විසි තුන් හැවිරිදි තරුණියක් පසුගිය 21 වෙනිදා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පනිනවා. මේ බැව් දකින බොහෝ දෙනෙක් අතරින් එක් අයෙක් වන හමීඩ් රිස්වාන් තරුණියව බේරා ගැනීමේ අදහසින් ජලාශයට පනිනවා. තරුණියව බේරා ගැනීමට දරන උත්සාහය අතරතුරේදී හමීඩ් රිස්වාන් දියේ ගිලී මිය යනවා. ඒ අතර වෙනත් අයෙකු (තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු) වතුරට පැන තරුණියව බේරා ගන්නවා.
මාධ්‍ය වාර්තා අනුව, සියදිවි නසාගැනීමට තැත් කර තිබෙන්නේ දෙමළ හින්දු තරුණියක්. ඇගේ නම මාධ්‍ය වාර්තා වල ඇතත් නම වැදගත් නැති නිසා අපි ඇයව තරුණිය ලෙසම හඳුන්වමු. එහෙත්, ඇගේ දෙමළ හින්දු අනන්‍යතාවය මෙහි කතා කරන මුඛ්‍ය කරුණකට අදාළ නිසා මා ඒ කොටස ඉවත් කරන්නේ නැහැ.
තරුණිය සිය දිවි නසාගැනීමට පෙළැඹී තිබෙන්නේ ඇගේ පෙම් සබඳතාවයකට ගෙදරින් විරුද්ධ වී ඇයව වෙනත් අයෙකුට විවාහ කර දීමට උත්සාහ ගැනීම නිසයි. මේ හේතුව මත ඇගේ පෙම්වතාද සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබී ඇත්තේ ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පසුගිය 21 දිනයි.
මේ පුවතට වැඩි අවධානයක් යොමු වුනේ හමීඩ් රිස්වාන් නම හා බැඳී තිබෙන මුස්ලිම් අනන්‍යතාවය නිසයි. පසුව අවධානයට ලක් වී ඇති තොරතුරු අනුව රිස්වාන්ගේ පියා මුස්ලිම් අයෙකු වුවත් මව සිංහල කාන්තාවක්. දෙමළ කතෝලික තරුණියක හා විවාහ වී සිට ඇති ඔහු තමන්ගේ දරුවන්ට ලබා දී තිබෙන්නේ සිංහල බෞද්ධ අධ්‍යාපනයක්.
මේ කරුණු අනුව පෙනෙන ආකාරයට රිස්වාන් කියා කියන්නේ ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් පවුල් පසුබිමකින් පැවත එන හා තමන් විසින්ද ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් අයෙක්. අනෙක් අතට සිය දිවි නසා ගන්න උත්සාහ කළ තරුණියගේ පෙම්වතා සමඟ විවාහ වීමට ඇගේ නිවසින් අනුමැතිය නොලැබෙන්න ඇත්තේ ජාති, ආගම්, කුල භේදයක් නිසා, සමාජ ආර්ථික හේතුවක් නිසා හෝ වෙනත් නොගැලපීමක් නිසා වෙන්න ඇති. හේතුව කුමක් වුවත් තරුණියගේ තේරීමට ඇගේ දෙමවුපියන් ඉඩ දී නැහැ.
දැන් අපි
දින දෙකකට පෙර සාකච්ඡා කළ ජීවිතයක වටිනාකම කියන සංකල්පය වෙත නැවත යොමු වෙමු. එහිදී අපි කතා කළේ කිසියම් රටක පුද්ගලයෙකුගේ ජීවිතයක සාමාන්‍ය වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් හදාගන්නා සම්මත ක්‍රමවේද පිළිබඳවයි. නමුත්, රටේ සෑම කෙනෙකුගේම ජීවිත සමානව වටිනා බවක් එයින් අදහස් වන්නේ නැහැ. ඒ වගේම, කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම එක දිගටම ස්ථිර මට්ටමක තිබෙන දෙයක් කියා එයින් අදහස් වන්නේත් නැහැ. ජීවිතයක වටිනාකම මිල කළ නොහැකි තරම් අසීමිත නොවුනත්, එම වටිනාකම සංකල්පීය ලෙස හෝ අර්ථ දැක්විය හැක්කේ කිසියම් මොහොතකට හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයකට අදාළවයි.
