Tuesday, August 31, 2021
කෝවිඩ් එනවා අපි පසුපස්සේ...
Saturday, August 28, 2021
කොයිදෝ යන්නේ මසකට පස්සේ...
ලංකාව විශාල ව්‍යසනයක් කරා වේගයෙන් ඇදෙමින් තිබෙනවා. බොහෝ විට තවත් සති ගණනාවක් රට වසා තබනු ලැබෙයි. ඉන් පසුව, විවෘත කරන්න වෙන්නේ වසා දමනු ලැබූ රට නෙමෙයි. දැන්නම් මොනවා කළත් ගොඩ දාන්න බැරි තරමට වැඩේ දුරදිග ගිහින් බව පැහැදිලියි. එක පැත්තකින් වේගයෙන් කෝවිඩ් පැතිරෙද්දී, කෝවිඩ් පැතිරෙනවාට වඩා වේගයෙන් ආර්ථිකයේ අර්බුදය උග්‍ර වෙමින් තිබෙන බව පේනවා.
මේ වෙලාවේ රට වසා දැමිය යුතුය යන්න රටේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම බව ඉතාම පැහැදිලියි. මරණ භය හමුවේ මිනිසුන්ට එතැනින් එහාට කිසිවක් පෙනෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය පාඨකයින් වැඩි දෙනෙකු වුවත් කියවන්නට කැමති නොවිය හැකි මේ ලිපිය ලිවීමෙන් මා කිසිවෙකුට කිසිවක් යෝජනා කරන්නේ නැහැ. එහෙත්, කවුරු මොන මතයක හිටියත්, අප දකින සැබෑ තත්ත්වය පැහැදිලිව සටහන් කළ යුතුයි.
වසර කිහිපයකට පෙර "බැඳුම්කර මගඩිය" හා අදාළව ප්‍රචාරය කරනු ලැබූ පට්ටපල් බොරු රටම විශ්වාස කරද්දී අප ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. ඇත්ත බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. අප ලියූ ලිපි සියල්ල තවමත් එලෙසම තිබෙනවා. මේ ලිපි දැන් නැවත කියවා බලා අප එකල කියූ දෑ පරීක්ෂාවට ලක් කළොත්, ඇත්ත කිවුවේ කවුද බොරු කිවුවේ කවුද කියා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙයි. සමහර වෙලාවට හැමෝම වගේ ඇත්ත සේ පිළිගන්න කැමති දෙය ඇත්ත නෙමෙයි.
මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවායැයි කියන විශේෂඥ වාර්තාව දකින්න ලැබී නැහැ. මාධ්‍ය වාර්තා අනුව, වත්මන් දින දහයේ රට වසා දැමීමේ අලාභය ඩොලර් බිලියන 1.12ක් බව අදාළ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ වෙද්දී ඩොලරයක මිල කවුරුවත් හරියටම දන්නේ නැහැ. විණිමය අනුපාතිකය හා අදාළව මහ බැංකුව කියන්නේ ඇත්ත නොවන බව ප්‍රචලිත කරුණක් වුවත් අපි අවම ඇස්තමේන්තුවක් ලෙස දැනට මේ ඩොලර් ප්‍රමාණය 200න් වැඩි කරමු. එවිට, දින දහයක පාඩුව රුපියල් බිලියන 224ක්.
පෙර ලිපියේ මා ලිවුවේ දින දහයක් රට වසා දැමීමේ පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 67.5ක් බවයි. රුපියල් බිලියන 224ක් පාඩු වෙනවා කියන එක නරක ඇස්තමේන්තුවක් නෙමෙයි. එය නිවැරදි ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. අදාළ වාර්තාව අනුව, සති හයක පාඩුව ඩොලර් බිලියන 2.22ක් බව පැවසෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 444ක්. දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව බොහෝ විට අවම වශයෙන් සති හයක කාලයක් දක්වා රට වසා දැමීම දිග්ගැහෙන්න පුළුවන්.
ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් ජීවිත 10,000ක් බේරෙන බව පැවසෙනවා. වාර්තාව අනුව, රුපියල් බිලියන 224ක පාඩුව කොහොමටත් සිදු වී අවසන් නිසා මේ වෙනුවෙන් දැරිය යුතු අමතර පාඩුව රුපියල් බිලියන 220ක් පමණයි. ඒ කියන්නේ, රුපියල් මිලියන 22ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකි බවයි.
සැප්තැම්බර් 18 දක්වා පමණක් රට වසා දැමුවොත් ඩොලර් බිලියන 0.55ක, එනම් රුපියල් බිලියන 110ක වියදමකින් ජීවිත 7,500ක් බේරා ගත හැකියි. ඉතිරි ජීවිත 2,500 බේරා ගන්න රුපියල් බිලියන 100ක් වැය වෙනවා. එහෙම බැලුවත් ජීවිතයක් බේරා ගන්න වැය වෙන්නේ උපරිම වශයෙන් රුපියල් මිලියන 40ක් පමණයි.
රුපියල් මිලියන 40ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකිනම් එය කළ යුතුයි. ජීවිතයක වටිනාකම බොහෝ විට ඊට වඩා වැඩියෙන් ඇස්තමේන්තු වෙනවා. නමුත්, ප්‍රශ්නය මේ කියන ජීවිත ප්‍රමාණය ඇත්තටම බේරෙනවද කියන එකයි.
ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙයි කියන එක පිළිගත හැකියි. නමුත්, ඔක්තෝබර් 2 රට විවෘත කිරීමෙන් පසුව කොපමණ කාලයකට මේ ජීවිත සුරක්ෂිතද?
සති හයකට රට වැහුවා කියලා ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් නැති වෙන්නේ නැහැ. රට විවෘත කිරීමෙන් පසුව කෝවිඩ් නැවතත් පැතිරෙන්න පටන් ගන්නවා.
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය පසුගිය වසර ආරම්භයේදී මුලින්ම කෝවිඩ් පැතිරුණු ප්‍රාන්ත තුනෙන් එකක්. මේ ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග නිසා මුලදී කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ වෛරසය පැතිරීම මන්දගාමී වුනා. ආසාදිතයින් හා මරණ පහළ ගියා. එහෙත්, එම සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව වෛරසයේ පැතිරීම වැළැක්විය හැකි වුනේ නැහැ.
ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙන බව නිවැරදි ඇස්තමේන්තුවක් වුවත් බොහෝ විට මේ ජීවිත බේරෙන්නේ වසරකට නොවැඩි කාලයක් පමණයි. එසේ වුවහොත් ඇත්තම වාසිය ජීවිත 10,000ක් නොව ජීවිත-අවුරුදු 10,000ක්. ලාංකිකයෙකුගේ ඉතිරි වී ඇති සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 40ක් සේ සැලකුවොත් මෙය සමාන කළ හැක්කේ සාමාන්‍ය ජීවිත 250කටයි. ඒ කියන්නේ ජීවිතයක් වෙනුවෙන් රුපියල් මිලියන 880 සිට රුපියල් බිලියන 1.6 දක්වා මිලක් ගෙවන්න වෙනවා කියන එකයි.
දැනට පෙනෙන්නට තියෙන්නේ එතරම්ම කලක් නොගොස් රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදු විය හැකි බවයි. පහත තියෙන්නේ ප්‍රධාන පෞද්ගලික බැංකු වල අද වන විට ඩොලරයක විකිණුම් මිල. මේ කළු කඩ මිල නෙමෙයි. එය මීට වඩා ගොඩක් වැඩි විය යුතුයි.
සම්පත් බැංකුව - රුපියල් 222යි
කොමර්ෂල් බැංකුව - රුපියල් 222යි
සෙලාන් බැංකුව - රුපියල් 222යි
හැටන් නැෂනල් බැංකුව - රුපියල් 222යි
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 220යි
ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 225.25යි.
අමානා බැංකුව - රුපියල් 225යි.
එන්ඩීබී බැංකුව - රුපියල් 220යි
මහ බැංකුවත් රාජ්‍ය බැංකුත් ඩොලරයක මිල රුපියල් 203ක් පමණ බව පෙන්වන නමුත් ඒ මිලට ඩොලර් මිල දී ගත හැක්කේ රජයටම පමණක් බව පැහැදිලියි. බැංකු පද්ධතිය තුළින් වුවත් මේ වෙද්දී ඩොලර් මිල දී ගත හැක්කේ රුපියල් 220-225 අතර මිලකටයි. පවතින තත්ත්වය තුළ එක පැත්තකින් බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමි වෙද්දී අනෙක් පැත්තෙන් බඩු මිල විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි.
ඉදිරි මාසය ගොඩක් දේවල් වෙනස් වෙන මාසයක්.
Wednesday, August 25, 2021
රට වැසීමේ පාඩුව කීයද?
ලංකාවට කෝවිඩ් තර්ජනයක් නොතිබුණු 2019 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 15,013ක්. මේ ගණන 365න් බෙදුවොත් රුපියල් බිලියන 41ක් පමණ. එය ලංකාවේ දිනකදී ඉපැයෙන සමස්ත ආදායම. කොහොම වුනත්, රට වැහුවා කියලා රටේ ආදායම බිංදුවට වැටෙන්නේ නැහැ. 2020 දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 16.4%කින් පහළ ගිය නිසා ඒ වගේ අඩුවක් වෙන්න පුළුවන්. එම කාර්තුව තුළ දිගටම රට වසා නොතිබුණු නිසා රට වැසීමේ අලාභය මීට වඩා වැඩි විය යුතුයි.
අවම ඇස්තමේන්තුවක් විදිහට අපි රට වැහීම නිසා දවසක රටේ සමස්ත ආදායමෙන් 16.4%ක් අඩු වෙනවා කියලා ගත්තොත් දවසකට රුපියල් බිලියන 6.75ක් පමණ. දවස් දහයකට රුපියල් බිලියන 67.5ක්. මේ ගණන දවස් දහයක් රට වසා තැබීමේ අවම පාඩුව.
කලින් ඇස්තමේන්තු කරපු විදිහට මේ වෙලාවේ දවස් දහයක් රට වැහීමෙන් උපරිම වශයෙන් ජීවිත 300ක් බේරෙයි. එක ජීවිතයක් රුපියල් මිලියන 130ක් වටිනා සේ සැලකුවොත් පාඩුව රුපියල් බිලියන 39ක්. මෙපමණ ජීවිත ගණනක් බේරෙන්නේ මේ වෙලාවේ රට වැසීම නිසා. එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් පසුව මේ විදිහටම දවස් දහයක් රට වැහුවොත් ඕනෑනම් ජීවිත 25ක් බේරෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 67.5ක පාඩුවක් කර ගැනීමෙන් පසු ලැබෙන වාසිය රුපියල් බිලියන 3.25ක් පමණයි. ආණ්ඩුව රට වහන්න දක්වන ප්‍රතිරෝධය තේරුම් ගන්න අමාරු නැහැ.
Tuesday, August 24, 2021
ජීවිතයක වටිනාකම අසීමිතද?
මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ.
ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි.
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!
හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.
ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.
කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.
මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.
"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."
මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.
මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?
සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි.
ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි.
තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්.
පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.
සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.
දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.
රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.
මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.
කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,
මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි.
Sunday, August 22, 2021
රට කෝවිඩ් වලින් නිදහස් කළ හැකිද?
කෝවිඩ් වසංගතය ආරම්භයේදී චීනය, ලංකාව ඇතුළු ඇතැම් රටවල් කෝවිඩ් රටින් තුරන් කර රට නිදහස් කර ගැනීමේ අභ්‍යාසයක නිරතව සිටියා. චීනය තවමත් මේ අභ්‍යාසය අත හැර නැහැ. එහෙත්, මෙම අභ්‍යාසයෙහි නිරතව සිටි ලංකාව ඇතුළු බොහෝ රටවල් මේ වෙද්දී මේ ප්‍රවේශයේ නිරර්ථක බව අවබෝධ කරගෙන තිබෙනවා.
ලංකාවේ වගේම ලෝකයේ අනෙක් රටවලද වාර්තා වල ඇති කෝවිඩ් මරණ හා ආසාදිතයින් සංඛ්‍යා සම්බන්ධ පැහැදිලි ප්‍රශ්න තිබෙනවා. වසංගතය ආරම්භ වී සෑහෙන කාලයක් යන තුරු ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු ලැබීම ඉහළ මට්ටමක තිබුණා. එය ලංකාව අනුගමනය කළ ආක්‍රමණශීලී කෝවිඩ් මර්දන වැඩ පිළිවෙලෙහි අතුරුපලයක්. මීට සාපේක්ෂව වසංගතයේ මුල් අදියරේදී ඇමරිකාව වැනි රටවල කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනුනේ අඩුවෙන්.
කෝවිඩ් ආසාදිතයින් බොහෝ දුරට නිවැරදිව වාර්තා කෙරුණත්, ලංකාවේ කෝවිඩ් මරණ වාර්තා වීම යම් තරමකින් හෝ අඩුවෙන් සිදු වූ බව මගේ අදහසයි. මා හිතන පරිදි මෙය සිදු වූ දෙයකට වඩා හිතාමතා කළ දෙයක්. එහෙත්, මෙය විශාල මිනුම් වරදකට හේතු වුනා කියා මා හිතන්නේ නැහැ.
ආරම්භයේදී ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුනා. මෙය ලංකාවේ සැබෑ කෝවිඩ් මරණ අනුපාතිකය හෝ එයට සුළුවෙන් අඩු අනුපාතිකයක් සේ සැලකිය හැකියි.
