වෙබ් ලිපිනය:

Showing posts with label ස්වයංපෝෂණය. Show all posts
Showing posts with label ස්වයංපෝෂණය. Show all posts

Saturday, May 30, 2020

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!


ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.

මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.

දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.

හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් ක‍රන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.

ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.

ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.

එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්‍රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්‍රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.

වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.

ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.

ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.

ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.

වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක  වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.

වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.

මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.

හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...

ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.

හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.

ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.


ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.

මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.

මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්‍රහ කරගෙන තේරුම් ගත යුතුයි.

ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.

- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.

- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.

- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.

අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.


නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.


නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්‍රමුඛ ඉලක්කයක් වුනා.

ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.


එහෙමනම් සැබෑ ප්‍රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.


Tuesday, May 26, 2020

වී බිස්ස අවුස්සමු!


ධනවාදය කියා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස් ගනුදෙනු මිසක් මුදල් නෙමෙයි. මුදල් කියා කියන්නේ ගනුදෙනු සඳහා භාවිතා කරන මෙවලමක් පමණයි. ඒ නිසා, ධනවාදය පවතින්න මුදල් අවශ්‍යම නැහැ. වැදගත් වන්නේ මුදල් භාවිතා කර හෝ නොකර නිදහස් ගනුදෙනු සිදු වීමයි. එහෙත්, ගනුදෙනු නිදහසේ සිදු නොවනවානම් එතැන ධනවාදයක් නැහැ.

යුරෝපීයයන් පැමිණ වෙනස් කරන්න කලින් ලංකාවේ තිබුණේ මොන විදිහේ ආර්ථිකයක්ද? ඒ කාලයේ ලංකාවේ ජීවත් වුනේ ගනුදෙනු කිසිවක් නොකර තම තමන්ගේ දූපත් වල ජීවත් වූ රොබින්සන් කෲසෝලාද?

යුරෝපීයයන් ලංකාවට මුලින්ම පැමිණෙන කාලයේදී යුරෝපයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 50-75% අතර පිරිසක් නිරතව හිටියේ කෘෂිකාර්මික රැකියා වලයි. ලංකාවේ මේ ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් වී ගොවිතැනේ නිරතව හිටිය බව පැහැදිලියි.

බත් කියන්නේ ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය. මේ පුරුද්ද විජයගෙන් සංකේතවත් වන වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් සියවස් කිහිපයක් තිස්සේ කණ්ඩායම් වශයෙන් මෙහි ආ සංක්‍රමණිකයින් හේතුවෙන් ප්‍රචලිත වූ පුරුද්දක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටත් ඉන්දියාවේ වැඩිපුරම සහල් නිපදවන ප්‍රාන්තය බටහිර බෙංගාලයයි. කොහොම වුනත් අවම වශයෙන් සහශ්‍ර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වී ගොවිතැන සිදු වෙනවා.

ජනප්‍රිය සාහිත්‍යය කෙසේ වුවත් ලංකාවෙන් පිටරට වලට සහල් අපනයනය කළ බවට තිබෙන සාක්ෂි වලට වඩා ලංකාව සහල් ආනයනය කළ බවට සාක්ෂි වැඩියි. මේ ගැන අප පෙර කතා කර තිබෙනවා. හැබැයි ගම්පොළ යුගය පමණ වන තුරු ඔය ආනයන අපනයන දෙකම ඉතා කලාතුරකින් සිදු වී ඇති දේවල් මිස නිතර සිදු වී ඇති දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිපදවාගෙන තිබෙන්නේ ලංකාවේමයි. ඒ සහල් ප්‍රමාණය රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ කාල වකවානු වගේම කිසියම් අතිරික්තයක් තිබුණු කාල වකවානුත් තියෙන්න ඇති. එහෙත්, කාලයක් තිස්සේ එක දිගටම විශාල අතිරික්තයක් තිබී ඇති බවක්නම් පෙනෙන්නේ නැහැ.

සැලකිය යුතු විදේශ වෙළඳාමක් සිදු නොවූයේය යන අර්ථයෙන් ලංකාව සහලින් ස්වයංපෝෂිතව සිටි බව කියන්නට පුළුවන්. එහෙත්, එවැනි තත්ත්වයක් පැවතුණේ නෛසර්ගික හේතු මත මිස කෘතීම ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බාධා පමුණුවා තිබුණු නිසා නෙමෙයි. නාවික තාක්ෂනය එක්තරා මට්ටමකට දියුණු වන තුරු මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.

ලංකාවේ ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් තෙත් කලාපයට මාරු වීමෙන් පසුව රටේ සහල් නිෂ්පාදනයේ පෙර වූ සාර සොබාව නැවත දකින්නට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙටි කාලාන්තර තුළ රාජධානි මාරු වීම, රාජ්‍යය ශක්තිමත්ව නොපැවතීම, නිතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් ආදියත් එයට හේතු වෙන්න ඇති. අනෙක් අතට මේ කාලය වන විට නාවික තාක්ෂනයේ යම් මට්ටමක දියුණුවක් ඇති වී තිබෙනවා. මේ කරුණු හේතුවෙන් යුරෝපීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙරත් ලංකාව නැගෙනහිර හා දකුණු ඉන්දියාවෙන් වරින් වර සහල් ආනයනය කර තිබෙනවා. එහෙත්, රටේ අති මහත් බහුතරයක්, කුසගින්නෙන් නොපෙළුනානම්, තව දුරටත් යැපෙන්න ඇත්තේ දේශීය සහල් වලින්.

මේ අර්ථයෙන් බැලු විට ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ රොබින්සන් කෲසෝලා නොවූවත් මිනිසුන් අතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ගම් හා පරිවාර ගම් සීමාව තුළයි. රටේ විවිධ ප්‍රදේශ අතර ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා සීමිතවයි. එයට හේතුවද මාර්ග පහසුකම් වැඩි දියුණු වී නොතිබීම නිසා භාණ්ඩ ප්‍රවාහනයට වූ ස්වභාවික බාධාව මිස ආණ්ඩු විසින් පැනවූ හාල් පොලු වැනි නියාමන රෙගුලාසි නෙමෙයි.

