වෙබ් ලිපිනය:

Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts

Sunday, February 20, 2022

ඇල්බොරාදා - පාන්දර ඇස ගැටුණු යුවතිය


හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.

රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ "ලාබ" ගැන කතාවක් මත පදනම්වයි.

කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.

දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, "මානුෂික සබඳතා" කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.

ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී. 

නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.

පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

Wednesday, March 25, 2020

තිස්ස නාගොඩවිතාන


අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක් තිබුණේ නැහැ. මේ මැජික් පෙට්ටියෙන් පෙන්නන බයිස්කෝප් බලන්න අපි ගියේ ගමට මුලින්ම රූපවාහිණියක් ගෙනා අසල්වැසි නිවසකටයි. ඒ ගෙදර එළිපත්තේ සිට මිදුල දක්වා නරඹන්නන්ගෙන් පිරී තිබුණා.

සිංහල චිත්‍රපට දර්ශන වල කොනක වරින් වර දර්ශනය වන "ති.නා." අකුරු නිතර දැක ඒ ගැන කුතුහලයක් ඇති වුනේ ඔය දවස් වලමයි. "ති.නා." කවුද කියා විස්තර කරන්න වචන නාස්ති කරන එකේ තේරුමක් නැහැ. තිස්ස නාගොඩවිතානගේ සිංහල චිත්‍රපට සංරක්ෂණය කිරීමේ භූමිකාව ගැන කියවන අය අතර නොදන්නා කෙනෙක් නැතුව ඇති.

ලෝකයේ දස අතින්ම කොවිඩ්-19 මරණ වාර්තා වන මේ වෙලාවේ මරණය ගොඩක් ලාබ වී තිබුණත් තිස්ස නාගොඩවිතානගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට කෙටි හෝ සටහනක් තැබිය යුතුයි කියා හිතුනා. ඔහු ගැන වඩා හොඳින් දන්න අය වැඩි විස්තර ලියයි. මට අනුවනම් ඔහු සුවිශේෂී වන්නේ වෙනත් අය අත නොගසන දෙයකට අත ගැසූ නිසයි. ඒ වැඩෙන් ඔහුට මුදල් ලැබෙන්න නැතිව ඇති. ඒ වුනත් ඔහු ව්‍යවසායකයෙක්. විශාල උපයෝගීතාවයක් ජනනය කළ හැකි නිකේතන වෙළඳපොළක් (Niche කියන වචනයට මේ පරිවර්තනය ගැලපෙනවද මන්දා) හඳුනාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.

තිස්ස නාගොඩවිතාන හැත්තෑව දශකයේ මුල් යුගයේදී බොහෝ දෙනෙක් දැන සිට තිබෙන්නේ ගායකයෙකු ලෙසයි. ඔහුට නිවන් සුව!




Thursday, January 31, 2019

ගින්දර සීතල වුනේ කොහොමද?


පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර හෙවත් කවුරුත් දන්නා විදිහට රෝහණ විජේවීරගේ ජීවිතය අලලා හැදූ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය මේ දිනවල ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. මෙය ඇමරිකාවේ ප්‍රදර්ශනය කළේ ලංකාවේ ප්‍රදර්ශනය කරන්නටත් පෙර වුවත්, ඒ මා ජීවත් වන පැත්තේ නොවන නිසා මට තවමත් මේ චිත්‍රපටය නරඹන්නට ඉඩක් ලැබී නැහැ. එවැනි ඉඩක් ලැබෙන දවසක් ගැන අදහසක්ද නැහැ. ඒ නිසා, චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කිරීමේ හැකියාවක් මට නැහැ. කොහොම වුනත් මේ චිත්‍රපටය මේ වෙලාවේ මේ විදිහට හැදෙන පසුබිම ගැන කතා කිරීමට එය නරඹා නොතිබීම බාධාවක් නෙමෙයි.

මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ දින කිහිපයකට පෙරයි. ඒ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විදුර සමඟ කර තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට සවන් දීමෙන් පසුව. ලිපියට මාතෘකාව ලෙස මුලින්ම යෙදුවේ "සීතලෙන් උපන් ගින්දර" යන්නයි. ලිපිය පළ කරන්නටද පෙර ඒ මාතෘකාව යටතේම හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියා පළ කර තිබුණු ලිපියක් දක්නට ලැබුණා. එය චිත්‍රපටය පිළිබඳ විචාරයක්. හෙන්රි වර්ණකුලසූරිය යනු චිත්‍රපටයක් විචාරය කරන්නට අවශ්‍ය සුදුසුකම් මෙන්ම විජේවීරගේ දේශපාලනය පිළිබඳ අත්දැකීම්ද ඇති අයෙක්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නැහැ.