ඉහත කී තත්ත්වය මේ වෙද්දී විශාල ලෙස වෙනස් වී තිබෙනවා. වාර්තා වන සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය 5% තරම් ඉහළ මට්ටමක තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු නොලැබීමයි. කෝවිඩ් මරණද යම් තරමකින් අඩුවෙන් වාර්තා වන බව පෙනෙන නමුත් ආසාදිතයින් හඳුනා ගනු ලැබ වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්.
මේ වෙද්දී ලංකාවෙන් හමුවන දෛනික කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 4000කට ආසන්න වන අතර දෛනික මරණ ප්‍රමාණය 200ක් පමණ වනවා. මේ අනුව, කෝවිඩ් මරණ අනුපාතය 5% පමණ වුවත් එම අනුපාතය සැබැවින්ම 1% පමණ මට්ටමක තිබිය යුතුයි. ඒ අනුව, දිනකට 20,000ක පමණ පිරිසක් ආසාදිතයින් බවට පත් වන බව උපකල්පනය කළ හැකියි. එක් ආසාදිතයෙකු දින 10ක් පුරා කෝවිඩ් පතුරුවන බව සැලකුවොත් මේ වන විට ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක්වත් සිටිය යුතුයි. මෙය රටේ ජනගහනයෙන් 1%ක පමණ ප්‍රතිශතයක්.
නිල සංඛ්‍යාලේඛණ අනුවම රට තුළ මේ වෙද්දී කෝවිඩ් ආසාදිතයින් 55,000ක් සිටිනවා. සැබෑ ප්‍රමාණය මේ ගණන මෙන් සිවු ගුණයක් සේ සැලකීම නරක උපකල්පනයක් කියා මම හිතන්නේ නැහැ. නිල සංඛ්‍යාලේඛණ අනුව වසංගතය ආරම්භයේ සිට මෙතෙක් කෝවිඩ් ආසාදනය වූ පිරිස රටේ ජනගහනයෙන් 1.7%ක් පමණයි. සැබෑ ගණන මේ ප්‍රමාණය මෙන් තෙගුණයක් සේ සැලකුවොත් රටේ ජනගහණයෙන් 95%කටම තවමත් කෝවිඩ් ආසාදනය වී නැහැ. දැනට සිටින 1%ක් පමණ වන ආසාදිතයින්ට කොයි මොහොතක හෝ ඉතිරි 95% ආසාදිතයින් බවට පත් කළ හැකියි.
කෝවිඩ් භයානක රෝගයක් වන්නේ එය පැතිරෙන වේගය නිසා මිස මරණ අනුපාතය නිසා නෙමෙයි. වසංගතය ආරම්භයේදී පැවති තත්ත්වය අනුව එක් ආසාදිතයෙකු විසින් තවත් 2.2 දෙනෙකු ආසාදිතයින් බවට පත් කරනවා. මූලික ප්‍රතිජනන අගය හා ඵලදායී ප්‍රතිජනන අගය පිළිබඳව වසංගතය ආරම්භයේදී විස්තරාත්මකව කරුණු පැහැදිලි කර තිබෙන නිසා මා නැවත මේවා විස්තර කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් පැරණි ලිපි හොයාගෙන කියවන්න.
ඵලදායී ප්‍රතිජනන අගය 2.2 යන්නෙන් අදහස් වන්නේ ජනගහනයෙන් 100ක් ආසාදිතයින්නම් එම පිරිස විසින් තවත් 220ක පමණ පිරිසකට වෛරසය ආසාදනය කරන බවයි. වසංගතයක් ආරම්භයේදී ඵලදායී ප්‍රතිජනන අගය මූලික ප්‍රතිජනන අගයට (R0) සමානයි. එහෙත්, රටේ යම් පිරිසක් එන්නත්කරණය හෝ රෝගය වැළඳීම හරහා ප්‍රතිශක්තිය ලබා ගනිද්දී ඵලදායී ප්‍රතිජනන අගය ටිකෙන් ටික පහත වැටෙනවා. රෝගය තුරන් වී යන්නටනම් ඵලදායී ප්‍රතිජනන අගය 1.0ට වඩා පහත වැටිය යුතුයි.
මූලික ප්‍රතිජනන අගය 2.2නම්, ජනගහණයෙන් 55%ක් පමණ ප්‍රතිශක්තිය ලබා ගැනීමෙන් පසු ඵලදායී ප්‍රතිජනන අගය 1.0 මට්ටමට පහත වැටෙනවා. මෙහිදී ආසාදිතයින් 100 දෙනෙකු නිරෝගී පුද්ගලයින් 220 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය කළත් ඔවුන්ගෙන් 220*55%=121 දෙනෙකුට වෛරසය ආසාදනය නොවන නිසා ආසාදිතයින් වන්නේ ඉතිරි 99 දෙනෙකු පමණයි. මේ අනුව, එන්නතක ඵලදායීතාවය 99%ක්නම්, ජනගහණයෙන් 55%ක් එන්නත් කළ පසු වසංගතය පාලනය විය යුතුයි. එන්නතේ ඵලදායීතාවය 55%ක් පමණක්නම් ඒ සඳහා ජනගහණයෙන් 99%ක් එන්නත් කළ යුතුයි. ඊටත් වඩා අඩුවෙන් ඵලදායී එන්නතකට වසංගතය පැතිරීම මන්දගාමී කළ හැකි වුවත් එය පහසුවෙන් තුරන් කළ නොහැකියි.
ඇමරිකාවේ භාවිතා කළ මොඩර්නා සහ පයිසර්-බයෝඑන්තෙක් එන්නත් වල ඵලදායීතාවය 95% පමණ මට්ටමක තිබුණා. මේ අනුව ජනගහනයෙන් 58%ක් පමණ එන්නත් කිරීමෙන් පසුව වසංගතය පාලනය විය යුතුව තිබුණා. මේ වෙද්දී ඇමරිකාවේ ජනගහනයෙන් 52%ක් පමණ එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 60%ක් පමණ එන්නත් ගැනීම ආරම්භ කර තිබෙනවා.
කෙසේ වුවත්, වසංගතය ආරම්භයේදී වූ ඉහත කී අගයයන් මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ ඉහළ අගයක්. මෙය අප 6.5 සේ සැලකුවොත් වසංගතය පාලනය විය හැක්කේ ජනගහණයෙන් 85%ක් පමණ ප්‍රතිශක්තිය ලැබුවහොත් පමණයි. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය මෙසේ ඉහළ යද්දී, ඉහත කී එන්නත් දෙකෙහි ඵලදායීතාවයද ඩෙල්ටා ප්‍රභේදය හමුවේ 80% පමණ මට්ටමට අඩු වී තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ මුළු ජනගහනයම එන්නත් කළද වෛරසය නැත්තටම නැති කළ නොහැකි බවයි.
කෙසේ වුවත්, එන්නත්කරණයෙන් වැඩක් නොවන බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. එන්නත් ලබා ගන්නා අයට දරුණු රෝග ලක්ෂණ පහළ වන්නේ අඩුවෙන්. මිය යාමේ අවදානමද බොහෝ අඩුයි. හැබැයි මේ අවදානම් නැති වන්නේ නැහැ.
එන්නත් වල ඵලදායීතාවය කාලයත් සමඟද අඩුවෙනවා. ආරම්භයේදී 95%ක ඵලදයීතාවයක් ඇති මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් වැනි එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 77% පමණ මට්ටමකට අඩු වෙනවා. ආරම්භයේදී 70%ක ඵලදයීතාවයක් ඇති එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 33% පමණ මට්ටමකට අඩු වෙනවා. ඒ වගේම, කෝවිඩ් ආසාදනය වීම නිසා ලැබෙන ප්‍රතිශක්තියද දිගටම පවතින්නක් නෙමෙයි.
දැනට තිබෙන වඩාත්ම ඵලදායී එන්නත් රටේ මුළු ජනගහනයටම ලබා දුන්නත් වසංගතය මුළුමනින්ම දුරු කළ නොහැකි තත්ත්වයක් යටතේ, සාපේක්ෂව අඩු ඵලදායී එන්නත් භාවිතා කළ ලංකාව වැනි රටක එන්නත්කරන වැඩ සටහන කෙතරම් සාර්ථක වුවත් ඒ හරහා වෛරසය රටින් තුරන් කිරීම නොකළ හැකි තරම් අසීරු ඉලක්කයක්.
මා ඉහත සඳහන් කළ මූලික ප්‍රතිජනන අගයයන් ඇස්තමේන්තු කර තිබෙන්නේ ලංකාව පාදක කරගෙන නෙමෙයි. දේශගුණික, සමාජයීය, සංස්කෘතික කරුණුද මේ අගය කෙරෙහි බලපානවා. කවර හෝ හේතු නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෛරසය පැතුරුණේ තරමක් අඩු වේගයකින්. පසුගිය දත්ත දෙස බැලුවොත්, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේනවා. මේ ප්‍රවණතාවය අනුව, රට වසා නොදැමුවේනම්, මාසය අවසාන වෙද්දී ලංකාවේ දෛනිකව වාර්තා වන කෝවිඩ් මරණ ප්‍රමාණය 400ක් පමණ විය යුතු බව පැහැදිලියි.
රට වසා දැමූ විට, එම කාලය තුළ, වෛරසය පැතිරීම මන්දගාමී වෙනවා. එහෙත්, රට නැවත විවෘත කළ පසු නැවත පෙර මෙන්ම වෛරසය ව්‍යාප්ත වෙනවා. රට තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක් පමණ සිටින පසුබිමක මාස ගණනක් රට වසා තැබුවත් එම කාලය තුළ වෛරසයේ පැතිරීම මන්දගාමී වනවා මිස වෛරසය තුරන් වන්නේ නැහැ. විවෘත කළ දින සිට නැවත ආසාදිතයන් හා මරණ ඉහළ යන්න පටන් ගන්නවා. පවතින තත්ත්වය යටතේ රට වසා තබා තැබීමෙන් ලැබෙන වාසිය වෙනත් කෝවිඩ් මර්දන කටයුත්තක් වෙනුවෙන් යම් කාලයක් ලැබෙන එක පමණයි. ඒ වෙනත්, දේවල් නිසා මිස රට වසා තැබීම නිසාම ජීවිත සැලකිය යුතු තරමකින් සුරැකෙන්නේ නැහැ.
රට වසා දමන දින දක්වා දත්ත අනුව, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේන බව මම කිවුවනේ. වෛරසය පැතිරුනේද මේ වේගයෙන් කියා අප උපකල්පනය කරමු. කෝවිඩ් ආසාදිතයෙකු විසින් වෛරසය පතුරුවන සාමාන්‍ය කාලය දින 12කට වඩා අඩු නිසා, මෙයින් අදහස් වන්නේ රට වහන අවස්ථාවේදී පැවති ඵලදායී ප්‍රතිජනන අගය 2.0ට වඩා අඩු වූ බවයි. ඒ වන විටද ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවෙස් වලට වී සිටීම ආදී ක්‍රම වලින් පරිස්සම් වී සිටි නිසාත්, ලංකාවේ මහා පරිමාණ පුද්ගල එක්රැස්වීම් බොහොමයක් සිදු වුනේ එළිමහනේ නිසාත් මෙය මෙසේ විය හැකියි.
දැන් මේ 2.0ට අඩු, අපි හරියටම නොදන්නා, ඵලදායී ප්‍රතිජනන අගය පවතිද්දී, රට වසා නොදැමුවේනම්, දින 12කදී ලංකාවේ කොවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වෙනවා. ඒ කියන්නේ, තව දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 400ක්ද, දින 24කට පසුව 800ක්ද වෙනවා කියන එකයි. ආසාදිතයින් වැඩි වෙද්දී ඵලදායී ප්‍රතිජනන අගයද ක්‍රමයෙන් පහළ බහින නිසා මේ ගණනය කිරීම දිගින් දිගටම කරගෙන යාම නිවැරදි නැහැ. දැනට අපි මේ ගණන් වෙත පමණක් අවධානය යොමු කරමු.
රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය පහළ යනවා. මේ අගය බාගයකින් අඩු වුනොත්, දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය දැන් මට්ටමේම, ඒ කියන්නේ 200 මට්ටමේ, නවතිනවා. එය 400ක් වෙන්නේ නැහැ. නමුත් රට ඇරියාට පසුව දින 12කින් එය 400 දක්වාත්, දින 24කින් 800 දක්වාත් ඉහළ යනවා. අවසාන වශයෙන් වෙන්නේ දින 12ක කාලපමාවකින් පසුව කලින් වෙන්න තිබුණු දේම වෙන එකයි. ඒ කියන්නේ, කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 12ක අමතර කාලයක් ලැබෙනවා.
රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය බාගයකින් අඩුවෙනවා කියන එක මෙය පැහැදිලි කිරීම සඳහා කළ උපකල්පනයක් පමණයි. අපි මේ අගය හතරෙන් එකක් දක්වා අඩු වෙනවා කියා හිතුවොත් දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 100 දක්වා අඩු වෙනවා. ඉන් පසුව, දින 12කින් නැවත 200දක්වා වැඩි වී එතැන් සිට කලින් වෙන්න තිබුණු දේම වෙනවා. කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 24ක අමතර කාලයක් ලැබෙනවා. ප්‍රතිජනන අගය අටෙන් එකක් දක්වා අඩු වුනොත් ඔය දින ගණන දින 36ක් දක්වා ඉහළ යනවා. රට වැහුවා කියලා ඵලදායී ප්‍රතිජනන අගය ඊටත් වඩා අඩුවෙයි කියා හිතන්න අමාරුයි.
