වෙබ් ලිපිනය:

Showing posts with label ජෝ බයිඩන්. Show all posts
Showing posts with label ජෝ බයිඩන්. Show all posts

Sunday, December 13, 2020

ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණය හෙටයි!


මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම හා වොෂින්ටන් ඩීසීහි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිල ප්‍රතිඵල නිකුත් වුනේ ගෙවුණු සතියේදීයි. ඒ අනුව, මේ වන විට බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙස සමස්ත නියෝජිතයින් ගණන බෙදී ගොස් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජිතයින් බෙදී ගියේ හරියටම අනික් අතට, ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙසයි.

ඉහත කී ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කරන්නේ හෙටයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන්නේ හෙට (දෙසැම්බර් 14) කියා කිව හැකියි. එහිදී බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙසින්ම ඡන්ද බෙදී යාම අනිවාර්ය දෙයක් නෙමෙයි. පසුගිය වර ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙස නියෝජිතයින් බෙදී ගොස් තිබුණත් ඔවුන්ට සැබෑවටම ලැබුණේ පිළිවෙලින් ඡන්ද 304ක් හා 227ක් පමණයි. ඉතිරි ඡන්ද 7, කොලින් පවල්ට 3ක්, බර්නි සැන්ඩර්ස්ට 1ක්, රොන් පෝල්ට 1ක්, ජෝන් කේසික්ට 1ක් හා ෆේත් ස්පොටඩ් ඊගල්ට 1ක් ලෙස බෙදී ගියා. මෙවර ප්‍රතිඵලය දැනගන්න ලැබෙන්නේ ජනවාරි 6 වනදා ප්‍රාන්ත නියෝජිතයින්ගේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි.

පැහැදිලිවම පෙනෙන්නට ඇති පරිදි මෙවර ජයග්‍රාහකයා බයිඩන් වුවත් එම ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. බයිඩන්ට සහයෝගය දීමට නියමිත නියෝජිතයින් ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය වන 270ට වඩා වැඩි වන්නේ 36කින් පමණයි. බයිඩන් යාන්තමින් ජයග්‍රහණය කළ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල නියෝජිතයින් ප්‍රමාණය 37ක්. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය ඡන්ද 1,274කින් අඩු වී තිබෙනවා. විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව එහි පරතරය ඡන්ද 87කින් වැඩි වී තිබෙනවා. ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල අවසන් නිල ප්‍රතිඵල මෙහෙමයි. 


ඉහත සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිව පෙනෙන පරිදි මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කර තිබෙන්නේ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල ආන්තික ඡන්දදායකයින් 43,349 දෙනෙකු විසිනුයි. එම එක් එක් ප්‍රාන්තය තුළ ලිබටේරියන් අපේක්ෂිකාව වූ ජෝ ජෝර්ගන්සන් විසින් ලබා ගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉක්මවනවා.

ජනාධිපති ට්‍රම්ප්ව ගෙදර යවන්න හේතු වුනේ මෙවර මැතිවරණයේදී ඡන්ද භාවිතය වාර්තාගත ලෙස ඉහළ යාම බව පැහැදිලි කරුණක්. ඡන්ද භාවිතය ඉහළ ගියේ පසුගිය වසර වලදී පැවැත්වුණු ප්‍රධාන මැතිවරණ වලට සාපේක්ෂවයි. එහෙම වුනේ ඇයි?

මැතිවරණයකදී කිසියම් පුද්ගලයෙකු විසින් ඡන්දය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගනිද්දී සවිඥානිකව හෝ අවිඥානිකව තමන්ට ලැබෙන ආකාර දෙකක වාසි හෝ අවාසි ගැන සලකා බලනවා.

1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර ගැනීමේ හැකියාව නිසා දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වන නමුත් දෙවැන්න ධන හෝ සෘණ අගයක් විය හැකියි. බොහෝ විට සෘණ අගයක්. ඒ වගේම පළමුවැන්න තමන්ගේ ඡන්දය නිසා ප්‍රතිඵලය වෙනස් වීමට තිබෙන සම්භාවිතාව මත වෙනස් වන දෙයක්. 

ඇමරිකානු ජනාධිපතිවරණය වැනි අවස්ථාවකදී ඡන්දය දැමීමේ ක්‍රියාවලිය හරහා ඡන්දදායකයෙකුට ලැබෙන ශුද්ධ වාසිය පහත ආකාරයට සරල ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. මෙහිදී පහසුව සඳහා තෙවන අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් සාධක වල බලපෑම් බැහැර කර තිබෙනවා.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 
C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

දැන් මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

ඇමරිකාව වැනි රටක මැතිවරණ ප්‍රතිඵල මත ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. කවුරු ජනාධිපති වුනත් අපි හම්බ කළොත් අපි කනවා. ඒ නිසා, U1 හා U0 අතර ලොකු වෙනසක් නැහැ. පරතරය අඩුයි. ඒ වගේම, තමන් වාසය කරන්නේ දෝලන ප්‍රාන්තයක නොවේනම් p අගය ඉතාම අඩුයි. ඒ නිසා, සමස්තයක් ලෙස (U1 - U0)p අගය ගොඩක් විශාල නැහැ. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය තුළ සතුටක් ලබන අයෙකුට C>0 නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එවැන්නෙකු හා අදාළව සමස්තයක් ලෙස B>0 නිසා ඔවුන් ඡන්දය දමනවා. එහෙත්, ඡන්දය වෙනුවෙන් වෙනත් වැඩ පැත්තක දමා පැය කිහිපයක් රස්තියාදු වීම වදයක් සේ සලකන අයට C<0 නිසා (C වල ලකුණ නොසලකා මාපාංකය පමණක් ගත්තොත්) ඉහත සූත්‍රය B = (U1 - U0)p - C බවට පත් වෙනවා. එවැන්නෙකුට B>0 වෙන්නේ (U1 - U0)p > C වුවහොත් පමණයි. ඒ කියන්නේ ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය ඡන්දය දමන්නට යාමේ කෙටිකාලීන අවාසියට වඩා වැඩිනම් පමණයි.

සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අය බොහෝ විට ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය එතරම් විශාල සේ සලකන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට ඡන්දය දැමීමේ ක්‍රියාවලිය වියදමක් සේ සලකනවා. ඒ නිසා එවැනි අය සාමාන්‍යයෙන් ඡන්දය දැමීමට දක්වන උනන්දුව අඩුයි.

මේ වෙද්දී ඇමරිකාව විශාල ලෙස දේශපාලනිකව බෙදුණු රටක්. දේශපාලනික බෙදීම තීව්‍ර වන තරමට U1 හා U0 අතර පරතරය විශාල වෙනවා. එවිට (U1 - U0)p ඉහළ ගොස් B ඉහළ යනවා. ඡන්ද භාවිතය ඉහළ යනවා. මෙවර වගේම 2016 මැතිවරණයේදීත් ඇමරිකාවේ ඡන්ද භාවිතය යම් තරමකින් ඉහළ යාමට මේ සාධකය ඉවහල් වුනා.

කෝවිඩ් නිසා ඡන්දය දමන්නට ඡන්ද පොළට යාමේ හා එහි පැය කිහිපයක් ගත කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ ගියා. ඒ කියන්නේ C අගය ඉහළ ගියා. ඒ අනුව, සිදු විය හැකිව තිබුණේ (U1 - U0)p - C අගය පහළ ගොස් ඡන්ද භාවිතය අඩු වීමයි. මෙය සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. ඒ වගේම කෝවිඩ් වලට වැඩිපුර බය අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. මේ දෙකෙන්ම විය හැකිව තිබුණේ රිපබ්ලිකන් ඡන්ද අඩු ප්‍රමාණයක් අඩු වෙද්දී ඩිමොක්‍රටික් ඡන්ද වැඩි ප්‍රමාණයක් අඩු වීමයි.

මේ තත්ත්වය කලින් අවබෝධ කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල C අගය අඩු කිරීමට කටයුතු කළා. කොන්දේසි විරහිතව තැපැල් ඡන්ද දැමීමට ඉඩ දීමෙන් කළේ එයයි. මේ නිසා, එසේ නොකළේනම් B<0 විය හැකිව තිබුණු බොහෝ දෙනෙකුට B>0 වුනා. ඒ බොහෝ දෙනෙක් පැයේ ශ්‍රමයට රැකියා කරන අඩු ආදායම්ලාභීන්, සංක්‍රමණිකයින්, සුළු ජාතිකයින් වැනි ඩිමොක්‍රටික් නැඹුරුවක් තිබුණු අයයි. එහි වාසිය බයිඩන්ට ලැබුණා. මෙය එක අතකින් කෝවිඩ් නිසා ලැබුණු අනපේක්ෂිත වාසියක්.



Saturday, November 14, 2020

බයිඩන් නැගිට්ටේ කොහොමද?


ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි, මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

දැන් මේ ආකාරයට කිසියම් පක්ෂයක් යටතේ ලියාපදිංචි වුනා කියලා එම පක්ෂයටම ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වී හිටියත්, රිපබ්ලිකන් හෝ වෙනත් පක්ෂයක් යටතේ ලියාපදිංචි වී හිටියත්, කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයෙකු ලෙස ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වී හිටියත්, කිසිදු වෙනසක් නැතුව ජාතික මැතිවරණයකදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න පුළුවන්. මේ විදිහටම ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට ඡන්දය දෙන්නත් පුළුවන්.

මේ නිදහස තිබුණත් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වන අය, අපේක්ෂා කළ හැකි පරිදිම, බොහෝ විට ඡන්දය දෙන්නේ එම පක්ෂයේ අපේක්ෂකයෙකුටයි. රිපබ්ලිකන් පක්ෂය හා අදාළවත් මෙය එලෙසමයි. කුඩා පක්ෂ යටතේ ලියාපදිංචි වී ඉන්න අයනම් අන්තිමේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක දුලබ දෙයක් නෙමෙයි. පක්ෂයකට බැඳීමක් නැති අය බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දෙනවා වගේම ඔවුන් බොහෝ දෙනෙකුටත් මේ පක්ෂ දෙකෙන් එකක් වෙත නැමියාවක් තිබෙනවා. වෙනස පක්ෂය වෙත බැඳීම එතරම් දැඩි නොවීම පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙකුත් "පාවෙන ඡන්දදායකයින්" කියා කිව හැකි අය නෙමෙයි.

එක් එක් පක්ෂ යටතේ ලියාපදිංචි වන ඡන්දදායකයින් ප්‍රමාණ අනුව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. කැලිෆෝර්නියා ප්‍රාන්තය සැලකුවොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමාණය රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රමාණයට වඩා දෙගුණයකට ටිකක් අඩුයි. මැතිවරණයේ සැබෑ ඡන්ද භාවිතය බැලුවහම ගොඩවල් දෙකම විශාල වී තිබුණත් ආසන්න වශයෙන් අනුපාතය සමානයි.

කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ බල කඳවුරක් වන කැලිෆෝර්නියා ප්‍රාන්තය අත ඇරලා පක්ෂ දෙකටම ආසන්නව සමාන බලයක් තිබෙන ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තයක් දිහා බැලුවත් ඉහත කී කරුණ තහවුරු කර ගන්න පුළුවන්. නමුත්, ඒ මත පදනම්ව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්න අසීරුයි. මෙවර මැතිවරණයට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයින් පක්ෂ වලට බෙදී සිටියේ (හෝ නොසිටියේ) පහත ආකාරයටයි.