හෙන්රි මෙන්ම අජිත් පැරකුම්, මධ්‍යස්ථ මතධාරියා වැනි බ්ලොග්කරුවන් ඇතුළු තවත් අය ගින්නෙන් උපන් සීතල විඳ තමන් ලද  අත්දැකීම් බෙදාහදාගෙන තිබුණා. දේශපාලනිකව පුළුල් පරාසයක විසිර සිටින බොහෝ අය පොදුවේ එකඟ වන කරුණු කිහිපයක් පෙනෙන්නට තිබෙනවා. පළමු කරුණ, චිත්‍රපටයක් ලෙස මෙය හොඳ එකක් කියන එක. අද Cult බ්ලොගයේ දුටු විග්‍රහයනම් මීට වඩා වෙනස් එකක්. දෙවන කරුණ, මෙහි විජේවීරගේ දේශපාලනයට අඩු අවධානයක් යොමු කර ඔහුගේ පවුල් ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව. මා හිතන පරිදි දෙවැන්න නිර්මාණකරු විසින් හිතාමතාම කර ඇති දෙයක්. කෙසේ වුවත්, මේ චිත්‍රපටය මිනීමරුවෙක් වන විජේවීරගේ චරිතය සුදු කරන්නට හැදූවක් බව කියන අයගේ සිට විජේවීර නම් වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ කාර්ය භාරය අවතක්සේරු කරමින් ඔහුව පූස් පැටියෙක් කරන නිර්මාණයක් බව කියන අය දක්වා තවත් විවිධ අය සිටිනවා.

විජේවීර චරිතය ලංකාවේ දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය හැකි චරිතයක් නොවෙයි. ඒ අතරම, අප අමතක නොකළ  යුත්තේ ඉතිහාසය කියන්නේ නිශ්චිත දෙයක් හෝ අතීතයේ යම් දිනක සැබෑවටම සිදු වූ දෙයක් නොවන බවයි. ඉතිහාසය යනු වර්තමානයේ අප දන්නා හා අප විශ්වාස කරන තොරතුරු මත පදනම්ව අතීතය ලෙස අප එකිනෙකා විසින් වර්තමානයේදී මවා ගන්නා දේවල් පමණයි. ඒ නිසා, අප එකිනෙකා ඉතිහාසය ලෙස හඳුනා ගන්නේ එකම දෙයක් නොවයි. මෙය විජේවීර චරිතයට හා ඔහුගේ දේශපාලනයටද අදාළයි.

අද වන විට විජේවීරගේ උරුමයට අයිතිවාසිකම් කියන ප්‍රධාන පාර්ශ්ව අඩු වශයෙන් තුනක් සිටිනවා. පළමුව, ඔහුගේ බිරිඳ හා දරුවෝ. දෙවනුව, ජවිපෙ. තෙවනුව, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය. මේ පාර්ශ්ව තුන අතරින් සාමාන්‍ය ජනතාව වැඩිපුරම විජේවීර උරුමය සමඟ සම්බන්ධ කර දකින්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ගින්නෙන් උපන් සීතල යනු වාර්තා චිත්‍රපටයක් නොවෙයි. එය වාර්තා චිත්‍රපටයක් වුවද අවසාන වශයෙන් වාර්තා විය හැකිව තිබුණේ විජේවීර සේ නිර්මාණකරු විසින් හඳුනාගත් හෝ නිර්මාණකරුට විජේවීර සේ පෙන්වන්නට අවශ්‍ය වූ චරිතය මිස සැබෑ විජේවීර චරිතයම නොවිය හැකිව තිබුණා. සැබෑ චරිතයක් පාදක කරගත් කලා නිර්මාණයකදී කොහොමටත් වෙන්නේ ඒ ටිකයි.

විජේවීර වැනි දේශපාලනික චරිතයක් ඒ අයුරින් චිත්‍රපටයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම කෙතරම් අභියෝගාත්මක කරුණක්ද යන්න කිව යුතු නැහැ. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය ඇසින් දුටු අය නැතත් රෝහණ විජේවීරව ලඟින් ඇසුරු කළ අය තවමත් ජීවතුන් අතර සිටිනවා. විජේවීරගේ උරුමය ඉදිරියට රැගෙන යන ප්‍රධාන පාර්ශ්ව දෙක සේ සැලකිය හැකි ජවිපෙට හා විජේවීර කුටුම්භයට සතුටු විය හැකි මට්ටමකින් විජේවීර චරිතය ගොඩ නගන්නට නිර්මාණකරු සමත්ව ඇති බව පෙනනවා. පෙරටුගාමී පක්ෂය මෙය කෙළෙස දකිනවාදැයි මා දන්නේ නැහැ.

අද ජවිපෙ කියන්නේ විජේවීර විසින් හදපු ජවිපෙම නෙමෙයි. එහි ඇති වරදක් නැහැ. ජවිපෙ වගේම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාප හා ශ්‍රීලනිපත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා. වැරැද්ද දේශපාලන පක්ෂයක් ඒ විදිහට පරිණාමය නොවනවානම් මිස පරිණාමය වීම නොවෙයි.

ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අරමුණින්ම ගොඩ නගනු ලැබූ ජවිපෙ අද වන විට මැතිවරණ හරහා බලයට පත් වෙන්න බලාගෙන සිටින පක්ෂයක්. විජේවීර ජීවත්ව සිටින කාලයේදීම ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වෙමින් මැතිවරණ වලට ඉදිරිපත් වුණා. එසේ කළේ විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ අරමුණ අත නොහැර තාවකාලික උපක්‍රමයක් ලෙසද එසේ නැත්නම් අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ නිසාද කියන එක පැහැදිලි නැහැ.