මේ හේතුව නිසා රට වැහීමෙන් වැඩක් වෙන්නේ නැහැ කියා අදහස් වෙන්නේ නැහැ. මරණ වැළැක්වීම කියා කතාවට කිවුවත් රට වහලා මරණ වලක්වන්න බැහැ. කෝවිඩ් තිබුණත් නැතත් මිනිස්සු කවදා හරි මැරෙනවා. කෝවිඩ් නොතිබුණානම් අවුරුදු 75ක් ජීවත් විය හැකිව තිබුණු කෙනෙක් කෝවිඩ් නිසා වයස අවුරුදු 60දී මිය යනවා කියමු. මොන අයුරකින් හෝ මේ මරණය වැළකෙනවා කියන්නේ එම පුද්ගලයාට ජීවත් වෙන්න තවත් වසර 15ක කාලයක් ලැබෙනවා කියන එකයි. ඒ අනුව, එම මරණය වැලකීම හා කෝවිඩ් නිසා මිය යන හැමෝටම ජීවත්වීම සඳහා අමතර දින ගණනක් ලැබෙනවා කියන කරුණු දෙකෙන් අදහස් වන දේවල් ගොඩක් වෙනස් නැහැ.
අපි හිතමු කෝවිඩ් හේතුවෙන් ලංකාවේ තවත් මරණ 15,000ක් සිදු විය හැකියි කියා. මේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න දින 12ක කාලයක් ලැබෙනවා කියන්නේ ජීවිත-අවුරුදු 500ක් ඉතිරි වුනා කියන එකයි. දින 24ක් ලැබුණොත් ජීවිත-අවුරුදු 1000ක්. ලාංකිකයෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 35ක් ලෙසත්, අපේක්ෂිත ආයු කාලය අවුරුදු 75ක් ලෙසත් ගත්තොත් මෙය සමාන කළ හැක්කේ ජීවිත 25ක් බේරෙන ඒකටයි. එක් අයෙකු අවුරුදු 40ක් වැඩියෙන් ජීවත් වුනොත් 25 දෙනෙකුගෙන් ජීවිත අවුරුදු 1000ක් හැදෙනවනේ. පවතින තත්ත්වය යටතේ දින 12ක් රට වැහුවොත් ලැබෙන්නේ ඔය වගේ වාසියක් පමණයි.
මතක තියාගන්න අපි මේ ඇස්තමේන්තුව කළේ දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඵලදායී ප්‍රතිජනන අගය පැවති මට්ටමෙන් 25% මට්ටමට අඩු වී, ඒ හරහා, රට වසා දින 12කට පසුව (ඒ කියන්නේ රට නැවත විවෘත කර දින 2කට පසු) දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දැන් තිබෙන 200 මට්ටමේ සිට 100 මට්ටම දක්වා අඩු වෙයි කියන උපකල්පනය යටතේ. බොහෝ විට රට වැසීමේ බලපෑම ඊට වඩා අඩු විය හැකියි.
හැබැයි මේ විදිහට රට වසා තිබෙන දින 12 තුළ රටේ කළ හැකි අනෙකුත් වෙනස්කම් නිසා මීට වඩා විශාල වාසියක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකාව මුලින්ම රට වසා දැම්මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම සඳහා කාලය ලබා ගන්න. ඒ කාලය තුළ මෝටර් රථ හදන කර්මාන්ත ශාලා වෙන්ටිලේටර් හදන්න පටන් ගත්තා. පසුව ලංකාව ඇතුළු රටවලට ඇමරිකාව බෙදා දුන්නේ මේ වෙන්ටිලේටර්. රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම සඳහා තවත් බොහෝ දේවල් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝවිඩ් නිසා සිදුවන මරණ අඩු නොවුණත්, කෝවිඩ් සඳහා ප්‍රතිකාර නොලැබීමෙන් සිදුවිය හැකිව තිබුණු මරණ වලක්වා ගත හැකි වුනා.
රට වසා තැබීමෙන් ලංකාවට ලැබෙන ප්‍රධානම වාසිය එම කාලය තුළ සැලකිය යුතු පිරිසකට එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබීමයි. රජයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ වයස අවුරුදු 30 ඉක්මවූ හැමෝටම වගේ එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීලා. රට වසා තැබෙන කාලය තුළ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති අයට කඩිනමින් එම මාත්‍රාව ලබා දීමට නියමිතයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට නැවත විවෘත කිරීමෙන් පසුව වෛරසයේ ව්‍යාප්තිය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් එයින් සිදු වනු ඇත්තේ වෛරසය ආසාදනය වීම මන්දගාමී වීම පමණයි.
එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ අයෙකු ආසාදිතයෙකු වුවත් මිය යාමට තිබෙන සම්භාවිතාව අඩු වෙනවා. ඒ නිසා, රට වැසීමෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරෙන්න පුළුවන්. උපකල්පන මත පදනම්ව මෙසේ බේරෙන ජීවිත ප්‍රමාණයද ඇස්තමේන්තු කළ හැකියි.
රට වහන අවස්ථාව වෙද්දීත් වයස අවුරුදු 30 ඉක්මවූ අය 100%කටම වගේ එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී අවසන් බව කියනවනේ. එහෙත් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙන්නේ ඒ අයගෙන් බාගයකට වඩා අඩු පිරිසකටයි. රට වසා ඇති කාලය තුළ දෙවන මාත්‍රාව ලබා දී නැති අයටද දෙවන මාත්‍රාව ලබා දීම සැලසුමයි.
රට වැහුවා කියා එන්නත් මාත්‍රා දෙකම දැනටමත් ලබාගෙන තිබෙන අය මුහුණ දෙන අවදානමේ කලින්ම ගණන් හැදූ වෙනසට අමතර වෙනත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙත්, එක් මාත්‍රාවක් පමණක් ලබා සිටි අය මුහුණ දෙන අවදානමේ වැඩිපුර අඩුවීමක් වෙනවා.
එන්නතේ දෙවන මාත්‍රාව ලබා නැති අයට දෙවන මාත්‍රාව දෙන්න රට වහන්න අවශ්‍ය නැහැ. එය කොහොමටත් කළ හැකි දෙයක්. ඒ නිසා, දෙවන මාත්‍රාව ලබා දීම නිසාම සිදුවන අවදානම අඩු වීම රට වැසීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායමට වාසියක් ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ යන කාලය අතරතුර වෛරසය අසාදනය වීමේ අවදානම අඩු වීම නිසයි. ඒ කියන්නේ රට වැසීමේ හා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ සම්ප්‍රයුක්ත වාසිය.
එන්නතක පළමු මාත්‍රාව පමණක් ගත් කණ්ඩායමේ අයට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වෛරසය ආසාදනය වී රෝහල්ගත වන්නට සිදු වීමට එරෙහිව 50%ක පමණ ආරක්ෂාවක් තිබෙන බවත්, එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් විට මේ අවදානම 75% පමණ දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, අවදානමෙහි 25%ක පමණ අඩුවක් සිදු වෙනවා. මෙය එතරම්ම විශ්වාසනීය ඇස්තමේන්තුවක් නෙමෙයි. එහෙත්, මේ අවදානම් වඩා නිවැරදිව ඇස්තමේන්තු කිරීම අපහසු වැඩක්. රට වසා තබන දින 10ක කාලය තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීම නිසා රෝහල්ගත වීමේ අවදානම අඩුවීම මීට වඩා ගොඩක් වැඩියි කියා හිතන්න අමාරුයි.
මේ වාසිය ලබන පිරිස මිලියන 6.5 ක පමණ, එනම් රටේ ජනගහණයෙන් 30%ක පමණ, පිරිසක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 30%කගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම මේ කාලය තුළ 25%කින් අඩු වෙනවා කියන එකයි. එනම්, සමස්තයක් ලෙස ලංකාවේ වැසියෙකුට කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් පමණ අඩුවීමක්.
දැනට රටේ සිටින රෝහල්ගත විය යුතු මට්ටමේ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 40,000ක් පමණ බවත්, රට නොවැසුවේනම් මෙම ප්‍රමාණය දින 12කින් තවත් 40,000කින් වැඩි විය හැකිව තිබුණු බවත්, රට වැසීම නිසා එම ප්‍රමාණය 10,000 දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, රට වැසීම හේතුවෙන් 30,000ක පමණ පිරිසකගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් අඩු වෙනවා.මෙය කෝවිඩ් හේතුවෙන් රෝහල්ගත වීම් ප්‍රමාණය 2,250කින් පමණ අඩුවීමක්. රෝහල්ගත වන අයගෙන් 5%ක් මිය යන සේ සැලකුවොත් කෝවිඩ් මරණ ප්‍රමාණය 225කින් පමණ අඩු වීමක්. ඉහතින් ගණන් හැදූ මරණ 25ද සමඟ දැන් එකතුව රට වැසීම නිසා නොසිදුවන මරණ 250ක්.
මේ වෙද්දීත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය එහි ධාරිතාව ඉක්මවා ඇති බව පැහැදිලියි. ඒ නිසා, වෛරසය පැතිරීම මන්දගාමී කර ගැනීමෙන් වලක්වා ගත හැකි කෝවිඩ් මරණ වලට අමතරව, අවශ්‍ය ප්‍රතිකාර නොමැති කමින් සිදු විය හැකි මරණ යම් ප්‍රමාණයක්ද වලක්වා ගත හැකියි. මේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවෙන් 20%ක් පමණ සේ සැලකුවොත් ඒ හරහා වැළකෙන මරණ ප්‍රමාණය 50ක් පමණ වෙනවා. එම මරණ ප්‍රමාණයද අනුව දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වන ජීවිත ප්‍රමාණය 300ක් පමණ.
කෙසේ වුවත් ඉහත ප්‍රමාණයෙන් රට වැසීම නිසාම ඉතිරි වන ජීවිත ප්‍රමාණය 25ක් පමණයි. ඉතිරි ජීවිත බේරෙන්නේ හරියටම මේ අවස්ථාවේදීම රට වැසීම හා රට වසා තිබෙන කාලය තුළ එන්නත් මාත්‍රා ලබා දීම සම්පූර්ණ කිරීම නිසා. දෙවනු කී වාසි එකවර ලැබෙන වාසියක් මිස රට වසා තැබීමෙන් දිගින් දිගටම ලැබෙන වාසි නෙමෙයි. ඒ වගේම මේ ගණනය කිරීම් කළේ රට වැසීමෙන් ඵලදායී ප්‍රතිජනන අගය 75%කින් අඩු වුවහොත් යන පදනම මතයි. බොහෝ විට එය එසේ නොවිය හැකියි. මෙය දින දහයකට පසු පරීක්ෂා කර බැලිය හැකි දෙයක්.
යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන නමුත් දැන් පවතින තත්ත්වය අනුව රට වැහුවා කියා ලංකාවේ කෝවිඩ් පැතිරෙන එක නවත්වන්නනම් බැහැ. රට වසා ඇති කාලය තුළ යම් පාලනය වීමක් සිදු වුවත් රට නැවත විවෘත කළ තැන් පටන් නැවතත් වෛරසය පැතිරීම නොවැලැක්විය හැකි දෙයක්. වේගවත් එන්නත්කරනය මගින් වුවද කළ හැක්කේ හානි අවම කිරීමක් පමණයි.
Saturday, August 21, 2021
වසංගත බය, දුර්භික්ෂ බය හා ගෝටාබය
ගොඩක් අය ජනාධිපති ගෝටාබය රාජපක්ෂව සලකන්නේ දුර්වල සන්නිවේදකයෙක් ලෙසයි. කතාව බොරුවක්ම නෙමෙයි. නමුත්, හොඳ සන්නිවේදකයෙක් කියා කියන්නේ මොන වගේ කෙනෙකුටද? මහින්ද වගේ ඇදලා පැදලා "දැන් සැපද" කියලා අහන්න පුළුවන් කෙනෙක්ටද? සජිත් වගේ "ආදරණීය සදාදරණීය" කියලා පටන් ගන්න කෙනෙක්ටද? අනුර කුමාර වගේ "නැද්ද හා" කියල අහන කෙනෙක්ටද?
ඊයේ කළ ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ කතාවේදීනම් ඔහු කියන්න අවශ්‍ය දේ ඉතා හොඳින් සන්නිවේදනය කළා. ආලවට්ටම් වැල් වටාරම් නැතුව පොයින්ට් එකට කරපු කතාවක් කියා කියන්න පුළුවන්. සුපුරුදු පුරාජේරුවනම් පොඩ්ඩක් තිබුණා. සමහර විට ලියලා දීපු කතාවක් කියෙවුවා වෙන්න පුළුවන්. ඒක අදාළ කරුණක් නෙමෙයි. කතාව කළේ ගෝටාබය.
කතාවක හොඳ නරක එහි ඉලක්කගත කණ්ඩායම අනුව වෙනස් වන දෙයක්. පොයින්ට් එකට කරන කතා හැමෝටම හරියන්නේ නැහැ. ඒ වුනත්, මැතිවරණ වේදිකාවකදී කරන කතා කොහොම වුනත්, රාජ්‍ය නායකයෙකු විසින් කතාවක් කරද්දී එහි අන්තර්ගතය දිහා ඇතැම් විට ලෝකයම බලා ඉන්නවා. මේ කතාවේ වැදගත් සංඥා ගණනාවක් තිබෙනවා.
කෝවිඩ් සැමදා අප සමගය කියන අදහස වසංගතය ආරම්භයේදීම ප්‍රචලිත වූ අදහසක්. අදහසට පදනම් වුනේ බටහිර විද්‍යාත්මක චින්තනය වුවත්, විද්‍යාව මත පදනම් වූ මෙවැනි විශ්වාසයක් තහවුරු කළ හැකි සාධක ඒ වෙද්දී තිබුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. කෝවිඩ් අප හැර නොයන බව ඉතා පැහැදිලියි. කෝවිඩ් සමඟ සහජීවනයකට යනු හැර විකල්පයක් කිසිදු රටකට නැහැ.
