වෙබ් ලිපිනය:

Friday, May 20, 2022

රනිල්නම් වූ ගැලවුම්කාරයා


ටෙලිප්‍රොම්ප්ටරය දිහා බලාගෙන කවුරු හෝ විසින් ලියා දුන් වැල් පාලම් කතාව කියවමින් රනිල් වික්‍රමසිංහ හදිසියේම ජාතියේ ගැලවුම්කරු සේ පෙනී සිටියා. කවුරුත් වගේ අසා හෝ කියවා තිබෙන නිසා මම වැල් පාලම් කතාව නැවත උපුටා දක්වන්නේ නැහැ. 

මේ කතාවෙන් පස්සේ වැල් පාලම ගැන විවිධ අර්ථකතන ආවා. ඇතැම් අය දකින විදිහට රනිල් ඇවිත් කරන්නේ රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරන එකයි. මේ විවේචනයට පිළිතුරක් දෙමින් රනිල් ඇහුවේ "රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයි කියා ඔබ හිතනවද?" කියලයි.

ඇත්තටම රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයිද? රනිල් ඇවිත් රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරනවායැයි කියන විපක්ෂයේ පක්ෂ විසින් එහෙම කියන එකෙන්ම පෙනෙන්නේ රාජපක්ෂලාට නැවතත් බලයට ඒමේ හැකියාව ගැන එම පක්ෂ ලොකු බරක් තබනවා කියන එකයි. එයින් ගම්‍ය වන්නේ රාජපක්ෂලාට සාපේක්ෂව එම පක්ෂ වලට තවමත් තමන් සම්බන්ධව තිබෙන අවතක්සේරුවයි.

රනිල් අගමැති වීම නිසා සිදුවුණු හා සිදු වෙමින් පවතින යම් සාධනීය කාර්ය භාරයක් තිබෙනවා. හැබැයි රනිල් කියන්නේ කෙසේවත්ම මේ මොහොතේ රට වැටී තිබෙන අගාධයෙන් තනිව රට ගොඩ දැමිය හැකි ගැලවුම්කාරයෙක් නෙමෙයි. ඒ රනිල් දුර්වල පුද්ගලයෙක් නිසා නෙමෙයි. සරල ලෙසම තනි පුද්ගලයින්ට ඒ විදිහට රටවල් ගොඩ දාන්න බැරි නිසා. රනිල් එවැන්නක් කරයි කියා කවුරු හෝ හිතනවානම් එය ගෝඨාභය ඇවිත් රට ගොඩ දමයි කියා හිතුවා වගේම ලොකු වැරැද්දක්. 

මෙහෙම කියන එකෙන් මම රනිල් හෝ ගෝඨාභය නොවන තුන්වන පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. පුද්ගලයා වෙනස් වුනා කියලා මේ කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක රනිල් විසින් අගමැති ධුරය භාර ගැනීම අවතක්සේරු කිරීමකුත් නෙමෙයි.

අගමැති කෙනෙක් නැතුව රට අරාජිකව තිබීම තුළ සිදුවිය හැකිව තිබුණු ක්ෂණික විනාශය රනිල් අගමැතිකම භාර ගැනීම නිසා වැළකුණා, වඩා නිවැරදිව කිවුවොත් පොඩ්ඩක් කල් ගියා. ඒ වැඩේ කරන්න රනිල්වම අවශ්‍ය වුනෙත් නැහැ. හැබැයි රනිල් හැර වෙන කෙනෙක් හිටියෙත් නැහැ. ඒ නිසා, ඒ අර්ථයෙන් රනිල් කළේ රට ගොඩ දැමීමක්. ඒ වගේම, මේ වෙලාවේ ඔය විදිහට සුළුවෙන් හෝ රට ගොඩ දැමීම තුළ රාජපක්ෂලාට හුස්මක් ගන්න ඉඩක් ලැබෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, රනිල් ආවේ රාජපක්ෂලා ගොඩ දාන්නද කියන ප්‍රශ්නය ඒ තරම්ම වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. 