වඩාත්ම වැදගත් කරුණ මේ දෙකම නෙමෙයි. කිසියම් මොහොතක හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයක වටිනාකම වුවත් වටිනාකම තක්සේරු කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මට මගේ ජීවිතයේ වටිනාකම වෙනත් අයෙකු මගේ ජීවිතයට දෙන වටිනාකමම නෙමෙයි.
ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරනවා. ලෝකයේ හැම සමාජයක්ම වගේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරන්න තිබෙන අයිතිය පිළිගන්නවා. තමන්ගේ ජීවිතය අවදානමට ලක් වී ඇති අවස්ථාවක තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා අනෙකෙකුගේ ජීවිතයට හානියක් කරන්න නීතියෙන් ඇතැම් විට ඉඩ ලැබෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ අයිතියට සීමාවන් තිබෙනවා. මුහුදේ බෝට්ටුවක අතරමං වී සිටින දෙදෙනෙකුගෙන් අයෙකුට ආහාර නැති කමින් මිය යාම වලක්වා ගන්න අනෙකාව මරාගෙන කන්න අයිතියක් නැහැ.
බොහෝ දෙනෙකු බොහෝ විට අනෙකාගේ ජීවිතයටත් සැලකිය යුතු වටිනාකමක් දෙනවා. තමාගේ හැර අනෙක් සියලු දෙනාගේම ජීවිත තේරුමක් නැති ජීවිත කියා හිතන අය දැකිය හැක්කේ ඉතාම කලාතුරකින් පමණයි. එහෙත්, එයින් අදහස් වන්නේ අනෙක් සියලු දෙනාගේම ජීවිත සමානව වටින බව බොහෝ දෙනෙකු විසින් පිළිගන්නවා කියන එක නෙමෙයි. බොහෝ දෙනෙකුට තමන්ගේ පවුලේ, නෑදෑයින්ගේ, යාළුවන්ගේ ජීවිත නොදන්නා අයගේ ජීවිත වලට වඩා වටිනවා. බොහෝ දෙනෙකු විසින් තමන් අයත් ජාතියට, ආගමට, කුලයට, දේශපාලන පක්ෂයට හෝ සමාජ පංතියට අයත් අයගේ ජීවිත වෙනත් අයගේ ජීවිත වලට වඩා වටිනා සේ සලකන එක දුලබ දෙයක් නෙමෙයි.
මේ අතර, තමන්ගේ ජීවිතයට වඩා වෙනත් අයෙකුගේ ජීවිතයක් වඩා වටිනා බව හිතන අයත් ඉන්නවා. විශේෂයින්ම කලාකරුවන්, දේශපාලනඥයින් වැනි අයගේ අනුගාමිකයින් අතර එසේ සිතන අය ඉන්නවා.
කිසියම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් ජීවිතය හානි කර ගැනීමට පෙළඹෙන්නේ තමන්ගේ ජීවිතය තමන්ටම නොවටිනා සේ හැඟී ගිය විටයි. කතානායිකා තරුණිය වෙනත් අයෙකු හා විවාහ වනු දැක දැක ජීවත් වන්නට සිදු වේනම් තමන්ගේ ජීවිතයේ කිසිදු වටිනාකමක් නැති බව ඇගේ පෙම්වතාට හිතෙන්න ඇති. පෙම්වතා මිය යාමෙන් පසුව වෙනත් අයෙකු හා විවාහ වී ගෙවන ජීවිතයක කිසිදු වටිනාකමක් නැති බව තරුණියට දැනෙන්න ඇති.
මේ විදිහට සිය දිවි හානි කර ගන්න උත්සාහ කරන අයෙකුව වලක්වන්න අනෙක් අය උත්සාහ කරන්නේ ඇයි? එය අනවශ්‍ය ලෙස පුද්ගල නිදහසට බාධා කිරීමක් නෙමෙයිද?