පෘථිවිය මත වෛරස් සැරිසරන්න පටන් ගත්තේ මිනිස්සු බිහි වෙන්නට විශාල කාලයකට පෙරයි. වෛරස් ආසාදන කියන්නේ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරා මිනිස්සු වෛරස් ආසාදන වලින් මිය ගියා. කෝවිඩ් වසංගතය ආරම්භයේදී වෛරස් පිළිබඳව තිබුණු දැනුම තරම් දැනුමක් මීට පෙර කිසිදු වසංගත අවස්ථාවක මිනිස්සුන්ට තිබුණේ නැහැ.
ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. එහෙත්, කෝවිඩ් ආසාදනය පැතිරෙන ආකාරය පිළිබඳව බටහිර විද්‍යා දැනුමට කිට්ටුවෙන්වත් තැබිය හැකි වෙනත් කිසිදු විකල්ප දැනුමක් නැති බව මේ වෙද්දී ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වී තිබෙනවා. බටහිර විද්‍යා දැනුම වුවද පරිපූර්ණ දැනුමක් නෙමෙයි.
කෝවිඩ් හමුවේ මිනිස් සංහතිය හමුවේ දැනට තිබෙන එකම සාර්ථක අවිය එන්නත්කරණයයි. වෙනත් අවි තිබිය හැකි වුවත් ඒ කිසිවක සාර්ථකත්වය තහවුරු වී නැහැ. එහෙත් එන්නත්කරණයේද සීමාවන් තිබෙනවා. එන්නත්කරණය මගින් වුවද කෝවිඩ් මිහිමතින් තුරන් කළ නොහැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. කෝවිඩ් සදා අප සමඟයි!
එන්නත්කරණය මගින් කෝවිඩ් ලෝකයෙන් හෝ ලංකාවෙන් තුරන් කළ නොහැකි වුවත් පාලනය කළ හැකියි. වල් අලි තරම් හීලෑ අලි දරුණු නැහැ. හීලෑ අලින්ද ඇත් ගොව්වන් ඔසොවා පොළොවේ ගහනවා. එහෙත්, හීලෑ අලින් නිසා වල් අලින්ගෙන් තරම් හානි හෝ මරණ සිදු වන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුව වසංගතය ආරම්භයේදී පෙරහරේ ගෙනිච්චත්, හීලෑ අලින්ගෙන් මෙන් කෝවිඩ් හදන වෛරසයෙන් වැඩ ගන්නනම් බැහැ.
වසංගතය ආරම්භයේදී කෝවිඩ් මර්දනය කළ හැකි එන්නත් පිළිබඳව තිබුණේ බලාපොරොත්තුවක් පමණයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක ආණ්ඩුවකට මෙය දුරස්ථ බලාපොරොත්තුවක්. දියුණු වන රටවල්ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් එන්නත් හදන වැඩේට අත ගැහුවත් ලංකාව එවැන්නක් කළ හැකි තැනක හිටියේ නැහැ. ඒ නිසා, ලංකාවට වෙන රටක එන්නත් හැදෙන තුරු බලා ඉන්න සිදු වී තිබුණා. මුල් කාලයේ ලංකාවේ ආණ්ඩුව අනුගමනය කළ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න ඇතත්, සමස්තයක් ලෙස අදාළ ක්‍රියාවලිය පිළිබඳව වැරැද්දක් කියන්න බැහැ.
මේ වන විට ලංකාවේ ආණ්ඩුව එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තබා ඇතුවාක් මෙන්ම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඒ බව සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවම එන්නත් කිරීමෙන් පසුව වුවත් ලංකාවෙන් කෝවිඩ් තුරන් වෙන එකක් නැහැ. හැමදාම රට වහගෙන ඉන්නත් බැහැ.
කෝවිඩ් එක්ක ජීවත් වෙන්නනම් දිගින් දිගටම එන්නත් අවශ්‍ය වෙනවා. පරීක්ෂණ කට්ටලද අවශ්‍ය වෙනවා. වසරකට වරක් රටේ ජනගහණය එන්නත් කරන එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්. එහෙත්, මෙවැන්නක් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. යටිතල පහසුකම් ප්‍රශ්නය විසඳා ගැනීම හා පවතින සෞඛ්‍ය ආකෘතිය තුල වැඩේ සංවිධානය කර ගැනීම අසීරු වන එකක් නැතත්, මේ වැඩේට දිගින් දිගටම මුදල් හා විදේශ විණිමයත් අවශ්‍ය වෙනවා. ලංකාවේ රජයට නැත්තේම ඔය දෙකයි!
රට වැහීම කියා කියන්නේ මිනිස් ජීවිත හා ආර්ථිකය අතර සිදු කරන තේරීමක් නෙමෙයි. ආර්ථිකය කියා කියන්නෙත් මිනිස් ජීවිතම තමයි. දෙපැත්තේම තියෙන්නේ මිනිස් ජීවිත. රට වැහීමෙන් මිනිස් ජීවිත බේරෙනවද අහිමි වෙනවද කියන එක පවතින තත්ත්වය අනුව තීරණය වන, වෙනස් වන දෙයක්.
තාවකාලිකව මොනවා කළත්, ආණ්ඩුව මේ වෙලාවේ සිතිය යුත්තේ පවතින තත්ත්වය දිගුකාලීනව කළමණාකරණය කර ගන්නේ කොහොමද කියන එකයි. ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය ආරම්භ කළ හැකිනම් එය වසංගත ප්‍රශ්නයට වගේම ආර්ථික ප්‍රශ්න වලටද තාවකාලික මෙන්ම දිගුකාලීන විසඳුමක්. මේ වෙලාවේදී චීනයට තිබෙන භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මේ වැඩේට ප්‍රයෝජනයට ගත හැකියි.
එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්. මේ වගේ වැඩ වලට ලාංකිකයෝ දක්ෂයි. මම කියන්නේ තිබෙන එන්නත් වල මාත්‍රා නිෂ්පාදනය කිරීම ගැන පමණක් නෙමෙයි. එය කෙටිකාලීනව හා මැදිකාලීනව හොඳ ඉලක්කයක්. දිගුකාලීනව අලුත් එන්නත් හදන වැඩේටත් අත ගහන්න බැරිකමක් නැහැ. එක් නිශ්චිත එන්නතක් සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩු වුවත්, වැඩේ දිගටම කරගෙන යද්දී එකක් පත්තු වුනොත් ලැබෙන වාසිය ඉතා විශාලයි. මාත්‍රා නිෂ්පාදනය වුවත් අපනයනය ඉලක්ක කරගෙන කළ හැකිනම් විශාල වෙළඳපොළක් තිබෙනවා. එය ලේසියකට නැති වන වෙළඳපොළක් නෙමෙයි.
Friday, August 20, 2021
කෝවිඩ් බය
මේ වන විටද ලෝකයේ රටවල් අතරින් වැඩිම කෝවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනා ගැනුණු රට මෙන්ම වැඩිම කෝවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති රටද ඇමරිකාවයි. ඇමරිකාවෙන් පිටත බොහෝ දෙනෙකුට අනුව ඇමරිකාවේ ආණ්ඩුව ඇමරිකානුවන්ගේ ජීවිත පරදුවට තබමින් ආර්ථිකය ආරක්ෂා කර ගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකානුවන් ඉතා නොසැලකිලිමත් ලෙස හැසිරී විශාල විනාශයක් කරගෙන තිබෙනවා. මේ කතා සුරංගනා කතා පමණක්ම බව පැහැදිලි කරද්දී එය පිළි නොගත් අයටද ඉතා ඉක්මණින් මේ බැව් පිළිගන්නට සිදුවනු නොඅනුමානයි.
මා පසුගිය වසර මුලදීම කියා ඇති පරිදි ඇමරිකාව කෝවිඩ් වසංගතය සැලකුවේ දිගුකාලීන යුද්ධයක් ලෙස මිස ඉතා ඉක්මණින් අවසන් සතුරාද මරා දමා ජයග්‍රහණය සැමරිය හැකි සටනක් ලෙස නෙමෙයි. ලංකාවේ අත්දැකීම තරමක් වෙනස් සේ මතුපිටින් පෙනුනත්, දිගුකාලීන යුද්ධ බොහෝ විට එක් පාර්ශ්වයක් මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් වන්නේ නැහැ. බොහෝ යුද්ධ වල අවසානය යම් ආකාරයක සංහිඳියාවක්.
ඇමරිකාව බොහොමයක් තීරණ ගනු ලැබුවේ විද්‍යාව මත පදනම්වයි. ඇතැම් තීරණ ගනු ලැබුවේත්, බොහෝ ඇමරිකානුවන් ක්‍රියා කළේත් විද්‍යාව අදහමින් කියා කිව හැකියි. විද්‍යාව අදහමින් ගනු ලබන තීරණ විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණ තරමටම සාර්ථක වෙන්නේ නැහැ. විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණද හැම විටම සාර්ථක වන්නේ නැහැ. එහෙත්, කෝවිඩ් හා අදාලවනම් මේ දෙවර්ගයේම තීරණ බොහෝ දුරට හරි ගියා. ඇමරිකාව තවමත් කෝවිඩ් පරාජය කර නැතත්, එය ඇමරිකාව ෆේල් වීමක් නොවන්නේ මේ තත්ත්වය මුල සිටම ඇමරිකාව අපේක්ෂා කළ දෙයක් වූ නිසයි.
කෝවිඩ් සතුරා ලේසියකට පරාජය කළ නොහැකි බව ඇමරිකාව මුල සිටම තේරුම් ගෙන සිටි කරුණක්. ඒ අනුව හැම විටම ඉලක්කය වුනේ හානිය අවම කිරීම මිස කෝවිඩ් සහමුලින්ම දුරු කිරීම නෙමෙයි. ඇමරිකාවේ කියා කිවුවත් පොදුවේ බොහොමයක් බටහිර රටවලට මේ කියන දේවල් අදාලයි.
ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රවේශය නිවැරදි බව මේ වෙද්දී තහවුරු වී අවසන්. ඝර්ම කලාපීය රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. බීසීජී එන්නත් කළ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. දුඹුරු හම ඇති අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. විවිධ විකල්ප ඖෂධ භාවිතා කළ අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. සමාජවාදී රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. ථෙරවාදී බෞද්ධ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේත් නැහැ. චීනය පමණක් තවමත් කෝවිඩ් පාලනය කරගෙන ඉන්නවා.
කෝවිඩ් මරණ අනුපාතය අතින් ඊයේ ලංකාවට වඩා ඉහළින් හිටියේ ජනගහණය ඉතා අඩු රටවල් කිහිපයක් පමණයි. කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව පට්ට ෆේල් බව මේ වන විට විවාදිත කරුණක් නෙමෙයි. එය එසේ වන්නේ ලංකාව ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් පාලනය කිරීමට අසමත්ම වූ රට නිසා නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව තමන්ගේම ක්‍රමයකට රට කෝවිඩ් වලින් මුදාගෙන බටහිර රටවල් ඇතුළු ලෝකයට පෙන්වීමට බලාගෙන සිට ඇණගත් නිසයි. ආරම්භය එසේ වුවත් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් සමඟ සහජීවනයකට සූදානම්ව සිටිනවා.
ඇමරිකාව ඇතුළේ හැම දෙයක්ම කලින් සැලසුම් කළ, පුරෝකථනය කළ හා අපේක්ෂා කළ විදිහට සිදු වුනා. හැබැයි ඇමරිකාවේ ජනාධිපතිට වුනත් බලාගෙන හිටපු විදිහට ජයට නිදහස් දිනය සමරා රට විවෘත කරන්න ඉඩ ලැබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ එන්නත් ලබා ගන්නට අවශ්‍ය හැම දෙනෙක්ම වගේ එන්නත් ලබාගෙන අවසන්. එසේ ලබාගෙන තිබෙන්නේත් තිබෙන හොඳම එන්නත්. එසේ වෙලත් මේ වෙද්දී ඇමරිකාව පුරා කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා. එහි R0 අගය 6-7 තරම් විශාලයි වගේම මරණ අනුපාතයද අඩු නැහැ. වෛරසයේ පරිණාමය ඩෙල්ටා ප්‍රභේදයෙන් අවසන් වන එකක් නෙමෙයි.
කෝවිඩ් වලට එරෙහිව එන්නත් වලින් ආරක්ෂාවක් ලැබෙන බව ඉතා පැහැදිලියි. එහෙත් මෙය සාපේක්ෂ ආරක්ෂාවක් පමණයි. එන්නත් දෙකම ලබාගත් අයටත් කෝවිඩ් හැදෙනවා. ඔවුන් කෝවිඩ් බෝ කරනවා. ඇතැමෙක් මැරෙනවා. ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය තවත් දරුණු විය හැකි බව පැහැදිලියි.
මම පෞද්ගලිකව ගත්තොත්, වසරකට වැඩි කාලයක් පුරා ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගතව සිටියා කිව හැකියි. එළියට බැස්සේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසු පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමෙන් පසුවයි. එහෙත් මේ පූර්ණ ප්‍රතිශක්තිය කියන එකත් වචනයක් පමණයි. ඕනෑම වෙලාවක මට කෝවිඩ් හැදෙන්න පුළුවන්. අමාරු වෙන්න වගේම මැරෙන්නත් පුළුවන්.
වසරක්ම ගෙදරට වී සිටියේ උමග කෙළවර එළිය දෙස බලාගෙනයි. ඒ එළිය අපේක්ෂා කළ පරිදිම දැක ගත හැකි වුනා. එය කණාමැදිරි එළියක් කියා මම කියන්නේ නැහැ. එහෙත්, එළිය පෙනුණේ උමග කෙළවර නෙමෙයි. උමග තව දිගයි.