රනිල්ට කළ හැක්කේ කුමක්ද?

ඇතැම් අයට අනුව රනිල් මීට පෙර පස් වරක් අගමැති වී ඇතත් කර ඇති දෙයක් නැහැ. ඒ නිසා, දැන් කියලා කළ හැකි දේකුත් නැහැ. තවත් අයට අනුව, 2001 හා 2015 වැනි අවස්ථා වල රනිල් ඇවිත් රට ගොඩ දාලා තියෙන නිසා මේ වෙලාවෙත් ඔහුට රට ගොඩදාන්න පුළුවන්. මට පෙනෙන විදිහටනම් මහ මැතිවරණයක් පවත්වා අළුත් ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමට යන අවම කාලය තුළ රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වීම වලක්වා ගැනීමට වඩා දෙයක් රනිල්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි. 

ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය මීට පෙර රනිල් ඇවිත් "රට ගොඩ දාපු" අවස්ථා වලට වඩා ගොඩක් භයානක හා සංකීර්ණ තත්ත්වයක්. ඇත්තටම කියනවානම් හිතාගන්නවත් බැරි තරම් භයානක තත්ත්වයක්. මේ වගේ තත්ත්වයකට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය සියළුම පක්ෂ අතර පුළුල් එකතුවක් තුළින් විසඳුම් හෙවීමයි. නමුත්, හැමෝම ඉන්නේ තමන් ගැන අධි තක්සේරුවක. ඒ නිසා, ඒ විදිහේ එකතුවක් ඇති වීමේ ඉඩක් නැහැ. 

මේ ප්‍රශ්නය විසඳෙන්නේ මහ මැතිවරණයකට යාමෙන් පමණයි. දැන් මහ මැතිවරණයකට යාම සුදුසු අවස්ථාවක් නෙමෙයි කියා හිතන අයට මට කියන්න තියෙන්නේ තව බලා හිටියා කියලා මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන එක සිහිනයක් කියලයි. 

මේ ආණ්ඩුවේ ජනවරම දැන් නෑ කියන්න පැහැදිලි හේතු තිබෙනවා. මම මෙය කියන්නේ රට පුරා තිබුණු හා තවමත් තිබෙන උද්ඝෝෂණ නිසාවත්, ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයින්ට එළියට බහින්න බැරි නිසාවත් නෙමෙයි. ඒ හේතු නිසා පමණක් හදිසි මහ මැතිවරණයක් තියන්න අවශ්‍ය නැහැ. හදිසි මහ මැතිවරණයක් පැවැත්විය යුත්තේ කලින් මැතිවරණයට මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ වැරදි හා අසාර්ථක එකක් ලෙස නම් කර මේ ආණ්ඩුව විසින්ම අතහැර දමා තිබෙන නිසයි. 

ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ සහේතුකව අතහැර දැමීමෙන් පසුව දැන් ක්‍රියාත්මකව තිබෙන්නේ 2019දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ රනිල්ගේ වැඩ පිළිවෙළයි. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ විසින් සාමූහිකව මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවනවානම් එයින් වක්‍ර ලෙස හෝ ජනතා අනුමැතිය යම් තරමකින් ප්‍රදර්ශනය වෙනවා. දැන් වෙන්නේ එවැන්නක් නෙමෙයි. 

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වුනානම් ආර්ථික අර්බුදය දැන් තරමට ඔඩු දුවන්නේ නැහැ. එහෙමනම් බොහෝ විට ඩොලරයක මිල කලින්ම ඉහළ යනවා. ආණ්ඩුව කලින්ම IMF යනවා. හැබැයි දැන් ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. කළ යුතුව තිබුණු, නොකළ, දේ දැන් ආපසු ගිහින් කරන්න බැහැ. 

