී අදහස් වල පරමාදර්ශී පදනම වන්නේ සම්පත් සමානව බෙදීම වඩා සාධාරණ බවයි. එම අදහසටද ඕනෑම සමාජයක යම් පිළිගැනීමක් තිබෙනවා.

ශ්‍රමිකයෙක්ට ඔහුගේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය ලැබේනම් ඔහු විසින් නිර්මාණය කරන දෙයක් වෙනත් අයෙකු විසින් සූරාකෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ අතින් මෙහි කිසිදු අසාධාරණයක් නැහැ. එහෙත්, යමෙකුගේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හොඳටම අඩුනම්, ඒ වෙනුවෙන් ලැබෙන කොටස ජීවිතය පවත්වා ගන්නවත් ප්‍රමාණවත් නැත්නම්, එහි සාධාරණත්වය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.

කවර හෝ හේතුවක් නිසා ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය අඩු හා එහෙයින්ම අවවරප්‍රසාදිත කොටස් වලට සහන සැලසීම වෙනුවෙන් ධනවාදී පරමාදර්ශ වලින් යම් තරමකට බැහැර වීම හැම ධනවාදී රටකම සිදුවන දෙයක්. එහෙත් එසේ කිරීමේදී ගෙවන්න සිදුවන මිලක් තිබෙනවා. මෙහිදී ගෙවන්න සිදුවන මිල සේ හඳුන්වන්නේ වරප්‍රසාදිත අයගේ කොටසෙන් අඩුවන දෙය නෙමෙයි. එම කොටස සමස්තයක් ලෙස රට ඇතුළේම කොහේ හරි තියෙනවා. නමුත්, අකාර්යක්ෂමතාවය නිසා අඩු වෙන කොටස ඒ විදිහට වෙනත් අයෙකුට ලැබෙන කොටසක් නෙමෙයි. ඒ කොටස නැත්තටම නැති වෙලා යනවා.

ධනවාදී පරමාදර්ශ වලින් යම් තරමකට බැහැර වී සමාජයක අවවරප්‍රසාදිත කොටස් වලට සහන සලසන්න පුලුවන් වුනත් මේ වැඩේ දුරදිග ගිය විට සිදු වෙන්නේ හැමෝටම බෙදාගන්න තිබෙන මුළු සම්පත් ප්‍රමාණය දැනෙන විදිහට අඩු වෙන එකයි. එවිට ජනමතය ධනවාදය පැත්තට නැඹුරු වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. ආර්ථිකය වර්ධනය වන විට සම්පත් බෙදී යාමේ විෂමතාද වැඩි වෙලා නැවතත් ධනවාදයෙන් බැහැරට ජනමතය වෙනස් වෙනවා. බොහෝ බටහිර රටවල දේශපාලනය කියන්නේ අවලම්බයක් විදිහට ඔය දෙපැත්තට සිදුවන ජනමතයේ දෝලනය වීමයි.

Thursday, June 3, 2021

කළු හංසයින්, සුදු මොණරු හා සිංහ පැටවු


ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහව උපුටා දක්වමින් නිවුයෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇති පරිදි, පසුගිය වසරේ මාර්තු මාසයේදී කෝවිඩ් හේතුවෙන් අමුත්තන් සඳහා වසා දමනු ලැබ තිබුණු කාලය තුළ ලංකාවේ සත්ත්වෝද්‍යාන තුළ සිදුව ඇති උපත් ප්‍රමාණය 25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මීට පෙර ලංකාවේ සත්ත්වෝද්‍යානයකදී පැටවු බිහි නොකළ සත්ත්ව වර්ගද සිටිනවා.


මෙසේ ලංකාවේදී පළමු වරට පැටවු බිහි කර තිබෙන සත්ත්ව වර්ග අතර කළු හංසයෙක්, සුදු මොණරෙක් සහ නිල්ගායෙකු (nilgai) සිටිනවා. මීට අමතරව කළු තාරාවෙකු, සීබ්‍රාවෙකු හා අරාබි ඔරික්සයෙකු (Arabian oryx) විසින්ද පැටවු බිහි කර තිබෙනවා. ඉෂිනි වික්‍රමසිංහව අනුව සතුන්ගේ ආතතිය අඩු වීම දරු උපත් ඉහළ යාමට හේතුවයි.

අමුත්තන් නැති වාතාවරණය තුළ සිංහයින් තමන්ගේ කූඩු තුළ නිදහසේ සැරිසරමින් සම්බන්ධතා ගොඩ නගා ගන්නා බව ඇය තව දුරටත් සඳහන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිංහ පැටවු තිදෙනෙකු බිහි වී තිබෙන අතර දැන් ඔවුන්ගේ වයස මාස හයක්. 