ඩිමොක්‍රටික් - 5,203,795 (37.0%)

රිපබ්ලිකන් - 5,020,199 (35.7%)

වෙනත් පක්ෂ - 188,587 (1.3%)

පක්ෂයකට බැඳීමක් නැති - 3,653,046 (26.0%)

මම කලින් ලිපියක ලිවුවනේ මම පෞද්ගලිකව ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කියලා. ඒ අය අතර රිපබ්ලිකන් පාක්ෂිකයින් නැති තරම්. එහෙත්, ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි නොවූ, "පක්ෂයකට බැඳීමක් නැති" ගොඩේ ඉන්න අය.

මගේ මේ මිතුරු මිතුරියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්. මාද ඇතුළු මේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ එක කකුලක් තවම ලංකාවේ තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. ලංකාවේ ජනමතය නියෝජනය කරමින් මේ බොහෝ දෙනෙක්ද රාජපක්ෂවාදියෝ. එජාප, ජවිපෙ වැනි ලංකාවේ වෙනත් පක්ෂ වලට පක්ෂපාතිත්වයක් තිබෙන ටික දෙනෙක්ද ඉන්නවා. 

ලංකාවේ ජනමතය කියා කිවුවේ අර තාප්ප පාට කරපු කාලයේ ජනමතය ගැන මිසක් දැන් ජනමතය ගැන නෙමෙයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලයේ හැම තැනම හිටියේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු අය. හැබැයි ටික දවසක් යද්දී එහෙම කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. බේතකට වගේ ඕනෑ වුනොත් රාජපක්ෂවාදීන්නම් තවමත් හොයාගන්න අමාරු නැහැ.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කාලයේදී වුවත් ඇමරිකාවෙන් පිටත ඔහුට තිබුණේ දැඩි අප්‍රසාදයක්. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල. එහෙත්, ලංකාවේ ජාතිකවාදීන් හා රාජපක්ෂවාදීන් හිටියේ මීට වඩා වෙනස් ස්ථාවරයක. ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම කැමැත්තක් තිබුණු රට සමහර විට ලංකාව වෙන්න වුනත් බැරි නැහැ.

හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි.

ලාංකික සම්භවයක් නැති මගේ මිතුරු මිතුරියන්ගෙන් වැඩි දෙනෙක්ද සංක්‍රමණිකයින්. මේ අය අතර ඉන්දියාව, චීනය, වෙනත් නැගෙනහිර හා දකුණු ආසියානු රටවල්, රුසියාවෙන් හා පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් වලින් පැමිණි අය, දකුණු ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි අය, අප්‍රිකාවේ විවිධ රටවලින් පැමිණි අය වගේම බටහිර යුරෝපීය රටවල් වලින් හා කැනඩාවෙන් පැමිණි අයත් ඉන්නවා. පොදුවේ ගත්තහම මේ කාගේත් කැමැත්ත තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ඔවුන් වැඩි දෙනෙක් ට්‍රම්ප් විරෝධීන්.

ඊට අමතරව මගේ මිතුරන් සේ සැලකිය හැකි සංක්‍රමණිකයින් නොවන සුදු ඇමරිකානුවන් හැම දෙනෙක්ම වාගේත් ඩිමොක්‍රටික් පැත්තට බර අයයි. ඔවුන් හැම දෙනෙක්ම වගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන වෘත්තීය රැකියා කරන අය. ඒ අයට පොදු වශයෙන් ගත් විට ට්‍රම්ප් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් විද්‍යාව පිළි නොගැනීම හා ඇමරිකාවේ ආයතනික පද්ධතියට ගරු නොකිරීම හේතුවෙනුයි.

වෘත්තීය මට්ටමෙන් මා දන්නා රිපබ්ලිකන් පක්ෂයට බර අදහස් ඇති, පොදුවේ ඇමරිකාව තුළ හා ඇමරිකාවෙන් පිටතත් පිළිගැනීමක් තිබෙන, ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ විද්‍යාව මත පදනම්වයි. රිපබ්ලිකන් පාක්ෂිකයින් වුවත් ඔවුන්ගෙන් ඇතැම් අයටත් ට්‍රම්ප් සමඟ ප්‍රශ්න තිබෙනවා.

කෙසේ වුවත්, මා ජීවත් වන ප්‍රදේශය ඉතා පැහැදිලි ලෙසම රිපබ්ලිකන් ප්‍රදේශයක්. මේ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර මා සමඟ හිතවත්, නිතර හමුවෙන හා කතාබස් කරන, අසල්වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා විය යුතුයි. එහෙත්, ඔවුන් දේශපාලනය කතා කරන්න එන්නේ නැහැ. ඇතැම් විට මා සංක්‍රමණිකයෙකු හා සුළු ජාතිකයෙකු වීම ඊට හේතුවක් විය හැකි වුවත් ඊටත් වඩා මෙය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන අයගේ මූලික ස්වභාවයක්.

ට්‍රම්ප්වාදීන් ට්‍රම්ප් විරෝධීන්ට සාපේක්ෂව පැත්තකට වී පාඩුවේ ඉන්න පිරිසක්. ඔවුන් තර්කනය මත පදනම්ව හෝ සාක්ෂි මත පදනම්ව තීරණ ගන්නා අය නෙමෙයි. ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ.

පසුගිය දෙසැම්බරය වන විටත් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය පෙනෙන සීමාවක හිටියේ නැහැ. පළමුව කෝවිඩ්-19 වසංගතය විසිනුත්, දෙවනුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව හමා ගිය විරෝධතා රැල්ල නිසාත් ඩිමොක්‍රටික් පක්ෂයට ගැම්මක් ආවා. හැබැයි කරුණු දෙකේදීම ට්‍රම්ප්ගේ විවේචකයින් වී සිටියේ කොහොමටත් ට්‍රම්ප් විරෝධීන්ව සිටි අයයි. ට්‍රම්ප්වාදීන් දිගටම ට්‍රම්ප් සමඟ හිටියා. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට හේතු වුනේ ට්‍රම්ප්වාදීන්ව සිටි ඇමරිකානුවන් විසින් ට්‍රම්ප්ව අතහැර බයිඩන්ව වැළඳ ගැනීම නෙමෙයි. එහෙම දෙයක් වුනේ නැහැ.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ යාමයි. එසේනම්, අපට විග්‍රහ කරන්න වෙන්නේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ ගියේ කොහොමද කියන කාරණයයි. බ්ලොග් එක පටන් ගත් අලුත ලියා පළ කළ පහත ලිපිය මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.