සියදිවි නසාගන්න උත්සාහ කරන කෙනෙක් ඒ මොහොතේ තමන්ගේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සැලකුවත් අනෙක් අය ඒ විදිහට හිතන්නේ නැහැ. ඔවුන්ට ඒ නැති වෙන්න යන ජීවිතයේ යම් වටිනාකමක් පෙනෙනවා. සිය දිවි හානි කර ගැනීමේ උත්සාහය වළක්වන්න වෙනත් අය ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.
වෙනත් අය මැදිහත් වී සිය දිවි හානි කර ගැනීමේ උත්සාහයක් වැළැක්වීමෙන් පසුව නැවත ජීවිතය ලබන බොහෝ දෙනෙක් පසුව ඒ වෙලාවේ හදිසි වී ගත් තීරණය ගැන පසු තැවෙනවා. එසේ නොවන අවස්ථා තිබුණත්, බොහෝ විට එවැනි අයෙකු දිගින් දිගටම තමන්ට ජීවිතය හානි කර ගන්න ඉඩ නුදුන් අයට දොස් කියන්නේ නැහැ. ස්තුතිවන්ත වෙනවා. මේ පදනමින් සිය දිවි හානි කර ගැනීමට ක්ෂණිකව ඇති වන සිතුවිල්ලක් වෙනත් අයගේ උදවු අවශ්‍ය වන රෝගී තත්ත්වයක් සේ සැලකිය හැකියි. එහෙත්, හොඳින් හිතා මතා අනායාස මරණයක් (euthanasia) තෝරා ගන්නා අයෙකු සම්බන්ධවනම් තත්ත්වය වෙනස්.
පුද්ගලයෙක් හැම වෙලාවකම තමන්ගේ ජීවිතය කැමැත්තෙන් විනාශ කර ගන්නේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සලකන නිසාමද? එසේනම් දේශපාලනික අරමුණු වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද?
මෙවැනි ගොඩක් අය මරණයෙන් මතු ජීවිතයක් ගැන විශ්වාසය තබන අයයි. ඔවුන්ට මේ ජීවිතයේ වටිනාකමක් තිබුණත්, මරණයෙන් මතු අපේක්ෂිත ජීවිතයේ වටිනාකමට සාපේක්ෂව මේ ජීවිතය අත් හැර දැමීමේ ආවස්ථික පිරිවැය අඩුයි.
එසේනම් මතු භවයක් ගැන විශ්වාසයක් නැති නිරාගමික දේශපාලන ක්‍රියාකාරීන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? එවැනි අය බොහෝ විට කරන්නේ ජීවිතය අහිමි වීමේ අවදානමට මුහුණ දීම මිස සිය දිවි හානි කර ගැනීමක් නෙමෙයි. යුද හමුදා සාමාජිකයෙකු වුවත් එහෙමයි. ඔවුන් කැමැත්තෙන් ගන්නා ඉහළ අවදානම තුළ මිය යාමේ ඉඩකඩ ඉහළ යනවා මිස කිසි කෙනෙක් මිය යාමේ අරමුණින් යුද්ධ කරන්නේ නැහැ.
දියේ ගිලී මිය යන්න යන නාඳුනන තරුණියක් බේරා ගන්න දෙවරක් නොහිතා වතුරට පනින හමීඩ් රිස්වාන් වගේ තරුණයෙක් එසේ කරන්නේත් මැරෙන්න බලාගෙන නෙමෙයි. අනිවාර්යයෙන්ම මැරෙනවා කියා දන්නවානම් ඔහු වතුරට පනින්නේ නැහැ. ඔහු කරන්නේ මිය යාමට ඉඩ ඇති නාඳුනන තරුණියගේ ජීවිතයේ වටිනාකම වෙනුවෙන් අවදානමක් ගැනීමයි.
මේ ආකාරයෙන් වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට තමන්ගේ ජීවිතය අවදානමේ හෙළන කෙනෙක් තමන්ගේ ජීවිතයට සාපේක්ෂව අනෙකාගේ ජීවිතයට කොපමණ වටිනාකමක් දෙනවාද?