මේ කාලය වන විට හාල් කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය පමණක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන මුදල් ඒකකයද හාල්  කියා කියන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේදී මුදල් අර්ථ දක්වන ගුණාංග තුනක් තිබෙනවා.
- ගනුදෙනු වලදී ගෙවීම් කිරීමට යොදා ගන්නා මෙවලමක් වීම
- ගිණුම් තැබීමේ ඒකකයක් වීම
- වටිනාකම ගබඩා කර තබා ගත හැකි දෙයක් (වත්කමක්) වීම

ලංකාවේ ආර්ථිකය තුළ සහල් විසින් අඩු වැඩි වශයෙන් මේ කාර්යයන් තුනම ඉටු කර තිබෙනවා. මේ කාලය වෙද්දී වගේම ඊට සියවස් ගණනාවකට පෙරත් ලංකාවේ රන් රිදී ඇතුළු ලෝහ කාසි භාවිතා වී තිබෙනවා තමයි. සමාජ ධුරාවලියේ ඉහළින් සිටි අය ලෝහ කාසි භාවිතා කරන්න ඇති. ජාත්‍යන්තර වෙළඳාමේදී වගේම නිතර සිදු නොවූ ගමෙන් පිට අයෙකු සමඟ කරන ඇතැම් ගනුදෙනුවකදී ලෝහ කාසි භාවිතා කරන්න ඇති. එහෙත්, ගම ඇතුලේ සිදු වූ බොහෝ ගනුදෙනු වලදී ලෝහ කාසි හුවමාරුවක් වුනා කියා හිතන්න බැහැ. ඇතැම් අය අතේ ලෝහ කාසි තිබෙන්නම නැතුව ඇති.

ධනවාදය හා සමාජවාදය වෙනස් වන එක් මූලික කරුණක් වන්නේ සමාජවාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතුය කියන කරුණ බැහැර කිරීම. නමුත්, ධනවාදය විසින් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මේ එක් එක් නිෂ්පාදන සාධකය සපයන අය අතර නියම අනුපාතයට බෙදී යා යුතු බව පිළිගන්නවා. ඒ නිසා, ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ ලබන ප්‍රාග්ධනය අහිමි අයෙකුට තමන්ගේ වත්මන් පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා අනාගතයේදී ප්‍රාග්ධනය වෙනුවෙන්ද ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වෙනවා.

සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා. ප්‍රාග්ධනය මිනිසුන් අතේ එක් රැස් වීම වැළැක්වෙනවා. ඒ හරහා ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය පවත්වා ගැනීමට ඉඩ සැලසෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මිනිසුන් අතර බෙදා හරින්නේ (හෝ නොහරින්නේ) කොහොමද කියා තීරණය කිරීමේ අයිතිය ඉතිරි වන්නේ රජයේ ඉහළ ස්ථරයේ සිටින සුළු පිරිසකගේ අතේ. ඒ නිසා, ඒ පිරිසට ඔවුන්ගේ අභිමතය අනුව තීරණය කෙරෙන කටයුත්තක් සඳහා ඒ අතිරික්තය යෙදෙවීමේ හැකියාවක් ලැබෙනවා. එය වෙනත් රටක විකුණන පොත් වල මිල සුබසාධනය කිරීම, වෙනත් රටක යුද්ධයකට මැදිහත් වීම හෝ අභ්‍යවකාශ වැඩ සටහනක් වෙන්න පුළුවන්.

ලංකාවේ කෘෂි කර්මාන්තයේ කාලයක් තිස්සේම පැවතුණු අඳ ගොවි ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හා ශ්‍රමයේ ප්‍රතිලාභ පිළිගන්නා ක්‍රමයක්. ඒ කාලයේ මිනිස්සු මේ බර වචන හෝ ධනවාදය කියන්නේ කුමක්ද කියා දැන සිටින්න නැතුව ඇති. එහෙත්, ඉඩම් හිමියාට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ගොවියා විසිනුත්, ගොවියාට ශ්‍රමයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ඉඩම් හිමියා විසිනුත් පිළි ගැනුණා. මැණික් පතල් කර්මාන්තයේ බිම් පංගුව (හා පසුව එකතු වූ මැෂින් පංගුව) කියන්නෙත් ඔය වගේම දෙයක්.

ඇතැම් විට ඉඩම් හිමියා වුනේ පන්සලක් හෝ දේවාලයක්. ඇතැම් විට රජය වෙනුවෙන් කිසියම් සේවයක් කළ අයෙක්. ඇතැම් විට රට වෙනුවෙන් සේවයක් කර රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙක්.

මේ ගනුදෙනු වලදී ලෝහ කාසි යොදා ගැනුනේ නැහැ. මුදල් ඒකකය වුනෙත් වී කුරුණිම තමයි. ඒ වගේම, රජයට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා බොහෝ විට යොදා ගත්තෙත් වී. මීට අමතරව කෘෂිකාර්මික අංශයෙන් පිටත වෙනත් අංශ වල රැකියා වල නිරත වූ අයට, උදාහරණයක් ලෙස කම්මල් වැඩ කළ හෝ වලං හැදූ අයට ගෙවීම් කළේත් වී වලින්. මේ වැඩේට වෙනත් ආහාර බෝගත් යොදා ගෙන ඇතත් ජනප්‍රියම ගෙවීම් මාධ්‍යය වුනේ වී.

අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ වත්කම් පිළිබඳ නිර්ණායකයක් වුනෙත් වී. වී බිස්ස හිස්වීමෙන් සංකේතවත් වුනේ බංකොලොත් වීමයි. හැමදාම අටුව පිරෙන්න වී තිබුණානම් ඔහු සාපේක්ෂ ධනවතෙක්. වෙනත් ලෙසකින් කිවුවොත් වී ගබඩා කර තබා ගැනීම යන්නෙන් අදහස් වුනේ වත්කම් ගබඩා කර තබා ගැනීමක්.

ඒ වගේම, ඉඩම් වල වටිනාකම තීරණය වුනේ වැපිරිය හැකි වී ප්‍රමාණය හෝ ලැබිය හැකි වී අස්වැන්න මතයි. වී මිටි, වී නෑලි, වී කුරුණි, වී බෙර, වී පෑල්, වී අමුණු වගේ ඉඩම් මනින ඒකක හැදී තිබෙන්නේ මේ පදනමෙන්. ඉඩම් වල සරු නිසරු බව අනුව මේ ඒකකයක වර්ග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිණුම් තැබීමේ ඒකකයක් ලෙසත් වී වලට කාර්ය භාරයක් තිබී තිබෙනවා.

ඉහත පැහැදිලි කර ඇති පරිදි වී කියා කියන්නේ ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය වගේම කාලයක් තිස්සේ භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකයක්. ආදායම හා වත්කම් පිළිබඳ නිර්ණායකයක්.