කෝවිඩ් අවදානම තිබුණත් හැමදාම ගේ ඇතුළට වී ඉන්න බැහැ. කොයි දේක වුනත් සීමාවක් තිබෙනවා. මොන තරම් අවදානමක් තිබුණත් කෝවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නම වෙනවා. දැන් ඇමරිකාවේ ජීවිතය ගැන ගැන කෙටියෙන්ම කිවුවොත් මෙය කෝවිඩ් සමඟ සහජීවනයක්. ලෝකයේ අනෙක් හැම රටකටමත් කොයි වෙලාවේ හෝ කරන්න වෙන්නේ ඕකම තමයි. යම් පිරිසක් තව දුරටත් මැරෙයි. ඒ අතර මම වුනත් ඉන්න පුළුවන්. එන්නත නිසා අවදානම අඩු වෙලා තිබෙනවා. එච්චරයි.
Thursday, August 12, 2021
වේරම්භ වාතයට යට වූ දකුණු හුළඟ
‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්ත, ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ. අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, සාපතෙය්‍යංපිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සඞ්කියො ච හොති පාපකෙසු ඨානෙසු, අභූතවචනඤ්ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති."
“ගෘහපති පුතේ, නුසුදුසු අවස්ථා වල වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීමේ දෝෂ හයක් තිබෙනවා. තමා ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ අඹුදරුවෝද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ වස්තුවද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. අනුන්ගේ සැකයට බඳුන් වේ. නොකළ වැරදි වලට අසු වේ. නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්නට සිදු වේ."
මම හිතන්නේ බුදු හාමුදුරුවෝ සිඟාලක ගෘහපතියාට දුන් ඉහත අවවාදය මේ දවස් වල ලංකාවේ වැසියන්ට වෙන කවරදාකටත් වඩා වටිනවා. තමනුත්, අඹුදරුවනුත් රැක ගන්න අවශ්‍යනම් අත්‍යාවශ්‍ය නොවන වීථි සංචරණ සීමා කරන්නම වෙනවා.
බුදුහාමුදුරුවන්ට සිඟාලක ගෘහපතියාව දකින්න ලැබෙන විට ඔහු උදේ පාන්දරම තෙත හිස කෙස් පිටින් සය දිසාවට වඳිනවා. මෙය ඔහුට ඔහුගේ පියා මියයන්න කලින් උගන්වා තිබුණු වතාවතක්. මේ බව දකින බුදුහාමුදුරුවෝ පරම්පරාවෙන් ආ සම්ප්‍රදායික දැනුමක් වුවත් තේරුමක් නැති දේ කිරීමෙන් යහපතක් නොවන බව සිඟාලකට පැහැදිලි කරනවා. මේ වගේ තේරුමක් නැති සම්ප්‍රදායික දැනුම් ප්‍රශ්න කිරීම බුදුහාමුදුරුවන් විසින් බොහෝ අවස්ථා වල කර තිබෙන දෙයක්. එවැනි වෙනත් අවස්ථා වලදී වගේම මේ අවස්ථාවේදීත් බුදුහාමුදුරුවෝ කරන්නේ භාෂාවට අලුත් අර්ථකථනයක් දීම හරහා සම්ප්‍රදාය වෙනස් කිරීම. ඒ අනුව, බුදුහාමුදුරුවෝ සය දිසාව නැවත අර්ථකථනය කරනවා.
සිගාලෝවාද සූත්‍රයට අනුව දකුණු දිශාව කියන්නේ ගුරුවරු. පසුගිය දවස් වල ලංකාවේ දකුණු දිශාවේ කැළඹීමක් ඇති වුනා. අපි දකුණු සුළඟ කියා කියමු. දකුණු සුළඟ හමද්දී ලංකාවේ ආර්ථිකය හරහා ප්‍රචණ්ඩ කුණාටුවක් හමමිනුයි තිබුණේ. දැන් දකුණු සුළඟ නැවතිලා. හැබැයි එය සිදු වී තිබෙන්නේ රට හරහා වේරම්භ වාතයක් හමා යාමට සමාන්තරවයි. ලෝකයේ හොඳින්ම කෝවිඩ් පාලනය කළ ආණ්ඩුවකට දැන් කෝවිඩ් ප්‍රශ්නයක් වෙලා!
මේ වෙලාවේ කෝවිඩ් වලට අවධානය යොමු වී තිබුණත්, ගුරු ප්‍රශ්නය වගේම ඊට වඩා ගොඩක් බරපතල රටේ ආර්ථිකයේ ප්‍රශ්නත් ඒ විදිහටම තිබෙනවා වගේම මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයි. ගුරු ප්‍රශ්නය හදාගත් ප්‍රශ්නයක් වුවත් එය මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථිකයේ ප්‍රශ්නයත් හදාගත් ප්‍රශ්නයක්. එයද මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නොවූවත්, මේ වන විටද මේ ආණ්ඩුව පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්නයක්. කෝවිඩ් මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග කිසි ලෙසකින්වත් සර්ව සම්පූර්ණ නැතත්, වසංගතය හා ආශ්‍රිත ප්‍රශ්න මේ ආණ්ඩුවේ හෝ වෙනත් ආණ්ඩුවක වරදකින් ඇති වූ ප්‍රශ්න නෙමෙයි.
කෝවිඩ් පැතුරුණේ දකුණු හුළඟ නිසා කියා කියන්න බැහැ. එය කොයි වෙලාවක හෝ සිදු විය හැකිව තිබුණු දෙයක්. මේ බව අප සටහන් කළේ ලංකාව කෝවිඩ් මර්දනයෙන් ලෝකයේ හොඳම රටක්ව සිටින බව ප්‍රචාරය කෙරුණු කාලයේදීමයි. කෝවිඩ් පැතිරීම ආණ්ඩුවේ වැරැද්දක් නොවනාවක් මෙන්ම ගුරුවරුන්ගේ වැරැද්දක්ද නෙමෙයි. දිගින් දිගටම නොකල්හි වීථි සංචාරය කළ ගුරුවරුන්ට දැන් සිඟාලක ගෘහපතිට බුදු හාමුදුරුවන් විසින් කියූ පරිදිම නොකළ වැරදි වලට අසු වී, අනුන්ගේ සැකයට බඳුන් වී, නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.
ප්‍රශ්න ඇති වුනේ මොන විදිහට වුනත් පවතින ආණ්ඩුවට එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කෝවිඩ් වේරම්භ වාතය හමුවේ දකුණු සුළඟ සමහර විට යටපත් වෙලා යයි. කෝවිඩ් ප්‍රශ්නයත් කාලයත් එක්ක විසඳී යයි. ස්වභාවිකව ඇති වන ප්‍රශ්න නරකම තත්ත්වයක් යටතේ වුවත් කාලයත් සමඟ ස්වභාවිකවම විසඳෙනවා. හැබැයි ඊට පෙර තත්ත්වය දැන් තිබෙනවාට වඩා නරක අතට හැරෙන බවත් පැහැදිලියි.
කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් වෙද්දී වැඩි පිළිගැනීමක් තිබෙන මතයක්. වසංගතයේ ආරම්භක අවදියේදී ගොඩක් අය එහෙම කිවුවේ හෝ හිතුවේ නැහැ. මෙහිදී ආණ්ඩුව අසමත් වන්නේ වෙන අයෙකුට කළ හැකිව තිබුණු දේ නොකළ නිසා නෙමෙයි. ආණ්ඩුවකට නොකළ හැකි දේ කළ හැකි සේ සලකා කරන්න යාම තුළයි.
ආර්ථික කළමනාකරණයේදීත් කෝවිඩ් වලින් උගත් පාඩම අමතක නොකළොත් එය ආණ්ඩුවේ පැවැත්මට හොඳ වෙයි. ආර්ථිකයේ ප්‍රශ්න වසංගතය මෙන් ස්වභාවිකව ඇති වූ ප්‍රශ්න නොවන නිසා එම ප්‍රශ්න කාලය විසින් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳන්නම වෙනවා. ප්‍රශ්න වල මුල ආණ්ඩුවකට කළ නොහැකි දේ කරන්න යාමයි. නොකළ හැකි දේ කරන්න දිගින් දිගටම උත්සාහ දරන තුරු ආණ්ඩුවේ අසමත් බව සැඟවිය නොහැකි ලෙස මතු වීමේ අවදානම එලෙසම තිබෙනවා.
Tuesday, June 1, 2021
පිස්සු බල්ලන් පාලනය කිරීම
ඔය විදිහට බලු වෑන් වලින් උස්සලා බල්ලො මරන එක සිදු වුනේ ලංකාවේ ජලභිතිකා මර්දන වැඩ පිළිවෙළේ කොටසක් විදිහටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ මේ වැඩ සටහන ආරම්භ වී තිබෙන්නේ 1975දී වුවත් මට වගේම ලංකාවේ තවත් ගොඩක් අයට බලු වෑන් ගමට එන බව දකින්න ලැබෙන්න ඇත්තේ 1977 පමණ කාලයේදී වෙන්න ඇති. ඔය ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර මුදල නිසා ලංකාවේ යම් කිසි පිරිසකට බල්ලො මරලා සල්ලි හෙවීමේ රැකියා අවස්ථාවත් ලැබෙන්න ඇති.
බටහිර වෛද්‍ය ක්‍රමය තුළ රෝගයට ප්‍රතිකාර කිරීම වගේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමද සිදු වෙනවා. එන්නත්කරන වැඩ සටහනකදී වෙන්නේ රෝගයට ප්‍රතිකාර කිරීම. ප්‍රතිකාර කියා කිවුවත් මෙයින් හැම විටම අදහස් වන්නේ බෙහෙත් දීමක්ම නෙමෙයි. මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය වගේ දේවල් කෝවිඩ් සඳහා ප්‍රතිකාර වනවා වගේම බලු වෑන් වලින් උස්සා බල්ලො මැරීම ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් කළ ප්‍රතිකාරයක්.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වගේම රෝගයකට ප්‍රතිකාර කිරීමේදීත් "සියල්ලන්ටම එකම බේත" න්‍යාය වැඩ කරන්නේ නැහැ. අවස්ථා දෙකේදීම සංස්කෘතික කරුණු ඇතුළු තවත් බොහෝ දේවල් වල බලපෑමක් තිබෙනවා. බලු වෑන් ක්‍රමය ලංකාවට හරි නොයන්නත් වෙනත් ඇතැම් රටවලට හරියන්නත් හේතු වුනේද මේ සංස්කෘතික වෙනස්කම්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ, ඉක්වදෝරයේ හා ටියුනීසියාවේ සිදු කළ නියාමක ව්‍යාපෘති හා පශ්චාත් අධ්‍යයනයන්හිදී මේ වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.
අසූව දශකයේ මැද භාගයේදී ඔය අධ්‍යයනය කරන විට ලංකාවේ ගෙවල් වලින් 60%ක එක බල්ලෙක් හෝ ඉඳලා තියෙනවා. ඒ වගේම, ලංකාවේ මිනිස් ජනගහනයෙන් අටෙන් එකකට සමාන ගෘහස්ථ බලුගහණයක් ඉඳලා තියෙනවා. ලංකාවේ බලුගහණයෙන් 24%ක් අවුරුද්දකට වඩා අඩු වයසක සිට ඇති අතර බල්ලෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 3-4ක් පමණ වී තිබෙනවා. ඒ වගේම ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් තුනෙන් දෙකක් පමණම පිරිමි සතුන් වෙද්දී බැල්ලියන් ඉඳලා තියෙන්නේ තුනෙන් එකක් පමණයි. මෙය සමීක්ෂණය කළ අනෙක් රටවලටත් පොදු තත්ත්වයක්.
ටියුනීසියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ බැල්ලියන්ගෙන් ඉපදෙන අනවශ්‍ය බලු පැටවුන් මරා දැමීම පුරුද්දක් ලෙස කර ඇතත් ලංකාවේ එවැන්නක් සිදු නොවන බව අපි හොඳින්ම දන්නා දෙයක්නේ. ලංකාවේ මිනිස්සු කරන්නේ තමන්ට අනවශ්‍ය බලු පැටවු, පූස් පැටවු පාරක් අයිනට හරි පන්සලකට හරි හොරෙන්ම ගිහිං දාන එකනේ. ඔය ඉරණමට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ ගැහැණු සතුන්ට. පිරිමි සතෙක්ව දෙන්න කාව හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයිනේ.
ලංකාවේ ගෙවල් වල ඉන්න බල්ලන් ගෙවල් වලට ඇවිත් තියෙන්නේ කොහොමද? ලංකාවේ ගෘහස්ථ බලුගහණයෙන් 72%ක්ම කාගෙන් හෝ ඉල්ලා ගත්ත බලු පැටවු. මුදල් ගෙවා මිල දී ගෙන තියෙන්නේ 11%ක් පමණයි. ගෙදර බැල්ලියකගේ පැටවු ඉඳලා තියෙන්නේ 13%යි. ඉතිරි 4% පාරෙන් අහුලගෙන ගෙදර ගෙනාපු බලු පැටවු.
