පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි අපේ දෘෂ්ඨි පරිපථ වලට ග්‍රහණය කර ගත හැක්කේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සීමිත පරාසයකි. මේ පරාසයේ ඉහළ හා පහළ සීමාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද ඒ සාමාන්‍යයෙන් සුළු වශයෙනි. අප එකිනෙකා ලෝකය දකින ආකාරය වැඩිපුරම වෙනස් වන්නේ මේ පරාසය තුළ ඇති විවිධ වර්ණ වෙන්කර හඳුනාගන්නා ආකාරය අනුවය.
භෞතික ගුණාංග අනුව වර්ණ එකිනෙකින් වෙනස් වන්නේ ඒවායේ තරංග ආයාම අනුවය. දැන් අපි ශුද්ධ කහ පැහැය ලෙස නිශ්චිත තරංග ආයාමයක් හඳුනා ගනිමු. මේ තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව මොහොතකට අමතක කරමු.
මේ තරංග ආයාමය සහිත විද්‍යුත් චුම්භක තරංග අපේ අක්ෂි කාචය විනිවිද දෘෂ්ඨි විතානය මත පතිත වූ විට (
පෙර ලිපියෙන් හඳුන්වා දුන්) අපේ කේතු සෛල තුන් වර්ගයෙන් රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල දෙවර්ගයම උපරිමයට තරමක් කිට්ටු වන තරම් (90% පමණ) ප්‍රතිචාර දක්වන අතර නිල් (කෙටි) කේතු සෛල ප්‍රතිචාර නොදක්වන තරම්ය. මේ ප්‍රතිචාර සංයෝගය අපේ මොළය විසින් කහ පැහැය ලෙස හඳුනා ගනී.
යම් හෙයකින් කහ වර්ණයට වඩා කෙටි තරංග ආයාමයක් ඇති කොළ පැහැයට හුරු එළියක් සහ දිගු තරංග ආයාමයක් ඇති රතු පැහැයට කිට්ටු එළියක් එක තැන, අපේ ඇස් වලට වෙනස් ස්ථාන දෙකක් ලෙස හඳුනාගත නොහැකි තරම් කිට්ටුවෙන් තිබුණොත් කුමක් වේද? රතු තරංගය අපේ රතු කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවන අතර කොළ තරංගය කොළ කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවයි.
මේ ප්‍රතිචාර සංයෝගය කහ පැහැය හමුවේ මොළයට ලැබෙන ප්‍රතිචාර සංයෝගයට සමාන නිසා මොළය දැන් දකින්නේ කහ පැහැයයි. එහෙත්, භෞතික වශයෙන් මෙහි ඇත්තේ වෙනස් තරංග දෙකකි. ඔබේ රූපවාහිනිය, පරිගණක තිරය මෙන්ම වර්ණයෙන් මුද්‍රිත ඡායාරූපයක් හෝ පුවත්පතක් ඔබේ මොළය රවටන්නේ වර්ණ දැකීමේ ක්‍රියාවලියේ ඇති මේ දුර්වලතාවය උපයෝගී කරගනිමිනි. වර්ණ මුද්‍රණයේදී බොහෝ විට මූලික භෞතික වර්ණ වන රතු, කොළ සහ නිල් වල අතරමැදි වර්ණ වන මැජෙන්ටා, සියැන් සහ කහ වර්ණ මිශ්‍ර කෙරේ.
එක් එක් කේතු සෛල වර්ගයේ ඇති වෙනස් සංවේදිතා මට්ටම් සියයකට වැඩි ප්‍රමාණයක් හෝමෝ සේපියන් මොළයක දෘශ්‍ය පරිපථ වලට වෙන් වශයෙන් හඳුනාගත හැකිය. එනම්, රතු පාට මට්ටම් සියයක්, කොළ පාට මට්ටම් සියයක් සහ නිල් පාට මට්ටම් සියයක් වශයෙනි. මේ අනුව, වෙනස් වර්ණ (100x 100x 100) මිලියනයකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය දෘෂ්ඨියක් ඇති කෙනෙකුගේ මොළයට හඳුනාගත හැකිය. මේ වර්ණ ප්‍රමාණය මිලියන 2.3-10 දක්වා ප්‍රමාණයක් ලෙස විවිධ පර්යේෂකයින් විසින් ඇස්තමේන්තු කර තිබේ.
ශක්තිය ඉතිරි කර ගැනීමේ උපායක් ලෙස මෙසේ එකතු කරගන්නා දත්ත ඒ ආකාරයෙන්ම සැකසුම් නොකර තරංග ආයාම සංවේදීතාව අනුව එක ළඟ පිහිටි කේතු සෛල දෙකක වෙනස අනුව සැකසුම් කෙරේ. මේ අනුව, රතු සහ නිල් කේතු සෛල වල සංවේදිතා මට්ටම් ඒ අතර පිහිටි කොළ කේතු සෛල වල සංවේදිතා මට්ටම සමඟ සැසඳේ. රතු සංවේදීතාව වැඩිනම් රතු පැහැයත් අඩුනම් කොළ පැහැයත් තෝරා ගැනේ. මේ අයුරින්ම, නිල් පැහැය වැඩිනම් නිල් පැහැයත් අඩුනම් කහ පැහැයත් තෝරාගැනේ. (සැසඳීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් කහ පැහැයක්ද තිබේ.)