(Image: https://www.reddit.com/r/pics/comments/12xwqq/joe_biden_doing_pushups_with_little_girls/)

Friday, November 13, 2020

ඇමරිකාවේ සමාජවාදය


ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.

ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට  "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.

එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා. 

ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.

පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.

ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.

සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)

මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. 

ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා. 

ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!

සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි. 

කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්. 

ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්. 

මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.


Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


Saturday, November 7, 2020

ජෝ බයිඩන්- ඇමරිකාවේ මීළඟ ජනාධිපති


මේ වෙද්දී සියළුම ප්‍රධාන මාධ්‍ය විසින් ඔවුන්ගේ පුරෝකථන අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. එක් එක් මාධ්‍ය ආයතනය විසින් ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මේ වන විට තහවුරු කර ඇති බයිඩන්ගේ නියෝජිතයින් ගණන 273, 279, 284, 290 ආදී ලෙස වෙනස් වුනත් එම ප්‍රමාණය 270 ඉක්මවන බවට පොදු එකඟත්වයක් ඇති වී අවසන්. රිපබ්ලිකන් පක්ෂය බලය හොබවන අපේ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලොක්කන්නම් ඔවුන්ගේ ජය සැමරුම් සාදය ඊටත් කලින්ම සංවිධානය කළා. කෙසේ වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවමත් පරාජය භාර ගෙන නැහැ.

මාධ්‍ය ආයතන විසින් මේ වන තුරුත් උතුරු කැරොලයිනා, ජෝර්ජියා හා ඇලස්කා ප්‍රාන්ත කිසිදු අපේක්ෂයෙකුට ලියා දී නැහැ. ඇරිසෝනා හා නෙවාඩා වල තරඟය ඇතැම් මාධ්‍ය ආයතන වලට අනුව තීන්දු වී අවසන් වුවත් තවත් ඒවාට අනුව තවමත් විවෘතයි. අවසන් ප්‍රතිඵලය තීන්දු වීමට හේතු වූයේ පෙනිසිල්වේනියා ප්‍රතිඵලය පිළිබඳ විවිධ විශ්ලේෂකයින්ගේ පොදු අවසන් නිගමනයයි. එහෙත්, මා පෙර ලිපියේ විස්තර කළ පරිදි, මාධ්‍ය වල පෙන්වන්නේ අවසන් නිල ප්‍රතිඵල නෙමෙයි. කලින්ම අවසන් ප්‍රතිඵලය නිශ්චය කෙරුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේත් තවමත් ගණන් කර අවසන්ව තිබෙන්නේ 82%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකාවේ මැකෝ කෙනෙක් නැද්ද? සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබුණා. පෙර ලිපියේ ප්‍රතිචාර කොටසේ ලියූ පරිදි, තනි මැකෝ කෙනෙක් අවශ්‍ය වෙන්න ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් නෙමෙයි. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව. හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට දැනටත් ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයක් නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, මාධ්‍ය ආයතනයකට ඔවුන්ගේ විශ්ලේෂන මත පදනම්ව අවසන් ප්‍රතිඵලය ඉතා ඉක්මණින් නිවේදනය කළ හැකියි. එහෙත්, 2000 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුනාක් මෙන්, අවසන් මැතිවරණ ප්‍රතිඵලය අවසන් ඡන්දය ගණන් කරන තුරුම අවිනිශ්චිත වන අවස්ථා තියෙන්න පුළුවන්. මෙවර ප්‍රාන්ත ගණනාවකම එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

දැනට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් අවසන් ප්‍රතිඵලය නිගමනය කර නැති ප්‍රාන්ත අතරින් ඇලස්කා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජයගනු ඇති බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා පොදුවේ පිළිගන්නා දෙයක්. මගේ ඇස්තමේන්තුව අනුව 95%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලස්කා ප්‍රාන්තය ජය ගැනීමටයි. අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ ඉතා සුළු පරතරයක් තිබෙන ඉතිරි ප්‍රාන්ත පහ හා අදාළවයි.

ඇලස්කා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.elections.alaska.gov/results/20GENR/Map/

උතුරු කැරොලයිනා ප්‍රාන්තය තුළ මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 76,515කින් ඉදිරියෙන් සිටිනවා. ගණන් කරන්නට ඉතිරි වී තිබෙන ඡන්ද ප්‍රමාණය 99,000කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, සෛද්ධාන්තිකව ජෝ බයිඩන්ට උතුරු කැරොලයිනාව ජය ගැනීමට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත්, ප්‍රායෝගිකව එම ඉඩ ඉතාම කුඩා ඉඩක්. 

ඉහත කී ඉතිරිව ඇති ඡන්ද ප්‍රමාණය යනු මේ වන තුරු ආපසු ලැබී නැති තැපැල් ඡන්දයි. මේ ඇතැම් තැපැල් ඡන්ද ලබාගත් අය තැපැල් ඡන්දය භාවිතා නොකර ඡන්ද මධ්‍යස්ථානකදී තමන්ගේ ඡන්දය දමා තිබෙන්නට පුළුවන්. තවත් අය ඡන්දය දමා නොතිබෙන්න පුළුවන්. තවත් අය ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයෙන් පසුව තැපැල් කර තිබෙන්නට පුළුවන්. 

මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර තැපැල් කර තැපැල් කන්තෝරු දින මුද්‍රාව වැදී පසුව ලැබෙන ඡන්ද ගණන් කර අවසන් කිරීම සඳහා කවුන්ටි මැතිවරණ මණ්ඩල වලට නොවැම්බර් 13 දක්වා කාලය හිමි වෙනවා. මැතිවරණ දින තැපැල් කරනු ලැබ, නොවැම්බර් 12 දින පස්වරු 5 දක්වා ලැබෙන උතුරු කැරොලයිනා ඡන්ද පත්‍රිකා වලංගු ඡන්ද සේ සැලකෙනවා. 

මෙසේ තැපෑලෙන් එන ඡන්ද සඳහා බලා සිටිය යුතු සහන කාලය පෙර මැතිවරණ වලදී දින තුනක් වුවත් ප්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින් කෝවිඩ් වසංගතය නිසා එම කාලය දින නවයක් දක්වා දිගු කළා. මේ තීරණයට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය අනුමත කළා.  

මේ අනුව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා ඉදිරි සතිය තුළ තැපෑලෙන් පැමිණීමට ඉඩ තිබෙන ඡන්ද පත්‍රිකා ගණන් කර අවසන් වන තුරු බලා ඉන්න වෙනවා. 

උතුරු කැරොලිනා මැතිවරණ මණ්ඩලය විසින් අවසන් වරට යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙන නිල නොවන සමස්ත ප්‍රතිඵලය පහත සබැඳියෙන් බලා ගන්න පුළුවන්.

උතුරු කැරොලයිනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://er.ncsbe.gov/?election_dt=11/03/2020&county_id=0&office=FED&contest=1373

ඉහත කී ලැබෙන්නට ඉඩ තිබෙන ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ආපසු නොලැබෙනු ඇති බව හා එසේ ලැබෙන ඡන්ද පත්‍රිකා වලින් යම් කොටසක් වලංගු ඡන්ද නොවිය හැකි බව පැහැදිලි කරුණක්. අලුතෙන් එකතු වන සමස්ත ඡන්ද ප්‍රමාණය 76,515 ඉක්මවූවේ නැත්නම් ජෝ බයිඩන්ට කෙසේවත් උතුරු කැරොලයිනා ප්‍රාන්තය ජයගන්න බැහැ. ඒ සඳහා ඊට වඩා වැඩි වලංගු ඡන්ද ප්‍රමාණයක් අලුතෙන් එකතු විය යුතුයි. එහෙත්, එසේ අලුතෙන් එකතු වන ඡන්ද සියල්ලම ජෝ බයිඩන් විසින් ලබා ගනු ඇතැයි හිතන්න බැහැ. ඒ නිසා, මගේ ඇස්තමේන්තුව අනුව 90%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගැනීමටයි. 

දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්ථිර ලෙස හිමි වී ඇති සේ සැලකෙන නියෝජිතයින් ගණන 214ක් පමණයි. එම ගණනට ඇලස්කා හා උතුරු කැරොලයිනා නියෝජිතයින් එකතු කළොත් ට්‍රම්ප්ගේ නියෝජිතයින් ගණන 232 දක්වා ඉහළ යනවා. එසේ වුවත්, ඔහුට 270 සීමාවට යාම සඳහා තවත් නියෝජිතයින් 38 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත්, ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 7,248ක් පමණයි. තවමත් ගණන් කරන්නට ඉතිරි වී තිබෙන්නේ රටින් පිට සිට ඡන්දය භාවිතා කළ අයගේ හා හමුදා සේවයේ යෙදී සිටි 8,400 දෙනෙකුගේ ඡන්ද හා "ද්වීතියික ඡන්ද" 14,200ක් පමණයි. ද්වීතියික ඡන්ද සියල්ලම වලංගු ඡන්ද නෙමෙයි. හමුදා සාමාජිකයින්ගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ට ලැබෙන්නට ඉඩ තිබෙන නමුත් ද්වීතියික ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් කාට වුනත් ලැබෙන්න පුළුවන්. පරතරය ඉතා අඩු වුවත්, මගේ ඇස්තමේන්තුව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම පරතරය පියවා ගැනීමට මේ වන විට ඉතිරිව තිබෙන්නේ 20%කට වඩා අඩු ඉඩක්. 80%ක්ම ඉඩ තිබෙන්නේ ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන්ට හිමි වීමටයි.

ජෝර්ජියා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.enr.clarityelections.com/GA/105369/web.264614/#/summary

ඇතැම් මාධ්‍ය ආයතන විසින් කළින්ම ජෝ බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන විට 20,573 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර තවත් ඡන්ද 92,000 දක්වා ප්‍රමාණයක් ගණන් කිරීමට තිබෙනවා. මේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබී ඉහත පරතරය අඩු වෙන්නට ඉඩක් තිබුණත්, පරතරය පියැවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රාහකයා වෙන්නනම් අවම වශයෙන් ඉතිරි ඡන්ද වලින් 60%කට වඩා ඔහුට ලැබිය යුතුයි. මේ ඡන්ද ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින කවුන්ටි වල නිසා එය සිදු විය නොහැක්කක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව අනුව තවමත් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ට්‍රම්ප්ට ඉතිරිව තිබෙනවා. අපි කියමු 20%ක පමණ ඉඩක් කියා. 

ඇරිසෝනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.arizona.vote/#/featured/18/0

නෙවාඩා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ වැඩි ඡන්ද 25,699කින් පමණක් වුවත්, මෙම පරතරය වැඩි වෙන්නට මිස අඩු වෙන්නට ඉඩක් මට පෙනෙන්නේ නැහැ. නෙවාඩා ප්‍රාන්තයේ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කරන්නට ඉතිරි වී ඇතත් එම ඡන්ද ගණන් කර අවසන් වෙද්දී ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද තවත් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැහැ. මේ අනුව, සෛද්ධාන්තිකව ට්‍රම්ප්ට නෙවාඩා ප්‍රාන්තය ජයග්‍රහණය කළ හැකි වුවත් ප්‍රායෝගිකව ඒ සඳහා තිබෙන්නේ ඉතාම අඩු ඉඩක්. දැනට තිබෙන තොරතුරු මත පදනම්ව කෙරෙන මගේ ඇස්තමේන්තුව අනුව මේ ඉඩත් 20%කට වඩා අඩුයි.