මුදල් ඒකකය ලෙස සෘජුවම ශ්‍රම ඒකක යොදා ගැනුණු අවස්ථාත් තිබෙනවා. අත්තම් ක්‍රමයේදී සිදු වන්නේ එවැනි දෙයක්. මෙහිදී හුවමාරු වන්නේ ශ්‍රම ඒකකයි.

ශ්‍රම ඒකක හුවමාරු කිරීම මාක්ස්වාදය සමඟ ගැලපෙන අදහසක්. මෙය ස්වභාවිකව ක්‍රියාත්මක විය හැක්කේ ශ්‍රම ඒකක වල වටිනාකම් ආසන්නව සමානනම් පමණයි. එහෙත් සියල්ලන්ගේම ශ්‍රම ඒකක හැම විටම සමාන නැහැ. මාක්ස්වාදී ප්‍රවේශය නිවැරදි නොවන්නේ ඒ නිසයි. එසේ වුවත්, අත්තම් සන්දර්භයේදී ශ්‍රම ඒකක බොහෝ දුරට සමානයි. පේලියට ගොයම් කපාගෙන යන කොට එක් කෙනෙක්ට වැඩි වේගයකින් හා තවත් කෙනෙක්ට අඩු වේගයකින් ගොයම් කපන්න බැහැ. ඒ නිසා, නූතන කම්හලක නිෂ්පාදන පේළියකදී (production line) වගේ කවුරුත් එකම වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මේ සන්දර්භයේදී අත්තම් ක්‍රමය මාක්ස්වාදය සමඟ මෙන්ම ධනවාදය සමඟත් ගැලපෙනවා.

මේ ශ්‍රම ඒකක හුවමාරු ක්‍රමය නවීන තොරතුරු තාක්ෂනය සමඟ මුසු වී විකල්ප ගනුදෙනු ක්‍රමයක් ලෙස මේ වෙද්දී බටහිර ලෝකය තුළ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන වෙන වෙලාවක විස්තර කරන්නම්.

මෙතෙක් විස්තර කළ දේවල් වල සාරය ගත්තොත්, යුරෝපීයයන් එන කාලය වෙද්දී ලංකාවේ ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් තිබුණා. එහෙත්, මේ ගම් වෙනත් ගම් වලින් හෝ ලෝකයෙන් වෙන් කෙරෙන කෘතීම බාධා තිබුණේ නැහැ. ගම් ඒකක බාහිර තරඟකාරිත්වයට මුහුණ දුන්නා. ගනුදෙනු සීමා වී තිබුණේ ගම් අතර පාරවල් හැදී ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබීමේ හේතුව නිසා පමණයි. බාහිර සාධක සැළකු විට පැවති තත්ත්වය කාර්යක්ෂමයි.

රටේ බොහෝ තැන් වල තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් මේ ආකෘතිය ඇතුළේ නොතිබුණු තැන් තිබුණා. උදාහරණයක් ලෙස මන්නාරමේ මුතු කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය රට ඇතුළේ කෘෂි ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තරකරණය වී තිබුණා. කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනෙක් තාවකාලික සංක්‍රමනික ශ්‍රමිකයින්. අද ව්‍යවහාරය අනුව ලංකාවේ හා ඉන්දියාවේ ද්විත්ව පුරවැසියන් කියා කියන්නත් පුළුවන්. යුරෝපීයයන් පැමිණීමට පෙර සිටම ඔවුන්ගේ පරිභෝජනය පිණිස දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබෙනවා.

එක පැත්තකින් පැවති ප්‍රවාහන බාධක නිසා රට මැද සිට මන්නාරමට සහල් ප්‍රවාහනය කරනවාට වඩා දකුණු ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගේන එක කාර්යක්ෂමයි. අනෙක් පැත්තෙන් රට මැද තෙත් කලාපයේ ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි වී අතිරික්තයක් තිබී නැහැ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසුව ස්වයංපෝෂිත ගම් ඒකක වලින් බාහිරව වූ ආර්ථිකය තව තවත් පුළුල් වුනා. එහිදී දුම්කොළ හා කුරුඳු ආශ්‍රිත අපනයන ඉලක්ක කරගත් වාණිජ කෘෂි කර්මාන්තයේ නියැළුණු ශ්‍රමිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් දිගින් දිගටම ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා. රට මැද ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි තරමේ සහල් අතිරික්තයක් නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. අඩු වශයෙන් ලන්දේසි යුගයේ ආරම්භයේ සිට මෙසේ ආනයනය කළ වී ප්‍රමාණ හා මිල ගණන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තා තිබෙනවා. ලිපිය වෙන පැත්තකට යන නිසා වැඩි විස්තර කතා නොකර සිටිමු.

ඉංග්‍රීසින් විසින් කෝපි හා තේ හඳුන්වාදීමත්, දකුණු ඉන්දීය ශ්‍රමිකයින් රැගෙන ඒමත් නිසා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය එසේම තිබියදී එයින් බාහිර ආර්ථිකය විශාල ලෙස පුළුල් වුනා. ඒ නිසා, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ සාපේක්ෂ වැදගත්කම අඩු වුනා. දකුණු ඉන්දීය ශ්‍රමිකයින්ට අවශ්‍ය ආහාර බොහෝ දුරට ඉන්දියාවෙන්ම ආනයනය කිරීමයි සිදු වුනේ. වාණිජ කෘෂිකර්මයෙන් ඉපැයූ ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට ලංකාවේ ඔවුන්ගේ වියදම් ලංකාවෙන් උපයන ආදායම් වලින්ම පියවා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස මහන්සි වුනා. කෝපි හා තේ හඳුන්වා දීමත් මේ උත්සාහයන් තුළ කළ අත්හදා බැලීම්. කෝපි අසාර්ථක වුනත් තේ හා රබර් ආශ්‍රිත කෘෂිකර්මය සාර්ථක වුනා.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක අපි තවත් දවසකට කල් දමමු.

Sunday, May 17, 2020

ආර්ථිකය සැලසුම් කළ හැක්කේ කාටද?


ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව  සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.

ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.

ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).

ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.

මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.

ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය  වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.

මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.

ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.

ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.

ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?

රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.

නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.

පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?

ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?

මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.

මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්‍රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්‍රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.

(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)

Tuesday, May 12, 2020

කුඹුරට තල්ලු කිරීම හා කුඹුරෙන් ගොඩගැනීම


ලංකාවේ කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,215,128ක්. ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක්. ගණන් ආසන්නව සමානයි.