ඇසේ කේතු සෛල වලින් වෙන් වශයෙන් හඳුනා ගන්නා මූලික 'භෞතික' වර්ණ තුන ඇසුරෙන් මොළය විසින් හඳුනා ගන්නා ඉහතින් සඳහන් කළ වර්ණ හතර ප්‍රාථමික 'මානසික' වර්ණයි. මෙහිදී පහසුවට රතු, කොළ ලෙස නම් කළත් ඇත්තටම මේ මූලික මානසික වර්ණ වල ඇත්තේ රතු සහ කොළ පැහැයන්ට ආසන්න වර්ණ දෙකක් මිස හරියටම රතු සහ කොළ වර්ණ නොවේ.
ප්‍රාථමික 'මානසික' වර්ණ |
|
|
|
|
රතු (සරිස්) | කහ | කොළ (ඇක්වා) | නිල් |
අවසාන වශයෙන් අප දකින පැහැය මෙසේ තෝරා ගැනෙන වර්ණ දෙකේ එකතුවකි. සැසඳීමේදී සංවේදිතා මට්ටම් සමානනම් සුදු ආලෝකය මිස වර්ණයක් එකතු නොවේ. එවිට අපට පෙනෙන්නේ එක සැසඳීමකින් එකතුවන වර්ණයයි. සැසඳීම් දෙකෙන්ම ප්‍රතිපල සමානනම් අපට අවසාන වශයෙන්ද සුදු පැහැය පෙනේ.
ප්‍රාථමික 'මානසික' වර්ණ මිශ්‍රණ
. කහ − මැදි + නිල් .
කොළ කොළ
+ +
මැදි මැදි
− −
රතු රතු
. කහ − මැදි + නිල් .
(source: http://midimagic.sgc-hosting.com/huvision.htm)
දැන් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට එකවර රතු සහ කොළ වර්ණ දැකිය නොහැකිය. මොළයට සංවේදී වන්නේ මේ වර්ණ දෙක අතර වෙනසයි. මෙයින් අදහස් වන්නේ රතු සහ කොළ වල අතරමැදි වර්ණ ගැන නොවේ. කහ සහ නිල් පැහැයන්ට අදාලවද මෙය මෙසේමය. එමෙන්ම, මෙහිදී මා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ ඇසේ කේතු සෛල වර්ග තුනක් ක්‍රියාකාරිව ඇති අයෙකි. මෙවැනි කේතු සෛල වර්ග තුනකට අඩුවෙන් ක්‍රියාකාරිව ඇති වර්ණාන්ධ අය මෙන්ම කේතු සෛල වර්ග හතරක් ක්‍රියාකාරිව ඇති අයද යම් ප්‍රතිශතයක් සිටිති. ඒ ගැන පසුව කතා කරමු.
සාමාන්‍ය හෝමෝ සේපියන් මොළයකට වෙනස් වර්ණ මිලියන ගණනක් වෙන් කර හඳුනාගත හැකි වුවත් මේ වර්ණ මතක තබා ගන්නේ එසේ හඳුනාගන්නා තරමේ නිරවද්‍යතාවක් සහිතව නොවේ. වර්ණයක් මතක තබා ගන්නේ මොළය විසින් හඳුනාගන්නා 'සැබෑ' වර්ණයට කිට්ටුවෙන් ඇති 'දන්නා කියන' වර්ණයක් වශයෙනි. බොහෝ විට කෙනෙකුට සාරියක පැහැය මතක තබා ගෙන ගොස් සාප්පුවකින් ඒ පාටම සාරියක් තෝරා ගත නොහැකිය. එහෙත්, සාරියේ කොනකින් කෑල්ලක් කපා ගෙන ගියහොත් ඉතා නිවැරදිව සසඳා ඒ තේරීම කළ හැකිය.
මෙසේ යමෙකුගේ මතකයේ ඇති 'දන්නා කියන' වර්ණ ප්‍රමාණය උපන්දා ලෙස ලැබෙන පුහුණුවෙහි ප්‍රතිපලයකි. උපතින් පුර්ණ අන්ධව සිටි කෙනෙකුට පසුකාලීනව පෙනීම ලැබුණු වහාම කිසිවක් 'නොපෙනෙන්නේ' මේ නිසාය.
දැන් ඔබේ මනස දකින නිල් පැහැය මා දකින නිල් පැහැයමද? එය එසේ විය යුතු නැත.