විජේවීර මරණයට පත් වුණේ දෙවන වරටත් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න දැරූ උත්සාහය අසාර්ථක වීම තුළයි. දෙවන වර ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වීමට ජේආර් ජයවර්ධන විසින් එම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ කටයුතු කිරීම අවහිර කිරීම සෑහෙන තරමකට හේතු වුණා. කොහොම වුනත් විජේවීර විසින් ජවිපෙ හැදුවේම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය එළිපිටම ප්‍රතික්ෂේප කරන පක්ෂයක් විදිහටයි.

අද ජවිපෙ විවෘතව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. නමුත්, එදා මෙන්ම අදත් ජවිපෙ පෙනී සිටින්නේ නිදහස් වෙළඳපොළට විරුද්ධව, මාක්ස්-ලෙනින්වාදය අනුව යමින්, ටික දෙනෙකු විසින් රටේ අනෙක් අය පරිභෝජනය කළ යුතු දේ තෝරා දෙන ආර්ථික ක්‍රමයක් වෙනුවෙනුයි.

ජවිපෙ කියන්නේ ලංකාවේ පළමු හෝ වඩාත්ම ශක්තිමත්ව පැවතුණු මාක්ස්වාදී පක්ෂය නෙමෙයි. මතක තිබෙන ආකාරයට ජවිපෙ විසින් කිසිදු මැතිවරණයකදී තනිව තරඟ කර 10% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නැහැ. 2001 මැතිවරණයේදී ඔවුන් විසින් ලබාගත් 9.1% ඡන්ද ප්‍රතිශතය ජාතික මැතිවරණයකදී ඔවුන් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය කියා මා හිතනවා.

මෙයට සාපේක්ෂව ලංකා සමසමාජ පක්ෂය 1952 මහ මැතිවරණයේදී 13.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එම ප්‍රතිශතය 1956 වෙද්දී 10.4% දක්වාත්, 1970 වෙද්දී 8.7% දක්වාත් අඩු වුණා. මේ විදිහටම ලංකාවේ අනෙක් මාක්ස්වාදී පක්ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද පදනමත් ක්‍රමයෙන් දිය වී යද්දී, ලසසප හා කොප වෙත ආකර්ශනය විය හැකිව තිබුණු තරුණ ඡන්ද වලින් කොටසක් තමන් වෙත ආකර්ශනය කරගන්න ජවිපෙ සමත් වුනා.

කෙසේ වුවත්, 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ලබාගත්තේත් 4.2%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. විජේවීර ජීවත්ව සිටියදී කවදාවත් ඔහුට ලසසප වැනි පැරණි වාමාංශික පක්ෂයකට වූ තරමේ ජනසහයෝගයක් ජවිපෙ වෙත ලබාගන්න පුළුවන් වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විජේවීර ජීවත්ව සිටියදීට වඩා විජේවීරගේ මරණයෙන් පසුව ජවිපෙ භූමිකාව ප්‍රබලයි. නමුත්, ජවිපෙ තවමත් 1950 දශකයේදී ලසසප සිටි තැනටවත් පැමිණ නැහැ.

පළමු කැරැල්ල ආරම්භ කරද්දී ජවිපෙට ජනසහයෝගයක් නොවූ තරම්. එවැනි පක්ෂයක් ගැන රටේ මිනිස්සු දැනගෙන හෝ හිටියේ නැහැ. නමුත්, එසේ වූ පමණින්ම 71 කැරැල්ල (ජවිපෙ පැත්තෙන් බැලූ විට) තනිකරම මෝඩ වැඩක් කියා කියන්න බැහැ. ලෝකයේ ඇතැම් රටවල එවැනි කැරළි ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා. ජවිපෙට යම් හෙයකින් 1971දී රටේ පාලන බලය අල්ල ගන්න හැකි වුනානම් ඒ බලය පවත්වාගැනීමත් කළ හැකිව තිබුණා. එසේ වූවානම් ජවිපෙට ජනසහයෝගය තිබෙනවාද නැද්ද යන්න වැදගත් කරුණක් වන්නේ නැහැ. කොහොම වුනත්, ප්‍රමාණවත් ජනසහයෝගයක් නැති වීම හා සමගි පෙරමුණේ ජනප්‍රියත්වය ගිලිහී නොතිබීම පළමු කැරැල්ල බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. බොහෝ තැන් වලදී සාමාන්‍ය ජනතාව "චේ ගුවේරා කාරයින්" ගැන ආරක්ෂක අංශ වලට ඔත්තු දුන්නා.