මිනිස්සුන්ට වගේම බොහෝ සතුන්ටත් සංස්කෘතික ජිවිතයක් තිබෙනවා. සතුන් වුවත් පෞද්ගලිකත්වයට කැමතියි. මිනිස්සු සහ සතුන් අතර තිබෙන ප්‍රධානම වෙනසක් වන්නේ මිනිස්සුන්ට අනාගතය ගැන වියුක්ත ලෙස හිතා පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට හැකියාවක් තිබීමයි. ශිෂ්ඨාචාරය පිළිබඳ කතාව පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩ නැගීම පිළිබඳ කතාවක්.

Tuesday, June 1, 2021

පිස්සු බල්ලන් පාලනය කිරීම


ලංකාවේ කාලයක් ක්‍රියාත්මක වූ බලු වෑන් ක්‍රමය ගැන කලින් ලිපියේ ලිවුවනේ. ඔය විදිහට බලු වෑන් වලින් උස්සලා හරි වෙනත් ක්‍රමයකට හරි බල්ලො මරන එක 2005දී නැවතිලා තියෙනවා. ඊට හේතුව මේ විදිහට බල්ලො මැරුවයි කියලා ලංකාවේ බලු ගහණය අඩු නොවන බව පැහැදිලි වීමයි. මෙය සංස්කෘතික කාරණයක්. ලෝකයේ වෙනත් ඇතැම් රටවල මේ විදිහට බල්ලො මරන එක සාර්ථක වෙලා තියෙනවා.

ඔය විදිහට බලු වෑන් වලින් උස්සලා බල්ලො මරන එක සිදු වුනේ ලංකාවේ ජලභිතිකා මර්දන වැඩ පිළිවෙළේ කොටසක් විදිහටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ මේ වැඩ සටහන ආරම්භ වී තිබෙන්නේ 1975දී වුවත් මට වගේම ලංකාවේ තවත්  ගොඩක් අයට බලු වෑන් ගමට එන බව දකින්න ලැබෙන්න ඇත්තේ 1977 පමණ කාලයේදී වෙන්න ඇති. ඔය ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර මුදල නිසා ලංකාවේ යම් කිසි පිරිසකට බල්ලො මරලා සල්ලි හෙවීමේ රැකියා අවස්ථාවත් ලැබෙන්න ඇති.

බටහිර වෛද්‍ය ක්‍රමය තුළ රෝගයට ප්‍රතිකාර කිරීම වගේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමද සිදු වෙනවා. එන්නත්කරන වැඩ සටහනකදී වෙන්නේ රෝගයට ප්‍රතිකාර කිරීම. ප්‍රතිකාර කියා කිවුවත් මෙයින් හැම විටම අදහස් වන්නේ බෙහෙත් දීමක්ම නෙමෙයි. මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය වගේ දේවල් කෝවිඩ් සඳහා ප්‍රතිකාර වනවා වගේම බලු වෑන් වලින් උස්සා බල්ලො මැරීම ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් කළ ප්‍රතිකාරයක්.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වගේම රෝගයකට ප්‍රතිකාර කිරීමේදීත් "සියල්ලන්ටම එකම බේත" න්‍යාය වැඩ කරන්නේ නැහැ. අවස්ථා දෙකේදීම සංස්කෘතික කරුණු ඇතුළු තවත් බොහෝ දේවල් වල බලපෑමක් තිබෙනවා. බලු වෑන් ක්‍රමය ලංකාවට හරි නොයන්නත් වෙනත් ඇතැම් රටවලට හරියන්නත් හේතු වුනේද මේ සංස්කෘතික වෙනස්කම්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ, ඉක්වදෝරයේ හා ටියුනීසියාවේ සිදු කළ නියාමක ව්‍යාපෘති හා පශ්චාත් අධ්‍යයනයන්හිදී මේ වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

අසූව දශකයේ මැද භාගයේදී ඔය අධ්‍යයනය කරන විට ලංකාවේ ගෙවල් වලින් 60%ක එක බල්ලෙක් හෝ ඉඳලා තියෙනවා. ඒ වගේම, ලංකාවේ මිනිස් ජනගහනයෙන් අටෙන් එකකට සමාන ගෘහස්ථ බලුගහණයක් ඉඳලා තියෙනවා. ලංකාවේ බලුගහණයෙන් 24%ක් අවුරුද්දකට වඩා අඩු වයසක සිට ඇති අතර බල්ලෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 3-4ක් පමණ වී තිබෙනවා. ඒ වගේම ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් තුනෙන් දෙකක් පමණම පිරිමි සතුන් වෙද්දී බැල්ලියන් ඉඳලා තියෙන්නේ තුනෙන් එකක් පමණයි. මෙය සමීක්ෂණය කළ අනෙක් රටවලටත් පොදු තත්ත්වයක්.

ටියුනීසියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ බැල්ලියන්ගෙන් ඉපදෙන අනවශ්‍ය බලු පැටවුන් මරා දැමීම පුරුද්දක් ලෙස කර ඇතත් ලංකාවේ එවැන්නක් සිදු නොවන බව අපි හොඳින්ම දන්නා දෙයක්නේ. ලංකාවේ මිනිස්සු කරන්නේ තමන්ට අනවශ්‍ය බලු පැටවු, පූස් පැටවු පාරක් අයිනට හරි පන්සලකට හරි හොරෙන්ම ගිහිං දාන එකනේ. ඔය ඉරණමට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ ගැහැණු සතුන්ට. පිරිමි සතෙක්ව දෙන්න කාව හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයිනේ.

ලංකාවේ ගෙවල් වල ඉන්න බල්ලන් ගෙවල් වලට ඇවිත් තියෙන්නේ කොහොමද? ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් 72%ක්ම කාගෙන් හෝ ඉල්ලා ගත්ත බලු පැටවු. මුදල් ගෙවා මිල දී ගෙන තියෙන්නේ 11%ක් පමණයි. ගෙදර බැල්ලියකගේ පැටවු ඉඳලා තියෙන්නේ 13%යි. ඉතිරි 4% පාරෙන් අහුලගෙන ගෙදර ගෙනාපු බලු පැටවු. 

ලංකාවේ බල්ලන් ඇති කිරීමේ සංස්කෘතිය මොන වගේ එකක්ද කියලා මෙයින් පැහැදිලි වෙනවනේ. බල්ලෙක් අවශ්‍ය කෙනෙක් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හෝ ගෙදරක බැල්ලියක් පැටවු දැම්මට පස්සේ බලු පැටවෙක් ඉල්ල ගන්න එක. ඒ වගේම ගෙදර බැල්ලී පැටවු දැම්මම ගෙදර මිනිස්සු බලන්නේ ඔය පැටවු කාට හරි දීලා දාන්න. වැඩිම වුනොත් එක බලු පැටවෙක් ගෙදර තියා ගනියි. කාටවත් දී ගන්න බැරි වෙන බලු පැටවු එක්කෝ පාරකට නැත්නම් පන්සලකට. ඔය විදිහට පාරට විසිවන බලු පැටවෙක් ඉඳහිට නැවත කාගේ හෝ ගෙදරකට අරන් යනවා. ඉතිරි බැලු පැටවු නොමැරී ජිවත් වුනොත් දිගටම පාරේ!

කොහොම වුනත් මේක කාලයක් තිස්සේ පැවතුනු සමතුලිත පද්ධතියක්. ගෙවල් වලට අනවශ්‍ය බල්ලෝ පාරට වැටෙනවා. පාරට වැටුණු බල්ලෙක් ඉඳහිට ගෙදරකට එනවා. පාරේ ජීවිතය ගෙදරක ජිවිතේට වඩා අමාරුයි. ඒ වුනත් පාරේ ඉන්න බල්ලොත් අමරුවෙන් ජිවිතේ ගැට ගහගන්නවා. බලු වෑන් වලින් වැඩිපුරම ගේම දුන්නේ ඔය විදිහට පාරට වැටිච්ච බල්ලන්ටයි. හැබැයි ඔය පාරට වැටිච්ච බලු නඩ එක්ක දඩාවතේ ගිය ගෙවල් වල ඇති කරපු බල්ලෝත් බලු වෑන් වලට අහුවුනා.

බලු වෑන් ක්‍රමය හා සමස්තයක් ලෙස ජලභීතිකා රෝග මර්දන උපාය මාර්ගයක් විදිහට බල්ලො මැරීම අසාර්ථක වුනේ ඇයි? මිනිස්සු ගෙවල් වල බල්ලෝ තියා ගත්තේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. අනවශ්‍ය බලු පැටවු පාරට දැම්මා. බලු පැටවෙක් ඕනෑ වුන කෙනෙක් කාගෙන් හරි පැටවෙක් ඉල්ල ගත්තා. නැත්නම් පාරෙන් ඇහිඳ ගත්තා. බලු වෑන් වලින් බල්ලෝ උස්සන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු බලු පැටවු පාරට දමන එක අඩු වුනා. ඒ වගේම, පාරේ ඉන්න බලු පැටවු ඇහිඳගෙන ගෙදර ගේන එක වැඩි වුනා. ඒ නිසා, ගෘහස්ථ බලුගහණයේ අඩුවක් වුනේ නැහැ.

අන්තිමේදී බල්ලො මරන එක නැවැත්තුවත්, බල්ලො මරා සල්ලි හොයපු අයට රස්සා නැති වුනත්, ජලභීතිකා මර්දන වැඩ සටහන දිගටම ක්‍රියාත්මක වුනා. තවමත් ක්‍රියාත්මක වෙනවා. බල්ලො මැරීම වෙනුවට බැල්ලියන් වඳ කිරීම ආදේශ වුනා. ඒ වගේම බල්ලො එන්නත් කරන එක වේගවත් වුනා. බල්ලො මරන එක ලංකාවේදී සාර්ථක වුනේ නැතත් මේ අනෙකුත් ක්‍රියාමාර්ග සාර්ථක වී තිබෙනවා. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...