ඇමරිකාවේ බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක් පමණයි. ලංකාවේ බෝග වගාවේ යෙදෙන ප්‍රමාණය මට සොයා ගත හැකි වුනේ නැහැ. නමුත්, එම ප්‍රමාණය ඉහත ගණනින් 70%ක් පමණවත් වේයැයි හිතන්න පුළුවන්.

ලංකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,300,000ක්. මේ ගණන ඉහත ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 1.45ක් වැටෙනවා. ඉහත ශ්‍රමිකයන් ගණනට ධීවරයින්ද ඇතුළත් නිසා අක්කර ගණන 2ක් පමණ කියා හිතන්න පුළුවන්. ලංකාවේ කුඹුරු ඉඩමක සාමාන්‍ය ප්‍රමාණයත් අක්කර දෙකයි.

ඇමරිකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 152,262,500ක්. ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 298.25ක්. අක්කර 300ක් කියමු.

ලංකාවේ ගොවියාගේ මූලිකම ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. කොයි තරම් කාර්යක්ෂම වුනත් අක්කර 300කින් ගන්න අස්වැන්න අක්කර දෙකකින් ගන්න බැහැ. ලංකාවේ වගා කළ හැකි ඉඩම් සියල්ලම වගේ මේ වන විටත් වගාව සඳහා යොදා ගෙන අවසන් නිසා මේ ප්‍රමාණය වැඩි කරන්නත් බැහැ.

ඉඩම් වැඩි කරන්න බැරිනම් කරන්න වෙන්නේ ගොවියන් අඩු කරන එකයි. එක් ගොවියෙකු සතු ඉඩම් ප්‍රමාණය ඇමරිකාවේ තරමට වැඩි කරන්නනම් ශ්‍රමිකයින් ගණන 11,000ක් පමණ දක්වා අඩු කරන්න වෙනවා. එවැන්නක් හදිසියේ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. නමුත්, කළ යුත්තේ ක්‍රමක්‍රමයෙන් කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ සලසන එකයි.

කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ හැරීම කියන එකෙන් අදහස් වෙන්නේ රට කෘෂිකර්මයෙන් ඉවත් වීම හෝ ගොවීන් පාරට ඇද දැමීම නෙමෙයි. කෘෂිකර්මයට වඩාත්ම කැමති හා වඩාත්ම දක්ෂ පිරිසට රැඳෙන්න හැර අකමැත්තෙන් ගොවිතැන් කරන අයට වඩා ඵලදායී වෙනත් කටයුත්තක නිරත වෙන්න ඉඩ හැරීමයි. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් වෙන්නනම් එය අනිවාර්යයෙන්ම විය යුතුයි.

මේ විදිහට ශ්‍රමිකයින් කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන්නේ එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයෙන් ශ්‍රම හිඟය පියවෙනවා කියන එකයි. එවිට අස්වනු ඵලදායීතාවයත් ඉහළ යනවා. එයින්ද ආදායම් වැඩි වෙනවා.

මේ වැඩේ කවුරුවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රමිකයින් බලෙන් එළියට ඇද දමා ඔවුන්ට යහපතක් කරන්න බැහැ. කළ යුත්තේ කෘෂිකර්මය නැංවීමේ ලේබලය යටතේ කර්මාන්තයේ දැනට සිටින ශ්‍රමිකයින් එහිම හිර කර තබන එකෙන් වැළකී සිටීමයි. ගොවියා රැක ගැනීමේ අරමුණින් කියා කරන බොහෝ දේවල් වලින් වෙන්නේ ගොවියාව මේ කර්මාන්තය ඇතුළේ කූඩු කෙරෙන එකයි.

රටක් ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ක්‍රමයෙන් හැකිලෙන එක අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. රටේ කෘෂිකාර්මික අංශය ගොඩක් විශාලයි කියා කියන්නේ ඒ රටේ මිනිස්සු කනවා බොනවා හැර වෙනත් ජීවිතයක් නැති බවයි. කෘෂිකාර්මික අංශය 10%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් දහ ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි.  කෘෂිකාර්මික අංශය 1%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් සිය ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි. මේක හරියටම මේ විදිහටම නොවුණත් කතාව මේ වගේ එකක්.

රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේම මිනිස්සුන්ට කන්න දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය හදන්න අවශ්‍ය මිනිස්සු ගණන අඩු වෙනවා කියන එකයි. වෙන දේවල් කරන්න ශ්‍රමය නිදහස් වෙන්නේ එතකොටයි.

පැරකුම් යුගයේ වැව් අමුණු හදන්න ශ්‍රමය නිදහස් වුනේ ගොවිතැන් කළ පිරිසට රටටම කන්න දෙන්න පුළුවන් වූ නිසා. ඇමරිකාව කන බොන දේ හදා ගන්නවාට වඩා තව ගොඩක් දේවල් කරන්නේ රටේ ඉතා සුළු පිරිසකට රටටම කන්න දෙන්න පුළුවන්කම තිබෙන නිසා.

වී ගොවිතැන ඕනෑ නැහැ. අපි තේ වගේ වෙන දෙයක් ගනිමු. කලින් පෝස්ට් එකේ විස්තර කරපු පරිදි ආහාර අපනයනයෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ තේ වලින්නේ.

දැන් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේනේ. අපි හිතමු තව අවුරුදු දහයකින් ඕක 8000ක් වුනා කියලා. සමාජ සාධාරණත්වය ගැන හිතනවානම් තේ ශ්‍රමිකයෙකුගේ ආදායමත් අඩු වශයෙන් දෙගුණ විය යුතුයිනේ. එතකොට තේ කර්මාන්තයේ පිරිවැයට මොකද වෙන්නේ? කර්මාන්තය පවතින්න පුලුවන්ද?

අනිවාර්යයෙන්ම බැහැ. තව අවුරුදු දහයකට පස්සේ තේ කර්මාන්තය පවතින්නනම් අනිවාර්යයෙන්ම යාන්ත්‍රීය ලෙස දළු කඩන්න වෙනවා. එවිට දැන් ඉන්න ශ්‍රමිකයින්ගෙන් සෑහෙන පිරිසකට රැකියා අහිමි වෙනවා. ඒ අයට කරන්න මොනවා හෝ රැකියා ජනනය විය යුතුයි. මොකද රටෙන් බාගයකගේ ආදායම දෙගුණ වෙලා අනිත් බාගයට රස්සා නැති වෙනවා කියන්නේ රට එතැනමයි. රටේ ආදායම දෙගුණ වෙනවා කියන්නේ කාගේත් වාගේ ආදායම දෙගුණ වීමයි.

ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් වන, ධීවර හා දඩයම් අංශද ඇතුළුව කෘෂිකාර්මික අංශයේ රැඳී ඉන්නේ 1.5%ක් පමණයි. ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයට ඒ අයගේ දායකත්වය ඩොලර් බිලියන 169.2ක්. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් දෙගුණයක් පමණ වුවත් ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. ඉතිරි 98.5% කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) රැකියා කරමින් දළ ජාතික නිෂ්පාදිතයෙන් 99.2%කට දායකත්වය සපයනවා.

ලංකාවේ කෘෂිකාර්මික අංශය ශ්‍රම බලකායෙන් 25.8%ක්. එහෙත්, ඔවුන්ගෙන් දළ ජාතික නිෂ්පාදිතයට තිබෙන දායකත්වය 7.4%ක් පමණයි. කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) සේවය කරන එමෙන් තුන් ගුණයක පිරිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 93.6%කට දායකත්වය සපයනවා.

ලංකාව ගත්තත් ඇමරිකාව ගත්තත් එක දෙයක් ඉතා පැහැදිලියි. කෘෂිකර්මයෙන් ඉවත් වන පිරිස් වඩා ඵලදායී වෙනත් රැකියා වල යෙදෙනවා මිස කරන්න වැඩක් නැතුව වේලෙන්නේ නැහැ. ඒ වගේම, ඒ පිරිස ඉවත් වුනා කියා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සමස්ත නිෂ්පාදිතය හෝ ඵලදායීතාවය අඩු වෙන්නේත් නැහැ.

ධනවාදී ක්‍රමයක් පවතිද්දී ශ්‍රමිකයෙක් කෘෂිකර්මයෙන් ඉවත් වී වෙනත් අංශයක රැකියාවකට මාරු වෙන්නේ එය තමන්ට වඩා වාසිදායක නිසා. ඒ වගේම තවත් ශ්‍රමිකයෙක් එසේ ඉවත් නොවී කෘෂිකර්මයේම රැඳී සිටින්නේත් එය තමන්ට වඩාත්ම වාසිදායක නිසා. ඇතැම් අවස්ථා වලදී මෙය අඩු නරක තෝරා ගැනීමක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ යම් පුද්ගලයෙකු සතු කුසලතා හා රටේ තිබෙන විකල්ප මතයි.

ලෝකයේ හැම රටක්ම වගේ පටන් අරන් තිබෙන්නේ කෘෂිකාර්මික රටවල් විදිහටයි. රටක ආර්ථිකය ටිකෙන් ටික දියුණු වන විට කෘෂිකාර්මික අංශයත් ටිකෙන් ටික හැකිලෙනවා. එය වඩා වේගයෙන් වෙනවා කියා කියන්නේ රටක් වඩා වේගයෙන් දියුණු වෙනවා කියන එකයි. හැබැයි මෙහිදී කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය අඩු වෙනවා කියන එක මිසක් කෘෂිකර්ම අංශයේ සමස්ත නිෂ්පාදිතය අඩු වෙනවා කියන එක නෙමෙයි.

රටේ ආර්ථිකය ඉදිරියට යොමු කරවන දේශපාලනයක ඉලක්කය විය යුත්තේ කෘෂිකර්මය වෙත තවත් වැඩි වැඩියෙන් පිරිස් යොමු කරවන එක නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ එම ක්ෂේත්‍රයේ දැනටමත් ඉන්න ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය තවත් පහත වැටෙන එකයි. ඒ වෙනුවට, වෙනත් ක්ෂේත්‍ර වල රැකියා බිහි වී ඒ හරහා ඉහළ යන ආදායමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටනම් කෘෂිකාර්මික ශ්‍රමිකයන්ට වන්නේ යහපතක්.



Monday, May 11, 2020

ආහාර ආනයන වියදම වැඩිද?


ලංකාවේ හා ඇමරිකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ගැන අපි සංසන්දනයක් කළා. පැහැදිලිවම ඇමරිකාවේ වී ගොවිතැන් කෙරෙන විදිහ වඩා කාර්යක්ෂමයි. ලංකාවේ කුඹුරු අක්කරයකින් ලබා ගන්නා වී අස්වැන්න වගේ දෙතුන් ගුණයක් ඇමරිකාවේ වී ගොවියෙක් විසින් ලබා ගන්නවා. නමුත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට සාපේක්ෂව ලංකාවේ වී ගොවියෙක් දුප්පතෙකු වී සිටින්න ප්‍රධාන හේතුව මෙය නෙමෙයි. හේතුව මෙයනම් ඇමරිකාවේ වී ගොවියෙකුගේ ආදායම ලංකාවේ වී ගොවියෙකුගේ ආදායම මෙන් දෙතුන් ගුණයක් විය යුතුයි. එහෙත්, එම පරතරය ඊට වඩා බොහෝ විශාලයි.

අජිත් ධර්මා විසින් යෝජනා කළ සමුහ ගොවිපොළ සංකල්පයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන්නේත් මේ හේතුව නිසයි. ගොවීන් විශාල පිරිසක් එකතු වී ලොකු තනි ගොවිපොළක් හදා ගත්තොත් ප්‍රමාණයේ වාසිය ලබා ගෙන අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. නමුත්, ලැබෙන අස්වැන්න එසේ එකතු වූ ගොවීන් පිරිස අතර බෙදී ගියාට පසුව එක් අයෙකුට ලොකු වාසියක් නැහැ. ඇමරිකාවේ ගොවියෙකු විශාල ආදායමක් ලබන්නේ එක් ගොවියෙකු සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය ලබා ගනිමිනුයි. වී ගොවිතැන ගැන අපි අවධානය යොමු කළත් පොදුවේ කෘෂිකාර්මික අංශය පිළිබඳ තත්ත්වය මෙයයි.

මේ කරුණින් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ලංකාව වගේ රටවල ප්‍රධාන ප්‍රශ්නය ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ ප්‍රාග්ධනය නැතිකම නෙමෙයි. ප්‍රාග්ධනය පොම්ප කරලා ආර්ථිකයකට තාවකාලික තල්ලුවක් දෙන්න පුළුවන් වුනත් ආර්ථිකයක් දිගින් දිගටම දියුණු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වීම මතයි. මේ කරුණ ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලිපි මාලාවකින් පැහැදිලි කරන්න බලන්නම්. මෙතැනදී කාර්යක්ෂමතාවය කියා කියන්නේ දැනට තිබෙන සම්පත්ම යොදා ගෙන නිෂ්පාදනය වැඩි කර ගන්න එකයි.