දෙවන කැරැල්ල අවස්ථාවේදී ජවිපෙ ඉහත කරුණු දෙකම ගැන අවධානය යොමු කර තිබෙන බව පෙනෙනවා. ඒ වන විට අවුරුදු 11ක් බලයේ රැඳී සිට තිබුණු ජේආර්ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම අඩු වෙලා තිබුණා. එහි වාසිය ගන්නා අතරම ජනසහයෝගය ලබා ගැනීමේ අරමුණින් ජවිපෙ සාමාන්‍ය ජනතාව භීෂණයට පත් කළා. ඒ හරහා ජවිපෙට එරෙහි විය හැකි හා ආරක්ෂක හමුදා වලට ඔත්තු දීමට ඉඩ තිබුණු අයගේ කටවල් වැහුවා. මේ උපක්‍රමය යම් තරමකින් සාර්ථක වුනා කියා කියන්න පුළුවන්. ජවිපෙ සේ සැක කර ජවිපෙ නොවන තරුණයින් පවා මරා දමන තැනට ආණ්ඩුව තල්ලු වුනේ ආරක්ෂක හමුදා වලට ජවිපෙ සාමාජිකයින් පිළිබඳ සැබෑ තොරතුරු හොයා ගැනීම අමාරු වූ නිසයි. ආණ්ඩුව එසේ කරද්දී තමන් වෙත ලැබෙන ජනසහයෝගය වැඩිවනු ඇතැයි ජවිපෙ නායකත්වය හිතන්න ඇති.

ජවිපෙ වෙත වැඩිම ජනසහයෝගයක් ලැබුණු කාලය ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ විමල් වීරවංශ ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයයි. ඒ කාලය වෙද්දී මාක්ස්වාදීන්ම නොවූ වෙනත් කොටස් පක්ෂය වෙත ආකර්ෂණය කරගන්න ජවිපෙ සමත් වුණා. නමුත්, මේ කාලය වෙද්දීත් ජවිපෙ දාගෙන හිටි ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූණ බොරුවක් බව බොහෝ දෙනෙක්ට පැහැදිලි වුනේ පෙසපෙ කණ්ඩායම කැඩී යාමෙන් පසුවයි.

ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයේ සිටි තැනට ජවිපෙ ඉන්පසුව හෝ ඉන් පෙර විජේවීරගේ කාලයේදී කිසිවිටෙකත් ලඟා වී නැහැ. ඒ කාලයේදී පවා 1950 දශකයේදී ලසසපය සිටි තැනට ලඟා වී නැහැ. ලංකාවේ ඡන්දදායකයින් අතර සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබෙන ඉල්ලුම 1950 කාලයේදී 20% පමණ මට්ටමේ තිබී ඇතත් දැන් එය වැඩිම වුනොත් 5%කට වඩා වැඩි නැහැ. ඒ නිසා, සමාජවාදී පක්ෂයකට සමාජවාදය ඉස්සරහට දමා මැතිවරණ ජයග්‍රහණයක් ලබන්න තිබෙන හැකියාව කැරැල්ලකින් රාජ්‍ය බලය පැහැර ගන්න තිබෙන ඉඩකඩටත් වඩා අඩුයි.

විමල් වීරවංශ වැනි අය මුල් වී ජවිපෙ ඉදිරි සීමාව (frontier) පුළුල් කළේ ජාතිකවාදය උදවු කරගනිමිනුයි. ඒ වන විට චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපය හෝ එජාපය යන පක්ෂ දෙකෙන් එකකවත් ජාතිකවාදී නැඹුරුවක් නොතිබීම එයට උදවුවක් වුණා. නමුත්, දැන් මහින්ද ඉඳිද්දී ඒක කරන්න බැහැ. ජවිපෙට ඉස්සරහට යන්නනම් සමාජවාදය හැර වෙන මොනවා හෝ ආකර්ශනීය දේවල් ටිකක් අවශ්‍යයි. ජවිපෙට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්න වී තිබෙන්නේ ඒ අනුවයි.

කොහොම වුනත්, මේ කාර්යයේදී ජවිපෙ කරන්නේ බොරුවක් කියා කියන්න බැහැ. මම හිතන විදිහට පෙසප කණ්ඩායම ඉවත් වීමත් එක්ක කරපු බොරුව නැවතුණා. විජේවීර පක්ෂය හැදුවේ නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කරමින් වුවත් නැවත එතැනට වැටෙන්න අමාරු තරමට විජේවීර ක්‍රමයෙන් ජවිපෙ ඈත් වෙලා ඉවරයි.

නමුත්, ජවිපෙට විජේවීරව අහක දාන්නත් බැහැ. මොකද නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකමත් පෙනී සිටිනවා. ඊට අමතරව ඒ පක්ෂ දෙක නිදහස් වෙළඳපොළක් වෙනුවෙනුත් පෙනී සිටිනවා. වෙනස්කම් තිබෙන්නේ ප්‍රායෝගික භාවිතාවේ.

ජවිපෙට තමන් අනෙක් පක්ෂ දෙකෙන් වෙනස් බව පෙන්වන්න සහ විජේවීර ප්‍රතිපත්ති වලින් දුරස් වී නැතිබව පෙන්වන්න යම් තරමකට හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. නමුත් එහෙම කරලා 5% සීමාවට එන්නත් අමාරුයි. ඒ නිසා, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩියෙන් පෙනී සිටින්නත් වෙනවා.

මැතිවරණ තරඟය ඇතුළේ ඉස්සරහට එන්න නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. එසේ කරද්දී පක්ෂයෙන් ගිලිහෙන කොටස මේ වන විටත් පෙසප එක්ක ඉවත් වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ අවුලක් නැහැ. නමුත්, විජේවීර ලකුණ අත ඇරියොත් ඉන්න අයගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. අල්ලපු අත්ත නවා ගන්න ගිහින් පය ගහපු අත්තෙන් බිමට වැටෙන්න බැහැ. ඒ නිසා සමාජවාදය හරි තියාගන්න ඕනෑ.