ලංකාවේ වත්මන් ප්‍රශ්නය ලංකාවේ මිනිස්සුන්ගෙම තෝරා ගැනීමක්. මේ තෝරාගැනීම කරන්නේ 1948 තරම් ඈත කාලයකදී. තේරීම ඇතුළේ සංවර්ධනය වගේම සුබසාධනයත් තිබෙනවා. සංවර්ධනය නැතුව සුබසාධනය පමණක් තිබුණානම් 1948 සිට අද දක්වා ලංකාවේ මිනිසුන් විසින් ලබාගෙන තිබෙන ජයග්‍රහණ බොහොමයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාව විසින් පවත්වාගත් සුබසාධන මට්ටම නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වූ බදු ප්‍රමාණය රට ඇතුළෙන් එකතු කරගත්තානම් ඔය සංවර්ධන මට්ටම පවත්වා ගන්න වෙන්නේ නැහැ. ඉලක්ක දෙකම එකවර අත්පත් කර ගත හැකිව තිබුණු එකම ක්‍රමය දිගින් දිගටම ණය ගැනීමයි.

ඔය විදිහට සුබසාධනයට, සංවර්ධනයට මෙන්ම පෙර ණය පියවීමටද ණය ගනිමින් ගෙන ගිය ක්‍රමය කොයි වෙලාවක හෝ අනිවාර්යයෙන් කඩා වැටීමට නියමිතව තිබුණා. 2009න් පසු රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය මේ ක්‍රියාවලිය වේගවත් කළා. රනිල් බලයට නොආවානම් 2016-2017 වැනි වසරකදී රට අර්බුදයට යනවා. රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ නිසා ඒ කඩා වැටීම වැළකුණා.

ඒ කියන්නේ රනිල් රට ගොඩ දැම්මද? කිසිසේත්ම නැහැ. රනිල් කරපු එකම දෙය 2015දී පැවති අස්ථාවරත්වය 2019 දක්වා ඒ මට්ටමේම නඩත්තු කරන එක පමණයි. ඒ හැර, ආර්ථිකයේ පැවති අස්ථාවරත්වය දශමයකින්වත් අඩු වුනේ නැහැ. දැන් රනිල්ට කළ හැක්කේත් එවැනි දෙයක්. ඔහුට මෙය නැවත 2019ට ගෙනියන්න බැහැ. ඔහු භාරගන්නා විට තිබුණු තැන යම් කාලයක් තියාගෙන ඉන්න පුළුවන් වෙයි. මේ කාලය මාස වලින් මිස අවුරුදු වලින් ගණන් කළ හැකි කාලයක් නෙමෙයි.

මහ බැංකුව පැත්තෙන් බැලුවත් මේ වෙද්දී පාරේ අවසානයට (ඩෙඩ් එන්ඩ් එකකට) ඇවිත් වගෙයි මටනම් පේන්නේ. අලුත් අධිපතිවරයා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉතා නිවැරදිව, සැපයුම පාලනය කිරීම වෙනුවට ඉල්ලුම් කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළා. මේ වෙද්දී ඒ පිළිවෙත වෙනස් වෙලා. දැන් කරන්න හදන බව පෙනෙන්නේ ඩොලරයක මිල තිබෙන මට්ටමේ තියාගෙන, පොලී අනුපාතිකත් තිබෙන මට්ටමේ තියාගෙන සල්ලි අච්චු ගහන එකයි. 

සල්ලි අච්චු ගහන එක දිගටම කරන බවක් අගමැතිවරයා හෝ මහ බැංකුව විසින් කියන්නේ නැහැ. නමුත්, මේ යන පාරේ ගිහින් ගොඩ එන ක්‍රමයක් දැනටනම් පෙනෙන්නත් නැහැ. දැවැන්ත රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයකින් වෙනසක් සිදු නොවන්නේනම් කවුරු අධිපති වුනත් මහ බැංකුවට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්කමකුත් නැහැ. ජනතා කැමැත්ත නැතිව අවශ්‍ය තරමේ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීමේ හැකියාවකුත් නැහැ. හදිසි මහ මැතිවරණයක් තියන්නම වෙනවා කියා මම කියන්නේ ඒකයි. 