ලංකාවේ බල්ලන් ඇති කිරීමේ සංස්කෘතිය මොන වගේ එකක්ද කියලා මෙයින් පැහැදිලි වෙනවනේ. බල්ලෙක් අවශ්‍ය කෙනෙක් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හෝ ගෙදරක බැල්ලියක් පැටවු දැම්මට පස්සේ බලු පැටවෙක් ඉල්ල ගන්න එක. ඒ වගේම ගෙදර බැල්ලී පැටවු දැම්මම ගෙදර මිනිස්සු බලන්නේ ඔය පැටවු කාට හරි දීලා දාන්න. වැඩිම වුනොත් එක බලු පැටවෙක් ගෙදර තියා ගනියි. කාටවත් දී ගන්න බැරි වෙන බලු පැටවු එක්කෝ පාරකට නැත්නම් පන්සලකට. ඔය විදිහට පාරට විසිවන බලු පැටවෙක් ඉඳහිට නැවත කාගේ හෝ ගෙදරකට අරන් යනවා. ඉතිරි බැලු පැටවු නොමැරී ජිවත් වුනොත් දිගටම පාරේ!
කොහොම වුනත් මේක කාලයක් තිස්සේ පැවතුනු සමතුලිත පද්ධතියක්. ගෙවල් වලට අනවශ්‍ය බල්ලෝ පාරට වැටෙනවා. පාරට වැටුණු බල්ලෙක් ඉඳහිට ගෙදරකට එනවා. පාරේ ජීවිතය ගෙදරක ජිවිතේට වඩා අමාරුයි. ඒ වුනත් පාරේ ඉන්න බල්ලොත් අමරුවෙන් ජිවිතේ ගැට ගහගන්නවා. බලු වෑන් වලින් වැඩිපුරම ගේම දුන්නේ ඔය විදිහට පාරට වැටිච්ච බල්ලන්ටයි. හැබැයි ඔය පාරට වැටිච්ච බලු නඩ එක්ක දඩාවතේ ගිය ගෙවල් වල ඇති කරපු බල්ලෝත් බලු වෑන් වලට අහුවුනා.
බලු වෑන් ක්‍රමය හා සමස්තයක් ලෙස ජලභීතිකා රෝග මර්දන උපාය මාර්ගයක් විදිහට බල්ලො මැරීම අසාර්ථක වුනේ ඇයි? මිනිස්සු ගෙවල් වල බල්ලෝ තියා ගත්තේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. අනවශ්‍ය බලු පැටවු පාරට දැම්මා. බලු පැටවෙක් ඕනෑ වුන කෙනෙක් කාගෙන් හරි පැටවෙක් ඉල්ල ගත්තා. නැත්නම් පාරෙන් ඇහිඳ ගත්තා. බලු වෑන් වලින් බල්ලෝ උස්සන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු බලු පැටවු පාරට දමන එක අඩු වුනා. ඒ වගේම, පාරේ ඉන්න බලු පැටවු ඇහිඳගෙන ගෙදර ගේන එක වැඩි වුනා. ඒ නිසා, ගෘහස්ථ බලුගහණයේ අඩුවක් වුනේ නැහැ.
අන්තිමේදී බල්ලො මරන එක නැවැත්තුවත්, බල්ලො මරා සල්ලි හොයපු අයට රස්සා නැති වුනත්, ජලභීතිකා මර්දන වැඩ සටහන දිගටම ක්‍රියාත්මක වුනා. තවමත් ක්‍රියාත්මක වෙනවා. බල්ලො මැරීම වෙනුවට බැල්ලියන් වඳ කිරීම ආදේශ වුනා. ඒ වගේම බල්ලො එන්නත් කරන එක වේගවත් වුනා. බල්ලො මරන එක ලංකාවේදී සාර්ථක වුනේ නැතත් මේ අනෙකුත් ක්‍රියාමාර්ග සාර්ථක වී තිබෙනවා.
Sunday, May 9, 2021
සයිනෝෆාර්ම් ගහ ගන්නවද?
චීන සයිනෝෆාර්ම් එන්නත ගැන ගොඩක් පාඨකයින් අහල තියෙනවා. එන්නතක් ගහ ගන්නවද කියන එක හිතා මතා ගත යුතු පෞද්ගලික තීරණයක්. ඉතා පැහැදිලිවම මම එන්නත් විරෝධියෙක් නෙමෙයි. එන්නත් වීරෝධීන්ට එරෙහිව මම මේ වියුණුවේ ලියා තිබෙන්නේ කෝවිඩ් එන්න ගොඩක් කලින් සිටයි. එහෙත් එයින් අදහස් වන්නේ ඕනෑම එන්නතක් වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින බව නෙමෙයි. පෞද්ගලිකව වුවත් මගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන හැම එන්නතක්ම මම ගහ ගන්නේ නැහැ.
මේ වන විට මගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් මට ශින්ගල්ස් රෝගය සඳහා එන්නතක් ලබා ගැනීම නිර්දේශ කර තිබෙනවා. එහෙත් මම පසුගිය වසර කිහිපය පුරාම එම එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ශින්ගල්ස් කියන්නේ පැපොල රෝගයේ බරපතලකම අඩු තත්ත්වයක්. පැපොල හැදුනු අයගේ සිරුරේ පැපොල හදන වෛරසය අක්‍රියව තිබී කාලයකට පසු නැවත මතු වීමෙන් ශින්ගල්ස් රෝගය හැදෙනවා. මට කවදාවත් පැපොල හැදී නැහැ. ඒ වගේම පැපොල රෝගය සඳහා එන්නත් ලබා ගෙන තිබෙන නිසාත්, ඇමරිකාවේ පැපොල රෝගය සුලභ නැති නිසාත් මට පැපොල හැදීමේ අවදානම එතරම් වැඩියි කියා මම හිතන්නේ නැහැ. මගේ ගණනය කිරීම් අනුව මට ශින්ගල්ස් රෝගය හැදීමේ අවදානම ඉතාම අඩුයි. යම් හෙයකින් හැදුනත් එයින් මැරෙන්න ඉඩක් නැහැ. දවස් තුන හතරක් අමාරුව දරන්න වෙයි. අපේක්ෂිත හානිය එපමණයි. එම හානිය වලක්වා ගැනීම සඳහා එන්නත ලබා ගත්තොත් දවසක් දෙකක් අතුරු ආබාධ වල අමාරුව විඳින්න වෙනවා. ඒ නිසා, මේ එන්නත ලබා ගැනීම පිළිබඳව මම තවමත් බරපතල ලෙස සලකා බලා නැහැ.
එසේ වුවත්, කෝවිඩ් සම්බන්ධව මම හිටියේ ලැබෙන මුල් අවස්ථාවේදීම ලැබෙන කවර හෝ සාර්ථක එන්නතක් ලබා ගන්නවා කියන අදහසේ. මේ වෙද්දී ඇමරිකානුවන්ගෙන් දහයෙන් එකකට "නිල වශයෙන්" කෝවිඩ් හැදිලා. ගෙදරින් එළියට බහිද්දී අහම්බෙන් හමුවන ඕනෑම කෙනෙක් කෝවිඩ් ආසාදිතයෙක් විය හැකියි. අල්ලපු ගෙදර මනුස්සයා මාස දෙකකට පෙර කෝවිඩ් වලින් මිය ගොස් බව දැන ගත්තේ එන්නත් දෙකම ලබා ගෙන ගෙයින් එළියට බහින්න පටන් ගත්තට පසුවයි. අහල පහළ තව කී දෙනෙක් කෝවිඩ් වලින් මැරිලද දන්නේ නැහැ. කෝවිඩ් වෛරසය ඕනෑම වෙලාවක පිටට තට්ටුවක් දමන්න පුලුවන්. ශින්ගල්ස් වගේ නෙමෙයි. අනෙක් අතට කෝවිඩ් වලින් මැරෙන්න, හොඳටම අමාරු වෙන්න සහ දිගුකාලීන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අතිනුත් ශින්ගල්ස් වගේ නෙමෙයි.
කෝවිඩ් වලින් ගැලවෙන්න දැනට තිබෙන එකම දිගුකාලීන විසඳුම එන්නත්කරණය පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් නැති බව මේ වෙද්දී සක් සුදක් සේ පැහැදිලි වෙලා අවසානයි. කෝවිඩ් වගේ රෝගයක් වැඩි දෙනෙකුට පැතිරෙන තරමට වෛරස් සංචිතය වැඩි වීම නිසා අලුත් ප්‍රභේද වැඩි වැඩියෙන් බිහි වෙනවා. මේ අලුත් ප්‍රභේද අතරින් වේගයෙන් පැතිරෙන ප්‍රභේද වලට පරිණාමික වාසියක් තිබෙන නිසා එවැනි ප්‍රභේදයක් බිහි වී ටික කලකින් එම ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙනවා.
පහත රූප සටහනේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලෙස හැඳින්වෙන B.1.1.7 ප්‍රභේදය පසුගිය මාස කිහිපය ඇතුළත ඇමරිකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වූ ආකාරයයි. මෙය වසර මුලදීම ඉතා නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක් බවද කිව යුතුයි.
Tuesday, April 13, 2021
ඇමරිකාව ජැන්සීන් එන්නත අත් හිටුවයි!
ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් ජොන්සන් හා ජොන්සන් සමාගමේ ජැන්සීන් එන්නත ඇමරිකානුවන්ට ලබා දීම අද (අප්‍රේල් 13) සිට තාවකාලිකව අත් හිටවා තිබෙනවා. මේ වන විට මෙම එන්නත ලබාගෙන තිබෙන මිලියන 6.8කට වැඩි ඇමරිකානුවන් අතරින් 6 දෙනෙකුට එන්නත ලබාගැනීමෙන් පසුව ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීම මේ තීරණයට හේතුවයි.
ඇමරිකාව තුළ කිසිදු කෝවිඩ් එන්නතකට පූර්ණ අනුමැතිය හිමි වී නැතත් පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජැන්සීන් එන්නත් පවතින වසංගත තත්ත්වය යටතේ හදිසි භාවිතය සඳහා අනුමත කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම සඳහා පයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩර්නා එන්නතක මාත්‍රා දෙකක් ලබා ගැනීම අවශ්‍ය වුවත් ජැන්සීන් එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගැනීම ප්‍රමාණවත්.
මේ වන විට (අප්‍රේල් 12 පස්වරු 8ට) කෝවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙන ඇමරිකානුවන් 120,848,490ක් (වැඩිහිටි ජනගහනයෙන් 46.5%ක්) අතරින් 6,820,188 දෙනෙකු විසින් ලබා ගෙන තිබෙන්නේ ජැන්සීන් එන්නතයි. ඔවුන් අතරින් ලේ කැටි ගැසීමේ තත්ත්වයට මුහුණ දුන් හය දෙනාම වයස අවුරුදු 18-48 අතර කාන්තාවන් වන අතර එන්නත ලබාගෙන දින 6-13 අතර කාලයකදී මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.
ලේ කැටි ගැසීම සමඟ රුධිර පට්ටිකා ප්‍රමාණයේ පහත වැටීමක්ද සිදු වී තිබෙන අතර මෙය සාමාන්‍ය රුධිර කැටි ගැසීමකින් වෙනස්, වෙනම ආකාරයකින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නිසා සාමාන්‍යයෙන් රුධිර කැටි ගැසීමකදී ලබා දෙන ඖෂධ වලින් තත්ත්වය තවත් නරක අතට හරවනවා. එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටවීමෙන් පසුව ඇමරිකාවේ නියාමකයන් හෙට (අප්‍රේල් 14) දින රැස් වී තත්ත්වය සමාලෝචනය කිරීමට නියමිතයි.
පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් mRNA එන්නත් වන අතර ජැන්සීන් එන්නත හා තවමත් ඇමරිකාව තුළ අනුමැතිය ලබා නැති ඇස්ට්‍රසෙනිකා එන්නත නිපදවා තිබෙන්නේ ඇඩීනෝවයිරසයක් ඇසුරෙන්. මේ වන විට ජැන්සීන් එන්නත ලබාගත් අයට එන්නත ලබා ගැනීමෙන් සති තුනක කාලයක් ඇතුළත දරුණු හිසරදය, බඩ රුදාව, කකුල් කැක්කුම හෝ හුස්ම ගැනීමේ අපහසුව ඇති වුවහොත් තමන්ගේ වෛද්‍යවරයා හමු විය යුතු බව ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.
Friday, April 2, 2021
වසරක සිර දඬුවම
මාර්තු ඉවර වෙලා අප්‍රේල් ආවා. මාර්තු මාසය මා වසරක සිර දඬුවමකින් නිදහස ලැබූ මාසය. මෙය ස්ව කැමැත්තෙන් ලබාගත් සිර දඬුවමක්. හරියටමනම් නිවාස අඩස්සිගත වීමක්. පසුගිය වසරේ මාර්තු මැද සිට මේ වසරේ මාර්තු මැද දක්වා හරියටම වසරක කාලයක් තුළ මා ගෙදරින් එළියට බැස්සේ ඉතාම සීමිත වාර ගණනක් පමණයි.
මේ වෙද්දී අපේ ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට තමන් කැමති තැනකින් නොමිලේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතක් ලබා ගත හැකියි. වයස අවුරුදු 18 ඉක්මවූ ඕනෑම කෙනෙකුට පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් තුනෙන් කැමති එකක් කැමති තැනකින් ලබා ගත හැකියි. එහෙත් කිසිවකු විසින් අනිවාර්යයෙන් එන්නතක් ලබා ගත යුතු නැහැ.
ප්‍රාන්ත රජය විසින් ස්ථාන ගණනාවකම එන්නත් ලබා දෙනවා. ඒ වගේම ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල කිහිපයකම පිහිටි ෆාමසි වලින්ද එන්නත් ලබා දෙනවා. මේ තැන් වල මේ වන විට පරීක්ෂා කර බලන්නේ වයස පමණයි. එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රාන්ත වැසියෙකු වීම, වීසා තත්ත්වය හෝ රක්ෂණ ආවරණයක් තිබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. මෙවැනි තැනක් පයින් යන දුරකින් හොයා ගන්න බැරි කමක් නැහැ. ඊට අමතරව සරසවි හා වෙනත් පෞද්ගලික ආයතන වල එම ආයතන වලට සම්බන්ධ අයට එන්නත් ලබා දෙනවා. කිසිදු තැනක එන්නත් වෙනුවෙන් හෝ එන්නත් ලබා දීම වෙනුවෙන් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ.