තමන්ගේ ජීවිතයට තමන් දෙන වටිනාකම A ලෙසත්, අනෙකාගේ ජීවිතයට තමන් දෙන වටිනාකම B ලෙසත් හිතමු. මේ වගේ ක්‍රියාවක් දෙස බලා A සහ B සසඳන්නනම් අපට තවත් කරුණු දෙකක් දැන ගන්න වෙනවා. පළමු කරුණ මේ විදිහට වතුරට පැන ජීවිතය බේරා ගන්න කිසියම් තිබෙන පුද්ගලයෙකුට තිබෙන හැකියාවයි. සම්භාවිතා අගයක් ලෙස අපි මෙය q ලෙස ගනිමු. දෙවැන්න, මේ කටයුත්තේදී ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා සිතන ආකාරයට ඒ පුද්ගලයාගේ ජීවිතය හානි වෙන්න තිබෙන සම්භාවිතාවයි. අපි එම අගය p කියා කියමු.
දැන් යමෙක් දියේ ගිලී මිය යන්න යන කොට පැත්තකට වී සිටින කෙනෙකු ඉදිරිපත් වී එම ජීවිතය බේරා ගැනීමෙන් එසේ ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා ලබන වාසිය B*q. එහි පිරිවැය A*p. ඒ අනුව, කිසියම් පුද්ගලයෙකු ජීවිතය බේරා ගන්න වතුරට පනිනාවද කියන එක තීරණය වෙන්නේ B*q - A*p අගය බිංදුවට වඩා වැඩිද නැද්ද කියන එක මතයි.
මෙයින් කියන්නේ ඔය වගේ වෙලාවක වතුරට පනින කෙනෙක් ඊට කලින් ඔය වගේ ගණනය කිරීමක් කරලා වතුරට පනිනවද නැද්ද යන්න තීරණය කරන බව නෙමෙයි. ඔයිට වඩා වෙනස් විවිධ තීන්දු ගනිද්දීත් මිනිස්සු බොහෝ විට ලාබ අලාබ ගණනය කර කර ඉන්නේ නැහැ. එහෙත්, එහෙම ක්ෂණිකව හිතා හෝ කාලයක් සැලසුම් කර ගන්නා තීරණ මේ වගේ ආකෘතියක් යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්. ආකෘතියකින් කරන්නේ ඒකයි. හරියට කලින් ගණන් හදා වේගය සැලසුම් කර නොගෙන පොල් ගෙඩියක් බිම වැටෙන ආකාරය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් පැහැදිලි කරනවා වගේ.
අපි හිතමු p = 0 යි කියා. ඒ කියන්නේ මෙහි කිසිම ජීවිත අවදානමක් නැහැ. ඔය පැත්තක සිට කඹයක් දැමීම, උදවු ඉල්ලා කෑ ගැසීම වගේ දෙයක් කියමු. නමුත්, q > 0. මේ අවස්ථාවේදී A*p = 0 නිසා B*q - A*p අගය බිංදුවට වඩා වැඩි නොවන්නේ B = 0 නම් පමණයි. ඔය වගේ දෙයක්වත් නොකර කවුරු හෝ අහක බලාගෙන යනවානම් ඒ පුද්ගලයාට අනෙකාගේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ.
හැබැයි ඔය වගේ වෙලාවක කෙනෙක් වතුරට පනින්නේ නැහැ කියන එකෙන් එවැන්නෙක් අනෙකාගේ ජීවිතයේ වටිනාකම නොසලකා හරිනවා කියා අදහස් වෙන්නේ නැහැ. එය අනෙකා වෙනුවෙන් දැනෙන සහකම්පනය මත වගේම A, q සහ p කියන අගයයන් තුන මතත් තීරණය වන දෙයක්.
පීනන්න නොදන්නා කෙනෙකුගේ p අගය ගොඩක් වැඩියි. q අගයත් සාපේක්ෂව වැඩියි. p අගය එකට ආසන්නව තියද්දී, ඒ කියන්නේ මැරෙන බව ස්ථිරව දැනගෙනම, කෙනෙක් වතුරට පනිනවානම් එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටත් වඩා වැඩියි කියන එකයි.