විජේවීරගේ ඇත්ත ප්‍රතිරූපය ඉස්සරහට දමලා ජවිපෙ දැන් හිරවෙලා ඉන්න තැනින් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වැඩේට ඕනෑ කරන්නේ දැනට ජවිපෙ ඇතුලේ ඉන්න අයට වගේම මැතිවරණයක් දිනීම සඳහා ඇතුළට ගන්න අවශ්‍ය කණ්ඩායමටත් එක සේ පිළිගත හැකි ටිකක් වෙනස් විජේවීර කෙනෙක්. සමාජවාදී වුවත්, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, මළ ගෙදරකදී ඕමියකට සෙට් වෙන්න ඉඩ තිබෙන, යහපත් පවුල් ජීවිතයක් ගත කරන, ගින්දර වගේ වැඩ තිබුණත් ඇතුළෙන් සීතල මනුස්සයෙක්. ඒ මනුස්සයා ඇත්ත විජේවීරද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටිය ජවිපෙ කොන්ත්‍රාත්තුවක් කියා මම කියන්නේ නැහැ. එය ස්වාධීන නිර්මාණයක් වෙන්න ඇති. හැබැයි ඔහු වෙළෙඳපොළ ගැන නොහිතා මේ චිත්‍රපටිය හැදුවා කියන්න බැහැ. චිත්‍රපටියේ ඉන්නේ මේ වෙලාවේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන කළ කිරී සිටින, ජවිපෙ සාමාජිකයින් නොවන අය ඉල්ලන රෝහණ විජේවීර. ඒ රෝහණ විජේවීර එක්ක පෙසපෙ එක්ක නොගිහින් ඉතුරු වෙලා ඉන්න ජවිපෙ සාමාජිකයින්ටත් අවුලක් නැහැ.

කොහොම වුනත්, විජේවීරගේ ගින්දර හීතල කරලා මාකට් කරන එක හිතන තරම්ම පහසු නැහැ. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණු දෙක ගැන වගේම පෞද්ගලික දේපොළ අයිතිය කියන එක ගැනත් ලංකාවේ ගොඩක් අය සංවේදීයි. හොඳම උදාහරණය විදිහට විජේවීර කුටුම්භයම පෙන්වන්න පුළුවන්.

විජේවීරගේ බිරිඳ සෘජුවම තමන්ගේ සැමියාගේ, දරුවන්ගේ තාත්තාගේ, උරුමය ඉල්ලා සිටිනවා. ජවිපෙට කෙසේ වුවත් ඇයට හා විජේවීරගේ දරුවන්ට රෝහණ විජේවීර පොදු දේපොළක් නෙමෙයි. උවිඳුටත් ජවිපෙ එක්ක ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. ඇත්තටම මේ ප්‍රශ්න ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නම නෙමෙයි. ජවිපෙ තවමත් පෙනී සිටින සමාජවාදයේ ප්‍රශ්න. ඒ නිසා, චිත්‍රපටය හරහා හැදෙන විජේවීරගේ අලුත් ප්‍රතිරූපය එක්ක වුනත් ජවිපෙට මහා දුරක් යන්න අමාරුයි.

Wednesday, December 26, 2018

මාලිනා හා මාලිලා


නත්තල් දවසේ එක දිගට චිත්‍රපට තුනක් බැලුවා. අලුත්ම චිත්‍රපට කියා කිවහැකි මේ තුනේම යම් සමානතා වගේම වෙනස්කමුත් තිබෙනවා. ආසියානු රටවල් තුනක  සංස්කෘතික පරිසර තුනක හැදුණු,  මිනිස් මනස තුළට කිඳා බහින, තරමක් දුරට නාට්‍යාකාරී එහෙමත් නැත්නම් අධි-තාත්ත්වික රංගනයන් තිබෙන, සිනමා නිර්මාණ ලෙස ගත්තහම හොඳයි කියන්න පුළුවන් නිර්මාණ තුනක්. බටහිර ඇහැකින් බැලූ විට චිත්‍රපට තුනේම තිබෙන්නේ ආගන්තුක සංස්කෘතික පසුබිම් තුනක් වුවත් ඒ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස්.

පළමුව බැලුවේ ඝරසර්ප. ඒ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියා තිබෙන නිසා වැඩි යමක් ලියන්නේ නැහැ. දෙවැන්න මාලිනා  (Marlina). ඉන්දුනීසියානු චිත්‍රපටයක්. තුන්වැන්න මාලිලා (มะลิลา) තායි චිත්‍රපටියක්.

මාලිනා හා මාලිලා චිත්‍රපට දෙකම දැනටත් සම්මාන ගණනාවක් දිනා තිබෙනවා. මේ නම් එක කිට්ටුවෙන් ශබ්ද වුවත් එය අහම්බයක්. මාලිනා කියන්නේ චිත්‍රපටයේ කථානායිකාවගේ නම. චිත්‍රපටයේ සම්පූර්ණ නම "මිනීමරු මාලිනා ගැන ජවනිකා හතරකින්"(Marlina the Murderer in Four Acts). මාලිලා යන්නේ අදහස මම හිතන විදිහට "පිච්චමල". ඉංග්‍රීසි ටයිටලය "සමුගැනීමේ මල" (The Farewell Flower).