ඇත්තටම දැන් ලොකුම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය නෙමෙයි. රජයේ රුපියල් ප්‍රශ්නය. ඩොලරයක මිල ඉහළ යාම නිසාත් ණය ගෙවීම අත් හිටවීමේ තීරණය ඇතුළු අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග නිසාත් කලින් තිබුණු ඩොලර් ප්‍රශ්නය දැනටමත් සෑහෙන දුරට විසඳිලයි තියෙන්නේ. දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නය රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම පිළිබිඹුවක් වන අලුත් ඩොලර් ප්‍රශ්නයක්. වෙනත් අයුරකින් කිවුවොත් රට ඇතුළේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉතා ඉක්මණින් විසඳා ගත්තේ නැත්නම් සිම්බාබ්වේ ඒ තරම් දුර වෙන එකක් නැහැ.

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයට එමු. මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 1.6යි. අපේක්ෂිත වියදම රුපියල් ට්‍රිලියන 4යි. ශ්‍රී ලන්කන් වගේ ආයතන විකිණිය හැකි වුවත්, එයින් මේ හිඟය පියැවෙන්නේ නැහැ. ඒ වගේම, මෙවැනි වත්කමක් විකුණා ලබන ආදායමක් එකවර ලැබෙන ආදායමක්. අයවැය හිඟය දිගටම තියෙන එකක්. මහන්සි වෙලා විදේශ ණය ටිකක් ගත්තත් ඒකෙන් කළ හැක්කේ පොඩි කල් ගැනීමක් පමණයි. සිම්බාබ්වේ පාරේ නොයන්නනම් එකම විසඳුම වියදම් කපා, ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය තුලනය කර ගැනීම පමණයි.

රජයේ වියදම් කපනවා කියා කියන්නෙත්, රජයේ ආදායම් වැඩි කරගන්නවා කියන්නෙත් රටේ මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා කියන එකයි. දේශපාලනය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. රටේ ඉහළ ආදායම්ලාභීන්ව හා අඩු ආදායම්ලාභීන්ව පීඩාවට පත් කළ යුත්තේ කවර අනුපාතයෙන්ද?

මතක තියාගන්න මෙතෙක් කල් ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ. මෙතෙක් කල් කළේ නොඉපදුණු පරම්පරාවට බිල ඉතිරි කරමින් කණ්ඩායම් දෙකම සුවසේ පරිභෝජනය කරන එකයි.

ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අය කර ගනිමින් හා අඩු ආදායම්ලාභීන්ට සහන දෙන එක ජනප්‍රිය ඉල්ලීමක් වෙන්න පුළුවන්. නමුත්, මේ වැඩෙන් වෙන්නේ රට දශක ගණනාවකින් පස්සට යාම හා පහසුවෙන් නැවත ගොඩ ආ නොහැකි වීම පමණයි. අනෙක් පැත්තෙන් අඩු ආදායම්ලාභීන්ගේ සහන කපමින් "පාලම තරණය කරන්න" පුළුවන්කමකුත් නැහැ. ඒ එක්ක මතු වන සමාජ අර්බුදය විසින් හැම දෙයක්ම විනාශ කර දමයි. ඒ නිසා, මේ බරට කර ගහන එක සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍ය වෙනවා. ඇති හැකි අයට මෙතෙක් කවදාවත් නොදැරූ තරම් බරක් දරන්නම වෙනවා. ඉතිරි අයටත් යම් බරක් දරන්න වෙනවා. සම්මුතිය කුමක් වුවත් අවසාන වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඛාදනය වීම වලක්වන්න බැහැ.

මෙතැන තියෙන්නේ සමාජ වියමන ආරක්ෂා කරගැනීම හා ආර්ථිකය කඩා වැටීමේ හානි අවම කරගැනීම පිළිබඳ තේරීමක්. ප්‍රශස්ත සමතුලනය ගැන සියල්ලන්ටම එකඟ වෙන්න බැරිනම් කළ යුත්තේ මහ මැතිවරණයක් පවත්වා බහුතර කැමැත්ත පරිදි කටයුතු කිරීමයි.  

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...