ප්‍රාග්ධනය නිසා රටවල් දියුණු වෙනවනම් අප්‍රිකානු රටවලට දශක ගානක් තිස්සේ ලැබුණු විදේශාධාර නිසා ඒ රටවල් මේ වෙද්දී මීට වඩා සෑහෙන්න දියුණු වෙලා තියෙන්න ඕනෑ. ලංකාවේ ගොඩක් ආණ්ඩු වල ඉලක්කය වූ (හා වන) සෘජු විදේශ ආයෝජන කියන්නේත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිසි සේ අවබෝධ කරගෙන නැති තාක්ෂනික උගුලක් තියෙන තැනක්. ඇඟලුම් වැනි රැකියා ජනනය ක‍රන අංශයක හෝ රටේ නැති තාක්ෂණයක් රටට ගෙනෙන ආයෝජනයක් හැර ප්‍රාග්ධනය පමණක්ම  බලාගෙන ගෙන්න ගන්න සෘජු විදේශ ආයෝජන වලින් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩ වැඩියි. කොහෙන් හෝ ගෙන්න ගන්න අවශ්‍ය වන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන කවර හෝ තාක්ෂණයයි.

ඇමරිකාවේ කෘෂිකර්මය මේ තරම් කාර්යක්ෂමනම් ලංකාවේ ගොවියෙක්ට කෙසේවත් ඇමරිකාවේ ගොවියෙක් එක්ක තරඟ කරන්න බැරිද? ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ලංකාවට අවාසියක් මිස වාසියක් නැද්ද? ලංකාවේ වී ගොවියා ආරක්ෂා කර ගන්න ආනයන තහනම් කරන්නම වෙනවද?

මේ කරුණ මගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ලිපි මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාමෙන් මේ වගේ තත්ත්වයක් යටතේ වුවත් දෙරටටම වාසි ගන්න පුළුවන්. ඇමරිකාවේ වී ගොවියා වැඩි ආදායමක් ලබනවා. ඇමරිකාවේ වී ගොවිතැන වඩා කාර්යක්ෂමයි. එසේ වුවත් ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වී හෝ සහල් කිලෝවක නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා, ලංකාව ආනයන වලට බිය විය යුතු නැහැ. (ඉන්දියාව වගේ රටවල් ගැන පසුව වෙනම කතා කරමු)

හැබැයි මේ හේතු මත රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීම නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඕනෑම රටකට ආර්ථික නොවන වෙනත් ජාතික අභිලාශ තියෙනවා. රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීමත් බොහෝ රට වල ජාතික අභිලාශයක්.

මේ වැඩේ මොන විදිහකින්වත් කරන්න බැරි සිංගප්පූරුව වගේ රටවල් තිබෙනවා. එහෙත්, ආහාර වලින් ස්වයංපෝෂිත වීම ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට කළ හැකි දෙයක්. මම මේ ලිපි මාලාව ආරම්භයේදීම පැහැදිලි කළ පරිදි බෝග වගාව සඳහා අවශ්‍ය ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් යම් ප්‍රමාණයක් බොහෝ රටවල් සතුයි. ඇමරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට මේ කටයුත්තේදී වැඩි වාසියක් තිබුණත් ලංකාව වැනි රටකට වුවත් මේ වැඩේ කරන්න බැරිකමක් නැහැ. හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ දොරගුළු නොවසා කළ විටයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අභිලාෂය නරක එකක් නෙමෙයි. වැරැද්ද එය කළ ආකාරයේ. ඇමරිකාව වුවත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. නමුත්, එසේ ස්වයංපෝෂිත වී සිටින්නේ විවෘත වෙළඳපොළ තරඟයට මුහුණ දී කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මිස දොරවල් වහගෙන හැංගිලා නෙමෙයි.

ඇත්තටම කියනවානම් ලංකාවේ කෘෂිකාර්මික අංශය දැනටත් ඉතා සාර්ථකව වෙළඳපොළ තරඟයට මුහුණ දෙනවා. ලංකාවේ කෘෂි කාර්මික අංශයේ විශාල ප්‍රශ්නයක් නැහැ. පහත තිබෙන්නේ පසුගිය 2019 වසරේ ලංකාවේ ආනයන වියදම් වලින් ආහාර සඳහා වැය වූ මුදලයි. දත්ත සියල්ල ළඟදී නිකුත් වූ 2019 මහා බැංකු වාර්තාවෙන්. ගණන් ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

හාල්-  12.8
සීනි හා රසකැවිලි - 201.2
කිරි නිෂ්පාදිත - 311.9
පරිප්පු - 79.9
වෙනත් ආහාර හා පාන වර්ග - 821.2
ආහාර හා පාන වර්ග ආනයන වියදම් එකතුව - 1426.9

ලංකාවට තිරිඟු හා ඉරිඟු ආනයනය කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් ලෙස නෙමෙයි. කාර්මික අමුද්‍රව්‍යයක් ලෙසයි. පාරිභෝගික ද්‍රව්‍යයක් වෙන්නේ ලංකාවේදී සකස් කිරීමෙන් පසුවයි. ඒ නිසා, ඉහත එකතුවට තිරිඟු හා ඉරිඟු අයත් වී නැහැ.  2019දී ලංකාවට ආනයනය කර තිබෙන තිරිඟු හා ඉරිඟු වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 346.4ක්.

කෙසේ වුවත්, ඉහත මුළු ආනයන ප්‍රමාණයම ලංකාවේ ආහාර පාන ආනයන වියදම් වලට එකතු කරන එක නිවැරදි නැහැ. 1980දී ප්‍රීමා කම්හල ත්‍රිකුණාමලයේ හදන කොට එය ලෝකයේ ලොකුම තිරිඟු ඇඹරුම් කම්හල් සංකීර්ණයයි. ආරම්භයේ සිටම එම කම්හල ඇඹරූ පිටි ආසියාවේ වෙනත් රටවලට අපනයනය කළා. කමක් නැහැ අපි මේ මුළු වියදමම එකතු කරමු.

ආහාර හා පාන වර්ග ආනයන වියදම් මුළු එකතුව = 1426.9 + 346.4 = ඩොලර් මිලියන 1773.3

මේ ගණන රුපියල් වලට හැරෙවුවොත් රුපියල් බිලියන 300කට වැඩ වැඩියි. 2019දී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය (වන හා ධීවර උප අංශද ඇතුළත්ව) රුපියල් බිලියන 1,113.8ක්. දැව කොටස ඉවත් කළ විට රුපියල් බිලියන 1000ක් පමණ වෙනවා. එහෙම බැලුවොත් රුපියල් 1000ක ආහාරපාන රට ඇතුළේ හදන කොට ආනයන සඳහා රුපියල් 300ක් වැය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස රට ඇතුළේ හදා ගත්තොත් ඒ අනුරූපී ඩොලර් ප්‍රමාණය ඉතුරුයි.