එන්නත් සම්බන්ධව තේරීමක් තිබීම ඉතා හොඳ දෙයක්. එන්නත් තුන අතරින් මගේ වැඩිම මනාපය තිබුණේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතටයි. මා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගනිද්දී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අනුමත වී ගතව තිබුනේ දින කිහිපයක් පමණයි. ඉතිරි එන්නත් දෙක මිලියන ගණනක ඇමරිකානුවන් විසින් ලබා ගෙන තිබුණා. ඒ දෙක අතරින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලෝකය පුරා විශාල පිරිසක් විසින්ද ලබා ගෙන තිබුණා. මොඩර්නා එන්නත පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට සාපේක්ෂව ඇමරිකාවෙන් පිටත විශාල ලෙස භාවිතා වී තිබුණේ නැහැ. මීට අමතරව මොඩර්නා එන්නත ලබා ගත්තානම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට වැඩිපුර සතියක් ඉන්න වෙනවා.
මා මෙසේ සිතුවත් එක් මාත්‍රාවකින් වැඩේ කෙළවරක් වන නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට වැඩි මනාපයක් දැක්වූ අය වගේම විවිධ හේතු මත මොඩර්නා එන්නතට වැඩි මනාපයක් දැක්වූ අයත් හිටියා. ඒ වගේම බොහෝ දෙනෙක් විසින් මුලින්ම ලබා ගත හැකි එන්නත හොඳම එන්නත ලෙස සැලකුවා. දැන් වුවත් තමන් කැමති එන්නත තමන් කැමති තැනින්ම ලබා ගන්නනම් දවස් හෝ සති ගණනක් බලා ඉන්න සිදු විය හැකි වුවත් තමන් කැමති එන්නත ඉක්මණින් ලබා ගත හැකි තැනක් ප්‍රාන්තයේ කොහෙන් හෝ හොයා ගන්න බැරිකමක් නැහැ. මා එන්නත් ලබා ගත්තේද පයින් යන දුරක තැනකින් නෙමෙයි. මිනිත්තු 15ක් පමණ කාලයක් ගෙවා යා යුතු අල්ලපු ගමේ තැනකින්.
දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව එන්නත ලබා දුන් හෙදිය අදාළ තොරතුරු පරිගණකයට ඇතුළු කරන තුරු මිනිත්තු දෙකක් මාව රස්තියාදු කරන්න සිදු වීම පිළිබඳව සමාව අයැද සිටියා. මා ඇයට කිවුවේ එන්නත ලබා ගන්න අවුරුද්දක් බලා සිටි මට මිනිත්තු දෙකක් රස්තියාදු වෙන්න සිදුවීම දැනෙන දෙයක් නොවන බවයි.
එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු, අනුමත කෙරෙන තුරු හා ලබා ගැනීමට ඉඩක් ලැබෙන තුරු මා හරියටම වසරක් බලා හිටියා. යම් හෙයකින් තේරීමක් නොතිබුණානම් මේ එන්නත් තුන අතරින් ලැබෙන කවර හෝ එන්නතක් ලබා ගන්න මා පැකිලෙන්නේ නැහැ. මේ වන තුරුද ඇමරිකාවේ අනුමත වී නැති ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත වී තිබුණානම් මා එය වුවත් පැකිලීමක් නොමැතිව ලබා ගන්නවා. ඒ වගේම එන්නත් නොමිලේ ලබා නොදුන්නානම් එන්නතක මිල ගෙවන්නටද මා දෙවරක් හිතන්නේ නැහැ. එහෙත් මා දන්නා ඇතැම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයද ඇතුළුව ඇමරිකාවේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් නොමිලේ දුන්නත් එන්නතක් ලබා ගන්න සූදානමක් නැහැ. එය ඒ අයගේ කැමැත්ත.
කෝවිඩ් එන්නත් හා අදාළව දැන් ඇමරිකාවේ තිබෙන්නේ ඉල්ලුම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත කළත් එය ඇමරිකානුවන්ට අවශ්‍ය වන එකක් නැහැ. සියල්ලන්ම එන්නත් ලබා නොගන්නා නිසා ඇමරිකාව තුළ බොහෝ විට කවදාවත්ම කෝවිඩ් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට වසර අවසාන වෙද්දී නැවතත් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබා ගන්න සිදුවිය හැකියි. එයින් පසු වාර්ෂිකව එන්නතේ මාත්‍රාවක් ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් යම් පිරිවැයක් දරන්න වෙන්නත් පුළුවන්.
මේ වෙද්දී ඇමරිකාව තුළ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වී තිබුණත් එය යම් මට්ටමක ස්ථාවර වී හෝ සමහර විට තාවකාලිකව තරමක් නරක අතට හැරෙමින් තිබෙනවා. එහෙත් දැන් මට කෝවිඩ් ගැන බයක් නැහැ. මා ස්ව කැමැත්තෙන් නිවාස අඩස්සියට පත් වුනේ අපේ ප්‍රාන්තයේ පළමු කෝවිඩ් මරණය වාර්තා වෙද්දී. එසේ කළේ ආකෘති ඇසුරෙන් ඉදිරි අවුරුද්ද මොන වගේද කියා වියුක්තව හිතන්න පුළුවන් වූ නිසා. මේ වන විටත් දවසකට අපේ ප්‍රාන්තයේ හතර පස් දෙනෙක් කෝවිඩ් නිසා මිය යන නමුත් ආකෘති ඇසුරෙන් වියුක්ත ලෙස සුබවාදී නුදුරු අනාගතයක් දකිමින් මා මගේ වසරක සිර දඬුවමින් මේ වන විට නිදහස්ව සිටිනවා.
Saturday, February 27, 2021
තවත් කෝවිඩ් එන්නතක්!
අද තෙවන කෝවිඩ් එන්නතකටද ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඒ ජොන්සන් සහ ජොන්සන් එන්නතයි. එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීම හා සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකි වීම මේ එන්නතේ වාසි දෙකක්. එහෙත්, කලින් අනුමත වූ එන්නත් දෙකට වඩා මෙහි ඵලදායීතාවය අඩු වීම අවාසියක්.
මේ වන විට ඇමරිකානුවන්ගෙන් 14.6%ක් මුලින් අනුමත වූ එන්නත් දෙකකින් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන අතර 7.1%ක් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. දැනට එන්නත්කරණය සිදු වන වේගය අනුව ඇමරිකානුවන් "අවශ්‍ය පමණ" එන්නත් කිරීම වසර අග දක්වාම කල් යා හැකියි. තෙවන එන්නතක් අනුමත වීම මෙය තරමක් ඉක්මන් කරන්නට ඉඩ තිබෙනවා.
ජනවාරි දෙවන සතියේ සිට ඇමරිකාවෙන් අලුත් කෝවිඩ් ආසාදිතයින් හමු වීම වේගයෙන් අඩු වුවත් සතියක පමණ සිට මේ අඩු වීම එක තැන නැවතීමක් පෙනෙන්නට තිබෙනවා. හිම කුණාටු නිසා එන්නත්කරණය අඩාල වීම හා අලුත් වෛරස් ප්‍රභේද පැතිරීම මෙයට හේතු වූවා විය හැකියි.
වසංගත රෝග විද්‍යාඥයින් කිහිප දෙනෙකුගේම අදහස කෝවිඩ් වසංගතය පාලනය වනු ඇතත් එය තුරන් නොවී සැමදාම අප සමඟ පවතිනු ඇති බවයි. ඒ අනුව, වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක් කෝවිඩ් එන්නතක් ලබා ගැනීමට සිදු විය හැකියි.
අපේ ප්‍රාන්තයේ එන්නත් ලබා දීම සිදු වන්නේ වයස මත පදනම්වයි. මුලින්ම සෞඛ්‍ය අංශ වල සේවය කරන්නන්ට හා ආරක්ෂක අංශ වලට එන්නත ලබා දීමෙන් පසුව වයස 80 ඉක්මවූ අයට එන්නත ලබා දුන්නා. ඉන් පසුව, පිළිවෙලින් වයස 75, 70 හා 65 සම්පූර්ණ කළ අයටද එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වුනා. වයස අවුරුදු 68ක් වන අපේ ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ඊයේ ඇගේ එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත්තා.
කෝවිඩ් මර්දන වැඩ සටහන හා එන්නත්කරණය සම්බන්ධ තීරණ ගන්නේ විශේෂඥ කමිටුවකින් සමස්ත හානිය අවම කිරීමේ පදනම මතයි. කෝවිඩ් ආසාදනය බරපතල වී රෝහල් ගත වීමේ හා මිය යාම සම්භාවිතාව වයසට සමානුපාතික නිසා වයස මත ප්‍රමුඛතාවය ලබා දීමට කමිටුව තීරණය කර තිබෙනවා.
සෑම බදාදා දිනකම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මේ කමිටුවද සමඟ ප්‍රාන්තයේ තත්ත්වය හා තීරණ දැනුම් දෙනවා. මේ සතියේ සිට වයස අවුරුදු 60 ඉක්මවූ අයටද එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එම වයසට පැමිණ නැති ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් තවමත් එන්නත ලබාගෙන නැහැ.
Tuesday, February 9, 2021
ඇමරිකාවේ කොරෝනා පැතිරීම තවත් පහළට
පසුගිය මාස තුනක කාලය තුළ හැම දවසකම ඇමරිකාවෙන් කෝවිඩ් ආසාදිතයින් ඉලක්කම් හයේ ගණනක් හමු වුනා. දැන් මේ ප්‍රමාණය ඉලක්කම් පහේ මට්ටමට වැටී තිබෙනවා. සති අන්තයේ ආසාදිතයින් අඩුවෙන් හමු වී සතියේ දිනවල ඉහළ යන එක සාමාන්‍ය රටාවයි. සති අන්තය පහු වී ගත වුණු දවස් දෙකේද ආසාදිතයින් ප්‍රමාණය ඉලක්කම් පහේ සීමාවේ තිබීමෙන් පෙනෙන්නේ අඩුවීම ස්ථිර අඩුවීමක් බවයි.
එන්නත්කරණය මෙයට හේතු වී තිබෙන ප්‍රධානම කරුණක් බවට සැකයක් නැහැ. එහෙත් එය එකම හේතුව කියා හිතන්න අමාරුයි. තවමත් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ජනගහණයෙන් 9.7%කට පමණයි. ඒ වගේ මට්ටමකදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වන්නේ නැහැ. එහෙත්, ඇමරිකානුවන්ගෙන් 8.4%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන නිසාත්, සැබෑ ආසාදිතයින් ගණන එමෙන් කිහිප ගුණයක් විය හැකි නිසාත් ඇතැම් ප්‍රදේශ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ලඟා වී තිබිය හැකියි.
අළුත් ආසාදිතයින් අඩුවීමට වෙනත් හේතුද බලපානවා විය හැකියි. එන්නත අත ළඟටම ඇවිත් තිබියදී කෝවිඩ් හදා ගැනීම කාගේවත් කැමැත්ත නොවන නිසා බොහෝ දෙනෙක් කලින් පරිස්සම් වුනාට වඩා වැඩියෙන් පරිස්සම් වීම වගේම එන්නතට වැඩි අවධානයක් යොමුවීම නිසා කෝවිඩ් පරීක්ෂා අඩුවෙන් සිදුවීම වැනි හේතුද නොසලකා හරින්න බැහැ.
රෝගය ආසාදනය වීම හරහා ලැබෙන ප්‍රතිශක්තිය ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැහැ. ඒ නිසා, එන්නත්කරණ වැඩ සටහනේදී රෝගය ආසාදනය වී ඇති අයෙක්ද යන කරුණ සලකා බලන්නේ නැහැ. ඔවුන්ටත් අනෙක් අයට වගේම එන්නත් ලබා දෙනවා.
එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය කරා යාම තවමත් ඇමරිකාවට දුරස්ථ ඉලක්කයක්. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව රට මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙන්නේ නොවැම්බර් පමණ වන විටයි. එසේ වනු ඇත්තේද එන්නත්කරණ වැඩ සටහන බාධාවක් නැතිව හොඳින් ක්‍රියාත්මක වුවහොත් පමණයි. අළුත් වෛරස් ප්‍රභේද පැතිරෙන එක එන්නත්කරණ වැඩ සටහනට වඩා ඉක්මන් වුවහොත් මේ අවුරුද්ද අවසාන වන විටත් ප්‍රශ්නය නොවිසඳී තිබෙන්න පුළුවන්.
ලංකාවේ තත්ත්වයනම් හොඳ අතට හැරෙනු ඇත්තේ තවත් කාලයක් නරක අතට වර්ධනය වීමෙන් පසුවයි. ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් සාමූහික ප්‍රතිශක්තිය කරා ළඟා වීම වඩා අසීරු දෙයක්. දැනට දිනකට ලංකාවෙන් හමු වන ආසාදිතයින් ගණන ඉලක්කම් තුනේ ගණනක් වුවත් මෙය ඉතා ඉක්මණින් ඉලක්කම් හතරේ මට්ටමට යා හැකියි.
මේ වගේ තත්ත්වයක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලැබී තිබීම ගොඩක් වටිනවා. ඒ අයට රෝගයට බයේ ඉන්න සිදු වුනානම් අමාරු වන අනෙක් ආසාදිතයින්ට එයින් බලපෑමක් ඇති වීම නොවැලැක්විය හැකි දෙයක්.