නෙවාඩා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://silverstateelection.nv.gov/

ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගැනීමට තිබෙන්නේ බොහෝ අඩු ඉඩක්. යම් හෙයකින් මේ ප්‍රාන්ත තුනම ඔහු ජය ගත්තත්, ඔහුගේ නියෝජිතයින් ගොඩට එකතු වන්නේ නියෝජිතයින් 33 දෙනෙකු පමණයි. එවිටද ඔහුගේ එකතුව 265ක් පමණයි. ජයග්‍රහණය සඳහා අවම වශයෙන් නියෝජිතයින් 270ක් අවශ්‍යයි.

නියෝජිතයින් 20 දෙනෙකු සිටින පෙනිසිල්වේනියාව දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ මේ හේතුව නිසයි. අවම වශයෙන් නියෝජිතයින් 253 දෙනෙකු හිමි කරගෙන සිටි බයිඩන්ගේ ගොඩට පෙනිසිල්වේනියා නියෝජිතයින් 20 එකතු වූ වහාම, ඉතිරි අවිනිශ්චිත ප්‍රාන්ත වල තත්ත්වය කෙසේ වුවත්, බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහකයා ජෝ බයිඩන් බව මේ වෙද්දී සියලුම ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සමඟම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජයග්‍රහණය සමරමින් සිටිනවා. මේ වන විට පෙනිසිල්වේනියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 34,458 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් ඡන්ද 76,498ක් පමණයි. මේ ඡන්ද තැපැල් ඡන්ද. මෙතෙක් රටාව අනුව තැපැල් ඡන්ද වලින් 75%ක් පමණම ලැබුනේ ජෝ බයිඩන්ට නිසා ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මෙම වැඩි ඡන්ද ප්‍රමාණය 50,000 පමණ මට්ටමක් දක්වා තවත් ඉහළ යාමට ඉඩ තිබෙනවා. 

මේ වන විට පවතින තත්ත්වය අනුව, නීතිමය බාධාවක් ඇති නොවුනහොත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමි වීමටත්, ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ජෝ බයිඩන් වීමටත් තිබෙන සම්භාවිතාව 100%ක් කියා සෛද්ධාන්තික හේතු මත කියන්න පුළුවන්කමක් නැතත් 99%කට වඩා වැඩි බව කියන්න පුළුවන්. එහෙත්, නඩු තීන්දු මත මේ තත්ත්වයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.electionreturns.pa.gov/

දැන් තත්ත්වය අනුව පෙනෙන්නේ 306: 232 ලෙස නියෝජිතයින් බෙදීයාමට වැඩි ඉඩක් තිබෙන බවයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමරන්න බලා සිටි අයට දැන් එය සැමරිය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාගෙන සිටි අයට දැන් තිබෙන්නේ දුක සමරන්නයි. දෙගොල්ලන්ටම චියර්ස්!


Friday, November 6, 2020

ඇමරිකාවේ මොකද වෙන්නේ?


මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමරිකාව දිහා. ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් තවමත් නිකුත් වෙලා නැහැ. ඇමරිකාවේ මොකද වෙන්නේ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ පසුගිය නොවැම්බර් 3 වන දින හා ඊට පෙර පැවැත්වුණු, තවමත් පවත්වා ඉවර නැති, ඡන්ද වලින් ඇමරිකාවේ ජනාධිපතිවරයාව නිශ්චිත ලෙස තෝරා පත් කර ගැනෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වනදා. දෙසැම්බර් 14 දින ලබා දෙන ඡන්ද ගණන් කර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ජනවාරි 6 වනදා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා 538 දෙනෙකු ඡන්දය භාවිතා කරනවා. එසේ ඡන්දය භාවිතා කරන්නේ එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයින් ලෙසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නියෝජිතයින් ප්‍රමාණය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තයට නියෝජිතයින් 55 දෙනෙකු හිමි වන නමුත් මොන්ටානා, වයෝමින්, උතුරු ඩකෝටා, දකුණු ඩකෝටා, ඇලස්කා, ඩෙලවෙයා වැනි ප්‍රාන්ත වලට හිමි වන්නේ නියෝජිතයින් 3 දෙනෙකු බැගින් පමණයි. වොෂින්ටන් ඩීසී අගනුවර නියෝජනය කරමින්ද නියෝජිතයින් 3 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකියි.

එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින් විසින් ඡන්දය භාවිතා කළ යුතු ආකාරය තීරණය වෙන්නේ අදාළ ප්‍රාන්තයේ නීතිය අනුවයි. ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත විසින් දැනට කරන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ඡන්දදායකයින් වැඩිම පිරිසකගේ සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රාන්තයට හිමි ඡන්ද සියල්ල ලබා දීමයි. ප්‍රාන්ත දෙකක් පමණක් මිශ්‍ර ක්‍රමයක් අනුගමනය කරනවා.

නොවැම්බර් 3 වන දින පැවැත්වුණේ තනි මැතිවරණයක් නෙමෙයි. වොෂින්ටන් ඩීසී අගනුවරද ඇතුළුව එක් එක් ප්‍රාන්තයේ මැතිවරණ නීතිය අනුව පැවැත්වුණු මැතිවරණ 51ක්. මේ මැතිවරණ වල ප්‍රතිඵල අනුව, එක් එක් ප්‍රාන්තයට තමන්ට හිමි නියෝජිතයින් ප්‍රමාණය තෝරා ගන්නා ආකාරය තීරණය කරන්නට දෙසැම්බර් 8 දක්වා කල් තිබෙනවා. මෙය කරන්නේ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් ප්‍රාන්තයක නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දිනයේ සිට සති දෙකක පමණ සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ලංකාවේ මෙන් මැතිවරණයට පසු දින නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කරන්නේ නැහැ.