මේ ගණනය අසම්පූර්ණයි. මොකද අපේ කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් කොටසක් අපි අපනයනය කරලා තියෙනවා. එහෙමනම් අපි කෘෂිකාර්මික අංශයේ අපනයන ආදායමත් සලකා බැලිය යුතුයි. 2019 වසරේ ලංකාවේ අපනයන ආදායම් මෙහෙමයි. ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

තේ - 1,346.4
රබර් - 24.2
පොල් - 329.5
කුළුබඩු - 312.5
එළවළු - 32.0
සකස් නොකළ දුම්කොළ - 34.7
සුළු අපනයන බෝග - 120.0
මුහුදු ආහාර - 262.5
එකතුව - 2,461.9

තව මීට අමතරව කාර්මික අපනයන ලෙස ඩොලර් මිලියන 447.0ක අපනයන ආදායමක් සකස් කළ ආහාර, පාන වර්ග හා දුම්කොළ වලින් උපයාගෙන තිබෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 866.1ක රබර් නිෂ්පාදන අපනයන ආදායමින් කොටසකුත් ලංකාවේ හැදූ රබර් වල අපනයන ආදායමක් සේ සලකන්න වෙනවා. ඒවා අපි පැත්තකින් තියමු.

ඉහත එකතුව පමණක් ගත්තොත් ආහාර පාන අපනයන ආදායම ඩොලර් මිලියන 2,461.9ක්. ආනයන වියදම 1426.9ක්. තිරිඟු හා ඉරිඟු එකතු කළොත් ඩොලර් මිලියන 1773.3ක්. අවසාන වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු ශුද්ධ වෙළඳ අතිරික්තයකුයි තියෙන්නේ.

ඇත්තටම වෙන්නේ ආහාරපාන ආනයනය කිරීම නිසා ලංකාවේ සල්ලි පිටරටට යන එක නෙමෙයි. එහි අනික් පැත්තයි. ලංකාවේ විශාල වෙළඳ හිඟයට හේතුව කෘෂිකාර්මික අංශයේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොවියා ධනවතෙකු වී නැත්තේත් ආනයන තරඟය නිසා නෙමෙයි.

Sunday, May 10, 2020

රොබින්සන් කෲසෝගේ දූපත සොයායාම


මොන හේතුවකටද මන්දා ස්වයංපෝෂණය කියන එක මම ගොඩක් පොඩි කාලේ සිට යම් වයසක් යන තුරු ඇලුම් කරපු යුතෝපියානු සිහිනයක්. ස්වයංපෝෂණය කියා කිවුවහම ඕකේ විවිධ මට්ටම් තියෙනවනේ. අපට රටක් විදිහට, ගමක් විදිහට නැත්නම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් විදිහට ස්වයංපෝෂණය වෙන එක ගැන සිහින මවන්න පුළුවන්. ඇතැම් විට ඔය වගේ සිහිනයක් හඹා ගිහින් ඉලක්කය අත්පත් කර ගන්නත් පුළුවන්.

මම සිහින මැවුවේ අමුම අමු රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැනයි. වැඩේ පටන් ගත්තේ ගොඩක්ම පොඩි කාලෙනේ. මම හිතන්නේ සමහර විට අපි ගොඩක් දෙනෙක්ට ඔය මගේම පාළු විමානෙක නිසංසලේ රහසේ තනි වෙන සිහිනය ජාන වලින් ස්වභාවිකවම එනවා ඇති. අපේ ළමයි වුනත් පුටු හරස් කරලා ඕවට උඩින් ඇඳ ඇතිරිල්ලක් දමාගෙන ඕක අස්සට වෙලා ඉන්න ආස කළ කාලයක් තිබුණා. සුරංගනා කතා සහ වෙනත් කතා වලින් අදහස ආවා වෙන්නත් පුළුවන්. නර්චර් නැත්නම් නේචර්.

ඒ දවස් වල රටක් විදිහට හෝ ගමක් විදිහට හිතන්න තරම් අනන්‍යතා හැදිලා නැහැ. අපි ඔය අනන්‍යතා හදා ගන්නේ ටික ටික ලොකු වෙන කොටනේ. පොඩිම කාලේ මුලින්ම දැනෙන්නේ තමන් තමන්ගේ පවුලේ සාමාජිකයෙක් කියන එක පමණයි. කවදා හරි මේ පවුලෙන් අයින් වෙලා තමන්ගේම පවුලක් හදා ගන්න වෙනවා කියන අවබෝධයත් ඒ එක්කම ආවත් ඒ කා එක්කද කියන එක පැහැදිලි නැහැ. ඒ නිසා, සිහින මවන්න වෙන්නේ රොබින්සන් කෲසෝ කෙනෙක් වීම ගැනයි. සමහර අයගේ පොඩි කාලේ සිහින වලනම් තවත් කවුරු හෝ හිටිය බව මම අහල තියෙනවා. මගේ සිහිනයේනම් අඩු ගානේ ෆ්‍රයිඩේ කෙනෙක්වත් හිටියේ නැහැ.

ඔය සිහිනය තනිකරම මනෝරාජික අදහසක් නොවන බව තහවුරු කරගත හැකි හේතු මට තිබුණා. අපේ නෑදෑයින් හෝ හිතවතුන් අතර මේ තත්ත්වයට කිට්ටු අය ටික දෙනෙක් හෝ සිටීම එයට හේතුවයි. කුඹුරෙන් හාල්. කොරටුවෙන් එළවලු, වත්තෙන් පළතුරු. වත්ත පහළ කිතුල මැද්දහම පැණි හා හකුරු. එළදෙනගෙන් කිරි. කිකිළියන්ගෙන් බිත්තර. සමහර අය ඉඳහිට උගුලක් අටවලා හෝ වෙනත් ක්‍රමයකින් සතෙක් මරා ගන්න එකත් කරනවා. ගොඩක් වෙලාවට ආහාර කියලා පිටින් මිල දී ගන්නේ ලුණු කරවල වගේ දේවල් ටිකක් පමණයි. හකුරු වගේ දෙයක් විකුණලා ඒ සඳහා මුදල් හොයාගන්න පුළුවන්. තව අවුරුද්දකට සැරයක් වගේ ඇඳුමක් ගන්නත් කීයක් හරි සල්ලි ඕනෑ.