මාලිනා ස්ත්‍රීවාදී චිත්‍රපටයක්. කතාව දිග හැරෙන්නේ ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ. මේ දූපත ආර්ථික හා සමාජයීය අතින් පසුගාමීම ප්‍රදේශයක්. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් සිටින රට වුවත් සුම්බා දූපත ඉස්ලාම් ආගමිකයින් වැඩිපුර සිටින ප්‍රදේශයක් නෙමෙයි. දූපතටම ආවේනික "මරාපු" ආගම ආගමක් සේ නොසලකන නිසා බොහෝ දෙනෙක්ට ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගමක් තමන්ගේ ආගම සේ හඳුන්වා දෙන්න සිදු වී තිබුනත් මේ ගොඩක් අය "හදවතින්ම මරාපු". සම්ප්‍රදායික "මරාපු" ආගම විස්ථාපනය කරමින් විවිධ ක්‍රිස්තියානි ආගම් දූපතේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කරුණු ටික චිත්‍රපටයේ පෙන්වන්නේ නැහැ.

මාතෘකාවෙන් කියවෙන ආකාරයෙන්ම චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ජවනිකා හතරක් ලෙසයි. කොල්ලකෑම, ගමන, පාපොච්ඡාරණය හා උපත ලෙස මේ ජවනිකා නම් කර තිබෙනවා.

සත්ත්ව ගොවිපොලක ජීවත්වන මාලිනා ඇගේ සැමියාගේ මරණය ගැන කම්පා වෙමින් තනිව සිටිද්දී ගහෙන් වැටුණු ගෑණිට ගොනා ඇන්නාක් මෙන් මාකස් ප්‍රධාන මැරවරයන් හත් දෙනෙක් ඇගේ ගොවිපොළට කඩාවදිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇගේ සතුන් පැහැරගෙන ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමයි. මුලින්ම ඇයට සිදුවෙනවා මේ මැරවරයින් වෙනුවෙන් කෑම පිළියෙළ කරන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය රසවත්ව උයන කුකුළුමස් සූපයට වස මුසුකරන නමුත් ඊට පෙර ෆ්‍රාන්ස් ඇතුළු මැරවරයන් දෙදෙනෙකු ඇගේ සතුන්ද ලොරියක පටවාගෙන ගොවිපලෙන් පිටත් වෙනවා.

වයස්ගත මාකස් ඇතුළු කාමරයේ ඇඳේ සිටියදී මාලිනා ඉතිරි කොල්ලකරුවන් සිවුදෙනාට වස සහිත අවසන් භෝජනය පිළිගන්වනවා. එහෙත්, මාකස්ගෙන් ගැලවෙන එක ඇයට පහසු වෙන්නේ නැහැ. මාකස් වෙත ලිංගික සන්තර්පණය සපයන අතරම මස් කපන ලොකු පිහියක් ක්ෂණිකව අතට ගන්නා මාලිනා එක පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් කරනවා. ඉන් පසුව, කිරි හට්ටියක් සේ මාකස්ගේ හිස ලණු බෑගයක දමා එල්ලා ගන්නා මාලිනා පොලීසිය වෙත පිටත් වෙනවා.

නගරයට යන බසයේදී මාලිනාට ගැබ්බර නොවීව හමුවෙනවා. දරු උපතට කාලය එළැඹ අවසන් වුවත් කලලයේ හිස පහතට හැරී නැති නිසා ඇගේ දරු උපත පමාවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් දරු උපත පමා වන්නේ දරුවා අවජාතකයෙකු වීම නිසායැයි විස්වාස කරන නොවීගේ සැමියා උම්බු ගෙදර එන්නේ නැහැ. නොවී ඔහුව සොයාගෙන යනවා.

නගරයට යන අතරතුරදී මොවුන්ට කලින් පිටත් වූ කොල්ලකරුවන් දෙදෙනා හමු වෙනවා. මාලිනා විසින් මාකස්ව ඝාතනය කර ඇති බව දැනගන්නා ඔවුන්, මාලිනා ගමන් කළ බසය පැහැර ගන්නා නමුත් මාලිනා අසෙකු පිට නැගී පලායන්නට සමත් වෙනවා. ඇය ඉතා අසීරුවෙන් පොලීසියට ගොස් දූෂණයට හා කොල්ලකෑමට ලක් වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් පොලීසිය කිසිදු ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඇයව දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය ගාස්තු ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන නැති නිසා හා වෙනත් වැඩ තිබෙන නිසා පැමිණිල්ල විභාග කරන්නට මාසයක්වත් කල් ගත වනු ඇති බවයි.

මේ අතර නොවීව ප්‍රාණ ඇපකරුවෙකු කරගන්නා ෆ්‍රාන්ස් ඇය ලවා දුරකථන ඇමතුමක් ලබා දී මාකස්ගේ හිස සමඟ මාලිනාව නැවත ඇගේ නිවසට ගෙන්වා ගන්නවා. එහිදී නොවීට කෑම පිළියෙළ කරන්නට අණ කරන ෆ්‍රාන්ස් මාලිනාව දූෂණය කරද්දී නොවී පැමිණ ෆ්‍රාන්ස්ගේ හිස කඳින් වෙන් කරනවා. මේ වන විටත් දිය බෑගය සිදුරුව සිටින ඇය පසුව මාලිනාගේ උදවුවෙන් ඇය සිය දරුවා වදනවා.