Monday, February 1, 2021
පැවැත්ම සඳහා සටන
කෝවිඩ් හදන වෛරසය ඉතා ඉක්මණින් පරිණාමය වෙනවාද? ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවාද? මේ වෛරසය එසේ ඉතා ඉක්මණින් පරිණාමය වනවානම්, ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවානම් එන්නත් වලින් වැඩක් නැතුව යයිද?
කෝවිඩ් හදන වෛරසය ලෙස හැඳින්වුවේ sars-cov-2 ලෙස නම් කර තිබෙන වෛරසයයි. අපි පහසුවට කෝවිඩ් වෛරසය කියලම කියමු. බ්ලොග් ලිපියක් මිසක් පර්යේෂණ පත්‍රිකාවක් නෙමෙයිනේ.
දැන් මේ කෝවිඩ් වෛරසය කියා කියන්නේ කුමක්ද? මේකත් වියුක්ත අදහසක්. මේසය, පුටුව, හරකා, බල්ලා වැනි අදහසකින්. කෝවිඩ් වෛරස සියල්ල එකිනෙකට සමාන නැහැ. අපි කෝවිඩ් වෛරසය ලෙස හඳුන්වන්නේ එකිනෙකට වෙනස් වුවත් ගොඩක් වෙනස් නැති වෛරස් විශාල ප්‍රමාණයක පොදු ලක්ෂණ ටිකකට. මිනිසා ලෙස පොදුවේ හැඳින්වුවත් මිනිස්සු එකිනෙකාට සමාන නැහැ වගේ.
එතකොට කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ කුමක්ද? කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ ඔය කෝවිඩ් වෛරසය ලෙස පොදුවේ හඳුන්වන වෛරස සියල්ල අතරින් එකිනෙකට වඩා සමාන කෝවිඩ් වෛරස ටිකකට. දැන් ඔය මිනිස්සුත් කොකේසියන්, මොන්ගෝලියන් හා නීග්‍රෝ කියලා වර්ග කරන්නේ. සුදු කොකේසියානුවෙක් හා කහ සම තිබෙන මොන්ගෝලියානුවෙක් එකවරම වෙන් කරලා අඳුනගන්න එක ඒ තරම් අමාරු නැහැනේ. හැබැයි සමහර වෙලාවට හරියටම ඔය ගොඩකට දමන්න බැරි වැට උඩ මිනිස්සුත් අපිට හමු වෙනවා. වෛරස් වලට වුනත් ඔය කතාව පොදුයි.
කෝවිඩ් වෛරස් එකිනෙකෙන් වෙනස් වෙන්නේත් මිනිස්සු උපතින් එකිනෙකාගෙන් වෙනස් වන හේතුවටම වුවත් මෙහි වෙනස්කමක්ද තිබෙනවා. වෛරසයක් මිනිස් ජෙනෝමය තරම් සංකීර්ණ ව්‍යුහයක් නෙමෙයි. ඒ වගේම, වෛරසයක්, විශේෂයෙන්ම කෝවිඩ් වෛරසය වැනි වෛරසයක්, පිටපත් හදන්නේ මිනිස් පිටපත් හදන තරම් සංකීර්ණ ක්‍රමයකට නෙමෙයි.
මිනිස් දරුවෙක් එම දරුවාගේ දෙමවුපියන්ගෙන් වගේම ඒ දෙදෙනාගෙන් බිහිවන සම-නිවුන් නොවන වෙනත් දරුවන්ගෙන්ද වෙනස් අලුත්ම පිටපතක් වෙන්නේ මවගෙන් හා පියාගෙන් ලැබෙන ජාන කට්ටල අහඹු ලෙස මිශ්‍ර විය හැකි ආකාර විශාල ප්‍රමාණයක් තිබෙන නිසා. හැබැයි මොන විදිහට මිශ්‍ර වුනත් බොහෝ විට දරුවන්ට ලැබෙන්නේ මවගේ හා පියාගේ ලක්ෂණ වල කලවමක්. එහෙම නැතුව මවට හෝ පියාට (හෝ ඔවුන්ගේ පරම්පරා වල ඉහළින් සිටි අයට) නැති අලුත්ම ලක්ෂණයක් දරුවෙකුට ලැබෙන්න විදිහක් නැද්ද?
මේ වගේ දෙයක් වෙන්නේ කලාතුරකින්. එවැනි අලුත් ලක්ෂණයක් ඇති වන්නේ පිටපත් හැදීමේදී සිදු වන වැරදි, එහෙමත් නැත්නම් විකෘති නිසා. බොහෝ විකෘති වලින් වෙන්නේ අලුත් ජනිතයෙකුගේ පැවැත්මට බාධා කරන එක වුවත් අහම්බෙන් සිදුවන සමහර විකෘති වඩා හිතකරයි. ඒ වගේ විකෘති වේගයෙන් පැතිරී කලකට පසුව සාමාන්‍ය තත්ත්වය බවට පත් වෙනවා.
අපි හිතමු 99%ක්ම මැරෙන කිසියම් වෛරස් රෝගයක් වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා කියලා. දැන් මේ රෝගයෙන් ලෝක ජනගහණයෙන් 99%ක්ම මැරෙනවා. බේරෙන්නේ 1%ක් පමණයි. ඒ 1%ට රෝගය හැදී ප්‍රතිකාර නිසා හෝ වෙනත් හේතුවක් නිසා පසුව සුව වෙනවා. ඔය අතරේ කිසියම් ජාන විකෘතියක් නිසා මේ රෝගය හැදෙන්නේ නැති එක් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ හෝ ඇයගේ දරුවන්ගෙන් 50%කට මේ ජානය සම්ප්‍රේෂණය වනවා කියා හිතමු. ඒ අයගේ දරුවන්ටත් ඒ විදිහටම ජානය සම්ප්‍රේෂණය වෙනවා. පරම්පරා ගණනක් යද්දී මේ ජානය තිබෙන දහසක පමණ පිරිසක් ඉන්නවා.
දැන් නැවතත් අර වෛරසය පැතිරෙනවා. කලින් පාර රෝගය හැදී ඉතුරු වුනු 1%ක පිරිසගෙන් පැවත එන අයගෙන් 99%ක් මැරෙනවා. 1%ක් පමණක් ඉතිරි වෙනවා. අර ආරක්ෂක ජානය තිබෙන අයට පමණක් රෝගය හැදෙන්නේම නැහැ. මේ පිරිස විශේෂ පිරිසක් බව අනිත් අයට පෙනෙනවා. ඒ නිසා, ඒ අයට සහකරුවන් හොයා ගන්න වඩා පහසු වෙනවා. අනෙක් අයට වඩා වැඩියෙන් ඒ අය දරුවන් බිහි කරනවා. තව පරම්පරා ගණනකට පසුව තුන් වන වරටත් වසංගතය ආවොත්, ඒ වෙද්දී ජනගහණයෙන් විශාල පිරිසකට මේ ආරක්ෂාකාරී ජානය තිබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වුනොත් ආරක්ෂාකාරී ජානය තිබෙන අය පමණක් ලෝකයේ ඉතුරු වෙලා අනෙක් අය වඳ වෙලාම යනවා. හැබැයි ඔය වගේ වැඩක් වෙන්න විශාල කාලයක් යනවා.
මිනිහෙක්ට තමන්ගේ පිටපතක් හදන්න අවුරුදු විසිපහක් පමණ යනවා. පිටපත් කිරීමේ වැරදි නිසා හිතකර විකෘතියක් හැදෙන්නේ පිටපත් දහස් ගණනක් පිටපත් වෙද්දී. ඒ නිසා, මිනිසාගේ පැවැත්මට වඩා හිතකර විකෘතියක් හැදෙන්න අවුරුදු දසදහස් ගණනක් යනවා. නමුත්, වෛරසයකට පැය දහයක පමණ කාලයකදී පිටපත් දහසක් පමණ හදන්න පුළුවන්. ඒ වගේම, වෛරස් වල (විශේෂයෙන්ම කෝවිඩ් වෛරස් වැනි RNA වෛරස් වල) පිටපත් කිරීමේ දෝෂ පරීක්ෂා කළ හැකි හොඳ යාන්ත්‍රනයක් නැති නිසා විකෘති ඇති වීමේ සම්භාවිතාව වැඩියි. දැන් සිදුවනවා වගේ ලෝකය පුරා වේගයෙන් වෛරසය ව්‍යාප්ත වන කාලයක ඉතා ඉක්මණින් විකෘති බිහි විය හැකියි.
විකෘතියක් බිහි වුනු පලියටම එය පෙනෙන තරමේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ විකෘතියට යම් පරිණාමික වාසියක් ඇත්නම් පමණයි. අළුතෙන් බිහි වී තිබෙන කෝවිඩ් ප්‍රභේද වේගයෙන් පැතිරෙන්නේ ඇයි?
කෝවිඩ් ප්‍රභේද හැමදාම අලුතෙන් බිහිවෙනවා ඇති. නමුත්, පරිණාමික වාසියක් නැත්නම් ඒවා ගොඩක් වෙලාවට ටික කාලයකින් "වඳ වී" යනවා. ඒ නිසා, බොහෝ විට "හෙමින් පැතිරෙන" කෝවිඩ් ප්‍රභේද අලුතෙන් බිහි නොවෙන්න පුළුවන්. මොකද එවැනි විකෘතියකට පරිණාමික වාසියක් නැහැ. නමුත්, අහම්බෙන් ඇති වූ විකෘතියක් නිසා වේගයෙන් පැතිරෙන කෝවිඩ් ප්‍රභේදයකට හැම විටම විශේෂ පරිණාමික වාසියක් තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රභේදයක් බිහි වූ විට කෙටි කාලයකදී අනෙක් ප්‍රභේද වඳ වී එම ප්‍රභේදය පමණක් ඉතිරි විය හැකියි.
ඕනෑම ජීවයක් වගේම වෛරස් එකක් වැනි ආසන්න ජීවයක් හැමවිටම ක්‍රියාත්මක වන්නේ පැවැත්ම කියන සාධකය අරමුණු කරගෙනයි. මිනිස්සුන්ගේ සාධාරණත්වය, සහජීවනය වගේ කතා සියල්ල හැම විටම මේ පැවැත්ම කියන සාධකයට යටයි. උදාහරණයක් විදිහට මිනිස්සු පරිසරය ගැන, අනෙක් ජීවීන් ගැන වගේම අනෙක් මිනිස්සු ගැනත් හිතන්නේ එසේ හිතීමෙන් තමන්ගේම පැවැත්ම තහවුරු වන නිසා මිසක් වෙන කෙහෙම්මලකට නෙමෙයි. තමන්ගේ පැවැත්ම අනතුරේ හෙලාගෙන වෙන දෙයක් හෝ කෙනෙක් ගැන හිතමින් කරන කිසිම කටයුත්තකට පරිණාමික පැවැත්මක් නැහැ. වෛරස් ප්‍රශ්නයක් වෙනකොට වෛරස් මරන්න වෙනවා. ඔටුවෝ ප්‍රශ්නයක් වෙන කොට ඔටුවෝ මරන්න වෙනවා.
වෙනස් වන තත්ත්වයන්ට අනුරූපව ක්ෂණිකව වෙනස් වී තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේදී වෛරසයකට තිබෙන වාසිය මිනිස්සුන්ට නැහැ. තමන්ට ජීවවිද්‍යාත්මකව පරිණාමය වී වෛරසයක් සමඟ තරඟ කළ නොහැකි වුවත්, කවර හෝ වාසිදායක ජාන විකෘතියක් නිසා වියුක්තව හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසු මිනිස්සුන්ට තවදුරටත් තමන්ව වෙනස් කරගන්න අහඹු ජාන විකෘතියක් සිදු වන තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ. එන්නත් හදාගෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගෙන වෛරස් එක්ක තරඟ කරන්න අපට පුළුවන්. හැබැයි එහෙමයි කියලා වෛරස් වැඩේ අතාරින්නෙත් නැහැ.
කෝවිඩ් වෛරසයකට අවශ්‍ය වන්නේත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න මිසක් මිනිස්සුන්ව ලෙඩ කරන්න හෝ මරන්න නෙමෙයි. කෝවිඩ් වෛරසයක් එහෙම කරන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. මේක හිතලා කරන දෙයක් නෙමෙයි. නමුත්, පරිණාමය හරහා වෙන්නේ ඒකයි.
මිනිස්සුන්ට අවශ්‍යත් ඕකම තමයි. කෝවිඩ් වෛරස් විනාශ කරන්න මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මිනිස්සු කෝවිඩ් වෛරස් විනාශ කරන්නේ හෝ අලුතෙන් බිහිවීම වළක්වන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නයි.
ඔය විදිහට ජීවී විශේෂ දෙයක් තමන්ගේ පැවැත්මවල් තහවුරු කර ගන්න කරන සටනක් එම ජීවී විශේෂ දෙකෙන් එකක් වඳ වී අවසන් විය හැකි වුවත්, බොහෝ විට වෙන්නේ අදාළ ජීවී විශේෂ දෙකටම තමන්ගේ පැවැත්මවල් තහවුරු කරගත හැකි සහජීවනයකින් සටන කෙළවර වන එකයි. මේ වෙලාවේ සිදු විය හැක්කේත් එයයි.
මිනිස්සු කෝවිඩ් ප්‍රශ්නය ජයගෙන තමන්ගේ පැවැත්මට තිබෙන තර්ජනය ඉවත් කර ගනියි. කෝවිඩ් වෛරසයත් ඒ වැඩේම කරයි. කෝවිඩ් මිනිස්සුන්ට මරණය කැඳවන්නේ නැති සාමාන්‍ය ලෙඩක් විදිහට දිගටම පවතියි.
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...