ඔය වගේ ආහාර වලින් බොහෝ දුරට ස්වයංපෝෂණය වූ අය ඕනෑ තරම් දැකලා තිබුණු නිසා ඒ වැඩේ මනෝරාජික අදහසක් කියලා මට හිතුනේ නැහැ. කටු මැටි ගහපු පොල් අතු හෙවිල්ලපු මූලික මට්ටමේ ගෙයක් හදාගන්න එකත් තනියම කරන්න පුළුවන්. පිටින් සැපයුම් අවශ්‍ය නැහැ. එතකොට පැදුරු වට්ටි වගේ ඒවත් වියා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මට කරලා අත්දැකීම් තිබුණු දේවල්. ප්‍රශ්නය තිබුණේ ආහාර නොවන වෙනත් අවශ්‍යතා ගැනයි.

ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ ඇඳුම්. ඒ ගැන මට හිතාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බාහිර සමාජයේ වෙන කවුරුවත්ම එක්ක ගැටෙන්නේ නැත්නම් ඇඳුම් අවශ්‍යත් නැහැ. ඒත් ඒ ගැන සහතිකයක් නැහැනේ. පුටු හරස් කරලා ඇඳ ඇතිරිලි දමලා හදා ගන්න ගේකට වුනත් කවුරු හරි ලොකු කෙනෙක් ඔලුව දමන එක නවත්තන්න බැහැනේ. ඒ වගේ වෙලාවක හරියකට ඇඳුමක් නැත්නම් මාර ලැජ්ජාවක්නේ වෙන්නේ.

එතකොට ලෙඩක් වුනොත්? පොඩි ලෙඩ වලටනම් මොනවා හරි අත් බේතක් කරගන්න පුළුවන්. ඒ දවස් වල කොහොමටත් හැම දේටම ඉස්පිරිතාල වලට හෝ දොස්තරලා හොයාගෙන ගියේ නැහැ. ඒත් ලොකු ලෙඩක් හැදුණොත්?

ඔය ඔක්කොටමත් වැඩිය ලොකුම ප්‍රශ්නය අනිත් ඔක්කොම කළත් රටේ නීති පද්ධතියෙන් හා ආණ්ඩුවෙන් නිදහසක් නැති කමයි. තමන්ට අවශ්‍ය දේවල් මොන විදිහකින් හෝ හොයා ගෙන පිරිමහගත්තත් ආණ්ඩුවෙන් නිදහසක් නොලැබෙන බවත් ආණ්ඩුවට යම් යම් "යුතුකම්" කරන්නම වෙන බවත් මොන ආකාරයකින් හෝ ගොඩක් පොඩි කාලෙම මට තේරිලා තිබුණා.

ඇමරිකාවේ ඉන්න කෙනෙක්ටනම් තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත ඇරලා රටක් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දවස්වල ඔහොම දේවල් ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඇඳ ඇතිරිල්ල උස්සලා සෙල්ලම් ගෙදරට ඔලුව දාන වැඩිහිටියා වගේ ආණ්ඩුව ඔලුව දමන එකත් වලක්වන්න බැරි දෙයක් බවයි පෙනෙන්න තිබුණේ. දැන් හිතල බැලුවහම ඒ දවස් වලත් ඒ ගැනනම් හරි අවබෝධයක් තිබිල තියෙනවා.

ඔය වගේ යුතෝපියානු සිහිනයක් දකින්න පුළුවන්කම තිබුණේ ඒ දවස් වල, මට අයිති වෙලා නොතිබුණත්, අම්මාගෙන් උරුම වූ ඉඩමක්ද පවුලේ වත්කම් අතර තිබීමයි. ඉඩමේ කුඹුරු කෑල්ලක් සහ ගොඩ ඉඩම් කොටසක් තිබුණා. පැත්තක පොඩි ඇළ පාරකුත් තිබුණා. තව වෙන මොනවද?

පේරාදෙණියේ ඉන්න කාලේ සරසවි සංවාද පර්ෂදය කියලා එකක් තිබුණා. මෙහි නිලධාරී මණ්ඩලයට මමත් පසුව සම්බන්ධ වුනත් මේ කියන අවස්ථාව වන විට මතක හැටියට, එවැනි විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඕකෙන් විවිධ දේශපාලන අදහස් හා මතවාද දරන අයට ආරාධනා කරලා දේශන මාලාවක් පැවැත්වුණා. ඔය විදිහට ආරාධනා ලැබූ එක් පුද්ගලයෙක් වුනේ ප්‍රේමකුමාර එපිටවල. මාතෘකාව ස්වයංපෝෂණය හා අදාළ එකක්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.

දේශනයනම් හරිම ආකර්ශනීයයි. අඩු වශයෙන් අපි කීප දෙනෙකුට. හැබැයි කිවුවටම විශ්වාස කරන්නේ කොහොමද? අපිට ගිහිල්ලම බලන්න අවශ්‍ය වුනා. අපි කිවුවේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් විට මේ ලිපිය කියවනවා විය හැකි මගේම කණ්ඩායමේ මිතුරෙක් හා දැන් කැනඩාවේ ජීවත්වන ඒ දවස්වල නිතරම මතවාදී සාකච්ඡා සඳහා එකතු වූ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක මිතුරෙක්. දෙවනු කී මිතුරා ප්‍රේමකුමාර එපිටවලව සම්බන්ධීකරණය කරගෙන දවසක් දාගත්තා.

අන්තිමට අපි තුන් දෙනා කියපු වෙලාවට ඔහුගේ ඊරියගම හරියේ තිබුණු නිවසේ ගේට්ටුව අසළට ගියා. මතක හැටියට ටික වෙලාවකින් ඔහු කොහේ හෝ සිට මෝටර් රථයෙන් ආවා. එහෙම නැත්නම් අපි එන්න ටික වෙලාවකට පෙර එහි පැමිණි බව කිවුවා.

මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ.

අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවා. දේශනය වෙලාවේ අපි දැකපු ආශ්චර්යය නැහැ. තීම් පාක් එකකින් ලබන විනෝදය ලබන්නනම් හොඳයි.

මේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි. ලෝකයේ විශාල පිරිසකට රොබින්සන් කෲසෝලා වෙන්න අවශ්‍ය තරම් සම්පත් මිහිමත නැහැ. ස්වයංපෝෂණ ආකෘතියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඒකයි.

නිදහස් ගනුදෙනු කියන්නේ මේ සම්පත් හිඟයට දැනට තිබෙන හොඳම විසඳුමයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...