මාලිලා ජීවිතයේ අනිත්‍යය හා මරණය ගැන අවධානය හෙළන ථෙරවාද බෞද්ධ පසුබිමක් තිබෙන කතාවක්. දිනෙක කුණු වී, පණුවන් ගසන සිරුරට ලොබ බැඳීම ගැන කියන කතා බෞද්ධ සාහිත්‍යයේ සුලබයි. එහෙත්, මේ කතා බොහොමයක ඒ විදිහට කතා වෙන්නේ ගැහැණු සිරුරකට ලොබ බඳින පිරිමියෙක් ගැනයි. එයින් වෙනස්ව මාලිලාහි කතාව ගලායන්නේ සමලිංගික සම්බන්ධයක් වටා.

සමලිංගික පෙම්වතුන් යුවලක් වන ෂේන් හා පිච් දෙන්නාගෙන් පිච් ගම හැර යනවා. ඉන් පසුව, ෂේන් විවාහ වී දියණියකද ලබන නමුත් ඇයව පිඹුරෙකු විසින් ගොදුරු කරගැනීමත්, පසුව මත්පැනට ඇබ්බැහි වන ඔහුව හැර දමා බිරිඳ පිටත්ව යාමත් නිසා ජීවිතය ගැන කලකිරෙන ෂේන් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අසපුවකට පැමිණෙනවා.

මේ අතර, නගරයට යන පිච්ට පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. විකිරණ ප්‍රතිකාර වලින් ඔහුගේ සිරුර කෘෂ වී, කෑම රුචිය නැති වී, කෙස් හා ලොම් හැලී ගියත් පිළිකාව සම්පූර්ණයෙන් සුව වන්නේ නැහැ. වෛද්‍යවරුන් තවත් වටයක් විකිරණ ප්‍රතිකාර ලබා ගත යුතු බව කියද්දී බටහිර ප්‍රතිකාර අත්හැර දමන පිච් සම්ප්‍රදායික ප්‍රතිකාර කෙරෙහි යොමු වෙනවා. විකිරණ ප්‍රතිකාර නැවැත්වීමෙන් පසුව ඔහුගේ අතුරු ආබාධ නැතිව යනවා.

හිතේ සැනසිල්ල පතා ෂේන් සිටින අසපුවටම පැමිණෙන පීච් කරන්නේ කෙසෙල් කොළ වලින් හා පිච්චමල් වලින් "බායි ශ්‍රී" සැරසිලි හදමින් ගඟේ පාකර යැවීමයි. එසේ කිරීමෙන් ඔහුට සහනයක් දැනෙනවා. මේ අතර පීච් හා ෂේන් අතර පෙර වූ සම්බන්ධය නැවත අළුත් වෙනවා. පීච්ගේ පෙනහළු පිළිකාව මේ වන විට සුව වී තිබෙනවා විය යුතුයැයි ෂේන් හිතනවා. තාවකාලික පැවිද්ද අවසන් කිරීමෙන් පසුව තමන් හා ජීවත් වීමට පැමිණෙන ලෙස ෂේන් පීච්ට ආරාධනා කරනවා. කෙසේ වුවත්, පීච්ගේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හදිසියේම දවසක ඔහු මිය යනවා.

කතාවේ දෙවන කොටසේදී ෂේන් තාවකාලික පැවිද්ද වෙනුවට ස්ථිර පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා. පැවිදි වන්නට පෙර විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකුව සිට ඇති සන්චායි භික්ෂුවද සමග ඔහු ආරක්ෂක හමුදා භාරයේ තිබෙන වනගත ප්‍රදේශයකට යනවා. මේ ප්‍රදේශයේ මළ මිනී තිබෙන්නට ඉඩ තිබීම එයට හේතුවයි. ඔවුන්ගේ භාවනාවට නිමිත්ත වෙන්නේ කුණු වී පණුවන් ගසන මළ සිරුරක්. කෙසේ වුවත්, භාවනාව නුපුරුදු ෂේන්ට මිනිය දුටුවනම ඔක්කාරය හැදෙනවා.

චිත්‍රපටය අවසන් වෙද්දී ෂේන්ට මළ මිනිය තුළින් පීච්ව පෙනෙනවා. ඉන්පසු මළ මිනිය සෙලවී එතුළින් පීච් නැගිට එන්නාක් වැනි දෘෂ්ඨි මායාවක්ද ඔහුට පේනවා. ඔහු තමන්ට පෙනෙන ෂේන්ව වැළඳගන්නවා. එහෙත් ඔහු සැබවින්ම වැළඳගන්නේ ඔහු ඉදිරිපිට තිබෙන කුණුවී ගඳ ගසන මළ සිරුරයි.