උදාහරණයක් ලෙස යමෙකු දකින මූලික මානසික වර්ණ වල ධ්‍රැවීයත්වය මාරු වූයේයයි සිතමු. දැන් මා දකින නිල් ඔබ දකින කහ පැහැයයි. මා දකින කොළ පැහැය ඔබ දකින රතු පැහැයයි. මේ උදාහරණයේදී මූලික වර්ණ හතරම හරියටම අනිත් පැත්ත ගසා ඇති නිසා ඔබේ මනසට පෙනෙන්නේ මට පෙනෙන ලෝකයේ නෙගටිව් පිටපතකි. ඔබට තැඹිලි වල්ලක් පෙනෙන්නේ මට ඉහතින් ඇති තැඹිලි වල්ල පෙනෙන අයුරිනි.
මෙය කිසිවෙකුට නිරීක්ෂණය කළ හැකිද? එසේ කළ නොහැකිය. මා උඩින් ඇති තැඹිලි වල්ලේ රූපය ඔබට පෙන්වා ඔබට එය පෙනෙන්නේ කෙසේදැයි ඇසුවොත් ඔබ කියනු ඇත්තේ ඔබට පෙනෙන්නේ තැඹිලි වල්ලක නෙගටිව් ඡායාරූපයක් වන නිල් පැහැ තැඹිලි වල්ලක් බවයි. මගේ නිල් පැහැය ඔබට පෙනෙන්නේ මගේ තැඹිලි පාටිනි. එහෙත්, මගේ තැඹිලි පාට ඔබේ නිල් පැහැයයි. එය ඔබ දකින තැඹිලි පාට හෝ තැඹිලි වල පාට නොවේ.
මෙහිදී වෙන්නේද, මා පෙර ලිපිවල සඳහන් කළ අකුරු උඩු-යටිකුරු ලෙස පෙනෙන විට සිදුවන සංසිද්ධියමය. මෙහිදී අපි දකින වර්ණ රාමු වෙනස් වුනත් ඒවා හරියටම ගැලපේ. ඒ නිසා, අප ලෝකය අනෙකාට විස්තර කරන ආකාරයන්හි කිසිදු නොගැලපීමක් සිදු නොවේ.
උදාහරණයක් ලෙස ඉහතින් ඇති මූලික මානසික වර්ණ හතර ඔබට පෙනෙන්නේ මට පේන ආකාරයෙන්දැයි මට දැනගත නොහැකිය. එහෙත්, මේ ලිපියේ මා ඉදිරිපත් කරන කරුණු ඔබට තේරුම් ගැනීමට එය බාධාවක් වන්නේ ඔබ ත්‍රිවර්ණ-සංවේදී දැක්මක් නොමැති අයෙක්නම් පමණි. ලේ වල පාටත්, ස්ට්‍රෝබෙරි ගෙඩියක පාටත් (ආසන්න වශයෙන්) සමාන බවට සහ කෙහෙල් දල්ලක පාට එයට වඩා වෙනස් බවට අපට එකඟ වීමට රතු පාට සහ කොළ පාට ඔබට ඇත්තටම පෙනෙන ආකාරය බාධාවක් නොවේ.
පාට යනු එකිනෙකාගේ පෞද්ගලික හැඟීමකි. එහෙත්, අපි එකිනෙකාට එකඟ විය හැකි නිශ්චිත තරංග ආයාමයක් ඇති භෞතික 'කහ පාටක්' (සහ වෙනත් පාට) ඇත්නම් මේ හැඟීම කවරක් වුවත් අපට වර්ණ හා අදාලව එකඟ විය නොහැකි තැනක් නොතිබිය යුතුය.
කෙසේ වුවද,
බෝජනා දකින ලෝකයේ ඇතැම් දේ පමණක් උඩු යටිකුරු වී ඇති අයුරින් අපේ වර්ණ හඳුනාගැනීමේ රාමුවල ඇතැම් කොටස් පමණක් වෙනත් අයට වඩා වෙනස් ලෙස පෙනේනම් අපට අප එකිනෙකාගේ දැකීමේ ඇති වෙනස්කම් අවබෝධ කර ගත හැකිය. එමෙන්ම විද්‍යාත්මක ලෙස පරික්ෂා කර තහවුරු කිරීමටද පුළුවන.
පළමු කොටසේ සාකච්ඡා කළ පරිදි ඇත්තටම තත්ත්වය මෙසේය. අපේ කේතු සෛල වල සංවේදිතා වක්‍ර සමාන නොවන නිසා අපේ වර්ණ විසංයෝජනය කරන රාමුද සමාන නැත. ඒ නිසා එකම වස්තුව දකින අප දෙදෙනෙකුගේ මොළයට යැවෙන සංඥා එක සමාන නැත. ඇත්තෙන්ම අපේ ඇස් දෙකෙන් වෙනවෙනම යවන සංඥා දෙක වුවද හරියටම සමාන නැත.
(මගේ ලිපි උපුටා වෙනත් තැනක පළ කරන්නේනම් කියවන්නාට අවශ්‍ය විටෙක මුල් ලිපිය ඇති තැනට පහසුවෙන් ලඟා විය හැකි පරිදි සම්පුර්ණ ලින්ක් එකක්ද සමඟ පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොකිරීම වැඩිදුර තොරතුරක් දැනගැනීමට කැමති අයෙකුට කරන අසාධාරණයකි.)