මේ වන විට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මැතිවරණ ප්‍රතිඵල කිසිවක් නිල ප්‍රතිඵල නෙමෙයි. අදාළ මාධ්‍ය වල විශ්ලේෂකයින් විසින් පිළියෙල කර තිබෙන අපේක්ෂිත ප්‍රතිඵල. මේ අපේක්ෂිත ප්‍රතිඵල වැරදෙන්න විශාල ඉඩක් නැතත් එවැන්නක් සිදු වෙන්න බැරිකමක් නැහැ.

විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ හා වෙනත් ස්වාධීන විශ්ලේෂකයින් විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කරන මැතිවරණ ප්‍රතිඵල බොහෝ විට සමාන වුවත් හැම විටම එසේ වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයේ විශ්ලේෂකයින් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය කලින්ම ජෝ බයිඩන්ට ලියා දී ඇති නමුත් අනෙක් විශ්ලේෂකයින් හැම දෙනෙකුම මෙන් තවමත් එම ප්‍රාන්තය සලකන්නේ අවසන් ප්‍රතිඵලය ස්ථිර ලෙස තීරණය නොවූ ප්‍රාන්තයක් ලෙසයි.

බොහෝ විශ්ලේෂලකයින්ට අනුව, මේ වන විට ප්‍රාන්ත හයක හැර අනෙකුත් ප්‍රාන්ත වල ප්‍රතිඵලය තීරණය වී අවසන්. ඒ අනුව, ඔවුන් එම ප්‍රාන්ත රතු, නිල් හෝ මිශ්‍ර පැහැයකින් පාට කර තිබෙනවා. එහෙත්, එසේ කර තිබෙන්නේ ඡන්ද ගණන් කර අවසන්ව ඇති නිසා නෙමෙයි. 

උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයට අනුබද්ධ විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 77.6%ක්. එම ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණයෙන් 65.08%ක් ජෝ බයිඩන් විසිනුත්, 33.04%ක් ට්‍රම්ප් විසිනුත් ලබා ගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවයේ වගේම අනෙකුත් විශ්ලේෂකයන්ගේ නිගමනය අනුව, ඉතිරි ඡන්ද ප්‍රමාණය ගණන් කිරීමෙන් පසුව කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. මේ අයුරින්ම මේරිලන්ඩ් ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය 74.28%ක් පමණක් වුවත්, එම ඡන්ද ප්‍රමාණයෙන් 62.47%ක්ම ලබා ගෙන තිබෙන්නේ ජෝ බයිඩන් විසින් නිසා ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු අවස්ථාවක් නැහැ. 

කැලිෆෝර්නියා හා මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත හා අදාළව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණෙන්න අසීරු නැහැ. එහෙත්, ඇරිසෝනා ප්‍රාන්තය වැනි ප්‍රාන්තයක් සම්බන්ධව එවැනි නිගමනයකට පැමිණෙන්න අමාරුයි. මේ වෙද්දී, ප්‍රංශ පුවත් සේවයේ ඇස්තමේන්තු අනුවම ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද වලින් ගණන් කර අවසන්ව ඇත්තේ 92.81%ක් පමණයි. එම ඡන්ද වලින් 50.07ක් බයිඩන් විසින් ලබා ගෙන ඇතත්, ට්‍රම්ප් විසින්ද 48.53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක පරතරය ඡන්ද 47,052ක් පමණයි. ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මේ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, අනෙකුත් විශ්ලේෂකයින් විසින් තවමත් ඇරිසෝනා නියෝජනය කිසිදු අපේක්ෂකයෙකුට ලියා දී නැහැ.

හැම ප්‍රසිද්ධ මාධ්‍යයක්ම වාගේ බයිඩන් දිනන බව පැහැදිලිව පෙනෙන්නට ඇති ප්‍රාන්ත කළින්ම නිල් පාටින් ලකුණු කරන්න හදිස්සි වී ඇතත්, ට්‍රම්ප් දිනන බව පැහැදිලිව පෙනෙන ප්‍රාන්ත රතු පාටින් ලකුණු කරන්නට එසේ හදිසි වී නැහැ. උදාහරණයක් ලෙස මේ වන විට ට්‍රම්ප් විසින් 62.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබෙන ඇලස්කා ප්‍රාන්තය කිසිදු විශ්ලේෂකයෙකු විසින් තවමත් රතු පාටින් පාට කර නැහැ.

කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැති තරම් කියා කියන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රාන්ත සියල්ල අත හැරීමෙන් පසුව දැනට බයිඩන්ට 253ක නියෝජනයක් හිමිව තිබෙනවා. ජයග්‍රහණය සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ නියෝජිතයින් 17 දෙනෙකු පමණයි.

මේ සඳහා පහසුම මාර්ගය පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමයි. ඒ සමඟම, අනෙක් ප්‍රාන්ත වල තත්ත්වය කුමක් වුවත්, බයිඩන්ගේ නියෝජිතයින් ප්‍රමාණය 273 දක්වා ඉහළ ගොස් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ වන විට තත්ත්වය අනුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයෙන් ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 5,587ක් පමණක් වුවත්, එම ප්‍රාන්තයේ ගණන් කිරීමට ඉතිරිව තිබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක්ද ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ජෝ බයිඩන්ටයි. 

ඇලස්කා හා උතුරු කැරොලයිනා ප්‍රාන්ත ජයගන්නට ඉඩ තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව පෙනෙන්නට තිබෙන අතර බයිඩන් දැනට ඉදිරියෙන් සිටින ජෝර්ජියා, නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත හා අදාළවද තවමත් අවිනිශ්චිත බවක් තිබෙනවා. එහෙත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය නොකර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ අනුව, ට්‍රම්ප්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නට ආසන්නයි.


Wednesday, November 4, 2020

මැතිවරණයෙන් පසු...


ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා කවුද කියන එක මේ මොහොත වන තුරුත් නිශ්චිත ලෙස තීරණය වී නැහැ. බොහෝ දුරට ජයග්‍රාහකයා වනු ඇත්තේ ජෝ බයිඩන්. ජනාධිපතිවරණය කියා කිවුවත් මෙහිදී වෙන්නේ ජනාධිපතිවරයාව තෝරා ගැනීමේ බලය තිබෙන නියෝජිතයින් 538 දෙනෙකු තෝරා පත් කර ගැනීමයි. ජයග්‍රාහකයා වෙන්නනම් එයින් නියෝජිතයින් 270 දෙනෙකුගේ ඡන්ද ලබාගත යුතුයි. 

විවිධ රූපවහිනී නාලිකා වලින් පෙන්වන්නේ එම නාලිකා වල ඇස්තමේන්තු මිස නිල ප්‍රතිඵල නෙමෙයි. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ ඒ නිසයි. දැනට ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණ අනුව මේ ප්‍රතිඵල නිවැරදි වෙන්න විශාල ඉඩක් තිබුණත් එසේ නොවෙන්නත් පුළුවන්. 

දැනට තිබෙන තත්ත්වය අනුව හා මා ඇස්තමේන්තු කරන ආකාරය අනුව වඩාත්ම ඉඩ තිබෙන්නේ බයිඩන්ට නියෝජිතයින් 270ක් හා ට්‍රම්ප්ට නියෝජිතයින් 268 ලෙස නියෝජිතයින් බෙදී යන්නයි. එසේ වුවහොත් එය කෙස් ගහෙන් කඩඉම පැන ලබන ජයග්‍රහණයක්. 

මේ ප්‍රතිඵලය මෙසේ නොවී වෙනස් වෙන්න ඕනෑ තරම් ඉඩ තිබෙනවා. බයිඩන්ගේ නියෝජිතයින් ගණන සැලකිය යුතු ලෙස වැඩි වීමේ සිට ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම දක්වා දේවල් සිදු වෙන්න තවමත් ඉඩ තිබෙනවා. ඒ වගේම, ජනවාරි දක්වා කාලය තුළ ජනාධිපතිවරණය හා අදාළ නඩු තීන්දු ඇතුළු තවත් බොහෝ දේවල් දෙස බලා ඉන්න වෙයි. කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරී අවසන්.

ජනමත සමීක්ෂණ මත පදනම් වෙමින් ජෝ බයිඩන් දිනන බව බොහෝ තැන් වල පුරෝකථනය කෙරී තිබුණා. එහෙත්, ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. පසුගිය 2016 ජනාධිපතිවරණයේදී මේ ආකාරයෙන්ම සිදු කළ පුරෝකථන නිවැරදි නොවීම එයට හේතුවයි. 

මෙවර පුරෝකථන සිදු කළ අය 2016 සිදුවීමෙන් පාඩමක් උගෙන තමන්ගේ ආකෘති සීරුමාරු කර තිබුණත් දැන් දැකිය හැකි ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ එසේ සීරුමාරු කිරීමෙන් පසුවද එම ආකෘති එතරම් ඵලදායී වී නැති බවයි. දිනුවත් පැරදුනත් පුරෝකථන වලට සාපේක්ෂව ට්‍රම්ප් බොහෝ ඉදිරියෙන් ඉන්නවා.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපති මාරු වුනා කියා රට ඇතුළේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බොහෝ ඇමරිකානුවන් ඡන්දය දමන්නවත් උනන්දු නොවෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකානුවන් පක්ෂ වශයෙන් ධ්‍රැවීකරණය වී තිබෙන තරම අනුව හා තවත් හේතු නිසා පෙර නිරීක්ෂණය අනාගතයට එලෙසම වලංගු නොවෙන්න පුළුවන්.

ඇමරිකානුවෙකුගේ දේශපාලන පක්ෂය බොහෝ විට රහසිගත, පෞද්ගලික කරුණක් නෙමෙයි. බොහෝ දෙනෙක් කිසියම් පක්ෂයක ලියාපදිංචි සාමාජිකයෙක්. මා ජීවත්වන ප්‍රදේශය බහුතර රිපබ්ලිකන් ප්‍රදේශයක්. එහෙත්, මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්.

මා මේ පක්ෂ දෙකෙන් එකකවත් සාමාජිකයෙකු නෙමෙයි. මගේ පෞද්ගලික අනන්‍යතාව සාමූහික අනන්‍යතාවයකට යටපත් කරගන්න මම පෞද්ගලිකව කැමති නැහැ. 

පෞද්ගලිකව මට ට්‍රම්ප් කියා කියන්නේ මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට මෙන් නම ඇහෙන කොට මළ පනින, පෙන්නන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ගත් විවිධ තීරණ නිසා රටක් ලෙස ඇමරිකාව කෙරෙහි හා ඇමරිකාවේ ආර්ථිකය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු වූ බව මගේ අදහසයි. එහෙත්, මා තීරණ ගන්නේ පළමුව මවුබිම යන පදනමින් හෝ පළමුව ආර්ථිකය කියන පදනමින් නෙමෙයි. 

පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙකු වන මා ඇමරිකාවේ ජීවත් වෙද්දී සංක්‍රමණිකයෙකුට හෝ පොදුවේ සුළුතර කණ්ඩායමක සාමාජිකයෙකුට හිමිවන සාමාජික අවකාශය පුළුල් වන සමාජ දේශපාලනික වටපිටාවක් පවතිනු දකින්න කැමතියි. ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඒ අවකාශය පුළුල් කර ගැනීමට බාධාවක්.

සාමාන්‍යයෙන් මා හැම විටම වාගේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බල තුලනයක් දකින්න කැමති කෙනෙක්. එසේ වූ තරමට ආණ්ඩුවකට ලොකු දේවල් කරන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. කවුරු දිනුවත්, මේ මැතිවරණයෙන් පසුව ඇමරිකාව තුළ එවැනි බල තුලනයක් දකින්නට ලැබෙන බවනම් පැහැදිලියි. 



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...