ගොඩක් වෙලාවට කිසියම් පුද්ගලයෙකු ඔය වගේ වෙලාවක වතුරට පනින හෝ නොපනින එක තීරණය වෙන්නේ අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකමට (B අගයට) වඩා තමන්ට සාපේක්ෂව එහි ඇති අවදානම (p අගය) හා ඵලදායීත්වය (q අගය) වෙනස් වන ආකාරය අනුවයි. අපි හිතමු තමන්ගේ ජීවිතයේ වටිනාකම (A අගය) මිලියන 100ක් කියලා. අනෙකාගේ ජීවිතයේ වටිනාකමත් (B අගය) මිලියන 100ක්. වතුරට පැනීමේ ජීවිත අවදානම 50%ක්. ඒ කියන්නේ p = 0.5යි. අවදානමක් ගෙන වතුරට පැනීමෙන් අනෙකාගේ ජීවිතය බේරගන්න හැකි වීමේ සම්භාවිතාව 25%ක්. ඒ කියන්නේ q = 0.25යි. මෙහිදී මේ පුද්ගලයා විසින් අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටම සමාන වටිනාකමක් දුන්නත් B*q - A*p = 100 x 0.25 - 100 x 0.5 = -25 < 0 නිසා ඔහු වතුරට පනින්නේ නැහැ. ඒ නිසා, අනෙකාගේ ජීවිතය තමන්ගේ ජීවිතය තරමටම අගය කළ පමණින් පමණක් කෙනෙක් කවදාවත් ජීවිතයක් බේරා ගන්න වතුරට පනින්නේ නැහැ.
අනෙක් අතට අපි හිතමු පුද්ගලයෙක් අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම මිලියන දෙකක් පමණයි කියා. තමන්ගේ ජීවිතයේ වටිනාකම මිලියන 100යි. ඒ කියන්නේ අනෙකාගේ ජීවිතයට දෙන්නේ සාපේක්ෂව ඉතාම අඩු වටිනාකමක්. නමුත්, මේ පුද්ගලයාට තමන්ගේ පිහිනීමේ දක්ෂතාවය පිළිබඳව විශාල විශ්වාසයක් තිබෙනවා. ඔහුට අනුව, මේ වැඩෙන් තමන්ගේ ජීවිතය හානි වෙන්න තිබෙන ඉඩකඩ 1%ක් පමණයි. අනෙක් ජීවිතය බේරාගන්න හැකි වීමේ ඉඩකඩ 75%ක් . ඒ කියන්නේ p = 0.01 සහ q = 0.75. දැන් B*q - A*p = 2*0.75 - 100 x 0.001 = 0.5 > 0. ඒ නිසා, මේ පුද්ගලයා වතුරට පනිනවා. නමුත්, අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට තරම්ම හෝ ඊටත් වැඩි වටිනාකමක් දෙන වෙනත් බොහෝ අය පාලම උඩට වී බලා ඉන්නවා.
මේ හේතුව නිසා කවුරු හෝ දියේ ගිලී මැරෙන්න යන කොට මුලින්ම වතුරට පනින්නේ අනුන්ගේ ජීවිත ගැන වැඩියෙන්ම සංවේදී, වැඩිම සහකම්පනයක් දැනෙන පුද්ගලයා කියා නිශ්චිතව කියන්න බැහැ. බොහෝ විට එසේ වතුරට පනින්නේ තමන් විසින් ගන්නා ජීවිත අවදානම පිළිබඳව අඩුම තක්සේරුවක් තිබෙන හා කරන්න යන වැඩේ සාර්ථකත්වය පිළිබඳ වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ පිහිනීමේ කුසලතාවය පිලිබඳව වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා.
ඒ නිසා, මේ වගේ වෙලාවක වතුරට පනින මිනිස්සු වැඩි වැඩියෙන් බිහි කරගන්න අවශ්‍යනම් එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සහකම්පනය වර්ධනය කරන්න උත්සාහ කරන එක නෙමෙයි. ඒ වැඩේට මහන්සි වුනා කියා බොහෝ විට අවශ්‍ය කටයුත්ත සිදු වෙන්නේ නැහැ. කළ යුත්තේ මේ වගේ කටයුත්තකට ඉදිරිපත් වීමේ ජීවිත අවදානම අඩු කෙරෙන හා ඵලදායීත්වය වැඩි කරන කුසලතා වර්ධනය දිරිගන්වන එකයි. එය වඩා පහසුවෙන් කළ හැකි දෙයක්.