මාලිනා හා මාලිලා යන චිත්‍රපට දෙකම ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට. එහිදී සංක්‍රමනික තායි හා ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයින්ව ඉලක්ක කර ඇතැයි මා හිතන්නේ නැහැ. බොහෝ විට ඉලක්කය පොදු ඇමරිකානු ප්‍රේක්ෂකයා විය හැකියි. වෙනත් සංස්කෘතියක් මත පාදක වූ චිත්‍රපටයක් ඇමරිකාවේදී සාර්ථකව ප්‍රදර්ශනය වේනම් එයින් අදහස් වන්නේ අදාළ සංස්කෘතිය පිළිබඳව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආකල්ප සමඟ චිත්‍රපටයේ අන්තර්ගතය සුසර වන බවයි.

Saturday, September 29, 2018

අවංක පෙම්වතාට සල්ලි නැත්තේ ඇයි?


පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!

ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.

ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...

"ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."

මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?

මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.

ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.

මේ වගේ අනුග්‍රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.

සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.

ටෙලි නාට්‍ය අනුග්‍රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.

හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.

ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.

කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.

මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.

මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?

මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.

මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.

පනස්‌ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.

ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි.  නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.

සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.

ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.

ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.

සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.

දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?

ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.

ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.

ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.

ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?

සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.

සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.

ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.

ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.

ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.

කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්‍රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.

යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.

සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.

මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.

(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)

Friday, November 11, 2016

මළවුන්ගේ ආත්ම වලට එය කළ හැකිද? Ghosts can't do it!

තරුණ, රූමත් කේට් විවාහ වී සිටියේ ඇයට වඩා වසර තිහකින් වැඩිමල් ධනවතෙකු වූ ස්කොට් සමඟය. හෘදයාබාධයක් වැළඳීමෙන් පසු තවදුරටත් සිය තරුණ බිරිඳ හා එක්ව සතුටු විය නොහැකි වීම නිසා ජීවිතය එපා වන ස්කොට් සිය දිවි නසා ගනී. කෙසේ වුවද, මියගිය ස්කොට්ගේ ආත්මය දිගටම කේට් සමඟ සම්බන්ධතා පවත්වාගනී. එහෙත්, ස්කොට්ගේ ආත්මය සමඟ කතා කළ හැක්කේත්, එම ආත්මය දැකිය හැක්කේත් කේට්ට පමණි. කේට් සමඟ මෙසේ සම්බන්ධතා පවත්වාගත්තත් මියගිය ස්කොට්ට කේට් සමඟ අවශ්‍ය කටයුත්ත කරගැනීමේ හැකියාවක් නැත. ඔහු ඒ සඳහා උපක්‍රම සොයයි.

කේට් හා ස්කොට් අපට හමුවන්නේ 1989දී තිරගත වූ "ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" (Ghosts Can't Do It) හොලිවුඩ් චිත්‍රපටියෙනි. බෝ ඩෙරෙක් හා ඇන්තනි ක්වින් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටය ජෝන් ඩෙරෙක් විසින් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රවීන ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂනයෙන් දායක විය. ලංකාවේ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙන්ම මාල දිවයිනේද දර්ශන රූපගත කර ඇති මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් නළු නිලියන් රැසකගේ රඟපෑම් අපට දැකබලා ගන්නට පුළුවන.

"ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" චිත්‍රපටය 1990 වසරේ නරකම චිත්‍රපටය සඳහා ලැබෙන රාසීස් සම්මානයෙන් (රන් රාස්බෙරි සම්මානය) පුද ලැබූ අතර එම වසරේ නරකම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලැබුණේය. මේ චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑ බෝ ඩෙරෙක් වසරේ නරකම නිළිය ලෙසද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ නරකම සහාය නළුවා ලෙසද සම්මානයට පාත්‍ර විය. තමාගේම චරිතය රඟපා නරකම රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට හැකි වීම සුවිශේෂී කරුණකි.

දශක දෙකහමාරකට පෙර සහාය නළුවෙකු ලෙස එවැනි නරක රඟපෑමක් කළත්, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රඟපෑ ප්‍රධාන චරිතයේ භූමිකාවනම් එතරම් නරක නැත. "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" යන ස්ලෝගනය සාර්ථකව යොදාගනිමින් ඔහු ඇමරිකාව තවදුරටත් ඔවුන්ගේ සීයලා තාත්තලා ජීවත් වූ "ග්‍රේට්" රට නොවන බව ඇමරිකානුවන්ට මතක් කර දෙමින් ඔවුන්ගේ ඇමරිකානු අභිමානයට පොඩ්ඩක් රිදෙන පරිදි කෙනිත්තුවේය. වෙනත් චරිත වෙනුවට තමන්ගේම චරිතය රඟපාන්නට විශේෂ කැමැත්තක් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මතක් කිරීම නිසා ඔහුට ලැබුණු ප්‍රතිඵලය නරක නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ "හෝම් එලෝන් -2" චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිවුයෝර්ක්හි ප්ලාසා හෝටලයේ හිමිකරු ලෙස ඔහු රඟපෑවේද ඔහුගේම චරිතයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට ඇමරිකාවෙන් පිටත ඇති අඩු ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ ඔහුගේ "හෝම් එලෝන්" කමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති චරිතය රඟපාන්නේ කෙසේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

(Image: http://okmagazine.ro/people/in-cifre-curiozitati-despre-donald-trump)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...